Tuesday, January 1, 2019

දල්ලට යට වූ දහදිය.....


මේක කතා කරණ පින්තූරයක්.
ඇත්තටම මේ සටහනට මම ඒක ඇමිණුවේ එය පළකර දින කිහිපයක් ඇවෑමෙන් මෙය දුටු විට.
මේ පින්තූරයත් හරියට අපි මේ සටහනේ මතු කතා කරණ අතිශය ජනප්‍රිය තේ නෙළන ළඳුන් ගැන කියැවෙන

උඩරට කඳුකර සිරියා පරදන
රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගු කර මදහස නංවන
තේ දළු නෙළන ළඳේ 

ගීතයේ වගේ.
ඒත් මේ සටහනේ පහළට යන විට කතාව වෙනස් වෙනවා.
මේ අලුත් ඈඳුම සමහර විට මගේ සටහනේ මුල් රිද්මයට තරමක් බාධා වුණා විය හැකියි. ඒත් කතාකරණ පින්තූරයක් නිසා අමුණන්නම සිතුනා.


තේ නෙළන ලියන්ගේ දිනක වැටුප රුපියල් දහසක් කරන්නැයි සටනක් මතුව තිබේ. ඇත්තටම නම් ඔවුන් ලබන වර්තමාන වැටුප හෝ ලබා ගත්තේ වතු හාම්පුතුන් කල්පනා කොට එය දීම නිසා නොවේ. සටන් කිරීමෙන්මය. මේ සටන් කිරීම නිසා සොච්චමකින් ඔවුනගේ පඩි නඩි වැඩි වන විට වුණු වෙනත් දෙයක්ද වෙයි. එනම් වතුකරය තුළ පළමුව බල කඳවුරක්ද දෙවනුව එවන් කඳවුරු කිහිපයක්ද බිහි විමයි. මේ බලකඳවුරු වල බිහි වීම අවසානයේ ඔවුන් රජුන් තනන්නන් බවට පත් වීම දක්වාද දිගු දුර විහිදුනි. යුද්ධය නිමා වන තෙක් රජුන් තනන්නන් වූයේ ඔවුන්ය. වර්තමානයේ උතුරු නැගෙනහිර බල ප්‍රදේශය කර ගත් වෙනත් බල කඳවුරක් ඒ බලය සියතට ගැනීම වන තෙක්ම ඔවුන් එම රජුන් තනන්නන් ය යන නාමය පැළඳ සිටියේය. එතෙක් ඔවුන් අර අසරණ ජනතාවගේ දුක මතින් සැප වින්දේය.

ඒ කතා පසෙක තබමු. මේ කතාවට එළඹෙමු.


මේ පින්තූරයේ ඇත්තේ හිතේ කහටක් නැතිව තේ එකක් බොන්න නම් තේ නෙළන අයගේ වැටුප රුපියල් දාහක් කරමු යන අදහසයි.

එය ඇත්තකි. ඔවුන් කඹුරන කැඹිරිල්ලේ හැටියට එය අසාධාරණ ඉල්ලීමක් නොවේ. එහෙත් එය ලෙහෙසියෙන් ඉටු කර දෙන ආකාරයේ ඉල්ලීමක්ද නොවේ.

මේ කතාව ඔස්සේ ලියැවුණු ගීත සාහිත්‍යයක්ද වෙයි. ඉන් පළමු ගීතය ලෙස මා අසා ඇත්තේ සුප්‍රසිද්ධ උඩ රට කඳුකර සිරියා පරදන තේ දළු නෙළන ළඳේ යන ගීතයයි. මේ ගීතය ගැන මම කැමැත්තෙන් සිටියේ මගේ කුඩා සන්දියේදී පමණි. 

එනම් ගීයක අරුත නොවැටහෙන තරම් කුඩා සංදියේ පමණි. 

ගීතයක අරුත ලිහා ගන්නට සමත් වෙද්දී, අවට වෙසෙන සහෝදර මිනිස් ජීවිත වල දුෂ්කරතා වටහා ගන්නට හැකි වෙද්දී ඒ හා සමගාමීව මේ ගීතය මගේ ප්‍රසාදයට පාත්‍ර නොවන ගීතයක් බවට  පෙරළුනි. ඊට හේතු කාරණා අති මහත්ය.

එහෙත් ඊට පෙර මට මේ කතාව කියැවෙන ගීතයක් දෙකක් ගැන ලියන්නට සිතේ.

බොහෝ අයට හුරු මේ  උඩ රට කඳුකර සිරියා පරදින ගීතය පමණක් වුව අනතුරුව, දෙවැනියට මා ඇසූ එවැනි ගීතයක් තිබුණේ විමුක්ති ගී වැඩ සටහනේ ය. විමුක්ති ගී එකල ජවිපෙට අනුබද්ධව කෙරුණු එකකි. පසු කාලීනව විමුක්තිය සී සී කඩ විසිර ගියේ වුව, ඒ කාලෙයේ ඔවුන් සිය උත්සාහයන් ඒ කරා කේන්ද්‍රගත කරන්නට උත්සාහ කළ බව මෙවන් දෙයින් අපට යම් අදහසක් ගත හැකිය.

කඳු යාය මත වැතිරී තේ නිල්ල හිමිදිරියේ
කඳුළු සලන්නේ වේදනා ගැන වේදනාවෙන්දෝ

තේ යාය සරුවුණේ අපේ දහඩියෙන්
තේ දියර රතු වුනේ අපේ ලේ වලින්

අපේ ඇට කටු පොහොර වූයේ
තේ කඳු යායේ තණ නිල්ලේ
අපේ සොයුරෝ මියැදුනේ ඒ තණ නිල්ලේ

අපට දිනයක් ඒවි රණ පෙරමුණ ගන්න
අපට දිනයක් ඒවි අයුක්තිය පරදන්න
ඒ දිනේ කඳු යායේ සිනා මල් සුපිපෙනවා

ගීතය අසමු.

ඔබට ඇසුනු ඒ ගීතයේ ශ්‍රවණ තත්ත්වය එතරම් උසස් නැත. මීට වඩා උසස් හඬ පටයක් සොයා ගැනීමට ගත් ප්‍රයත්නය නිෂ්පල විය.

මට මේ ගීතයත් සමග මතක් වෙන තවත් දෙයක් වෙයි. එනම් මේ ගීතයද අඩංගු උසස් ශ්‍රවණ තත්ත්වයක් සහිත විමුක්ති ගී කැසට් පටයක් මා සතුව තිබුණි. එහෙත් 88/89 යුගයේ යම් දිනක ඒ විමුක්ති ගී කැසට් පටයත් සමග, පවන, සත්‍යයේ ගීතය, කිලර්, නිඳි නැති නදියේ නාදය, වේදනා ඈ කැසට් පටද වළක් කපා ඒ තුළ සඟවන්නට සිදු විය. ඒවා යළි එළියට ගන්නට අවස්ථාව උදා වෙන්නේ වසර කිහිපයක් අවෑමෙනි. එහෙත් ඒ වන විට ඒවා පුස් බැඳී භාවිතයට ගත නොහැකි මට්ටමකට පත්ව තිබුණි. එවන් සමයක්ද අප රටේ තිබුණි. නමුත් බොහෝ අයට තබා ඉහත විමුක්ති ගී අයිතිකරුවන්ට වත් ඒවා මතකදැයි හිතෙන තරමට කාලට බොහෝ දේ වෙනස් කර ඇත.

නන්දා මාලිනිය  
සිංහලයේ මහා ගායිකාවගේ අයිතිය එක් රචකයෙකුට පමණක් සින්න වී තිබුණු යුගයක අන් රචකයින්ට සොච්චම් අවස්ථාවක් ලැබුණේ කලාතුරකින් ගත් වෙනත් විදිහේ නිර්මාණ සංග්‍රහයන් නිසාවෙනි. ඇය ගේ කිඳුරියකගේ විලාපය නම් වූ ගීත සංග්‍රහයට එවැන්නකි. එය ගී කර කියූ කවි නම් හැඳින්වීමකින්ද යුක්ත විය. මේ ගීත සංග්‍රහයට කවි ලියූ  

කුමාර හෙට්ටිආරච්චි,  

සෙනරත් ගොන්සල් කෝරාල
 රත්න ශ්‍රී විජේසිංහ,  


දර්ශන මේදිස්  
වැන්නවුන් අතරේ බර්ටි බී. කුඩා හෙට්ටි නම් වූ කවියෙක්ද විය. සමාවන්න. මේ ගීත එකතුවට ඔවුන් කවි ලීවා යැයි කීම ගැන. ඇත්තටම වුණු දේ නම්, ඔවුන් විසින් තැන තැන ලියූ කවි 10ක් 12ක් ඇය විසින් එක පොකුරට ගෙන ගී කිරීමයි. 

මේ පසුව කියූ  

බර්ටි බී. කුඩාහෙට්ටි  
කවියාගේ කවක් කිඳුරියකගේ විලාපය ගීත සංග්‍රහයේ එන ගී අතුරින් පෞද්ගලිකව මම වඩාත් ප්‍රිය කරණ ගීතයට අවශ්‍ය සාහිත්‍යමය දායක්තවය සපයා තිබේ. එය සංගෘහිත වන්නේ ඔහුගේ  


“සිරිමලුගේ නඟා නලනීය“ 
කාව්‍ය සංග්‍රහයෙහිය.

එහි සංගීතමය කම්පනය අප හදවත් තුළ ඇති කරන්නේ  


විශාරද ගුණදාස කපුගේ  
ය.
එම කව ( ගීතය ) අප මේ කතා කරමින් සිටින මැයට ද මනා කොට ගැලපේ.

කුරුඳු වත්තෙ බංගලාවෙ
සඳළුතලේ හැන්දෑවේ
මෝර්සාර්ට් ගෙ වාදනයක්
පියානෝවකින් වයනා
පුසුඹගහන ළමිස්සියේ

බමවා ඔය අතැඟිලි තුඩු
හීන් සරින් ඔබ වයන්නෙ
තාත්තාගේ තේ වත්තේ
දල්ලට යට වූ දහදිය.....

ඇය ඉහළ සමාජයේ වැජඹෙන සුවය සැනසුමම විඳින පහළ සමාජයේ දුක සංඛාව පිළිබඳව නොදන්නා යුවතියකි. ඒ නිසා ඇය අසරණයැයි කියන්නට මම හිතමි. ඇය පහළ සමාජයේ දුක ගැන අසංවේදී යැයි මම තවම නොකියමි. ඒ, තවම ඒ දුක ඇගේ මනසට ගෝචර වූවා දැයි මට සැකයක් ඇති බැවිනි. 

තමන් නියෝජනය නොකරණ සමාජයක දුක් සංඛාවන් තේරුම් ගන්නට යමෙකුට නොහැකි වන්නේ ඔහු හෝ ඇය අංවේදී නිසාම නොවේ. සංවේදී වීමට නම් අදාල සංවේදනවයන් ඔවුන් වෙත ළඟා විය යුතුය. ඒවා ඔවුන්ගේ සංවේදනීන්ද්‍රියන්ට ගෝචර විය යුතුය. එය වටහා ගැනීමේ යම් පෙර අත්දැකීම් අත් විඳීම් තිබිය යුතුය. මේ කුරුඳුවත්තේ ළමිස්සී වැනි උසස් සමාජ වල සමහරුන්ට ඒ සංවේදනය නැත්තේ ඔවුන් මේ කියන සඳළුතලයෙන් පිටතට යන්නේ ඉතාමත්ම කලාතුරකින් විය හැකි බැවිනි. මෙහි සඳළුතලය යනු නිවසක මන්දිරයක මැදුරක සඳළුතලයක් නොවේ. ඔවුන්ගේ ජීවිත සඳළුතලයයි.

ඉන් නොබසින තාක් ඔවුනට මේ දුකෙහි ඇති තතු වටහා ගැනීමේ මං පෙත් බොහෝ දුරට ඇහිරෙයි. ඒ නයින් තමන් විඳන අසීමිත සැප සම්පතෙහි ඇති තතුද ඔවුන් වටහා නොගනී. මක් නිසාද යත් ඒ දෙකම එකක් බැවිනි.

බමවා ඔය රතැඟිලි තුඩු හීන්සරින් ඔබ වයන්නෙ
තාත්තගේ තේ වත්තේ දල්ලට යට වූ දහඩිය...
ආඩම්බර බංගලාව දෝළාවල් බැංකු කාසි..
දල්ලට යට වූ දහඩිය...

තමන් විඳිනා මේ සියල්ල, ඈත ඈත කඳුකරේ, තමන්ගේ පියාට කඹුරන දහසක් අසරණ බොහෝ විට දෙමළ මිනිසුන්ගේ දුක වේදනාව යන්න ඔවුනට ඒ අනුව නොවැටහෙයි. ඔවුන් ට අහිමි සියල්ලය තමන්ට හිමිව ඇත්තේ. ඒත් එය ඇය වටහා ගන්නේ කෙලසකද? ඒ අනුවය මම ඇය අසරණියක යැයි කිව්වේ. එහෙත්, ඇගේ පියා අසරණ විය නොහැකිය. මක්නිසාද යත්, ඔහු එහි ඇති තතු දන්නා බැවිනි.

රට රේන්ද යටගවුමේ රට තනපට පටන් ඔබේ
වත්සුණු කුංකුම අංජන ගාන්ධාරයේ විළවුන්
පුසුඹ ගහන ලමිස්සියේ
දල්ලට යට වූ දහඩිය

මේ අනුව, නූල් පටක් වත් නොමැතිව සිය සිරුර හැර අන් සියල්ලෙහි ඇත්ත සාධාරණ අයිතිය ඇයට නොවේ. ඔවුනටය. එහි සාධාරණ අයිතියක් ඇයට හිමි වන්නේ ඒ රන් මසු නෙළා දෙන ඔවුනටද සාධාරණ කොටසක් බෙදී ගිය දා පමණි. එය සිදු නොවන තාක්, ඇය සහ ඇගේ සාමාජය විඳින්නේ අසාධාරණ සැප සම්පතකි. අසාධාරණ සැනසීමකි. අසාධාරණ දිවියකි. එවන් දිවියකට හිමි වන මරණය පවා අසාධාරණය.

අන්වීක්ෂයෙන් බැලුවොත් තාත්තගේ තේ වත්තේ
සිය ගනනක් සිරුරු තුළින් දල්ලට යට වූ දහඩිය
පොකුරක පවතින ලස්සන පැහැදිළි වනු ඇත ඔබගෙන්
පුසුඹ ගහන ලමිස්සියේ දල්ලට යට වූ දහඩිය...

තෝඩු දෙමික්කං දිදුළන මේළ පළඳනා බඳවට
මුතු මැණික්ද රන් රිදී ද
පුසුඹ ගහන ලමිස්සියේ
දල්ලට යට වූ දහඩිය...

මේ දල්ලට යට වූ දහදිය දකින්නේ කවදාද? කවුද?

ඒ දල්ලට යට වූ දහදිය කතාව ගීතයෙන් කියන්නට ගත් මෙවැනි උත්සාහයන්ද යටපත්ව ඇත්තේ, ඊට වඩා තවමත්  

රතැඟිලි දිගු කර මද හස නංවන
තේ දළු නෙළන ළඳේ 

යන අදහස බිඳ දමා අර අදහස ස්ථාපිත වන්නට තරම් රසික ජනතාවගේ සිත් සතන් සැකසී නැති බැවිනි.

දල්ලට යට වූ දහඩිය ගීතය අසමු.


මෙන්න මේ ගීතය මා සිතේ ඇති කළ සංව්දනයත් මට උඩ රට කඳුකර ගීතයට විකල්ප ගීතයක් ලිවීම කෙරෙහි මගේ මනස යොමු කළ තවත් කාරණයක් වුණා.

කුරුඳුවත්තේ බංගලාවේ සඳළුතලේ පියානෝ වයන එහි සුඛිත මුදිත දිවියක් ගෙවන මේ යුවතිය ඇයට එම දිවිය ලබා දෙන වියදම් කාසි ලැබෙන අයුර ගැන දැන සිටියා දැයි සැකයකි. දැන සිටියත් ඒ යට ඇති කඳුළු කතාව නොදැන සිටි බව නම් නිසැකය.

මේ ගී වල සැබෑ අරුත ඉඩම් හිමි වැවිලි කරුවාට එල්ලවන විරෝධය නොවේ. මේ සටහනේ අරුතත් එය නොවේ. මේ නිර්මාණ වල සේම මේ සටහනේද අරුත ඒ ඉඩම් හිමි වැවිලි කරුවන්ගේ ශ්‍රම සූරාකෑමට එරෙහිවය. ඉඩම් හිමි වැවිලි කරු හොයන මුදලට සමාන මුදලක් එහි සේවකයින්ට හිමි විය යුතු යැයි කිවහොත් එය අභව්‍යය අදහසකි. එහෙත් ඉන් සාධාරණ කොටසක හිමිකම ඔවුන් සතු විය යුතුමය. එය අසරණ සේවකයින් හට හිමි නොවන තාක්කල් මේ ධනපති ව්‍යාපාරිකයින් භුක්ති විඳින්නේ අසාධාරණ ධනයකි.

මේ අතර මා මුළින් සඳහන් කළ උඩ රට කඳුකර සිරියා පරදන ගීතයට පැමිණෙමි. ඒ ගීතය ගැන මාම ලියූ සටහනකට යොමු වෙමි. 

ඒ සටහනට මාගේ ගීතයක්ද එක්කොට ඇත්තේ ඒ ජීවිත මට පෙනුනු අයුර ගැන දක්වන්නටය. ඒ අනුව උඩරට කඳුකර සිරියා පරදන ගීතයට මගේ සිතේ අප්‍රසාදයක් ගොඩ නැගුණු අයුර දක්වන්නටය. යමකට අප්‍රසාදය පළ කිරීම පමණක් නොසෑහේ. හැකි නම් එයට විකල්පයක්ද දීමට උත්සාහ කළ යුතුය. ඒ අනුව ඒ ගීතයට මගේ විකල්පය කුමක්දැයි පෙන්වීමටය.

දුඹුරු පැහැ අකුරින් ඇත්තේ මා ලියූ ඒ සටහනයි.

කවි ගීත රසද? රස නම් ඒවා මොන රසද?

කලා නිර්මාණයක ඇති රස නවයක් ගැන අප අසා ඇත. ඒ සියල්ල සලකා බැලූ විට අපේ කවි ගීත තුලද ඒ විවිධ රසයන් ගැබ්ව ඇති බව විමසුමේදී පෙනී යයි.

සමහර කවි වල ගීත වල ඇත්තේ දුකයි. දුක කියන ගීත තුළින් මතුවන්නේ සෝකී රසයයි. මෙය නව නළු රස අතුරින් කරුණා රසය යටතට ගොනු වේ.

මේක දුක් කවියක්. දුක් කවිය ගීතයක් වුණාට පසුව එය දුක් ගීතයක්.

මගේ ගී වලට කවි වලට බොහෝ විට ගැබ් වුණේ අපේ ගම්වල අපට නිතර හමු වුණු ගැමියන්ගේ ගොවියන්ගේ දුක. ඔවුනගේ දුක්බර දිවි පෙවෙත ගැන.

දුක්බර ජීවිතය උරුම කරගෙන ජීවත්වෙන්නේ ගොවි ගැමියන් පමණක් නොවෙයි. අපේ රටේ වෙසෙන තවත් බොහෝ පිරිස් ගෙවන්නේ දුක් බර දිවියක්. එය එදාත් එහෙමයි. අදත් එහෙමයි. 

මේ ගීතයත් එවැන්නක්.

මේ ගීතය ලියැවුණු විදිහ පොඩි කතාවක්.

මේ ඒ කතාවයි.

ඔන්න අපි විශ්ව විද්‍යාලයේ 4 වන වසරේ වාර්ෂික විනෝද චාරිකාවෙ යෙදී ඉන්නවා.
ගමන යන්නේ සුන්දර සීතල නුවරඑළියට.

ඉතින් ටික ටික කන්ද උඩරටට ළං වෙනකොට පරිසරය කෙමෙන් වෙනස්වෙලා තේ වතු යාය මැද්දෙන් ගමන් මග වැටෙනවා. තේ දළු නෙලන ළඳුන්ද අප නෙත ගැටෙනවා.
තේ දළු නෙළන ළඳුන් ද සුන්දර තේ යාය ද හසුවන සේ ඡායාරූප ගැනීමේ ආශාවක් අපේ අයට ඇතිවෙනවා. ඒ නිසා ඒ සඳහා ගමන් කරණ වාහනය නවතිනවා.

පිරිසක් සීතල පරිසරයේ, සීතලේ දළු නෙළන තේ ළඳුන් හා පින්තූර ගන්නවා. සීතල නිසා මදක් රත් වී සිටි පිරිසක් මේ අතර ගීයක් අරඹනවා. තේ දළු නෙළන ලඳුන් ගැන ලියැවුණු යුග ගණනක් ජනප්‍රිය ගීය.

උඩරට කඳුකර සිරියා පරදන - රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන - තේ දළු නෙළන ලඳේ....

මේ ගිතයේ හැටියට නම් මේ තේ දළු නෙළන ළඳුන් රූපයෙන් අගතැන්පත්. කොතෙක්ද කිවහොත් සුන්දර උඩරට කඳුකරයේ ඇති සුන්දරත්වය කැලේට වැටෙන තරමට ඔවුන් සුන්දරය.

සුන්දර ඔවුන් තම සුන්දර දිගු ඇඟිලි තුඩු නවමින් දිගහරිමින් තේ දළු නෙළන්නේ මුවග සුන්දර සිනාවෙන් පුරවාගෙන. ඔවුන්ගේ දිවිය ඒ තරමටම සැහැල්ලු සුන්දර හැඩයකි.

ඒත් මට කල්පනා වෙනවා මේ කියන්නේ ඇත්තක්ද කියලා. මට මේක කල්පනා වුණේ එදාම නොවෙයි. මිනිස් ශ්‍රමය හා බැඳුනු දුක්බර ඇත්ත කතාව පිළිබඳව යම් අවබෝධයක් ලැබුණු දා සිට මෙවැනි දේ ඇසෙන දකින විට එය මගේම මනසින් ප්‍රශ්ණ කරන්නට පෙළඹුනේ ඊට බොහෝ කලකට පෙර සිට. එහෙත් එදා මේ කල්පනාව දැඩි වුණා.

උදේ පටන් රෑ වෙනතුරු තේ කූඩයේ බර දරමින් වකුටු වුණු කොන්දක් සහිත ගැහැණුන් පෙළක් තමයි මට පෙනෙන්නේ. ඔවුන්ගේ තොළ කට දවස පුරා හැපූ බුලතින් රතු පැහැති කළු පැහැයක් අරගෙන. ඔවුනගේ මුදු නොවැටුණු අතැඟිලිවල නියපොතු තේ දළු කහටින් දුඹුරු කළු පැහැ වෙලා.

මුහුණේ ඇත්තේ උහුලාගත නොහැකි විඩාවක සලකුණු. හිනාවක් දැකගන්න අමාරු තරමට ඒ මුහුණුවල ඇත්තේ විඩාවේ සලකුණුමයි.

ඉතින් මම කල්පනා කරණවා මෙවැනි මිනිස්සුන්ගේ මේ ජීවිත රටාව අර ගීතයෙන් කියවෙන තරමට සුන්දරද කියලා. ඒ ගීතයේම තියෙනවා

රට පණ ගන්වන - ජාතිය සුරකින - ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
තේ දළු නෙළන ඔබේ

කියල කොටසකුත්.

ඒ කියන්නේ අපි හිස මුදුණින් පිළිගන්නවා මේ පිරිස මේ නෙළන්නේ ජාතික ධනය බව. ඊට අපි ණයගැති බව. එහෙත් එහි ප්‍රතිලාබ පෙරළා ඔවුනට  ලැබේද? එසේ ලැබුණේ නම් මෙවැනි ජීවන රටාවක් ද ඔවුනට උරුම විය යුත්තේ.

ඉතින් මම හිතනවා මෙම ගීතය පවතින සත්‍යය විකෘති කරණ ලද ගීතයක් කියලා. මම ඒ බව මගේ මිතුරන් හා ඇති වුණු කතා බහේදී කියනවා.

මම ගීත රචකයෙක් වෙන්න යම් උත්සාහයක් දරමින් සිටි නිසා එම ගීතය විවේචනය කරලා නැවතුණොත් එය ද වරදක් වෙනවා. ඒ නිසා මම ඊට විකල්ප ගීතයක් ලියනවා. එහි පළමු පාදයේ පද මගේ මනස තුළ ගොනු වන්නේ ඒ අවස්ථාවේමයි. මම අතට හසුවුණු කොළ කැබැල්ලක එය කුරුටු ගානවා.

කහට පැහැවුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......

වැඩකරණ අතැඟිලිවල කහට නොතැවරී තියෙයිද? එහෙත් මෙහි කියන්නේ අතේ කහට තිබුණට හිතේ කහට නැති බවයි. එය ව්‍යංගාර්ථයෙන් කීමක් පමණයි. නෙලන ධනය ජාතියට පුද දී දුක් විඳින ඔවුන්ගේ හදවත් තුළ කහටක් නැතැයි කීම මම විශ්වාස නොකරණ දෙයක්.

සමාජ අසාධාරණය සහ විෂමතාව පිළිබඳ ඔවුන් පන්ති නොගියට ඔවුනට ඒ බව නොවැටහෙතැයි මම සිතන්නේ නෑ.

ඒත් මම ඒක ඒ විදිහට කෙළින්ම කියන්නෙත් නෑ.

මේ දේවල් කොහොම කොහොම වුණත් හෙට උදෙත් ඔවුන් මේ දුකම විඳින්නට පැමිණිය යුතු වෙයි. දුකක් බව දැන දැනම පැමිණිය යුතු වෙයි. නොආවොත් ජීවිතය ඊටත් වඩා දුක්ඛිත වන නිසාය.

වැඩි දුකෙන් බේරෙන්න අඩු දුක තෝරා ගත යුතුයි. අත පයේ රුදා දැණුනත් හෙට උදෙත් වැඩට පැමිණිය යුතුයි.

ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා

දළු උරේ බර පමණක් නම් ඔවුනට රැගෙන යාමට ඇත්තේ එය ඔවුනට මහ බරක් නොවෙන්නත් තිබුණා. ඒත් ඔවුනට දළු උරේ බරත් ජීවිතේ බරත් යන දෙකම රැගෙන යන්නටය වෙලා තිබෙන්නේ එකවර.

ඔවුනගේ හිතේ ඇත්තේ මොනතරම් බරක් වියයුතුද? එවැනි බරක් රැගෙන යමින් නෙළණ කහවණු ලෝබ නැතිව දෙන්නේ කොහොමද? ඒත් ඔවුන් ගීතයේ කියනවා එහෙම ලෝබ නැතිව දෙන බව. ඒක ඇත්ත නොවන බව තේරුම් ගැනීම රසිකයින් වන ඔප සතු කාර්යයකි.

මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා

කන්දට නම් සිනාසෙන්න අනන්ත කරුණු ඇති. ලස්සන දුහුල් මීදුම් ඔසරියේ පහස....රන් මිණි ලෙස දිදුලන පිනි යාය මීදුම් ඔසරිය වටා බඳින හවඩිය....

මේ කියන්නේ සුන්දර පරිසර වර්ණනාව ගැන..
.
මම හිතනවා අපි කඳු නම් මේ පරිසර වර්ණනාවෙන් මත්ව අපිද තුටු සිතින් සිනාසෙන බව. ඒත් ඒ අසරණයින් කඳු නොවී මිනිසුන් වූ බැවින් ඔවුනට ඉන් ලැබෙන මහඟු ඵලය කුමක්ද?

ඒ නිසයි ඔවුන් කියන්නේ නෙළන පින් ‍කෙතේ වාසි කිසිවක් තමන්ට නැතත් තමණුත් සිනාසෙන බව. කළ හැකි අන් යමක් නැති බැවින් සිනාසෙන බව.

 එහෙම සිනාසෙන අය දවසක් ලැබුණොත් මොනවා නොකරණු ඇතිද?
මම මේ පදවැල සංගීතවත් කරන්න දුන්නේ 
 
එච්. එම්. ජයවර්ධන
සංගීතවේදියාණන්ට. ගායනාකරන්න දුන්නේ
  
විශාරද මාලනී බුලත්සිංහල 
මහත්මියට. 

ඒ යෝනාව කළේ විශාරද ගුණදාස කපුගේ විසින්.

මේ ගීතය කරනවිට මාලනී අක්කාගේ හිතේ ලොකුවට තිබුණා එතැන් පටන් පාසැල් නල තේ නැටුම් වලට බොහෝ අය මේ ගීතය යොදාගනී කියලා. ඒ නිසාම මමත් එහෙමම හිතුවා. ඒත් ඒවා සිතුවිලි පමණයි. ඒක එහෙම වුණේ නෑ. ඒක එහෙම නොවුණත් අඩුම ගණනේ එම ජන කොටස විණිවිද දකින්න ගත්ත උත්සාහයට හෝ ප්‍රතිචාර ලැබෙයි සිතුවත් ඒකත් එහෙම වුණේ නෑ. මේ ගීත ගැන ඇති වුණු කතා බහ බොහෝම අඩුයි.

ඒත් ඒව එහෙම තමයි. ඒ නිසා  මා දුටු ඒ තේ දළු නෙළන ළඳුන් දකින්නයි ඔබට මේ කෙරෙන ආරාධනය.

සරල මතුපිට අකුරු වල හැඩ විතරක් පෙන්වනු නොරිසියෙන්, එහි ඇතුළට රිංගන්නට ඔබට කරණ ඇරියුමයි.

මිනිහෙක් මල් පැලයක් සිටුවන්නේ මල් පිණිස. මිනිසෙක් අඹ පැලයක් සිටුවන්නේ අඹ පිණිස.



කහට පැහැ වුණත් අතැඟිලි - හිතේ කහට නැතුවා
දුක් ගින්න හිතේ දැවුණත් - තොල් අගින් හිනාවෙනවා
අත පයේ රුදා දැණුනත් - හෙට උදෙත් වැඩට එනවා......

ජීවිතේ බරත් අරගෙන - දළු උරේ බරත් බැඳගෙන
යාය පුරා යනවා....
රන් රිදී අපට නොලැබෙන - දිගු ඇඟිලි තුඩින් නෙළමින
සිත ලෝබ නැතුව දෙනවා.......

මීදුමේ ඔසරි ඇඳගෙන - පිණි පොදේ හවඩි බැඳගෙන
කන්ද සිනාසෙනවා...
පින් කෙතේ වාසි නැතුවත් - දළු මුරේ සිනා බල බල
මේ අපිත් සිනාසෙනවා.....

ගීතය අසමු.

මේ සටහන මේ වසර ඇරඹුමේම තැබුවේ ඔවුනගේ සටනට වචනයෙනක් හෝ සහායක් නොදී තේ බොන්නට සිත නොදෙන නිසාවෙනි.

ඔවුනගේ සටනට ජය වේවා!

මහත්වරුණි, දිනකට රුපියල් දාහක් යනු, ඔවුන් විඳින දුකේ හැටියට මොන තරම් සොච්චමක්ද?



-      යසනාත් ධම්මික බණ්ඩාර    -

3 comments:

  1. ඉතාම වටිනවා දුර්ලභ තොරතුරු රැසක් එක්කම කොට ලියූ මේ ලිපියේ මහන්සිය මිල කළ නොහැක අගනා දැනුවත් කිරිමකි

    ReplyDelete
  2. සමාජ මාධ්‍යට ඇවිල්ල අවුරුදු හතර පහක් ඇති..මෙතෙක් කියවූ අංගසම්පූර්ණ බ්ලොග් සටහන මේ දැන් කියවලා ඉවර කරා..❤️මේ සටහන තබන්න ඔබ කෙතරම් මහන්සි වී තියෙනවාද කියලා මම හොඳටම දන්නවා..
    කොහොම අදහසක් දාන්න ද කියලා තෙරෙන්නෙ නෑ..මේක මරේ මරු..
    මං හිතන්නෙ මේක වඩාත්ම මට දැනෙන්නැත්තෙ තේ කර්මාන්තයේ දුක මමත් අත් විඳින නිසා වෙන්න ඇති..
    ජයවේවා .....

    ReplyDelete
  3. සීනි, හකුරු, කිරි මුකුත් නැති ව, ඕගැනික් තේ කෝප්පයක් බිව්ව රස දැණුනා මල්ලි.

    ReplyDelete