Monday, May 30, 2016

මිදි ද ඇඹුල් වන ලොවක මෙසේ - දිගු කල් වසමුද රන් රස සේ......




අපි පසු ගිය සටහන වෙන් කළේ ගේහසිත දිවියෙහි වන විවිධාකාර වූ හැල හැප්පීම් පාදක කොටගෙන ලියූ ගී ගැන විමසුමක් කරන්නටය. ඒ උත්සාහයේදී ඒ සටහන ලියා අවසන බැලූ විට එය සම්පූර්ණයෙන්ම දයා ද අල්විස් කිවිඳිය විසින් ලියූ ගී කිහිපයක් ගැන විමසුමක් පමණක් විය. අද මෙම සටහනේදීද ඇය ඔබට හමු වනු නිසැකය.


දයා ද අල්විස්  

සේම  


ලූෂන් බුලත්සිංහල  
යන නාමය ද මේ වන් ගී ගැන කතා කිරීමේදී ප්‍රමුඛ  තැනක කියැවෙන නමකි. ඔහු විසින් ලියා ඇති එවන් වෙසෙස් ගී කිහිපයක්ම වන බැවිනි. මේ එවන් එක් ගීතයකි.

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුණේ

ගඟක් කවුරුවත් කියා දුන් මඟක නොගොස් සාදා ගත් මගක ගමන් කරයි. කොයි දෙසට ඇදෙනවාද කොයි දෙසට දිවෙනවාද කොයි හෙළින් පහළට වැටෙණවාද ආදිය ගැන ගඟ කිසිත් නොදනී. තමන් යන මං පෙතේ මුහුණ පානා කඳු හෙල් ගිරි දුර්ග වන දුර්ග තැනිතලා ආදී විෂමතාවන් පසුකරමින් ඇදෙන විට කොතැනකින් සයුරට වැටේදැයි ගඟ නොදනී. එහෙත් යම් තැනකදී එය සයුරට වැටෙයි.

ජීවන ගමනේ අප යන ගමන් ඊට වඩා යම් වෙනසක්  වේ නම් ඒ යම් සැලසුමක් අපට වන බැවින් පමණි. එහෙත් එවන් සැලසුම් සෑම විටම ඒ අයුරින්ම ඉටුවේද? ජීවන ගමනට දීර්ඝ සැලසුම් හැදුවද ඒ සැලසුම් කෙටි කාලීන සැලසුම් බවට ඉබේම පත් වෙයි. අවසන බැලූ විට සැලසුමට පිටින් සිදු වූ දේ අපමණය. ඇගේ දිවි ගමනේද ඔහුගේ හමුවීමද සැලසුමකින් තොරව සිදුවූවා බඳුය.

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුණේ
මා හද විල පතුලෙන් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ

ආදර මලක පුසුඹ ඇය නොදන්නවා විය නොහැක. එහෙත්, ඈ හදේම පතුළෙන් නැගී පිපුණු ඔහු පිළිබඳ ආදර මල ගැන ඇයට ගැටළුවක් වන්නේ ඇයි? එය පිලිතුරු සෙවිය යුතුම ගැටළුවකි. පළමු අන්තරා කොටසේ නැති පිලිතුර දෙවෙනි අන්තරා කොටසේදී හමු වනු නිසැක ය.

මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුණේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුණේ

ඈ දිවිය මල් වැලක් නම් ඒ මල් වැල ඉපදී ඇත්තේ කටු ගසක් ළඟය. ලියලා ඇදී එතී මල් පුබුදා ඇත්තේද ඒ කටු ගසෙහි ම ය. එලෙසට ම වේදනා දෙන්නටය ඈ අත් ඔහු අතැඟිලි අතරේ බැඳුනේ. වේදනාව නම් බැඳුනේ රැඳෙන්නට වුව නොරැඳී ගිලිහෙන්නට වූ බැවිනි.
ආචාර්ය වික්ටර් රත්නායක 
යන්ගේ තනුව හා සංගීතයෙනි මේ පද රචනය තවත් අර්ථ ගැන්වෙන්නේ. ඒ ගීතයට සිය හැඟුම් බර හඬ එක් කොට ගීතය ගීතයක් නොව ආත්මයක් කරණුයේ ගායන ශිල්පිනී  


නිරංජලා සරෝජිනී පීරිස්  
විසිනි.
මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතය අසමු.




රත්න ශ්‍රී විජේසිංහයන් මෙලෙස ලියයි.

හීසර සේම නැගි  තියුනු බැල්මේ
ඒ දෑස උතුරන නිලන කැල්මේ
අනුහසින් මම සැඟව ගන්නෙමි
ඔබෙ ලයේ දෑතේ ලතා ගුල්මේ

ගේහසිත ජීවිතය මේ අයුරින් දකින්නට බිරිඳකට හැකි නම් ඇයට ගේහසිත දිවිය දිනන්නටත් හැකි වනු ඇත. එහෙත් එය සුළු පටු කරුණක් නොවේ.

මනා ඉවසීම...  අවබෝධය.... මෘදු හැඟුම්.... සෙනෙහස හරිම මාත්‍රාවට මුහු කළොත් පමණක් ලැබෙන අසීරු නමුත් අපූරු ජයකි එය.

අපමණ සෙනෙහස මුදු මෙළෙක පිරුණු ඔහු දෑසම ය විටක හී සර සේ ම රුදු බැල්මෙන් ඈ දවනුයේ. එහෙත් ඔහු හදේ රළු බවට යටින් ඇති මුදු බව ඈ දන්නා බැවිනි ඈට නැවත ඒ හදේ සෙනෙහෙ සිසිලේ දැවටෙන්නට හැක්කේ, ලතාවන් වැනි යුගබාහු තුළ තෙරපෙන්නට හැක්කේ. එසේම ඒ දෑසම විටෙක රුදු බවින් දැවෙනු දැක ඇයද එලෙසම රුදු විනි නම් මේ ජය ඇයට අහිමි වනු ඇත. එම ජය ඔහුට ද අහිමි වනු ඇත.

බිරිඳක් ගේහසිත දිවිය දිනන්නේ නම් එය ඇයගේ තනි ජයක් නොවනු ඇත. එය ඔහුටද ජය ගෙනෙයි. මේ ජය යනු අනෙකක් නොව සතුටය. ගේහසිත දිවියේ සතුට වගා කිරීම් බිරිඳකට පමණක් කළ හැකි දේකැයි මා නොකියමි. එහෙත් ඇය එහිදී තීරණාත්මක සාධකය වෙයි.

පමා වී එත දොර හරින්නට
පැන නොවිමසා - මුදු සිනා සෙන්නට
නිදි මත දරා ගෙන බත බෙදන්නට
කුමරුනේ මට හැකිය තාමත්

දවසක ඔහු පැමිණෙන්නේ තරමක් රෑ බෝවී ය... තවත් දවසක එය මැදුම් රැය ඉක්මවන්නක් විය හැක. මෙහි සඳහන් නොවෙතත් සමහර විට ඔහු මුවින් ආදර සුවඳ වසාගෙන මධුපැන් සැරක් වහනය වනු ඇත. එලෙස එන ඔහු යක්ෂයෙක් කරන්නේද නැතිද යන්න තීරණය වනුයේ ඈ අතිනි. මෙහි සඳහන් වනුයේ කුමක්ද?

පමා වී පැමිණියත් දහසක් පැන නොවිමසා, චෝදනා පත්‍ර ගොනු නොකර, සැකයේ පතුළේ උපදින කුරිරු විස බුබුළු ඔහු වෙත නොහෙලා එම අවස්ථාව දරමින් උදහසින් තොරව බැලීමට ඇයට හැකි බවය. සුව නින්දේ පසුවෙමින් දවසේ වෙහෙස දිය කර හෙට උපදින කටුක දිනට සූදානම් වෙන්නට ඈට ඇති හෝරා කිහිපය අහිමි වුණැයි නුරුස්නා මුහුණු නොපා එලෙස පැමිණෙන සැමියාට බත බෙදන්නට ඇයට හැකි බවය.

හිතේ ඇමිණුනු කටු අයින් කොට
ඔබෙ දෙපා උනු දියෙන් තවන්ට
බිලිඳකුව සැතපෙනු බලා ඉන්නට
කුමරුනේ මට හැකිය තාමත්

ඔහු මෙලෙස පමා වී එන්නේ සමහර විට අතිකාල සේවය නිසා විය හැක. දිවියේ ද රාජකාරියේ ද විවිධ දුක්ඛ දෝ මනස්සයන් හිතේ ඇමිණුනු එරමිණියා බඳුය. මධු විතක්තොළ ගෑවේ නම් මිතුරන් හා..... මධුවිතෙන් අනතුරුව දොඩමළු වී නම් ඔවුන් හා.... වාද විවාදයේ පැටලී රෑ බෝවී බසය මග හැරී පයින්ම නිවසට පැමිණියේ ප්‍රමාද වී නම්.... ඔහු මෙලෙස ඒ කාලය ගත කළේ සතුට පිණිස ම නොව හිතේ යම් සැහැල්ලුවක් පිණිස බව වටහා ගන්නට ඈට හැකිය. එසේ පැමිණෙන ඔහුට මුදු මෙලකින් සංග්‍රහ කිරිමෙන් තරම් හිතේ කටු ඇනුනු තැන්වල වේදනවා සුව කරණ අන් විදිහක් ඈ නොදනී.

මෙම ගීතය ඇසෙන විට මට මතක් වන්නේ 

 රත්න ශ්‍රී 
ම ලියූ මාලිනී බුලත්සිංහල ගයන තවත් ගීතයකි. එය සංගීතවත් කළේ එච්. එම්. ජයවර්ධන සංගීතඥයින් විසිනි. එහි පද රචනය මෙලෙසය.

මට සමා වෙන්න හිමිසඳුනේ මෙහෙම කියනවට
ලෙඩ ඇඳේ ඉන්න නුඹ බිළිඳෙකු වගෙයි අහිංසක....

එම රචනයෙන් කියවෙන්නේද ආදරණීය  බිරිඳක තම ස්වාමියා දෙස හෙළන මෘදු බැල්මය. මට සමාවෙන්න හිමි සඳුනේ ගීතය ඇසූ සැනින් එය  

 මාලනී බුලත්සිංහල 
නම් බිරිඳ විසින්  


එච්. එම්. ජයවර්ධන 
නම් සිය ස්වාමිපුරුෂයාට ගැයූ ගීතයකැයි හැඟුනත් එම ගීතය තුළ වෙසෙන්නේ වෙනත් යුවලක් යැයි මට සිතුනි. ශානිකා ගේ මේ හීසර සේම ගීතයේ සිටින්නේත් ඒ යුවලමය. ඒ යුවල කවුරුන්ද?

රත්න ශ්‍රී ගේ මේ ගීත වලට පන දෙන ආකාරයේ ගැහැණියක් පිළිබඳව මම දැන සිටියෙමි. එම ගැහැණිය ගැන රත්න ශ්‍රී මට වඩා හොඳින් දැන සිටියේය. එබැවිනි මේ සා සංවේදීව ඒ ගැන ලියනුයේ. රත්න ශ්‍රී ට ඒ සා සිතගිය සංවේදී වුණු ඒ ගැහැණිය කවුරුන්ද?

ඒ අන් ගැහැණියක නොවේ. රත්න ශ්‍රී ගේ ම ප්‍රිය බිරිඳ වූ හේමමාලි අක්කාය. හේමමාලි අක්කා රත්න ශ්‍රී ට මෙවන් බිරිඳක් වූ බව මම දැන සිටියෙමි.

රත්න ශ්‍රී ලියන බොහෝ ගීත වල සැඟවී හේමමාලි අක්කා අප දෙස බලා සිටී. ඈ ගැන ඔහු ගැන දන්නා අයට එය රහසක් නොවේ.  ඈ ඔහුට එලෙස සත්‍ය වශයෙන්ම දැනුනු හෙයින්ම මිස නොදැනී සිතා මතා නම් මෙවැනි ගී ලිවිය නොහැකි බව ස්ථිරය.
විශාරද ශානිකා සුමනේකර 
 මෙම ගීතය තෝරා ගත්තේ කුමන හේතුවක් ඇතිව දැයි නොදනිමි. එහෙත් ඈ එම ගීතය තෝරාගැනීම ගැන අප ඈට කෘතඥවිය යුතුය.
මේ පදරචනයට සංගීත නිර්මාණයෙන් ඉටු වූ සාධාරණය කුමක්ද? එය ඉටු කළේ කවුද?

එය සංගීතවත් කර ඇත්තේ මේ යුගයේ සිය සංගීත නිර්මාණ ඔස්සේ වෙසෙස් සේවයක් කරණු ලබන 

දර්ශන වික්‍රමතුංග  
සංගීතඥයා විසිනි. දර්ශන ගේ එම මහඟු සේවය වෙනත් දිගු සටහනක් මඟින් වෙනම කතා කළ යුතුය.

හීසර සේම නැගි  තියුනු බැල්මේ ගීතය අසමු.


ඉහත ගීතයේ මෙන්, සිය මද මුදු බවින් අවබෝධයෙන් ගේහසිත දිවිය ජයගන්නට බැරු වුණු කල ඇති වන තත්වය කුමක්ද? නිතර අඬ දබරය. කෑ ගැසුම් ය. බැණ අඬ ගැසුම්ය. ගහ මරා ගැනීම්ය.

ගේහසිත දිවියේ වරද බිරිඳක ගේ පිටම පැටවිය නොහැක. එය සැමියෙකුගේම පිටත් පැවරිය නොහැකිය. සමහර විට ඒ දෙදෙනාගේම වරද විය හැකිය. සමහර විට එක් අයෙකුගේ වරද විය හැකිය. එහෙත්, කවුරුන් වරද කළත්, සාමය කඩවී හිත් රිදෙයි. හිත් බිඳෙයි. දත් කැඩෙයි. අඬු කැඩෙයි. ජීවිතද අහිමිවෙයි. නැති නම් යුග දිවිය අහිමි වෙයි. මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් ලියූ විශාරද නන්දා මාලිනිය ගයන මේ ගීතය බලන්න.

දෙතොළම පුපුරා ලේ ගැළුවා
දෙකොපුළ නිය පහරින් වැසුනා
ගත සිත පා මුළ වැඳ වැටුණා
පතිනි වරුන් ප්‍රාර්ථනා කරණා
දිව්‍ය ලෝකයද මේ.....

මේක දිව්‍ය ලෝකයක් විය හැකිද? එය අපායකි. එහෙත් ගීතයෙන් එසේ විමසන්නේ ඔවුන් දිව්‍ය ලෝකයක් වැනි යුග දිවියක් ප්‍රාර්ථනා කළ නිසාය. බලාපොරොත්තුව එකකි. ප්‍රතිඵලය අනෙකකි.

මධු පැන් ඔඩමේ පතුලේ කිමිදී
කාගේ දෝ රූපය සොයමින්
සැකයෙන් ඇයි මා ගරහන්නේ
මන්ද නිදොස් මා රිදවන්නේ.....

ඔහු ගෙදර එන්නේ හොඳටම බීගෙනය..... බීගෙන ආ විට මාතෘකාව ඇය ජීවිතේටවත් නොදත් ඔහගේ සැක සංකා ලෝකයේ ඈ සමග සැරි සරණ කිසියම් පිරිමියෙකු ගැනය. රටේ ලෝකේ අහල පහල සකල විධ පිරිමි ඇයට පාවා දෙන්නට අනතුරුව ඔහු කටයුතු කරයි. එහෙත් අන් ළඳක් සමග වෙන ඇඳක තුරුළුව සිටින ඔහු ඇගේ අතටම හසු වුනත් එය ප්‍රතික්ෂේප කරයි.

අපට අපේ යැයි රහසක් තිබුණිද
එක් කෙනෙකුන් වූ දිනේ පටන්
මිදි ද ඇඹුල් වන ලොවක මෙසේ
දිගු කල් වසමුද රන් රස සේ......



කිසිම යුවතියක් දීගෙක යන දිනයේදී මෙවන් අත්දැකීමක් සිය විවාහ ජීවිතයේදී ලබන්නට බලා පොරොත්තු නොවෙයි. ඒත් බොහෝ යුවතියන්ට වන්නේ මෙවැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට ය.
දෙතොළම පුපුරා ලේ ගැළුවා ගීතය අසමු.



මේ, ගේහසිත දිවියේ සෘජු ගොදුරක්ද? වක්‍ර ගොදුරක්ද?

මධු බඳුන් දෙතොල්
විෂ බඳුන් කළේ
නිර්දය වු මිනිසුනේ ඔබයි
නිල් උපුල් නුවන්
ගිනි උඳුන් කළේ
නිර්දය වු මිනිසුනේ ඔබයි

ඇගේ දිවියම වනසා ඇත්තේ ඔවුන් ය. ඇගේ මුදු බව ඔවුන් සොරා ගෙන ගොස් ඇත. ඒ වෙනුවට ඈට ඔවුන් දී ඇත්තේ රුදු බව ය.
ගීතයේ ඊ ළඟ කොටසින් අපට යම් ඉඟියක් දෙයි. ඒ අනුව එය ගේහසිත දිවියේ සෘජු ගොදුරක්ද? වක්‍රාකාර ගොදුරක්දැයි සිතා ගත හැකි වෙයි.

සියුමැලි මා සිත තලා පෙළා රවටා
සිවු සැට මායම් ඔබයි කියා දුන්නේ
මියුලඟනක වූ මා මුදු හද රිදවා
වෛර කරන්නට ඔබයි කියා දුන්නේ...

දැන් නම් අපට පෙනෙනුයේ ඇය යුග දිවියක සෘජු ගොදුරකට වඩා වක්‍ර ගොදුරක් බවයි. නොදන්නා ඈ ඔවුනගේ රැවටුමේ පැටළුණු බවයි. අනතුරුව අනෙකුන් රැවටීමේ මායම්ද  කියා දුන්නේ ඔවුන් ම බවයි. ආදරය පෙන්වා නොමේරූ ඇය විනාස කොට, ආදරය කරණු වෙනුවට වෛර කරන්නට ඉගැන්වූයේ ඔවුන් ම බවයි.

රුදුරු සැපින්නක සේ හද ගැබ කලඹා
ද්වේශ කරන්නට ඔබයි කියා දුන්නේ
නොමැකෙන කැළලින් නොනිවෙන ගිනි මොලවා
වරදෙ බැඳෙන්නට ඔබයි කියා දුන්නේ....

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නිර්මලා රණතුංග

මධු බඳුන් දෙතොල් ගීතය අසන්න.



තවත් කොටසකින් හමුවෙමු.



-      යසනාත් ධම්මික බණ්ඩාර   -

6 comments:

  1. "මේ ගඟ මේ දුරු කතර ගෙවා"

    මා බොහෝම ප්‍රිය කරන බොහෝම සුන්දර ගීතයක්.

    ReplyDelete
  2. /////සියුමැලි මා සිත තලා පෙළා රවටා
    සිවු සැට මායම් ඔබයි කියා දුන්නේ
    මියුලඟනක වූ මා මුදු හද රිදවා
    වෛර කරන්නට ඔබයි කියා දුන්නේ...///////

    කැමති ගීතයක කැමතිම කොටසක්.

    ReplyDelete
  3. විශිෂ්ටයි.... අවසන් ගීය දකිද්දී මෙතනට නොපෑහෙන ඒ ගීයට පැහෙන ගීයක් සිහි වුනා. සුනිල් එදිරිසිංහයන් ගයන " නොතැවෙන්න නොහඩන්න...."....
    ජය....!

    ReplyDelete
  4. ලිපි දෙකම කියෙව්වා. අපේ හිතට සමීප ගීත ගැන ලියන මෙවැනි ලිපි කියවන්න හරිම කැමතියි. විශිෂ්ට සටහනක්.

    ReplyDelete