Saturday, November 29, 2014

මල කොහේ පිපුණම මොකද - මල පිපෙන බව මල දන්නවා.......




අද උදේ රන් එෆ්. එම්. අහන්න ලැබුණේ රාජකාරි ගමනක් යන අතර නිල  වාහනය තුළදීයි. 
එය එක්තරා සංගීතඥයෙකු හා පිළිසඳර කතාබස් කළ වැඩ සටහනක්. සංගීතඥයා මගේ මිතුරෙක්.

සුරේෂ් මාලියැද්දේ සංගීතඥයා විසින් සංගීතවත් කළ නැවුම්ම ගීතයක පළමු ගුවන්විදුලි ප්‍රචාරයට සවන්දීමට ඉඩ ලද භාග්‍යමත් අවස්ථාවක් එය. 
හඬ ගායිකාවකගේ.
පළමු වතාවට ඇසූ නිසා වචන හරියටම මතක නෑ. මතක හැටියට, මතක ටික මෙහි ලියුවා.
සුරේෂ් ගේ තනුව ගීත රචකයාගේ හදවත ස්පර්ෂ කළ ඇති බව මොනවට දැනුනා. ඒ වගේමයි වෙනස්ම සංගීත සංයෝජනය.
මේ ගීතයේ සංගීතයට ප්‍රමුඛව ගෙන ඇත්තේ චෙලෝව සහ පියානෝවයි. ඒ සංගීතය ගායිකාවගේ හඬ පරදවා නොයන්නට සුරේෂ් වග බලාගෙන තිබෙනවා.

ගීතය ගයන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්


මට මෙම ගීතය තුළින් අැසෙන්නේ දීපිකාගේ අපි අසන්නට කැමතිම වූ ගී ආරයි. ( එහෙම කිව්වේ මෑතකදී දීපිකා ඉන් මදක් ඈත් වුණාද කියා සිතුනු නිසය.)
ඉතාම සුන්දර මේ ගීතයේ මේ පදවැල අයිති කවියා අතුල ජයදේව
නැවත ඇසීමට පිපාසයෙන් සිටින නිසා වැඩසටහන අවසන් වූ සැනින් සුරේෂ් ව ඇමතුවා. ගීතය ලැබේවි ඉක්මණින්. එහෙත් එතෙක් මේ ගැන කතා නොකර ඉන්නට හිතක් නෑ. ඒ නිසා මේ කෙටිම කෙටි සටහන මෙහි ලියනවා.

මල කොහේ පිපුණම මොකද

ගඟ කොහේ ගැළුවම මොකද

සඳ කොහේ දිළුනම මොකද

නුඹ කොහේ සිටියම මොකද

මල කොහේ පිපුණම මොකද
මල පිපෙන බව මල දන්නවා
ගඟ කොහේ ගැළුවම මොකද
ගඟ ගලන බව ගඟ දන්නවා
සඳ කොහේ දිළුනම මොකද
සඳ දිලෙන බව සඳ දන්නවා
නුඹ කොහේ සිටයම මොකද
නුඹ සිටන බව මම දන්නවා
( මෙහි ඊ ළඟ අන්තරා කොටස මතක නැත. ඒ ගැන කමන්න  )
පද - අතුල ජයදේව
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - දීපිකා ප්‍රියදර්ශනී

වරක් ගීතය ඇසූ මම දෙවෙනි වතාවට ඇසීමේ පිපාසයෙන් සිටිනවා. වරක් වත් ඔබ අසා නැතිනම් ඔබ දැන් සිටින්නේ මට වඩා පිපාසයෙන් බව මට දැනෙනවා.
පසුව ලියමි-

ගීතයේ දිගුව ලැබුණත් මා අද උදෑසන ඇසුවේ මෙහි අවසන් කොටස මුළට යොදා ප්‍රති නිර්මාණය කළ ගීතයක්. සුරේෂ් ගේ අදහස වුණේ ප්‍රශස්ථ රූප රචනයකුත් මෙයට කළ යුතු බවයි. සමහර විට ගීතයේ පද අනු පිළිවෙල වෙනස් කළේ ඊට ගැලපෙන අයුරින් විය හැකියි. 
කෙසේ වෙතත් දැන් ඒ පිපාසය තරමකින් නිවා ගතිමි.
දැන් සම්පූර්ණ පද රචනය මෙහි ලිවිය හැකිය. එය ලියන්නේ අද උදේ මා ඇසූ අනු පිළිවෙලට අනුවය.




මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැළුවම මොකද
සඳ කොතැන දිළුනම මොකද     
නුඹ කොතැන සිටියම මොකද

මල කොතැන පිපුණම මොකද
පිපුණු වග මල දන්නවා
ගඟ කොතැන ගැළුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිළුනම මොකද
දිලෙන වග සඳ දන්නවා  
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල් දියෙ
මලුත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුනොත් තමා
සඳේ ලස්සන තවත් සඳ දියෙ
තරුත් දිළුනොත් තමා
නුඹේ ලස්සන තවත්නුඹෙ සිතෙ
මාත් සිටියොත් තමා....

පද - අතුල ජයදේව
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

ඔන්න ගීත නම් ගීත....
මේ එම ගීතයට කළ මට හමු වුණු තවත් රූප රචනයක්.....

 

 - යසනාත් ධම්මික බණ්ඩාර


10 comments:

  1. http://topsinhalamp3.com/songs/deepika-priyadarshani-peiris-mp3-songs/mala-kothana-pipunama-mokada-mp3-song.php

    ගීතය මෙන්න මෙතනිනුත් ගන්න පුලුවන්. මං කීප වතාවක්ම රස විඳි බොහොම හැඟුමබර ගීයක්. අපේ සිංදු ඇනෝ තමයි මට මේ ගීය ඉස්සෙල්ලාම අහන්න අවස්ථාව ලබල දුන්නේ.

    ReplyDelete
  2. අද තමයි ප්‍රථම වරට ගොඩ වැදුනේ..දිගටම එන්නම්.

    ReplyDelete
  3. අරුණ ගුණවර්ධන සංගීතඥයත් චෙලෝව වැඩි වශයෙන් යොදාගන්නා නව පරපුරේ කෙනෙක්. එයින් නැගෙන හඩ බොහොම සංකීර්ණ භාවයන් උපද්දනවා කියලා වෙලාවකට මට හිතෙනවා...චෙලෝවෙන් මීට කලින් හොදටම වැඩ ගත්තෙ කේමදාස මාස්ටර්.

    ReplyDelete
  4. මමත් අද ගොඩවැදුණා මේ පැත්තට.. ඇත්තමයි මේ සිංදුව අදමයි ඇහුවේ..
    (http://syndi.techona.com/ සින්ඩියට බ්ලොග් එක ඇතුළත් කරන්න ආරාධනා කරනවා..)

    ReplyDelete
  5. පළමු වරට මෙහි ආ නමුත් කියවූ මුල් සටහනින්ම ඒ හා බැඳුණෙමි. ගීතය සොයාගෙන රස වින්දෙමි. ඔබට අපමණ තුති! අනෙත් සටහන්ද එක හුස්මට කියවීමට තරම් පිපාසයක් දැන් මා ළඟය.

    ජය!

    ReplyDelete
  6. අදයි අපිත් මේ පැත්තට අාවේ................ බ්ලොගය ගැන හිත බැදුනා.................. දිගට ම හමුවෙමු......

    ReplyDelete
  7. ස්තුතියි...
    සාදරයෙන් පිලිගන්නවා.... නැවත නැවතද පැමිණීම...

    ReplyDelete
  8. Athula Jayadeva කියන්නෙ 80 ගණන්වල “යොවුන් ජනතා“ පුවත් පත සමග ම, අපත් එක්ක ම හිටපු, අපත් එක්ක ම වැඩුණු එක ගහේ වහපු සහෘදයෙක්.
    අතුල අප අතර වඩා ප්‍රසිද්ධ ව සිටියේ හයිකු ආරේ කෙටි කවියකු ලෙසිනුයි. අතුලට මුලින් ම රැකියාවක් ලැබෙන්නෙ තාක්ෂණික නිලධාරියකු ලෙසින්. ඔහු ඒ ඔස්සේ ඉහළට යන්නෙ කවිය අතහරිමින්...
    බොහෝ කාලයක් නිර්මාණ දිවියෙන් සමු අරං හිටපු අතුල, එක වර නැවත පිල් විදහාගෙන නැගිටින්නෙ ගේය පද රචකයකු වශයෙන්. අපූරු ගේය පද රැසක් ම සමගින්...!!
    අපේ ගෙවල් පාරෙන් ම උදේ හවස ගියත්, මට කාලෙකින් අතුල හම්බ උනේ නැහැ. පහන් වැටේ අප ඉඳහිට හමුවන අවස්තාවකවත් අපට අතුල හමු වන්නෙ නැහැ...
    ඒත්....
    නුඹ කොතැන හිටියට මොකද.....
    උඹ තාම අපිත් එක්ක ඉන්න බව දන්නවා..!!

    ReplyDelete
  9. ඔබේ බ්ලොග් සටහන් කවදත් මා හදවතින් ප්‍රිය කරන ඒවා..එයින් ම ලද දැනුම සහ රසවින්දනය අප්‍රමාණයි...ඔබට දෙවි රකවරණයි යසනාත් අය්යේ

    ReplyDelete