“ඔයා බ්ලොග් අඩවිවලට ලියන්නෙ නැද්ද?
මා සේවය කරන පාසලේ මට වඩා බෙහෙවින් ළාබාල නිර්මාණකරණය
කෙරෙහි උනන්දුවක් දක්වන
ගුරුවරියක් මගෙන් විමසුවා ය. මම නැතැයි කීමි. එහෙත් මා පුවත්පත්වලට ලියූ ඇතැම් ලිපි බ්ලොග් අඩවිවලට
ඇතුළත් ව ඇතැයි කීමි.
“ලියන්නෙ නැත්නම් අඩු ගණනෙ කියවන්නෙ
වත් නැති ද?” ඇය අසන්නී ය. ඒ නවීන සාහිත්‍යාංගය පිළිබඳ මගේ දැනුමේ
දිළිඳුකම මම අවංකව ම ප්‍රකාශ කළෙමි.
“මම අයියත් එක්ක විවේකයක් ලැබෙන වෙලාවට
බ්ලොග් කියවනව. අයිය හරි ම කැමතියි
බ්ලොග්ස්වල කවි
කියවන්න.” (අද කාලයේ තරුණියන් අයියා යනුවෙන්
අමතන්නේ වැඩිමහලු සොහොයුරාට නොවේ. එක්කෝ
පෙම්වතාට ය. නැතහොත් සැමියාට ය. මේ
ගුරුවරිය ද
අයියා යනුවෙන් සඳහන් කරන්නේ සිය සැමියා පිළිබඳව ය.)
‘බූන්දිය’ වැනි වෙබ් අඩවිවල ඇතුළත් කවියක් නැතහොත් රසවත් ලිපියක්
මා බොහෝ විට කියවා ඇත්තේ ‘රාවය’ වැනි පුවත්පතකින් නො වේදැ’යි මම කල්පනා කළෙමි. කෙසේ
හෝ කාර්ය බහුලව
ගතවන කාලයෙන් කිසියම් ඉඩක් බ්ලොග් අඩවි කියවීම සඳහා ද වෙන් කර ගත යුතු ය.
පසුගිය දවසක මට ‘යසනාත්
සිතුවිලි’ නම් බ්ලොග් අඩවියක් කියවීමට ලැබිණි. යසනාත් සිතුවිලි ඉදිරිපත් කරන්නේ “වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර”
යි. දැනට තඹුත්තේගම දිසා රෝහලේ රෝහල්
අධිකාරිවරයා සේ කටයුතු කරන යසනාත් සිය සරසවි දිවියේ පටන් ම කවිය හා ගීතය කෙරෙහි බැඳුණු සිතැතිව කටයුතු කළ අයෙකි. 90 දශකයේදී නිරතුරු ව පුවත්පත් කවි පිටු අතර සැරිසැරූ ඔහු
ඉනික්බිති “පතන්බිම” හා “මුරගල” යන කාව්‍ය කෘති පළ කළේ ය. මහින්ද කුමාර දළුපොත හා
තිඹිරියාගම බණ්ඩාර සමඟ එක්ව “හඬ” නමින් විශාරද ගුණදාස කපුගේ පිළිබඳ
කෘතියක් කරන්නට ද යසනාත් ධම්මික
බණ්ඩාර දායක වූයේ ය. 1999 දී සහෘදයනට තිළිණ කළ “කිඳුරු ගීතය” යසනාත්ගේ ගීත ඇතුළත් වූ මුල් ම සංගත
තැටියයි.
අනතුරුව ඔහු ගී කෘති දෙකක් “අඟුටුමිට්ටාගේ ප්‍රේමය” හා “උයන්පල්ලාගේ සඳවතිය” නමින් රසික ප්‍රජාවට තිළිණ කළේ ය. යසනාත් ධම්මික බණ්ඩාර
ලියූ ගී අතර රසිකයන් අතරට ගිය ගී බොහෝ ගණනක්
වෙයි. ඉමාන් පෙරේරා ගායනා කරන “සුවඳ මල් රේණු”, ජානක වික්‍රමසිංහ ගායනා කරන “නොනිදා ඉන්න එපා දේවී”, සමන් ජයනාත් ගායනා කරන “ගාන තෙල් සඳුන් වරලස”, අමරසිරි පීරිස්
ගායනා කරන “ආලවත්ත වීදියේ”, රශ්මි සංගීතා සමඟ ඩබ්ලිව්. ඩී.
ආරියසිංහ ගයන “වලාකුළු පෙළින් බසින්න”
වැනි ජනප්‍රිය
ගී රැසක් ඒ අතර වෙයි.
යසනාත් ධම්මික බණ්ඩාර සිය “යසනාත් සිතුවිලි” ලිවීම ආරම්භ කර ඇත්තේ 2012 දෙසැම්බර් 9
වැනිදා යි. එදා
මෙදාතුර (2013-8-4 දින දක්වා) 11287 දෙනෙක් එම
ලිපි කියවා ඇති
බව යසනාත් මා හා ප්‍රකාශ කළේ ය. යසනාත් සිතුවිලි http://yasanathsithuwili.blogspot.com/හරහා කියවිය
යුතු ය. යසනාත් සිය සිතිවිලි සමුදාය දිගහරින්නට පටන් ගන්නේ ගීත රචක “ධම්මික බණ්ඩාර” ගේ සංගත තැටියක් පිළිබඳ විවරණ
ඉදිරිපත් කරමිනි. අනතුරුව ඔහු “අතරමගකදී අතුරුදහන් කරන ලද ගායකයෙකු”
පිළිබඳ කතා
කරයි. කිසියම් ගායකයෙකු මහමඟ දී පැහැරගෙන
ගොස් අතුරුදහන් කරන ලද්දේ ද? අප සිත පැනයක් මතු වෙයි. නැත. ඒ සංගීතය
පිළිබඳව ම අවධානය යොමු කිරීම නිසා සහජයෙන් ලද හඬ කෙරෙහි නිසි අවධානය නො දැක්වූ “කරුණාරත්න
විජේවර්ධන” නම් සංගීත ශිල්පියා පිළිබඳ සටහනකි.
යසනාත් සිතුවිලි අතර මා කියවූ “සඳ කිඳුරියට බැඳුණු කවි ගීත”
නම් දිගු බ්ලොග් ලියවිල්ල වෙසෙසින් මා සිත්
ගත්තේ ය. යසනාත් මුලින් ම සඳ කිඳුරු දා
කව පිළිබඳව
විවරණයක යෙදෙයි. අනතුරුව ජාතක පොත ගැන කියමින් ‘චන්ද කින්නර ජාතකය’
ද සැකෙවින්
දක්වයි. ඉනික්බිතිව කින්නර කතා පුවත මෙන් ම එහි නම ආශ්‍රය කරගත් ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු,
අශෝක හඳගමගේ ‘චන්දකින්නරී’ වැනි නාටක හා සිනමා කෘති පිළිබඳව ද සඳහන් කරයි. ඉන්පසු ඔහු ගෙනහැර දක්වන්නේ සඳ කිඳුරු කතා පුවත සදාශ්‍රය කරගනිමින්
ලියැවුණු කවි හා ගීත සමුච්චයකි. ඔහු
එහි එන ගීත ශ්‍රවණය
කිරීමේ අවස්ථාව ද බ්ලොග් පාඨකයාට ලබා දෙයි. එමතු නො වේ.
එම කවි හා ගීත පිළිබඳ දීර්ඝ විවරණයක් ද විචාර පූර්ව
දෘෂ්ටියකින් යුතුව ඉදිරිපත් කරයි.
කුමාර හෙට්ටිආරච්චි ලියූ “කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ”, සුදත් ගාමිණී බණ්ඩාරගේ “නාඩගම” වැනි කවි ගණනාවක් මෙන් ම රත්න ශ්‍රී විජේසිංහ ලියූ “සඳ ගිරිපව්ව කොහේදෝ” (ප්‍රේමසිරි කේමදාස/ ප්‍රදීපා ධර්මදාස) “සඳකිඳුරා මියගියා ගෙදර එන්න නංගියේ (ගුණදාස කපුගේ/ ජානක
වික්‍රමසිංහ), උබේනන්ද දිසානායක ලියූ “චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්”
(රෝහණ වීරසිංහ/ කරුණාරත්න දිවුල්ගනේ), රවී සිරිවර්ධනගේ “සඳ ගිරි පව්ව
උසයි”, ආචාර්ය අජන්තා රණසිංහගේ “පාළොස්වක සඳ පායනු වැන්නේ” (ප්‍රේමසිරි
කේමදාස/ පණ්ඩිත් අමරදේව
හා නීලා වික්‍රමසිංහ)
වැනි ගීත ගණනාවක් එම ගී එකතුවට අයත් ය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” හා “මළවුන්ගේ
අවුරුදු දා”
යන සම්භාවනාවට
ලක් වූ නවකතා ද්වය ඇසුරින් බිහි වූ කවි හා ගීත පදනම් කරගෙන “යසනාත් සිතිවිලි” සඳහා යසනාත් ධම්මික බණ්ඩාර පෙළගස්වන බ්ලොග් ලිපිය ද අපූරු ලිපියකි. සරච්චන්ද්‍රයන්ගේ
මළගිය ඇත්තෝ ඇසුරු කොට ගත් පැරණි මෙන් ම
නූතන
ගීතාවලියක් මෙන් ම ඒ පිළිබඳව විචාරාත්මක විමසුමක් ද ඊට අඩංගු ය. (මළගිය ඇත්තෝ උසස් පෙළට හදාරණ සිසු සිසුවියන්ට මෙන් ම
ගුරු භවතුන්ට ද මෙම ලිපිය කියවීම
වැදගත් යැයි හැඟේ.)
යසනාත් ධම්මික බණ්ඩාර වෙද නළාව උපයෝගී කරගන මිනිස් හද
ස්පන්දනය වන රිද්මය හඳුනාගන්නා අතර
ම සාහිත්‍ය තුළින් ඉසියුම් මිනිස් සිතිවිලි හඳුනා ගන්නට වෙර දරන ආකාරය යසනාත් සිතුවිලි තුළින්
පිළිබිඹු වෙයි.
මහානාම දුනුමාල
සුවහසක් මිනිසුන්ගේ හෑගිම් වල සුවද 'යසනාත් ගී 'තුලින් මා දුටුවේ පරිඝනකයක් ඇස ගෑටෙන්නටත් පෙරයි.ඔහුගේ සංවේදී භාෂාව ගීතයෙන්,කවියෙන්,ලිපියකින්,හරාත්මක පෝෂණයක් අපට ලබා දුන්න ඔය ලෙස බිලොග් ලිපියකින්.දුනුමාල මහත්මානෙනි ඔබට පින්.මෙවන් යස මිනිසුන් ,මිනිස් වග සුවද කරන...පුවත් පතකට අකුරු නොවීමේ ඛේධාන්තය දුක්බරයි එය ඔබ දශමයකින් හෝ සෑපිරිම පිලිබදවයි ඔබට පින්.යසනාත් රජරටට සින්නවිදෝ කියා සිතුනා පහු ගිය කාලයේ,ඔහු රජරටට ඔහුගේ ගී සිතිවිලි අතුරන වෑඩසටහන් කිහිපයක්ම කර තිබුනා.යසනාත් වෙදෑදුරා පුද්ගලික විය හෑ කියි.නමුත් යසනාත් නම් අපුර්ව ගේය පද රචකයා,කවිකාරයා,නිබන්දකයා ,....ඔහු පුද්ගලික නොවේ.ඔහු සමාජය දේහයට ඔසු පිණිස සමාජයට අවෑසි පොදු වස්තුවකි.එහෙයිනුයි...ඔහු සමාජයට සින්න කරගත යුතු අයෙකු වන්නේ.මේ තුල වගකීම පොදු මාධ්‍යට මා යොමු කරමි.දුලන සසධර වලාවෙන් වෑසි ගිය හොත් ඉන් එලිය වන්නේ අහස් ඉම පමණි. සිසි කිරණ පොලොවටද අවෑසිය.
ReplyDelete