Saturday, July 25, 2015

සසිරි අසිරි සිරිනී සිරි ළංකා





මෙම ලිපි පෙළෙහි පළමු හා දෙවෙනි කොටස් වෙත පහත දිගුවන් ඔස්සේ පිවිසෙන්න.

ළංකා ළංකා පෙම්බර ළංකා
පිනවමු ඔබ ළංකා
හොබවමු ඔබ ළංකා දිවි දී
සුරකිමු ඔබ ළංකා

බලිතරු රාවන ගැමුණු විජයබා
නිරිඳුන් ලද ළංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු
පඬුවන් ලද ළංකා
විදු සක්විති මහ පැරකුම් කිවිසුරු
කිවියන් ලද ළංකා
ඔබ රැකුණොත් ලෝ කුඹුවද අප හට
සීත ගඟුලි ළංකා

මහවැලි කළු කැළණී වලවේ
අත් හතරක් ඇති ළංකා
සමනොළ කිරිගල් පිදුරුතලා නෙක
කෙහෙ ගැට බැඳි ළංකා
තේ වතු පොල් වතු කෙත් වතු පෙළ
උකුලේ නළවන ළංකා
මුහුදින් අඟලක් ඔබ වැවෙතොත්
එහි පනිමු පනිමු ළංකා

ඔබ හට අතපොවනට උන් මුන් හට
ඉඩ නොතබමු ළංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා
ගොළු මුහුද ගෙවමු ළංකා
ගොඩ දිය අහසේ සැම තැන ඔබගේ
නම කියවමු ළංකා
ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති
සේ සලකමු ළංකා

හෙළ මුතු මිණි වැල් එකට දමාලා
ඔබ සරසමු ළංකා
ගස් වැල් වලැ මල් එකට ගොතාලා
ඔබ පළඳමු ළංකා
රුහුණේ කිරි පැණි එකට අනාලා
ඔබ පිනවමු ළංකා
අවසන ඔබට මැ පොහොර ව මේ කය
මෙහි ම හොවමු ළංකා...

ගීතය අසා යමු.



ජාතික ගීයට පමණක් දෙවෙනි කොට අප ඇසූ ගැයූ වැයූ ගීයකි මේ යැයි කිවහොත් කිසිවෙක් මා හා ඒ පිළිබඳව තර්ක කිරීමට එළඹෙනු නැත.
වැඩි විස්තර නොකියාම ඕනෑම අයෙකුට පහසුවෙන්ම තේරෙන දෙයකි මේ නම් දේශානුරාගය වඩවන ගීයක් බව. දේශානුරාගය වඩන ගී අප එමට අසා ඇත. එහෙත් මෙවන් ගීයක බසෙහි ඇති චමත්කාරය ඒ ඕනෑම ගීයක් හා ගත් විට අද්විතීය බව ද ඔබ පිළිගනු ඇත.
සාමාන්‍ය බස දත් උගත් පමණින්, ගී කව් ලිවීමේ හැකියාව ඇති පමණින්, දේශානුරාගයක් හිත්හි ඇති පමණින් එය මෙවන් බසකින් කවියකින්, ගීයකින් ප්‍රතිනිර්මාණය කළ නොහැක. ඔහු බසෙහි කෙළ පැමිණියෙක් විය යුතුම ය. මේ ගීයෙහි හිමිකරු වන මේ බසෙහි කෙළ පැමිණි කිවිවර කවරහුද? හේ අනෙකෙකු නොව අප අරිසෙන් අහුබුදු ශූරීහු ම වෙත්.

අහුබුදු ශූරීන් ගේ නිර්මාණ පිළිබඳ විමසන්නට නොව හඳුනාගැනීමටත් හැඳින්වීමටත් ගත් දුප්පත් උත්සාහයක තුන්වන සටහන වන මෙහි අමුණන්නට බලාපොරොත්තු වන ගීත තුන හතරෙහි යම් සාම්‍යයක් සොයමි. ඒ එම ගී වල ඇති දෙස බස රැසට ඇති නැමියාව ලෙස ඔබ හඳුනාගන්නේ නම් වඩා නිවැරදි ය.
ළංකා ළංකා වැනි ගීයක් අරඹුමේදී ම ඉදිරිපත් කිරීමේන් අනතුරුව ඉදිරිපත් වන ඊ ළඟ ගී මේ මට්ටමට තැබිය හැකි දැයි ඔබ සිතනු ඇත. ඔව් ඒ සිතුවිල්ල සාධාරණය. සාමාන්‍යෙයන් ඕනෑම දෙයක උත්කර්ශය අවසානයට තැබීම සිරිත ය. අහුබුදුවන් විෂයයෙහි වුව එය සාධාරණය. මේ ගීයට සම මට්ටමේ  තැබීමට හෝ ඊටත් එහා ගිය ගීයක් ලිවීමට උසස් ම ගීත රචකයෙකුට වුව අවස්ථාවක් ලැබේවිද?
මේ කරුණ විමසා බැලීම වටී.

දකුණු නැගෙනහිර බටහිර උතුර ද
එක කොඩියේ සෙවනේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරට ම යමු ළංකා - ළංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස් මවමින් මුළු ලෝ

මේ ද පෙර කී ගුණයන් දක්වන ගීයකි. පෙර කී කුලකයට ම ඇතුළත් ගීතයකි. එසේම එදා සිට අද දක්වාම එක සේ පතළ ගීතයකි.
සුනිල් ශාන්තයන්ගේ සංගීතයට සුනිල් ශාන්තයන් ම ගැයූ ගීතය වර්තමානයේදී ගයනුයේ අයිවර් ඩෙනිස් ගායන ශිල්පියා විසිනි. මේ ගීතයේ රචකයා ද අරිසෙන් අහුබුදු ශූරීහු ම ය.


හේ සිය සුමට සොඳුරු හෙළ වදනින් මවන අපූර්වත්වය අරුමයකි.

කන්දට කෙන්දට කොන්දට හුරු වී
වන් වන් අතැ සුරු වී
විපත පවා සැපතට හරවාලා
පෙරට මැ යමු ළංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස් මවමින් මුළු ලෝ

මේ ගීයේ දී ඇත්තේ දෙස බස රැස වැණුම පමණක් නොවේ. දස්කම් විස්කම් ඇති වැස්සන්ට ළෝ දනා ඉදිරියේ ඒ දස්කම් විස්කම් පානා ලෙස කෙරෙන පෙළඹවීමක්ද වන්නේ ය.
සියල්ල සෑම විටම යහපත් ලෙසම සිදුවෙතැයි සිතමින් අතිශයෝක්තිය මත පදනම්වැ ලිවීමක් අහුබුදුවන් තුළ නැතැ.

වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු
නැගැ නැගැ යමු දියුණේ
බාදාවලටද බාදා ගෙන දී
පෙරට මැ යමු ළංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස් මවමින් මුළු ලෝ

ඔහු වැටෙන්නට ඇති ඉඩ ද දකී. වැටුණද නැගිටින්නට ඇති හැකියාව ද එසැනින් ම දකී. වැටුණොත් නැගිටින්නට කෙරෙන දිරිමත් කිරීම ද එහි මැ ගැබ් කරයි.
වැටී නැගිටිය ද නැවත නැවත වැටෙමින් නැගිටිය ද දියුණුවේ හිනි පෙත්තට මැ යාමට ය ඔහු පැතුම. ඒ ගමන කුමන අයුරක එකක් ද යත් එළඹෙන බාදක වලට ද බාදා ගෙන දෙමින් යන ගමනක් විය යුතුය.
උරුමයෙන්ම ඒ සඳහා මාර්ගයක් අප හට ඇති බව ඔහු මතක් කර දෙයි. ඒ කුමන මගද? ආදි විරුවන් ගත් මගයි. බලන්න මතු දැක්වෙන කොටසෙහි එය ලියැවී ඇති අපූරුව.

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරට මැ යමු ළංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස් මවමින් මුළු ලෝ

දකුණු නැගෙනහිර බටහිර උතුර ද ගීතය අසමු.


අපි ලංකා යැයි ලිව්වද මේ ගීත වල දී අහුබුදුවන් ලියා ඇත්තේ ළංකා යනුවෙනි. එය ඔහුගේ ගීත කිහිපයකදීම දැකිය හැකි වෙයි. මේ අනුව අප ලංකා යැයි ලිවීමෙහි යම් ගැටළුවක් ඇද්දැයි විමසීමද වටිණා දෙයකි. සුදුසු දැනුමැත්තෙක් මේ ගැන අප දැනුවත් කරත්වා.

ඉරු දෙවියන්නේ නෑයෝ
සඳ දෙවියන්නේ නෑයෝ
ආදි අපේ මුතු මිත්තෝ
ඉරෙන් හඳෙන් වැඩගත්තෝ...

හිරුට කළින් පිබිදී ගොවිපළට ඇදෙන සිංහළයෝ
හිරුට පසුවැ කුඹුරෙන් ගොඩ වී ගෙට එන සිංහළයෝ
හඳපානේ රෑ තිස්සේ කමතේ වැඩ සිංහළයෝ

පායන හිරු සමග ගඟට නාන්න යනවා
මුහුදේ හිරු නාන කලට ඇඟ සෝදනවා

හිරු එළියේ වෙල් එළියේ රණ කෙළියේ සිංහළයෝ
සඳ එළියේ සිල් සෙවනේ බණ මඩුවේ සිංහළයෝ
හිර පානේ සිළට ඇඟේඩා දිය දුන් සිංහළයෝ
හඳ පානේ තෙලට නිවන් අරමුණු කළ සිහළයෝ....

මේ ගීතය වැනි ගීතයක් ඔබට මතක ඇතැයි සිතමි. එය නන්දා මාලිනියගේ ගීතයක් බවද ඔබට මතක ඇතැයි  සිතමි. 

මේ ගීතය වැනි ගීතයකැයි කිව්වේ එහි පද ද මෙහි පද ද අතර යම් වෙනස් කම් සහිත වන බැවිනි. එමෙන් ම යම් සමාන කම් ඇති වගද කිව යුතුයි.
එහි පද විමසා බලමු.

ඉරු දෙවියන්නේ නෑයෝ
සඳ දෙවියන්නේ නෑයෝ
ආදි අපේ මුතු මිත්තෝ
ඉරෙන් හඳෙන් වැඩගත්තෝ...

හිරුට හොරා පිබිදී ගොවිපළට ඇදෙනවා
සඳුට සිනා සී කුඹුරෙන් ගොඩ වී එනවා
පායන හිරු සමග ගඟට බැස සැරසෙනවා
මුහුදේ හිරු නාන කලට ඇඟ සෝදනවා


හිරු එළියේ රණ කෙළියේ සවිය බලනවා
සඳ එළියේ බණ මඩුවේ බවුන් වඩනවා
හිර පානේ සිළට ඇඟේ ඩා දිය දෙනවා
හඳ පානේ තෙලට නිවන් අරමුණු වෙනවා

පළමු ගීය ම නොවන, එය නොවන්නේත් නොවන, මේ දෙවන ගීතය යම් දෙයක් පැහැදිලි කිරීම සදහා හොඳම නිදසුනක් වේ. ඒ අහවල් දෙයක් පැහැදිලි කිරීම සඳහාද?
අනවශ්‍ය පමණට දික් වූ ගීත රචනයක් සංක්ෂිප්ත කිරීමේ ලා විශේෂඥ උපදෙසක් වැනි නිදසුනකි එය. එම සංක්ෂිප්ත ගීය පළමු ගීයට වඩා මොන තරම් වියත් බවක් පෙන්වන්නේ දැයි ඔබට වැටහෙනු ඇත. ප්‍රවීනම රචකයින්ට වුව තම උපරිම මට්ටමට වඩා යම් අඩු මට්ටමක ගී ලියවෙන අවස්ථා නැතිවා නොවේ. එහෙත් ඔහු එම නිර්මාණය නැවත නැවත සැකසීමෙන් තමන්ගේ ප්‍රමිතියට ඔසවා තබනු ලබයි. මේ ගීත රචනා දෙක දෙස් දෙන්නේ ඒ පිළිබඳවයි.
මේ ගීතයේ රචනය පැදි ගුණය වඩාත් දක්වන්නක් බව පැහැදිලි ය. එමෙන්ම එය ජන ගී ජන, කවි ආරට සමීපව ලියැවී ඇති වගද පැහැදිලිය. මේ නිසා නන්දා මාලිනියට සිය සංගීත නිර්මාණයේදී ජන නාද රටාවන්ගෙන් වැඩි දායකත්වයක් ගන්නට නිරායාසයෙන් ම යොමු වන්නට සිදු වෙයි. ඒ සඳහා යොදා ගන්නා සංගීත උපකරණද දේශීයත්වය, ගැමි ඌරුව රැකෙන ඒවා වෙයි.

ඉරු දෙවියන්නේ නෑයෝ ගීතය අසමු.


ආචාර්ය වික්ටර් රත්නායක ගායන ශිල්පියා විසින් සිය පළමු ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ගැයූ ගීයක් මෙහිදී මට මතක් වෙයි. ඒ ගීතය ට මධුර තනු සහ සංගීත රචනාවක් කළේ ආචාර්ය වික්ටර් රත්නායක නම් සංගීතඥයා විසිනි. 

ඒ මතක් වීමත් සමගම මනසට නැගෙන තවත් කරුණක් වෙයි. සිය පළමු වැඩසටහනට ගී ගයන ගායකයෙකුට මෙවන් ගීයක් ලැබෙන්නට ඔහු මොන තරම් භාග්‍යමත් ද යන්න. එය එසේ මෙසේ භාග්‍යයක් නොවේ. එම ගීයද අපට ගොනු කළ හැක්කේ අප දෙස බස රැස වණන ගී ආරට ය. එහෙත් එහි ඇති සුවිශේෂත්වය නම් ඒ ආරේ ගී නිර්මාණයක් පමණක් ම නොවී එය මධුර තනුවකින් සහ සංගීත රචනයකින් ද යුක්ත වීම ය. මධුර තනු ස්වර රචන ගැන කතා කළ ද එහි පද රචනය ඇත්තේ කුමන තැනකද? එය ඇත්තේ එවන් පද රචනයකට ලබා දිය හැකි උපරිම ඉහළ තැන ය. මේ බලන්න එහි වචන.

ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ

රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

මාතෘ භූමිය කියම් ද පීතෘ භූමිය කියම් දැයි නොදනිමි. කුමන බිමක් වුව එය උත්තම බිමකි.
උත්තම බිමක වැණුම උත්තම වන්නේ උත්තම ගණයේ වදන්, යෙදුම්, රූපකාලංකෘත හා බැඳුනොත් පමණි. බලන්න මේ උතුම් බිම් වැණුම එසේ නොවන්නේ ද කියා. එහි යෙදී ඇති පෙර කී වදන්, යෙදුම්, රූපකාලංකෘත සියල්ල උත්තම ගණයේ ඒවා වෙයි. එවන් පෙළහරක් පෑ හැක්කේ දේශානුරාගයෙන් ඔද වැටුණු කවි කමෙන් ඔප වැටුණු උත්තම ගණයේ කවියෙකුට පමණි. මෙම ගීතය රචනා කළ එම උත්තම ගණයේ කවියා නැවත වරක් අප අරිසෙන් අහුබුදු ශූරීහු ම වීම මොන තරම් නම් අරුමයක්ද?

වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු …//
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

අහුබුදුවන්ගේ සමහර යෙදුම් කොතරම් සුමට දැයි දැනවීමට මේ කොටස පමණක් වුව සෑහේ යැයි සිතමි.
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු
මේ අදහස දීමට වෙනත් ගීත රචකයෙකුට නම් මොන තරම් වෙරක් දැරීමට සිදුවනු ඇතිද? එහෙත් කෙටූ කැටයම් ගලට ලෙනට එළියක් දේය යන්න කියූ පමණින් එය මොන තරම් පහසුවෙන් කියැවී ඇතිද? මේ ගී එක හුස්මටම ලියැවෙන්නට ඇතැයි ගීයක් දෙකක් කුරුටු ගා සුළු අත්දැකීමක් ඇති මට සිතේ. එසේ නොවුනා නම් වන්නේ ගීය ලියා නිම කිරීමට ගත් වැර වෑයම අවියත් වචන හරඹයක් තුළ දිස් වීමයි.
මහා ගීත රචකයින්ගේ පවා සමහර ගී වල මේ එක හුස්මට බාගයක් ලියැවී ඉතිරි කොටස රෙඹ දා ලියූ ලකුණු අපට හඳුනාගත හැකි වෙයි.

රවුලු ගැමුණු පඬු අබා කසුපු විජයබා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා …
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා

එපමණක් නොවේ. අප රාජ වංශයේ වෙසෙස් නියෝජනයක් දක්වනු පිණිස යම් යම් රජවරුන්ගේ නාමයන් රැසක් ගීතය තුළ හැඳින්වීමට අහුබුදුවන්ට අවශ්‍ය වූ විට ඒ නම් රැස ම එක ම එක පේළියකට ගෙන ඒම සඳහා ඔහු පා ඇති වික්‍රමය බලන්න.

රවුලු ගැමුණු පඬු අබා කසුපු විජයබා...

මේ ගීත රචකයෙකු වශයෙන් ඔහු පෑ අසිරිමත් සමත්කම් ය.


අරිසෙන් අහුබුදුවන් ගේ දෙස බස රැස ට නැමුණු ගී ආර නිමවන්නට පෙර මවිසින් සැපයූ මේ නිදසුන් ගී සෑහේ යැයි සිතමි. එහෙත් එය නිම කිරීමට පෙර මතු කියවෙන ගීය අතහැර දමා යා නොහැක.

සක්විති කිත් රැස යුත් සිරි ළංකා
වික්මැති පුත් පෙළ ලත් සිරි ළංකා
සෙත් සිරි ළංකා
සසිරි අසිරි සිරිනී සිරි ළංකා


මහ සම්මත මනු ලෝ මුල් නිරිඳුන්
රං පරපුර දඹදිවට ද හෙළි දුන්
තෙදණින් කිරණින් පැරැයූ දිනිඳුන්

සසිරි අසිරි සිරිනී සිරි ළංකා
අමල කොමළ ලලනී සිරි ළංකා
මිහිරි රුසිරි කුමරී සිරි ළංකා
                  
රන් ගොයමින පැහැ ගෙනැ බබලන්නී
ගංගා ඇළ දොළ සේල අඳින්නී
සදහම් මිණි කැන් බෙදමින් යන්නී


කඳු බඳු දාගැබ් වළා සිඹින්නී
මූදට නෑ කම් වැවු හඟවන්නේ
මිහිපිට දෙව් ලොව මැනුණා වැන්නේ

අසුර රකුස් යක් නා සිව් හෙළයන් 
එක්සත් වී සුපහළ සිංහළයන්
පෙරැ කළ පින් පල පළ කළ බිම හෙළ

අමළ කොමළ ලලනී සිරි ලංකා
මිහිරි රුසිරි කුමරී සිරි ලංකා  
සසිරි අසිරි සිරිනී සිරි ලංකා.......


අහුබුදුවන් ගේ දේශානුරාගය වඩවන ගී පෙළහර සුවිශේෂයැයි නැවත නැවත කියනුයේ මෙවන් ගී රැස හේතුවෙනි. මේ ගීතය පමණක් ගත් විට වුව එය දෙස් දෙයි.

සක්විති කිත් රැස යුත් සිරි ළංකා
වික්මැති පුත් පෙළ ලත් සිරි ළංකා
සෙත් සිරි ළංකා
සසිරි අසිරි සිරිනී සිරි ළංකා

රටේ ශ්‍රී නාමය වැණුමට මීට වැඩි සොඳුරු වදන් කෙසේ සොයම් ද? සිරි ලංකාව ලොව බබලන්නේ කුමන රැස් වළල්ලකින් වටව ද? සක්විති සේ කීර්ති රශ්මියක් සහිතව ය.
ඒ උතුම් පින් බිම ලද ලොකුම දායාදය කුමක්ද? වික්‍රමාන්විත දරු පරපුරකි. වික්මැති පුත් පෙළ ලත් සිරි ළංකා යැයි කියනුයේ එබැවිනි.
ඔහු එවන් බිමක් වෙනුවෙන් පතන පැතුමට ඈඳුනු මුතු කැට වන් මෙවන් වදන් මොන තරම් මියුරුද?

මේ ගීතයට මධුර තනු නාද රටා සපයන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ය. ඉන් නොනැවතී ඊට සිය හඬින් ජීවයද අලංකාරයද සැපයීමට අමරදේවයන් නොමසුරු වෙයි.



සසිරි අසිරි සිරිනී සිරි ළංකා
අමල කොමළ ලලනී සිරි ළංකා
මිහිරි රුසිරි කුමරී සිරි ළංකා

ගීතයේ මී ළඟට ඉදිරිපත් වන ඛණ්ඩයේ යෙදෙන උපමා උපමේයයන් අදහා ගත හැකි නොහැකි තරම් රමණීයය.

කඳු බඳු දාගැබ් වළා සිඹින්නී
මූදට නෑ කම් වැවු හඟවන්නේ
මිහිපිට දෙව් ලොව මැනුණා වැන්නේ

සක්විති කිත් රැස යුත් සිරි ළංකා ගීතය අසමු.


මේ ගීය තුළ උතුම් බිමක් වැණුමට ඇත්තේ කුමන අඩුවක්ද?මේ ගීයට පෙර ඉදිරිපත් කළ අනෙකුත් ගීතයන්ට එවන් උතුම් බිමක් වැණුමට ඇත්තේ කුමන කුමන අඩු පාඩු ද? එවන් කිසිවක් නැත.
එවන් උතුම් බිමක් වැණුමට මෙවන් උතුම් ගී රැසක් පබැඳි උතුම් කවියෙක් වැණුමට මේ සටහන තරම් වේ ද යන්නය අවසනැ මට පැන නැගෙන ගැටළුව.

උතුම් කිවිවරයාණනි, මගේ ඒ දුප්පත් කමට මට කමා කළ මැනව.
ඔහුගේ තවත් ගී සමග හමුවන තෙක්.
-        යසනාත් ධම්මික බණ්ඩාර   -




6 comments:

  1. වටිනා ඒකතු කිරීමක් යසනාත් සහෝදරයා

    ReplyDelete
  2. හේළි හෙළ හැඟුම්ද ගනිවු
    හේළි හෙළ බසින් සුරැකෙවු
    හේළි හෙළ වතින් සැරසෙවු
    හේළි හෙළ බිමේ... හෙළ බිමේ... හෙළ බිමේ....

    සාරවත් පොළෝ අඟලක්
    නෑර සත් ඵලින් ඵලවත්
    ධීරවත් කරවු නාමෙන්
    හේළි හෙළ බිමේ....

    මේ ගී ටික නොවන්නට සිංහල ගී කෙත, දෙපැත්තෙන් ඇදි සත්ව සමින් ශබ්ද නැගෙනා හිස් බෙරයක් පමණක් වන්නට ඕනෑ තරම් ඉඩ තිබිණ...

    යසනාත් මහත්තයට බොහෝ තුති මේ සටහන් සිංහල අන්තර්ජාල පාඨකයා වෙනුවෙන් තැබුවාට...
    මේ මගේ සම්මාදම..
    http://hadageepotha.blogspot.ae/2013/01/blog-post.html

    ReplyDelete
  3. එවන් වික්මැති ගීත අතරට..
    රැගෙන ගොස් ඔබ අපේ සිතුවිලි..
    පුබුදමින රත් ලේ බිඳෙන් බිඳ..
    අසිරි සිරියෙන් වඩයි ඔද තෙද..!

    ස්තූතියි යසනාත්..!

    ReplyDelete
  4. එවන් වික්මැති ගීත අතරට..
    රැගෙන ගොස් ඔබ අපේ සිතුවිලි..
    පුබුදමින රත් ලේ බිඳෙන් බිඳ..
    අසිරි සිරියෙන් වඩයි ඔද තෙද..!

    ස්තූතියි යසනාත්..!

    ReplyDelete
  5. කුමරතුඟු මුනිදසුන්, රැයිපියෙල් තෙන්නකෝනුන් වැන්නන් විසින් බිහිකළ හෙළ හවුලේ දෙවෙනි පරම්පරාව නියෝජනය කරන අලව්ඉසි සැබිහෙළ, ඊලියන් සිල්වා, වෙ.වි. අබාගුණවඩු වැන්නන් අතරින් වඩාත් ජනහද දිනා ගත්තේ අරිසෙන් අහුබුදු හෙවත් ආරියසේන ආශුබෝධ මහතා බව රහසක් නොවෙයි. සිංහල ජාතියේ ඉතිහාසය මහාවංශය දක්වන ලිඛිත ඉතිහාසයෙන් එහාට දිව යන බව පර්යේෂණාත්මක ලෙස හැදෑරීම් කළ හෙළ හවුලේ සමාජිකයෝ සිංහල භාෂාව ට නවමු රීතීන් හඳුන්වා දුන්හ..නව වදන් නිපදවූහ..එයින් සමහරක් වචන වත්මනෙහි පවා භාවිත වන අතර සමහර වචන උපහාසයෙන් බැහැර කරනු ලදහ. ඉංග්‍රීසි භාෂාවේ වචන සඳහා නිපදවූ බොහෝ වචන වලට වඩා ඉංග්‍රීසි වචනම භාවිතයට ගැනෙත්. Television - තෙලදසුන, Computer - පිරිගිණිය, Earphone - කන් බනුව, Ticket - ටිකිත්ත (වරක් මුනිදසුන් " මට ගොරකාන ට ටිකිත්තක් දෙන්නැයි කියූ විට ටිකට් කඩන්නා අන්දමන්ද වූ බව කියැවෙයි.) Director- අදියුරු වැනි වචන උදාහරණ ලෙස සැපයිය හැකි ය.
    මෙම හෙළ හවුලේ සාමාජිකයෝ පොදුවේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිනම් අනාදිමත් කලක පටන් පවතින සිංහල (සිව්හෙළ) සංස්කෘතියක් ගැන කතා කළහ. දේශීයත්වය, දේශප්‍රේමය, අතීත විරුවන්ගේ වීරත්වය, රණකාමීත්වය ආදිය තම ලියවිලි හරහා බහුල ලෙස විද්‍යාමාන කළෝ ය..එවැනි සමාගමය ක ඇසුර ලැබූ අහුබුදුවන් ගේ නිර්මාණ තුළ ද මෙම ලක්ෂණ නො අඩුව දිස්වන බව පෙනෙයි. එ් සඳහා ඔහුට දාර්ශනික සහ මතවාදීමය වශයෙන් හෙළ හවුල බලපෑ බව හැමෝ ම දන්නා කරුණකි..ඉතින් එවැනි මහා ලේඛකයෙකු ගේ ලියැවිලි අදටත් අප ට ගුරුකොට ගත හැකි මහඟු මිණිකැට මෙනි..
    යසනාත් අයියේ ඔබ පමාවී හෝ අහුබුදුවන් අභිනන්දනය කිරීම ට තෝරා ගැනීම අගය කළ යුතුයි..තවත් එක් කරුණක් පැවසීමට අවශ්‍යයි. අර අහුබුදුවන් ලංකා වෙනුවට ළංකා යෙදීම සම්බන්ධ ම‍ගේ සිංහල දැනුම අනුව අදහස මෙකයි..'ළ' යන්න බොහෝ විට හෘදය නැතනම් හදවත සම්බන්ධ දේවල් ප්‍රකාශ කිරිමේදි තමයි භාවිතා වෙන්නෙ. උදා. ළසෝ, ළමැද, ළතැවුල්, ළසෝගිනි, ළතෙත්, ළගන්නා වැනි..ඉතින් 'තම මව්බිම තමාගේ හදවත වැනිය' වගේ හෘදය සංවේදි හැඟීමක් කියවන්නා තුළ ජනිත කිරීම ඔහුගේ අරමුණ වෙන්න ඇති..
    අවසාන වශයෙන් දැනට සයිබර් අවකාශයේ ඇති ගීත රසවින්දන පිටු අතරින් ඔබේ පිටුව බොහෝ අයගේ සිත් පැහැරගෙන ඇතිබව රහසක් නොවෙයි. ඉතින් සාහිත්‍ය රසාස්වාදනයක් නැති වෘෂභයන් කුමක් කීවද ඔබේ ගමන දිගට ම යන්න..

    ReplyDelete