හන්තාන
සෙවනේ
රතු
මල් විමානේ
මොහොතක්
රැදී ඉන්න සුවසේ
අපි
දෙන්නා නෑ පිං කළේ //
සංකාව
දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ
හද දුක් දරා
සතුටින්
සිනාවෙන් නේවාසිකාගාරෙ
මට
ඉන්න බෑ නෙත් අයා
හන්තාන
සෙවනේ...
අඳුරේ
කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක්
දැණේ දස වටා
මගේ
සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම
එයි ඔබ කරා
හන්තාන
සෙවනේ... //
මෙහි රචනය පිලිබඳව මා කළ සෙවීමේදී මට ලැබුණු පිලිතුර මහින්ද අල්ගමය. එහෙත් එය වෙනත් රචිකාවකගේ යැයි තොරතුරක්ද දැනගන්නට ලැබුණි. එය මට දැන්වූයේ ගායිකා අනුපමා ගුණසේකර සොයුරිය විසිනුයි. එය ඇගේ නැන්දනියක් වන දැනට කෑගල්ල ප්‍රදේශයේ ජීවත් වන මැණිකේ වීරසිංහ නමැති මහත්මියකගේ රචනයක් බවය.එම තොරතුරු නැවත සොයද්දී ඒ බව තහවුරු විය. මා ඒ පිළිබඳව අනුපමාට ස්තුතිවන්ත වෙමි.
මේ ගීතයට සංගීත සත්කාරය කළේ කවුරුන්දැයි මුළින් මට මතක තිබුණේ නැත. එහෙත් එය විශාරද ගුණදාස කපුගේගේ නිර්මාණයකි. ඔහු වසර ගණන් පවතින සංගීත නිර්මාණයක් කර ඇති බව පමණක් පැවසිය යුතුමය.
මේ ගීතය නිතර
ප්‍රචාරය නොවුනද එදා සිට අද දක්වාම සෑහෙනට ජනප්‍රිය එකකැයි හඳුන්වතොත් එහි වරදක් ඇතැයි
නොසිතමි. එමෙන්ම ස්වර්ණලතා කවීශ්වර ගේ ගීත ගොන්නේ ඇති වඩාත්ම ජනතාව ප්‍රියකරන ගී
අතර මෙයද වන බව මට විශ්වාසය.
මේ ගීයෙහි මේ යුවල සොඳුරු හන්තාන අඩවියේ සැරීමට පමණක් වාසනාව ලැබූ එහෙත් හන්තාන සෙවනේ පෙමින් වෙලීමට වාසනාව නොලැබූ යුවලකි. හන්තාන අඩවියටත් ගොස් පෙම්වතුන්
වීමට නොලැබීම නම් කුමන වූ අවාසනාවක්ද?
වරෙක මට හිතෙන්නේ
පෙම් කරණවා නම් හන්තාන අඩවියටම ගොස් පෙම් කළ
යුතුය යන්නයි. හන්තාන අඩවියෙන් පරිබාහිර පෙමක්
තිබිය හැකි වුවද, ඒ පෙමද සුන්දර විය හැකි වුවද, එය සිහිනයක් සේ සුන්දර කිරීමට හන්තාන අඩවියට ඇති හැකියාව වෙනත් කිසිදු තැනකට හෝ
අඩවියකට ඇතැයි මම නොසිතමි. ඒ මට සිතෙන සැටිය.
එවන් වෙනත්
තැනක් ඇත්නම් එයද දන්වනු මැනවි. ඊ ළඟ ආත්මයේ හෝ එහි යාමට.
දැන් හන්තාන සෙවනේ රතු මල් විමනේ ගීතය අසමු.
ගී පද - මැණිකේ වීරසිංහ
ස්වර - ගුණදාස කපුගේ
ගායනය - ස්වර්ණලතා කවීෂ්වර
ගී පද - මැණිකේ වීරසිංහ
ස්වර - ගුණදාස කපුගේ
ගායනය - ස්වර්ණලතා කවීෂ්වර
මෙය හන්තාන සරසවියේ කඳුළු කතාවකි.
බිඳුනු පැතුම්
ඇයට අහිමි කළේ ප්‍රේමයේ සෞන්දර්යය පමණක් නොවේ. හන්තාන සරසවිය හා බැඳුනු සියළු
සෞන්දර්යයද ඈට අහිමි කර ඇත.
සුන්දර උයන තුළ
පිපෙන සුන්දර මල්වල සුන්දරත්වය ඈට අහිමිය. අසලින් ගලන මහවැලි
නදියේ දිය රළින් වැයෙන ගීයෙහි සුන්දරත්වය ඈට අහිමිය. ඒ සුන්දරත්වය විඳිනු නොරිසි ඈ
නේවාසිකාගාරයට වී තැවුනද එය කෙලෙස නම් ඈගේ තැවුනු සිත් නිවා ඈව තුටු පහටු කරන්නද?
දහස් ගණන්
තරුණ තරුණියන් සරණ, සිය ගණන් පෙම්වතුන් සරණ මේ බිම ඈට ඇත්තේ හුදෙකලාවකි. පෙර පුරුදු
කලාගාරයද ඈට රිදුම් දෙවන තැනක් පමණි. එහි කොතෙක් රගංන දැක්වුණද ඒ රංගන
බැළුමට කොතෙක් අය පැමිණියද ඈගේ සිත ඇත්තේ එක් තැනකය. ඒ සිතේ ඈට ඉඩ නැතිවා වුව ඒ
සිත වෙතම ඈ සිත දිව යයි. එය මහත් වේදනාවකි.
කෙනෙකුගේ
තුරුණු වියෙන් සිවු වසරක් යනු සුළු පටු කලක් නොවේ. ජීවිතයේ හොඳම වයසින් ලොකු කාලයක්
ඈට අහිමිව ඇත.
මතු දැක්වෙන
ගීතය මා මේ සටහන් පෙළ අවසනටම තබා සිටි එකකි. එහෙත් වෙනත් ගීතයක් එම තැනට ආ බැවින්
මෙම ගීතය ගැන දැන් කතා කළ යුතුය. එහි රචකයා සිරිසමන්
විජ්තුංග ය. එහි සංගීතය සහ ගායනය දයාරත්න
රණතුංගගෙනි.
සරසවියෙදි
හෙට විතරයි හමුවන්නේ
කිමද
කුමරි නෙත කඳුළැලි පුරවන්නේ
දොඹ
සූරන මහ වැස්සේ තනිකුඩයේ
අප
තනිවී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල
පබා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද
මහවැලි දෑලේ සපු හෙවණේ
කලා
ශිල්ප රාජ ඉසුරු මල්යායේ
එදා
ළපලු සෙවණේ සරතැස නිවුණේ
අපේ
නිවුණු හීන පිරුණු රජදහනේ
මෙදා
සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල
බැලුම් හලා රඟන පරවියනේ
මාල
බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන්
දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ
කුමරියෙ නාඬන් ළසඳෙ
සරසවියෙදි හෙට
විතරයි හමුවන්නේ
කිමද කුමරි
නෙත කඳුළැලි පුරවන්නේ යනුවෙන් මෙසේ පැණසර වෙත්දී පැණයට පිළිතුරද එහිම වෙයි.
සරසවියෙදි හෙට විතරක් නම් හමුවන්නේ කෙලෙස කඳුළැලි නොසලා සිටිය හැකිවේද?
කෙනෙකු සිතනු
ඇත සරසවියෙදි හෙට පමණක් හමු වුවද අන් තැනක දී අනන්ත වාරගණනක් හමු විය හැකි නොවේදැයි. එහෙත් එහි
ඉතිරි පාද ඉඟි කරනුයේ එය එලෙස ද නොවන වගයි.
මේ අවසන් පාදය
ඒ අරුත පැහැදිලි කිරීම සදහා සෑහේ යැයි සිතමි.
කෝල
බැලුම් හලා රඟන පරවියනේ
මාල
බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන්
දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ
කුමරියෙ නාඬන් ළසඳෙ
ඉතිරිව ඇත්තේ
සිහිනෙන් හමුවීම පමණක් නම් කිසිදු දිනක හැබැහින් හමුවීමක් වේ දැයි සැක සහිතය.
සරසවි දිවියට පමණක් පෙම්වතුන්ව සිට සරසවියෙන් පිටවූ දින සිටම දෙතැනක යන පෙම්වතුන් දුලබ
නොවේ. මේ එවන් පෙමක් ගැන ගීයක්ද?
එය මෙහෙමත්
විය හැකිය. වෙන්වීම ස්ථිරව නොවුනද, තාවකාලික වෙන්වීමක් වුව ඔවුනට දැනෙනුයේ ස්ථිරව වෙන්වනවා සේ
විය හැකිය.
සරසවියෙදි හෙට
විතරයි හමුවන්නේ ගීතය
මේ ගීයත් සමගම
නැවත මතකය අවදිවන්නේ දයාරත්න රණතුංග ගේ ම ගීතයකටය.
එහි ඇත්තේ ද සරසවි පෙමක් ගැනමය. එහෙත් ඒ සරසවිය
හන්තාන අඩවියේ සරසවියමදැයි මට නිච්චියක් නැත. ගීපද විමසන අතරේම සොයා බලන
අදහසින් මෙහි ලියා තබන්නේ ඒ ගීය කුමන සරසවියක බැඳුනු පෙමක් පිළිබඳව වුව එම ගීය මෙහි අමුණන
අදහස දැඩිව ඈ බැවිනි. එය අන්සරසවියකදී බැඳි පෙමක් වුව මෙහි අමුණන්නේමය.
සිවු
වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා
මින්
මතු කිසිදා කිසිම සැඳෑවක අපි නොම හමුවේවා....
මෙහි ද මුල් පද
පෙළ දුටු සැනින් වැටහෙන්නේ ඉහත ගීයෙහි අරුතට බොහෝ සමීප එකක් වන බවයි. ඒ අනුව මේ
අවසන් සැඳෑවයි.
එහෙත් මට මෙහි
ගැටළුවක් වෙයි. සිවුවසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවායි පතනුයේ කවුරුන්ද
යන්නයි. එසේ පතනුයේ ඇයිද යන්නයි. ගීතයේ මියුරු තනුව, එහි උසස් ගායනයෙන් මත්ව අරුත තුළ
නොකිමිදී මතුපිටින් ස්පර්ෂ කළ විට ලැබෙන විරහවේ ශෝක රසය නිසා එය කෙනෙකුට ප්‍රශ්ණකාරී
නොවුනද, එහි පද පෙළ විමසන කල මට එවන් පැණයන් පැන නැගුනි. මා සිතනුයේ එබැවින්ම
ගීතයේ එම ගැටළුකාරී ස්ථායී කොටස ගීතයේ ඉතිරි පාදවල
ඇති සුන්දරත්වය මුසු වියෝ වේදනාව ගව් ගණනක් පහළට ඇද දමා ඇති බවයි. කෙසේ වෙතත් එහි
ඉතිරි පාද ලියැවී ඇති ආකාරය සුන්දරය. ලස්සනය.
සීතල
පව්වේ කඳුරැළි යායේ
සරසවි
පායේ තුරු සෙවනැල්ලේ
ඔබ
මට අවනත පොඩි දරුවෙකු සේ
සසර
දිගේ ආ මේ දිගු ගමනේ
ඉවත
බලාගමු නාඳුනනා සේ
මින්
මතු හමු වී අප දෙන්නා....
හිමගිරි
සෙවනේ දිය සීරාවේ
නාමල්
යහනේ තරු මේලාවේ
නිහඬව
වැළපෙන ඒ පෙම් සටහන්
මීදුම්
සළුවක මැකී ගියාවේ
ඉවත
බලාගමු නාඳුනනා සේ
මින්
මතු හමු වී අප දෙන්නා....
මේ ගීතයද හන්තාන අඩවියේ සරසවියම පරිසරය කොටගෙන ලියූ එකකැයි
දැන් වැටහේ.
සීතල
පව්ව
කඳුරැළි
යාය
හිමගිරි
සෙවන
දිය
සීරාව
නාමල්
යහන
මිහිදුම්
සළුව
ආදී වදන්
වලින් අපට එය සනාථ කරදෙයි.
සිවු
වසරක් තුළ පෙම් සිහිවටනය ගීතය අසමු.
හන්තාන
කඳුවැටිය, හන්තාන අඩවියේ සරසවිය,
හන්තාන අඩවියේ සොඳරු
වැව් තෙර, හන්තාන අඩවිය මැදින් ගලන මහවැලි නදිය, හන්තාන
අඩවියේ සරසවිය අසලම ඇති සොඳුරු මල් උයන ඈ
හන්තාන හා බැඳුනු බොහෝ සැමරුම් පාදක කොටගෙන
උපන් ගී නිර්මාණ පිළිබඳව ලියැවෙන මේ සටහන ඇරඹුවේ ගීත කිහිපයක් කැන කතා කොට නවතන
අදහසිනි. එහෙත් එය කොටස කොටස් දෙකකට දිගු වී මේ වන විට කොටස් තුනක් බවට පත්ව ඇතිවා
වුවද තුන්වන කොටසකිනුදු නිම කළ නොහැකි තරම් ඇදෙන්නේ මේ පරිසරය නිර්මාණකරුවන්ගේ
මනසට මොන තරම් සොඳුරු මතකයන් එක් කර ඇතිද යන්න
අප වෙත පසක් කරමිනි. ඉතින් හතරවැනි කොටසකට යම්ද නැති නම් තුන්වන කොටස ඇදෙන තරම්
දුරකට ඇදෙන්නට ඉඩ හැර නිම කරම්දැයි සිතමි. සිත සිතා ලියමි.
හන්තාන
කඳුවැටිය එදා වාගේ අදත්
මහවැලිය
පුරුදු සේ ගලා යාවී හෙටත්
සරසවියෙ
තුරු වදුළු මිලිණ වී නෑ තවත්
ඒත්
අද කුමරියේ
ඔබ
කොහිද මා කොහිද
එකක් හැර
සුපුරුදු සියල්ල සුපුරුදු පරිදිම සිදු වෙයි. එහෙත් නුඹ මා පමණක් එහි නැත. අප එහි නොවුනද
කම් නැත. කොහේ හෝ නුඹද මා අසලින්ම සිටී නම්. එහෙත්, නුඹ එක් අතකය. මා තව අතකය.
එදා
අප පෙම් වදන් දෙඩූ ලිය මඬුළු යට
පෙම්වතුන්
පෙම් වදන් දොඩනවා
අප
සමග එදා සිටි
අවන්හල
දෙසුම් හල්
පුරුදු
සේ බලාගෙන ඉන්නවා
අප නැති අඩුව
පරිසරය නොදනී. පරිසරයට නොදැනේ. අප නොවුනද වෙනත් පෙම්වතුන් අප නැති අඩුව සපුරා ඇත.
එදා අප පෙම් වදන් ඇසූ පෙම් රැඟුම් දුටු අවන්හල දේශණාගාරය එදා අප දෙස බැළූ අයුරින්ම
කිසිවක් නොවූවා සේ හිඳී. ඔවුන්ගේ පෙම් රැඟුම් දෙස නිසොල්මනේ බලා සිටී.
මේ
බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යළි
යළිත් මතකයට නැගෙනවා
මහත්
වෙහෙසක් දරා සඟවන්න තැත් කළත්
නෙතු
අගට කදුළු බිඳු නැගෙනවා..
මේ බිමේ
ගෙවුනේ සිවු වසරක් වුව ඒ දිවියේ සුන්දරම කාලයෙන් ලොකු කාලයක් බව නැවත කිවයුතුය. ඒ සොඳුරුම...දීර්ඝතම සිවු වසර සොඳුරු සැමරුම් ජීවිතයට ඉතිරි වූයේ නම් කොපමණ වාසනාවක්ද? සමහර විට එම අහිමි කාලය
මුළු දිවියේම සුන්දරත්වය රැගෙන පළා යාමක් විය හැක. ඒ සිවු වසරක අතීතය ඔහුට සඟවන්නට
අවැසි එහෙත් සඟවන්නට නොහැකි දෙයක් ඉතිරි කර ඇත. ඒ ලොව නො ඉවසන ලොව නො තකන පිරිමි
ඇහැක කඳුළුය
පද - උපාලි මල්දෙණිය
ස්වර - ඩෙනිස්ටර් පෙරේරා
හඬ - අමරසිරි පීරිස්
හන්තාන කඳුවැටිය ගීතය අසන්න.
හන්තාන කඳුවැටිය ගීතය අසන්න.
තුන්වන
කොටසකින් කෙසේ හෝ නිමකරම්යැයි සිතමින් මෙම තුන්වන කොටස අරඹන බව මා ඔබට කීවෙමි.
එහෙත් මේ සොඳුරු අඩවිය නිමිත්ත කරගෙන ලියූ ගී තව කොතෙක්ද? ඒවා මෙහි කතා නොකොට
අසම්පූර්ණ කතාවක් සේ මෙම සටහන් නිම කිරීමට මට නොසිතේ. එබැවින් හතරවැනි කොටසකින්
හමුවන තෙක් මේ සොදුරු මතකයන් තුළ තවත් ටිකක් ගැවසෙන්නට විරාමයක් පතමි.
-
යසනාත් ධම්මික
බණ්ඩාර -
අතඅරින්න එපා වැඩේ. මොකද බොහොම සුන්දර මාතෘකාවක්...හන්තාන ගැනත්, විරහව ගැනත් ගී ලිවීම නතර වෙන්නෙ නෑ කවදාවත්.
ReplyDeleteආදරය ජයගැනීම ගැන ලියවුනු ගී ගැනත් මේ වගේම පෝස්ටාවලියක් ලියන්න පුළුවන් නේද?
ඊලඟ කොටස් ලියනවා නම් පේරාදෙනියේ ප්‍රේමයක් ගැන ලියවුණු මේ ගීතයත් එකතු කර ගන්න.
ReplyDeleteපද රචකයාත්, ගායිකාවත් දෙදෙනාම පේරාදෙනිය වඬිශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිටි අය.
http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html
රසවත් ලිපියක්
ReplyDeleteහන්තාන සෙවනේ ගීතය මම ඉතා ආශා කළ ගීයක්. පාසල් කාලයේ ඇතිවූ එක්තරා ඒකපාර්ශ්වීය ආදර සිතුවිල්ලක් මතකයට නැගෙනවා මේක ඇහෙද්දි. ඇත්තෙන් ම මේ ගීතය මම ඒ දිනවල නිතර ඇසුවා. කපුගේ මාස්ටර් මෙයට ඉතාම හැගීම් දනවන ආකාරයේ තනුවක් සම්පාදනය කොට තිබෙනවා. රචිකාවගේ නම අප නිතර අසා නුපුරුදු වුවත් රචනාවේ ආධුනිකත්වයක් නොපෙනෙයි..ඇත්තෙන් ම සුන්දර ගීයක්. මෙවැනි නිතර නොඇසෙන අහුමුළු වලට කරල තියෙන ගීතවලට කාගෙන් වහං වුනත් යසනාත් අයියගෙ පෑනෙන් නම් වහං වෙන්න බැරි හැඩයි..
ReplyDelete