Saturday, July 18, 2015

හිටු එම්බා - ගඟ පුම්බා - දිය ලම්බා - පැරැකුම්බා







මෙම ලිපි පෙළේ පළමු කොටස සඳහා http://www.yasanathsithuwili.blogspot.com/2015/07/blog-post_15.html දිගුවෙන් පිවිසෙන්න.

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ....

මේ සුනිල් ශාන්තයන්ගේ සංගීතයට ඔහු විසින්ම ගයන ගීතයකි. ජන කවි, ජන ගී වල හමුවන නෙළුම් කවි මනාව ඇසුරු කරමින් ජන ගී ආරට වඩා ළංව රචනා කළ නිර්මාණයක් වන මෙහි තනුව සහ සංගීතය ජන ගී ආරට ළඟ නෑ කම් කියන අතරේම එහිම වහළෙකු නොවී වෙනස් නැවුම් බවක් ඊට එකතු කිරීමටද තනු නිර්මාපක සුනිල් ශාන්තයන් උත්සුකව ඇත. එපමණක් නොව එහි සංගීතය සඳහා ජන ගී ආරට උචිත වන සේ ද නැවත එහි මියුරු වෙනසක් ගැබ්වන සේද නිමැවිමට ඔහු සමත්ව ඇත. මේ සියල්ලම සමග සුනිල් ශාන්තයන්ගේ මියුරු සුපිරිසුදු හඬ ගීතයට කොතෙක් බද්ධ ව ඇති දැයි ඔබට හැඟෙනු ඇත.


මේ  නම් මොන තරම් සුන්දර ගීයක්ද? මෙය ලංකා ගුවන් විදුලියේ පංච මධුර වැඩ සටහන සඳහා නිර්මාණය වූවකි. පංච මධුර යනු සොඳුරු ගී රැසක් නිර්මාණය වුණු සුනිල් ශාන්තයන්ගේ දායකත්වයෙන් කෙරුණු සංගීත වැඩ සටහනකි. එකල ගුවන් විදුලිය විවිධ සංගීතඥයින්ගේ නිර්මාණ ඇතුළත් මෙවන් වැඩ සටහන් නිපදවීය. මධුවන්ති යනු අමරදේවයන් විසින් ගුවන් විදුලියට කළ එවන් තවත් වැඩ සටහනකි. මෙවන් වැඩ සටහන් වලින් එකල විශිෂ්ඨ නිර්මාණ රැසක් අපේ සොඳුරු නිර්මාණ ගොන්නට එකතුවිනි. එලෙසින් ම සුනිල් ශාන්තයන්ගේ පංච මධුර තුළින්ද එවන් සොඳුරු ගී රැසක් නිර්මාණ වී ඇත.
සොඳුරු, තෙල් ගාලා හිස පීරන් නෑනෝ ගීතයෙහි රචකයා කවුරුන් නම් වන්නට ඇතිද?

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ
යමු නෑනෝ....

ඉණේ බලාපන් ඉණ වට සේලෙ බලාපන්
අතේ බලාපන් අතවට ගිගිරි බලාපන්
කරේ බලාපන් කරවට මාල බලාපන්
දැදුරු ඔයෙන් එන එතන බලාපන්

මේ නෙළුම් කවියකි. මේ අනුව මෙම ගීතයේ ස්ථායි කොටස වී ඇත්තේ සෘජුවම මේ නෙළුම් කවෙහි මුල් කොටසම ය. එහෙත් අනතුරුව එළඹෙන කොටස් වලින් ගී පද රචකයා සිය රචනා කෞශල්‍ය මේ යැයි අපහට පසක් කොට දෙයි.

තෙල් ගාලා හිස පීරාලා - නිලට නිලයි නෑනෝ
ගෙලැ ලාලා ඇට වැල් මාලා - රුව සුදිලෙයි නෑනෝ
සේලේ ඉණ වටැ රැළි දීලා - නෙරිය එළෙයි නෑනෝ
ගොයම් නෙළන්නට කුඹුර බලා - යමු අපි රන් නෑනෝ

මෙහි රචකයා වන්නේ අනෙකැකු නොව අප අරිසෙන් අහුබුදුවන් ය. මේ බස විමසන කලැ වුව ඒ බවට යම් අනුමානයක් කළ හැකිය. හැබැයි ඒ ඔහුගේ බසින් ගෙතූ ගී අසා හුරුවක් ඇති අයටමැ ය.


කුඹුර මැදින් නියර දිගේ - මල් පුබුදිනවා
පිනිමුතුයෙන් ළා තණ පත් සේල එළනවා
රෑන ගිරා රෑන උඩින් වියන් බඳිනවා
බාල ලියන් සුබ නැකැතින් කෙතට බසිනවා

පැරණි ජන කවියා පබැඳි නෙළුම් කවි අතරට අපේ කවියා පබැඳි මේ කව් එකතු කළ නොහැකිද? සම මට්ටමින් තැබිය නොහැකිද?

රන් වන් බඳ රන් දුනු සෙ නැමෙනවා
රන් වන් අතැ දෑ කැති දිළිසෙනවා
ළමැදේ ගෝමර රන් මුතු වෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් නෙළනවා.....

ගී පද රචනයෙහි ඇති මේ අවසන් කොටස අප අසා හුරු ගීතයෙහි හමු නොවන්නේ පසුව ඒ කොටස ඉවත් වූ නිසාද නැති නම් පද රචනයෙහි එම කොටස ඇතිවා වුව ගීතය නිර්මාණයේදී එය යොදා නොගත් නිසාද යන්න පැහැදීමට නම් මා සතු දැනුම මද ය. කෙසේ වෙතත් අහුබුදුවන් ගේ අතු අග දිළි වන මල් කෘතියෙහි ඇති පද රචනයෙහි නම් එම කොටසද ඇතුළත් ය.
තෙල් ගාලා හිස පීරන් නෑනෝ ගීතය අසමු.


දැන් ඉතින් වෙනත් ආරක ගී ගැන කතා නොකොට මේ ගී ආරට ළඟින් හෝ යන ගී දෙක තුනක් පිළිබඳව කතා කළ යුතු යැයි මට සිතේ. එසේ සිතුනද මේ හා සමව තැබිය හැකි තවත් ගී අහුබුදුවන්ගේ අතින් රචනා වී ඇතිද? එය සෙවිය යුත්තකි. එසේ නම් සොයා යමු.
ඒ සොයා යන ගමනේදී සමන් කුල ද වැඳ ගත හැකි විය. සීත ගඟුලියගෙන් මුව දෝවා ගත හැකි විය. ඒ සීත ගඟුලිය ගේ ගමන් මග ඔස්සේ ම සුන්දර කඳු හෙල් නිම්න දිය ඇළි පසු කරමින් පහළට බසින්නට හැකි විය. තවත් පහළට බසින විට මහ දිය කඳක් ව ඇදෙද්දී නිරපරාදේ මහ මුහුදින් කෙළවර වන තම ඉරනම් ගමන පිලිබඳව ඉකිබිඳුම් ද අසන්නට ලැබුණි. ඉතින් මේ ඒ ගංගාවක වැලපුම පිළිබඳ කතාවයි.

වලාකුළින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා

දැවී දැවී බිම්
නැඟී රදස් දුම්පෙනේ බැලූ හැමතේ
යවවු යවවු මා
එහේ මෙහේ හා
නිවා ගිමන් පොළොවේ
මේ කුමන ගංගාවක්ද? මේ නම් මහවැලි ගඟ විය යුතුය. එමෙන්ම මහවැලිය තැනින් තැන දී හරස් කොට විසල් ජලාශ ඉදිකෙරුමට පෙර ලියැවුණක් විය යුතුය.
අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් යැයි හඬමින් යන්නට සිදුවන්නේ වැඩක් නොගෙන යන්නට හළ නිසා ය. තමන් ඔහේ නිස්කාරණයේ මහ ජල කඳක් සමග මුහුදට ඇදේද්දී ඈත දිය පොදක් රහිතව දැවෙන බිම්පෙත් ඇති වග ඈ දනී.

දැවී දැවී බිම්
නැඟී රදස් දුම් පෙනේ බැලූ හැමතේ
යනුවෙන් කියැවෙන්නේ එබැවිනි. එබැවින්ම ඇගේ ඒකායන පැතුම මෙසේ නිෂ්ඵලව මුහුදට ඇදෙනු නොව ඒ බිම් පෙත් වෙත ඇදෙන්නට ය. ඒ බිම් පෙත් වල ගිමන නිවීමට ය.

යවවු යවවු මා
එහේ මෙහේ හා
නිවා ගිමන් පොළොවේ

මේ අයුරින් අහුබුදුවන් පා ඇති වචන හරඹය කුමන ආශ්චර්‍යයක්ද? මෙවන් බස් හරඹයක් කළ අනෙක් ගීත රචකයෙකු සිහි නොවන සෙයකි.

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොටැ
ලොවේ නමක් දැරුවා

අප අතීත ශ්‍රී විභූතිය සපුරා රඳා පවතින්නේ වාරි කර්මාන්තය මතය. වැව නිසා කෙත් යායද කෙත් යාය නිසා ගමද නිර්මාණය වී ඇත. ගමට පන්සලක් අවශ්‍ය වෙයි. පන්සලේ දා ගැබක් ඉදිවෙයි. අවසන සියල්ල එකට බැඳෙයි. වැවයි දා ගැබයි ගමයි පන්සලයි වන්නේ එවිටය.
එවන් රටක වැස්සනි, කිමද මා මේ දුකෙහි හෙළන්නේ යනුවෙනි මේ ගංගාවේ වැලපුම.

වැඩක් නොගත් දිය හඬා දොඩා
මේ මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කර දියෙන් එලෝ යනවා
වලාකුළෙන් බැස ගීතය අසමු.


මේ වලාකුළින් බැස ගීතය අනන්ත මුහුදට නිකරුණේ ගලන සිය දිය කද පිළිබඳ ගං කොමළියගේ ඇසින් ලියූ ගීතයයි. එයම අර විදිහට මහා දිය කඳක් රැගෙන තමන්ට පෙනි පෙනී ගලන බව දකින දිය බිඳක් අහිමි දනන් ඇසින් ලිව්වේ නම් කෙසේ වනු ඇතිද? ඒ මෙසේ නොවන්නේද?

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ
එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ
එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ
එම්බා ගංගා ගංගාවේ.....

ඔවුන් සියල්ල එක් හඬින් අණ කරයි.
එම්බා ගංගා,
නවතිනු! නවතිනු!! නවතිනු!!! නවතිනු!!!!

මේ අණ පිලිනොපදී නම් කළ යුතු දෑ ද ඔවුන් දනී. ඒ අනුව ඒ සඳහා ඔවුන් සිය පිරිස කැඳවයි

කන්ද කපව්
ගල් පෙරලව්
වේලි බඳිව් 
ගමන බිඳිව්
ගංගාවේ....

දිය හරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස් පුරවව්
ගංගාවේ

නිදහසේ ගලා යන්නේ වුව මේ නිෂ්ඵල ගමන කුමන තැනකදී හෝ කුමන අයුරකින් හෝ නැවතිය යුතුය. ඒ දිය රැස් කළ යුතුය. ඒ දිය අවැසි තැනට ගෙන යා යුතුය. ඒ දියෙන් වැපිරිය යුතුය. ඒ අස්වැන්නෙන් හිස් වුණු කුස් පිරවිය යුතුය. මේ ඔවුනගේ ඒකායන පැතුමය.
නැවත ඔවුන් ගඟට අණ කරයි.

හිටු එම්බා
ගඟ පුම්බා
දිය ලම්බා
පැරැකුම්බා
ගංගාවේ

වැඩට අපේ
දිය නොමදී
මුහුද කරා
යනු වරදී
ගංගාවේ....

අවසන ඇත්තේ යම් තර්ජනාංගුලියකි. අවැසිම නම් මුහුදට යා හැකිය. එහෙත් ඊට පෙර අපේ කෙත් අසවද්දා මිස නොයා යුතුය.

වැඩට අපේ
දිය නොමදී
මුහුද කරා
යනු වරදී
ගංගාවේ....

දැන් මේ ගීතයේ පද රචකයා කවුරුන් වනු ඇතිද? අහුබුදුවන්ගේ වලාකුළින් බැස ගීතය බලා ඊට පිලිතුරු ගීයක් ලෙසින් කිසිවෙක් එය ලිවීද? මේ ගීතයද ලියුවේ ද අහුබුදු ශූරීන් ම මිස අනෙකෙකු නොවේ. මේ අනුව අහුබුදුවන්ගේ පද රචනාවන්ගේ ඇති සූක්ෂම බව කොතෙක්ද යන්න ඔබට වැටහෙනු ඇත. මේ ගී දෙක එක ළඟ මෙසේ නොඇසුවොත් අනෙක එක් ගීයක අනෙක් අරුත යැයි නොවැටහේ. එය එකට ඇසූ විට ය ඒ ගී දෙකෙහි ඇති සම්බන්ධය පසක් වනුයේ. මේ අනුව අහුබුදුවන් තුළ උපන් සිතුවිලි එක් ගීතයකින් අහවර නොවී දෙවන ගීතයක් තෙක්ද එය විහිද යයි. එසේම ඒ ගී තුළ ඔහුගේ භාෂා මෙහෙයවීමේ සූක්ෂම බව මනාව කැපී පෙනේ.
ඔහු පළමු - වලාකුළින් බැස - ගීතය ලියනුයේ අයැදුමක ස්වරයෙනි.
එහි ආකෘතිය ඒ අනුව සැකසෙන විට දෙවන ගීතය - එම්බා ගංගා -ගීතය ලියන්නේ අණ වචනයක ස්වරූපයෙනි. ඒ අනුව දෙවන ගීතයේ ආකෘතිය පළමු ගීතයේ ආකෘතියෙන් පුදුමාකාර ලෙස වෙනස් වේ.
දැන් මේ ගීත වල සංගීත පාර්ශ්වය පිළිබඳව ද තරමකින් හෝ සාකච්ඡා කළ යුතුමය. එහෙත් මා සතු සංගීතමය දැනුම ඒ සඳහා කිසි ලෙසකින් වත් සෑහේ යැයි මම නොසිතමි.මේ ගී දෙකෙහිම රචනා කෙටි වචන ළඟ ළඟ බෙදෙන සේ අමුණා ඇතිවද සංගීතඥයා සිය තනු නිර්මාණ දෙක තුළ දී ඒවා බෙදා ගන්නේ මා පෙර කී ලෙස අයැදුමක් හා ඇණවුමක් යන දෙයාකාරය මනාව තේරුම් ගෙනය. ගීතයට ළය වැටෙන්නේත් ඒ අනුවය. අයැදුමට ඇත්තේ අඩු ළයකි. ඇණවුමට ඇත්තේ වැඩි ළයකි.
තවද යොදා ගන්නා සංගීත භාණ්ඩ සේම ඒ සංගීත භාණ්ඩ මත යොදන පහරවල් පවා පෙර කී ලෙස ගී දෙකට අනන්‍යයව යෙදේ. සංගීත භාණ්ඩ මත යෙදෙන පහරවල් කී විට වයලීනය වැනි භාණ්ඩයකට වුව සාධාරණය. එහි අළුව ( බෝ ව ) තත් මත වදින බලය සහ තත් මත දුවන වේගය මත මේ හැඟීම් වෙන් කොට දෙන සේ නිර්මාපකයා - සුනිල් ශාන්ත - එහි සූක්ෂම ව ඇත.
එමෙන් ව ගැයුම ගත්තද සුනිල් ශාන්තයන් ම සිය ස්වරය හැසිරවීමේදී එම හඬට දෙන වර්ණය සපුරා එකිනෙකට වෙනස් ය. මෙය ගීතය මනාව අසන ඔබට අනිවාර්යයෙන් ම වැටහෙනු ඇතැයි සිතමි.
එම්බා ගංගා ගීතය අසමු.



මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී ගීතය ඔබට මතක ඇතැයි සිතමි. 

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරන් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරලන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය පණවන්නී

ගමේ මෑ පුහුලම් ඉදවන්නී
සොරුන් බවට වවුලන් ලන්නී
නෙ තැනැ වවුලු පළවල් දෙන්නී
ගම් දරුවන් හට වැඩ දෙන්නී

මල් සර හට ගී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳලන්නී
දෙක දෙක එක් කැර ඈඳන්නී
නොමිලේ කපු කම් කරවන්නී

වෙන් වූවන් සිත කලඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී


මේ ගීතයේ ආකාර දෙකකි. ඒ එක් ආකාරයක් හෝ ඔබ අසා ඇතිවාට සැක නැත. ඒ එක් ගීතයක සංගීත රචකයා හා ගායකයා වන්නේ සුනිල් ශාන්තයන් ය. සුනිල් ශාන්තයන් ගේ මේ තනු සහ සංගීත රචනය වඩාත් ළං වන්නේ දේශීය ඌරුවකටය.
මේ එම ගීයයි.


මේ ගීයම පසුව පණ්ඩිත් අමරදේවයන් උත්තර භාරතීය සංගීත ආර ගුරුකොට ගනිමින් තනුව සහ සංගීතය නිමවා ගායනා කර ඇත.
මේ අමරදේවයන්ගේ ගීතයෙහි වර්ණය පළමු ගීතයට සපුරා වෙනස් ය.
ඔබ මට සංගීතයෙන් ලබා දිය යුතු ආලෝකය මෙයය.... යනුවෙන් සංගීතඥයාගෙන් ඉල්ලා සිටින ආකාරයේ පද මාලාවන් ය මේ. ඒ නිසා පද රචනය දුටු මතින් සංගීතඥයා තුළ නිතැතින් ම මධුර තනු උපදියි. නිතැතින් ම මධුර තනු උපදිනවායැයි කීමෙන් සංගීතඥයා මේ රචනා සමග අභ්‍යාසයක නොයෙදී මියුරු නාද රටාවන් ඉබේ බිහිවෙතැයි අදහස් නොකරමි. වෙහෙසකර නොවූ කාර්යයකින් - ගීත රචනය තුළින් ඒ පහසුව ඇති කර ඇති බැවිනි - උපදින මධුර තනුවට සොඳුරු ස්වර රටා යෙදීමෙහි ලා ඔහු වෙහෙසක් ගත යුතුය. මෙහි ද පද රචකයා වනුයේ අප අහුබුදු ශූරීන් ම ය.



මෙම ගී දෙකෙන් වඩා මධුරතර කුමක්දැයි තෝරන්නට යාම නොතරම් දෙයකි. මක් නිසාද යත් දෙ ආරක් නිසාය. ඒ ඒ ආර සැලකූ විට දෙකම විශිෂ්ඨය. ඒ නිසා අප කළ යුත්තේ තමන්ගේ රුචිකත්වය අනුව ගී දෙකම හෝ වඩා ප්‍රිය එකක් තෝරාගෙන,
රස විඳීමය.
රසවිඳීමය.
රස විඳීමය.
තවත් සැමරුම් ඉදිරියට ය.
තෙවන කොටසට පිවිසුම 
http://www.yasanathsithuwili.blogspot.com/2015/07/blog-post_25.html

-        යසනාත් ධම්මික බණ්ඩාර    -

5 comments:

  1. හරිම අගෙයි - රසයි - ඒ වගේම සාර කරුණු බර නැති බසකින් ලියැවුණු හැටි අපූරුයි - එක හුස්මට කියවන්න පුළුවන්.

    ReplyDelete
  2. අගනා සටහනක්, මේ ගීත සියල්ල කලකට ඉහත අසා තිබුනත් ඒවා අතර සම්බන්ධය දැනගෙන හිටියේ නැහැ

    ReplyDelete
  3. අගෙයි. කියවීම සතුටකි.

    ReplyDelete
  4. අගෙයි ..ඉතාම රසවත්

    ReplyDelete
  5. ගීයක් විඳීමට එහි පද සංගීතය හා ගැයුම එකසේ පෑහී රස ඉපදවිය යුතු බව සැබවි. නමුත් මා බොහෝවිට ගීයක වඩා විඳින්නේ පද යැයි මට සිතේ. කෙතරම් කන්කළු මියැසියක් වුව වඩා මිහිරට ගැයෙතත් එය අරුත් සුන් කල මට ඉන් දැනෙන රසයක් නැති. ඒ නිසාම බොහෝ දෙනෙක් මිහිරි යැයි ගැයෙන ගී තුල මා විඳින රසයක් නැති/

    ගීයක පදරුත් පසිඳලා එය සම්පූර්ණයෙන් ලිහා විඳ ගැනීම මට මහත් සතුටෙකි. මේ ක්‍රීඩාව මා මුලින්ම ආරම්භ කලේ එක් ගීයකිනි. ඒ ' වළාකුලෙන් බැස ' ගීතයයි. එකිනෙක පද වෙන් කොට ලිහා තේරුම් ගනිද්දී මට ඇතිවූ සතුට වසර දශක ගණනාවකට පසු අදත් මට එලෙසින්ම දැනේ.

    බුද්ධාලම්භන ප්‍රීතිය මා දන්නා තරමින් මහද තුළ යම් දවසෙක සැබෑවට ඇතිවුණේ රුවන්වැලි මහ සෑ රදුන් අභියස එක් දිනකදී බව මතකය - එවන්ම වූ කියාගන්නට බැරි අරුම ආලම්භනයක් ඇතිකිරීමෙහි සමත් ගී පද කීපයකින් එකකි මුලින් මා සඳහන් කලේ.

    වළාකුලින් බැස ගීය හාම එවන් ආලම්භනයක් සිත තුළ වැඩූ තවත් ගීයකි ඒ ' ඉර දෙයියන්නේ නෑයෝ' ගීයයි.

    එකිනෙක පරයා නැගෙන මහා හැඟුම් හද තුල මවන මේ ගී වල උල්පත අරිසෙන් අහුබුදුවන්ය.

    මේ වදනින් මහා හරඹ කල ප්‍රාඥයා පිළිබඳ මෙතෙක් ලියැවුණු කියැවුණු දේ අල්පයැයි මට දැණුනු වාර අපමණය. එෆ් එම් සංස්කෘතියත් සමග ගීයක පද රචකයා හා සංගීතඥයා ගැන අවබෝධය අල්පවෙමින් පවතී. වාසනාවට අප අයත් වන්නේ එෆ් එම් පරම්පරාවට පෙර පරම්පරාවටය. ඒ නිසා මෙවන් පිදිය යුත්තන් නොපිදෙන දා හිතට දැනෙන්න්නේ දුකකි.

    යසනාත්ගේ මේ ලිපි පෙළද මා වෙත දැනවූයේ මහත් ආලම්භනයකි. බොහෝ දේ සොයන්නටත් - ඒ සෙවූ දේ ලියන්නටත් - අප හා ඒ වටිනා දේ බෙදා හදා ගන්නටත් ඔබ ගන්නා මේ අපූරුම වෑයම අගයන්නට තරම් මගේ වචන පොහොසත් නැත. කෙමෙන් කෙමෙන් සිත් තුලින් මැකීඑ යනවා යැයි සිතෙන මේ වටිනා වස්තු එසේ වන්නට නොදී රැක ගෙන නවමු සිත් තුල රැඳවීමේ වෑයමකි මේ.

    එය එසේම වේවා යයි පතමු!

    ReplyDelete