Monday, May 11, 2015

නන්නාඳුනනා සුළඟක් සහ තවත් සුළං.......


ගීතයකට රූප රචනයක් ඇවැසිමද යනුවෙන් කෙනෙක් ඇසුවොත් මගේ නම් උත්තරය වන්නේ නැත යන්නයි. එවැන්නක් අත්‍යවශ්‍ය නැත. එහෙත් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්  රැසක් ඇති වර්තමාන පරිසරයේදී ගීතය කිසියම් රූපමය ස්වරූපයකට ගොනු වීමෙහි වැදගත්කමක් ද ඇත. ඒ සඳහා රූප රචනයක් හෝ එවැනි යමක් අවශ්‍ය වෙයි.

පෙර කල ගීතවලට රූප රචනා කිරීම හෝ රූපවාහිනයේ පෙන්වීම සඳහා එය යම් රූපමය හැඩයකට ගැන්වීම කරණු ලැබුයේ අදාල රූපවාහිනී වැඩසටහනේම නිෂ්පාදනයක් ලෙසිනි. සමහර විට එය ගායකයා හෝ ගායිකාව වාද්‍යවෘන්දය සමග හිඳුවා ගීතය ගැයීමට සැලැස්වීම රූපගත කිරීම වෙයි. නො එසේ නම් ගායකයා හෝ ගායිකාව බාහිර සුන්දර පරිසරයක හිඳුවා ගීතය ගයන අයුරු රූපගතකිරීම කරණු ලැබිනි. පසුව අරුතට යම් සපාතවීමක් වන සේ රූප රචනයක් කරණු දැකගතහැකි වින.
කෙමෙන් සියල්ල වෙනස් වුණි. ගීතය පටිගත කොට රූප රචනාවද නිමකොට ගෙනගොස් දීමේ තැනකට ක්ෂේත්‍රය යොමු විනි. අනතුරුව එය අධික මුදලක් හුවමාරු වන ගණු දෙනුවක් බවට පත් වුණි. ප්‍රතිඵලය නම් අතමිට සරු අයෙකුට හැර මියුසික් වීඩියෝව නම් වන උස අත්තක පිපි මල අනෙකෙකුට නෙලාගත නොහැකි වීමයි. මක් නිසාද යත් හුවමාරු කරගත යුතු මුදල එක් ගීයකට ලක්ෂ තුන හතර සමහර විට ලක්ෂ පහ ද ඉක්මවන මට්ටමකට ඉහළ ගොස් තිබීමය.

ඉතින් උදාවී ඇත්තේ අළුත් හෝ පැරණි භේදයකින් තොරව කිසිවෙකුගේ ගීත තමන් වියදම් නොකොට රූපගැන්වෙන ක්‍රමයක් නොමැති වීමය. මේ නිසා බොහෝ ගීත රූපවාහිනී මාධ්‍යයට ඒම නැවතුණි. අනතුරුව මියුසික් විඩියෝව නම් වන බොහෝ නිර්මාණයන්හි ගීතය එක් දෙසකටත් රූප රචනය තවත් දෙසකටත් යන අපබ්බ්‍රංශය බිහිව ස්ථාවර වුණි.  ඉතින් කළ හැකි දෙයක් නොමැත්තේ නිහඬවූවන් බොහෝ ය.

මේ අතරේ යූ ටියුබ්, ෆේස් බුක් වැනි විකල්ප මාධ්‍ය හරහා යම් පිලිතුරක් මතුවෙමින් තිබුණි. සමහර ආධුනික නිර්මාණකරුවන් විවිධ මෘදුකාංග උපයෝගී කරගනිමින් පින්තූර සහ විඩියෝ දර්ශන උපුටමින් ගීත වලට රූප රචනා කරන්නට යොමු වීම දැකගතහැකි වුණි. මේ අතුරින් බහුතරය මෙලෝ රහක් නැති ඒවාය. එහෙත් ඉන් සමහරුන් යම් ප්‍රශ්ස්ථ මට්ටමක් හොයමින් යහ ඇසින් බලා සිය කාර්යය ඉටුකිරීමෙහි යෙදෙන බව දැක ගත හැකි විය. එවන් කෙනෙක් දෙන්නෙක් ගැන යමක් ලිවිය යුතුය යන්න සිතමින් සිටින විටකදී ය බණ්ඩාර බෙලිකැටිමුල්ල ගේ පෝස්ටුවක් ෆේස් බුක් හි ඇස ගැටුණේ. එහි වූයේ ඔහු කළ මියුසික් විඩියෝවකි. ඔහු එහි හැඳින්වීම ලියා ඇත්තේ මෙලෙසිනි.

මෑතකදී අහම්බෙන් අසන්නට ලැබුණු අපූරු ගීතයකට මා ඉතා ඇලුම් කලෙමි.
"යු ටියුබයේ" සැරි සරා සොයාගෙන අමුවට ගලපාගත් රූප පෙළ ඉතාම ප්‍රාථමික එකකි. මේ අපූරු ගීතය "ලියූ" "ගැයූ"කිසිවෙකු මා සමග උරණ නොවේ යැයි සිතමි.

නයනසේන වන්නිනායක 


ගේ නන්නාඳුනනා සුළඟක් නම් ගීත රචනය සංගීතවත් කළේ මා මිතුරු කරුණාරත්න විජේවර්ධන විසිනි. 


එය ගායනා කර ඇත්තේ අමරසිරි පීරිසුන් විසිනි. 


එය ඉතා හැඟුම්බර සොඳුරු ගියකි. එහෙත් මේ සටහන ඒ ගැන කතා කිරීම නොවෙයි. ඒ ගීතය සදහා ඉහත හැඳින්වීම කරමින් බණ්ඩාර බෙලිකැටිමුල්ල විසින් කර තිබුණු වීඩියෝව ගැනද එමෙන්ම එවැනිම තවත්  නිර්මාණයක් දෙකක් ගැනද තමන් අසා පෙම් බඳින ගීත වලට විඩියෝ නිර්මාණ කරණ තරුෂිකා සෙව්වන්දි නම් වන සොයුරිය ගැනද යමක් කීමටය.
බණ්ඩාර බෙලිකැටිමුල්ල සිය හැඳින්වීමේදි "යූ ටියුබයේ" සැරි සරා සොයාගෙන අමුවට ගලපාගත් රූප පෙළ ඉතාම ප්‍රාථමික එකකි ලෙසින් සිය විඩියෝව පිළිබඳව ප්‍රකාශයක් කරයි. ඒ ඔහුගේ නිහතමානී කමයි. මේ අමුවට කළ රූප රචනය නැරඹීමට පෙර එම රූප රචනය කළ ගීතය කොපමණ සොඳුරු හැඟුම්බර  එකක් දැයි බැලිය යුතුයි. ඒ නිසා ගීතය අසා කතා කරමු.


මේ ගීතය ඇරඹෙන්නේ පියානෝ වාදන ඛණ්ඩයකිනි. පියානොවේ  යතුරු පුවරුව මත වේගයෙන් දුවන වාදකයාගේ අතැඟිලි රූප නැතුවත් දෙසවනින් දැකගත හැකිය.

දැන් මෙය රූපයෙන් පෙන්වීම ලෙහෙසි දෙයක් වනු ඇතිද? පියානොව හඬවමින් යතුරු මත අතැඟිලි දුවන වේගය නිරූපනය කරන්නේ කෙලෙසද? පියානෝ වාදනයේ හඬ උස් පහත් වෙමින් අවරෝහණ ප්‍රවාහයක යෙදෙන දිගු වාද්‍ය ඛණ්ඩ සඳහා ඔහු කෙලෙස රූප සොයා අමුණාවිද? එවැනි රූප ඛණ්ඩ ඔහුට තියේවිද? අතරමගදී තනිව ඇසෙන වයලීන ඛන්ඩ ( Violin solo parts ) කිහියක් ම වෙයි. එවැනි වයලීන වාදන ඔහු කෙසේ සොයාගනීවිද?ඒවා ගීයේ හැඟීමට කොතෙක් සමපාත වනු ඇතිද? ගීතයේ අරුත නිරූපනය වන රූප රාමු ඔහු කොහෙන් සොයා ගනීවිද? යළිත් ඒවා ගීතයේ හැඟීම් නොනසා සුසංයෝගී වේවිද?

මෙම ගීතය ඇසූ ඔබ එය ඇත්තෙන්ම අභියෝගයක් සේ සලකනු නිසැකය. දැන් අප සෙවිය යුත්තේ බණ්ඩාර බෙලිකැටිමුල්ල 


රූපරචනය නම් සැතින් ගීතයේ බෙල්ල කපා ඇතිද? නැත්නම් සිය රූප රචනය නම් ආභරණය ගීයේ ගෙලට පළඳා අලංකාරයක්ව ඇතිද යන්නයි. අපි ගීතයේ එකී විඩියෝව නරඹා නිගමනයකට එමු.



රූප රාමු එහෙන් මෙහෙන් සොයා අමුවට අමුණා නම් මෙවැනි නිර්මානයක් කළ නොහැකි බව මට නැවත නැවත සිතේ. ඒ සඳහා ඔහු වෙහෙසී සොයන්නට ඇති බව සිතේ. ගීතය නැවත නැවත අසමින් විඳිමින් වඩා සුදුසු රුප රාමු සොයන්නට ඇත. ඒවා තත්පර දශමයෙන්දශමයට කපමින් රාමු එහාට මෙහාට කරමින්, රාමුවෙන් රාමුවට පනින විදිහ සහ පනින වේගය සකසමින් වඩා සුදුසු දේ සොයන්නට ඇත. නොඑසේ නම් කිසි සේත් මෙවැන්නක් නිර්මානය නොවනු ඇත.

මා මුළින් කියූ ඒ ඒ වාද්‍ය ඛණ්ඩ වලදී ඔහු තෝරාගෙන ඇති වාදකයින්ගේ රූප රාමු අනුව ඒ වාදන මේ ගීතය සදහාම වැයූ ඒවා සේ පෙනෙන තරමට සුමටව ඡේදනය වී ඇත. ඒවාගේ “ටයිමින්”සුපිරිවට සිදුව ඇත. එමෙන්ම ගීතයේ අන්තර්ගත කතාන්දරයට අදාල වන රූප රාමු පෙළක්ද ඔහුට හමුව ඇත.

මේ නිර්මාණය පිළිබඳව ඔහු යමක් නොකියා පළ කළේ නම් මේ එම ගීතය සඳහාම අදාල නිර්මාණකරුවන් මැදිහත්ව කළ රූප රචනයකැයි සිතෙන තරමටම එය සියුම්ව කර ඇත.

බණ්ඩාර විසින්ම අමුවට කල එකක් යැයි කළ සදහන් කිරීම ඔහුගේ නිහතමානීත්වය ප්‍රකාශවෙන වදන පෙළක් ලෙස මම සලකන බව නැවත ප්‍රකාශකරමි. එහෙත් ඉන් නොනවතින බලාපොරොත්තුවක්ද ඔහු කෙරෙහි ඇති කර ගනිමි. එනම් ඒ වදන් තුළම ඔහුට තවත් වෙසෙස් නිර්මාණ කිරීමේ ඇති හැකියාවද එයින්ම කියාපාන බවයි. ඉතින් අපි බණ්ඩාර විසින් එවන් වෙසෙස් නිර්මාණ පෙළක් ගෙනෙන තුරු බලාගෙන සිටිමු.
= = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =
ගීත වලට කෙරෙන බොහෝ රූප රචනා ගීතයට කිසිසේත් බද්ධ නොවන ඒවා බව සමහර ගීතවලට කළ රූප රචනා විමසන කල පෙනී ගොස් ඇති වග ඉහත මවිසින් සඳහන් කරන්නට යෙදුනි. එහෙත් එසේ වූ පමණින් රූප රචනය නම් වන තවත් නිර්මාණයක් හා බැඳෙන නිර්මාණ වර්ගය නොතකා ක්‍රියාකිරීමටද සැමවිටම නොහැකිය. මේ නිසාම මගේ ගීතයකට විඩියෝවක් සෑදීමට මා ගත් උත්සාහයක්ද සදහන් කරමි. ඔන්න එය නම් පෙර බණ්ඩාර බෙලිකැටිමුල්ල කළ හැඳින්වීමට නියමෙට ගැලපෙන එකකි. එහෙන් මෙහමන් අහුලා ගත් පින්තූර ටිකක් ( විඩියෝ නොවේ ) අමුණා විඩියෝවක් කළ අවස්ථාවකි එය. කෙසේ වෙතත් ඒ පින්තූර මගේ ගීතයේ හැඟීම් වලට හැකි තාක් ගැලපෙන සේ මවිසින් තෝරාගතිමි. සෑදූ විඩියෝව ප්‍රාථමික ගණයේ එකක් වුව එහි මගේ හද ගැස්ම නිරූපනය වන නිසා මම ඊට ප්‍රිය කරමි.

මේ ගීතයේ පද පෙළ මෙලෙස වෙයි.

නුඹ ළඟින් සිටිදා කියන්නට බැරි වුණු
කටු අකුරු කැබලිති
හරියටම නොලියුන
කවියක්ව ලියැවුනු හුදෙකලා මේ රෑ
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳි නම්
අනේ නුඹ අනේ නුඹ...

ගීතය තුළ ඇති කම්පනය හැකිතාක් රැකෙන සේ මම එය කරන්නට උත්සාහ ගතිමි. එයට නිසි සංගීත විඩියෝවක් වියදම් කොට කිරීමේ හැකියාවක් මා සතුව නොපවතින හෙයිනි.

රස ගී තනන්නට සිතුනු දා
හද විලම කළඹා
දී තැවුල් රිදවුම්
ගී කලල උදුරා
ගී සිතට වද දුන්
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ
අනේ නුඹ...

මේ එම ප්‍රාථමික රූප රචනයයි. ප්‍රාථමික රූප චදනා යනු මේවාය යනුවෙන් බණ්ඩාර බෙලිකැටිමුල්ල ට මම මෙලෙස උදාහරණයක් සපයමි.


පසුව එයට සුදුසු වීඩියෝවක් නොමැති අඩුව පිරිමසා දුන්නේ සෙව්වන්දි තරුෂිකා නැගණිය විසිනි. එම ගීතය සඳහා ඇය සැකසූ වීඩියෝව මෙහි අමුණන නමුදු මට විශේෂයෙන් කතා කළ යුතුව ඇත්තේ ඈ මගේ ගීය සඳහා සෑදූ මෙම විඩියෝව ගැන නොවේ. වෙනත් එකක් ගැනය. එහෙත් ඉහත මගේ ගීතයට ඈ කළ වීඩියෝව නරඹා කතාව දුරට ගෙනියමු.



පෙර ගීතයට මවිසින් සෑදූ විඩියෝව සේම මට අවංක රූප රචනයක් මවිසින්ම කර ගත් තවත් අවස්ථාවක් මෙහි අමුණමි. ඒ ගීතය සඳහාද මවිසින් එහෙන් මෙහෙන් අහුලා ගත් පින්තූර භාවිතා කළ මුත් ඒවා පරෙස්සමින් යොදා ගනු ලදිමි. මගේ හැඟුම් මවිසින්ම මරන්නට අකමැති බැවිනි. මරා දැමුණු  තම හැඟුම් සහිත රූප රචනයක් දකින්නට කිසිදු නිර්මානකරුවෙක් කැමති නොවනු ඇත. එවන් ගී රැසක් ඇති මා එය හොඳාකාරවම දනිමි.

මේ කියන දෙවැනි ගීතයෙහි  පද ඇරඹෙන්නේ මෙලෙසිනි.

රාත්‍රිය
උවමණාකර තිබේ
නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න
කණාමැදිරියනි
එපා ගෙට එන්න
රාත්‍රිය
උවමණා කර තිබේ
වැල පෙන්න

මේ එම ගීතය සඳහා මවිසින් සාදන ලද විඩියොවයි. නැවතත් මතක් කරණුයේ එයද ප්‍රාථමික මට්ටමේ විඩියෝවක් බවයි. එහෙත් එහිද මගේ හැඟුම් නොනැසී පවතින බැවින් මා එයටද ප්‍රියකරමි.


මේ ප්‍රාථමික ගණයේ නිර්මාණ දෙකින් පසු නැවත යොමු වන්නේ පෙර බණ්ඩාර බෙලිකැටිමුල්ල සෑදූ විඩියෝව හා සම මට්ටමේ ලා සැලකිය හැකි නිර්මාණයක් වෙතය. එම ගීතය ගැයුවේ විශාරද ශානිකා සුමනසේකර විසිනි. 


අමා සූරියබණ්ඩාර ගේ රචනය සංගීතවත් කර ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි.



මේ ගීතයේ පද යෙදෙන්නේ මෙලෙසිනි.

කාන්දු වෙන්නට නොදී හිතේ පිරි හීන හැංගුවේ මං
තීන්දු වෙන්නට නුඹේ හදේ මට පිනක් තියේවිද යම්...

ලොවට වහං වී නෙළූ හීන මල්
තාමත් සුවඳයි ඉතිං
කොහොම පුදන්නද ඈත දුරින් හිඳ
නුඹට පණ වගේ මං.....

මේ ගීතයේ ඇත්තේ ගැමි පරිසරයක දිගහැරෙන ප්‍රේමයකි. එමෙන්ම එහි ආදරයද ආදරය හා බැඳුනු ශෝකයද බලාපොරොත්තුවද බලාපොරොත්තු සුන්වේය යන දෙගිඩියාවද වැනි මිශ්‍ර හැඟීම් එහි ගැබ්ව ඇත. වෙනත් රූප සහිත විඩියෝ ඛණ්ඩ යොදාගෙන මේ ගීතයට විඩියෝවක් කරන්නේ කෙලෙසින්ද යන්න කෙනෙකු වීඩියෝවක් සදන්නේ නම් ඔහුට හෝ ඇයට  ඇති අභියෝගයයි. එම අභියෝගය ජයගතහොත් සොඳුරු වීඩියෝවක් නිම වෙයි. නැති නම් ගීතයේ අරුතට පරිබාහිර වෙනත් දෙයක් රූපයෙන් නිරූපනය වනු ඇත. එහෙත් මේ විඩියෝව බලන්න.



මා පෙර කී ගීතයේ අන්තර්ගතයට බද්ධ රූප රාමු මනාව ගැලපීමෙන් එය නිම කිරීමට සෙව්වන්දි තරුෂිකා සමත්ව සිටී. එයින් අපට සොඳුරු සංගීත විඩියෝවක් ඉතිරිව ඇත. ඇය අපට රූපය මතු නොව ගීතයද ඉතිරි කර දී ඇත.

මා ඇගේ සංගීත වීඩියෝ නිමවුම් ගැන මෙහි මීට වැඩියෙන් කතා කරන්නට නොයමි. ඇගේ නිර්මාණ ගොනුව වෙත පිවිසුම පමණක් ලියා තබමි.


තම කාලය වැය කරමින් ඔවුන් මෙහිදී ඉටුකරන්නේ තමන් විඳි ගීත වෙනුවෙන් පෙරලා යමක් දායාද කිරීම පමණක් ම නොව. පෙර ලෙස තමන්ට වීඩියෝවක් මුදල් යොදවා කර ගත නොහැකි නිසා ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් නොවන සොඳුරු ගීතවලට විකල්පයක් වෙමින් සංගීත වීඩියෝ නිපදවීමේ මහා අඩුවට යම් පිලියමක් යෙදීමයි.

බණ්ඩාර බෙලිකැටිමුල්ල, සෙව්වන්දි තරුෂිකා......
තව තවත් හැදෑරීමෙන්
අවදියෙන්
විමසුමෙන්
සෙමෙන් සෙමෙන්
සොඳුරු නිර්මාණ රැසක් අපවෙත පුදන මෙන් ඇරියුම් කරමි. එතෙක් කළ දේට ස්තුතිවන්ත වෙමි.


-        යසනාත් ධම්මික බණ්ඩාර   -

8 comments:

  1. ස්තූත්යි අය්යා මගේ ඇස්වලට කඳුළු අවා .. ඔබ වැනි මහා නිර්මාණ කරුවෙකුගේ ඇගැයීම ලැබීමට තරම් මා පින් කර තිබුන බව දැනුනා..ඔබ වැනි මිනිසෙකුට පැසසුම් කරන්නට මගේ දුප්පත් සබ්ද කෝෂයේ වචන නේ අය්යේ
    ඔබටත් ඔබ වැදූ මවු පියන්ටත් පින් පතමි


    බණ්ඩාර බෙලිකැටිමුල්ල

    ReplyDelete
    Replies
    1. මට ලොකු ඔයාගේ නිර්මාණය. එතකොට ඒක කළ කෙනා පුංචියි කියා හිතමු. ඒ පුංචිවීම අදාලවෙන්නේ නෑ. ඔහු මට ලොකු මිනිහෙක් අවම වශයෙන් ඒ නිර්මාණ සඳහාවත්..

      Delete
  2. මට නම් ඉහත වීඩියෝ වල ප්‍රාථමික බවක් පේන්න නැහැ. තාක්ෂණික අතින් යම් ප්‍රමාණයක් ගැටළු තිබුත ගීතයකින් එන හැඟීම තැනෙන්න HD, dts තිබිය යුතු නැහැ..

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රාථමික කතාව තමන් විසින්ම කියා ගත්තේ බණ්ඩාර බෙලිකැටිමුල්ල. ඔහුගේ සහ සෙව්වන්දිගේ නිර්මාණ නම් මට ප්‍රාථමික බවක් පෙනෙන්නේ නෑ. හැබැයි මවිසින් මගේ ගීත සඳහා කළ නිර්මාණ වල තාක්ෂනය ප්‍රාථමිකයි. හැබැයි එය අරුතට සහ හැඟීම් වලට ගැලපෙන නිසා ඔබ කියන්නා සේ ඉන් රසයක් ජනිතවනවා ඇති.

      Delete
  3. මටත් තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි සිංදුවකට වීඩියෝ එකක් ඕනෑමද කියන එක ..මෙවැනි වටිනා ලිපි තවත් ලියන්න ඔබතුමාට ගක්තිය ලැබේවා !!
    ඔන්න මමත් සිංදුවකට රුප රචනයක් කළා මට දැනෙන විදිහට ..හැක්
    https://www.youtube.com/watch?v=BaEMlKdsFKg&feature=youtu.be

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඇත්තටම ඒ ගීත වල සහ රුප රචන වලින්, ගීතයකින් ලැබිය හැකි උපරිම රසයක් ලැබෙනවා කියල මට හිතෙනවා. ඔයාල හැමෝටම තවත් සාර්ථක සහ හොද නිර්මාණ කරන්න සුබ පතනවා.......

    ReplyDelete
  6. යසනාත්, මේ ගීතයමෙන්ම රූප රාමු පෙළත් අපූරු බව ඇත්ත. නමුත් ගීතයෙන් පැවසෙන දේ රූපාවලියෙන් නිර්මාණය වෙන්නේ නෑ. මේ බලන්න පද රචනය:
    නන්නා`දුනනා සුළ`ගක් නම්
    එය දරාගන්න තිබුණා
    දන්නා`දුනනා ප‍්‍රියංභිකාවිය
    හිත අවතැන්කොට
    සුළි සුළ`ගක් වී
    ඔබ යන්න ගිහින් තිබුණා

    ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා
    පිට ගින්නදර ගෙයි ඇවිල ගියා
    යළි ඉපදෙනු බැරි සස්වාමික පෙම
    පෑල දොරින් පලා ගියා

    කෙ`දිරිලි වරුසා ඇදහැලුණා
    මා හදවත දොරගුලු වැසුණා
    යළි සිපගනු බැරි නුඹේ ක`දුළු බි‘දු
    මා උරතලයේ ඉතිරි වුණා

    බිරිය තමන් හැරයෑම පිළිබ`දවකියන සැමියකුගේ ආත්ම කථනයක් බ`දුමේ ගී පද රචනය අපූර්ව ලෙස ඉදිරිපත් කිරීමට පද රචක නයනසේන වන්නිනායක සමත්ව තිබෙනවා. විප‍්‍රයෝගය, කම්පාව, වේදනාව වැනි සංකීර්ණ හැ`ගුම් සමුදායක් රසික සිත්හිජනිත වන පරිදි සංගීතය නිර්මාණය කිරීමට සංගීත ශිල්පියා සමත්ව තිබෙනවා. නමුත් එහි ඇතැම් තැනක සංගීතය නිතර අසන්නට ලැබෙන සාම්ප‍්‍රදායික ලකුණු පළ කරනවා. ආරම්භක පියානෝ ඛණ්ඩවල අවසාන භාගයේ වේගයෙන් වාදනය වන කොටස, සුළිසුළ`ගක් වී... යනුවෙන් ඇදෙන ස්ථානයේ සංගීත ඛණ්ඩය ආදිය උදාහරණයි. නමුත් පළමු කොටසින් පසුව වාදනය වන සංගීත ඛණ්ඩය මේ යුවළගේ ජීවිතයේ මුල් මිහිරියාවත් පසුව එවුන් හමුවට එන අභියෝගත් සංකේතවත් කරන්න සමත්ව තිබෙනවා. එහෙත් දෙවැනි කොටස සමග පසුබිමින් ඇසෙන සංගීතය මීට වඩා හැ`ගීම් දනවන එකක් විය යුතුව තිබෙනවා. තෙවැනි කොටසත් එය අදාළයි. මට මේ ගීතයේ මුල් පිටපතක් අසන්නට ලැබුණේ නැහැ. අන්තර්ජාලයෙන් අසන එම්පී3 ගීතයක සංගීතයට මෙබ`දු විවේචන කෙතරම් ගැලපේද යන්න ගැටලුවක්. අමරසිරි පීරිස්ගේ අපූර්ව ගායනයේ නම් මට දුබලකමක් පෙනෙන්නේ නෑ.

    මෙහි රූප රචනයට බෙහෙවින් වෙහෙස වි`ද ඇති බව නම් ඇත්ත. සංගීත ඛන්ඩවලට අපූරුවට ගැළපෙන්න වාදකයන්ගේ වීඩියෝ රාමු සොයාගැනීම පහස කාර්යයක් නෙවෙයි. ඇත්තටම හිතෙන්නේ මේ ගීතයටම කළ රූගත කිරීම් කියලයි. ගැටලුව තියෙන්නේ රූපාවලියෙන් කියන කතාව ගීතයෙන් පැවසෙන කතාවට පටහැණි වීමයි. මේ රූප පෙළෙන කියන්නේ නන්නා`දුනන කාන්තාවක නිසා විවාහක බිරිය හැර ගොස් අතරමං වන සැමියකු පිළිබ`දවයි. පද රචනයේ නන්නා`දුනනා සුළ`ගක් නම් එය දරාගන්න තිබුණා, දන්නා`දුනනා ප‍්‍රියංභිකාවිය, සස්වාමික පෙම පෑල දොරින් පලාගියා ඇතුළු යොදුම් නිසා ඉතා පැහැදිලියි මෙයින් පැවසෙන්නේ තම බිරිය බව කියා. ඒ නිසා මේ රූපාවලියෙන් ගීතයට එක්වන ආලෝකයක් නැති බවයි මට හැෙ`ගෙන්නේ. නමුත් කෑලි අමුණා කළ මේ රූපාවලියට වෙනම වටිනාමක් නම් තිබෙනවා.

    ReplyDelete