Saturday, September 10, 2016

සඳමුතු මල්දම් සිරස පැළඳ ගෙන




යාළුයි අපි යාළුයි
යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි
දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

මහ මුහුදයි නිල් අහසයි කැලෑ රොදයි කුරුල්ලනුයි
මල් සුවඳයි වලාකුළයි අපිත් එක්ක යාළු වෙලා
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි
දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

අපේ ළමා කාලයේ ළමයින් ව සිටි අයට නම් මේ ගීතය බොහෝ සේ මතක ඇතැයි සිතමි. මේ ගීතයට පෙර මෙවන් ගීතයකට අපි එකල ඇළුම් කළා නම් ඒ සිඟිති ලොවේ සුරතල් හඳයා ගීතයත් කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගීතයත් විය යුතුය. ඊටත් තව ටිකක් එහාට ගියහොත් මඩොල් දූවේ කොහේද කොහේද අපේ ලොවක් ගීතය මතකයට නැගෙයි. ඒ ආනන්දයෙන් සිටි අපේ ළමා වියේ රසිකත්වයට අනතුරුව එළඹියේ නියං කාලයකි. රත්නවීර ද සිල්වාගේ සුද්දා රැගෙන ආවේ ඒ නියංසායට පොද වැස්සකි.

මඩොල්දූව ළමා චිත්‍රපටයක්ද? මේ පැණයට මම පිලිතුරු දෙන්නට නොයන්නේ මම චිත්‍රපට ගැන දැනමුත්තෙකු නොවන බැවිනි. මා චිත්‍රපට රසිකයෙකු පමණි. එහෙත් මගේ ළමා වියේ එම චිත්‍රපටය නැරඹීමෙන් මම අපමණ සතුටක් ලැබුවෙමි. ඒ එහි උපාලි, ජින්නා වැනි චරිත යම් වීරත්වයක ලා සලකමිනි. එකල එය අපේ වයසට වඩා ටිකක් වැඩි ළමුන්ට වඩාත් ගෝචර එකක් වූවද, එහි අපටද බොහෝ දේ තිබුණි. 

එවිට හඳයා ළමා චිත්‍රපටයක්ද? සමහරුන් කියන්නේ හඳයා ළමා චිත්‍රපටයක් ම නොවන බවයි.  මම ඔවුන් හා වාදයට නොඑළඹෙමි. එහෙත් මා ළමයෙකුව සිටි සමයේ මාව හඳයා සමග ගැවසෙන චරිතයක් කළේ හඳයාය. අපි හඳයාගේ පාත්‍රවර්ගයාගේ අසල්වැසියන් නෑසියන් වීමු. ඒ එම චිත්‍රපටය අපට බලපෑ විදිහය. එය සත්‍ය ළමා චිත්‍රපටයක්ද නොවේද යන්න මට වගේ වගක් නොවුනේ එවන් චිත්‍රපටයක් අනතුරුව බිහි නොවුණු බැවිනි.

මේ සුද්දා ඊටත් පසුවය. අර අඩුව ඉන් පුරවන්නට බැරි වුව, ඉන් පිරුණු අඩු තැන් බොහෝය.

මේ නම් සුද්දා ගැන කතාබහක් නොවේ. මඩොල් දූව හෝ හඳයා ගැනත් නොවේ. අපි තවමත් කතා කරන්නේ 
 බණ්ඩාර කේ. විජයතුංග  
ලියූ ගී ගැනයි. සුද්දා ගීතයද ඔහුගේ රචනයකි. 

සුද්දා ගීතයේ සංගීත නිර්මාණය  
 ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 
යන්ගේය. 

අපි සුද්දා ගීතය මෙතැනදී අසා යමු.




සත් සමුදුරු තරණය කර
දුරු රටකට වඩින්නියේ
මගේ සිතත් මගේ ගතත්
ඔබත් සමග රැගෙන යන්න

මේ ද බණ්ඩාර කේ. විජයතුංගගේ සොඳුරුම ගී පද රචනයකි. ගීතයේ මේ ඛණ්ඩය  පමණක් ඇසුවොත්, සමහර විට කෙනෙකු සිතනුයේ එය විදෙස් රටක මෙහෙය සඳහා යන සිය පෙම්වතියට හෝ බිරිඳට මෙරට නවතින පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා විසින් ගයන ගීයක් ලෙසිනි. එහෙත්, එකල මෙලෙස මෙරට කතුන් නොරට යවා උපයන මුදල් පිළිබඳ මෙවන් ඇල්මකින් ඒ රජයවල් කටයුතු නොකළ බවයි මගේ නම් විශ්වාසය.  ඒ අනුව මේ අන් ලියක් විය යුතුය. එය එසේදැයි බැලීමට ගීතයේ ඊ ළඟ පාද විමසිය යුතුය.

කෙසේ වෙතත් එලෙස මෙරටින් නොරටට යන්නේ කවර අන්දමේ යුවතියක වුව, ඈ නැතිව ඔහු පමණක් සිටීමේ ඇති නිරස බව ඔහු හඳුනාගෙන සිටී. එබැවින්, කළ නොහැකි වුව, ඈ සමග ඔහු ගතද ඔහු සිතද රැගෙන යන ලෙස ඔහු අයදී. මේ අන්‍යාලාපයක්ද? ඔහු ගතත්, ඔහු සිතත් ගෙන යා නොහැකි වුව, ඔහු රැගෙන යන ලෙස අයදින්නේ ඔහු ගැන මතකය විය නොහැකිද?

එරට නුහුරු පරිසරයක
විලාසිනියෙ ඔබ තනි වේදෝ
එවිට සිතනු මැනවි ලියේ
ඔබෙ තනියට සිතක් ඇතේ
ඔබෙ තනියට හදක් ඇතේ

තවමත් මේ කුමන ලියක්දැයි නොකියවෙයි. එහෙත් කුමන ලියක් වුව, නොරටක ගිය විට ඒ නුහුරු පරිසරයේ දුක් සංකා අනතුරු අපල උපද්‍රව තනිව දරන්නට හැර ඈත්ව සිටිනු වෙනුවට ඔහු හදවතින්ම වදනින් හෝ සහායක් ශක්තියක් වීමට සිතයි. කෙනෙකුගේ තනියට තවත් හිතක් වේ නම් සහනයක් නොවේද එය. හිතක් පමණක්මද? හදකුත් ඇත ඒ වෙනුවට.

මේ සිත සහ හද යන දෙක පිළිබඳව අපි යම් යම් තැන් වල කතා කර ඇත්තෙමු. හැඟීම් ඇති වන්නේ සිතෙහිය. එහෙත් ඒ හැඟුම් දැනෙන්නේ හදට නොවේද?
අන් හැඟුම් පසෙක තබන්න. දුක වේදනාව වැනි හැඟුමක් මතක් කරන්න. එය දැනෙන්නේ හදට නොවේද? 

හදවත බර වෙන්නේ ඒ නිසා නොවේද? 

හදවතට සියුම් වේදනාවක් දැනෙන්නේ ඒ නිසා නොවේද? 

විටෙක කෙනෙකුගේ හදවත පැලී යන්නේ ඒ නිසා නොවේද? 

ඒ නිසා සිතකුත් හදකුත් ඈ වෙනුවෙන් ඇති නම් එය ඈට ශක්තියක් නොවන්නේ කුමක් නිසාද?

එහෙත් තවම පිලිතුරු නැත. ඈ කෙබඳු ලියක් ද?

එරට මහරු විසිතුරු මැද
මෙරට ඔබට අමතක වේදෝ
එසේ වුවොත් නොපැතු ලෙසේ
මට ඉන්පසු සිතක් නැතේ
මට ඉන් පසු හදක් නැතේ

මේ ඉගෙන ගන්න ගිය ලියක්ද? රැකියාවක් කරන්න ගිය ලියක්ද? සංචාරයකට ගිය ලියක්ද? කෙසේ වෙතත්, ගියේ රැකියාව කරන්නට වුවත්, ඈ මෙකල මැදපෙරදිග ගොස් කඹුරන අපේ සහෝදරියන්ගේ ගොන්නට නම් අයිති නොවන බව ඒ කාලය ගැන හිතද්දීත් මේ ගීතයෙන් මැවෙන අනෙකුත් කරුණු ගැන හිතද්දීත් මට හැඟේ. ඈ එහි යනුයේ සමහර විට ඉගෙනුම සඳහා විය හැකිය. සමහර විට සංචාරයක් සඳහා විය හැකිය. එහි සිටින නෑසියන් වෙත විය හැකිය. නැති නම් මේ අද යන අය මෙන් නොවන වෙනත් උසස් වෘත්තීයකට විය හැකිය. දැන් ගැටළුව එය නොවේ. ඒ රටේ සුන්දරත්වයෙන්, සුඛ විහරණ වලින් ඈ සිත දැමුන හොත්, ඈ එම සුවයම සොයා එහි නවතීද යන්නය? එහෙත් ඈ නැති තැන ඔහු කොහින්ද? ඔහු සිටියත් ඔහුට සිතක් නැති වනු ඇත. හදක් නැති වනු ඇත.

මේ සොඳුරු ගීතය වඩාත් සොඳුරු කිරීමට හේතු වූයේ එහි සංගීත වියමණ සහ ගායන සැරසිල්ලයි. මේ සංග්‍රහයන් දෙකම කරණුයේ එකම එක පුද්ගලයෙකු විසිනි. ඔහු නම්  

ආචාර්ය වික්ටර් රත්නායක
යින් ය.

සත් සමුදුරු තරණය කොට ගීතය අසා යමු.



කවදා කොතැනකදෝ
කෙලෙසකදෝ
අතීත ආත්මයක
මා ඔබ දුටුවේ

ඔහුට ඈ ගැන මතකය ඡායාවක් මෙනි. ඔහු ඈ දුටුවේ කෙලෙසකද? කොයි කාලෙකද? කවර ආත්මයකදීද? මතකයේ ඇති ඡායාව අනුව නම් ඒ බොහෝ ඈත ආතම භවයකදී විය යුතුය.

සීමා රහිත වු සෙනේ දාමයෙන්
ඔබ අප එක් වී සිනාසුනා යැයි
සිහිනයකින් මෙන් මතක තියේ

මේ මතක තුළ ඇති ඡායාවෙන් කියැවෙන දේ අනුව නම්, සීමා රහිත වු සෙනේ දාමයකින් ඒ දෙදෙන එක්ව සිනා සුනු බවට ඇති මතකයකි. එහෙත් එය ඔහුට මතක ඇත්තේ සිහිනයකින් මෙනි. නිසි විස්තර රහිතව සිහිනයක දුටු දෙයක් සේ යන්තම් මතකයකි එය.

සුළඟ වගේ මුදු දසැඟිලි තුඩගින්
මා හිස නළවා නිදි ගැන්වී යැයි
සිහිනයකින් මෙන් මතක තියේ

සිහිනයක් වැනි මතකයක ඡායාවක් සේ තවත් බොහෝ දේ ඇත. එහෙත් ඒ බොහෝ දේ ඔවුන්ගේ එම ආත්ම බවයේ සමීප හැසිරීම් ගැන ය. එහි එක මතක ඇබිත්තක ඇත්තේ ඇගේ ඇකයේ ඔහු හිස රඳවා සියැඟිලි තුඩින් සෙමෙන් හිසකේ පිරිමැදි අයුරුය. එහෙත් ඒ කුමන ආත්ම භවයකදීද?

කඳුළු කුණාටුව නෙතින් දරාගෙන
ඔබ අප දෙදෙනා වියෝ වුණා යැයි
සිහිනයෙකින් මෙන් මතක තියේ

මේ තරම් සමීපව සිට වියෝ වුණු බව පවා ඔහුගේ මතකයේ ඇත්තේ අමතකත් නැති මතකත් නැති සිහිනයක ඡායාවක් සේ ය.

අපමණ සෙනෙහසකින් බැඳී සිටි ඔවුන්ගේ වියෝව ගැන ඔහු මේ කියනු ඇත්තේ ඇත්තක්මද? එවන් අපමණ සෙනෙහසක් මේ විදිහට අමතක කළ හැකිද? නැති නම් මතකයේ ඡායාවක් සේ අපැහැදිලිවන තරමට ගිලිහී යයිද? ක්ෂය වී යයිද? එසේ විය නොහැකිය. එබැවින් ඔහු ගීතයේ 

සිහිනයෙකින් මෙන් මතක තියේ

යනුවෙන් කියන්නේ සත්‍යයම නොවේ. අනෙකකි. ඔහු සිතින් වැලපෙනවා නියතය. එහෙත් ලොවට දක්වන්නේ සියල්ල අමතක කර ඇති සෙයකි. බොහෝ පිරිමි සිත් වේදනාව සඟවාගෙන ලොවට සිනාසෙන්නේ එලෙසිනි.

මේ ද බණ්ඩාර කේ. විජයතුංගගේ රචනයකි. එහි සොඳුරු තනු නිර්මාණය සහ සංගීත පැළඳුම 

සංගීත නිපුන් සනත් නන්දසිරි  
ගෙනි. ගැයුම  

 රෝහණ සිරිවර්ධන 
ගෙනි. 

කවදා කොතැනකදෝ කෙලෙසකදෝ ගීතය අසා යමු.



මේ අතරේ මට මතක් වන්නේ මිල්ටන් මල්ලවාරච්චි විසින් ගයනු ලබන මතු දැක්වෙන ගීතයයි. එය පෙර  


මිල්ටන් 
විසින් ගයනු ලැබූ සරල එහෙත් සුන්දර ජනප්‍රිය කුලකයට ඇතුළත් නොකළේ මෙහි එවන් ලකුණු පෙර ගී කුලකයට වඩා අඩු යැයි මට සිතුන බැවින් නොවේ. සටහන් සඳහා ගීත තෝරා ගැනීමේදී මට ඇවැසි හැඟීම් ලබා දෙනු වස් මා ඒ ගීත මේ සටහන් සඳහාම යම් යම් මට අවැසි කුලකයන් තුළට ගොනු කළ බැවිනි. 

මේ ගීතය ද සරල සුන්දර විරහ ගී කුලකයට ඇතුළත් කළාට වරදක් නැත. එහෙත් ඒවාගේ ඇති හැඟීම් සරල නැත. සුන්දරද නැත. සිත්හි වේදනාවන් ජනිත කරවන සුළුය. එහෙත් ඒ වේදනාව උපන්නේ ආදරය නිසා බැවින් ආදරයේ වේදනාව තුළ අමුතු සුන්දරත්වයක් ඇත.

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්
දිය ඇඳි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වදුලක සැඟව ගියාදෝ

මේ කවියෙකුගේ බිඳුනු පෙමක් ගැනය. කවියෙකුගේ බිඳුනු පෙමක් යැයි කියන්නේ අන් දෙයක් නිසා නොවේ. ඈ වෙනුවෙන් දහසක් ගී ලියන්නට කවියෙකුට හැර අනෙකෙකුට බැරි නිසාවෙනි. පෙම්වතා කවියෙක් වුව, අවසාන් ලැබීම වේදනාව බව මෙයින් පසක් වෙයි. වෙනසකට ඇත්තේ, කවියා ඒ වේදනාව පළ කරන්නේද කවියෙන්ම වීමයි. ඔහු තමන් තුළ දුක වඩවා, එ් දුක පාලනය කර සොඳුරු වචන තුළට කවයි. ඔහු එළියට දාන්නේ ශෝක රසය බහා ලූ කවි ගී මිස, කඳුළු නොවේ. ඒ කවි ගී ඇසීමෙන් රසිකයා තුළ ශෝක රසය වැඩෙයි. කවියා අතේදී ශෝකයත් රසයකි. ශෝක රසය අන් කිසිම රසකට නොදෙවෙනි රසයකි. සමහර විට අන් සෑම රසයක්ම ඉක්මවූ රසයකැයි කීවද නිවැරදිය. අන් රස විවිධ තැන් වලට දැනේ. ශෝක රසය ග්‍රහණය කරගනු ලබන්නේ සිතෙන් වුව, ශෝකය පිළිබඳ සිතුවිලි උපදින්නේ සිතෙහි වුව, එය දැනෙන්නේ හද ට ය. රිදෙන්නේ ද හද ය.

බණ්ඩාර කේ. විජයතුංග සිත සහ හද යන දෙකම සිය ගීත වලට යම් යම් තැන් වල යොදා ගෙන ඇත්තේ මේ නිසා විය යුතුය.

දෑත් එකතුකොට මහවැලි ඉවුරේ
ගෙවූ සැඳෑවන් අමතක වීදෝ
තුරු සෙවනැලි යට නිසල නිහඬ වූ
දෑස් කතාවන් අමතක වීදෝ

කවියාගේ මේ ප්‍රේමය සරසවි පෙමක් ගැනද? එසේ සිතුනේ මහවැලි ඉවුරේ ගෙවූ සැඳෑවන් ගැන ලියැවී ඇති බැවිනි. 

 මහවැලි නදිය 
මට මතක හැටියට සැතපුම් දෙසිය හතක් හෝ දෙසීය අටක් දිගය. එතරම් දිගු ගඟක දෑලවරේ පෙම් රැඟුම් රඟන්නට කොතරම් නම් තැන් ඇතිද? එහෙත් හිතේ කාවැදුනු සිහිනයක් බඳු හේතුවක් නිසා මතක් වෙන්නේම මහවැලියේ, පේරාදෙණි මල්වත්ත මැදින් ගලනා කොටස පමණි. මේ විවිධ පෙම්වතුන් මහවැලියේ අර දිගු ඉවුරු දෑලේ කොතැනක පෙම් රැඟුම් රඟන්නට ඇති වුව මට හැඟෙන්නේ ඔවුන් මේ උයනට සීමා වූ කොටසෙහිම ගැවසෙන්නට ඇති බවයි.

යළිත් වතාවක් ඔබේ සිඟිති රුව
නොදැකම සදහට නෙත් පියැවේදෝ
සසර පුරා යන මේ දිගු ගමනේ
කවදා කෙලෙසක යළි හමු වේදෝ

කේසේ වෙතත්, ඒ සියළු රංගන කෙලවරකට පැමිණ ඇත. එහි පැමිණි, පෙමින් වෙළුණු, සතුටු වුණු, හැඬූ, වැලපුණු, ආදරය එහි තබා ගිය, ආදරය යළි රැගෙන ගිය දහස් ගණන් පෙම්වතුන්ගෙන් බොහෝ පෙම්වතුන්ගේ පෙම් කතා කෙළවර වූ විදිහටම, ඔවුන්ගේ කතාවටද අවසන උදාව ඇත්තේ ඛේදජනක බවකි.

ඉතින් ඒ සොඳුරු රුව යළි කෙදිනක හෝ ඔහුට දකින්නට ඉඩක් ලැබෙනු ඇතිද? නැතිනම් නොලැබෙනු ඇතිද? නොලැබුණොත් මරණය තෙක්ම එලෙස ඈ දැකීමට ඇති ආශාව හදවතේ තුරුළු කරන් ඔහුට සිටින්නට සිදුවෙනවා නොවේද? බණ්ඩාර කේ. විජයතුංග සරල සුන්දර ලෙස, නමුත් ඒ හැඟීම සිය කවියට ඇතුළත් කර ඇති අයුරු කොතරම් අගනේද? ඔහු මේ පෙන්වන්නේ ඔහු සතු පරාසයයි. ඔහු එහි එක් තලයක කොටු නොවෙයි. ඔහු අපටද අනුමත කළ හැකි, අපටද විඳිය හැකි විවිධ තල වල නිදහසේ සරා ඇති බව පෙනෙයි.

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල් ගීතය අසමු.



සඳමුතු මල්දම් සිරස පැළඳ ගෙන
ඉඳුසැව් දෙබැමින් අනඟ හීය ගෙන
මම එමි ඔබ වෙත හෙට දිනයේ

දැන් නිතර නොඇසෙන මේ සුන්දර ගීතය ද බණඩාර කේ. විජයතුංගගේ රචනයකි.  
 සුජාතා අත්තනායක 
ගේ අති සුන්දර ගී අතරේ වැජඹෙන මේ ගීතය හැඩ වී ඇත්තේ 

 ඔස්ටින් මුණසිංහ
 යන් ගේ සොඳුරු සංගීතයෙනි.

සත් සමුදුර වුව තරණය කර එමි
ගිනි ගත් කතරට වුව ද නොබා එමි
ඔබ යන සැම තැන සෙවණැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා තබන්නෙමි

ගේහසිත දිවියේදී දෙදෙනෙකු අතර පැවතිය යුත්තේ මෙවැනි සම්බන්ධයකි. ඇයට ඔහුගෙන් හිමි විය යුත්තේ මෙවැනි රැකවරණයකි. සෙනෙහසකි. එවන් සෙනෙහසක් ඈ වෙනුවෙන් ඔහුට පුද කළ හැක්කේ, අනිවාර්යයෙන්ම ඈද ඔහුට එවැනිම සෙනෙහසක් පුදන්නේ නම් පමණි. එබැවින් මෙහි එක් පසෙක අදහසක් කියවුණද, නොකියූ අනෙක් පස කතාව එහි ම යටි පෙළෙහි සැඟවී එඇත.

ජීවිතයට අන් පැතුමක් නොමැතිය
යා යුතු අන් කිසි මඟකුත් නොමැතිය
එකම පැතුම සහ එකම මගද මට
ඔබ ගැන ඇති එක සිතුවිල්ලයි

ඔහු තුළ ඈ කෙරෙහි වන දැඩි තීන්දුවද එහි ම වෙයි. දැඩි තීන්දුව යැයි කීවේ ස්ථිර සාර බව ගැනය. නොවනස් බව ගැනය. 

ඈ හැර අන් පැතුමක් ඔහුට නොමැතිය. ඈ සමග යන ගමන මිස අන් ගමනක්ද නැත. ඔහු සිත තුළ ඈ පමණය. කෙනෙකුට එලෙස සිතෙන්නේ ඈ සිත තුළද ඔහුම පමණක් බව ඔහුට දැනෙන විටදීය.

සඳමුතු මල්දම් සිරස පැළඳ ගෙන ගීතය අසමු.



ඉතින් බණ්ඩාර කේ. විජයතුංගගේ ගී ගැන වන තවත් සටහනක අවසානය සනිටුහන් කිරීමට ළං ව ඇත. තවත් සටහනක අවසානය ලෙස කීමෙන්ම මේ ඔහු ගේ ගී ගැන කියන අවසාන සටහන නොවන බව ඔබට පැහැදිලිය. ඒ අවසාන සටහන ඉදිරියට ය. මේ සටහන අවසන් කිරීමට පෙර අතිශය මියුරු ගීයක් ගෙන ඒමට රිසිමි. නොදන්නා ගීතයක් නොවේ. එහෙත් යළිත් බලන්න එය කොතරම් නම් මියුරු ද කියා.

හමුවෙමු සුවබර තවත් සැඳෑවක
අතිනත ගන්නට සයුරු තෙරේදී
කවුරුද එ් දින උදා කරන්නට
අප අවුරා ඇති පවුරු බිඳින්නේ

ඔවුනගේ පැතුම නම්, ආදරයේ නිදහස රජයන තැනක මොහොතක් තනි වීමටය. එවැනි තැනක් ඇත්තේ කොහිද? සයුරු තෙරක සැන්දෑවක එවන් නිදහස් විදිය නොහැකිද? ඇත්තටම එය එවන් යුවලකට සොඳුරු අවකාශයකි. 

එහෙත් ඒ හැඟුම් ඒ පැතුම් එලෙසින්ම ඉටු වේද? එය ඉටු වීමට නම් යම් කෙනෙක් ඔවුනගේ මග අවුරා ඇති පවුරු පදනම් බිඳිය යුතුය. එහෙත් ඒ කවුරුන්ද? ඒ පවුරු පදනම් බිඳින්නට තරම් තවමත් ඔවුන් ශක්තිමත් නොමැති හැඩය.

දිව යමු පැහැබර මැණික් තලාවෙක
සසලව දිදුලන තරු වියනක් යට
කෙලෙසද දෑතට දෙපයට ලා ඇති
විලංගු ගලවා නිදහස් වන්නේ

එවන් තැන් ඇත්තේ සයුරු තෙර පමණක් නොවේ. තවත් එවන් සුන්දර තැන් බොහෝය. ඇත්තටම නම් දෙපැත්තක සිටින පෙම්වතුනට මොහොතක් එක් වන්නට ලැබේ නම් කතරක් පවා සුන්දර සේ දැනෙනු ඇත. ඒබැවින් දිස්නය දෙන මැණික් තලාවක්, දිදුළන තරු වියනක් ඒ ගැන තවත් වැඩි කතා කුමකටද?

එහෙත්, පරිසරය තරම් ඔවුනගේ කතාව සුන්දරද? දෙපයට  විලංගු ලා ඇති නම් ඒ සුන්දරත්වයෙන් ඔවුනට ඇති ඵලය කුමක්ද?  ඒ විලංගු වලින් ඔවුනට මිදෙන්නට හැකි කෙදිනද? කෙලෙසද? පිලිතුරක් නැති, ප්‍රශ්ණාර්ථයක් පමණකි එය.

හිනැහෙමු සෙනෙහස හදේ රඳාගෙන
පොපියන මල් මෙන් වසන්ත පවනේ
කෙදිනද ගනඳුරු රැයක් ගෙවී ගිය
අරුණළු රැස් අප දෙදෙන දකින්නේ

ඔවුනගේ සෙනෙහස ප්‍රකාශ කළ නොහැකිය. ප්‍රසිද්ධ කළ නොහැකිය. හැකියාව ඇත්තේ හදේ දරාගෙන සඟවා ගෙන සිටීමට පමණි. එහෙත් ඒ සෙනෙහස හදේ දරාගෙන හිනැහීමටය ඔවුනට අවැසි. හිනැහෙන්නට ඇවැසි ඔවුන් හිනැහෙන්නට රිසි ඔවුන් හිනැහෙන්නේ කෙලෙසින්ද? ඔවුනගේ දිවියට උදා වී ඇති අඳුර දුරහැර අරුණු කිරණ දහරක් ඔවුන් කෙසේ නම් දකින්නද?

මේ සොඳුරු පද රචනාව සොඳුරු ගීතයක් බවට පෙරලන්නේ 
සංගීතඥ සේන ජයන්ත වීරසේකර ය. ඔහු නම් සොඳුරුතම සංගීතඥයෙකු බවට මා කීවොත් එය දහතික කරන්නට අවැසි තවතක් එකම එක උදාහරණයක් පමණකි. ඒ උදාහරණය නම්, වික්ටර් රත්නායකයන් ගේ සිහිල් සුළං රැල්ලේ ගීතයයි. එය නිමැවී ඇත්තේ සේන ජයන්ත වීරසේකර විසින් පෙර නිර්මිත තනුවකට බව සමහරුන් තවමත් නොදනී.



සංගීත නිපුන් සනත් නන්දසිරි  
 සමඟ ශිල්පිනී  
 මල්කාන්ති නන්දසිරි 
එම ගීතය ගායනයෙන් හැඩ කරයි.

ඒ සොඳුරු බව විඳගෙනම, අදට සමුගනිමු.




-      යසනාත් ධම්මික බණ්ඩාර    -




4 comments:

  1. නියමයි යසනාත්! හැමදාම කියන දේ තමයි අදත් කියන්න තියෙන්නේ ! (මේවා එකතුකරලා ලස්සන පොතක් කරන්න !)
    .
    මෙහි ඔබ සකජ්ජාවට භාජනය කල එක ගීතයක් මම මේ විධියටම අත්දැකීමෙන්ම විඳලා තියෙනවා....
    .
    සත් සමුදුරු තරණය කර
    දුරු රටකට වඩින්නියේ
    මගේ සිතත් මගේ ගතත්
    ඔබත් සමග රැගෙන යන්න
    .
    එරට නුහුරු පරිසරයක
    විලාසිනියෙ ඔබ තනි වේදෝ
    එවිට සිතනු මැනවි ලියේ
    ඔබෙ තනියට සිතක් ඇතේ
    ඔබෙ තනියට හදක් ඇතේ
    .
    එරට මහරු විසිතුරු මැද
    මෙරට ඔබට අමතක වේදෝ
    එසේ වුවොත් නොපැතු ලෙසේ
    මට ඉන්පසු සිතක් නැතේ
    මට ඉන් පසු හදක් නැතේ
    .
    මේය නම් බණ්ඩාර කේ. විජයතුංගයන්ගේ සොඳුරුම ගී පද රචනයක් බව කිසිදු තර්කයක් නැත. සංගීත පාර්ශවය හා ගායන පාර්ශවය ද ඊටත් නොදෙවෙනි යි.

    ReplyDelete
  2. සඳ මුතු මල් දම් ගීතයේ තනුව ඔස්ටින් මුණසිංහයන්ගේ නොව ටී.එෆ්. ලතීෆ් මාස්ටර් ගේ බව සුජාතා මහත්මිය පැවසූ හෙයින් ඒ ගීතය යූ ටියුබයෙන් ඉවත් කර අලුතින් ඇතුළු කිරීමට සිදුවිය.
    මේ ඒ ගීතයයි..

    https://youtu.be/_OkXnLpacAs

    හමුවෙමු සුවබර තවත් සැඳෑවක මුල් ගීතයයි මේ..

    https://youtu.be/zMD8cy9R9Ak

    ඔබේ අගනා සිතුවිලි සටහන අංගසම්පූර්ණ කරනු වස් මේ ගීත ඇතුළත් කරනු මැනවි..

    ReplyDelete