Wednesday, April 22, 2020

කෝවිඩ් 19 – 4 ( හතර බීරි කතා සහ තවත් කතා....)


text

මේ සෑම කරුණක්ම කොරෝනා හෙවත් කෝවිඩ් 19 රෝගය ගැනමය. එහෙත් සමහරුන්ට මේ අදහස් එසේ නොවී දේශපාලනික යැයි වුව හැඟෙන්නට ඉඩ ඇත. එසේ වන්නේ රෝගය ඒ මට්ටමින්ම සෞඛ්‍යමය තත්ත්වයකට වඩා දේශපාලනික තත්ත්වයක් ලෙසින් රට තුළ ව්‍යාප්ත වූ පසුබිමකය. සමහරුන් මෙහි දකින්නේ සෞඛ්‍යමය පැත්ත වුව, මෙහි මේ දෙකම ඇති බව මම දකිමි. මට අනුව අප රටේ වැඩිමනත් ඇත්තේ දේශපාලනික වේශයයි. එබැවින් මේ කරුණු යම් පිරිසකගේ දේශාපාලනික අදහස් වලට නොගැලපිය හැකිය. ඒ කෙසේ වෙතත්, මෙහි ඇත්තේ රෝගය ගැනමය. රෝගය ගැන ඒ අනෙකුන් දුන් අර්ථකථන අනුව ඒ දෙස මා බලන බැල්ම දේශපාලනික නොවී කරන්නට මට නොහැකිය.

මා සතු සුළු දැණුමින්, සුළු අවබෝධයෙන්, සුළු හැකියාවෙන් කොරෝනා ගැන ලිපි කිහපයක් ලිව්වත්, පසුව එය නවතා දැමීමි. කොරෝනා ගැන මහඟු දැනුමැති බුකී වාසීන්ගේ දැණුම අභිමුවේ එවැනි දෑ එතරම් පළක් නොවන්නේ යැයි හැඟුනු බැවිනි. ඒවා කියැවීයැයි අනුමාන කරණ පිරිස ගැන හිතුවාම, ඒවා කියවා ඇත්තේ කොතරම් සුළු පිරිසක්ද කියා හිතුවාම, හිතළු මත ලියන සමහර අයට ලැබී ඇති ප්‍රතිචාර ගැන දුටුවාම, ඒවා ගැන පුදුමාකාර විශ්වාසයකින් අදහස් හුවමාරු කරගනු දුටුවාම මේ අවකාශයට අපගේ අදහස් කුමටදැයි සිතා සරල අදහස් දමා ගැසීම් මිස ඊට වඩා එහා ගිය දේට යළි කාලය වැය නොකරමියැයි සිතූ අවස්ථා එමට වුණි. ඒ නිසා රෝගයාශ්‍රිතව ලියන්නට හිතූ බොහෝ ලිපි අතරමග නවතා දැමුනි.

කෙසේ වෙතත්, එදා සිට මේ දක්වා, ඒ කියන්නේ කොරෝනාකෝවිඩ් වී චීනයේ පැතිරෙමින් ලොවෙහි පැතිරෙන්නට වීමේ සිට මේ රටට ඒම සහ අනතුරුව මෙරට තුළ ඉබි ගමනින් යමින් තුන්සිය විසි ගණනක් ඉක්මවූ අද දවස දක්වා වූ සමහර සිද්ධි දුටු විට, කතා ඇසූ විට ඒවා එකතු කර යම් ලිපියක් යළි ලිවිය යුතුය යන කැසිල්ල ඇති වූයේ, ඒ කැසිල්ල අමතක කර අන් දෙයකට යොමු වන්නට නොහැකි වූයේ, යළිත් මෙලෙස ලියන්නට සිත් විය.

 red and white heart illustration

කොරෝනා හෙවත් කෝවිඩ් චීනයේ ව්‍යප්ත වන විට චීනයට එහෙරි වීම රාජපක්ෂ විරෝධයේ කොටසක් කර ගත් සමහරුන් දැන් ඉතින් ලංකාවට කෙළ වෙන්නේ දෙවැනි වූහාන් වැනි සේ යැයි සිහින මවන්නට විය. මේ සිහිනය රුදුරු සිහිනයක් වුවත්, ඒ සිහිනය ඉටු වී යම් කලෙකින් තමන්ගේ බලය පිළිබඳ සිහිනය ඉටුවෙන්නට ඇති යම් ඉඩක් නිසාවෙන් කඳුවුරු දෙකක දෙපිරිසක් ( ඇත්තටම එකම කඳවුරේ දෙපිරිසක් )  වෙසෙසින් ඒ වෙනුවෙන් සිය හඬ, පන්හිඳ මෙහෙය වූහ. එනම් චීන ශ්‍රමිකයින් සෑහෙන් පිරිසක් මෙහි විවිධාකාර ව්‍යාපෘති හා සම්බන්ධව වැඩ කරණා හෙයින්, ඔවුන්ගේ ඒ කුරිරු ප්‍රාර්ථනා මල් ඵල ගැන්වෙතැයි යන සැකය ඔවුන් තුළ පමණක් නොව ඔවුන් තුළට අඩංගු නොවන අයට පවා යම් භීතිකාවක් ගෙන ආවේය. 

මේ භීතිකාව තවත් ඉහළ නංවමින් මෙසිරිලක පළමු කෝවිඩ් 19 රෝගියා වූයේ චීන කතකි. 




මේ හා සමගම චෛනීස් විරෝධය නව රැල්ලක් සේ ක්‍රියාත්මක විය. එය කොතෙක්ද යත්. චීන රජයට සිය ජාතිකයින් මෙරට තුළ යම් යම් නින්දාවන්ට ලක් කිරීම නොකරණ මෙන් මෙරටින් ඉල්ලන්නට තරම් එය හේතුවක් විය. බටහිරට ඇඟිල්ල දිගු කළත් ජාත්‍යන්තරය තරහා වෙයි කියා හිතන මේ පිරිස් චීනයට පශ්චාත්භාගය දිගු කරන්නේ ජාත්‍යන්තර සබඳකම් ගැන අල්ප මාත්‍රව වත් නොකතකෙමින් බවද කිව යුතුය. රාජපක්ෂ විරෝධය ද ඒ නයින් චීන විරෝධය ද දැඩිය.

චීන ලිය පෙරටුකරගෙන එන කෝවිඩ් පොසිටිව් චීන්නු පෙරහැර බලනු රිසින් ජනතාව කුලප්පු කරණ පිරිවර දුටුවේ නමුදු ඔවුන්ගේ සියළු පැතුම් සුන් කරමින් එයින් මතු මෙරටින් කිසිදු චීනෙක් කෝවිඩ් 19 සමග හමු නොවුනි.

මේ අතර චීන්නු සිය රටේ රෝගය යම් සාර්ථක මට්ටමකට පාලනය කර ගන්නට සමත් විය. එමෙන්ම මොන මොන කරුණේදී උන් බාල වැඩ කළේද නොකළේද යන්න නොදන්නා මුත් එලෙස පවසන නමුත්, මේ කාරණයේදී නම් එලෙස නොකළ බවට මනා තහවුරුවක් වූයේ අනතුරුව එරටින් නිරෝධායනය වී පැමිණි මෙරටදී නිරෝධායනයට ලක් නොවූ චීන පිරිස් කිසිවක් මෙරට තුළ රෝගය පතුරුවාලීමට අංශු මාත්‍ර හෝ  හේතුවක් නොවූ බැවැනි. චීනය මෙරට කොරෝනාව පතුරුවා සිය කුරිරු දේශපාලන සිහිනය යම් සැනසිලි දායක සිහිනයකින් කෙලවර වනු ඇතැයි සිහින මැවූ අයගේ සිහනය ඒ හා සමගම වැළලිනි. එය, එරටදී ඔවුන් නිරෝධායනය වී පැමිණියේය යන එරට සහතිකය අප දැඩිව විශ්වාස කරන්නේ අප චීන කොලනියක් වන නිසාමය යනුවෙන් තමන්ගේම පශ්චාද් භාගය තමන්ම හැරී විකා ගනිමින් පැවැසූ පිරිසගේ ශ්‍රවණපත්‍ර හරහා එල්ල වූ එක්තරා ප්‍රහාරයක්ද විය.

එහෙත් ඔවුන් සිය සිහින අත නොහැරියේය. ඔවුන් තව තවත් එවන් සිහින දකිමින් සිටී.
මේ ලිපියේ එක් එක් සිද්ධිය කතා කරණුයේ කාලානුරූපවම නොවේ. යම් කරුණක් මුලට කතා කරන්නට තිබිනැයි ඔබට හැඟෙන්නේ නමුදු මම කතා කරන්නේ පසුව විය හැකිය. යම් කරුණක් ඇයි දැන් කතා කරන්නේ එය කතා කළ යුතු පසුව නොවැ යනුවෙන් ඔබ සිතන කරුණක් මම කතා කරන්නේ මුළදිම විය හැකිය. ඒ මෙය ලියන්නට මම කැමැති විදිහ එය බැවිනි.

රෝගය රටින් රට යන විට, ලොක් ඩවුන්, ෂට් ඩවුන් වැනි තමන්වත් හරියටම වටහා නොගත් ටෙක්නිකල් කතා, වරාය වසමු. ගුවන්තොට වසමු වැනි එක වරක් නොව දහස් වරක් කල්පනා කොට සාකච්ඡා කොට තීරණය කළ යුතු යෝජනා ඉදිරිපත්කළ පිරිස බොහෝය. රෝගය ගැන දැනගත් සැනින් එය කළ යුතුය. පළමු ශ්‍රී ලාංකික රෝගියා මෙරටින් හමුවීමත් සමගම මෙය කරන්නට තිබුණාය වැනි දේ ඔස්සේ චෝදනා නැගූවන් බොහෝය. අනතුරුව දැන් ඉස්තාලය වසා ඵලක් නැත. අශ්වයා පැණ ගොසින් අහවරය වැනි දෑ කියූ අය බොහෝය.

දැන් අපි ඒ අවස්ථා වල අශ්වයා පැණ ගියේදැයි බලමු.

ඉතාලියෙන්ද, ජර්මනියෙන්ද මන්දා පැමිණි සංචාරක කණ්ඩායමකින් මග පෙන්වන්නෙකුට රෝගය වැළඳුනි. ඔහු රෝගය ගැන නොදත්තේ අසල වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නට යොමු වුවද, තොරතුරු වසන් නොකළේ, IDH රෝහලට ඇතුළත් කර රෝගය හඳුනාගෙන සුව වී නිවසට ගිය පළමු රෝගියා බවටද පත්විය. ඊට වඩා වැදගත් දේ නම්, ඔහුගෙන් අන් කිසිවෙකුටත් රෝගය බෝ වන දේ ඔහු විසින් නොකර සිටීමය.

කෙසේ වෙතත්, මේ සිද්ධියත් සමගම මෙරට වසා දමන්නට තිබුණේ මීට පෙර අපි කී වෙලාවටය. දැන් ප්‍රමාද වැඩිය. වශයෙන් පටන් ගෙන අනතුරුව ඉස්තාලය සහ අශ්වයා පැන ගිය කතාවය යළිත් මතු වූයේ. එහෙත් ඇත්තටම එහිදී හෝ අශ්වායා පැන ගියේද? ඉන් අනතුරුව විදේශිකයින්ගෙන් රෝගය බොවී රට පුරා පැතිර ගිය කතාවක් නෙි ඇසේ. ඒ අනුව වරාය ගුවන් තොට වසා දැමීමේ ප්‍රමාදය පිළිබඳ කතා එයට අදාල නොවේ. එහෙත් අදටත් ඔවුන් එයම ප්‍රතිරාව නංවයි. නමුත් ඒ නිසා වුණු හානිය පෙන්වන්ටයැයි අභියෝග කරණ කිසිවෙක් නොවෙයි. එබැවින් ඒ අභියෝගය මම මෙතැන දැන් කරමි. එහෙත් අපි මෙවැනි තැනක අභියෝග කළා ය කියා කවුරු නම් ඒවා කියවා උත්තර දෙන්නද?

ඊ ළඟට එතැන් සිට අප රට තුළට ආවේ පිට රටවල සිටි ශ්‍රි ලාංකිකයන්ය. මෙරටට යම් රොගීන් සංඛ්‍යාවක් පැමිණියේ ඒ ඔස්සේය. එසේ නම් එවිට වරාය වසා, ගුවන් තොට වසා අපි වලක්වන්නේ මේ අපේ රටේම මිනිස්සුද? මේ ඔස්සේ ඇති වන්නේ හතර බීරි කතාවකි.

රටේ මිනිස්සු එහේ හිරවී ඉන්නා විට ඔවුන් අපේ රටේ පුරවැසියන්. රජයේ වගකීම් ඔවුන් එන්නට කැමැති නම් මෙහි එන්නට දීමයි. දැන්ම එය කළ යුතුයි. හෙටම එය කළ යුතුයි කියන කටවල්මය, ඔවුන්ට ගුවන් තොට වසන්නට තිබුණේ, වරාය වසන්නට තිබුණේ යැයි කීවේද.

යළත් සිතා බලන්න. මෙරට රෝගය යම් තරමකට පැතිරුණේ චීන්නුන්ගෙනුත් නොවේ නම්, පිටරැටියන්ගෙනුත් නොවේ නම්, ඔවුන් ඇසුරු කළවුනුත් නොවේ නම්, මේ වසා දමන්නට ප්‍රමාද වුණා යැයි කීමේ වලංගුතාව එවිට මතුවෙන්නේ අප රටේ සිට ගොස් අප රටටම යළි ආ අයට නොවේද? එතකොට මේ ඔස්සේ ඇති වුණු කතා හතර බීරි කතා නොවේද?

වරාය ගුවන්තොට වසා දැමීමට ප්‍රමාදවීම රෝගය අප රට තුළ පැතිරෙන්නට හේතු වූයේම නැත. අප රටට පැමිණ එහෙත් නිරෝධායනයෙන් පැන ගොස් වගකීම් විරහිතව තොරතුරු වසං කරමින්, රෝගය ඇති බව දැන දැනම වගේ එය පැතිරිය හැකි අයුරින් හැසිරුණු අය නිසාවෙනි අප රටේ රෝගය පැතිරුනේ. එහෙත් මේ ඇත්තට ඇති තැන කුමක්ද?

ඉතාලිය ජර්මනිය ආදී රටවලින් මෙහි පැමිණ නිරෝධායනයට ලක් වුනු අය අප ළඟ සිටි අය බැවින්, අපට ඔවුන්ගෙන් ඇති වන ගැටළුවක් නැත. ඔවුන් පරීක්ෂාකොට රෝගී නම් රැක බලාගෙන සුව වූ පසු පිට කිරීමත්, රෝගය නැති අය නිරෝධායනයට ලක් කර හානියක් නොවන පිරිසක් සේ පිට කිරීමත් පමණක් මිස අපට වෙනත් බරක් නැත. නිරෝධානයට ලක් නොවීම නිසා රෝගී වුණු අයය අපට යම් හානියක් කළේ. එහෙත් ඒ පිරිස සමාජය තුළ රෝගය පැතිරීම දක්වා දුර යාමට තවමත් හේතුවක් වී නොමැත. එසේ නොවුණේ ඔවුන් ගැන දැනගත් සැනින් ඔවුන් ඇසුරු කළ වුන්ගේ සිට ඒ යද ඇසරු කළවුන් දක්වා වළලු දෙක තුනක පිරිස් සොයා නිරෝධායනයට ලක් කළ බැවිනි. එවිට දැන් ඒ බොහෝ අයගේ අනතුරුදායක කාලය පසුව ඇති බැවින් ඔවුන් තව දුරටත් මෙරට තුළ රෝගය පතුරුවන්නන් නොවන්නේය.

දැන් අපට ප්‍රශ්ණය ඇත්තේ අර වගකීමකින් තොරව හැසිරුණු යම් අයෙකු දෙදෙනෙකු නිසායෙන් ඊ ළඟ වළල්ලක් ලෙස රෝගය පැතිරුණු ස්ථාන වල රෝගීන් හඳුනාගෙන වෙන් කිරීමේත්, ඔවුන්ව සුව කිරීමේත්, නිහඬ රෝගීන් හඳුනාගෙන වෙන්කිරීමේත් අභියෝගයයි. මේ අභියෝගය ජය ගත හැකි නම් එය සමාජය තුළ පැතිරීමේ තත්ත්වයට යොමු නොවනු ඇත.

රෝගීන් ගැන ප්‍රකාශ කිරීමේදී යම් වර්ගවාදී ආගම් වාදී මුහුණුවරක් ගත්තැයි චෝදනාවක්ද විය. එයට සමහරුන් දැඩිව පහර ගසන බවක්ද දිස් විය. ඒ පහර ගැසීමද සකලවිධ වාර්ගිකයන් කෙරෙහි වූ අනුපමේය සෙනෙහසකට වඩා වෙනත් දේශපාලන මුහුණුවරකින් කරන්නක් බවද දර්ශනය විය. කෙසේ වෙතත්, රෝගයට ජාතියක් ජන්මයක් අදාල නොවුණත්, යම් ජන පිරිසක් සිය වගකීම පසෙක ලා හැසිරීමෙන් ඔවුන් විසින්ම මේ නරක නාමය ලබන්නට අවැසි වට පිටාව සැකසූ බව නම් කිව යුතුය. ඔවුන් තුළ මෙලෙස වගකීම් විරහිතව හැසිරෙන්නට ඔවුන්ව පුරුදු පුහුණු කළේ ඔවුනගේ දේශපාලන නායකත්වයයි. එය කීමට සමහරුන් තරමක් මැලි සහ බිය වෙයි. රටේ සම්තයන්ට පිටු පෑම සහ නීතියට එරෙහි වීම පොදු තීරණ ප්‍රතික්ෂේප කිරීම වැනි දේට ඔවුන්ව පෙළඹවීමෙන් සහ අනතුරුව ඊට එරෙහි වන අයව සිය බලය යොදා නිහඬ කරවීමෙන් සිය අනාගත දේශපාලනයට සහ සමහර විට එය බෙදුම් වාදයක් දක්වා දුරට ගෙන යාමට පහසුවකැයි ඒ නායකත්වය සිතීම නිසා බවය මගේ නම් අදහස.  මේ ගැන වඩ වඩාත් කතා කළ යුතු වුවත් මේ ඊට වේලාව නොවේ.

ඊ ළගට ආ ප්‍රශ්ණයක් වූයේ යම් විද්වත්, දැනුවත් පිරිසක් සමාජය බොරුවට බය කළේද යන්නය. ඇමරිකානු හොප්කින්ස් ආයතනයේ යම් යම් නිර්ණායක මත හමු වූ රෝගීන් මෙන් යම් ගුණාකාරයක රෝගීන් පිටත සිටිය හැකිය යන අනුමානය මත මේ කාලය වන විට රෝගීන් මෙපමණ වනු ඇත. මේ කාලය වන විට මෙපමණ වනු ඇත යනුවෙන් කළ අනාවැකි නිසා අපි රෝගය පැතිරීම කෙරෙහි දැඩි බාධාවන් ඇති කරණු ලැබිණි. එසේ කිරීමට මෙරට පාලනය කැමැති කර ගත හැකි විය. ඒ නිසාම රෝගය ඒ මට්ටමට දැඩි නොවුණි. අනතුරුව සමහරුන් අසන්නට වූයේ කෝ අර කියපු රෝගීන් ප්‍රමාණය? නිකං බොරුවට බය කළා. අර නීති දැම්මා. මේ නීති දැම්මා වගේ කතාය. නිකං බොරුවට හරි බය නොවී බිය නොවන් අයියණ්ඩිය! මැරෙනා සැටි මම පෙන්වන්නම් න්‍යායෙන් ගියා නම් අර කියූ සංඛ්‍යා ලේඛණ සත්‍ය වන බව ඔවුන් වටහා ගනු ඇතැයිබ සිතිය නොහැකිය. නමුත් මෙහි ඒ ගැන කියනුයේ වටහා ගත හැකි පිරිසක් මෙය කියවන බැවිනි. එහෙත් අපට අවැසි අනාවැකි සත්‍යවනු දැක ගැනීම නොවේ. ඒ මත අවශ්‍ය ලෙස ක්‍රියා කොට ඒ අනාවැකි බොරු වනු දැකීමය. එබැවින් එවැනි ඵල රහිත ප්‍රශ්ණ වලට මීට වඩා කාලයක් වැය කොට පිලිතුරු දීම අනවැසිය.

මේ කාලය තුළ බොහෝ වර මේ රෝගයට ප්‍රතිකාර සම්බන්ධව යම් යම් වෛද්‍ය ක්‍රමවේදයන් මුසු වීම තුළ ගොඩ නැගුණු මතවාද විවාද සංවාද ද විය. ඒ සමගම අති විශාල මඩ කන්දරාවක් මේ වගකීම් දරණ පිරිසට එල්ල වනුද දුටුවෙමි. එහෙත් එම කාර්ය මණ්ඩල මෙතෙක්ද වැඩ කළේ එවැනි මඩ ගංගා මැදින් වන නිසාත්, එසේ සේවය ලබන පිරිස් පෙරලා සේවය සලසන අයට සලකන සමහර ආකාර ගැන නොදැන සිටි දෙයක් නොවන නිසාත් එවැනි මඩ ගංගාද නොතකා බැහැර හැරිය යුතු දේය.

මගේ පෞද්ගලික අදහස නම් කෝවිඩ් 19 සඳහා ප්‍රතිකාර කිරීම දැනට බටහිර වෛද්‍ය ක්‍රමය මූලික කරගෙන කළ යුතු බවය. මක් නිසාද යත් පහසුකම්, පහසුකම් මෙහෙයවීම, මහජන සෞඛ්‍ය අංශයේ නිසි පාලනයේ යාන්ත්‍රණය සතු ඔවුන්ට නිසා එහි ප්‍රමුඛ කාර්යය ඔවුන් විසින් ඉටු කළ යුතුය. ඒ අතරේ යම් යම් දේශීය වත් පිලිවෙත් සහ යම් සමහර ප්‍රතිකාර ප්‍රතිකර්ම අවබෝධයෙන් සහ පරීක්ෂාවෙන් මුසු කිරීම කළාට කම් නැත. 

සියයට 95ක් බටහිර ක්‍රමයෙන් සුවය ලබන රෝගීන් වුව, සියයට 5ක උදව් වෙනත් ක්‍රමයකින් ලබන විට, ඔවුන් අර සියයට 95ම අමතක කර සියයට 5 වෙත හැරෙන අයුරු අනාදිමත් කාලයක සිට දැක ඇති නිසාවෙන් මේ මොහොතේ ඉන් එහා ආරාවුලකට නොයාම රෝගය පාලනය කිරීම කෙරෙහි වඩා වැදගත් වන බව කිව යුතුය. එහෙත් යම් වෙනත් වෛද්‍ය ක්‍රමයක් කරණා පිරිසක් තමන් සතුව පූර්ණ සුවය දෙන ඔසු සහ වෙනත් දේ ඇතැයි කියන්නේ නම් සුදුසු ක්‍රමවේදයක් ඔස්සේ කැමැති රෝගීන් ඔවුන් වෙත යොමු කළ හැකි දැයි විමසීම වටී. මෙවන් අවසථාවක අත්හදා බැලීම් කිරීම නුසුදුසු වුවත් කැමැත්තේම ඉදිරිපත් වන අය සිටී නම් මෙය එවන් ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය මැණිය හැකි වටිණා අවස්ථාවක් ද වනු ඇත. කෙසේ වෙතත් මේ වන විට නම් ඒ තත්ත්වය බොහෝ දුරට යටව ගොස් ඇති හැඩයකි. ඒ කිසිදු අන් ක්‍රමයක් තනිව රෝගීන් බලාගැනීමට ඉල්ලීම් කරණ අයුරක් නොපෙනේ. මේ නිසා දැන් ඇත්තේ පවතින ක්‍රමයට උදව්වක් විය හැති යම් යම් දේ තිබේ නම් ඒවා භාවිතා කරමින් ප්‍රමුඛ වෛද්‍ය ක්‍රමය පවත්වාගැනීමේ අවස්ථාවයි.

ඇඳිරි නීතිය අප රට තුළ කළ මෙහෙය අපමණය. එය නොවන්නට රෝගය පැතිරීමේ අවදානම පිළිබඳව වන භිතිකාව පවතිනුයේ මීට වඩා උච්ඡ තත්ත්වයකය. විශේෂයෙන් රෝගය ඇත්තේ කොහේ කොහේ දැයි නොදන්නේ කොහෙත් රෝගය තිබිය හැකි බැවින් මීට වඩා භීතියකින් පෙළුනු ජනතාවක් සමගය අපට කටයුතු කරන්නට වෙන්නේ. එබැවින් රෝගය නැති ප්‍රදේශ වල පවා ඇඳිරිනීතිය පැණවීම වටිණා කරුණක් විය. ඒ සමඟම ඒ කාලය රෝගය සමග වෙසෙන්නට පුහුණු කාලයක් බඳු විය. ඕනෑම පුහුණුවක් සාර්ථකව නිම කරණ අය සේම අසාර්ථක අයද වෙති. ඇඳිරිනිතිය ලිහිල් කරණ විට මේ දෙපිරිසම අපට දැක ගත හැකි විය.

ඇඳිරි නීතිය ලිහිල් කර බාර් ඇරීම නිසා අශ්වයාගේ කතාව යළි කරලියට ආවේය. මේ ගැන කියන්නට ඇත්තේ මෙයයි. මට නම් එහි ලොකුම අවුල වූයේ යම් විනයක් ඇති කර ගත්තේ නම් එය බිදී යාමයි. මේ විනය බිඳී යාම අනාගත තර්ජනයන් විය හැකි වීමයි. 

ඇඳිරි නිතිය ඉවත් කලේද, බාර් ඇරියේද එකදු රෝගියෙකු වත් මේ අවස්ථාව වන විට වාර්තා නොවන දිස්ත්‍රික්ක වල නිසා ඔවුන් එහි එක් රොක් වූවාට රෝගය බෝවන්නට ඉඩක් නැති තරම්ය. තිබුණත් විසල් හානියක් නොමැති තරමටය. තැනින් තැන රෝගීන් සිටින තත්ත්වයක් තුළ මෙය විනි නම් අශ්වයා සහ ඉස්තාල කතාව පදනමක් ඇති එකක් විය හැකිය. එබැවින් මට එහි අවුල පෙර කීවා සේ ම අශ්වයා සහ ඉස්තාල කතාව නිසා නොව අර හදා ගත් විනය කැඩීම ඉදිරි අනතුරක් වලක්වා ගන්නට පුහුණු කළ පිරිසකගේ පුහුණුවෙන් යම් කොටසක් අපතේ යාමට ලඝු වීමයි.

යම් හෙයකින් විසිරුණු රෝගීන් සිටියේ නම් වන අනතුර මම බැහැර නොකරමි. එහෙත් යම් පලාතක් තුළ නිහඬ රෝගීන්ම සිටිය හැකි නොවේ. තර්කයක් ලෙස නිහඬ රෝගීන් ගැන කියන අය සිටින්නේ වුව, සිටිනවා නම් සිටින්නේ රෝගීන් මිශ්‍රණයකි. එබැවින් අතරින් පතරවත් රෝගය වාර්තා වී තිබිය යුතුය.

ඡන්දයද කරලියට පැමිණ තිබේ. සමහරුන් රෝගයට වඩා බිය ඡන්දයට බව හැසිරීමෙන් පෙනේ. ඔවුන් රෝගය වලක්වා ගැනීමට ආණ්ඩුවට දෙන සහායයට වඩා වැඩි බරක්, ඡන්දයක් නොතියා වැහැරුණු පාර්ලිමේන්තුවකට යළි කවා පොවා පණ පොවන්නට ගන්නා උත්සාහයෙන් පෙනී යයි. එබැවින් මේ බොහෝ පිරිසක් ඡන්දයට විරුද්ධ වන්නේ ඉන් රෝගය පැතිරී ජන ජීවිතයට දුර්භාග්‍යයක් උදා වේය යන අදහසින් නොවන බවය මගේ වැඩි අදහස. මේ බොහෝ අය රෝගය වැඩි වී මෙරට විසාලාවක් වී තමන්ට වාසිදායක දේශපාලන පිටියක් ඉදිවනු බලා සිටින අය වන බැවින් ඡන්දය නිසා මිනිස් ජීවිත අමාරුවේ වැටේය යන බියෙන් සිටින අය සේ සිතන්නට මට බැරිය. ඔවුන්ට මෙහි ඇත්තේ වෙනත් අරමුණකි. 

මගේ පෞද්ගලික අදහස නම් රෝගය පැතිරීම වලක්වාගතයුතු සේම වැදගත් කමක් ඡන්දයටද ලැබෙමින් පවතින් බවය. ඒ යම් දේශපාලන පෙරලියක් ළඟ සිටියදී, එය වලකා පෙර අරක් ගත් අවතාරම යළි හොල්මං කරන්නට තැත් කරණ බැවිනි. රෝගය වැනිම හානියක් ඉන්ද සිදු විය හැකිය.

මම වඩාත් කැමැති ඊ ළඟ කරුණ නම්, රෝගය අතරතුරම ඡන්දය පවත්වන්නේ නම් මෙතෙක් පැවැති ඡන්ද සංස්කෘතිය උඩු යටිකුරු කිරීමේ හැකියාවක් ලැබීමයි. රැස්වීම් වලින් තොර, සීමිත පෝස්ටර් කටවුට් සහ වෙනත් ප්‍රචාරක ක්‍රම උපයෝගී කරගන්නා, සමහර විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය පවා නව්‍ය වන ක්‍රමයකට යාමට අපට හැකිය. එය එසේ වේ නම් එයද යහපතක් ගෙන දෙන්නකි. මේ කතාවට අකමැති බොහෝ අය සිටිය හැකිය. ඒ අකමැත්ත ඔවුන් කියන හේතුව නොවන බව ට මම සිතමි.

මේ අතරේ ලිවිය යුතුම තවත් දෙයක් වෙයි. ඒක යළි යළි කරණ විපක්ෂයේ චෝදනාවක් ගැනයි. එනම් රෝගය එනවා දැක දැක ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදිය යන අදහසයි. මගේ අදහස නම් වෙනත් හේතුවක් මත එසේ කළා වුව, එය තරම් ආශිර්වාදයක් වුණු දෙයක් මේ මොහොතේ තවත් නැති බවය. නිකමට හිතන්න එය පැවතුණා නම් මේ කටයුතු කොතරම් අවුල් ජාලාවක් වනු ඇතිද කියා? එබැවින් කොරෝනාව දැඩි වෙන්නට පෙර මාර්තු 2 එළඹීම අප සැමගේ වාසනාවකි. මේ තරම් පැහැදිලි ක්‍රමවේදයක් එය තිබුණා නම් කෙදිනකවත් බලාපොරොත්තු විය කොහැකිය.

මේ ව්‍යායාමය අස්සේ වූ ලොකුම විරෝධයක් වූයේ කොරෝනා මැඩීමට හමුදාව පත්කිරීම රට හමුදාකරණයකට ලක් කිරීමකිය කියූ ඔලමොට්ටලයන්ගේ අදහස් සමුදායයි. ඔවුන් ගැන නම් කතා කිරීම පළක්ම නැති කාර්යයකි. කෙසේ වෙතත්, ඔවුන් වුව, සිය අභ්‍යන්තරයෙන් වටහා ගෙන ඇති දේ නම් මේ සාර්ථකත්වය පිටුපස ඇති අයෝමය ශක්තිය ඊට හමුදාව එක් වීම බවය. එසේ නොවන්නට වෙන දේ සිතා ගැනීමටවත් නොහැකිය.

ඊ ළඟ දේ නම්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය කොතෙක් රටේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබේද යන්නය. කොතෙක් අඩු ලුහුඬුකම් ඔබට ඉදිරිපත් කරන්නට හැකි වුව, යම් නිලධාරියෙකු ට පණිවිඩයක් ලැබී පැයක් තුළ රටේ ඕනෑම නිවසක් වෙත යාමේ හැකියාව අප සතු වීමයි. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය අංශ මගින් රෝගියෙකු සැනින් හසු කර ගැනීමට මේ තත්තවය මහත් උපකාරී විය. මේවා ඉදිරියේදී තව තවත් සාකච්ඡාවට බඳුන් විය යුතු දේය.

මට ඇති කාලය අහවර බැවින්, ලිවීම මෙතැන්න නවතා පළ කරමි. 





-      යසනාත් ධම්මික බණ්ඩාර      -

4 comments:

  1. එක හුස්මට කියවලා ඉවර කලා. හරුම අපූරුවට පෙලගස්වලා තියෙනවා හැමෝටම අතපසුවූ කරුනු ටික.

    ReplyDelete
  2. වෙනදා ගීතය, කවිය සහ රස වින්දනය ගැන ලියන මලයණ්ඩී අද වෙනස් ම කාලෝචිත මාතෘකාවකින් එළියට ඇවිල්ලා..
    මේ ලිපිය අති අනර්ඝයි.
    මෙය මීටත් වඩා සිය දහස් ගණනක් කියවන තැනකට ගෙන යන්නට හැකිනම් එය තමයි අපේ යුතුකම වන්නේ. එතකොට තමයි ඔබේ වටිනා කාලය කැපකරමින් මේ වෙනුවෙන් වැය කළ දේ නිසි පලයක් ලබන්නේ..

    ReplyDelete
  3. සමබර පැහැදිලි කිරීමක්

    ReplyDelete
  4. අගය කරනවා මල්ලිිි⁣යේ. ලියාගෙන යන හැම විටම "වැඩක් නෑ.." කියල අත්හැර දැමීමමයි වෙන්නෙ.
    වටිනවා මෙි ටික ලීව එක. එකඟයි මලේ උලුප්පා පෙන්වූ හැම කරුණක් එක්කම.

    ReplyDelete