Saturday, April 20, 2013

කවියෙකුට කවියක්, නිසි කලට ලියාගත නොහැකි වීමෙන් උරුම වුණු දුකක් ගැන, පසුව ලියැවුණු කවක් ගැනයි මේ කියන්න යන්නේ




 ඇය ළඟින් සිටිදා මම මෙම ගීය ලියන්නට වෙහෙසුනෙමි. එහෙත් කවියාගේ අවාසනාව දැඩි විණ. ලියාගත නොහැකි විණ. අනතුරුව ඈ මගෙන් දුරස්ව බොහෝ දුර....

එහෙත් දවසක ඒ කව ලියැවිණි...... ඒසේම දවසක ඒ ගීය ලියැවිණ..... ඒත් ඒ කව කියවන්නට, ඒ ගීය අසන්නට ඈ අසළකවත් නොවුණි. ඈ සිටින ඉසව්ව කොහි වේද? ඈ කොහි සිටියත් ඒ කව ඈ කියවනවාට, ඒ ගීය ඈ අසනවාට මා තුළ කැමැත්තක් ඇත.

මේ ගීය මා මෑතකදීම කළ ගීත කිහිපය අතර ප්‍රියතම ගීය ලෙස මගේ හිතේ වෙසෙස් තැනක වෙයි. අහම්බයකින් වෙනත් ගීයක් ගැන කතා කරන්න ගොස් සංගීතඥ දර්ශන රුවන් දිසානායකට මගේ වෙනත් ගීත රචනා දෙකක් දැකගන්නට ලැබුණි. කතා කර කර හිටි ගීතය පසෙකලා ඔහු පළමුව සංගීතවත් කළේ පසුව ඔහු දුටු ගීත රචනා දෙකයි. පසුගිය සතියේ අවුරුදු තෑග්ග ලෙස මම ඔබට අසන්නට දුන් අමල් පෙරේරා ගයන රාත්‍රිය උවමණා කර තිබේ ගීතය ඉන් එකකි. මේ අනෙකයි. දර්ශන ගේ සංගීතයට මෙය ගයන්නේ විශාරද අමරසිරි පීරිසුන්ය. දර්ශනගේ සංගීතය මගේ සිතේ ගැඹුරේ තැන්පත් වූ හෘදයංගම හැඟුම් මනාව මතු ක‍ළේය. එයට යෙදිය යුතු මීට වඩා හොඳ සංගීතයක් ගැන මට මතක් නොවේ. මේ ගීය ගැයීමට වර්තමානයේ සිටින හොඳම හඬ සහිත ගායකයාණෝ සිය හඬ සම්මාදම උපරිම වශයෙන් ඉටු කළේය. ඒ සඳහා දිය හැක්කේ පින් හැර අනෙකක් නොවේ.

නුඹ ළඟින් සිටි දා කියන්නට බැරිවුණු
කටු අකුරු කැබිලිති හරියටම නොලියුණ
කවියක් ව ලියැවුණු හුදකලා මේ රෑ
අනේ නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ - අනේ නුඹ

එදා මට එම කව ලියාගත නොහැකි වුණි. නුඹ කුමක් කරන්නද ඊට? ලියාගත නොහැකි වූ කවකට නුඹ කෙලෙස රසිකාවියක් වන්නද? ඒත් අවමයෙන් මා ඒ කව ලියැවුණු බව කියන මේ ගීය හෝ නුඹට ඇසෙනවා නම් මම ඊට සතුටු වෙමි.

රස කවි ලියන්නට හිතුණු දා
කවි නිමිති උදුරා - කවි වරම් නොමදුන්
කවි වදන්  සඟවා - කවි සිතට ගැරහුම්
අනේ නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ - අනේ නුඹ

කොතෙක් කවි ලියූ මට මේ කවිය පමණක් ලියා ගන්නට බැරිවුණේ ඇයි දැයි මට යන්තමින් මතකයි. මා කවි නිමිති සොයන විට නුඹ ඒවා කවි නිමිති නොවේයයි කීවාය. මා ලියන කවි, කවි නොවේ යයි කියා කවි වරම මට නොදුන්නාය. මුතු හරකට මෙන් ඇමිණිය හැකිව තිබූ කවි වදන් මගෙන් සැඟවූවාය. මගේ කවි සිතට ගැරහුවාය. අවසන නුඹ කවියෙකු නොවේ යයි පවසා කවි සිතක් සොයා අනන්ත අවකාශයට පිවිසියා ය. ඒ කවි සිත නුඹට හමුවුණා දැයි මම නොදනිමි. හමු වුණේ කවි සිතක් නොවේනම් නුඹ තුටින් නොවන බවද දනිමි........ ඒත් තරහක් නම් නෑ.... දුකක් නෑ කියන්න නම් බෑ....බොරුවක් වන නිසා.....

අවමයෙන් ඒ කව ලියැවුණු බව කියන මේ ගීය හෝ නුඹට ඇසෙනවා නම් මම ඊට සතුටු වෙමි.
රස ගී තනන්නට හිතුණු දා
හද විලම කළඹා දී තැවුල් රිදවුම්
ගී කළල උදුරා - ගී සිතට වද දුන්
අනේ නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ - අනේ නුඹ

අනේ නුඹ - මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ .....

කොතෙක් ගී ලියූ මට මේ ගීය පමණක් ලියා ගන්නට බැරිවුණේ ඇයි දැයි මට යන්තමින් මතකයි. මා ගීයකට මුළ පුරණ විට නුඹ මගේ ගී සිත කළඹා ළතැවුළින් මහද පිරිවීය. මෝරා එන ගී කළල උදුරා ගී සිතට අනන්ත වද වේදනා දුන්නාය. අවසන, නුඹ ලියන ගී ගී දැයි පවසා ගී සිතක් සොයා අනන්ත අවකාශයට පිවිසියාය........නුඹට ඒ ගී සිත හමුවූවා දැයි මම නොදිමි. ගී සිතක් හමු නොවුවා නම් නුඹ තුටින් නොවන බවද දනිමි. ඒත් තරහක් නම් නෑ.... දුකක් නෑ කියන්න නම් බෑ....බොරුවක් වන නිසා.....

අවමයෙන් ඒ ගීය ලියැවුණු බව කියන මේ ගීය හෝ නුඹට ඇසෙනවා නම් මම ඊට සතුටු වෙමි.

මම, මට හැකි ලෙසින් මේ ගීයට රූප ඇමිණුවෙමි. එහි අදහස මතු කරන්නට ඉන් උත්සාහ කළෙමි. ගීයේද, රූප ඇමිණුමේද ඔබට දැනෙන දේ ගැන දැන ගැනීම මට වටිනා බවද ලියා තබමි.



පද     - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - දර්ශන රුවන් දිසානායක
හඬ    - විශාරද අමරිසිරි පීරිස්

නාද ශික්ෂනය - ජනක දළදාවත්ත ( පන්සිළු - මහරගම)



-         යසනාත් ධම්මික බණ්ඩාර    -

13 comments:

  1. සුපිරි සුසන්යෝගයක්... රූප රචනයත් අර්තයට ගැලපෙනවා මට හිතෙන හැටියට..

    ReplyDelete
  2. ගීතය ප්ලේ වෙන්නේ නැනේ.එත් මේ ලියලා තියෙන ටික ඇති එය තේරුම් ගැනීමට.බොහෝම රසවත් .

    ReplyDelete
    Replies
    1. නැවත වරක් බලන්න. ගීතය ප්ලේ වෙනවා.

      Delete
  3. ගී පද වගේම , නාද සිත්තමත තීව්‍ර කරවමින් හිතට වද්දන වයලීන හඬ , අමරසිරි පිරීස් ගායකයානන්ගේ හඬ සමඟ එක්ව අපේ හදවතට තුලට රිංගවන්නේ නොදැනුවත්වමයි , පෙම්පත් ලියන දා ලියැවුනු කවියක දැනෙන නොනිම් සතුට , සුවය දැනෙනවා මේ පද , හඩ, රිද්මය තුල

    ස්තුතියි ඔබට ...

    ReplyDelete
  4. මාර ලස්සනයිනෙ ඇත්තටම...
    ඇත්ත හැඟීමක් වචනවලට ගොණු කරලද මේ ?
    මට තේරෙන්නෙ නෑ.. කෙනෙක්ගෙ විරහව අපි රසවිඳිනවා.. ඒක වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ, ඒත් ඒක එහෙම වෙනවා..

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ගේවිරහවත් අපි රස විඳිනවා. ඒ රසය ශෝකීරසයක්. එය හරිම සියුමු ශෝකී රසයක්. ඇත්තටම එම වේදනාව ලැබූ කෙනාත් සමහර විට ඒ විරහව රසවිඳිනවා.... පසුව.... කළ හැකි අන් යමක් නොමැතිව.... ඒත් ඒ ශෝකී රසය අර වගේ නොවෙයි. තියුණු එකක්.... කොහොම හරි අපි විරහව රස විඳිනවා.ඒක වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ, ඒත් ඒක එහෙම වෙනවා..

      Delete
  5. ඔබ තුමා ගෙ ගී පද ගැන වචනයක් වත් ලියන්න තරම් නම් මට කිසිම සුදුසු කමක් නෑ. ඒත් මම ඔබතුමා ගෙ ගී පද වලට බොහෝ සෙයින් පිය කරන ඒවා සොය සොයා අසන රසිකාවියක් බව නම් නොකියාම බෑ. ඒ වුණත් ඇතැම් විට එක් එක් කෙනාගේ රස වින්දනය වෙනස් නිසා වන්නට ඇති එසේත් නැත්නම් මෙහි එන වෙනස් සංගීතය නිසා වන්නට ඇති වෙනදා ඔබේ ගී තුළින් මා විදින සිත දැහැන් ගත කරවන රසය මේ ගීතයෙන් වත් අමල් පෙරේරා මහතා ගයන ගීයෙන් වත් මට විදගන්නට ලැබුණේ නෑ. එය එසේ වුවත් මේ ගී විදින තව දහසක් දෙනා ඇති. එසේ ම දරාගතනොහැකි විවිධාකාර හේතු විසින් පළපුරුදු කලාකරුවන් නිහඩ කර ඇති මෙවන් යුගයක ගී කෙතට මෙවන් දායාදයන් ලබාදීම ම ඉතා මහගු මෙහෙයක් බව කිවයුතුමයි. තවත් සොදුරු නිර්මාණයන් අප වෙත ලබාදීමට ඔබතුමාට හැකිවෙන්න යයි හදවතින් ම සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. මේ ගීත ඔබට දැනෙන විදිහ ඔබට පෞද්ගලිකයි. ඒකෙ කිසිම ගැටළුවක්නෑ. අපි දවසක් රාත්‍රියක 20-25 ක පිරිසක් සාදයක් පවත්වමින් සිට එක මොහොතක කපුගේ ගැන කතාව ඇරඹුනා. එතැන් සිට එහි සිටි එකෙක් හැර ඔහුගේ ගීත රසවින්දා. විටක අපි කපුගේ ගැන ශෝකවුණා. එවිට ඔහු අසංවේදීව හිටියා. අපි හැමෝම කපුගේට කැමති ඇයි කියා උත්තර හෙවුවා. ඔහු කිවුවා. මට කපුගේව කිසි ලෙසකිනුත් දැනෙන්නේ නෑ කියලා. ඒ මොහොතේ ඒ පිරිස අතරේ අපි ඔහුගේ මතයට ගරු කළා. ඒ ඔහුට දැනුනු දේ. ඒ තරම් දැවැන්තයෙකුටත් එහෙම වෙනවිට මගේ ගීත ගැන හිතන්න දෙයක් නෑ. මට මෙතන හිතන්න දෙයක් තියෙන්නේ එක ගීතයක් මෙහි පළ කළේ සතියකට උඩදි. අනෙක් ගීතය ඊයේ. සංවේදීව දැනුන අය නම් නැවතනැවත අසන බව පැහැදිලියි. එක් සැනෙන් වැඩක් නැතැයි හිතන කෙනා එක් වරක් පමණයි. තීරණය ගැනීමට පෙර අහන්නේ. ඉතින් එය සෑහේද යන්න කල්පනා කළයුතුයි විවිරණයකට....

      Delete
  6. යසේ.. මෙච්චර කාලයක් හැංගිලා තිබුණ උඹේ කවි හිත ආයෙමත් නියං සමයකට පස්සේ අද හැලෙන මහ වැස්සක ට පසුව කර්කශ පොළම විනිවිද නැගෙන බිම්මලක් වගේ ඉහලට ඇදෙනවා. දිග නිහැඬියාවෙන් පස්සේ අලුත් වැස්සට ගොබ ඇදෙන කවි හිත ප්‍රවින පරපුරත් නව පරපුරත් අතර හොඳ සංවාදයක් ඇති කරාවි.

    හැම වෙලාවෙම ප්‍රවින ශිල්පියෙක් සහ නව පරපුරේ අලුත් ශිල්පියෙක් එකම ඉසව්වකින් එක රේඛාවකට ගෙන ඒම නිර්මානාත්මක තුළම මේ සංගිතයේ සංක්‍රාන්ති සමයට ආලෝකයක් වේවි.

    ReplyDelete
    Replies
    1. දයා.....ඔය දිරිගැන්වීම බොහෝ වටිණවා.අළුතින් යමක් කිරීමේ ආශාව....එය නොකඩවා පවත්වා ගැනීමේ උත්සාහය එවන් දිරිගැන්වීම් වලින් නිබඳවම වැඩෙනවා.

      Delete
  7. Yasanath, Im reading all. very stimulating! pl do continue
    parane

    ReplyDelete
    Replies
    1. වචන ටිකයි. වචන ටිකේ වටිණාකම බොහෝයි..... ස්තුතියි....

      Delete
  8. අවුරුද්ද තෑගි දෙකයි.. ස්තුතියි

    ReplyDelete