Saturday, July 11, 2015

නෙලුම්මලක් අදත් පිපෙයි සිරස නමා කලා වැවට



වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනෙහි උන්නේ.....

මේ කාශ්‍යප නම් පීතෘ ඝාතක රජුන් පිඳිබඳ ලියූවක්ද? නැති නම් මේ කාශ්‍යපගේ පිය රජ වුණු ධාතුසේන රජුන් වෙනුවෙන් ලියූවක්දැයි කෙනෙකුට වටහා ගැනීමට තවත් කෙනෙකුගේ මග පෙන්වීම් අවශ්‍ය නැත. එහෙත් මා එම ගීත ඛණ්ඩය යොදා ගෙන මෙම සටහන ඇරඹීමට සිතුවේ කාශ්‍යප ගැන හෝ ධාතුසේන රජුන් පිළිබඳව කතා කිරීමට නොවේ.
ධාතුසේන රජුන් සිය රාජ්‍ය සමය තුළ රැස් කළ ධනය සේ පෙන්වීමට ගෙන හැර පෑ වස්තුව පිළිබඳව කතා කිරීමටය. එහෙත් එය පැහැදිලි වීමට මේ වන විට අතීත කතාව මතකයෙන් ඈත් වුණු අයෙකුට නැවත එය මතක් කිරීම වටනේයැයි සිතමි.
කස්සප යනු ධාතුසේන රජුන්ගේ පුත් කුමරෙකි. කස්සප හැදී වැඩී අවසන සිහසුන පැතූවද ඔටුන්න හිමි කුමරා වන්නේ කාශ්‍යප නොවේ. ඔටුන්න හිමි කුමරා වනුයේ මුගලන් ය.
මුගලන්ට ඔටුන්න හිමි කර දීමට පෙරාතුව කාශ්‍යප  විසින් පිය රජුන් සිරගතකොට ඔටුණු පළඳී. මුගලන් ට ආරක්ෂාව පතා දඹදිවට පළා යාමට සිදුවෙයි.
කාශ්‍යප විසින් අනතුරුව ධාතුසේන විසින් රැස් කර ඇති මහා ධනස්කන්ධයක් වේයැයි සිතමින් ඒ ධනස්කන්ධය පිළිබඳව පිය රජුන් විමසන කල එවැනි ධනස්කණ්ධයක් තැන්පත් කළ නිධානයක් තමන් සතුව ඇතැයි පවසා කලා වැව අසලට රැගෙන යන සේ පැවසීලු. එහි ගිය විට මේ තමයි මා සතු වස්තුව... මේ තමයි මගේ සම්පත යැයි කී විට එයින් උරණ වූ කාශ්‍යප විසින් ධාතුසේන රජතුමා වැව් බැම්මට තබා පස් වලින් යටකොට මරා දැමූ බවක් කියවෙයි.

බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දියකඳ වන්නේ

හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිතබින්දේ
මා මළ පසු පුත මිහි දන් කළ මැන කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිණු මැන අව්කන පිළිම සමින්දේ.....

මරණය අභියස වුව ධාතුසේන රජුන් විසින් අව්කන පිළිම වහන්සේගෙන් අයැදින්නේ තමන්ගේ කලා වැව සදා රැක දෙන ලෙසයි.


ගීතය අසමු.
 


රජෙකුට අන් වස්තුවකට වඩා වටිණා ලෙස කලා වැව දැනුනේ නම් අවශේෂ දනට එය මොන තරම් සම්පතක් සේ දැනෙනු ඇතිද?
මා මෙහි විමසන්නේ මේ වටිණා වස්තුව - කලා වැව - සම්බන්ධ කොටගෙන ලියූ ගී නිර්මාන කිහිපයක් පිළිබඳව විමසීමයි.
මේ සඳහා තෝරා ගත් ගීත කිහිපයක්ම වෙයි. එහෙත් මග හැරුණු ගීත ද තිබිය හැකිය.
ශාන්ත ජයලත් තිසේරා සංගීතඥයෙක් වුව ඔහුට ගීත රචනා කිරීමේ විශේෂ හැකියාවක්ද වෙයි. මතු ඉදිරිපත්වන ගීතය ඔහුගේ සුන්දර ගීතයකි. එහි ගැයුම වර්තමානයේ ඉහළින්ම සිටින ගායක අමරසිරි පීරිසුන්ගෙනි.

කලා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා

කලා වැව වසරකට තුන් වරක් වත් සිඳෙයි. සිඳෙනවා යනු මහවැලි එච් කලාපයේ ගොවිතැන් සඳහා අවැසි ජලය නිකුතුවයි. ඊට අමතරව අනුරාධපුර මහ වැව් වලට දිය ගෙනයන්නේද කලා වැවෙනි. යෝධ ඇල ඔස්සේය.
කලා වැව වසරකට තුන් වරක් සිඳී තුන් වරක් නොපිරුණේ නම් මේ කලාපයේ ගොවිතැන් නිසි ලෙස නොපැසෙයි. ජලයෙන් තොරව මැරී යයි. ඒ අතුරු කතාවකි. එය මතක් වුණේ තිසේරාගේ මේ පද රචනය නිසාවෙනි. ඔහු මේ සිද්ධිය දැන හෝ නොදැන සිය බිඳෙන හැදෙන සිත පිළිබඳව උපමාවට ගනු ලබන්නේ කලා වැවේ සිඳීම සහ යළි පිරීමයි.

කලා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා

වැව සිඳුනු කල දිය තලයෙන් මෙතෙක් වසා සිටි දිරා ගිය රුක් කදන් කඩා වැටුණු තවමත් නොදිරා ඉතිරි වුණු අතු ඉති ආදිය මතු වෙයි.
හිඳුන වැව් පතුලේ
කටු කොහොල් පෙනෙනවා
යැයි කියන්නේ එයටය. රිදුනු සිය සිතේ දුක්ඛ දෝ මනස්සයන්ද එවැනිමය.
හිඳුන වැව් පතුලේ
කටු කොහොල් පෙනෙනවා
රිදුන හිත් මඩලේ
සෝ සුසුම් දැනෙනවා........
පිරුණු දා වැව් තලය මත සිතුවම් අඳින්නේ සුදු නෙළුමන්ය. හරියටම හිත හැදුණු පසු මෝදු වන සුසුදු ප්‍රේමය මෙන්මය.

පිරුනු වැව් ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඬලේ
පෙම් සුවඳ දැනෙනවා.......


ගීතය අසමු.
 


වික්ටර් රත්නායකයින් සතුව අති විශිෂ්ඨ බුදුගුණ ගී 10 කට වඩා ඇත. වික්ටර් ගේ අතිවිශිෂ්ඨ බුදුගුණ ගීත රැස අතරින් මා මෙම ගීතය තෝරා ගන්නේ එය එම ගීත අතරින් වඩාම ජනප්‍රිය බුදුගුණ ගීය ලෙසින් නොවෙයි. සාපේක්ෂව ජනතාව අතර එතරම් නැති කලා වැවේ දිය ගැඹරේ ගීතය තෝරා ගත් හේතුව දැන් ඔබට පැහැදිලිය. එහි කලා වැව පිළිබඳප සඳහනක් එහි ඇති බැවිනි.
ගීතයේ රචනය මහාචාර්ය තිලක් රත්නකාරයන්ගේ ය. සංගීතය ඩී. ආර්. පීරිස් ගේ ය.

කලා වැවේ දිය ගැඹරේ - සැලෙන සලා රැඟුම් බලයි
අවුකන බුදු පිළිම වහන්සේ..
නිසල නෙතින් බැළුම් හෙලා - නිහඞ මුවින් බණක් කියයි
අවුකන බුදු පිළිම වහන්සේ..

කලා වැවේ මහ දිය කඳේ රළ නැගෙන බිඳෙන ආකාරය හරියටම රංගනයක් වගේ. ඈත අවුකන බුදුපිළිම වහන්සේ තුරු හිස්වලට උඩින් කලා වැවේ මේ රැළි රැඟුම දෙස බලා සිටිනවා වගෙයි ගීත රචකයාට හැඟෙන්නේ.

නිසල නෙතින් බැළුම් හෙලා - නිහඞ මුවින් බණක් කියයි
අවුකන බුදු පිළිම වහන්සේ..

එම ශෛල නිර්මාණය තුළ ඇති නිර්මල ශාන්ත ගුණය ගීත රචකයා දකින්නේ සසල නොවූ නෙතින් ලොව බලන ජීවමාන බුදුන් වහන්සේ දකින ආකාරයෙන්මයි. නිසලව හා නිහඬව වැඩ සිටින පිළිම වහන්සේ එසේ නිහඬ මුත් ගැඹුරු දම් දෙසුමක් දෙසන අන්දමක් තමයි ගීත රචකයා දකින්නේ. ඔහු අවුකන පිළිම වහන්සේ දැකීමෙන් ලද පැහැදීම තමයි මෙලෙස ගීත රචනාවක් ලෙස ලියැවෙන්නේ. අනතුරුව ඉන් කියවෙන්නේ එහි ඇති විශිෂ්ඨත්වයයි. නොඑසේනම් ඔහුට එතරම් නිර්මාණාවේශයක් ලැබෙන්නේ නෑ.

ප්‍රඥාවේ යුග නගුළින් - ලොවේ කෙතේ සී සෑවා
සර්ධාවේ බිජු වටයෙන් - විමුක්තියේ පළ නෙළුවා......
කසී බමුණ මේ ගොවිතැන - බුදුන් අතින් ඉටුකෙරුනා
එදා දෙසූ අමා දහම නිහඬ මුවින් පැවසෙනවා.........

මෙම අදහස මතුවෙන්නේ කසී භාරද්වාජ නම්වූ සූත්‍රය මුල්කරගෙන. බුදුන් දවස කසී භාරද්වාජ නමැති බමුණෙක් හිටියා. ඔහු ගොවියෙක්. දිනක් ඔහුගේ ගොවිපළ අසලින් බුදුන්වහන්සේ පිණ්ඩපාතෙ වැඩියා. ඒ කසී භාරද්වාජ බමුණා ආහාරය සඳහා සූදානම් වෙලා හිටිය වෙලාව. බුදුන්වහන්සේ එතනට පිණ්ඩපාතෙ වැඩියාම බමුණා බුදුන් වහන්සේට මෙහෙම කියනවා. මම මහන්සිවෙලා බිම් සුද්දකරලා, නගුල් බැඳගෙන සී සාලා, බිජු වපුරලා, කෙත් රැකලා, අස්වනු නෙලලා ඉන් මගේ ආහාර සාදාගන්නවා. ඔබ වහන්සේ එසේ මහන්සි නොවී දහදිය නොහෙලා අනුන්ගෙන් ආහාර ඉල්ලා ගන්නවා. ඒ නිසා ඔබවහන්සේත් මම වගේ වෙහෙස මහන්සියෙන් ගොවිතැන්බත් කර තම ආහාරය සකසාගන්න එක තමයි වඩා සුදුසු......... මේ කථාව අසා සිටි බුදුන් වහන්සේ බමුණාට මෙසේ දේශනාකරනවා.

සද්ධා බීජං තපෝවුත්ථී
පඤ්ඤා මේ යුග නංගලං
කිරි ඊසා මනෝ යොත්තං
සති මේ පාල පාචනං

ශ්‍රද්ධාව මගේ බිජුවටයි තපස වර්ෂාවයි ප්‍රඥාව විය හා නගුලයි චිත්ත සමාධිය යොතයි මගේ සිහිය හී වැල හා කෙවිටයි...... මේ ආදී වශයෙන් ඇති ගාථා කිහිපයක අරුත ඉතා සංක්ෂිප්තව යොදාගනිමිනුයි ගීත රචකයා මේ ගීය ලියන්නේ.
බ්‍රාහ්මණය මමත් ඔබ වගේම වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් කරනවා. මම ලෝකය නමැති කෙතෙහි වෙහෙස මහන්සිය නොබලා ප්‍රඥාව නමැති නගුලින් සී සානවා. එසේ අස්සැද්දූ ලෝකය නමැති කෙතේ ශ්‍රද්ධාව නමැති බිජුවට වපුරනවා. ඉන් විමුක්තිය නමැති ඵලය ලබනවා.
ඉතින් කසී බමුණා සේම බුදුන් වහන්සේද වෙහෙස මහන්සියෙන් ගොවිතැනක් කරණවා. කෙත් යාය වෙනස්. හාන්නේ වෙනත් ආකාරයේ නගුලකින්. වපුරන්නේ වෙනස් බීජ වර්ගයක්. ලබන්නේ වෙනස් අස්වැන්නක්. මේ අස්වැන්න තමයි විමුක්තිය හෙවත් නිවන. මේ දෙසුම අසන බමුණා සෝවාන් තත්වයට පත්වෙනවා. පසුව නිවන් දකිනවා. අප ගීත රචකයා දකින්නේ අවුකන පිළිම වහන්සේ නිහඬව දේශනාකරන්නේ මෙන්න මේ දහම් කරුණ කියලා. නැවතත් ඒ ගීත ඛණ්ඩයෙහි වචන ‍දෙස හොඳින් බලන්න.

ප්‍රඥාවේ යුග නගුළින්
ලොවේ කෙතේ සී සෑවා
සර්ධාවේ බිජු වටයෙන්
විමුක්තියේ පළ නෙළුවා......
කසී බමුණ මේ ගොවිතැන
බුදුන් අතින් ඉටුකෙරුනා
එදා දෙසූ අමා දහම නිහඞ මුවින් පැවසෙනවා.........

කලා වැව පිළිබඳ සඳහනක් එහි වුව ඇත්තටම එය කලා වැව ගැන ගයන ගීයක් නොවයි. කලා වැවට ඔබ්බෙන් පිහිටි අවුකන පිළිම වහන්සේ ගැන ගැයෙන ගීයක් ලෙසටයි එය සැලකිය යුත්තේ.

ගීතය මෙතනින් අසමු.



මහැදුරු සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියට රචිත මේ ගීතයෙන් ගයන්නේ යම් යුවතියක් තමන් සිත් ගත් යෞවනයෙකුගේ අගයයි. එය මොන තරම් අගේ දැයි යන්න කීමට යොදා ගන්නා එක උදාහරණයකි කළා වැවෙන් ගත් එක දිය දෝතක්. කලා වැවේ එකම එක දිය දෝතක් එපමණ අගේ නම් කලා වැවේ මහ දිය කඳ මොන තරම් අගේදැයි වැටහෙනු ඇත.

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
අගී අගී ඔබ මටම අගී
බෝධියකින් වට බෝ කොළයක් සේ
වටී වටී ඔබ මටම වටී.....

මේ බොහෝ ගීත වල කියවෙන්නේ කලා වැව පිළිබඳවම නොවේ. ඒ මහා නිර්මාණය මහාර්ඝ වස්තුවට සසඳමින් තමන්ට අවැසි වෙනත් දෙයක වටිණාකම කීමය. ඒ වටිණාකම කොතෙක්දැයි කීමට රචකයාට කලා වැව යොදා ගත හැකි වීමෙන් වචන දහසකින් ඔහු සිය රචනය සංක්ෂිප්ත කරයි.

ගීතය මෙතනින් අසමු.



දිවුල්ගනේ ගයන සුනිල් දයාණන්ද කෝණාර ලියා සංගීතවත් කළ  මේ ගීතයද එවැන්නකි. මවු ගුණය කොතෙක්දැයි නැවුම් අයුරකින් කියා ගත නොහැකි වුණු තැන රචකයාට ඒ සඳහා නැවුම්ම යෙදුම සපයන්නේ කලා වැවයි. කලා වැවේ නිල් දියවර පිළිබඳ මතකයයි.

ගමට කළින් හිරු මුළුතැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපෙනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...

කලා වැවේ නිල් දියවර ගීතය අසමු.



රජීව් වසන්ත වෙල්ගම ගේ මේ තරම් සියුමැළිද කළු ගල් ගීතය තුළ ඇත්තේ ඊට වඩා ගැඹුරට විහිදුනු අදහසකි. 

මේ තරම් සියුමැළිද කළු ගල්  
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා....

කලා වැව ළඟ ඉළුක් හෙවනක
අතු පැලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
 
කලා වැව කෙරෙව්වේ ධාතුසේන රජුන් ය. කලා වැව සිය වස්තුව යැයි කීමෙන් මැරුම් කෑවේද ධාතුසේන රජුන් ය. එහෙත් කලා වැව කළේ කවුද යන්න සහ අනතුරුව ඔවුනගේ ඉරණම ගැන කියවෙන ගීයකි එය.
ගීතය තුළ සිටින කලා වැව ඉස්මත්තේ අතු පැළක අගු පිළක සිය රිදුම් පිරිමදිමින් කලා වැවේ රළ නැගෙන රළ බිඳෙන යළි නැගෙන හැටි බලා සිටින මිනිසා  කලා වැව කළ දහස් මිනිසුන්ගෙන් එකෙකි.
ඔහු කලා වැව මතු නොව, ඉතිහාසයෙන් ඉහළට එසවී වැජඹෙන අප ඉතිහාසයට මහා ආඩම්බරයක් එක් කළ තවත් මහා කලා නිර්මාණ දෙකක නිර්මාණ කරුවා එහිදී අපට මුණ ගැසෙයි. එවන් නිර්මාණයන් වෙනුවෙන් දිවිය පුරා කැපවී වෙහෙසී අවසන ඔහුට ඉතිරිව ඇත්තේ කුමක්දැයි එහි මනාව කියා ඇත.



ඉසුරුමුණියේ ඔබ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා



වර්තමාන තරුණ ගීක රචකයින් විසල් පමණකින් නැතත් ප්‍රශස්ථ නිර්මාණ රැසක් ගී කෙතට බිහි කරමින් සිටී. එහෙත් ප්‍රවීන වේවා තරුණ වේවා ගීත රචකයෙක් මෑත වකවානුවේ බිහි කළ විශිෂ්ඨතම රචනය මෙය යැයි කිවහොත් අන් ගීත රචකයින් මා හා උරණ නොවනු ඇතැයි සිතමි.

ගීතය අසමු.
 
මේ කලා වැව යන්න ඡායාවක් ලෙසින් හෝ සඳහන් ගී කිහිපයක් ඔස්සේ යම් සටහනක් ලිවිය යුතුයැයි සිතුනේ කලා වැව නම් මහා නිර්මාණය වෙනුවෙන් මට කළ හැකි අන් යමක් නොමැති බැවිනි. මා ගොවිතැන් බත් නොකරමි. එහෙත් මා මේ අනුරාපුර දිසාවේ තඹුත්තේගම ප්‍රදේශයේ සේවයට පැමිණ ගත කර ඇති වසර 12ක කාලය තුළ මා අනුභව කළ මගේ බිරිඳ හා දරුවන් අනුභව කළ බත අපට දුන්නේ කලා වැවේ නිල් දියවරයි. අපි මේ වසර 12ක කාලය පුරා බිව් දිය කලා වැවෙන් ගලා ආ නිල් දියයි. ඉදිරියට කන බතේද බොන දියේද ඒ දිය මුසුවනු ඇත.
කලා වැව සඳහන්ව නිමැවුණු ගී විමසන මේ සටහනට නිමාව  තබන්නට තෝරාගත් ගීතයේ ඇත්තේ වෙනත්ම මානයක් බව කිව යුතුය.

ධාතුසේන රජුන් කලා වැව සැලකූයේ තමන් සතු වුණු මහර්ඝතම වස්තුව ලෙසය. එහි දිය කඳ මසුරන් හා සමව වටී යැයි ඔහුට දැනෙන්නට ඇත. ඒ දිය බිඳක සරල සාමාන්‍ය වටිණාකම සලකා නොවන වග අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එයම කාශ්‍යප දුටුවේ වෙනත් අයුරකිනි.
ඒ එක් මානයකි. මී ළඟට අප විමසන  ගීතයෙන් කලා වැව දකිනුයේ වෙනත් මානයකිනි.
පියෙකුගෙ දුක කියා පාන
මහ දියකද කලාවැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඩාවැටේ

මේ ගීත රචකයා කලා වැවේ මහ දිය කඳ දකිනුයේ පියෙකුගෙ දුක කියා පාන සංඛේතයක් ලෙසටය. මේ කුමන පියෙකුගේ දුකක්ද? ඒ ධාතුසේන නම් වූ පිය තුමා ගේ දුක් බර කතාව ය. තමන්ට කොතෙක් වධ දී වෑ කණ්ඩියට තබා මැටි ගසා මරා දැමූවද මරණය දක්වාම ඔහු සිත තිබෙන්නට ඇත්තේ වෛරයක් ක්‍රෝධයක් නොව, බල තන්හාවෙන් වස්තු තන්හාවෙන් අන්ධවූ තම පුත්‍ර රත්නය පිළිබඳව වූ අනුකම්පාවය, අසීමිත දරු කැක්කුමය යැයි මේ ගීත රචක යති වරයා සිතා ඇති බවය. ඇත්තටම ඒ ඛේදවාචකය පිළිබඳව ඒ දිය කඳ හඬා නොවැටෙතැයි කිව හැක්කේ කාටද?


සීගිරි​යේ ගී පවුරේ
කවි සිතුවිලි විමානයේ
ලියා ඇතිද එක ගීයක්
ඔබ වෙනුවෙන් පියාණනේ...

පසු කලෙක සීගිරිය කරවූ කාශ්‍යප නම් මේ පීතෘ ඝාතක පුතා තුළ සිය පියා පිළිබඳව පසුතැවීමේ කාලයක්  හෝ කම්පාවක් තිබුණිදැයි කවුරුන් නම් දනිත්ද? කාශ්‍යප විසින් සිය අණින් දිවි තොර වූ සිය පියා වෙනුවෙන් ස්මාරකයක් හෝ ඉදි වූ බවක් මා අසා නැත. එහෙත් අවමයෙන් කාශ්‍යප විසින් කරවූ සිහගිරියේ කැටපත් පවුරෙහි දස දෙසින් පැමිණිවුන් එහි කුරුටු ගෑ ගී අතර එම පියා නමින් ලියැවුණ එකම එක ගීයක් වත් ඇතිද?
කලා වැවේ දිය දෝතකින් මුව සේදූ දහස් ගණන් ලක්ෂ ගණන් සෙනඟ අතරේ ආ එක් කවියෙක් හෝ එවන් කවක් ලිවීද?මේ යතිවර ගීත රචක උතුමන්ගේ - රඹුකන සිදත් හිමියන්ගේ - හද දවාලන්නට ඇති පැණයයි.
  
සීගිරි ළලනා දෑසින් කදුලු
බිදක් නොහෙලුවාට
නෙලුම්මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට

මේ ගීත ඛණඩය තුළදී මානුෂික බවේ ඛේදවාචකය නිරූපනය වනවා සේම ඒ යටින් දිවෙන යම් දේශපාලනයකුත් නැතැයි කිව හැකිද?
උස් අසුන් අරා සිටින ජනයින් සීගිරි ලලනාවන්ගෙන් නියෝජනය වෙතැයි මට සිතේ. ඔවුනට කලා වැව පිළිබඳව නිසි තක්සේරුවක් නැතිවා සේම ධාතුසේන නම් රජුන් ගැන නොව ධාතුසේන නම් පියතුමන් ගැනද එතරම් කම්පාවක් නොදැනෙනවා විය හැක. එහෙත් එතෙක් මෙතෙක් කලා වැවෙන් දිය දෝතක් හෝ ගත් අවශේෂ දනන්ට කලා වැව මොන තරම් දැනෙනු ඇතිද. කලා වැව කළ, කලා වැවට ආදරය කළ, ඒ ආදරය නිසාම කලා වැව මතදී මැරුම් කෑ ඒ පියාණන් පිළිබඳව කොතරම් කම්පාවක් දැනෙනු ඇතිද? කලා වැව දෙසට සිරස නමා නෙළුම් මලක් පිපෙයි නම් ඒ නෙළුම් මල සංඛේතවත් කරණුයේ ඒ අවශේෂ ජනතාව නොවේද?
ගීතය අසමු.
 
-        යසනාත් ධම්මික බණ්ඩාර   -

2 comments:

  1. සංගීතය සහ ගීත විශ්ලේෂණය ගැන ඔබගේ දැණුම අනූනයි. මේ ලිපි සංරක්‍ෂණය කල යුතුයි.

    ReplyDelete
  2. ලිපිය මට කලාවැව තරම් ම අගෙයි...!!

    ReplyDelete