Wednesday, September 5, 2018

අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට - මා නම් මෙසේ දිවි පිදුවේ කලාවට




එරික් ඉලයප්ආරච්චි 
යනු අපට ගුරු මට්ටමේ සිටි කවියෙකි. 



කවියේ සේම විවිධ කලා ක්ෂේත්‍රයන්හි හේ නිපුණයෙක් විය. චිත්‍ර කලාව ඉන් එකකි. එමෙන්ම සාහිත්‍ය විචාරයෙහිද ඔහු විසල් මෙහෙයක් කළ අයෙකි. 

කවිය, නවකතාව, පරිවර්තන, කලා විචාර, චිත්‍රකලාව ආදියට බැඳි මුද්‍රිත කෘතීන් රැසක් ඔහු අතින් බිහි විය. එහෙත් මේ ඒ සියල්ල ගැන කතා කරණා වේලාව නොවේ.

මට ඔහු වඩා සමීප කවියෙකු ලෙසිනි.

සිදුහත් ගේ අග මෙහෙසිය ඔහුගේ මුල් කාලීන කවි පොතකි. මට මතක එහි එන කවක් වෙයි. එහි නාමය මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය යි.

මතු දැක්වෙන්නේ එකී කවියයි.

සල් ගහ බලන් මල්වර වී අවාරෙට
සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට
සිත්තරු සිටිති මා රුව අඳිනට රුවට
මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට

වෙසක් තොරණ යට සෑදූ රඟ මඬල
පුන්සඳ නැවති බැලුවේ මා මුව කමල
වෙස්සන්තරත් මා වැනි අඹුවක නො රැක
දන් දුන්නේ මා අඬවා පෝ දාක

නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස්දඬුව
සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර

අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට
මා නම් මෙසේ දිවි පිදුවේ කලාවට
වැව් පිටිවල තැන් තැන්වල රැඟූ මට
නිළියක ලෙසින් මිය ඇදුණත් කමක් නැත

පුවත්පතක, දැන්වීමක, තාප්පෙක
මගේ මුහුණ වෙන්දේසිය දකින සඳ
නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට
මා විකිණුනු බව සිහි කරලනු මැනව!

මේ කවෙහි ඇය ගමේ උපන් ලියකි. ගමේ උපන් ලිය ගමෙන් උපන් නිළියක් වන අයුරු සහ ආශ්‍රිත ඛේදවාචකයක් මෙහි අන්තර්ගතව ඇත.

සල් ගහ බලන් මල්වර වී අවාරෙට
සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට
සිත්තරු සිටිති මා රුව අඳිනට රුවට
මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට

මේ සැබෑ වූ සිහිනය ඇගේ විය යුතුය. සිහිනය සැබෑ වූයේ හදිසියේ මෙන් යැයි එහි මේ මුල් පාදය නිසාවෙන් හැඟේ. සල්ගහ අවාරයේ මල්වර වී ඇති බවක් කියන්නේ එබැවින් විය යුතුය. ඇගේ සිහින මල් ගහේ සිහින සැබෑ වූයේද එලෙස අවාරෙට මල්වර වූ සල් ගහේ පිපි මල් ලෙසින්මය. කෙසේ වෙතත් දුටු සිහිනය ඉටු වීම ඇය වාසනාව කොට සැලකූ  අයුරකි. පෙර පිනක් නිසා ලැබුණයි සිතන අයුරකි.

සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට

ලෙසින් කියන්නේ එබැවිනි. එය කොතරම් දුර දිග ගොස් ඇති දැයි කියනවා නම් දැන් ඇය සිටිනුයේ 

ඈ රුව අඳින්නට සිහින මවන නම් දැරූ සිත්තරුන් පවා සිටින තරමට ඉහළ තැනකය.
ඈ උපන්නේ ගමේය. හැදුණේ ළන්දේ බඩවැටියේය. විසුවේ ගම් ළන්දේ ගෙපැලේය. එහෙත් එසේ උපන් ඇයගේ එම උත්පත්තිය අමතකව, මලකින් උන්නේදැයි ඈටම සිතෙන තරමටම වෙනස ඇයව වෙනස්කොට ඇත.

සිත්තරු සිටිති මා රුව අඳිනට රුවට
මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට...

මේ නම් විනාසකාරී සිදුවීම් දාමයකට සිය කැමැත්තෙන් ගොදුරු වීමේ සිතුවිලිමය උපතය.

ඈ සිටි තැනේ හැටියට, මෙය සැනෙක පිම්මකි. කොතරම්ද යත්, ඈ රුවින් දෑස ගිනි කන වැටුණේ ගමේ තරුණ ගැටවුන්ගේ මතු නොවේ. පුන් සඳ පවා සිය ගමන නවතා ඈ රුවට වසඟව බලන අයුරකි.

වෙසක් තොරණ යට සෑදූ රඟ මඬල
පුන්සඳ නැවති බැලුවේ මා මුව කමල

කෙසේ වෙතත් මෙහි ඊ ළඟ පාදයේ කියැවෙන්නේ ඈ ජීවිතයේ උදා වූ ඛේදවාචකය ගැන යැයි සිතේ. නැත එය වඩාත් ඛේදජනක සිදුවීම් පෙළක ඇරඹුම් ඛේදවාචකය සේ ය. එහෙත් එය කියන්නේ වෙස්සන්තර ජාතකයෙන්ද යම් යම් දේ උකහාගෙන ඒ ඇසුරිනි.

වෙස්සන්තරත් මා වැනි අඹුවක නො රැක
දන් දුන්නේ මා අඬවා පෝ දාක

වෙස්සන්තර ජාතකයේ මද්‍රි දේවියට වූ දේ ඈ නෙත කඳුලින් පුරවා ලයි. මද්‍රි දේවියද තමන් මෙන්ම යැයි ඈ සිතන්නේ නොදුටු මද්‍රි දේවිය මහත් රුවැත්තියක් විය යුතුය. තමන්ද මද්‍රි දේවියට නොපරදින රුවැත්තියකිය යන අධි තක්සේරුවැතිවය. මේ අධිතක්සේරුවම ද පසු කල මහත් විපත් ගෙන එන්නේ?

නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස්දඬුව
සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර

ගමෙන් ඈ යන්නේ තටු ලබමිනි. තටු ලබන ඈ කිරිල්ලියක්ද? මෙරු ළඳක්ද? එය අපට පෙනෙනු ඇත්තේ තව ඉදිරියටය. කෙසේ වෙතත්, නිලි වරම් ලැබ කොළොම් තොටට ගිය ඈගේ සමුගැන්ම විසින් හැඬවූ අයෙක් සිටී. එහෙත් ඔහු නොහඬා ගඟබඩ සිට හැඬවූයේ සියත තිබූ වස්දඬුවය.

අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට
මා නම් මෙසේ දිවි පිදුවේ කලාවට
වැව් පිටිවල තැන් තැන්වල රැඟූ මට
නිළියක ලෙසින් මිය ඇදුණත් කමක් නැත

අමල් බිසෝ කතාවේ 

දොර හැරපන් අමල් බිසෝ 

දොර නාරින් අමල්බිසෝ 

උපදෙස් අතරේ අමල්බිසෝ අතරමං වෙයි. මෙලෙස දෙසිතක් අතරේ අතරමං වන බොහෝ අමල්බිසෝ ලා අවසානයේ දී දොර හරී. ‍මන්ද යත් දොරින් සුරැකී සිටින බොහෝ දෙනා, දොරින් පිට තිබෙන්නට ඉඩ ඇති සොඳුරු සිහින වල රස,කොටු වී සිටියදී මනසින් බලන බැවිනි. ගමට කොටුව සිටි මේ ගමේ අමල් බිසෝ ද දොර හැර බලන්නට සිතුවේ එබැවිනි. අත්වූයේ විනාසය ම ය. එහෙත් බලන්න ඇයට අත් වූ විනාසය ඇයම සාධාරණීතරණය කරණා ආකාරය.

අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට
මා නම් මෙසේ දිවි පිදුවේ කලාවට

කලාව කිව්වොත් මලා වගේ යනුවෙන් විකෘති නාට්‍යයේ කියන්නේ කලා විෂය ධාරාව ගැන විනා කලා කෙත ගැන නොවේ. කලා කෙත නම් එක්තරා මහඟු බිම් පෙතකි. එහි බොහෝ දේට සාධාරණීකරණ දෙනෙත් විවර වෙයි. කොන්දේසි විරහිත සමාවන් ලැබෙයි. මේ නිසාම ඇයට යම් යම් සයන වල සිය රෙදි උනා දමන්නට සිදුවීමේ විනාසයේ ඛේදවාචකය කලාවේ නාමයෙන් ඇය කළ දෙයක් ලෙස අරුත් ගන්වා සමාවට ද ඉඩ කඩ ලද්දේ වෙයි.

එහි තවත් දෙයක්ද ඊ ළඟ පද වලදී නොවලහා කියැවෙයි.

වැව් පිටිවල තැන් තැන්වල රැඟූ මට
නිළියක ලෙසින් මිය ඇදුණත් කමක් නැත

අන්ත අසරණ තත්ත්වයක සිටිමින්, අති දුෂ්කර වටපිටාවකින් පැවත එමින් සුන්දර නිලි සිහින මැවූ ඇයට නිලියක වීමේ ඇගේ සිහිනය ඉටු කරගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානම්ව සිටි බවය.

ඊටත් වඩා ටිකක් පැහැදිලිව කිව හොත් මහන්සි වී එසේ විය නොහැකි නම් හාන්සි වී හෝ එසේ වන්නට ඈ අකමැත්තකින් නොසිටි බවයි. 

කවියේ අවසනදී ඇයගේ අදහස් අපට කියන්නේ ඇයගේම ඛේදවාචකය ඇයටම හඳුනා ගත නොහැකි වූ බවද? නැති නම් අපට ඛේදවාචකයක් සේ පෙනෙන දේ ඇයට එසේ නොවන බවද?

බොහෝ දේ විකුණන විකිණෙන සමාජයක, වැඩි මිලට විකිණෙනු මිස, නොවිකිණී සමහර දේ රැක ගත්තාට ඇති ඵලය කිමදැයි ඈ සිතන බවද? 

මේ එයින් කුමක්දැයි සිතන්නට ඔබට ඉඩ තබමි.

පුවත්පතක, දැන්වීමක, තාප්පෙක
මගේ මුහුණ වෙන්දේසිය දකින සඳ
නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට
මා විකිණුනු බව සිහි කරලනු මැනව!

පාද පහකින් යුතු මේ කවෙහි තුන්වන පාදය මා අවසනටම යළිත් මතක් කරන්නට සිතුවේ මේ කවත්, ඊ ළඟ ගීතයත් අතරේ බිඳ දැමිය නොහැකි සබඳතාවක් මට පෙනෙනා බැවිනි. හොඳින් විමසූවොත් මේ සමස්ථ කවත් එම ගීතයත් බොහෝ සෙයින් සමාන වන බව ඔබට දැකිය හැකි වනු ඇත. වෙනත් අරුතකින් ගතහොත් එරික් ඉලයප්පාරච්චි කවියකින් කී සිදුවීමම එලෙසින්ම ගීයකින් කීමට  

රත්න ශ්‍රී විජේසිංහ කවියා 
උත්සාහ දරා ඇත.

මේ,

එකම සිද්ධිය එකම නිමිත්ත කවියෙකු සහ ගීත රචකයෙකු වෙන වෙනම ලියූ අයුරුද?

නැති නම් එකිනෙකා නොදත් සමාන සිද්ධි දෙකක් දෙකක් වෙන වෙනම කවක් සහ ගීතයක් ලෙස ලියැවී ඇති අයුරුද?

එසේත් නැති නම් එක් නිර්මාණයක් අනෙකාට නිර්මාණාවේශය ලබා දුන් අවස්ථාවක්ද?

නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස්දඬුව
සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර

ඇගේ ගම හැර යාම, ගැමි රඟමඬල හැරයාම, ඇය කිඳුරිය වද්දී කිඳුරා වූ ඔහුට ළය පැලෙන්නට තරම් ශෝකී වූ බව ද, එහෙත් හැඬුවේ ඔහු නොවේ, හැඬවූයේ ඔහු අත තිබූ වස් දඬුවය යන්නද මා පෙර ලියා ඇත. කෙසෙ වෙතත්, මේ සඳ කිඳුරා පිළිබඳ ඈ තුළ උපන් පැහැදීම යළි අවදි කරන්නක් නොවේද මේ දෙපදයේ ඇත්තේ.

සඳ කිඳුරුව රඟ දක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර

ඉදිරි ජීවිතයේ යම් අහම්බයකින් වත් තමන් ඔහු හා සඳ කිඳුරුව රඟ දක්වන්නේ නම් රන් වන් නොවූවත්, ඈට රනින් නිමවූවා යැයි දැන් දැන් හැඟෙන ඔහු සිරුර සිඹ සිඹ හඬන්නේමැයි සිතෙන්නේ ඒ පැහැදීමද, සිය දිවි අඳුරද යන දෙකම නිසා විය යුතුය.

තාරකා උන්මාදය තිබී ඇත්තේ අද පමණක් නොවේ. එසේම ඉන් වන යමෙකුගේ පෞද්ගලික පරිහානිය දැක එයින් කලාකරුවන් සිත් සළිත වූයේ ද අද පමණක් නොවේ. අද තරම් නැතත් එදත් තරු උන්මාදය පැවැතී ඇත. අද තරමටම නැතත් ඒ ඒ තරු අවසානයේ ඒ ඒ මිලට විකිණී ඇත. අද තරමටම නැතත් එදාද මහන්සි වී සේම හාන්සි වී ද තරු බවට පත්වූවන් හිඳ ඇත. ඉලයප්පාරච්චි කවියාගේ මේ සංවේදනාව එබැවිනි.

රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියන මේ කවිය බලන්න.

සඳ කිඳුරා මියගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කළා

සඳ කිඳුරා වාසය කර ඇත්තේ ගමෙහිය. වඩාත් නිවැරදිව කියන්නේ නම් ගමෙහි ම ය. මෙහි සඳ කිඳුරා සේ හැඳින්වුව, මේ සඳ කිඳුරෙකු නම් විය නොහැකිය. ඔහු ගමේ උපන් ගමේම ජීවත් වුණු තරුණයෙකු විය යුතුය.

මේ නැගණියද ද ඒ ගමේ ම යුවතියකි. වඩාත් නිවැරදිව කියන්නේ නම් ඒ ගමෙන් නගරයට ගිය යුවතියකි. ඇයට යළි ගමට එන්නැයි ඇරියුමක් ලැබෙන්නේ සඳ කිඳුරාගේ මරණය නිසාවෙනි.

සඳ කිඳුරා ලෙසින් ගීතයේ හඳුන්වන තරුණයා අර යුවතියට සමීපව සිටි අයෙකු විය යුතුය. සමීපතාව අනුමාන කළ හැක. 
 
නැති නම් ගමේ සිදුවූ මරණයක් පිළිබඳව මෙලෙස වෙසෙසින් සැලකිරීමත්, ඒ වෙනුවෙන් යළි ගමට එන්නැයි ඇරියුම් කිරිමත් නොකෙරෙනු ඇත.

සඳ කිඳුරා මිය ගියා පමණක් නොවේ. මේ වන විට අවසන් කටයුතුද කොට අහවරය. එය යෙදී තිබුණේ පසුගිය පස්ලොස්වක පෝ දිනය.

සඳ කිඳුරා මිය ගියේ ඇයි? ඇය තවමත් ගමට නාවේ ඇයි?

මේ පැණයන්ට පිලිතුරු සෙවීම පිණිස අපි ගීතයේ ඊ ළඟ පාදයට යා යුතුය.

ගමේ නාඩගං පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකෙනිය ගමට ඇවිත්
හැඬුවා නුඹ ගැන කියා
හැඬුවා නුඹ ගැන කියා

යුවතිය කවුදැයි හෙළිවෙන්නේ දැන්ය. එවිට යව්වනයා කවුදැයි යන්නද අපට වටහා ගත හැකිය.

එදා ගමේ නාඩගං පොළේ සඳ කිඳුරුව රඟ දක්වද්දී කිඳුරියට ඇන්දේ ඇයයි.

කිඳුරාට ඇන්දේ ඔහුය. එවන් කිඳුරාය මෙසේ මිය ගොසින් ඇත්තේ. එවන් කිඳුරියය, කිඳුරාගේ මළගමටවත් පැමිණිය නොහැති තරමේ දුරකට ගියේ.

ඇය කොපමණ නම් දුරකට ගොස් තිබේද යන්න ඉන් පැහැදිලිය.

භෞතික දුර නොමේ. අධ්‍යාත්මික දුර ගැනය මේ කතාව.

ඇය රංගනයේ අත් පොත් තැබුවේ ගමේ රඟ මඩලිනි. ඈ සිය සබකෝලය දිය කර පිරිසක් ඉදිරියේ රඟන්නට හුරු වුණේ මේ ගැමි රඟමඩලිනි. එහෙත් එය සිය ලැජ්ජා බය අහිමි කර ගැනීම දක්වා දුරදිග ගිය එකක් වේයැයි එදා කිසිවෙකුත් සිතන්නට නැත.

ගැමි රඟ මඬලින් කොළොඹ රඟ මඬලට වන් ඇය රැඟුවේ මනමේ, කිඳුරු, සිහ බා නාඩගම් පමණක් නොවේ. නටපු නැති නාඩගමක් නැති තරම් විය.

ගමේ නාඩගං පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කොළොම් තොටට ඉගිළුනා

ගැයු ලිය ගී විකුණන්නට යැයි කොළොම් තොටට ගියත් ඇයට විකුණන්නට වූයේ ඒවා පමණක්ම නොවේ. ඇයට විකුණන්නට නොසිතුණු දෙයක් නැතිවා වැනිය.

කණ කෙකිනිය ගමට ඇවිත්
හැඬුවා නුඹ ගැන කියා
හැඬුවා නුඹ ගැන කියා

යනුවෙන් කියන්නේ ඒ නිසා විය යුතුමය.

ඇගේ කතාව, ඒ කතාව අසන කෙනෙකුට හැඬුම් එන්නට තරම් දරුණු තත්ත්වය වැටී ඇත.

මෙහි කණකෙකිනිය යනු ගමෙන් නගරයට ගිය අතරක ඇගේ තොරතුරු දැන ගත් ගැමි කතක් විය යුතුය. ඇය ගමට පැමිණ අප කතා නායිකාවගේ  තතු ගමට පවසන්නේ හැඬූ කඳුළිනි.

මේ වන් තොරතුරු විවිධ අරුතින් පැවසිය හැකිය. පතුරුවාලිය හැකිය. 

සමහරු අපහාසය මුසුව එය කරණු ඇත. 

ද්වේශයෙන් ඉරිසියාවෙන් යුතුව සිටින අයද ඇත. එහෙත් එවන් අය අතරේ මතු වූ සැබෑ දුකින් කියන අය ද නැතිවාමයැයි අප විසින් නිගමනය නොකළ යුතුය.

කෙසේ වෙතත්, දැන් වත්, සඳ කිඳුරාගේ මරණයට හේතුව සෙවිය යුතුය?

එය අසනීපයකින් වූ මරණයක්ද? 

මිනී මැරුමක්ද? 

සිය දිවි හානිකර ගැනුමක්ද?

වෙල් දෙණි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය හඬන්නෙ නෑ
ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

ඔහු කිසිවෙකු විසින් මරා දමා නැත. සිය දිවි හානිකරගෙනද නැත. මිය ගොස් ඇත්තේ ළය දැදුරු වීමෙනි. ළය දැදුරු වන්නට හේතුව තනිව හුදකලාව සොවින් සිටීමය. තනිව හුදකලාව සොවින් සිටීමට හේතුව කුමක්ද?

ඒ හේතුව නම් සිය සිත් ගත් කින්නරාවිය පියාපත් ලැබ ගමෙන් කොළඹට පියෑඹීමය. ගමෙන් කොළඹට පියෑඹූ ඈට අත්විය හැකි ඉරණම ගැන සමහර විට ඔහුට අනුමානයක් තිබෙන්නට ඇතිය.

ඔව්. කොළඹ ඇය වැනි අසරණියකට සුවපහසු ආරක්ෂාකාරී තැනක් නොවේ.

කොළඹ කලා කෙත, ඇය වැනි විසල් වේදිකාවක නිලියක වීමට, නිලියක වී ජනප්‍රිය තලයට ඒමට සිහින මවන, මාවතේ කටු කොහොල් ගැන හාං කවිසියක් නොදන්නා ඇය වැනි අසරණියකට සුවපහසු ආරක්ෂාකාරී තැනක් නොවේ.

මොනවා නැති වුණත් ඒ අරමුණට ළඟාවෙනවාය යන සිහිනයේ සිටින එබැවින්ම ජීවිතයේ යා යුතු අරමුණු අත් හරින්නට පවා සිතන ඈ වැනි අසරණියකට සුවපහසු ආරක්ෂාකාරී තැනක් නොවේ.

අයට අත්වූයේ ඔහු සිතූ ඉරණමමය.

මේ මරණය ඒ වේදනාව නිසාය.

ඔහු ළය දැදුරුව මිය යන්නට ඇත්තේ ඈට අත් වූ ඒ ඉරණම නිසාමද? එතරම් තැවෙන්නට ඔහු ඈගේ කවුරුන් වන්නට ඇතිද?

ඔහු ඇයගේ හිටපු පෙම්වතා විය යුතුය.

ඇයට ඔහු හිටපු පෙම්වතෙක් වූවද, ඔහුට ඇය හිටපු පෙම්වතිය නොවන්නට ඇතිවා විය යුතුමය.

ප්‍රේමය ඉපදෙන විට අල්ලා ගන්නා අය, ප්‍රේමයෙන් ගමන් කරද්දී යම් තැනකදී අතහරිණු ලබන අවස්ථාද දැකිය හැකිය. එහෙත් එකෙක් අතහැරියා කියා ප්‍රේමය අහවර විය යුතු යැයි නියමයක් නැත. අනෙකාද එසේ අතහැරිය යුතුමයැයි නියමයක් නැත. ප්‍රේමය අතහරින්නේ පෙම සිඳුනු සිතයි. පෙම නොසිඳුනු සිත තවමත් තමන් පෙම් කළ සිතට පෙම් කරයි.

මෙහි කණ කෙකිනිය හඬන්නෙ නෑ
ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

යන්න තුළ මේ කණ කෙකිනිය සහ ඈ අතර වූ සබඳතාව ද පැහැදිලි වේ. ඈ වෙනුවෙන් කණ කෙකිනිය ඇහේ කඳුළු හිඳෙන තුරුම හඬා ඇත. ඈද ඇයට මහත් සේ සෙනෙහස පෑ අයෙකු විය යුතුය. මිතුරියක, වැඩි හිටි කතක, ගුරුවරියක විය හැකිය.

මේ සඳ කිඳුරා මියගියා ගීතය සංගීතවත් කරන්නේ මෙවැනි ගීතයක යටි අරුත මැනැවින් වටහා ගෙන එය ඔසවා තැබිය හැකි සංගීතමය ඥානයක් තිබූ විශාරද ගුණදාස කපුගේ ය. එහි ගැයුම ජානක වික්‍රමසිංහයන්ගෙනි. ඔහු එයට සෑහෙන සාධාරණයක් ඉටු කොට ඇත. එහෙත්, මේ ගීය අසන සෑම විටකම මට එය ඇහෙන්නේ කපුගේ ගේ හඬිනි. ඒ මෙවන් දුකක් ගැයීමට මෙසිරිලක තිබුණු සුදුසුම හඬ කපුගේ ගේ හඬ යැයි මගේ හිතේ සදාකාලිකවම ළැගුම් ගත් අදහසක් වන නිසා වන්නට ඇත.

අපි සඳ කිඳුරා මිය ගියා ගීතය අසා සිටිමු.


මේ සඳ කිඳුරිය සහ අර ඉලයප්පාරච්චි කවියාගේ ගමෙන් උපන් නිලිය එකම අයුරේ චරිත දෙකක් නොවේද?

මෙවන් චරිත දුලබ නොවේ. එවන් චරිත වර්තමානයේ වැඩි වැඩියෙන් බිහි වෙමින් පවතිනවාදැයි ද සිතේ.

දැන් මේ සැරසුම එවන් තවත් චරිතයක් පිළිබඳව කතා කිරීමටය.

ඇය සබයට කැඳවාගෙන එන්නේ අප මිතුරු 


ගීත රචක කුමාර ලියනගේ 
ය.

නිල් සලරුවේ රඟන - මනමේ කුමරිය නුඹ නාඩගම් පොළේ
ගමේ රඟබිමේ
පැරදී එදා දුන්න - මට මගෙ කඩුව දෙන්න
වැදි රජතුමණි නාටකේ.....

ගීතය ගැන වඩාත් ගැඹුරින් කතා කිරීමට පෙර, මෙම ගීතයෙහි සහ පෙර කී ගීතයෙහි ඇති සමානකම් සහ අසමාන කම් විමසා බලන්න.

පෙර ගීතයේ කතා බහ සඳ කිඳුරු නාඩගම පිළිබඳවය. මෙම ගීතය මනමෙ ගැනය.
ඒත්, වේදිකාව නම් ගැමි රඟමඬලම ය. 

මෙහි නාටිකාංගනාව කොළොම් තොටට ගොස් නටන්නේ එසේ මෙසේ නැටුමක් නොවේ. නිල් සලරුවේ රඟන යනුවෙන් කී විට දැනෙන්නේ ඒ නැටුමේ රඟයි. 

නිල් සලරුව යන්න සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ලියූ විට එය වඩාත් පැහැදිලි වනු ඇත. එහෙත්, එය ඔබම ලියා හෝ කියවා බලන්න. මා එතරම් එළිපිට එය කිව යුතු තරමට ඔබ සරල නැති බැවිනි.

සඳ කිඳුරා මියගියා ගිතයේ දී මෙය එතරම්ම සෘජුව නොකියවෙයි. එහි කියන්නේ කන කෙකිනිය ගමට ඇවිත් ඇය ගැන කියා හැඬූ බවකි. එහෙත් මේ දෙකෙන්ම කියවෙන්නේ එකක්මය.

නිල් සලරුවේ රඟන - මනමේ කුමරිය නුඹ නාඩගම් පොළේ
ගමේ රඟබිමේ
පැරදී එදා දුන්න - මට මගෙ කඩුව දෙන්න
වැදි රජතුමණි නාටකේ.....

ඈ එදා රැඟුවේ ගමේ රඟමඬල වල කමතෙහි ය. සමහර විට පන්සල් බිමෙහි ය. පාසැලේ කුඩා වේදිකාවේ ය. එහෙත් මේ වන විට ඇය සිනමාවට ද පිවිස ඇත. සාමාන්‍ය සිනමාවෙන් නොනැවතුණු ඇය, දැන් නිල් සළරුවල පවා රඟයි. 

ගමේ සිටින මනමේ කුමාරයා මේ ඛේදවාචකය දකී. ඔහුට මේ ගැන කිව හැකි යමෙක් සිටීද? කළ හැකි දෙයක් වේද? එදා තමන් වැදි රජුට පැරදුණු පසු, ඇය විසින් වැදි රජුට දුන් ඔහුගේ කඩුව යළි තමන් වෙත ලබා දෙන්නැයි වැදි රජුන්ගෙන් ම ඉල්ලීමෙන් මේ සංඛේතවත් කරන්නේ මේ සම්බන්ධයෙන් ඔහු සිටින අන්ත අසරණ තත්ත්වය නොවේද?

මල් පිපිලා සංකර කොලොම් මහ වනේ
ණය වී කදිම රුවට පිපුණු එළලියේ
පෙම් බැඳ කාසිවලට ඉගිලිලා ගියේ
ගලවා සිනිඳු සේල ගමට විසිකළේ.....

නගරයට අනුව හැඩ ගැසිමට ඇය කළ යුතු දේ බොහෝය. මුළින්ම සිය මවු පිය උරුමය වන ගැමිකම හැර  දමා සංකර විය යුතුය. සංකර වීමට මුදල් නැතිව බැරිය. ඒ මට්ටමෙන් මුදල් ඉපයීමට නම් හැඳ සිටින සළු පිළි පවා උනා දැමිය යුතුය. එහෙත් ගම පිළිබඳ මතකය එසේ සළු පිළි උනා දැමීමට ඈට ඇති බාධාවකි. එබැවින් උනා දැමූ සළු පිළි ගම පිළිබඳ මතකයද සමගම පෙරලා ගමටම විසිකළ යුතුය...

පෙම් බැඳ කාසිවලට ඉගිලිලා ගියේ
ගලවා සිනිඳු සේල ගමට විසිකළේ.....

යනුවෙන් කියන්නේ එබැවිනි. ගමේ මතකයද, මුදලට බැඳි පෙමද එක තැන තැබිය නොහේ.

මොලවා අතමිට රොන් සලා පුරවරේ
සැතපෙනවද ඇහැරී නපුරු සිහිනයේ
සිපබඳ මුව මී රසපොවන ආදරේ
විසිතුරු සළුපොට අහසේද සළෙලියේ.........

වැඩි විස්තර අනැවිසිය. විසිතුරු  සළුපිලි  උනා දමමින් ඇය අද නටන නාඩගම මනාව පැහැදිලිය.

ඈ රඟන සමහර රැඟුම් වලට අධ්‍යක්ෂවරුන් ගෙවයි. සමහර රැඟුම් වලට පාරිභෝගිකයින් ගෙවයි. ඈ දිය වෙයි. ඈ දිය වුණද ඇගේ මඩිය නම් තරවෙයි.

එහෙත් ඒ දේ පමණක් කියා අප ගීත රචකයාට සෑහීමට පත් විය නොහැකිය. මේ සිදුවන ඛේදවාචකය පිටින් සිටිනවුන් දුටුවද, ඈට පෙනෙනවාද යන්න ඔහුට දැන ගැන්මට අවශ්‍ය වෙයි.

සැතපෙනවද ඇහැරී නපුරු සිහිනයේ

යනුවෙන් ඔහු ප්‍රශ්ණ කරයි. ඇය සිහිනයෙක් අවදි වෙයි. එහෙත්, සැනින් දෑස අන්ධව, සිහිනයේම ගිලෙයි. 

අනාදරයෙන් නමුත් කෑදරයෙන් ඔද වැටුණෙක් ඈ මුළු ගතම සිප බදා වැළඳ, පොඩි කර අත මිට මොළවන දෙය ඇත්තටම නපුරු සිහිනයක් නොවෙන්නේද? ඈ ගත වසා සිටින විසිතුරු සළු පොට අහසේ රුවට පා වෙමින් දිස් වන විට ඒ රුවැති දසුන යටින් ඈ නිරුවත නොවෙද පෙනෙන්නේ?

මේ ආකාරයෙනි මේ තත්ත්වය කවියෝ ගීත රචකයෝ ඉතා සංවේදීව, ගැඹුරින් දකින්නේ. 

මේ ගීයට මනා තනුවකින් සහ සංගීත සංයෝජනයකින් සුළු පිළි හැන්දුවේ සංගීතඥ කරුණාරත්න විජේවර්ධනය. එය ගායනා කළේ ගායක කරුණාරත්න විජේවර්ධනය. එහෙත්, ඉතා නුදුරේදී එය කරුණාරත්න දිවුල්ගනේ ප්‍රවීන ගායනවේදියාගේ හඬින් අසන්නට ලැබෙනු ඇත.


නිල් සලරුවේ රඟන ගීතය අසන්න.



මේ ප්‍රවනතාව වෙනත් විදිහකින් එළි දැක්වුණු අවස්ථාවක් අපට දකින්නට ලැබෙන්නේ ඉමාන් පෙරේරා ගේ ගීතයකිනි.

එහිද චරිත වල ජීවිත පෙරලියක් ඇති වෙන්නේ මේ හේතු සාධකය නිසාමය. 

එම ගීතය ලියන්නේ කැළුම් ශ්‍රීමාල් විසිනි. එබැවින්ම එය තරමක් අමුතු විදිහක එකකි. පෙර කවෙහි සහ ගී දෙකෙහි ඇති බරසාර ගැඹුර පද පෙළ දකින විටම නොදැනේ. සමස්ථ ගීතය නිමවී ඇත්තේ යම් ‘කොමඩි‘ හැඩයකින් වුව, අවසානයේ මේ මිනිස්සුන්ගේ ජීවිත වල සිදුවන පෙරලිය පිළිබඳව අපට අදහසක් ඇති කර ගැනීමට ඉන් බලපෑමක් නොවෙයි.

ලස්සන නිලියේ
නුඹ රඟනව දැන් කරලියේ
නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ
මට අදහ ගන්න බැරි ජීවිත පෙරලියේ
ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ
ලස්සන නිලියේ
නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ

ඔහු සිත් ගත් ඇය දැන් ජනප්‍රිය නිලියකි. ඇගේ ජනප්‍රියත්වයත් සමග සිදු වූ වෙනස් කම් මොනවාද? නොවෙනස් කම් මොනවාද? එය විමසා බැලීම වටී.

නොවනස් එක් දෙයක් වෙයි. ඈ හින්දම තාමත් ඔහු ගැලරියේ සිටිමය. එහෙත් තවමත් ඈ නිසාම ඔහු එලෙසින් ගැලරියේ සිටියත් ඈ නම් ඊට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇත.
ඒ ඉදිරියට ඉහළටද? 

ඉදිරියට පහළටද?

මේ ඉහළ පහළ ගමන ගැන නිගමනයන් ද සාපේක්ෂ දේය. සමහර දේ වලින් ඈ බොහෝ ඉහළට ගොස් ඇතිවා විය හැකිය. එහෙත් අර පෙර නිර්මාණ වලදී වගේම සමහර දේ වලින් ඈ බොහෝ සේ පහළට ගොස් ඇති දැයි මෙහිදී සැකයකි. ඊට හේතු වන්නේ ගීතයේ මේ වදන් පෙළයි. දෙකයි.

මට අදහ ගන්න බැරි ජීවිත පෙරලියේ
ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ

මේ ඊනියා ඉදිරි ගමන ඔවුනගේ ජීවිත මහත් සේ උඩු යටිකුරු කර ඇති බව පෙනේ.
දිනයක ඈ ඉදිරියේම ඉරණම විසඳා ගනිමැයි කියන්නේ එබැවිනි. ඒ අනුව, ඒ ඉරණම ඔහුව මිනීමරුවෙක් කරාවිද? නැති නම් ඈ ඉදිරියේම සිය දිවි හානිකරගත් මිනිසෙකු බවට ඔහුව පත් කරාවිද?

මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ
එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ
ලෙල දෙන දේහේ රහස් ඔසුව හෙරලියේ
ඒ වදන් මොටද නේද කෝල දැරිවියේ
ලස්සන නිලියේ
නුඹ හින්දම මං ඉන්නව මේ ගැලරියේ

මේ සිදුවීම් ඇරඹෙන්නට පෙර නම් ඇගේ භූමිකාව ඔහුට ඔබින ඔහු අගයන එකකි.

මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ
එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ

එය ඔහු කියන්නේ මහත් වූ සෙනෙහසක මතකයෙන් යුතුවය. එහෙත් දැන් අවිහිංසක ගෙවිලිය කොහි වේද? ඔහුගේ සුවච කීකරු ආදරණීය බිරිඳ කොහි වේද?

රුව රුවින් බබලයි. තාලයට ඉඟ සුඟ සැලෙයි. එයට ඔහු කියන්නේ ළෙල දෙන දේහය කියායි. මේ ළෙලදෙන දේහයේ රහස අර විටමින් මේ විටමින් නොවේ

ගමේ ගොඩේ හෙරළි මාලුවයි

පොලොස් ඇඹුලයි

තිබ්බොටු සම්බෝලයයි

කුරහන් ඉඳි ආප්පයි.

එහෙත් අද වන විට ඇයට ඒවා මතකද? අද ඇය එ්වාට පින් සිදු වන්නට ලබා ගත් රුවින් ෆේෂියා විකුණනවාද? අපට එසේ සිතන්නට සිදු වේ.

ඔහු ඉදිරිය දකින්නේ තවත් බියකින් යුතුවය. අනුව දැනට වුව, යහපත් තැනකින් ගනු දෙනුව බේරා ගත හැකිය. එහෙත් ඉදිරියේදී හොඳ හොඳ බයිස්කෝප් ඇයට ලැබුණෝතින් ඇය තවදුරටත් සරල සිල්ලරට ඇද වැටේ දැයි ඔහුට බියකි.

හොඳ හොඳ බයිස්කෝප් ලබන්න සමහර හොඳ හොඳ චරිත වලට යට විය යුතුය යන කතා ගමේ ගොඩේ බයියෙකු වුව, අවබෝධයකින් සිටින අයෙකු නම් අසා ඇතිවා විය යුතුය. අසා ඇති දේ ය ඔහුය වඩාත් චංචල කරන්නට ඇත්තේ.

හොඳ බයිස්කෝප් ලැබුණෝතින් හදිසියේ
උඹ වෙනස් වෙලා යාවිද පැණි මුරිසියේ
ඉඩ තියන්නෙපා ළගින්න මට පොලිසියෙ
නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ
ලස්සන නිලියේ
නුඹ හින්දම මං මැරෙණව මේ ගැලරියේ

මා කියූ දේ හරිය. වැඩේ නරකම අතට හැරුණෝතින් විසඳුම් දෙකෙන් එකකි. එකක් ඔහුට මිනීමරු නාමය ආදේශ වීමය. හිරේ විලංගුවේ වැටීමය. අනෙක නම් සියතින් සිය දිවි තොරකර ගැනීමය.

කැළුම් ගේ අවැසිතාව මේ විදිහට මේ ජීවිත කෙළවර කිරීම නම් නොවිය යුතුමය. ඔහු ඉන් කියන්නට ඇත්තේ ගමන මේ විදිහ නම් ඒ ගමන් වල කෙළවර මෙවැනි විය හැකි බවය. ඔහුගේ ඇත්ත අවශ්‍යතාව ඒ ගමන් එවැනි නොවීම විය යුතුම ය.

මේ ගීයට සුමියිරු සංගීත මුසුව ලංකාවේ අති දක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පි, ඉතාමත්ම නිහතමානී කලාකරුවෙනු වන වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාරයන් ගෙනි. එය වෙනස් සිත් ඇද ගන්නා සුළු අයුරේ සංගීතයකි. ගීතයේ පද යෙදී ඇති අයුරට ගෝචර වන නමුත් එය සුන්දරත්වය තුළම සඟවා නිහඬ නොවන අයුරේ එකකි. එය ප්‍රසාද ජනකය. වෙනස් රසැතිය.

එමේනම ඉමාන් ප්‍රකට හැඟීම් ගායනාවන්ට පණ දෙන්නට වඩාත් සුදුසු ගායකයෙකු ලෙසටය. එහෙත් ඔහුගේ ගායන නෛපුණ්‍යය ඊට වජා දේවල්ද කළ හැකි බවට මේ ගීතය දෙස් දෙයි.

ලස්සන නිලියේ ගීතය අසා සිටිමු.


මේ දිගු සටහන මෙසේ ලියන්නට මා සිත පෙළඹවූයේ මේ විමසූ නිර්මාණ හතරටම වඩා අලුත් නිර්මාණයක් නිසාවෙනි. එය ලියා ඇත්තේ මනෝරි කෞෂි දිසානායක කිවිඳියයි.

බෙරලියා පෙති තැළුණි වැව් බැම්මේ
සිනිඳු සළු පට අතර සිර වී
පැටලි,පැටලී ගිය බොහෝ දුර
පාට සිහිනෙක අතරමං කොට
ඈත දේදුනු පොළොව ඇයි සිම්බේ
පර වුනා මං, අනේ අපෙ අම්මේ....

මේ ගීතය ගැන විමසීමට පෙර මෙහි ඇති බෙරලියා මල් පිළිබඳව ඇති වියහැකි ගැටළුවක් විසඳා ගත යුතුව ඇතැයි සිතේ.

බෙරලිය යනු ශ්‍රී ලංකාවට ආවේනික සිංහරාජය සහ ආශ්‍රිත තෙත් කලාපීය වනාන්තර වල වැඩෙන, හොර ශාකය අයත් වන ඩිප්ටෙරෝකාපස් නම් ශාක පවුලට අයිති ශාක විශේෂයකි.

ඒ එක් බෙරලිය වර්ගයක් වඩාත් නිවැරදිව හඳුන්වන්නේ කොටිකන් බෙරලිය (kotikan beraliya) - Shorea cordifolia නමිනි.

වසර හතරකට සැරයක් හට ගන්නා මේ මල් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. ආයුර්වේදයේ සඳහන් පරිදි නම් බෙරලියා ප්‍රභේද කිහිපයකි

ඒවා නම් රත් බෙරලිය හා කොටිකං බෙරලියයි

දානයකට බෙරලිය ව්‍යංජන සකසා දිය හැකිනම් එම දානය ඉතා දුර්ලභ දානමය පින්කමක් ලෙසටෙ එම ප්‍රදේශවල ගැමියන් අතර ප්‍රචලිත බව කියැවේ

බෙරලියා සෑදෙන්නේ අඩි 100 කටත් වඩා උස ගස්වලය. හට ගන්නා කාලයට මේවා සොයා ගැමියෝ විශාල වශයෙන් මහ වනයට ඇදෙන බව පැවසේ. බෙරලියා මල සුළඟේ පාවී යා හැකි සේ තටු සහිත හැඩයෙන් යුතුය. මෙය හොර කුලයේ ශාක වල පොදු ලකුණකි. ගෙඩිද කුඩාය. වසර හතරකට පසු හැදෙන කාලයට බෙරලියා ගෙඩි දහස් ගණනින් ගස් යට වැටේ

එහෙත් අප විමසන ගීතයේ ඇත්තේ මේ බෙරලියා මල් විශේෂය නම් විය නොහැකිමය.
මෙහි බෙරලියා මල් යනුවෙන් කී විට මට හිතෙන්නේ මෙහි ඇත්තේ දිය බෙරලියා නමින් ව්‍යවහාරයේ ඇති මල් විය යුතු බවයි. අන් හේතුවක් නිසා නොව මේ බෙරලියා මල් තැලී පොඩි වී ඇත්තේ වැව් බැම්මේදී වීමයි

මා දන්නා පරිදි දිය බෙරලිය යනුවෙන් හඳුන් වන්නේ ජපන් ජබර හෝ එවැනි ශාක විශේෂයක පිපෙන මලකි. මේ මල් ඉතා මෘදුය. පහසුවෙන් තැලෙන පොඩි වෙන සුළු ය.

බෙරලියා පෙති තැළුණි වැව් බැම්මේ
සිනිඳු සළු පට අතර සිර වී
පැටලි,පැටලී ගිය බොහෝ දුර
පාට සිහිනෙක අතරමං කොට
ඈත දේදුනු පොළොව ඇයි සිම්බේ
පර වුනා මං, අනේ අපෙ අම්මේ....

දේදුනු පාට හීනෙක අතරමංව, තැලී පොඩි වුණු බෙරලියා මලක කඳුළු කතාවකටය මෙහි මුළ පිරුම. ඒ මොන වගේ සිහිනයක්ද? මේ දේදුනු සිහින මෙතරම් නපුරු වුණේ කුමණ හේතුවක් නිසාවෙන්ද? එය විමසිය යුතුමය.

 රූප පෙට්ටියෙ මං දකිනකොට
 අප්පච්චි හිත රිදෝගෙන ඇති
 කෑදරව උන් කොනිති ගෑ ගත
 සුදුසුමලු සම්මාන ලන්නට
 ජීවිතෙයි මං උගස් කර දැම්මේ

ඇ බොහෝ දැනමුත්තන්ගේ අනතුරු හැඟවීම් නොතකා ගමේ කලා කෙතෙන් කොළඹ කලා ලොවට ගිය යුවතියක බව මින් පැහැදිලිය. එහෙත් ඉන් පැහැදිලි වෙන්නේ එය පමණක් නම් සිත හදා ගත හැකිය. අනතුරුව ඉන් පැහැදිලි වන බොහෝ දේ එලෙස හිත හදා ගත නොහැකි නමුත් ප්‍රසිද්ධියේ එතරම් කතා නොකරණ සත්‍යයකි.

අම්මා සේම ඇයට අප්පච්චීද පණ මෙන් අදරැති වූවාය. මේ ගමනට අම්මා කෙසේ වෙතත්, අප්පච්චී නම් කිසිදු කැමැත්තක් නොදැක්වීය. සිය දරුවෙක් රූපවාහිනියෙන් දැකීම දෙවම්පියන් වශයෙන් සතුටු වන්නට කරුණකැයි සිතෙන නමුත්, තමන්ට දැනුනු මූසල යමක ඉඟියක් නිසා ඔහු පසු වූයේ තැවුළිනි. එබැවින්ම රූප පෙට්ටියෙන් ඈ දකින කල ඔහු තුළ ඇති කළේ රිදුමකි. හීල්ලුමකි. එය කොතරම් සාධාරණදැයි අපට කියා දෙන්නේ ගීතයේ එම පාදයේ අවසන් පේලි තුනෙනි.

රූප පෙට්ටියේ ඇගේ මේ රැඟුම සම්මානයට බඳුන් වීමට පවා සුදුසු වන්නේ නිකංම නම් නොවේ. ඊට පෙර යම් දොළ පිදේනියක් දිය යුතු විය.

කෑදරව උන් කොනිති ගෑ ගත
සුදුසුමලු සම්මාන ලන්නට
ජීවිතෙයි මං උගස් කර දැම්මේ

මේ සත්‍යය නොවලහා පැවසීමට අලුතින් ක්ෂේත්‍රයට පිවිසෙන රචකාවියක් නොබියව ඉදිරිපත්වීම ප්‍රශංසා කටයුතුය. එය සත්‍යයකි යන අදහස මම දරන්නේ ක්ෂේත්‍රෙය් සමහර ප්‍රවීනයන් සමහර සම්මාන ලාභිනියන් ඊට පෙර පිරූ පාරමී ගැන මා හා කියා ඇති බැවිනි. ඒ සම්මාන ලාභිනියන් අදක්ෂයින් යැයි කියනවා නොවේ. නමුත්, ප්‍රධාන නිලිය වීමටද, අනතුරුව තුංග අදියරුවන්ගෙන් සම්මාන සඳහා අවධානය යොමු වනු වස් නියත විවරණ ලැබීමටද මේ අයුරින් දාන පාරමී පිරිය යුත්තේලු. මෙහි ඇයට පිරිය යුත්තේ සිය මාංශය දන් දීමේ පාරමිතාවය. මේ ඉහත පේලි තුනෙහි ඇත්තේ ඒ බව නොවේද?

වරක් ගුවන් විදුලියේ ප්‍රවීනයෙක් තමන්ගේ සේවය ස්ථිර වූ අයුරු ගැන මා හා කියූ රස කතාවක මෙලෙස සඳහන් වෙයි.

ඔහු අවුරුදු ගණනක් ගුවන් විදුලියේ සහන වාද්‍ය ශිල්පියෙකු විය. විශ්‍රාම යාමට තවත් තිබුණේ ඉතා කෙටි කලකි. එක වර කිහිප දෙනෙකුගේ සේවය ස්ථිර වූ අතර වයස විසි ගණන් වල මුල සිටි සුරූපී නිවේදිකාවකද ඒ අතර වූවාය.

සේවා ස්ථිරත්වය ලැබූවන් අන් අයට දුන් කුඩා තේ පැන් සංග්‍රහයේදී සුබ පතන ගමන් එකෙක් අප වාදකයාගෙන් මෙසේ විමසුවේය. පහසුව සඳහා අපි මෙම වාදකයා සිරිපාල ලෙස හඳුන්වමු. නිවේදිකාව රූපවතී ලෙස හඳුන්වමු.

බොහෝම සතුටුයි සිරිපාල අයියේ. සේවය ස්ථිර කර ගන්න සෑහෙනට මහන්සි වෙන්න වුණා නේද?

මේ ස්ථානයේ අප නිවේදිකාවද වෙයි. අප වාදක තෙමේ උපතින්ම කවටකම් කිරීමට රුසියෙකි. ඔහුගේ පිලිතුරේ වූයේ ඒ කවට බව පමණක් නොවේ. අන්‍යාලාපයක්ද විය.

ඒකනේ මලයෝ. මට ඉතින් සෑහෙනට මහන්සි වෙන්න වුණා.
අපේ රූපවතී නඟාට සෑහෙනට හාන්සි වෙන්න වුණා.

මේ අප්‍රසන්න සිදුවීමම කලා ක්ෂේත්‍රයේදීද වන බව අප්‍රසන්න හැඟීමෙන් යුතුය වුව, කිව යුතුය.

පත්තරේ පිංතූර ගිය දා
අප්පච්චි පිටු ඉරා දැම්මලු
මටත් මගෙ ගැන පිරිය නැති උණි
කලාවට පෙති විවර කළ දා
හැම නෙතම විඳි රුසිරු වල නැම්මේ

මේ වන විට තත්ත්වය බොහෝ දරුණුය. සිදු වූ දේ සියල්ලම නොවුණත්, අප්පච්චිට ද යම් යම් දේ කණ වැකී ඇත. එසේ නොමැති වූවා නම්, කොතරම් සිය දියණිය ගිය ගමන පිළිබඳව ප්‍රසාදාත්මක නොවුණත් ඇගේ පත්තරේ පළ වූ පින්තූර ඉරා දමන්නේ නැත. පුළුස්සා දමන්නේ නැත.

මේ අප්‍රසන්නතාව තිබී ඇත්තේ ඔහුටම පමණක් නොවේ. ඇයට ඇය ගැනම අප්‍රියව තිබූ බවද ඉන් කියැවේ.

ඒ, කලාවට නොව, කලාවේ දුර ගමනක් යාමට නම්, ඊට යම් යම් අයට සිය ඇඳි වත උනන්න්ට ඉඩ දී කෙනෙකුට පමණක් වෙන් කළ යුතු තැන් වල රස පහස පිරිසකට පොදු කොට දිය යුතුය යන සිතුවිල්ල අනුව කටයුතු කරන්නට සිතුණු දා සිටය.

මේ දේ සිදුවන්නේ කලාවේදී පමණක් නොවේ. අන් බොහෝ තැන වලදීද සිදුවේ. ඒ නිසා මේ ගීතය ඇසීමට සුදුසුම අවස්ථාවේ අන් ගීතයක් අසන්නට සලස්වන්නම මට හිතේ. ඒ ගැන කමත්වා.

ඒ අන් ගීතය ලියා ඇත්තේ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසිනි. එහි සංගීත නිර්මාණ කාර්යය ඉටු කර ඇත්තේ සංගීතවේදී සමන්ත පෙරේරාය. ගීතය විශාරද ගායිකා ශානිකා සුමනසේකරගේ ය.

දිසාපාමොක් ඇදුරු තුමණී
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මගහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

මෙහි කියන්නේ කුමක්ද? මේ වර්තමාන දිසාපාමොක්ලා සිය හොඳම සිසුවිය කර ගැනීමට නම් සිසුවියකගෙන් බලා‍පොරොත්තුවෙන කෙසෙල් ඇවරි, කිරි හට්ටි පැණි මුට්ටි ආදිය ගැන නොවේද?

ඊට වැඩි පැහැදිලිව කිව්වොත් රුවන් පළඳනා ( ගෝල්ඩ් මැඩලයක් ), පළමු පංති සාමාර්ථයක් සඳහා යුවතියක නම් පිදිය යුතු දොළ පිදේනි පිළිබඳවය.

කෙසේ වෙතත් අර ගීත වල, කොළොඹ වේදිකාවේ රඟපෑමේ අවස්ථාවට, වේදිකාවෙන් සිනමාවට වරම් ලැබුමට, සිනමාවේ ප්‍රධාන නිලි භූමිකාවට, ප්‍රධාන නිලි සම්මානයට බඳුන් වීමට දොළ පිදේනි පිදූ සේ මේ සිසුවිය කර නැත. එබැවින්ම අර පෙර කී පංති සාමාර්ථ රන් පදක්කම් ලැබී ද නැත. එහෙත්, ඇය ඊට වැඩි අගයකින් සැලකූ දෙයක් යළි ගමට යන විටද රැගෙන යයි. ඒ නම් සිය පිරිසිදු කමයි. 

මේ විදිහට කිව්වාම කඩු පොලු අරන් එන ඊනියා කලාකරුවන් පිරිසකුත් අද දවසේ ඉන්නට බැරි නැත.

යුවතියකගේ පිරිසිදු කම රැකගන්නවා යනු, ඈ සිය හැඟීම් සිර භාරයට පත් කර අසීරු කාලයක් ගත කරණවාය වැනි අදහසක් දරණ කලාකරු යන නාමය යටතේ වර්ගීකරණයට ලක්වුණු පිරිසක්ද අප අතරේ සිටින බැවිනි. එහෙත්, එසේ නොවන අයගේ අදහසට අනුව නම් ඇය අගය කළ යුතු යුවතියකි. වටිණාකම් රැක ගත් යුවතියකි.

පුරා සූසැට කලාභූෂණ
රන් පදක්කම් දිනා ගෙළ පළඳන්න
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවන් රතු පලස්මත තිබෙන කඩතොළුු තැන්

අය සිය ශිෂ්‍ය කණ්ඩායමේ දක්ෂම යුවතියකි. පළමු පංති සාමාර්ථයක් හිමි විය යුතුම මට්ටමේ යුවතියකි. එහෙත්, හැකියාව විනා, එය ලැබුමට, ඇඳි වත උනා දමන්නට ඇය සූදානම් නැත. එලෙස පංති සාමාර්ථ රන් පදක්කම් දිනා උජාරුවට කළු උපාධි ලෝගුව පැළඳ ගියත්, අකල්හි ඇගෙන් නික්මෙන රුධිරයේ අපකීර්තිමත් පැල්ලම් සිය සිත්හි හොල්මන් කරණු දක්නට ඈ කැමැති නැත. එබැවින් එවන් ගෞරව සාමාර්ථ රහිතව, සිය වටිණා කම් රැකගෙන පිටව යාමයට ඇගේ කැමැත්ත.

උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ පහන් සොරකම් කරණ බව දෙවියන්
දේවතා එළියෙන්

කෙසේ වෙතත්, ඈ සිත ඉපදෙන විසල් පැණයක් නම්, මෙවන් ඇදුරින් කෙලෙස මෙලෙසින් සිටීද යන්නය. එය හරියටම පහන් අතැතිව දොවොලට එන යදියන්ගේ පහන් සොරකම් කරණා දෙවියන් වේ නම් එලෙසිනි ඈ දකිනුයේ.

මෙම ගීතයේ මෙය සිදු නොවුණත්, එය සරසවි වල නිතර සිදුවනව දෙයක් බවට පත්ව ඇත. එහෙත්, උසස් සාමාර්ථ ලබන සෑම සිසුවියක්ම එය ලබා ගන්නේ එලෙසිනැයි යන්නද මින් අදහස් නොකෙරේ.

මෙහි රචනය සරසවි ඇදුරිඳු කෙනෙකුගේම වීම සිය පාර්ශ්වයේ ගැටළුවක් දැක එයම විවේචනාත්මකව බැලීමේ හැකියාව සහිත මනසක් සහ කොන්දක් ඔහුට හිමි බව මනාව ප්‍රකට කරන්නකි. එහි සංගීතය හදවත් කම්පා කරවන සුළුය. ගීතය ගයන්නේ එවන් හැඟීම් ගයන්නට වර්තමානයේ සිටින හොඳම හඬක් සහ හැකියාවක් සතු ශානිකා සුමනසේකර ය.

අරුත් බර ගීත ගයන්නට හඬවල් සොයා ගොස් හති වැටී සිටි අයට, ශානිකාගේ හඬ දායකත්වය මහෝගයකි.

අපි දිසාපාමොක් ඇදුරු තුමණී ගීතය අසමු.



අතර මගදී වෙනත් ගීයකට හිත යොමු කිරීමෙන් අපේ බෙරලියා මල් පෙති ගීතය ඔබේ මතකයෙන් ඈතට රැගෙන ගියාට මා හා උරණ නොවන්න. වෙනස් නමුත් සමාන අත්දැකීමක් සහිත එය අමතක කරනුයේ කෙසේද? එබැවිනි මෙහිදීම කතා කර නිමවූයේ. අවැසි නම් බෙරලියා මල් පෙති ගීතය ගැන තැබූ සටහන යළි කියවා වුව දැන් එම ගීතය ඇසිය හැකිය.

බෙරලියා පෙති තැළුණි වැව් බැම්මේ
පර වුනා මං අනේ අපෙ අම්මේ.....

 පද - මනෝරි කෞෂි දිසානායක Manori Kaushi Dissanayaka


ස්වර - සමන්ත පෙරේරා Samantha Perera
හඬ - ඉන්දිකා උපමාලි Indika Upamali

ගීතය අසා සිටිමු.


මේ සටහන ලිවිය යුතු යැයි මට දැඩිව හැඟුනේ මනෝරි කෞෂි ගේ මේ ගීතය නිසාවෙන් බව මම කීමි. එය ඉතා හොඳ ගීතයකි. සමාජයේ යම් ගලා යාම් මනාව දැක ඒ සඳහා නිසිම වදන් යොදා ගනිමින් ව්‍යක්තව ලියූ රචනයකි එය. මෙවන් ජීවිත වලට උදාහරණ නාමයන් දිය හැකි සමහර ප්‍රසිද්ධ චරිත අප අතරම එමට සිටින බව තවත් අවබෝධයෙන් යුතු අය දන්නා කරුණකි. ඒ අවබෝධය නැතත්, එය ප්‍රලාපයක් නම් නොවේ. සත්‍යයකි. එය සත්‍යයක් බව කී විට රිදෙන යම් යම් අය සිටිය හැකිය. එහෙත් ඒ අයට රිදෙන්නේ රිදුම් දෙන තුවාලයන් සිදුකරගෙන සිටින බැවිනි. මේ ගීත, ඒ ගීත ගැන සටහන් ඒ රිදුම යළි පෑරීමට නොවේ. එවන් රිදවා ගැනීම් වලට ඇති ඉඩ ඇහිරීමටය.

සමන්ත පෙරේරාගේ තනුව හා සංගීතය මේ ඛේදවාචකය මනාව මතුකරමින් සිත් කළඹාලයි.

ඒ සිත් කැළඹීම වඩාත් වැඩි කරන්නේ හැඟීම් ගායනයේ වර්තමාන සලකුණක් වන ඉන්දිකා උපමාලි ය.

ඒ සියල්ලන්ටම අපගේ ප්‍රසාදය හිමි වෙයි.





 -      යසනාත් ධම්මික බණ්ඩාර   -

7 comments:

  1. වාව්. කාලෙකින් යසනාත්ගේ කවි විචාරයක් (සොරි ගීත?) රස වින්දේ. ජානක කියන රත්න ශ්‍රී ගේ ගීතය ගැන මට තිබුනේ වෙනම කියවීමක්. ඔය කණකෙකණිය කියන්නේ සඳ කිදුරාගේ අම්මද කියල මට තවම සැකයක් තියේ. කිඳුරිය එක්ක එන්න ගමෙන් පිට ගිහින් ඒක අසාර්ථක වෙලා ආයි ඇවිත් මේව්වා අහල කිඳුරා සෝකෙන් මිය ගියත් කිඳුරියට එන්න පුලුවන් කමක් නෑ වගේ අදහසක් මට තිබුනේ. හරිම රසවත්. හැකි විටක මෙවැනි ලිපි ඉදිරිපත් කරන්න. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. එසේ නම් ඔබ මෙයද කියවිය යුතුමයි.
      http://yasanathsithuwili.blogspot.com/2018/08/blog-post_14.html

      Delete
  2. හරිම සංවේදී සටහනක්. ශෝකාලාපයක් සමඟ සංවේදී හදවතක සිතුවිලි වල අපූරු විග්‍රහයක්. හැම ගීයක්ම එක වගේ හදවත ස්පර්ශ කරන ගීත. සැබැවින්ම අද සමාජයේ ශෝචනීය අත්දැකීමක්. ස්තූතියි ඔබට.

    ReplyDelete
  3. එරික් ඉලයප්පාරච්චිගේත්, රත්න ශ්‍ර විජේසිංහයන්ගේත් එක ම නිමිත්ත කවියක් ලෙස හා ගීතයක් ලෙස රචනාවන් ගෙන කළ විග්‍රහය නිසාවෙන්, කවිය හා ගීතය යනු කුමක්දැයි මට මනා ව වැටහිණි.

    ReplyDelete
  4. මේකත් මතක් වුණා http://www.boondi.lk/article.php?ArtID=1398

    ReplyDelete
    Replies
    1. මම එය එකතු කරණවා සටහනට. ස්තුතියි.

      Delete
  5. අජිත් කුමාරසිරිගේ මෙමෙ ගීතයේත් මේ අදහසම නේද තියෙන්නේ.

    https://www.youtube.com/watch?v=6TvQPZ9_qRk&list=PLeAfi5PD_WPlxXjIh4JoVzejTsPzPVl5o


    ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
    සිංහළ අවුරුදු දවසේ
    කොඩිය අරන් මං බැහැල ගියා ඇය ඔ‍ටුනු පැලද නගරයට ගියා
    සිංහළ අවුරුදු දවසේ //

    පබාවතිය මගෙ යන්න ගියා කුසට ග්‍රැස්ටික් අම්ළ තියා
    සිංහළ අවුරුදු දවසේ

    කොළබ කට්ටියක් අරන් ගියා ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා
    සිංහළ අවුරුදු දවසේ
    රටක් වටින ඇය යන්න ගියා වැඩිම මනාපය ඇයට ගියා
    සිංහළ අවුරුදු දවසේ //

    Sold Out - Sold Out Sold Out - Sold Out

    ඔබෙ දෙතොල් විකුනන්න__ ඔය දෙතන් විකුන්නන්න
    කෙහෙ ‍රැල්ල විකුන්නන්න__ මෘදු ඇගිලි විකුන්නන්න
    ඇහි දෙබැම විකුන්නන්න ______හස‍රැල්ල විකුන්නන්න
    ඔබෙ බල්ල විකුන්නන්න_____ ඔබෙ පූස විකුන්නන්න
    ඔය දෑස විකුන්නන්න___________ඔබ ඔබම විකිනෙන්න

    Sold Out - Sold Out She Sold Out - Sold Out
    She Was Sold Out >>>>>>>>>>>>>>>>>>>>

    මුළු රටම සනසන්න___ මුළු රටම නලවන්න___ මුළු ගතම විකුනන්න
    But You My Baby >>>>>>>>>>>>>>>>>>>>.>>>>>>>>>>>>>>>>>
    මුළු හිතම මට දෙන්න . >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    ReplyDelete