පසුගිය සටහනින් පොරොන්දු වූ පරිදි අද ලියන්නේ ද බණ්ඩාර ගැනය. නැත. බණ්ඩාර
ගේ ගී ගැනය.
මේ බණ්ඩාර කවුරුන්දැයි
ඔබට මතක ඇත. පෙර සටහන නොකියවූ කෙනෙක් වේ නම් ඒ පැත්තට ගොඩ වී ආවොත් මැනැවැයි සිතේ.
පහතින් එහි පිවිසුම සඳහන් කරණුයේ එබැවිනි.
මේ බණාඩාර ගේ සැබෑ
නාමය වන්නේ සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග
යන්නය. එය පසුව බණ්ඩාර කේ. විජයතුංග ලෙසින් කෙටි කොට ගත්තේ ඒ දිගු නම ය. බණ්ඩාර කේ. විජයතුංග, බණ්ඩාර විජයතුංග, ආනන්ද කේ. විජයතුංග ආදී නම් වලින්ද තමන්ව හඳුන්වා
ඇත. එබැවින් ඔහු ලියූ සමහර ගී ඉදිරියේ, මේ නම් භාවිතා වන අවස්ථා මා දැක ඇත.
1939 ජනවාරි 28 දින ඔහු උපත ලද්දේ විජේතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩා විජේතුංග සහ හේරත් මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ හේරත් යන මවු පිය
දෙපළට දාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වෑ උඩ කෝරළයේ,
පල්ලේගම, වැලිගන්වත්තේදීය.
මූලික අධ්‍යාපනය බදුල්ලේ
සාන්ත බීඩ් විද්‍යාලයෙන් ලද ඔහු අනතුරුව පිවිසියේ කොළඹ
ආනන්ද විද්‍යාලයටය. ආනන්දය බණ්ඩාර විද්‍යා විෂයයන්ට දක්ෂ සිසුවෙකු කළා සේම බණ්ඩාර සතුව තිබූ විවිධ කලා හැකියාවන්ද ඔප මට්ටම්
කළේය.
තෝරා ගැනීම බණ්ඩාර සතු අයිතියක් විය. විද්‍යා
විෂයයන් ඔස්සේ මතු නොව කලා විෂයයන් ඔස්සේ හෝ සෛද්ධාන්තික ඉහළ අධ්‍යාපනයකට යොමු
වෙනවාට වඩා, විවිධ කලා ක්ෂේත්‍රයන්හි විවිධ භූමිකා නියෝජනය කරමින් කලා කෙත සිය ප්‍රායෝගිකත්වයේ
සරසවිය කරගන්නටය ඔහු තිරණය කරුණු ලබන්නේ. එතැන් සිටය ඔහු ඒ විවිධ භූමිකාවන්ට පණ
දෙන්නේ.
ඔහුගේ ඉහළම ප්‍රතිභානය පෙන්වන්නේ කවරෙකු විලසින්ද යන්න
මට තවමත් ගැටළුවකි. ඒ නිවේදක වෘත්තියෙන්ද? ප්‍රචාරක වෘත්තියෙන්ද? නැති නම් ගීත
රචකයෙකු විලසින්ද? වඩා වටින්නේ කුමකින් වුවද, මට ඔහු වඩා දැනෙන්නේ ගීත රචකයෙකු
විලසිනි.
බණ්ඩාර කේ. විජයතුංගයන්ගේ ගීත ගැන කතා කිරීමේදී ඒවා තුළ හඳුනා ගත හැකි යම්
යම් විෂය ධාරාවන් වෙයි. ප්‍රේමය පිළිබඳ සරල සුන්දර දැක්ම, එහිම ගැඹුරු දැක්ම සහ ප්‍රේමයේ
ඵල නෙළන කල දැනෙන එහි මිහිර මතු නොව තිත්ත, ඇඹුුල ආදිය ගැන ගැඹුරින් දුටු අයුරද
හඳුනා ගත හැකි වෙයි. දැන් වෑයම ඒ අවස්ථාවන් සනිටුහන් වන ගී විමසීමයි.
කෙසේ වෙතත්, ඔහුගේ ගී පද රචනා විමිසීමේදී අපට වඩාත්
හඳුනා ගත හැක්කේ මා ඉහත සුළු බෙදුම් අතරින් අවසනටම පැවසූ ප්‍රේමයේ ඵල නෙළන කල
දැනෙන එහි මිහිර මතු නොව තිත්ත, ඇඹුුල ආදිය ගැන ගැඹුරින් දුටු අයුර සඳහන් වන ගීතයන්ය.
එහෙත් ඊට පෙර එහිම වෙනත් ස්වරූපයන් ඔහුගේ පන්හිඳෙන් ලියැවුණු අයුරු බලා සිටිමු.
මහද පෙව් විලේ - නිබඳ නුරා රැගුම් රඟා
සුසුම් රැළි නඟාලා - පොපියන පියුම් පිය
ලඳේ
මෙය විසල් ගීතයකි. එය විසල් වන්නේ වදන් වලින් නොව්.
විශේෂයෙන්ම එහි තනුව සහ ගැයුම හේතුවෙනි. එ් පිළිබඳව සංගීතඥයා සහ ගායකයා වෙසෙසින්
පැසසිය යුතුම ය.
එයින් අදහස් කරණුයේ රචකයා පැසසිය යුතු නොවේ යන්නද? කිසි
සේත්ම නැත. මෙහි සරල ආර දකින්නේ වදන් වෙනම ගත් කල ය. ගීතය තුළ රැඳෙද්දී එහි සරල බව
ප්‍රකට නොවේ. මේ විසල් තනුව ඉල්ලන්නේ ඒ ඔහු ලියූ වදන් රටාවෙනි. එබැවින් රචකයා කිසි
සේත් දෙවෙනි තැනට ඇද දැමිය නොහැකි වෙයි.
සසර සැරි සරා - යුගෙන් යුගේ උපත් ලබා
නිතොර ඔබ පතාලා - දෙව් දුනු දෙබැම ඔබ නැගේ
ගීතය ලියැවුණු රටාව සරල වුව, එය හදිසියේ දැක හදිසියේ
බැඳි පෙමක් ගැන නම් නොවේ. සංසාරය පුරා සරමින්, සරනතර හමුවෙමින් බැඳුනු එකකි එය.
නයන යුග ඔබේ - දිළෙන මැණික් විලස දිසේ
නළල් සඳ නවාලා - දෙව් දුනු දෙබැම ඔප නැගේ
ආදරියක වනන මේ වදන්, යෙදුම් සරල මුත් ව්‍යක්තය. රසය.
අපුලක් ගෙන නොදෙයි. ඒ වදන්, යෙදුම් මත උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ශික්ෂණය ලත්
මහාචාර්ය, සංගීත
නිපුන්, සනත් නන්දසිරි
විසින් අතුරා
ඇති සංගීත රටාවන් සිය සංගීත දැණුම තරම් සංකීර්ණ නොවෙයි. එහෙත් එයින්, ගීතය වෙසෙස්,
සුන්දර, සේම මා පෙර කියූ ලෙස විසල් එකක් බවට පත් කරයි. තමන්ම සුන්දර කළ ඒ සංගීත
රටාවන්ට අනුගත වෙන තමන්ගේම හඬ පෞරුෂය එය මහා රසභාවයන් සහිත ගීතයක් බවට පත් කර ඇති
අයුර විශ්මිතය.
ගීතය අසා එහි සොඳුරු බව විඳගන්න.
මේ ගීතයත් සමගම මගේ මතකය කළඹන්නේ බණ්ඩාර කේ. විජයතුංගයන්
ලියූ, මහාචාර්ය, සංගීත
නිපුන්, සනත් නන්දසිරි සංගීතඥයා අතින්
හැඩවුණු තවත් ගීතයක් වෙතය. එම ගීතය ගයා ඇත්තේ ගායන
ශිල්පී,
මහාචාර්ය, සංගීත නිපුන්,
සනත් නන්දසිරි
වීමද විශේෂත්වයකි. විශේෂත්වය වන්නේ ඔහු ගීතය ගැයීම
නොවේ. ඔහුගේ ගැයුමය. ඔහුගේ එම ගැයුම සමහර රසිකයින්ගේ චිත්ත සන්තානය පහුරු ගාන,
පහුරු ගා අතීත මතකස්ථාන මතු කරණ, මතු කර රිදවන, හැඟුම් බර ගීයක් බවට පත් කරයි.
දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනස ට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්
මේ ගීතය අමතක කාටද? මේ ගීතය නොරිසි කාටද? මේ ගීතය අසා
රිදුම් නොදෙන්නේ කාටද?
ඈ තාම වෙන්ව ගොස් නැත. එහෙත් ඈ වෙන් වන්නට ඔන්න මෙන්න බව
ඔහු වටහාගෙන සිටී. ඈ දිනෙන් දින, ටිකින් ටික ඔහුගෙන් දුරස් වෙයි.
සැනෙන් දුරස් නොවී, ටිකෙන් ටික දුරස් වන්නේ ඇයිද යන්න
විමසා බැලීම වටී. ඔහු පෙම අනවැසි වුව ඇයට, ඈ පෙම ඔහුට කොතෙක් අවැසිව තිබුණේද යන්න
ඈ දන්නා නිසා විය හැකිය. මේ සිතුවිලි සමුදාය වචන වලින් මනාව ගොනු කොට ඇත්තා සේම
රිද්ම තුළින් ස්වර තුළින් තවත් මනාකොට නිමවන්නට සංගීතඥයා දරා ඇත්තේ කිනම් වෑයමක්ද?
ඒ ගැන මා දෙන පිලිතුරට වඩා එතුමන්ගේම අදහස් පළ කිරීම වඩා සුදුසු යැයි හඟිමි. එහෙත්
ඊට පෙර එහි ඉතිරි පද මෙතැන අමුණමි.
රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්...
මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්...
ඔබේ හසරැල් සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන
දිනෙන් දින ඔබ මා වෙතින්...
ආදරයේ විරහව ඉතා දැඩිව දනවන මේ පදමාලාව
මගේ හිත සසල කළ එකක්. ඒ මගෙත් තරුණ කාලයේ මේ ආදරයේ වියෝගය හොඳින් අත්විඳලා තිබුණු
නිසා. ඉතින් මේ පදවැල අතට ගත්තම මගේ හදවතට හොඳින් දැනුණා.
මේ ගීතය මටම ලීවාදෝ කියලත් විටෙක සිතුණා.
රචකයාත් මාත් හොඳ සමීප මිතුරන්. ඒ නිසා ගී පබැඳුමත් මට මිතුරෙක් වගේ වුණා. මගේ
හදවතට සමීපව පැවැති විරහව, ඒ සංවේදනාව ඇසුරු කරමින්ම මා ඊට ඉතා
ගැඹුරු මිහිරි තනුවක් යෙදුවා.
මගේ ගීතවලට ඒ කාලේ හොඳ රසික පිරිසක්
හිටියා. අදත් මේ වගේ ගීත ශ‍්‍රාවකයන් අතර රැඳෙන්නෙ එවන් බුද්ධිමත් රසික පිරිසක් ඒ
කාලෙ සිටිය නිසයි. අද වගේ යුගයක මේ ගීතය ගැයුවා නම් උසස් ශ‍්‍රාවක ප‍්‍රතිචාරයක්
ඊට ලැබෙන්නේ නැහැ.
‘දිනෙන් දින ඔබ මා වෙතින්’ වැනි ගීත අප
කෙරෙන් නිර්මාණය වුණේ සිංහල සංගීතයේ හොඳ යුගයකයි.
මේ ගීතයෙ තනුවට සංගීත කොටස් තුනක් මා
යෙදුවා. ස්ථායි කොටසට එක තනුවක්. අන්තරා කොටස්වලට තනු වෙනස් විදිහටයි මා යෙදුවේ.
මා ඒ විදියට නිර්මාණයක් කළේ මෙහි එන අදහසට අනුවයි.
‘රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ” කියන ගී කොටසේ
තාලය එකක්. අනික් අන්තරා කොටස් ගැයෙන්නේ ඊට වෙනස් තනුවලට. සමස්ත ගීතයේම ස්වර රචනාව
දෙස බැලීමේ දී “ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ” රාගයේ ඡායාව ගීතය පුරාම විසිර ඇති
අයුරු දක්නට ලැබෙනවා.
විශේෂයෙන් දිනෙන් දින මා ඔබ වෙතින්
යනුවෙන් ගැයෙන ස්ථායි කොටසේ අල්ප වශයෙන් ශුද්ධ ගාන්ධාරය යෙදී තිබෙනවා. ගීතයේ දෙවන
අන්තරා කොටස වන “මලානික හදවිලේ ඉවුරේ” යන පද සලකා බලන විට එහි කෝමල රිෂභයේ ප‍්‍රයෝගය
ද සිදුවී තිබෙනවා. එහෙයින් සුළු වශයෙන් ‘අහීර් භෛරව‘ රාගයේ ඡායාව ද දකින්නට
පුළුවන්. එහිම ‘මිලින කුසුමක’ යන පදවල ස්වර රචනයෙහි ‘භෛරව රාගයේ ඡායාව ද මතු
වෙනවා.
මෙලෙසින් බලන කල මේ ගීතයේ ගායනාව හා
සංගීතය රාග කීපයක සංකලනයෙන් යුක්තයි. එහෙත් සමස්ත ගීතය ඇසුරේ වඩාත්ම උද්දීපනය
වන්නේ පෙර කී පරිදි ‘ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ රාගය බව කිය යුතුයි.
මේ සියලු ප‍්‍රයෝග මා මීට ඇතුළු කළේ ගීතයේ
පද රචනාවෙන් මතුවන විරහව හොඳින් උද්දීපනය කොට දක්වන්නයි.
එමෙන්ම සංගීත භාණ්ඩ මා යොදා ගත්තේ ද ඒ
අනුවයි. විශේෂයෙන්ම සිතාරය මෙහිදී උපයෝගී කරගෙන තියෙනවා. අතුරු සංගීත ඛණ්ඩවලින් ද
වැඩියෙන් මතු කළේ විරහ වේදනාවේ අයුර දනවන ස්වර සංයුතියක්.
-
මහාචාර්ය, සංගීත නිපුන්, සනත්
නන්දසිරි ගේ අදහසකි. - -
මෙවන් අදහසකින් අනතුරුව ඒ ගීතය ගැන තවත් වදන් ඇමිණීම
මවිසින් නොකටයුත්තකැයි සිතන බැවින් ගීතය ඇසීම මැනැවැයි සිතමි.
මේ අතර යළිත් සිහියට නැඟෙන්නේ අර දෙදෙනාගේම ගීයකි. ඒ
කියන්නේ බණ්ඩාර කේ විජයතුංග ලියූ සනත් නන්දසිරි සංගීතඥයාගේ සංගීතයට, සනත් නන්දසිරි ගායකයා විසින් ගැයූ ගීයකි. එයද හරිම
සුන්දර ගීයකි. ඒ මෙතෙකැයි කිව නොහැක්කේ අද එය අසන විට නොවේ. එදා අප එය ඇසූ විට
දැනුනු දේ යළි මතකයට නැඟෙන විටය.
කිසිවක් නොකියන කිසිවක් නොඅසන
මුනිවත රකිනා ළඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළු ලාගෙන හිදිනු එපා
බණ්ඩාර කේ. විජයතුංග ගේ බොහෝ ගීතයන්හි, ප්‍රේමයෙහි සහ යුග දිවියෙහි ඇති වන
විවිධ හැල හැප්පීම් අඩංගුව ඇත. මෙහි ඇත්තේ එවන් යම් හැල හැප්පීමක් පිළිබඳව ප්‍රේමයෙන්
බැඳුනු දෙදෙනෙකු අතර වන කතා බහකි. ඇත්තටම කතා බහක්ම නොවේ. විමසුමකි. එසේ කියනුයේ,
ඈ මුනිවත රකින බව ගීයෙහිම කියන බැවිනි. ඇය මුනිවත රකින්නේ කුමක් නිසාද? යම්
කල්පිතයකින් ගොඩ ඒමට ඈ තනිව උත්සාහ කරණ බැවිනි. එහෙත් සමහර ගැටළු ඈට එලෙස තනිව
විසඳා ගැන්මට බැරි වග ඔහු දනී. මුවගුළු ලා ගෙන හිඳුනු එපා යැයි පවසන්නේ එබැවිනි.
කියා ගන්න බැරි දහසක් දේ ඇත ජීවිතයට
සිතාගන්න බැරි දහසක් දේ ඇත ඔබ අප වට
ඉඳුනිල් ලෙලැසිය
ඔබේ සිතත් - මගේ සිතත්
දෙකම එකක් කළ අපට රහස් නැත
මුවඟුළු ලාගෙන හිඳිනු එපා
මෙහි අරුත් ලිහා ලියන්නට දෙයක් නැත. ලියා ඇත්තේම අරුත
ලිහාය. එහෙත් ඒ ගැන කීමට වෙනත් දෙයක් ඇත.
මේ ගීතයේ එන
ඔබේ සිතත් - මගේ සිතත්
දෙකම එකක් කළ අපට රහස් නැත
මුවඟුළු ලාගෙන හිඳිනු එපා
යන කොටස දොඩන්න දහසක් දේ ඇතිව කිසිවක් නොදොඩන කුමාරියකට
පෙම් බැඳි ප්‍රේමවන්තයෙකුගේ චිත්ත සන්තානයේ ඇති චංචල බව පෙන්වන අවස්ථාවකි. මේ චංචල
බව විඳි අයෙකුට එය වඩාත් දැනෙනු නිසැක බව මට සහතික ය.
තනි වුණු මොහොතක කුණාටුවක් මැද සාගරයක
එක් වුණු මොහොතක තරු වියනක් යට මල් යායක
එනමුදු කුමුදුනියේ
ඔබේ සිතත් - මගේ සිතත්
දෙකම එකක් කළ අපට රහස් නැත
මුවඟුළු ලාගෙන හිඳිනු එපා
ඈට මුවඟුළු ලාගෙන හිඳින්නට ඉඩ දී. අපි, ඈට මුවගුළු ලාගෙන
නොසිටින ලෙස අයදින ගීතය අසමු.
බණ්ඩාර කේ. විජයතුංග ගී මතකය තුළ යළි කිමිදෙන්නට, යළිත් එන තෙක්,
-
- යසනාත් ධම්මික බණ්ඩාර
-
අපූරුයි යසනාත්....ඔබට බොහොමත්ම ස්තූතියි…
ReplyDelete"සඟවාගනු ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ... අනිකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි මා හද බියවී සැලී සැලී යයි"
"සඟවාගනු ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ... අනිකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි මා හද බියවී සැලී සැලී යයි"
Deleteඒවාත් ඉදිරියට හමු වේවි.
බන්ඩාර කේ විජයතුන්ගගේ සින්දු වලින් මම බොහෝම කැමති දෙකක් තමා "කිසිවක් නොකියන" ගීතයත් "මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි" ගීතයත්.
ReplyDeleteමට අනුව නම් ඔහු ඇත්තෙන්ම පුදුම විහිහට හැඟීම් දවන්න හැකියාව තිබුනු ගීත රචකයෙක්
"ඉඳුනිල් ලෙලැසිය" නිතර නොඇසෙන සොඳුරු ඇමතුම්...
ReplyDelete