Monday, January 14, 2013

අතුරුදහන් කර ඇති ගායකයා සහ ඔහුගේ ගීත සොයා දියව්!!!




අනුරාධපුර සිට කොළඹට ආ ගිය එක් පුද්ගලයෙකි. හේ සංගීතඥයෙකි. ගායකයෙකි. මුහුණ පුරා රැවුල වැවී ඇත, උපැස් පළඳී, පිළිවෙලට අඳී පළඳී, විවිධ ප්‍රමාණයේ බටනලා පිරි මල්ලක් එක් උරයක එල්ලාගෙන සිටී. 

ගේය පද රචක මහින්ද දිසානායක
මුල්ම වතාවට හේ සංගීතඥයෙක් බවද, දක්ෂ සංගීතඥයෙක් බවද කියා පෑවේ ක්‍රිශාන්ත එරන්දක නම් ගායකයා දොරට වැඩැම්මූ ගීතයද වන මාලනී බුලත්සිංහලගේ සහාය ගායනයෙන් හැඩ වූ මහින්ද දිසානායකයන් විසින් විරචිත  මගෙ ආදර පවසට නුඹ - නියං කලට හඬන අහස නම් ගීතයයි. මෙම ගීතය එකල ජාතික රූපවාහිනියේ එරීන් ජයසේකර විසින් නිෂ්පාදනය කළ පැහැසර සංගීත වැඩසටහන සඳහා ගැයුනකි. එය නවක සංගීත කණ්ඩායම් කළ එළි දැක්වීමේ වැඩසටහනක් විය. එදා ශිල්ප දැක්වූයේ මා කියූ අර රැවුල වැවූ, කණ්නාඩි පැළඳි, පිළිවෙලට ඇඳ පැළඳගත් සංගීතඥයාගේ මෙහෙයුමෙන් හැඩවුනු සුභානා නම් සංගීත කණ්ඩායමයි. මහින්ද දිසානායකගේ ගීත රචනය සංගීතවත් කරන අප කථානායක සංගීතඥයා එයට සුදුසු කාන්තා කටහඬ මාලිනී බුලත්සිංහලගේ බව දැඩිව ඇදහූ බැවින් ක්‍රිශාන්ත එරන්දක සමග ඇය සොයා ගොස් මෙම ගීතය ගැයීමට ඇයට ආරාධනා කරනු ලබයි. ඇයද ඊට සිය කැමැත්ත පළ කරනු ලබයි. ඒ අනුවය පැහැසරසඳහා මගෙ ආදර පවසට නුඹ - නියං කලට හඬන අහස නම් ගීතය එකතු වන්නේ. එය ඉතා සුන්දර ගීත රචනයක් වෙයි. යුග ගායනයක් සඳහා සැකසුනු එහි යෙදෙන වචන මහින්ද දිසානායකයන්ගේ ගීත රචනයෙහි ඇති බුහුටි බව තව දුරටත් කියාපෑවකි.
ගායනය - ක්‍රිෂාන්ත එරන්දක සමඟ මාලනී බුලත්සිංහල
ඔහු     - මගෙ ආදර පවසට ඔබ - නියං කලට හඬන අහස
ඇය    - මගෙ ආදර වරුසාවට - යටිකුරු කළ කළසකි නුඹ....

මෙම ගීත රචනයෙහි සුවිශේෂත්වය තවත් හැඩ ගන්වමින් සංගීතවත් කරන්නට සංගීතඥයා කොතරම් සමත්වීද යන්නට වදන් භාවිතය තේරුම් රහිතය. එබැවින් එම ගීතය අසා බැලීම වඩා සුදුසුය. එවිට මා නොකී දේ ඔබට වැටහෙනු ඇත.

මගේ ආදර පවසට ඔබ ගීතය මෙතැනින් අසන්න.......


අනතුරුව මට ඔහුව මුණ ගැසුනේ වසන්ත දුක්ගන්නාරාලගේ හිතවතියක් වූ සඳමාලි දිසානායකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය වූ කට හඬ ලැබීම සඳහා ගීත කිහිපයකට සංගීතයෙන් දායක වීම සඳහා කොළඹ ලුම්බිණි රඟහලට පැමිණි අවස්ථාවකය. ඔහු විසින් සංගීතවත් කළ එම ගීත කිහිපය මා හට කිවුවේ මේ නම් අනාගත සංගීතඥ අංකුරයක් බවය. දුකා විසින් නවාව මා හට හඳුන්වා දුන්නා සේම දුකා විසින් ම මොහුද මා හට හඳුන්වා දෙනු ලැබිණි.
පසු කළෙක ඔහු තාවකාලිකව පදිංචිව සිටියේ නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි නිවසක කාමරයකය. මේ කාමරයට මම නිතර ආ ගියෙමි. නවරත්න ගමගේගේ මහ (කුඩා ) ගෙදර  පිහිටා තිබුණේද එකල මේ අසලමය. ඒ නිසා අප නිතර මුණ ගැසුනෙමු. ලියැවෙන ගී කටු සටහන් ඔහු වෙත පෑවෙමි. ඒවා ට ඔහු විසින් තනු රචනා කරන ලදි. ඒවා මසිත වෙසෙස් ස්ථානයක බැබලිනි. ඒ නිසාම ඒ දිනවල මා ලියා වැඩි පුරම නවාගේ දායකත්වය ලැබුණු මගේ ගීත රචනාවලින් ම නිමැවුණු ගීත එකතුවෙහි ඔහුට ඇති විශිෂ්ඨ ගායන හැකියාව නිසා යුග ගීතයක් ගායනා කිරීමට ඔහුට ඇරියුම් කළෙමි.ඒ අනුව කරුණාරත්න විජේවර්ධනගේ සංගීතයට ඔහු ගායිකා ප්‍රදීපා ධර්මදාස සමග අහස මමයි නුඹට නිදන යහන තනනු බැරී නම් ගීතය ගායනා කරන ලදි.මෙම ගීතය මා අතින් ලියැවුණු ගීත අතර මා ඉතා ප්‍රිය කරන එකක් වූවා සේම ඔහුගේ ගායනද විශිෂ්ට මට්ටමක වූ බව සඳහන් කළ යුතුය.
පද - යසනාත් ධම්මික, ස්වර - කරුණාරත්න විජේවර්ධන, ගායනය - ප්‍රදීපා ධර්මදාස සමඟ  අතුරුදහන් කළ ගායකයා
එක්වීම ප්‍රායෝගික නොවූ පෙම් යුවලකගේ ශෝකාලාපය මෙම ගීතයට පාදක විය. මගේ ම ගීත රචනයක් පිළිබඳව ප්‍රසංශාත්මක මුඛයෙන් කථාකිරීමට මා හට නොහැක. එහෙත් මා එම ගීතයට වෙසෙසින් ප්‍රිය කරන බැවින් මෙම සටහනේ ඔහු විසින් ගැයෙන ප්‍රථම ගීතය වශයෙන් එම ගීතය තෝරා ගැනිනි.
ඇය    - අහස මමයි නුඹට නිදන යහන සදනු බැරී
ඔහු     - පොලොව මමයි නුඹට ගලන නිම්න සදනු බැරී
ඇය    - අහස මමයි
ඔහු     - පොලොව මමයි
ඇය    - සිතිජඉමේ පෙම් උයනත සොඳුරු කථා බෝමා
           කෝල සිනා බෝමා
ඔහු     - උයනට ගොස් බලන කලට ළං වෙන්නේ කෝමා
           නුඹට දුරයි බෝමා
ඇය    - නිලට නිලයි නිල් වියනත රුවැති දසුන් බෝමා
           ගයති විහඟ සේනා
ඔහු     - රුවට රුවයි ඒ රුව යට වැසුනු කඳුළු බෝමා
           හිනැහෙන්නේ කෝමා

ස්වර   : කරුණාරත්න විජේවර්ධන
හඬ     : ප්‍රදීපා ධර්මදාස සමග සඟවා ඇති ගායකයා
           (කිඳුරු ගීතය - සංයුක්ත තැටිය - යසනාත් ධම්මික බණ්ඩාර)
එම ගීතය මෙතැනින් අසන්න.


මෙලෙස එක් වීමක් නොමැති තුරුණු ප්‍රේමය පිළිබඳව ගීත ගැයුවද පෙම් කිරීමට තබා යෞවනත්වය ජීවත් කරවීමටවත් නොහැකි කාලවකවානුවක් අපේ තාරුණ්‍යයට තිබිණි. මේ කාලවකවානුවේ සිදුවූ එක්තරා ඛේදවාචකයකට පන්හිඳෙන් පණ පොවන්නේ රජරට ගීත රචනා කෙතේ අනෙක් මහින්ද ය. එනම් මහින්ද චන්ද්‍රෙස්කරයන්ය. මේ ගීත රචනය තෝරා ගැනීම ම එක්තරා අභියෝගයකි. එය සංගීතවත්කොට ගැයීම තවත් අභියෝගයකි. කරුණාරත්න විජේවර්ධන සංගීතඥයා පළමු අභියෝගය නොපැකිලව භාරගනී. භාරගෙන ඉතා හැඟුම් බර අර්ථයට පූර්ණ වශයෙන් වග කියන, ගායකයෙකුට මහත් භාවයක් මුසුකරමින් ගැයිය හැකි සංගීතයක් නිමවීය. වචන වල අර්ථ තුළට කිඳා බසිමින්ද, එක් යුගයක් සත්‍ය වශයෙන්ම මිහිපිට සිදුවූ ඛේදවාචකයේ මතකයන් අවදි කරමින් ඉන් පන්නරය ලබමින්ද ඔහු එහි සංගීතය නිමවයි. ඒ සඳහා ගීත රචනය ඔහුට මහත් අනුබලයක් ලබාදෙයි.
සිත කුමුදු පිපුණු රාත්‍රියේ ගං තෙරේ වැටී
නුඹ ඇයිද ඔතැන මල්ලියේ
කියන් මට ඉතින්.......
                                   
ඒ යුගයේ රාත්‍රීන්හි ඇත්තෙන්ම නම් පිපුණේ කුමුදු නොව ගිනි මල්ය... ඒත් අප රචකයා කියනුයේ  සිතෙහි කුමුදු පිපෙන සීතල රාත්‍රියක් ගැනය. ඒ රාත්‍රියේ එක්තරා සොහොයුරෙක් ගං තෙරේ වැටී සිටිනු තම සොහොයුරා දකී. ඔහුට මෙය මහත්ම ප්‍රහේලිකාවකි. ඔහු වැටී සිටිනුයේ මෙසේ මල්වතු ඔය ගංතීරයේය. අසනීපයකින් වත්ද? නැතිනම් පමණ ඉක්මවා මධුවිත ගැනීම නිසා වත්ද? මේ මලනුවන් ජීවිකාව ලෙස කළේ එම ඔයේම වැලි ගොඩදැමීමය.
ගං පතුළ සිඹින දෑත ඇයි - නිසසලව දෑලයේ
වැලි මාලිගා කඩා හැලේ - නුඹ දුටුව සිහිනයේ

වෙනදා වැලි සොයමින් ගං පතුළ සිඹින ලද දෑත අද නිසසලව දෑලයේ ඇත. අනේ ඔහු දුටුව සිහිනයේ වැලි මාලිගා කැඩී ඉහිරී බිඳ වැටීඇත. එහෙත් අහුර අහුර නුඹ ගෙනා වැලි වලින් දවසක මහ පවුරක් බැඳෙනු ඇත. ඒ පවුර යට සදා කල්ම නුඹලා වැනි මල්ලිලා වෙනුවෙන් රතු රෝස මල් පිපෙනු ඇත.
වැලි අහුර නුඹ අතින් ගෙනා - මහ පවුර ඉදි කළේ
ඒ පවුර  යට සදා කල් - රතුරෝස මල් පිපේ

ශුද්ධ වූ බලාපොරොත්තුවක් වෙනුවෙන් තම මලණුවන් අකාලයේ තම දිවිය පුදා ඇති බව දකින සංවේදී හදක් ඇති ගීත රචක අයියා කෙනෙකු තුළ ඇතිවූ කම්පනය පිටකළ හොඳම ක්‍රමය මෙය විය යුතුය.එලෙසින්ම  මීට වඩා උපහාරයක් ඒ මල්ලී වෙනුවෙන් ඔහුට කළ නොහැකිවනු ඇත.

මෙම විශිෂ්ඨ ගීත රචනයට ණය නොවන සංගීත රචනයක් කිරීමේ අභියෝගය අප සංගීතඥයා සාර්ථකව බාරගෙන නිම කරයි. එහෙත් කිසියම් හේතුවක් නිසා එය ගායනා කිරීමේ අභියෝගය බාර ගැනීමට සිටි ගායන ශිල්පියා විසින් එම අභියෝගය අත හැරීම නිසා එය භාර ගැනීමට සිදුවන්නේ අප සඟවාගෙන සිටින ගායකයාටය. මගේ පෞද්ගලික මතය වනුයේ එය ඔහු විසින් ගායනා කිරීම ගීතයේ වාසනාවකිය යන්නය. මන්ද යත් ගායනයේදී ඔහු ගීතයට එකතුකරන භාවය තවත් කෙනෙකු විසින් එකතු කරාවිද යන්න සැක සහිත බැවිනි.

පද - මහින්ද චන්ද්‍රසේකර, ස්වර - කරුණාරත්න විජේවර්ධන, ගායනය -  සඟවා ඇති ගායකයා
සිත කුමුදු පිපුණු රාත්‍රියේ ගං තෙරේ වැටී
නුඹ ඇයිද ඔතැන මල්ලියේ
කියන් මට ඉතින්.......       

ගං පතුළ සිඹින දෑත ඇයි - නිසසලව දෑලයේ
වැලි මාලිගා කඩා හැලේ - නුඹ දුටුව සිහිනයේ

වැලි අහුර නුඹ හිසින් ගෙනා - මහ පවුර ඉදි කළේ
ඒ පවුර  යට සදා කල් - රතුරෝස මල් පිපේ
 
පද      : මහින්ද චන්ද්‍රසේකර.
ස්වර   : කරුණාරත්න විජේවර්ධන.
හඬ     : සඟවා ඇති ගායකයා.
එම ගීතය මෙතැනින් අසමු.


කුමාර ලියනගේ යනු වර්තමාන තරුණ ගීත රචකයින් අතර ඉහළින්ම සිටින ගීත රචකයෙකි. කවියෙකි. ඔහු සිය ගණනින් ගීත නොලියයි. ලියූ ගීත අතලොස්ස ගීත සියය ගණනකට වඩා වටී. දිවුල්ගනේ ගේ අන්දර යායේ වැවු තාවල්ලේ සක්මන් කරණා අප්පච්චී ඉන් එකකි. සුවිශේෂ වූ පිය ගුණ ගීතයකි. රෝහණ ධර්මකීර්ති මෙහි සංගීත රචකයාවෙයි.

පද - කුමාර ලියනගේ, ස්වර - රෝහණ ධර්මකීර්ති ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

එම ගීතය මෙතනින් අසන්න.


            එසේම දිවුල්නේම ගයන "පද්මා පද්මණී පාතිමා ගෙන් ගිනි දඬු මැද නිදහස සෙව්වේ කවුරුදැයි අසන්න" ගීතයද එවැනිම විශිෂ්ට එකකි. එය තවත් සුවිශේෂ වන්නේ එහි සංගීතයද අප කතා බහ කරන ලද කරුණාරත්න විජේවර්ධන සංගීතඥයාගේම වීමයි. මෙම ගීතය තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ගීතයකැයි කීම අතිශයෝක්තියක් නොවේ.
එම ගීතය මෙතනින් අසන්න.


දිවුල්ගනේම ගයන එහෙත් එතරම් ප්‍රකට නැති කුමාර ලියූ තවත් ගීතයක් මතකයට  නැගෙයි. ඒද  කරුණාරත්න විජේවර්ධන සංගීතඥයා විසින්ම සංගීතවත් කරන ලද ගීතයකි. ඒ
දෙදරු බිසෝ තොටුපලට වරෙන් ගොඩවී
ඔය ගඟ දිය යටින් මිදී - ගෙපැලේ පහනට එළිය අරන්
තොටුපලට වරෙන් ගොඩවී...... යන ගීතයයි.

එම ගීතය අසන්න.



ඉහත ගී ත්‍රිත්වය කුමාර පසුව කළ නිර්මාණයන්ය. කුමාර ලියනගේ ගීත රචකයෙකු ලෙස මම හඳුනාගන්නේ දීපිකා ප්‍රියදර්ශනී විසින් ගයන කොබෙයියනේ අළු කොබෙයියනේ නම් ගීතයෙනි. එහි සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි.

පද - කුමාර ලියනගේ, ස්වර - රෝහණ වීරසිංහ, ගායනය - දීපිකා ප්‍රියදර්ශනී

එම ගීතය මෙතැනින් අසන්න.



මෙය කුමාර ලියනගේ වෙන්වුණු පිටුව යයි වරදවා වටහා නොගන්න. අසම්පූර්ණ හැඳින්වීමකින් ඔහුට අගෞරව නොකරණු වස්ය මෙම කෙටි හැඳින්වීම හෝ කළේ. රසික සමාජය ඔහු සහ එවැනි නිර්මාණ කරුවන් ගැන මීට වඩා සෙවිය බැලිය යුතුය. එය ඉටුවී නැත. එබැවින් එය කළ යුතුම වැඩක් සේ අනාගතයට තබමි.

මේ පෙරවදන අවශ්‍ය වූයේ අප ගායකයා සඟවා තැබීම නිසා කුමාර ලියනගේද අසාධාරණයට ලක්වූ අයුරු පිළිබඳ අවනඩුව කීමටය. අප ගායකයාත් සමගම කුමාර ලියූ විශිෂ්ට රචනා දෙකකින් නිමවුණු ගීත දෙකක්ද සඟවා ගෙන ඇත.
වනස්පති වෙවී වනයට සියක් කල් වසක් පසුකර කිත් යසස් ලබා අපමණ හිඳිනු බැහැ සකී....ගීතය ඉන් එකකි. මා ඒ ගැන දුරට කතා නොකරමි.
එම ගීතය අසන්න.


කුමාර ලියනගේගේ මෙහි ඇති අනෙක් ගීතය පෙර ගීතයට වඩා විශිෂ්ට යැයි මට හිතේ. එහි වස්තු විෂයය මෙන්ම ලියැවුණු ආකෘතිය සහ යෙදුම් ඉතා මනරම්ය. මෙහි කථාබහට ලක්වනුයේ ගමේ නාඩගං පොළේ මනමේ කුමරිට පණ දුන් යෞවනිය කොළඹ කලා ලෝකයේ දොර කවුළු විවර කරගත් පසු ඇගේ යොවුන් වියේ දොර කවුළු බිඳ වැටීමේ ඛේදවාචකයයි. කෙසේ වෙතත් මේ ගීතය අසන සෑම විටෙකම රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ, කපුගේ ශූරීන් සංගීතවත කළ, ජානක වික්‍රමසිංහ විසින් ගයනු ලැබූ සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ ගීතය මගේ මතකයට එයි. ආකෘතිකමය වශයෙන් මේ ගීත දෙකෙහි වෙනසක් ඇතිවා වුවද අනුභූතිය වශයෙන් ගත්විට සමාන කමක් දක්වයි. එසේම මෙම ගීත දෙකෙහිම රසිකයින් සංවේදනය කරන පරාසය එකක්ම යැයි සිතේ. එබැවින්ම මෙම කථා බහ අස්සේ එම ගීතය ගැනද බිඳක් හෝ කථාකළ යුතු යැයි හැ‍ඟේ.
සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා - අවසන් කටයුතු කළා....

ගමේ නාඩගංපොළේ - කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්ට කොළොම් තොටට ඉගිළුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා......

වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඩන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා.......

පද      : රත්න ශ්‍රී විජේසිංහ
ස්වර   : විශාරද ගුණදාස කපුගේ
හඬ     : ජානක වික්‍රමසිංහ

එම ගීතය මෙතැනින් අසන්න.

පද - රත්න ශ්‍රී විජේසිංහ, ස්වර - ගුණදාස කපුගේ, ගැයුම - ජානක වික්‍රමසිංහ

රත්න ශ්‍රී මෙම ගීතයෙන් ගමේ නාඩගම් පොළෙහි රැඟූ සඳ කිඳුරියට වුණු විපතක් මනාව  ගැන ගෙනහැර දක්වනු  ලබයි.
එදා සඳ කිඳුරිට ඇන්ද ඇය, කිඳුරාව ගමේ තනිකර දමා, කොළොම් තොටට ඉගිලුනි. ඒ අනෙකකට නොවේ. මුළදී ප්‍රසිද්ධිය සහ ජනප්‍රියතාව උදෙසාද දෙවනුව හැකියාවන් සහ ආත්මය විකුණා මුදල් ඉපැයීමද උදෙසාය. මේ සිදුවීමෙන් ගමද කිඳුරාද බොහෝ සේ කම්පා වුණි. මේ කම්පා වීම ඈ ඔහුව දමා යාම පිළිබඳව ම නොවේ. නගරයේ සිට පැමිණි එකියක් කිවූ තොරතුරක් නිසාවෙනි. ඇය ගමට මෙම තොරතුරු කියා සිටියේ හැඬූ කඳුළිනි. හඬන්නට තරම් දේ එම තොරතුරෙහි විය. අවසන් ප්‍රතිඵලය වූයේ ශෝකය දරණු බැරිවී කිඳුරාගේ ළය පැලී මියයාමයි.
මා සඳ කිඳුරා මියැදුනා ගීතයේ අන්තර්ගතය විග්‍රහ කළේ සැකවිනි. අතුරු කථාවක් වන බැවිනි. දැන් අප අපට සෘජුව අදාල වන ගීතයට යොමුවිය යුතුය. මෙම ගීතයෙහි සහ පෙර කී ගීතයෙහි ඇති සමානකම් සහ අසමාන කම් විමසා බලන්න.
නිල් සලරුවේ රඟන - මනමේ කුමරිය නුඹ නාඩගම් පොළේ
ගමේ රඟබිමේ
පැරදී එදා දුන්න - මට මගෙ කඩුව දෙන්න
වැදි රජතුමණි නාටකේ.....

පෙර ගීතයේ කතා බහ සඳකිඳුරු නාඩගම පිළිබඳවය. මෙම ගීතය මනමෙ ගැනය. ඒත් වේදිකාව ගැමි රඟමඩලම ය. මෙහි නාටිකාංගනාව කොළොම් තොටට ගොස් නටන්නේ එසේ මෙසේ නැටුමක් නොවේ. නිල් සලරුවේ රඟන යනුවෙන් කියන්නේ ඒ නැටුමේ රඟයි. එහෙත් සඳ කිඳුරා මියැදුනා ගිතයේ එය එතරම් සෘජුව නොකියවෙයි. එහි කියන්නේ කන කෙකිනිය ගමට ඇවිත් ඇය ගැන කියා හැඬූ බවකි. එහෙත් මේ දෙකෙන්ම කියවෙන්නේ එකක්මය.
මල් පිපිලා සංකර කොලොම් මහ වනේ
ණය වී කදිම රුවට පිපුණු එළලියේ
පෙම් බැඳ කාසිවලට ඉගිලිලා ගියේ
ගලවා සිනිඳු සේල ගමට විසිකළේ.....

නගරයට අනුව හැඩ ගැසිමට ඇය කළ යුතු දේ බොහෝය. මුළින්ම ගැමිකම හැර  දමා ඈ සංකර විය යුතුය. සංකර වීමට මුදල් නැතිව බැරිය. ඒ මට්ටමෙන් මුදල් ඉපයීමට නම් හැඳ සිටින සළු පිළි උනා දැමිය යුතුය. එහෙත් ගම පිළිබඳ මතකය එසේ සළු පිළි උනා දැමීමට බාධාවකි. එබැවින් උනා දැමූ සළු පිළි ගම පිළිබඳ මතකයද සමගම පෙරලා ගමටම විසිකළ යුතුය...
මොලවා අතමිට රොන් සලා පුරවරේ
සැතපෙනවද ඇහැරී නපුරු සිහිනයේ
සිපබඳ මුව මී රසපොවන ආදරේ
විසිතුරු සළුපොට සේද සළෙලියේ.........

වැඩි විස්තර අනැවිසිය. විසිතුරු  සළුපිලි  උනා දමමින් ඇය අද නටන නාඩගම මනාව පැහැදිලිය.
නිල් සලරුවේ රඟන ගීතය අසන්න.




මිතුරු ආනන්ද හේවා රන්හිඳගේ මිය ගිය බව දිනක් දැනගන්නට යෙදුනි.ඔහු මිය ගියේ අකාලයේ වීමය අපට ඇති දුක. එහෙත් මිය යන්නට පෙර ආනන්ද විසින් නොමියෙන ගීත කිහිපයක් ලියා තියා මිය යන්නට යෙදුනි. එබැවින් ඔහු නාම ගොත්තන් නජීරති වෙයි.
  
මතක් වන එක් ගිතයකි
අහස නුඹ මෙතරම් සැඩයැයි ගීතය. මා දන්නා තරමින් මෙය කළින් නිමකළ තනුවකට වදන යෙදූවකි.එය නමුත් හැබෑම දස්කමකි.
අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොලොව නුඹ මෙතරම් රළු යැයි දැනුනෙ නියඟය ආවාමයි....

කළින් තැනූ තනුවකට මෙතරම් සොඳුරු වදන් ගොනු කිරීමට ඔහු කොතරම් රසවතෙකු විය යුතුද?
රෑට තරු ඉසිනා අහසට - අඳුරු සිත් ලැබුණේ කොහොමද //
නේක මල් සදනා පොලොවට නපුරු සිත් කොයිබින් ලැබුණෙද.....

නීල ඉඳුවර පෑ අහසට - කඳුළු වැසි දුන්නේ කවුරුද
පලා පෑ ඉසිළූ මිහිමත නියං ඇතිරූයේ කවුරුද......

අහස නුඹ මෙතරම් මෙතනින් රස විඳිමු.


ආනන්ද ගේ තවත් ජනප්‍රිය ගියක් වෙයි. සමාවෙන්න ජනප්‍රියද නැතිද මම නොදනිමි. මා ප්‍රිය කරන ගීතයක් වෙයි. එය ගයන්නේ ජානක වික්‍රමසිංහ  විසිනි. එනම්
හඳයෝ සැමදා නුඹ පණ සේම රැකගන්නා.... ගීතයයි. ඒ ගැන විග්‍රහ නොකරමි. ඒත් ගීතය මෙහි අසා ඉදිරියට යමු.
හඳයෝ ගීතය මෙතැනින් අසමු......



ආනන්ද අප ගායකයාට ලියූ ගිතයක් වෙයි. එය කිහිප දෙනෙකුටම ලබා දුන්නද අන් සියල්ලම අතින් එය ගිලිහී තිබුණි. අවසානයට දුටුවේ අතුරුදහන් වූ ගායකයා ළඟ තිබියදීය.

අපේ ගමේ එක හූවකින් එක සැනින් කළ වැඩ කප්පරක්
දිවි ඇති  තුරා වෙහෙසී වුණත් කරගන්න අද බැරි හැටි බලන්

ගම මියැදීම මෙහි හරයයි. ගමේ මළගම සිදුවී ඇති බව අන් අයුරකින් කියා පෑමකි මෙය. අද නමට ගමය. එහෙත් එහි ගම නැත. ඛේදවාචකය නම් නගරයද එහි නැත.
මේ  කියන්නේ එදා ගමේ තිබූ අත්තම් ක්‍රමය ගැනය. අන්‍යෙනෙ සහජීවනය ගැනය. පිටින් උදවු අනවශ්‍යය. හරියට ඒ කාලේ මරණ දැන්වීම් වල මල් වඩම් අනවශ්‍යය කියුවාක් බඳුය.
වහලෙට නැගී හැඬවූ සැනින් - හූවෙන් රැළක් ආවා ලෙසින්
අත් දහසකින් හැම දේ වුණා - විස්කම් දෙවිඳු වැඩියා වගේ

ඒ කාලේ උළු වැසූ ගෙයක් ගමකට එකක්වත් නොමැතිතරම්ය..... තිබුණේම පොල් අතු නිවෙස්ය. පොල් අතු නිවෙස් වලට කාලෙන් කාලෙට අතු බැඳිය යුතුය. අතු බැඳීම තනියම කළ හැකි දෙයක් නොවේ. ගමේ එකෙකුගේ හෙවන සැලසුම සඳහා අනෙකුන්ද රොක්වෙයි. කළ යුත්තේ වහලයට නැගී එක හූවක් කීම පමණි. හතර වටින් පිරිවර රොක්වෙන්නට ගතවන්නේ මිනිත්තු කිහිපයකි. ඉන් පසු වැඩ කටයුතු සිදුවන්නේ විශ්වකර්මයා පැමිණියා සේය. අත් දහසකින් වැඩ කටයුතු කෙරෙයි. මගේ දිවියේ පළමු අවුරුදු 9 ම ගෙවුනේ පොල් අතු හෙවිල්ලූ නිවසකය. එබැවින් මේ සිදුවීම් මගේ කුඩාකල මතකයට බොහෝ සමීපය.
එහෙත් අද තත්වය කෙබඳුද?
හුළු අතු බැඳන් මහ රෑ පවා - දුකබෙදා ගන්නට ආ එවුන්
එළි රැස් නිවා සැඟවී ගොසින් - ගම පුරා කළුවර දවටමින්....

එදා ලෙඩකදී දුකකදී ගමේ වුන් ආවේ හුළු අතු බැඳන් සතා සිපාවන්ගේ අනතුරද නොතකාය. එහෙත් අද දවසේ තත්වය කෙබඳුද... සියල්ල දුකකදී  වැලපීමකදී වුව නොඇසූ කන්ව හිඳින්නට පුරුදුව සිටි. එදා දුකකදී  මහ රෑ වුවද ගමම එළිය කළ පහන් ටැම් නිවී ගොසිනි. කෙටියෙන්ම කියතොත් ගම මිය ගොසිනි. ගම නම්වූ විශාල භූමි ප්‍රදේශයක්වෙයි. එහෙත් එය ගමක් නොවේමය. ගැමියන් නම් වූ ජන කොට්ඨාශයක් එහි වෙසෙයි. එහෙත් ඒ ගැමියන් නොවේමය. මේ එදා තිබූ ගම ගැන සොඳුරු මතකයක් පමණකි.
අපේ ගමේ එක හූවකින් එක සැනින් කළ වැඩ කප්පරක්
දිවි ඇති  තුරා වෙහෙසී වුණත් කරගන්න අද බැරි හැටි බලන්

වහලෙට නැගීහැඬවූ සැනින් - හූවෙන් රෑළක් ආවා ලෙසින්
අත් දහසකින් හැම දේ වුණා - විස්කම් දෙවිඳු වැඩියා වගේ

හුළු අතු බැඳන් මහ රෑ පවා - දුකබෙදා ගන්නට ආ එවුන්
එළි රැස් නිවා සැඟවී ගොසින් - ගම පුරා කළුවර දවටමින්....

පද      : ආනන්ද හේවා රංහිඳගේ
ස්වර   : විශාරද කරුණාරත්න විජේවර්ධන.
හඬ     : පැහැරගනු ලැබූ ගායකයාගේ.
අපේ ගමේ ගීතය මෙතැනින් අසමු......





වසන්ත දුක්ගන්නාරාල හෙවත් දුකා මගේ විශ්ව විද්‍යාල සගයෙක්. ඒ විතරක් නොවෙයි අපි එක බෝඩිං සගයෝ. ලියන්න පටන් ගත් මුල්ම කාලෙ අපි එකටමයි කවු ගී ලිවුවේ. මට මතකයි ඒ දවස්වල් දුකා ලියපු වේරලියද්ද ගයපු පින් මන්ද රංග භූමියේ ගීතය. දුකා ඒ දවස්වල සිටම නිර්මාණ කරණයේදීත් සාමාන්‍ය ජීවිතයේදීත් හිතුවක්කාර චරිතයක්. ඔහු මෙම ගීතයට සිංහබාහු නාටකයත් මනමේ නාටකයත් එකට පැටළුවා. එහෙම පැටළුවාට පස්සේ බිහිවෙන්නේ උත්ප්‍රාසය. ඒ උත්ප්‍රාසය තමයි මේ ගීතයේ උත්කර්ෂය. මේ විමසුමට සෘජුව අදාල නොවුනට දුකාගෙ මේ ගීතය නොඅසා ඉදිරියට යන්න බෑ. 
පින් මන්ද රංග භූමියේ - පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනින් පිටවෙලා ගියේ - මං සිහයාට බයයි නංගියේ...

වැදි රජු සමගන් අවසැඟ - මනමේ කුමරිට රැවටුන
මනමේ කුමර මමයි නංගියේ - ධනුධර වුණාට ඉහත සන්දියේ
මං සිංහයාට බයයි නංගියේ...

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට - වෙඬරු සදිසි උණුවෙන සිත් මිස
තිරය මෑත් කරණ වංගියේ
අසිපත ගෙන නුඹ කොයි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ...

පද                         : වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල
ස්වර සහ හඬ          : සේනානායක වේරලියැද්දේ

මේ ගීතය මෙතැනින් අසමු.



මේ දුකා ලියන ගීතයක් කරුණාරත්න විජේවර්ධන සංගීතඥයා විසින් අපූරුවට සංගිතවත් කරනවා. එය ගායනය කරන්නේ මාලිනි බුලත්සිංහල සමග පැහැරගැනීමට ලක්වුණු ගායකයා. මෙයත් යම් මට්ටමකට හිතුවක්කාර ගීත රචනයක් ලෙසයි මම හිතන්නේ.

පද - වසන්ත දුක්ගන්නාරාළ, ස්වර - කරුණාරත්න විජේවර්ධන, ගැයුම - මාලනී බුලත්සිංහල සමඟ පැහැර ගත් ගායකයා
නුඹ මලක් බව නම් සැබැයි
ඔබ බමර කුලයෙද සැකයි
මල් සුවඳ මා මත් කරයි
දළ පහස විඳිනට බයයි....

මෙම යුවලගේ ප්‍රේම සංවාදය සරල බොළඳ පෙම් වදන් හුවමාරුවකට එහා ගොස් ගැඹුරක් දාර්ශනික බවක් එකතුකරයි. එකිනෙකා ප්‍රශ්න කොටගැනීමක්ද එහිම වෙයි. ප්‍රේමය යනු හුදු රැවටීමක් නොවිය යුතු බව මෙනෙහි කිරීමට මෙම ගීතය විඳින්නාට ඉඩ සලසයි. ප්‍රේමය නිසාම පෙම්වතෙකුගේ හෝ පෙම්වතියකගේ කියුම් කෙරුම් හැසිරීම් ප්‍රශ්න කිරීමක් නොකොටම බාර ගතයුතුය යන පනවා ගත් රීතිය බිඳිය යුතු බව මෙහිදී නිහඬව යෝජනා කරයි. 
නුඹෙන් පමණයි රොන් යදින්නේ මට අවසරයි
පෙතිසැලී ගිය සැනින් ඔබ පලා ගියොතින් මං අසරණයි...
මී මැසි කුලේ මිස දෙඹර කුලයේ නොවෙයි
වෙනස හඳුනා ගන්නතුරු මම පිවිතුරුයි......

නුඹෙන් පමණයි රොන් යදින්නේ යනුවෙන් පටන්ගෙන මල් පොකුරෙම මල්වල රොන්ගන්නා බමරු දුලබ නොවෙයි. මේ සත්‍යය දන්නා නිසාම ඈ සිය ආරක්ෂාව ගැන සිතයි...ඒ නිසාම මල නොතලා රේණු තලා රොන්ගැනීමට ඉඩදීමක් ගැන සිතීමට ඇය බියවෙයි.... ඒ බිය සැක තිබෙනතුරු ඇය නොඉඳුල් බව රැකගනී....
මගේතටු මම සිඳ දමා ගනියි සිත මට කියයි
පෙති විදා රඟන්නෙම් මම ඔබ මගේ නම් මා විකසිතයි
සොයන්නේ මා සෙනේ මිස රොන් නොවෙයි
පුදන්නෙත් මා සිත මිසක මල් රොන් නොවෙයි...

ඇය ඉදිරියේ ඔහු පෙම සත්තකැයි කීමට ඔහුට හැකි වන්නේ කල් ක්‍රියාවෙන්ම සාධාරණ සැකයක් මතු නොවන සේම ඔප්පු කිරීමෙන් පමණකි. ඇයද එසේමය. සත්‍ය වශයෙන්ම මේ මලේ අයිතිය ඔහු පතන්නේ ආදරය මුදුනේ තබාගෙන නම් ඇය ඔහු වටා විකසිතව පෙතිවිදා රඟනු නොඅනුමානය. ඔහු ඇගෙන් සොයනුයේ සැබෑ පෙමමය. එය එසේනම් පෙරලා ඇයද ඔහුට පුදන්නේ මල් රොන් නොව පිවිතුරු සෙනෙහසයි.
නුඹ මලක් බව නම් සැබැයි
ඔබ බමර කුලයෙද සැකයි
මල් සුවඳ මා මත් කරයි
දළ පහස විඳිනට බයයි....

නුඹෙන් පමණයි රොන් යදින්නේ මට අවසරයි
පෙතිසැලී ගිය සැනින් ඔබ පලා ගියොතින් මං අසරණයි...
මී මැසි කුලේ මිස දෙඹර කුලයේ නොවෙයි
වෙනස හඳුනා ගන්නතුරු මම පිවිතුරුයි......

මගේතටු මම සිඳ දමා ගනියි සිත මට කියයි
පෙති විදා රඟන්නෙම් මම ඔබ මගේ නම් මා විකසිතයි
සොයන්නේ මා සෙනේ මිස රොන් නොවෙයි
පුදන්නෙත් මා සිත මිසක මල් රොන් නොවෙයි...

පද      : වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල
ස්වර   : කරුණාරත්න විජේවර්ධන
හඬ     :පැහැර ගැනීමට ලක්වුණු ගායකයා

ගීතය මෙතනින් අසන්න.



පැහැර ගැනීමට ලක්වුණු ගායකයා රජරටින් බිහිවූවෙක් නිසාදෝ රජරටවන්නි ගම් ප්‍රදේශවලටද ආවේණික දේ කෙරෙහි ඇති නැඹුරුවද ඔහුගේ ගී දහරාවේ දැකිය හැකි ලකුණකි. ඔහු ඉන් සීමා පනවා නොගනී. ඔහු එයින් පෝෂණය ලබනු දැකියහැකි වෙයි. අනුරාධපුර උඩ මළුවට විශේෂයෙන් පොහෝ දිනක යන්නෙකුට මළුව දිහාම බලාන හිටියොත් පෙනෙනුයේ දහසක් බැතිමතුන් ගෙන එන නෙක වර්ණ නෙක් සුවඳ පිවිතුරු මල් කඳුය. ඔවුන් ඒ මල් රැගෙන එනු ලබන්නේ මහත්වූ බැතියෙනි. ඔවුන් රැගෙන එන මල් පුදා තම සිත් සතන් සැහැල්ලු කරගනී. එහෙත් ඔවුනගේ සැහැල්ලුව එක් අයෙකුට පමණක් මහ බරක් වෙයි.
පිනේ බරට කද වැනෙමින් - ගාටනවා අප්පච්චී
නුඹේ  කරට බර වැඩිදෝ - පින්බරවූ මල් වට්ටී

උඩ මළුවේ කඳු කඳු හැදෙන බැතිමතුන් රැගෙන එන මල් තවෙකෙකුට බරක්වනු ඇතැයි කිසිවකු කෙදිනකවත් නොහිතන්නට ඇත. ඇත්තටම නම් මම වුවත් ඒ ගැන හිතන්නට පෙළඹුනේ මේ ගීතයඇසීමෙන් අනතුරුවයි.
ඇලේ දොලේ වැව් ඉවුරේ - ගහේ වැලේ වන වදුලේ
නෙක පාටින් සුපිපුණු මල්
වර්ණගන්ධ ගුණෝපේත
බුදුන් පුදට බුදු ගෙට වැඩියේ අප කුසගිනි නිවාලමින්
උපාසකම්මේ නුඹටත් මල් වට්ටයෙ බර දැනුනාදෝ.....

මෙම ගීතයේ ඉහත පාදය විමසන කල මෙහි තවත් අතුරු කතාවත්ද ඇතැයි සිතේ. එනම් මේ ගීත රචකයා ආරෝපිත වී ඇත්තේ මළුවට එන බැතිමතුන්ට මල් විකුණන දරුවෙකුටය යන්නයි.මක් නිසාද? 
වර්ණගන්ධ ගුණෝපේත
බුදුන් පුදට බුදු ගෙට වැඩියේ අප කුසගිනි නිවාලමින්
උපාසකම්මේ නුඹටත් මල් වට්ටයෙ බර දැනුනාදෝ.....

එම මල් බුදුගෙට වැඩියේ සිය කුසගිනි නිවාලමින් නම් මේ ගීතයේ ඇත්තේ මල් විකුණන දරුවෙකුගේ දෘෂ්ටියයි. එය එසේ නම් මේ මල් මළුවෙන් ඉවතට මල් කද අදිනු ලබන්නේ ඔවුනගේ පියාය
.
සල්ලි කොලෙන් ගොටු හදලා - පොකැට්ටුවෙන් බරතියලා
බුදුන් පුදට වඩිණා මල් - හිමිපාමුල මල් කඳු හැදුනේ
කඳු කද අදිනා කුලියෙන් අප්පච්චී හිත පුරුණාදෝ
පින් බර වූ මල් වට්ටී නුඹේ කරට බර වැඩිවීදෝ.....


මල් විකුණන්නේ පිනට නොවේ. එසේම මළුවේ ගොඩ ගැහෙන මල් ඉවතට ගෙන යනු ලබන්නේද පිනට නොවේ. එම මුදලිනි ඔවුන් ජීවිකාව ගැටගසාගන්නේ. ඒත් ඒ මුදලින් ඔවුනගේ සිත් පිරෙණු ඇතිද? සිත් පුරවා කුස් පුරවනු ඇතිද? පින් බරවූ මේ මල් වට්ටි අප්පච්චිගේ කරට කොතරම් නම් බරක් වන්නට ඇතිද?

ගේය පද - සනත් චන්ද්‍රසේකර, ස්වර -  කරුණාරත්න විජේවර්ධන, ගායනය - අතුරුදහන් කළ ගායකයා

පිනේ බරට ගීතය අසා යමු.

 


මෙවැනි ගීතයක් තෝරාගැනීම මහත්ම අභියෝගයකි. එහෙත් අප ගායකයා නොබියව ඒ අභියෝගයට අතගසයි. මේ ගීතය සංගීතවත් කර ඇති සංගීතඥ කරුණාරත්න විජේවර්ධන මෙහිදී නිමවන්නේ ඉතා අනගි සංගීතයකි. ඔහු යොදාගන්නා සංගීත භාණ්ඩ සහ ඒවාගෙන් උපද්දවන සංගීත ඛණ්ඩ ගීතයට සුදුසු පරිසරය මවයි. එමෙන්ම මෙහි තනුව සෑම විටම ඉල්ලා සිටින්නේ හැඟීම් ගායනයකි. සංගීතඥ කරු ඉල්ලන ඒ හැඟීම් ගායනය නොමසුරුව දෙන්නට අප ගායකයා ඉහළින්ම සමත් වී ඇත. මෙය නම් එක්තරා අහම්බයකි. ඒ අනෙකක් නොව අප ගායකයා හා සංගීතඥ කරුණාරත්න විජේවර්ධන අතර ඇති මහා සම්බන්ධය හා මහා අවබෝධයයි. ගායකයා සංගීතඥයාගේ හෙවනැල්ල බවට පත්ව ඇතිවා සේ මහා අවබෝධයකින්  කරු මතුකරන සංගීත හැගීම් අප ගායකයා විසින් ගයන ආකාරයෙන් පැහැදිලි වෙයි. තවත් අහම්බයක් සේම අරුමයක් වන්නේ අප ගායකයා ගයන ගීත  සියල්ලේම සංගීත නිර්මාණය  කරුණාරත්න විජේවර්ධන වීමයි.
ගායකයෙක් අතුරුදන් කර සඟවා තිබියදී ඔහුගේ ගීත ගැන කෙරෙන කතා බහ පසෙක තබා ඊට විරෝධයේ අවි එසවිය යුතු වුවද තවත් ගීයක් දෙකක් ගැන නොසලකා විරෝධතා ව්‍යාපාරයට එක් වීමට මට සිත් නොදේ. ගීත ගැන කතාකිරීම කලා කටයුත්තකි. අතුරුදන්වුවන් පිළිබඳ විරෝධතා ව්‍යාපාර දේශපාලනික කටයුත්තකි. ඉතින් වඩා කැමති කලා කටයුත්තට බැවිනි.
කරුණාරත්න ජයතිලක එක්තරා නාට්‍ය පිටපතක් ලියනවා. කරුණාරත්න විජේවර්ධන එය ගීත නාටකයක් බවට පත්කරනවා සිය සංගීතයෙන්. එම සංගීතය ශ්‍රවණය කරන අප ගායකයා එම ගීත නාටකයේ නළුවකු බවට පත්වෙනවා. ගීත නාටකයේ නම පෙරහැර. මේ පෙරහැර කිවූ සැනින් මතක්වන නන්දා මාලිනියගේ ගීතයක් තියෙනවා. එය සුනිල් ආරියරත්නයන් විසින් තමයි ලියලා තිබුණේ.
පෙරහැර එනවා - කස පුපුරණවා
හේවිසි නද පතුරනවා
කසකරුවන්ගේ දහදිය මුගුරින්
පා වඩ මග අතුරණවා....

යදමින් බැඳි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේ
යන ගමනේ ඉම දැකගනු රිසියෙනි - ඇත් ගොවුවන් ගාටන්නේ...

පෙරහැරක් තුළ සැඟවුණු දහදිය කඳුළු දුක් කන්දරාවක් ගීතයට වස්තු විෂයය වී ඇත්තේ. එම ගීතය අත නොහැර අපේ පෙරහැර ගැන කතාකරන්න සිත් නොදෙන හෙයිනි මේ පුංචි සටහන.
එම ගීතය අසා යමු.



      එකම අනුභූතිය වුව දක්ෂ නිර්මාණකරුවන් දෙදෙනෙකු තුරුළේ ඇති දැඩිවී නිර්මාණ බවට පත්වන්නේ වෙනත් ගති ලක්ෂන පෙන්වමින්. කරුණාරත්න ජයතිලක විසින් රචනා කළ පෙරහැර සහ සුනිල් ආරියරත්නයන් රචනා කළ පෙරහැර වෙනස්ම නිර්මාණ දෙකක් වන්නේ එලෙසිනි.
අප්පච්චිල බෙර ගහනව - අපි නට නට යං - අපි නට නට යං
පෙරහැර යන කං - අපි නට නට යං......

මේ ගී දෙකෙහිම මතුපිට පෙනුම පෙරහැර වුවද යටි අරුතෙහි ඇත්තේ ඊට වැඩි ගැඹුරු දේශපාලනික අරුතකැයි මට සිතේ. අප්පච්චිල බෙර ගහන නිසා පෙරහැර නොනවත්වාම ගමන් කරයි. දරුවන්ට පෙරහැර යනතුරු ඒ පෙරහැරේම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නට නට යන්නට සිදුවී ඇත. නැතිනම් පෙරහැර හමාර වනතුරු බකන්නිලාගෙන ඉන්නට සිදුව ඇත. මෙහි වැඩිපුරම ඇත්තේ පෙරහැරාලංකාරයට වඩා දේශපාලන අරුතකිය යන්න ඊළඟ කොටස විමසූ විට තවත් පැහැදිලිවෙයි.
අප්පච්චිල බෙර බැඳගෙන ගහන පදවලින්
පන්දම් ගිනි බෝල මැදින් නටයි වෙස් නැටුම්
රබන් කරකවයි - කලගෙඩි නැටුම් උඩ පිණුම්
අපිටත් ඉහළින් යයි බොරු කකුල් කාරයින්....

අප්පච්චිලා බෙර බැඳගෙන ගහන විට විවිධ නැටුම් රඟ දැක්වෙයි. හොඳම දෙය නම් පෙරහැර ගමනට තාලය දෙනවුන්ට වඩා බොරුකාරයින් ඉහළින් වැජඹීමයි. මෙය අද සිදුවන සමාජ ප්‍රපංචයමය.
සද්ද බද්ද නැතිව ගියතක් පෙරහැර මැද්දෙන්
අලි ඇතුන්ට නිලමෙලාට හරි ගරු බුහුමන්
හිතට හරිම දුකයි අපේ අප්පච්චිට නම්
නිලමෙ කෙනෙක් වෙන්න බැරිලුබෙරේ ගහනකං....

බෙර හඬක් නොවේනම් එහි පෙරහැරක් කොහිද? පෙරහැරේ ආත්මය බෙරපදයයි. එනම් පෙරහැරේ ගාමක බලවේගය බෙරය සහ බෙරකරුයි. නමුත් පෙරහැරේ සියළු ගරු බුහුමන් කිසිදු නිර්මාණශීලී දායකත්වයක් නැති නිහඬ කම්මැලි ගමනින් යන නිලමෙලාට සහ අලි ඇතුන්ටය. මේ අතරේම රචකයා තවත් සමාජ යථාර්ථයක් නිරුපනය කිරීමට උත්සාහ දරයි. එනම් සමාජයට කොතෙකුත් වැඩ දායක වුවද කුල ක්‍රමය මත පදනම්වුණු අතීත හංවඩුව සමාජයට වැඩ දායක පුද්ගලයින් අභබවා නිකමුන්ට වැජඹෙන්නට ඉඩ දී ඇත.
හිතට හරිම දුකයි අපේ අප්පච්චිට නම්
නිලමෙ කෙනෙක් වෙන්න බැරිලු බෙරේ ගහනකං.........

අප්පච්චිල බෙර ගහනව - අපි නට නට යං - අපි නට නට යං
පෙරහැර යන කං - අපි නට නට යං......
අප්පච්චිල බෙර බැඳගෙන ගහන පදවලින්
පන්දම් ගිනි බෝල මැදින් නටයි වෙස් නැටුම්
රබන් කරකවයි - කලගෙඩි නැටුම් උඩ පිණුම්
අපිටත් ඉහළින් යයි බොරු කකුල් කාරයින්....
සද්ද බද්ද නැතිව ගියතක් පෙරහැර මැද්දෙන්
අලි ඇතුන්ට නිලමෙලාට හරි ගරු බුහුමන්
හිතට හරිම දුකයි අපේ අප්පච්චිට නම්
නිලමෙ කෙනෙක් වෙන්න බැරිලු බෙරේ ගහනකං....

පද      : කරුණාරත්න ජයතිලක
ස්වර   : කරුණාරත්න විජේවර්ධන
හඬ     : පැහැර ගැනීමට ලක්වුණු ගායකයා


සඟවාගෙන සිටින ගායකයාගේ හොඳම හැඟීම් ගායනාව අසා ඔහු සොයන කඳවුරට එක්වීමට මා වහා යායුතුය. 
කරුණාරත්න ජයතිලක විසින් රචිත කරුණාරත්න විජේවර්ධන විසින් සංගීතවත් කළ මේ ගීතයට හැඟීම් සහ භාවයන් එක් කළ මෙහි යෙදී ඇති නාටකීය කොටස් වලට හඬ මුසුකර ඇති සනත් චන්ද්‍රසේකරද මෙහිලා සිහිපත් කළ යුතුමය. ඔහු එකතු කළ එම හඬ මුසුව හරියටම රන් අබරණක නිල් මැණිකක් එබ්බවූවා බඳුය. ගද්‍යයද පද්‍යයද ගීද සියල්ල අන්තර්ගත මෙය ආකෘතිකමය පෙලහරකැයි කීම වරදක් නැත.
මේ ගීතය ගැන වැඩි දුර කතා නොකරන්නේ ඔබ සැමගේ රසිකත්වයට ගරු කරමිනි. අනුන්ගේ අත්වාරුවක් නොමැතිව මේ ගීතය රසවිඳින්නට උත්සාහ ගනිමු. එහි ඇති සැබෑ රසය ඔබට වැටහෙනු නිසැකය.
ජීවිතයේ සැඳෑ සමයේ දරුවන් කැදැල්ලෙන් සිය කැදළි තනා පිටමං වූ පසු ඇතිවන පිය විප්පයෝගය මෙහිදී මොනවට පැහැදිලි වෙයි. එහෙම ඔවුන් තුල මතුවන අසරණ භාවය, අනාරක්ෂිත බව, බලාපොරොත්තු සුන්වීම සේම තමන් හැරදා දුර පියාඹාගියේ වුවද පෙරලා හිතින් දරුවනට දොස් නොතබා ඔවුනටම ආශිර්වාදය පුදන අයුරු අතිශය හැඟුම් බරය. සංවේදීය. රැප් සංගීතයෙන් කාලයක් රසික සවන්පත් හෙම්බත්වූවා ඔබට මතක ඇති. මෙම සංකල්පයම භාවිතා කරමින් ගීතයෙහි පද්‍ය කොටසට මහත් ආලෝකයක් දෙමින් ගද්‍ය කොටසක් මිශ්‍ර කිරීම ඉතා හොඳ අත්හදා බැලීමකි. මෙම සටහනේ දුඹුරු පැහැයෙන් දක්වා ඇත්තේ එම ගද්‍ය කොටස්ය.
හා.... හා....ලැහැස්ති වෙනින්.... ලැහැස්ති වෙනින්....
උඹයි මේ කරත්ත කබලයි තමයි අපි දෙන්නට ඉතුරුවුණේ ඕං....
හහ්.....හහ්.....හ්ම්..... ඉක්මං කොරහං.....
වෙවුලන අතට අත දියං - හෙමිහිට වාරු අරගනින්
අපි යමු මේ ටික දුර පෙම්බර විමලාවතියේ......

කෝ ඉදිං.... මං උඹව ගොඩ කරන්න.....
ඉතිං ඕං ආයෙත් උඹේ තොළ කට වෙව්ලනවා...
මොනවා කරන්නද විමලාවතී.....
අපි කවදා වුනත් යනවා...
එහෙම හිතලාවත් හිත හදා ගනිමු....
දරුවෝ....උන් හැමදාම අපි ළඟ ඉන්නවායැ....
දරුවන් හැර ගියාට සතුටින් උන්ගෙ ලෝකයේ
ඒ ඇති සැනසෙන්නට දැන් ඔය කඳුළු පිහගනින්

අපි දෙන්නත් හරියට අබලන් වෙච්ච මේ ගොනයි වාහනයයි වාගෙමයි....
ඔන්න ඔහෙ යමං විමලාවතී....
අපි පන්සල පැත්තෙන් යමු.....
හිටින්.... හිටින් .... මං මේ මල් ටික කඩා දෙන්නම්.....
අරලිය මලේ සුවඳ එදා වගේමයි තාමත්
ලෙන්ගතුකම මා ළය නුඹ වෙනුවෙන්මයි සැමදා...
හා.....හ්ම්..... මයේ අප්පා....
උඹත් ඉතිං හය්යෙන් යන්න හැදුවට ගාටනවා තමයි....
මොනව කරන්නද?..... ඔහොම යමං.....ඔහොම යමං......

පද      : රියන්සි නිහාල්
ස්වර   : කරුණාරත්න විජේවර්ධන
හඬ     : අතුරුදහන් කළ ගායකයා



ඉතින් මා දැන් අප ගායකයා සෙවීමේ මෙහෙයුමට යා යුතුය. මා මෙතෙක් කලබල නොවුනේ හෝඩුවාවක් ලැබී තිබුණු බැවිනි. එනම් එකම පුද්ගලයෙක් තුළ කලා ශිල්පීන් දෙදෙනෙකු ජීවත්වුණි. එකෙකු සංගීතඥයෙකි. අනෙකා ගායකයෙකි.  ඒ අන් කවුරුන්වත් නොව මෙම සියළු ගී සංගීතවත් කළ කරුණාරත්න විජේවර්ධනමය. එනම් මේ සියළු හැඟීම් ගායනාවන් තමන්ගේම සංගිතයට ගායනා කළේ කරුණාරත්න විජේවර්ධනමය. 

සංගීතඥ, ගායන ශිල්පී කරුණාරත්න විජේවර්ධන

දැන් ගැටළුව ඔහුගේ මෙම නිර්මාණ හංගා ඇත්තේ කොහිද යන්නය. එයද සොයාගෙන ඇත. ඒ අප රටේ එෆ්. එම්. නම් වාසගම සහිත ගුවන් විදුලි නාලිකාවල තැටි ගබඩා තුළයි. ඊළඟ ආත්ම භවයකදී හොඳ ගීත ප්‍රියකරන රසිකයින්ට අසන්නට දෙනුවස් ඔවුන් ඒවා මේ ආත්මයේ ප්‍රචාරය නොකොට ආරක්ෂිතව තබා ඇත.
-         යසනාත් ධම්මික බණ්ඩාර  -

18 comments:

  1. /* අනාගත සංගීතඥ අංකුරයක් */

    මං හිතන්නේ ඔබ අදහස් කලේ ඔහු එවකට අංකුරයක්, අනාගත සංගීතඥයෙක් යැයි කියන්න විය යුතුයි!

    ReplyDelete
  2. පද : මහින්ද චන්ද්‍රසේකර.
    ස්වර : කරුණාරත්න විජේවර්ධන.
    හඬ : සඟවා ඇති ගායකයා.

    ඉහත ගීතයේ කියවෙන්නේ සිත කුමුදු පිපුණු රාත්‍රියේ කියායි, සීත කුමුදු නොවේ.

    සීත රාත්‍රියක් තිබුණාට සීත කුමුදු නෑ නොවැ?

    සිත කුමුදු පිපුණා කියන්නේ රෑට සිතේ මල් පිපුණා කියන එක විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. මගේ අදහස වෙනස්. සීත කුමුදු නෑ තමයි. නමුත් සීතලත් තියෙන කුමුදුත් පිපුණු රාත්‍රියක් තියෙන්න පුළුවන්. ඔතන ගීතයේ විරාම ලකුණු නෑනේ. විරාම ලකුණු හිතින් තියාගන්න වෙන්නෙ.සීත වචනයට පසුසේ වරිම ලකුණක් ආවානම් ඔය ගැටළුව මතු වෙන්නේ නෑ. සීත වචනයට පස්සේ කොමාවක් ආවානම් ප්‍රශ්නය විසඳෙනවා....

      Delete
    2. මටද හැඟෙන්නේ සිත නම් සිතෙහි යන අරුතින් යොදා ඇති බවයි .

      Delete
  3. ගායකයා කවුද කියලනම් දන්නේ නැහැ ගොයියෝ. නමුත් ඉතාමත් හරබර ලිපියක්
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ගායකයාත් ඔය ගීත සංගීවත් කළ කරුණාරත්න විජේවර්ධනත් දෙන්නම එක්කෙනාමයි. ඔහු ඉතා හොඳ ගායකයෙක් බව වැටහෙනවා ඇති. ඔහු මතු වුණේ නෑ මේ එෆ්. එම්. නාලිකා ගොන්න තුළින්.... ඒක කණගාටුවට කරුණක්.

      Delete
  4. හදවතට දැනෙන සටහනක්.....

    ReplyDelete
  5. අගනා කට හඬක් නේ සඟවලා තියෙන්නේ ... එෆ් එම් සේවා හැර මේ හඬ එලි පහලියට ගෙනෙන්නට වෙන මගක් නැතිද . මේ ගී ඇසෙන්නට සැලසුවාට ස්තුතියි

    ReplyDelete
  6. //ඊළඟ ආත්ම භවයකදී හොඳ ගීත ප්‍රියකරන රසිකයින්ට අසන්නට දෙනුවස් ඔවුන් ඒවා මේ ආත්මයේ ප්‍රචාරය නොකොට ආරක්ෂිතව තබා ඇත. //

    ඔවුන් මේ ගීත ඊළඟ ආත්මයේදී වත් ප්‍රචාරය කරතැයි සිතන්නට කාරණා නැත :(

    ReplyDelete
  7. අයියා, මේ ගොන්නට වැටෙන තවත් සහෘදයො කීප දෙනෙක්ම ඉන්නව නේද? ධර්මිතීර්ති, නවා .. සහ තවත් අය. කොතනින්ද මේ අයගෙ කිර්මාණ එකතු කරගන්න පුළුවන් වෙන්නෙ අපිට

    ReplyDelete
  8. කරුණාරත්න විජේවර්ධන කියන්නෙ මගේ ජනප්‍රිය වූ ගීත කිහිපයක තනු රචකයා.("වසත් කාලය මනරම්" ඒ අතුරින් එකක්)ඔහුගේ දක්ෂතා පිළිබඳ විවාදයක් නෑ. ඒත් ඔහු කිසිවෙකු විසින් සැඟවූයේ යැයි මා විශ්වාස කරන්නෙ නෑ.ඔහු ක්ෂේස්ත්‍රයට ආවෙත් නවරත්න ගමගේ පැමිණි සමයෙමයි.එකල අදට වඩා හොඳ ශිල්පියෙකුට මතුවෙන්න ඉඩක් තිබුන. ගායක ගායිකාවො රෑනක් ඒ අනුව මතු උනා.(ක්‍රිශාන්ත එරන්දක,ජානක වික්‍රමසිංහ,රොහාන් බුලේගොඩ,සමන් ජයනාත්,දයාන් විතාරණ,නලූ අධිකාරි,කිත්සිරි ජයසේකර)මට මතකයි නවරත්න ගමගේටත් හොඳ ගායන හැකියාවක් තිබුන විජේරත්නට වගේම.නවා ඒකට ප්‍රමුකත්වය දුන්න බවක් අපි දැක්කෙ නෑ.විජේවර්ධනත් ගීත ගැයීමේ උණට වඩා තනු නිර්මාණය ඉස්සරහට ගන්න තමයි වෙහෙසුනේ.ඒත් නවාට ඒ සඳහා නිර්මාණය වූ සාමකාමී හා ඊට දිරි දෙන ගෘහස්ත පරිසරය විජේවර්ධනට තිබුනෙනෑ.එහෙම තිබුණ නම් ඔහු නවරත්නටත් වඩා බොහෝ දුර ගිහින් බවයි මගේ අදහස.විජේවර්ධනට ඒ පරිසරයෙන් මිදීමේ අවශ්‍යතාවක් තිබුනෙත් නෑ.ඔහුගෙ ගායනය තියා සංගීතඥයෙක් හැටියටවත් ඔහු යායුතුව තිබුන තැන නෙවෙයි අද ඉන්නෙ.නවරත්න ගීතය වගේම ටෙලිනාට්‍ය හාචිත්‍රපට සංගීයට පවා අවතීර්ණ වෙද්දි විජේවර්ධනට අනුරාධපුරයට වී ගත කරන්න උනා.ඔහුට නිරවුල් මනසක් ලැබුනෙ නෑ නවරත්නට සාපේක්ෂව.ඒ බව අපි හොඳින් දැන සිටිය.ඒ නිසා ඔහු සතු හැකියාව එළියට ආවෙ හරිම මන්දගාමීව.මම ඒ බව ඔහුට පවසා තියනව විතරක් නෙවෙයි ඔහු ගැයූ ගීතත්,අන් අයට කළතනු නිර්මාණත් එක්කොට සංයුක්ත තැටියක් කරන්නැයි කලකට ඉහත යෝජනා කළා.අද ඔහුට එය කළ හැකියි එදාට වඩා.ඒත් මා නවරත්න වෙතින් දුටු ඉලක්කයක් හඹා යාමේ ගුණය විජේ ගෙන් දුටුවෙ අඩුවෙන්.ඒ නිසා කවුරුවත් මේ ගායකයවත් තනු රචකය වත් සඟවල නෑ.ඩහු අන් අයට පේන මානයට නොපැමිණී තමයි මූලිකව සිදු වුණේ.එතකොට මේ ක්‍රමය තුළ කොතරම් දක්ෂයෙක් උනත් මතුවෙන්නෙ නෑ......

    මා මිතුරු රවි සිරිවර්ධන මෙම සටහන ගැන මූනු පොතට මෙලෙස ලියා තිබුණා. මට එයට පිලිතුරක් තියෙනවා මෙහෙම.

    රවි...., කරුණාරත්න විජේවර්ධන ඔබට මුණගැසුනේ මට ඔහු මුණගැසී බොහෝ කලකට පසු. මට නවා මුණගැහෙන විටම වාගේ තමයි කරුත් මුණගැසුනේ. අපි එකතුවී ( කරු සහ මම ) කළ නිර්මාණ ඔබ දෙපල එකතු වී කළ නිර්මාණ තරමට ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය වෙන්නේ නෑ. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි ගමන් ඇරඹුවේ එකටමයි කිවුවොත් නිවැරදියි. ඒ මුල් යුගය ඉතා දුෂ්කරවුණා. ඔබත් එම අතීතය යම් මට්ටමකට දන්නවා. අපි නිර්මාණ කළේ නොකා නොබී. මුදල් හිගවුණු නිසා. බොහෝ දවස්වල කරුයි මමයි ප්‍රියන්ත ගමගේ - අනුරපුරින් කොළඹට සේන්දුවුණු ඕගන් වාදකයා - රාත්‍රිය පහන් කළේ කොළඹ බස් නැවතුමේ. නැතිනම් දුම්රිය පොලේ. ඒ කාලයේ කරු අන් අයට ගීත හදන ගමන්මන්ම ඔහුටත් ගායනය සඳහා ගීත හදා ගත්තා. ඒවා පටිගත කළා. ගැයුවා. ඒවා මාධයයන්ට ලබා දුන්නා. ඔහු සංගීතවත් කළ බොහෝ ගීත ( අන් අය වෙනුවෙන් ) ජනප්‍රිය වුණාට ඔහුගේ ගීත ජනප්‍රිය වුණේ නෑ. එයට හේතු වුණේ ඒවා ප්‍රධාන වශයෙන්ම ප්‍රචාරය නොකිරීම නිසා. රසිකයින්ට ඇසුනා නම් ජනප්‍රිය වෙනවා සිකුරුයි.
    ඔබ කියන දේ බොහෝ දුරට ඇත්ත. ඒ ඔබ ඔහුව හමුවූ දා සිට දුටු ඇත්ත. ඒත් ඇත්තම ඇත්ත හොයන්න තව ටිකක් එහාට යන්න ඕනෑ වෙනවා. නවරත්නට හොඳටම ගයන්න පුළුවන් වුණත් ගායකයෙකු වීමේ ආශාවක් ඔහුට තිබුණේ ඉතා අඩුවෙන්. ඒත් මම බොහෝ ළඟින් ඇසුරු කළ යුගයේදී කරුට ගායකයෙකු වීමේ මහත් උනන්දුවක් තිබුණා. ඔහුද හොඳටම ගයනවා. මම විශ්වාස කරණ දෙයක් ( මෙයට කවුරුන් හෝ උරණ නොවනු ඇති) කරු විසින් සංගීතවත් කළ සියළු ගීත ( සියළුම ගීත ) ගැයූ ගායක ගායිකාවන්ට වඩා හොඳින් ගයන්නට හැකි කරුටමයි. නවා සංගීතවත්ත කළ ගීත වලින් බොහෝ ගීතත් එහෙමයි. මේ හේතුව නිසාමයි කරුට ගායනා කිරීමේ ආශාවක් ( ගායනා කිරීමේ උණක් නොවේ ) ඇති වුණේ. මේ ලිපියේ සඳහන් ගී සියල්ලම පාහේ ඔහු ඒ කාලයේමයි නිමකළේ. ඒවා මාධයන්ට ලබා දී තිබුණද සංගීතඥයෙකු ලෙසින් කරුට ලද අවස්ථාව ගායකයෙකු ලෙස ලැබුණේ නෑ. ඒක මම ඉතා පැහැදිලිව දන්න දෙයක්.
    මෙහිදී කුටුම්බගත දිවින කරුට ගැටළුවක් වුණා තමයි. අප මෙහි කතාකරන්නේ එයින් ඔහුගේ නිර්මාන දිවියට වූ බලපෑම ගැනයි. එය ඇත්තම ඇත්තක්. ඔහු පෙම්වතෙකු වූ යුගයේ සිටම එය එසේයි. නමුත් ඔහු යුග දිවිය වෙනුවෙන් නිර්මාණ දිවියේ බොහෝ දේ කැප කලා. ඒත් මම මේ ලිපියේ මතු කරන්නට හැදුවේ මුළ සිටම ඔහු නොලද මාධ්‍ය අනුග්‍රහය ගැනයි. අප හට වුවද පොදු ඒ දේ සටහන් නොකිරීම තවත් එවන් දේට අනුබල දීමක් වෙන නිසා මා සඳහන් කළේ. අපටද සමහර මාධ්‍යයන් යම් යම් යුගවල උදවු කළද ක්‍රමයෙන් එම තත්වය වෙනස් වුණා. අද වෙනකොට තත්වය හුඟක් දරුණුයි. අද වෙන විට අප කරණ නිර්මාන ආකාරයේ ගීතවලට තැනක් ලබාගැනීමේ අපහසුතාවක් තියෙනවා. එවන් නිර්මානකරුවන්ටද තැනක් නොලැබෙන තත්වයක් තියෙනවා.
    මෙම සියළු කරුණු සැලකූවිට, රවි, ඔබ කිවූ කරුණු අතර යම් සත්‍ය කරුණු ගැබ්වුවත්, කරුණාරත්න විජේවර්ධනට සංගීතඥයෙකු ලෙස සැලක්ම් ලැබූ අයුරින් නොවේ ගායකයෙකු වශයෙන් සැලකුම් ලැබුවේ යන්න මම තවමත් තරයේ විශ්වාස කරණවා.

    ReplyDelete
  9. Man kemathi geethayak tamayi " mage adara pawasata numba ". Attatama kiyanawa nam man eka ahala tiyennet ekama dawasayi. A jathika rupawahiniye dawasak sinduwa yaddi tama baluwe awurudu ganakata kalin. eta passe sinduwa hewwa hama tanama, sinduwa hariyatama pada tika mathaka nathi nisa hoya ganna bari una. Me article eken sinduwa mathak una,, bohoma sthuthuyi

    ReplyDelete
  10. sunimal balasuriyaAugust 26, 2014 at 12:30 AM

    යසනාත් ඔබට බොහෝ පින් මේ සටහන මේ තරම්ම රසවත් කළාට. අර පරිස්සමින් හැසිරවූ ඔබේ අගනා වදන් වැල් සහ ඒ අතර සැඟවූ ගීත සමුච්චයත් එක් වී අපට තිළිණ කළ රසය වචනයට නගන්නට බැරි තරම්. ඉතින්.. ගායකයා .. දැන් නම් උවමනාවෙන් වත් සැඟවිය නොහේ.

    ReplyDelete
  11. Bohoma hodai... namuth sindu play wenne nane...

    ReplyDelete
  12. මොන තරම් වැඩ කන්දරාවක ගිලිල හිටියත්, ලින්කුවක් ඇස ගැටුනු සැණින්, ඔබේ මේ පූර්විකාවන් කියවන්නට හිත් දෙනව.
    කියෙව්වා ම ඔලුවෙ තිබුණු වැඩ පීඩනය සටස් ගාල අහවර උනා ම, මේ තරම් දිගු ලියැවිල්ලක් කියවන්න සහ අසන්න ගත කළ කාලය පොඩ්ඩක්වත් පාඩු නැහැ කියල හිතෙනව.
    බොහොමත් ම ස්තූතියි මල්ලි.
    ඔබේ මේ සද්කාර්යයට.

    ReplyDelete
  13. සමහර ගීත වල ලින්ක් වැඩ කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ගීත දෙකක හෝ තුනක පමණක් නැත්තේ යම් තාක්ෂණික කරුණක් කිසා එම ගී වාදනය කරන්න ඉඩ නොදෙන බැවිනුයි. යූ ටියුබ් ලින්කු සියල්ල වැඩ.

      Delete