Friday, December 28, 2012

ධම්මික දුටු ධම්මික - 2

නිල්කැට වැස්ස - අලුත් දියවරක සිසිලස

(2007 ජූලි මස 08 වන ඉරිදා රාවය පුවත්පත සඳහා ලියනු ලැබූ සම්පූර්ණ ලිපිය)



හෝ මිත්‍රවරුණි, නම් වු කවි පොතෙන් ධම්මික බණ්ඩාර නම් කවියෙකු හදුනාගන්නා විට ඔහුගේ කවිය ගීතයට කිසිදු නෑදෑකමක් නොකියන තරමට ගීතයෙන් දුරස්ථ බවක් පෙන්වීය. එහෙත් රොහාන් ශාන්ත බුලේගොඩ ගැයු,

පිපුණිදෝ නුඹ මේ උදේ
සුසුදු මාලති මලක් සේ
තක්සලාවේ අකුරු ඇහිදින
පුංචි සා පැටවී
මල් සුවඳ දැරිවී.............

යන ගීතයෙන් ධම්මික බණ්ඩාර නම් ගීත රචකයෙකු හඳුනාගන්නට ලැබුණි. අහෝ මිත්‍රවරුණි හි  කවි, ගීතවලට බොහෝ දුරස් ලකුණු පෙන්වු බැවින්ම මේ අන් ගීත රචකයෙකැයි හැඟුණේවී නමුදු මේ ධම්මික බණ්ඩාරලා දෙදෙනාම එකෙකු වී,

අනතුරුව කාලයක් ගීත හෝ කවි සම්බන්ධව ඒ ධම්මික බණ්ඩාර යන නාමය අසන්නට නොලැබුණි. ඒ කාලයේ ධම්මික බණ්ඩාර යන නම කියැවුණේ මා හා සම්බන්ධවය. ඒ එම යුගයේ මගේ කවි සහ ගීත නිර්මාණ පිළිබව වැඩිපුර කතාබහ කෙරුණු බැවිනි. ඒ ධම්මික බණ්ඩාර කියන නම නැවත කරලියට ආවේ ඉන් තවත් වසර කිහිපයක් ඉක්බිතිවය.

දිනක් මම වාහනයෙන් ගමනක් යමින් සිටයෙමි. අසමින් ගිය ලක්හ ගුවන්විදුලියෙන් අමුතු සුන්දර ගීතයක් අසන්නට ලැබුණි.

මගේ පුංචි රෝස මලේ - මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

ගීතය ඇසු සැණින් ඇතිවුණු ප්‍රථම සිතුවිල්ල වූයේ කලකට පසුව ගීතයක් ඇසුවා නේද යන්නයි. ( දැන් කාලයේ ගීත දුර්ලභ බැවිනි. ගීත යනුවෙන් ඇත්තේ ගීත නිර්මාණ නොවන බැවිනි ). දෙවැනියට මසිතෙහි ඇතිවූයේ ඒ පිළිබව මහත්වූ ඊර්ෂ්‍යාවකි. ඒ එම ගීතය මට ලියාගන්න බැරිවුණේ ඇයිදැයි යන හැගීමෙනි. අනතුරුව ටික දවසක් එකී ඊර්ෂ්‍යාවන්ත සිතපෙරදැරිව එම ගීතයේ රස මොනවට වින්දෙමි. එම ගීතයේ රචකයා කවුදැයි සෙවූ විට අප කතානායක ධම්මික බණ්ඩාරයන් බව දැනගන්නට ලැබුණි.මෙසේ එම ගීතය රසවිදින  අතරතුර තවත් අමුතු සහ සොුරු ගීතයක් අසන්නට ලැබුණි. 

හන්තානට පායන ස ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර ස - ඔබට හැකිය දකින්න...

මෙම ගිතය ඇසූ සැනින් නැවත මගේ හිතේ ඊර්ෂ්‍යාව රජයන්නට විය. ඒ නැවත මේ ගිතය මට ලියන්නට බැරිවුණානේ යන හැීම ඇතිවූ බැවිනි. මෙම ගීතයේ රචකයාද ධම්මික බණ්ඩාරම විණි. ඒ නිසා අර ඊර්ෂ්‍යාව ඔහු කෙරේද එල්ලවිණි. අනතුරුව දැඩි ඊර්ෂ්‍යාවකින් යුතුව එම ගීත දෙකම රසවිින්නට විණි. එහෙත් මගේ ඊර්ෂ්‍යාව පාලනය කරගැනීමට ඉඩ නොලැබෙන අයුරිනි කරුණු කාරණා සිද්ධ වූයේ.
ඒ තව දිනක තවත් අමුතු සහ සොුරු ගීතයක් ඇසීම නිසාවෙනි.

ඔබ ආයෙමත් ඇවිදින්.. හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්.....

මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පුපුරන්නට තරම් විණි. මේ ගිතය ලියා තිබුණේද අර ධම්මික බණ්ඩාරමය. එමෙන්ම මේ ගීත සියල්ලම අඩංගුව ඇත්තේ ඔහු විසින් රචිත ගී අඩංගුකොට නිමැවූ නිල්කැට වැස්ස නම් සී.ඩී. තැටියක බවද දැනගන්නට ලැබුණි. දැන්නම් මේ ඊර්ෂ්‍යාව දරාගෙන ඉන්නට නොහැකි බව මට වැටහුණි. එබැවින් වහාම මා සේවය කරන කරවනැල්ල රෝහලෙන් එළියට බැස රුවන්වැල්ලේ සියළු සී.ඩී කඩවලට ගොඩවුණෙමි. ඒත් ඒවගේ හිටි අය එවැනි සී.ඩී. එකක් ගැන අසාවත් නොතිබුණි. අනතුරුව කෑගල්ලට ගියෙමි. එහිද තත්වය එයමය. පසුව අවිස්සාවේල්ලට, හංවැල්ලට, හෝමාගමට, කොට්ටාවට, මහරගමට ගියෙමි. ඒත් තත්වයේ වෙනසක් නැත. එවැනි සී.ඩී.තැටියක් ගැන අසා නොතිබුණි. යාන්තමට එම සී.ඩී. එක හොයාගත හැකිවූයේ නුගේගොඩ සුපර්මාකට් එකේ ටොරානා සී.ඩී. අලෙවි හලෙනි. ගිජුව එම සී.ඩී. තැටිය ඩැහැගත් මම නැවත කරවනැල්ලට එනතෙක් මගේ ඊර්ෂ්‍යාවට බුන්වූ එම ගීත රැස ශ්‍රවනය කළෙමි. ඒ අතරේ මට මහත් ගැටළුවක් පැන නැගුණි.
ගේය පද රචක ධම්මික බණ්ඩාර
නිල්කැට වැස්ස නම් වූ ගී සමුච්ඡය මගේ පුංචි රෝස මලේ ලෙස නම් නොකළේ මන්දැයි සිතුනි. ඒ ගැන මගේ සිතේ තවමත් ඇත්තේ මැසිවිල්ලකි.

මගේ පුංචි රෝස මලේ සහ හන්තානට පායන සඳ ගී දෙක මෙහි ඇති අපූර්වතම ගී දෙකයි. මා එසේ කීවද මෙහි තවත් අපූර්ව ගී රැසක් වෙයි.

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

එකට පාසල් ගිය, එකට පාඩම් කළ එකට පෙමින් බැඳුණ පෙම්වතියට හන්තාන සරසවි වරම් ලැබුණද පෙම්වතාට එම වරම් නොලැබෙයි. හදතුළ ඇතුගල තරම් දුකක් දනවමින් වුව අප පෙම්වතා සිතන්නේ අනෙකුන් සිතන අයුරින් නොවේ. තමන් කොතරම් පෙම් කළද ඇය පිය මණින අලුත් සමාජය සහ සුන්දර පරිසරය තුළ ඇය ලැබිය යුතු සිහිවටන උපරිමයෙන් ලැබිය යුතු බව සිතන තරමට මේ පෙම්වතා පරිත්‍යාගශිලීය. එබැවින් ඒ සුන්දරත්වය මුසුවුණු ප්‍රේමනීය පරිසරයට පියමැණීමට ඇයට ඉඩදී ඇගෙන් ඉවතට යන්නට ඔහු සිතන ආකාරය ගීත රචනය තුළ ගැබ් වන්නේ රසිකයා තුළ දැඩි කම්පනයක්ද ඉතිරි කරමිනි. තමන්ගේ අත්දැකීමක් නොව මිතුරකුගේ අත්දැකීමකැයි ධම්මික බණ්ඩාර විසින් මේ ගීතය ගැන කතා කිරීමේදී පැවසුවත් මෙය තමන්ගේම අත්දැකීමකැයි අපට සැකසිතෙන තරමටම ඔහු එම අත්දැකීම ගීතයට නැංවීමේදී බුහුටි වී ඇත. 
  
අදුරු ලලා වසිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

තමන් නොමැති මේ සුන්දර ප්‍රේමනීය පරිසරයෙහි වසර ගණනක් තනි කුඩේ යටින් ඇය යනු දකින්නට මේ පෙම්වතා අකමැතිය. ඔහුගේ ප්‍රාර්ථනය ඇයට එලෙස තනියක් නොදැනෙන ලෙසය. මෙහි අනෙක් අරුතනම් ඇයට සුදුසු වෙනත් පෙම්වතෙකු ලැබේවා යන්නය.

ලතා මඩුළු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න....

අතීත ප්‍රේමයක නටඹුන් ඇගේ නව දිවියට බාධාවක් වන  බව ඔහු හොින්ම දනී. ඒ නිසා ඔහු තමන් පිළිබ මතකය ගුලි කොට මහවැළි ගට දමන්නයැයි ඇයට කියයි. මෙය මේ ගීතයේ ඇති ප්‍රබලම සහ සංවේදීම තැනයි.

හන්තානට පායන සඳ ගීතය මෙතැනින් රසවිඳිමු.




මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා

කුමන බෙදිම් තිබුනද ආදරයට වයසක් හරස් කිරීම කොතරම් සාධාරණද යන්න ගැටලුවකි. කය මැදිවියේ වියහැක. එහෙත් සිතුවිලි වයසට නොයයි. මේ නිසා කායික වයස නොතකා ආල සිතුවිලි මතුවන අවස්ථා දුලබ නොවේ. එවන් වියපත් පෙම්වතෙක් තම සිත් ගත් යෞවනියක ගැන සිතන මේ නිර්මාණය පසක් කරනුයේ එය නොවේද ?


කළුවර රෑ සඳක් වගේ
අහසේ ඔබ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න


කිසිදා කියාගත නොහැකි වූ ඒ ප්‍රේම ගීතය ගයන්නට ඔහු කොතෙක් කැමති වුවත් ඇගේ යොවුන් සිහින ලෝකයේ ඔහු පිළිබදව ඡායාවක් හෝ නොමති බව අපේ වියපත් පෙම්වතා දනී. විටෙක ඔහු මේ සත්‍ය වටහා ගත්තද විටෙක ඔහු තුළ ලියලන ආල හැඟුම ඔහුව නොසන්සුන් කරයි. කිසිදා හිමි නොවුණද දුකක් හැර අහිතක්ද ඔහු තුළ නොවෙයි. ගීතයේ ඊළග පාදයෙන් කියා පාන්නේ එයයි .

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න...

මගේ පුංචි රෝස මලේ ගීතය මෙතැනින් රසවිඳිමු.




අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී ගයන රාධා ක්‍රිෂ්ණා ගීතයද අමරසිරි සහ  දිල්රුක්ෂි ජයකොඩි ගයන ඔබ එදා නම් සඳ වගේමැයි යන ගීතයද ඉතාම සුන්දර යුග ගීත වෙත්. දිල්රුක්ෂි ජයකොඩි යන නම ගීත ක්ෂේත්‍රෙය්දී මා අසන ප්‍රථම අවස්ථාව මෙය වුවත් ඇය ප්‍රවීණත්වය ඉක්මවන්නට සමත්ව ඇති බව කියන්නේ ඇයට ශක්තිය පිණීසය.

හිම දියවී හිමාලයේ යමුණා ගඟ  නගයි තරංගා
සුදු පෙණකැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා - සීතල ගිනි ගනීද ක්‍රිශ්ණා.......

ප්‍රේමයෙන් උණුසුම් වන රාධා සහ ක්‍රිශ්ණාගේ ප්‍රේම උණුසුම කොතෙක්ද යත් හිම මතින් ඇදෙන සීතල සුළඟ පවා ගිනි ගැනීමට හේතුවන තරමේ උණුසුමක් එහි වෙත්.

 හිම දියවී හිමාලයේ ගීතය අසමු.


මෙහි අමුතු ආරක් ගත් ගී කිහිපයක්ද වෙයි. හාස්‍යය හා උත්ප්‍රාසය රැගත් එම ගීත වලින් ඔහු මතු කරන්නට හදන සමාජ යථාර්තයක් වෙයි. බාල බොළඳ හරසුන් දේ වලින් වර්තමාන සමාජය වසා සිටින සතයය වටහා ගනිමින්  ඉන්ම උකහා ගත් වදන් ද යෙදුම් ද භාවිතයෙන් ඔහු ලියා ඇති සමිතා එරන්දතී ගයන ශ්‍රී දේවි වගේ ගීතයද ඔබේ දෑස් ඇන්ටනාව ගීතයද සම්ප්‍රදායානුකුල විචාරකයන්ට ගෝචර නොවන්නට බොහෝ දුරට ඉඩ ඇත. නන්දා මාලනිය සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං ලෙස ගැයූ විටද නෝනා නාන්න නම් නාන්න නෝනා ලෙස ගැයූ විටද ඒවා හොද අත්හදා බැලීම් ලෙස ලියූ විචාරකයන් ම සමහර විට තමන් එලෙස ලියූ බව අමතකව ධම්මික බණ්ඩාරට නිර්දය විචාරයේ කෙවිටි පහර දෙන්නට ඉදිරිපත් වූවොත් එය අරුමයක් නොවේ.

ශෂිකා නිසංසලා ගයන මතු දැක්වෙන ගීතයද අමුතු ආරක එකකි.

මා හදවත සොරකම් කළ
සොර දෙටුවා නුඹ
නුඹ දඟගෙයි ලනතුරු
ඉවසුම් නැතුවා මට

තම පෙම දිනා ගත් පෙම්වතාට සොර දෙටුවා යැයි කියන්නේ වචනයේ අරුතින් නොවේ. ආදරයෙනි. ඒ ආදරය නිසාම තම පෙම්වතා අන් අඟනුන් ගැන වෙහෙසෙතැයි ඕනෑම යුවතියක් සැකයෙන් සහ ඊර්ශ්‍යාවෙන් බලන බැල්ම ධම්මික බණ්ඩාර ඉතා මැනවින් මෙම ගීතය තුළට කැටිකොට ඇත.

අන් අඟනුන් දෙස බලනා
ඔබේ දෑස් බැඳ
සතර අතේ ඇවිදින
පය විලංගු ලමි මම
ආයෙත් තව හදවතකට
කවි ලියන්න පෙර
දෑතම ගැටගසා හනික ගෙන යමි
දඟ ගෙට ......

කොතරම් ආදරය කළද සැමියා තම නෙත් මානයේ සිරකරගෙන සිටින්නට සිතන පුරුද්ද හැම ගැහැණියකටම උපතින්ම උරුමවන්නට ඇත. මෙයද ගීත රචකයා ගීතය තුළ මනාව නිමවයි. ඔහු තම ඇස් සීමාව තුළ සිරකරගෙන අනතුරුව සියළු ආදරයද, සැප සම්පත්ද දෙන්නට සිතීම සෑම ගැහැණියකගේම මහා පොදු සාධකයයි.

මා හදවත සොරකම් කළ ගීතය මෙතැනින් රසවිඳිමු.




නැවතත් අමරසිරි පීරීස්ටම යොමුවන්නට සිදුවන්නේ අප රටේ ඉතිහාස කතාවේ සුවිසල්ම ඛේදවාචකය හා බැදුණු ගිතයක් ගැන මතක් කිරීම පිණිසය.

උදම් රළ නුඹ උදම් විය යුතු නෑ 
ගෙන ගියේ නුඹ මුහුදු පතුළට
රැගෙන යායුතු වුන් නොවේ......

ධම්මික බණ්ඩාරගේ මේ විරෝධය උදම් රළ විත් මිනිසුන් රැගෙන යාම ගැනනොවේ. ගෙන යායුතුවුන් සිටියදී අනෙකුත් රැගෙන යාම ගැනයි. එසේ නම් මේ රැගෙන නොගියවුන් කවුරුන්ද. මිළග පාදය ඒ ගැන මනාව කියයි.

පණ අදිද්දී තමන්ගේ වුන්
පැළදි කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරිකර වෙරළේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ.......

සුනාමි දිය‍ඹේ ගසාගෙන ගිය සොයුරියක දියෙන් ඔසවා රන්පට කඩාගෙන නැවතත් දියට හෙළන්නට තරම් කුරිරු වූවන් අප අතර සිටීය යන්න අදහා ගැනීමටවවත් නොහැක්කකි. එහෙත් එය එසේ සිදුවිය. එලෙසම දුකට පත් දනට ලැබුණු ඇදිවත, පැදුරු කඩමාල්ල පවා ගසාකෑවුන් ඒ අතර විය. බෝසතුන්ද ඒ අතරම විය.

වැළපෙනා බෝසතුන් දන්දුන්
නිදන පැදුරත් සොරාගෙන ගිය
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ..........

උදම් රළ නුඹ ගීතය මෙතැනින් රසවිඳිමු.

 

සෝමතිලක ජයමහගේ මේ ගීතය ඔබට මතක ඇතිවා නිසැකය. එසේම අසීමිතව ඇළුම්කරණ බවද නිසැකය.
අපි ආයෙත් හමු නොවුනානම්

ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හවන්නට
අපි ආයෙත් හමු නොවුනානම්.......

මේ ගීතය මේ අවස්ථාවෙ මතකයට නැගුනේ නිල් කැට වැස්සෙහි හමුවන එක ගීතයක් නිසාවෙනි. එම ගීතයද ගයන්නේ අමරසිරි පීරිස් විසිනි. 

ඔබ ආයෙමත් ඇවිදින්...
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

මෙහි වෙනත් වචන වලින් කියන්නේ අපි ආයෙත් හමු නොවුනානම් ගීතයේ වස්තු විෂයයමය. එකම නිමිත්ත ගීත රචකයින් දෙදෙනෙකු අතින් දෙවිදිහකට ලියැවෙන අපූරුව.

මෙම ගීතයේ සුන්දරම කොටස එන්නේ ගීතයේ මීළඟ පාදයේදීය. එහෙත් එම කොටස අසනවිට මට මතක්වන වික්ටර් රත්නායකයන්ගේ පැරණි ගීතයක් ඇත. එනම් 

ඔබ හැර මට මුළු ලොවම ලැබී ඇත - මා හැර ඒ ලොව කිරුළ දරණු මැන.......ගීතයයි. එහි එක් කොටසක මෙසේ වෙයි.
ලොව ඇති බව මා අමතක කළ මැන - මවැන්නියන් තව හමුවෙයි මතු දින ලෙස ගායිකාව ගයනවා. ගායකයා මෙලෙස ගයනවා එවිට.
හමුවිය දහසක් රුසිරැති ළන්දූ - ඔබ පමණයි හද රැඳුණු එළන්දූ.....
ධම්මික බණ්ඩාරගේ ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ ඒ අදහසම වෙනත් අයුරකින් මෙලෙස ලියැවී ඇත.

දෑස් අග මල් පිපී සැළුනත් කොයිතරම්
එක මලක් වත් සුවඳ නැතිවිය ඔබ තරම් 
ඔබ නොදැක සිටි දිගු කාලයේ - හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

කොපමණ ළඳුන් හිටියත් නුඹ තරම් සොඳුරු නොවේ. කොපමණ මල් පිපුණත් නුඹ තරම් සුවඳ නොවේ. දෙදෙනෙකු අතින් දෙවිදිහකට ලියැවී ඇත්තේ සමාන අත්දැකීම්ය.

ඔබ ආයෙමත් ඇවිදින් ගීතය මෙතැනින් රසවිඳිමු.




නිල්කැට වැස්ස ධම්මික බණ්ඩාර ගේ නිර්මාන එකතුවක් ලෙස හැඳින්වීම අසම්පූර්ණ හැඳින් වීමකි. එය මෙම ගීත සංගීතවත් කළ ඩෙනිස්ටර් පෙරේරාගේද නිර්මාණ එකතුවකි. 


මේ සියළුම  ගීතවල සංගීත නිර්මාණ ඩෙනිස්ටරගේය. මේ නිර්මාණ එකතුවේ සංගීත පාර්ශ්වයට වඩා ගීත රචනාවන්ගේ අන්තර්ගතය පිළිබඳව කථාකරන්නට අප යොමුවුණත් මෙහි සියළුම් ගීතවල සංගීත නිර්මාණයන් අති විශිෂ්ඨ බව සඳහන් කළ යුතුය. මෙම ගීත නිර්මාණ සමගින් සංගීතඥ ඩෙනිස්ටර් පෙරේරා ප්‍රවීණත්වය ඉක්මවන දස්කම් පෙන්වා ඇති බව සටහන් කළ යුතුය.

කිසියම් ගීත නිකුතුවක අවංකව පසසන්නට, කතා කරන්නට තරම් සුදුසු මෙතරම් ගීත සංඛ්‍යාවක් රැගත් ගීත එකතුවක් මෑතකදී නිකුත් වූ බවක් මට නම් මතක නැත. වේදීකාවට, විවිධ එෆ්.එම්.නාලිකාවලට, විවිධ රැලිවලට ප්‍රවණතාවලට ඉව අල්ලමින් නිර්මාණකරනයේ යෙදෙන නිර්මාණ ශිල්පීන් සහ නිෂ්පාදකයන් සිටින රටක ඒ කිසිවක් ගැන ඉව නොඅල්ලා සැබෑ රසිකත්වයට ගී අහුරක් පුදන්නට ධම්මික බණ්ඩාරලා ගත් වෙහෙස පසසන්නට මේ වදන් නොතරම් ය. ධම්මික බණ්ඩාරලා යන වචන දෙක තුළ නාමධාරීන් කිහිප දෙනෙක් අන්තර්ගත වෙයි. ගීත රචක ධම්මික බණ්ඩාර, ඩෙනිස්ටර් පෙරේරා සංගීතවේදියා සහ රසිකත්වයට සංග්‍රහයක් කොට පින් රැස් කරගත් විදුලි ඉංජිනේරු සහ මටද භෞතික විද්‍යාව කියාදුන් ප්‍රවීන භෞතික විද්‍යා උපදේශක කීර්ති ධර්මසිරි යන නාමත්‍රය ඒ අතර මුල්තැන ගනී. මේ සද් කාර්යට බරපැන ඉසිළූ සද්ක්‍රියාව සිදුකළේ කීර්ති ධර්මසිරි මහතා විසිනි. 


මේ ගීත මිණි කැට වැනිය. ඒ අන් මිණි වර්ග නොව මිණි වලින් අගනා නිල් මිණිම වෙත්. ඒ අර්ථයෙන් නම් මෙය නිල්කැට වැස්සකි.

-         -  යසනාත් ධම්මික බණ්ඩාර -

( මෙම ධම්මික බණ්ඩාර නම් ගීත රචකයාගේ නිල් කැට වැස්ස නිර්මාණ එකතුව පිළිබඳව මා ලියූ විචාරාත්මක ලිපියේ මුල් පිටපතයි. එහෙත් 2007 ජූලි මස 08 වන ඉරිදා රාවය පුවත්පතේ මෙය පළවූවේ මේ සඳහා දිය හැකි ඉඩට ගැලපෙන අයුරින් ඔවුන් අතින් සංස්කරණයට ලක්වීමෙන් අනතුරුවය. )

2 comments:

  1. ඔබගේ විචාර කියවා ඇති මා හට හැම අතින්ම පරිපුර්ණ දැනීමක් ලබා ගන්නට හැකි වී ඇත. ඒ ගැන ස්තුතියි.. ඔබ බ්ගොග් අවකාශයේ සිටීම ඉතා සතුටට කාරණයක්.. ජය වේවා දිගටම එන්නම්

    ReplyDelete
  2. ආදරය නම් පරිත්‍යාගයක් යැයි අසා තිබුණද එය මෙසේ යැයි දනවන්නේ හන්තානයට පායන සදයි..මා දකින අයුරින්
    ධම්මික බණ්ඩාර මහතාගේ සාර්ථිකත්වය වන්නේ ඔහුගේ පදවැල් සවනට වැකෙන හැම මොහොතකම
    මුලින් දැණූන කම්පනයම නැවතත් නැවත නැවතත් සහෘදයාගේ හදවතට දැනීමයි...ඔබගේ සටහනෙහි මා හදවත ‍සොරකම්
    කළ සොර දෙටුවා ඔබ නැමැති ගීතය සම්බන්ධයෙන් ඔබගේ විචාරය දුටු මට සිනා නැගිණ.ඒ ධම්මික බණ්ඩාර
    දෙදෙනාම ගැහැණු හදවත මැනවින් වටහා ගෙන තිබූ නිසා ය. කෙසේ නමුත් ධම්මික බණ්ඩාර මහතා ඔහුගේ
    පදවැල් අමුණා ඇති සේම ඉතා නිර්ව්‍යාජ මිනිසෙකි..දිනක් ගීත රචක ඉන්ද්‍රසිරි සුරවීර මහතා ඔහුව පෙන්වා
    මේ කවුරැන්දැයි දන්නේ දැයි විමසීය..යහපත් පිළිතුරැක් දීමට තරම් නිවැරදි මතකයක් මා තුළ නොවීය.
    වැඩක් නෑ උඹලා කැම්පස් වුණාට සුරවීරයන් පුදුමයෙන් සහ කළකිරීමෙන් පැවසීය..බණ්ඩාරයන්ගේ
    දෑසේ වූයේ නිරහන්කාර, අපි පිළිබදව වන කාරැණික බැල්මකි..කාලවර්ණ දේහධාරී රැව ඉදින්
    කිසි දිනෙක මා සිතෙන් නික්ම නොයනු ඇත..මා ද ඊර්ෂ්‍යා කරන්නේ ආදරය කරන්නේ ඒ දේහය තුළ ඇති
    අසීමිත කාව්‍ය පෞර්ශයයටයි.......

    ReplyDelete