Wednesday, April 17, 2019

මට නොකිිියා ඔබ මාගේ සිිත ළඟ......





 ප්‍රවීන ගායිකා පුණ්‍යා කත්‍රිආරච්චි.



ආනන්ද එස්. විජේසිරි 
ගේ දෙව්ලොව යනකං නාට්‍යය මම බලා ඇති වේදිකා නාට්‍යය දෙසීයකට ආසන්න ගණන අතුරින් රැඟුම්, ගීතමය ජවනිකා ආදිය ඇතුළත් සුන්දර නාට්‍යයකි. එහි ගීත කිහිපයක් විය. ඒ අතරින් අතිශය ජනප්‍රිය වූ ගීත දෙකක් ද විය.

නාට්‍ය වල චිත්‍රපට වල වරක් හෝ දෙකක් අසන දකින මේ ගීත පසුව අප නිතර ඇසුවේ ගුවන් විදුලියෙහි ප්‍රචාරය වෙත්දීය. පසුකලක එම ජවනිකාවන්ද ඇතුළත් ගීත ඛණ්ඩ රූපවාහිනිය ඔස්සේද ප්‍රචාරය වෙත්දී යළි යළිත් රසිවිඳින්නට අපට හැකි විය.

කැසට් පට ලෙස ජනප්‍රිය වීමත් සමගම සන්තකයේ තබාගෙන රස විඳින්නටද සෑහෙන පිරිසක් හුරුවූහ. කාලය කෙමෙන් වියැකෙද්දී, කාලය විපරීත වෙත්දී මේවා අපේ සවන් පත් වලට එන මං කෙමෙන් ඇහිරී නැත්තටම නැති වී යනතරමින් දුරස් වීය.

මේ  



දෙව්ලොව යනකං  
නාට්‍යයේ එක්තරා යුවලක් බූරුවෙකු පිට බර පටවන් දිගු ගමනක යෙදෙයි. මේ ගීතය ඔවුන් ගයන්නේ ඒ අතරතුර අර බූරුවාටය.

දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ
දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ
කිම්ද සංකා සිතේ මේ විලාසේ

බූරුවා බර ඔසවන් යා නොහැකිව තැනින් තැන ළගින්නට සැරසෙයි. එවිට බූරුවා උනන්දු කරණු වස් ඔවුන් මේ අයුරින් දිව්‍ය ලෝකය මවා පාමින් මේ ගීතය ගයනු ලබයි.

චන්දනාදේ උයන් භෘංග සේනා නදින්
චන්දනාදේ උයන් භෘංග සේනා නදින්
පුෂ්ප මාලාවලින් රංජනාවේ
පුෂ්ප මාලාවලින් රංජනාවේ
පුෂ්ප මාලාවලින් රංජනාවේ

බූරුවා ගමනට දුර්මුඛ වන්නේ යම් සේද ඔවුන් මේ දෙව්ලොව වැනුම යළි යළිත් කරයි. බූරුවා ඉන් සිය ගමනට උනන්දු වෙයි.

නෛකශ්‍රීනි සුරන් රංගනාදේ
පංච මධුරී බොජුන් ස්වර්ණ විහිදේ
දේසෙ අරුම පුදුම කියන වරුණ අසන මෙමට යන්න හිතේ
දුක දෙවා වුව සරීරේ

මේ දේසේ ගැන කියන වර්ණනවා කොතෙක්ද යත් ඔවුනට පවා දුක් විඳ විඳ එහි යන්නට සිතෙන බව පවසත්දී බූරුවෙකුට එහි නොයා සිටින්නට සිතේවිද?

චිත්ත දහිරී වඩන් පුතුණි මාගේ
මන්ද යන්ටා එලෝ මේ ප්‍රමාදේ
තාම යමිය යමිය එපුර ගමන බෝම බෝම දුරය එමග
සංකා සිතේ යාද ප්‍රාණේ

ගීතය අසමු.


එහිම ආ අනෙක් අතිශය ජනප්‍රිය වූ ගීතය වන්නේ 

අපි යන්න යමු දෙව් ලොකේ බලා විගසින්
බොල බූරූ පුතේ දුක සෝකා ඉතින් ඉවසන්
 
යන ගීතයයි. මෙහි ගායනයද ටයිටස් සී. පෙරේරාගේ වනෙ අතර මෙවර ඔහුට කාන්තා කට හඬින් දායක වන්නේ පුණ්‍යා කත්‍රිආරච්චි නොව මාලනී බුලත්සිංහල යි. පුණ්‍යා කත්‍රිආරච්චි නොගැයූ ගීතයකට මැය නොවේ ඇයයි වැනි අදහසක් එක් කරන්නේ යම් යම් තකැනක දෙකක මාලනී බුලත්සිංහල නොව පුණ්‍යාකත්‍රිආරච්චි යනුවෙන් සඳහන්ව තිබෙනු දුටු බැවිනි.

කෙසේ වෙතත් පසුව කළ විමසුම් වලදී නාට්‍යයෙහි අදාල ප්‍රධාන කාන්තා චරිතය ශ්‍රියානි ෆොන්සේකා ගෙන් පසුව රඟපෑ දමයන්ති ෆොන්සේකා කියා සිටියේ වරින් වර එම ගීතය පුණ්‍යා කත්‍රිආරච්චි විසින් ද ගැයූ බවයි. එබැවින් මේ ගීතය ඇගේ නමටද කැප කළාට කම් නැතැයි මට සිතේ.

අපි යන්න යමු දෙව් ලොකේ බලා විගසින්
බොල බූරූ පුතේ දුක සොකා ඉතින් ඉවසන්

නාට්‍යයේ සමස්ථ අරුත කැටි වූ ගීතය වන්නේ මෙයයි. මෙහිදී බූරුවෙකු පිට බැරි බරක් පටවාන දිගු ගමනක යෙදෙන යුවලක් වෙයි. බූරු හිමි යුවල මේ බැරි බර ගෙන යාම සඳහා බූරාවාට විවිධ ඉච්ඡා බස් දොඩයි. විවිධාකාර දේ කියා රැවටිලි කරයි. ගමනාන්තයේ විඳිය හැකි අනේකවිධ සැප සම්පත් ගැන මවා පා කතා කියයි. මේ ගීතය තුළ ඇත්තේම ඒ කතාවය.

ලදු නයනා සුව දෙවනා සුර විමනා සතපමිනා
ලදු නයනා සුව දෙවනා සුර විමනා සතපමිනා
දුක උහුලා බර උසුලා යමු විගසා එම පෙදෙසා

ගියොත් දකින්නට ඇති දේ ලත් දෑස් යුග පිනා යන තරමේ ඒවාය. එවන් දේ නොදකින දෑස් ලැබෙූවද පළක් නැත. එබැවින් ඒ ගමන නම් යා යුතුමය. එහෙත් ඒ සඳහා දුක ඉවසා බර උසුලා යා යුතුය.

රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයං
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා

එහි යන නුඹට හිතන හිතන රසැති කෑම ලැබෙනු ඇත. එමෙන්ම සිතන්නේ අන් කුමන සුවයන්ද එහි නුඹට වෙන්ව ඇත.

මේ නාට්‍යය අවසන් වතාවට මම රූපවාහිනී තිරය මත්තේ බැලුවේ මීට වසර 20ට 25ට ඉහතදීය. එබැවින් මට එහි අනෙකුත් ජවනිකා මතක නැත. මේ බැරි බර උසුලාගෙන යන බූරුවාගේ පමණක් කතාව විය නොහැකිය. එය එවන් බැරි බර ඔසවාන බැරි දුර යන අපේම කතාව විය යුතුය. නැති නම් බූරුවාගේ සැබෑ නියෝජනය අපේ විය යුතුය. බූරුවා හිමි ඉච්ඡා බස් කියමින් බූරුවාව රවටන යුවල නියෝජනය කරන්නේ අද දවසේ අපව රවටමින් සිය අභිමතාර්ත ඉටු කර ගන්නා ඒ අය විය යුතුය.

බොල බූරූ පුතේ ගීතය අසමු.



මේ ආනන්ද එස්. විජයසිරි ගේ දෙව්ලොව යනකං නාට්‍යයේ සංගීත නිර්මාණය එමිල් මෙන්ඩිස් මහතා ගේය. යම් නාට්‍යයකට මෙවැනි සංගීතයක් එක් වීම මොන තරම් වාසනාවක්ද යන්න අමුතුමෙන් කිව යුතු නැතත් එය යළි මෙහි සටහන් කරමි. 

ඔය සංගීතය අතින් ගත් විට වාසනාවන්තම නාට්‍යය සේ මට මතකයට නැගෙන්නේ ලූෂන් බුලත්සිංහල ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයයි. එහි රැගත් සයළුම ගීත අතිශය ජනප්‍රිය මට්ටමට ළඟා විය. ඒ ගෞරවය හිමි විය යුත්තේ විශාරද ගුණදාස කපුගේ ට ය.

මේ ගීතමය සටහන ලියන්නට සිත් වූයේ අප්‍රේල් 15වන දින උපන් දිනය සැමරූ වෙසෙස් ගායිකා පුණ්‍යා කත්‍රිආරච්චි වෙනුවෙනි. එහෙත් මගේ වැඩ වල ඇති ප්‍රමාදයන් හේතුවෙන් එය එදිනට පළ කළ නොහැකි වුණි. නමුත් එම සටහන පසුව හෝ පළ කරණු වස් ලියන්නට සිතුණේ ඇය අප වෙත පුද කළ රසය මෙතෙකැයි කියා මැණිය නොහැකි තරම් වන බැවිනි. ඔවුන් කළ ලොකු දේ වෙනුවෙන් අපි හැකි පමණින් පොඩි දෙයක් හෝ කිරීම මැණවැයි සිතුණු බැවිනි.

මට මතකයි ඔබ පිපිලා උන්නා දුණුකේ ගසක සුදෝ . . .

මට මතකයි ඔබ සොයලා ආවා බමරෝ සුවඳ මගේ . . .

මේද අවුරුදු විසි තිස් ගණනකට පෙර අප ඇසූ සුන්දර යුග ගීයකි. එහි කාන්තා හඬ අද අපේ පුණ්‍යා කත්‍රිආරච්චි ගේමය. එහි පිරිමි හඬ හෙක්ටර් සිල්වා ගායකයාගෙනි. පුණ්‍යා කත්‍රිආරච්චි නාමය අපට හුරු පුරුදු එකක් වුව, මේ හෙක්ටර් සිල්වා නාමය අපට එතරම්ම හුරු පුරුදු එකක් නොවේ. එහෙත් දයා ද අල්විස් ගේ පද පෙළට මෙහි තනුව නිර්මාණය කරන්නේද ඒ හෙක්ටර් සිල්වා ම ය.

වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා - මතකයි අත වැනුවා
අත්තල හඬ ගා මහ මග කුර ගා
ඔබ යද්දී දවසක් දා - මතකයි අත වැනුවා

මෙහි දයා ද අල්විස් ගේ රචනා විලාසය ගැන වෙනම කතා කළ යුතුය. මේ ඇයගේ ගී අතරින් අංශු මාත්‍රයක් පමණි. මට දයා ද අල්විස් පෙනෙනුයේ ප්‍රේමකීර්ති  සහ ලූෂන් බුලත්සිංහල ගී රචනා ආරයන් ගැන සැලකූ විට ඒ අතර මැද සිටින්නියක සේය. මා එසේ කියන්නේ ඇයගේ රචනා අර රචකයින් දෙදෙනාගේ රචනා හා සසඳා එළඹුනු යම් අදහසකට අනුවය. එහෙත් ඒ ගැන දිගු කතා බස් පසුවට තබමි. මෙහි අරමුණු පුණ්‍යා කත්‍රිආරච්චි ගැයූ මේ අගේ ඇති ගීත කිහිපය ගැන විමසීමට වන නිසාය.

දිය සුළි නැගිලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා - මුතු ඇටයක් තිබුණා
සසරේ පෙරදා වරම් ලැබූ ලෙස
බෙල්ලකු වී සඟවාලා - මම ඔබ රැක ගත්තා

මට මතකයි ඔබ පිපිලා උන්නා ගීතය අසමු. 




මේ ඇය ගැයූ තවත් අනගි ගීයකි.

බුදු රැස් දහරින් මුළු ලොව සතපා
සමන් බදුරු හිමි කරුණා මෙත පා
ඉසිපතනේ මිගදායේ...

මේ ගීතය ගැයෙන්නේ යුග ගීයක් ලෙසිනි. එහෙත් එය අපට හුරු පුරුදු අයුරේ යුග ගීයක් නොවේ. එය යුග ගීයක් සේ ගැයෙන බොදු බැති ගීයකි.

පස්වග මහණුන් මල් පෙති අතුරා
බුදු බණ පදයෙන් ඇත සිත සපුරා
ඉසිපතනේ මිගදායේ...

දම්සක් සුතුරෙන් දහම් අමා දිය
දෙවු බඹ සපුරති සීල සමාධිය
ඉසිපතනේ මිගදායේ...

නිවනෙහි දොර හැර බව දුක නැසුවා
අරිඅට මඟ ඵල සතහට දෙසුවා
ඉසිපතනේ මිගදායේ... 

මේ ගී යේ පද රචනය වැලිකලමුල්ලේ වික්‍රමසිංහ ගෙනි. 

එය සංගීතවත් වන්නේ පී.ඩන්ස්ටන් ද සිල්වා අතිනි. ගායනයට  පුණ්‍ය කත්‍රිආරච්චි ගේ දායකත්වය ලැබීම දැන් ඔබ පතන දෙයකි. එහෙත් ඔබ නොඅදහන අයෙකි එහි පිරිමි හඬට දායකත්වය දෙන්නේ. ඒ අපි වෙනත් විදිහකින් හොඳින් අඳුනන කෙනෙකි. ගී පද රචනයෙන් තනු සංගීත රචනයෙන් අප ඔහු ගැන දැනගෙන ඇතත් ගායකයෙකු වශයෙන් අප ඔහු ගැන දැනගෙන නැති තරම්ය. ඔහු නම්  


සුනිල් දයානන්ද කෝණාර  
ය.

ඉසිපතනේ මිගදායේ ගීතය අසමු. 




මා ඔබ මුණ ගැසුනු අයුරැ සිහිකරන්නෙපා...
මා ඔබ වෙන් කෙරැනු අයුරැ සිහි කරන්න එපා...

මේ ගීතය පිළිබඳව දන්නා සමහරුන් සේම නොදන්නා සමහරුන්ද සිටින්නේ එයද පැරණි ගීතයක් වන නිසාවෙනි. ඒ නිසාම අද දවස වන විට අසන්නට නොලැබෙන ගීතයක් වන බැවිනි. අසන්නට යමෙකු කැමැති වේ නම් සොයාගෙනම ඇසිය යුතු ගීතයක් වන බැවිනි. සොයා ගෙන අසන්නටනම් අහම්බයෙන් හෝ මතක් වන ගීතයක් විය යුතු බැවිනි. මෙලෙස විවිධ ගී එක් තැන් කර ඔබ වෙත පාන්නට මා සිතන එක් හේතුවක් වන්නේත් අහම්බයෙන් හෝ ඔබේ ඇස යළි ගැටී ඔබ සවන යළි වැකී යළි යළිත් ඒවා අසන්නට සිතන්නට ඇති ඉඩ ගැන මා සිතන බැවිනි. එසේ වේ නම් එය මට මහත් සතුටකි.

මා ඔබ මුණ ගැසුනු අයුරැ සිහිකරන්නෙපා...
මා ඔබ වෙන් කෙරැනු අයුරැ සිහි කරන්න එපා...

සමහරුන්ගේ අදහස වනුයේ මේ ගීය අප ඉතාමතක් හොඳින් දන්නා මර්වින් පෙරේරා මහතාගේ

මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ගීතයට පිලිතුරු සේ ගැයූ ගීතයක් යනුවෙනි.

වැව් ඉවුරේ දියරැළි පෙර සේම බිඳෙනවා

නුග ගස් පෙළ අප නැතිවත් තව දළුලනවා 

කියා එහි කියද්දී
මෙහි

වැව් ඉවුරේ දිය රැළි හා මගේ රුවත් බිඳ දමන්න

නුග ගස් පෙළ දළු ලන සේ ඔබෙ දිවියත් දළු දමන්න

යැයි කියැවෙනවා.

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයත් එහි යන්න හිතෙනවා 

කියා එහි කියදී මෙහි,

කඳුරැල්ලෙන් එහා පැත්තේ සරසවියක් නැත සිතන්න

ඇය හා මිස මමත් එක්ක ඇසුරක් නැති බව සිතන්න

යැයි කියැවෙනවා.

මේ නගරය ගීතයේ පරිසරය එලෙසින්ම මෙහි ඇති බැවින්ද, එහි අතීත මතකයන් මෙනෙහි කරමින් ඔහු ගයන ගීතයෙහි කියැවෙන දේට විරුද්ධව උපදේශාත්මක දේ කියනා බැවින් ද එය එසේ යැයි අප සිත යළි යළිත් තහවුරු වේ. 

මේ උපදේශාත්මකව කියනා දේ එවන් සිදුවීමකට පසුව සාධාරණද යුක්ති සහගතද යන්න අපට වෙනම සාකච්ඡා කළ හැක. නමුත් ඒ මෙහිදී නම් නොවේ. කෙසේ වෙතත් කාරණා වශයෙන් ගතහොත් නම් ඒ කියානා දේ ඇත්තය. පිලිපැදිය යුතුය. එහෙත් හුදු කාරණා වශයෙන් නොගෙන මිනිස් ජීවිත හා මිනිස් සිතුවිලි සමග පටලා ගතහොත් අප හට ඒ ගැන විවිධ අදහස් මතුවේ. පසුවට ඒවා කථා කරන්නට තබමු යැයි කීවේ එබැවිනි.

ඇගේ සොඳුරු ආදරබර මතක දෙනෙත් කැට යොමන්න
සිඟිති ලපුතුගෙ ටිකිරි වදන වෙතට සවන් පෙති යොමන්න
මා හා බැඳි සිහින සිතුම් එක සුසුමක යා කරන්න
ජීවිතයක් කොයි තරමක් ලස්සනදැයි සිහි කරන්න

මෙම ගීතයේ රචකයා වශයෙන් සඳහන් වන්නේ සුනිලා විජේසිංහ යන නාමකයකි. එබැවින් රචකයෙකු නොව රචිකාවියකි. එහි හැඟුම්බර සංගීතය එවැනි ගීතයකට හොඳම ගැඹුර එක් කළ හැකි 

                                                          විශාරද ගුණදාස කපුගේ
ගෙනි.

මා ඔබ මුණ ගැසුනු අයුරු ගීතය අසමු.



බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල්ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ ...//
හනිකට එන්නේ
හනිකට එන්නේ

බකිණි ගහේ බකිණි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

හනිකට එන්නේ
හනිකට එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

මේ ගීතයෙහි රචකයා  


කිවිවර ඩෝල්ටන් අල්විස්  
ය. සිය ප්‍රේමය දෙමාපියන්ට පැවසිමට පෙර පෙමින් බැඳී සිටින තරුණ දෙහදක පවතින කුතුහලය සසල බව අතිශය සුන්දර අයුරිනුත් සංයමයෙනුත්, එමෙන් ම මේ තරුණයින් කුමන තරාතිරමක, කුමන පරිසරයක ජීවත්වන අයදැයි වර්ණනය වන අයුරිනුත් ගීත රචනය නිම ව ඇත. එහි පළමු පදය ඇසූ සැනින් මේ නම් සුන්දර ගැමි පෙමකැයි ඔබට වටහා ගත හැකියි. අනතුරුව ගෙත්තම් කරණ සියළු වචන ලකුණ සුරකින ඒවා වෙයි.

වචන වලින්  ඩෝල්ටන් අල්විසුන් ඒ ලකුණ සුරකින අතුරතුරේ සිය සංගීත සංයෝජනයෙන් ඒ ලකුණ මතුකිරීමට 


ආචාර්ය රෝහණ වීරසිංහයන්  
මනාව සමත්ව ඇතැයි පමණක් පැවසීම ඔහුගේ දායකත්වයට දක්වන මදි පුංචිකමක් නොවේ.

එමෙන්ම මෙවන් ගීයක් ගායනා කිරීමට සුදුසුම කට හඩවල් දෙකක් ද තෝරාගෙන ඇති වග කිව යුතු ම ය.  


පුණ්‍යා කත්‍රිආරච්චි 
සහ  


එඩ්වඩ් ජයකොඩි  
දෙහඬෙහි සම්මිශ්‍රණය මේ ගීතයට එකතු කර ඇති ආලෝකය අපමණය.

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ ගීතය අසමු
.


දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු... 

සෝමතිලක ජයමහ ගේ සංගීතයෙන් හැඩ වූ ජනප්‍රිය යුග ගීත දෙකක් මේ සමගම අප මතකයට නැගෙයි. එකක් නම් මේ ගීතයයි. 
අනෙක නම්

පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්

පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ 

ගීතයයි. ඉන් අංක එකේ ගීතය කොයිකද යන්න වටහා ගැනීම තරමක් අපහසු බැවින් ඒ ගැටළුවව නිරාකරණය පසුවට තබා මේ අසිරිමත් ගීතය ගැන කතාව ඉදිරියට රැගෙන යමි.

මේ ගීතය රචනා කොට සංගීතවත් කරන්නේද අප ගායක  


සෝමතිලක ජයමහ 
ම ය.  

සෝමතිකල ජයමහ යනු ඉතා හොඳ ගීත රචකයෙක්ද තනු රචකයෙක්ද වන බව රසික සමාජය දැන ගන්නේ යම් කලකට පසුවය. ඊට හේතුව නම් මුල් යුගයේ ඔහු අන්වර්ත නාමයකින් ගී ලියූ බැවිනි. එහෙත් දැන් ඔහු ලියූ ගීත කිහිපය ඔහු නමින්ම යෙදෙන බැවින් ඒවා ගියූවේ ඔහු බව අපි හඳුනමු. මේ ඔහුගේ එවන් මිණිකැට වන් ගීත කිහිපය අතුරින් එකකි.

ළිංතොට ගංතොට ආදි තැනේ යා
මල්මද බිසවුනි ඔබ හමු වූවා....
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා....

දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන...
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල් මත සිරිකත කැන්දන...

දෙනුවර මින් පසු එක නුවරක් මෙනි ගීතය අසමු.



ඇය ගැයූ ගී ගැන ලිව්වාට ඇය ගැන කියැවුණේ ටිකක් බව ඇත්තකි. එහෙත් මේ ගී ඇසූ සැනින් ඇය ටිකක් ගී ගැයුවත් කොතරම් ලොකු සලකුණක් තබා ඇතිදැයි පැහැදිලි වනු ඇත. 

රසික සිත්හි තදින් බැඳෙන්නට ගොඩක් දේ කිරීම අවැසි නැතුවා සේම, අප වන් රසික සිතක ඈට හිමි තැනේ විශාලත්වය කියන්නට විශාල වචන පදාස අවැසි නැති බවත් කියමි.

මේ අපි දැනට ඇසූ සේම මතුවට අසන ගීත සියුම් හැඟීම් රැගත් ගීත වෙයි. ඒවා ඒ හැඟීමෙන් ගැයුනේ නැති නම් ඒවා අපට නොදැනෙයි. මේ ගීත අපට දැනුනේ මක් නිසාද යත් අප ගායිකාව, පුණ්‍යා කත්‍රිආරච්චි ඒ ගීත සියල්ල මනාව ගයමින් අපේ හදවත් තුළ ඒවා සියුම්ව ලියා ඇති බැවිනි. හැම දෙනෙකුටම එලෙස කිරීමේ හැකියාව නැත.

මී ළඟට අප අසන්නට යෙදෙන ගීත දෙක අතරේ ඒවා තුළ කැටිවුණු හැඟීම් සම්බන්ධව ගත් කල කිසියම් නෑදෑ කමක් වෙයි. එහෙත් ඒවා ලගියූවේ එක් අයෙකුමදැයි කිව නොහැක්කේ ඉන් පළමු ගීතයේ පද රචනයේ හෝ සංගීතයේ අයිතිය පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීමට මට නොහැකි වූ බැවිනි. නමුත් පද රචනයේ ගති ලක්ෂණ අනුව එය 


දයා ද අල්විස් 
ගේ එකකැයි මට නිකමට සිතේ. නිසි තොරතුරු දන්නා අයෙක් වෙත් නම් අපව දැනුවත් කළ මැණවි.

මට නොකිිියා ඔබ මාගේ සිිත ළඟ
රහසින් මේ ලෙස ඇයි ඉන්නේ
මට නොකිිියා ඔබ මාගේ සිිත ළඟ
රහසින් මේ ලෙස ඇයි ඉන්නේ

ඔවුන් වෙන්ව ගිය දෙදෙනෙකි. එක්ව සිට වෙන්ව ගිය දෙදෙනෙකු සේ ය.
වෙන්ව ගියා නම් යන්නම යාම පහසුය. යන්නම නොයා යළි යළි පැමිණීම දසුන වීම වදයකි. මෙහිදී සිදුව ඇත්තේ ඇයට නොදන්වා ඇයගේ හිත අසල ඔහු නිතර ගැවසීමයි. මේ ඒ අරුතින්ද? නැති නම් හැර ගියද ඔහු ඈ මතකයේ තාමක් වෙසෙන්නේය කීමද?

සැඳෑ වළාකුළු ඈතට යනවා
සිතුවිලි උයනින් ඈතට යනවා
මා හිතුවේ නැත මගෙ හිත අසලට
කිසි දින යළි ඔබ ඒවි කියා

ඇය නොසිතුවද ඔහු ඈ සිත අසලට යළි පැමිණ තිබේ. ඈට හොරෙන් ඇගේ අකමැත්තෙන් පැමිණියාද? නැති නම් ඇගේ මතකය තුළ නොමැකී ඔහු රැඳුනු බැවින් ගැවසෙන්නේද යන්න වටහා ගැනීමට මේ වචන පමණක් නොසෑහේ. ඊට අප එකිනෙකාගේ මනෝභාවයන්, අත්දැකීම් අත්විඳීම් වල හැඟීම් සමුදායන් එකතු විය යුතුව ඇත.

ආශා වැරහැලි මනස අඳිනවා
ඒවා දුකසේ මනසෙ දිරණවා
මා දුටුවේ නැත ඔබගේ නෙත් දෙක
අද දින මගෙ හිත දකිති කියා


මට නොකියා ඔබ ගීතය අසමු.



ගීතය ඇගේ තවත් අතිශය සුන්දර ගීතයකි. වඩාත් හොඳ ශ්‍රවණ තත්ත්වයකින් අසන්නට සොයා ගත නොහැකි තරම් මේ ගී අපෙන් දුරස් වන්නේ දැයි දුක හිතෙන තරම්ය. වඩා හොඳ ශ්‍රවණ තත්ත්වයේ පවතින ගීත අන්තර්ජාලයට එක් කරන්නේ නම් මහත් ඵල මහානිශංස ලැබෙන තරමේ පුණ්‍ය කර්මයක් වනු නිසැකය.


දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

මේ ගීතයේ සමස්ථය කියවාය එහි අරුත් ලිහන්නට පටන් ගත යුත්තේ. ඒ අනුව මේ දේවල් කියන්නේ සිය ප්‍රියයාටය. මේ ප්‍රියයා කිසියම් දෙගිඩියාවකින් පසු වෙයි. නැති නම් ඔහු අන් පෙමක බැඳී සිටියි.

ගිය කෙනා ගියේ වුව, කයට සමු දෙන්න සිතුවේ වුව, ඔහු ගැන යළි අනවසරයෙන් ඈ වෙක එයි. ඇය දෑස පියන්නේ ඔහුව හැබැහින් නොපෙනෙන්නටය. එහෙත් එවිට ඔහු සිහිනයක් සේ ඇයට දිස් වෙයි. ඇය සිතේ දොරගුළු දමන්නේ ඔහුට නොඑන්නටය. එහෙත් එවිට සිතුවිල්ලක් සේ ඔහු ඇය වෙත එයි.

සැබෑවටම අවැසි නොවී බලහත්කාරයෙන් කෙනෙකු පිළිබඳ මතකය පිටමං කරන්නට යන විට නේද මේ දේ සිදුවෙන්නේ?

අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා

දෙදෙනා ලෝකයම වී සිටි බැවින්, ලෝකයේ කොතනත් සිටින්නේ ඔවුනොවුන්මය. එවන් සිත් වල ස්වභාවය එයය. බලන්නේ කොතැනද තම සිතැත්තා එහි සිටී. පෙනෙන්නේ කුමන සුන්දර දසුනද තම සිතැත්තා එහි සිට සිනා වෙයි.

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා

අහසත් පොළොවත් ඔබමද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ

වෙන්ව නොයයි නම් හමු විය යුතුය. හමු නොවෙයි නම් වෙන් විය යුතුය. දෙගිඩියාවෙන් සිටන විට ජීවිතය බොහෝ අපහසුය.  එබැවින් දෙකින් එකක් විය යුතුය. නමුත් වැඩියෙන් පතන්නේ දෙකින් කෝකද?

අවසන් පැතුම වෙන්වීමට වඩා හමු වීම නොවන්නේද?

කිසියම්ම මොහොක හෝ ඔහු වෙනත් තැනක ඉදි කරගෙන සිටින ඒ තහනම් මන්දිරය බිඳ දමා යළි පැමිණෙනු ඇතිය යන්න ඈ පැතුමයි.

මේ ගීතය නම් සහතිකවම දයා ද අල්විස් ගේය. මේ ගීතයෙත් පෙර ගීතයේත් ගති ලක්ෂන මතය මට පෙර ගීතයත් දයා ද අල්විස් ගේ විය යුතුයැයි සිතුණේ.

එහි මධුරතර තනුව සහ සංගීතය විශාරද ගුණදාස කපුගේ ගේ ය. නිමැවුණු අනගි නිර්මාණයට පුණ්‍යා කත්‍රිආරච්චි විසින් සිය උපරිම සංග්‍රහය ඉටුකොට ඇත.
ගීතය අසමු. 





යළි මෙවැනි සටහනකින් හමුවන තෙක්,
මම,




-      යසනාත් ධම්මික බණ්ඩාර   -

7 comments:

  1. හරිම රහ ලිපියක් අයියේ...

    ReplyDelete
  2. බොහොම ආශාවෙන් අහපු ගීතයක් මා ඔබ මුණ ගැසුණු අයුරු, ඒ වගේ ගීත කීපයක් පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය ගයල තියෙනව අපේ අතීතයේ අපට නිතර ඇහුනු. ඒ සියලු මතකයන් නැවතත් සිහිපත් කළාට ස්තුතියි යසනාත්.

    ReplyDelete
  3. බොහොම ආශාවෙන් අහපු ගීතයක් මා ඔබ මුණ ගැසුණු අයුරු, ඒ වගේ ගීත කීපයක් පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය ගයල තියෙනව අපේ අතීතයේ අපට නිතර ඇහුනු. ඒ සියලු මතකයන් නැවතත් සිහිපත් කළාට ස්තුතියි යසනාත්.

    ReplyDelete
  4. අහසට ඔසවන විටකදි නෙත් යුග
    හිරු සඳු වී ඔබ හිනැහෙනවා
    මිහිමත පියකරු දසුනක් වේ නම්
    ඔබ රුව ඒ තුළ දැවටෙනවා.......

    අගනා රස විමර්ශනයක්. සම්පූර්ණයෙන් ම කියෙව්වා.

    ReplyDelete
  5. "දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ" ගීතය මම වසර ගණනාවක සිට සෙව්වා. මට වයස අවුරුදු 8/9 කාලයේ පමණ අසා තිබුණු මෙම ගීතයේ මට මතක තිබුණ පද කිහිපය "පුෂ්ප මාලා වලින් රන්ජනාවේ" කොටස පමණයි. මෙහි ගායකයන් හෝ කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. වසර කිහිපයකට පෙර අන්තර්ජාලය තුල search කල නමුත් ගීතය හමු උනේ නැහැ.. නමුත් ඊයේ දිනයේ search කිරීමේදී මෙම blog අඩවිය හමුවුනා. මෙහි සම්බන්දිය ක්‍රියාත්මක නොවන නමුත් ගීතය පිලිබඳ තොරතුරු දැනගත් නිසා එය සොයාගැනීමට හැකි වුනා. ඔබතුමාට ස්තුතියි. මෙම link එක ඔස්සේ ගීතය ශ්‍රවනය හෝ download කල හැකියි. https://sarigama.lk/sinhala-song/titus-c-perera-and-punya-kathriarachchi/diwya-loke-langai-drama/86f7922d-694a-4627-a496-fb4a70bc8946

    ReplyDelete
  6. "දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ" ගීතය මම වසර ගණනාවක සිට සෙව්වා. මට වයස අවුරුදු 8/9 කාලයේ පමණ අසා තිබුණු මෙම ගීතයේ මට මතක තිබුණ පද කිහිපය "පුෂ්ප මාලා වලින් රන්ජනාවේ" කොටස පමණයි. මෙහි ගායකයන් හෝ කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ. වසර කිහිපයකට පෙර අන්තර්ජාලය තුල search කල නමුත් ගීතය හමු උනේ නැහැ.. නමුත් ඊයේ දිනයේ search කිරීමේදී මෙම blog අඩවිය හමුවුනා. මෙහි සම්බන්දිය ක්‍රියාත්මක නොවන නමුත් ගීතය පිලිබඳ තොරතුරු දැනගත් නිසා එය සොයාගැනීමට හැකි වුනා. ඔබතුමාට ස්තුතියි. මෙම link එක ඔස්සේ ගීතය ශ්‍රවනය හෝ download කල හැකියි. https://sarigama.lk/sinhala-song/titus-c-perera-and-punya-kathriarachchi/diwya-loke-langai-drama/86f7922d-694a-4627-a496-fb4a70bc8946

    ReplyDelete