හන්තාන හා බැඳුනු ගීතාවලිය පිලිබඳ විමසුමේ පළමු කොටස්
තුනට පිවිසුම් මාර්ග....
පළමු කොටස -
දෙවන කොටස -
තෙවන කොටස -
මෙතැන් සිට දිග හැරෙන්නේ එහි සිවුවන කොටසයි....
හන්තාන දෙසින් එන
මුදු සිත සුළං රැළි
ඔබ තාම හොදින් අඳුනනවානම්
මේ පහන ඔබේ සරතින් දැල්වූ
මං බොහොම ප්‍රවේසම් කර ගන්නම්
සුදත් ගාමිණී බණ්ඩාර කවියා විසින්
රචිත මේ ගීය ගයන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා
විසිනි. එහි සංගීතය නිර්මාණය කර ඇත්තේ විශාරද ගුණදාස
කපුගේ විසිනි.
මේ සොඳුරු අඩවියේ ගෙවූ කාලය අතීතයක් පමණි. අතීතය යම්
වේදනාවක් ගෙන ආවද ඒ වේදනාව සැමරුමකි. කොතරම් වේදනා බර වුවද අතීත සැමරුම් සොයන්නට
නොසිතෙන්නේ කාටද?
සංසාර පුරුද්දටදෝ මන්දා
ගංගාව සෝකයෙන් වැලපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා
මහවැලිය බොහෝ පෙම්වතුන්ගේ
දුක් දැක ඇත. ඒ වැලපුම් හඬ අන් අයට නොඇසෙන්නට දෝ වරෙක මහවැලිය
ද වැලපෙයි. මහවැලි ය වැලපෙන්නේ සංසාර
පුරුද්දකට මෙනි. ඒ ඉවුරේ මමද තාමත් පුරුද්දට සේ හවසට පිය මණිමි. ඔබ එහි නැත. එහෙත්
අපේ සොඳුරු සැමරුම් එහි ඇත.
ඈ අදටත් තනිව දැයි ඔහු නොදනී. එහෙත් ඔහු තවම තනිවමය. එදා
ඔවුන් එක්ව නැරඹූ සිරි දළදා පෙරහැර අද ඔහුට
නරඹන්නට සිදුව ඇත්තේ තනිවමය. දහස් ගණනක් සෙනඟ අතරේ තනිව පෙරහැර නරඹන ඔහුට පෙරහැරට
වඩා මතක් වනුයේ ඇයවය. මේ දහස් ගණනක් සෙනඟ අතරේ කොතැනක හෝ ඇයද ඇතැයි සිතීමටය ඔහුට
රිසි. එසේ නොසිටියද එලෙස සිතිමට රිසිය.
තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳුනු ඇතැයි නිකමට හිතුනා
හන්තාන දෙසින් එන ගීතය අසමු.
මේ ගීත ගොන්න අතරට එක් කරන අළුත්ම ගීතයේ රචකයා මා මිතුරු
දයානන්ද රත්නායක ය. සංගීතවත් කළේ ප්‍රවීන සංගීතඥ සිරිල් පෙරේරා විසිනි. එය කරුණාරත්න දිවුලගනේ ගායන ශිල්පියාගේ අළුත්ම ගීතය
වෙයි.
ආණ්ඩුකාර කටු ඔටුන්නෙන් මිදී සොඳුරු ගී පෙත ට ආ සැනින් ගැයුනු මේ ගීතයේ හන්තාන අඩවිය යන නම සඳහන් නොවුණද එහි ඇති පාරිසරික
ලකුණු කියා පාන්නේ මේ අඩවියද එම අඩවියම බවයි. එනිසාම මම ඔහුව විමිසීමි.
ඔව් මචං..... ඒ නම නොයෙදුවාට ඒ උයන හන්තාන
අඩවියේ සුන්දර මල් උයනම තමයි....
ඒ අනුව මා එම ගීතයද මෙහි ඇමිනීමට සිතුවෙමි. එයද තවත් එක්
විරහ ගීතයකි.
ආදරේ මල් අතින් අරගෙන හිටිය දා හිනැහී
මීදුමේ සුදු තුසර බිඳුවක දැවටිලා රැවටී
නිල් විලෝ තුරු යටින් - ඇවිද ගිය සුළඟේ
එතී
සුන්දරම මල් උයන - ඔබත් නැති - ගිම්හානයක්
වී
ආදරය නමැති සුන්දර කුසුම සිත් හි පුබුදුවාගෙන එදා අප ගිය
මං පෙත් වලම ආදරය නමැති සුන්දර කුසුම සිත් හි පුබුදුවාගෙන අදත් පෙම්වතුන් සරයි.
උයන එදා මෙන්ම සුන්දර විය හැක. ඈත කඳු පෙළ එදා මෙන්ම
සුන්දර මිහිදුම් සළුවෙන් වැසී තිබිය හැක. මේ මොන සුන්දරත්වයක් තිබුණද එහි අද
වසන්තය නැත. ඇත්තේ කටුක ගිම්හානයයි. ඒ මා සිටියාට ඔබ එහි නොවන නිසායි.
ඔබට අමතක ඈත දවසක බැන්ද පෙම මිහිරී
වින්ද කරදර හිතින් බෝමයි දන්නවද සොඳුරී
ඔබේ ආදර ඉවුරු දෑලේ කඳුළු දිය ඉහිරී
එදා වාගෙම අදත් ඒ ගඟ ගලා යයි නොබෙදී
එදා බැඳි පෙම ඔබට අමතකය. එහෙත් මට අමතක නැත. අනතුරුව
විඳි කරදර ඔබ සිහිනෙනුදු නොදනී. ඔබ නොදන්නේ වුව, එදා වාගේම අදත් හද හඬයි. ගඟ ගලයි.
හිතක තනිකම මකාලන්නට ආදරෙන් ළංවී
වෙන්ව යන්නද හමුවුණේ ඔබ කියන් මට කිඳුරී
මවා ආදර කඳුළු දෑසේ සිහිනයේ පැටලී
බිඳුන හදවත නොරිදවා ගමි සිහින දුර නැවතී
මේ අපූරු ගීතයේ අපූරුවත්වය විඳින්නට අපගේ මාධ්‍යයන්ගෙන්
මොන තරම් පිටිවහලක් ලැබේවිද? ඒ පිළිබඳව ඇත්තේ සැකයකි. අර ආදර කතාව සේම මෙවන් ගීතද
කාලයේ වැලිතලාවෙන් වැසී යන පරිසරයකි අද උදාව ඇත්තේ.
ආදරේ මල් අතින් අරගෙන ගීතය අසමු.
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
මේ මවිසින් මේ සටහන හමාර කිරීමට ගනු පිණිස දිනෙන් දින
කතා කිරීමෙන් වැලකී සිටි ගීතයයි. එහෙත් දින දින ගතවන විට වෙනත් ගීතයකින් එය අවසන්
කළ යුතු යැයි සිතින. ඒ අනුව තවත් පසුපසට නොදමා දැන් ඒ ගැන කතා කළ යුතුය.
මේ ගීතය ගැන අප අනන්තව කතා කර ඇත. මාද සෑහෙනට තකා ඒ ගැන
කතා කර ඇත. මේ බ්ලොග් අඩවියට ලියූ සමහර සටහන් වලද ඒ ගැන ලියා ඇත. එබැවින්ම එවන්
සටහනක දිගුව මෙහි ද සඳහන් කරමි.
හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න
එකට පාසල් ගිය, එකට පාඩම් කළ එකට පෙමින් බැඳුණ පෙම්වතියට
හන්තාන සරසවි වරම් ලැබුණද පෙම්වතාට එම වරම් නොලැබෙයි. හදතුළ ඇතුගල තරම් දුකක්
දනවමින් වුව අප පෙම්වතා සිතන්නේ අනෙකුන් සිතන අයුරින් නොවේ. තමන් කොතරම් පෙම් කළද
ඇය පිය මණින අලුත් සමාජය සහ සුන්දර පරිසරය තුළ ඇය ලැබිය යුතු සිහිවටන උපරිමයෙන්
ලැබිය යුතු බව සිතන තරමට මේ පෙම්වතා පරිත්‍යාගශිලීය. එබැවින් ඒ සුන්දරත්වය
මුසුවුණු ප්‍රේමනීය පරිසරයට පියමැණීමට ඇයට ඉඩදී ඇගෙන් ඉවතට යන්නට ඔහු සිතන ආකාරය
ගීත රචනය තුළ ගැබ් වන්නේ රසිකයා තුළ දැඩි කම්පනයක්ද ඉතිරි කරමිනි.
තමන්ගේ අත්දැකීමක් නොව, සිය සිසුවකුගේ අත්දැකීමකැයි ගීත
රචක ධම්මික බණ්ඩාර විසින් මේ ගීතය ගැන කතා
කිරීමේදී පැවසුවත් මෙය තමන්ගේම අත්දැකීමකැයි අපට සැක සිතෙන තරමටම ඔහු එම අත්දැකීම
ගීතයට නැංවීමේදී බුහුටි වී ඇත.
අදුරු ලලා වසිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
තමන් නොමැති මේ සුන්දර ප්‍රේමනීය පරිසරයෙහි වසර ගණනක්
තනි කුඩේ යටින් ඇය යනු දකින්නට මේ පෙම්වතා අකමැතිය. ඔහුගේ ප්‍රාර්ථනය ඇයට එලෙස
තනියක් නොදැනෙන ලෙසය. මෙහි අනෙක් අරුතනම් ඇයට සුදුසු වෙනත් පෙම්වතෙකු ලැබේවා
යන්නය. කොතරම් අසීරු පැතුමක් වුවද ඔහු ඒ අසීරු පැතුම පතයි. අසීරු පැතුම පතයි.
ලතා මඩුළු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න....
අතීත ප්‍රේමයක නටඹුන් ඇගේ නව දිවියට බාධාවක් වන බව ඔහු හොඳින්ම දනී. ඒ නිසා ඔහු තමන් පිළිබඳ
මතකය ගුලි කොට මහවැළි ගඟට දමන්නයැයි ඇයට
කියයි.
මෙය මේ ගීතයේ ඇති ප්‍රබලම සහ සංවේදීම තැනයි.
හන්තානට පායන සඳ ගීතය මෙතැනින්
රසවිඳිමු.
මේ ගී නිර්මාණ
අතරේ මෑතකදී පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා විසින් ගැයූ හන්තාන
සිහිනේ ගීතය හිතට ඇතුළු කළ අමුතු හැඟුම හිත අමුතුම අයුරකින් සසල කරන්නේ මන්දැයි
මට තවම වටහා ගත නොහැක.
කිව යුතු එක් දෙයක් වෙයි. මා එම ගීතයේ ගැඹුරට කිමිදුනේ
මේ සටහන ලියන්නට සිත්වූ හේතුවෙනි. නොඑසේ නම් එය මතුපිට අලංකාරයෙන් පමණක් විඳ
සැනහෙන ගීතයක් වන්නට ඉඩ තිබුණි. එහි ඇත්තේ කුමන ආකාරයේ පෙම් පුවතක්දැයි වැටහුනේ
සටහන ලියනුවස් අරුත පිසිඳින්නට වූ හේතුවෙනි.
බලා වැලපෙමි නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ
ඇයට මේ හන්තාන ප්‍රේමය සිහිනයක්
පමණි. බලා වැලපෙනු හැර නෙළා ගත නොහැකි බව දැන දැන බැඳුනු ප්‍රේමයකි එය. එහෙත්
සැමරුමක් නොවන වැලපුමක් පමණක් බව දැනෙන ප්‍රේමය වුව අතහැර දමනු කෙලෙසද?
ඔහුටද එය එවන් ම වනු ඇත. එහෙත් හැර දමනු රිසි නොවෙයි. ප්‍රේමය
පිළිබඳ හැඟුම් එවැනිය.
මහැදුරු සරච්චන්ද්‍රයන් සිය නිර්මාණාවලිය තුළ මේ ස්ත්‍රී
පුරුෂ ප්‍රේමය විවිධාකාරයෙන් හුවා දක්වා ඇත. ඔහු වරෙක මෙසේ ලියයි.
නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ
සුවදෙනා....
එය ඇත්තකි. පසුව ඒ සඳහනම උපයෝගී කොටගෙන සැදුනු ගීයක පද
මෙසේ විය.
නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා
ආදරේ වැරදී ගියෝතින් විඳින්නට වෙයි වේදනා
සරච්චන්ද්‍රයන්ගේ කවෙහි මුල්
දෙපදය තරමින් ව්‍යක්තව නොලියුනේවී නමුදු කාටත් වැටහෙන පරිද්දෙන් ප්‍රතිඵලය ලිය වී
ඇත.
වැහි පබළු යට රඟ මඬල වැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොඑනු මැන ළඳුනේ...
මේ නම් තරුණියක හා තරුණෙකු අතරේ පෙමක් නොවේ. තරුණියක හා
වැඩිහිටියෙකු අතරේ බැඳීමක් ගැනය.
වැඩිහිටියා තනිකඩයෙකු නොවේ. විවාහකයෙක්ය.
විවාහකයා සිය පියඹ සමග නොවසයි. මන්ද යත් ඔහු දැන්
වැන්දඹු ය.
තවත් විශේෂයකි. ඇය සිසුවියයි. ඔහු ඇදුරිඳුයි. මේ නම්
එවන් පෙමකි.
වඩිනතුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
හිඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ....
මේ ගීයේ රචකයා ජානක
සිරිවර්ධන ලෙසය මට මතකයේ ඇත්තේ. ඔහුගේ රචනය සොඳුරුය. හැඟුම්බරය. එහි සංගීත
නිර්මාපකයා අරුණ ගුණවර්ධන නම් වෙයි. ඔහු නිමවන
සංගීතය මේ ගීයේ ආත්මය තුළට ගායකයා හා ගායිකාව කැඳවන්නට සමත්ව ඇත. ඒ ඇරියුම
ඔස්සේ ගීතයේ ඇතුළාන්තයට වඩින ගායකයා හා
ගායිකාව සිය රසිකයාද තම හැඟුම්බර හඬ පෞරුෂය ඔස්සේ ගීතයේ ඇතුළාන්තය තුළට කැඳවාගෙන
යයි.
මේ ගීතය අමරදේවයන් ගයන්නේ සිය දිවියේ කීවැනි දශකියේ දැයි
සිතූ විටය අපට සිතෙන්නේ මෙවන් වයසක සිටියදී පවා ඔහු සිය හඬ නිවැරදි ස්වර ස්ථාන වෙත
ගෙන යා හැකි වන ලෙස කොපමණ නම් පුරුදු පුහුනු කොට ඇති දැයි යන්න.
මේ ගීතයේ කාන්තා හඬ සම්පාදනය යොවුන් ගායිකා උමාරියා විසිනි. මගේ අදහස නම් ඇය මේ ගීය හොඳින්
ගයනවාය යන්නයි.
මා හන්තාන අඩවියේ සරසවියේ
සිප් සතර හැදෑරූවෙක් නොවන බව වරෙක කීවා මතකය. එහෙත් එහි ගොස් සිප් සතර හැදෑරීමටත්,
ලැබුණොත් ප්‍රේම කිරීමට සිහින මැවූවෙක්මි. එහෙත් එහි ගොස් සිප් සතර හැදෑරීමට හෝ ප්‍රේම
කිරීමට මට අවකාශ නොලැබුණි. එහෙත් එහි සොඳුරු බව මසිතින් කිසි දිනක නොමැකී ඉතිරිව
තිබුනේය. එබැවින්ම දෙගිඩියාවෙන් පෙලෙන මේ පෙම්වතා සහ ඇගේ පෙම්වතිය ගැවසෙන පරිසරය
එය යයි සිතා මේ ගීය ලිවිමට මසිත පෙළඹවීය. ඒ අනුවය ඔවුන් ඒ අවට මල් උයනේ... ගඟ
අද්දර... කඳු වළලු අතරේ මේ විදිහට ගැවසෙන්නේ.
ඔහු -
පතමි නොගැටෙන ලෙසට කිසි දින
සොඳුරු ඔබෙ මුව කමල
මා දෙනෙතේ
ඇය
අසමි යළි මම හිතට අනිමින
සැබෑ පැතුමද
රිදුනු සඳ
ඔය හඬන සිත් මඩලේ
ඔහු
උයන තරුණයි
ගඟද තරුණයි
ඈත කඳුවැටි පෙළද තරුණයි
ඇය
ගතින් නොවුණත් සිතින් මහළුව
ඇයිද සකිසඳ
තවම ලොව තරුණයි...
ඔහු -
උයන අඳුරුද
ගඟට රිදුනිද
ඈත කඳුවැටි පෙළට දැනුනිද
ඇය
සිතින් විඳවන සිතුම් අතහැර
වඩිනු සකිසඳ
අදත් මම නුඹගෙයි...
ඉහත මගේ ගිතය ගැන වැඩි විස්තරයක් නොකරමි. එය මාතින් ඒ
පරිසරය ගැනද කියවෙන සේ ලියැවෙන්නට ඇත්තේ බොහෝ දුර ඒ බිමේ සිතින් ඇවිද ගොස් ඇති
නිසා විය යුතුය.
හන්තාන අඩවිය, එහි සරසවිය, එහි මල් උයන, එමැදින් ගලන මහවැලි නදිය, එම අඩවියෙහිදී බැඳි පෙම...... මේ කුමක් හෝ
විෂය කොටගෙන ලියැවුණු ගීත තවත් එමට තිබිය හැකිය. එහෙත් මේ සටහන තවත් දිගට ලියනු
නොසිතමි. දැන් ඉතින් අවසාන ගීයට එළඹෙමි.
හන්තානට පායන සඳ ගීතයට වඩා
උඩින් තෝරා ගත් ඒ සමාප්තිකරණ ගීතය කුමක්දැයි සමහර විට ඔබ සිතනු ඇත.
ඒ ගීතයෙහි දී හන්තාන යන
නාමය කොතැනකදී වත් සඳහන් නොවෙයි. එහෙත් එහි උයන් තෙර, තුරු
වදුළ, නදී
තෙර, අඩි
පාර හමුවෙයි.
මේ උයන් තෙරේ - මේ තුරු සෙවනේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ - මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ....
මේ නිර්මලා රණතුංග ශිල්පිනියගේ
සොඳුරුතම ගීතයකි. මේ ගීතය ඇසෙන ඇසෙන වාරයක් පාසා මට මතක් වනුයේ හන්තාන අඩවියේ සොඳුරු මල් උයනයි. එපමණක් නොව මේ ගීතය
ඇසෙන සෑම විටම හදවත සියුම් වේදනාවකින් කොනිතමින් පාරවනු දැනේ. වරෙක උගුර හිරවෙනු
සේ දැනේ.
ඔබ එදා කියූ වදන් ලියා ඇත සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ
අතර මගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ....
කියන්න කොහෙද ඔබ ගියේ....
ඔහු එදා ඈට දෙඩූ පෙම් වදන් නොමැකෙන සේ ඈ සිතේ ලියැවී ඇත.
ඔහු සිත මොන අත ගියද ඈ සිතේ අන් හදකට ඉඩක් නොමැත. මෙහි වඩා සංවේදීම කොටස වන්නේ
ඇයගේ ඇයැදුමයි. ඒ නැවත එන්නැයි කියා නොවේ. ඔහු ගියේ කොහේ දැයි කියන ලෙසය...
අතර මගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ....
කියන්න කොහෙද ඔබ ගියේ....
මේ ගීතය කුලරත්න ආරියවංශ ගේ
විශිෂ්ඨ රචනයකි. එහි සංගීත නිමැවුම ආචාර්ය වික්ටර්
රත්නායකගේය.
එහි රචනයද, සංගීත නිමැවුමද, ගැයුමද යන සියල්ල සිය දායකත්වය උපරිම
මට්ටමින් ලබා දී ඇතැයි මට සිතේ.
අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ
එදා අප පෙමින් වෙලී ගිය මග අද ඔබ නැත. එහෙත් ඔබ දෙඩූ
පෙම් වදන් අද ද නොමැකී මා සවනත දෝංකාර දෙයි. ඔබට කිසි දින නො එන්නැයි පැතිය හැකි
සිතක් මට නොවෙයි. එබැවින් යළිදු ඔබ එහි එතැයි සිතමින් මා එහි තනිවෙමි. එතෙක් එක්
දෙයක් පමණක් කියනු මැණව....
අතර මගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ....
කියන්න කොහෙද ඔබ ගියේ....
අන් මැයකින් රචිත ගී සමගින් හමුවන තෙක් හන්තාන පසුබිම් කොටගෙන ලියූ රස විමසුමෙන් සමුගනිමි.
- -
යසනාත් ධම්මික
බණ්ඩාර -
"මේ උයන් තෙරේ......." ඇහැට කඳුළක් නැංවූවා...
ReplyDeleteඔබේ ලියැවිලි සංවේදියි.. අගෙයි... අපූරුයි...
"පතමි නොගැටෙන ලෙසට කිසි දින..............." ගීතය පෙර අසා නැහැ.. ඒ පිළිබඳව තොරතුරු සහ ගීතය මෙහි ඇතුළත් කළා නම් වටිනවා කියා සිතුණා...
ස්තුතියි ඔබට.......
රසවත්, සංවේදී ලියවිල්ලක්..නොදන්නා කරුණු බහොමයක් දැනගත්තා. හන්තාන දෙසින් එන ගීතය කපුගේ ගෙ විශිෂ්ට තනුවක්. හාමෝනියම් එක වැඩිපුර යොදාගෙන ඇති නිසා රසයෙන් ඉහළයි. .අනෙක් ගීතවලට එක්කොට ඇති නව අර්ථකතන අගෙයි. විචාරයේදී ගීතයේ සාහිත්‍යමය රචනාව පමණක් සැලකිල්ලට ගැනීම බොහෝ ගීත විචාරකයන් කරන දෙයක්. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ගීතයක් විචාරය කිරීමේදී එහි සංගීත රචනාව, සංගීත භාණ්ඩ භාවිතය,කටහඬ භාවිතය,තනුව ආදිය විශ්ලේෂනාත්මක ලෙස විචාරය විය යුතුයි කියන එකයි මගේ මතය. එය ලංකාවේ විචාරකයන් ට නුහුරුයි. නමුත් ගාමීණී සුමනසේකර දිවයිනේ සඳමඬල ලිපි එකතුවෙන් ඒ පිළිබඳ යම් උත්සාහයක් ගත්තා මතකයි. සුනිල් විජේසිරිවර්ධන,තිස්ස අබේසේකර වැන්නන් ද ගීතයේ සංගීත පාර්ශ්වය හොඳින් විචාරය කළ බව මෙහිදී සිහිපත් වෙනවා..
ReplyDeleteසොයුර,
Deleteස්තුතියි ඔබගේ අදහසට.
මා මෙම සටහන් වෙසෙසින් ලියනුයේ ප්‍රධාන වශයෙක් විවිධ රසිකයින් වෙත මෙම ගී නෙත ගැටීමට සැලැස්වීම පිණිසයි. මේ සමහර ගී මෙලෙස උවමණාවෙන් සොයා අනොඅසන්නේ නම් සමහර අය කිසි දිනක නොඅසන්නට වුව ඉඩ ඇතැයි මට සිතෙන බැවිනි. එමෙන්ම මේ සොයා බැලීම නිසා අපි වුවද යම් මට්ටමකට නැවත පැරණි ගී නිර්මාණ තුළ සරන්නට හුරු වන බැවිනි. අළුත් හෝ වේවා පැරණි හෝ වේවා රසිකයින් රසිකත්වයෙන් මදින් මද ඈත්ව යමින් සිටින බව අප කවුරුනුත් දනිමු. ඒ ගමන මදකින් හෝ පමා කිරීමේ උත්සාහයක් පමණි මේ. මා බොහෝ විට මේ කතා අරඹන්නේ මේ නම් පූර්ණ විචාරයක් නොව යම් හැඳින්වීමක් පමණක් බව කියමිනි.
ඔබ කී ලෙස මේ ගී වල ඇති සංගීත පාර්ශවය විමසීම ඉතා වටනේය. එහෙත් සංගීතය විඳිනු විනා විමසීමට මා හට ඇත්තේ අල්ප ප්‍රමාණික දැනුමකි. එබැවිනි නොදන්නා ඒ පැත්තට වැඩි පුර අත නොතබන්නේ. මේ විචාරයක් නොවන බව නැවත කියන්නේ මා විචාරකයෙකුද නොව හෙයිනි. මා හට එවන් විපුළ දැනුමක් නැත. එහෙත් හාත් පස අදුර මට පෙනේ. මට හැකි අයුරින් පහනක් දල්වනුයේ එබැවිනි. එහි පළමු ආලෝකත පොද මටමය. ඉතිරි ආලෝකයක් වේ නම් ඔබටය.
ඔබේ නිහතමානීත්වය,මධ්‍යස්ථභාවය, අන් මත ඉවසීම ඉතා අගයමි. බොහෝ නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණයන් පිළිබඳ හොඳ කීමේදී සතුටින් ඉපිලීමත්, වැරදි දැකීමේදී කුපිත වීමත් දැක ඇත්තෙමි. එක්තරා ප්‍රකට යැයි කියාගන්නා ගීත රචකයෙකු වරක් තම මුහුණු පොතේ සටහනක් තබමින් දෙදහසෙන් පසු නිර්මාණය වූ විශිෂ්ට ගීත රචනා නම්කොට තිබුණි. ඒ අතරින් 90%ක් ම ගීත ඔහු ලියූ ඒවා විය. මේ පිළිබඳ ප්‍රශ්න කරමින් මා ඇසුවේ "දෙදහසෙන් පසු නිර්මාණය වූ විශිෂ්ට ගීත අතර බහුතරය ඔබේ නිර්මාණ වූයේ කෙසේද?" යන්නයි. මා පවසා සිටියේ ගීතයක් නිර්මාණය කිරීමෙන් පසු එහි විශිෂ්ටත්වය හෝ දුර්වලත්වය තීරණය කළ යුත්තේ නිර්මාණ කරුවා නොව රසිකයා හෝ විචාරකයා බවය. මේ තර්කය ට ඔහු දුන් පිළිතුර වන්නේ, මා හට පෞද්ගලිකව පණිවිඩයක් එවමින් අසභ්‍ය සහ අශීලාචාර ආකාරය ට බැණ වැදී මා ඔහුගේ මිතුරු ලැයිස්තුවේන් ද ඉවත් කිරීම ය. එවැනි විවේචන ඉවසා දරාගත නොහැකි අමනයන් අතර ඔබ වැනි අටලෝ දහමෙන් අකම්පිත ව සිටින්නන් මුණ ගැසීම ද සිතට සුව එළවයි..
ReplyDeleteස්තූතියි යසනාත්,
ReplyDeleteමේ පිලිපෙලේ පළමුවැන්නට ප්‍රතිචාරයක් ලියමින් මගේ නිවහන පිහිටා ඇත්තේ හන්තාන කඳුවැටිය ඉතා පැහැදිලිව පෙනෙන මානයේ බව මම සඳහන් කළෙමි. ඔබේ හන්තානට බැඳුනු ගී ලිපි පෙල බොහෝ ආශාවෙන් රසවිඳීමට ඒ ද ප්‍රබල හේතුවක් විය. නැවතත් ඔබට ස්තූතියි යසනාත්, බොහෝ වෙහෙස විඳ අප වෙනුවෙන් මෙවන් රසවත් ලිපි පෙලක් සම්පාදනය කිරීම වෙනුවෙන්....
H R ජොතිපාල මහතා ගයන 'සරසවියෙ රැ නිසන්සලේ ඔබ නිදනා පොඩි යහන් ගැබේ" ගීතය ගැනත් සටහනක් තියන්න හැකිනම්.
ReplyDeleteH R ජොතිපාල මහතා ගයන 'සරසවියෙ රැ නිසන්සලේ ඔබ නිදනා පොඩි යහන් ගැබේ" ගීතය ගැනත් සටහනක් තියන්න හැකිනම්.
ReplyDelete