Thursday, May 23, 2019

මව්බිම - තොටුපොල





2019 මැයි මස 22 මව්බිම පුවත් පතේ තොටුපොල වෙනුවෙන් මගේ නිර්මාණ දිවිය පිළිබඳ සටහනක් තබන්නට මා හා කතා කළේ ලේඛිකා ධම්මිකා දමයන්ති රාජකරුණා ය. ඇයගේ විමසුම් සඳහා මා දුන් පිලිතුරු සංස්කරණයට ලක් නොවූ සටහනක් සකසන්නට මා හට සිත් විය. 

පුවත් පතක ඇති ඉඩ අනුව අපට ලැබෙන ඉඩ සීමිත බව මම අත්දැකීමෙන් දනිමි. ඇත්තටම විවිධ සීමාවන් පවතිද්දී ඔවුන් මෙවන් හෝ ඉඩක් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතරේ ඒ පිළිබඳව සංස්කරණය නොකළ අදහස් රසික පිරිසට වැදගත් වේ යැයි හැඟුනු නිසායි මෙවන් සටහනක් සේ එය පළ කරන්නට හිතුණේ.
*  *  *
මම යසනාත් ධම්මික බණ්ඩාර. උපන් ගම කුරුණෑගල. ළදරුවියේ සිටම හැදී වැඩුණෙ කුරුණෑගලට නොදුරු පොතුහැර අර්ධ නගරයේ. අර්ධ ග්‍රාමයේ. ඒ අර්ධ ගැමි අර්ධ නාගරික ප්‍රදේශය මැදින් ඇදෙන කුරුණෑගල - කොළඹ මහා මාර්ගයෙන් ඉඩම් කට්ටි කිහිපයක් දෙපසට ගිය තැන සිට විහිදෙන්නේ ඔරිජිනල් ගමයි.

ඒ ගමේ විසූ  කිරිමැණිකේ අතපත්තු  නම් මගේ මවයි. ඇය වෘත්තියෙන් හෙද නිලධාරිනියක් සහ හෙද සොයුරියක් වශයෙන් සේවය කළා. දැන් ඇය මිය ගිහින් වසර 5ක්.


අප්පච්චි නවරත්න බණ්ඩාර. වෘත්තියෙන් ලිපිකරුවෙක්. විශ්‍රාම ලැබීමෙන් පසු අදටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සංවිධායකවරයෙක් වශයෙන් සේවය කරණවා. දැන් වයස 80ක්.

මම පවුලේ වැඩිමලා. 

මල්ලිලා දෙදෙනයි. 

වැඩිමහල් සොයුරු 


අනුරුද්ධ බණ්ඩාර 
ගුවන් හමුදා ගුවන් නියමුවෙකු වශයෙන් වසර 23ක් සේවය කර දැන් කටාර් රාජ්‍යයේ ගල්ෆ් හෙලිකොප්ටර්ස් සමාගමේ ගුවන් නියමුවෙක්. බාල මලණුවන් වන  


කෝසල බණ්ඩාර 
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.

මගේ බිරිඳ නිමායා යසරත්නයි. ඇය රූපලාවණ්‍ය හා කේශලාවන්‍ය ශිල්පිණියක් වශයෙන් පොතුහැර ප්‍රදේශයේ සැලෝන් දිගැසී නමින් රූපලාවණ්‍යාගාරයක් සහ කේශලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා. 


පුතා නිසයුරු පසන්දුල්. දියණිය සරසිසිනි සිසිකිරණි.


මගේ ප්‍රාථමික අධ්‍යාපනය 2 ශ්‍රේණිය තෙක් පොතුහැර කණිටු විදුහලෙන් ලැබුණා. අනතුරුව 3 ශ්‍රේණියේ සිට කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළට ඉගෙණුම ලැබුවේ විද්‍යා විෂය ධාරාවෙන්. 

උසස් පෙළ කළේ 1987/88 කාල වකවානුවේ.

උසස් පෙළින් සමත් වුණාට මුළින්ම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්නට තරම් හොඳ ප්‍රතිඵල තිබුණේ නෑ. ඇත්තටම එහෙම උවමණාවක් මට තිබුණෙත් නෑ.

තාරුණ්‍යයට අතිශය දුෂ්කර කාලයක අපට අවශ්‍ය වුණේ යම් ආයතනයකට පැනගෙන ජීවිතය බේරා ගන්න. ලැබුණු ප්‍රතිඵල වලින් මුළින්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තේරුණා. ඒත් හිත දුන්නේ නෑ එහි රැඳෙන්න. පසුව සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයට ගියා. එහි සිටිද්දී හිතුණ දෙයක් තමයි මට මීට වඩා දුර ඉගෙන ගන්නට තිබුණා නේද කියන එක. ඒ නිසා එහි සිටියදීම යළි උසස් පෙළ කරන්නට යොමු වුණා. 

එතකොට තමයි මට තේරුණේ මම නිරපරාදේ පසුගිය වසර කිහිපය කා දමා ඇති බව. එබැවින් එහි සිටියදීම හොරෙන් හොරෙන් පංති ගිහින් යළි උසස් පෙළ කරණු ලබුවා. එවර උසස් පෙළ, උසස් ලෙස සමත් වුණා. ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීටයට ඇතුළත් වුණා වෛද්‍ය සිසුවෙකු ලෙස. වසර දෙකක් එහි අධ්‍යාපන ලබා පසුව ඉතිරි වසර 3 සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. මා වෛද්‍යවරයෙකු වන්නේ වසර 2000දී. මුළින්ම මීගමුව මූලික රෝහලට.

පාසැල් යන කාලයේ සාහිත්‍යකරණයේ ප්‍රායෝගිකව නොයෙදුණත් එකල බොහෝ සේ පොත පත කියෙව්වා. වේදිකා නාට්‍ය බැලුවා. ඒවා පිළිබඳ මිතුරු සමාජයන් තුළ කතා බහ කළා. ඒ කාලේ චිත්‍රපට සඳහා පස්වෙනි මණ්ඩලය කියා එකක් තිබුණු. එහි ආ වැඩිහරියක් චිත්‍රපට ස්කූල් කට් කරලා ගිහින් පළමු දර්ශණ වාරයේදීම බැලුවා. පසුව යළිත් වතාවක් හෝ සමහර විට දෙවතාවක් හෝ  ඒවා බලා කතා බහ කරන්න පුරුදුව සිටියා.

ඒ කාලේ තිබුණු එකම ගුවන් විදුලියේ ඇහුනේ විශිෂ්ඨ වැඩ සටහන්. විශිෂ්ඨ ගීත. මේ නිසා ඒවා ගැන කතා බහ කරන්න රුචියක් දැක්වුවා. ඒත් ලියන්න හිතුවේ නෑ.

ලියන්න හිතුණේ 88/89/90 අඳුරු භීෂණ යුගයේදී. හිතේ ආවේගය/ වේදනාව/ ජීවිත බිය/ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව වැනි දේ නිසා ඇති වූ මානසික ආතතිය සැහැල්ලු කර ගන්න ඒ පෙළඹවීම ආවා කියා මට හිතෙනවා. නමුත් බොහෝ සාහිත්‍ය කලා නිර්මාණ ඇසුරු කර තිබුණු නිසා මම ඒ මාවතේ සෙමෙන් සෙමෙන් යම් යහපත් ගමනක යෙදුණා.
ලියූ දේවල් වෙනුවෙන් ප්‍රවීනයින්ගේ ඇස යොමු වන්නේ අනතුරුවයි.වසර 7ට 8ට විතර පසුව මගේ පළමු කවි පොත පතන් බිම නමින් එළි දැක්වුණා. මේ සඳහා  

නන්දන වීරසිංහ



රත්න ශ්‍රී විජේසිංහ 
වැනි ප්‍රවීනයින් සේම එකල, එකට එක සෙවනක් යට හිඳිමින් නිර්මාණකරණයේ යෙදුනු  


මහින්ද කුමාර දළුපොත


තිඹිරියාගම බණ්ඩාර,  

වසන්ත බණ්ඩාර දුග්ගන්නාරාල, 

කුමාර ලියනගේ 
වැනි සගයින්ද උදව් උපකාර කළා. පසුව ඊට ක්ෂේත්‍රෙය් තවත් ප්‍රවීනයින් සේම සමකාලීන කවි මිතුරන්ද එකතු වුණා. අනතුරුව කවිය සහ ගීත රචනය යන දෙකෙහිම නිරත වුණා. දෙවෙනි කවි පොත මුරගල නමින් එළි දැක්වුණා. ගීත පොත් දෙකක් එළි දැක්වුවා අඟුටුමිට්ටාගේ ප්‍රේමය සහ උයන්පල්ලා සහ සඳවතිය යන නම් වලින්.

ඒ වගේම මම දළුපොත හා තිඹිරි සමග එකතුව විශාරද ගුණදාස කපුගේ ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විචාර නමින් සංස්කරණ පුස්ථකයකුත් කර තිබෙනවා.

මගේම ගීත රචනා 16කින් නිර්මාණය වුණු ගීත 16ක් ඇතුළත් කිඳුරු ගීතය සංයුක්ත තැටිය නිමැවුණේ මට මතක හැටියට 1999 දී. එහි විවිධ ප්‍රවීනයින් ගී ගැයුවා.



ගීතය පැත්තට යොමු වීමට බලපෑ ප්‍රධාන තිදෙනෙක් සිටිනවා. 

 විශාරද ගුණදාස කපුගේ,  



සංගීතඥ නවරත්න ගමගේ  
සහ ගී පද රචක වසන්ත දුග්ගන්නාරාල. ඒකට හේතුව මගේ ගීත රචනා ලක්ෂණ දැරූ කවි 3ක් ඔවුනගේ මැදිහත්වීමෙන් ගීත බවට පෙරැළුනු නිසා.

අනතුරුව ගීත රචනය සහ ගීතය කෙරෙහි මගේ උනන්දුව වැඩි වුණා. මා ඒ සඳහා දුෂ්කර මගක් ඔස්සේ බොහෝ වෙහෙස මහන්සියෙන් ඇවිද ගියා.

ඊට පස්සේ විවිධ ප්‍රවීනයින් සේම නවකයින්ගේ හඬින් හැඩ වුණු ගීත රැසක් මගේ රචනාවන් තුළින් බිහි වුණා.

එකල ක්ෂේත්‍රෙය් සිටි ඉහළම ප්‍රවීනයින් ඇසුරු කරන්න ලැබුණා. පණ්ඩිත් අමරදේවනයන් ආචාර්ය නන්දා මාලිනියන් ආචාර්ය වික්ටර් රත්නායකයන් සේම විශාරද ගුණදාස කපුගේ, විශාරද මාලනී බුලත්සිංහල, විශාරද නිර්මලා රණතුංග ඈ ගායක ගායිකාවන්ගෙන් ඇරඹි එය අද සිටින දක්ෂයින් තෙක් විහිදෙනවා. සංගීතඥයින් වශයෙන් ආචාර්ය කේමදාසයන්, වික්ටර් රත්නායකයින්, ගුණදාස කපුගේ ශූරීන්, එච්. එම් ජයවර්ධනයන්, රෝහණ වීරසිංහයන්, වාද්‍ය විශාරද විජේරත්න රණතුංග ආදීන්ගෙන් අනතුරුව ඊ ළඟ පරපුරේ දැවැන්තයින් වූ නවරත්න ගමගේ, කරුණාරත්න විජේවර්ධන, සමන්ත පෙරේරා, ආනන්දපෙරේරා, රෝහණ ධර්මකීර්ති, සුරේෂ් මාලියැද්දේ ආදීන් ද එසේම වර්තමාන දැවැන්තයින් වන දර්ශන රුවන් දිසානායක, දර්ශන වික්‍රමතුංග, අරුණ ගුණවර්ධන, අමිත් ලියනගේ ආදීන් ඇසුරු කරන්නට ලැබුණා සේම ඔවුනගෙන් බහුතරයක් මගේ නිර්මාණ කටයුතු සඳහා සංගීතයෙන් දායක වී ද තිබෙනවා.

සමහරු අහනවා විද්‍යාවයි කලාවයි එකවර කරන්නේ කොහොමද කියලා. ලංකාවේ සෑදී ඇති ක්‍රමය අනුව නම් එය ටිකක් දුෂකරයි තමා. පෙළඹවීමත් ඒ තරම් නෑ. විද්‍යාව කරද්දී කලාව කළොත් දෙකම කර ගන්න වෙන්නේ නෑ වගේ අදහසක් තමයි බොහෝ අයට තියෙන්නේ. ඒ නිසා තමන් කර කර සිටි දිගටම කරගෙන යන්නට හැකිව සිටි සියළු දේ නවතා දමා විද්‍යාව පමණක් ඉගෙන ගන්නවා. මම නම් හිතන්නේ ඒක ලොකු මුලාවක්. ඒ වගේම විය යුතුත් යම් ක්ෂේත්‍රයක විශේෂ දැණුමක් ලැබූවවත් සියළු දේ ගැන ඇල්ම ඇති මිනිසෙක් බිහිකිරීමයි.

මම මගේ ප්‍රධාන විෂය ධාරාවට පිටින් කවි ගීත ලියනවා. විවිධ නිර්මාණ විමසා බලා යම් යම් ඇගැයුම් සටහන් ලියනවා. විවේචන ලියනවා. වනජීවී පැත්තට බර ඡායාරූප ශිල්පියෙන් යම් වැඩ කොටසක් කරණවා. විශේෂයෙන් මම කැමැතියි කරුල්ලන්ගේ ඡායාරූප ගන්න. අවශ්‍ය කෙනෙකුට මේ දිගුව ඔස්සේ ගියොත් ඒ ගැන සාක්ෂි ලබා ගත හැකි වේවි.


ඒ වගේම බිරිඳගේ රූපලාවණ්‍යාගාරයට අවශ්‍ය බොහෝ නිර්මාණාත්මක කටයුතු ඉටු කරන්නේ මම. කොටින්ම කියනවා නම් එහි අභ්‍යන්තර නිර්මාණය ( Interior Design ) එකත් මගේ. 

පටිගත වී සංයුත්ක තැටියකට ගොනු වුණු මගේ පළමු ගීතය වන්නේ 

කරුණාරත්න විජේවර්ධන 
අතින් සංගීතවත් වී  


ප්‍රදීපා ධර්මදාස 
ගායිකාව විසින් ගැයූ 

සඳක් මැකුණු දා සිකුරා වුණත් නොපිපි දා  

කියන ගීතය. මම ඊට බොහෝ ප්‍රිය වන්නේ ඒ නිසාමයි.

සිය ප්‍රථම හෝ හදවතට දැණුනු හෝ ප්‍රේමයේ බිඳවැටීමක් හේතුවෙන් විවිධ හේතු පාඨ ඉදිරිපත් කරමින් විවාහය පමා කර ගන්නා නැගණියකට අක්කෙකුගේ ආදරණීය සහ උපදේශාත්මක ඔවදන් අඩංගු ගීතයක් ලෙසයි එය ඉදිරිපත් වන්නේ.

සඳක් මැකුණු දා
සිකුරා වුණත් නොපිපි දා
එළි පොදක් අරන් හිස් අහසට පායා ආවට
ඔය සාප කතා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට

මේ ගීතය ඇතුළත් වූයේ ප්‍රදීපා ධර්මදාස ගේ කඳුළු තොටුපොල සංයුක්ත තැටියටයි.


එසේ මුත් එය මගේ පළමු ගීතය නොවේ. මගේ පළමු ගීතය සංගීතවත් වූයේ ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින්. එය ගායනා කරන්නට මගෙන් ඉල්ලා ගත්තේ යම් ආධුනික ගායකයෙක්. නිමැවුණු ගීතය හරබර සහ රසබර වූ බැවින් එය තමන්ට ගායනා කරන්නට වික්ටර් රත්නායකයන් ඉල්ලා සිටියේ ඔහුගේ නව නිර්මාණ එකතුවකටත් ලක ලැහැස්ති වෙමින් සිටි නිසායි. නමුත් අදාල නවක ගායකයා ඊට එකඟ වුණේ නෑ. ඒ නිසා මගේ පළමු ගීතයට ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් නිතුක් වීමේ සුවිශේෂ වාසනාව මට නැතිව ගියා. එපමණක් නොවෙයි. ඔහුටත් නොදී තමන් ගායනා කරන්නට තබා ගත් ගීතය අර කී ගායකයාට මැනැවින් ගායනා කර ගන්නට බැරි වුණා. ඒ නිසා අවසානයේ ඒ ගීතයෙන් කාටවත් වැඩක් නැතිව ගියා.

මගේ පළමු ප්‍රසිද්ධ ගීතය වන්නේ මගේම ගීත එකතුවක් වූ කිඳුරු ගීතය සංයුක්ත තැටියට සංගෘහිත

ගාන තෙල් සඳුන් වරලස
පීරමින් බලන හැඩ රුව
නුඹම නොවෙද මට හිනැහුණු අහිංසකාවී
කෝල මුතු සිනා දෙතොළග
ඉසුනු රන් ළමැද ගෝමර
නුඹම නොවෙද හිත රජවුණු මහේසිකාවී

යන ගීතයයි. එය එකල අති මහත් ජනප්‍රියත්වයක් ලැබුවා.


එය නවරත්න ගමගේ ගේ ද එලෙස ජනප්‍රියත්වයට පත් වූ පළමු ගීතයයි. එමෙන්ම ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි උමා ගීතය නිසා අතිශය ජනප්‍රිය ව සිටි ගායක සමන් ජයනාත් ජිනදාස ට සිය ජනප්‍රියත්වඒ මට්ටමේම ය දිගටම රැකගෙන සිටීමට මේ ගීතයෙන් ලොකු අවස්ථාවක් ලැබුණා. අපි තිදෙනාම ක්ෂේත්‍රෙය් වඩාත් ස්ථාවර කිරීමට මේ ගීතය අපට වාසනාව ළඟා කර දුන්නා.

එමෙන්ම එම සංයුක්ත තැටියෙහිම ආ

නොනිදා ඉන්න එපා දේවී
මට එන්න වේද දේවී
මමත් නොවෙයි
දෙවිත් නොවෙයි
කවුරුනම් දනීවී

කියන ගීතයත් මෙලෙස අතිශය ජනප්‍රිය වූ එකක්. මේ ගීතය අස්ථිර සේවක විලාපය නමින් මා ලියූ කවියක් පසුව ගීතයක් බවට පත් කර ගැනීමෙන් නිර්මාණය වූවක්. එහි සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ. සමන් ජයනාත් හා සමගම එකල අතිශය ජනප්‍රිය වූ අනෙක් ගායකයා වූයේ ජානක වික්‍රමසිංහ. මේ නොනිදා ඉන්න එපා දේවී ගීතය ගැයුවේත් ඒ ජානකමයි. එය ඔහුගේ ගීත ගොන්න තුළ අදටත් වෙසෙස් ගීතයක්. ඔහුට හිමිව තිබූ ජනප්‍රියත්වය අඛණ්ඩව රැක ගැනීමට එම ගීතය ඔහුටත් මහත් සේවයක් කළා.

නොනිඳා ඉන්න එපා ගීතය අසන්න.


මේ සංයුක්ත තැටියට විශාරද ගුණදාස කපුගේ ගීතයක් ගැයුවා තමන්ම සංගීතවත් කොට. එය මගේ ගී අතර මට විශිෂ්ඨ එකක්.

වැව්තාවල්ලේ සුදු කොඩි බැඳලා
කාගෙද මළගම කණකොකුණේ
ගොම්මං යාමේ වෙසතුරු දා කවි
හඬින් ගයනවද කොරවකුනේ

ගැබ්බර මහ වැව් කණ්ඩිය පුපුරා
දියවර හිඳුනේ මොන පවිනේ
පිණිබර නිල් දළු ගොයමට ගිනි ලා
කිම ඔරවන්නේ හිරු දෙවිඳේ

රස බර ගී සී පද ගොළු වීලා
යාය පුරන් වී ඉඩෝරයේ
තොළ කට තෙමනා දියවර යදිනා
නියං කුරුල්ලෝ විලාප දේ

වයඹ වන්නි කරේ, ඈත රජරට ගොවියන්ගේ ජීවන ඛේදවාචකයන් තමයි මෙහි අඩංගුව ඇත්තේ. ඒ නිසා එය අපේ ගීතයක් වෙනවා. එවන් දුකක් ගැන ගයන්න අපට තිබුණු හොඳම හඬින් එය ගායනා කරවා ගන්න මම වාසනාවන්ත වුණා. ඒ හඬ අයිතිව තිබුණේ කපුගේ ට.

වැව්තාවල්ලේ සුදු කොඩි බැඳලා ගීතය අසන්න.


මේ අතර ඈත කඳුකරේ අපා දුක් විඳින දළු නෙළන ළඳුන් ගැන ලියැවී තිබූ ප්‍රසිද්ධම ගීතයට මගේ බොහෝ විවේචන තිබුණා. මේ නිසා මම ඊට විකල්ප ගීතයක් ලියුවා. ඔවුන් විඳින අපට සිතා ගැනීමටවත් අපහසු දුක් කන්දරාවක් සුමුදු මට සිළුටු වදන් ටිකක රූපක ටිකක සඟවන්නට මම උත්සාහ කළා. මම හිතනවා ඒ දුක එහි සැබෑවටම ගැබ්ව ඇති නිසා එය ව්‍යාජ ගීතයක් නොවී සැබෑව ගැන කතා කරණ අව්‍යාජ ගීතයක් වුණා කියලා. අවාසනාවට අපි හිතූ තරම් ප්‍රතිචාරයක් හෝ ප්‍රචාරයක් ඒ ගීතයට ලැබුණේ නෑ.

කහට පැහැ වුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......

ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......

මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....
පද: යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර: එච්. එම්. ජයවර්ධන.
හඬ: විශාරද මාලනී බුලත්සිංහල.

කමට පැහැ වුණත් අතැඟිලි ගීතය අසන්න.


මේ ගීත එකතුවේ ජනප්‍රිය වුණු තවත් ගීතයක් තමයි කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා විසින් ගැයූ

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම
අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම



හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම



සිහිනයක පිපී සුන්දර
රැදේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම

ගීතය. එය සංගීතවත් කළේත් නවරත්න ගමගේ සංගීතඥයා විසින්.

අර මෝදුවෙලා සිනා පුරණ ගීතය අසන්න.


මා මෙතෙක් කළ නිර්මාණ අතුරින් මට වඩාත්ම ප්‍රිය ගීත නිර්මාණය වන්නේ උත්තර භාරතීය බ්‍රින්දාවනි සාංරග් රාගය ආශ්‍රිතව නිමි ගීතයක්. එය සංගීතවත් කරන්නේ සංගීතඥ නවරත්න ගමගේ. ගයන්නේ රශ්මි සංගීතා ආචාර්යවරිය සමග විශාරද ඩබ්. ඩී. ආරියසිංහ

වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ..

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ..

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ..
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ..

දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ..

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ..

මටද ආදරේ..
නුඹට ආදරේ..

පද: යසනාත් ධම්මික බණ්ඩාර
තනු: නවරත්න ගමගේ
හඬ: ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා

වළාකුළු පෙළින් බසින්න ගීතය අසමු.


මෙසේ ම විශාරද අමරසිරි පීරිසුන් ගයන

මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ

මේ ආලවන්ත වීදියේ
සොඳුරු වුනත් පාට හීන
වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
සිහින බි‍ඳෙන්නේ
මේ ආලවන්ත වීදියේ

මේ ආලවන්ත වීදියේ
නුරා ලඳුන් නෙතඟ බැලුම්
වැඩි මිල නෑ
අතමානෙම ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
දෑස රිදෙන්නේ
මේ ආලවන්ත වීදියේ

ලද දෙයින් තුටු නොවී වඩා සොඳුරු සිහින සොයා ගෙන ඉවක් බවක් නැතිව යන සමාජයක් සෑම දාම සිත් රිදවා ගන්නා කතාව කියන්නයි මම මේ ගීතය ලිව්වේ. එහි සංගීතය සුරේෂ් මාලියැද්දේ ගේ. 

මේ ආලවන්ත වීදියේ ගීතය අසන්න.


මා ලියූ ගීත ගණන 200ක් විතර ඇති. එයින් 60-70ක් පටිගත වෙලා ඇති. නමුත් අද වන විට තිබෙන්නේ එදා තත්ත්වය නොවෙයි. එදා හොඳ ගීත වලට ලැබුණු අවස්ථාව වැඩියි. ඒ නිසා අප කළ යුතුව තිබුණේ නිර්මාණ කිරීම පමණයි. ඒවා මාධ්‍ය ආයතන වෙත ලබා දුන්නාම ඔවුන් ඒවා ප්‍රචාරය කළේ යහපත් අරමුණින්මයි. නමුත් අද තත්ත්වය ඊට වෙනස්. අද වැඩි අවස්ථාවක් ඇත්තේ අවර ගණයේ ගීත වලට. ඒ ගීත ප්‍රචාරය කරන්නෙත් විවිධ අකටයුතු අයුරින්. දොල පිදේණි ලබමින්.

මිල මුදල් කෑම බීම් වල සිට කම් සැප දක්වා දේ ඒ සඳහා වියදම් කළ යුතු බව කියැවෙනවා. එහෙම තරගයකට අපට යන්න බෑ. ඒ නිසා කරණ නිර්මාණ එක්කෝ මිතුරන් අතරේ පමණක් ගැවසෙනවා. නැතිනම් ෆේස් බුක්, යූ ටියුබ් වැනි මාධ්‍ය වෙත පමණක් නිකුත් කරණවා. මෑත කාලයේ කළ බොහෝ නිර්මාණ ඒ විදිහට සීමා සහිත පිරිසක් අතරේ පමණයි සංසරණය වෙන්නේ. ඒවාත් එක්ක දඟලන්න අපට බෑ. ඒවා ප්‍රචාරය කර ගන්නට විවිධ දොළ පිදේනි දෙන්න අපට බෑ. මේ නිසා බොහෝ අය හිතන්නේ අපි අද නිර්මාණකරණයෙන් ඈත් වෙලා කියා.

ඒ වගේම තවත් දෙයක් තිබෙනවා. ඉස්සර බොහෝ විට නිර්මාණයක් කිරීමටයි පිරිස එකතු වුණේ. ඔවුන්ගේ මූලිකම අරමුණ හොඳ නිර්මාණයක් කිරීම. මුදල් හදල් හෝ වෙනත් දේවල් ගැන හිතන්නේ ඊට  පසුවයි. අද දවස වන විට නිර්මාණයේ උසස් බවට වඩා හුවමාරු වන මුදල ගැන තමයි වැඩි අවධානය. නියම වන මිල මුදල් සීමාවන් වෙත ළඟා වෙන්න අමාරුයි. මේ නිස මුදල් හදල් තිබෙන අයගේ නිර්මාණ පමණක් කෙරෙන හැඩයකුත් තිබෙනවා. ඒ වගේම ඒ නිසා හොඳ නිර්මාණ බිහිවීමේ අඩුවකුත් තිබෙනවා.

නමුත් දැන් දැන් හොඳ තරුණ නිර්මාණකරුවන් පිරිසක් බිහිව සිටිනවා යළිත් මුදලට වඩා නිර්මාණ එළි දැක්වීම ප්‍රමුඛ කාර්යය ලෙස සිතන. මේ නිසා විශේෂයෙන් අලුතින් නිර්මාණ කරණ බොහෝ පිරිසකට යම් සාධාරණ මුදලක් වියදම් කොට සිය නිර්මාණයක් එළි දැක්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එය යම් සාධනීය ලකුණක්.

කෙසේ වෙතත් එසේ බිහිවෙන නිර්මාණ වෙනුවෙන් වෙන් වන විද්‍යුත් මාධ්‍යයන්හි ගුවන් කාලය අතිශය සීමිතයි.

අද දවසේ චෝදනාවක් තිබෙනවා හොඳ නිර්මාණ නැහැ කියා. හොඳ නිර්මාණ කරලා ඒවා ඒ නිර්මාණකරුවන්ගේ පරිගණකයක රඳවාගෙන වැඩක් නෑනේ. ඒවා රසික සවන් පත් වෙත යා යුතුයි නේ. නමුත් ඊට නිසි ඉඩක් නැති නම් රසිකයින් හිතන්නෙත් සමහර විට විචාරකයින් පවා හිතන්නෙත් අලුතින් හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැත කියායි. එහෙත් එය එසේ නොවෙයි.

පෙර ප්‍රවීන පරපුර ක්ෂේත්‍රෙයන් සහ සමහර විට සිය ජීවන ගමනින් පවා බැහැර වූ විට යළිත් මේ සම්ප්‍රදායේ නිර්මාණ බිහි නොවේය යන මතයක බොහෝ අය ඉන්නේ. එහෙත් අපි දන්නවා එය එහෙම නෑ කියා. හොඳ තරුණ ගීත රචක පරපුරක්, සංගීත රචක පරපුරක් ගායක ගායිකා පරපුරක් පසු පසින් එනවා. අවශ්‍ය ඒ අයගේ නිර්මාණ වලට නිසි අවස්ථාව විතරයි. නැති නම් ඒ අය දුර්මුඛ වේවි.

ඒ වගේම තමයි රසික සමාජය පසුගාමීයි කියන මතය. එහෙම කියන මහත්වරුන්ට මම අභියෝග කරණවා එවන් නිර්මාණ වෙනුවෙන් ලබා දෙන ඉඩ දැනට වඩා දෙගුණයක් පුළුල් කර මාස කිහිපයකින් බලන ලෙස. කොහොමද ලැබෙන ප්‍රතිචාර කියලා. හොඳ නිර්මාණ වලට රසිකයින් වෙත පිවිසීමේ සියළු මං පෙත් අහුරලා ඉවර වෙලා අද හොඳ රසිකයෝ නෑ කිව්වාට වැඩක් නෑ. එහෙම රසිකයින් මේ රටේ හතර දිග්බාගයේම ඉන්න බව අපි දන්නවා.

අලුතින් කළ නිර්මාණ කිහිපයකුත් තිබෙනවා. අමරසිරි පීරිසුන්ට ගීතයක් කළා දර්ශන වික්‍රමතුංග සගීතවේදියාගේ සංගීතයට. එහි වචන මෙහෙමයි.

නුඹ ගඟුල ගඟුලකට කමටහන් දුන්නූ
දිය කඳට ගැරහූ
නුඹ සුළඟ සුළඟකට සුගන්ධය දුන්නූ
මල් කැකුළ ඉදිරූ

ගඟුල දිය නොමැති දා
ගඟලකිය කියනු බෑ
නිසරු වැලි තලය මිස
සුනිල දිය ගලනු නෑ

සුළඟ මුදු නොවුනු දා
මදනලකැ කියනු බෑ
වියලි උණුසුමම මිස
මල් සුවඳ ගෙනෙනු බෑ


මෙවන් ගීත රසක් තිබුණත් බොහෝ විට ඒවා මාධ්‍ය ආයතන වලට දෙන්න මැලියි. ඒවා එම මාධ්‍ය ආයතන වලට දීමේ නිසි ක්‍රමවේදයක් නැති බැවින්.

නුඹ ගඟුල ගීතය අසන්න.

 

ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ මහතා සමග ගායිකා ලක්ෂණා ලක්මිණි ගීතයක් කළා සංගීතඥ අරුණ ගුණවර්ධනයන්ගේ සංගීතයට. මේ එම ගීතයයි.

මෙතැනින් අසන්න.

මේ ගීත කිසිවක් මාධ්‍ය ආයතන වලට ලබා දී නැත්තේ මම අර කියපු කරුණ නිසාමයි.



-      යසනාත් ධම්මික බණ්ඩාර   -

2 comments:

  1. අපූර්ව ආත්ම කථනයක්..ස්තූතියි යසනාත්...:)

    ReplyDelete
  2. Hey very interesting blog!

    ReplyDelete