Thursday, March 12, 2015

නෙළුම් මලේ නුඹෙ මළකුණ - ඔබ ජීවිතයට - මා මරණයට (තුන්වන කොටස )





මුල් කොටස් මගහැරුණු අයට පහත දිගු වලින් කියැවිය හැකි...




=========================================================================
නෙළුම් මලේ නුඹෙ මළකුණ
පාවී ආවා
අනන්ත මඩ කළල් අතර
පාවී ආවා...

මේ ගීත රචනයක මුල් පද පෙළකි. ඇසූ සැනින් මේ මළගමක් ගැන කියවෙන්නකැයි වැටහේ. එහෙත් ඒ කාගේ මළගම ගැනද? හිතට යම් සැනසිල්ලක් ලැබෙන්නේ ඒ මළකුණ නෙළුම් මලක මළකුණකැයි කියවී ඇති නිසාය. මලක් නම් මියැදුනත් කම් නැතැයි සිතා හිත හදාගත හැක.

අතින් මල් මිටිය අරගෙන        
සිතින් මල් සුවඳ අරගෙන
පිනෙන් පිරුණු විල් ඉවුරට
පාවී ආවා
බුදුන් වඳින්නට යන අය
නුඹ දෙස බැළුවා
නෙළුමට මිස නෙළන්නියට
පින් ඵල නැතිවා......

ගීත රචනයේ මේ පාදය ඇසූ විට අර මලක් නම් මියැදුනත් කම් නැතැයි සිතමින් හිතේ ඇති කරගත් සැනසිල්ල තුරන්ව යන්නට ගනී. එහි යළි කියවෙන දෙයෙහි ඇත්තේ,
නෙළුම් මල් මිටිය අතින් තද කරාගෙන,
නෙළුම් මල් සුවඳ හිත පුරා පුරවාගෙන,
මඩ සහිත දිය පිට පාවී ආ කිසිවෙකුගේ මළකුණක් පිළිබඳව ය. මේ මළකුණ කාගේ විය හැකිද

පන්තියේ වැඩට අගහිඟ
පින් විකුණා පිරිමහගෙන
පුංචි නෙළුමියේ නුඹ
සංසාරය දිනුවා
කලල ගිලී අකාලයේ
පරවී වැටුණා
පින්වතුනගෙ පය පාමුල
පරවී වැටණා.....

පන්තියේ වැඩට අගහිඟ සොයන්නේ නම් ද  නෙළුමියක් ලෙස හඳුන්වන්නේ නම් ද ඈ සිසුවියක් විය යුතුය. මේ සිසුවිය මඩ රොල් සහිත මේ වැවට බසින්නේ දෙමාපියන්ට බරක් නොවී සිය පාසැල් ගමනට වියදම් කාසි සොයා ගන්නටය. වියදම් කාසි සොයා ගන්නට මේ විදිහට වැවට බසින ඈ ලොකු ඉස්කෝලේ සිසුවියක් නම් නොවේ. ප්‍රාථමික පන්ති වල සිසුවියකි. කුඩා දැරියකි. සිඟිත්තියකි. නෙළුමියකි.
මෙය සිදුවීමකි. රත්න ශ්‍රී විජේසිංහයන් ගේ අත්විඳීමකි.  


රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ මේ ගීතය මා අසා නැත. නමුදු රචනාව පමණක් කියවීමෙන් වුව මා ලද රසය අපමණය. එහි ඇත්තේ කුමන රසයද? එහි ගැබ්ව එම රසය ශෝකී රසය නම් වෙයි. සිද්ධිය අසා  දැක රත්න ශ්‍රී නමැති මිනිසා විඳි ශෝකය රත්න ශ්‍රී නමැති කිවිවරයාන් විසින් කවි කරමින් අන් අයට ශෝකී රසය බෙදයි.
රත්න ශ්‍රී එකල ඈත ඌව ප්‍රදේශයේ කිසියම් දුෂ්කර පාසැලක ගුරුවෘත්තියේ යෙදුනෙකි. ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දෙමට මල් විහාරය අවට ගමක සිදුවූ ශෝකාන්තයකි මේ.

දෙමට මල් විහාරය රජරට සහ වයඹ පැත්තේ සිටින අපටත් පෙර කී ඈත දකුණේ සහ ඌවේ අය නොවූ අයටත්  වැඩිය හුරු පුරුදු එකක් නොවේ. එහෙත් දකුණු දිගට ඌව දිගට බර අයට නම් දෙමට මල් විහාරය නොදන්නා තැනක් නොවේ. මා මුළින්ම දෙමට මල් විහාරය ගැන අසුවේ මේ ගීතයත් තවත් ගීතයකුත් හා බැඳුනු ඒ ශෝචනීය කතාව නිසාය.
එහෙත් අද වන විට අපට මේ දෙමට මල් විහාරය ගැන තවත් යම් අදහසක් පද හැක්කේ ජයන්ත ඡන්ද්‍රසිරි ගේ මහරජ ගැමුණු සිතුවම් පටය නිසාවෙනි. එහිදී දුටුගැමුණු ගේ කණිටු සොයුරු තිස්ස කුමරා දුටු ගැමුණු ට එරෙහිව ඉන් පැරදී සැඟව සිටීමට දුව ආ බව කියන්නේ දෙමට මල් විහාරයට වන නිසා ය. දෙටු මල් විහාරය දෙමට මල් ලෙස වෙනස් වූ බව කියවෙයි. දෙමට මල් විහාරය පිහිටා ඇත්තේ බුත්තල - මාලිගාවිල මාර්ගයේ සැතපුම් කිහිපයක් ගිය තැනදීය. ඔක්කම්පිටියේ ය.
දෙමට මල් විහාරය මේ මොහොතේ මට මතක් වන්නේ ගැමුණු - තිස්ස විරසකය මතක්විම හේතුවෙන් නොවේ.මා මෙහි මුළ දී ලියා දක්වා ඇති රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීත රචනය නැවත ඇස ගැටීමෙන් පසුවය. එමෙන්ම මරණය යන්න නිමිත්ත වූ ගීත ගැන ලියන ලියමනේදී මේ හා සබැඳි කතාව නැවත මතක් වූ හෙයිනි.
මේ මා ඉහත දැක්වූ ගීතය බොහෝ ගීත රසිකයන්ට එතරම් හුරු එකක් නොවන බව මට නිසැක ය. එහෙත් ඒ ගීතය හා ආශ්‍රිත කථාව සමහර ගීත රසිකයින්ට නුහුරු එකක් ද නොවේ. එසේ එම කතාව  නුහුරු නොවුවද ඔවුනට එය හුරු මේ ගීතය හා සම්බන්ධව අසා ද නොවේ. මේ ගීත රචනාව නෙත ගැටුණු හිත රැඳුනු අය අල්පය. එහෙත් ඒ නිමිත්තම මත රත්න ශ්‍රී විසින් ම නිර්මිත අනෙක් ගීතය ඇසූවන් බොහෝය.
මේ  රත්න ශ්‍රී විජේසිංහයන් ඒ අනෙක් ගීය ගැන දැක් වූ අදහස් සමුදායකි. 



එදා ඔක්කම්පිටියේ දෙමට මල් විහාරය අසලදී වූ මේ ඛේදවාචය ගැන නැවත මා මගේ වචනයෙන් කිව යුතු නොවේ. එය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හඬින් ම මේ වන විට ඔබ අසා ඇත. එසේම මට කියන්නට අවැසි වූ අනෙක් ගීතය ගැනද යම් යම් දේ එහිදී කියවුනි. එසේම අමරදේවයන් ගේ වියපත් වූ හඬින් වුව එය අපි ඇසුවෙමු. 


මට කිව යුතු විවාදාපන්න කරුණු කිහිපයක් ම වෙයි. දැන් කියන කරුණ විවාදාපන්න නොවුනත් ඉන් පසුව කියවෙන දේ විවාදාපන්නය. එසේ වූ පමණින් එය නොකියා සිටීමට මට හේතුවක් නොවේ යැයි මම සිතන බැවින් පළමුව මේ කරුණ කියා දෙවනුව ඒ කරුණු කියමි.
එකම සිද්ධියක් දෙවිදිහකට ව්‍යක්ත විදිහට ප්‍රතිනිර්මාණය කිරීමට ගීත රචක කිවිවර තෙමේ ගෙන ඇති උත්සාහයද එය අපමණ සංවේදීව ඉටුකොට ඇති අයුරුද බලන්න. පළමුව මා දැක් වූ ගීතය ගැයුවා යැයි සඳහන් වන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනි. 


එය අසන්නට නොහැකි වීම ගැන මට ඇත්තේ අපමණ පිපාසයකි. එය සොයමි. හමු නොවුණොත් මැරෙණතුරා සොයමි. දැන් ආන්දෝලනයට ලක්විය හැකි කොටසට යොමු විය යුතුය. මා මෙය මීට පෙර රත්න ශ්‍රී - කපුගේ සුසංයෝගය තුළින් බිහි වූ ගීත ගැන කතාකිරීමේදී ද එම සටහනේ  යම් තැනක මේ අදහස් ලියා තැබූවෙමි. ඒ සටහන ඒ විදිහටම උපුටා දක්වමි. මට ඒ ගැන ඒ හැර වෙනත් අදහස් නැති බැවිනි.
රත්න ශ්‍රී විසින් වචන වලට පෙරලා ලියා දෙන මිනිස් හැඟීම් සංඟීතවත් භාෂාවකට හරවා රසික ජනතාව වෙත හොඳින්ම ගෙන ගිය සංගීතඥයා කපුගේ ය. මා ඉහත තරමකින් ලියා තැබූ ඔවුන් දෙදෙනාගේ කලණ මිතු දමට හේතුව ඒ සංවේදීතාවමයි. ඒ තේරුම් ගැනීමමයි.
කොතරම් හොඳ පද පෙළක් තිබුණත් එය දුර්වල තනුවක් තුළ බහා දුර්වල සංගීතයෙන් සරසා හැඟීමක් නොමැති හඬකින් ගායනා කළාට එය රසබර හැඟුම් බර ගීතයක් නොවෙයි. මේ පිළිබඳව රත්න ශ්‍රී ගේ ම රචනයකට අනුව නිමැවුණු ගීතයක් මවිසින් උදාහරණයට ගන්නේ එයම මා දැඩි ප්‍රහාරයකට ගොදුරු වන්නට හේතුවක් විය හැකි දෙයක් බව නොදැනුවත්ව නොවේ. එහෙත් පහන් ටැම් අසල ගැවසෙමින් එහි එළියම මිස පහන් ටැඹේ අඳුරු සෙවනැල්ල නොදකින අය මාත් සමග උරණ වනු ඇත. එළිය පමණක් විහිදුවන කිසිදු පහන් ටැඹක් නැත. තුන් පැත්තකින් එළිය විහිදවූවත් එක් පැත්තක හෝ එහි අඳුරු සෙවනැල්ල ඒ පස අඳුරු කරයි. පහන් ටැඹේ එළියට වශී වුනු අයෙක් මේ අඳුරද සැපයි යනුවෙන් දොඩනු අරුමයක් නොවේ. එහෙත් සමහරු අඳුරර පැත්ත අඳුරු යැයි කියති. මේ එවැනි නිර්මාණයකි. රත්න ශ්‍රී ටත් දැවැන්තයෙක් වූ අපට නම් අති දැවැන්තයෙකු වූ අයෙකු ගේ නිර්මාණයකි. එමෙන්ම මේ ගීතය අනන්ත අප්‍රමාණව කතාබහට ලක් වුණු එකකි.
( කෙසේ වෙතත් මේ එක් නිර්මාණයක් පමණි. ඉන් මහැදුරිඳු අමරදේවයන් විසින් සංගීතසහ ගීත ක්ෂේත්‍රයට ඉටු කළ සහ අනෙකෙකුට ඉටු කරන්නට බැරි මෙහෙවර අවමානයට ලක් කිරීමක් නොවේ. අනගි ඵල දහසින් බිහිවෙන රුකක වුව බොරු මලක් තිබිය හැක. මේ එවැන්ක් පමණි .)
මෙම ගීතය සංගීතවත් කොට ගයන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. ඒ අමරදේවයන් විසින් ගුවන් විදුලියේ ඒ දිනවල කළ මධුවන්ති නමැති ගීත වැඩ සටහන සඳහා නිම වූවක් යැයි මතකයක් මට ඇත. 

සුදු නෙළුම කෝ - සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකුණුව පංසලේ....

වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙළූ මල් මිට ලිහී විසිරී - එහා ඉවුරට පා වුණා....

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුමි මල දෑස පියවී - මෙහා ඉවුරට පා වුණා.....

මේ ගීතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහයන් සිය සුදු නෙළුම ගීත සංග්‍රහයේ පසු කවරයේ මෙවැනි සටහනක් තබා ඇත.
ඒ මළගමට එදා විස්සකට තිහකට වැඩි පිරිසක් පැමිණ සිටියේ නැත. දෙමාපියෝ පවා සිය කුඩා දියණිය වෙනුවෙන් කඳුළු නොසැලූහ.
ජීවිතයේ බොහෝ දුක් අනුභව කොට සිටි ඔවුන්ගේ නෙත් සිඳී තිබිණ.
එහෙත් සිය සූ සැට ජන්ම දිනයේ උපහාර පිදුම් ලැබන්නට එදා ටවර් රඟහල ට පැමිණ සිටි අමරදේවයන් මහැදුරු සරච්චන්ඳ්‍රයන් වේදිකාවේ මුළසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීතය ගයද්දී ඇතැම්හු කඳුළු සැලූහ.
ඒ කඳුළු මල් නෙළන්නට ගොස් කළලෙහි එරී වැව් දියෙහි ගිලී මිය ගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?
දැන් මා මේ ගීය ගැන මගේ අදහස දක්වමි. එය සැමගේ අදහස විය යුතු නැත. අවමයෙන් එය රත්න ශ්‍රී ගේ අදහසවත් විය යුතු නැත. මට මේ ගීතය වින්දනය වන අයුරිනි මා එය දක්වන්නේ.
මට මේ ගීය සංවේදී වන්නේ ගීතය නිසා නොවේ. පද රචනය නිසාවෙනි.
සුදු නෙළුම පොත මුද්‍රණය වන්නේ 1993 දීය. එය මා තට පත් වන්නේ 1995 දීය. මා මේ ගීත රචනය තුළ ඇති ඛේදවාචකය ගැන මුළින්ම සංවේදී වන්නේ තරුණ කවියෙකු වශයෙන්, වැඩිහිටි, ගුරු තනතුරේ ළා සැලකිය හැකි, විශිෂ්ඨ කවියෙකුගේ නිර්මාණ ඇසුරු කිරීමට විමසීමට ඉන් උගැනීමට ඒ නිර්මාණ අතර ගැවසෙන අවස්ථාවේ මේ රචනය ඇස ගැටුණු පසුව සිටය. එදා සිට මේ ගීතය ඇසීමේ පිපාසයෙන් සිටියත් තවත් වසර 5 ක් යනතුරු වත් මා හට එම ගීතය අසන්නට අවස්ථාව නොලැබුණි.
එම පද රචනය තුළින් මා ලද රසය තවත් වැඩි වන්නේ එක්තරා දිනක සිටය. ඒ අන් දිනක්නොව රත්න ශ්‍රී විජේසිංහයන් ගේ මුවින්ම මේ කතාව අසන්නට ලැබුණු එක්තරා සැඳෑ හමුවකින් අනතුරුවය. එහෙත් තවමත් මා එම ගීතය අසා නොතිබුණි. එය ඇසීමේ පිපාසය තවත් දැඩිව දැනුනි. මේ යුගයේ මා බෝඩිංගතව සිටියේ මහින්ද කුමාර දළුපොත, තිඹිරියාගම බණ්ඩාර, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ සමගය. එකිනෙකා නිතර මුමුණන ගීත කිහිපයක් වෙයි. දුකා තමන් විසින් ලියූ සිලම්බුව කෝ කොවලන් නම් වූ ගී පද ටිකට තමන්ම තනුවක් යොදා මිමිනීම එකකි. තිඹිරි එවැනි ගීතයක් මුමුණනු අසා නැත. එහෙත් ඔහු රචනා වල ගැඹුර ගැන කියන අවස්ථා සමහර විට කඳුළු උපදවන සුළු විය. මහින්ද කුමාර දළුපොත නිතර මුමුණන්නේ සුදු නෙළුම කෝ සොර බොර වැවේ ගීතයයි. මගේ ගීතය වූයේ පබළු නගේ නාමල් තිලකේ - පුංචි ඔසරි මැණිකේ - සුමනෝ - නුඹ ඇයි නැත්තේ ගීතයයි.
මේ අනුව පළමුව මා සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගීතය ඇසුවේ දළුපොත ගේ හඬිනි.
ගීතය ඇසූ පසු ගීතය තුළින් පෙර මා රචනාව තුළ ඇති සාහිත්‍යය විඳීමෙන් ලද විඳීම නොදැනෙන සේ හැඟුනි. එහෙත් ඒ දළුපොත ට එය නිසි ලෙස ගයන්නට නොහැකි නිසා යැයි සිතුවෙමි. ඒ අනුව සමහර දිනවල සිංදු කනවා කියා දළුපොත ට ආඩපාලි කියන්නටද සිදු විය. මේ ලෙස තවත් වසර කිහිපයකට පසුවය කිසියම් ගුවන් විදුලියකින් මේ ගීතය අසන්නට ලැබුණේ. අනතුරුව මට දැනුනේ කුමක්ද? එදා දළුපොත ගේ ගැයුම ඇසූ විට දැනුනු දේම ය.
ඒ අනුව මට දැඩිව සිතුනු දේ නම් අමරදේවයන් විසින් රත්න ශ්‍රී ගේ ගීතය තුළ අප්‍රකටව සිටි රත්න ශ්‍රී ව සොයා ගොස් නොතිබුනු බවය. ඒ නිසා රචනාව තුළ සිටි රත්න ශ්‍රී අවසාන නිර්මාණය තුළින් දැකගත නොහැකි වුණි.  රචනයෙන් ලැබූ භාව කම්පනය අමරදේවයන් විසින් ගීතයට තනු නිර්මාණය කරණ විට එතුමන් නොලැබූ බවයි. එබැවින්ම ගීතයට යෙදුනේ බොහොම මතුපිට හැඟීමක් ගෙන දෙන තනුවක් බවයි.
මතු පිට හැඟිමක් දනවන තනුවක් යනු අවම හැඟීමක් ගෙන දෙනවාය යන්න වෙනත් විදිහකට කීමකි. මේ අනුව අමරදේවයන් ගේ ම තනුව තුළ ඔහුට ම ගයන්නට දෙයක් ඉතිරිව නොතිබුණි. මේ මට දැනෙන හැටිය. වෙනත් කෙනෙක් වෙනත් අයුරකින් දුටුවාට කම් නැත.
දැන් නැවතත් හැරනේනේ රත්න ශ්‍රී විසින් සුදු නෙළුම කෘතියේ පසු පිටේ තබා ඇති ඉහත සටහන වෙතය. ඔහු එහි මෙසේ සඳහන් කරයි.
එහෙත් සිය සූ සැට ජන්ම දිනයේ උපහාර පිදුම් ලැබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන් මහැදුරු සරච්චන්ඳ්‍රයන් වේදිකාවේ මුළසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීතය ගයද්දී ඇතැම්හු කඳුළු සැලූහ. ඒ කඳුළු මල් නෙළන්නට ගොස් කළලෙහි එරී වැව් දියෙහි ගිලී
 මිය ගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?
පිරිසක් ඒ ගීය ඇසීමෙන් කඳුළු සැලී නම් ඒ ඔවුනට එය හොඳින් දැනුනු නිසාය. මම හිතන්නේ ඒ පෙර සිට, මා මෙන්ම, ගීතයේ සාහිත්‍යමය පාර්ශවය දැන සිටි අය මිස සංගීතමය පාර්ශවය විසින් එය නොකළ බවයි. ඔවුන් හැඬුවේ ඒ පෙර විඳි අරුත් රසය නිසාවෙනි. එහෙත් ඒ සාහිත්‍යය තුළ කැටිව තිබූ හැඟීමට සංගීතමය උත්තේජනයද ලැබුණිනම් රත්න ශ්‍රී ට ඒ සටහන ලියන්නේ මෙසේය.
එහෙත් සිය සූ සැට ජන්ම දිනයේ උපහාර පිදුම් ලැබන්නට එදා ටවර් රඟහලට පැමිණ සිටි අමරදේවයන් මහැදුරු සරච්චන්ඳ්‍රයන් වේදිකාවේ මුළසුනෙහි සිටියදී බොහෝ පිරිස් මැද සුදු නෙළුම ගීතය ගයද්දී එහි සිටි සියල්ලම පාහේ  කඳුළු සැලූහ. ඒ කඳුළු මල් නෙළන්නට ගොස් කළලෙහි එරී වැව් දියෙහි ගිලී මිය ගිය ඒ දසහැවිරිදි නන්නාඳුනන දැරියගේ මළගම වෙනුවෙන් නොවේද?
ගීතය අවසන එදින ප්‍රධාන අරමුණ වෙත පිවිසෙන්නට සැම දෙනෙකුටම පාහේ අවමයෙන් තවත් අඩ හෝරාවක කාලයක් වත් අවැසි වන්නට ඇත. මක් නිසාදයත් ඔවුනට දැනුනු උගුර හිරවීම... පපුව දැවීම.... සුසුම්ලෑම ක්ෂනයකින් නවතා ගන්නට ඒ බොහෝ දෙන අසමත් වු හෙයිනි.......
එහෙත් මේ කොටස එලෙස නොලියවුණේ ඇයි? ගීතයේ සාහිත්‍යමය පොහොසත් බව සහ සංගීතමය දුප්පත් බව නිසාය.
මේ උපුටා දැක්වීමෙහි ඇති අදහස් අමරදේවයන්ගේ ඒ ගීතයට පමණක් බව මතක තබාගනු ඇතැයි සිතමි.
දිලීප අබේසේකර යනු ප්‍රවීන ගීත රචක සහ නිවේදක කරුණාරත්න අබේසේකරයන් ගේ පුත්‍ර රත්නයයි. 



ඔහු ගීත රචනය හෝ නිවේදන කටයුතු සිය පියා හා සමව නොකළේ වුව ඒ කටයුතු දෙකෙහිම අවස්ථානුකූලව නියැලේ. කරුණාරත්න අබේසේකරයන් විසින් ඔහු නමට රචිත ගීයකි ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ දිලීප පොඩි පුතු සනීපයට නිදි ගීතය. මේ කතා කරණ මාතෘකාවට එම ගීතය අදාල නොවෙතත් මේ දිලීප අබේසේකර ගැන කියන විට එය මතක් කිරීම වටිණාකමක් ඇති දෙයකැයි සිතුනි. 


මාතෘකාවට අදාල නොවුණත් එම ගීතය මේ මොහොතේ අසනු රිසි කෙනෙක් වෙත් නම් මෙතනදී ඇසිය හැක.


මේ ඒ දිලීප පොඩි පුතා ලියූ ගීතයයි.
ඇරඹුම ම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසන්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

පද රචනය - දිලීප අබේසේකර
සංගීතය     - නාලක අංජන කුමාර
ගායනය     - කසුන් කල්හාර

මේ ගීතය ගැන එහි ගීත රචක දිලීප අබේසේකර විසින් කියා තිබුණා යැයි කියමින් පළ වූ අදහස් අඩංගු සටහනක් දෙකක් මා කියවා තිබුණි. ඒ හැටියට දිලීප කිව්වා නම් කියා තිබුණේ අරඹුම ළඟදීම මිය ගිය ප්‍රේමයක් ගැනය. එබැවින් එය ද එක්තරා මළගමකි. ප්‍රේමයක මළගම ප්‍රේමයක මළගමින් පමණක් නිමා නොවී සමහර විට එකී පෙම්වතුන්ගේ මළගම තෙක් වුව යා හැකි දෙයකි. මේ ගීතයේ පෙම්වතුන් ඒ මගෙහි කොතෙක් දුර ගියේද කොතනින් නැවතුණිද යන්න නොදනිමි.
මේ ගීතය මට දැනුනේ මීට වඩා හාත්පසින් ම වෙනස් විදිහකටය. ගීත රචකයෙකු වශයෙන් මම මගේ ගීතයක් රසිකයෙකු විසින් වැළඳගන්නා විදිහ තුළ මා චිත්ත සන්තානයේ  වූ දේද ඇති නම් මා වඩාත් සතුටට පත්වෙමි.එහෙත් සමහර අවස්ථාවල එය සපුරා වෙනස් විදිහක් වෙයි. දිලීප ලියූ කසුන් ගේ මේ ගීතයද එවැන්නකි. 


එහි රචකයා කුමක් හිතාගෙන ලීවද මට එය දැනෙන්නේ මේ විදිහටය.
කසුන් යනු අනෙකෙක් නොව විශාරද මාලනී බුලත්සිංහල ගේ සහ ප්‍රවීන සංගීතඥ එච්. එම්. ජයවර්ධනගේ පුත්‍ර රත්නයයි. 



ඔහු ගීත ලොවේ සහ සංගීත ලොවේ ජය කෙහෙළි නංවන විට මාලනී අක්කා මෙලොවින් සමුගෙන සිටියාය. ඈ මෙලොවින් සමුගෙන ගියද එලොව සිට කසුන් දෙස බලා සිටි බව සහතික වශයෙන්ම කිව හැකිය. කසුන් මේ ගමන් මගේ බර අඩි තබමින් මේ යන්නේ ඒ බැල්ම හේතුවෙන් බව මට විශ්වාසය.
මාලනී අක්කා මෙලොවින් සමුගත්තේ කසුන් පුතු සිය ගමන අරඹන විටමය. එහෙත් ඒ වන විට ඈ තම ගමන් මගේ බොහෝ දුර ගමන් කොට තිබුණි. කසුන් ගමන් අරඹන විටම ඈ සිය ගමන නිමා කළේ නම් කසුන්ට එය කඳුළට කාරණාවකි. මට එය දැනෙන්නේම ඒ විදිහටම ය. මා සිතන්නට කැමතිද ඒ විදිහටම ය. දිලීප මේ ගීය ලියුවේත් ඒ විදිහටම සිතා නම් කොතරම් අගේදැයි මට සිතෙන වාර අනන්තය. නාලක මේ ගීය සංගීතවත් කළේද කසුන් මේ ගීය ගැයුවේද ඒ නිසාම නම් මේ ගීය අසන රසිකයින් තුළ ඇති වන හැඟිම කුමක් වනු ඇතිද? එබැවින් මොන අරුතින් මෙය ලියවුනත්, මොන හේතුවකින් මෙය ගායනා කරන්නට තෝරා ගත්තත් මා මේ ගීය අසන්නේ මේ අරුතිනි.

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා.......

සිතන්න මොහොතක් කසුන් මේ දස්කම් පාන අයුරු බලන්නට ඈ සිටියා නම් කොයි තරම් හොඳද කියා. එහෙත් ඈ නැත.
ඈ කසුන්ට කවියක් නැළවිලි ගීයක් නොවුනිද? එහෙත් ඒ නැළවිලි ගීයේ එක් පදයක අඩවක් ඇත. ඒ ඈ ඔහු සමග මේ දුර නො ආ බැවිනි. එබැවින්ම එය දුක් බර ම කවියකි. පද පෙළක් අඩුවෙන් ලියා මහා හිස් තැනක් මැවූ කවියකි.

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

මේ අරුත හිතදරාගෙන බැළුවොත් එහි සියළු පද ඊට ගැලපෙන බව ඔබට වැටහෙනු ඇත.
ජීවිතය දුකකි. ජීවිතයම දුකක් වුවද තරුණ වියේදී දුක නොදැනේ. වසයට ගිය විටය සැබෑ දුක දැනෙන්නේ. එබැවින් යනවා නම් යා යුත්තේ ඊට පෙර ය. සිටියොත් අවසන ශෝකාන්තයකි. එහි රැඳෙන්නට ඈ නොසිතූ බැවිනි යන්නට ඇත්තේ.

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

මවක් මිය ගිය පසු දරුවනට දැනෙනුයේ කුමක්ද? කිසිවෙකුත් නොමැති අනනන්තය ළඟ තමන් තනිව තබා ගිය විටක ඇති වන හැඟීම නොවේද? මව මිය ගිය ඕනෑම දරුවෙකුට මෙය එසේම දැනෙනු ඇත.
මට එය වඩාත් දැනෙන්නේ මගේ මව ද මිය ගියේ ගිය අවුරුද්දේ හෙට වැනි දිනක වන නිසාය. එනම් 2014/03/13 දිනදීය.   

අපේ අම්මා - කිරිමැණිකේ අතපත්තු


එදින සිට අපව අනන්තය ළඟ තනි වූවා සේ හැඟේ. ඒ තනිය මකන්නට අන් කිසිවෙකුට බැරිය. අන් කිසිවෙකුටත් බැරිය. අන් කිසිවෙකුටත් බැරිය.
මේ ගීතයේ පද රචනයට නාලක අංජන කුමාර සිය සංගීතයෙන් දී ඇති අරුත භාවය හැඟීම කොපමණද? 


සමහර විට මා මේ හැඟීම් සමුදාය තුළට කැඳවාගෙන ආවේ නාලකගේ සංගීතය විය හැක. එය එතරම් හැඟුම් බර ය. ශෝක රසය මොනවට උළුප්පන සුළුය. කසුන්ගේ ගායන හැකියාව මේ ගීතය සඳහා නාලක මිරිකාගන්නේ ඒ සිය තනුව සහ සංගීත සංයෝජනය නමැති මහා බලය යොදා ගනිමිනි.

අප පෙර සාකච්ඡා කළ සුදු නෙළුම ගීතය සඳහා මෙවැනි හැඟුම්බර තනුවක් සහ සංගීත සංයෝජනයක් යෙදුනා නම් ගායක අමරදේවයන් එය කොතරම් රහට ගයනු ඇතිද? එහෙත් එතනදී සංගීතඥ අමරදේවයන් ගායක අමරදේවයන්ගෙන් අර විදිහට ගායන හැකියාව මිරිකා ලබාගෙන නැත. එසේ මිරිකා එය ලබා ගැනීමට තරම් තනුවේ සහ සංගීත සංයෝජනයේ බලය වැඩී නැත.
ඇරඹුම ම කඳුළක් වෙලා ගීතය අසමු.


සටහන දිගු වූ හෙයින් තවත් කතා බස් හතරවන කොටසට මෙතැනින් පිවිසෙන්න.
http://yasanathsithuwili.blogspot.com/2015/03/4.html 
-         යසනාත් ධම්මික බණ්ඩාර   -

2 comments:

  1. 'සුදු නෙළුම' පද පෙළක් ලෙස රස විඳීම ගීතයට වඩා සාර්ථක බව සත්‍යක්.රත්න ශ්‍රී පද විචාරය කරන ආකාරයට නෙතට කඳුලක් ඉනීම අනායාසයෙන්ම සිදුවන්නක්.ඔබ එවැනි සිද්ධීන් රාශියක් එකට ගෙත්තම් කිරීම තවත් සුන්දර අත්දැකීමක්.. ඔබට ජයවේවා..!!

    ReplyDelete
  2. හරිම සංවේදී සටහනක්. අවසානය නෙතට කඳුලක් එක් කලත් ඉතා ආසාවෙන් කියෙව්වෙ. ඔබේ මවට මේ සටහන උපහාරයක්ම වේවා! නිවනේ නිවේවා!

    ReplyDelete