Saturday, May 4, 2013

සඳ කිඳුරුවට බැඳුනු කවි ගීත .....


"ස්වාමීනි ඔබ වහන්සේ එක් වේලක් පමණක් වළඳන බව අසා ඇයද එයට හුරු වූවාය. ඔබ වහන්සේ කසාවත් දරන බව අසා ඇයද වටිනා සළු පැළදීම අත්හැරියාය. ස්වාමීනි ඇය සියළු විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළාය." මෙය ඇසූ බුදුන් වහන්සේ පෙර භවයන් හීදීත් ඇය පතිවත සුරැකි ස්ත්‍රියකැයි චන්දකින්නර ජාතකය ගෙන හැර පාමින් දේශනා කළ සේක. එහි අන්තර්ගතය මෙලෙසය.

 බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජු රජකම් කළ යුගයයි. මේ කාලයේම හිමාල වනයේ ප්‍රදේශයක සඳකිඳුරු යුවලක්ද වාසය කළේය.

දිනක් රජතුමා දුනු හී ඇතිව වනාන්තරයට වැද දඩ කෙළියේ යෙදෙද්දී මෙම කිඳුරු යුවල දුටුවේය. සඳකිදුරියගේ රූපශ්‍රීයට වසඟ වූ රජතුමා ඇයව හිමි කරගන්නා අදිටනින් සඳකිඳුරාට විෂ ලූ හී සැරයක් විදීය. විෂ හීය වැදුනු කිඳුරා සිහිසුන්ව වැටුනේය.

සිහිසුන්ව වැටුණු කිඳුරා දැක මිය ගියා යැයි සිතූ රජතුමා සඳකිදුරිය ව අග මෙහෙසිය කරගැනීමට ඇති සිය කැමත්ත ඇයට කී කල තම ස්වාමියා මරා දමා තමා හිමි කර ගැනීමට තරම් කුරිරු වී නම් කිසිදා තමා ද මරා මිස අයිතිකරගත නොහැකි බව දැඩිව ප්‍රකාශ කළාය.

රජතුමා බිඳුණු සිතින් පිටවී ගිය පසු එතැනට නැවත පැමිණි කිඳුරිය, කිඳුරා කෙරේ රැකි පතිවත සත්‍යයක් නම් ඔහු සුවපත් වියයුතු යැයි ප්‍රාර්ථනාවක්  කළාය.

මේ දුටු ශක්‍ර දේවයාණෝ, බමුණු වෙසක් ගෙන පැමිණ සඳකිඳුරා සුවපත් කර දුන්හ. සඳකිඳුරු යුවලද චන්දගිරි පර්වතයට පළා ගොස් පෙර ලෙසම ප්‍රේමයෙන් සහ සතුටින් වාසය කළෝය.

ජාතක කථාවට අනුව බ්‍රහ්මදත්ත රජු යනු අනුරුද්ධ තෙරුන් වහන්සේය. කිඳුරිය යශෝදරා දේවියයි. කිඳුරා බුදුන් වහන්සේය.

කවියටද ගිතයටද සඳ කිඳුරුව එකසේම වෙසෙසින් පාදක වී ඇත. එලෙස සඳ කිඳුරුව පාදක කරගත් කව් ගී බොහෝ ඇතත් මෙහි අදහස එයින් කිහිපයක් විමසීමෙන් සඳකිඳුරුව සිංහල ගිතයට ඇතිකළ බලපෑම වටහා ගැනීමය.

කුමාර හෙට්ටිආරච්චි යනු වෙසෙස් කවියෙකි. සිංහල කවියෙකි. මේ ඔහුගේ කවකි.

කිඳුරා නඟින්නේ බසයට බොරැල්ලේ
මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ
දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
කිඳුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ

සිප බඳ කොමලතින් ලුණු කැඳ පොවා පියා
සැප නැති බදු ගේක වකුටුව නිදා පියා
ලප සඳ මහිමි ගිනි පොලියෙන් මුදා පියා
පඩිපත කෑ තොපට හෙණ හතය පා පියා

බලසම්පන්න දෙවියොත් පඩි නොලබාද
හිඟමන් සදිසි පඩිපත දැක උණුවේද
සුපසන් මහිමිගේ ඉහ ගිනි දුටුවාද
මටවන් මෙදුක තගෙ අඹුවට නොවදීද

දරුවන් උදේ අකුරට නොයති ද ඉතිනේ
පවසින් සයින් නැගි ගිනි දළු ඉහ මුදුනේ
ගසකින් කඩන කහවණු හීනෙන් පෙනුණේ
ඉතිකින් කෙලෙස වෑවෙම්දෝ හිමි සඳිනේ

තම සැමියාගේ වැටුප් කවරය සොරාගත් අවස්ථාවෙහි ගෙයි අඹුවගේ වැලපිල්ල හද කලඹන අයුරින් කළ නිර්මාණ අපට මතකය. කවියා නිරන්තරයෙන් ජනශ්‍රැති සාහිත්‍යයෙන් ආභාසය ලැබූවෙකි. ප්‍රස්තුතය විදහා පාන්නට කවියා තෝරා ගන්නේ සිංහලයන්ට අතීතයේ පුරුදු නාද කාව්‍ය ධ්වනියකි. කාව්‍යා කෘතියකි. කවියාගේ කාව්‍ය ආරම්මණය කවරෙක් ද? ඊට යෝග්‍ය වූ අන්තර්ගතයෙන් පැනෙන මූලධාතුව කුළු ගැන්වෙන ආකෘතියක් සම්පාදනය කර ගැනීම කවියාගේ මුඛ්‍ය කාර්ය භාරයකි. අප කවියා උක්ත කවියෙන් සඳකිඳුරු කතාව කියන ජනකවියාගේ විලාසයට ආරූඪ වන්නේය. එම කවියෙහි ශෝකය, වේදනාව, තරහව අසරණකම යටින් දිවෙන සමාජ අසාධාරණය මෙන් ම ඊට පාදක වන විෂම ලාංකික සමාජයේ දාළිද්දය මෙන් ම නොමිනිස් කම ද වියත් කරයි.

-        උපුටා ගැනුමකි   -

කිඳුරා නඟින්නේ බසයට බොරැල්ලේ
මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ
දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
කිඳුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ

කුමාර හෙට්ටිආරච්චි
මෙහි සිටින්නේ සෘජුවම අර ජාතක කතාවේ සිටි කිඳුරා නොවේ. කෙසේ වෙතත් මේ කව සඳහා කුමාර හෙට්ටිආරච්චිට කිඳුරෙකු යොදාගැන්මට සිතෙන්නට ඇත්තේ සඳ කිඳුරුවේ කිඳුරා සහ කිඳුරිය සිය චිත්ත සන්තානයේ සිට කරන්නට ඇති සන් කිරීම අනුවය. කෙසේ වෙතත් සඳ කිඳුරුවෙහි එන කවි වල පවතින යම් යම් ගුණ කුමාර හෙට්ටිආරච්චි විසින් සිය කවියට ආරූඪ කර ඇත. එහි පවතින ශෝකය, වේදනාව, තරහව සහ අසරණකම වැනි ගුණ සේම ජන කවියාගේ රිද්මයද ඊට ඇතුළත් කර ඇති වග ඉහත සටහන අනුවද විස්තර කර ඇත.

කුමාර කවියා සිය කව අරඹන්නේ අරඹන්නේ මෙහි සම්පුර්ණයෙන්ම සටහන් නොවුණු එහෙත් සඳ කිඳුරුවම හා බැඳුණු පද්‍යයක - චූල සම්ප්‍රදායික සඳ කිඳුරු දා කවු පෙළක සඳහන් කවක - අනුසාරයෙන් සිය කවියක් ලියමිනි. එය මෙසේය.

කිඳුරා ළගින්නේ ඕබොඩ                                                   කැදැල්ලේ
කිඳුරී ළගින්නේ ඌගේ                                                       තුරුල්ලේ
දෙදරා විද්ද වදමන රත්                                                       කිහිල්ලේ
කිඳුරා ගොසින් වැටුණයි පුර                                                මඬුල්ලේ

මෙම කවෙන් බිඳගෙන අරඹා නිම කළ කුමාර හෙට්ටිආරච්චිගේ කව පසුව නන්දා මාලනිය විසින් ගීයක් කොට ගැයීය.

කිඳුරියකගේ විලාපය ගීතය මෙතනින් අසන්න.



කෙසේ වෙත්ත චූල සම්ප්‍රදායෙන් බිහිවුණු ඉහත කී සඳ කිඳුරු ජාතක කව් පෙළෙහි ඇති සමහර කවියක් දෙකක් මෙහි සඳහන් නොකර වෙන අතක යාමට නොසිතේ. මෙම සඳ කිදුරු කතාවෙහි ඇති කවි සලකනවිට විල්ගම්මුල සංඝරාජ හිමියන්යන්ගේ සද කිඳුරු දාවතෙහි කවි කිහිපයක් ද අළුතෙන් එකතු වූ කවි වැඩි ප්‍රමාණයක් ද සමගින් කවි 57 ක් එහි දැකිය හැක. ජනකවියා විසින් වරින් වර එක් කරණ ලදැයි සිතිය හැකි මේ කවි සමහරක් ඉතා සෘජු ප්‍රකාශනයන් වෙයි. එය විල්ගම්මුල සංඝරාජ හිමියන්යන්ගේ සඳකිඳරු දා කවි මෙන් ව්‍යක්ත බවක් නොපෙන්වයි. එහෙත් ඒවාතුළ යම් ශක්‍යතාවන් ද පෙන්නුම් කරයි.

බ්‍රහ්මදත්ත රජතුමා කිඳුරා ට විද්ද පසු කිඳුරිය බ්‍රහ්මදත්ත රජුන්ට චෝදනා කරන ආකාරයෙන් ලියැවුණු කවු පද පෙළ මෙහි වෙසෙසින් සදහන් කළ යුතුයි. 

කිසියම් වරද නොම ක‍ළ ම‍ගෙ හිමි              සඳයා
අද දැන් ඇවිත් මැරි තගෙ හීයෙන්                විදයා
මට වන් මෙදුක් ඇවිලෙයි හද තුළ              කකියා
රජකම් කරණ හැටි පුදුමයි බලු                    ජඩයා

වර්තමානයේ විවිධ කවීන් විසින් සිය කවි ගීතවලට සඳ කිඳුරුව පාදක කරගෙන ඇති අයුර පෙන්වන උදාහරණ  එමට සොයාගත හැක. ඒත් මේ ගීතය සහ ඒ අතර ඇති සබඳතාව ඔබ සචේතනික ව සිතුවාදැයි හිතන්න.

උබේනන්ද දිසානායක රචනා කර රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා විසින් ගයන්නට යෙදුණු ගීතයක පද පෙළ මෙලෙසය.

චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළංවුනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන්වුණා...

ඇය ඔහුට පෙම්වත්ව ළංවී ඇත. කොතෙක් පෙමින් සිටියේද යත් චන්ද කින්නර ජාතකේ කිඳුරිය තරම්ම පෙමින් බැඳී සිට ඇත. මෙතනදී චන්ද කින්නර ජාතකයෙහි ගැබ්වෙන කතා පුවත පිළිබඳ අවබෝධයක් තිබීම වටී. කෙසේ වෙතත් මේ පුරාණ කතාව නොදන්නා අයට මේ නිර්මාණ රසවිඳිය නොහැකි බවක් ඉන් කියවෙන්නේ  නැත. එහෙත් මම හිතන දේ නම් මේ කතාව තුළ ගැබ්වෙන අන්තර්ගතය දන්නා රසිකයා එය නොදත් රසිකයාට වඩා දහස් ගුණයක රසයක් ලබන බවයි.

චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළංවුනා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන්වුණා...

දැන් මෙහිදී ඇය ඔහුට ළංව ඇත්තේ චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසිනි. ඔහුට එය දැනෙන්නට ඇත. චන්ද කින්නර ජාතකේ කිඳුරිය කුමන හේතුවක් නිසාවත් වෙන් නොවන වග දන්නා ඔහු කොතරම් නම් සතුටු වන්නට ඇතිද? ඒත් ඒ සතුට පැවතියේ ඉතා කෙටි කලකට පමණි. ඇය නොසිතන මොහොතක වෙන්විය.

ගෙට එන්ට පෙර කළ කී කතා
උඩුගං බලා ගියෙදෝ මෙදා
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා......

දෙඩූ පෙම් වදන් වල නම් තිබුණේ අන්දෙයකි. ජාතකේ නැතිනම් ජාතකය ඇසුරු කොටගත් නාටකේ හැටියට ඇය එකට මැරුණොත් මිස වෙන් නොවිය යුතුය. එහෙත් ඇය නාටකයට ඇද කරමින් තමන් විසින්ම කිඳුරාගේ ළය විනිවිද හීයක් යැවීය. මේ නම් විස හීයකි. විරහ වේදනාව නැමති විස හීයයි.


චන්ද කින්නර ජාතකේ ගීතය මෙතනින් අසන්න.


පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටුවේවිද මන්දා
පූරුවෙ කළ පින් අපට කොයින්දා...

සැතපෙන නින්දෙදි රෑ  තුන්යම හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ ඔබෙ රුව නෙත ඇඳුනා...

මේ අයුරින් ගැයෙන ගීතය අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ ශිල්පිනිය විසින් ගායනා කරන්නකි.
පණ්ඩිත් අමරදේව සමඟ නීලා වික්‍රමසිංහ
පාලොස්වක සඳ ගීතයේ සඳ කිඳුරෙකු ලෙසිනා යන යෙදුම ගැන සිතනවිට මේ කිඳුරන් කුමන ආකාරයේ බාහිර රූපාකාරයක් ඇතිවුන්දැයි සිතන්නට සිත්වේ.
......................... ඇත්තෙන් ම කිඳුරන් සියැසින් දුටු කෙනෙක් නැත. කිඳුරෝ වනාහි පුරාකථාමය සත්ත්ව විශේෂයකි. පෙරදිග හා අපරදිග යන දෙදිග ම චිත්‍රවල ද කැටයම්වල ද කිඳුරන් නිරූපණය වී තිබේ. ඒවාට අනුව මෙම කිඳුරෝ අර්ධ මනුෂ්‍ය, අර්ධ සත්ත්ව ස්වරූපයක් ඇති සත්ත්ව විශේෂයක් වෙත්.

ආනන්ද කුමාරස්වාමි මහතා සිය මධ්‍යකාලීන සිංහල කලානම් වටිනා කෘතියේ දී කිඳුරන් හෙවත් කින්නරයන් ගැන හඳුන්වා දෙයි. සිංහල සිත්තරුන්ගේ කිඳුරෝ වූ කලී ඌර්ධව කාය මනුෂ්‍ය හා අධඃ කාය පක්ෂි රූපකාර සත්ත්වයෝ ය. දිය කිඳුරකු වැනි වුව ද මිනිස් අත් හා උරහිස් ද පියෑඹීමට තරම් විශාල නොවූ පියාපත් ද ඇත්තේ ය. අනෙක් මිථ්‍යා සත්ත්වයන් මෙන් මොවුන් ද හිමාලයෙහි ඒ කල්පිත භාරත වනයෙහි වෙසෙතියි යෙති.
 (මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි)


ආනන්ද කුමාරස්වාමි මහතා
කුමාරස්වාමි මහතාට අනුව ලිය කිඳුරුහා දිය කිඳුරුයන දෙවර්ගය ම කින්නරාවෝ ය. කින්නරාවන්ගේ පිරිමි සතුන් වන කිම් පුරුෂයෝ කින්නරාවන්ට වඩා වෙනස් ය. අශ්ව සිරුරක් හා මිනිස් මුහුණක් උනට ඇත.

මානසාරයේ සඳහන් වන ආකාරයට කින්නර ලක්‍ෂණ මෙසේ ය. පාද තිරිසන් සතුන්ගේ මෙනි. සිරුර මිනිස් ස්වභාව දරයි. මුහුණ ගුරුළෙකුගේ වැන්න. බාහු දෙකේ පියාපත් දෙකකි. හිස් මුදුන (මකුටය) නෙළුම් මලකින් සැරසිණි. පැහැය අඳුරු ගැසුණු මලක් සේ ය.

පෙරදිග දේවයෝනි විශේෂයක් සේ සැලකෙන කිඳුරන් හෙවත් කින්නරයන්ගේ ග්‍රන්ථාගත ප්‍රභේද තුනකි. එනම් ලිය කිඳුරු (ලතා කින්නර), වන කිඳුරු, මුහුදු කිඳුරු (දිය කිඳුරු) යන වර්ග තුනය. එහෙත් ගල් කැටයම් හා බිතු සිතුවම් අතර තවත් ප්‍රභේද දෙකකි. එනම් පක්‍ෂි කින්නර හා චන්ද කින්නර (සඳ කිඳුරු) ය. මිනිසුන්ගේ වැනි උඩුකය හා ලතා ගුල්මයක් වැනි යටි කයක් ද ඇත්තේ ලිය කිඳුරු යි. පක්ෂි කින්නරයන්ට ඇත්තේ අඩක් පක්‍ෂි ශරීරය සමුද්‍රය හා ජලය ආශ්‍රිත කිඳුරන් ජල කිඳුරන් ය. මෙම දිය කිඳුරන්ගේ සිරුරේ ඉහළ කොටස මිනිස් ආකාරය. පහළ කොටස මත්ස්‍යාකාරය.

කුමාරස්වාමි මහතා සිය මධ්‍යකාලීන සිංහල කලාග්‍රන්ථයේ සඳ කිඳුරු ජාතකය දැක්වෙන පිත්තල හෙප්පුවක පියනේ ඇති චිත්‍රයක් ගෙන හැර පායි. එහි ද උඩුකය මිනිස් ස්වරූපය ඇති යටි කය පක්ෂි ස්වරූප ඇති කිඳුරා හා කිඳුරිය දැකිය හැක.

බෞද්ධ ග්‍රන්ථ අනුව බුදුන්වහන්සේගේ දෙපතුළ යට පැතිවල එක එකෙහි එකසිය අට බැගින් ඇති මඟුල් ලකුණු අතර ද කිඳුරන් දෙදෙනකුගේ හා කිඳුරියන් දෙදෙනකුගේ රූ සටහන් පිහිටා ඇත. හින්දු ධර්මයට අනුව කින්නරයෝ හේමකුටයෙහි වසන වෛශ්‍රවණගේ (කුවේරගේ) අනුචරයෝ ය. බෞද්ධ පොත්පත්වල මෙන් ම ජෛන පොත්පත්වල ද කින්නරයන් දේවගණයන් අතරට ඇතුළු කර ඇත.

සාංචි විහාරයට අයත් ගල් කැටයමක පක්ෂි කිඳුරන් නිරූපිත ය. ඩෙකාන්හි අයිහෝලේහි ශෛලමය ශිව දේවාලයේ සීලිමේ ලතා කින්නර යුවළකගේ කැටයමකි. ඩෙකාන්හි ජෛන විහාරයක ද සීලිමේ කිඳුරන් නිරූපිතය.

කිඳුරා වස් කුළල් පිඹින්නට හා ගී ගයන්නට දක්‍ෂය. කිඳුරිය මිහිරි හඬින් ගී ගැයීමට ද ලීලෝපිතව නටන්නට ද දක්‍ෂය. මෙවන් කිඳුරු යුවළක් අපේ ජන විඥානය තුළ නිධන්ගතව ඇත්තේ චන්ද කින්නරජාතකය තුළිනි. එහි කිඳුරා වස්කුළල් පිඹින විට කිඳුරිය නටන්නීය. ඇය දැක රාගයෙන් මත්වන බරණැස බඹදත් රජ කිඳුරා විද මරා දමයි. ඉන්පසු යුගයෙන් යුගයට මෙම කතාව ප්‍රතිනිර්මාණය විය.

(මහානාම දුනුමාල මහතා පුවත්පතකට ලියූ විශේෂාංගයක්ඇසුරිනි).

පාලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටුවේවිද මන්දා
පූරුවෙ කළ පින් අපට කොයින්දා...

සැතපෙන නින්දෙදි රෑ  තුන්යම හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ ඔබෙ රුව නෙත ඇඳුනා...

මෙහිදී ඇය නෙත ගැටෙන්නේ සොඳුරු කිඳුරු රුවකි. ඒ අන් කිඳුරු රුවක් නොවේ. සඳ කිඳුරෙකුගේ රුවකි. කොයි කිඳුරු රුවක් මේ ගීතයේ රචකයාගේ මතු සිතෙහි සිටියද යටි සිතේ සරන්නට ඇත්තේ චන්ද කින්නර ජාතකේ කිඳුරු රුවයි.

පාලොස්වක සඳ  ගීතය මෙතනින් අසන්න.

රත්න ශ්‍රී විජේසිංහ කවියා  විසින් සිය සුදු නෙළුම ගීත සංග්‍රයෙහි සංගෘහිත සඳ ගිරි පව්ව කොහේදෝ ගීතය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයට ප්‍රදීපා ධර්මදාස විසින් ගයන්නකි. ( 26 පිටුව )

සඳ ගිරි පව්ව කොහේදෝ - මගෙ සඳ කිඳුරු කොහේදෝ
මට කියන්න කියන්න මා වැන්දඹු වුණ චන්ද කින්නරී.....

සඳ කිඳුරුවෙහි කිඳුරිය සේම මෙම කිඳුරියගේද සමාන කම් රැසකි. මේ කිඳුරියද කිඳුරාට බොහෝ සේ පෙම්කළ කිඳුරියකි. මේ කිඳුරියද ඒ කිඳුරිය මෙන්ම කිසියම් හේතුවක් නිසා වැන්දඹු වී ඇත. එහෙත් වෙනසක් ඇත. කිඳුරා මරා දැමූ රජ පෙළපතයි. අර කතාවේ නම් දඹදිව විසූ බ්‍රහ්මදත්ත නම් රජෙක් විසිනි. එහෙත් මේ කතවේ කිඳුරා මරා දැමූ රජතුමා එක්තරා කාලයක සිරිලක විසූ බ්‍රහ්මදත්ත රජෙකු විසින් කරන ලද්දක් නොවේ. එක්තරා කාලයක සිරිලක විසූ අපබ්බ්‍රංස  රජෙකු විසින් කරවන ලද්දකි.

අප ගෙයින් ගෙයට යන ගමනේ
කුලී ගෙයක නැවතී
කවි -සිංදු කියා අතපෑවේ
සාගින්දර ඇවිලී
මහ රෑ කළුවර  නුඹ කොහි ගෙන ගියාද
හිමි සඳුනේ....

අපබ්බ්‍රංස රජා විසින් දුන් රහසිගත නියෝගයකට අනුව කිඳුරාව අතුරුදහන්කර ඇත

නිල් වනන්තරෙත් ගිනි ගනීවී
සුසුම් වලින් ඇවිලී
නිල් අනෝතප්ත විල සිඳේවී
දුම් දමලා උණුවී
මගෙ සඳ කිඳුරු මටම දෙන්න
පින් ඇති වන සතුනේ........

ඇය හෙළන සුසුමින් ගිනි ඇවිලී නිල් වනන්තරෙත් ගින්නේ දැවෙන සුළුය. අනෝතප්ත විල පවා සිඳීයන තරමට ඒ ගිනි උණුසුම්ය. කිඳුරියගේ එකම යැදුම සඳ කිඳුරා ඈට ම දෙන ලෙසය. හරියට ම සඳ කිඳුරු ජාතකයේ කිඳුරිය විසින් තම පෙම්වත් කිඳුරා සුවපත්කර දෙන මෙන් දෙවියන්ගෙන් කළ යැදිම බඳුය.

පද               : රත්න ශ්‍රී විජේසිංහ.
සංගීතය       : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.
හඬ              : ප්‍රදීපා ධර්මදාස.

සඳ ගිරි පව්ව කොහේදෝ ගීතය මෙතනින් අසන්න.

සඳකිඳුරුව හා සබැඳි ගීත හතරකට උරුමකම් කියන්නට මමද වාසනාවන්තයෙකු වීමි. මේවා සියල්ල ඒ ආශ්‍රිත ගී මිසක සෘජුව එහි ම වෙනත් ආකාරයේ ප්‍රකාශනයන් නොවන්නේය.

මා ලියූ, නවරත්න ගමගේ ගේ සංගීතයට රොඩ්නි වර්ණකුල ගැයූ ගීතයක් පළමුව ඉදිරිපත් කරමි.

මෙම ගිතයේ කියැවෙන්නේ නිදි දැහැනේ සිහින දකින නැගණියක් පිළිබඳවය. ඇය දකින සිහින අවදි වූ විට කළුවර බව ඇගේ සොයුරා දනී. ඒ නිසා ඈ දකින සිහිනවල සත්‍ය පළාපල කියන්නයි අප සොයුරා මෙම ගීතය ඇයට ගයන්නේ.

නිදි දැහැනේ සුවැති දසුන් දකින වංගියේ
ඒ සිහිනෙන් නුඹ ඇහැරවන්න
දුකයි නංගියේ.....

මෙම ගිතයේ අන්තරා කොටස් දෙකක් තුළ සිහින දෙකක් ගැන කියවෙයි. ඒ සිහින වල පලාපල ගැනද කියවෙයි.

අනුරාග හිතක් නැති බමරුන්
රුවැති මල් වටේ රඟ දෙන
මලට හෝ රොණට ලොබ බැඳ
මලට කිසි දුකක් නොම දෙන
ඒ සිහිනය හරි සුවදායකයි නංගියේ
ඇස් හැරියම - ඒ සිහිනය - කළුවරයි නංගියේ

අනුරාග සිත් නැති බමරුන් කොහෙන් සොයන්නද? ඔවුන් මලට හෝ රොන් වලට පෙම් නොබඳීයැයි කාට නම් කිව හැකිද? එසේ පෙම් බැඳ අවසන මල් වලට දුකක් නොදේ යැයි කාටනම් කිව හැකිද. ඇය දකින සිහිනය හැබෑ වේ නම් ඒ තරම් සුවදායක සිහිනයක් තවත් ඇතිද? එහෙත් ප්‍රායෝගික සත්‍යය ඊට හාත්පසින් ම වෙනස්ය.

කිඳුරාගේ කතන්දරයට පනින්නේ මෙතැනිනි.
මනමාල කමක් නැති නිරිඳුන්
කිඳුරු කොදෙව්වට ඉගිලෙන
කිඳුරිගේ රුවින් උමතුව
කිඳුරු දඩයමට නොහිතන
ඒ සිහිනය හරි සුවදායකයි නංගියේ
ඇස් හැරියම - ඒ සිහිනය - කළුවරයි නංගියේ

කිඳුරු කොදෙවුවේ සුන්දර කිඳුරු ලියන්ද, කිඳුරන්ද නිදහසේ වෙසෙයි. පෙමින් බැඳෙයි. අතුරු ආන්තරාවකින් තොරව සතුටින් කල දවස ගෙවයි. මේ කිඳුරු කොදෙවුවට ඉගිළෙන යම් නිරිඳෙකු වේ නම් ඔවුන් අනුරාග හිතක් නැති නිරිඳුන්ය. ඔවුන් කිසි දිනක රුවැති කිඳුරියන් දැක රාගයෙන් උමතු නොවෙයි. එබැවින් ම කිඳුරන් දඩයම් කෙරුමට නොසිතයි. ඇය දකින මේ සිහිනය හැබෑ වේ නම් ඒ තරම් සුවදායක සිහිනයක් තවත් ඇතිද? එහෙත් ප්‍රායෝගික සත්‍යය ඊට හාත්පසින් ම වෙනස්ය.

මේ ගිතය ලිවීමේදී මම අන් කිඳුරන් ගැන දැන නොසිටියෙමි. මා දැන සිටි කිඳුරන් සිටියේ සඳකිඳුරු ජාතකයේය. ඒත් කිඳුරන් මහ ගොඩක් ගැන නොව කිඳුරු යුවලක් පමණක් ගැනය මා දැන සිටියේ. ඒ නිසා මගේ ගීතය තුළ මොන කතාවක් කිවුවත් මේ ඉන්නේ මා දන්න අඳුනන අර කිඳුරන්මය.

නිදි දැහැනේ සුවැති දසුන් ගීතය මෙතනින් අසන්න.

නිරෝෂා විරාජිනී ගේ ගීත එකතුවක් සඳහා වරක් ගීතයක් ඉල්ලූවිට මා ඇයට දුන් ගීතයේද කිඳුරියක ජීවත්වන බව මට මේ දැන් මතක් විය.  එම ගීතය සංගීතවත් කළේ සංගීතඥ තිස්ස සිරි පෙරේරා විසිනි.

මට කියා ගන්න බැරි වුණාට
හිතාගන්න බැරිවුණාද
නුඹෙ හිත ළඟ - හිත ගොළු වී
මට කියා ගන්න බැරි වුණාට

ඔහු ළඟදී ඈ සිත ගොළු වී ඇති. එබැවින් කියාගතයුතුව තිබූ බොහෝ දේ ඈ හට කියාගතනොහැකි විය.

මුතු බෙල්ලිය මම සාගරයේ
වැලි කැට හික යට දරාන
මුතුවන තුරු පෙරුම්පිරූ
දිදුලන මුතුකැට විනිවිද
ආදරයේ වැලි කැට නුඹ නොදුටූ.....

මුතු සෑදෙනුයේ මුතු බෙල්ලන්ගේ මසට කාවදින වැලි කැටයක් වටා විවිධ රසායන ද්‍රව්‍ය බැඳීමෙනි. අවසන් පළය වන මුතු බැබළුනද ඒ බැබලීම දක්වා වෙන ක්‍රියාවලිය අතිශය වේදනාකාරීය. මේ බෙල්ලිය සිය සිරුර තුළ දරණුයේ ආදරයේ පළමු සිතුවිල්ල නමැති වැලි කැටයයි. ඈ ආදරයේ මුතු ඇටය බිහි කරණු වස් දරණු ලබන වේදනාවන් කිසිවකුත් නොදනී. අවම වශයෙන් ඇගේ ආදරයට බඳුන්වන්නා පවා නොදනී.

දිය කිඳුරි‍ය මම ආදරයේ
සියපත හදසවිල දරාණ
පුබුදින තුරු පෙරුම් පිරූ
සුසිනිඳු දල පෙති සිඳ බිඳ
ආදරයේ සියපත ඔබ වැනසූ
ඇය ආදරයේ සියපත හදවිල දරාණ පුබුදින තුරු බලා සිටි දිය කිඳුරයකි. ඇය චන්ද කින්නර ජාතකේ කිඳුරිය වන්නට ඇත. එහෙත් වූයේ අනෙකකි. මේ කිඳුරා ජාතක කතාවේ කිඳුරා නොවුණි.  එබැවින් කිඳුරිය පුබුදිනතෙක් මහත් සෙනෙහසින් රැකබලාගත් ආදරයේ සියපත පුබුදින්නටත් පළමුව කිඳුරා විසින් පෙති සිඳ බිඳ වනසා දමා තිබුණි.
පසුව මෙම ගීතය රෝහණ වීරසිංහයන්ගේ තුනවකට ශානිකා සුමනසේකර ගායිකාව විසින් ගයන ලදි.
මට කියා ගන්න බැරි වුණාට ගීතය මෙතැනින් අසන්න.



මා මිතුරු රවි සිරිවර්ධන කවියා ද සඳ කිඳුරුව හා බැඳි සුන්දර ගීයක් ලියා ඇත. එහිද වෙසෙන්නේ සඳ කිඳුරුවේ කිඳුරන්ම යැයි මට සිතේ. එහෙත් මෙහි වර්තමාන කතාව තුළ ඔහු මතුකරන සංවේදීතාව හරිම හෘදයංගමය.

සඳගිරි පවුව උසයි - කිඳුරා හරිම වසයි
මම ගෙදර එන්න ආවා අම්මේ
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ

කිඳුරිය කිඳුරා සමග ගියේ සඳගිරි පවුවට ම යන අදිටනෙනි. එහෙත් යන්නට හැකිවුණේ කෙටිම කෙටි දුරකි. සඳගිරි පවුව පෙනෙන මානයට පමණි. ඒ කෙටි ගමන අතරතුරදී මේ කිඳුරා නම් සඳකිඳරුවේ කිඳුරා නොව අන් කිඳුරෙකු බව ඇයට පැහැදිලි වුණි. සඳගිරි පවුවට යන ගමන අතරමග නැවතින. අම්මේ කියා කියැවිණ.
රවී සිරිවර්ධන

රත්තරන් කියා කඩු තුඩ - මම ඇනගත්තේ පපුවට
නුඹ එපා කියද්දීමයි අම්මේ - ඒ කුලගෙය දැන් ගිනිගෙය වැන්නේ...

මෙම ගිතයේ අතිශය සංවේදී කොටසක් වන්නේ දෙවෙනි අන්තරා කොටසයි. එහි ඇති

සල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර
මට අරුමෝසම් හුරු නෑ අම්මේ
නියපහුරු වැදුණු හිත බලපන්නේ....

මෙහිදි තමන්ට මුහුණ දෙන්නට වන්නේ සිහිනෙනුදු නොසිතුව නොපැතුව දේ වලටය. කැන්දන් ආ කිඳුරිය සඳගිරට පිටුපා හැඬූ කඳුළිනි. රුදුරු කිඳුරා මිළට ගත් කිඳුරියන් හා සඳගිරෙහි අනඟ රැඟුම් දක්වමින් සිටී. මෙහි අරුත මීටත් වඩා විවෘතව කීම අනවැසිය.

දර්ශන වික්‍රමතුංග නම් මට නම නුහුරු සංගීතඥයෙකු මෙම ගීතයට හැඟීම් සහ මනුසත් බව කවා ඇත. මම අහම්බයෙන් ළඟදී හඳුණාගන්නට යෙදුණු ශානිකා සුමනසේකර නම් වන ගායිකාව මේ හැඟීම් ගායනාව ඉදිරිපත් කරන ආකාරය අති විශිෂ්ටය. ඈ තම මුල් ගීත කිහිපය තුළින් ම තමන් ගායනයෙහි ප්‍රවීනත්වය ඉක්මවා ඇති බව පසක් කර ඇත.

සඳගිරි පවුව උසයි ගීතය මෙතැනින් අසන්න.

මෙහෙම ගීත මතක්වෙද්දී මා තවම කිඳුරන් කිඳුරියන් ජීවතවන ජනප්‍රියම ගී දෙක ගැන කිසිදු සටහනක් තබා නැත.

අනුර සේනානායක නම් ගායකයෙකු ගයන සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ ගීතය ඒ අතුරින් එකකි. එය අංක එකද නැත්නම් දෙකද?

සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
හඳපාන තියෙන රෑක නොයන්නේ
සඳ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරී
ඔබත් කිඳුරු ළඳක් කියාලා.....

කිඳුරු කොදෙව්ව ඇත්තේ වෙරළ දිහාවේය. එහි සඳ කිඳුරු කිඳුරියන් නිරන්තරයෙන් ගැවසෙයි. එහෙත් ඔහු ඈ හට කියනුයේ ඈට එම ප්‍රදේශයට නොයන ලෙසයි. මක් නිසාදයත් ඈව සඳ කිඳුරියක් යැයි  රැවටී කිඳුරු කොදෙව්වට රැගෙන යනු ඇතැයි බියවුණ බැවිනි.


මී  ළඟට මතක් වන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කළ ගීතයකි.

දිය කිඳුරිය සේ සාගරේ - දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ......

මේ ගී දෙක කොතරම් ජනප්‍රිය වුවද එහි සිටින කිඳුරන්ගෙන් චන්දකින්නර ජාතකේ සිටින කිඳුරන් නියෝජනය නොවෙයි. එහි කිඳුරන් යොදාගෙන සිටින්නේ ගීතයේ වචන වදන් පෙළට සුන්දරත්වය එක් කිරීමට මිස වෙනත් ගැඹුරු අරුතක් දැනවීමට නොවේ.


ජගත් වික්‍රමසිංහයන් ගයන සොඳුරු ගීතයක් මතකයට නැගෙයි. එහිද කිඳුරන් ජීවත් වෙති.

චන්ද කින්නරාවී - මහද පෙම්බරාවී
සිහින අප්සරාවී - මහද පෙම්බරාවී

මේ කිඳුරාට නම් මේ කිඳුරිය සොඳුරු කිඳුරියක්ම ය. ඔහු දන්නා කවි වදන් ඇය වනන්නට යොදා ගනී. චන්ද කින්නරාවී ,මහද පෙම්බරාවී, සිහින අප්සරාවී ආදී වශයෙනි.

චන්දගිරි පවු මස්ථකේ ඔබ - කිඳුරියද ජාකත පොතේ
එවා මල් දුනු හී සරේ - ඔබ කැළඹුවා හද මන්දිරේ...

සදකිඳුරුවේ දී කිඳුරාට හීසරය විද්දේ බ්‍රහ්මදත්ත රජුන් විසිනි. එහෙත් මෙහි විදින්නේ කිඳුරියය. දිවුල්ගනේගේ චන්ද කින්නර ජාතකේ දී සේ මෙහිදී විදිනුයේ විස හී සරයක් නොවේ. මල් හී සරයකි.

කිමිදෙමින් සිතු සාගරේ ඔබ පැතුම් වෙරලට ආ දිනේ
චන්ඩ කේතකි සල් වනේ ඔබ සැඟවුණාදෝ මිහිරියේ...
මේ ගිතයේ පද රචනාව ඉතා සුන්දර එකක් වුවා සේම එහි යෙදෙන සංගීතයද ඉතා මිහිරක් ගෙන දේ.

චන්ද කින්නරාවී - මහද පෙම්බරාවී ගීතය මෙතනින් අසන්න.


කිඳුරන් ගැන කියවෙන හැම වතාවකම ඒ කිඳුරන් ජාතක  කතාවේ කිඳුරන් ලෙසම මා සිතන්නේ ඇයි දැයි ඔබ සිතනු ඇත. ඊට හේතුවක් වෙයි. එනම් අපේ ආගමික සංස්කෘතික වටපිටාව තුළ සඳ කිඳුරන් ප්‍රධාන වශයෙන් අප අතරට එන්නේ සඳකිඳුරු දාවෙහි දී වන බැවිනි. අන් තැනක දී හමුවුවද එය මේතරම් මතකයෙහි නොපවතී. යම් ආගමික සංස්කෘතික සංකේතයක් ලෙහෙසියෙන් අමතක නොවෙයි. මකා දමණුද නොහැකි වෙයි.

සමන් ජයනාත් ජිනදාස ගායනා කළ ගීතයකද මේ සඳ කිඳුරන් හමු වෙයි. ඒත් මට හිතෙන්නේ අර සඳකිඳුරන් ලෙසමය.

මගෙ චන්ද කින්නරාවී - සඳ සේම මට සිනාසී
නුඹ ගෙතුව කවියෙ එළි වැට සිඳ යන්න දුක හිතේවී

ගඟ දියට කැපුව ඉනි සේ යව්වනය පරව වැටුණේ
සොඳ උගතමනා ශිල්පේ සිත අකටලිව ගියේ
අද මන්ද ප්‍රේම නගරේ මේ කාසි පවුර බැඳුණේ
සඳ මඩල අතර සැඟවී තරු නෙතු වසන්න තුනුවී

වැහි වහින තුරුණු අහසේ වැහි ලිහිණි ගී විලාපේ
මල් නෙළනු කෝම කුමරී මේ නියං සාය අතරේ
අද මන්ද ප්‍රේම නගරේ මේ කාසි පවුර බැඳුණේ
සඳ මඩල අතර සැඟවී තරු නෙතු වසන්න තුනුවී

මෙම ගීතය රචනය අනුර එස්. ප්‍රේමකුමාර විසිනි. සංගීතය ආනන්ද පෙරේරා විසිනි.

මේ ගිතය තුළද කිඳුරන්ට හුරු පුරුදු ගති ලකුණු පෙන්වයි. එනම් දහසක් ගැටළු සහගත තත්ව යටතේ වුව ප්‍රේමය දමා නොයෑමේ ගුණය මෙහිදී ද මතුව පෙනේ. නුඹ ගෙතුව කවියෙ එළි වැට සිඳ යන්න දුක හිතේවී යනුවෙන් කියන්නේ මේ නිසාවෙනි.

මගෙ චන්ද කින්නරාවී ගීතය මෙතනින් අසන්න.


මේ ආශ්‍රිත බොහෝ ගිත වල හමුවන්නේ හැඟීම් ගායනාවන්ය. ඊට හේතුව වන්නේ එම රචනාවන් තුළ ගැබ්වන හැඟීම් සමුදායයි. අරුත්බර බවයි. එහෙත් මේ කිඳුරන්ගේ මතකය ගීතයට යොදාගන්නා වත්මන් පරපුරේ සමහර ගායක ගායිකාවන් එය හැඟීම් ගායනාවක්ය යන්න අමතකකර දමා ඇත.

බාචි සුසාන් ගයන එක් ගීතයක පද පෙළ අපූරුය. එහෙත් පද පෙළෙහි ඇති අපූර්වත්වය ගීතය තුළ රැකුණිද යන්න ගැටළු සහගතය.

ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි….

රළු පොළොව මතින් දිලෙනා
විඩාබර  දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

දුක් කරදර අගහිඟ පෙර දොරින් ගෙට එනවිට ආදරය පෑල දොරින් පළා යන්නේ යැයි පසිදු කියමනක් ඇත. මෙය එසේ වේදැයි කෙනෙක් යම් පෙම්වතියක යොදා ගනිමින් ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන ගීයක් ලෙස මට සිතේ. එහෙත් මේ සදහා යොදා ගන්නේ අන් පෙම්වතියක නොවේ. ප්‍රේමයේ අමරණීය චරිතයක් සේ සැලකෙන සඳ කිඳුරුවේ සඳ කිඳුරියයි. මේ ගිරි දුර්ඝ මාවතේ ගමනින් හෙම්බත් වේද? ආදරය රැකේද යන්නය එහි ඇත්තේ.

ස්වේත මීදුම් එලා….
සඳ නිවිගිය රාත්‍රියේ තාරකා ගොළුව ගන අදුරේ
ලය මතින් වැතිරි  සොඳුරු හීනයකට ඉඩ දී
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද  චන්න කින්නරාවි

මා එක්ක එනවාද චන්න කින්නරාවි ගීතය මෙතනින්අසන්න

මේ ගිතය සඳහා සංගීතය මුසුකර ඇති අයුරුත් බාචිසුසාන් විසින් ගයන අයුරුත් පද රචනාවේ අරුතත් අතරේ විශාල පරතරයක් තිබෙනනවා. කෙසේ වෙතත් වෙන් වෙන්ව ගත් විට මේ ගීතයෙහි රචනයෙහිද සංගීතයෙහිද බාචි සුසාන්ගේ ගායනයේද සුවිශේෂතා දැකිය හැකි වෙනවා. එහෙත් එම අංග තුනෙහි ඒකාත්මික බවක් නොමැති වීම නිසා සඳ කිඳුරුව වැනි පුරාණෝක්තියක් අනුසාරයෙන් රචනාවුණු ගීතයක ඇත්ත හැඟීම මතු නොවන්නට හේතු වී ඇත.

මා එලෙස කියනුයේ සමහර ගීත ගැන මෙහි සඳහන් කිරීමටවත් අසන්නට දීමටවත් සුදුසු මට්ටමක නොතිබීමයි. ඒ තරම් ම අවරගනයේ ගීත තුළද මේ කිඳුරන් කිඳුරියන් ජීවත්වන බව දැකගත හැකිය. එසේ වුවද ඔවුන් එවැනි ගීතතුළ ජීවත්වනු ඇත්තේ මහත් අප්‍රසන්නවූ හැඟීම් සහිතව විය යුතුය. මැරි මැරී ජීවත් වනවා විය හැක.

මා කියන්න පටන් ගත් සෑම ගීතයකටම සංකල්ප රූපය දුන්නේ සඳ කිඳුරු ජාතකයේ කිඳුරන් විසිනි. එහෙත් මේ ගීත රචනයක් නමැති යම් වදන්පෙළ ලියූ රචකයා සඳ කිදුරුවේ කිඳුරන් ගැන නම් මෙලෝ හසරක් නොදන්නා බව පැහැදිලිවෙයි.

අති ග්‍රාම්‍ය, හරසුන්, අව්‍යක්ත මෙවන් සිංදුවක් පිළිබඳව කතාකර කාලය කා දැමීම අපරාධයකි. එහෙත් ගී වෙසින් පෙනී සිටින මෙවන් නිර්මාණ තුළද මේ කිඳුරන් ජීවත් වනු දක්නට ලද හැකිය. එහෙත් එය කිඳුරන්ට නම් මරණයකි.

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා
විත් කඳුලක් වීලා
ඔබ නොරිදා හිඳිමී මා

ජීවිතයේ පෙම් සුවඳ ඔබ නම්
ඒ සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ලඟම ඇත්නම්
ඒ හිතට මා ලං වෙන්නම්

හිත් ගඟුලේම ගිලීලා
මා සනසන්න සුහදේ
මුළු දිවියේම රැඳීලා
තව රස දෙන්න මිහීරේ
මේ දිවියේ මල් පිපුනේම ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන්...

මුළු සසරේම බැඳිලා
ඈ මගේ වෙන්න පැතුවේ
ඇයි සිතු සේම සිඹලා
ඔය නිල් දෑස වැසුවේ
මේ දිවියේ මල් පිපුනේ ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එලියයි ඔයා

මේ නව පරපුරේ වරුණ මධුසංක ගායකයා ගයන ගීයක්දැයි සැක හිතෙන නිපැයුමේ ද කිඳුරෙකු ජීවත් වෙයි. ඒ පෙම් කිඳුරෙකි. ගීතය තුළ මේ පෙම් කිඳුරාගේ කාර්යභාරය සොයන්නට මම උත්සාහ කළද සොයාගත නොහැකි විය. ඒ කිඳුරා ට පැවරී ඇති කාර්ය භාරය හරියට කාර්යභාරයක් නැති ඇමතිවරයෙකුගේ කාර්යභාරය බඳුය.

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා
විත් කඳුලක් වීලා
ඔබ නොරිදා හිඳිමී මා

පෙම් කිඳුරා හිම කිඳුරෙකුද වෙයි. හිම යායේ සිට එන බැවිනි. හිම කිඳුරන් ගැන අප කතා කරණ මුල්ම අවස්ථාව සමහර විට මෙය වන්නටද ඉඩ ඇත. අප හිම මිනිසා හෙවත් යෙටී ගැන නම් යම් යම් තොරතුරු දැනගෙන ඇත. එහෙත් හිම කිඳුරන් ගැන නම් යමක්වත් දන්නේ නැත. සඳ වතුරෙන් නාගෙන හිම යායෙන් එන අප පෙම් කිඳුරා ඇය සොයයි. ඇය සොයා විත් ඇස් මායිම් අසළ කඳුළක් වෙයි. ඒ කඳුළ බිම වැටී පොලොවට එක් වුණාද, නැතිනම් සූර්ය තාපය නිසා වාෂ්ප වී ගියාදැයි සඳහනක් නැත. කොටින්ම වෙච්ච දෙයක් නැත. හදිසියේම එන කිසිවෙකු ඔබ නොරිදා හිඳිමි මෙමා යයි පවසයි. මේ ගීතයට කිඳුරන් ගාව ගත්තේ අපරාදේ යැයි මට හිතේ. කිඳුරන්ට නිදහසේ ඉන්න ඉඩ දී ඔය හෑල්ල ලියාගන්න ඕනෑ තරම් හැකියාව තිබුණි. නොඑසේ නම් එවැනි හෑලි ලියන්නට සුවිශේෂ හැකියාවක් ඇවැසි නැත.

අමතරව නව පරපුරේ සුරේන්ද්‍ර පෙරේරා ද මේ හා බැඳුණු ගිතයක් ගයයි. කිඳුරා මමයි යනුවෙන් ඇරඹෙන මේ ගීයේ පද මෙසේය.

කිඳුරා මමයි ඔබේ
කිඳුරිය වෙනවද නුඹ ප්‍රියාවී
අවුරා ලන්නට හැකි තනිකම නුඹට පමණි දයාවි
කොඳුරා ප්‍රේම ගීත කම් නෑ නොකිවුවාට හිනාවී
කිඳුරා මමයි නුඹේ කිඳුරිය නුඹ ම තමයි ප්‍රියාවී

ගවසා පිච්ච මලින් කොණ්ඩය කරල් දෙකට ගොතන්නම්
සරසා ලන්නට නුඹ සමනල පාට කඩෙන් ගෙනෙන්නම්
නොලසා රුව මාගේ නුඹ නෙතු අග තවරා ගනී නම්
සනසා හද මල් විල දොකොපුල හාදුවකින් තෙමන්නම්..

සොඳුරේ නුඹේ ටිකිරි රුව ගුන දෙකට සොඳින් සමානා
දෙවුරේ දඟ කරණා පුතු පැටියෙක්ගෙ සුමුදු සිනාවා
නුදුරේ මගේ සිහින කොඳමල් කැකුළු රැයේ පිපේවා
අඳුරේ වුවද අනේ ඒ මල් සුවඳ මවෙත හමාවා

මෙම ගීතයේද කිඳුරන්ට එතරම් ලොකු රංගකාර්යක් පැවරී නැත. සමහර ගීතයක ඔවුන් ප්‍රධාන නළු නිළියන් වේ. එහෙත් සමහර ගීත වලදී කිඳුරන් වැනි ප්‍රබල නළු නිළියන් යොදාගෙන ඇත්තේ බලෙන් එල්ලපු, චිත්‍රපටයට සල්ලි දාපු අයගේ දූ දරුවන්ට දෙන්න හදන චරිත කෑලි වලට සම සේ ය. මෙම ගීතයේදී කිඳුරන් යොදාගෙන ඇත්තේ අනෙකක් නිසා නොව ඉන් අනතුරුව යෙදී ඇති අවුරා, කොඳුරා ආදී වචන වල ශබ්දයට ගැලපෙන සේ ය. සිංහලෙන් කියනවා නම් rhyme වන්නටය. එළිසමය රැකීමටය. කිඳුරන් යොදා නොගත්තා කියා මේ ගීතයට අහිමි වන දෙයක් නැත. කිඳුරන් යොදා ගත්තා කියා මේ ගිතයට ලැබුණු දෙයක්ද නැත.

කිඳුරා මමයි ඔබේ ගීතය මෙතනින් අසන්න




කිඳුරන්ට නිසි කාර්යභාරයක් දී නැති, ඒත් අලංකාරය සඳහා පමණක් කිඳුරන් ඇති කරන, වර්තමාන තරුණ පරපුර අතර ජනප්‍රිය ගීතයකුත් මෙහිදී මතකයට නැගේ. ඒ නිලංග සිල්වා ගයන සඳ කින්නරාවි මාගේ නම් වන මේ ගීයයි.

සඳ කින්නරාවි මාගේ ගීතය මෙතනින්අසන්න

ටී. එම්. ජයරත්නයන්  ගයන මේ ගීතයේද කිඳුරන් මුණ නොගැසේ. ඒත් මේ පෙම් ජවනිකා දිගහැරෙන්නේ කිඳුරු කොදෙවුවෙහි ය. එබැවින් මේ පෙම්වතුන්ද ද කිඳුරන්ම දැයි මට සිතේ.

සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙවුවේ
පාවඩ පලස එලා
සිඳුළඟ ගෙන දුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළින වෙලා...
යුග දිවි වැල්ලේ අඳුරු ඉසවුවේ
මුකුළිත සිතැඟි සලා
අරුණැල්ලක් සේ නුඹමින පායා
සෙනෙහස ජනිත කළා...
සඳ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙම් සරණ සොයා
පවනැල්ලක් සේ නොමහැර යන්නෙමි
ඔබ හද සැදෙන තුරා...

සුදු මුදු රළ පෙළ ගීතය මෙතැනින් අසන්න.

මගේම ගීත රචනයකට රෝහණ වීරසිංහයන් යෙදූ සංගීතයට ඉමාන් පෙරේරා ගයන ගීතයකත් කිඳුරු යුවලක් සිටී. ඒ කිඳුරු යුවල චන්ද කින්නර ජාතකයේ කිඳුරු යුවල ම නොවන්නේ කිඳුරිය වෙනස් චරිතයක් රඟපෑ නිසාය. එහෙත් එහි සිටින්නේ අප දන්න හඳුනන කිඳුරියකි.  විස හී සරේ පපුවට හෙලා නාටකේ වෙනස් කළ කිඳුරියමය.

නොලැබ නුඹෙ සෙනේ දිවි දිය කිඳුරා මියැදුනා
දැන් කඳුළු වලින් පළක් වේද කින්නරාවියේ
කින්නරාවියේ....

දිනක ඇය නොමැති ලොව කිඳුරා තනිව දිවි නො ගෙවන බව කිඳුරිය දැන සිටියාය. එහෙත් කිඳුරා ජීවතුන් අතර සිටියදී ම ඈ ඔහු දෙස නොදුටු නෙතින් සිටියාය. ඒ සොවින් කිඳුරා දිවි අතහැරියේය. මළගමට පැමිණ දැන් හෙළන කඳුළින් පළක් වේද?

නිල් නෙත්ද අනෝතත්ත විලද
ඔය ගලා හැලෙන්නේ කඳුළුද ආදරයද
ආදරය වුණත් පළක් වේද කින්නරාවියේ
කින්නරාවියේ....

ඇගේ නිල් නෙත් යනු අනොතත්ත විලද? මේ ගලා හැලෙන්නේ සැබැවින්ම කඳුළුද නොමැතිනම් ආදරයද? එහෙත් ඉන් යම් පළක් වේද?

සිත් මල ද මලේ සුවඳ පොද ද
ඔය උතුරා යන්නේ සුසුම් ද ආදරය ද
ආදරය වුණත් පළක් වේද කින්නරාවියේ
කින්නරාවියේ....

මෙහි ගීත රචනාව රචනා වී ඇති ආකෘතිය හා ස්වරූපය මත මහා සැඟවුණු අරුතක් නැති නිසා වෙසෙසින් තේරුම් කරදිය යුතු නොවේ. එහෙත් කිඳුරිය චන්දකින්නර ජාතකේ කිඳුරියගේ චරිතය නිරූපනය කළේ වී නම් කිඳුරා මිය නොයන්නට ඉඩතිබුණු බව පමණක් කිව යුතුය.

කින්නරාවියේ....ගීතය මෙතැනින් අසන්න.


වෙනස් චරිත රඟපෑවේ කිඳුරියන් පමණක්ම ද? වෙනස් චරිත රඟපෑ කිඳුරන් නොවන්නේ ද? එලෙස වු බැවින් මියගිය කිඳුරියන් ද එමට සිටින්නට ඇත. මිය නොගියත් මැරි මැරී උපදින කිඳුරියන් සිටින්නට ඇත. රවි සිරිවර්ධන සඳ ගිරි පවුව දුරයි කිඳුරා හරිම වසයි කියා ලියුවේ ඒ නිසාවෙනි.

කිඳුරා ද කිඳුරිය ද නිසා නොවන, වෙනස් කරුණු නිසා දුක් විඳින කිඳුරු කිඳුරියන් ද අපට මුණ ගැසෙයි. සමහර විට ඒ බ්‍රහ්මදත්ත නිරිඳුන් වැනි සාධක නිසා වියහැක. නොඑසේ නම් පළවා හැරිය නොහැකි වෙනත් බලපෑම් කණ්ඩායම් නිසා වියහැක. මම ම ලියූ මේ ගීතය මම ම උදාහරණයක් ලෙස ගෙනහැරපාමි.

එහෙත් ඊට පෙර මේ ගීය ලියන්නට මට නිර්මාණාවේශය දුන් ගීතය ගැන යමක් කිව යුතුය. ඒ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ රචනාවකට සංගීතය තමන් ම යොදමින් මියුරු හැඟීම් ගායනාවක් කරණ ගුණදාස කපුගේ ගේ සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන ගීතයයි. එහි කිඳුරන් නැත. සිටින්නේ ලිහිණින්ය. එහි සිටිනා ලිහිණි යුවල රැයේ අඳුරට හඬන කැඩුණු තටු පිරිමදින ලිහිණින්ය. එසේ වන්නට හේතුව කිම?

අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි - තරු එළිය....

ප්‍රේමය මැරී ඇත. ඒත් ජීවය නොසිඳී ඔවුන් මෙලෙස මැරි මැරී නැවත උපදිමින් ජීවත්වෙයි. කුමක් නිසාදැයි සොයනු වටී. ඒ කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ - දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ යන්නට ගරු කරමින් කුමන තත්වයකට පත්වුවද එකිනෙකාගේ ජීවිත කුසුමට බැඳිපෙම අහෝසිකර නොගතයුතුය යන අරුත නිසාය. එහෙත් ඔවුන් තුළ පැතුමක් වෙයි. තමන්ට අත්වූ ඉරණම කිසි දිනක දරුවනට අත්වෙන්නට ඉඩ නොදීමේ පැතුමය.

කටුක දුක් විරහ මැද - අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වී දිනෙක

සොඳුර නුඹ ලිහිණියක ගීතය මෙතනින් අසන්න.

රත්න ශ්‍රී ගේ ගීතයේ සිටින ලිහිණින් යුවලය, මගේ ගීතයේ කිඳුරන් වෙසින් සිටිණුයේ. ඔවුන් දෙදෙනට රත්න ශ්‍රී ගේ ගීතයේ  ලිහිණි යුවලට අත්වූ ඉරණම ම අත් වූවද මගේ ගීතයේදී ඒ ලිහිණි යුවලම කිඳුරු යුවලක් ලෙස පෙනී සිටිමින් කියනුයේ එහෙම පිටින්ම අර ගීතයේ කතාව ම නොවේ. ඒ කතාව නොවන්නෙත් නොවේ.

මෙහි කිඳුරාද කිඳුරියද අර ජාතක කතාවේ මෙන් ආදරයට ආදරයෙන් යන කිඳුරු කිඳුරියන්ය. කිඳුරිය තමන් ජීවිතය කොටගත් ආදරයෙන් පීඩිතව ඔත්පලව..... කිඳුරාද එවන්ම සිය ජීවිතය කොටගත් ආදරයකින් පීඩිතව ඔත්පලව. දෙනෙම එම ජීවන ඛේදවාචක ය ප්‍රකාශ කරන අන්දම මගේ මෙම ගිතයේ දී නිරූපනය වෙයි.

සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ - අහිමු වූ
පුන් සද වත අහිමි වූ
සඳ කිඳුරු ලිය නුඹ

ඇයට අහිමි වූ අයුරින් ම, ඇයට අහිමි වූ සියල්ල ම ඔහුට ද අහිමි වී ඇත. පුන් සඳ වත අහිමි වුණා යන්නෙන් කියනුයේ එයයි. දෙදෙනාට ම තම තමන් ප්‍රිය කළ පූර්ණ චන්ද්‍රයින් අහිමිව ඇත. එසේම ඊ ළඟ පාද වලදී ඔවුන් දෙදෙනාට අහිමි වුණු තවත් දේ පෙන්වා දෙයි. ඒ අනුව දෙදෙනා මොනතරම් සමානද? එහෙත් ඒ සමාන කම මත පමණක් තවත් ආදර කතාවක් ඇරඹී වෙනත් පවුලක් ලෙස ගොඩ නැගෙන්නට හැකිවෙයිද?

මේ ගං දෑලවර
මල් - මල් උයන්තෙර
සිසිල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

ගං දෑලද, දෑලවර මල් උයන්ද, මල් උයන්වල මල්ද සිසිලද ඈ සියල්ල මේ දෙදෙනාටම අහිමිව ඇත. ඔවුන් දෙදෙනා එලෙස සියල්ල අහිමිව දුකට වැටුණු, අහම්බයකින් එක්වුණු, සඳකිඳුරු යුවලකි.

මේ නිල් වියන යට
නිල් විල් දියඹ මත
නිල්ල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

නිල් වියනද, නිල් විල් තලයද, සිසිල් දියද, පිවිතුරු දියෙහි නිල්ලද මේ දෙදෙනාටම අහිමිව ඇත. ඔවුන් දෙදෙනා එලෙස සියල්ල අහිමිව දුකට වැටුණු අහම්බයකින් එක්වුණු සඳ කිඳුරු යුවලකි.

පද     : යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර  : රෝහණ වීරසිංහ.
ගැයුම: කිත්සිරි ජයසේකර/හේමන්ති රණසිංහ.

සඳ කිඳුරු ලිය ගීතය මෙතැනින් අහන්න.

කුමාර ලියනගේ වත්මන් ගී කෙත අස්වද්දන තරුණ ගීත රචකයින් අතර ප්‍රබල චරිතයකි. ඔහු නිතර නොලියයි. එහෙත් ලියන දේ මනා හැදෑරීමකින් යුක්තව ඒ තුළ යම් ශාස්ත්‍රීය පසුබිමක්ද ගැබ්කර ලියන්නට ඔහු පුරුදුව සිටී. ඔහු ද සඳ කිඳුරන් ජීවත් කරවන ගීතයක් ලියයි. මෙහි සඳ කිඳුරන්ට වඩා සමීප විෂය වූ ප්‍රේමයට එහා අරුතක් ගැබ් කරන්නට ඔහු උත්සුක වෙයි.

හඬන කින්නරී  - සිරවී
චන්ද කින්නරී
සේල වැඩපලේ - සිරවී
හඬන කින්නරී....

ප්‍රේමයක් ගැන සිතනු කෙලෙසද? මෙහි කින්නරිය සේල වැඩපොලක සිරවී ජීවන අරගලයෙහි නිරතවන්නීය.

සඳගිරි පවුවෙන් බැස නුවරක ඇවිදිල්ලා
දෝත නළල කැන්දා රන් සළුව වියනවා
ගලන කඳුළු කින්නර දෙනුවන් නැහැවෙනවා...

සඳගිරි පවුවට වී ප්‍රේමයෙන් වෙලී ඉන්නට තරම් කාලය-දීපය-දේශය ඇයට ඉඩ තබා නැත. අන් රැකියාවක් නැති බැවින් අඩු කුළියට සළු මසන්නට වී ඇත්තේ හැඬූ කඳුළින් යුතුවය.

ඇසී නාද හඬ රන්කාසියෙ වෙහෙසීලා
ආල වී සිතින් නිම් නැති සිහින දකිනවා
ගලන කඳුළු කින්නර දෙනුවන් නැහැවෙනවා...

රන් කාසි සිහිනයන් බෝ දුරය. රන් කාසි සිහිනය දුර නම් ආලය පිළිබඳ සිහිනය ඊට වැඩි දුරය. වර්තමාන පාරිභෝගික සමාජයේ පෙම් කරන්නද මුදල් අවැසිය.

පද     : කුමාර ලියනගේ
ස්වර : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හඬ    : විශාරද මිථිලා ඉලේසිංහ

හඬන කින්නරී  ගීතය මෙතැනින් අසන්න.


වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල විසින් කිඳුරන් ගැවසෙන ගීත හතරක් පහක් ලියා ඇති බව දක්නට ලැබුණි. එහෙත් ඒ සමහර ගිතයක ඒ කිඳුරන් ළැගුම්ගෙන සිටිනවා විනා ඔවුනට පැවරුණු කිඳුරු කාරියක් නැත. එබැවින් කිඳුරු කාරියක් දැකිය හැකි සේනානායක වේරලියැද්ද ගයන මතු දැක්වෙන ගීතය තොරාගන්නට සිත්විය.

සඳ කිඳුරාමයි විද්දේ - නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ - හිත රිදෙනවාද සොඳුරී

මෙහි දී කිඳුරිය සඳකිඳුරුවේ කිඳුරියම ලෙස හඳුනාගත හැකි වෙයි. මෙම ගීයේදී කතාව වෙනස්කර ඇත්තේ කිඳුරා විසිනි. හීසර විද ඇත්තේ කිඳුරා විසිනි.

කිඳුරා වෙලත් ඇයි ඔහු දුදු දිය ඇද්දේ
කොඳුරා ප්‍රේම බස් විස හීයෙන් විද්දේ
මදුරා පුරෙන්දෝ දුක් ගිනි අරගත්තේ
ඉඳුරා දනිම් - සඳ කිඳුරාමයි විද්දේ

කිඳුරා දුනු දිය ඇද්ද එක ගැන රචකයා තුළ ඇත්තේ මහත් කණස්සල්ලකි. පෙම් බස් දොඩමින් සිටින අතරතුරම ය මෙලෙස කිඳුරා විසින් දුණු දිය ඇද ඇත්තේ.

ගව් ගණන් ඇවිත් අත්වැලවත් නොසැලී
සිත් වුණත් නොසිතු ලෙස අත්වැල ගිලිහී
කප්පරක් දුකින් ඉදිමුණු කඳුළු පොදී
කිඳුරා අත ගන්න නුඹ පින් කළා මදි

සඳ කිඳුරාමයි විද්දේ ගීතය මෙතැනින්අහන්න.


සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද මෝහන් රාජ් විසින් සංගීතවත් කරන ලද නන්දා මාලිනිය විසින් ගයන ළසොවින් හඬන්නී ගීතය වෙසෙස් ගීතයකි.

ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී
සඳ ගිරි හිසේ - කිඳුරියද මේ
සෝකෙන් වළප්නා - තනි වී වනේ

මේ අයුරින් හඬමින් වැලපෙමින් සිටින ඈ චන්ද කින්නර කතාවේ කිඳුරියද?

ගන වන තලාවේ දඩයම් සොයා ආ
නුවරුන් තනාලූ උගුලේ වැටී
කිඳුරිය තැවෙන්නේ ප්‍රාණය යදින්නේ
හැවිලි හවමින් වනේ වරල සිඳිමින් හිස්
ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී

සිදාදියේ මහත්වරුන් ගමට එන්නේ මුව මුවැත්තියන් දඩයමට පමණක් නොවේ. හැකිනම් මිනිස් මුවැත්තියන් ද දඩයමටය. ඒ නිසා ඔවුන් එකවර වනයේද ගමේද යන දඩබිම් දෙකෙහිම උගුල් අටවනු ලබයි. මේ කිඳුරිය ද එවන් උගුළකට හසුවුණු කිඳුරියකි.

දිය කඳුරු දෑලේ මනරම් රැඟුම් පා
මිහිරෙන් උදම් වූ ලිය ගී ගයා
වන ලිය පෙනෙන්නේ නුවරුන්  සොයන්නේ
අසනි වර්ෂා වැටේ දෙරණ ගින්නනේන දැවේ
ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී

වනයේ ඇදෙන සොඳුරු දිය දහරා අස යොවුන් රැඟුම් පාන, ඒ මිහිරෙන් මත්ව මිහිරි ගී ගයන වන ලියකය පෙනෙන්නේ.... නුවරුන් ව සොයන්නේ..... එහෙත් පෙනෙන්නේ කුමන දසුනක් වුවද, ඈ හඬමින් ද වැලපෙමින් ද ය සිටින්නේ.

ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී ගීතය මෙතැනින් අසන්න.

කතා කළේ වැඩි පුරම ගිත ගැනයි. ඒත් කවි කිහිපයක් පිළිබඳව නොකියාම බෑ.

සමන්ත රූපසිංහ හේරත් කවියා මේ සම්බන්ධව ලියූ කෙටිම කෙටි කවියක ගැබ්වුණු අදහස කෙටි නැත. එහි ඉතා පැහැදිලිව පුරාණ කතා දෙකක උපරිම සංක්ෂිතය අප වෙත ගෙනහැර පායි.

රංගනය
චන්දකින්නරී දෙබස් කියාගෙන
මනමේ කුමරිය වේදිකාව මත....

දෙබස් වල ඇත්තේ සද කිඳුරුවයි. සඳ කිඳුරුවේ ඇත්තේ උත්තරීතර ප්‍රේමයයි. එහෙත් රඟන්නේ අනෙකකි. එනම් මනමෙ ය. එහි ඇත්තේ ප්‍රේමයේ චපල බවයි. මේ අනුව එකක් කියා එකක් කරන ව්‍යාජ පෙමක්  හුවා දක්වන්නට ඔහු වැය කොට ඇත්තේ කවි දෙපේලියකි. එහෙත් මෙවන් අරුතක් දනවන්නට මෙතරම් සංක්ෂිප්තයක් ගෙනහැර පෑම ලෙහෙසි පහසු කරුණක් නොවේ.

සුදත් ගාමිණී බණ්ඩාර කවියාද මේ සම්බන්ධකරගෙන ලියා ඇති එක් කවියක ඇති උත්ප්‍රාසය සහ සංවේදී බව අති මහත්ය. එම කෝණයෙන් දකින්නට ඔහු ගේ කවි ඇස මහත් විචක්ෂනව ඇත.

එම කවේ හෙඩිම නාඩගමයි.. කියවාගෙන යනවිට නාඩගමේ  නාඩගම් දෙකකි.

නාඩගම....

බ්‍රහ්ම දත්ත දුනු හී ගෙන
සුදත් ගාමිණී බණ්ඩාර
ඇවිත් කමත මැද්දාවට
විදිනා හැටි බලන් සොඳුර
කිඳුරාගේ පපුව මැදට

සඳ කිඳරිය විලාප දී
පතිවෘත්තා බලයෙන් තම
හිමියන් හට පන දෙන සැටි
තව ටිකකින් පෙනෙයි අපට

සොඳුරිය නුඹගේ නෙත් දෙක
යොමා සිටින්නේ කොයිබද
බ්‍රහ්ම දත්තගේ සවිබල
පුළුල් උරය දෙසට නොවෙද

බ්‍රහ්මදත්ත දුනු හී ගෙන
ඇවිත් කමත මැද්දාවට
දෙහිතක් නොහිතා එකවර
විදපන් මගෙ පපුව

සුදත් ගාමිණී බණ්ඩාර,
සුළඟ සමග යමු - පිටුව 27

ප්‍රේමයේ උත්තරීතර බව පිළිබඳව නිරූපිත නාඩගමක් නැරඹීමටය මේ යුවල ගොස් සිටින්නේ. නාට්‍යය තුළ සිදුවීම් උත්කර්ශයකට පැමිණෙමින් පවතී. බ්‍රහ්මදත්ත කිඳුරාට විදින ජවනිකාවද, අනතුරුව කිඳුරිය රැකි පතිදම් බෙලෙන් ශක්‍ර දේවයාණන් විසින් කිඳුරාව සුවපත් කරනායුරද එළඹීමට නියමිතය. සෑම දෙනෙක්ම ඒ දෙස නෙත් පිය නොසලා බලා සිටී. නාට්‍ය නරඹන, මම පෙරකී යුවලද, ඒ දෙස උද්වේගයෙන් බලා සිටී. මෙහි තරුණ පුරුෂයාට සිය  තරුණ බිරිය දෙස බැලෙන්නේ අහම්බයෙනි. ඔහු දකින්නේ කුමක්ද? බ්‍රහ්මදත්ත රජුට ඇඳ රඟන පිරිපුන් සිරුරක් සහිත නළුවාගේ තුනුදේහය දෙසය ගිජු ඇසින්ඈ බලා සිටින්නේ.

අනතුරුව ඔහු කැළඹීමෙන් සිතන්නේ බ්‍රහ්මදත්ත විදිය යුත්තේ කිඳුරාට නොව තම ළය විනිවිද යන්නට බවයි.

එරික් ඉලයප්පාරච්චි කවියා තම  ආලින්දය කාව්‍ය සංග්‍රහයට ලියන කවියක් මෙහිලා විශේෂ තැනක් ගන්නේ මෙහි පසුව යෙදෙන ගීත දෙකක අන්තර්ගතයේ අරුතට බොහෝ සමාන අදහසක් ඊට බොහෝ කලකට පෙරම ඔහු දැක තිබෙන හෙයිනි. මෙය සෘජුවම සඳ කිඳුරුවට අදාල නොවන බව හෙඩිම කියවූ සැනින් වැටහෙනු ඇත. එහෙත් කව කියවාගෙන යනවිට එහි සඳ කිඳුරුවට ඇති නෑකම අමතක කළ නොහැක. සඳ කිඳුරුව හඳුනා නොගෙන එම කවේ අරුත සම්පූර්ණයෙන් වටහා ගත නොහැක. එහි වඩාත් වටිණා දේ වනුයේ පසුව මා කියූ ලෙස ඒ කවෙහි ඡායාව සමහර ගීත වලට වැටී ඇති බව හඳුනා ගතහැකි වීමයි.

මද්‍රි දේවිය හෙවත් ගමෙන් උපන් නිළිය
සල් ගහ බලන් මල්වර වී අවාරෙට
සියිනය සැබෑ වූයේ පෙර කළ පිනට
සිත්තරු සිටිති මා රුව අඳිනට රුවට
මලකින් උපන්නෙම්දැයි දැන් සිතෙයි මට

වෙසක් තොරණ යට සෑදූ රඟමඬල
පුන් සඳ නැවති බැලුවේ මා මුව කමල
එරික් ඉලයප්පාරච්චි
වෙස්සන්තර මා වැනි අඹුවක නොරැක
දන් දුන්නේ මා අඬවා පෝ දාක

නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින
ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස් දඬුව
සඳ කිඳුරුව රඟදක්වන මතු දිනක
සිඹ සිඹ අඬමි ඔබගේ රන්වන් සිරුර
අමල්බිසෝ දොර හැරියේ විනාසෙට
මම නම් මෙසේ දිවි දුන්නේ කලාවට
වැව් පිටිවල තැන් තැන් වල රැඟූ මට
නිළියක වෙලා මිය ඇදුනත් කමක් නැත

පුවත්පතක, දැන්වීමක, තාප්පෙක
මගේ මුහුණු වෙන්දේසිය දකින සඳ
නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට
මා විකිණුණු බව නුඹ සිහි කරණු මැන

ගමෙන් නගරයට ගොඩවන ගමේ නිළියක ගැනය ඔහු මෙහි කතා කරනුයේ.



රන්සිරිමල් ප්‍රනාන්දු විසින්  රචිත මේ පැදි පෙළද අපූර්වත්වයකින් යුත්ත බව කිව යුතුය. 

නිරිඳූ නිදි නැත
සිඳු රළතර වැද සැසැලෙන සඳු‍ සේ
මේ කුළ සැඟැවුණූ ඉඳු මිණි සර සේ
ඉඟි බිඟි චංචල
සිතු විල කළඹත
ගිරි කුළ රඟ දෙත සඳ කිඳුරී
වන‍ රොද තුරු හිස කොවුල් නදක් සේ
මද නල දියැවුණු සුගඳ පොදක් සේ
ගායන රංගන
දෙසවන අංජන
ගිරි කුළ රඟ දෙත සඳ කි දුරී
බරණැස සැප නැත මාළිග පියසේ
සුව නොවිඳී ගත යහනේ පහසේ
වෙණ තත කම්පිත
වියොවින් සැසැලෙත
ගිරි කුල රඟදෙත සඳ කිඳුරී
හිම ගිරි අරණත සුව සිත ගැවැසේ





ප්‍රියා කුමාරසිංහ නම් වන මෑතකදී කවි කෙතට බට කිවිඳියක් විසින් මවෙත යොමු කරණ ලද මෙම කවිය කවි කෙතේ ඇය ගතකළ කාලයට වඩා ඇගේ ඉදිරි ගමන ගැන අපට කියා දෙන අනාගත මං සලකුණක් බඳුය. ඇය ඉතා පුළුල් තලයක සිය කවියේ අන්තර්ගතය විසුරුවා හැර ඇතැයි හැඟේ. මේ සම්බන්ධයෙන් ඇය දක්වා තිබූ අදහසම මෙහි පළ කරන්නට සිතුවෙමි. ..... 



කිඳුරු වලප....

අවපස සඳ දියයි...
අවලං බඹදතුන් අපුලයි...
පිරිපතම ලියලයි...
පිළුණු කම්රස ගොළුව වළඳයි...
දිවි වරපට ලිහී...
ඇස උල්පත බිඳී...
උඩුබැල්ලෙන් වැටී...
සඳගිරි පව්වේ කිඳුරි...
හාමත් ලැම තුඩින්...
පැටවුන් වඩනු කෙලෙසින්...
මිහිදන්ය දෙවියන්...
කිඳුරු වලපට ලය පැලීමෙන්...
කිඳුරිඳු මියැදුනා...
සසර බන්දන දැනුනා...
කිඳුරිද මියැදුනා...
..
මනමේ කුමරිය උපත ලැබුවා....
“සත්තමයි බඹදතුනේ ,
කිඳුරිදුට රහසේ ,
හැම රැයක් ගානේ ,
ඔබ ගැනයි මා සිහින මැවුවේ”....

නිරාමිස ළය ඇවිලේ
සරාගික ලැම නිබද දැල්වේ....

කිඳුරු වලප ලෙස නම් කළ කව තුලින් කාව්‍ය රස වින්දනයෙන් ඔබ්බට ඇදෙන සංවේදී සත්‍ය සමාජ විවරණයක් ගම්‍ය කිරීමේ ඇවැසියාව තිබිණි. මෙහි පුරාණෝක්ති දෙකක් මුසුකර ගන්නා ලදී.

1)
සඳ කිඳුරු ජාතකය.
2)
මනමේ කතාව.

මහා පතිනි ගුණයෙන් සුසැදී සඳ කිඳුරු ජාතකයේ චන්ද කින්නරාවිය වර්තමානයේ හමු විය. එදා කින්නරාවියට පතිදම් රැකීමේ ගුණය පමණක් නොව බඹදතුන් ගේ කරුණාව මුසු පසුතැවීමේ ගුණයද , සක් දෙවිඳුගේ බැල්මද තිබුණි. දරු රැකීමේ මහා සංග්‍රාමයක් නොතිබිණි. සිතිය යුතු වුයේ පතිදම් රැකීමේ මඟ පමණි. නමුදු වත්මන් කිඳුරියට මතු කී ගුණයන් බොහොමයක් අහිමිය. හිමිව ඇත්තේ පතිදම් රැකීමේ ගුණය පමණකි. එම ගුණයෙන් පමණක් කිඳුරු කව ගලා යන්නේ කෙසේද? මියැදුනු කිඳුරාට පණ දීමට දෙවියන් අවැසිමය. නමුත් වත්මනේ දෙවිඳුන් මිහිදන්ව ගොසිනි. අවපසේත් සඳ දිය සොයන්නී වැඩෙන ජිවන පිරිපතින් දැවෙන්නීය. ඇය දකින පිහිට, ම්ලේච්ඡ මිනිස් පිරිමියා අනෙකකු නොව පිරිපත ගෙනා බඹදතුන්මය. ඇයට ඔහු අපුලය. ඔහුගේ කම්රස පිළුණුය. එය නැවුම් නොවන්නේ බඹදතුනට අන්ත:පුර ඇති බැවිනි. නමුදු ඇය මේ සියල්ල ඉවසන්නේය. මන්ද දිවි වරපට ලිහී ඇති බැවිනි. නෙත් කඳුළු නොනැවතී දෙවියන්ද පිහිටට නැත. මිහිමත දෙපා තබා ජීවන ගමන තරණය කල නොහැකිය. කිඳුරිය අසරණ වන්නී සංසාර බන්ධන නිසාවෙනි.

...
හාමත් ලැම තුඩින් - දරුවන් වඩනු කෙලෙසින්...

පතිදම් බෙලෙන් උණුවන දෙවියෝ කොහෙද? වර්තමාන වැන්දඹු පතිවත රැක ගැනීමේ මහා ඛේදවාචකය මෙහිලා දකින්නෙමි. පතිදම් බෙලෙන් දිවිය දැකීමේ විශ්වාසයේ අපේක්ෂාවන් දැල්වීමට තරම් ජීවිතය පහසු නැත. සසර බන්ධන සැර වැඩිය. මවකගේ සෞම්‍ය අමරණිය ගුණය ඉස්මතු වන්නේය. සමාජ ඉල්ලුමට සැපයිය හැකි දෙය ඇය සතුය. එනිසා ඇයගේ පතිවත ඉඳුල් වේ. කිසිඳු ආඩපාලියක් නොමැතිව නිර්ලෝභීව ඇය දරුවන් වෙනුවෙන් කැපවේ. හාමත් ලැම තුඩු බර වේ. දරු රැකේ. සඳගිරි පව්වේ කිඳුරිය මෙන් හිමියා
සමග මියෙන්නට නොසිතන්නේ මෙම ජීවිතාවබෝධය නිසාමය. වැන්දඹු කිඳුරිය අධ්‍යාත්මිකව මියැදෙන්නීය. මනමේ කුමරිය උපන්නේ එනිසාය.
මනමේ කුමරිය චපල යැයි නොඅදහන්නෙමි. එය හුදෙක් ස්ත්‍රියක් සතු වහා වටහා ගැනීමේ ගුණයයි. ස්ථානෝචිත ප්‍රඥාවයි. එලෙසට වර්තමාන කිඳුරු වැන්දඹුවද තම නව මංතොට ස්ථිර කරගන්නීය.

ඇත්තමයි බඹදතුනේ,
කිඳුරිදුට රහසේ,
හැම රැයක් ගානේ,
ඔබ ගැනයි මා සිහින මැවූවේ..

ඇය මෙසේ කීවද සඳ කිඳුරු ජාතකයේ කිඳුරියම වන්නේ නිරාමිස ලය ඇවිලෙමින් තිබියදීත් සරාගික ලය නිරුවත් බැවිනි. මෙය මෙසේ වුවද ඇය ආදරණිය කිඳුරිමය.

-
ප්‍රියා කුමාරසිංහ -
 
රත්න ශ්‍රී විජේසිංහයන් ගේ රචනාවකට අනුව විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල ගායනා කරන මෙම ගීතයේ ද කිඳුරන් හමුවෙයි.

හීසර වැදුණු පසුව නෑ රඟමඬල උරුම
කිඳුරු කුමාරියනී මට යන්න අවසරයි
මේ රජ ඇඳුම් වලට මා අස්වසනු හැකිද
කිඳුරු කුමරුවාණනි මං තවම ඔබගෙමයි...

මෙහි රඟ දැක්වෙන්නේ නාටකයක් තුළ නාටක දෙකකි. එනම් ඔරිජිනල් සඳ කිඳුරුවද ඒ ආශ්‍රිත වර්තමාන කතාවක්ද මෙහි රඟ දැක්වෙයි.
කිසියම් හේතුවක් නිසා කිඳුරා ළතැවුළිනි. ඔහු සිය චරිතය තුළ ජීවත්වීම තව දුරටත් පළක්නැති බව වටහා ගෙනය. මේ මෙතෙක් අප්‍රකාශිත හේතුව ඔහුට වැටහෙන්නේ තමන්ට වැදුණු හී සැරයක් ලෙසටය. ඒ නිසා ඔහු වේදිකාවෙන් බැස යාමට තීරණය කරනු ලබයි.

එහෙත් කිඳුරිය දරණුයේ අන් මතයකි. කිඳුරු සෙවනම මිසක, රජ ඇඳුම් රජ සැප තමන්ව අස්නොවසන බවයි.

මල් පෙති බැන්ද ගෙලට රන් දම් පළඳවන්න
අග නගරයට එන්න ඔබට අතවනයි
සඳගිරි පවුව මිසක නුහුරුයි ඈත නුවර
නුපුරුදු දෙපා බියෙන් සැලී පටලැවෙයි....

කාරණය පැහැදිලිය. ගමේ නාඩගං පොලේ කිඳුරිය වූ ඇයට අගනගරයේ වේදිකාවෙන් ඇරියුමක් ලැබීම කිඳුරා තුළ බියක්ද නොසන්සුන්තාවක්ද ඇති කිරිමට හේතුවූ කාරණයයි. අද මල්පෙති අමුණා මාල බඳින ඈ ගෙළ හෙට රන්දමක් එතෙනු ඇත. එය රන්දමක්ද නැති නම් යම් දිනක ඈ ගෙළ සිරකරන තොන්ඩුවක්ද යන සැකය විය හැක කිඳුරා ව නොසන්සුන් කරණු ලැබුයේ.

කමතේ අඳුර අතැර එන්නැයි සුපිරි ලොවට
කැමරා විදිලි බුබුළු ඔබට අතවනයි
හී තල වලට මිසක බිය නෑ කාසි වලට
නිලියක නොවේ මෙමා තවම කිඳුරියයි..

ගමේ නාඩ ගං පොළ කමතයි. එහි ඇත්තේ පන්දම් සහ ළන්තෑරුම් එළියයි. පන්දම් සහ ළන්තෑරුම් එළිය යනු අඳුර පළවා හරිනු නොහැකිව කෙරෙන වැලපුමක් බඳුය. කොතෙක් ඇවිළුනත් රජයන්නේ අඳුර ම වන බැවිනි. නගරයේ කැමරා විදුලි බුබුළු ඇයට ඇරියුම් කරන්නාක් සේ ඔහුට පෙනේ. ඒත් කිඳුරිය මෙහිදී ඉට වඩා සෘජුය.

ඈ මුදල් වලට බිය නොවෙයි. මුදල් ළඟ නොසැලෙයි. සැලෙන්නේ හී තල අසලය. මේ හීතල මොනවාද? පැහැදිලි අදහසක් නොකියවෙයි.... අපට සිතන්නට දෙයක් තියයි? ඈ අවසන කියනුයේ තමන් නිළියක නොවන බවයි. කුමන තැනකට ගියත් කිඳුරියම වන බවයි. නිළියක නොව තමන් කිඳුරියක ලෙස සිතන තාක් ඇය රැකෙනු ඇත. එම සිතුවිල්ල ගිලිහුණු දාක ඇය තවත් එක් නිළියක් වනු ඇත. තිරය ඉදිරි පිටදීද තිරය පසුපසදී ද බොහෝ දේ රඟන්නට සිදුවනු ඇත.

හීසර වැදුණු පසුව ගිතය මෙතැනින් අසන්න.


හීසර වැදුණු පසුව ගීතයේ කිඳුරිය මෙතරම් ස්ථිර සාරව තමන් වෙනස් නොවන බව කිවද එය ඒ අයුරින්ම සිදුවේදැයි සැක සහිත වනුයේ චිරාත් කාලයක් පුරා මෙවැනි දේ ගැන ඇසූ දුටු දේ ඊට වඩා බොහෝ සෙයින් වෙනස් වූ හේතුවෙනි. ඇයට මේ පාරිභෝගික සමාජය තුළ සැබැවින්ම නොවිකිණී සිටින්නට හැකිවේද?  එම ගීය ලියූ රත්න ශ්‍රී ම ලියූ මතු දැක්වෙන ගීය මීට හොඳම නිදසුන් ගීයකි.

සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා - අවසන් කටයුතු කළා....

රත්න ශ්‍රී මෙම ගීතයෙන් ගමේ නාඩගම් පොළෙහි රැඟූ සඳ කිඳුරියක ගැන ලියයි. ඇගේ රූ සිරි වැනුමක් නොවේ මෙහි ඇත්තේ. ඈට වුණු විපතක් හද කකියවන හැඟුමක්ද එක්කරමින්  ගෙනහැර පෑමකි එහි ඇත්තේ.

ගමේ නාඩගංපොළේ - කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්ට කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා......

එදා සඳ කිඳුරිට ඇන්ද ඇය, කිඳුරාව ගමේ තනිකර දමා, කොළොම් තොටට ඉගිලුනි. ඒ අනෙකකට නොවේ. මුළදී ප්‍රසිද්ධිය සහ ජනප්‍රියතාව උදෙසාද දෙවනුව හැකියාවන් සහ ආත්මය විකුණා මුදල් ඉපැයීමද උදෙසාය. මේ සිදුවීමෙන් ගමද කිඳුරාද බොහෝ සේ කම්පා වුණි. මේ කම්පා වීම ඈ ඔහුව දමා යාම පිළිබඳව ම නොවේ. නගරයේ සිට පැමිණි එකියක් කිවූ තොරතුරක් නිසාවෙනි. ඇය ගමට මෙම තොරතුරු කියා සිටියේ හැඬූ කඳුළිනි. හඬන්නට තරම් දේ එම තොරතුරෙහි විය. අවසන් ප්‍රතිඵලය වූයේ ශෝකය දරණු බැරිවී කිඳුරාගේ ළය පැලී මියයාමයි.

වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඩන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා.......

එදා කිඳුරියගේ තොරතුරු කියා හැඬූ කෙකිනිය පමණක් මෙදා කිඳුරු මළගම දා නොහඬා සිටියාය. ඒ, කිඳුරා, මළගම දා වත් නොහැඬිය යුතු තරමේ නොසණ්ඩාල කිඳුරකු වූ නිසාද? නැත. කිඳුරිය පිළිබඳව ම හඬා  ඈ නෙත කඳුළු වියලී ඇති නිසාය...

මේ ගීයේ ප්‍රබලම අංගය එහි පදරචනය ම ය. එහෙත් ගුණදාස කපුගේ ශූරීන් සංගීතයෙන් කර ඇති දායකත්වය අති මහත් ය. කිඳුරිය පිළිබඳ වැලපීමට සේ ම කිඳුරු මළගම වෙනුවෙන් වැලපීමටද ඉන් අපට ආරාධනා කරයි. එහෙත් අන් අර්ථයකින් මේ ඇරියුම් කරන්නේ අපේ සංස්කෘතික මළගම වෙනුවෙන් වැලපෙන්ටය.

ගායන පාර්ශ්වය සලකනවිට ජානක වික්‍රමසිංහ ඊට සාධාරණයක් ඉටු කොට ඇති බව අවිවාදිතය. ඒත් මේ ගීතය ඇසෙන හැම වාරයකම මම ඒ තුළින් කපුගේ ගේ කටහඬ සොයමි. ඇත්තටම මම මනෝමයෙන් මේ ගීය අසන්නේ කපුගේ ගේ කටහඬිනි. ඒ අන් යමක් නිසා නොව, මෙවැනි දුකක් කියන්නට තිබුණු හොඳම කටහඬ තිබුණේ කපුගේ ට වන බැවිනි.

පද      : රත්න ශ්‍රී විජේසිංහ
ස්වර   : විශාරද ගුණදාස කපුගේ
හඬ     : ජානක වික්‍රමසිංහ


සඳ කිඳුරා මිය ගියා ගීතය මෙතනින් අසන්න.




මේ සියල්ල මෙසේ වෙද්දී මෙ ජාතක කථාව ඉතාම සුන්දරව ද සවිස්තරව ද කියවෙන ගීතයක් අපට හමුවෙයි. දස බලධාරී බුදු රජු පෙර කළ ඉපිද හිමාලේ කිඳුරකු වීලා..... ලෙසින් ඇරඹී මෙම ගීතයෙන් ජාතක කතාවේ අන්තර්ගතය මනාව දිගහැරෙයි. මුළින් ආර්.ඒ. චන්ද්‍රසේනයන්ගේ හඬින්ද පසුව ඩබ්. ඩී. ආරියසිංහයන්ගේ හඬින්ද අපට අසා හුරු පුරුදු මෙම ගීය අද අපට ඇසෙන්නේ ආරියසිංහයන්ගේ පුත් හර්ෂදේව ආරියසිංහගේ හඬිනි. මෙම සුන්දර ගීතය මතු නොව අනාගත විශිෂ්ඨ ගායකයෙකුගේ සුළ මුළ ද ඉන් අපට හෙළි වෙයි.




සඳ කිඳුරුවට බැඳුණු කව් ගී පිළිබඳ මා සටහන ඒ පිළිබඳව ගැඹුරින් සොයන්නෙකුට අසම්පූර්ණ සටහනක් වනු ඇත. මා සවන නොවැකුණු මා දෑස නොගැටුණු මේ හා බැඳුණු කව් ගී තවත් එමට තිබිය හැකි හෙයිනි. එවන් ගැඹුරු විශ්ලේශකයෙකුට ඉඩ දෙමින්, එතෙක් බ්ලොග් අවකාශය තුළ රසය සහ හරය සොයන්නන් වෙනුවෙන්, මා මෙම කෙටි සටහන තබන්නට සිතූ බවද අවසන සටහන් කරමි.


-        යසනාත් ධම්මික බණ්ඩාර    -

9 comments:

  1. saubhagya senanayakaMay 6, 2013 at 4:05 PM

    සඳගල නුවර එන්න
    අවසර වරම් දෙන්න
    රෑ සඳ වෙලා ඉන්න
    නුඹ එනවද කියන්න
    කින්නරාවියේ

    සඳදිය ඉවුරු සිඹින
    ගඟබඩ තුරු සෙවණක
    හිත උණුහුම් කරන්න
    හදවත ළගින් ඉන්න
    නුඹ එනවද කියන්න
    කින්නරාවියේ

    අත්වැල් බැඳන් එකට
    පියවර මැන යන්නට
    කින්නර දා වත යළි
    නුඹෙ නාමෙන් ලියන්න
    නුඹ එනවද කියන්න
    කින්නරාවියේ


    ගායනය - සුනිල් එදිරිසිංහ
    සංගීතය - කරුණාරත්න විජේවර්ධන


    ReplyDelete
  2. සඳගල නුවර එන්න
    අවසර වරම් දෙන්න
    රෑ සඳ වෙලා ඉන්න
    නුඹ එනවද කියන්න
    කින්නරාවියේ

    සඳදිය ඉවුරු සිඹින
    ගඟබඩ තුරු සෙවණක
    හිත උණුහුම් කරන්න
    හදවත ළගින් ඉන්න
    නුඹ එනවද කියන්න
    කින්නරාවියේ

    අත්වැල් බැඳන් එකට
    පියවර මැන යන්නට
    කින්නර දා වත යළි
    නුඹෙ නාමෙන් ලියන්න
    නුඹ එනවද කියන්න
    කින්නරාවියේ


    ගායනය - සුනිල් එදිරිසිංහ
    සංගීතය - කරුණාරත්න විජේවර්ධන

    ReplyDelete
  3. ඇත්තටම මේ අවසන් ගීතය ගීතය චන්ද්‍රසේනයන්ගෙන් පසුව ඔහුගේ දියණිය දර්ශනී චන්ද්‍රසේන සහ ඩබ්. ඩී. ආරියසිංහයන්ගේ පුතු වන හර්ෂදේව ආරියසංහයන්ගෙන් නැවත අසන්නට ලැබිම භාගයයක්. ඒ නිසා මේ ගීය එකම පවුලේ පරම්පරා තුනකින් තුන්වැනි පරපුරට අද හිමිවි තිබෙනවා.

    ReplyDelete
  4. I REALLY ENJOYED READING THIS ARTICLE.AND LEARNED A LOT ABOUT CHANDRA KINNARAAWI.YASANATH,YOUR BLOG IS VERY USEFUL FOR NEW GENERATION LYRICTS.UNFORTUNATELY MOST OF THEM DO NOT READ THESE DAYS.THANKS YASANATH.

    ReplyDelete
  5. සඳකිඳුරා මියගියා ගමට එන්න නංගියේ ගීතය කපුගේ ගැයුවානම් වඩාත් සුදුසු යයි මමත් හිතනවා...ජානක වික්‍රමසිංහ එක් වැඩසටහනකදී පැවසුවා ඔහු මේ ගීතය සංගීත නිර්මාණය කිරීමට කපුගේට දුන් විට 'මල්ලියෙ උඹට මම ඕන දෙයක් දෙන්නම්...මේ සිංදුව මට දීපං' කියා කපුගේ ඉල්ලා සිටියත් ජානක ඊට කැමති නොවූ බව....

    ReplyDelete
  6. ආර් ඒ චන්ද්‍රසේනයන් ගැයූ දස බලධාරී ගිතය 19 වැනි සියවසේ හොඳම (සිංහල) ගීත 100න් එකක් බවයි ලක්හඬ ගුවන් විදුලියේ කපිල තිලකසිරිගේ අදහස. ගීතය ගැන සමහරක් තොරතුරුත් අඩංගු මේ උපුටා ගැන්ම අසා බලන්න:
    http://www.mediafire.com/?4t8zur8r5s9g1j5

    ReplyDelete
  7. ඔබ ගේය පද රචකයෙක්, කවියෙක් මා මෙතෙක් දැනසිටි අයුරින්. එවන් වූ නිර්මාණ තුලින් හදවත් සුවපත් කල ඔබගේ මෙහෙය එතැනින් ඔබ්බට පැතිරී යන බවකුයි මට මේ ඔබ විසින් ලියනා සයිබර් ලියවිලි වලින් හැඟෙන්නේ. මේ සඳකිඳුරුවට ලියූ ගී කවි ඉතා දිග රස වින්දනාත්මක ලිපියක්. එක් එක් නිර්මාණය රස විඳ එවන් වූ රස අපටද විඳින්නට අත්වැලක් සැපයීම කොයිතරම් අගේද? ඔබ ඉතා අධික වගකීම් දරණ කාර්‍යබහුල වෛද්‍යවරයෙකු ද වන බව දනිමි. මේ සියලු වැඩ රාජකාරි අතරේ මෙවන් වූ අනගි අමිල සේවයක් කරන්නට තරම් ඔබ කාරුණිකය . මෙය කියවූ කල ඔබ කෙරෙහි මහත් කෘතගුණ පූර්වක බැතියක් උපන් බව නොසඟව කියමි. මෙවන් තවත් බොහෝ සිත සුව සදන රස හසර කලත මතු කරන සුගඟුල් යසනාත් ධම්මික බණ්ඩාර නම් උල්පතින් බිහිවේවා

    ReplyDelete
  8. Great post and review !!
    Keep up the good work.

    Suggestion :
    first picture looks childish and I almost skipped reading this.
    Great to see doctors in arts.

    ReplyDelete
  9. ආදරේ හිතෙන නිර්මානයක්

    ReplyDelete