Saturday, August 6, 2016

මිලින කුසුමෙක මිලින සිහිනෙක මගේ සිහියද සැඟව ගත් කල....





කතාකළ යුත්තේ ඔහු ගැනය. එහෙත් කතා කරන්නේ කවි ගැනය. කවි වලිනුත් කෙටි කවි ගැනය.

අප මේ කෙටි කවි ලෙස හඳුන්වන ආකාරයේ කෙටි කවි සම්ප්‍රදායක් ජපානයෙහි ඇත. ඒවා හයිකු නම් වේ. හයිකු සැබැවින්ම හයිකුවක් වන්නේ ජපන් බසින්ම ලියැවුණ විටය. එය අන් බසකින් අරුත් ගැන්වූ විට හයිකුවක් නොවේ. එහි අරුත නම් හයිකුවක් ලිවීමේදී එය යම් රීතියකට අනුව ලියැවෙන බවයි. 

එහි එන පේලි සංඛ්‍යාව, ආකෘතිය, දරණ අදහස් ඈ දේ වලින් විශේෂත්වයක් දක්වයි. අන් බසකට පරිවර්තනය කළ විට එහි ඒ රීතීන් අඩංගු කළ නොහැකි වෙයි. නමුත් අර්ථය නම් එම බසට පෙරලිය හැකි වෙයි.

ඒ නිසා ලංකාවේ පබඳින මේ කෙටි කවි හයිකු ලෙස හැඳින්විය නොහැකි වෙයි. නමුත් සමහර විට ඒවා බිහිවීමට ජපන් හයිකු ඉවහල් වෙන්නට ඇත.

මේ බලන්න ඉන් එකක්.

මදුරුවෝ
නොතකති
හයිකු කවි
හපා කයි
යටිපතුල්.....

ඒ, 



ආරියවංශ රණවීරයන් කිවිඳුන් 
ලියූ කෙටි කවියකි. රණවීර කිවිඳුන් මෙවැනි කෙටි කවි රැසක් ලියා ඇත. මා ඔහුගේ එවැනි කෙටි කවි වලට බෙහෙවින් ප්‍රිය කළ බව සඳහන් කළ යුතුමය.

ඔහුගේ තවත් කෙටි කවියක් මෙහි ලියන්නට ඇත් නම් මැනැවැයි සිතේ. එහෙත් මේ කෙටි කවි ගැන සටහනක් නොවන බව ඒ හා සමඟම මතකයට නැඟේ. එබැවින් තවත් කවියෙකුගේ කෙටි කවියක් දෙසට හැරෙමි.

දැලි පිහියක් තබා
තුරුපතක බෙල්ලට
කෑ ගහනවා සුළඟ
”දෙනවද නැද්ද පිනිබිඳ...“

මේ කවිය මෙවන් කවි වලට බුහුටි සම්මාන ලාභී තරුණ කවියෙකුගෙනි. ඔහු නම්,  

 රුවන් බන්දුජීව  
ය.  
රුවන් බන්දුජීව කවියා සතුව මෙවන් කෙටි කවි රැසක් ඇත. ඔහුගේ ඒ කෙටි කවි බොහෝමයක මහත් උත්ප්‍රාසයක් ගැබ්ව පවතී.

මේ රුවන් බන්දුජීව කවියාගේ එවන් තවත් කවකි.

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතුව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ තවම කියා නැත

රුවන් බන්දුජීව ගේ කෙටි කවි මෙතැනින් නවතම්ද? නැති නම් තවත් එකක් දෙයක් කියම්ද? ඔහු ගැන වෙනම සටහනක් ලිවිය යුතුය. එහෙත් එසේ ලියනා දවස තව ටිකක් ඉදිරියට විය හැකි වන බැවින්, තවත් එකක් දෙකක් ලියා තබමි. වැඩි විස්තර කතා නොකරමි.

තැනිතලා බිම් සිසාරා යන
බැල්මකින් ඇස් දෙක පුරෝගෙන
තනිව මුමුණන ශේෂ කඳු වෙති
වළාකුළු ගැන තැකීමක් නැති

මසිත පැහැරගත් ඔහුගේ තවත් එවන් තවක් මෙසේය.


කවුරු මොනවා කීවත්

පතුල නොපෙනෙන
පාළු ළිං වැළඳගෙන
දෝංකාරය විඳ දරාගෙන
සිනාසෙනවා - මීවන ..



කලක් මෙකී කෙටි කවි වටා ලොකු රසික පිරිසක් ගොනුව සිටියහ. එහෙත් සමහර ප්‍රවීන කවියන් සහ විචාරකයන් මේ කවිදෙස බැළුවේ අන් බැල්මකිනි. ඔවුන්ගේ අදහස වූයේ මේවා කවි නොවේ, වාගාලාපයන්ය, වැනි එකකි.

මේවා කවිමයැයි මම තර්ක නොකරමි. වාගාලාප යන නාමය ඒවාට දුන්නා වුව මට නම් කම් නැත. එහෙත්, මෙවන් කෙටි වචන සැරසුමක ගැබ්ව ඇති අදහසේ ප්‍රබලත්වය සහ සමහර විට මතුකරණු ලබන උත්ප්‍රාසය මුසු රසය ඉන් අවතක්සේරුවට ලක් කළ නොහැකිය.

මෙවන් කවි ලියූ ඒ කවිවලටම ප්‍රසිද්ධිය ලැබූ කවියන් කිහිප දෙනෙකි. නම් වශයෙන් නොකියමි. අපද වරින් වර එවන් කවි යැයි හඳුන්වාගත් දේ ලියා ඇත. ඒ කුමක් දැයි උදාහරණ පිණිස මා ලියූ එවැන්නක් දෙකක් මෙහි ලියමි.

කැමරාකරුවාගේ පෙම්වතිය

දුර සේයා කාචයෙන් මා දකින
ප්‍රතිබිම්බයක් වගේ නුඹ
පෙනුනාට බොහෝ සේ ළං වෙලා
අනේ නුඹ කොයි තරම් ඈතකද?

අරුත ලිහන්නට නොයමි. එහෙත් දුර සේයා කාචය පිළිබඳව යම් තාක්ෂනික කරුණක් ඉදිරිපත් කරමි. එවිට අරුත තවත් පැහැදිලිය.

ඡායාරූපකරණයෙහිදී දුර සේයා කාචය භාවිතා කරනුයේ ඈත තිබෙන දෙයක් ළඟින් ඇත්තාක් සේ පෙනෙන ලෙසින් ඡායාරූපය ගන්නටය. එවිට ඒ ප්‍රතිභිම්බය අපට ළං වුවද, සත්‍ය වශයෙන්ම ඒ ළඟ සේ දකින වස්තුව ඇත්තේ ඈතමය.

එවන් මවිසින් ලියන්නට යෙදුණු තවත් කවියක් මට මතක් වෙයි. එහි මාතෘකාව වූයේ ඇය යන්නය. ඇය යන චරිතයට ගැලපෙන කෙනෙක් එකල මා දැන හැඳින සිටියේය.

ඇය

අනේ,
අත්තටු නොමැති නුඹ
අත්දෙකින් ඉගිලෙන්න හදන
දුර.....

ඉතින් අපේ කෙටි කවි ගැන කතා කිරීම නවත්වමි. ඔහු ගැන කතා කළ යුතු බැවිනි. ඔහු ගැන කතා කරන්නට යන විටද මුළින්ම සිහි වන්නේ කෙටි කවියකි.

ඔහු කවියෙකි. ගීත රචකයෙකි. චිත්‍රශිල්පියෙකි. නිවේදකයෙකි. රසවතෙකි.
ඒ ඔහු කවුද?

ඔහු ලියූ කවි අතුරින්, එක් කෙටි කවියක් මෙහි ලියමි.

මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීලි මත......

මේ කව අයිති බණ්ඩාර කෙනෙකුටය. ඒ බණ්ඩාර කෝ?

බණ්ඩාර කයින් අප හැර ගොසිනි. ඒ 1990වෙහි ජනවාරි මස ඇරඹුමත් සමගය. එහෙත් ඒ බණ්ඩාර අප අතරම සිටී. කවි විලසින්, ගී විලසින් සිටී.

මේ, ඒ බණ්ඩාර ලියූ තවත් කෙටි කවකි.

ඊට පස්සෙ කීවා ඔබ
පිස්සුද ඔයාට...?
ඔබෙ වදන සැබෑ බව
අදත් මම පිලිගනිමි
නමුත් ඔබ නොදන්නෙහි
මගේ ඒ පිස්සුවට
මුල් වුණේ ඔබම බව

මේ බණ්ඩාර කොයි බණ්ඩාර ද? ඔහු නම්  

 බණ්ඩාර කේ. විජයතුංග  
ය.

බණ්ඩාර කේ. විජයතුංග යනු වෙසෙස් හැකියාවන් සහිත නිර්මාණකරුවෙකි. ඔහු කවියෙකු ගීත රචකයෙකු වෙනවාට අමතරව දක්ෂ චිත්‍ර ශිල්පියෙකුද විය. ඒ හැකියාව අනුව ඔහු පොත් කවර නිර්මාණ කලාවේද පිටු සැකසුම් කලාවේද නිරත විය. එහෙත්, නිරන්තර අධ්‍යයනයෙන් සහ අභ්‍යාසයෙන් සිය චිත්‍රණ හැකියාව වඩා ගැනීමට ඔහු උත්සුක නොවූ හැඩයකි. 

ඊ ළඟට ඔහුගේ කවියයි. කවියෙකු වශයෙන් වුව, ඔහු එහි දිගින් දිගටම සිටින්නට උත්සාහ දරා නොමැති බව අපට කියා පාන්නේ 1963 නෙත් දහස නමින් සිය මංගල කාව්‍ය සංග්‍රහය නිකුත් කිරීමෙන් අනතුරුව වෙනත් කාව්‍ය සංග්‍රහයක් නිකුත් කර නොමැති බැවිනි. එබැවින් ඊ ළඟට අප කතා කළ යුත්තේ ඔහු විසින් රචිත ගී පද ගැනය. එහෙත් ඊට පෙර, ඔහු වෙසෙස් ගුවන් විදුලි නිවේදකයෙක් වූ බවද කිව යුතුමය.

බණ්ඩාර කේ. විජයතුංග ගේ ගී පද රචනාවන් අතිශයින් විවිධය. විචිත්‍රය. එය සමහර එවන් රචකයින් තුළ දක්නට නොලැබෙන තරම්ය. මේ ගී  සරලම ගීතයක සිට ගැඹුරු අරුත් දනවන ගීත දක්වා විහිද යයි.

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මේ ගීතය  



සුනිල් එදිරිසිංහයන්ගේ 
මගේ සෙනෙහස සංයුක්ත තැටියට නම් දෙන්නටද සුදුසුකම් ලද ගීතයයි. මේ ගීතය බණ්ඩාර කේ. විජයතුංග ගේ ගීතයකි. එහෙත් ලියැවුණාට පසු එය ඔහුගේ අයිතියෙන් ගිලිහී අපගේ අයිතියට නතු වෙයි. අනතුරුව යම් නීතිමය අයිතියක් ඔහු සතු වුවද, රසික ලොවෙහිදී එහි වැඩි අයිතිය අපටමය.

බණ්ඩාර කේ. විජයතුංග මේ ගීය ලියුවේ සිය අත්දැකීමක් පාදක කොට ගෙනදැයි මම නොදනිමි. එහෙත්, මෙවැනි අත්දැකීමක් හෝ අත්විඳීමක් ඇති රසිකයාටය එය තමන්ගේම ගීතයක් වන්නේ.

වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මේ මිය ගිය පෙමක් ගැන ද?
ඇත්තටම පෙමක් මිය යනවාද?
නැති නම් ඒ මිලිණ වුණු පෙමක් ගැනද?
ඇත්තටම පෙමක් මිලිණ වනවාද?

මට නම් හැඟුනේ එය තාමත් මිය ගොස් නැති බවයි. මිලිණ වී නැති බවයි. එහෙත් පණ අදිමින් සිටිනවා නම් විය හැකිය. ඉතා නොදුරේදී මිලිණ වේ යැයි හැඟෙන පෙමක් වෙනුවෙන් කෙනෙකු ජීවත් වේ නම් එය මැරි මැරී ඉපදීමකි. මේ ගීතයේ දෙවෙනි පාදයෙන් කියැවෙන්නේ එයයි. වසර ගණන කල් ඒ පෙම වෙනුවෙන් කල් හැරියද, යොදුන් ගණන් දුර ඇවිද ගියද ඈට ඔහු සිත ඇඳි පෙම මැණ ගනනට නිසි මිණුම් දඬු නොමැති නම්, ඉන් ඇති ඵලය කුමක්ද? එහි අවසානය කුමක්ද? එහි අවසානය කුමක් වනු ඇතිද යන්න ගීතයේ අවසන් පාදයේදී කියා දෙයි.

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මෙහි,
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල....
යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ මරණයද? 

එය මරණය වේ නම් එහි අරුත සිය දිවි නසාගැනීමක් යන්නවත්ද? නැති නම් එහි කියන්නේ මිලිණ සිහින අතරේ, මිළිණ කුසුම් අතරේ, ඔහු පිළිබඳව වන මතකය ළැඟුම් ගත් පසු යන්නද? කෙසේ වෙතත් එය ඛේදනීය අවසානයකි. ඇයට ඔහු සිත ඇති සෙනෙහස වටහා ගැනීමට එවන් ඛේදනීය අවසානයක්ම අවැසි වූයේ මන්ද? ඊට පිලිතුරු නොමැති වුව, අවසන් වන්නට නියමිතව ඇත්තේ  එලෙසට සේය. ඇයට අවනත, ඇයට සැබැවින්ම පෙම් බැඳි හදක් මිහිමත පැවැති බව එවන් අවසානයකට පසු හෝ වටහා ගනීවිය යන්නය ඔහු තුළ වන පැතුමකි. එය එසේ යැයි දැන ගැන්ම හෝ ඔහුට සහනයක් වනු ඇත. එහෙත් සමහරුන්ට එවන් සහනයක් වත් ඉතිරි වේද?

මේ හැඟිම මීටත් වඩා හොඳින් ලිවිය හැකිද? මෙහි අරුතේ සැඟවුනු බව අඩුය. එහෙත් එය සෘජුවම කියාපෑමක්ද නොවේ. මේ ගුණය හේතුවෙන් එහි රසික පිරිස වැඩි වෙතැයි මමට සිතේ. නැති නම්, එයට සංවේදී වන පිරිස වැඩි වෙතැයි මට සිතේ. 

මේ ගීතයට  

 ආචාර්ය රෝහණ වීරසිංහයන් 
යොදා ඇති තනුව සහ සංගීතයද අති විශේෂ ය. අති විශිෂ්ඨය. එහි ඇති සෑම වචනයකම අරුත මතුකරණු මතු නොව, ඒ වාච්‍යාර්ථ තුළ ඇති හැඟුම්ද මතු කරලීමට එම සංගීතය සමත් වෙයි. 

එය ගායනය කරන්නේ අමරදේවයන්ට පමණක් දෙවෙනි හෙළයේ භාවමය හඬිනි. එනම් විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ ගැඹුරු, මධුර, හැඟුම්බර, ශික්ෂිත හඬිනි.
අසා සිටිමු. දැහැන් ගතව. 




මේ ගැඹුරේ සිට ය අප මී ලඟ ගීතයට එළඹෙන්නේ.

සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ

ඇය නිදනා කුටිය කරා හමන මඳනලේ
මා තනි වී මේ ඔරුවේ ගෙවන තනි රැයේ
පවන ඇගේ හද නොසලා සවනැලූ මැනේ

දෙගොඩ තලා යන වතුරේ එගොඩ පෙනි පෙනී
ඇය නොලබා සිතිනි ලබා සිහින මැවි මැවී
ගඟ මැද්දේ තනි ඔරුවේ අදද රැය ගෙවේ

මෙහි ගැයුම 



මිල්ටන් මල්ලවාරච්චි 
ගායන ශිල්පියාගෙනි. සංගීතය නිර්මාණය කර ඇත්තේ 



සෝමපාල රත්නායක  
සංගීත ශිල්පියා විසිනි. ඔහු ආචාරය වික්ටර් රත්නායකයන්ගේ බාල සොහොයුරාය.

එය කුමන ගීත ගෝත්‍රයට ඇතුළත් කරම්ද? 

ජනප්‍රිය ගීත ඇතුළත් ගෝත්‍රයටද?

නැති නම් උසස් රසාස්වාදය සපයන ගීත ඇතුළත් ගෝත්‍රයටද? 

මට ඒ ගෝත්‍රවාදයමත කරණු ලබන බෙදීම අනුව මේ ගීතය ඇතුළත් කළ යුත්තේ කුමන ගෝත්‍රයටද යන්න නොවැටහේ. එය ඔබම කරන්න. මම ගීතය ගැන කරන්නට ඇති මගේ කතාව කෙටියෙන් කියන්නෙමි.

මෙය ඉතා අඩු ළයෙන් වැයෙන ගීතයකි. එහි එම අඩු ළය නිසාම හැඟුම්බරය. හැඟුම්බර සෑම ගීතයක්ම අඩු ළයෙන් වැයෙන බවක් හෝ, අඩු ළයෙන් වැයෙන හැම ගීතයක්ම හැඟුම්බරය යන්න නොවේ එය. එමෙන්ම එහි යෙදී ඇති සංගීත ඛණ්ඩයන් ඒ ගීතයෙන් කියැවෙන කාලවකවානුවටද, පරිසරයටද මනාව බද්ධව ඇත. මෙහිදී මිල්ටන් මල්ලවආරච්චිගේ ගැයුමද ඔහුගේ අන් ගැයුම් වලට වඩා හැඟුම් බර සහ සංයමයකින් යුක්ත වෙයි. සාමාන්‍යෙයන් ඔහුගේ ගීත වල ඇත්තේ මීට වඩා යම් වේගවත් රිද්මයක් වුව, මේ මද වේග රිද්මයට ඔහුගේ හඬ ගැලපීමද විශිෂ්ඨව සිදුව ඇත.

කෙසේ වෙතත් ගීතය පිළිබඳව මට සිතෙන තවත් කරුණක් වෙයි. ඒ නම් මට සිතෙන්නේම මෙය පෙර නිර්මිත තනුවකට වචන යෙදූ ගීතයක් වන බවයි. මක්නිසාද යත්, ඔහුගේ අනෙකුත් රචනාවන් දෙස විමසිල්ලෙන් බැලූ විට ඒවාගේ ඇති ව්‍යක්ත බව මෙහි යම් තරමකට ගිලිහී ඇති දැයි මට සිතෙන හෙයිනි.

ඒවා කෙසේ වුව, මේ ගීතය මහත් ජනප්‍රිය ගීතයකි.



බණ්ඩාර කේ. විජයතුංග ගේ ගීත සමගින් අපි ඉදිරියේදී යළිත් හමු වෙමු.





-      යසනාත් ධම්මික බණ්ඩාර   -


7 comments:

  1. බංඩාර කේ. විජේතුංග ලියූ කවිය මට මතක විදිහට මේ ආකාරයි.

    මාතෘකාව : පාළු දුම්රියකි ජීවිතේ

    සුදු මල
    ඇයි
    පිපුණේ නුඹ
    රේල් පීලි මත.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත්,
      උපුටා ගනු ලැබුවේ, ඔහුගේ සුළඟ වගේ ඇවිදින් කෘතියෙනි.
      එහි ඇත්තේ,
      මා ලියා ඇති විදිහටය.

      Delete
    2. එහෙමනං මා කියවා ඇත්තේ කවුරුන් හෝ මතකයෙන් ලියූවක්. මා එය මගේ පොතක සටහන් කොට තිබෙනවා. ඔහුගේ පොතකින් ගත්තා නමි ඔබ නිවැරැදි විය යුතුයි.

      Delete
  2. ලස්සන සටහනක්, ආසම කරන ගීතයක්. මෙවැනි පද රචනා අහන්න අපි වාසනාවන්තයි කියලා හිතෙනවා.

    කාලෙකට කලින් මගෙන් ලියවුනු කෙටි පද ටිකක් සටහන් කරලා යන්න හිතුනා.

    නිවී දැල්වී නොපෙනී යන
    නුඹේ දැස් මගේ නෙතු ලඟ..
    මැවී මැකී රැව් නැගී යන
    නුඹේ සිනා මගේ සිත ලඟ..
    රගන රඟ මඩලේ සදාතන
    හමු නොවෙවා යලි නුඹේ දුක් ලඟ.......
    ----
    නිබඳ සිහිවේ නුඹව මට
    මැවෙන සිනා නුඹේ නිල් දෙනෙත් පුරා...
    කුමක් කරන්නද
    රටා මවා මං ඇතිරු සිනිඳු සුමට
    පාර වැසුවේ නුඹම නේද
    කටු අකුල් එක්ක සදහටම........

    ------
    සිතකට දැනෙන හැඟුම්
    නියම අයිතිකරුවන් ලඟ තබා ආ විට
    දැනෙන සහනය
    නොලැබෙනු ඇත කිසිම දිනක
    ජිවිතයම එලිය කරන සහන් එළිය
    තමා තුලම සොයනු මිසක
    රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම......

    ReplyDelete
  3. අපූරු වැදගත් ලිපියක්.
    ඔබ තුමා මලියදේවේ සිටි කාලය දැනගන්න කැමතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  4. හයිකු, කෙටි කවි, වාගාලාප, ගී පද රචනා... කුමන නමකින් කියැවුණ ද ඒ කියැවෙන්නේ මිනිස් හැඟුම් මැ යි....
    ස්තුතියි ඔබේ සිතුවිලි පෙළට......

    ReplyDelete
  5. I feel spellbound to see the way you unwind the twist of a song.Its a marvel at all.

    ReplyDelete