Monday, September 24, 2018

ඝරසරප...... ( ගැන වෙනත් අදහසක් )






ඝරසරප දෙවෙනි වතාවටත් බැලුවෙමු.
වින්දෙමු.

මෙතැනින් සුළු ආවේශයක් ලබා අපි කතාවට පිවිසෙමු.



මේ ඝරසරප ගැන හැමෝම කථා කරණ දේ මමත් කතා කරන්නට ගන්නා උත්සාහයක් නොවේ.

අපි, අපි බැලූ විවිධ චිත්‍රපට වලට විිවධ ලේබල අලවා ඇත්තෙමු. ඒ අනුව අප, සම්භාව්‍ය චිත්‍රපට, වාණිජ අරමුණු සහිත චිත්‍රපට සහ මැද මාවතේ චිත්‍රපට ආදී වශයෙන් වරෙක ඒවා හඳුන්වා ඇත්තෙමු.

මෙවන් තවත් බෙදා දැක්වීම්ද තිබිය හැකිය. මේ බෙදා දැක්වීම් හරිද වැරදිද යන්න ගැන මම මේ අවස්ථාවේ කිසිවක් නොකියමි.

වර්තමානය වන විට මම හඳුනා ගන්නා බෙදීම් කිහිපයක් වෙයි. ඒවා ක්ෂේත්‍රය තුළ එම වචන වලින් හඳුන්වනවා දැයි මම නොදනිමි. මට හිතුණු අයුරින් හදා ගත් බෙදීම් ය ඒවා.
ඒවා නම්,

අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ.

ඉහත කොටස් දෙකට ම අඩංගු නොවන නිර්මාණ.

මම මෙහිදී
අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ යනුවෙන් හැඳින් වූයේ ඒවා අදාල නිර්මාණකරුවාගේ අවශ්‍යතාවටම නොව, වෙනත් යම් යම් පෙළඹවීම් මත නිර්මාණය වුණා දැයි සමහරු සැක උපදවන බැවිනි. සමහරු එසේ සිතන බැවිනි. 

උදාහරණයන් ලෙස,
ජයන්ත චන්ද්‍රසිරි ගේ මහරජ ගැමුණු චිත්‍රපටය මහින්ද හිටපු ජනපතිඳුන්ගේ දේශපාලන ව්‍යාපාරයට වක්‍රාකාර පිම්බීමක් ලබාදීම සඳහා නිර්මාණය වූවකැයි බොහෝ කතා බස් ඇති විය. මා මේ මතය පිලිගන්නා අයෙක් නොවන්නෙමි. ජයන්ත එය සිය උවමණාවෙන්ම ගැමුණු කරන්නට ඇත නියාය මට නම් හිතෙන්නේ. එහෙත්, ඒ යුගයේ මහින්ද ජාතිකත්වය නියෝජනය කරණ බලවේගය මත යැපුණු නිසා මහරජ ගැමුණු ඔහුට සේවය කරණු ඇතැයි සිතූ අය යම් යම් දේශපාලන අභිමතාර්ථ ඇතිව එසේ කියන්නට ඇතැයි යන්නය මම දැඩිව විශ්වාස කරණුයේ.

එහෙත් එය එසේම යැයි මොහොතකට සිතමු. එවිට එයට ඉන් වාසිය ලබන අයගේ අනුග්‍රහය ලැබිය යුතුය. නොඑසේව, කිසිවෙක් එසේ අනුග්‍රහයක් නොලබමින්, අදෘෂ්‍යමානව සිටිමින් හෝ පෙනෙන නොපෙනන අයුරින් සිටිමින් යම් පුද්ගලයෙකු පිම්බීම සඳහා එවැන්නක් නොකරණු ඇත. එහෙත් එය ඇත්තටම කළේ එවැනි අරමුණක් සහිතවද, එයට එවන් අනුග්‍රාහකත්වයක් ලැබුණේද යන්න මම ගැන නොදනිමි. එබැවිනි මම අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ ලෙසින් ඒවා හැඳින්වීමට පරෙස්සම් වූයේ.

දැන් ජයන්තගේ මහරජ ගැමුණු සඳහා යෙදුනු මේ හැඳින්වීම නිසාම එහිම යම් යම් විරුද්ධ පැතිකඩයන් නිර්මාණයට ගොනු කරගනිමින් බිහිවුණු චිත්‍රපට ගොන්නක්ද ඒ කුලකයටම ඇතුල් කිරීමේ හැකියාව මා හට ලැබෙයි. ඒ අනුව පසු කාලීන, ධර්මසිරි බණ්ඩාරනායකගේ, හඳගමගේ, පතිරාජගේ ප්‍රසන්න විතානගේගේ සහ ඒ පසුපසින් එන විමුක්ති, සංජීව වැනි අගේ තවත් එවැන්නන්ගේ කෘති රැසක් ද ඊට එකතු කළ හැකියි. එහිදීද මම අර පරෙස්සමම වෙමි. එනම්, අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ යනුවෙන් හැඳින් වූයේ. 

මහරජ ගැමුණුමහින්ද ගේ හෝ මහින්ද රජයේ හෝ අනුග්‍රහය ලැබුණේ හෝ ලැබුණේ යැයි හැඟී ගියේ නම් හෝ, මා කියූ අර අනෙක් චිත්‍රපට වලට ඒ අර්ථයෙන්ම ගත් විට එලෙස අනුග්‍රහය ලැබුණේ හෝ අනුග්‍රහය ලැබෙන්නට හෝ ඇත්තේ කාගෙන් දැයි මෙහි ලියන්නට නොයමි. එහි අන්තර්ගතය තුළ විවේචනයට බඳුන් වන සමහර කාරණා ගත් විට එ් සඳහා යම් අනුමාන සැපයෙනු ඇත. ඒ අනුව ඉන් වාසියක් අත්වන කණ්ඩායම් ඒ අනුග්‍රාහකත්වය දැරිය යුතුයි. එය වෙනම තබා කතාව කරගෙන යමු.

මා කියන්නේ මේ දේවල් ඇත්තටම වුණා සේ දැඩි සිතුවිල්ලක සිට නොවේ. නමුත් එක රාමුවක එකක් ගැන සැකයි නම්, ප්‍රතිවිරුද්ධ රාමු වල අනෙක් ඒවා ගැන සැක නොකරන්නට ඇති හේතු මොනවාදැයි හිතෙන බැවිනි. 

මේ ඝරසරප ඒ අතින් ඒ කුලක දෙකට ඇතුළත් නොවන එකක් බව පෙනී යැයි. ඒක අර අතුල ලියගේගේ බඹර වළල්ල වගේ එහෙම අවුල් නම් ධාරී කුලකයකට නොවැටෙන නිර්මාණයක්. මම මෙහි අතුලගේ බඹර වළල්ල මතක් කළේ ඉන් පසුව ඈ එවැනි දැනෙන එවැනි කුලකයකට ඇතුළත් නොකර පිටින් තබා විඳින්නට හැකි වෙනත් කෘතියක් මතක නැති බැවිනි. ඒ අනුව මෙවර ජයන්තගේ චිත්‍රපටය ගැන බොහෝ අය කතා වෙන්නේ මහින්දගෙන් වියුක්තවය.

මේ ගීකය අඩංගු විඩියෝව නරඹා මතකය රී චාර්ජ් කර ගන්න.

අතරින් පතර අයෙක්, 

එදා මහින්දගේ මහරජ ගැමුණු කළ ජයන්ත මෙවර...... වැනි ඇරඹුමක් ගනිමින් මහින්දත් සමග ඇති වෛරය සහ, මහින්දට යම් උදව්වක් කළාය, මහින්දව පිළිගත් අයෙකිය යන අදහස ඇතිව ජයන්තට කළු තවරමින්ම මෙහි සුද සොයන අවස්ථාද අපට හමු වෙයි. කෙසේ වෙතත්, සමස්ථයක් වශයෙන් ජයන්තගේ චිත්‍රපටය මහින්දගෙන් වියුක්තව කතා කළ හැකි මට්ටමට නිර්මාණය වීමම ජයන්ත ලද ජයග්‍රහණයකි. ඒ අනුව දැන් කතා කළ හැකි බොහෝ දේ ඉතිරි වෙයි.

මේ හැම තැනකම ඇත්තේ ආදරයයි. හැම තැනම ආදරයෙන් පිරී ඇත. ආදරයෙන් පිරී ඉතිරී ඇත. එබැවින්ම හැම දෙයක් දැනේ එක දෙයක් වගේ.


වෙනදා ගීත ගැන යම් ගැඹුරකට කතා කරණ මම අද මෙවන් සොඳුරු ගීතයක් දැක කතා නොකරමින් යන්නේ එය අපගේ මුඛ්‍ය කතාවට බාධාවක් වන බැවිනි.

එදා ඒ සමහර චරිත, අදද සක්‍රියව සිය කාර්යයන් ඉටු කරයි. 

එදා සක්‍රිය සමහර චරිත අද අක්‍රිය ( මා හිතන හැටියට ) මරණයේ තුරුල්ලේ නිදා සිටී. 

එදා සක්‍රිය සමහර අය, මිය නොගියත් මිය ගිය අය සේ අක්‍රිය ව දිවි ගෙවමින් සිටි. 

එදා සේම අදත්, පිරිමි හැඟීම් ඝනීභවණය වී ගැහැණු හිත් වලට රිංගන කළු කුමාරයා තවත් ගැහැණියකගේ හදවතකට රිංගා තමන්ට අවැසි අයුරින් ඇයව හසුරවනු හැකි සේ මේ මොහොතේද සුදුසු ගැහැණු හිතක් හොයමින් කොහේ හරි සිටී.

ඒ සියල්ල අතරේ, තවමත් ආදරය එදා සේම මේ කොහේ හරි පවතී. හරි ඇත්ත ආදරය ඇත්තේ කා ළඟද කොතැනකද නොදන්නේ වුව, කා ළඟ හෝ, කොහේ හරි හෝ පවතී.
එපමණක්ද?


අපි චිත්‍රපටයේ එනමින් එන අතිශය සොඳුරු ගීතය අසා හිඳිමු. 



සඳරැස් ට වඩා විද්‍යා තව ටිකක් හුරු බුහුටි වුණා නම් මරු.
 මොකද විද්‍යා ඉදිරියේ සඳරැසා තරමක් සිඟිති පෙනුමකින් යුක්තය.
සඳරැස් සිංහල වීම විද්‍යා දෙමළ වීම වැනි දේ ගැන සමහරු කතා කර තිබෙනු දුටිමි. මට නම් ඔවුන් සිංහලදෙමලද යනුවෙන් හිතුණේ එතුළද පසුවද එය කියවන බැවිනි. මට නම් හිතුනේ ඒ අපි අපි කියාය. අපි අපි කිව්වේ ජාතික සංහිඳියා ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙක් වශයෙන් මෙය ඒ සඳහා මාර ෆිල්ම් එකක් වගේ අදහසකින් එහෙම නොවේ.
කුමන ජන වර්ගයක වුව, ඔවුන් රඟ දක්වන කතාව අපේ වන බැවිනි.
අච්චර දැවැන්ත යශෝධා හංගා තබා, පියරු බබෙක් වැනි අමීශාව ( අර්ජුන් කමලනාත්ගේ බිරිඳ බැවින් ??? ) ඉදිරියට ගැනීම වරදකි. 
මේ ගැන බොහෝ අයගේ අදහස් දැක්කෙමි. මටද ඊට පෞද්ගලික මතයක් වෙයි. එහෙත් එය බොහෝ අය දැරූ ඒ මතයට වඩා යම් වෙනස් එකකි. එය කියන්නට මෙය අවස්ථාව කර නොගනිමි.
ඉතින් තව බොහෝ දේ.
තව බොහෝ දේ. 
මේ හැර මේ චිත්‍රපටය සංවේදී හදවත් තුළට රිංගා කළ සැහැසි කම් ගැන කිසිවක් නොලියමි. 
සැහැසිකම් යන වචනය වැරදියි කියාද ඔබ කියන්නේ. නැහැ. එය සැහැසි කමක්මය. 
චිත්‍රපටයේ ඇති බොහෝ සංවේදී කම් ලිවීමට මා ව්‍යක්ත මද බව හඟිමින් නොලියමි. 
ඒ ගැන ලියන්නට තරම් මා සංවේදී නැති බව හඟිමින්, නොලියමි. 
ඒ ගැන ලියන්නට මා හැකියාවන්ගෙන් යුක්ත නොවන බව පසක් කර ගනිමින්, නොලියමි. 
වටණා බොහෝ දේ අතුරින් එතරම්ම වටිණාකමක් නැති එහෙත් ජයන්තගේ කාලය දීපය දේසය කුලය මව වටහා ගැනීමේ හැකියාව පිළිබඳව එක් විශිෂ්ඨ ලකුණක් ලෙස පෙන්වූ වෙනත් දෙයක් ගැන පමණක් ලියමි. නමුත් ඒකට ඒමේදී යම් යම් අතුරු කතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවමි.
අපට ගෝචර වන විවිධ දැණුම් පද්ධතීන් වෙයි. ඒවා මත පිහිටා අපි විවිධ දේ කරමු. ලොව පවතින රෝගී ප්‍රතිකාර ක්‍රමද එවන් විවිධ දැණුම් පද්ධතීන්ගෙන් පොහොසත්ය.
අද ඇත්ත පවතින්නේ කොහේ කොතැනකද යන්න නොදන්නා බැවින්, අනුගමනය කළ යුත්තේ කුමණ ක්‍රමයදැයි විචිකිච්ඡාවක් පවතින කාල වකවානුවක මිනිසුන් තුළ යම් යම් ගැටළු සහගත තත්ත්වයන් ඇති වුව, විවිධ දැණුම් පද්ධති මත පදනම් වූ විවිධ ක්‍රම එකම දේකට තිබිය හැකි බව බොරුවක් නොවේ. 
හැම දෙයක් දැනේ එක දෙයක් වගේ යනුවෙන් ආදරය සම්බන්ධයෙන් ජයන්ත කියන ඒ දේ ඒ අනෙකුත් දේ සම්බන්ධයෙන් නොවීම ගැන අප කණාගාටු විය යුත්තේ අපට දැන් ඇත්තේ විවිධ අත් වල පිහිට ලැබෙන්නට තිබූ ඉඩක එක් අතක පිහිට පමණක් නිසා වන බැවිනි. 
බොහෝ විට, ගුරු මුෂ්ඨිය සහ විවිධ කුහකත්වයන්ගෙන් සමාජය මදින් මද පිරීම නිසා එයින් අඩුවෙන්ම කිලිටි වූ දේ පවතිද්දී එයින් වැඩියෙන්ම කිලිටි වූ දේ බැහැර වීම නිසා ය ඒ තත්ත්වය ඇතිව ඇත්තේ. ඉතිරිව ඇත්තේ හොඳම දේද යන්න කිසිවෙකුත් නොදනී. නමුත් ඉතිරිව ඇත්තේ වඩාත් විශ්වාසදායක දේය යන අදහස දැඩි බැවින් ඊට යොමුවීමද එසේමය. යමකට යමෙක් යොමු වන්නේ විශ්වාසය මතය. විශ්වාසය දැඩි වූ විට යොමුු වීමද වැඩිය.
චිත්‍රපටයේ විද්‍යා සිය අතීතය මතක් කරමින්, තමන්ගේ මූලික පදනම වන බටහිර වෛද්‍ය විද්‍යාවද අපහසුවට ලක් නොකරමින් ඒ අනෙක් පැති ගැන ඉඟියන් ලබා දෙයි. එහෙත්, අනතුරුව වන්නේ කුමක්දැයි ජයන්ත අපට නොකියයි. සඳරැස් සිය බිරිඳ රැගෙන එවන් තැනකට ගොස් සුව කරගන්නේද ඇත්තටම නම් සඳරැස් ට එවන් තැනකට ගොස් සුව කරගන්නටත් ඊට නිසි දිව ඔසුවකුත් තිබිය යුතු වෙයි. විද්‍යාටද කලුකුමිර දිෂ්ඨිය සුව වන්නේ ඒ දිව ඔසුවෙන් මිස අර කී වෙනත් දැණුම් පද්ධතියකින් මතු වූ ප්‍රතිකාර ක්‍රමයකින් නොවේ. එහෙත් විද්‍යාට ඒ දිව ඔසුව ලැබුණේ අර ස්ථානයේදී වීම පමණි එසේ නම් එහි ඇති වැදගත් කම. එහෙත් එක් දෙබස් ඛණ්ඩයක් නිසා ස්ථානයේ ඇති ආනුභාවය සුළු කොට තැකිය නොහැකිය. 
මෙහි ඉන්න මේ හැමෝම සුව කළේ මම. හැබැයි මේ දරුවව සුව කළේ නම් මම නොවෙයි.
කතාවේ හැටියට ඇයව සුව කළා යැයි අනුමාන කළ හැක්කේ අපට නොපෙනෙන නොහැඟෙන අන් බලයකින් නොවේ. අපට දැනෙන හැඟෙන මෙහිම පවතින දෙයකිනි.
අර අපිට නොපෙනන, පෙනෙන දෙයින් පැහැදිලි කළ නොහැකි බලයන් ඇති සැබෑ තැන කුමක්ද? ඒ බලය සතු සැබෑ අය කොහිද? කවුරුද යන්න සොයා ගැනීමට ඇති අපහසුව සේම, ජයන්ත මෙහි මතු කරණ දිව ඔසුව ඇත්තටම ඇත්තේ කොහිද? කවුරුන් ළඟද යන්නද වත්මනේදී දැවෙන පැණයකි. එයද පසෙකට තබමු.
ජයන්ත සමනළ සංධවනියේ
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 
යන්න අතිශය සංවේදී ලෙස සංඛේතවත් කරන්නේ කුහුඹුවෙකු සිය බිජුවට රැක ගන්නට වෙහෙසෙන අයුරින් රැකි එක්තරා සංඛේතයකිනි. එ නම් අර මග වැරදුනු පෙම් හසුනයි. 
වෙනත් කෙනෙක් වෙනත් කෙනෙකුට ලියූ මග වැරදුනු පෙම් හසුනකින් තවත් කෙනෙකුගේ මග වැරදිය හැකිදැයි කෙනෙකුතුළ  සැකයක් ජනිත කළ නිසාදෝ සමනළ සංධවනියට පාදක වූ වස්තු බීජයේ තරම සමහරුන්ට නොව බොහෝ අයට නොවැටහුනා දැයි මට හැඟේ. ජයන්ත ඒ නිසාමද නැති නම් වෙනත් හේතුවක් නිසාද නොදනිමි, මෙහිද එවැනිම කුහුඹු බිජුවට අපට පෙන්වයි.
වරෙක අර සංවේදී අතීත පුවත රැගත් පැරණී පුවත් පත අපට දනවන්නේ දෙබස් වලින් කියන්නට සිදු වුවහොත් බොහෝ දිග කතාවක් ඉතා කෙටියෙන් එහෙත් ප්‍රේක්ෂකයින්ටද දැනෙන ලෙස කියා ගන්නට අදියරු යෙදූ ප්‍රායෝගික උපක්‍රමයක් ලෙසයි. එහෙත්, විද්‍යා තම ප්‍රථම ප්‍රේමයෙන් ලද ප්‍රථම තිලිණය එතුළ බහා ගෙන ඇතැයි සිතූ කිසිවෙකුත් නොවන්නට ඇත. එය ප්‍රේක්ෂක හදවත් සසලන්නට ඇති වග නම් නිසැකය. අඩු වටිණාකම් සහිත කුඩා තිළිණයකි එය. ජයන්තට එවැනි කුඩා සංඛේතයක් දැවැන්ත වැඩකට වුව සෑහේ. සැබෑ ලෝකයේ එවැනි කුඩා සැමරුම් දැවැන්ත මතකයන් සමගින් සුරකින බව අපි දනිමු. එහෙත් චිත්‍රපටයේදී එය තබාගෙන සිටියේ විද්‍යා නොවේ යැයි මට සිතේ. සමනළ සංධවනියේදී බොහෝ ප්‍රේක්ෂකයින් විසින් වටහා නොගත්, එබැවින්ම දැවැන්ත චිත්‍රපටයක් සඳහා දැවැන්ත පෙනුමැති නිමිත්තක් ම අවැසි යැයි සිතා සිටි අයට ඉතා කුඩා සංඛේතයක් ප්‍රබල හැඟුම් දනවන අවස්ථාවකට ඇති පදමින් සෑහේය යන පණිවිඩය දීම සදහා ජයන්ත විසින් තබාගෙන සිටි එකකැයි හැඟේ.
ඉතිං ඒ ගැනද තව නොලියමි. කළ නොහැකි දේ නොකළ යුතු බැවිනි.


මේ සියල්ල අස්සේ ජයන්ත කාලය දීපය දේසය කුලය මව වටහා ගැනීමේ මනා ශක්තියකින් යුතු අයෙකැයි මා කීවේ අනෙකක් නිසා නොවේ. මේ කතාවේ ඒ අනුහස් ඇති තැන කතෝලික හෝ ක්‍රිස්තියානි දේවස්ථානයක් ලෙස තෝරා ගැනීමත්, උතුම් මිනිසා පියතුමකු ලෙස තෝරා ගැනීමත්ය.
ස්ථානය පන්සලක් වූවා නම්, උත්තම මිනිසා හාමුදුරුනමක් වූවා නම්,අද අපට කරන්නට සිදු වෙන්නේ වෙනත් කතා බහකි.
එසේ නම්, ජයන්තගේ ඝරසරප ද අර මා කියූ අනුග්‍රහාකත්වය ලබන හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන කුලකයට ගොනු වනු ඇත. එහෙත් ජයන්ත ඉන් හාස්කමකින් මෙන් ගැලවී ඇත.
පිරිමි බීජ වල සුවඳ වෙරළු මල් වල සුවඳට සමානය යන අදහසින් වෙරළු මල් පිපිලා යන කුමාරි අක්කාගේ ගීතය ලියූ රත්න ශ්‍රී රත්න ශ්‍රී ගේ වෙසෙස් උත්සවයකදී සිය ඉදිරිපත් කිරීම් කරමින් සමන් අතාවුද හෙට්ටි කීවේ, රත්නේ, උඹ නම් යකෙක් කියායි.
ඒ හැඳින්වීම මෙහි යොදන්නට සමන් අයියාගේ අවසරය අනවැසි යැයි සිතමි.
ජයන්ත, උඹ නම් යකෙක්!


-      යසනාත් ධම්මික බණ්ඩාර     -

5 comments:

  1. මට ජයන්ත සමග මේ ෆිල්ම් එක ගැන කතා කරන්න ලැබුණා. කතෝලික පල්ලියේ මේක ෂූට් කරලා තියෙන්නේ ඔබ කියන පස් මහ බැලුම් නිසා නෙවෙයි. රඹුක්කන කිට්ටුව පිහිටි කුඩාගම කතෝලික පල්ලියේ 75දි ඔහු ලද අත්දැකීමක් මෙයට පසුබිම. ඒ කාලේ කුඩාගම පල්ලියේ සිටි පියතුමා මෙවැනි දේ කර තියෙනවා. හොඳට හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ නම මෙහි පෙනෙන්නේ කුමාර කියා පමණයි. ඒ නිසා මා දන්නා කුමාර කෙනෙක්ද නොදන්නා කුමාර කෙනෙක්දැයි දන්නේ නෑ.
      ඔබ කියන කුඩාගම පල්ලිය මම නොදන්න තැනක් නොවේ.මම කතෝලිකයෙකු නොවුණත්, කුඩාගම අපේ ගම් වලට මහ දුර තැනක් නොවේ. ඒ නිසා මා එහිද, ඊට අමතරව ඒ ආසන්න බොහෝ තැන් වලද බොහෝ සේ ඇවිද තිබෙනවා. ඒ කාලේ මෙම චිත්‍රපටයේ එනවා සේ සුව කිරීම් මෙහෙයන් පැවැත්වුණා. මිනිස්සු ඇවිත් එහි කූඩාරම් ගහගෙන පදිංචිව හිටියා. ඒ නිසා ජයන්ත හමු වී කිසිවක් නොදෙඩුවත් මේ චිත්‍රපටය ගැන, මේ නම් කුඩාගම පල්ලිය වැනි තැනක් විය යුතු යැයි මට සැනෙන් හිතුණා. එහෙත්, මේ සටහනේ මම එය සඳහන් කළා නම්, මා මෙයින් අදහස් කළ දේ මතු වෙන්නේ නෑ. දැන් වුවත් එය මතුව නැත්තේ මා හට කියන්නට අවැසි වූ එක් වෙසෙස් කරුණක් ඔබට නොවැටහුණු නිසා. එය මගේ රචනාවේ ඇති දුර්වල කම යැයි මා හිතා ඔබව ඉන් නිදහස කරන්නම්.
      නමුත් හැකි නම් මෙය ලිවීමෙන් මා කියන්නට උත්සාහ කළ දේ වටහා ගන්න බලන්න.
      මෙහි ජයන්ත පස්මහ බැලුම් බැලුවා යැයි කීමෙන් ඇත්තටම එය එසේ වූවාය යන අදහසකුත් නෑ. එය මම මට අවැසි නිසා යෙදූවක්. මගේ කතාව කියා ගන්න. ජයන්ත එලෙස පස් මහ බැලුම් බලා හෝ නොබලා හෝ මෙහි කතෝලික පල්ලියක් තුළ සුව කිරීම් කරා යැයි කී විට කතෝලිකයෙක් වත් බෞද්ධයෙක්වත් අන් ආගමිකයෙක් වත් ප්‍රශ්ණ කරන්නේ නෑ. හැබැයි මෙය පන්සලක වූ දෙයක් ලෙස චිත්‍රපටය නිම කළා නම්, ඔන්න බලන්න තිබුණා අද කතා බහ මොකක්ද කියා.
      මම අන්තිමටම ලිහා දුන්නා. මට කියන්න අවශ්‍ය වුණේ එයයි.
      ඔබ කුමාර ලියනගේ නොවෙයි නේද?

      Delete
  2. කවදා බලන්න ලැබේදැයි සැකයෙන්...

    ReplyDelete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete