Sunday, January 10, 2016

වෙනදාට ලියන ආකාරයේ සටහනක් නොවේ.





ගීත රස වින්දනය පිළිබඳ පළමු හැඟීම මා තුළ ඇති වන්නට ඇත්තේ අපේ අම්මාගෙන් ම විය යුතුය.
අපේ අම්මා මා නළවනු වස්, සනසනු වස් බොහෝ කවි ගී ගයන්නට ඇතැයි සිතෙන්නේ අනතුරුව මා ඇගේ මුවින් ඇසූ නැළවිලි ගී කවි රැස නිසාවෙනි.
ඈ මා හට ගී ගයනු මට මතක නැත. එහෙත් ඈ මල්ලිලා දෙදෙනාටත්, අනතුරුව අහල පහළ පුංචි දරුවන්ටත්, ඊටත් අනතුරුව ඇගේ ම මුණුපුරු මිණිපිරියන් වන අපේ ම දූ පුතුන්ටත් ගැයූ නැළවිලි ගී කවි කොතෙක්ද යන්න මා දන්නා නිසා, සිය පළමු දරුවා වන, මා හට ඈ ගයන්නට ඇති නැළවිලි ගී කවි කොතෙක්දැයි මට සිතා ගත හැකිය.
ඈ දැන් මියගොසිනි. ඈ මිය ගොස් දෙවසරකටත් ආසන්න වෙමින් පවතී. එහෙත් මතකය තුළ ඇත්තේ තාමත් ඈ මිය නොගියා සේය.
මේ ඈ ගැන සටහනක් නොවේ. වෙනත් දෙයක් ගැන වෙනස්ම සටහනකි. ඔබ සටහන දුරට කියවා ගෙන යන විට, මේ සටහන අම්මාගෙන් පටන් ගත්තේ ඇයි දැයි සමහර විට ඔබ සිතනු ඇත. මට සිතෙන්නේ වෙනත් විදිහකටය. අම්මාගෙන් පටන් නොගන්නේ මොකක්ද යන්නයි. ඒ නිසාම, අම්මාගේ මතකය අවදි කරමින් වෙනත් සටහනක් වෙත පිවිසුම ගැනීම කිසි ලෙසකිනුඳු වරදක් විය නොහැක.
සටහන දිගට ලිවීමට පෙර, ඉසිඹුවක් සඳහා ගීතයකින් විරාමයක් දීම මගේ පුරුද්දකි. එබැවින්, අම්මා ගැනම සඳහන් වන ගීතයක් මෙහි ඇමිණීමට සිතේ.
අපේ අම්මා මට මතකය. අම්මාගේ මතකය මට ඉතා පැහැදිලිය. එහෙත් අම්මා ගැන මතකය පැහැදිලි නැති කී දෙනෙක් වෙයිද? ඒ අපැහැදිලි මතකය සහිත දරුවන් තුළ කුමන වූ ආකාරයක නම් චිත්ත පීඩාවක් ඇතිද? එවන් මතකයක් පිළිබඳව අපේ සිතේ සංවේදීම තැන් අවදිකොට අපිව හඬවන්නට සමත් ගීතයක් අසන්නට ඇති නම් යෙහෙකැයි මට සිතුනි.

මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත
ඒ ඔබ බව දනිමි

මේ ගීතයේ මේ වදන් පෙළ අසන දකින වාරයක් පාසා මගේ ඇඟේ හී ගඩු පිපේ. ඒ හැඟීම අම්මා පිළිබඳ මතකය ඡායාවක් පමණක් නොවූ අපට මෙලෙස දැනේ නම්, අම්මා පිළිබඳ මතකය ඡායාවක් පමණක් වූ අයට කෙලෙස නම් දැනෙනු ඇතිද? ඒ ගැන මට හිතා ගැනිමටවත් නොහැකිය.
මේ ගීය ලියා ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන ය. 


සංගීතවත්කොට ඇත්තේ ද ඔහු විසින් ම ය.
ක්ලැරන්ස් ගේ මේ ගීතය ම කොතරම් නම් සෑහේද ඔහු තුළ සිටි ගීත රචකයාගේ  පරිකල්පන ශක්තිය පසක් කිරීමට.
මෙය ක්ලැරන්ස් ගේ අත්දැකීමක්ද නැති නම් අත්විඳීමක් දැයි මම නොදනිමි. අත්දැකීමක් නම්, මා පෙර කී ලෙස ඔහු විඳි අනන්ත චිත්ත පීඩාව පිට කිරීමට ඔහු කළ වෑයමේ වටිණාකම අපමණය. අත්විඳීමක් නම්, එය මේ සා සාර්ථකව අන් හදවත් කම්පා කරන්නට සේ ම අන් දෑස් කඳුළින් තෙත් කරන්නට තරම් සමත් වීම අදහාගත නොහැකි තරම් ය. වෙසෙසින්, සමාන අත්දැකීම් හෝ අත්විඳීම් නැති හදවත් පවා මොහොතකට ගල්ගස්සවන්නට, ඔවුන් තුළ උගුර හිරවෙනවාක් වැනි හැඟීමක් ඇති කිරීමට සමත් ය.

ගීතය ගයනු ලැබුවේ ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා විසිනි.



ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී

මේ සියල්ල වෙන්නට ඇතැයි අනුමානයක් පමණම ය. මතකය තුළ ඒ ගැන හාංකවිසියක් නැත.
ඒවා එසේම සිදුවන්නට ඇත්තේමය. සෑම මවක්ම එසේය. එහෙත්, ඒ පිළිබඳව මතකයක් වත් නැති කල, එය විඳගන්නේ කෙසේද?

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි

ගී පද , තනුව සහ සංගීතය- ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා

පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි ගීතය අසා යමු.



වෙනත් බොහෝ දේවල් වල සේ ම රසිකත්වයේද පළමු පාඩම මට කියා දුන්නේ ඈ ම, අම්මා ම විය යුතුය.
ඊ ළඟ මතකය නම්, මා ඉතා ළා බාල වියේදී ම ඔවුන් විසින් මා රංග ශාලාව වෙත ගෙන යාමයි. මනමේ, සිංහබාහු නැරඹුවේ නැතත්, ඒ ගී පද, නාද රටා මට ඇසුනේ අත දරු වියේදීමය. එය මසිත ඇති කරන්නට ඇති රසය කොතෙක්දැයි මට මැණිය නොහැක. එහෙත් සිතුවිල්ලක් ඇත. 
ඊ ළඟ මතකය නම් මගේ පුංචි අම්මා ය. වික්ටර් ගේ 


ප්‍රසංගය නැරඹීමට කුරුණෑගල පුරහලට ඈ විසින් මාව රැගෙන ගියේ මට යන්තම් අවුරුදු 7ක් පමණ කාලයේදීය. ආචාර්ය වික්ටර් රත්නායකවික්ටර්, වික්ටර් කියා මිතුරෙකුට සේ ඇමතුවේ ඔහුට ඇති ගෞරවයේ අඩුවක් නිසා නොවේ. එකල්හි සිටි රසිකයින්ගේ මුව රුව් දුන් ඔහු හැඳින්වීමේ ආදරණීය කෙටි නම වික්ටර් වූ බැවිනි. එදින මා ලද, මා හට නිසි ලෙස විස්තර කළ නොහැකි අමුතුම රසවත් හැඟුම පසු කාලීනව මා ගීතය වෙත කොතෙක් බැඳ තැබීදැයි මට වදනින් විස්තර කළ නොහැකි ය.
මේ සියල්ලම හා සැම තන්හිම තැබිය හැකි ඊ ළඟ දේ නම්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, පළමු සහ දෙවැනි සේවාවන් ය. 


ඊටත් පසුව රජරට සහ කඳුකර සේවාවන්ය.
ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගැන වෙනමම ලිපි රැසක් ලිවිය යුතුය.
ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගැන වෙනමම ලිපි රැසක් ලිවිය යුතුය යන මගේ ඒ ප්‍රකාශයට සිනහ නොවනු මැණවි. මා කීවේ අපේ පුංචි කාලයේ අපට ඇසුනු ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගැන ය. ඒ ගුවන් විදුලිය අපිට නම් අති දැවැන්ත එකක් විය. හරියටම මුළු සිරිලකටම සෙවන දුන් මහා නුග රුකක් සේ විය. එහෙත්, ක්‍රමයෙන් ක්ෂීන වී ගොස් අද නොදැනෙන තරම් ය. පසු කලෙක ශ්‍රී ලංකා ගුවන් විදුලිය වසා  නැගුණු පෞද්ගලික නාලිකා ද, අපිට නම් නොදැනෙන තරම් ය.
මේ වට පිටාව තුළ, එහි අඩුව යම් මට්මකට සපුරන්නට, අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක විවිධ ගුවන් විදුලි නාලිකා බිහි වී ඇත. දැන් දැන් පෙනී යන කරුණ නම්, ඒ ගුවන් විදුලි නාලිකා තමනට හැකි මට්ටමින්, පැරණි ගුවන් විදුලිය දැරූ වගකීම් දරන්නට පුරුදු වෙමින් සිටින බවයි.
අළුත් නිර්මාණ රසික සවන්පත් වෙත ගෙන යාමට, නිර්මාණ කරුවන් හා රසිකයින් අතරේ පාලමක් ඉදිකිරීමට ඒවා වෙහෙසෙන බව දැක ගත හැකිය. ඒ ගැනද යම් අධ්‍යනයකින් පසුව වෙනමම කතා කළ යුතුය.
මේ සටහන ලියවෙන්නේ එවන් අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවක් වූ සියහඬ” සමඟ මා කළ කතා බහ අඩංගු දිගුව ඔබ වෙත පෑමටය. එය වත් පොතේ පිටු අතරේ ලියා තබන්නට පමණක් සිත් නොවුණේ කාලයේ වැලි තලාවට වඩාත් ඉක්මණින් යටවන හෙයිනි. මේ විදිහට ලියා තැබූ විට යටවීම සිදුවන්නේ සෙමෙන් සෙමෙන් වන බැවිනි. එසේ යට වුවද සාපේක්ෂව යළි සොයාගැනීමේ පහසුව එහි වඩාත් වැඩි බැවිනි.
සියහඬ  ( https://www.facebook.com/siya.handa.9 ) ට ගොඩ වෙන්නට


නයනසේන වන්නිනායක කවි සොයුරා මා හට ඇරියුම් කළේ එම වැඩසටහනේ ඇරඹුම් අවස්ථාවේදීම ය. එහෙත්, බොහෝ හේතු වරින් වර එහි ගොඩ වීමට මා සොයා ගත් අවස්ථා මට අහිමි කළේය. ඒවාට හේතුද මම එහි කියා ඇත්තෙමි. කෙසේ වෙතත් අවසන එහි ගොඩවන්නට යෙදුනි. මේ එහි දී අප අතර වුණු කතා බහයි.

-         යසනාත් ධම්මික බණ්ඩාර   -

4 comments:

  1. රචනාව අගෙයි.......... අැහැට කදුලක් ගේන ගීතයක්..... අම්මා.... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී......

    ReplyDelete
  2. Lokaya anathuru dayakai swabawa darmayath viparithai

    ReplyDelete
  3. යසනාත් ඔබ ලියන්නේ සිත නිවන දේවල්. ඔබ සහජ Therapist කෙනෙක්

    ReplyDelete
  4. බොහෝමත්ම ස්තුතියි. හැකිතාක් ඒ සීමාව තුළ සිටිමින් ලියන්නට උත්සාහ ගන්නවා.

    ReplyDelete