Wednesday, July 15, 2015

සිය මනමාලි ට කොහෝ තුරුලු වී කොහෝ කොහෝ හඬලයි




මේ උත්තම ගණයේ සොඳුරු මිනිසා ගැන මම මේ සටහන ඇරඹිය යුත්තේ කෙලෙසකදැයි සිතමි. කෙලෙසක ඇරඹුවත් ඔහු නමට තරම් වන ඇරඹුමකට වචන හැසිරවීමේලා මා බුහුටි නොවෙතැයි මටම සිතේ. ඒ සිතුවිල්ල ඇති වුණේ මේ උතුම් සොඳුරු මිනිසා විෂයයෙහි පමණක් නොවෙයි. එහෙත් මේ සටහන ඇරඹුමේදී එය වඩාත් තදින් දැනුනි. ඔහුගේ නිර්මාණ අගැයුමට තරම් පොහොසත් බසක් මට නොමැති වීම ගැන මම දුක් වෙමි. එවන් බසක් මට තිබුණි නම් ඔහු පිළිබඳව මීට වඩා කොතරම් නම් හොඳට ලියන්නට තිබුණේද? ඔහුගේ නිර්මාණ මීට මීට වඩා කොතරම් නම් හොඳට රස විදින්න තිබුණේද? ඔහුගේ නිර්මාණ ගැන මීට වඩා කොතරම් නම් හොඳට වණන්නට තිබුණේද?

එතුමන් මෙලොව උපන්නේ, මෙරට, කොග්ගල, මළලගම නම් සොඳුරු ගම් පියසෙහිදීය. ඒ 1920 වසරේ මැදින් මස 18 දිනදී ය. ඒ තොරෝනිස් දේවමනිමේන්ද්‍ර පියාණන්ට සහ ලයිසොහාමි වතුගෙදර මෑණියන්ට දාව ය.

කොග්ගල ගම් පියස පිළිබඳව ලියූ විට මෙන්ම කාලය 1920 ගණන් දක්වා ඈතට යන විට සමහර විට මේ කියන්නට හදන්නේ කොග්ගල මහා ප්‍රාඥයන් වන මාර්ටින් වික්‍රමසිංහයන් ගැන යැයි ඔබ සිතනු ඇත. එහෙත් මේ අනෙක් ප්‍රාඥයෙකු ගැනය.

එනම් දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධයන් ගැනය. ආර්යසේන ආශුබෝධ ලෙසින් කියූ විට මේවන් ප්‍රාඥයෙකු සිටියේදැයි සිතන පිරිස් සිටිය හැකිය. සමහරෙක් වරක් දෙවරක් නම කියවා අපට හුරු පුරුදු නම සොයා ගනු ඇත.

මාර්ටින් වික්‍රමසිංහයන් ද උපත ලද සොඳුරු ගම් පියස හා බැඳුනු පරිසර වැණුමේත්, ගැමි කලා සහ සාහිතයේ සෙවනැල්ලේත්, ගැමි උගතෙකු වූ සිය මුත්තනුවන් ගේ කවි කතා ගැමි ගී වෙනත් කලාංග ඈ දේ පිළිබඳව කළ ඉගැන්වීමේත් ආනුභාවය මත දේශීය මුල් සහිතව පිබිදෙන ආශුබෝධ දරුවාට ප්‍රාඥයෙකුයැයි අපගේ බුහුමන් ලැබුම දක්වා වන විධිමත් අධ්‍යාපනය ලද අයුර ගැන ඔහුගේ නිල වෙබ් අඩවියේ මෙලෙස සඳහන් වෙයි.

1927 දී කතළුවේ රජයේ පාසලට ඇතුළු කැරුණු ආර්යසේන ආශුබෝධයෝ 1934 තෙක් එහි ඉගැනීම ලද හ. 1934 දී පාසල් හැරයෑමේ සහතික පත් විභාගයෙන් ඔවුනට පළමු පෙළේ සමත් බව හිමි විය. ඉක්බිති ව හබරාදූවේ අභයදාන විදුහලට 1935 දී ඇතුළත් වූ ඔහු එයින් ප්‍රාරම්භ සහතිකය ලබා 1937 දී කොග්ගල අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වැ ගුරු සහතිකය ලද හ. 1939 දී නිට්ටඹුයේ ගුරු ඇබෑසි විදුහලට ඇතුළත් වූ ආශුබෝධයෝ 1942 දී පුහුණු ගුරුවරයකු ලෙස එයින් පිට වූ හ.

පාසැල් අධ්‍යාපනයෙන් පමණක් ප්‍රාඥයෙකු බිහි නොවන බව නොදන්නෙක් ඇතියි නොසිතමි. එහෙයින් එවැන්නෙක් බිහිවීම සදහා බොහෝ ඇසූ පිරූ තැන් අවැසි වෙයි. ඒ ගැන ඉඟියකි මේ.

පාසලින් ලද දැනුමට වඩා දැනුමක් ආශුබෝධයන් ලදුයේ යහපත් ගුරු ඇසුරිනි. එහි ලා වෙසෙසින් සඳහන් කළ යුතු කිහිප දෙනෙක් වෙති. කොග්ගල මහ කිවි වෙල්ලාල ජයමහයන් ඇසුරින් හෙළ බසත් ලිවිසැරියත් (සාහිත්‍යයත්) සකු බසත් සද සතරත් (ශබ්ද ශාස්ත්‍රයත්) හදාළ ආශුබෝධයෝ ගුරු දෙවි කුමාරතුංග මුනිදාසයන් ඇසුරින් සිය බස් දැනුම වවා වඩා ගත් හ. කුමරතුඟු ඇසුර ඔවුන් ගේ දිවිය නව මඟකට හරවන්නට සමත් විය. කුමරතුඟුවන් ඇරැඹි සුබසසඟරාවට පැදි සැපැයූ ආශුබෝධයෝ කෙමෙන් හුදු හෙළ වහරට නැඹුරු වූ හ. එහි පල විසින් ආර්යසේන ආශුබෝධ යන නම ද අරීසෙන් අහුබුදු යැ යි හුදු හෙළ බසට නඟා ගැනිණ. කුමරතුඟුවන් ඇවෑමෙන් හෙළ හවුලේ නයු (නායක) බවට පත් ජයන්ත වීරසේකරයන් ගේ ගුරු ඇසුර ද අහුබුදුවන් ගේ දිවියට වෙසෙසින් බල පෑවේ ය.

ඉදින් මේ අප කතා කරන්නට පෙළඹෙන්නේ අරිසෙන් අහුබුදු වන් පිළිබඳවය යන්න දැන් සැමට ප්‍රත්‍යක්ෂය.

අරිසෙන් අහුබුදු දේශමාමකයෙකි. ඇදුරුතුමෙකි. සාහිතලොලියෙකි. සාහිතකාමියෙකි. සාහිතවේදියෙකි.
හේ ගීත රචකයෙකි. කවියෙකි.
නාට්‍ය රචකයෙකි. නාට්‍ය නිර්මාණ ශිල්පියෙකි.

තව නම් කොපමණ හැඳින්වීම කළ හැකි ද? මේ උත්සාහය ඔහු කළ කලා මෙහෙවරින් අංශු මාත්‍රයක් පිළිබඳව විමසුමටය.
 ‍
ඔහු කළ කලා මෙහෙවරින් අංශුවක් පිළිබඳව විමසුමට වුව මගේ බස හැසිරවීමේ හුරුව මද යැයි යන්නෙන් කියවෙන අනෙක නම් ඔහු නමින් මට කළ හැක්කේ කුමක්ද යන්නය. එහෙත් මේ ගී කවි හා ඒ නිර්මාණ සිපින් පිළිබඳව කෙරෙන මගේ කුරුටුගෑම් අතරේ ඔහු නමින් සටහනක් නොතිබුණේ නම් ඉන් ඔහු නමට බිඳැකුදු අඩුවක් නොවනු ඇති. එහෙත් මගේ මේ කුරුටුගෑම් අතරට එය විසල් අඩුවක් වනු නොඅනුමානය.

මට එක වරම අපේ අම්මා ව මතක් වෙයි. කුඩා සංදියේ ඈ අපට ගැයූ ගී කොතෙක්ද? ඒ අතරේ තිබූ මේ ගීය කවුරුන් විසින් රචනා කළේ දැයි සෙවීමට මට කිසිදු උවමණාවක් එකල නොවුණි. ඒ උවමණාව ආව් බොහෝ කලක් ඇවෑමෙනි.

රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව ලතුළේ ඇනී වන වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැණුනා
රාජසිංහ දෙවි නාමය ලොවේ නැති වුණා.

මේ ගීය මා අසා ඇති වාර ගණනින් වැඩිම වාර ගණනක් අසා ඇත්තේ අම්මා ගේ හඬිනි. සමහර විට ඒ පුංචි කාලේ අම්මා ගෙදර ඉන්නා සෑම දවසකම රාත්‍රියේ නින්දට පෙර අප ඈ ලවා මේ ගීය ගායනා කරවීමු. ඈ බොහෝ දිනවල අප නින්දට යාමට පෙර ගෙදර නොසිටි නිසා මිස නොමැති නම් ඒ අවස්ථා ගණන තවත් වැඩි වෙන්නට තිබුණි. මේ අම්මා ගැන සටහනක් නොවේ. අහුබුදුවන් ගැන සටහනකි. එබැවින් මේ ගීය ගැන ලියා අවසන් කොට යුතුය.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා 
යුධට උපන් කුමරිඳු යයි නමක් ඇති වුනා
මුල්ලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා

නිතර නිතර සීතාවක රණබෙර නැඟුනා
කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් වුනා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුනා
රාජසිංහ දෙවි නාමය ලොවේ රජ වුනා

රුසිරු පෙතන්ගොඩ උයනට අනේ ලං වුනා
නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුනා
එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි වුනා
රාජසිංහ දෙවි නාමේ ගියා නැති වුනා

මේ නම් සිරිලක රජු වුණු ටිකිරි බණ්ඩාර රාජසිංහ හෙවත් පළමු රාජසිංහ රජුන් පිළිබඳව ලියූ ගීයකි. එය සංදේශය නම් වූ චිත්‍රපටයෙහි එන ගීතයකි. සංදේශය චිත්‍රපටයේ දී ගැල් කරුවෙකුගේ ගීයක් ලෙසය මෙය වැයෙන්නේ. ගීයෙහි පද රචකයා අප කතානායක අහුබුදු ශූරීන්ය.

ටිකිරි බණ්ඩාර රංජසිංහ රජුන්ගේ පිය රජුන් වන සීතාවක මායාදුන්නේ රජුගේ රාජ්‍ය සමයේදී පෘතුගීසීන්ට එරෙහිව ඔවුන් එක්ව දියත් කළ සටන් මෙහෙයුම් සහ ඒ හා සමග පෘතුගීසීන්ට මුහුණපෑමට සිදුවුණු දුෂ්කර කාලවකවානුව මෙහි සංක්ෂිප්තව එහෙත් හැමට දැනවෙන සේ එහි ලියැවී ඇත.

එපමණක් නොව තවත් එහාට යමින් ටිකිරි බණ්ඩාර රංජසිංහ රජුන්ගේ අවසන් මොහොත පිළිබඳව පවා එහි සඳහන්ව ඇත.මේ එම අවසන් දින කිහිපය පිළිබඳව සහ ආශ්‍රිත කරුණු පිළිබඳව ද ගීයකි එය.

ටිකිරි බණ්ඩාර රාජසිංහ රජතුමා 1592 දී කන්ද උඩරට විමලධර්මසුරිය රජු හා කළ අන්තිම සටනෙන් පසුව ආපසු එන ගමනේදී මෙම උයනට ගොස් විවේක ගත්තේය. ඒ අතරතුර ඔහුගේ පතුලේ උණ කටුවක් ඇනී තුවාලය අසාධ්‍ය තත්ත්වයට පත් වී ඔහුගේ මරණය ද සිදුවිය. මේ උයනේ ඇති කටු උණ පඳුර සහිත භූමිය විශේෂයෙන් නැරඹිය යුතු ස්ථානයකි. අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ අඟුරුවැල්ල මංසන්ධියෙන් වමට හැරී ගුරුගොඩ ඔය හරහා ඇති පාලමෙන් එගොඩට වී දකුණට හැරී එම ඔය ඉවුරට සමාන්තරව කි.මී. 3 ක් පමණ ගිය විට පැරණි පෙතංගොඩ උයන හමුවේ. කන්නත්තොට නව පාලමෙන් එගොඩට වී සුළු දුරක් ගියවිට ද මෙම පුරා විද්‍යා රක්ෂිතයට ලගා විය හැක.


( උපුටා ගැන්ම - රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව - http://www.ruwanwella.ps.gov.lk/index.php/2015-01-29-01-57-46/2015-03-15-15-21-24 )
( වසර 3ක පමණ කාලයක් වෛද්‍යවරයෙකු වශයෙන් කරවනැල්ල රෝහලේ සේවය කළ බැවින් යම් නිදහස් අවස්ථාවල මේ ස්ථානයට යාමේ වරම පහසුවෙන් අපිටද හිමි වූ බව පමණක් ලියමි.)
කටු උණ යනු සාමාන්‍ය උණ ගස් සේ පෙනෙන එහෙත් රුදුරු කටු වලින් ගහන උණ වර්ගයකි. මේ ඡායාරූපයෙන් ඒ කටු මනාව දිස් වේ.


කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා  ගීතය අසමු.


Film – Sandeshaya / Music Director - R. Muttusamy / Composer - Sunil Santha / Lyrics - Arisen Ahubudu / Film Director - Lester James Peries.
සන්දේශය චිත්‍රපටයේ ගීතයක් පිළිබදව කතා කරමින් සිට වෙනත් ගීතයකට පිවිසීමට පෙර සන්දේශය චිත්‍රපටයෙහිම හමුවන මේ ගීතය අසා ගියොත් මැනවැයි සිතේ. එය අතිශය මනරම් ගීයකි.

පුන්සඳ එළියයි දෙනමද සුළඟයි - මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහන‍යි - මල් මල් මල් සැරයයි
සඳ රැස් සිඹ සිඹ සැනසෙන පිවිතුරු සුදුවැලි පියවිල්ලයි
ලලයි ලයි සුදුවැලි පියවිල්ලයි

රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි
ලලයි ලයි පුළුන් වලා වියනයි

සිය මනමාලි ට කොහෝ තුරුලු වී කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි

මේ ගීත යුගලයම ගත් කල වුවත්, මෙහි ඇති වඩාත්ම විශිෂ්ඨ ලකුණ නම් එහි ඇති පද බැඳුම් ය. භාෂා හැසිරවීම ය. මෘදු වදන් ය. සිංහල බසෙහි සොඳුරුම වදන් ය.යෙදුම් ය.
අප වහරණ හෙළ බසට වඩා අප අමතක කළ හෙළ බස කොතරම් මිහිරිද යන්නට වඩාත් උචිත උදාහරණ සපයන ගීත රචකයා විමසුව හොත් ඒ අනෙකෙකු නොව අරිසෙන් අහුබුදුවන් ය. කෙසේ වෙතත් මේ ගීත යුගලයේ ම සංගීත පාර්ශ්වය පිළිබදව කතා නොකර යාම නොවටිණා දෙයකි. මේ චිත්‍රපටය නිපදවෙන්නේ 1960 තරම් ඈත කාලයක ය. එවන් යුගයක නිම වුනු මේ ගීත මෙතරම් නිමාවකින් යුක්ත වීම සහ සුන්දර වීම අදහාගත හැකිද? මේ ගී දෙකෙහිම තනු නිර්මාණ ශිල්පියා වන්නේ සුනිල් ශාන්තයන් ය. සංගීත අධ්‍යක්ෂනය ආර්. මුත්තුසාමි ගෙනි.



පළමු ගීතය වූ කටේ කිරි සුවඳ යන්නට ගීතය තුළින් මතුවනුයේ ගැමි සහ අමු වර්ණයකි. එය පැහැදිලි ය. මක් නිසාද යත් ගීත ඉදිරිපත් වන්නේ ගැල්කරුවකු මුවිනි. ගැල් කරුවන් ගැල් ගෙන යද්දී සරල ගී නොගයයි. ගයන්නේ ගැල් කවිය. ගැල් ගී ය. මේ නිසා සිය තනුව තුළ එම ස්වරූපය පවත්වාගෙන යාමට සුනිල් ශාන්තයන් මනාව වග බලාගෙන ඇත. ඒ අනුව යොදා ගෙන ඇති කටහඬ ද බොහෝ දුරට ජන ගී ආරට උචිත හඬකි. සංගීත සංයෝජනයද ඊට අනුගත එකකි.
නමුත් දෙවන ගීතයෙහිදී මෙම තත්වය සපුරා වෙනස් වෙයි. එහි තනුව තුළ නව්‍ය බවක් ගැබ්ව ඇත. මතක තබා ගන්න 1960 දී නිමවුණේවී එහි අදටත් ඔබින ගතියක් ගැබ්ව ඇත. ඒ ලෙසින්ම සංගීත සංයෝජනයේදී මුත්තුසාමි මාස්ටර් යොදා ගෙන ඇති සංගීත ඛණ්ඩ අති මනරම්ය. එම පෙරදිග සංගීත ඌරුවට නිමැවුණු සංගීත ඛණ්ඩ  අද නව තාක්ෂනයට අනුව බටහිර සංගීත ඌරුවට උගත් සංගීතඥයින් අතින් වැයෙන විට ගීතයට අමුතු හැඩක් ලැබී ඇති බව ඔබට වැටහෙනු ඇත. බලන්න එහි වාදිකාව සිය වයලිනය හඬවන අයුරු. ඒ උදාහරණය පමණක් සෑහෙනු නිසැකය.
පුන්සඳ එළියයි දෙනමද සුළඟයි ගීතය අසමු.


සන්දේශයේ ම එන ගීයකි ජෝතිපාලයන් විසින් ගයන පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය. එයද අරිසෙන් අහුබුදුවන්ගේ රචනාවකි.මෙම ගීතයේද තනුව සුනිල් ශාන්තයන්ගෙනි. සංගීතය ආර්. මුත්තුසාමිගේ වෙයි.
පෘතුගීසිකාරයින් පතළව සිටියේ විනෝදකාමී ජාතියක් වශයෙනි. මත්පැනට බොජුනට රැඟුමට සේම ස්ත්‍රීන්ට ද ලොල් යැයි ප්‍රකටය.
ගීතයේ මේ දැනවුම හරියටම හරි යන සේ ලියා තිබේ. එමෙන්ම ඊට උචිතම තනුව ද සංගීතය ද ගැයුම ද ගැබී ඇත.කෙසේ වෙතත් කිව යුතු දෙයක් වෙයි. එහි මෙවන් පාදයක් ඇත.

සිස්ටාචාරේ දන්නේ නෑ මේ ගොල්ලෝ
කොස් කාලා බත් කාලා නිදියන කොල්ලෝ
ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

කිසියම් කරුණක් නිසා මෙම පාදයේ

සිස්ටාචාරේ දන්නේ නෑ මේ ගොල්ලෝ
කොස් කාලා බත් කාලා නිදියන කොල්ලෝ

කොටස හැලී ගොස් ඊ ළඟ පද දෙක පමණක් ගයා ඇත. එබැවින් පරෙස්සමින් ගීතය අසන්නෙකුට දැනවෙන්නේ වෙනත් අරුතකි. මේ සම්පූර්ණ පද රචනයයි. එහි ඒක උගන්වන්න තමයි යුද්ධ කරන්නේ කියපුවාම කෝක උගන්වන්නද යන අදහස කෙනෙකුට ඒවි. එහෙත් ඒ පරෙස්සමින් අසුවොත් පමණි.

පුර්තුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ...

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ
බයිනෙත්තුයි හරවන්නේ
විනෝද මිහිරේ..

අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු
වැදුනොත් ලෝකෙට මුක්කු
විනෝද මිහිරේ..

කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නූ
විනෝද මිහිරේ..

වයින් බෝතලේ යුද්දෙට හරිම ආයුදේ
හරිම ආයුදේ අපගේ පරම විනෝදේ
අපගේ අමර විනෝදේ
අපගේ බමර විනෝදේ..
විනෝද මිහිරේ...

වයින් බෝතලේ ඇති තැන විනෝද මිහිරේ
වැඩියෙන් ගත්තොත් යා හැකි දෙව්ලොව පාරේ
යා හැකි දෙව්ලොව පාරේ
විනෝද මිහිරේ..

පුර්තුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා ගීතය අසමු.


අහුබුදු ශූරීන්ගේ මේ ගී මෙතරම් සරල මානයකින් විමසුම පවා මට මහත් අභියෝගයක් වෙයි. මේ නිසාම සටහනේ සුළු කොටසක් පමණක් නිමව  ඇති තැන දක්වා එනවිට වුව මා දුර්මුඛ වූ අවස්ථා එමටය. අතහැර දැමිය යුතුයැයි සිතුන අවස්ථා එමටටය. එහෙත්, කෙසේ අතහැර දමම්දැයි වරින් වර ඇතිවන සිතුවිල්ල තව දුරටත් මේ සටහන තුළට මා බැඳ තබයි.
මේ නම් අරුමම ගීතයකි. එහි අපට ඇති පාඩම් කොතෙක්ද?
ජීවිතය යනු දාදු පෙතක් ය යන අදහසින් ලියන්නට ඇරඹුනු එය ලියාගෙන යනවිට උත්සාහ කර ඇත්තේ ජීවිතය යනු දාදු පෙතකැයි කියමින් කළ පිවිසුම මුසාවක් නොවන වග ඔප්පු කිරීමය.
ඒ අනුව නැගෙන වැටෙන වැටී නැගෙන යළිත් වැටෙන, එමෙන්ම කැපි කැපී යන, යළි පෙතට එන, යළිදු කැපෙන ජීවිතයේ විවිධ අවස්ථා ඒ අතරතුරේ මතකයට නගයි. ඇත්තටම මේ ජීවිතය නොවේද?

නැගෙන වැටෙන වැටී නැගෙන පෙරළැනෙ ලෝකේ

වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ


එකින් එකට කොටු පැන පැන පෙරට ඇදෙන්නේ

දිනුම් පෙත්ත අතේ දුරයි කැපී වැටෙන්නේ

පැතුම් ඉරට රුවන් මිණයි වැටී පෙනෙන්නේ

දාදු දමන්නේ


දරුණු රුදුරු නාග විසෙන් මැණික වැසෙන්නේ

වාසනාව නාග කටේ ඇයි බිය වෙන්නේ

බලාපොරොත්තුවේ දොරටු පවට වැසෙන්නේ

පිනට හැරෙන්නේ


පියෙන් පියට දාදු පෙතේ කපටි ගැට වැටේ

ගැටින් ගැටේ ගැටී වැටේ මහ දහම් ගැටේ

වැටී පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ

දාම දිනන්නේ


ඇත්ත නැත්ත දාදු දමයි දිවි හටන් බිමේ
නැත්ත මගින් ඇත්ත නැඟී සිටී අන්තිමේ
විනිස දවස පැමිණිදාට කර්මයා අසයි
කවුද හරි? කවුද හරි? කවුද හරි?

මෙම ගීතය කවුද හරි චිත්‍රපටය සඳහා නිර්මාණය වූවකි. ගීතය ඇසෙන්නේ තිරයේ නාමාවලිය දිගහැරෙන අවස්ථාවේය.
මම ගීතයේ සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි. ඒ සිසිර සේනාරත්න සහ වික්ටර් රත්නායකයි. ගීතය ගයනුයේ අයිවෝ ඩෙනිස් සහ වික්ටර් රත්නායක විසිනි.



අහුබුදු උපහාර සංගීත සැඳෑවකට වික්ටර් සහ අයිවෝ ඩෙනිස් ගැයූ ගීය මෙහි අමුණන්නේ චිත්‍රපටයේ දසුන් සමග බැඳුනු විඩියෝවේ පැරණි බව නිසාය.


සටහන අදට නිම කිරීමට පෙර මට තවත් චිත්‍රපට ගීතයක් මතක් වෙයි. අපි කුඩා සන්ධියේ අපව පිස්සු වැට්ටූ චිත්‍රපටයක් වූ හඳයා හි කවුරුද කවුරුද දැන් ලොක්කෝ ඒ ගීතයයි.


මේ ගීතය රචනා කළේ අහුබුදු ශූරීන් බව දැන ගත්තේ ඉන් බොහෝ කලකට පසුවය. මට මතක පමණින් මෙහි සංගීත නිර්මාණය සෝමපාල රත්නායකගෙනි.

කවුරුද කවුරුද දැන් ලොක්කෝ
අපිමයි අපිමයි දැන් ලොක්කෝ
සතුරු බලේ ගියා කැලේ
අපේ බලේ සමගි බලේ

ලොක්කො අපී ලොක්කො අපී අද ගමට
ලොක්කො අපී ලොක්කො අපී හෙට රටට
පුංචු වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ
චූස් චූස් කෑව නේද ගම්මිරිස් ඇටේ

කූඹි ගුලේ තියෙන බලේ
දිමි ගොට්ටේ තියෙන බලේ
පුංචි අපේ ලොකුම බලේ
සමගි බලේ සමගි බලේ

මේ ගීතයේද පදවලින් පෑ පෙළහර කුමක්දැයි එය දුටු විටම වැටහේ. විශේෂයෙන් හඳයා ළමා චිත්‍රපටයක්ද නැතිනම් ළමයින් යොදාගෙන කළ වෙනත් ආකාරයක චිත්‍රපටයක් දැයි යම් විවාදයන් පැවතියද ළමා චිත්‍රපට අඩු ලංකාව වැනි රටක එකල විසූ ළමයින්ට මෙය මහඟු චිත්‍රපටයක් වුණි. එහි අගය වඩාත් වැඩි කළ එක ලකුණක් වූයේ මේ ගීතයයි.
ගීතයේ සංගීත පාර්ශ්වය ගත්තත් ළමයින් තුළ ඇති ප්‍රීති ප්‍රමෝදය, සැවොම එක්ව රැස් වීම ක්‍රියා කිරීම වැනි දෑ උද්දීපනය කරණ අයුරින් එහි සංගීතය නිමවා ඇත. මේ සියල්ල හා සමගින් අදත් අතීත ළමා දිවියට යා හැකි කෙටි මගක් වශයෙනි මට මේ ගීය පෙනෙනුයේ.
කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගීතය අසමු.


කවුරුදෝ කවුරුදෝ ගීතයෙන් සටහන නිම කළ නොහැකි වන්නේ එහිම අනෙක් ගීතය නිසාවෙනි. ඒ රචනයද අහුබුදුවන්ගේ මය.
සිඟිති ලොවේ හුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ලපටි සිතුම් හඳුනන හඳයා
අදත් හෙටත් දින එයි හඳයා....

අපේම සුන්දර ළමා ලොවේ
මල් හිනා පිපී හැලේ
දිවා රැයේ මාවතේ
ගුටි බැට කන්නේ
ගහ බැන ගන්නේ
අත්වැල් බැඳගන්නේ

සුරංගනාවන් සිනවෙවී
පැල්පතේ බලා හිඳී
මල් මැද පින්නේ
මල් යට ඉන්නේ දිරියෙන්
දිරියෙන් හිනැහෙන්නේ...



තව සැමරුම් ඉදිරියටය.

දෙවන කොටසට පිවිසුම
http://www.yasanathsithuwili.blogspot.com/2015/07/blog-post_18.html 

-   යසනාත් ධම්මික බණ්ඩාර   -

10 comments:

  1. ඇත්තටම අද සටහනෙන් නොදන්න දේවල් මයි කියවුනේ. විසේසෙන්ම පුරුතුගීසි කාරයා සිංදුව ගැන.
    ඒත් දැං නං අහුබුදු මහත්තයා සංස්කෘත වලට වැඩි බරක් යොදනව නේද.
    නං එහෙම හදල දෙන්නෙ ඔක්කම සංස්කෘත නම්

    ReplyDelete
  2. අගනා ලිපියක්

    ReplyDelete
  3. අපි දන්නේ මොනවද කියලා හිතෙනවා මෙවැනි ලිපි කියවනකොට. හරි අගනා විස්තරයක්. බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. හරිම අපූරුයි අපේ එතුමන් හැන හා අපේ බස ගැනත් සාඩම්බරයක් ඇතිවෙනවා . නැවත නැවත සිහිකලයු උදාර මිනිසුන් ගැන ලියන ඔබට තුති.

    ReplyDelete
  5. බොහොම වටිනා ලියවිල්ලක් සර්. ❤

    ReplyDelete
  6. මේ වෙහෙස ගත්තාට පිං වේවා අයියා.

    ReplyDelete
  7. ගොඩාක් වැදගත් නොදත් කරැනු හා පෙරෙලන ලෝකේ දාදු කැටේ ගිතය ( මුල් වරට ) පිලිබදව දැන ඉගෙන ගත්තා .. ගොඩාක් පිං ..

    ReplyDelete
  8. අපට ඉතා ආආස්වාදකර සිහිකැඳවීමක් වූත් නවකයනට දැනුම් මගක් වූත් මෙම රංජනාත්මක ව්‍යායාමය පිළිබඳ මගේ ප්‍රසාදය !

    ReplyDelete