දුම්බර මතකය සමඟ සුදත් ගාමිණී බණ්ඩාර |
හදිසියේ ම සුදත් ගාමිණී බණ්ඩාරත් ඔහුගේ දුම්බර
මතකයත් මතක් වුණා. දුම්බර මතකය කියන්නේ සුදත්
ගාමිණී ගේ දෙවන කවි පොත. නිතැතින්ම හිතට ආවේ ඔහු එහි අඩංගුකොට තිබූ දින පොතක ලියූ කවි මැයෙන් ඉදිරිපත් කළ කවි කිහිපය.
එක්තරා අතීතයකදී මේ කවි කිහිපය, මසිත අතිශයින් ම සංවේදනාවට පත්කළ කවි කිහිපයක් වූ
බැවිනි.
1983 – 04 –
05
මේ
පාළු සීතල රාත්‍රියේ
ඈතින්
ඇසෙන කවියක් වගෙයි
නුඹ
ගැන මතකය
පිච්ච
මල් සුවඳයි උමා
කවුළු
පියන්පත හැර බලමි
මුළු
ලෝකයම අන්ධකාරයි
ඈත
නිල්වන් කඳුමුදුන මත
නුඹ
සැතපෙන ලයින් කාමරයේ
කුප්පි
ලාම්පු එළියවත් නොපෙනෙයි
මා
දෙනෙත ටිකෙන් ටික පියවෙන විට
මරළතෝනියක
හඬ ඈතින් ඇසෙයි
මගේ
හිතතිගැස්සී ඇහැ ඇරෙයි
මිටියාවත
මැදින් ගලායන
බදුලු
ඔය මුමුණන සුපුරුදු ගීතයටත්
අපි
බයවෙන්නෙ ඇයි උමා
මේ
තරම්
ඈත
කඳු මුදුන මත කෝවිලේ
කොත්
කැරළි මත දැල්වෙන බල්බයක
ආලෝකය
මට පෙනෙයි
සමාවෙයන්
උමා
කෝවිලේ
දෙවියන් නැතැයි මට හිතෙයි
සුදත්
ගාමිණි බණ්ඩාර දින පොතක ලියූ කවි යටතේ පළමු කවිය ලෙස මෙහි
පළ කරන්නේ ඉහත කවියයි. එම කවිය මෙසේ පළ කළද පළ නොකළ නමුත් දින පොතේ ලියූ වෙනත් කවි
එමට තියෙන්නට ඇතැයි මට සිතේ. ලියන හැම කවියක්ම පළ කිරීම කවියාගේ සිරිත නොවන
බැවිනි. ඔහු මෙහි කිසියම් ඉඟියක් කරයි. එනම් ඒ යුගයේදී, ඇතිවිය හැකි මහා ගින්නක්
පිළිබඳ පෙර දැක්මකි. මේ ගින්න කුමක්දැයි පසු කාලයක අප මනාකොට අවබෝධ කරගත්තෙමු.
එහෙත් ඊට පෙර කලාකරුවා මේ අළු යට ගිනි දකින්නට සමත් විය.
සුදත්
ගාමිණී ට
මේ පරිසරය සංවේදි වීම අරුමයක් නොවන්නේ ඔහු බදුල්ලේ හාලි ඇල උපන් අයෙකු වීම
නිසයි. කොළු සන්දියේ සිටම උමා පිළිබඳ මතකය ද
පිච්චමල් සුවඳ ද ඔහුට දෙකක් නොව එකක්ම ය. අනෙක නම් සුදත් අතිශය සංවේදී සැබෑ
මිනිසෙකු වීමයි. ඊළඟ කරුණ වනුයේ ඔහු සංවේදී කවියෙකු හා ගීත රචකයෙකු වීමයි.
සුදත් ඒ සමයේ දුටු
දේ සමහර කවීන් ඊට වසර ගණනකට පෙර දුටු බවට ඔවුනගේ සමහර නිර්මාණ උදාහරණ සපයයි. අපි
හැත්තෑව දශකයේ ගීතයක් ගැන විමසමු.
සුදත්ගේ දින පොතක ලියූ කවි ගැන කතාකිරීමේ අදහසින් ලියවෙන
මෙය, හැත්තෑව දශකයේ ගීතය දක්වා ගෙනියන්නට උත්සාහ කරන්නේ මන්දැයි, කෙනෙකු විමසන්නට
ඉඩ ඇත. යම් යම් දේ මතක්වෙන විට, ඒවා සම්පූර්ණයෙන්ම අමතක කොට ඉදිරියට යාමේ
නොහැකියාවක් මා තුළ වෙයි. සමහර විට එය මගේ ලේඛන කලාවේ දුර්වල තැනක් විය හැක. එසේ
වුවත්, එය දුර්වල කමක් වේ නම්, කිසිදිනක මට හදා ගන්නට නොහිතෙන දුර්වල කමකි එය. එයට
හේතුව වන්නේ සමහර සංවේදී මිනිසුන් කිහිපදෙනෙක් මගේ ලේඛනයේ වඩා ම කැමැති ගුණය එම
දුර්වල කම ම යැයි මට කියා ඇති බැවිනි. මා එම මිනිසුන්ට බොහෝ සේ ඇළුම් කරණ බැවින්
ඔවුනගේ කීමට ගරු කොට ඒ ශෛලිය ම ඉදිරියට ගෙන යමි.
හැත්තෑව දශකයේ
දී, අසූව දශකයේ උද්ගතවූ අන්දමේ සිහල දෙමල මහා ගැටුමක් නොවූව ද, යම් යම් නොසන්සුන්
තා පැන නොනැගුණා නොවේ. ඒ නොසන්සුන්තා හැත්තෑව අග භාගයේදී වර්ධනය වී අසූව දශකයේදී
පුපුරා ගියහ. එය අප දේශයේ හදවත තුළ ඇති කළ කැළල අති විශාල විය. එහෙත් මුළ් ම යුගයේ
තිබුණේ නොසන්සුන්තාවකටත් වඩා යම් වෙනස්කම් රැසකි. විශේෂයෙන් සංස්කෘතීන් දෙකක
සාමාජිකයින් හට අහම්බෙන් හෝ එක් වන්නට වන අවස්ථාවක ඔවුන් මුහුණ දෙන සංවේදී ගැටළු
රැසකි. මෙම ගැටළු නිර්මාණ තුළට ගොනු වී ඇති
අවස්ථා එම යුගයේ සුලබ නොවුණද, හොයන්නාට
සොයා ගතහැකි වෙයි. නමුත් නැවතත් මතක් කරගත යුතු වන්නේ මේ එම මැයෙන් ලියැවුණු ගීත ගැන කතා බහක්
නොව, සුදත් ගාමිණී බණ්ඩාර මතක්වීමෙන් ලියන්නට ගත්
සටහනක් බව.
සුනිල් එදිරිසිංහයන්ගේ ගීත ගොන්නට ගීතයක් ලියන වසන්ත කුමාර කොබවකයන්
තංගමනී
මට කවදා සින්න වේද මන්දා
සින්න
වේද අන් හිමි නුඹ ඇන්න යා ද මන්දා.......
යැයි ලියද්දී
පසු යුගයක, මෙවැනි ගීත වලට වඩා හාත්පසින් ම වෙනස් ගීත සිය දහස් ගණනින් ඇවැසි වේ
යැයි නොසිතන්නට ඇත. එහෙත් එය එසේ සිදුවිය.
තංගමනීමට
කවදා සින්න වේද මන්දා
සින්න
වේද අන් හිමි නුඹ ඇන්න යා ද මන්දා...
ගමන්
එපා තනි මංසල - කනේ කඩුක්කන් සද්දෙන්
රැහේ
දෙනෙත් නුඹ නවතාවී
ළතැවුල්
මට කඳුළු නුඹට
ළතැවුල්
මට කඳුළු නුඹට
මිනිසුන් නම්
සත්ත්ව විශේෂය වශයෙන් ගත්විට එකිනෙකාගේ නොගැලපීම් නොමැති වුවත්, එකම රටක වෙසෙන
දෙජාතියක් වශයෙන් සමහර සංස්කෘතිකමය වෙනස් කම් ඔවුනගේ දිවියට බලපාන අන්දම මෙහිදි
මනාව ලියැවී ඇත.
සාමාන්‍යයෙන් කඩුක්කන්
පළඳින්නේ දෙමළ යුවතියන් ය. සිහල යුවතියන් පළඳින්නේ කරාඹු ය. මාල සහ තැලි පළඳින්නේ දෙමළ
කාන්තාවන් ය. සිහල කාන්තාවන් පළඳින්නේ මාල සහ මාල පෙති ය. සංස්කෘතිකමය වශයෙන් පවතින
මේ වෙනස හඳුණා ගැන්මට තම සනුහරය සමත්වෙනවා මතු නොව එක්ව යාමට සිතන එම ගමන නැවතීමට ද
ඉදිරිපත් වෙතැයි ඔහු තුළ ඉඟියක් වෙයි. ඒ නිසාය ඔහු කියනුයේ,
රැහේ
දෙනෙත් නුඹ නවතාවී - ළතැවුල් මට කඳුළු නුඹට ලෙස.
සිඳු
වැල්ලේ හේඩාවේ පුරුදු සිනා නොදුටු කළේ
නුඹේ
හිතෙන් මං නැති වේවි
කඳුළැල්
මට නුඹ වෙනතක
කඳුළැල්
මට නුඹ වෙනතක
තංගමනීමට
කවදා සින්න වේද මන්දා
සින්න
වේද අන් හිමි නුඹ ඇන්න යා ද මන්දා...
මේ වෙනස් කම්
අවසන ඔහුට ඇයද ඇයට ඔහුද නැතිවනු ඇත. පෙර, ළතැවුල් ඔහුට ද කඳුළැල් ඇයට ද හිමිවුවද
දැන් සිදුවන්නේ අනෙකෙකි. එනම් කඳුළැල් ඔහුට ඉතිරි වී ඇය වෙනකෙනෙකුට හිමි වීමය.
තංගමනී ගීතය
අසන්න.
70 දශකයේ පවා මේ පිළිබඳව ලියැවුණු ගීත කිහිපයක්ම ඇතිපව පෙනී යයි. සුනිල් ආරියරත්නයන් වික්ටර් රත්නායකයානන්ට ගීතයක්
ලියනවා. එය වික්ටර් ගේ “ස” ප්‍රසංගයේ ගැයෙන ගීතයක් බවටත් පත්වෙනවා.
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
බලන්න බැහැ බණ්ඩාරේ
උඩරට නිල කුල බල ඇති බණ්ඩාරේ
- බණ්ඩාරේ
ඔබ
කෝවිල් එන්නෙත් නෑ මට පන්සල් යන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ - බණ්ඩාරේ...
මේ විදිහට නැවත නැවතත් කියවෙන්නේ ජන කොටස් දෙකක් එක්ව
එකට විසුවද ඔවුන් අතර ඇති පරතරය අවම කරගැනීමට එළඹෙන යම් යම් බාධකයන් ය. ඒ බාධකයන්
බිඳෙන් බිඳ මග හැරුණේනම් එය නොසන්සුන්තාවක් දක්වාද, පසුව ගැටුමක් දක්වාද, ගැටුම
යුද්ධයක් දක්වාද වර්ධනය නොවන්නට ඉඩ තිබුණි. ඒත් එලෙස සංහිඳියාවක් ඇති කරගැනීමට අප
උත්සුක නොවුනෙමු. දැනුදු එහි එතරම් වෙනසක් නැත.
දෙන්නාට දෙන්නා ළං වීමට කරුණු ඇතත් ප්‍රයෝජන නොගනී.
ඔබ
කෝවිල් එන්නෙත් නෑ මට පන්සල් යන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ - බණ්ඩාරේ...
මෙතනම හිතන අයෙකුට නම් ළං වෙන්න ප්‍රබල කරුණක් තිබේ.
එහෙත් එම කරුණ අපතේ යවා ඇතිවා නොවේද? ඔහුට කෝවිලටත් ඇයට පන්සලටත් යාමේ හැකියාවක්
තිබුණි. කිසිවෙක් විසින් එය තහනම් කරන්නට ඇත. ඒ කවුරුන්ද?
මහාචාර්ය සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජනී |
මීන නුවන් යුගින් ගීතය අසන්න.
මේ අයුරින් ඔහුට කෝවිල් යාමත් ඇයට පන්සල් යාමත් තහනම් කළවුන් පිළිබඳව අපූරු
විග්‍රහයක් දෙන ගීතයක් හමුවෙයි. ඒ අනුව මේ නිල නොවන තහනම පනවා ඇත්තේ හඳපානට ගෙට
නොඑන්න වියන් බඳින මකුළුවන් විසිනි.
කෝන් වැවේ ආරියරතන හිමි ලියූ විරාජිනී ගීතයෙහිය
මේ අපූරු වදන් පෙළ හමු වන්නේ.
විරාජිනී - රජවෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ නුඹේ නළලේ තිලකේ.....
මේ කියන පෙම්වතාට නම් ඇගේ නළලේ තිලකය පරහක් නොවන්නට ඇත.
ඒත් එය පරහක් වුණු අය කොතෙක්නම් ඉන්නට ඇතිද?
ඉරේ පාට හැන්දෑවට - තිලකය තියලා නළලත
හිනැහෙනකොට මුහුණේ - මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවනට - මාලිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට නුඹ තනියම හීන දකීවී....
මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
නුඹේ සුවඳ මගෙ හිතයට
නුඹ නොදනීවී
හඳපානට ගෙට නොඑන්න - වියන් බඳින මකුළුවන්ට
නුඹයි මායි අහස පොලොව වාගෙ පෙනේවී
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවී....
මෙහිදී මේ දෙජාතික ප්‍රේමයට අකුල් හෙළූවෝ කවුරුන්ද? ඒ
නම් ජාතීන් අතර සමගියට අකුල් හෙළූවන්ම ය.
විරාජිනී ගීතය අසන්න.
රත්න ශ්‍රී විජේසිංහයන් මෙයම වෙනත් අයුරකින් ලියයි.
ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමං
කුංකුමං තෙමා අහසේ නැගෙන චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං....
මෙහිදී ඔවුන් සිටින වටපිටාවේ දෙවියන් නැතැයි ද දෙවියන්
සිටින තැනකට යමු යැයි ද යෝජනාවෙයි. එසේ දෙවියන් නැතැයි සිතෙන්නේ ඇයි. මේ දෙජාතික
පෙම ඉවසන්නට තරම් දෙජාතියේම නෑ කුල පරම්පරාව සූදානම් නැති බැවිනි. එහි අනියමාර්තය
කුමක්ද? ඔවුන් එකහෙලා එම පෙම ප්‍රතික්ෂේප කිරීමෙන්
නිරූපනය කරණුයේ දෙජාතියේ සංස්කෘතීන් ද එකිනෙකා ප්‍රතික්ෂේප කරන බවය. දෙවියන් සිටින
තැනක්නම් එය එලෙස නොවනු ඇත. දෙවියන් සිටින තැනකට යා යුත්තේ එබැවිනි. හරියටම සුදත් ගාමිණී බණ්ඩාර කෝවිලේ
දෙයියන් නැතැයි මට සිතේ කියා කිවුවේද එබැවින්මය. ඒ දෙවියන් තවමත් වැඩ විමසා
නැත. පසුගිය සමයේ සිදුවූයේ දෙවියන් වැඩමවීම නොවේ. යක්ෂයා පලවා හැරිම පමණි. දෙවියන්
නොමැති බිමෙහි යක්ෂයා නැවත අරක්ගැනීමට ඇති ඉඩ මේ නිසා බොහෝය.
සියල් සිරිත් නෑ කුල ගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියා ගන්න
මහත්වරුණි මා නෙළු මල මට සිඹින්න දෙන්න...
මෙම පාදය පිළිබඳව විවිධ මතවාද ඇත. එනම් ඇගේ දෙමළ
සංස්කෘතික සළු පිළි උනා දමා සිහළ සංස්කෘතික සළු පිළි පළඳා ශාන්තිනී පමණක් ඉල්ලන්නේය යන අදහසිනි. වචන වල සෘජු අරුත් ගෙන
විමසූවිට එම අරුත මතුවීම නොවැලැක්විය හැක්කකි. ඒත් වඩා සාධාරනව හා විචක්ෂණශීලීව
විමසූ විට මෙහි මේ කියන්නේ සංස්කෘතික නොගැලපීම් නිසා ඇතිකළ බාධා දුක් කම්කටොළු ඈ
සළු පිළි ඔබ ම තබා ගන්න. ශාන්තිනී ද ඇගේ සුසුදු
ආදරය ද නිදහස් කර දෙන්න යන අරුත යැයි මම හඟිමි. මහත්වරුණි මා නෙලාගත්තේ මලකි.
නටුවෙ කටු, දිරූ ඉපල්, අතු රිකිලි ඔබම තබාගෙන මා නෙලූ මල පමණක් මා හට දෙන්න යන
අරුතය. නො එසේනම් දෙමළ යුවතිය සිහළ යුවතියක් කර මට පවරා දෙනු යන අරුත නොවේ.
ශාන්තිනී ගීතය අසන්න.
රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ සමඟ කරුණාරත්න දිවුල්ගනේ |
සුනිල් ආරියරත්නයන් මේ මැයෙන් ලියූ කවු ගී බොහෝ ය. ඒවා විමසීමට කාලය නැත.
සුදත් ගැන සහ ඔහුගේ කවු ගී කිහිපයක් ගැන අදහසකැයි පවසා පටන්ගෙන ඒවා ගැන හැර අන්
බොහෝ දේ ගැන මේ වනවිටත් කතාකර ඇති බැවිනි.
සුනිල් ආරියරත්නයන් හැත්තෑ ගණන්වල අගදී සරුංගලය චිත්‍රපටය නිර්මාණය කරන්නේ ඔහුට මේ සිහළ
දෙමළ මිතුදමක අවශ්‍යතාව දැණුනු නිසාවෙනි. විරසකය ප්‍රතික්ෂේප කළ බැවිනි.
අඩන්තේට්ටම් හෙළාදුටු බැවිණි. එසේම අඳුරු අනාගතයක අසුබ පෙරනිමිත් ද දුටු බැවිනි.
මේ හැඟීම ඔහු තුළ මතු කරන්නට ඔහු යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ගතකළ කාලය
බෙහෙවින් ඉවහල් වන්නට ඇත.
මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සමඟ මහාචාර්ය සුනිල් ආරියරත්න |
බයිසිකලේ පදින්නේ ධර්මසේන පතිරාජ.
ගම්ලත්ටත්, මටත් බයිසිකල් පදින්න බැහැ. ඒක නිසා ගම්ලත් මහත්මයා
බයිසිකලේ පොල්ලේ ඉඳගෙන ඉන්නවා. මම පිටිපස්සේ ලගේජ් එකේ ඉන්නවා. අපේ මුළු සිංහල අධ්‍යයන
අංශයම එකම පාපැදියෙන් ගියේ ආවේ ඔහොමයි. අපි මාර්කට් එකට යනවා, උයා පිහාගෙන කනවා. පුදුම විදිහට අපි යාපනේ
සිනමාහල් වලින් චිත්‍රපට බැලුවේ ඒ කාලේ.
ඔය කියන කාලේ ප්‍රධාන සංස්කෘතික සිද්ධීන්
දෙකක් සිදු වුණා. එකක් තමයි ලයනල් ප්‍රනාන්දු මහතා එහෙ දිසාපති වෙලා ඉන්න කාලේ
අභාවප්‍රාප්ත චන්ද්‍රසෝම විතානගේ මහතාත් සමඟ සම්බන්ධ වී සිංහල චිත්‍රපට උළෙලක්
යාපනය නගරයේ පැවැත්වීම. රොබින් තම්පෝ මහතාට අයත් සිනමා ශාලාවක තමයි එය පැවැත්
වුණේ. ඇත්තටම ඒ කාලේ දෙමළ ජනතාව අතර ජනප්‍රිය චරිත දෙකක් හිටියා අපේ සිනමා
නළුවන්ගෙන්. ඒ විජය කුමාරතුංග හා ගාමිණී ෆොන්සේකා. ඔවුන් දෙදෙනා රඟපෑ චිත්‍රපට
තමයි අප ඒ සිනමා උළෙලේ දී පෙන්නුවේ. දෙමළ ජනතාවගේ හොඳ සහභාගිත්වයක් එයට තිබුණා.
ඊට පස්සේ අපි යාපනය වීරසිංහම් ශාලාවේ
වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය පෙන්නුවා දර්ශන දෙකක්. එහි ප්‍රධාන
සංවිධායකයා වුණේ මම. අපි ඒ වෙනුවෙන් ඩේලි නිවුස් පත්තරේ පිටුවක් පුරා දැන්වීම්
අතිරේකයකුත් පළ කළා. ඒ සඳහා දැන්වීම් සැපයුවේ සම්පූර්ණයෙන්ම යාපනයේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ.
ඒ දර්ශන දෙකම මුළුමනින්ම පිරී ගියේ දෙමළ රසික, රසිකාවන්ගෙන්.
යාපනයේ ගත කළ කාලය ඔහුගේ
සිනමා දිවියට බලපෑ ආකාරය ගැන ඔහු දරන්නේ මෙහෙම අදහසක්.
මට විතරක් නෙවෙයි, ධර්මසේන පතිරාජගේ සිනමා දිවියටත් අපේ ඒ
කාලය බලපෑවා. පතිරාජ ‘පොන්මනී’ කියන දෙමළ චිත්‍රපටය හැදුවා. ‘සරුංගලේ’ චිත්‍රපටය මගේ අතින් කවදාවත් නිර්මාණය
වෙන්නේ නැහැ මම යාපනේ නොහිටින්න. මේක වැඩි දෙනෙක් නොදන්න කාරණාවක්. මගේ මුල්ම චිත්‍රපටය
‘අනුපමා’ කරලා ගාමිණී ෆොන්සේකාව හමුවෙන්න ගියා මගේ
දෙවැනි චිත්‍රපටය ‘පොඩි මල්ලී’ චරිතයකට ඔහුට ආරාධනා කරන්න.
එතුමා තිර පිටපත බලලා මේකේ මට කරන්න දෙයක්
නැහැ කියලා විස්තර කතා කරන කොට කිව්වා ‘ඔබතුමා අනාගතයේ නැවත චිත්‍රපටයක් කරද්දී
මම ළඟ තියෙනවා හොඳ කතා සංකල්පයක්. ඒක මම දෙන්නම් කියලා. ධර්මසිරි ගමගේ මහත්මයා
කතාව ටිකක් ලියලා තියෙනවා, ගිහින් ඔහු මුණ ගැහෙන්න කියලා ඔහු මට වැඩිදුරටත් කිව්වා.
ඒ විදිහට තමයි ‘සරුංගලේ’ බිහි වුණේ. තුන්වැනි චිත්‍රපටය හැටියට මට ‘සරුංගලේ’ නිර්මාණය කරන්න පුළුවන් වුණේ මේ යාපනයේ ගත
කළ ජීවිතයෙන් ලැබූ අත්දැකීම් නිසා.
සරුංගලයේ අනුවේදනීය කතාවස්තුව
බොහෝ දෙනෙකුට මතක ඇතිවා නිසැකය. මා මගේ දිවිය තුළ නරඹා
විඳ ඇති වෙසෙස් සිනමා නිර්මාණ 10 තුළට මා මෙම සරුංගලේ චිත්‍රපටය ගෞරවනීයව
එක්කරගෙන සිටිමි. ගාමිණී
ෆොන්සේකා ගේ ඉහළම රංගනයන් අතර මෙහි රංගනය තැබිය යුතු බවද සිහිපත් කරමි.
මෙහි එන ඉසුරු දෙවිඳු
උමයංගන ගීතයද ඉතා සුවිශේෂ ගීතයකි. සුනිල් ආරියරත්නයන් ම ලියූ වික්ටර් රත්නායකයන්ගේ සුවිශේෂ සංගීතයෙන් අරුත් එසවුණු මෙම ගීතය අබේ සහ නිරංජලා ගයන ආකාරය ඇසෙන්නට
අවශ්‍ය නැත. මතක් වුණු සැනින් දෙසවන රැවු දෙන්නාක් බඳුය. ගීතයේ වැයෙන නලා සහ තවිල්
නාදය හිත තුළ ම වැයෙනවා බඳුය. මා එසේ මෙම ගීතය ලියුවේ සුනිල් ආරියරත්නයන් බව කීවද, මෙම ගීතය තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ( සුනිල් ආරියරත්නයන්ගේ සොහොයුරු ) විසින් ලියන ලද්දකැයි මගේ මිතුරන් දෙදෙනෙක් මා දැනුවත් කළහ. මා මුල් නිගමනයට පැමිණියේ කියවූ යම් පොතක එම ගීය සුනිළුන්ගේ නමින් තිබුණු බැවිනි. එහෙත් තම සරුංගලය චිත්‍රපටය සඳහා ඔහු කිසිදු ගියක් නොලියු බවද කියවෙයි.
ඉසුරු දෙවිඳු උමයංගන
සේ පෑහෙන්නයි
විශ්ණු බ්‍රහ්ම
මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන්
පිරෙන්නයි
කොකු මගරා නළල
දිලෙන්නයි....
පසුබිමින් දිස්වෙන්නේ
මංගල උත්සවයකි. එය දෙමළ චාරිත්‍රානුකූලව සිදුවෙයි. ගීතය එයින් මනාව මතුවෙයි.
කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල්වැට බිඳ නිල්වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව මත හිඳුවා කර මාල බඳින්ඩයි.
මෙහි ඇත්තේ උතුම්
අරුතකි. ඔහුට ඇවැසි ඇයද, ඇගේ පෙමද මිස යාන වාහන බව බෝග සම්පත් නොවේ. පතිනිය මිස
පාක්කුඩම් එපා යැයි කියන්නේ මේ නිසාය.
ඉසුරු දෙවිඳු උමයංගන
ගිතය අසන්න.
තිලකරත්න කුරුවිට බණ්ඩාර, වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය හා නිරංජලා සරෝජනී |
සුදත් ගාමිණී බණ්ඩාර සිය දුම්බර මතකය කෘතියේ පළ කර ඇති දිනපොතක ලිවූ කවි අතර 1983
- 05 – 02 නම් වූ දෙවැනි කවිය මා සිතා මතා පස්සට ඇද දමමි. එහි ඇති යම් දුර්වල කමක්
නිසාද? කාරණය පසුවට දැන ගත හැකිය. ඔහු එහි තෙවන කවෙන් මෙලෙස කියයි.
1983 - 08 – 05
කඳු සිරස මත දිළිණ
මෙ සඳ නුඹ නැත එතැන
මළ හිරුගෙ රැස් රැඳෙන
සුදු පිචුච මල් පිපිණ
මල් සුවඳ නිම්නයේ
අපේ ගමටත් දැනිණ
නුඹ ගයන කවි ඇසෙන
මානයක වැඩ කරන
විට හිරුගෙ සැඩ කිරන
සඳ එළිය සේ දැනිණ
තාලි පළඳන සිහින
සඳුන් සුවඳක් ලෙසින
රෑට එදවස පැමිණ
මහද අසලම රැඳිණ
වියලි ජූලි මසක ගුවන
අඳුරු කළු වළා පැතිරිණ
අකුණු හෙණ හඬින් පිපිරිණ
දෙවියන් නෙත් කඳුළු නැගිණ
මගේ නෑසියන් මෙදවස
නේක වහසි බස් තෙපළන
දුගඳ එ බස් හැම මැඩගෙන
නුඹේ සුගන්ධය පැතිරෙන
සුදත් ගාමිණි බණ්ඩාරගෙ වයසට අනුවද, කවු ගී ක්ෂේත්‍රයේ ප්‍රවීණතාව නිසාද, මා ඔහුව අමතන්නේ සුදත් අයියා කියා ය. සුදත් අයියා මෙම කවු මල් වලට සුවඳ දෙන
දෙමළ යුවතියට හැබැහිනුත් ආදරය කළා දැයි මා විමසා නැත. හැබැහින් නැතත් සිතින්
විතරක් හෝ ඔහු ඇයට පෙම් කරන්නම ඇවැසි වේ යයි මම හඟිමි. නැතිනම් මෙතරම් සංවේදී විය
හැක්කේ කෙසේද?
නුඹ ගයන කවි ඇසෙන
මානයක වැඩ කරන
විට හිරුගෙ සැඩ කිරන
සඳ එළිය සේ දැනිණ
ඇය ඔහුට කොතරම් නම්
සැනසුමක් වන්නට ඇති ද යන්න නොවේද මෙහි කියවෙන්නේ.
මේ දින පොතක ලියූ කවි
වල ඔහු ලියා ඇත්තේ එම අඳුරු යුගය තුළ ඔහු දිවි ගෙවූ පරිසර පද්ධතිය තුළ සිටි මානවයින්
නම් වූ ජීවීන් කොට්ඨාශයේ හැසිරීම් රටාවයි. ගවු සිය ගවු ඈත යාපා පටුණෙහි, හමුදා
සෙබළුන් 13 දෙනෙකු මරාදැමූ දිනට පසුදින, ඊට ගවු සිය ගවු දුරක් මෙහා ගමක දිවි ගෙවමින්
මිතුදමින් සිටි අහිංසක වතු දෙමළ මිතුරන්ද සමගින් ලැයින් කාමර පෙළක්ම, ගිනි
දෙවිඳුන් උදෙසා පුද දෙන්නට තරම්, එලෙස පුද පූජා පවත්වා ලෙයෙහි පලිය ගන්නට තරම්, අප
සැහැසි වුණෙමු. ඒ සැහැසි කමේ ගිනි පුළිඟු නිවී අළු යට ගිනි පුළිඟු පමණක් ඉතිරිව
ඇති අගෝස්තු මාසයේය සුදත් මේ කව ලියන්නේ. සිය නෑ සියන් හැසිරුණු ඒ කුරිරු ආකාරය
පිළිබඳ කුරිරු විවේචනයක් කිරීමට තරම්වත් සුදත් කුරිරු නොවෙයි. ඔහු
එය වෙනත් විදිහකට ලියයි.
මගේ නෑසියන් මෙදවස
නේක වහසි බස් තෙපළන
දුගඳ එ බස් හැම මැඩගෙන
නුඹේ සුගන්ධය පැතිරෙන
අනතුරුව ඔහු එම මැයෙන්
පළකළ අවසන් කව මෙලෙසට සටහන් කරයි.
1983 - 08 - 12
මා දිවිය මත තියා
නොමැකෙන තිලකයක්
නුඹ ගියා
ඇය ගියේ කොහේ දැයි කිසිවකු නොදනී. ඈ ගියේ කොහේ හරි තැනක
ජීවිතයටද? නැතිනම් මරණයටද? මේ පැනයට පිළිතුරු සුදත් වත් දන්නේදැයි මා නොදනිමි. අසා
ඔහුව වෙහෙස කිරීමටද නොසිතමි. කෙසේ වෙතත් මේ නික්ම යාම පිළිබඳව ලිවිය හැකි දිගම
කවිය ඔහු මෙසේ ලියා තැබීය. ඇය ඔහු දිවිය මත තියා ගිය නොමැකෙන තිලකය නම් ආදරයේ සුවඳ
මතකයය. ඒ සුවඳ විසින් ඔහු සිතේ ඇතිකරණ නොතිත් රිදුමය.
ඇය නම් උමාය. තුමුළ
නමුණුකුල ගිරිහිස අභියස විසූ උමා ඒ දවසින් පසු
ගියේ කොහේදැයි කවුරුත් නොදත්තේ වුවද, එම ජූලියේ ම එම කළු දුමාරයට ම හසුවූ දේවි ගිය
දිහා කාලයකට පසු සොයා ගැනිමට අනුරාධපුරයේ වෙසෙන මහින්ද
චන්ද්‍රසේකර කවියාට හැකි විය. එය ඔහුට මහා සැනසුමක් වන්නට ඇත.
කැරළි කෝලාහල නිසා යාල්
දේවී දුම්රිය ගමන නවතා දැමූ යුගයක් විය. මා කියන්නේ මහා යුද්දෙට පෙර 83
කලබල වලින් පසු යුගයක් ගැනය. කාලෙකට පසු යාල් දේවිය නැවත
ගමන් ඇරඹුනි. එහි පළමු ගමන බලන්නට බොහෝ දෙනා අනුරපුර
දුම්රියපොලට රොක්විය. අනුරපුරේ සිටි දමිළ
නෑදෑයින් අනුරපුරින් ගිනි තබා එළවා ගැනුනේ
හැමෝගෙම උවමණාවට නොවේ. අතලොස්සක් වූ නරුමයින්ගේ උවමනාවටය. යාල් දේවියේ සද්දය නොමැතිව පිරිසකට නින්ද නොගියහ. තවත් පිරිසක්
වෙලාවට අවදි නොවුනහ. ඒ තරමටම එය ජනදිවියට සමීපය. මේ නැවත ආගමනය දකින්නට ගියවුන්
අතර මහින්ද චන්ද්‍රසේකරද විය.
දුම්රිය පැමිණියේය. මහින්ද චන්ද්‍රසේකර
අභිමුව නැවතුන මැදිරියේ කවුළුවෙන් යුවතියක් පිටත බලා සිටී. ඇය අනුරපුරින් එළවා ගත් කිසියම් යුවතියකගේ රුවට සමිප
දැයි මහින්දයෝ කල්පනා කළහ. ඈ මුහුණේ කිසියම්
අමනාප බැල්මක් වෙතැයි ඔහුට සිතුනි. අමනාප වන්නට හේතු ඕනෑවටත් වඩා තිබුණි. එහෙත්
තමන් ඒ අමනාප බැල්මට ලක් නොවියයුතු බවය ඔහුගේ හිත කීවේ. වරක් ඈ නෙත් ඔහු නෙත් හා
ගැටුණි. ඔහු සිනාසුනි. ඈ සිනා නොවී අහක බැලීය. සිනාසුණු විට යුවතියක් අහක බැලීනම්
ඉන් ඇසෙහි කඳුළක් ජනිතවීමට තරම් මේ මහින්දයෝ
බොළඳයෙකු නොවිණි. එහෙත් ඔහු නෙතු කඳුළක් නැගුණි. ඒ අන්කිසිවක් නිසා නොවේ.
සිහිනයෙන්වත් ඒ ගින්නට තමන් පිදුරු නොදැමූ කෙනෙකු බව ඇය නොදන්නා බව ඔහුට දැනුණු
බැවිණි. ඒ නිසා ඔහු එම කඳුළු කැට තීන්තෙන් මෙලෙස ලියා තබන ලදි.
උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා
මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ
ඔය නෝක්කඩු බැළුම් අගින්
සෙනෙහසදෝ හඩා වැටෙන්නේ
ගම හැර දි නුඹ ගියදා
කෝවිල් යන හිත වැලපෙන්නේ
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී නුඹ බිමට බහින්නේ......
පද : මහින්ද චන්ද්‍රසේකර
ස්වර : ගුණදාස කපුගේ
හඬ : කරුණාරත්න දිවුල්ගනේ
උතුරින් එන දුම්රියෙ දේවී ගීතය අසන්න.
සුදත් ගාමිණී බණ්ඩාර සිය කෘතියේ දින පොතක ලියූ කවි වලට අඩංගු නොකොට වෙනත්
තැනක පළ කළ මේ කවද මේ මැයම පාදක කර ගත්තකි.
අසහනය
බදුලු ඔය දිය බුබුළු නංවන
සොඳුරු නිම්නය අඳුරු වූ දින
නිබඳ මතකය සසල කරමින
පාරවා හද නගයි නෙක පැන
දැවෙන ප්‍රශ්නය ඇවුළුවා මිස
එගිනි දුන් විසඳුම කුමක්වෙද
මිලින කළු දැලි අඟුරු කැට මිස
එගිනි දුන් විසඳුම කුමක්වෙද
ගිනි තැබූවෝ උමතු වූවොද
එගින් දැරුවෝ වැරදි කරුවොද
පිදුරු දැමුවො වන මුර්ගයොද
එගිනි නිවුවෝ කවර දෙවියොද
උපන් දා සිට අසල්වැසි දන
අන්ත අසරණ වූ අඳුරු දින
දොර අගුලු ලූ පවිටු අපහට
සහනයක් කවදා දැනේවිද
ඒ අඳුරු ජූලි මාසය පිළිබඳ ඔහු සිතේ වන කැළඹීමය මේ කවෙන්
කියැවෙන්නේ. මේ සිදුවීම් පිළිබඳව කිසියම්ම හෝ දිනක හිතහදාගත නොහැකිවන බවයි ඔහු
අවසන් කවෙන් කියන්නේ.
සුදත් ගාමිණී බණ්ඩාරගේ දිනපොතේ ලිවූ කවි අතරින් දෙවැන්න මවිසින් උවමණාවෙන්ම
පසුපසට දැම්මෙ මෙතනදී ඉදිරිපත් කිරීම පිණිස තබාගත යුතු යැයි හැඟුණු බැවිනි. එය
ඉදිරිපත් කිරීමට සුදුසුම අවස්ථාව මේ යයි සිතමි.
1983 - 05 - 02
තුමුළ නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඬල දුටු නෙත
රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතුවෙලාදෙනෙතින්
කඳුළු පනින තුරු එළයට
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා
නුඹේ වත මඬල සඟවා
මුවාවන ලෙසින් අතුරන
සීත මීදුමේ තිරපට
විරසකයි උමා
වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හෙමිහිට
බලාපන් උමා
කන්ද උඩ රුවින් දිදුලන
කන්ද කදිර දේවාලය
අපට පිහිටවෙයි කියලා
හිතනවද උමා
දෙජාතිය අමෝරා ගත්
තියුණු අවි සැණින පහතට
හෙළන ලෙස සියළු දෙවියන්
යදිනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඉවත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක්
ඉතිරි වෙද උමා
මෙම කවිය ඔහු ලියනුයේ 1983 කළු ජූලියට මාස 2 කට පමණ පෙරය. අළු යට ගිනි
පුපුරු මතුවෙමින් තිබෙන යුගයකය. දෙජාතිය අතර නොසන්සුන්තාව ගැටුමක එළිපත්තේ තිබෙන
සමයකය. මේ නිසාම තම ප්‍රේමයෙහි අනාගතය පිළිබඳව ඔවුන් තුළ වන සැක සංකා කවියෙහි මනාව
පිළිබිඹුව ඇත.
මෙම කව සුළු වෙනස්කම් සහිතව ගීතයක් බවට පත්වී සමන් ජයනාත් ජිනදාසගේ අනුත්තරා කැසට් පටයට ඇතුළත්
වෙනවා. එහි සංගීත නිර්මාණය ආනන්ද පෙරේරාගේ. මේ
ගිතය එකල අතිශයින් ජනප්‍රිය වුණා. එම ජනප්‍රිය බව කියා පෑවේ අනෙකක්. එනම් දෙවියන්
සමග බහුතරයක් සිටින බව.
ලස්සනයි උමා ගීතය රසවිඳින්න.
වාර්ගික සමගිය සේම වාර්ගික අසමගිය යන දෙකම ගැන නිර්මාණ
බිහිව ඇත. එයිනිදු දෙමළ සිංහල නොසන්සුන්තාව පදනම් කර ගත් නිර්මාණ රැසකි. එතරම්
නැතත් සිහල - මුස්ලිම් දෙජාතික ප්‍රේමය පිළිබඳවද ගී කවු නොලියුණාම නොවේ.
මහින්ද චන්ද්‍රසේකරයන් විසින් රචිත රාමලාන් සඳ බලන්න එන්න පාතිමා ගීතය ඉන් ජනප්‍රියම ගීතයයි. මෙහි සංගීතය ගුණදාස කපුගේගෙනි. ගැයුම කරුණාරත්න
දිවුල්ගනේ මහතාගෙනි.
මරතෝන්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා.....
එළු රැනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනලියන් කවුළු වැටෙන් පෙනෙනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක්
පිපුණා....
සංස්කෘතිකමය වශයෙන් මුස්ලිම් ආගමෙහිද ජාතියෙහිද පවතින විශේෂතා
සිහළ දෙමළ ප්‍රේමයටත් වඩා කටුක අත්දැකීමක් මේ පෙම්වතුනට උදාකරලනු ඇත. පෙමක පැටළුණු
මේ දෙදෙනාගේ ප්‍රේමයට මතු නොව එවන් පෙමක නොපැටළුණු මුස්ලිම් යුවතියකට වුව ඇති
සීමාවන් කෙලවරක් නැත. තම ආගම ජාතිය විසින්ම ඇයව දැඩි ලෙස සීමා කර ඇත. එහෙත් වෙනත්
ආගම්වල හෝ ජාතීන්ගේ අනන්‍යතාව ගරු කරණ සමාජයක් වශයෙන් එය දැඩි ප්‍රශ්ණ කිරීමකට
ලක්කිරීම නොකළ යුත්තකැයි සිතමි. කෙසේ වෙතත් කලා කරුවා මින් යම් නිදහසක් ලබමින් මේ
තත්වය ප්‍රශ්න කළ අන්දමයි.
මහින්ද චන්ද්‍රසේකර, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ |
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා ගීතය අසන්න.
පෙර ගීතයේ රචකයා සිංහල ජාතිකයෙකි. එබැවින් සමහර විට
කෙනෙකු ඔහුව ප්‍රශ්න කරන්නට ඉඩ ඇත. නමුත් මතු දැක්වෙන ගීතයේ රචකයා මුස්ලිම්
ජාතිකයෙකුමය. ඔහුද එය ප්‍රශ්නාර්ථයක් තුළ රඳවයි. ඔහු නම් නිලාර්
එන් කාසීම්ය.
සලාම් කියාගෙන ගෙට එන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ
වළාකුළු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතුමින තාරකාවියේ
හිනා වෙන්න මතක නැතිද තාරකාවියේ
කුරාණයේ අක්ෂර පද නුඹේ නෙතට හමු නොවීද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමුද තාරකාවියේ
සලාම් කියාගෙන ගෙට එන ගීතය අසන්න.
මේ ගීත දෙකෙන්ම ඇත්තේ සංස්කෘතිය නමැති සළු තිර වලට මැදිව
දියවී යන යුවතියක සතු තුරුණු හැඟීම් පිළිබඳවය.
මේ ගී දෙකද අවසන් ගීතයද මතක් කළ යුතුමයැයි සිතුනේ අනෙකක්
නිසා නොව වර්තමානයේ අපේම සමහර හැසිරීම් රටා සහ අදහස් දැකවීම් නැවත වතාවක් වෙනත්
අයුරක නොසන්සුන් වටපිටාවක් කෙරෙහි අපව රැගෙන යන්නට උත්සාහ කරන්නේද යන ප්‍රශ්නාර්ථය
නැගුණු බැවිනි.
"පද්මා පද්මණී පාතිමා ගෙන් ගිනි දඬු
මැද නිදහස සෙව්වේ කවුරුදැයි අසන්න" ගීතයද මෙහිදි මතක් කරමි. ජාතීන් තුනම නියෝජනය වන සේ සමාන
නම් ඇති යුවතියන් තිදෙනෙකු අමතමින් ගිනි දඬු මැද නිදහස දිනුවේ කවුරුන්ද යන පැනය
ඔවුනට ඉතිරි කිරීම මෙම ගීතයේ ඉටු වෙයි.
සීතල වතුර ගලන කඳු කාගෙද කියන්න
මේ සරු බිම සුරකින උරුමය කාටද අහන්න
ගිනි දඬු මැද නිදහස දිනුවේ කවුරුද කියන්න
පද්මා පද්මණී පාතිමා
වන මැද කරුළු හඬින් කියවෙන ජය ගී අහන්න
කරවුණු මහ පොලොවක නව දළු ලනහැටි බලන්න
පද්මා පද්මණී පාතිමා
ආදරයෙන් මවු බිම අපට කියන දේ අහන්න
වැටකොටු කඳවුරු බැඳ බෑ දුර නෑ කම් හදන්න
රණ අවි වල ගෑවුණු ලේ සලකුනු මකාලන්න
පද්මා පද්මණී පාතිමා
මිනිසත් බව පාමුල නොනිමෙන පහනක් තියන්න
පද : කුමාර ලියනගේ
ස්වර : කරුණාරත්න විජේවර්ධන
හඬ : කරුණාරත්න දිවුල්ගනේ.
පද්මා පද්මණී පාතිමා ගීතය මෙතනින් අසන්න.
රණ අවි වල ගෑවුණු ලේ සලකුනු මකාලන්න
මිනිසත් බව පාමුල නොනිමෙන පහනක් තියන්න.......
මෙය ඉටු කළ හැක්කේ දෙවියන්
සමග සිටන්නන්ට පමණි. එහෙත්...........
අප යම් දිනක යක්ෂයා පළවා හැරියෙමු. එහෙත් දෙවියන් වැඩම
කරවා ගැනීමට සමත් නොවුනෙමු. මේ නිසා කුමන හෝ මොහොතක පුනරාගමනය කිරීමට යක්ෂයාට
අවකාශ ඇත. අසම්පූර්ණ සටහනක් වුව, මෙම මැයෙන් එය ඉදිරිපත් කිරීමට සිත්වූයේ ඒ අනතුර
පිළිබඳව ද සිතමිනි. අසම්පූර්ණ සටහනක් යැයි කියුවේ මෙය මේ මැයෙන් ලියැවුණු ගීත
පිළිබඳව පූර්ණ විග්‍රහයක් නොවන බැවිනි. මේවා සුදත්
සහ දුම්බර මතකය මතක්වීමෙන් අනතුරුව මතක් වූ
දේවල්ය. පූර්ණ විග්‍රහයකට මීට වඩා සූදානම් විය යුතුය.
-
යසනාත් ධම්මික බණ්ඩාර -
පොඩි අදහසකින් මෙවැනි විශාල පරාසයක් තුල පැතිරෙන අදහස් ගොනු කිරීමේ ඔබේ හැකියාව විස්මිතයි. මේ ගීත සියල්ල දිහා එක් කෝණයකට මතුවූ කාරණා ඇති බවක් දැන් දැනෙනවා. ඒක නිකං අදුරේ ඉන්න විට දල්වපු පහනක් වගේ දැනෙනවා පේනවා. ස්තුතියි. තව ලියන්න ඔබට සුභ පතනවා
ReplyDeleteස්තුතියි ඔබට....
Deleteකොළඹත්, රජරටත් හැර ඉන් බාහිර ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් නව ඌව පළාතෙන් සංගීතයට සහ කවියට උරුම ලද සුදත් ගාමිණි බන්ඩාර සුවිහේෂ කලාකරුවෙක් ගේය පද රචකයෙක් වන්නේ ඔහු මේ භාෂාත්‍රයම කතා කරන ජන කොටස් තුනක ජනතාව වෙසෙන හාලි ඇල ප්‍රදේශයේ ජීවන අත්දැකීම් කවියට ගීයට නැගූ නිසාම ඔහුට හොඳම ගීත රචනා කෘතියට හිමි සාහිත්‍ය සම්මානය හිමිවුනේ "උමා" ගිත එකතුවට. ඒක ඔහු ලද ජය ග්‍රහණයක්. ඒවගේම ඔහුගේ කවීත්වය සහ භාෂා හැසිරවිම තුළම ඔහු තමන්ගෙ හැකියාවන් ප්‍රකට කරවූ නිර්මාණකරුවෙක්. දීර්ඝ කාලයක් සත් අන්ත පත්තර පිටුවලට ඔහු ලියූ කවි නිසා ඔහු අපූර්ව ගේය පද රචකයෙකු කරන්න ඇතැයි මා සිතනවා.
ReplyDeleteමේ සටහනට වස්තු විෂය වූ ජාතීන් අතර බැඳිම ගීතයෙන් මුල්වර ගීතයෙන් කතා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් ඒගිතය බිහිවන විට මෙරට වර්වාදී යුද්ධය ගැන යාන්තමටවත් හැඟීමක් ඇතිව තිබුනේ නැති කාලයක ඔහු වික්ටර් රත්නායකයන්ට ලියූ වික්ටර් සහ සුජාතා අත්තනායක ගැයූ "කුදිරකාර මාමා" ගීය ගීත සාහිත්‍යයේ අතීතයෙන්ම හමුවෙනවා.
ඊළගට විජය කුමාරතුංගයන් සහ මාලනී බුලත් සිංහල ගැයූ "ඝංඨා නාදය සමුගෙන යන්නම්" ගිතයත් පසුකාලයේ ගිත සිහාතයයට ඇතුළ් වුනා. අනතුරුව මට මතක හැටියට රජරටි නිර්මානකරුවන් අතින් රජරට සේවයෙන් ගීත රැසක්ම හමුවෙනවා ඒවා මේ සිංහල දෙමල මුස්ලිබ් බැඳිම වෙනුවෙන් අනාගත්යේ නිදසුන් සපයාවි.
දයා..... මෙය මේ පිළිබඳව කතාකරන්නට සූදානමින් ඇරඹූ සටහනක් නොවේ. හදිසියේම සුදත් අයියගේ කවි පොත දැක්කම මතක් වූ දේවල් තමයි මෙහි ලිවුවේ. සම්පූර්ණ සටහනකට තරම් මට අවකාශය සොයා ගැනීම අපහසුයි.
Deleteකැළුම් විජේසුරිය නුවන් ලියනගේත් එක්ක කරපු වැඩසටහනක මේ සෙට් එකම ගිය.තව මෙතනට සින්දු වක අඩුයි.එකත සුනිල් අරියරතැනම ලියපු එක්ක
ReplyDeleteකැළුම් විජේසුරිය නුවන් ලියනගේත් එක්ක කරපු වැඩසටහනක මේ සෙට් එකම ගිය.තව මෙතනට සින්දු වක අඩුයි.එකත සුනිල් අරියරතැනම ලියපු එක්ක ....... එවැනි වැඩ සටහනක් තිබුණා වෙන්න පුළුවන්. ඒත් මම නම් දැක්කේ නෑ. මට හිතුණා. මම ලිවුවා.එකම දේ ගැන විවිධ අදහස් දැක්වීම් එමට තියෙන්නට පුළුවන්.
Deleteසිත සැලූ 'කුරු!!
ReplyDeleteමෙය මට වැටහුණේ නැහැ.
Deleteපාතිමා
ReplyDeleteඑක දවසක
දහවලක
ආදරෙන් පිරුණු
නුඹේ ඇස් දෙක
කළුවර රෑක පෑයූ
තරු කැට දෙකක් වගේ
පර්දාව තුලින්
මා දිහා බලා උන්නා
කියන්න දේවල් නම්
එමටයි මට නුඹට
ඒත් කොහොම කියන්නද,
ඔයාගේ කුඩේ හරි ලස්සනයි
ඉබේටම කියවුණා
ඔයා කුඩේ මගේ අතට දුන්නා
මට විතරක් ඇයි හෙවන
කුඩේ බෑගයටම දා ගන්න,
මට ඕන කරන්නේ
මේ අව්වට වඩා අපිව පුච්චන
මේ සමාජයෙන්
නුඹට හැමදාම හෙවනක් වෙන්න
එක කුඩේ යට අද යන්න බැරි උනාට
හෙට එක
වහලක් යට ඉන්න
නුඹේ දෙවියොවත්
ඉඩ දෙයිද මට
මරතොන්ඩි ගාපු නුඹේ
අත ගන්න.
බොහෝම රසවින්දනාත්මක ලිපියක් මේ ලිපිය කියවද්දි තවත් ඒ වාගේම ගීතයක් මතක් වෙනවා
ReplyDeleteවිශාරද ගුණදාස කපුගේ මහතා ගයන
“සිංහල සිංදු කියන නලලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී..“
අද තමයි මේ ලියවිල්ල අසගැටුනේ. ශාන්තිනි ගීතය සහ එහි පසුබිම් කතාව ගැන මම මෙතනින් කියෙව්වා. එහි අපි දරන/දකින අර්ථයට වඩා වෙනස් දෙයක් කියවෙලා තිබ්බේ.
ReplyDelete