Friday, August 26, 2016

ඕනෑ නැත අන් කිසිවක් මිහි මත පරාදීසය මෙහි ඉදි වී ඇත





සිංහල ගීත අතරේ සොඳුරු යුග ගී හමු වෙයි. යුග ගීතයක් යනු දෙදෙනෙකු ගයන ගීතයක් වෙයි. 

දෙදෙනෙකු විසින් ගයනු ලබන ගීත, නැති නම් යුග ගීත ද යම් යම් අයුරින් වෙනස් වෙයි. අපට නිතර ඇසෙන්නේ ගායකයෙක් සහ ගායිකාවක් විසින් ගයන යුග ගී අති බහුතරයක් වුවත්, ගායකයෙක් සමග ගායකයෙක් ගයන යුග ගීතද, ගායිකාවක් සමග ගායිකාවක් ගයන යුග ගීතද ඒ අතර වෙයි. 

මේ පෙර වදන සමග මා එළඹෙන්නේ ගායකයෙකු සමග ගායකයෙකු ගයන වෙසෙස් යුග ගී දෙක තුනක් ගැන කීමටය. එහෙත්, මතකයේ තබා ගෙන ඉදිරියට යන්න. මේ එවන් යුග ගී ගැන ලිවීමේ අරමුණික් ලියැවෙන ලිපියක් නොවන බව. එය අහම්බයකින් වන්නේ, අප මැයට මේ ගී නෑකම් කියන බැවිනි.

සනත්-
විකසික නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

අමරදේව-
ඔබේ ඇතුළු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්

සැපේදී සිටින අය දුකේදී නැති බව, විපතේදී නැති බව, හඬන මොහොතේදී නැති බව, අප දන්නා කරුණකි. මේ කාරණය ම ගීතයට නැඟූ අවසථාවකි මේ.

සනත්-
තුරුණු සැඳෑවක - සයුරු තලාවෙක
මිතුරු සමාගම - ඔකඳ වෙවී ඇත

අමරදේව -
අඳුර ගලාවිත් ලොවම වැසුනු කල
නෙත් සඟවාගෙන තනිව නිදයි

ගීතයේ මේ පාදයේදී ගායන ශිල්පි  

 සනත් නන්දසිරි 
විසින් ගයන කොටස ලියැවී ඇති ආකෘතිය සහ 

 අමරදේවයන් 
විසින් ගයනු ලබන කොටස ලියැවී ඇති ආකෘතිය සසඳනු වටී. එය පැහැදිලිවම දෙවිදිහකි. 

සනත් නන්දසිරි විසින් ගයනු ලබන කොටසේ කියැවෙන දේට ආකෘතිතකමය වශයෙන් පවා දී ඇත්තේ එක්තරා සන්ධ්‍යාවක, සයුරු තෙරක ප්‍රීති වන තුටු වන තරුණ පිරිසගේ රිද්මයයි. එහෙත් අමරදේවයන් ගයන කොටසට පැමිණෙන විට එහි ආකෘතිය වෙනස් වෙමින් එම කොටසේ අන්තර්ගතයට ගැලපෙන අයුරින් සැකසෙයි. එහි ඇත්තේ උපදේශාත්මක දෙයකි. ඔබ සමග ඔය තුටු වන ඔකඳ වන සැවොම එසේ සිටිනුයේ ඔබ ආලෝකයෙහි බැබලෙන තෙක් පමණි. අඳුර පැමිණ ඔබව වැසූ කල ඔබට ඔබ පමණකිය.

සනත් -
ගීත ලතාවක දිගැසි ඉනාවක
දෙතොල් අමාවිත පිරී ඉතිර ඇත
අමරදේව -
දෙනෙත් ඇඳිරි වී දෑත් සැලෙන දින
ඔබට ඔබත් නැත ඔබට ඇයත් නැත

මේ පාදයෙහි ඇත්තේ වෙනත් දෙයකි. ඔහු මවන එහෙත් පහසුවෙන් බිඳනේනට හැකි වෙනත් සිහිනයකි. දිගැසියකගේ සිනාව නම් ඉනාවක්මය. ඒ ඉනාවෙන් ඈට බැඳුනු කල, ඔහු වෙනුවෙන් ඈ දෙතොල් අමාවක්ම වෙයි. මේ ප්‍රමෝදය යළිත් මතු කරන අර පෙර මා කියූ ආකෘතියටය එවදන් ද ගොනු වන්නේ. එමෙන්ම අර උපදේශාත්මක අදහස් ගොනු වුණු ආකෘතියට මෙවරද එවැනිම උපදෙසක් ම ගොනු වෙයි.

මේ ඇළුම් බැඳුම් බොහෝ තාවකාලික බව එහි කියැවෙයි. එවන් තාවකාලික ඇළු බැළුම් වල බැඳී වහලෙකු වී නම්, රුව වියැකී ගත වැහැරී ගිය දින, නැති වන්නේ ඇය පමණක් නොවේ. තමන්ට තමන් පවා නැති වෙයි.

මේ ගීතයෙහි සංගීත නිර්මාණය මහාචාර්ය සනත් නන්දසිරි මහතා විසිනි.

එසේ නම් එය කාගේ පද රචනයක්ද? එය අප තවමත් කතා කරමින් සිටින  

 බණ්ඩාර කේ. විජයතුංග  
ගේ රචනයකි.




මෙවැනි ගී එතරම් සුලබ නොවේ. නමුත් සංගීත ක්ෂේත්‍රෙය් මේ වන් දැවැන්තයින් දෙදෙනෙකුගේ එකතුවෙන් බිහි වූ යුග ගීතයන් නම් තවත් දුලබ ය.
විකසිත නයනින් ගීතය අසමු. 



මෙවැනිම සොඳුරු සහ දුලබ තවත් ගීතයක් අපට හමු හමුවෙයි. එහි දැවැන්තයින් දෙදෙනා වනුයේ මගේ අදහසට අනුව නම් සිංහල සුභාවිත ගීතයට සොඳුරු චමත්කාරය එක් කළ  


ආචාර්ය වික්ටර් රත්නායකයන් 
සහ, සිංහල සුභාවිත ගීතයට භාවමය සංයමය මුසු කළ ආචාර්ය, 

පණ්ඩිත් අමරදේවයන් 
ය. 

මේ ගීතය ප්‍රේමය පිළිබඳ අත්දැකීම් ඇති පැසුනු තැනැත්තෙක් සහ ප්‍රේමය විෂයයෙහි කෝඩුකාර, නොපැසුනු තැනැත්තෙක් අතරේ වන අදහස් හුවමාරුවක් ගීතයට නැඟීමක්ද?

නැති නම් කෙනෙකුගේ උඩු හිත සහ යටි හිත අතර ඇතිවන සංවාදයක් ගීතයක් බවට පත් වූවාද?

පණ්ඩිත් අමරදේවයන් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් නිරූපනය කරන්නේ ඒ පැසුණු සහ නොපුසුණු පුද්ගලයින් දෙදෙනාගේ චරිතද? නැති නම් මා කී සේ, එකම පුද්ගලයෙකුගේ උඩු සිත සහ යටි සිතද?

සමහරුන් දකින්නට රිසි මම මුළින් කී ලෙස, මෙම ගීතය තුළ අමරදේවයන් අර පැසුණු වැඩිහිටි පුද්ගලයා නිරූපනය කරන අයුරිනුත් වික්ටර් රත්නායකයන් නොමේරූ තරුණ පෙම්වතා නිරූපනය කරන අයුරුනුත් ය. එහෙත් මට නම් හිතන්නේ ම මේ එකම පුද්ගලයෙකුගේ  උඩුහිත සහ යටි හිත අතර ඇතිවන විසංවාදයක් ලෙසට ය. ගීය ලියූ බණ්ඩාර කේ. කුමන වූ අදහසක් දැරුවා දැයි නොදනිමි. එහෙත් එය එසේ නොවූවත්, එලෙසින් අර්ථදැක්වීමේ වරදක් නැති බව ය මගේ හැඟීම. සෑම රසිකයෙකුම එකම විදිහට සිතීම ඇවැසි නොවෙයි. වෙනෙකක් තබා, නිර්මාපකයින්ට වඩා වෙනත් අදහසක් වුව දැරිය හැකිය. එහෙත් එයින් නිර්මාපකයින්ට අසාධාරණයක් නොවිය යුතුය. මගේ මේ අරුත් ගැන්වීමෙන් එලෙස අසාධාරණයක් වෙතැයි මා කිසි සේත් නොසිතමි.
මගේ අර්ථකථනයේ හැටිහට යටි හිත උඩු හිතට මෙහෙම කියනවා.


ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ......


ඇයගෙන් සිය ආශාවන් සතපවා ගත් අප යෞවන ප්‍රේමවන්තයාගේ උඩු සිත තුළ ඇය කෙරේ මහත් ඇල්මක් ඇති වෙනවා. ඔහු ඇයට දහසක් ප්‍රේමණීය වදන් දොඩමින් ප්‍රේමණීය රැඟුම් සහ හැඟුම් පාමින් ඇයව කුල්මත් කරනවා. මක් නිසාද? මොහොතකට පෙර ඇය තමන් වෙත අපමණ කායික සතුටක් ලබා දී ඇති නිසාය. ඒ ඊනියා සෙනෙහස විනිවිද දකිමින් ප්‍රශ්න කරන්නේ ඔහුගේ ම යටි හිත බවය මගේ හැඟීම. යටි හිත දකින්නේ එම රාගී දෑසේ ලියවී ඇති සත්‍ය ම සත්‍ය කතාවයි. එනම් ඇත්තට ම ඔහු මේ ආදරේ ඇයට නොව ඔහුට ම බව. එහෙත් ඒ ප්‍රශ්න කිරීමට උඩුහිතට ද පිළිතුරක් ඇත.


වසන්ත දෙකොපුල - නිදිවැරු තොල් මල්
දසැඟිලි තුඩු අග - පිබිදුණු රණ හස
ඇයට ආදරේ ආදරේ මම....


ඇය කෙරෙහි ඔහුතුළ උපන් මේ සෙනෙහසට හේතු සාධක එහි මනාව කියැවී ඇත.
ඇයගේ සුසිනිදු රෝස දෙකම්මුල්,
තමන් වෙනුවෙන් නිදි නොලැබ රැය පහන් කළ ඇයගේ රත් දෙතොල්,
රැය පුරා තම සුරතෙහි ඇඟිලි තුඩු අතර සුරතල් වූ ඇගේ පිරුණු පියයුරු සහ පියයුරු තුඩු.......
මේවා නොවේද ඔහුට ඇය කෙරෙහි මහත් වූ ආදරයක් ඇල්මක් ඇතිවීමට හේතූන්?

ඉතින් මේ හේතු සාධක මත ඇතිකරගත් සෙනෙහස සැබෑ සෙනෙහසක් ලෙස යටි හිත දකින්නේ නෑ. ඒ නිසා යටි හිත නැවත මෙහෙමත් කියනවා.


ඇගේ සුරත ගෙන - පිණිවිල්ලුද මත
ඇයට ඇළුම් බව - ඔබ පැවසූ පසු
පෙරලා ඔබහට පෙම් කරණා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ....


මේ අර මතු හිතේ උපන් ඊනියා සෙනෙහසට තවත් හේතු සාධක වන්නට ඇති කරුණු නොවේද? ලස්සන උයන් තෙරක - විල්ලුද තණ පලසක ඇය හා දොඩමළුව ඇවිද යන අතර ආලයට වඩා අනුරාගයෙන් මත්ව ඔහු ඇයට ආදරේයැයි පවසනවිට ඇයද එම හැඟීමෙන්ම පෙරලා ඔහුටද ආදරය කරන බව පවසා සිටී. එම පිලිතුරෙන් ඔහු මහත් සේ සැනසෙයි. එහෙත් යටි හිත උඩු හිතෙන් අසන්නේ, මේකද සැබෑ ආලය කියාය. එලෙසින්ම ඇත්තටම ඔබගේ ආදරය ඔබටම මිස ඇයට නොවන බවටද යටි සිත තර්කනයෙහි යෙදෙයි.

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ ‍
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ

ගීතය අසා හිඳිමු. 



බණ්ඩාර කේ. විජයතුංගයන් විසින් විරචිත යුග ගී අතරේ වෙසෙස් වන්නේ, මේ ගායකයෙක් සහ ගායකයෙක් ගයන යුග ගී දෙක පමණක් නම් නොවෙයි. ඔහුගේ පද රචනා මත හැඩ වුණු සොඳුරු වෙසෙස් යුග ගී කීයක්ද?

1984 වසරේ හොඳම චිත්‍රපට ගී පද රචනය සඳහා වුණු ජනාධිපති සම්මානය දිනාගත්තේ රිදී නිම්නය චිත්‍රපටයේ ආ සුළඟ වගේ ඇවිදින් ගීයයි. මේ සුළඟ වගේ ඇවිදින් ගීතය සිංහල චිත්‍රපට වංශ කතාවේ පෙරළිකාර, මහා සංගීතඥ,  


ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්  
විසින් සංගීතවත් කළ ගීතයකි. එහි හඬ සම්මාදම  

ටී. එම්. ජයරත්න 
සහ  


මාලනී බුලත්සිංහල  
ගෙනි.

මේ ගීතයේ ඒ සියළු පාර්ශ්වයන්හි දායකත්වය සුවිශේෂ මට්ටමේ පවතින බවට තර්කයක් නැත. එහෙත් අපගේ වැඩිමනත් අවධානය එහි පද රචකයා වෙත යොමු කරනුයේ අප මේ දිනවල  කතා කරමින් සිටින බණ්ඩාර කේ. විජයතුංගයන් ම මෙහි ද පද රචකයා වන බැවිනි.

කොහි සිටදෝ - කොතැනටදෝ
සුළඟ වගේ ඇවිදින්

මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුර සැප සැදුවාදෝ


පියෙකුගෙ ඩහදිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝ

තනි වී ගුළි වී හඬා නොමැති නම්
කෙලෙසද ඔහු දුක ඔබ දන්නේ
අඳුරු ගුහැවෙක දිවිය ගෙවුණි නම්
ඔබ නැත හිරු උණුසුම දන්නනේ

දරුවනට මවු පියන් කුමකටද? උත්පත්තිය ලබා දෙන්නට පමණමද? එය ප්‍රමුඛ කාර්යය බව ඇත්තකි.  එහෙත් මිනිස් සමාජයෙහි ඉන් එහා බොහෝ දේ මවගෙන් පියාගෙන් ඉටු වෙයි. අසාමාන්‍යම අවස්ථාවක් නොවුණහොත්, මියෙන තුරු ඔවුන් දරුවන් වෙනුවෙන් සිටී. දරුවන් ඔවුන් වෙනුවෙන් නොසිටියද, ඔවුන් දරුවන් වෙනුවෙන් සිටී.

මේ ගීතයේ මේ මවත්, පියාත් ලෙස ගයනා කොටස් වල එහි ඉඟියක් සපයයි. දරුවනට සැප සුඛ විහරණ සාදන්නේ මවගේ කදුළුය. කිරිය. විශේෂයෙන්ම දරුවා දුවක වූ විට, ඈගේ රැකවරණය පිටුපස සෙවනැල්ල මවයි.

එවිට, පිය සෙනෙහස සහ රැකවරණය පුතෙකුට පමණක්ද? කිසි සේත් එය එසේ නොවේ. එහෙත් පිරිමි දරුවන් පියාට ඇති බැඳීම මාතෘත්වය හෑල්ලුකිරීමට නම් නොවේ. මේ පුතෙකුට සිප් කිරි පෙවෙන්නේ පියෙකුගේ ඩහදිය සයුරෙන් පෙරී ඒමෙන් බව කීම මුසාවක්ද? එය එසේ නොවන්නේද?

මේ ගීතයේ මට වඩාත්ම දැනෙන කොටස වන්නේ එහි අවසන් ගී ඛණ්ඩයයි.

තනි වී ගුළි වී හඬා නොමැති නම්
කෙලෙසද ඔහු දුක ඔබ දන්නේ
අඳුරු ගුහාවෙක දිවිය ගෙවුණි නම්
ඔබ නැත හිරු උණුසුම දන්නනේ

හඬා නොමැති අයෙකු වේද ඔහුට කඳුළක් යනු සිනාවට සමච්චලයට කරුණක් පමණි. එහි තෙතක්, උණුසුමක්, ගැබ්ව ඇති දුකක් ඔහුට නොවැටහෙයි.

කෙනෙක් සිය දිවි ගෙවන්නේ අඳුරු ගුහාවක නම්, ඔහු සමීප අඳුරට මිස හිරුට වේද? හිරුගෙන් ඔහුට ඇති ඵලය කුමක්ද? එහි උණුසුම කෙලෙස නම් හඳුනයිද? 

ජීවිතයේ විවිධ අන්ධකාරයන්හි අතරමං වුණු, සැබැවින්ම විවිධ අඳුරු ගුහාවන්හි සිරකොට තබා ඇති අයගේ ගති ලක්ෂණ ගැනද මේ. කිසි සේත් නැත. තමන්ම සිය දිවි පෙවෙතෙන් අන්ධකාරයෙහි අතරමං වුණු, සිය පැවැත්මෙන් ම අඳුරු ගුහා වල සිරවුණු ජීවිත ගැනය ඒ.

බණ්ඩාර කේ. විජයතුංගයන් ගේ එවන් ගී පද රචනයක් සම්මානනීය වීම අහම්බයක් නොවන්නේ ඒ යථාර්ථය එහි මනාව නිරූපනය වන බැවිනි. මා මේ කතා සියල්ල කියන්නේ සිතුවම් පටයෙනේ වියුක්තවය. ඒ තුළට වන් කල, මෙහි අරුත් තව තවත් දැනෙනු නිසැකය.

ගීතය අසා යන්න. 


බණ්ඩාර කේ. විජයතුංගයන් ගේ තවත් යුග ගී කීයක් ගැන මම මෙහි සඳහන් කරන්නද?

උපුල් නුවන් වසා
සවන් බඳුන් පුරා
අසා සිටිමි සබඳ ඔබේ
මියුරු පෙම් කතා

සරන විහඟ රෑන සදිසි
ප්‍රාර්ථනා පාවී යනවා
සඳත් ඔබයි හිරුත් ඔබයි
සංසාරේ ගගන තළාවේ
             
අමිල මිණි ද, කණක තරු ද
සිහින් සිනා අතරේ රැඳුනා
නෙළුම මමයි සුවඳ ඔබයි
ගංගාවේ තරඟ වලාවේ

මේ උපුල් නුවන් වසා ගීතය සුන්දර යුග ගීයකි. එතරම් සුලබ නැති ගායන සුසංයෝගයක් වන බැවින් එහි තවත් වෙනසක් ඇත. එනම් 

විශාරද නන්දා මාලිනිය  
 සමග එය ගයනුයේ ටී. එම්. ජයරත්නයන් ය.

මේ ගීතය ගැන කතා කරණ විට මට හිතෙන්නේ මෙය පෙර නිමි තනුවකට වචන යෙදූ ගීයකිය යන්නය. මා එය කීවේ එහි වචන යෙදී ඇති විදිහ අත්දැකීම් සමග ගලපා ගැනීමෙන් අනතුරුවය. එහෙත් එහි සත්‍යයම තත්වය කුමක්දැයි මට ස්ථිර නැත.

බණ්ඩාර කේ විජයතුංගයන් විසින් විරචිත යුග ගී පිළිබඳ විමසුමේදී තවත් ගීයක් දෙකක් ගැන කතා කරන්නට අවැසිව තිබියදී, මේ ගීතය මග හැර යා නොහැකි බව හැඟුනෙන් මේසේ කෙටියෙන් හෝ ඒ ගැන සඳහන් කළෙමි.

ගීතය අසන්න.



බණ්ඩාර කේ විජයතුංගයන් විසින් රචිත යුග ගී අතුරින් සුන්දරම යුග ගීයමතු දිගහැරෙන ගීය යැයි මම ඔබට කියන්නට උත්සාහ නොකරමි. එහෙත් මා එසේ කිවහොත්, මගේ කීම අනුමත කරන අය කොතෙක් වේ දැයි මට සිතා ගත නොහැකිය. එහෙත් එවන් පිරිසක් මේ බ්ලොග් අවකාශයේදී නම් හමු නොවනු නිසැකය. ඒ අන් යමක් නිසා නොවේ. මා මේ කතාව ලියනා මගේ බ්ලොග් අඩවිය වෙත පැමිණ කියවන්නෝ අල්ප වන බැවිනි. දැක්කත් නොකයවන අයය වැඩි. එහෙත්, වර්තමාන රටාව එය බැවින් මැසිවිලි කියා ඵලක් වෙද? නමුත් මා මේ කතාව කියන්නේ වෙනත් පුළුල් අවකාශයක නම් මේ ගීතයයි ඔහුගේ සුන්දරම ගීය යැයි කියනු ඇත. එසේ වෙතත්, තවමත් මම එසේ නොකියමි.

මිහිදුම් සළුතිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳී
විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට

ඔවුන් ලොවට නොපෙනෙන්නට සැඟවෙන්නට සිතනුයේ සෙවනැල්ලක සෙවනේය. මේ සෙවනැල්ල නම් සුන්දර නමුණුකුල කන්දේ සෙවනැල්ලයි. එහෙත් ඒ නිකන් පෙනුනත් සුන්දර නමුණුකුල කන්දේ සෙවනැල්ලේ නම් නොවේ. මිහිදුම් සළුතිර හැඳ පැළඳ සුන්දරත්වය තවත් වැඩි කරගත් නමුණුකුල කන්දේ සෙවනැලි සෙවනේය.

මේ සුන්දර දසුන යට බණ්ඩාර කේ විජයතුංගලා සත්‍ය වශයෙන්ම පෙමින් වෙළුනිදැයි මම නොදනිමි. එහෙත් එසේ පෙමින් වෙළුනි නම් ඒ සිසිල මොන තරම් දැයි සිතා ගත හැකිය. ගීත රචකයා තුළ මේ අදහස පැළපදියම් වෙන්නට ඇත්තේ කෙලෙසින්ද? 

කුරුණෑගල ඉපදුනු ඔහු, සිය අධ්‍යාපන ගමන් මගේ මුල් කාලය බදුළු පුරවරයෙහි ගෙවූ නිසාම නොවේද?

හාලිඇල දිවි ගෙවූ සුගත් ගාමිණී බණ්ඩාරට උමා ගීතයට සිය සෙවනැලි සෙවන දුන්නෙත් මේ සුන්දර නමුණුකුළු ගිරි හිසම නොවේද? එසේ නම් එදාටත් වඩා සුන්දරව බණ්ඩාර කේ විජයතුංගලාගේ නමුණුකුළු ගිරි හිස තිබෙන්නට ඇතැයි මට ඇතිවන සිතුවිලි නිවැරදි විය යුතු නොවේද? ඔහු ඒ ගිරි හිස දුටුවේ ඊටත් දශක කිහිපයකට පෙරාතුව බැවිනි. දශක කිහිපයකට පෙර සිරිලක, මීට වඩා සොඳුරු වූ බව අතිශයෝක්තියෙන් දෙසන දෙසුමක් නොවේ.

මේ අතිරේක කතා දිගු නොකොට ගීතය ගැන කතා කළ යුතුය. එහෙත් ඒ අතුරු කතා මම් වෙන කොහිදී කියන්නද?

මිහිදුම් සළුතිර හැඳ පැළඳ සුන්දරත්වය තවත් වැඩි කරගත් නමුණුකුල කන්දේ සෙවනැලි සෙවනේ ඔවුන් තනි වන්නේ කුමකටද? මෙලෙස තනි වන්නට අද අවස්ථාවක් ලදොත්, අපේ වත්මන් පෙම්වතුන් කුමක් කරණු ඇතිද? එහෙත් එදා පෙම්වතුන් සිතා ඇත්තේ එසේ නොවේ. ඔවුන් එලෙස තනි වෙන්නට සිතා ඇත්තේ කෙලෙස් සිතුවිල්ලෙන් තොර දෙහදක, ආදර ගීතය ගයන්නටය. එවන් ගීතයක්, ආදරය වෙනුවෙන් ගයන තේමා ගීතයක් නොවන්නේ කෙලෙසින්ද?

වනගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වනමල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලක මල් අතුරන්නම්

මේ නම් කුමන අන්දමේ සුන්දර පද බැඳුමක්ද? 

මේ වන ගැබ වන ඵල නෙලා රැගෙන එන්නට ඈ සදනුයේ හරියටම එදා මන්ද්‍රි දේවියගේ ක්‍රියා කලාපය සිහියට නංවමිනි. එහෙත්, ඔහුගේ ප්‍රකාශය එදා වෙසතුරු ගේ ප්‍රකාශය නම් නොවේ. එය අභීත සෙබල සිතුවිල්ලකි. ඔහු ඈව සුරකින්නට සදන්නේ රකුස් කැලකට එරෙහිව නැගී සිටිමිනි. ඒ පෙම් රකුසන්ට එරෙහිව ය. රකුසන් කියා ජාතියක් සිටිනවා දැයි මම නොදනිමි. නමුත් පෙම් රකුසන් කියා ජාතියක් නම් සිටින බව හොඳාකාරවම දනිමි.

ඕනෑ නැත අන් කිසිවක් මිහි මත
පරාදීසය මෙහි ඉදි වී ඇත
මානවිකවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසුකරලනු මැන

ඔවුනට වැටී ඇති මේ සුන්දර සෙවනැල්ලේ සෙවන යට තරම් සොඳුරු පාරාදිසයක් තවත් වෙත්ද? ඒ නිසා අන් පාරාදීසයක් අනවැසිය. එහෙත් මේ කියන්නේ එයමද? නැත. ඇයට එවන් ඔහු සිටින තෙක්, මේ සොබා දම, සොඳුරු අසිරිය තමන් වටා සිටින විට වෙනත් පාරාදීසයන් පිළිබඳව සිහින අනවැසිය යන්න නොවේද?

ඔහුටද වෙන කුමන දෙයක් අවැසිද?  හෙට හිරුකිරණ ඔහුට අවැසිමය. ඒ හිරු කිරණ ලොවට ද ඇවැසිමය. ජීවයට ද අවැසිම ය. ඊට ඇගේ සිනාව ද මුසුව ඇති නම් ඊටත් වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?

ඉතින් මා නොකීවත්, මා එසේ කීවොත්, ඔහු ලියූ අති සුන්දර ප්‍රේමනීය යුග ගීතය මෙය යැයි ඔබ සැවොම ඊට එකඟ වන්නේ එබැවිනි.

මිහිදුම් සළු තිර පැළැඳි නමුණුකුල ගීතය අසමු.



මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල අතිශයින් සුන්දර බව නොහැඟෙන්නේ කාටද? නොවිඳින්නේ කවුරුන්ද? එහෙත් එසේ තිබයදී මම එය බණ්ඩාර කේ. විජයතුංග ලියූ සුන්දරම යුග ගීතය යැයි සෘජුව ම නොකියා, මා නොකීවත්, මා එසේ කිවහොත් ඔබ එකඟවනු ඇතැ වැනි යෙදුමක් භාවිතා කළේ, මතු දිගහැරෙන මේ වදන් වලින් සුසැදි ගීය අර ගීයට කෙසේවත් දෙවෙනි කොට තැබීමට මට බැරි බැවිනි.

ලපලු ලතා මණ්ඩපයේ
කඳු යායේ සෙවනැල්ලේ
ලොවේ උකුසු දෙනෙත් වලින්
සැගවී ගමු කුමරියනේ

ඒ ගීයේත් මේ ගීයේත් බොහෝ සමානකම් ද මට දැනෙයි. අසමානකම් ද වෙයි. 

ඒ ගීතයේ සේම මේ ගීතයේත් ඇත්තේ සුන්දර අහිංසක ගමේ ආදර කතාවකි. සුන්දර අහිංසක නාගරික ආදර කතාවක් නොවේ. ඒ මූලික පරිසරය සාදා දෙන්නේ ගීතයේ මුඛ්‍ය අරුමුණු වලට අමතරව ඇති පරිසර වැනුමෙනි. මේ පරිසර වැණුමද, මුඛ්‍ය අරුත ද යන දෙකම හැඩ වන්නේද එයින්මය. ගීත දෙක සඳහාම එය සමාන නොවේ දැයි විමසා බලන්න. 

ගීත දෙකෙහිම ඊ ළඟ සමානත්වය නම්, ලොවේ රුදුරු ඇස් වලින් සැඟවෙන්නට මේ පෙම්වතුනට ඇති අවශ්‍යතාවයි. 

ලොවේ උකුසු දෙනෙත් වලින්
සැගවී ගමු කුමරියනේ යනුවෙන් යෙදෙන්නේ එබැවිනි.

ඊ ළඟ කරුණ නම්, දෙදෙනා තුළම වන එකිනෙකා හා වන බැඳීම සේම අන්‍යෝන්‍ය ගරුත්වය හා රැකවරණය පිළිබඳව වන පණිවිඩයේ ඇති සාම්‍යයි. ඒ ගීතයේ සේම, වන ඵල වැල නෙලා ගෙනැවිත් ඔහුට පුදන කතාව සේම, පෙම් රකුසන්ගෙන් ඇය සුරකින කතාව ද කිසිදු වෙනසක් නොමැතිව මේ ගීතයේත් වන අයුරයි.

වන වදුලේ රජ දහනේ
පෙම් රකුසන් පලවා හැර
සුපිපි කුසුම් දාමයකින්
අභිෂේකය උදා කරමු

වන පල වැල නෙලා ගෙනත්
මුව මී විත පුරවන්නට
සදා සොඳුරු සුහද ලොවක්
අප වෙනුවෙන් තනා ගනිමු

වෙනසකට ඇත්තේ පෙර ගීතයේ ඇය පළමුව කියන දේ මෙහි දෙවනුව කීමත්, ඔහු දෙවනුව කියූ දේ මෙහි පළමුව කීමත්ය.

එසේ වුව, මේ ගී දෙක අසන්නාට නම් කිසිදු ලෙසකින් සමාන පද මුසු ගීයකැයි නොහැඟේ. එය දැනෙන්නේ කියවන්නාටය. මා මෙහිදී පළමුව අසන්නෙකුද, දෙවනුව කියවන්නෙකුද වූ බැවිනි මට එම සමානත්වය වැටහුනේ.

බණ්ඩාර කේ. විජයතුංග ලියූ මේ ගීතය සංගීතවත් වන්නේ එච්. එම්. ජයවර්ධනයන්ගේ අතිනි. එච්. එම්. ජයවර්ධනයන්ගේ මුදු සුමුදු රස තනු නිර්මාණය සේම නැවුම් සංගීත සංයෝජනයද අර ගීතයෙන් මේ ගීතය දෙවෙනි නොකොට තබයි.

ඊ ළඟ කරුණ වන්නේ මෙහි සුවිසෙස් ගැයුමයි. අර ගීතයේ දැවැන්ත සුනිල් එදිරිසිංහයන් හා මෙහි තරගයක් ඇතැයි අප සැලකුවහොත් තරග වදින්නේ ඇනස්ලි නානායක්කාරය. ප්‍රවීනත්වයෙන් සැලකූ විට ඔහු සැබෑ ප්‍රවීනයෙක් වුව, ඔහු සුනිල් එදිරිසිංහ නාමය හමුවේ එතරම් නම් නොදරන්නෙකු වන්නේ ඔහුගේත් අපගේත් අවාසනාවටය. එසේ නොවුණේ නම්, අප අද වැඩියෙන් කතා කරන්නට පෙළඹෙන ගායකයින් අතර ඔහුද ඉන්නට ඉඩ තිබිණැයි මගේ පුංචි චෛතසිකයට නිරන්තරයෙන් හැඟෙන හෙයිනි. ගායිකාව වශයෙන් විශාරද මාලනී බුලත්සිංහල සිය හඬින් මේ ගීය හැඩ කරන්නේ අති සුන්දර යුග ගී ගණනක සිය හිමිකාරිත්වය තුළ මෙවන් සුන්දර ගීයක්ද ඇතැයි අපට කියන්නාක් සේය.

ඉතින් ළබැඳියනි අප එහි සම්පූර්ණ පදවැලට දෙනෙත් යොමුකොට අවසන, ගීතයට සවන් යොමු කරමු.

ලපලු ලතා මණ්ඩපයේ
කඳු යායේ සෙවනැල්ලේ
ලොවේ උකුසු දෙනෙත් වලින්
සැගවී ගමු කුමරියනේ

මිහිදුම් සළු සේද සේල
කොපුලු තලාවෙහි දවටා
අපේ සිඟිති සිහින සිතුම්
සපුරා ගමු කුමරුවනේ


වසන්තයේ එක් සිහිනෙක
ඔබ මා හා අතිනත් ගෙන
අනන්තයට පාවී ගිය
අයුරු අද ද සිත්හි නැඟේ

ගලා හැලෙන පෙණ බුබුලේ
මුවග සිඹින නලරැල්ලේ
ඒ සිහිනය සැබෑ ලොවේ
ආදරයක් බවට හැරේ

වන වදුලේ රජ දහනේ
පෙම් රකුසන් පලවා හැර
සුපිපි කුසුම් දාමයකින්
අභිෂේකය උදා කරමු

වන පල වැල නෙලා ගෙනත්
මුව මී විත පුරවන්නට
සදා සොඳුරු සුහද ලොවක්
අප වෙනුවෙන් තනා ගනිමු

මතු දැක්වෙන දිගුව ඔස්සේ ගිය විට ඔබට මේ සොඳුරු ගීය හමුවනු ඇත. මේ හඬ පටය බොහෝ පැරණිය. එහෙත්, එය ම මෙහි අමුණන්නේ ඉන් පසුව හමුවන කිසිදු හඬ පටයක මේ සොඳුරු බව සොයා ගත නොහැකි බැවිනි.







-      යසනාත් ධම්මික බණ්ඩාර    -

1 comment:

  1. හැමදාමත් වගෙ ඉතාම රසවත් සටහනක් යසනාත්...ඉහළ ඉඳල පහළට ගීත සියල්ලම රසවින්දා අද මේ නිවාඩු දවසෙ..ඔබට බොහෝසේ ස්තූතියි..:)

    ReplyDelete