Sunday, August 9, 2015

සුදෝ සුදෝ සුදු සඳෙත් කැළැල් නොවැ - සඳවතියේ ඒ ඇයි






සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ ..

සිරි දළදා සමිඳු, ජය සිරි මහා බෝ සමිඳු, සිරි පතුළ ඈ දේශයෙහි උතුම් බොදු පුද බිම් රට රකින මහා පවුරක් සේ අපව සුරක්ෂිත කරතැයි හැඟීමක් හෙළ බොදුනුවන් තුළ පවතී. එය නිකන් ම සිතුවිල්ලකැයි බැහැර කිරීමට නොහැක්කේ රට පත් විවිධ අසීරු අවස්ථාවලදී තීරණාත්මක කඩ ඉ‍මේදී හෝ ඉන් මිදීමට හැකි වූ හෙයිනි. මේ ගීතයට පදනම් වන්නේද එම කරුණම ය.
මෙයට ම හේතු විය හැකි තවත් කරුණක් ද මතකයට නැගෙයි.
පෙර රජ සිරිත් අතරේ, දළදා වහන්සේ ගේ භාරකාරත්වය හිමි අය ට ය නායකත්වයේ කිරුළ හිමිවුණේ යන කරුණයි. දළදා හිමි භාරකාරත්වය දරණ රජ පුතෙකිය රටේ භාරකාරත්වය ද දරන්නේ යන්න ඉතිහාසය පුරා සඳහන් ව ඇත.
මේ කරුණු දෙකම සැලකූ විට,
සිරි දළදා හිමි මෙසිරිලක වැඩ හිඳිනා තුරු හෙළ දෙසටත් හෙළයින්ටත් නොවරදිතැයි යන හැඟීම මත ය මේ ගීතය ලියැවෙන්නේ.
මේ ගීතය ලියනුයේ අනෙකැකු නොව මගේ යසනාත් සිතුවිලි බ්ලොග් අඩවියේ පසුගිය සති කිහිපයක් පුරාවට අප විමසමින් සිටි මහා කිවිවර අරිසෙන් අහුබුදු ශූරීන් විසිනි.
පෙර සටහන් තුන සඳහා පිවිසුම් මං පෙත් පහතින් සඳහන් කරමි. නොකියවූවෙක් වේ නම් එහි පිවිස කියවා මෙහි පෙරට යන්නේ නම් මැනැවැයි සිතේ.



අහුබුදුවන් අති ලියැවුණු දෙස බස රැසට බර ගී මාලාවට මැ අයත් ගීයක් වශයෙන් මෙය ද සැලකිය යුතුය.


ගීතයෙහි සියළු පාද නොවිමසමි. එහෙත් වෙසෙස් පාද ගැනැ සටහන් නොකොටැ බැරිය.

පෝය දාට දළදා සුදු බුදු රැස්‌
රට වට හත් වටයක්‌ යන්නේ
එනිසයි ලක්‌දිව වෙරළේ වැලි කැට
මුතු කැට වාගේ බබළන්නේ

මේ සිරි දළදා සමිඳුන් පිලිබඳව බොදුනුවන් සිතේ ඇති අසීමිත බැඳීම නොවේද?


පෝය දාට දළදා හිමි රැස් දහරක් රට වටා සත් වටයක් යන්නේද නොයන්නේද යන්න සත්‍ය වශයෙන්ම පහදා පිරිසිඳ දැනීමට ඔවනට අවශ්‍ය නොවේ. එසේ සත්‍යය පහදා ගැනීමට අවැසි නොවේ යන්නෙන් ඔවුන් හුදු මිත්‍යාවක එල්බ සිටී යැ යන්නක්ද නොවෙයි. මක් නිසාද යත් එවැන් අදිසි රැකවරණයක් අනිවාර්යයෙන්ම ඇතැයි සිතෙන්නට අවශ්‍ය තරම් දේ අතීතයේ සිට මේ දක්වා අත්දැක අත්විඳ ඇති බැවිනි.
ලක්දිව වටා ම ඇති වෙරළ අති සුන්දර ය යන්න අවිවාදිතය. බොහෝ රටවල් වලට වෙරළවල් හිමි වුවද ඒ සෑම වෙරළක්ම සුන්දර නැත. එහෙත් සිරි ලක වටාම ඇති මුහුදු තීරය සතු වෙරළ තීරයන් ගත හොත් එහි කුමන හෝ අයුරකින් ගැබ් වැ ඇත්තේ සුන්දරත්වයමැ ය. ලක්‌දිව වෙරළේ වැලි කැට මුතු කැට වාගේ බබළන්නේ ඒ දළදා මහිමය නිසා යැයි ඔවුන් සිතයි.
මා පෙරැ කී හෙළ බොදුනුවන්ගේ මුදුන් මල්කඩවල් වන් බොදුනු ස්ථාන මතු නොව ලක්දිව රකිනා දේව මඬුල්ලක් වෙතැයි අප සිතමු. එවන් මඬුල්ලක් සිටිනවාමදැයි අපි නොවිමසමු. සමහර දෑ විද්‍යාවෙන් විසඳිය නොහැකිය. විද්‍යාවට හසු නොවන දේ එමට බව දැන් රහසකුදු නොවේ. අනෙකැ නම්, ලක්දිව සුරකින එවන් දේව මඬුල්ලක් වෙතැයි යන විශ්වාසයෙන් කිසිවෙකුටත් හානියක් නොවෙයි. එබැවින් එවන් කිසිවෙකුට හානි කර නොවන විශ්වාසයන් නැති වනවාට වඩා පැවතීම වැදගත් යැයි හඟිමි.
පෙර සටහන් කළ ලක්දිව සුරකින දේව මඬුල්ල ගැන මෙහි සටහන් කිරීමට ඇවැසි වන්නේ අනෙකක් නිසා නොවේ. ගීතයෙහි තවත් පාදයක් විමසුමට ය.

ලක්දිව රක්නා සම්දිටු දවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ

බලන්න, පෙර මා කී සම්‍යක් දෘෂ්ඨික දෙවි වරුන් පෙරහැර කාලෙට රැස්වෙතැයි අනුමානයක් එහි වෙයි. රචකයාට අන් වෙසෙස් දෙවියෙකුට වඩා එහි මුළසුනට සුදුසු යැයි මතක් වනුයේ වීර කැප්පෙටිපොළ සෙනෙවියන්ගේ මතකයයි. රට සුරැකීමට උදාර ව සටන් කළ වීර කැප්පෙටිපොළ මිය ගිය පසු දෙවියෙකු විය යුතු යැයිද, ඒ කැප්පෙටිපොළ දෙවියන්,  රට රකිනාවූ යම් දේව මඬුල්ලක් වේ නම් එහි මුළසුන ගතයුතු බවද ගීත රචක අහුබුදුවන් සිතයි. 


කැප්පෙටිපොළ අවසන් මොහොතේ පවා සිය සළුව දළදා සමිඳුනට පුද කළැයි අදහසක් වෙයි. කැප්පෙටිපොළ විරු සෙනෙවියන් දෙවියකුව අදත් දළදා මාළිගාවේ සුරැකුම දෙස බලා සිටිතැයි විශ්වාසයක් ද වෙයි.
ඒ අනුව මෙම ගීතය තුළ ඔහු සිය ගෞරවය පළ කරන්නේ දළදා සමිඳුන්ට පමණක් නොවේ. කැප්පෙටිපොළ සෙනෙවියන් හට සිය සිතෙහි ඇති අපමණ ගෞරවයද අන් අයුරකින් එහි ගැබ්කොට ඇත. ඒ ඔහු සතු විෂ්මයජනක රචනා කෞශල්‍යයයි.

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

සාධු දළදා සමිඳු පුදන්නට
මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට
දළදා සමිඳුට බාර වෙමු


පෝය දාට දළදා සුදු බුදු රැස්‌
රට වට හත් වටයක්‌ යන්නේ
එනිසයි ලක්‌දිව වෙරළේ වැලි කැට
මුතු කැට වාගේ බබළන්නේ


ලක්දිව රක්නා සම්දිටු දවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ




ගායනය - අමිතා වැදිසිංහ
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - සරත් දසනායක

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ ගීතය අසමු.



මේ ගීය අප ඇසුවේ මොන තරම් කාලයකට එපිටදී ද අදද එහි ඇති ආකර්ශණය බිඳකින් වත් අඩුවක් නොවී පවතී. එයට හේතුව කුමක්ද?
හේතු අංක එක දෙක සේ දැක්විය නොහැකිය. කෙසේ වෙතත් විශිෂ්ඨ රචනයකට යෙදුනු විශිෂ්ඨ තනු සහ සංගීත රචකයත් අනතරුව ඊට එකතු වුණු වෙසෙස් ගායනයත් මේ සදාකාලික බව ඊට එක්කොට ඇත.
කිව යුතු තව දෙයක් ඇත. අරිසෙන් අහුබුදුවන් ගොනු වනුයේ වෙසෙස් සුභාවිත ගීත රචකයින් අතර ට යැ. එහෙත් සුභාවිත ගී කුලකය තුළ සිය ගතින් වැඩි ප්‍රතිශතයක් ජීවත්වත්දී ම ජනප්‍රිය ගී කුලකය මතට ද ඔහුට සිය රැස් වළලල් අතිපිහිත ( Overlap ) කිරීමට හැකි වන්නේ ඔහු ලියූ විශිෂ්ඨ රචනාවන් ජනප්‍රිය ම ගීත බවට ද පත්ව ඇති බැවිනි. ඊට දෙස් දෙන්නේ ඔහුගේ ගීත එකක් දෙකක් නොවේ. මතක තබා ගන්න. මේ ලිපි පෙළෙහි පෙර ලිපි අතරතුර ඔබ ඇසූ සමහර ගී නිර්මාණය වී ඇත්තේ 1960 දී තරම් ඈත බව. එතැන් සිට ගත වුණු වසර 55 ක කාලයක් පුරා මේ ගී සිය ජනප්‍රියතාව එක සේ රැකගෙන සිටී.
මෙයට ප්‍රධානම හේතුව වන්නේ එම ගීත වල යෙදී ඇති තනු රචනය සහ ස්වර රචනයද ඉතා මියුරු ලෙසින් පැවතීමයි. මධුර තනු නාද රටා හුදු වචන පෙළක් දුටු සැනින් පැන නොනගී. එකී වචන පෙළ සංගීතඥයා තුළ ඇති කරණු ලබන නිර්මාණාත්මක කම්පනය ය තනු සහ ස්වර රචනයක් ලෙසින් මතු වෙන්නේ. මේ අනුව සිය ගීත රචනා තුළින් මධුර තනු සහ ස්වර රචනා ලබා දෙනු වස් සංගීතඥයාව පෙළඹවීමට අහුබුදුවන් සමත් වෙයි.
මේ ප්‍රකට ගී අතරේ එතරම් ප්‍රකට නොවන මතු දැක්වෙන ගීය මෙහි ඇමිණිය යුතුමයැයි හඟින්නේ එය එදාටත් වඩා අදට ගැලපේය යන අදහසිනි. එදා අප දේසය ජාතිය පිලිබඳ එතුමාගේ සිත් හි වූ කම්පනය ය මෙසේ ගීතයකට ගොනු කොට ඇත්තේ. එතුමා අද සිටියා නම් මේ ගීය මොන මොන වෙනස් කම් සහිතව ලියනු ඇති දැයි සිතන්නට මම උත්සාහ කළෙමි. කොතෙක් උත්සාහ කළද එතුමන් සිතන අයුරට අහලකින් වත් සිතන්නට නොහැකි බැවින් ඒ සිතීම නවතා ලිවීම දිගටම කරන්නට තීරණය කළෙමි.

පව් කළ දැයක ඉපැදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරණු දැකැ දැකැ හිසැ මතැම
ඇහැ කණ පියා හිඳුමැයි අද හෙළ දහම

එතුමන් අනාගතය දැක ලියුවාදැයි හිතෙන තරමට මැ එදාට වඩා අදට ගැලපෙන මේ ගීය මට වටී. වචනයෙහි මතුපිට අරුත කියන පරිදි ම ඔහු මෙහි පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම කීමෙන් තමන් උපන් දැය පවුකාර දැයැකැයි ඔහු ඇදහූවේද? මා කිසි දිනකත් එලෙසින් නොසිතමි. මෙහි ඔහු සඳහන් කරනුයේ නැගිටිය යුතු තැන නිහඬව හිඳිනා සිය දැයේ මිනිසුන් ගැන තමන් තුළ වූ අපමණ ඇති කලකිරීමයි.


විදෑ සොරුන් හට හෙළ රජ පෙළ මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුණා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැහුණා

හෙළ වග නගන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය කළ පවට

හෙළයන්, හෙළ ගති, හෙළ දිව නසන්න්ට එන්නන් හට ගැත්තනු වූවා  මිස හෙළ දැය නගන්නනට එන්නෙකුට අත දෙනු නොදකින දෙසක සිය දිවිය අප්‍රසන්න එකකැයි ඔහුට සිතෙන්නට ඇත. එහෙත් ඒ සියල්ල එසේ වුව තනි ඔහුට ඇත්තේ අන් සිතුවිලි සමුදායකි. ඒත් තනි ඔහු තනිවම කුමක් කරණුද ඊට?
තනි මම කුම් කරම් ජාතිය කළ පවට
ලෙසින් ඔහු අතින් ලියැවෙන්නේ එබැවිනි.






ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

ගීතය අසන්න.



රට දැය ගැන කියන්නා සේම සමය ගැනද ඔහු තුළ ඇති භක්තිය සිය ගීත තුළින් අපට මවා ගත හැකිය. මේ එවන් ගීතයකි.
මේ සොඳුරු බුදු ගුණ ගීතයෙහි තනු සහ ස්වර රචකයාද ගායකයාද වන්නේ අචාර්ය පණ්ඩිත් අමරදේවයන් ය. මෙවන් ගීයකින් බුදු ගුණ බුදු සුවඳ වෑහෙන්නේ එවන් හඬකින් ගැයෙන විට බවද කිව යුතුමය.



ගිලෙම් ඔබේ ගුණ මූදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ

සිඳ බිඳ මොහුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ

සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලොවග බුදු සමිඳේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

ගීතය අසන්න.


සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුල මැ සුවඳයි අපේ ‍මේ
මුළු මිදුල මැ සුවඳයි
හැම ගෙදර ම මල් රුවට පිපේ නම්
ගම්මානෙ මැ සොඳුරුයි දුවේ මේ
ගම්මානෙ මැ සොඳුරු යි...

මේ ගීය අමතක අපේ වයසේ කෙනක් සිටීදැයි මම නොදනිමි. මෙහි රචකයාද අප අරිසෙන් අහබුදුවන් ම ය. අපට මේ ගීය ඇසී ඇත්තේ සී. ඩී. ෆොන්සේකා ගේ හඬිනි. ඔහු එය ගැයුවේ සිය දියණිය වන ශර්මිලා ෆොන්සේකා සමගිනි. 


එහෙත් පසු කාලීන අය අසා ඇත්තේ නිසැක වශයෙන්ම ලක්ෂ්මන් විජේසේකර සමගින් සිසුවියන් පිරිසක් ගයන ගීයයි.
මේ ගායනා දෙකෙන් කොයික ඇසුවද අදාල රසය විඳීමට එහි බාධාවක් නොමැති බව කිව යුතුය. හේතුව ගීයේ මුල් ගුණ සියල්ල රැකගෙන එය ඉදිරිපත් කරණ බැවිනි.
සංවාද ස්වරූපයෙන් ලියැවුණු අපේ සමහර ගී අතරේ පියා සහ දුවනිය ගැයූ ගී වලින් වඩාත් සුන්දර ගීයක් සේ මෙය සැලකිය හැකිය. එමෙන්ම සිය දියණියම එහි දී ගීතයේ දියණියද වීම අනෙක් විශේෂත්වයයි.

සමන් වැලේ මල් ජයට පිපීලා ගීතය අසන්න.( මෙහි ඔබට අසන්නට ලැබෙන්නේ පසු කාලීනිව ස්වාධීන රූපවාහිනියේ සංහිද වැඩසටහනට ශර්මිලා ෆොන්සේකා විසින් ගැයූ ගීතයයි.)



අප මෙහි ඇසූ බොහෝ ජනප්‍රිය ගී සේ ජනප්‍රිය නොවන එහෙත් එකල යම් මට්ටමකට ජනප්‍රිය වූ සොඳුරු ගීතයක් ඉදිරිපත් කරණු කැමැත්තෙමි. මේ ගීතයේ රචකයාද අප අහුබුදුවන් ම ය.
ආචාර්ය වික්ටර් රත්නාකයන්ගේ මධුර තනු සහ ස්වර රචනයෙන් නිර්මිත ගීය ගායනා කළේ එකල ආචාර්ය වික්ටර් රත්නායකයන් හා සමග අනෝමා රාසපුත්‍ර ය. එහෙත් පසු කලෙක එය ආචාර්ය වික්ටර් රත්නායකයන් සමගින් ගැයුවේ නිරංජලා සරෝජිනී විසිනි.




අන්න බලන් වෑ කන්ද මතින්
කිරි ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟදෙයි
සඳේ රිදී කැන් වැසී හදේ පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟදෙයි

මේ යුග ගීතයේ පළමු කොටසේ අවසනැ පෙම් ගඟක් ගලාගෙන එයි යන්න නොතිබණද මේ නම් ප්‍රේමනීය ගැයුමක් බව හැඟෙයි. එසේ වන්නේ කෙසේද? අවිවාදිතය... ඒ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මධුර තනුව යෙදී ඇති විදිහත් ඔහුගේ සහ නිරංජලාගේ මුදු මෙළෙක ගැයුමත් නිසාය. වික්ටර් ගේ ගැයුමෙහි ප්‍රේමය වෑහෙතැයි මා කිවහොත් මා හා විවාදයට එළඹෙන අය නොවෙතැයි සිතන්නෙමි.

සුදෝ සුදෝ සුදු සඳෙත් කැළැල් නොවැ
සඳවතියේ ඒ ඇයි
සඳේ පහන් විඳ විඳත් ලපේ ගැන කතාකරන්නේ ඇයි
පෙම්බරයෝ
මෙහි ඔහු පළමුව සුදෝ කියනුයේ ඈට ය. දෙවනුව සුදෝ යෙදෙනුයේ සුදෝ සුදු සඳ යන්න කියන්නට පළමුව ය. අහුබුදුවන්ගේ භාෂා හැසිරවීමේ මට්ටමය එහි ප්‍රකට කර ඇත්තේ.

ලොවේ මහා ගුණ නදී දියෙන්
දන කසළ දකින්නේ ඇයි
ගඟේ දියෙන් යට මැණික් නඟා ගතහොතින්
තැතෙන් වැඩ‍වෙයි
පෙම්බරයෝ

අපේ දෙනෙත් ඔවුනොවුන් වතේ
මේ තරම් ඇලෙන්නේ ඇයි
වහා දෙදෙන එක් අතක් බලමු
රන් පියුමේ හිරු නැඟ එයි
පෙම්බරයෝ


අන්න බලන් වෑ කන්ද මතින්
කිරි ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟ දෙයි
සඳේ රිදී කැන් වැදී හදේ
පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟ දෙයි

හුදු ප්‍රේමයට වඩා එහා ගිය දෙයකි ගීයෙන් කියවෙන්නේ. එහි සාමාන්‍ය ප්‍රේමයේ සුන්දරත්වය වත් ප්‍රේමයේ විප්පයෝගයවත් නොව ඉන් එහා යථාර්ථයක් වෙත සිය රසිකයා කැඳවාගෙන යාමට රචකයා උත්සුක වෙයි. ජීවන සත්තාවේ අප කරණා සමහර අතපසු වීම වලට යම් පිලිතුරක් මෙහි වෙයි.
මෙවන් ගී සුලබ නොවේ. ගී ලියන හැමෝටම එවන් ගී ලිවීමට ද නොහැකි වෙයි. ඒ සඳහා සුවිශේෂ දක්ෂතාවක් සහ හික්මීමක් තිබිය යුතු වෙයි. අහුබුදුවන් විශේෂ වන්නේ ඒ පරිසරය තුළය.
අන්න බලන් වෑ කන්ද මතින් ගීතය අසමු.



සටහන තවත් කොටසකට දිගු වනු ඇත.

ඒ ළඟ කොටසට මේ ඔස්සේ එන්න.


-        යසනාත් ධම්මික බණ්ඩාර    -


3 comments:

  1. බොහොම ස්තුතියි යසනාත් මේ අගනා විවරණයට

    ReplyDelete
  2. ගීත ඔක්කොටම ආසයි.. අහුබුදු ශුරින් ලියු වග දැන උන්නේ නෑ.. ස්තුතියි අගේ ඇති ලිපියට..

    ReplyDelete
  3. බ්ලොග් ලෝකයට ආධුනික අපිත් ඔන්න පිරිවරට එකතු වුණා...
    යසනාත්ගෙ සිතුවිලි විවරණය නම් හරිම අගෙයි.

    ReplyDelete