Sunday, April 14, 2013

මගේ අළුත් අවුරුදු තිළිණය


මම අළුතින් ගීත කිහිපයක් නිර්මාණය කළා. ඉන් දැනට වැඩ නිම කර ඇත්තේ අමල් පෙරේරා ගයන රාත්‍රිය උවමණා කර තිබේ නම් වූ මෙම ගීතය සහ අමරසිරි පීරිස් මහතා ගයන නුඹ ළඟින් සිටි දා කියන්නට බැරි වුණු යන ගීතයත් ය. මේ ගීත සියල්ල සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක විසිනි. මේ පිළිබඳව දැනගත් විට බොහෝ දෙනෙක් ඒවා අසන්නට දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ නිසා යම් රූප ඇමිණුමක් කර ගන්නට මම මේ දිනවල වෙහෙසුණෙමි. මට අවසන් කරගන්න හැකිවුණේ රාත්‍රිය උවමණා කර තිබේ නම් වූ මේ ගීතය පමණි. ඒ නිසා එය ඔබ වෙත ඉදිරිපත් කරන්නට හිතුවා. අළුත් අවුරුද්දට දෙන්න මට වෙන තිළිණ නෑ. ඒ නිසා සියල්ලන් ම මෙය මගෙන් ලැබෙන අළුත් අවුරුදු තිළිණය ලෙස බාර ගනීවියැයි සිතනවා.


රාත්‍රිය උවමණා කර තිබේ
නිදන්නට නොව ලොවින් සැඟවෙන්න
කණා මැදිරියනි - එපා ගෙට එන්න
රාත්‍රිය උවමණා කර තිබේ
වැළපෙන්න.....


බොහෝ දෙනෙකුට රාත්‍රිය අවශ්‍ය වන්නේ විවේකය පිණිසය... නැතිනම් නින්ද සඳහාය....ඒත් මේ තරුණයාට රාත්‍රිය අවශය වෙන්නේ ලොවින් සැඟවෙන්නට මිසක් නිදන්නට නොවෙයි.. කොතරම් ලොවින් සැඟවෙන්නට ඔහුට ඇවැසිද යත් කණමැදිරියෙකු පවා ගෙට එනවාට ඔහු අකමැති වෙයි. ඔහුට රාත්‍රිය අවශ්‍ය වී ඇත්තේ ලොවින් සැඟවී වැලපීම සඳහාය..... ඒ ඇයි....


එකට ආ මාවතේ ළං ළං ව
රැඳුනු ඇඳුනු සිවු පිය ලකුණු
එක පෙළට....
දෙමගකට හැරුණු හැටි දැන ගන්න
රාත්‍රිය උවමණා කර තිබේ
වැළපෙන්න.....


එකම මගක ගමන් ඇරඹුවේ කිසිදා දෙමගකට යොමුවන්නට නොවේ. ඒත් දිනක, එක් තැනක සිට ඒ දක්වා එක ළඟ එක පෙළට ඇඳුනු පියවර සලකුණු හතර දෙමගකට යොමු විය. ඔහුට රාත්‍රිය අවැසි වන්නේ ඒ ඇයි දැයි කරුණු දැනගෙන වැලපීම සදහාය....


නිසල තුරු මානයේ මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරූ
මුණු මුණු ව
ගොළුවතට හැරුණු හැටි දැන ගන්න
රාත්‍රිය උවමණා කර තිබේ
වැළපෙන්න.....


නිසල තුරු වියන යට පෙම් පිළිසඳර ඇරඹුවේ කිසි දිනක මුණිවතට හැරෙනු දකින්නට සිතා නොවේ. එහෙත් එක් දිනක එක් මොහොතක සිට සොඳුරු පෙම් පිළිසඳර අඳුරු නිහඬතාවක ගිලුණි. ඔහුට රාත්‍රිය අවැසි වන්නේ ඒ ඇයි දැයි කරුණු දැනගෙන වැලපීම සදහාය....




දර්ශන ගීතයේ ආත්මය සොයා ඊට සංගීතයේ සොඳුරු සළු පෙරවූ අතර, අමල් එහි සුළ මුළ සොයාගෙන එය හැඟීම් ගායනාවක් බවට පත් කළේය. ශබ්ද පරිපාලනය මහරගම පන්සිළු මියුසික් ශබ්දාගාරයේ ජනක දළදාවත්ත සොයුරා සිදුකරන ලද අතර මේ මගේ එම අළුත් ගීතමය තිළිණයයි.

- යසනාත් ධම්මික බණ්ඩාර -


24 comments:

  1. අගෙයි යසේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  2. ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබට ද සුභ අළුත් අවුරුද්දක් වේවා !

      Delete
  3. මා ඔබේ ගීත ආදරයෙන් වැලදගත් රසිකයෙක්..

    මෙවන් නිර්මාණ කිරීමට තවත් ශක්තිය ලැබේවා..

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  4. ඔබගේ සාර්ථකත්වයට සුභ පැතුම් !


    ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. මමත් පතන්නම්,ඔබට ද පවුලේ සැමට ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  5. බොහොම අපූරු අවුරුදු තෑග්ගක් නොවැ.. :D

    ඒත් සින්දුව කියනවා ඇහෙන්නෙ හරි හිමින්නෙ... මගෙ හෙඩ් ෆෝනෙකේ අවුලක්ද මංදා ! සංගීතය හඬ අභිබවා යනවා...

    අමරසිරි මහත්මයා ගායනා කරන ගීතය අහන්න ආසාවෙන් බලා ඉන්නවා.. ඒකත් සූදානම් වුනාම මේ වගේ ලිපියක් වැටෙයි නේද ?

    ඔබට සහ පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගීතයේ තාක්ෂණික ප්‍රශ්ණයක් ගැන වෙන කවුරුත් කිවුවේ නම් නෑ. මමත් ඇහැව්වා. හොඳින් ඇහුණා.ඒත් මම ඒක ගැන සොයා බලන්නම්.
      අමරසිරි පීරිසුන් ගයන ගීයේ වැඩ ඉවරයි.රූප ඇමිණුමක් හදා ගත් සැනින් එය එක් කරන්නම්.
      මමත් පතන්නම්,ඔබට ද පවුලේ සැමට ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

      Delete
  6. ඔබට ද සුබ නව වසරකට ආසිරි පතමි!

    ReplyDelete
  7. සුන්දර ගීතයක්...... ඔබට සුබ පැතුම්.තව තවත්සුන්දර ගීත බිහි කරන්නට නුඹට හැකිවේවා....

    ReplyDelete
  8. Obatath....obe adaraneeya kadallatath....suba aluth awuruddak weewa.....!!!

    ReplyDelete
  9. Godak hangeembara geeyak awurudu thilinaya lesa apata puda dun obata isthuthiy....! Kanamadiri eliyakwath nathi anduraka thaniwela anduratama konduramin walapuna hithakata mee geeya godak danenawa....

    ReplyDelete
  10. රාත්‍රිය උවමණා කර තිබේ
    නිදන්නට නොව ලොවින් සැඟවෙන්න
    කණා මැදිරියනි - එපා ගෙට එන්න
    රාත්‍රිය උවමණා කර තිබේ
    වැළපෙන්න.

    නිරන්තරෙයන් ඇහෙන ගීත සහ ගිත පදමාලාවන්ට නව අරුතක්. හොඳ පුර්වාදර්ශයක්. එකතැන පල්වෙන ගීතකලාවට නව ජවයක්. දෙන පදවැලක් වගේම හොඳ සංගිතයක්න බිහිවුණ ගියක්.

    යසේ....ආද‍රයේ හඬාවැලපීම්, යාදිනි, ඇහෙන මේ යුගයේ නැවත උඹ පන්හිඳට පණ පෙවිම ගැන අවංකවම සතුටු වෙනවා. අවශ්‍යම දේත් එයයි. හොඳ නිර්මාණ පෙළක් එකතු වේවි කියලා හිතනවා.

    ගිතය ගැන මොන ආකාරයෙන් කිවත් මේ ගීය ඔබට වගේම අමල්ගේත් සංගිතයේ හැරවුම් ලක්ෂයක් වේවි ඉදිරියේදි. එතෙක් බලා ඉමු....

    ReplyDelete
    Replies
    1. ඔව් දයා... අළුතින් යමක් කරන්න දැඩි ආශාවක් තිබුණත් අවස්ථාව ලැබුණේ දැන් තමයි. නිහඬව සිටි කාලය තුළ දැනුනේ විශාල හිස් බවක්. මේ ගීත කිහිපයත් සමග අමුතු ප්‍රබෝධයක් දැනෙනවා. එයම ඉදිරි නිර්මාණ කටයුතු වලට අත් වැලක් වෙයි.
      ලැබෙන ප්‍රතිචාර කෙසේ වේදැයි මමත් බලාගෙන ඉන්නවා. ඒත් නිර්මාණ ගැන පුළුල්ව කතාවෙන සමාජයක් නොවෙයි අද තිබෙන්නේ.
      ස්තුතියි දයා....

      Delete
  11. එහෙම රාත්‍රී කීයක් අප පසු කර ඇත්ද?
    අපූරු සංකල්පනාවක්!

    සුබ අලුත් අවුරුද්දකුත් පතනව ඔබතුමා ඇතුලු සැමට
    නිර්මාණකරනයේ පහන් එලි තව තවත් දැල්වේවා
    නිදුක් නිරෝගී සුව අවුරුද්ද පුරාම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම රාත්‍රීන් ගෙවූ අයෙකුටයි මේ ගීය වඩාත් දැනෙන්නේ...... මමත් එහෙම රාත්‍රීන් ගෙවා තිබෙනවා. ඒ නිසාමයි මෙහෙම ලියැවුණේ....

      Delete
  12. ඔබේ ගීතවලට මම බොහෝම ප්‍රිය කරනවා.දිගු බ්ලොග් ගමනකටත් මේ සමග හෘදයංගම සුබ පැතුම්!!

    ReplyDelete
  13. No words to tell. I'm also looking for nights to cry
    excellent writing

    ReplyDelete
  14. වැදගත්ම අවුරුදු තෑග්ගක්. ස්තුතියි. ඉදිරි වසර සුභ නව වසරක්ම වේවා...

    ReplyDelete
  15. යසනත් මහත්තයෝ, මම ශ්‍රි ලන්කා යුද හමුදා මේජර් ගයාන් සෝමකීර්ති. ඔබේ ගීත පබදුම් වලට මම බෙහෙවින්ම ප්‍රිය කරනවා. මම පාසල් යන කාලේ ඉදලා ඒ ගීත රස වින්දා. අදටත් එහෙම්මයි. අද මම යුද හමුදාවේ රලු නිළ අදුමක් ලාගෙන හිටියාට ඉස්සර ගී පද හොදින් රස වින්දා පන්හිද අරගෙන කවි ලීවා. සමහර දාට පද්ය රචනා තරග වලට ගියා, ජය ලැබුවා.ඔබගේ "හඩ" කියෙව්වේ පාසල් කාලේදීමයි. ඔබට නිරතුරු හොද නිර්මාණ තව තවත් කරන්න මා ආශිර්වාද කරමි..

    ReplyDelete
  16. යසනත් මහත්තයෝ, මම ශ්‍රි ලන්කා යුද හමුදා මේජර් ගයාන් සෝමකීර්ති. ඔබේ ගීත පබදුම් වලට මම බෙහෙවින්ම ප්‍රිය කරනවා. මම පාසල් යන කාලේ ඉදලා ඒ ගීත රස වින්දා. අදටත් එහෙම්මයි. අද මම යුද හමුදාවේ රලු නිළ අදුමක් ලාගෙන හිටියාට ඉස්සර ගී පද හොදින් රස වින්දා පන්හිද අරගෙන කවි ලීවා. සමහර දාට පද්ය රචනා තරග වලට ගියා, ජය ලැබුවා.ඔබගේ "හඩ" කියෙව්වේ පාසල් කාලේදීමයි. ඔබට නිරතුරු හොද නිර්මාණ තව තවත් කරන්න මා ආශිර්වාද කරමි..

    ReplyDelete