බණ්ඩාර කේ. විජයතුංගයන්ගේ ගී පද රචනා වලින් සුසැදි ගී අතරේ මට නම් අන් කිසිම
ගීතයකට වඩා වෙසෙස් වන්නේ ඔහු ප්‍රේමයේත්, ගේහසිත දිවියේත් විවිධ හැල හැප්පීම්
පිළිබඳව ලියූ ගීත ගොන්නයි. මේ ප්‍රේමයෙහිද, ගේහසිත දිවියේද හැලහැප්පීම් වලිනුත්
ඔහුට බොහෝ විට විෂය වී ඇත්තේ අසම්මත හෝ තහනම් ප්‍රේමයක් නිසාවෙන් සංකීර්ණත්වයට පත්
වූ ඒවායි. ඒවාගේ ඇති ගැඹුරත් අපූර්වත්වයත් හේතුවෙන්, ඒ ගී, ඔහුගේ අනෙකුත් ගීත
ගොන්න කොතෙක් විශිෂ්ඨ වුවත් ඒ සියල්ල අභිබවා මතුව සිටී. ඔහුගේ අනෙක් ගී එක්කොට
සෑයක් බැඳිය හැකි නම් මේ ගී එහි කොත් කැරැල්ල සේ වෙයි. ඒ මට හැඟෙන හැටිය. ඔබ
සිතන්නේ අන් විදිහකට නම් ඒ අදහස් සමහර විට මේ ගීත ගොන්න එක දිගට ඇසූ විට, ඒවා ගැන
කියවූ විට, යම් වෙනසකට හෝ බඳුන් වෙතැයි සිතමි.
මේ නිර්මාණ වල හමුවන්නේ එවන් අවස්ථාවක මිනිසුන් පළ කරණු ලබන ගැඹුරු
හැඟුම්ය. ඒවා මෙතරම් සාර්ථකව ඉදිරිපත් කරන්නට
බණ්ඩාර
කේ. විජයතුංග
යන්ට හැකි වන්නේ ඔහු සතුව මෙවන් අත්දැකීම් සම්භාරයක් තිබුණු
නිසාදෝයි මට සිතේ. එලෙස සිතන්නට ද යම් යම් ඉඟි ඇතත්, ඒවා නොවිමසමි. මේ කතා බස්
ඉදිරිපත් කරණුයේ ඔහුගේ දිවියේ, ඔහුට සහ ඔහුගේ සමීපතමයින්ට පමණක් අයිති කතාවන් හාරා
අවුස්සන්නට නොවේ. වෙනත් ප්‍රධාන කරුණු දෙකක් නිසාවෙනි.
ඉන් එකක් වන්නේ කෙනෙකු සතුව අත්දැකීම් බහුල වන තරමට සිය
නිර්මාණතුලට ගොනුවන මානුෂික හැඟුම් තුළ ආගන්තුක බවක් නොපෙන්වන බව කීමටය. නොඑසේ නම්
අනුකාරක දේ නොවන බව කීමට ය. දෙවැන්න නම්, එවන් ගැටුම් සහගත ගැටළුකාරී වාතාවරණයක්
තුළ සිටියදී පවා ඔහුගේ නිර්මාණාත්මක චින්තනය ක්‍රියාත්මකව ඇති විශිෂ්ඨත්වය ප්‍රකට
කිරීමයි.
මට නම් යළි යළිදු හැඟෙන්නේ ඔහුගේ සියළු නිර්මාණ අතුරින්
ඒ නිර්මාණ වඩාලාත් ශ්‍රේෂ්ඨ වී ඇති බවයි. ඒවා වඩාලාත් හෘදයංගම වන බව ඒවාට ලැබී ඇති
රසික ප්‍රතිචාරයන්ගෙන් කියා පායි. ඒ අත්දැකීම් වල ඇති අව්‍යාජ බව, සමීප බව,කෙනෙකු
ප්‍රසිද්ධියේ පළ නොකරණ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නට මැලි වන සැඟවුණු සැඟවී විඳින රසය
හේතුවෙනි.
ඒ ගී අපට එතරම් රස ඇයි? ඒ පැණය යළිත් ප්‍රසිද්ධියේ
කෙනෙකු පිලිතුරු දෙන්නට අපහසු වන ,මැළි වන, මුණිවත රකින ආකාරයේ එකකි. එහෙත් කිව
යුතු දේ නම්, අප ඒ වැනි වූ අත්දැකීම් අන්තර්ගත නිර්මාණයන්ට කැමැති වන්නේ සමහර විට
එවන් අත්දැකීම් වලින් අපේ ජීවිත සියයට සියයක් නිතොර නොවන බැවින් විය හැකිය.
ගේහසිත දිවියට පෙර, ප්‍රේමයෙන් බැඳී සිටින යුගයේ
දෙදෙනෙක් අතර වන හැල හැප්පීම් ගැන කතා කළහොත් එය, සටහනේ ගලා යාමට වඩාත් යෝග්‍ය
යැයි සිතමි. මේ එවැනි ගීතයකි.
තරු මල් පලගත් අහස බලා හිඳ
දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන්
ඔබේ මුහුණුවර මැවී පෙනේ මට
මේ
ආචාර්ය වික්ටර් රත්නායක
යන් තමන් විසින් ම සංගීතයෙන් හැඩකොට
තමන් විසින්ම ගැයූ ගීයකි. මෙහි කියැවෙන අවස්ථාව කොතෙක් නම් සුන්දරද?
තරුමල් පලගත් අහස කුමන වූ නම් සුන්දර සිත්තම් කෙනෙකුගේ මනසෙහි
අඳින්නේද? එහෙත් ඒ සුන්දරත්වය සමහරුන්ට වඩාත් දැනෙන්නේ හදවත ප්‍රේමයෙන් පිරීතිරුණු
විටදීය. ප්‍රේමය පිරීතිරෙන සිතකට රාත්‍රී
අහස සුන්දර සිතුවිලි ගෙන එන්නේ විසල් විලක් වෙත ගඟුලක් ගලා එන්නා සේ ය. එහෙත් ප්‍රේමයේ
වියොවින් ආතුර වූ හෝ, ප්‍රේමයේ ගැටුම් මැද්දේ ජීවත් වෙන අයෙකුට නම්, ඒ අහසේ කොතෙක්
තරු මල් පිපුණත් පාළු අහසක් සේ දැනුනහොත් එය අරුමයක් නොවන්නේය.
මේ බලන්න ඒ වග.
ජීවිතයක රන් සිහින නාය ගිය
කඳුරැල්ලක් මැද්දේ
ආදරයක එක් සිහින සිතාරෙක
හඬ පමණක් රැව් දේ
ඒ හඬ එක් වී දහස් වාරයක්
දෝංකාර වෙද්දී
ඔහුගේ දිවියෙහි, නාය ගොස් ඇත්තේ නිකන්ම නිකං සිහින නොවේ.
රන් සිහින ය. සාමාන්‍ය රන් සිහින ද නොවේ. ආදරයේ රන් සිහිනය. ආදරයේ රන් සිහින යනු
ජීවිතයක ගාමක බලය නොවේද? ජීවිතයක් තේරුමක් ඇතිව ගෙන යන්නේ ආදරය නොවේද? ජීවිතයක්
රසයක් ඇතිව ගෙන යන්නේ ආදරය නොවේද? ජීවිතයක් අරමුණක් වෙත ගෙන යන්නේ ආදරය නොවේද?
ආදරය අහිමි වීම යනු ජීවිතය අහිමි වීම සේ වන්නේ එබැවින් නොවේද? ආදරය අහිමිව ජීවත්
වීම මා ඉහත කී සියල්ල නැතිව ජීවත් වීම නොවේද? එවිට එහි ජීවිතයක් පවතීද? මෙහි
කියන්නේ එය නොවේද? එවන් දිවියකටත්, ජීවත් වන්නට අයිතියක් නැතිද? එවන් දිවියක්
අරුත්ගැන්වෙන ආදරයේ පුංචි බලාපොරොත්තුවක් තිබිය නොහැකිද? ඒ පැතුම්සහගත ආදරය නියම
එකක් වනු ඇතිද? අනියම් එකක් වනු ඇතිද? නියම් අනියම් යනුවෙන් ආදරයක් නැත. ආදරයට
නියම් අනියම් කතා නැත. නියම් අනියම් යනුවෙන් ඒ හැඳින්වෙන්නේ ඇසුරේ ස්වභාවයයි.
ආදරයේ ස්වභාවය නොවේ. එවන් සොඳුරු ආදරයක ස්වරයද අර දෝංකාර දෙන බව කියන සිහින සිතාර්
වාදනය?
අතීතයේ එක් සිහින සැඳෑවක
දෙවැට දිගේ එද්දී
දුටුවෙමි ඔහුගේ සිහින මනාලිය
විලස ඉවත යද්දී
ඒ රුව එක් වී දහස වාරයක්
සිතෙහි ජනිත වෙද්දී
අතීතයේ සමහර කාල සුන්දරය. සමහර කාල ගැන කියන්නට විශේෂ
යමක් නැත. සමහර කාල පැහැදිලිවම අසුන්දරය. එහෙත් සුන්දර අතීතයේ සිහිනයක් සේ සුන්දර
කොටසකුත් තිබුණි නම්? මේ එවන් කාලයක් ගැන නොවේද?
අතීතයේ එක් සිහින සැඳෑවක
දෙවැට දිගේ එද්දී
එහෙත් ඒ සුන්දර සිහින කාලයේ කෙලවර අසුන්දර සිහිනයක් තුළ
බොඳ වී ජීවිතයම අඳුරු කර ඇති සැටි බලන්න.
දුටුවෙමි ඔහුගේ සිහින මනාලිය
විලස ඉවත යද්දී
ඒ රුව එක් වී දහස වාරයක්
සිතෙහි ජනිත වෙද්දී
තරු මල් පලගත් අහස බලා හිඳ
දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන්
ඔබේ මුහුණුවර මැවී පෙනේ මට
ජීවිතයම සුන්දරම සිහිනයක් කළේත් ජීවිතයම බියකරුම
සිහිනයක් කළේත් එය නොවේද?
ඔබට ඒ ගැන තවත් හිතන්නට ඉඩ දී, තරු
මල් පළ ගත් අහස බලා හිඳ ගීතය අසන්නට සලස්වන්නම්.
ජීවිතය එවන් මගක අතර මං වූ විට අනතුරුව යන ගමන් බොහෝ විට
අවුල් වෙයි. ප්‍රේමයේ මාවත බොහෝ දුර ගිය පසු ඛේදවාචකයක් ව නිමැ වුණු කල, අනතුරුව
අරඹන ගමන් රළු පරළු වෙයි. ඒ අනතුරුව ගමන් යනු මොනවාද? අනතුරුව බැඳෙන ප්‍රේමයන් ද
වෙනවා නම් වෙන විවාහය ද නොවේද?
ඔහු ලියන්නේ එකකට එකක් ගැලපෙන සේ එයයි.
එහෙත් සැබෑ රචකයා තුළ සිටි ප්‍රේමවන්තයා ඊට වෙනස් ය. බණ්ඩාර කේ. විජයතුංග ට තිබී ඇත්තේ එක ප්‍රේමයක්
නොවේ. මා එසේ කියන්නේ මගේ තනි අදහසක් අනුව නොවේ. ඔහු ගැන ඔහු හා ඇසුරු කළ
සමීපතමයින් කී දේ අනුවයි. වෙනස නම්, ඒ කොයි ප්‍රේමයට වුව බැඳුනු පසු ඔහු එය
හදවතින්ම කරගෙන යාමයි. අනතුරුව එළඹෙන යම් යම් කටු කොහොල් හේතුවෙන් ඒ ගමන් නැවතුණද,
එකට සිටි කාලය තුළ ඒවා වින්දනීය ඒවා වූ බව මා කියන්නේ නිකමට හිතට ආ බැවින් නොවේ.
මා ඇසුරු කළ එකල ඔහුගේ මිතුරන්ගෙන් ඇසූ දේ හේතුවෙනි. එහෙත් කුමන හෝ හේතුවක් මත, ඒ
සියල්ල අවසානයේ විසිර යාම පොදු ලකුණක්ව පැවැති බවට නිදසුන් එමට ය.
එකම සිතයි ඔබ දෙදෙනාටම ඇත්තෙ
එකම හදයි ඔබ දෙදෙනාටම ඇත්තේ
එහෙයිනි,
එකම ආදරේ දෙදෙනාටම පිදුවේ
ඔහු එසේ ලියයි. එහෙත් එසේ ලියන රචකයෝ දුලබ ය. එහෙත් එසේ
ලියන්නට හිතන රචකයෝ දුලබදැයි නොදන්නෙමි. හිතේ ඇති දේ කීමට නොදන්නා බැවිනි. එහෙත්
ඔහු නොබියව එය ලියයි. ඔහු නොබියව එසේ ලීවද, කිසිවෙක් එය තෝරාගෙන නොබියව ගයන්නට
ඉදිරිපත් නොවෙයි. එබැවින්, වාසනාවටද, අවාසනාවටද නොදනිමි, තවමත් එය ගීතයක් ව
නැත්තේ.
තමන්ට කිසිදු වෙනසක් නැතිව, තමන් පතන්නා වූ අයුරේ
දෙදෙනෙක් මුණ ගැසුනි නම්, ඔවුන් දෙදෙනාම කිසිදු වෙනසක් නොවී එක සේම තමන්ට දැනෙන්නේ
නම්, ඒ මුණ ගැසුම වාසනාවක්ද? ඛේදයක්ද? මට නිසි පිලිතුරු සිතා ගත කොහැකිය. එවැනි
දෙයක් සිදුවීම දුෂ්කර යැයි සිතුවද, නොසිතනා විදිහට එසේ මුණගැසුනොත් ඔහු කරණා
දේය ඔහු නොබියව කියන්නේ. ඔහු කරණා දේ වැරදි යයි කියන්නට මට බැරි මා ඔහු නොවනා
බැවින්ම නොවේ. ඔහු කරණා දේ වැරදිම යැයි මා හට පසක්ව නැති බැවිනි.
අපි ඒ ගැන තවත් දුර කතා නොකරමු. ගීතයක් වීමේ පින නොලත් ඒ
සුන්දර අව්‍යාජ, නොබිය රචනය දෙස නෙත් සිත් යොමමු.
එකම සිතයි ඔබ දෙදෙනාටම ඇත්තේ
එකම හදයි ඔබ දෙදෙනාටම ඇත්තේ
එහෙයිනි,
එකම ආදරේ දෙදෙනාටම පිදුවේ
මෙවන් තුන්කොන් ආදරයක පැවැත්ම කොපමණ කල් වේදැයි
කිසිවෙකුට කිව නොහැකි වුව, ඔහු එසේ ලියයි. දැන් මෙය පවැතිය හැකි අන්දම් ගැන සිතිය
යුතුය.
එක විදිහක් නම්, එකෙකු විවාහ කරගෙන අනෙකාව අනියම්
පෙම්වතිය සේ තබාගෙන සිටීමයි. දෙදෙනෙකු විවාහ කර ගැනීමට අපේ නීතියේ ඉඩක් නොමැති
බැවිනි. එවිට අසම්මත බිරිඳටත් ඔහුටත් ලොව ගරහනු ඇත. සම්මත බිරිඳට ලොව අනුකම්පා
කරණු ඇත. සමහරෙක් සිනාසෙනු ඇත. එහෙත් එවිට දෙදෙනාටම හැම අතින්ම සමානව සැලකීමක් සිදු
නොවෙයි. ඒ නිසා එය විය නොහැක්කකි.
එබැවින්, අන් විදිහක් නම්,
දෙදෙනාටම සම තැන් දී දෙදෙනාටම ආදරය කරණු මිස, එකෙකුවත්
බිරිඳ කර නොගැනීමයි. එවිට ඒ ආදර කතා දෙකම අසම්මත යැයි ඔවුනට ලොවම ගරහනු ඇත. ලොවම
ගැරහුවද ඔවුන් ආදරයෙන් සිටිණු ඇත.
සිහින ලොවේ සුරඟනගෙන්
මා පතනා සෙනේහයේ
තරම මෙයැයි සිතා සිටිමි
ඒ සෙනෙහස ඒ විලසම
අබැටක් හෝ නොවෙනස් ලෙස
ඔබ දෙදෙනම වෙත දුටුවෙමි
එහෙයිනි,
එකම ආදරේ දෙදෙනාටම පිදුවේ
ඕනෑම කෙනෙකු තුළ ආදරය මේ යැයි සිහිනයක් ඇත. නැති නම්
සිහින ආදරයක් සිතේ ඇත. කෙනෙකුට හමු විය යුත්තේ ඒ සිහින ආදරයයි. ඒ සිහින ආදරය
නොලැබුණු තැන ඇත්තේ අනිවාර්ය ඛේදයකි. එහෙත් ඒ සිහින ආදරය ලැබෙන්නේ මෙලොව එක් වන
කීයෙන් කී දෙනෙකුටද? ඒ සුළුතරය කොතරම් වාසනාවන්තද? ඒ සිහින ආදරය නොලබන බහුතරයකගේ
ජීවිත මොන තරම් අඳුරු විය හැකිද? සමහර විට ඔවුන් ඒ අඳුර සඟවා කෘත්‍රිම එළියකින් තම
දිවි අනුනට පෙනෙන්නට බබලවයි. එහෙත් ඔවුනගේ හදේ අඳුර පළවා හැරිය හැක්කේ කෙලෙසින්ද?
තවත් සමහරෙක් කාලයත් සමගම ලැබුණු දේට හුරුවෙයි.
ඒ වන් පරිසරයක තම සිහින ආදරයට සමාන ආදරයක් ඇති දෙදෙනෙකුම
කෙනෙකුට හමු වුවහොත්?
එය වාසනාවක් වේද? නැති නම් එය ද ඛේදයක්ම වේද?
ඒ සඳහා මට නිෂ්චිත පිලිතුරක් නැත. ඇත්තේ වරින් වර දෝලනය
වන අදහස් පමණි. ඔබට අනුව ඔබ පිලිතුරක් සාදා ගත යුතුය.
කෙසේ වෙතත් මෙවන් අපූර්ව ගීතයක්, සමාජයේ සංස්කෘතියේ යම්
යම් නීති රීති බන්ධන වලට ඇති බිය හේතුවෙන් ගීතයක් නොවී රචනයක් පමණක් වී ඇත. ඒ සමහර
සීමාවල් රැකිය යුතුය. නැති නම් ටික කලකින් අප තිරිසනුන් ම වනු ඇත. එහෙත් සමහර තැන්
වල යම් ලිහිලක් ද තිබිය යුතුය. මෙවන් ඇසුරකට කෙසේ වෙතත් ඒ සිතුවිලි කියා පෑමට හෝ.
ආදර බැඳීමකත්, කෙළවර විවාහයකත් තිබිය යුතු යැයි එකිනෙකා
පතනා දේ බොහෝය. ලැබෙනා දේ මොනවාද යන්නය ගැටළුව. මෙහි පෙර තැනකත් ලියා ඇති පරිදි පෙම්
කරණා සඳ සිතේ තිබූ සිහිනය කැදැල්ලේදී සැබෑ වේ නම් විවා දිවිය සුනිල පළිඟු දිය පිරි
කඳුරක් වනු ඇත. එහෙත් එහිදී ඒ සිහිනය බිඳේ නම්, විවා දිවිය කැළැඹුනු සැඩ පරුස
ගඟුලක් සේ වනු ඇත.
කැළඹුනු විවා දිවියේ අවසන් පිලිතුර කුමක් විය හැකිද?
කැළඹීමත්,
කලකිරීමත්,
අඬ දබරත් සමග කෙනෙක් එහිම
වෙසෙනු ඇත. කෙනෙක් ඉන් මිදී වෙනතක යනු ඇත. වෙනත යාමේ ආදීනව නොදැන නොවන නමුත් යන්නට
වන අවස්ථා ඇත. සිටිය නොහැකිම තැන නොයනු හැර රැඳෙනු කෙලෙසද?
එහෙත් එසේ ගිය විට මෙවැනි දුක් ගිනි ඇවිලේ.
ඉන්දීවරියේ හඬනු එපා
පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත
මා නෙත් කඳුළින් පිරෙන තුරා
මෙහි සංගීතය සහ ගැයුම
මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි
ගෙනි.
පවුලෙන් වෙන් වුණු පියෙකුගේ සිත තුළ අවුලක් නොමැතිය වැනි
ගොඩ නැගූ සහ ගොඩ නගා පවත්වාගෙන යන ජනප්‍රිය මතවාදයක් ඇත. වෙන්වීම තිබූ එකම පිලිතුර
නොවන්නට හැකිය. එහෙත් පිලිතුරු සෙවීමේ හැකියාව, විදිහ එකිනෙකාට වෙනස් ය. අවස්ථාව
සහ සිදුවීම් දරා ගැනීමේ හැකියාව මත පිලිතුර සහ ඒවා සෙවීමේ විදිහ වෙනස් වෙයි. එහෙත්
එවැනි ක්‍රියා මාර්ගයක් ගත් පමණින් ඔහු සියළු බැඳීම් අහවර කළා යැයි සිතන්නට
අනෙකුන්ට ඇති අයිතිය කුමක්ද? පවුලෙන් වෙන් වුණු මවකට වුව මෙය සාධාරණය. කෙසේ වෙතත්
එසේ වෙන් වුණු පියෙකු සිය දියණියට කියනා ආකාරයට ලියැවුණු ගීතයකි මේ. ඔහුගේ හදවතේ තෙතක්
ඇති තෙක්, ඇසට කඳුළක් උණන තෙක් තෙක් ඔහුගේ සෙනෙහස ඈට අහිමි නොවන බව කීමට ඔහුට
අවැසිය. ඒ හඬ ඈට ඇසෙනවාද නැතිද යන්න අන් කරුණකි. එහෙත් ඔහු එසේ සිතමින් සිතින්
හඬනු ඇත.
මෙලොවටය ඔබ ආ පළමු දිනේදී
කිරුළු පැලැන්දෙමි දිවි කතරේ
ඒ අභිමානය සිඳෙනු බිඳෙනු නැති
නැවතත් හමුවන තුරු සසරේ
මේ අභිමානය මෙලොව අති බහුතර පියවරුන්ට දැනෙන දෙයකි.
එහෙත් ඒ අභිමානයේ කිරුළ අතරමගදී සිදුවන බිඳවැටීමක් නිසා බිමට වැටේද? අතර මගදී
සිදුවන එවන් බිඳවැටීමකින් පසුව බොහෝ අයගේ උත්සාහය එම කිරුළ බිම වැට්ටවීමට ය. එසේ
එය බිමට වැටුණා යැයි ඔවුනගේ සමහර උත්සාහයන් තුළින් ඔවුන් දකිනු ඇත. එහෙත් එකී
පියවරුන්ගේ සිත් තුළ ඒ අභිමානයේ කිරුළ බිම වැටේද? මේ ආත්මයේ මතු නොව ඊ ළඟ
ආත්මයේදීත් ඈ තමන්ගේම දියණියව එන තෙක්ම ඒ කිරුළ ඔහු දරයි. බණ්ඩාර කේ විජයතුංගයන් මේ කියන්නේ එය කියා ගත නොහැකි බොහෝ
පියවරුන්ගේ කතාවයි.
සිරුරින් ඔබ ළඟ නොසිටින පමණින්
පියෙකු නොමැති යයි සිතනු එපා
සදාකාලයෙන් සදා කාලයට
ඔබේ උරුමයයි ඔබේ පියා
ඇගේ එම උරුමය ඇයට නොලැබෙන්නේ, පෙර කී බිඳ වැටීම මත ඔහු
පවුලෙන් දුරස් වන නිසා පමණක් නොවේ. අනතුරුව ඈ සමග රැඳෙන අයද අනුකම්පාවෙන් යැයි ළං
වෙන අයද, ඈ සතු එම උරුමයෙන් ඇයව දුරස් කිරිමට බොහෝ දායකත්වයක් දක්වන බැවිනි. ඈ
වෙනුවෙන් තීරණ ගන්නේ ඔවුන් ය. ඇගේ සිත බිඳවන්නේ ඔවුන්ය. ඈ තුළ නොමැති වුණු
තරහවකින් ක්‍රෝධයකින් ඇයව පුරවා ඇයව බිඳවන්නේ ඔවුන්ය. සියල්ල එසේ සිදුවුවද,
ජීවිතයේ යම් තැනකදී වරදක් වූවද, වරද අතිශය බරපතල වූවද, ඔහුගේ පීතෘත්වය අහිමි
නොවෙයි.
මේ ගීතය ඇසිය හැකි තැනක් අන්තර්ජාලයෙන් සොයා ගත නොහැකි
විය. එය සතු යම් අයෙකුගෙන් මේ දක්වාත් ඉල්වාගත නොහැකි විය. යමෙක් සතුව එම ගීතයේ
පිටපතක් වේ නම් අප සතු කරණු මැණවි.
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවුණු දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ
ඔබම මා ද විය....
මා ද ඔබම විය....
මේ ගීතය ගියැවෙන්නේ බණ්ඩාර කේ. විජයතුංගයන් අතින් මධුසමය
චිත්‍රපටය සඳහා ය. එය සංගීතවත් වන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතින්ය. විශාරද
මාලනී බුලත්සිහ ගේ හඬින් අරුත් නැවෙන ගීතය පසුව ඇගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයට සිය
නාමය පළඳවන්නට පවා මේ ගීතය ප්‍රබලත්වයක් ඉසිලීය.
දැන් ගීතයේ අරුත තුළට කිමිදෙන්නට හිතුවොත්, විවිධ අය විවිධ
අයුරින් අරුත් ගන්වා ඇත. මා හිතන විදිහට අරුත් ගැනූ අයද සිටිය හැකිය. එහෙත් එවැනි
අදහසක් කියවීමේ අවස්ථාව නොලදින්, එසේ අදහස් දක්වා ඇති දැයි නිෂ්චිතව ම නොදනිමි.
සාගර වෙරලක ඔවුන් ගෙවූ දිනක් ගැනය මෙහි ඇත්තේ. එහෙත් මේ
සාගර වෙරලක ඔවුන් ගෙවූ එකම එක දිනයද? මගේ හිතේ පිලිතුර නම් නැත යන්නය.
සාගර වෙරළවල් වල ඔවුන් අනන්ත ඇවිදින්නට ඇත. එසේ නම් මේ
එලෙස ඇවිද ගිය ඒ අනන්ත දින අතුරින් සුවිශේෂම දිනයක් විය යුතුය. ඒ දිනය එතරම් විශේෂ
වූයේ ඇයි?
එය ගීතයෙන්ම සොයගෙත යුතුය.
යළිත් ඒ කොටස විමසමු.
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවුණු දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ
ඔබම මා ද විය....
මා ද ඔබම විය....
සාගර වෙරළවල් වල, කවුරුන් හො තැබූ පිය සටහන් මතමය කාට හෝ
හැමදාමත් ඇවිදින්නට සිදුවන්නේ. එහි ඇති වෙනස කුමක්ද? ඒ දිනය ගෙවී ඇත්තේ ඔවුන්
දෙදෙනා සමගින්මය. ආදර වන්තයින් දෙදෙනෙකුට එක්ව ගත කරණා මොහොතක් මොහොතක් පාසා විශේෂ
වුවත්,එහි ඇති ඊට වැඩි විශේෂත්වය කුමක්ද?
එදිනද සැඳෑවේ රන් හිරු රැස් විහිදී ඇත. එයද වෙනදාටත්
සිදු වේ.
එසේ නම් මෙහි ඇති සුවිශේෂ බවට හේතුව කියැවෙන්නේ ඊ ළඟ
පෙලෙනි.
ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ
ඔබම මා ද විය....
මා ද ඔබම විය....
හිරු රැස් විහිදුණා යන්නෙන් මෙහි ඇඟවෙන්නේ හිරු නිවී යාම
විය යුතුය. හිරු රැසින් තොර වී අඳුරු වූ කල, ඔහුගේ ඇයගේ සිරුරු වෙන් වෙන් ව
නොපෙනේ. ඔහුගේ ඇයගේ සෙවනැලිද වෙන් වෙන් ව නොපෙනේ. ඔවුන් එකෙකු වීයැයි කීමේ අදහස ඒ
යැයි මට නොසිතේ. මට නම් එයින් ඇඟවෙන්නේ ඔවුන් දෙදෙනා පළමු වරට එකෙකු වූ බැවිනි. මේ
පළමු වරට එකෙකු වූ බව යන්නෙන් කියනුයේ කුමක්ද?
දෙවිදිහකට ගත හැකි වනු ඇත. ඔවුන් කළින් එහි ඇවිත් ගියේ
පෙම්වතුන් ලෙසින් නොව හිතවතුන් ලෙසින් නම්, මේ ඔවුන් පෙම්වතුන් බවට එකිනෙකා කියා
ගත් පළමු දිනය විය යුතුය.
අනෙක නම්, පෙර ඔවුන් ඇවිත් ගියේ පෙම්වතුන් විලසින් නම්,
මේ ඔවුන් ගැඹුරින් එකිනෙකා හා එක්වුණු පළමු දිනය විය යුතුය. මොන එහෙකටදැයි
නොදනිමි. මට හිතෙන්නේ ම එලෙසිනි.
මෙවන් පෙම් රැඟුම් අවසන, කැදැල්ලකට වන් කල, ඈ අත්
විඳින්නේ එයමද? ඇයත් ඔහුත් දැන් එකෙකුමද? අරුමය නම්, මෙලෙස පෙම් කරණා සඳ එකෙකු සේ
වන අයගෙන් අති බහුතරය, ආණ්ඩුවේ පොතක, පත් ඉරුවක් මත තම තමන්ගේ අතසන් තැබූ සැනින්
දෙදෙනෙකු විමය.
ඇයට මෙලෙස කියන්නට සිදු වනුයේ එබැවින් නොවේද?
පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකිවු දහක් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුනු
අහිංසකාවිය පමණද ඔබ ළඳ
එක් වන්නට පෙර සෑම දෙයක් ගැනම අසීමිතව කතා කළ නොවළහා කතා
කළ ඔවුනට දැන් පවසා ගන්නට නොහැකිව දහක් දේ හිතෙ ගොනු කරගෙන විඳවන්නට වී ඇත්තේ ඇයි?
සඟවන්නට දේ ඉතිරිව ඇත්තේ ඇයි?
සඟවන්නට සිදුව ඇත්තේ ඇයි?
අවසන ඈ බිරිඳක් නොවී අහිංසකාවක් බවට පත්ව ඇත.
ආදරවන්තියක් නොවී සිරකාරියක් බවට පත්ව ඇත. ගතින් සේම සිතින් ද ඈ සිරකාරියකි. මේ
සියල්ලට හේතුව කුමක්ද? සැක සාංකාව නමැති දරුණු රෝග කාරකය විය යුතුමය.
ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන් පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කළෙක මා එපා නොකළ මැන
ඈ තුළ ඔහුට ඇති බැඳුම මෙසේය. එහෙත් කියන්නේ කෙලෙසින්ද? අසාවිද
ඔහු? ඈ ගතද සිතද ඔහු ප්‍රබෝධමත් කළේ ඔහු ගතින් පමණක් නොවේ. සිතින්ද ප්‍රබෝධමත්
කළේය. සිතින් ප්‍රබෝධමත් නොකර ගතින් පමණක් ලබනා ප්‍රබෝධයට කැමැත්තේ නම්, ඒ අතලොස්සක්
පමණකි. ඒද ඇඟේ වෛරයෙන් මිස සිතේ සෙනෙහෙන් නම් නොවේ. එහෙත් ඈ එවැන්නියක් නොවේ. අදද
ඇගේ පැතුම ඔහුමය. රහස් නොමැති ඇගෙන් රහස් සොයන ඔහු ගෙන් ඈට කරන්නට ඇති එකම සහ
ලොකුම ඉල්ලීම මෙයය.
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කළෙක මා එපා නොකළ මැන
ගිතය අසා යමු.
දැන් ඉතින් බණ්ඩාර කේ.
විජයතුංගයන් පිළිබඳව ලියූ මේ දිගු සටහනේ සැඳෑ කාලයට එළඹ ඇත. තව සුළු
වේලාවකින් මා නික්ම යා යුතුය. ඒ අන්ධකාරයටද? නැති නම් රාත්‍රියටද? රාත්‍රිය ද
අඳුරුය. එහෙත් අන්ධකාරය තරම් අඳුරු නැත. රාත්‍රිය අඳුරු යැයි සිතන අයට රාත්‍රි
අඳුරට වී බලන්නැයි අයදිමි. එහි ඇති එළිය ඔබට පෙනෙනු ඇත. ඒ අඳුරේ එළියට කෙනෙකු තුළ
කොතරම් නම් සිතුවිලි උපද්දන්නට හැකිද? සිතුවම් මවන්නට හැකිද? හැඟීම් පුබුදු කරන්නට
හැකිද? එහෙත් ඇත්ත අන්ධකාරය එලෙස නොවේ.
මා මෙහිදී පිය නගන්නේ ඒ අන්ධකාරයට නොව, ඒ රාත්‍රියටය.
තවත් උදෑසනක තවත් අදහස් ගොන්නක් ගෙන ආ හැකි බැවිනි. එහි ගියොත් පමණකි, ඒවා රැගෙන ආ
හැකි.
එහෙත් යාමට පෙර ඔහුගේ තවත් අනගි ගී ත්‍රිත්වයක්- අමතක කොට යා නොහැකිය. මේ ගී දෙකෙන්
කොයි ගීය අවසනට යොදා ගන්නදැයි මට නොහැඟේ. හොඳම, මට දැනෙනාම ගීය අවසනට තියා ගන්නට
සිතමි. එහෙයින් ඒ ත්‍රිත්තවය අතුරින් වඩාත් ජනප්‍රිය සුන්දර ගීය දැන් ඉදිරිපත්
කරමි.
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ
මුව මත ගැටෙතැයි මා හද බිය වී
සැලී සැලී යයි
මේ නම්, නියම පෙම්වතියක් ගැන යැයි නොසිතමි. නියම නොවන
පෙම්වතියක් වේ නම් ඇය අනියම් පෙම්වතියක් විය යුතුය. එබැවින් මේ අනියම් පෙම්වතියක්
ගැන ම යැයි මට හැඟේ. ( මේ නියම් අනියම් කතාව සමාජ ව්‍යවහාරය අනුව ගත්තකි. මා මෙහි
යම් තැනක ලියා ඇත්තක් සේ, ආදරයට නියම් අනියම් භේදයක් තිබිය නොහැකිය. එහෙත්
ආදරයකින් තොරව හුදු කායික සන්තර්පනය සඳහා පමණක් කරණු ලබන එවැනි ඇසුරකදී නම්, ඒ
වචනයෙහි ඇති ගැලපීම ගැන වාදයකට නොඑළඹෙමි.
සමහර අයට රහස් තිබේ. ඒ රහස් වලින් සමහර ඒවා රසය. රස
වුවත් රහස් වන බැවින් රහස් සැඟවිය යුතුය. රස රහස් සැඟවූ විට එහි රසය අඩුය. රස රහස්
වල රස වැඩි වෙන්නේ විශ්වාසවන්ත යමෙකුට කී විටය. මේ නොකිය යුතු රහස මෙලෙස නම් ගම්
රහිතව කියන්නේ තනියම සිතේ පැළපදියම් වූ කල එහි සැබෑ රස මතු නොවන නිසාය.
මෙය අත්දැකීමක්ද? අත්විඳීමක්ද යන්න ගැන විවිධ අය අතරේ
විවිධ මත ඇත.
තතු දන්නා බව කියන සමහර අයගෙන් අසාගත් සමහර තතු මා සතුව
ඇත. එහෙත් නිසි තතු නොදැන ඒ ගැන යමක් නොකිව යුතුයැයි සිතේ. නිසි තතු දැන ගත්තද,
සමහර තතු නොකිවමනාය. එබැවින් කණින් කොණින් ඇසූ ඒ සමහර තතු, නොකියා ම සිටිමි.
මෙහි ඇත්තේ ආදරයේ ඉරිසියාවද? නැතිනම් රාගයේ ඉරිසියාවද?
මට නම් හිතෙනුයේ රාගයේ ඉරිසියාව කියායි. එය ලියැවී ඇති අයුර අනුව වඩාත් එලෙස
සිතන්නට යොමු වෙයි.
ආදරය යනු අති පිරිසිදු දෙයකි, රාගය එසේත් නැති නම්
අනුරාගය යනු අති අපිරිසිදු දෙයකි වැනි කතාවකට මුල පිරීමක් නොවේ එය. මා සිතන ලෙසින්
නම්, එක් එක් කෙනා මොන මොන දේ කිව්වත්, ඕවා වෙන වෙනම බඳුන් වල පවතින වෙනම පිරිසිදු
සහ අපිරිසිදු ද්‍රව්‍යයන් නොවේ. එකම බඳුනේ එක් එක් ප්‍රමාණවලින් මිශ්‍ර වී තිබෙන
එක් සංයෝගයකි එය. විවිධ ස්වභාවයන් තත්වයන් අනුව සංයෝගයේ එක් එක් සංඝටකයෙහි ඇති ගුණ
අඩු වැඩි වන ආකාරයේ එකකි එය. ඒ මා කියනා දෙයයි. ඔබේ දැකීම ඊට වඩා වෙනස් විය හැකිය.
කෙනෙක් ආදරය මලක සුවඳට සම කරයි නම්, සදාකල්හි ම මලේ සුවඳ
පමණක් පතා සිටී දැයි මට සිතා ගත නොහැකිය. මට සිතෙන්නේ ටික දිනකින්ම ඔහු හෝ ඈ මල
දකිනු රිසි සිතින් පෙළෙනු ඇත කියාය. මලේ
වරුණ නෙත දුටු සඳ, තවත් කලකින් ඔහුට හෝ ඈට මලේ ස්පර්ෂය විඳිනු රිසිවනු ඇත. මලේ පෙත්තක
මතු පැත්තේ සුමුදු බවද, යට පැත්තේ තරමක් රළුවට දැනෙන්නා වූ ස්වභාවයද ඔවුන් එක සේ පතනු ඇත. සුවඳ ඈතට
දැනුනත්, ළං කර ගෙන සිඹින්නට සිතනු නිසැකය. එපා යැයි කියනවා නම් එසේ වනු ඇත්තේ,
තියුණු විස කටුවක කටුකත්වය පමණි.
ඉතින්, කොහොමද ආදරය හා අනුරාගය වෙන්ව තබනුයේ.
එහෙත් මේ ගීතයේ වඩාත් මතුවන්නේ ආදරයට වැඩියෙන් අනුරාගයද?
මට නම් සිතෙන්නේ අනුරාගයද නොව ඒ හා බැඳුනු මමත්වයයි. ඒ මමත්වය නිසා ඇති වුණු ඉරිසියාවයි.
ඒ නිසා නොවේද මෙලෙස සිතනුයේ
මහ වන පියසක අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සඟවා
තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද
තවත් යම් පිරිමි ඇසක් මතු නොව, හිරු රැස් පවා ඈ රුව
දකිනු නොරිසි වෙයි ඔහු. එය එතරම්ම වූ ඉරිසියාවකි. එහෙත්, ඉරිසියාව යැයි කියමින්
කවියා කවියෙන් කියන්නට උත්සහ කරණුයේ ඈ හා ඒ මොහොතේ ඇති වුණු බැඳීම ගැන මිස මහ
පොළොව මත ක්‍රියාත්මක කරන්නට අදහස් කරණ ඉරිසියාවෙන් පිරුණු වැඩ පිලිවෙලක් ගැන යම්
ඉඟි කිරීමක් නොවේය යන්නයි මගේ නම් සිතුවිල්ල.
සොමි සඳ වත ලෙස රුසුරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
මෙහි ද, අප පවත්වාගෙන යන මුසාවක් ගැන කතාවක් ඇත. එනම්,
මම නම් ආදරේ ආදරයට මිස වෙන කිසිවකට නොවේ. මම නම් ආදරේ
ඇගේ හදවතට මිස අන් කිසිවකට නොවේ. මම නම් ආදරේ ඈටම මිස ඈ සතු අන් දේ වලට නොවේ යන අප
පෙනී නොපෙනී රැක බලා ගන්නා මුසාවයි. මේ පෙම්වතා නම් බැඳී ඇත්තේ ඈ රුවටමය. ඈ කයටමය.
ඈ රන් රුවැත්තියක නොවුණා නම් රංචු පිටින් එන මිනිසුන් ඈ රුව ඇසින් නොව වෙනත්
අයුරකින් ස්පර්ෂ කළද ඔහුට කම් නැත.
මේ නම් කැත අදහසකැයි කෙනෙක් සිතනු ඇත. එලෙසින් සිතා කවියාට
ගරහනු ඇත. එහෙත් කවියා සාමාන්‍ය මිනිස් ස්වභාවයට සිනාසෙන බව, ඒ අනුව තමන්ටද
සිනාසෙන බව ඔවුන් නොදනී.
මෙහි අවසන් දෙපදය බලන්න.
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
ඔහු ද ඈ රුව නිසි ලෙස දැක ඇත්තේ ඊයේය. ඔහු මේ ගීය
ලියන්නේ ඒ උණුසුම තවමත් නොනිවුණු සිතිනි. ඔහු මේ ගීය ලියන්නේ ඒ උණුසුම තවමත්
නොනිවුණු සිතිනි යනුවෙන් කී විට, මෙය ගීත රචකයාගේ සැබෑම අත්දැකීමකි. ඔහුගේ සැබෑ
ස්වරූපය එයය වැනි අදහස් ඔබට මතු විය හැකිය. එහෙත් මෙය ඔහුගේම අත්දැකීමක් දැයි මම
නිසැකව නොදනිමි. විවිධ කතා බස් ඇත. සෑම කතා බහක්ම සත්‍යයමයැයි සැකයකින් කොරව කීමට
මට නොහැකිය.
ඔහු ඈ රුවින් මත්ව ඇත. කුමන අයුරකින් මත් වුවද, එවිට
පියවි සිහියක් නැත. සිහියෙන් නොසිටින්නේ අසිහියෙන්, මළා සේ ඇද වැටුණු අය පමණක්
නොවේ. සිහියෙන් සිටින්නා සේ පෙනෙන බොහෝ දෙනද, බොහෝ විට අසිහියෙන් සිටිනවා විය
හැකිය.
කෙසේ වෙතත්, යළිත් කිව යුත්ත වන්නේ, ඈ සඳමඬල සේ හැඩ වැඩ
නොවුණි නම්, ඇය කාට හිමි වුණද ඔහුට කම් නැති පවය. ඔහු ඈට මෙතරම් ගිජුව ඇත්තේ, ඇගේ
රූ සිරි හේතුවෙනි. ඔහු ඇගේ රුව නම්, බාධාවකින් තොරව දැක ඇත. ඇගේ හද දුටු බවට මෙහි
කිසිදු සාක්ෂියක් ඔහු ඉතිරි කර නැත. එවැනි සාක්ෂියක් සත්‍ය වශයෙන්ම නොතිබුණාද?
නැති නම් ගීතය තුළ උත්ප්‍රාසවත් බව වැඩි වැඩියෙන් සුරැකීමටද? මට නම් සිතෙන්නේ මේ
ගීතය ලියැවී ඇති රටාව අනුව, රුව මිස හද දැකුමට ඉඩක් නොතිබූ බවය. එය රචකයාගේ වරදක්
හෝ ගීතයෙහි අඩුවක් නොවේ. මිනිස් සමාජයේ ඇති අඩුවක් කිසිදු අඩුවකින් තොරව එහි ගැබ
කිරීමයි.
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ ගීතය අසමු.
මගෙ හද ඔබ ළඟ
ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත
වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත
දහසක් ගිනි ඇත
එනමුදු නිවහල්
ලොවකුත් ළඟ ඇත
මගෙ හද ඔබ ළඟ
ඔහුට නිවසක් ඇත. එහෙත් එහි නිවනක් නැත. ඔහු නිවෙසට බැඳී
ඇත. එලෙසින් කිවහොත් එය නිවැරදිම කියමනක් නොවනු ඇත. ඔහු නිවෙස වෙත බැඳ තබා ඇත. එහෙත්
ඔහු හදවත එහි බැඳී නැත. හදවත බැඳී ඇත්තේ වෙනතකය. හදවත වෙනතක බැඳුනද, ඔහු බැඳ ඇති
දහසක් බැමි නිසාවෙන් හදවත ළැගුම් ගන්නට කැමැති නිවහන වෙත යන්නට ඔහුට වරම් නැත.
එබැවින්ම ඔහු නිවස වරින් වර මතුවන, වරින් වර අළු යට පුළිඟු සේ සැඟව පවතින ගිනි
වලින් නිතොරය. ඒ සියල්ල එසේ වෙතත්, ඔහුගේ මනෝලෝකය නම්, නිවහල්ය.
විල්ලුද පලසින් රන්මිණි කැලුමින්
සැරසුණු සිරගෙය මා වටකොට ඇත
පිදුරු සෙවිලි කළ ඔබෙ පැල්පත වෙත
එන්නට මට කිසි අවසරයක් නැත
ඔහු නිවසේ නැත්තේ කුමන සැපතද? එක් සැපතක් පමණි. එනම්
මුදු සුමුදු ආදරය පමණි. අන් සියළු සැප එහි වෙයි. මුදු සුමුදු ආදරය අහිමි නම්, අන්
සැප කොතෙක් තිබුණත් ඉන් ඵලයක් වේද? අන් සියළු සැප හැර දා මුදු සුමුදු ආදරය පවතින
තැනට යා හැකි නම් එය වනු ඇත ඔහුගේ පැතුම.
අතීතයේ රස මියුරු සැඳෑවන්
අද මගෙ හදවත හඬවන සුසුමෙකි
මිහිරියෙ අප හට ඉතිරිව ඇත්තේ
අපේ කල්පනා ලෝකය පමණෙකි
ඔවුනට සොඳුරු රසබර අතීතයක් තිබී ඇත. ඒ අතීතය අතීතයටම එක්
වන්නට හේතු වුණු කරුණු කාරණා කිසිවක් මෙහි නැත. එහෙත් යම් යම් අයුරින් ඒවා සිතා
ගන්නට අසන්නන්ට ඉඩ ඇත. ඒ සොඳුරු අතීතය වර්තමානයක් සහ අනාගතයක් නොවීම තුළ ඔවුනට අද
ඇත්තේ මතකයක් පමණකි. ජීවිතයක් නැත. එහෙත්, කල්පනා ලෝකය තුළ තවමත් ඔවුන් පෙම්වතුන්
වීම වලකාලියහැක්කේ කාටද?
මේ සිරගෙය මැද දෙනෙත් පියාගෙන
සිරුරෙන් මියගොස් මා සිටිනා විට
ඔබේ සිඟිති මඳ සිනා උපුල් මල්
මගේ සිහින ලොව දස අත සුපිපෙයි
නිවහනේ නිවන අහිමි වුණු කල, එිහි විසීම සිරගෙයක විසීමක්
හා සමානය. ඔහු එහි නිදයි. ඒ නින්ද රචකයා සමාන කරන්නේ සිරුරින් මිය ගොස් හදවත පමණක්
ජීවීව ඇති අයුරිනි. එය නම් අපූර්වම අවස්ථාවකි. බොහෝ අය කියන්නේ හදවත මැරුණු අයුරු
ගැන කතාය. එහෙත් මෙහි එය අනෙක් අතට ලියැවී ඇත. එසේ සිරුරින් මියගොස් සිටින විට ඔහු
වෙත යළි ජීවය කැඳවන්නේ පුංචි පුංචි සිහින වල පිපෙන ඇගේ සිනා මල්ය.
යදම් පවුරු සහ සීමා අතරෙහි
මිරිකී කුමකට සිත රවටන්නෙද
දෑත දෙපා හා සිතද මුදා හැර
මගේ ලොවට දිව එනු මැන සඳවති
ඒ දිවය හරසුන් සේ ඔහු දකී. හරසුන් දේ හැර දැමිය යුතුයැයි
ඔහු සිතයි. එබැවින් නිවහල් මිනිසුන් සේ දිවි ගෙවිය යුතු යැයි සිතයි. ඒ වෙනුවෙන් ඈට
සිය ලොවට වඩින සේ ඔහු ඇරියුම් කරයි. එහෙත් එයද සිතුවිල්ලක් පමණමද? නැති නම් ප්‍රායෝගිකත්වය
දක්වා එය විහිදෙනු ඇතිද? එයද මෙහි නොවිසඳුනු පැණයකි. ඔබට අනුව පිලිතුර සොයන්න.
අපි එතෙක් ගීතය අසමු.
දිවි ගෙවන්නේ එලෙසින් නම් එහි වෙසෙන කාට හෝ සැබෑ දිවියක් නැත. ඔවුන්
ඇවිදින මළ මිනී පමණි. එසේ වූයේ අන්‍යෝන්‍ය වශයෙන් වටහා නොගත්, අන්‍යෝන්‍ය වශයෙන්
එකිනෙකාව නොදැනෙන දෙදෙනෙක් එකතු වීම නිසා නොවේද? මෙය යම් තැනකදී වටහා ගෙන එකඟතාවක්
ඇති වුණි නම් එවන් සිර ගෙවල් ඉදි නොවෙනු ඇත. මේ එවන් එකඟතාවක් නැති දෙදෙනෙකුගේ
එකඟතාවක්ද කියා බලන්න.
සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි
මා තේරුම් ගනු ඔබට නොහැකි නම්
ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්
එකිනෙකා වටහා නොගත් තැන, ඇත්තේ දිවි ගෙවීමක් නොවේ. බොහෝ
විට ගහ මරා ගැනීම්ය. අඬ දබරය. එකිනෙකා වටහා නොගත් පෙම්වතුන් අතර පවා ඇත්තේ ආද බර
හැසිරීම් නොව ගැටුම් ය. එවන් අවස්ථා ගණනකින් පසුව විය හැකිය මෙවන් අතර මග සාමයකට
එළඹෙන්නේ. ඒ අතරමග සාම කාලය තුළය ස්ථිර සාමකාමී වටපිටාවක් වෙනුවෙන් සෘජු තීන්දුවක්
ගත යුතුයැයි ඔවුන් කල්පනා කරණුයේ. ඒ ස්ථිර සාමකාමී වට පිටාව නම් වෙන්වීමය. ඊට තවත්
හේතු මෙසේය.
වසර ගණන් කල් සිනාසුනෙමු අපි
වසර ගණන් කල් කතා කළෙමු අපි
එහෙත් කවුද ඔබ
ඔබට කවුද මා
ඔබත් නොදන්නෙහි
මමත් නොදන්නෙමි.......
බොහෝ විට සිදු වන්නේ ගෙවූ වසර ගණනක කාලය ගැන හිතා එක්
වීමය. නොගැලපීම් දහසක් ළඟ තබාගෙන නිකරුණේ ගෙවූ කාලයක් වෙනුවෙන් ජීවිතයම හිලව්
කිරිමය. වටහා නොගෙන එක් වුණේ නම්, එක් වුණු පසු කිසි දිනක වටහා ගනීවි යැයි සිතීම
මුලාවකැයි මට සිතේ. සමහර විට මා වැරදි විය හැකිය. එහෙත් මා ලියුවේ මට හිතුණු අයුර
ගැනයි.
අත්වැල් බැඳගෙන මහවැලි ඉවුරේ
පෙර දින සැන්දෑ සමය ගෙවී
නමුදු කවුද ඔබ
ඔබට කවුද මා
ඔබත් නොදන්නෙහි
මමත් නොදන්නෙමි
අපි ගීතය අසා සිටිමු.
බණ්ඩාර කේ. විජයතුංගයන්ගේ ගී විල එවැනිය. විවිධය. විචිත්‍රවත්ය. එය සරල
සුන්දරත්වයේ සිට ජීවිතයේ ගැඹුර දක්වා විහිදෙන පරාසයකි. ඔහු ලියූ වෙසෙස් ගී කොපමණ
වීද යත්, මෙවැනි දිගු ලිපි හයක් දක්වා මට එන්නට සිදු විය. ඒද මහා ගැඹුරින් නොවිමසා
ය. ගැඹුරින් විමසීමට පොතක් ම කළ යුතුය. ඒ සඳහා වෙසෙස් දැනුමැත්තෙකුට අවකාශයක් ඇත.
බණ්ඩාර කේ. විජයතුංගයන් ගැන දිගු සටහනක් ලියන්නට වන්නේ ඔහුගේ කෙටි කාලීන දිවියේ
කළ නිර්මාණ පමණක් වෙනුවෙනි. ඔහුගේ සිත පතුළේ තිබී ඔහුත් සමගම වැළලී යන්නට ඇති
හැඟීම් කොපමණක් තිබෙන්නට ඇතිද? ඔහු සිටියා නම්, ඒ අදහස්ද ලීවේ නම්, කොපමණ සොඳුරු
සැමරුම් තවත් අප වෙත තබා යනු ඇතිද?
එබැවින්, නැවතීමට පෙර මට ඔහු වෙනුවෙන් කියන්න ඇත්තේ,
ස්තුතියි කියාය. බොහෝ අය සඟවන, බොහෝ අය නොකියන ජීවිතය ගැන ඇත්ත නොවලහා කීවාටය.
- යසනාත් ධම්මික බණ්ඩාර -
Great Article Yasanath!
ReplyDeleteමමත් හරිම ආශා ගීත දෙකක් මෙහි ඔබ සාකච්ජාවට භාජනය කොට තිබෙනවා....
ඉන් එක ගීතයක් තමයි....
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවුණු දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ
ඔබම මා ද විය....
මා ද ඔබම විය....
බණ්ඩාර කේ. විජේතුංග විසින් රචිත මෙම ගීතයේ මතුපිටින් පෙනෙන හා දකින අර්ථයට එහා ගිය මහා ගැඹුරු කතාවක් තියෙනවා. දෙදෙකෙන්ව හරියට ගැලපෙනවා කියන්නේ මොකක් ද ? එහෙම ගැලපෙන දෙදෙනෙකු කසාද බැඳිය යුතුම ද ? වෙනත් කෙනෙක් කසාද බැන්ද ගැහැනියකට හෝ පිරිමියකුට තවත් කෙනෙකුට ආදරය කළ නොහැකි ද ? එහෙම ආදරය කිරීම මහා බරපතල වරදක් ද ? එය බුද්ධාගමට පටහැනි ද නැද්ද ? කිසියම් කසාද බැන්ද කෙනෙකුට තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දැනෙන්න ආදරය කරන්නේ නැත්නම්, එම ආදරය වෙනත් කෙනෙක්ගෙන් පැතීම නරක දෙයක් ද ? තමන් ජීවිතකාලය තුලම සැබෑ ආදරයක් නොලබා ඔහේ ජීවත්වී පසුව ඔහේ මිය යා යුතු ද ? ඕනෑම ආදරයක අවසාන ඵලය ලෙස ලිංගික ඇසුරක් සිදුවිය හැකි ය. එය වැරදි ද නැද්ද ?..... යන බොහෝ ප්‍රශ්ණ මෙම පදවැල හරහා බණ්ඩාර කේ. විජේතුංග අපට හිතන්නට පුරුදු කරවයි. විශේෂයෙන්ම ගීතය සඳහා කේමදාසගේ සංගීත නිර්මාණය සුපිරිම සුපිරියි. එමෙන්ම අසමසම හඬක් ඇති මාලනී ගේ ගායනය ගැන කියන්නට වචන නැත. මෙම ගායන හැකියාව දෙවැනි වෙනවා නම් එය දෙවැනි වන්නේ ඇයගේම “අනේ පුංචි කාලිදාස” ගීතයේ ගායනයට පමණි.
අනෙක් ගීතය තමයි....
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ
මුව මත ගැටෙතැයි මා හද බිය වී
සැලී සැලී යයි...
මෙයත් මට පුදුම විධියට දැනෙන ගීතයක්. මොකද අපි අධික ලෙස සුරූපී හා ආකර්ෂණශීලි කාන්තාවකට ආදරය කරනවිට එම කාන්තාවව අපගේ හිතට තදින් දැනී අපට ඇය කෙරෙහි “දිව්‍යමය ආදරයක්” උපන්නොත්, අපට ඒ එක්කම ප්‍රත්‍යක්ෂ වන තවත් අධික ලෙස තිත්ත වූ අත්තක් තියෙනවා. එය තමයි ඇය අපිව හැර ගියොත් අපිට කුමක්වේවි ද යන කරණය. මොකද ඇය අනිවාර්යයෙන්ම අපව හැර යන්න පුළුවන් විධියක් තියෙනවා, ඇයගේ මරණය. ඒ වගේම අප එම කාන්තාවට අධික ලෙස අප්‍රමාණ ලෙස ආදරය කරන විට අපගේ හදවතට දැනෙන බර ගොඩක් වැඩියි. එවිට ඇය වෙනකෙකු හා බැදේවි දැයි භයකුත් ඇතිවෙනවා. එම අපට ඇතිවිය හැකි බර නිසා අපට කරන්නට හිතෙන දෑ බණ්ඩාර කේ. විජේතුංග විසින් ඉතා මනරම් ආකාරයකට රචනාකොට තිබෙනවා. ඒවා කොතරම් දුරකට ප්‍රයෝගික ද නැද්ද යන්න ප්‍රශ්ණ වුනත් සිතුවිලිවලට එසේ සංඥා ඇතිවන අවස්ථා තිබෙනවා.
මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද
මේවා ප්‍රයෝගික නොවන සිතුවිලි දාමයෝ විය හැකි නමුත් එතරම් ආදරයක අවසාන ප්‍රතිඵල එසේ විය හැකියි. නමුත් එහි ලිය ඇති උපරිම සංවේදී පද පේලි හතර අඩංගු වන්නේ පහත ජෙදයේය. එනම් තමන්ගේ ආදරවන්තිය එතරම් ලස්සන නැත්නම් කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් ඇය අනූපම (Unique) ලෙස ලස්සන නම් අපගේ හදවතට සිතෙන ආකල්ප ඉතා මනරම් ආකාරයට බණ්ඩාර කේ. විජේතුංග විසින් රචනා කොට ඇත.
සොමි සඳ වත ලෙස රුසුරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
ඔබ ගෙන හැර දක්වා ඇති පරිදිම; ඇයගේ රුපයේ සැබෑ ලස්සන දුටුවිට ඇයගේ අපට ඇතිවන ඒ සුන්දර හැඟීම් ඉතාමත් අපුරු ආකාරයට අවසාන පද පේලි දෙක තුල සිරකිරීමට ඔහු ඉතා සූරයකු වී ඇත. එමෙන්ම මෙයට වික්ටර් රත්නායකගේ මනොභාවමය හඬ හා සංගීත නිර්මාණය ද ඉතා ඉහල කර්තව්‍යයක් ඉටුකරයි. සංගීත පාර්ශවය ගත් විට මෙම ගීතයේ ඉතාමත් ඉහලින්ම වැජබෙන්නේ එය යයි මම විස්වාස කරමි. හැබැයි ඒ වගේම තවත් එක් කාරණයක් සඳහන් කළ යුතුයි. එනම්, “තමන් මුළු ජීවිත කාලය තුලම අඩික ලෙස සුරූපී කාන්තාවකට ආදරය කොට නැත්නම් හා “දැනෙන ලෙස” කාන්තාවකට ආදරය කර නැත්නම් හා “දිව්‍යමය ආදරය”ක් කියන්නේ මොකක්ද කියන එක දන්නෙත් නැති අයකුට මෙම ගීතය මහා ලොකුවට දැනෙන්න බැහැ”!
කෙසේ වෙතත් යසනාත් අපුරු ලිපියක් ! ස්තුතියි බෙදාගත්තට ! ජයවේවා !
අර්ථපූර්ණ අමයුරු ගී සමුච්ඡයක අරුත්බර විවරණයක්
ReplyDeleteසටහන අවසානයට කෙමෙන් ලංවෙද්දි මට හිතුන "සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ" ඔබට අමතක වුනා වත්දෝ කියල.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි යසනාත්, වර්තමානයේ බොහෝ දෙනෙකු නමින් පවා නොදන්නා ප්‍රතිභාපූර්ණ කලාකරුවකු ගැන මෙවන් අගනා සටහනක් තැබීමෙන් ඔබ කල අනුපමේය මෙහෙය පිළිබඳව...:)