Friday, July 29, 2016

ගාමිණී සහ ගාමිණී......





ගාමිණී යන නාමය ඇසූ පමණින් ලංකා ඉතිහාසයේ අපට මතක් වෙන ගාමිණී නාම කිහිපයක් වෙයි. රාජ වංශයේදී 

 ගාමිණී රජුද, 
දේශපාලනයේදී  



ගාමිණී දිසානායකද
කලා ක්ෂේත්‍රය හා සම්බන්ධව ගත් විට මතක් වන ගාමිණී නම් සිනමා සක්විති ලෙස ද විරුදාවලිය ලත්,  


ගාමිණී ෆොන්සේකා 
ද ඒ අතර වෙයි. 

කෙසේ වෙතත්, මේ ගාමිණී ෆොන්සේකා ද දේශපාලන ක්ෂේත්‍රය තුළද ඉහළට ගිය අයෙකි. ඔහු නියෝජ්‍ය කතානායක ධූරය දක්වා පැමිණි බව ඔබට මතක ඇත.

ගාමිණී ෆොන්සේකා සිනමා සක්විති වන්නේ ඔහුගේ අභිමානවත් රංග ප්‍රතිභාව නිසාවෙනි. ඒ සමගින්ම සිනමා අධ්‍යක්ෂණය තුළද ඔහු වෙසෙස් සටහන් තබා ඇති බව අපේ මතකයට නැඟෙයි. එහෙත් ඔහු පිළිබඳ අපේ මතකයට නොනැගෙන ඉසව් වලදීද ඔහු වෙසෙස් දස්කම් දක්වා ඇති බව දන්නෝ දනී. එහෙත් නොදන්නෝ නොදනී.

දන්නන්ගේ මතකය යළි අවදි කිරීමටද, නොදන්නන් හට ඔහුගේ ඒ වැඩි අවධානයට ලක් නොවූ ප්‍රතිභානය පිළිබඳව හැඟීමක් ඇති කිරීමටද මේ සටහන ලියමි. මමද, ඔහුගේ මේ සිනමා සක්විති යන නාමයට පරිබාහිර වූ නිර්මාණ ප්‍රතිභාව ගැන දන්නේ යම් සීමා සහිත කරුණු ගණනක් වන හෙයින් එහි අඩුවක් දැනුනොත් කමා කරණු ඇතැයි සිතමි.

සිනමා සක්විති නාමයට පරිබාහිර බොහෝ අය නොදන්නා ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව විහිදී ඇති තැන් වනුයේ මොනවාද? ඉන් එකක් නම් චිත්‍ර ශිල්පයයි. විවේකී අවස්ථාවල සේම සමහර විට වෙනත් කාර්යයක නියැලී සිටි අවිවේකී අවස්ථා වලිදී ද ඔහු චිත්‍ර ඇඳි බව ඔහුගේ සමීප හිතවතුන් දනී. දීර්ඝ දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන අවස්ථාවලදී ඔහු පෑනකින් කොලයක් මත විවිධ දෑ කුරුටු ගෑ බව දත් සමහර මිතුරන් ඒ කුරුටු ගා ඇත්තේ මොනවා දැයි විමසූ විට ඒවා කුරුටු ගෑම් නොව චිත්‍ර බව දැක ඇත. 

ගාමිණී ෆොන්සේකා චරිතයට ගෞරව නාම රහිතව නිකන්ම ගාමිණී ගාමිණී යනුවෙන් හැඳින්වීම නොයුතු වුව, අර කී විශේෂණ, ගෞරව නාම ඒ නාමයට ඉදිරියෙන් යොදන්නට ගිය විට, ඔහු අපට දුරස්ය වැනි හැඟීමක් දැනුනු හෙයින්, නාම විශේෂණ, ගෞරව නාම හිතේ තබා ගෙන, සටහනේ එවැනි දේ නොයොදා නිකන්ම ගාමිණී යන නමින් ඔහුව හඳුන්වමි. එහෙත් නිකන්ම නිකන් ගාමිණී ලෙස හැඳින්වුවද, ඒ සෑම විටම ඔබේ හිතේ ඔහු පිළිබඳ එවන් ගෞරවයක් ජනිත වන බව මම දනිමි.

දේශපාලනය, චිත්‍රශිල්පය, රංගනය සහ අධ්‍යක්ෂනය හැරුණු විට ඔහුගේ තවත් කලා ප්‍රතිභාවන් වෙත්ද? 

එයට උත්තරය මෙලෙස දෙන්නට සිතමි.

බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුළිය සොයා වඩින්නේ
වනමල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

මේ සරුංගලේ චිත්‍රපටයේ එන ගීතයකි. සරුංගලේ චිත්‍රපටය මා මෙතෙක් නරඹා ඇති චිත්‍රපට අතුරින් වඩාත් කැමැතිම චිත්‍රපට 10 තුළට ඇතුළත් වන එකකි. එහි ගාමිණී රඟන නඩරාජා චරිතය ඔහුගේ රංගන දිවියේ අති විශිෂ්ඨතම රංගනයන්ගෙන් එකකි.

මම මේ ගීය ගැන මෙහි සඳහන් කළේ සරුංගලේ මා වඩාත් කැමැතිම චිත්‍රපටයක් වන නිසාවත්, එහි අප කතානායක ගාමිණී ෆොන්සේකා ගේ රංගනයේ ඇති විශිෂ්ඨත්වය නිසාවත් නොවේ. වෙනත් හේතුවක් නිසාය. ඒ වෙනත් හේතුවය අපි ගාමිණී යනු සිනමා රංගනයෙන් සහ අදියරුවෙන් බැහැර වෙනත් කලා හැකියාවන්ගෙන් පොහොසත් අයෙකු බව සනාථ කරනුයේ. එනම් මේ බමරිඳු බමරිඳු ගීතයේ රචකයා මේ අපි කතා කරණ සිනමා සක්විති ගාමිණී ම වීමයි.

බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
වනමල් කැකුළිය සොයා වඩින්නේ
වනමල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

සැඟවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලුවත නාවා
බමර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුමි ලොව හැම රස පාවා

අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පල වේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා

බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ

රචනය – ගාමිණී ෆොන්සේකා
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව සමඟවිශාරද නන්දා මාලිනී




මේ ගීතය පිළිබඳව ඇති මතකයන් අවදි කරණ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යම් පුවත්පතකට තැබූ සටහනක කොටසක් මතක් වෙයි. ඒ අනුව ගාමිණී සරුංගලය චිත්‍රපටය පිළිබඳ මූලික කතාබස් හුවමාරු වන සමයේ ගීතයක් ලියූ යම් කොල කැබැල්ලක් සුනිල් ආරියරත්නයන් අත තබා ඇත. එය කියවූ සැනින් ඔහු වටහා ගත්තේ මේ නම් සරුංගලේ චිත්‍රපටයේ සාරාංශය වන බවයි. 

ගාමිණී, මේක හරියට සරුංගලේ චිත්‍රපටයේ සාරාංශ්‍ය වගෙයි නේ.......

ඔව්. මම ඒක ලිව්වේ ඒ ගැන හිතලාම තමයි. කැමැති නම් එයට යොදා ගන්න....

විශිෂ්ඨ ගීත රචකයෙකු වන  


සුනිල් ආරියරත්නයන්  
පවා මේ වෙසෙස් රචනය දැක මහත් උද්දාමයට පත් වූයේ, ඒ ගැන මීට වඩා එහායින් කිසිවෙකුටත් ලිවිය නොහැකිය යන අදහසද සිතට ගනිමිනි. එබැවින්, ඔහු සිය සරුංගලේ චිත්‍රපටයට මේ සොඳුරු ගීතය ඇතුළත් කිරීමට තීරණය කළේය.

එය මොන තරම් විශිෂ්ඨ රචනාවක්ද? මොන තරම් සංයමයෙන් කළ නිර්මාණයක්ද? ගීත රචනයේදී ඔහු ප්‍රකට කර ඇති ව්‍යක්ත බව කොතෙක්ද? එවන් ගීතයක් සරුංගලේ චිත්‍රපටයට කොතරම් ආලෝකයක් සැපයූවාද? එමෙන්ම එම ගීතය සරුංගලේ චිත්‍රපටය තුළට ගොනුවීමෙන් ගීතයටද එවැනිම ආලෝකයක් ලැබුණි.

ගීතය අසමු.



ගාමිණී ෆොන්සේකා විසින් ලියා ඇති ගී පද විමසන විට, මේ ඔහුගේ එකම පද රචනයවත්, ඔහුගේ එකම් විශිෂ්ඨ පද රචනයවත් නොවේ. විශාල ගීත සංඛ්‍යාවක් ඔහු ලියා නැතත්, ඔහු ලියූ පද අතලොස්සෙන් සැදුණු ගීත ස්වල්පයකින් තෝරා ගත් මේ ගීත කිහිපය අති විශිෂ්ඨ නිර්මාණයන් වේ. අප මෙහි ගොනු කරණ ගී විඳීමෙන් ඔබට එය වැටහෙනු නිසැකය. එහෙත් ඔහුගේ ඊ ළඟ ගීතය වෙත යොමු වීමට පෙර, ඔහුගේ ගීත රචනා කවි රචනා පිළිබඳව තවත් යම් යම් අතීත තොරතුරු ටිකක් කතා කළ යුතුය.

ගාමිණී තම සිතට ආ අදහසක් කවියක් හෝ ගීතයක් බවට පත් කර, තමන්ම කියවා රස විඳ සැනින් ඒවා පොඩි කර විසිකිරීමේ අරුම පුරුද්දක් තිබූ කවියෙකි. මේ නිසාම ඔහු ලියූ බොහෝ කවි ගී අද අපට හමු නොවෙයි. 

ඔහු දැරූ අදහස වූයේ, සිය කවි සිත කොනිත්තන, වේදනා දෙන, යම් අදහසක් නිසා කවක් ගීතයක් ලිව්වා මිස එයින් ඒ වේදනාව තුනී කර ගැනීමට බලාපොරොත්තු වූවා මිස, ඒවා එක් කොට, පොතකට පතකට ගැනීම හෝ වෙනත් කටයුත්තකට යොදා ගැනීම බලාපොරොත්තු නොවුණු බවයි. පසු කලෙක ඔහු සුනිල් ආරියරත්නයන් වැනි වෙසෙස් හිතවතුන් හා ඒ කව් ගී පිළිබඳව යම් සංවාදයක් ඇති කර ගැනීමේ හේතුව නිසාවෙනි ඔහුගේ කවි ගී යම් ප්‍රමාණයකට හෝ කුණු කූඩයෙන් නොනැවතී අප අතරට ඒමේ භාග්‍යය ලැබුණේ.

ගාමිණී ෆොන්සේකා ගේ පද රචනා අතරින් බිහිවන පළමු ගීතය වන්නේ  

 සුජාතා අත්තනායක මහත්මිය 
ගැයූ සුදෝ මම ආදරෙයි ගීතයයි.

නැතිවුණු ආදරයක් වෙනුවෙන්
හෙළන සුසුම් තනි හදට වැදී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සු‍දෝ මම ආදරෙයි

සිතින් පලා ගිය එක් ආදරයක්
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත
හදවත් දොර විවර කළා

සුදෝ මම ආදරෙයි

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
‍ඒ ආදරයට වැලපෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ

සුදෝ මම ආදරෙයි

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුළට ගම්දෝ
ඔබට මම ආදරෙයි

ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි

සංගීතය - ලයනල් අල්ගම
ගායනය - පණ්ඩිත් අමරදේව සමඟ? සුජාතා අත්තනායක
චිත්‍රපටය - ‘මයුරිගෙ කතාව’ (1980)



බිඳුණු ආදරයක වේදනාවෙන් හිඳිනා හදකට එබිකම් කරණ අළුත් ආදරයක් ගැන ලියැවුණු අපූරු ගීතයකි එය. එවන් හදක් තුළ ඇත්තේ මිශ්‍ර සිතුවිලිය. බිඳුණු ආදරයේ වේදනාවෙන් වරෙක ආතුර වන ඒ සිත නැවුම් ආදරයක සුවඳින් මොහොතකට සැනසෙයි. එහෙත් සැනින් ඇතිවන දෙගිඩියාවෙන් සැනසිල්ල පලා යයි. මේ සිතුවිලි සමුදාය ගාමිණී ගේ රචනය තුළ ඉතා හොඳින් නිරූපනය වෙයි.

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
‍ඒ ආදරයට වැලපෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ

එමෙන්ම ඊ ළඟ පාදයෙහි ද ඇත්තේ එම දෙගිඩියාව ම මත විසිරෙන හැඟුම් ය.

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුළට ගම්දෝ
ඔබට මම ආදරෙයි

ඔබටත් ආදරෙයි
ඔබට මම ආදරෙයි

මේ සුදෝ මම ආදරෙයි ගිතය ගාමිණී ගේ රචනයකින් අසන්නට ලැබුණු පළමු ගීතය වුවද, ඔහු විසින් ලියූ පළමු ගීතය වන්නේ පසුව වික්ටර් රත්නායකයන් විසින් ගයන්නට යෙදුණු සොඳුර නුඹ මට මව් වෙයන් ගීතයයි.

සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට…

ගාමිණී ගේ ගීතයේ ඇත්තේ සිය බිරිඳට මතු අත් භවයක තම මව වන්නට කියා වන අයාචනයයි. ඇත්තටම එය අපූරුය. එමෙන්ම, මතු අත් භවයේදී නොව මේ අත් භවයේදීත්, බිරිඳකට සිය  සැමියාට මවක් විය හැකිය. එ බැවින් එය සිතුවිල්ලකට පමණකුදු සීමා නොවෙයි. එය ප්‍රායෝගික ද වෙයි. කෙසේ වෙතත් මේ ගීතයෙහිදී ආයාචනා කරණුයේ මෙසසරෙහි යම් අත්භවයකදී සිය මව වන්නටය. ඊට හේතුද ඔහු මෙසේ ලියයි.

බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට…

ඔහු ඈට ගෙවන්නට ණයක් ඇත. ගෙවන්නට පවක් ඇත. ඈ ඔහුගේ බිරිඳ වීමෙන්ම ඈ විඳි දුක් කම්කටොළු වල ණය, පව ඒ අත්භවයේදී ගෙවන්නට ඔහුට අවැසිය. එහෙත් මේ බලන්න මා පෙර කී ලෙසම ඇය මේ අත් භවයේදීද ඔහුට මවක් වී ඇති අයුර.

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී…

දුකේදීත් සැපේදීත් හැර නොයා යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙකු ළඟ සිටින්නේ නම් ඒ මවම පමණකැයි අදහසක් වෙයි. එවිට බිරිඳකට එසේ විය නොහැකිදැයි කෙනෙකු උරණ විය හැකිය. නැති. එසේ වීමට පුළුවන. මව් ගුණය ඇති බිරිඳකට එසේ විය හැකිය. 

සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට…


දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී…
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…


හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට…
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

සොඳුර නුඹ මට මව් වෙයන් ගීතය අසමු.



මෙවන් සංකල්පනාවක් මේ ගීයේ හැර අන් ගීයක නොදුටුවෙමි. නැත එසේම කිව නොහැකිය. 


ටී. එම්. ජයරත්න  
ගයනමතු සඳහන්  ගීයේත් එවැනි අදහසක් ඇත.

දුකේදී හැඬුමට
සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා

එම ගීතයේ ඇත්තේ ඇය තවත් මවක්මය යන අදහසය. ගාමිණී ගේ ගීතයේ මෙන් ඊ ළඟ අත්භවයේදී මවක වන්නට කෙරෙන ඇරියුම නොවේ.

කෙසේ වෙතත් එයද විශිෂ්ඨ ගීතයකි. මතක් වුණු පසුව, ගාමිණී ගේ නොවුණා කියා හැර දමා යා නොහැකි ගීතයකි එය. ඒ නිසා මේ ගාමිණී ගී මුතුහර අතරේ වෙනත් මුතු කැටයක් ඇමිණීම නොගැලපෙන්නකැයි නොසිතනු මැණවි.

දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා//
මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදීලා
සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා

දුකේදී හැඬුමට.....

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා//
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරෙ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ


ගායනය: ටී.එම් ජයරත්න
පද රචනය: ඒ.ජී. ශීලා
සංගීතය: සරත් දසනායක

දුකේදී හැඬුමට
සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් ගීතය අසමු.



ගාමිණී ලියූ ගී අතුරින් වඩාත් ජනප්‍රිය කුමන ගීතයදැයි යන්න මම නොදනිමි. එහෙත් ඒ පෙර අප කතා කළ බමරිඳු බමරිඳු ගීතය හෝ මතු දැක්වෙන  ගීය විය යුතුය.

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ
වෙලෙන් එහා ඉඳ නුඹේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ

නොපැතූ අතකට අත දුන් දවසේ
හෙළූ දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ

නුඹ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වලාවෝ මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ

කියා ගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙළු කඳුළක් මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ

සංගීතය සහ ගායනය-
ආචාර්ය වික්ටර් රත්නායක

මේ ගීතය දිගු එකක් සේ දැනෙන්නේ වුව, එහි රචනය එතරම් දිගු එකක් නොවේ. එහෙත්,

අහිමි වුණත් නුඹ ළඳේ
මට හඬන්න අවසර නෑ

යන කොටස නැවත නැවත යෙදීම නිසා එයින් ගීතය දිගු එකක් සේ හැඟෙයි.

අහිමි වුණත් නුඹ ළඳේ
මට හඬන්න අවසර නෑ ගීතය අසමු.



ගාමිණී ගේ මේ අප විමසූ ගී කිහිපය වුව දෙස් දෙන්නේ ඔහු සතුව තිබුණු කාව්‍යකරණයේ ප්‍රතිභාව ගැනයි. එම රචනාවන් විශාල හැදෑරීමක් කළ කවියෙකුගේ සේම වෙයි. විසල් අභ්‍යාසයන් කළ කවියෙකුගේ සේම වෙයි. ඒවා සංඛ්‍යාත්මකව ටිකක් වුව, දැනීමෙන් දැවැන්ත වෙයි.

වික්ටර් රත්නායකයින් විසින් සංගීතවත් කොට ගයන සසර නිසරු බව ගීතය ගාමිණී ෆොන්සේකා තුළ සිය ආගම දහම සහ බුදුන් වහන්සේ ගැන තිබුණු බැතිබර බව කියාපායි.

සසර නිසරු බව දෙසු සමිඳුනි ඔබැ
සරණ සොයා ආ දුර ගමනකි මේ
කතර ගෙවා ආ වියැළුණු හදවත
සඳහම් පිනිදිය පොදින් නිමේවා

කපුරු සුවඳ දුම් තෙල් මල් කුමට ද
සොයමි කෙසේ මා දුගියෙකු වේ නම්
අඳුර සින්ද කෙලෙසුන් සුන් කළ
සමිඳුනි ඔබට ඉන් කුමන පලේ

දවන හැම පහන් සිළුව නිවේ නම්
පුදන හැම මලක් පරවී යා නම්
ඔබට මොටද සංකේත ස්වාමිනි
ඔබම දෙසූ භව නිසරු භවේ

සසර නිසරු බව දෙසූ සමිඳුනි ඔබෙ
සෙවණ පතා ආ දුර ගමනකි මේ
හිස් දෑතින් හද බැතින් පුරාගෙන
ආ මට දෙනු මැන දහම් අමා
සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක



අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියාගේ හඬින් හැඩ වුණු මතු සඳහන් වන ගීතය අසා නැත්තෙක් නොමැති තරම් විය යුතුය. මේ අතර ගාමිණී විසින් රචිත මේ ගීතය කොතරම් ජනප්‍රිය වුවත් එය ඔහුගේ රචනයක් බව දන්නා අය ඇති නම් ඒ කොතරම් අල්ප සංඛ්‍යාවක්ද?

සැතපුම් දහසක් ඈත රටක ඔබ
සිටියද මම ඉන් මෙහා රටේ
ඔබෙ හඬ නෑසෙන රුව නොදකින මම
ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි

නොනිදන හැම රෑ ලස්සන ඔබෙ මුව
සිතින් මවා තුරුළට ගනිමී
නිදන හැම වෙලේ සිහිනෙන් ඔබෙ හඬ
ගීයක් කර අම රස විඳිමි

හමන මදනලේ රහසින් සඟවා
ඔබට නොකී පුවතක් කීවා
ඔබ සිත නොතලා සුළඟට තෙපලා
නොපැතූ හිතකට හිත පිදුවා
පද - ගාමිණී ෆොන්සේකා.
ස්වර - වික්ටර් රත්නායක.
හඬ - අබේවර්ධන බාලසූරිය.



මේ අයුරින් ඔහු විසින් රචිත ගීත කිහිපයකින් වුව, සිනමා සක්විත්තෙකුගේ සෙවනැල්ල තුළ සැඟව සිටි කවියා ගීත රචකයා හඳුනා ගන්නට ඔබට හැකි වූ බව නිසැකය. ගාමිණී ෆොන්සේකා නමැති සිනමා සක්විති ගැන ගැන අනන්ත කතා බස් අපි අසා ඇතිවා වුවද, ගාමිණී ෆොන්සේකා නමැති කවියා ගීත රචකයා ගැන ඇසුණු කතා අවමය. එම අඩුව පිරවීමට මේ සටහන කිසි සේත් ප්‍රමාණවත් නොවන වග දනිමි. එහෙත් වරින් වර ලියන්නට සිත්ව නොලියූ සටහන, මගේ සිත සාදා ගැනීම පිනිස ලියා තබන්නට සිතුවෙමි.

ගාමිණී ෆොන්සේකා සිය නොමියෙන මිනිසුන් චිත්‍රපටයේ තේමා ගීය සඳහා ලියූ 

 ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් 
විසින් ගයන ගීතයෙන් මෙම සටහන නිම කරන්නට සිතුවෙමි. එයද අපූරුම රචනයකි. 

එහි සිටින මිනිසා මිහි පිට බිම් අඟලක්වත් නැති මිනිසෙකි. මිහිපිට බිම් අඟලක් නැති මිනිසෙක් අහසේ මාලිගා හදනු හැර වෙන කොහි සදන්නද?

මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්
තනයි මාළිඟා අහසේ..

ඔහුට නැත්තේ මිහි පිට බිම් අඟලක් පමණක්ද? නොමැත්තේ එය පමණක් නම්  නම් තව සැනසෙන්නට පුංචිම පුංචි හේතු  හෝ ඇත. එහෙත් ඛේදවාචකය නම් ඔහුට ඔහුගේ කියා කෙනෙකු නොමැති විමයි. විශේෂයෙන් ඔහුගේ කියා පුතෙකු සිටියානම්, අන් කිසිවක් නැතත් සැනසීමක් ඇත. එහෙත් එවැන්නෙකුද නැත. මේ අහසේ මාලිගා තනන්නේ එවන් නැති වූ තනි වූ මිනිසෙකි. ඒ අහසේ තනන මාලිගා මොන වාගේ විය හැකිද?
 
කිරුළු පළන්ඳන රටක් නැති
රජ කරවන්නට පුතෙක් නැති
අතීතයක් මිස හෙටක් නැති
මිහිමත බිම් අඟලක් නොමැති
මිනිසෙක් තනනා මාළිඟා

හිස් මාළිගයේ කවුරු රැඳෙන්නේ
අඳුරු කුටිය කෙලෙසද එළි වන්නේ
පාළු අඳුර කවුදෝ සිඳලන්නේ
පෙර මෙන් කිංකිණි නැත හැඬවෙන්නේ
අහසේ තනනා මාළිඟා...

අඳුරු මාළිගා එළි කරවන්නයි
පාලු අඳුර මොහොතින් සිඳළන්නයි
හෙළ මව යළි රන් කිරුළු දරන්නයි
දැයේ පුතුන් ලොව රජ කරවන්නයි
මිනිසෙක් තනනා මාළිඟා...
අහසේ තනනා මාළිඟා

තමන්ට බිම් අඟලකුදු නැති වුව, රජ වෙන්නට රටක් නැති වුව, එවන් රටක රජකරවන්නට පුතෙකු නැති වුව, ඔහු අහසේ තනනුයේ වෙනත් සිහින මාලිගයක් නම් නොවේ. උතුම් බලාපොරොත්තුවක් තැන්පත් කළ මාලිගයකි එය.

හෙළ මව යළි රන් කිරුළු දරන්නයි
දැයේ පුතුන් ලොව රජ කරවන්නයි
මිනිසෙක් තනනා මාළිඟා...
අහසේ තනනා මාළිඟා

පද - ගාමිණී ෆොන්සේකා
ස්වර සහ හඬ  - පණ්ඩිත් අමරදේව.



ගාමිණී හෙවත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ කවි ගී මග එසේය. එය සාර ඵලයෙන් පිරුණු එකකි. සංඛ්‍යාත්මකව එම ඵල කිහිපයක් පමණකි. එහෙත් අපට පුද දුන් ඒ ඵල සියල්ල මියුරුය. ගුණයෙන් යුක්තය. ඒ ගුණවන්ත, රසවන්ත ඔහුගේ කව් ගී මග පිළිබඳ මේ සටහන කෙටිය. සාරවත් බවින් ලුහු ය. එහෙත් මා මෙය ලිවිය යුතුමය. ඒ, මගේ රුචිය පිණිසය. එය ඔබේ රුචියටත් හේතුවක් විනි නම්, එය මට අතිරේක රසයකි.





-      යසනාත් ධම්මික බණ්ඩාර  -



1 comment:

  1. ඔබට බොහොම ස්තුතියි මේ වගේ එකම තැනකට මේ නිර්මාණ ගොනු කරලා අපිට කියවන්න ඉඩ හදලා දෙනවට.

    ReplyDelete