Wednesday, December 26, 2012

සුනාමි කවියක් නොවේ.......

(දළ රළ පෙළ රුදුරු වී අදට වසර අටක් සපිරේ)


ගොර රකුසු අණ වින 
සුනාමී නම් වෙස් ගෙන
වෙරළ තීරය බිළි ගෙන
මසක් ගතවෙන දින
ලියමි මේ කවි පෙළ
කලෙක සිට බොහොම මුව ගොළු
අය්යණ්ඩියේ නුඹ ගැන.........

නාවාට සුනාමී
යුගෙන් පසු වෙහෙර දේවී
නම නැතිවාට සුනාමී
සුනාමී වන් විපත් බෝවී
මෙසිරිලක ගනඳුරට යාවී............

දුටුවිට දසුන බියකරු
ගාළු නගරයෙ මුහුද ගොඩගැලු
අන් හැම නමට පළමුව
නැගුණු නම මතකයට
නුඹෙ නම........

අය්යණ්ඩියේ කවි සිත
කවි පෙළකටත් වඩා මුදු වූ
රැකුණිදැයි මේ විපතින්
සෙවී තොරතුරු
නිතැතින්......

දැන සිටින වග යහතින්
බේරී සුනාමී විපතින්
නුඹද දරු කැළ නිදුකින්
විරාමයකට මසිත සතුටින්.......

එහෙත් සත්තයි මට නම්
පෑරී ඇතැයි කවිකම්
පෑව සිත්මල බෙහෙවින්
සිදුවූ දුකින් මේ වන්
සිරි බර රටට මනරම්......

මේ විපතටත් පෙර සිට
වන් විපතකින් කරපිට
පොඩි වී තැලී කවි සිත
අහෝ ගොළුවුණු කවිපද.......

දේශපාලන උදම් රළ
කළඹා රැකියා සිඳුකුස
අනේ අවතැන් කළ
අය්යණ්ඩිගේ කවි සිත......

කවියෙකුට මනරම්
මොන දුකද - තම සිතට නොතරම්
මිනිසුන් නොමැති මනු දම්
හට මෙහෙය කිසියම්.......

ගිනිදඬු අවැසි තැන
අතැතිව මියුරු කවි පද
පෙළහර පානු රිසියෙන
සටනට එළඹි සකි සඳ......

මහතුනේ පින්බර
ආධාර බෙදන පිරිවර
කවි සිතකට දුක් බර
මොනවාද දුන් සහන පොදිකර.......

ආධාර නම් බෝ මැයි....
ආණ්ඩුවත් අපේමැයි......
නිල් රතු පාට මුහුවී
මනුසත් පෙනුම බෝමැයි......

ඉතින් නිල් රතු මහතුනි
කවි පදට ලොබ මිතුරනි
දනට බර යතියනි
නිදුකින් සිටින කවියනි....

අද අවතැන්ව කවි නැති
ඒත් බෝ කවි කලල සිත ඇති
කවි සිත නගනු රිසියෙනි
කියව් කරනා මෙහෙය සකියනි......

  - යසනාත් ධම්මික බණ්ඩාර -

(මෙම කවිය ලියැවුණේ පශ්චාත් සුනාමි වකවානුවේදීය. සුනාමිය එනවිට රත්න ශ්‍රී විජේසිංහයන් පදිංචි වී සිටියේ ගාල්ල කොටුවෙහි ලේන් බාන් වීදියෙහිය. මේ වනවිට රජයේ ඇමතිවරයෙකු හා ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුගේ රැකියාව අහිමිව තිබුණි. මෙම කවිය ලියැවුණේ ඒ සියළු කරුණු වල මතකයත් සමගිනි. කෙසේ වෙතත් පුවත් පත් කවිපිටුවලට මෙම කව යොමු කළද එය පළ නොවිනි. සමහරවිට අසාර්ථක කවියක් නිසා වන්නට පුළුවන. එහෙත් මම මෙයට මහත් ඇළුම් කරන බැවින් මෙහි පළ කිරීමට සිතුවෙමි.)

2 comments:

  1. හිතට කා වදින සිතුවිල්ලක් ....

    ReplyDelete
  2. කවියේ නම් ගැටලුවක් නැහැ කවි බස පිරිපුන්.මට හිතෙන්නේ මේ කවිය තරමක් දිග වැඩි නිසා පුවත් පත්වලින් ඉවත්ට යන්න ඇති. මේකේ දෙවන කොටසත්, අන්තිම කොටසට ඉහලින් ඇති කොටස් දෙකත් අයින් වුණානනම් ඒ කිසිදු ගැටලුවක් නැහැ. කොහොමටත් මෙවැනි කවිබසක් මේ අවකාශයේ දකින්නේ කලාතුරකින්..

    ReplyDelete