Sunday, November 9, 2014

සල් මල් පෙති පර වී ගිය මල් ආසනයේ පා මුළ - නුඹෙ දා දිය සුවඳ තියනවා.....




රත්න ශ්‍රී ගේ කවි වල ගිත වල ඇති සුවිශේෂතා මොනවාද කියා සොයා බැළුවොත් කෙනෙකුට ඔහුගෙ නිර්මාණ වල විවිධ පැතිකඩයන් ඒ සඳහා සැලකිල්ලට ගත හැකිය. ඒ විවිධ අංශ නොතකා මට සලකා බලන්න හිතුනේ රත්න ශ්‍රී පදිංචිව සිටි පරිසරය සහ ඔහුගේ රචනා තුළ සැරිසරන පාත්‍රවර්ගයා දිවිගෙවන පරිසරයයි.
රත්න ශ්‍රී පදිංචිව සිටියේ ගාළු කොටුවේ ලේන් බාන් වීදියේ පිහිටි නිවසකය. දැන් ඉන් වෙන්ව ගාල්ල ප්‍රදේශයේම වෙනත් නිවෙසකය.



එහෙත් රත්න ශ්‍රී ගේ නිර්මාණ තුළ වෙසෙන පාත්‍රවර්ගයා දිවි ගෙවන්නේ සමහර විට වෙල්ලස්සේ උක් වගා බිමකය. තවත් විටෙක තණමල්විල මහ කැළයට යා බද ගොවි බිමකය. තවත් විටෙක මහියංගනේ සොරබොර වැව අසල බිම් කඩකය. තවත් විටෙක රජරට වැව් කොරටුවකය. නොඑසේ නම් යාපනයේ නල්ලූර් කෝවිල පෙනෙන මානයේය. මඩකලපුවේ කල්ලඩි පාළම පාමුළය.
කෙනෙක් නගරයේ සිට ගම ගැන කවි ලියනවිට ඔහු ගමට ඇති දුරස්ථ බව සිය නිර්මාණයෙන් පිළිබිඹුකරයි. එහෙත් රත්න ශ්‍රී ගේ නිර්මාණ වල ඇති සුවිශේෂ ගුණය වන්නේ ඔහුගේ නිර්මාණ තුළ වෙසෙන පාත්‍රවර්ගයා සැබැවින්ම වෙසෙන පරිසරයෙන් රත්න ශ්‍රී වියුක්ත බවක් නොපෙනීමය.නොඑසේ නම් ඔහු එම පරිසර පද්ධතියටම දැඩිව බැඳුනු අයෙකු සේ පෙනීමය. එය මා සලකන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණයට ඇති අවංකභාවය ලෙසයි. බොහෝ අය තමන්ගේම නිර්මාණයටම වංකය. ඔවුන් කවියේදී පෙන්වන සංවේදී සුමට බව දිවියේදී නොදක්වයි. ව්‍යාජය.
රත්න ශ්‍රී ගේ ගීත සහ කවි වල අන්තර්ගතයේ වඩාත් ඇත්තේ මොනවාද? මගේ නිගමනය නම් දුක් විඳින ජනතාවගේ දුකය. එහෙත් ඒ දුක ඔහු ඉදිරිපත්කරන්නේ සෞන්දර්යාත්මකවය. සෘජු බෝඩ් ලෑලි විරෝධතා පුවරු පිකටිං ක්‍රමයට නොවේ.
මා එසේ කියූ ප්‍රචාරක වාදී,සෞන්දර්යයෙන් මිදුනු නිර්මාණ හෝ නිර්මාණකරුවන් සඳහා උදාහරණ නාමයන් මෙහි නොලියමි. එසේ නොවන රත්න ශ්‍රී ගේ නිර්මාණ ගැන කතාකරමි.
රත්න ශ්‍රී සිය නිර්මාණ ඒ මට්ටමට වීසි නොකරයි. ඔහු එවැන් දේ ම ඉතා සංවේදීව සහ සෞන්දර්යාත්මකව ඉදිරිපත්කරයි.
මේ බලන්න මේ ගීය. වෙන කෙනෙක් අතින් ලියැවුණා මොනතරම් ආවේගශීලීව ලියනු ඇතිද? රත්න ශ්‍රී එසේ නොලියයි. එහෙත් ඔහු ඇවැසි සියල්ල ලියයි. ඒ ලියන සංයමය තුළමය විරෝධාකල්පය ඇත්තේ. ගීතය විරෝධාකල්පයක් වීම සහ විරෝධතා රැස්වීමක් නොවීම ගැන රත්න ශ්‍රීගෙන් උපුටා ගත හැකි එක් උදාහරණයක් පමණි මේ.
හත්මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි සුද්දො ආවේ රට කරන්ඩ
දන්නවාද මහත්වරුනි සුද්දො ආවෙ රට කරන්ඩ

ඇත් දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්ඩ
ලක් මවුනගෙ දරු පැටවුන් වහළ් කමේ තියා ගන්ඩ
වැව් බිඳ රන් කොත බිඳලා දා ගැබ් පිට කොඩි දමන්ඩ
දන්නවාද මහත්වරුනි සුද්දො ආවෙ රට කරන්ඩ

යෝධ කඳු වළළු වටලා වන හිස මුඩු බිම් කරන්ඩ
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්ඩ
ඉර නොබහින පොළොව වටේ කතිර කොඩිය ලෙළ දෙවන්ඩ
දන්නවාද මහත්වරුනි සුද්දො ආවෙ රට කරන්ඩ
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - සුනිල් එදිරිසිංහ.
අන් කවියෙකුට සුද්දෝ කියා සෑහීමකට පත් විය නොහැකි යැයි මට සිතේ. රත්න ශ්‍රී සුද්දා ඒ කවියාට පර සුද්දෙක් වනු ඇත. රට හූරා කෑම පිළිබඳව රත්න ශ්‍රී ලියා ඇති සංයමය යට කොට එම කවියා පර සුද්දාට එන්ඩ ඉඩ දී බලා සිටි හත් දෙවියන්ඩත් හුප්පදේ කියනු ඇත. ඔහු පර සුද්දාගේකැවුතු කන්ඩ මේ මහත්වරුන්ට අඬගසනු ඇත. එහෙත් රත්න ශ්‍රී........ එහෙත් රත්න ශ්‍රී එසේ නොලියයි.

ගීතය අසමු.




රත්න ශ්‍රී සහ කපුගේ එක්ව නිමවන මේ ගීත ද විරෝධාකල්ප සේ හැඳින්විය හැකි වෙයි. නැවතත්වෙනස නම් ඒවා විරෝධාකල්ප ගී මිස බෝඩ් ලෑලි පෝස්ටර් සටන් පාඨ නොවීමයි.
එය එක්තරා නගරයකි. නගරය මැද වැඩවසන බුදු පිළිමවහන්සේ නමකි. මේ පිළිමවහන්සේ දසුනට නිබඳව ගැටෙන්නේ ඒ නගරය තුළ දිවා රෑ සිදුවන දහසක් දුක් වේදනාවන්ය... අකටයුතු කම්ය.. නොමනා කම්ය. එපමණක් ද? ඒ සියල්ලට අමතරව කුරිරු පාරිසරික තත්වයන්ගෙන්ද පිළිම වහන්සේ බැට කනු ලබයි. එහෙත් පිළිම වහන්සේ අකම්පිතව මේ සියල්ල විඳ දරා ගනිමින් නගර වීදිය තුළම වැඩ සිටී...

සොයා නොගොසින දමා නගරය
ගයා හිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
වීදියේ වැඩ සිටී හිමි ඔබ

තාර උණුකර දමා දෙපතුළ
ධූලි නංවා නගී ගිනි කඳ
කෙසේ විකසිත වේද
ඔබෙ සිරි පා තබන්නට
පිපෙන සියපත....

කම්හලේ කළු දුමාරය මැද
තැම්බිලා ගිය ඇට සැකිලි රැස
රංචු ගැසෙනා ගිජු ලිහිණියන්
ගසා කනු දුටුවෝද හිමි එබ

හඹා දිව එන අඟුල් මල් වන්
වේදනා දුක් ගැහැට අග හිඟ
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ....

මේ සිදුවන අකටයුතු කම් දමනය කරන්නට පිළිම වහන්සේ නමකට තබා ජීවමාන බුදුන්ටවත් බැරිවෙතැයි හැඟීමක් කවියා තුළ වන්නට ඇත. ඔහු ඉන් එහා නොකියා ඊට වඩා මෙහා තැනකින් සිය කවිය නිම කරයි. එහෙත් රසිකයාට ඉන් එහාට සිතා ගැනී මට තහනමක් නැත. මා සිතුවේ ඒ ගැන එබැවිනි.
මේ අනුව ව්‍යක්ත කවියා සියල්ල නොකියයි. ඔහු රසිකයාට මග පෙන්වා දී නිහඬ වෙයි. බුද්ධිමත් රසිකයා කවියේ මතුපිට පෙළින් නොනවතී. කවි මග දිගේ තම තම නැණ පමණ අනුව සොයා යයි. සොයන රසිකයාට නොසොයන රසිකයාට වැඩි දෙයක් හමු වෙයි.
මෙලෙස දුක් විඳින ජනයා වෙනුවෙන් ලිවීමත් දුක් විඳින ජනයා වෙනුවෙන් ගැයීමත් මේ දෙමිතුරන්ගේ තවත් සමාන කමකි. එක් මිතුරෙක් වැඩ කරණ සහ දුක් විඳින ජනතාව වෙනුවෙන් ලියන ගී අනෙක් මිතුරා විසින් ගායනා කිරීම වෙසෙස් දෙයකි. ඒ ගායනා කරන්නේ මිතුරු කම නිසා නොවේ. හැඟිමෙන්ම ය. මිතුරු කම දැඩි වන්නේ ඒ සමාන සිතුවිලි ධාරාව නිසා ය.






රත්න ශ්‍රී සේ ම කපුගේ ද වමට බර අදහස් දැරූවන්ය. මේ නිසාම දකුණට බර රජයන් පැවති කාලවල විවිධ අඩන්තේට්ටම් වලට මුහුණපෑමට ඔවුනට සිදුවිය. පහර කෑමේ සිට රැකියා තහනම් දක්වාද,  රැකියා මාරුවේ සිට මරණ තර්ජන දක්වා ද ඒවා විවිධ වෙයි. මේ අත්දැකීම් ලැබීම අතින් වුව දෙමිතුරන් සමාන විය.
හැත්තෑ හතට පෙර පැවති සමගි පෙරමුණු රජය පෙරලීමෙන් පසු උද්ගත වූ තත්වයද එවැන්නකි. රත්න ශ්‍රී ට රැකියා මාරුව ලැබුණේ තණමල්විලට ය. ඒ යුගයේ තණමල්විල යනු අද අප දකින තණමල්විල නොවේ. මේ මාරුවත් සමගම රත්න ශ්‍රී ගේ දිවියේ ද රත්න ශ්‍රී ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලද මහත් කලබැගෑනියක් ඇති විය. එහෙත් දමා එන්නත් නොහැකි රැඳී ඉන්නත් නොහැකි මානසිකත්වයකටය රත්න ශ්‍රී ඇද වැටුණේ.
රත්න ශ්‍රී කවියෙකු වූ නිසා ටික දවසකින්ම මේ අළුත් තත්වයට හුරුවිය. රත්න ශ්‍රී ගේ ප්‍රිය බිරිඳ හේමමාලී සහ දැරිවියන් දෙදෙනාට මේ තත්වය දරන්නට තව ටිකක් කල් යන්නට ඇත. රත්න ශ්‍රී සිය කැලඹීම නිවා ගත්තේ කවියකට ගීතයකට ඒ දුක ඇමිනීමෙනි. මේ නිසා රත්න ශ්‍රී සහ පවුලේ අයට දුක වේදනාවත් අපට වෙසෙස් කව් ගී කිහිපයකුත් හිමිවිය.
මගේ බිසවුනේ අසාපන් - නුඹ මන්ඳ්‍රි දේවි නොවුනී
දුෂ්කරවු ඒ පලාතේ - බෑ යන්න නුඹට හිමයේ....

මේ පද රචනාව මුළින් ලියවෙන්නේ කවියක හැඩයටය. පසුව එය ගීත රචනාවක් බවට පත්වෙයි. එය ගයන්නේ අනෙකෙකු නොව එවන් අත්දැකීම් සම්භාරයක් ඇති ගුණදාස කපුගේ විසිනි. තැන, කාලය කුමක් වුවද කපුගේත් මෙවන් දඬුවම් එමට ලබා ඇත්තෙකි. ඒ නිසාමදෝ මේ ගීතයට නාට්‍ය ආකෘතියද මුසු එහෙත් අදාල කතාව මනාව කියවෙන ගීතයක් නිමවන්නට සහ ඒ හැඟීම දනවන ලෙස ගයන්නට ඔහු සමත් වෙයි.
එම ගීතය අසමු.

 

පිලිතුරු ගී ලෙස හඳුන් වන ගීත සාහිත්‍යයක් කලක් රටේ බිහිවුණි. පිලිතුරු ගී සාහිත්‍යය කියා මා කීවාට ඒ බිහිවුණු ගීත තුළ සාහිත්‍යයක් සොයා ගත නොහැකිවුණි. නැතිනම් ඒවා සාහිත්‍යයෙන් තොර විය.  එහෙත් රත්න ශ්‍රී විජේසිංහයන් එයට සාහිත්‍යය එකතු කළ අවස්ථාවක් ම සිතට එයි. එය ඒ පිලිතුරු ගී ඛාණ්ඩයට දමා කිසිවෙක් කතා නොකළත් පිලිතුරු ගී ලියනවානම් මෙවන්නක් විය යුතු යැයි එය දෙස් දෙයි. එම ගීතය සංගීතවත් කළේ කපුගේ නොවේ. සරත් දසනායක විසිනි. නමුත් මේ සිද්ධියේ ඇති වැදගත්කම නිසා කපුගේගේ සංගීතය නොවුණත් එය මෙම සටහනට ඇතුළත් කරන්නට සිතුනි.
මේ පිලිතුරු ගීය ඔහු ලියන්නේ ඔහුම ලියූ ගීයකටය. ඒ අන් ගීයකට නොව රත්න ශ්‍රී ලියූ කපුගේ ගැයූ ඉහත මගෙ බිසවුනේ ගීතයට පිලිතුරක් වශයෙනි. එහෙත් එය සාමාන්‍ය ඒ කාලේ පැවතුනු පිලිතුරු ගී නම් වූ හෑලි ගීත වලට වඩා මොනතරම් අරුත් බරදැයි ඔබට වැටහෙනු ඇත. මේ පිළිබඳව පෙර මෙම අඩවියට ලියූ මේ සටහන් මගින් එය වඩාත් තහවුරු වනු ඇත. ඒ සටහන වෙත අවශ්‍ය අයෙකුට පහත දිගුව ඔස්සේ පිවිසිය හැක.



වන වංක ගිරිය අරණේ .....
වන වංක ගිරිය අරණේ
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී

දුස් ස්වප්න දෑස රිදවා
කඳුළින්ම යාවි සේදී
එන රෝග ව්‍යාධි පලවා
දරු රකිම් ධෛර්ය පේවී

බර අදිම් බෑයි නොකියා
ණය තුරුස් අතර හිරවී
රන් රිදී නොවෙයි ඕනෑ
ප්‍රීතියයි හිතේ ස්වාමී

ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - විශාරද නන්දා මාලනී



===================================================


ලෙලි තලන නැගණියගේ වේදනාව රත්න ශ්‍රී ගේ කවකට ගෝචර වන්නේත් ඒ කවිය කපුගේගේ ගීතයකට ගෝචර වන්නේත් නැවත වරක් මිනිසාගේ දුක්ඛ දෝමනස්සයන් ඉදිරියේ ඔවුන් සමව සංවේදී වන නිසාය. ඒ වෙනුවෙන් තමන්ට හැකි අයුරින් හඬක් නගන නිසාය.
ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙණසුරුට පෙම් බඳින දෝනී

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාල කම් කරණ නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ....

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝනියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ.....

ඔහු අසන්නේ ලෙලි තලන ඇගේ අතට රන් මුදුව ගොරහැඩිද කියායි. ඒ අනුව ඉන් ඔහු අඟවනවා තාමත් ඇගේ අතේ රන් මුදුවක් නැති බව. ඒ ඈ රන් මුදුව ගොරහැඩි නිසා රන් මුදුවක් පළඳින්නට ඇති අකමැත්තක් නිසා නම් නොවේ. විවිධාකාර වූ සමාජ විෂමතාවයේ අපල උපද්‍රව රන් මුදුවක් අතට වැටෙන දිනය ඇගෙන් ඈත් කර ඇති බැවිනි.
ඔහු පද රචනයෙහි ඊ ළඟ පෙළ ලෙස ලියන්නේ සෙණසුරුට පෙම් බඳින දෝණී කියාය.
සෙනසුරු යනු මිනිසුනට අපල උපද්‍රව ඇති කරණ බවට ප්‍රකට ග්‍රහයෙකි. හෙණහුරා පාත්වෙලා..... හිඟන්නගේ පාත්තරේටත් හෙණහුරා වැටිලා... වැනි යෙදුම් යොදන්නේ ඒ නිසාවෙනි. හෙණහුරා ජීවිතයේ විවිධ දේට වගේම විවාහයටත් අකුල් හෙළයි. විවාහය සාර්ථක වීමට බලපාන ග්‍රහයා වශයෙන් සලකන්නේ සිකුරු ග්‍රහයායි. තවම ඈට සිකුරා ලබා නැත. අන්‍යාර්ථයෙන් සෙණසුරුට පෙම් බඳින දෝණී යනුවෙන් කියන්නේ එබැවිනි.
රචකයා මින් කියන්නට උත්සාහ කරණුයේ ඈ තාමත් තනිකඩ බවය.
ඈ මහත් දුක්ඛිත වෑයමක් දරන්නේ පළමුව ජීවත් වන්නටය. විවාහය නිතැතින්ම වැටෙන්නේ දෙවැනි තැනටය. මෙහි නොකියවෙන එහෙත් අපට සිතා ගත  හැකි තවත් බොහෝ ජීවිත ඛේදවාචකයන් ඈට තිබෙන්නට පුළුවන. සමහර විට ඈ පමණක් නොව ඈට වැඩිමල් තවත් සොයුරියක් අවිවාහකව සිටිනවා විය හැක. ඇගේ විවාහය ප්‍රමාද වන්නේ දෑවැද්ද නමැති දොළ පිදේනිය ඉල්ලන යක්ෂයෙකු ඈ අත ගන්නට බලා සිටින නිසා විය හැක. එපමණක්ද? මව හෝ පියා ලෙඩ ඇඳේද විය හැකිය. සමහර විට පියා නැති පවුලක දුවක් වන්නට ඇත. මවද අසනිපයෙන් විය හැක. මේ මෙවැනි පවුල් වටා බැඳී ඇවිලෙන සමාජ ආර්ථික ගිනිමැලෙයේ ගිනි දළු එකක දෙකක වග තුග පමණි.
ඈ ලෙලි තලා නෙළන්නේ රන් කෙඳිය. රන් කෙඳි අතුළ යහන යනු කොහු කෙඳි හෙවත් රන් කෙඳි එළූ පාත්තියයි. එහි ප්‍රේමයේ ඇට සැකිලි සැතපෙන බව කීමෙන් රචකයා බලාපොරොත්තු වන්නේ කුමක්ද?
සිය ප්‍රේමවන්තයා පවා ඈ හැර දැමූ බවයි. මේ විදිහේ බැඳීම් සමග ගැහැණියක් ගැනීම, ජීවිතයක් නොව කරුමයකට කරගැසීමකැයි ඔහු සිතන්නට ඇත. බොහෝ දෙනා පෙම් කරන්නේ ඇති හැකි විටය. නැති බැරි විට දී ප්‍රේමය ද පලා යන බව දන්නෝ දනිති.
මනමාල කම් කරණ නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ....
මින් රචකයා අදහස් කරන්නේ දුගී දුප්පත් කම නමැති නිවට කුමරා ගෙපැලේ බින්න බැස සිටින නිසාය මේ සියළු දුක් ගැහැට, යන්න කීමය.
මේ ඛේදවාචකයෙන් ඈ ගොඩ එන්නේ කෙලෙසද? යම් සෙයකින් ගොඩ එයි නම් එලෙස විය හැකි ක්‍රම දෙකක් රචකයා දකියි. එක් ක්‍රමයක් දෙවියන්ගේ පිහිටය. එනම් ලෙලි දමන ලෙලි පල් කරණ පොකුණේ රන් නෙළුමක් පිපිය යුතුය. ඔහු ඇගෙන් අසයි....
ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
මේ අනුව අපට වැටහෙන්නේ මේ දෙවියන් විසින් දෙනු ඇතැයි සිතන දේ කොතෙක් බලා සිටියද මෙතෙක් ලැබී නැති බවය. ඈ සේම බලා සිටි වෙනත් කිසිවෙකුටත් එය නොලැබුණු බවද සහතිකය. ඒ නිසා ඇත්තේ වෙර වෑයමෙන් ලබා ගත යුතු ගැලවීමකි. එයට විමුක්තිය යැයි කීවාටද වරදක් නැතැයි සිතමු. එය ළඟා කර ගතහැකි ක්‍රමය ඔහු යෝජනා කරයි.
තලාපන් දෝනියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ.....
ඒ සඳහා දුප්පත්කම  වට කරගෙන ඉඟිමරණ  සියළු කුරිරුකම් පලවා හැරිය යුතුය. තලාපන් දෝණියේ කිව්වේ තලා පෙලා පොඩි කිරීම නොවේ. දැනුවත් බව.... දැනුවත් බව මත ක්‍රියා කිරීම... ඒ තුළින් ලබන විමුක්තියයි.
මෙහි ඇත්තේ එක තලයක සිට කියවෙන කතාන්දරයක් නොවෙයි. එහි විවිධ තල ඇත. ඒ ඒ තල වෙන් කර ගැනීම සහ එහි ඇති අරුත් රසය විඳීම රසිකයා සතු දෙයයි.

ගීතය අසමු. 



මෙන්න මෙවන් රචනයකි සාහිත්‍ය රසය හොඳින් හඳුනන විමසන කපුගේට ලැබෙන්නේ. එහි ඇති සියළු රස ස්ථරයන් වෙන්කොට ගෙන විමසන  ඔහුව සංවේදනයට ලක් කරණු ලබන්නේ, එහි රසභාව උද්දීපනය කරමින් අසන්නා තුළ ලෙලි තලන දෝණිය පිළිබඳ කම්පාවක් සහ ආදරයක් ඇති කරමින් එලෙසම එම සමාජ ක්‍රමය පිළිබඳ කලකිරීමක් අපුල බවක් ඇති කරමිවන් එය වෙනස් විය යුතුය... වෙනස් කළ යුතුය යන යෝජනාවද කිරීම සඳහා උචිත සුදුසු සංගීත නිර්මාණයක් නිම කරමිනි.
සමාජ ප්‍රගමනය උදෙසා ඉවහල් වන ගීයක් නිමවෙන්නට නම් ඒ සඳහා එවන් සාහිත්‍යය හඳුනන විඳින විමසන සංගීතඥයෙක් සිටිය යුතුමය. ඒ සඳහා සුදුසුම සංගීඥයා රත්න ශ්‍රී ට මුණ ගැසෙන්නේ ගුණදාස කපුගේ නමැති මිනිසාට ආවේශව සිටියදීය.
========================================================================

මේ තවත් එවැනි අවනඩුවකි. සමාජ ඛේදවාචකයකි.
ඈ ගමෙන් නගරයේ මැහුම් හලට එන්නේ ජීවිත සටන අත්හරින්ට පෙර සමහර විට අවසාන උත්සාහ කිරීම ලෙස වන්නට ඇත. එහෙත් ඇයට වන්නේ තමන්ගේම රැහේ එකෙකුගෙන් මැරුම් කන්නටය. ඒ අසීරුවෙන්, කුසට බාගෙට අහරක් ගෙන, පැදුරු කඩමාල්ලේ මදුරුවන් තල තලා නිදි නොලැබ දුක් විඳ, විවේකයක් නොලබා සොච්චමකට කඹුරමින්, රැස් කරගත් අතකර කණකර නිසාවෙනි. සමහර විට ගෙන යා හැකි ඒ වස්තුව පැහැර ගන්නා අතරම ඊට පෙර ගෙන යා නොහැකි ඇගේ ආත්මයද බිලිගන්නට ඇත. එම සිදුවීම කොතරම් ඛේදවාචයක් වුවත් රත්න ශ්‍රී එය ලියන්නේ මහත් සංයමයකින් යුක්තවය.... පොළඟකු වී අවුදින් තොට දශ්ඨ කරනමැයි..... වලසකු වී අවුදින් තෝව සපනෙම්යැයි ඔහු කිසිවිට නොකියයි.

වැරහැලි ඇඳ
අඩු කුළියට සළු මැසුව කුමාරී
ඉඳි කටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරී...

තණ පලසේ බිම හොවින දිගාවී
ළැම කිණිසි තුඩක් ඇණුනු කුමාරී
කන කර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ ඇයිද කුමාරී...

බිම යකඩ කඳන් වලට මුවා වී
සුදු මිනී මලක් නඩුව කියාවී
සත්පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළඹ ගෙනේවී....

වැරහැලි හැඳ, අඩු කුලියට ඇඳුම් මසන්නට නම් ඈ දුගී දුප්පත් කමේ අන්තයේ සිටිය යුතුය. මේ රස්සාවට හිත හදා ගන්න පෙර බොහෝ මෙවන් යුවතියන් දස දහස් වර හිතින් හඬයි. මේ රැකියාව නරක එකක් නොවේ. එහෙත් සමාජය තුළ මුළින්ම ඇති වූ සම්මතය තුළ ඒ දෙස යම් අවබැල්මකින් බලන්නට සමාජය පුරුදු විය. ඊට තවත් හේතුවක් වූවේ ඇඟළුම් කම්හල් ආශ්‍රිතව බිහි වූ උප සංස්කෘතිය තුළ බොහෝ මෙවන් යුවතියන් විවිධ අපයෝජනයන්ට ලක්වීම හේතුවෙනි. එවන් යුවතියන් පළමුව අපයෝජනයට ලක් වීමත් කලකට පසුව එයට හුරුව ඇබ්බැහිව ස්ව කැමැත්තෙන්ම එවැනි දෙයෙහි ගැලී සිටින බවත් අප දුටු දේය. මේ නිසාම එම රැකියාව දෙස යම් අව තක්සේරුවකින් බලන්නට වුනි. මේ රැකියාවට ගමේ සිට සෙයිලමට ඇය ආවේ දහස් වර සිතමින් වැලපෙමින් බව කිවේ ඒ නිසාය.
දැන් සිදුව ඇත්තේ කුමක්ද?
සළු මසන ඈ අත ඉඳිකටුව ඇණුනාදැයි සිතයි. සළු මසන ලියක අත ඉදිකටුවක් ඇනීම මහා දෙයක් නොවෙයි. එසේ නම් ඇය අත ඉඳිකටුවක් ඇනුනාද යන්න විමසිමෙන් සංඛේතවත් කරණුයේ ඊට වැඩි සිද්ධියක් විය යුතුය. සිද්ධිය අබැද්දියක් විය යුතුය.
තණ පලසේ බිම හොවින දිගාවී
ළැම කිණිසි තුඩක් ඇණුනු කුමාරී
ඈ දිනක උදෑසන හමු වූයේ තතණ පලසක නිසොල්මන්ව වැතිර සිටියදීය. ළයෙහි ඇනී තුබුණේ ඉඳි කටුවක් නොව කිණිසි තුඩකි. මේ කිණිසි තුඩ ඈ ළයට කිඳා බැස්සේ ඈ කුමන පවක් කළ නිසාද? කාට හෝ කළ කුමන වරදකට දඬුවම් ලෙසද?
කන කර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ ඇයිද කුමාරී...
එසේ නම් ඈ පණ නළ කිනිස්ස ඇණුනු තැනින් වා තලයට මුසු වුණේ අන් හේතුවක් නිසා නොව අතකර කණකර අබරණ පැළඳ සිටීමේ පාපය නිසාය. රාත්‍රියට මුවා වූ මරුවන් අතකර කණකර අබරණ අරන් ගියේ ඒ නිසා විය යුතුය.
බිම යකඩ කඳන් වලට මුවා වී
සුදු මිනී මලක් නඩුව කියාවී
සත්පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළඹ ගෙනේවී....
මේ වන් මරණ වලට සාධාරණයක් ඉටුවන්නේ කෙලෙසද? මැරුණාට පසු ඉටු විය හැකි සාධාරණය කුමක්ද?
අවමයෙන් මෙවන් දේ ඉදිරියට වීම වැලැක්වීමට හෝ නීතිය ඉදිරියේ මෙවන් මරුවන් වරද කරුවන් වේද? මේ මරණය දුටුවෙක් වේ නම් ඉදිරිපත්ව සාක්ෂි දේද? නැති නම් තමනුත් කරදරේ වැටේය යන අදහසින් නිහඩ වේද? බොහෝ විට සිදුවනුයේ එයයි.
ඈ වෙනුවෙන් නඩුවක් කියයි නම් ඒ මිනී පිටියේ පිපෙන සුදු මිනී මලක්ම මිස අන් කෙනෙක් නොවේ. ඈ වෙනුවෙන් සාධාරණය ඉටු කරයි නම් ඒ සත්පතිනි මවුන් මිස අන් අය නොවේ. නොඑසේ නම් දෙවියන් මිස අනෙකෙක් නොවේ. එහෙත් මෙතෙක් අවදිව උදුරාගෙන ගිය සළඹ ගෙනැවිත් දුන් සත්පතිනි මවුන් කොහිවේද?

ගීතය අසමු.




වැඩකරණ ජනතාව පිලිබඳ ඔහුගේ මේ සංවේදිතාව මෙතෙකින් කෙළවර නොවෙයි. ඔහු මහ වෙහෙරක හුණු පිරියම් කරණ පියෙකු සහ ඔහුට අත් උදව්වට එන පුතෙකු ගැන ලියූ ගීතය එවැනි තවත් සුවිශේෂ නිර්මාණයකි.

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද
පුතණුවනේ.........

ඔහු පලංචියේ නැගී මහ සෑයේ හුණු තවරයි. මේ හුණුපිරියම් රාජකාරිය ලෙහෙසි පහසු එකක් නොවෙයි. එක අතකින් එය ඉතා වෙහෙසෙකර වෙයි.  අනෙක් අතින් ඉය ඉතා අනතුරුදායක වෙයි. තාවකාලිකව සකසාගත් උණ ලී පලංචිය බඩ වැලක් සේ එහෙට මෙහෙට වැනෙයි. සමහර විට ලිස්සා යයි. එවැනි පලංචියක නැගී ගෙනය මේ හුණු පිරියම් කිරීම කළ යුත්තේ.
බදාම ඔසවා දිමට සිටින්නේ සිය පුතණුවන්ය. තම උදව්වට මෙසේ පැමිණියත් ඔහු පාසැල් යන වයසේය. එහෙත් සිය බාල සොහොයුරු සොහොයුරියන්ගේ අනාගතය උදෙසා ඔහු පියාට අදව් කිරීමට පාසැල් ගමන අතහරී.
සිල් ගත් රජ මහ වෙහෙරට
මල් පුදනා මහ සෙනඟට
පියාණනේ නුඹ නොපෙනෙනවා
ඇල්මෙන් අකුරට යන විට
නංගිලාට මල්ලිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා.......................
මහා ශ්‍රද්ධාවකින් සැය නමදින කිසිවෙක් මේ සෑය සුදට සුදේ බබලන්නට මේ පියාණන් හෙළන දහදිය නොපෙනේ. එසේම ඒ පියාට උදව් වී සිය සොහොයුරු සොහොයුරියන් කැළ වෙනුවෙන් ලාබාල වියේදීම ජීවිතය කැප කළ මේ පුතණුවන්ද නොදකිනු ඇත. කිසිවෙකු නොදැක්කද, ඉගෙන ගන්නා අකුරු කරන ඒ දරුවන්ට මුළ් පොත වන්නේ මේ වැඩිමල් දරුවා බවය පියා කියණුයේ.
රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළවට
අප සිරසට රන් කොත වෙනවා
සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹෙ දාදිය සුවඳ තියනවා.........................

පියා දරුවන්ගේ සිරසට රන් කොතක් වන්නේ රන් ඉණිමග නමින් හඳුන්වන මේ උණ ඉණි මගේ පරෙස්සමට බිමට බැස්ස පසුය. ඒ ඔහුගේ දහදියෙන් ජීවිත කැපවීමෙන් දරුවන් රැකීමට ගන්නා වෙහෙස හැඳින්වීමේ අන් කියමණකි. එලෙසටම වැඩිමහල් පුතණුවන් සොහොයුරන්ට දෙන සහය අමතක කළ හැක්කේ කෙසේද? පියා කියන්නාක්සේ
සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹෙ දාදිය සුවඳ තියනවා......................... යවනුවෙන් කියන්නේ ඒ දහදියද අවකත්සේරුවට ලක් කළ කොහැකි නිසාය.
විවිධ කම්කරු රැකියා වල යෙදෙනෙ කුලී මලී වැඩකටයුතු වල යෙදෙන ඉන් උපයන දවස් පඩියෙන් යැපෙන මිනිසුන්ගේ ඛේදවාචකය රත්න ශ්‍රීගේ පරිකල්පනය තුළින් ප්‍රතිනිර්මාණය වුණු අයුරුය එකින් එක මේ දිග  හැරෙන්නේ.
දැන් නැවත සලකා බැලිය යුත්තේ මේ අන්තරුගතයට සාධාරනයක් ඉටු කරමින් මේ අදහසට නව පණක් දීමට කපුගේ ගන්නා ලද වෑයමයි. ගීතයේ පෙළෙහි අන්තර් ගතය තුළට කිමිදිය නොහැකි වුණි නම් කිසිලෙසකින් වත් මේ තනු සංගීත රචනා එළියට නොඑනු ඇත. එහෙත් සැනින් ඒ තුළට රිංගා ඒ තුළ ජීවත් වන්නට ඔහුට ඇති හැකියාවය මේ අයුරින් සිය සංගීත නිර්මාණ වලින් ගීත රචකයාට තවත් ආලෝකයක් සපයන්නේ.
රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළවට
අප සිරසට රන් කොත වෙනවා
සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹෙ දාදිය සුවඳ තියනවා.........................

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - ගුණදාස කපුගේ/කරුණාරත්න දිවුල්ගනේ


තවත් කොටසකින් හමුවෙමු.
-         යසනාත් ධම්මිකබණ්ඩාර    -

1 comment:

  1. අවකාශ හා කාල මාන වල විසූ හා වසන හැම ජන කොටසක්ම හැඳින ගැනීම කිසිවෙකුටත් නොකල හැකිය. එවන් හැඳිනීම් අපට බොහෝ විට ලඟා වන්නේ කලාකරුවන් ඔස්සේයි. අත්දැකීම් නොමැති ජීවිත අත්විඳීම් වලින් හෝ සරු කරන්නේ කලා කරුවාමයි. රත්න ශ්‍රී විජේසිංහයින්ගේ රසික පිරිස ඔහු නිසා බොහෝ අත්විඳීම් ලැබගනී. යසනාත් ඔබ මෙහි සඳහන් කරන නිර්මාණ තුළින් පමණක් වුව විවර කෙරෙන සමාජ පැතිකඩ බොහෝය. ඔබ කියන්නාසේම ඔහුගේ විරෝධාකල්ප ගී කව් වල පවා ඇත්තේ මහත් සංයමයකි. ගොර බිරම් රළු වදන් එහි නැත - එනමුත් එයින් සදනා හැඟුම් ඉතාමත් ප්‍රබලය. රත්න ශ්‍රී විජේසිංහයින්ගේ මේ ගී වෙන් වෙන්ව ගෙන ඉන් විවර වන විවිධ සමාජ යථාවන් පිළිබඳව ඔබ ලියූ මේ ලිවිලි සියාල්ල් ඉතා අගෙයි. මේ ගී විඳ ඉන් නොසෑහී අප හා ඔබේ සිතිවිලි බෙදා ගත්තාට තුති. එය මේ ගී විඳින්නට ඇතැම් විට අප නොදුටු පැති විවර කරන්නට රුකුලක්ම විය.

    ReplyDelete