Wednesday, November 11, 2020

වළාකුලින් බැස එන්නට සඳවතියට කියා - වළාකුළු පෙළින් ඈතට එහෙනම් ඔබ ගියා.....


 Pemwathune (Rap) - W.D. Ariyasinghe Music Video And Audio Download from  FreeMusic.lk

 

අපි පාසැල් යන වියේ ඇහුවේම රජරට සේවය. අපට ළං විය හැකි බොහෝ ගුණාංග එහි ඇති තරමින් තිබුණා. මේ රජරට සේවයේ එකල මෙහෙම ගීතයක් නිතර වාදනය වුණා.

 

මල් පෙති නොතලා මලට නොරිදවා

රොන් අර ගන්නට නෑඹුල් මල් සොයලා යා නම්

නිකැළැල් විය යුතු නොවේද බඹරිඳු

මල් පමණක්මද නිකැළැල් විය යුතු

 

ශ්‍රවණය කළ පළමු අවස්ථාවේම මේ ගීතය සිත්ගත්තේ එක කරුණක් නිසා නොවේ. පළමු කරණ නම් එ් දවසවල සිටම ගී පදවැලක අරුත හඹා යාමට දැක් වූ රුචිකත්වයයි.

එබැවින් අර්ථ මූලික ගීතයක් ඇසීමට තමයි එදා සිට අංක එකේ වුණේ.

ඊ ළඟ කරුණ එහි ගායන විලාසයයි.

ඩබ්. ඩී. අමරදේවයන්ගේ ගායන ආරට ගයන, කට හඬත් ඊට තරමක් ළඟින් යන නමුත් අමරදේවයන්මත් නොවන හඬට මහත් ආදරයක් ඇති වුණි.

ඊ ළඟ කාරණය නම් ආකෘතිකමය වශයෙන් වෙනසක් ගත් මේ පද රචනය වෙනුවෙන් යොදා තිබූ තනුව. එය සරල තනුවක් නොවේ. තරමක් වෙනස් තරමක් අසීරු තනුවක්. නමුත් ඔහු එයට හැඟුම් දී බර දී ගායනා කළා.

මෙන්න මේ කාරණා නිසා මේ ගායකයා කවුරුන්ද යන්න සෙවීමේ අවශ්‍යතාවක් පැණ නැංගා. නමුත් එය ඉටු කර ගැනීමට එතරම් කරදර විය යුතු වුණේ නැහැ. ගීතය නැවත නැවත ප්‍රචාරය වුණු බැවිනුත් අද මෙන් නොව එකල ප්‍රචාරයට පෙර හෝ පසු හෝ එයට දායක වූ නිර්මාණ ශිල්පීන්ගේ නම් ගම් කියන විනයක් තිබූ බැවිනුත් දවසක් දෙකක් ඇතුළත ඔහු W. D. ආරියසිංහ නම් ගායකයෙකු බව දැන ගත්තා.

ඒ අනුව W. D. ආරියසිංහ කියන නාමය මම හඳුනා ගත්තේ මීට අවුරුදු ගණනාවකට පෙර රජරට සේවය නිසා.

රජරට සේවයේ වැයුණු ඔහුගේ ගීතය නිසාය.

අපි කතා කරමින් සිටියේ මල්පෙති නොතලා ගීතය ගැනය. එය ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ මනරම් පද රචනයකි. සොඳුරු සංගීතය ආරියසිංහයන්ගේ ම ය. ගේ ය.

 

මල් පෙති නොතලා මලට නොරිදවා

රොන් අර ගන්නට නෑඹුල් මල් සොයලා යා නම්

නිකැළැල් විය යුතු නොවේද බඹරිඳු

මල් පමණක්මද නිකැළැල් විය යුතු

 

රොන් බිව් මල් පෙති මුකුලිත වන්නේ

බඹරිඳු යළි නෑ එමල සොයන්නේ

විකසිත මල් මත තුඩු රඳවන්නේ

මලට මිස බඹරුට නොරිදෙන්නේ

 

විල ලස්සන මල නිසා ම වන්නේ

විලට නොවේ ඒ මල හිමි වන්නේ

විලේ කඳුළ මල් කෙමිය පිරෙන්නේ.

බඹරෙක් ඒ මල තව රිදවන්නේ

 

අපි, මා ආරියසිංහයන්ව හඳුනා ගත් ඒ ගීතය අසා සිටිමු.



 

පසුව ඇසුනේ ඔහු ගැයූ ගීතයක් දෙකක් පමණක් වුව මා අපමණ පෙම් බැඳි නාමයක් සහිත ගායකයෙකු වුණා ඔහු.

යමෙක් ඇහුවොත් ඔහු නාමයේ W. D. අකුරු දෙකද, W. D. අකුරු දෙකට ළඟින් යන හඬක්ද තිබුණු නිසා එය වන්නට බැරිද කියා ඔව්, එයත් ඊට හේතුවූ කාරණා අතුරින් යම් දායක කාරණයක් වෙන්නට පුළුවන.

 

පසුව මේ W. D. ගැන තිබුණාට වඩා උනන්දුවකින් කතා කරන්නට හේතු වුණේ ඔහු විසින් ගායනා කර තිබූ මතකයේ හැටියට ලංකා බැංකුවට සහ සෙලින්කෝ රක්ෂණ සමාගමට කළ වෙළඳ ගී ඛණ්ඩ දෙකක් නිසා. දන්නා හැටියට ඒ දෙකම අමරදේවයන්ගේ සංගීත නිර්මාණ වන අතර, අමරදේවයන් ගීත ඛණ්ඩ ගායනා කරවූයේ W. D. ආරියසිංහ ලවා ය.

 

අනුතුරුව විවිධ ගීත ඔස්සේ ඔහු අපේ හිත්වල, හොඳින් රහට ගයන ගායකයෙකිය යන මතකය ඉතිරි කළත් ඔහු යළි මගේ හිතේ වෙනත්ම තැනකට එන්නේ මමද ගී නිර්මාණ කිහිපයක් කරන්නට යාමේදීය.

මගේ මේ නිර්මාණ එකතුවට  

 හත් අවුරුද්දක් මහන්සි වූ රංග සංධ්වනියට අත දෙන්න කෙනෙක් නෑ | දිනමිණ

නවරත්න ගමගේ

ගේ තනුවකට අනුව මවිසින් පද ගෙත්තම් කරන ලද උයන් පල්ලා සහ සඳවතිය ලෙසින් මා හඳුන්වන ගීතය හෙවත්

 

වළාකුළු පෙළින් බසින්න

ඇවිත් මල් ගැබේ නිදන්න

චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ

මටද ආදරේ

 

ගීතය නිසාවෙනි.

මේ ගීතය නිර්මාණය වුණු ආකාරය ගැන විවිධස්ථාන වල කතා කර ඇතියෙන් යළි ඒ ගැන කතා කරන්නට අදහසක් නැත. එහෙත් පසුගිය දවසක දෙරණ මා නොවන ඔබ සමන්ත පෙරේරා සහ නවරත්න ගමගේ සංගීතඥ දෙමිතුරන්ගේ වැඩ සටහනේදී නවාට ගීතය හැදුණු හැටි ගැන සුළු අමතකවීමක් සිදුව තිබුණි. එනම් මේ ගීතයේ තනුවේ මූලික හැඩය නවා වෙනත් කෙනෙකු වෙනුවෙන් වෙනත් වචන ටිකක්ට යෙදූ එකකි. එහෙත් කිසියම්ම හෝ හේතුවකට ඔහු එම තනුවට නවාගෙන් ගීතය නිර්මාණය කර ගන්නට අකමැති විය. එම වචන පසුව වෙනත් සංගීතඥයෙකුගේ සංගීතයට ගැයිනි. එහෙත් නවාගේ තනුව අනාගතය කෙසේ වේදැයි සැකෙන් ඉතිරි විය.

මෙන්න මේ ඉතිරි වූ තනුවටය මවිසින් වචන යෙදුවේ. එය පෙර තනුවම නොවුණත් මූලිකව එය මීට සමානය. පසුව අපි යෙදුණු වචන අනුව සුළු සුළු වෙනස්කම් කරමින් උයන්පල්ලා සහ සඳවතියගේ කිසි දිනක හමු නොවන ආදර කතාව ගෙතුවෙමු.

මම උයන්පල්ලා සහ සඳවතියගේ කිසි දිනක හමු නොවන ආදර කතාව යනුවෙන් කී විට ඔබ ඒ තුළම සිරවිය යුතු නොවේ. අපි එලෙස ඊට බලෙන්ම මාතෘකාවක් යෙදුවේ එය ලියැවුණේ එක්තරා සැඳෑවක ජයවර්ධන පුර සරසවි උයනෙහි තෙල් බැම්ම මත අන් අයගෙන් ඈත්ව අර නවා තැනූ තනුව යළි යළිත් ශ්‍රවනය කරමින් දැහැන් ගතව සිටියදීය ලියැවුණු බැවිනි.

මද සුළඟේ සැලෙන තුරු පත් අතුරින් ඒ සැඳෑවේ සඳවතිය අලංකාරව දිස්වුනි. එසේ ඒ සොඳුරු රැයෙහි පළමු යාමය ගෙවමින් සිටි මා මනෝමයෙන් සඳවතිය හා පිළිසඳර කතාවකට මුළ පුරන්නටම ඇත. නැති නම් මේ ගීය මේ අයුරින් ලියැවෙන්නට විදිහක් නැත.

මා හරියට එවිට ඒ උයනේ උයන්පල්ලා බඳුය. කිසි දිනක පහතට නොබසින සඳවතිය ය සිනා රැස් දෙවන්නේ. ඉතින් මා ඒ නම නොතියා අන් කුමණ නමක් ඊට තබන්නටද? එහෙත් එහි ඇත්තේ කතාවක් නොවේ. හැඟුම් සමුදායකි. එයින් ඔබට වෙනත් ඕනෑම දිශාවකට යා හැකිය. ඔබට ඔබේම කතාවක් ගොඩනගා ගත හැකිය.

මේ ගීතය පටිගත වූයේ එකල කොහුවල පයනියර් ශබ්දාගාරයෙහිදී ශබ්ද ඉංජිනේරු ඔසී නුගාරා අතිනි. එයට සංගීතය සංයෝජනය කළේ සිහ ශක්ති හි ආනන්ද පෙරේරා ඇතුළු පිරිවරය. මේ ගීතය ගැන ආනන්ද අයියා මහත් ප්‍රසාදයෙන් කතා කළේය. එයින් නොනැවතී ඔහු කපුමක්ද කළේය. ඒ ඊට දින කිහිපයකට පසුය.

එදින මම සිටියේ දෙල්කඳ නෙකෝ ශබ්දාගාරයේය. වෙනත් ගීතයක් පටිගත කරමිනි. එකල සිය සංගත තැටියකට ගීත පටිගත කිරීමේ නියැළුනු අතිමහත් ප්‍රසිද්ධියක් ඇති ගායක ගායිකා දෙපළක් ආනන්ද අයියා හමුවීමට පැමිණියහ. ආනන්ද අයියා සමග සෙමින් යමක් කතා කරමින් සිටි ඔවුන් අනතුරුව ආනන්ද අයියා සමග මා හට කතා කළහ. ඒ අර ගීතය ගැනය.

මම එය ඔවුනට ලබා දෙන්නේ නම්, ඔවුන් සිය ගීත එකතුවට එය යොදා ගන්නට කැමැත්තෙන් සිටි බවය ඔවුන් මට කියූවේ.

එකල මා ගැන දන්නේ කවුද? කවුරුන් හෝ කවදාවත් මා ගැන දැන ගනීවිදැයි දන්නේ කවුද? මට මෙය මහඟු අවස්ථාවකි. ගන්නවාද, අතහරිනවාද?

මගේ තීරණය වූයේ අවස්ථාව මගහැරීමය. පසුවට දැණුම් දෙන බව කියා මම මගහැරීමි. අනුතුරුව ඒ ගැන ඔවුන් සමග යළි කිසි දිනක කතා නොකළෙමි.

පසු දවසක ආධුනික මම ඔවුන් වෙනුවෙන් ගීතය නොදීම ගැන ඔවුන් යම් අයුරකින් පුදුම වූ  බව දැන ගතිමි. එහෙත් ඒ ඔවුන් ගැන අහිතක් නිසා නොවේ. පටිගත කිරීමෙන් පසු එහි කැටි වුණු හැඟීම් ගයන්නට සුදුසුම හඬවල් නොවේ ඔවුන් ළඟ තිබුණේ.

ඔන්න දැන් අපි ඒ සඳහා සුදුසුම හඬවල් සොයනවා. විවිධ නම් යෝජනා වෙනවා. සැනින් නොසලකා හැරෙනවා. මේ ගීය ගයන දෙදෙනා අති මහත් ජනප්‍රිය දෙදෙනෙකු නොවූවාට කම් නැත. නමුත් අපට අවැසි සත්කාරය දියහැකි දෙදෙනෙකු විය යුතුමය.

පළමුවැන්නා ගේ නම තීරණය විය. එනම් උයන්පල්ලාගේ හඬට සුදුස්සා තීරණය විය. ඒ අනෙකෙකු නොව,  W. D. ආරියසිංහ ය.

අපි ( මමත්, නවාත් ) W. D. ආරියසිංහ සොයා මතක හැටියට කිරිබත්ගොඩ හිමාලි සිනමා හල අසලින් ඇදෙන පාරේ යම් නිවසකට ගොඩවීමු. අතිශය සරල මිනිසෙක් අපට මුණගැසුනි. හඩ පටය ඇසූ සැනින් ඔහු යම් දැහැනකට වැදුනාක් මෙන් විනාඩි කිහිපයක් සිට එය යළිත් අසා, යළිත් අසා අපට අවැසි හැඟුම් වැස්ස වැස්සවීය. ආරි අයියා එවැනිය. ඔහු ගයන්නේ වචන නොවේ. හැඟීම්ය. අපට මේ මිහිපිට ඒ සඳහා අන් කිසිදු හඬක් සෙවීමේ අවශ්‍යතාවක් මතු නොවුණි. එය අද වුව, ඕනෑම කෙනෙකු පිළිගන්නා දෙයක් වනු ඇත.

අපට ගැටළුවක් තිබුණේ දැන් සඳවතියට හඬ දෙන්නේ කවුරුන්ද යන්නය. එයටද යම් නමක් දෙකක් යෝජනා විය. නමුත් හිතට සසැඳුනේ නැත.

අනතුරුව  

 Facebook

රශ්මි සංගීතා 

නම් වූ සරල ගී ගායනයේ එතරම් කැමැත්තක් නොදක්වන, මහත් අභිරුචියකින් ශාස්ත්‍රීය ගී ගයන සෞන්දර්ය සරසවියේ කතාකාචාරීනියගේ නම මවිසින් නවාට යෝජනා කෙළමි. එකල අපි ඇයගේ ගීත ලෙස අසා තිබුණේ මන්නාරම් කණ්‍යාරාමය හැරිලා ගීතයත්, ආචාර්ය අමරදේවයන් සමග යුග ගැයුම් කළ

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ

ආදර රැල්ලයි අර දිව යන්නේ

ගීතයත් පමණි. නමුත් ඇය ගැන තක්සේරුවකට ඒ උවමණාවටත් වඩා වැඩිය. අපේ සඳවතියට ගැලපෙනම හඬ එයය. එබැවින් දැන් අප ඇය සොයා යා යුතුය.

මේ ගමන යන්නේ කා සමගද? නවාත් මාත් පමණක් ගොස් මේ කතාව අපට කර ගත හැකි වේවිද? ඇය සරල ගී ගයන්නට එතරම් නැඹුරු නොවන්නී කිසිම නමක් නැති අපේ ගීතයක් ගායනා කරාවිද?

මේ දෙගිඩියාවෙන් සිටින අප මහත් අමාරුවෙන් ආරි අයියාවත් ගමනට එකතු කරගන්නට සමත් වුණි.

එකල ආරි අයියාෆර්ජෝ කාරයක් තිබුණි. මොඩලය මතක නැත. ඩීසල් එකකි. ඩීසල් ගැසීමට ඔහුටත් සල්ලි නොතිබුණි. අපටත් නොතිබුණි. එකල වැඩ කළේ අසීරුතා දහසක් මැදය. කටුක දුක් ගැහැට මැදය. නමුත් වෑයමෙහි ඵල රසය.

මොන අසීරුතා මැද හෝ අපි එහි ගියෙමු.

අපි ඇය ට කතා කළෙමු.

මම වෛද්‍ය සිසුවෙකු බව සහ දැනට මගේ ගීත ගැයීමට ක්ෂේත්‍රෙය් දැවැන්තයින් කිහිප දෙනෙකුය සහභාගි වී ඇති බව අපි කිව්වේ එයින් මේ කාර්යයට යම් සහායක් වේ යැයි සිතූ බැවිනි. එය තරමක් සාර්ථක විය.

මම සාමාන්‍යෙයන් නම් කියන්නේ නැහැ. ඒ වුණාට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නේ. මම අසා බලා තීරණයක් ගන්නම්.

ඇය ගීතය වරක් ඇසුවාය. දෙවරක් ඇසුවාය.

මල්ලි, මම මේක ආසාවෙන් ගයන්නම්. ඇත්තටම කියනවා නම් හරිම ලස්සනයි.

ඇය ගීතය ගැයුවාය. අපට අවැසි සියළු හැඟුම් බහාලමින් ගැයුවාය.

වළාකුළු පෙළින් බසින්න ගීතය බිහි වූයේ එලෙසිනි.

ඉතින් ආරි අය්යා සහ රශ්මි අක්කාගේ ඒ හඬ සුසංයෝගය මේ හැඟීම් කොතරම් උළුප්පාලන්නේ ද යන්න ඒ කතාව දැනගෙනම යළි අසන්න.



ආරි අයියාට මේ ගීයෙන් විශාල ආලෝකයක් ලැබුණි. ඔහු මැණිකක් බව නොදන්නේ කවුරුන්ද? එහෙත් මැණික තිබුණේ යම් අඳුරකට මුවාවීය. එය නොදන්නේත් කවුද? මේ ගීතය නිසා ඔහුට එළි පොදක් ලැබුණු බව කීවොත් මා සමඟ කිසිවෙක් උරණ නොවනු ඇත. ඔහුට මෙන්ම අපටද එයින් මහත් එළියක් ලැබුණි. අද වුව, මටද, නවාට වුවද, අපේ ගී මඟේ මහරු මිණකි මේ ගීතය.

රශ්මි අක්කාටද එය එසේම යැයි සිතමි. එය එසේ නොවන්නට කිසිදු හේතුවක් වෙතැයි මම නොසිතමි.

ආරි අයියා මේ ගීතයට මහත් ඇළුම් කළේය. එය ඔහු සිය හර්ෂදේව පුතු සමග කළ ලෙය සහ ළය වැඩසටහනටද ගැයීමෙන් ඒ බව තහවුරුය. නොඑසේ නම් ඔවුනට ගයන්නට තවත් ගී නොතිබුණා නොවේ.

අවශ්‍ය අයෙකු වෙනුවෙන් එම ලෙය සහ ලය වෙත පිවිසුම මෙහි අමුණමි. විනාඩි 38යි තත්පර 26 සිට ඇත්තේ වළාකුළු පෙළින් ගීතයයි.


 

මේ ගීය හා සමගම ආරි අයියා අපේ මිතුරෙකු විය. ඔහු විටින් විට අපට හමුවිය. පිළිසඳර කතා බහේ සිට මත් වී කළ දොඩමළු වීම් දක්වා අතර පරාසයක ඒවා විහිදුණි. ඒ අතරේ යම් දුක්ගැනවිලිද විය. එක් දුක්ගැනවිල්ලක් වූයේ ඒ වන විටත් තමන් ගීත එකතුවක් කර ඇති බවත්, එහෙත් ඒවා සංයුක්ත තැටියක් ලෙස කිසිවෙකුත් නිකුත් නොකළ බවත්ය. එපමණක් නොවේ. එම ගී ගුවන් විදුලි නාලිකා වලට ලබා දීමට පවා නොහැකිව ඇති බවය.

මෙය මට මහත් රිදුමකි. එබැවින් එම සංගත තැටියේ කොපියක් මවිසින් ඉල්ලාගනු ලැබුවේ හැකි පමණින් කොපි කිහිපයක් ගසා ඒවා ගුවන් විදුලි නාලිකා වලට ලබා දීමටය. එකල එය මාරම ගේමකි. සංගත තැටියක් කැප්පවීම හැමතැනකම කළ නොහැකි විය. එකක් කැපීමට රුපියල් 1200/= තරමේ විය. ගසා කන මට්ටමක් තිබුණා කියා නොකියන්නේ අදාල පහසුකම ප්‍රචලිතව නොතිබුණු බැවිනි. දන්නා තරමින් සී. ඩී. කටර් එකක් එකල ලක්ෂයක් හමාරක් විය. අද මුදලින් විශාල මුදලකි. මේ නිසා සී. ඩී. කොපි කිරීමද මාරම ගේමකි. කෙසේ වෙතත් කිහියක් කොපි කර යම් යම් නාලිකා වලට ලබා දුනි. එහෙත් නිසි සැලකිල්ලක් එම ගී වලට හෝ මගේ වෑයමට නොලැබුණි. ඒවා එදා නිසි අගැයුමට, නිසි සැලකිල්ලට බඳුන් වූයේ නම් පෙරේදා මිය ගිය ඔහු මිය යන්නට පෙර මීට වැඩි සතුටක් ලබනු ඇත.

පසුකාලීනව මිනිසුන්ගේ දෝෂ දර්ශණයට හේතු වූ යම් යම් දේ ඔහු විසින් නොකරන්නට වුව ඉඩ තිබුණි. එහෙත් එය එසේ නොවීය. ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ අගැයුවේ නොමැති වුව, ඔහු අමරදේවයන්ගේ ගී ගැයූ පසු එයට එරෙහි වීමට නම් මාධ්‍යයන් රොද බැඳ ආහ. ඒ උනන්දුව එදා ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ ප්‍රචලිත කිරීමට දැක්වූයේ නම් සමහර විට ඔවුනට දෙවැනි අවස්ථාව වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු නොවනු ඇත.

ඒ සංගත තැටිය මේ මොහොතේ මගේ අතේ නැත. එහෙත්, එහි තිබූ යම් යම් ගී මගේ මතකයේ ඇත. ඒවා කිහිපයක් වාසනාවට යූ නලයේ තිබුණි. වෙනත් අඩවි වලින් ඕඩියෝ විදිහටද හමු වුණි.

 

ඔබ ඔබේම දෝතින් නෙළා

මා හදේ පුදසුනේ තබා

සුවඳින් හැඟුම් සැරසූ පැතුම්

කුසුම් අද පරවෙලා

 

ඔබේ ඇරියුමින්

දිගු කළ දෑතින්

පිය මැණ ආ මේ ගිරි අරණේ

ඔබ අද මඟහැරිලා

 

ඔබේම දෑසින්

විහිදුනු එළියෙන්

හෙළි කළ මාවත අද අඳුරේ

මා අතරමං කළා

මේ ගීතයේ රචකයා  

 දශක හතරක ගී මල් එක්කළ පිනිබර මලක් - Lankadeepa Online

කුලරත්න ආරිවංශ  

ය. එහි සංගීත නිර්මාණය 

https://3.bp.blogspot.com/-hQkL8CyqNuc/WqI1XJm5zWI/AAAAAAABIi8/UZJ8_XPr9OEsXFaaTMbk5p01ElBPsbnKgCLcBGAs/s320/cd-front.jpg

ආචාර්ය රෝහණ වීරසිංහ 

යන් ගේ ය. අතිශය මනරම් ගීයකි. විශේෂයෙන් මනරම් වන්නේ ආරි අයියාගේ හැඟීම් ගායනවාය.

වියෝ ගීයකට පිරිමි හඬකින් කදුළු දිය නොහැකි යැයි කියා එකක් නැත. නමුත් සාමාන්‍යයෙන් එසේ නොකෙරේ. එහෙත් ඊට සිය හඬින් දිය හැකි උපරිම සුසුම් ඔහු එයට එකතු කර ඇති බව ඔබ පිලිගනු ඇත. ඒ සුසුම් සමහර විට ඔබව හඬවනු ඇත.

 

ගීතය අසන්න.



 

 

පහන් තාරකාව යන්න යාවි

මට අත වනලා

ලා හිරු එන මග ලා රතු පා සලකුණු තියලා

පහන් තාරකාව යන්න යාවී

 

නව දවස ඇවිත් කවුළු දොරින් එබිකම් කරලා

ජීවිතේ අලුත් පිටුවේ කවි තොල් මතුරනවා

ජීවිතේ අලුත් පිටුවේ කවි තොල් මතුරනවා

 

පෙම් ගීත ගයන කිරිල්ලියේ අතු අග ඉඳලා

නෑ තවම මගේ කැදැල්ල මා වැඩ නිම කරලා.

නෑ තවම මගේ කැදැල්ල මා වැඩ නිම කරලා

 

මේ ගීතය  

 රත්න ශ්‍රී විජේසිංහ - Home | Facebook

රත්න ශ්‍රී විජේසිංහ 

යන්ගේ රචනයකි. එහිද සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ය. ඔහුගේ අතිශය චමත්කාර ජනක මෙවන් ගීතයන් ය නිසි තැන් නොදී කොන් කර දැමුවේ.



මේ අතර මේ ගීත එකතුවේ තවත් අතිශය සුන්දර ගීතයක් තිබුණි. එය යූ නලයේ සොයන්නට ගත් වෑයම ලොප් වූයෙන් වෙනත් දිගුවක් අමුණමි. එහි ගොස් එය අසන්නට හැකි දැයි බලන්න. ඇසුවොත් එය ලස්සනම ගීයකි.

එහි සොහොන් කොත් යට නිදන මිනිසුන්ගේ සැඟවුනු රහස් ගැනය. ඔවුන්ගේ රහස් එළියට එන්නේ සොහොන් කොත් යට නිදන්නට ගත් පසුය. ඒ නම් දිවිය පුරාම රැකි රහසකි.

 

රහසක් රහසක්

දිවය පුරා රැකි රහසක්

සොහොන් කොත් යට සැඟවිලා මෙහි

නිදන මිනිසුන්ගේ

 

මතු යම් දවසක මා මිය ගිය කල

මගේ නමින් මේ සුසානයේ

සොහොන් කොතක් ඉදි වේවී

මෙතෙක් නොකී ඒ මගේ රහස

මා සමගින් එහි වැළලේවී

 

මා සමගින් සිටි මගේ බිරිඳ විත්

දුකින් හඬා වැලපේවී

ඒ මොහොතේ හෝ මට කිව හැකි නම් .

ප්‍රථම ප්‍රේමයේ විරහ කඳුළු මැද

නිතරන්තරව දැවෙමින් සිටියා මිස

කිසි දින මම පෙම් නොකළෙමි

 

මෙවැනි රහස් සඟවාගෙන ජීවත් වන අය සිටින්නට කිසිදු බැරි කමක් නැත. ජීවිත විවිධය. විවිධ වුව ඔවුන්ද ජීවත් විය යුතුය. එහෙත් ඒ සමහර ජීවිත මැරි මැරී ජීවත් වන අය වෙයි. එවැන්නන් හට මෙවන් රහස් තිබිය හැකිය.

ලක්ෂ්මන් මල්ලවාරච්චිගේ රචනයක් වන එය සංගීතවත් කොට ඇත්තේ ජගත් වික්‍රමසිංහ ය.

ගීතය මෙහි ගොස් අසන්න.

 

රහසක් රහසක් ගීතය මේ මත ක්ලික් කර අසන්න.

 

මේ ගීත එකතුවේම තිබුණු සිහින සියයක් අද්දරින් ගීතයද මම මහත් ප්‍රිය කරණ එකකි.

Saman Athaudahetti සමන් අතාවුදහෙට්ටි Archives - PothSL

සමන් අතාවුදහෙට්ටි  

රචනයක් වන එය සංගීතවත් කර ඇත්තේ  

 තරුරසී: 'ටියැන්ජින් සංධ්වනි සහ අපේ කළණි'

කළණි පෙරේරා 

ය.

මේ එම ගීතය ඇසීමට මං සලකුණුය.

සිහින සියයක් අද්දරින් ගීතය මේ මත ක්ලික් කර අසන්න.

 

සෝමදාස සූරියආරච්චිගේ රචනයක් වන සාගරේ සමාන ආදරේ කියූ මුවින් ගීතයද එහි තිබුණු තවත් ලස්සන ගීතයකි. එය සංගීතවත් කළේ සුසිල් අමරසිංහ ය.

සාගරේ සමාන ආදරේ ගීතය මේ මත ක්ලික් කර අසන්න

 

එම ගීත එකතුවෙහිම  තිබුණු රන් සළු වාගෙ පායලා අහස් ගැබේ ගීතයද චමත්කාරජනක ගීතයකි.

 

 Dayan Witharana - රොඩ්නි විදානපතිරණට ශෝකජනක වුවද චාමර පවන්... | Facebook

රොඩ්නි විදානපතිරණ 

ගේ රචනයක් වන එය තරමක් දිගු එකකි. එහෙත් මට නම් අතිශය රසභාව ගෙන දෙන පද රචනයකි. විරහ ගීතයක් වූ එය ලියැවී ඇති ආකාරය අමුතු අපූර්වත්වයකින් යුතුය. ආකෘතිකමය වශයෙන් එහි පාද බිඳෙන ආකාරය අරුමැසිය.

මෙවන් දිගු රචනයකට සංගීත සංයෝජනය පහසු කාර්යයක් නොවේ. සැපයූවත් සිත් ගන්නා සුළු තනුවක් යෙදීම හා සංගීතය මුසු කිරීම සාර්තකව ඉටු වන්නේ නැත. එහෙත්  

 

Sinhala Jukebox - Featured Artist Pages - Stanley Peiris

ස්ටැන්ලි පීරිසුන් 

මේ කාර්යය මනාව ඉටු කරමින් එය සිත් ඇත ගන්නා ගීතයක් බවට පත් කොට ඇත. මම එය අසීරු තනුවක් සේ හඳුවන්නට කැමැත්තෙමි. එහෙත් ඒ තුළම අවැසි තැන් අතිශය අලංකාරවත්ව අවධාරණය කර ගැයීමේ අවකාශය ගායකයාට තනුව තුළින්ම හිමි කර දී තිබේ.

ආරියසිංහයන් එය ගායනා කරණ ආකාරය හරිම රසවත්ය. ආරියසිංහයන්ගේ මා මේ ප්‍රියකරණම ලක්ෂණය නම් ඔහු එහි රසයෙන් මත්ව ගීතය ගැයීමයි. ඔහු ගයන හැම ගීතයක්ම එතුළටම කිමිද ගයන්නේ එහි රසින් මත්වෙන බැවිනි. බොහෝ දෙනෙකුට තමන් ගයන ගීතය තුළට කිමිදිය නොහැක්කේ ගායනය බාහිර කරුණක් සේ පෙනෙයි. එහෙත් ආරි අයියා විෂයයෙහි මේ කාරණය වෙනස්ය.

 

රන් සළු වාගෙ පාවෙලා අහස් ගඟේ

වළාකුළේ එන්න එපා කුටිය උඩින් මගේ පැලේ

එදා මගේ හිතේ උපන් සෙනෙහස බිඳුනයි

සදා සොඳුරු පැතුම් ගෙනා

සිනා පොකුරු මැකී ගියා

සීනෙන් ගෑ සුවඳක් වී

මා තනිවී ඔබ වෙනතක බැඳුනා

 

හිමි නැති සෙනෙහස සැඟවී ගිය දෙන්

නොහඬන්නෙමි යළි කිසිදා

සිහිලස දෙන කඳුළු බිඳක්

හද සුසුමක්

ඉකිබිඳුමක්

මට දැන් උරුමයි

නිරතුරු මා හද දවනා

අතීතයේ වල්මත් වී

හැමදාමත් අලුත් දිනක් එන මෙන් පැතුවයි

එන මෙන් පැතුවයි

 

 

අගහිඟකම් ළඟ මා ලැබු සරදම්

නොමැකෙන්නේ කිසි දිනයේ

අසරණ වූ නිහඬ සිතක්

මුදු වදනක්

ඔබගෙ රුවත්

හැම දින පැතුවයි

සඳ බැස ගිය නිසල රැයේ

සිහින ලොවේ විකසිත වී

කවදා හෝ ඉන්නේ යැයි නිරතුරු පැතුවයි

නිරතුරු පැතුවයි

 

එය මොන තරම් සොඳුරු ගීතයක්ද යන්න ඔබට වරක් දෙවරක් උවමණාවෙන් අසූවොත් දැනෙනු ඇත.

එබැවින් මෙන්න මෙතැනින් උවමණාවෙන් ගීතය අසන්න.

https://www.topsinhalamp3.com/songs/w-d-ariyasinghe-mp3-songs/ran-salu-wage-pawela-mp3-song.php

 

එම ගීත එකතුවෙහි මා වඩාත්ම ප්‍රිය කරණ ගීතය වන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරණ ලද මල් අතර නපුරුම මලද ඔබ ගීතයයි. මා එහි ප්‍රිය නොකරන්නේ කුමන අංගයටද? එහි සෑම අංගයක්ම මට නම් අති මනරම් ය.

 

මල් අතර නපුරුම මලද ඔබ

සුවඳින් මගේ හිත උමතු කළ

 

සිය ගණන් බඹරුන් දුටුමතින

මල් පෙති සලා ඉඟි බිඟි කළද

නිකරුණේ බිම ඉහිරී නොයන.

ආදරයමයි මලකට සුවඳ

 

 

මගෙ සිහින ලොවේ ලිය ගොමු අතර

මට නොපෙනිලා හෝ ඔබ ඉන්න

මල් සිනා පෙති රේණු අරගන්න

ඒ සුවඳ විතරක් ඔබ මට දෙන්න

මල් අතර නපුරුම මලද ඔබ ගීතය මේ මත ක්ලික් කර අසන්න

 

මේ ගීත යම් කලෙක කැසට් පටයක් ලෙසින් නිකුත් වූ ඒවා බව පසුව දැනගතිමි. එහෙත් පසු කලක සංයුක්ත තැටියට හැරෙත්ම නාලිකා වල සංයුක්ත තැටි හැර කැසට් වාදනය කරන්නට පෙළඹුනේ නැත. බොහෝ විට කැසට් වලටත් වඩා ඒවා ස්පූල් ටේප් වැනි නමක් ඇති පටයකට ගෙන වාදනය කළා මතකය. කැසට් කාලයේ වුව, මේ ඉහතින් දැක්වූ ගීත ඒවායේ වැඩිපුර වැයුනේ නැත. හේතුව කිමැයි නොදනිමි.

මේවා නොවයන්නේ නම් ඒ කිමද යන්න දැන ගැනීමට හැකි නම් ඒ මගේ කුකුස නැති කර ගැනීමටය.

කෙසේ හෝ ඉහත ගීත වලින් ඔබට සාක්ෂි සපයන්නේ ඔහු ස්වතන්ත්‍ර ගීත ඔස්සේ සිය ගමන යාමට ගත් වෙහෙසකර වෑයමයි. ඒවා අහක දැමිය හැකි නිර්මාණ නොවේ. නමුත් ඊට නිසි සැලකිල්ල ලැබුණු බවක් දැක ගත නොහැකි විය.

මේ අතරතුර කාලයකය අමරදේවයන්ගේ පැරණි ගීත නව රිද්මයෙන් වැයෙන ගීත එකතුවක් ගැන අදහස් ආවේ. ඒ අදහස ආරි අයියාගේ අදහසක් නොවේ. අමරදේවයන්, කේමදාසයන් ඈ දැවැන්තයින්ට යම් නිෂ්පාදකයෙකු දැමූ අදහසකි.

එය එසේ වුව, එකල අති මහත් ප්‍රහාරයකට ගොදුරු වූයේ ආරියසිංහයන්ය. ඒ පස කලෙක යම් හේතුවක් නිසා ඔහු විසින් එම ගී ගායනා කළ බැවිනි. එහෙත් ඇත්ත එය නොවේ.

එකල මම ඒ පසුපස ඇති ඇත්ත ඉරිදා දිවයින සංග්‍රහය ට ලිවීමි. නමුත් එහි මා යෙදූ හෙඩිම වූ මට නම් දුක අමරදේව හෝ ආරියසිංහ ගැන නොව අපි ගැනමය යනුවෙන් දැමූ හෙඩිම වෙනුවට ඔවුන් ( දිවයින ) සියල්ල පසුපස ඇත්තේ මුදල් ය යනුවෙන් වෙනත් හෙඩිමක් දමා තිබූයෙන් අවසානයේ මා හටද දැඩි ප්‍රහාරයකට ලක්වන්නට සිදුවිය. ඒ ක්ෂේත්‍රෙය් අති දැවැන්තයින් දෙදෙනෙකු වූ අමරදේවයන්ටත් කේමදාසයන්ටත් ඉන් යම් අපහාසයක් වුණු බව කියමිනි. එහෙත් එකල මා තරමක් හිතුවක්කාර චරිතයක් වූ බැවින් ඉන් ආරක්ෂා වීමට හෝ එය නොතකා සිටීමට හෝ මට හැකි විය.

එදා ඒ ලිපිය ලියන්නට මා හට හේතු වුණේ රාවය පත්‍රයේ යම් ලේඛිකාවක් පළ කළ ලිපියකි. අමරදේවයන්ගේ ගී ආරියසිංහයන් ගැයුවේ අහම්බයකින් නොවේ යැයි නොදත් ඇය, අමරදේවයන් ගේ ගී ගැයූ ආරියසිංහයන් ගැන දුක්වන බවය එහි ලියා තිබුණේ. ඇයට අනුව නම් අමරදේවයන් කොවුලෙකි. ආරියසිංහයන් කපුටෙකි. එහෙත ඇත්ත එයද? එවැනි අහසට පොලොවක් වගේ වෙනසක්ද? ඇය අමරදේව ලෝලී වූවාට කම් නැත. නමුත් ආරියසිංහ විරෝධී වුණේ ඇයි? මා පිලිතුරු ලිව්වේ ඇයටය. එයට ය. ඇය එහි ලියූවේ මට නම් දුක අමරදේවයන් ගැන නොව ආරියසිංහයන් ගැනය යනුවෙනි. මා ලියූවේ මට නම් දුක අමරදේවයන් හෝ ආරියසිංහයන් ගැන නොව අප ගැනමය කියාය. දිවයින් මේ හෙඩිම වෙනස් කරමිනි සියල්ලට හේතුව මුදල් ය යනුවෙන් පළ කලේ.

කෙටියෙන් කියනවා නම් ප්‍රේම සැඳෑවෝ වැඩ පටන් ගත්තේ අමරදේවයන් සහ කේමදාසයන් අන් දෙතුන් දෙනෙකුගේ මැදැහත් වීමෙනි. මතක හැටියට ඒ සජීව ෆැන්සි පැලස් ආයතනය වෙනුවෙනි. එහෙත් මේ අතරේ අමරදේවයන් සහ ටොරානා ආයතනය අතර ගනුදෙනුවක් සඳහා යම් කතා බහක් ඇති විය. එකල මම ටොරානා හා සමීපව ඇසුරු කළේ මගේ කිඳුරු ගීතය සංයුක්ත තැටිය ද ඔවුන් විසින් නිෂ්පාදනය කල බැවිනි. ඒ නිසා එකල සිදු වූ යම් යම් අයගේ යම් යම් සංචරණයන් මා දැක තිබුණි. ඒ සමගම මේ හා පැවැති කසු කුසුද මම දැන සිටියෙමි. ඒ අනුව අර නිර්මාණය ( ප්‍රේම සැඳෑවෝ ) කෙරෙන අතර මග අමරදේවයන් ටොරානා හා ගනුදෙනුව බාර ගත්තේය. එබැවින් අර වැඩේ කොට උඩ ගියේය. ඔවුන්ද ඒ වන විට විශාල මුදලක් වියදම් කර තිබූ නැවින් ඒ වැඩේ ගොඩ දා ගතයුතු විය.  අනතුරුව ගැයුම් සඳහා යම් යම් අය විමසූහ. සමහරුන් ප්‍රතික්ෂේප කළ බැවින්ඇරියුම ආරියසිංහයන් වෙතටද ළඟා විය. ආරියසිංහයන් සිටියේ එයවැනි ඇරියුමක් ආ සැනින් බාර ගන්නා පරිසරයකය. සිය හැකියාවන් නිසි ඇගැයුමට ලක් නොකල කල්හි වෙනත් අයුරකින් හරි සිය ස්ථාවර හදා ගන්නට කෙනෙකු උත්සාහ දරයි නම් එහි වරද ඔහුගේම නොවේ.

කෙසේ වෙතත්, එය බාර ගත්තේ හුදු මුදලක් නිසාමය යනුවෙන් නම් මම කිසිවිටෙකත් නොසිතමි. පළමුව එහි එතරම් බරපතල කමක් ගැන ඔහුට නොසිතෙන්නට ඇත. දෙවනුව ඔහු දැඩි අමරදේව ලෝලියෙ‍කු වූ බැවින් ඔහු මෙය තමනට ලැබුණු මහඟු අවස්ථාවක් කොට සලකන්නට ද ඇත.

මා ලියූවේ මේ සැබෑ වටපිටාවය. අර විදිහට හෙඩිම වෙස් වීමෙන් සිදුවූයේ සෑහෙන පිරිසක් මගෙන් ගේම ඉල්ලීමය.

ආරි අයියා එහි ගැයූ ගී ගැන වැඩිදුර කතා නොකරමි. එහි අමරදේවයන්ගේ සංයමය සහිත ගීතයක් අපේක්ෂා නොකළේය. එහි ගී ගැයුවේ අමරදේවයන්ම වූයේ වුව, ආරි අයියාට වඩා වැඩි දෙයක් කිරීමේ ඉඩ අඩුය. මන්ද යත් එය යම් නව රිද්මයක ඉවක් ඔස්සේ නිර්මාණය වී තිබුණු බැවිනි. සමහර විට තරමක් වේග රිද්මයට ඒවා අමරදේවයන් විසින්ම ගැයුවේ නම් අමරදේව ප්‍රතිරූපයට ඊට වඩා හානි වන්නටද තිබුණි. කපුගේ ප්‍රතිරූපයට වූ හානිය මෙහිදී නිදසුනක් සේ මතක් කරමි.

මොන තරම් නින්දා ගැරහුම් ලබන දෙයක් වුව, මේ ගී එකතුවේ බොහෝ ගීත  නිසාවෙනි ආරියසිංහයන්ට සැබෑ රසික අවධානයක් ලැබුනේ. ඒ ඔහුට ඇහිරූ මං  පෙත් විවර වූ  අවස්ථාව විය.

එහි ඇති ගී අතුරින් හීන් සැරේ ඔබ ආවා ආවා ගීතය පමණක් අසමු. ඒවා අනේක වාරයක් ඇසූ ඒවාය.

හීන් සැරේ ඔබ ආවා ආවා ගීතය මේ මත ක්ලික් කර අසන්න

 

එහි ගී වලින් හීන් සැරේ ඔබ ආවා ආවා පමණක් අසා යන්නට සිතුනේ වුව තවත් ගීතයක් ඔහු හඬින් අසන්නටම සිත්වේ. ඒ මේ ගී එදා ඇගේ හදින් මා ඇසූ රාවයයි ගීතයයි. එය ඔහු ගයන අයුර මට වෙනමම මිහිරකි.

රචනය 

 ප්‍රවීණ ගීත පද රචක අජන්තා රණසිංහ අභාවප්‍රාප්ත වේ (VIDEO) - Sri Lanka News

ආචාර්ය අජන්තා රණසිංහ 

යන් ගේ ය. තනුව සහ සංගීතය 

 දේශමාන කලා කීර්ති ආචාර්ය කේමදාස ද? නොවේ. ඔහු කේමදාස මාස්ටර් ය. | දිනමිණ

ආචාර්ය කේමදාස 

යන් ගේ ය.


මෙන්න මෙතැන් සිට ආරියසිංහයන් ගැන යම් තරමකට කතා කිරීම ආරම්භ වන්නේ. ඔය සිද්ධිය දක්වාම ඔහු ගැන යම් අලුත් කතා බහක් තිබුණේ නම් ඒ මගේ වළාකුළු පෙළින් ගීතය නිසාය. ඉන් ඈත එපිට ඔහුගේ නිර්මාණ සහ හැකියාවන් ගැන කතා කළේ අතිශයින් දන්නා කියන අය සීමා සහිත පිරිසක් පමණි.

අනතුරුව ඔහු කළ සඳ නැ‍‍ඟෙනා තුරු ගීත එකතුව ඔහුට යම් සාධාරණයක් ඉටු වූ අවස්ථාවක් විය. එහි ගීත කිහිපයක්ම නිසි රසික අවධානය දිනා ගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙක් අතිශය ජනාදරයට පත් ගීත කිහිපයක්ම අපගේ මතකයට සැනින් නැගෙන තරමේ ප්‍රසිද්ධියක් ලැබීය.

එහි ඉහළම තැන මා ළඟටම තව ළං වෙලා ගීතයට හිමි වෙයි.

 

මං ළඟටම තව ළං වෙලා

හිඳින්න නිහඬ නුවන් පියා

මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්‍රියේ

පා සුළැඟිල්ලේ හඬ නම් අවදි නොවේ

කුසුම් කැකුළ පිපෙනා තුරා

ආචාරය අජන්තා රණසිංහයන්ගේ රචනයකට සංගීතය සැපයුනේ මතකයේ හැටියට  

 Dayan Witharana - Dayan Witharana ने नई फ़ोटो जोड़ी. | Facebook

සංගීතඥ තිස්සසිරි පෙරේරා   

අතිනි. එය ඔහුගේ ජනප්‍රියම ගැයුම සේ හැඳින් වූවාට වරදක් නැත.



 

අදාල ගීත එකතුවට නම් ලද ගීතයද එහි සෑහෙන ජනප්‍රියත්වයක් හිමි වූ ගීතයක්. එය මගේ සමකාලීන මිතුරෙකුගේම රචනයක් වීම මගේ වැඩි ප්‍රසාදයට කරුණකි.

 

සඳ නැ‍‍ඟෙනා තුරු තනි  මේ  රාත්‍රියේ

මී මල් සුවඳක් අරන් ඇදෙන සුළ‍ඟේ

බමරෙකු ඇදුනා ඒ මල් සුවඳ දිගේ

මලේ සුවඳ මට දැනුණා හීන් සැරේ

 

ඉරිමා උදයේ සිහිනය සිතක සදා

ඔබේ මගේ  හද හැඟුමන් පුබුදු කළා

එවන් අතීතේ මිහිරක් හිතේ තියා

කඳුළු විලේ රත් පියුම් පිපී පිපුණා

 

බාල වියේ බැඳි ‍සෙනෙහස තුරුළු කරන්

සදා සොඳුරු ලොව තව මල් පීදියන්

සිහිනය සේ ඔබ ඈතින් ඇදෙන ලෙසින්

සඳත් රැයත් මගෙ තනියට ළඟම ඉඳින්

 

 Sinhala Entertainment Gossip, Celebrity News, Celebrity Gossip |Saaravita.lk

දයානන්ද රත්නායක 

ගේ පද රචනයට තනුව සහ සංගීතය යෙදුවේ  

 

 ඔහු යන්න ගියා මැකිලා එච්. එම්. | සරසවිය

එච්. එම්. ජයවර්ධන

ය. එය සොඳුරුතම ගී පද සිත්තමක් වෙත්දී එච්. එම්. අයියාගේ සංගීතය එහි ගැබ්වූ හැඟීම් මනාව මතු කොට පෙන්වා ඇත. ආරි අයියාගේ හඬ සත්කාරය ඇතිරෙන්නේ ඒ මතය.


එහි ඇති සියළු ගී ගැන කතා කරන්නට අදහස් නොකරමි.

ආරි අයියාගේ නිසල දෙණ පාමුළ තබන්නට ලියන්නට හිටියේ කෙටි සටහනකි. නමුත් කෙටි සටහනක් ලියා තවතා ගත නොහැකි වූයෙන් එය ඔහු දෙණ පාමුළ තමන්නට බැරි වියි. දැන් එය වාතලයට මුදා හරිමි. වළාකුළු පෙළින් බසින්න යැයි සඳවතියට ඇරියුම් කොට ඔහු වළාකුළු වලිනුත් එපිටට පාවී ගොස් ය.

එබැවින් එසේ වත් එය ඔහු වෙත මෙය යනු ඇත.

තවත් ගී දෙකක් තුනක් ගැන පමණක් ගැන කතා කරමි.

නොකරම බැරි නිසාය.

 

මේ ගීත එකතුවටද මා ලියූ ගීතයක් ද ඇතුළත් වන්නේ මා මිතුරු සංගීතඥ  

 

 යසනාත් සිතුවිලි: May 2019

කරුණාරත්න විජේවර්ධ

ගේ මියුරු මියැසියට ය. මගේ රචනා අතරින් මා යම් වැඩි පමණකින්  ප්‍රිය කරණ මේ රචනය කරු අතින් අවැසි නිසි සංගීතයෙන් හැඩ වුණු බව කිව යුතුමය.

 

ඈ මලක් වුණත් මා බමරෙකු නොවන නිසා

මලින් මලට ගොස් රොන් අරගනු බෑ

ඈත ඉඳන් මල් සිනා බලන්නම්

ඈ සඳක් වුණත් මා සාවෙකු නොවන නිසා

සඳවත තුරුළේ සුව විඳගනු බෑ

සඳ දිය දහරේ ගිලී නිවෙන්නම්...

 

මල් සුවඳට වැටකොටු බඳින්න බැරි දා

මලේ සුවඳ මගෙ කුටියට පිවිසේ නම්

වරදක් වෙද සුවඳින් සැනසීමේ

මල් සුවඳ දිගේ ගොස් මල් පෙති නොතලා නම්....

 

සඳ එළියට සීමා දමන්න බැරි දා

සඳේ කිරණ මගෙ කුටියට පිවිසේ නම්

වරදක් වෙද සඳ සිසිල විඳීමේ

සඳ දියේ ගිලී සඳ විල බොර නොකරානම්



මෙය එම ගීත එකතුවට ගොනු වූ ගීත අතරින් යම් රසික ප්‍රසාදයක් දිනා ගත් ගීතයක් විය. එහෙත් එය එතරම්ම ප්‍රචාරය වුණු ගීතයක් නොවේය යන්නයි මගේ හැඟීම. මෙවන් ගීත අදට නොගැලපේ. අද ගීත අපට නොගැලපේ. මේ දෙක අස්සේ ගීත එහේ මෙහේ විසි වේ. නැති වේ.

ආරි අයියා ජෝති උපහාර උළෙලකට ගැයූ ආචාර්ය අමරදේවයන් විසින් සංගීතවත් කළ කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට ගීතය ඔබට අසන්නට නොදී යන්නට මට නොසිතේ. ඔහු එයට වෙනත් වටිණාකමක් දෙමින් ගායනා කර තිබූ බව මගේ හැඟීමයි. එබැවින් අපි දැන එය අසමු.

කන්දෙන් කන්දට ගීතය මේ මත ක්ලික් කර අසන්න

 

මේ සටහන ලියන්නට ගත්තේ මේ ගීත සියල්ල සිය හැඟුම්බර නිවැරදි ස්වර ස්ථාන වල පිහිටා ගැයූ ආරි අයියා අද අප අතර නැති වේදනාවටම වුව යම් දුරක් යන විට එය වඩ වඩාත් දිගු කරමින් ලියන්නට ගත්තේ ඒ නිසාම නොවේ. එය එක් කරුණක් පමණක් විය.

ඔහුගේ එදාද කතා නොකළ අදද කතා නොකරණ ගීත කිහිපයකුත් ඔබගේ අවධානයට යොමු කිරීමටත් ය. නැති නම් ඔහු අමරදේවයන්ගේ ගී ගැයූ පසුව කරලියට ආ ගායකයෙකුය යනුවෙන් යමෙක් තවමත් සිතා සිටින්නට පුළුවන් නිසා ය. මා මෙහි පෙර සඳහන් කළ ගීත ගොන්නට නිසි ස්ථානය ලබා දුන්නේ නම් සමහර විට ආරි අයියා අමරදේවයන්ගේ ගී නොගයන්නට ඉඩ තිබුණි. එහෙත් එ් දෙකම එසේ නොවීය.

බොහෝ ගායකයින්ට නිසි ස්වර ස්ථානවල පිහිටා ගීත ගායනා කළ හැකිය.

හැඟීම් ද ගායනා කළ හැකිය. එහෙත් පද සහ ස්වර රචනා මතට හැඟුම් බර ගායනාවක් වක්කරන්නට නොහැකිය. ඔහු කළේ එය ය. ඔහු එහි අදහස විඳ සිය හදපතුළෙන්ම පැණ නඟින හැඳුම් සමුදාය ඊට වක්කරයි. මට ඔහු විශේෂම එබැවිනි.

ආරි අයියේ, වළාකුළෙන් බැස එන ලෙස සඳවතියට ඇරියුම් කළ ඔයා වළාකුළු පෙළින් ඔබ්බටම ගියා එහෙනම්.

ඒ ඔබේ කැමැත්ත.

ඇත්ත.

මෙහේට වඩා හොඳ මිනිස්සු දැන් ඉන්නේ ඔහේ තමයි.

දවසක හමුවෙන්නට බලමු. ඔහෙට එන්න තරමට අපි හොඳද යන්නය දැනට ඇති ගැටළුව.

හමුවෙන්නට බලමු කීවේ එබැවිනි.

සුබ ගමන්. සැහැල්ලුවෙන් ඉන්න.

 

 

 

-      යසනාත් ධම්මික බණ්ඩාර     -

2 comments:

  1. ආරි නම් වූ සුන්දර මිනිසා පිළිබඳව කතිකාවක් නොවුණු රටක මේ ලිපිය පවා මහඟු හරබර විශ්ලේෂණයකි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාරද. වටිණවා ඒ වචන ටික.

      Delete