Friday, April 10, 2015

ජෝතිමත් ජෝති ගී.....





එච්. ආර්. ජෝතිපාල මිය පරලාව ගොස් දස වස් දෙක හමාරකට වැඩි කාලයකට පසුව වුව එදා සේම ජනප්‍රියත්වයකින් සිටින ගායකයෙකි.
ඒ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වනුයේ එකල අප රටේ විශේෂ තැනක තිබූ ජනප්‍රිය එහෙමත් නැති නම් වානිජ නමින් හැඳින් වූ සිනමා නිර්මාන වල පසුබිම් ගායනය සඳහා ඔහු දැක්වූ දායකත්වයයි. ඒ ඔස්සේ ලැබූ ජනප්‍රියත්වයත් සමගම ඒ ගී ආරට සමාන ස්වතන්ත්‍ර ගී රැසක්ද ඔහු බිහි කළේ විශේෂයෙන් සිනමාව හරහා ඔහු වටා රොක්වුනු රසික පිරිස ඉලක්ක කොටගෙනමය.
එච් ආර් ජෝතිපාල ගායන ශිල්පියා පිළිබඳව විවිධ අය විවිධ අදහස් දක්වා ඇත. සමහර අය ඒ දැක්වූ අදහස් පසුකාලීනව වෙනස් කරගත් බවක් දැකිය හැක.තවත් සමහරුන් අදහස් වෙනස් නොකළද පසු කලක ජෝති ගැන නිහඬ බව රැකීය. සමහරු ජෝතිපාල පිලිබඳව කලකට පෙර දැක්වූ අදහස් පසු කලෙක නිර්ධය විවේචනයන්ට බඳුන් විය. එසේම කලකට පෙර ජෝති ට අත දිග හැර ගැසූ අය පසුව ජෝති වන්නනට උත්සාහ දරණු ද දැක ගත හැක.
සමහරු ජෝතිපාල යනු ප්‍රබුද්ධ ගායකයෙකු නොව පීචං ගායකයෙකි යැයි කීහ.
ජෝතිපාල යනු ගැලරියට සිංදු කියන ගායකයෙකිය. සුභාවිත ගීත රසිකයාට ඔහුව ගෝචර නොවන්නේය ආදී වශයෙන් ඔවුන් යම් යම් අදහස් දැක්වීය. මින් සමහරුන් පසු කලෙක ඒ අදහස් සම්පූර්ණයෙන්ම හෝ යම් මට්ටමකට වෙනස් කරගන්නටද පෙළඹිනි. ඒ වගේම ජෝතිපාල යනු විශිෂ්ඨ ගායකයෙකිය යන්න දිගටම ප්‍රකාශ කළ අයද මේ අතර සිටී.
මේ අදහස් කවර විවේචනයන්ට බඳුන් වුවද මා මේ පිළිබඳව දරන්නේ මිශ්‍ර අදහසකි. පසු කලෙක මතු වූ ජනප්‍රිය අදහස් මත පිහිටා හිතට අවංකව දැනෙන දේ හඟවා ගත යුතු නැත.
අපේ නිවසේ පරිසරය තුළ අපට වැඩියෙන් ම ඇසුනේ අමරදේවයන් සහ නන්දා මාලිනිය නියෝජනය කළ ගීත කුලකයයි.





ඒ අනුව ඒ ප්‍රවීනයින් දෙපලත් වික්ටර්, සනත්, කපුගේ, මාලනී බුලත්සිංහල, නීලා වික්‍රමසිංහ ආදී කොටගත් ගායක ගායිකාවන් රැසත් ය අපේ රසික සමාජයට ගී සම්පත සම්පාදනය කළේ.








ඒ අතරේ බෙග් ගේ, මිල්ටන්ගේ, ජෝතිගේ ගී ද නොඇසුවා නොවේ.






එහෙත් අර ගීත රැස හා සසඳද්දී දහස් ගණනක් වූ ජෝතිගේ ගීත වලින් අති බහුතරය අවර ඝනයේ ගීත බව නොකියා බැරිය.
මා ඒ තක්සේරුව දෙන්නේ ජෝතිට නොව ජෝතිගේ වැඩිමනත් ගී වලටය. බොහෝ අය වර්තමානයේදී ඒ ගැන කියන්නට බිය වෙයි. ඊට හේතුව පසු කලෙක සංගීත ක්ෂේත්‍රෙය් අතිශය ප්‍රබලයින් කිහිප දෙනෙකු ජෝති වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම නිසාය. ඒ සමගම ජෝති උන්මාදයෙන් පෙළුනු පිරිසක් තරයේ අදහස් දක්වමින් පෙර අර අදහස් දැක්වූ පිරිසට වැටෙන්නට පහර ගහගන්නට සමත් වූ අතර මේ නිසාම කලින් වෙනස් අදහස් දැක්වූ අය පසුව ටික ටික තම අදහස් වෙනස් කරගනිමින් ජෝති ගේ ගුණ ගයන්නටද පටන් ගත්හ. ගයන්නට තරම් ගුණ ජෝති සතුව නැති නිසා මා එමෙස් කීවා නොවේ යන්නද මෙහිදී මතක් කළ යුතුව ඇත.
කෙසේ වෙතත් ජෝති වෙනුවෙන් වූ ඒ පෙනී සිටීමට මම විරුද්ධ නැත. එහෙත් ඔවුන්ගේ පෙනී සිටීමෙන් ජෝතිගේ සියළු ගී නිදොස් කොට නිදහස් නොවේ. කවුරුන් කෙසේ කීවත් ඔහුගේ ගීත යම් පමණක් හැර අති බහුතරය අවර ඝනයේ ගීතයන්ය. ඒ ගීත අවර ඝනයේ ගීත වූයේ ප්‍රධාන වශයෙන් අර්ථ ශූන්‍ය වීමෙනි. අනෙක් කරුණ නම් ඒවා වැඩි වශයෙන් චිත්‍රපට ගී වූ බැවින් ඒ සමහර චිත්‍රපට අධ්‍යක්ෂ වරුන් ගීතයේ අරුත් නොතකා කුමන හෝ වචන ටිකකට තනුවක් සහ සංගීතය යොදා ජෝති ට කියා ගායනා කරවා ගැනීම සෑහේ යැයි සිතීමය. එහෙත් එවන් සමහර අර්ථ ශූන්‍ය ගීයක් වුව යෙදෙන සොඳුරු තනු සහ සංගීත රචනා නිසාත්, ජෝති ගේ වෙසෙස් ගායනය නිසාත් අරුත් සුන් නමුත් නාද රසයෙන් සහ ගායන රසයෙන් අනූන ගීත බවට පත්ව ඇත.
ඒ සමහර ගීතයන් කොතෙක් ආකර්ශනීය වෙත්ද යත් එහි අරුත් සුන් බව පරයමින් ගීයේ අරුත් තුළ කිමිද ඒවා සොයන අයගේ පවා ඇස කන රවටමින් සොඳුරු ගී සේ මුවග රැ‍ඳෙනු දැකිය හැකි වෙයි. ඒ කීම අපටද අදාලවය.
ජෝති හොඳ නරක බේදයක් නොතකා තමන් ගයන සෑම ගීයකටම පාහේ තමන්ගේ ගායන හැකියාවෙන් උපරිම සැරසිල්ලක් කිරීමට උත්සාහ කළ ගායකයෙකි. ඔහු සුවිශේෂ හැකියාවැති ගායකයෙකි. ගායන හැකියාව මත පමණක් පිහිටා විමසුවහොත් ඒ අනුව ඔහු විශිෂ්ඨ ගායකයෙකු වෙයි. ගායන හැකියාව පමණක් ගායකයෙකු විශිෂ්ඨත්වය කරා ගෙන යයිද යන්න මට වෙනම ඇති ගැටළුවකි.
මගේ පෞද්ගලික අදහස නම් ගායකයෙකුගේ විශිෂ්ඨ ගායන හැකියාවෙන් මනින්නේ ගායන හැකියාවම පමණි. ඔහු විශිෂ්ඨ ගායකයෙකු කරන්නට තම ගීත ධාරාවේ අරුත්පිරි බව සහ ඒවාගේ දෘෂ්ඨියද වැදගත් යැයි මම සිතමි. නිර්මාණ ධාරාවේ දෘෂඨිය තීරණය වන්නේ නිර්මාණකරුවාගේ දෘෂ්ඨිය ද මත ය. ජෝති තමන් විසින් ගැයූ ගී පිළිබඳ එවැනි දෘෂ්ඨියක සිටියා නම් ඔහුගේ විශිෂ්ඨත්වය කියා නිම කල නොහැකිය. එහෙත් අවාසනාවට ඔහු එවැනි තැනක සිට නැති බව ඒවා විමසීමේදී පෙනී යයි. එහෙත් ඔහු ගේ ගීත හැඩය. මිහිරිය. රසය.

විශිෂ්ඨතම සංගීතඥයින් වන පණ්ඩිත් අමරදේව, ආචාර්ය කේමදාස, සරත් දසනායක, ෂෙල්ටන් ප්‍රේමරත්න,බී. එස්. පෙරේරා, ලයනල් අල්ගම, පී. වී. නන්දසිරි ආදීන් සංගීතවත් කළ ගීත ද ජොති ගේ ගීත අතර  අපට හමුවෙයි.




  



ඔහුගේ දහස් ගණන් ගී අතර හමුවන අඩු සංඛ්‍යාවකින් මුත් වන විශිෂ්ඨ ගී නිර්මාණ ඔහු නමින් වන ගී රැස තුළට ගොනු කිරීමට ඔවුනගෙන් ලද දායකත්වය විශේෂ ය.
ජෝතිපාල ගේ ගායන හැකියාව ගතහොත් එය ඉතා විශිෂ්ඨය. ඔහු ගීත ගයයි. සින්දු හැපීම සිදු නොකරයි. ජෝති සමග සමහර ගායකයින්ට හැරෙන්නටවත් බැරිය.
මෙවන් අදහස් විශේෂයෙන් දැරුවේ ආචාර්ය ‍කේමදාස ය.




සරත් දසනායකජෝති ගේ ගායන හැකියාව පිළිබඳව නොබියව අදහස් දැක්වූ තවත් අති ප්‍රබලයෙකි.



මේ දැවැන්තයින් දෙදෙනා නිසා කලක් ජෝති ට පවරා තිබූ පීචං ගායකයා යන නම සුනු විසුනු විය. එය පැසසුමට කරුණකි. මන්ද යත් දහස් ගණනක් අවර ඝනයේ ගීත ඔහු විසින් ගයා ඇතිවා වුවද, මැණික් ඉල්ලමේ වැඩිපුරම ඇත්තේ තිරිවානා ගල් වුවද, තිරිවානා ගල් අතරේ තිබුනේ වුව මිනි කැට හමු වුව හොත් ඒවා මිනිකැටම මිස තිරිවානා නොවන්නා සේ ජෝති ගේ ගී ඉල්ලමේ බහුතර තිරිවානා ගල් වැනි ගී අතර  මිනි කැට වැනි අති සොඳුරු ගීත රැසකුත් අපට හමු වන නිසාය.
ජෝතිපාලයන් සරත් දසනායක, ආචාර්ය ‍කේමදාස, පණ්ඩිත් අමරදේව ආදීන්ගේ තනු රචනා ගයන විට මේ ගුණය වඩාත් කැපී පෙනේ.
කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල්මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා - පියා සලාලා
බමන බමර රැල
රොනට ඇදෙනවා...


මේ ආචාර්ය අමරදේවයන් සංගීතවත් කළ ගීතයකි. එය අපට හමු වන්නේ 1975 දී තරගත වූ තරංගා සිනමා පටයේදීය. එහි අධ්‍යක්ෂනය විමල් වෛද්‍යෙස්කර විසිනි. මෙහි ප්‍රධාන රංගනය රවීන්ද්‍ර රන්දෙණිය සමග මානෙල් වානගුරු ගෙනි.
කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට ගීතය අසා යමු.



ජෝති යනු වානිජ හෙවත් ජනප්‍රිය නම් වූ ඛාණ්ඩයේ චිත්‍රපට ගී ගායනයෙදී අපට සිටි දැවැන්තම චරිතයයි.
වෙනත් තැනක ලිවිය යුතු වුවත් මෙහිදී ම ලිවිය යුතු යැයි හිතෙන දෙයක් ඇත. එනම් පෙර කී වාණිජ යනුවෙන් හෝ ජනප්‍රිය යනුවෙන් හඳුන්වනු ලැබූ සහ ස්ථාවරව තිබූ සිනමා ආර හදිසියේ ම කඩා වැටීම ගැනයි. පශ්චාද් මරන පරීක්ෂනයක් පැවැත්වූවේ නැතත් එයට හේතුව නම් පැහැදිලිය. එනම් විජය සහ ගාමිණී ගේ රංගනය අහිමි වීමත් සරත් දසනායක ගේ සංගීතය අහිමි වීමත් ජෝති ගේ ගැයුම් අහිමි වීමත්ය.
ජොතිගේ චිත්‍රපට පසුබිම් ගී වල ඇති විශේෂත්වය වන්නේ ඔහු ඒවා ගැයීමේදී එම ජවනිකාවල යෙදුන ප්‍රධාන නළුවන් කිහිප දෙනෙකුටම ඔහුගේ හඬ මනාව ගැලපීමයි. විජය, ගාමිනී, රවීන්ද්‍ර, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි එකල එවැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟ දැක්වූ නළුවන් හට ඒ හඬ නියමෙටම ගැලපුනි. 




එසේම ලතා, ඇන්ජලීන්, සුජාතා, ශ්‍රීමතී වැනි ගායිකාවන් සමග යුග ගී ගැයීමටද ඒ හඬ මනාව ගැලපුනි. 





තවද අදාල ජවනිකාවට ඔහුගේ හඬ පෞරුෂයෙන් විශාල අලංකාරයක් ලැබුණි.
කේමදාසයන් සංගීතවත් කළ දුලීකා චිත්‍රපටයෙහි විශිෂ්ඨ ගීත කිහිපයක් හමුවෙයි. එහෙත් එහි එන දුලීකා නමින් වන ගීත දෙක ගත් විට ඉන් කුමකින් කුමක් අංක එකට තෝරන්නදැයි සිතෙන තරම් සොඳුරු ගී වෙයි. එකක් මද රිද්ම හැඟීම් ගායනයකි. එය ගයන්නේ සනත් නන්දසිරි විසිනි.
සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ වෙළුනා...
දුලීකා...... දුලීකා...... දුලීකා...... දුලීකා....

ගීතය අසමු.

අනෙක් දුලීකා ගීතය තරමක වේග රිද්ම ගීතයකි. එයය ජෝති විසින් ගයන්නේ.

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ
කවුදෝ දන්නේ
දුලීකා...... දුලීකා...... දුලීකා...... දුලීකා....



සනත් විසින් ගයන ගීතය අඩු රිද්ම වඩා හැඟුම් බර එකකි. එහෙත් ජෝති විසින් ගයන ගීත වැඩි රිද්මයේ එකකි. අදාල ගායකයින් දෙදෙනා මේ වෙනස් ආරේ ගීත දෙකට සිය හඬ පෞරුෂය මනාව දායක කර ඇත. මේ දෙදෙනාට මේ ගී දෙක මාරු කර දුන්නා නම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වන්නට ඉඩ තිබුණි. එහෙත් තෝරා ගැනීම හරියටම සිදුව ඇත.
අනෙකුත් සංගීතඥයින්ගේ ගී වුවද ඒවාගේ අරුත් රසය නොතකා තනුව සහ සංගීතයද ගායනයද සලකා විමසුවහොත් ඒවාගේ වුවද ප්‍රකට වන්නේ ඔහුගේ සුවිශේෂී ගායන හැකියාවයි.

සොඳුරු ලොවට මල් වැහැලා
තවුතිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා

මේ එවැනි එක් සොඳුරු ගීතයකි.
මෙම ගීතය අඩංගු වූයේ 1978 දී තිරගත වූ එච්. ඩී. ප්‍රේමරත්නයන් ගේ අපේක්ෂා චිත්‍රපටයෙහිය. 


එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ක්ලැරන්ස් විජේවර්ධන යි. ජෝති සමග ගීතය ගයන්නේ සුජාතා අත්තනායක විසිනි. මෙහි  රංගනයෙහි යෙදෙනේනේ රොබින් ප්‍රනාන්දු සමග ගීතා කුමාරසිංහ යි.



ජවනිකාවට උචිත සංගීත සංයෝජනයක්ද ගායනයක්ද මෙහිදී අපට හමු වනවා.


මේ අතර මතකයට එන්නේ මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කළ සේන සමරසිංහ ගේ නිෂ්පාදනයක් වන සදහටම ඔබ මගේ චිත්‍රපටයේ අමරපෙම් ලතාවේ ගීතයයි.
අප කතානායක ජෝති සමග එම ගීතය ගයන්නේ ඇන්ජලින් ගුණතිලක ය.
මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සරත් දසනායක ය. එය ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි.

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවල දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ...

ගීතය අසා යන්න


වාසනා චිත්‍රපටයේ එන  ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා ගීතයද එමෙන්ම මියුරු ගීතයකි. .
මෙහි ඇත්තේ ප්‍රමෝදමත් බවය. අරුතට වඩා රිද්මයටත් ගැයුමටත් මුල්තැන දී ඇති බව පෙනේ. එය සිනමා කෘතියේ අවශ්‍යතාව සලකා කළ දෙයක් බව වැටහෙනු ඇත.
මේ ගී ගායනා අසන විට ජෝති ඉතා හැඟිමෙන් ගීත ගයන බව වැටහෙනු ඇත. එයට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ පැනි කෑලි දමමින් ගයන බවයි. වානිජ හෙවත් ජනප්‍රිය චිත්‍රපට ප්‍රවාහය තුළ ජෝති නාමයට ඉල්ලුම සැකසෙන්නේ ඒ හේතුවෙනි. බොහෝ ගායකයින්ටත් එමෙන්ම එවන් චිත්‍රපට ජවනිකා වලටත් එම හ ඬ මනාව පෑහුනි.
මේ වාසනා චිත්‍රපටය තිරගත වූයේ 1976 දීය. එකල මධ්‍යම පාංතික ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත චර්යාවන්ගේ එක් පැතිකඩක් මෙයින් නිරූපනය වේ.
වාසනා හි ප්‍රධාන රංගනය විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා සහ ගීතා කුමාරසිංහ ගෙනි. මේ ගීතා ගේ පළමු සිනමා රංගනයයි.




 ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා ගීතය


ආචාර්ය කේමදාසයන් සංගීත නිර්මාණය කල තවත් සොඳුරු ගීයක් ගැන කතා කළ යුතු ම වෙයි.
1974 දී තිරගත වූ ලසඳා චිත්‍රපටයේ එන එම ගීතය ගයන්නේ ජෝති සමග ඇන්ජලීන් ය. මෙහි රංගනයෙහි යෙදෙන්නේ තිස්සෙ විජේසුරේන්ද්‍ර සමග නීටා ප්‍රනාන්දු ය.

මා ප්‍රාර්ථනා ආශාවෝ - ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝ....

චිත්‍රපටයේ මේ ගීතය හමුවෙන  ජවනිකාව ප්‍රමෝදජනක එකකි. ජවනිකාවට ඔබින සංගීතයක් නිර්මාණය වී ඇතිවා වුවද, 1974 දී පවා එහි කේමදාස ලකුණ ඇති වග මනාව පෙනේ.



චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුන බමරා ආවා
ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා......

මේ අති සුන්දර ගීය අපට හමු වන්නේ සුජීවා චිත්‍රපටයෙනි. ගලගෙදර එම්. එම්. ඒ. හක් විසින් තනු රචනා කරන්නට යෙදුනු මෙහි සංගීත නිර්මාණය ටී. එෆ්. ලතීෆ් ගෙනි. මෙම ගිතයේ ප්‍රධාන ශක්තිය එහි තනුවයි. එම තනුව ඇසූ සැනින් සුදුසු සංගීත සංයෝජනයන් සංගීතඥයෙකුගේ හදෙහි මෝදු වන්නේ නිරායාසයෙනි. එම තනුව සහ සංගීතය ජෝති ගේ හඬ ගීතය වෙනුවෙන් මිරිකා එක් කර ගැනිමට සමත්ව ඇත.
මෙම චිත්‍රපටය දේව් ආන්නද් නිර්මාණයකි. නීටා ප්‍රනාන්දු සහ රෝයි ද සිල්වා ගේ ජවනිකාවකි ගීතය වාදනය වන පසුතලයෙහි ඇඳෙන්නේ.


කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතය මා ඔහුගේ තවත් ප්‍රිය කරණ ගීතයකි. මේ ගිතයට කවදත් ප්‍රිය වුණත් මේ ප්‍රියතාව වැඩි වෙන්නට තවත් හේතුවක් වූයේ විශාරද ගුණදාස කපුගේ ය. ඔහුගේ ජීවිතයේ අවසන් වසර කිහිපයේදී බොහෝ සමීපව ඇසුරු කරද්දී ඔහු විසින් නිතර එම ගීතය ගයන්නට පුරුදුව සිටි නිසාය. ඔහු එම ගීතය ගයන විට ගයන්නේ තනුවෙහි යම් යම් වෙනස් කම් සහිතවය. එය මට මහත් ප්‍රිය වුවකි.
එදා කපුගේ අයියලාගේ ගෙදර ගියේ ඔහු අසනීපව සිටි බැවිනි. ඔහු මට ඇරියුමක් කලේය.
යසනාත් මල්ලි..... අද ජෝති උපහාර ෂෝ එක තියෙනවා ටවර් එකේ. මටත් ගීයක් ගයන්න තියෙනවා. ඔයත් යමු මගෙත් එක්ක.
මේ අසනීපයෙන් ඉඳිද්දී.... මහන්සි වෙන්න එපා කීවා නේද?
නෑ....... මේකට යන්නම ඕනැ. කියපු ගමන් ආපහු එනවා. උඹ දොස්තර කම පැත්තක තියලා වරෙන්කෝ.....
මගේ ක්ෂනික ප්‍රශ්ණය වූයේ එහිදී ගයන්නේ කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතයද යන්නයි.
ඔව්... හැබැයි උඹ කැමති මෙලඩියම එතන කියන්න බැරි වෙයි. ඒත් ටිකක් වෙනස් කරලා කියනවා.
මේ ඇහෙන්නේ ඔහු එහිදී ගායනා කළ අන්දමයි.


මෙය ජෝති පිලිබඳව ලියන්නක් මිස කපුගේ පිලිබඳව ලියන්නක් නොවන නිසා දැන් අපි ජෝති ගැයූ ගීතය ද අසමු.
මේ ගීතය හමු වන්නේ සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටයෙනි. එය තිරගත වූයේ 1964 දිය.

ජෝති ගේ බොහෝ ගී රිද්මයෙන් මදක් වැඩි ඒවාය. සමහර ගීත වේග රිද්මයෙන් වැයෙන ඒවාය. පෙර අපි ඇසූ සමහර ගීත පෙර කී මදක් ඉහළ රිද්මයෙන් වැයෙන ඒවාය. එහෙත් ඔහු ඉතා අඩු වේගයෙන් ගැයෙන ගීද මනාව සහ හැඟුම් බරව ගයා ඇත. මතකයට පළමුවම නැගෙන්නේ

ඉර සඳ වැඳලා
නෙත් දෙක හැරලා
අත ඔබෙ නළලෙ තියා
ගීතයයි. එහි තනුව ඉතාම මියුරු සහ හැඟුම් බරය. ජෝති ගේ ගායනය ඒ සියල්ල අභබවා නැගි සිටි. ඔහු ආදරෙයි කියන විට ආදරය වෑහේ. මේ ගැයුම් ආරට ඔහුගේ රසික සමාජය කියන්නේ පැනි බේරෙන්න ගයනවා යනුවෙනි.
මේ ගිතයේ සහාය ගායිකාව වන්නේ ඇන්ජලින් ගුණතික ය.

මේ එවන්ම අඩු වේගෙන් වැයෙන ගීයකි

මේ ජීවනයේ - මුළු සංසාරේ
මේ ජීවනයේ - මුළු සංසාරේ
උදාරයි..... උදාරයි.... උදාරයි..... ආදරේ
මහද ගිලෙන්නේ - පෙම් සිලිලාරේ
මහද ගිලෙන්නේ - පෙම් සිලිලාරේ
උදාරයි..... උදාරයි.... උදාරයි..... ආදරේ
මේ ජීවනයේ....

දෑත දෑතෙ බැඳ ඈ ළං වී
මට පෑව ආදරේ
සනසාලු ලාලන කාලේ
දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දැසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දේ

ගීතය අසමු.

මේ ගයන්නේ අම්මා ගැනය. අම්මා ගැන ජෝති ගේ අර්ථකථනයය මෙය.  අම්මා ගැන එක් එක් ගායකයින් ගයන විට ඒ සඳහා ඔවුන්ගේ අර්ථකථනයන් දැක ගත හැකි. එහෙත් එය හැමෝගෙන් ම දැකිය නොහැක.
වික්ටර් ආදරයේ උල්පත වූ අම්මා ගයන විට එය දැක්වේ.
සුනිල් එදිරිසිංහ දෙවැනි බුදුන් ලෙස ගයන විටද, නන්දා මාලිනිය මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා ගයන විටද, දිවුල්ගනේ ගමට කලින් හිරු ගයන විටද ඒ එක් එක් ගායකයාට අනන්‍ය අර්ථකථනය දැක්වේ. මේ ගිතයේ ඇත්තේ අම්මා පිලිබඳව ජෝතිලේ අර්ථකථනයය. කෙනෙක් අසන්නට ඉඩ ඇත එය ගීත රචකයාගේ අර්ථකථනය නොවේ දැයි. ඔව්.. ඒ පැනය සාධාරණය. එහෙත් ඒ අරුතට අනන්‍ය අර්ඛකථනය ලැබෙන්නේ ඒ ඒ ගායකයා සතු හඬ පෞරුෂයෙනි.
මේ අයුරින් කොතෙකුත් කතා කළ හැකි සහ කතා කරනවාට වඩා රස විඳිය හැකි ගීත අර ඉල්ම් වට්ටියෙන් අපට හමු වෙයි. හැබැයි ඒවා ඉල්ලම් වට්ටිය දියේ කලතමින් මඩ සෝදා තිරිවානා බැහැර කොට සොයා ගත යුතුය. මේ එවැනි සොයා ගත් මිනිකැට කිහිපයක් පමණි. එහි තවත් මිනිකැට වෙත්. බොහෝ තිරිවානා කැට අතර එවන් මිනි කැට වෙත. එහෙත් ඒ සියල්ල ගැන කතා කිරිමට මේ වෙලාව නොවේ. එවන් අරමුණක් ඇතිව මේ සටහන ඇරඹුවාත් නොවේ. අරමුණ අනෙකකි. එබැවින් මේ රස වහෙන ගී දහරින් ඉක්මනින් සමුගන්නට වීම ගැන අමනාප නොවන්න. එහෙත් මෙහි මුඛ්‍ය අරමුණ වෙත පිවිසුමට පෙර තවත් එක් රස වෑහෙන ගීත දෙකක් තුනක් ගෙන හැර පෑමට ඉඩ දෙන්න.

ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි.....

සිහිකර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන
බිහිරිය දෙසවන
මගේ උදානය
අමිල නිධානය
ඔබමය ජීවය
මිහිරිය දෙසවන

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු
ඔබය මියෙනතුරු

ටජ්මහලක් ගීතය අසන්න.

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමු වේවි කියා
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවේ දයා.....

මේ තවත් එවැනිම සුන්දර රස වෑහෙන ගීතයකි. 



මිනිසුන් අතර මිනිහෙක් චිත්‍රපටයේ මාගෙ මතකේ ඔබේ රුව අඳේ ගීතයද ඉතා මිහිරි ගීතයකි. එම ගීතය ගයන්නේ ජෝති සමග සුජාතා අත්තනායක ය. මෙහි චරිත වලට පන පොවන්නේ ගාමිනී සමග වීනා ය.



මේ සියළු ගී ඔහු ඉතා හොඳින් සහ රස වෑහෙන අයුරින් ගයා ඇත. ඉතා පැහැදිලි හැඟුම්බර හඬකින් ඒවා ගයා ඇත. එහි රසය අනුනය. පෞරුෂයෙන් යුක්තය. එහි ගායනය පිළිබඳව කිසිවෙකුගේ තර්කයක් නැත. ඔහුගේ ගීතවල පද රචනා පිළිබඳව සැලකූ විට සෑම ගීයකම පාහේ අරුතට වඩා තනුව රිද්මය සංගීතයට වැඩි තැනක් ලැබී ඇති බව පෙනී යයි. මීට හේතුවක්ද වෙයි.
ජෝති ට බොහෝ විට ගායනය කරන්නට සිදු වූයේ වානිජ පරමාර්ථ පෙරදැරි ගීතය. එකල බහුලව නිපදවුනු චිත්‍රපට වෙනුවෙන් පසුබිම් ගායනා සඳහා බහුලව යොදා ගත්තේ මෙවැනි පද රචනාවන්ගෙන් යුක්ත ගීතයි. ඊ ළඟ කරුණ අනුකාරකවාදී ගීත දහස් ගණනක් ගයන්නට ඔහුට සිදුවීමයි. හින්දි සහ දෙමල තනු අනුව රිද්මය සහ ශබ්දය පළමු කොටගෙන ලියැවුනු අර්ථය ගැන වැඩි දුර නොතැකූ හෝ කෙලෙසක වත් නොතැකූ සමහර විට සක්ක පද වලින් ගහන ගී රැසකින් ඔහුගේ ගී මල්ල පිරී ගියේය. පසු කලෙක ස්වතන්ත්‍ර ගී නිර්මාණයේදී වුව අරුතින් බර පද වැල් ඔහු වෙත ලැබෙනවා වෙනුවට වෙනම රසික කැලක් ඉලක්ක කොට ගත් ගීත නිර්මාණයන්ය ඔහුට ලැබුණේ.
පෙර මා කී වෙසෙස් සංගීතඥයින්ගේ ඇසුරේ වුව ඔහු වඩාත් ගැයුවේ එවන් බර අරුත් නැති සැහැල්ලු විශේෂයෙන් ප්‍රමෝදමත් අරුත් සහිත ගීතයන්ය. ඔවුන් ඔහුගේ හැකියාවන් මනාව හඳුනාගෙන සිටියත් ඒ වෙනුවෙන් පෙනී සිටියත් ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඒ කිසිවෙකුත් අවස්ථාව හිමි වූ බවක් නොපෙනේ.
මේ බොහෝ නිර්මාණ කාර්යන්හිදී රසිකයා දකින්නේ නිර්මාණ කරුවන් සහ නිර්මාණ පමණි. ඊට යටි තලයේ ඇති බොහෝ දුෂ්කර සහ අමිහිරි කරුණු ඔවුන් නොදකී. ඔවුන් දකින්නේ මුතු ඇටයයි. මුතු ඇටයක් බිහිවන්නේ මුතු බෙල්ලියකගේ මසට වැලි කැටයක් කා වැදුනු දා සිට මුතු බෙල්ලිය විඳින අපමණ දුකින් බව මුතු දකින්නන්ට එතරම් වැටහුමක් නැත. මේත් එහෙම අවස්ථාවකි.
මේ නිර්මාණ පිටිපස අදිසි හස්ථයක් ඇත. ඒ නිෂ්පාදකයාය. කුමන නිර්මාණකරුවා සිය නිර්මාණ කාර්යයකට අත ගැසුවද ඔහුගේ බලයට අභියෝග කරණ අදිසි බලයක් මේ නිෂ්පාදකයාට ඇත. නිර්මානකරුවාගේ බල පරාක්‍රමය මත මේ අදිසි බලය යම් මට්ටමතට සමනය කරගන්නට හැකියාව ලැබුණත් එය සියයට සියයක් මැඩ පවත්වීමට කිසිවෙකුත් අසමත් වන්නේ නිෂ්පාදකයෙකුද මේ නිර්මාන කටයුත් නිමැවුමක් බවට පත් කිරීමට අත්‍යවශ්‍ය වන බැවිනි. මේ හේතුවෙන්ම බොහෝ විට ජෝති ට සහ ජෝති ව දායක කරගෙන නිර්මාන කරණ සංගීතඥයින්ට සිදු වූයේ නිෂ්පාදකයාගේ හඬටද කන් දෙමින් නිර්මාණ කටයුතු කිරීමටය. විශිෂ්ඨ ගායන හැකියාවකින් යුත් ජෝති මා පෙර කියා ඇති අන්දමින් වචනයේ පරිසාමාප්ත අයුරින් විශිෂඨතම ගායකයෙකු නොවුනා නම් එය එසේ නොවුවේ එවන් හේතු නිසාවෙනි. එසේ නොමැතිව අප වඩාත් සුභාවිත ලෙස හඳුනා ගන්නා ගීතයක් ඔහුට ගැයීමට ඇති නොහැකියාවක් නිසා නොවේ.
ඉහත තැනක කපුගේ ජෝති ගේ ගීයක් ගැයූ ආකාරය ඔබට මතක ඇති. එසේ කපුගේ ජෝති ගේ ගීයක් ගැයුවා සේ ජෝතිකපුගේ ගේ ගීයක් ගයන්නට දුන්නා නම් ඔහුට එය ගැයීමේ අපහසුවක් වේයැයි මම කිසි සේත් නොසිතමි. කපුගේ ට වඩා වෙනත් ආරකට ඔහු එය විශිෂ්ඨව ගයනු ඇත. කපුගේ ට වඩා වෙනත් ආරකට විශිෂ්ඨව ගයනු ඇත යනුවෙන් කීවේ මා මේ සටහනට පෙළඹවූ කරුණ නැවත මතකයට ආ බැවිනි. ඒ මුඛ්‍ය අරමුණ පිලිබඳ කතාව කෙටි එකකි. ඒ සඳහා පිවිසුම බොහෝ දිගු එකක් විය. ඒ දිගු පිවිසුමේදී අති රස ගී රැසක් ඇසූ බැවින් විඩාවක් නැතැයි සිතමි.
ජෝති ගේ ගායන හැකියාව විශිෂ්ඨ එකක් වුව එය රාගධාරී ශාස්ත්‍රීය හැදියාවක් සහිත එකක් නොවේ. එහි තේරුම ජෝති ට ඇත්තේ හැදියාවක් නැති ගායනයක් යන්න නොවේ. එහි රාගධාරී ශාස්ත්‍රීය හැදියාවක් නොමැති වූවාට රසෙහි අඩුවක්ද නැත. ජෝතිගේ ඒ ගායන හැදියාවට  යෙදෙන නම කුමක්දැයි මම සොයමි. කුමන හෝ හැදියාවකින් ඔහු ගයන ගැයුම් මිහිරිය. හැඟුම්බරය.
ජෝති ශාස්ත්‍රීය ඌරුවක් සහිතව නිර්මාණය කළ ගී රැසක්ද ගයා ඇත. එහෙත් ඒවා ගයා ඇත්තේ ඊට ගැලපෙන ශාස්ත්‍රීය ඌරුවෙන් ම නොවන බවය මගේ පිලිගැනීම. කෙසේ වෙතත් ඒ ගී ගැයුම් තුළ ශාස්ත්‍රීය ඌරුව නොවුනද ඒවා විශිෂ්ඨ සහ රසවත් ගැයුම් ය. වැදගත්ම දේ නිදහස් ආරකින් ශ්‍රාස්ත්‍රීය පදනමක් සහිත ගීයක් ගැයීමට නම් ඒ රාගාශ්‍රිත පදනම තක්සලාවකදී ඉගෙන නොගත්තත් දිවි තක්සලාවේ උගත්කමින් එය වටහා ගැනීමේ හැකියාවක් තිබිය යුතු වීමයි. ජෝති එවන් ගීයක් මනාව තේරුම් ගෙන ගැයීම තුළ අපට හඳුනාගත හැක්කේ ඔහුට එවන් ශාස්ත්‍රීය මෙහෙයවීමක් නැතත් ඒ මෙහෙයුම මත නිර්මිත ගීතයක් ඉවෙන් මෙන් හඳුනාගෙන එය තමන්ගේ නිදහස් ආරෙන් ගායනය කළ හැකි බවයි.
මේ අදහස් ලියන්නට සිතුණේ අහම්බෙන් දුටු ලකිඳු පීරිස් සොයුරාගේ මේ පෝස්ටුව කියවීමෙන් අනතුරුවය. එහි ඔහු ගැයූ ශාස්ත්‍රීය පදනමක් මත නිර්මාණය වූ ගීත කිහිපයක් මතු කර ඇත.
එහි දිගුව මෙහි අමුණමි.
එහි මා වෙසෙසින් ඇළුම් කරණ ගීතයක් හමුවීම ප්‍රමෝදයට තවත්  හේතුවක් වෙයි.

රිදි වලාතුළින් එබී
බැබලෙන රන් තාරකා....... ඒ ගීයයි.

මේ ගීය ඇසීමේ පිපාසය නොනිමී පවතින අතරතුරය ලකිඳු ගේ පෝස්ටුව ඇස ගැටුණේ. මේ පිපාසය කොතෙක් පරණදැයි ඔබ සිතනවාද? එය අවුරුදු විසි ගණනකට වඩා පැරණිය. ඒ විසි ගණනින් පසු මා හට එම ගීතය ජන මාධ්‍යකින් අසන්නට නොලැබිනි. ඒ අතරතුර කාලයේ මා එම ගීතය වරින් වර ඇසුවේ මිතුරු සංගීතඥ නවරත්න ගමගේ ගේ හඬිනි. 


නවා ට එම ගීතය ගැන කියන්නට සොඳුරු කතාවක්ද ඇත. මෙවන් වේදිකාවක නවා එය නොකියන නිසා අද මට එම කතාව කියන්නට සිත් වේ. එහෙත් ඊට පෙර එම ගීතය අසා සිටිමු.
රිදි වලා තුළින් එබී
බැබලෙන රන් තාරකා....... ගීතය අසන්න.


මේ ගීතය ජෝති ගයන විදිහ දැන් ඔබ ඇසුවෙහිය.
ගීතයක් ගයන විදිහ වචන වලින් ලියන්නත් හැකිය. හැබැයි එය පහසු නොවේ. එහෙත් එය මෙසේය.
රිදී වලා තුළින් එබී
බැබලෙන රන් තාරකා.......
ජෝති ගීය ගයන්නේ එලෙසය. ශාස්ත්‍රීය ගීතය ශාස්ත්‍රීය ඌරුවකින් තොරව ය. නිදහස් ආරකිනි. යුග ගායනයෙන් සහාය වන ශ්‍රීමතී තිලකරත්නද ඊට ගැලපෙන සේ ශාස්ත්‍රීය ඌරුවකින් තොරව සිය ගැයුම ඉදිරිපත් කරයි. 
රිදී වලා තුලින් එබී  ගීතය ශාස්ත්‍රීය ඌරුවකින් ගැයුවේ නම් මෙසේ වනු ඇත. ගයා පෙන්වන උදාහරණයක් මා සතුව නොමැති බැවින් ශාස්ත්‍රීය ව ගීතය ගයන විදිහ වෙනත් ගීතයක් ඇසුරින්  මතක් කර දෙමි. මේ කමලාසනී ගීතය ගයන්නේ ද අප මේ ගීතය හා කතාවට ඈඳා ගත් පී. වී. නන්දසිරි ඇදුරිඳුන් විසිනි.
විමල් අබේසුන්දර ගේ රචනය සංගීතවත් කරනුයේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි.




 කමලාසිනී ගීතය අසමු.



රිදී වලා ගීතය එසේ ගයන විදිහ පෙන්වීමට හඬ පථයක් නොමැති හෙයින් එය ලියා පෙන්වමි. සමහර විට මේ ඔබ  ශාස්ත්‍රීය ගීතයක්, ලියා ඇති විදිහෙන් වටහා ගන්නා පළමු වතාව වන්නට පුළුවන්. ගයා ඇති විදිහ පෙන්විය නොහැකි හෙයින් ලියා ඇති විදිහෙන් වටහා ගනිමු.
රිහ්දීඊඊඊඊ වලාආආතුළින් මිදීඊඊ
බැබඅඅලෙන රන්න්න් තාරුකා ආ ආ ආ
මේ ගීතය සංගීවත් කළේ පී. වී. නන්දසිරි මහතාය. පී. වී. නන්දසිරි මහතා උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතයේ දැවැන්තයෙකි. එබැවින් ඔහු ගීතය උත්තර භාරතීය රාගධාරී සංගීත පදනම මත පිහිටා ගීතය නිර්මාණය කර ඇත. එයට යෙදී ඇත්තේ .... රාගයයි. මෙම ගීතයේ රචකයා වන්නේ හෙන්රි විජේවර්ධනයි.
මේ ගීතය ඇසෙද්දී නවා මා හා කී කතාව කියන්නට ගොස් ආයෙම ගීතය ගැන කතා කරන්නට වුණේ ගීතය ගැන තොරතුරුද ඒ අතරේ අඩුවක් නොමැතිව තිබුය යුතු බැවිනි.
නවා යම් සීමා සහිත කාල වල බී. වික්ටර් පෙරේරා සහ  පී. වී. නන්දසිරි, ඩී. ඩබ්. ජයන්ත අරවින්ද වැනි ආචාර්යවරුන් සමීපව  ඇසුරු කළ අයෙකි. 



නවා පොතේ සංගීතය උගත්තෙක් නොවේ. ඔහු සංගීතය සංසාරයෙන් අරන් ආ අයෙකි. අත්දැකීම් සහ අභ්‍යාසයෙන් ඒ හැකියාව වර්ධනය කරගත් අයෙකි.
නවා මේ වැනි ප්‍රවීනයින්ගේ ඇසුරින් රැස් කර ගත් දේ බොහෝය. ඔහු වරක් නන්දසිරි ඇදුරිඳුන් සමග සෝමලතා සුබසිංහගේ ඇන්ටිගනි නාට්‍යයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා සහ සංගීත පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටියේය. ලද කෙටි ඉසිඹුවක මහ ඇදුරිඳුන් සමග කතාබහ කර හිස පෝෂනය කර ගැනිම ඔහුගේ පුරුද්දකි. මේ කතා බහ අතරතුර ජෝති ගැන කතාවක් ඇරඹුනි. ජෝති ශාස්ත්‍රීය සංගීතය උගත්තේ නැති වුවද ඒ පිලිබඳ ඔහුට වූ ඉව ගැන නන්දසිරි ඇදුරිඳුන් කතා කර ඇත්තේ මහත් ප්‍රසාදයෙනි. ඔහු ඒ සඳහා උදාහරණයක් ලෙස ගත්තේ තමන් විසින්ම සංගීතවත් කළ මේ රිදී වලා ගීතයයි.
ජෝති එම තනුව කෙලෙස අවබෝධ කර ගනීදැයි තමන්ට සැකයක් වූ නමුත් ඔහු ඒ පිළිබඳ මනා අවබෝධයෙන් ගැයූ බවය එතුමන් විසින් පවසා ඇත්තේ. එහෙත් ඒ එම ජවනිකාවට උචිත අයුරිනි. තමන්ගේ නිදහස් ගැයුම් ආරටය. එබැවින් එහි මා පෙර කී ශාස්ත්‍රීය ඌරුව හමු නොවේ. එබැවින් එය ශාස්ත්‍රීය පදනමක් ඇති ගීයක් වුවද ශාස්ත්‍රීය ගැයුමක් නොවේ.
මේ කතාබහෙන් ටික කලකට පසුව පී. වී. නන්දසිරි උපහාර උළෙලක් පැවැත්වෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේදීය. ඒ අවස්ථාවට නවරත්න ගමගේ ද සහභාගි වෙයි. මේ උළෙලේදී නන්දසිරි ඇදුරිඳුන් අතින් නිම වූ ගී විවිධ ගායක ගායිකාවන් විසින් ගයනු ලබයි. එහෙත් මේ ගීතය ගයන්නට එවකට ජෝති ජීවතුන් අතර සිට නැත. එබැවින් ඒ ගීතය තමන්ම ගයන්නට ඇදුරිඳුන් පෙළඹෙයි.
දැන් නන්දසිරි ඇදුරු තුමන් රිදී වලා ගීතය ගයයි. එය ශාස්ත්‍රීය පදනමක් ඇතිව සෑදූ නිසාද, සෑදුවේ තමන්ම නිසාද, තමන් ශාස්ත්‍රීය ගායනයෙහි වෙසෙස් නිපුනයෙකු නිදසාද ඔහු එය එකී ශාස්ත්‍රීය පදනමද රසයද මතුවෙන ලෙස ගයන්නට වුණේ රැස්ව සිටි අයට එහි පදනම මනාව වැටහෙන අයුරිනි.
රිහ්දීඊඊඊඊ වලාආආආආ තුළින්න්න්න් මිදීඊඊඊඊ
බැබඅඅඅලෙන රන්න්න් තාරුකා ආ ආ ආ
බැබඅඅඅලෙන රන්න්න් තාරුකා ආ ආ ආ

ඔහු ගීත ගයයි. බහුතරයක් ඒ රසින් කුල්මත්ව එය අසනු ලබයි. මේ අතරේ නවා අසල සිටි  යමෙක් කුටු කුටු ගාන හඬ ඇසෙයි. නවාගේ අවධානය මදක් ඒ දෙසට යොමු වෙයි.
ඒ මචං.... බලපංකෝ...... මූට සිංදු කියන්න බෑනේ.....
ඒකනෙ මචං මමත් අහගෙන හිටියේ. මූ ජෝතිගේ සිංදුව කනවානේ.....

ජෝති සහ ශ්‍රීමතී ගීතය ගැයුවේ ශාස්ත්‍රීය ඌරුවට නොව නිදහස් ආරකටය. එනම් මෙලෙසය.

රිදී වලාතුළින් එබී
බැබලෙන රන් තාරකා.......

එහෙත් එහි සංගීත නිර්මාපක පී. වී. නන්දසිරි ඇදුරිඳුන් ඒ ගීතය ගැයුවේ ශාස්ත්‍රීය පදනම මත පිහිටා මෙලෙසිනි.

රිහ්දීඊඊඊඊ වලාආආආආ තුළින්න්න්න් මිදීඊඊඊඊ
බැබඅඅඅලෙන රන්න්න් තාරුකා ආ ආ ආ
බැබඅඅඅලෙන රන්න්න් තාරුකා ආ ආ ආ

අර ජෝති රසිකයින් දෙදෙනාට ගෝචර නොවුනේ එම ශාස්ත්‍රීය ගැයුමයි.
මේ ජෝති ශාස්ත්‍රීය ගීතයක් වුව එය ගයන්නේ ශාස්ත්‍රීය ඌරුවට නොව තමන්ට අනන්‍ය නිදහස් ආරකට බවට දෙන එක් උදාහරණයක් පමණි. ඒ අනුව ඔහු ශාස්ත්‍රීය පදනම මත පිහිටා සැදූ ගී දක්ෂ ලෙස හඳුනාගෙන තමන්ට හුරු නිදහස් ආරෙන් ගැයීමට දක්ෂයෙකු බව සනාථ වෙයි. ඒ අතරම ඒවා ශාස්ත්‍රීය ගැයුම් නොවන වගද සනාථ වෙයි.
ඒ කෙසේ වෙතත් ජෝති ගේ ගී හැඩය. සුන්දර ය. රස ය.
-        යසනාත් ධම්මික බණ්ඩාර   -

Sunday, April 5, 2015

සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද කළුවර අහසට..... ( කිඳුරු ගීතය ගී සැඳෑව - හතරවන කොටස )





තුරුණු පෙම්වතෙක්හට තම පෙමවතිය කොතෙක්නම් සොඳුරු වස්තුවක්ද කියලා  කියැවෙන ගීතයක් මාතින් ලියැවුණා. ඒත් මට මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ මම ඒ ගීතය ලියා ඇත්තේ වෙනස් කෝණයකින් කියලා මට හිතෙන නිසා.
සාමාන්‍යයෙන් මෙවැනි ගී තතුළින් තම සිත ගත් යුවතිය වර්ණනා වෙන්නේ පරිසරයෙහි ඇති කිසියම් සුන්දර වස්තූවකට සමාන කරමින්. ඒත් මෙහි ඇත්තේ පරිසරයේ ඇති සියළු සුන්දරතාවනට හේතුවී ඇත්තේ ඇයයයි කීමයි.
මෙවැනි එක් උදාහරණයක් මතක්වෙනවා. ඒ තමයි ප්‍රේමකීර්ති ද අල්විස් 


ලියූ වික්ටර් රත්නායකයන්ගේ  


කුරුල්ලන්ට ගී ගයන්න ගීතය. එහි ප්‍රකට වන්නේ ඇයගේ සුන්දරත්වය රැඳී ඇත්තේ සොබා දහම මත නොව, සොබා දහමේ සුන්දරත්වය රැඳී ඇත්තේ ඇයගේ සුන්දරත්වය  නිසාවෙන්ය කීමයි.
කුරුල්ලන්ට ගී ගයන්න ගීත අසා යමු.

නමුත් මගේ ඇය වර්ණනා කරණ ගීතයක්මත් නොවෙයි. මෙහි ඇය පිළිබඳ වර්ණනාව ගැබ්ව ඇතිවා සේම ඇයගේ වියෝගය පිළිබඳව වන වේදනාවද එකසේම ගැබ් වෙනවා.

ප්‍රේමයේ පුර පස තුටු ගීතයට
මුදු වදන්දුන් නුඹ
ප්‍රේමයේ අවපස දුක් ගීතයට
දුක් වදන් දෙනු කෙලෙසද........

ප්‍රේමයේ සුන්දරතම කාලවකවානුවේදී සතුටු ගී පොකුරට මුදු වදන් ඇමිණූ ඇයම ප්‍රේමයේ  මළගම අභියස දුක් ගීතයට දුක් වදන් අමුනන හැටි පුදුමයකි.....

තරු කැකුළකට යුග නෙතේ කැන් පළඳා
මල් කැකුළකට මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට රස තෙපුළ් වැල් අමුණා
සුව සිහිනයම මගෙ දෙනෙත් ළඟ මවලා.....

රෑ අහස පුරා තරු කැකුළු දිලිසුනේ ඇගේ නෙත් වල කාන්තියෙනි.
යායට පිපුණු මල් වල පෙති පාට වුණේ ඇගේ මුහුණේ පැහැපත් කමෙනි.
ඒ දිනවල මහත් ප්‍රීති ප්‍රමෝදයෙන් ගැයුණු ගීත වලට අමුණා තිබුණේ ඇගේ මුවින් ගිලිහුණු ගීතයන් බඳුවූ මිහිරි වදන්ය.
මේ සියල්ල එක්කොට ඔහු දෙනෙත් ඉදිරියේ ඈ මැවුවේ සුව බර සිහිනයකි.....එහෙත්...
එදා එලෙස සතුටු ගීතයට සතුටු වදන් දුන් ඇයම අද මහ ම දුකක්වී ඒ  දුක් ගීතයට දුක් වදන් අමුණන අන්දම..... හරිම පුදුමය......

තුඟු ගඟුලකට නිල් වරල රුව දවටා
සුදු මුතු පොටට මුතු දසන් කැන් පළඳා
පිණි කඳුළකට මුදු හදේ තෙත තවරා
හරි මිහිරිතම පෙම් සිසිල සිත ගවසා....

දිගු විසල් ගංගාවට ඒ හැඩය ලැබුණේ  ඇගේ දිගු කෙස්කළඹේ හැඩයෙනි...
අලංකාර සුදු මුතු පොටට රශ්මිය ලැබුණේ ඇගේ කිරි සුදු දත් පෙළේ පැහැයෙනි......
අළුයම පිණිපලස මත පිපී දිලිසෙන පිණි පොකුරු වලට තෙතමනය ලැබුණේ ඇගේ මෘදු හදවතේ සිසිලෙනි.....
ඉමිහිරිම පෙම් සිසිලෙන් ඔහු සිත සුවපත් කළේද ඇයමයි... එහෙත්... එදා ඒ සතුටු ගීතයට සතුටු වදන් දුන් ඇයම අද මහ ම දුකක් වී දුක් ගීය ගැයෙද්දී එම දුක් ගීතයට දුක් වදන් අමුණන අන්දම........ හරිම පුදුමයි.......

ප්‍රේමයේ පුර පස තුටු ගීතයට
මුදු වදන්දුන් නුඹ
ප්‍රේමයේ අවපස දුක් ගීතයට
දුක් වදන් දෙනු කෙලෙසද........

තරු කැකුළකට යුග නෙතේ කැන්පළඳා
මල් කැකුළකට මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට රස තෙපුළ් වැල් අමුණා
සුව සිහිනයම මගෙ දෙනෙත් ළඟ මවලා.....

තුඟු ගඟුලකට නිල් වරල රුව දවටා
සුදු මුතු පොටට මුතු දසන් කැන් පළඳා
පිණි කඳුළකට මුදු හදේ තෙත තවරා
හරි මිහිරිතම පෙම් සිසිල සිත ගවසා....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - සුරේෂ් මාලියැද්ද
හඬ - දයාන් විතාරණ
ප්‍රේමයේ පුර පස ගීතය අසා යමු.

 =========================================================================

මෙය ප්‍රේම ගීයකැයි කිව නොහැක. ප්‍රේමය සහිව හෝ රහිත ඇසුරක කෙලවර විවාහ ජීවිතය තුළ මතුවන ගැටළුවක ගිතමය ප්‍රකාශනයයි. දහසක් බලාපොරොත්තු දල්වා එක් වී අවසන බොහෝ දෙනෙක් නොගැලපීම් 1000 කින් ගැලපීම් 100 ක් හදාගෙන කුටුම්බ ජීවිතය රැක ගැනීමට ගන්නා වෙහෙස හැර අන් දෙයක් නැති නුණොත් එය මොන අවාසනාවක් වනු ඇතිද?
මෙම ගීතය නිර්මාණය වුණු වට පිටාව ගැන යමක් කිව යුතුය.
මෙහි ගායකයා වෛද්‍යවරයෙකි. ඔහු ද මා මෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ අයෙකි.අප දෙදෙනාම වසර දෙකක පමණ කාලයක් එකම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් ලෙස සිට ඇත. ඒ ඔස්සේ ගොඩනැගුණු හිතවත් කම තවත් වැඩි වුණේ මා යම් කලා කටයුතුවල නියැලෙද්දී ඔහු ඒ දෙස ප්‍රමෝදයෙන් බලා සිටීම නිසායි. එපමණක් නොව ඔහුද එවන් කටයුතු වලට ඇළුම් කළ අයෙකි. පසුව ගුවන් හමුදාවේ වෛද්‍යවරයෙකු ලෙසට යම් කලක් සේවය කළ අතර පසුව ඉන් ඉවත්ව ස්වාධීනව වෛද්‍යවරයෙකු ලෙස සේවය ඇරඹීය. ඔහු නමින් ඈශ්ලි පෙරේරා ය.

‍මෙම ගීතයට සංගීත නිර්මාණය කරන්නේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සිටි දක්ෂ වාදකයෙක් සහ නිර්මාණකරුවෙක් විසිනි. නමින් හේ ප්‍රසන්න සංජීව නම් විය. 


ඔහු විශාරද ජූඩ් පීරිස් මහතාගෙන් සංගීතය මනාව ඉගෙන ගෙන සිටි අතර ගිටාර් වාදනය සම්බන්ධව ඉහලට උගෙන සිටි එහෙත් නිහඬ පුද්ගලයෙකි. මගේ ගීත කිහිපයකට ඔහුගේ සංගීතය මුසු වන්නේ මිතුරු ඈශ්ලි ගේ මැදිහත් විමෙනි. ඒ අනුව ය මේ ගීතය ඔහු විසින් සංගීතවත් කරණුයේ. ඒ සඳහා ඔහු යොදා ගෙන ඇති සුව්ශේෂ සංගීතය මහත් ප්‍රසාදයට හේතුවෙයි. මෙම ගීතයේ ඇත්තේ යම් උත්ප්‍රාසයක් සහිත අදහසකි. එය මතුකිරීම සඳහා සුදුසු තනුවක් සහ සංගීත සංයෝජනයක් ඊට එකතු කොට ඇත. එමෙන්ම මේ ගීතයේ රූප රචනයටද මම මහත් ප්‍රිය කරමි. මට මවන්නට ඇවැසි දෙදෙනාගේ වෙනසට සුදුසු අර්ථ කථනයක් ඒ තුළින් සැපයෙන බව මගේ අදහසයි.
මේ ගීතයේ අරුත ගැන මහා විවරණ අනැවැසිය. තේරුම එතරම් සැඟවුනු එකක් නොවන බැවිනි. මේ වැලිතලප සහ කේක් දෙචින්තනයේ වෙනසයි.

මං පෙම්වතාලු ඇගේ
ඒ වුණාට පෙම්කරන්න දන්නෙ නෑලූ
ඈ පෙමවතීලු මගේ
ඈ තරමට පෙම් කරන්න දන්නෙ නෑලූ

දුර දිගට ඉගෙන ගත්තත්
මොන මොන සහතික ඇතිවත්
ඒ සහතික වල
පෙම්කරනා හැටි කියල නෑලූ
මං පෙම් කරන්න දන්නෙ නෑලූ....

නෙක විසිතුරු අබරණ ඇතුවත්
මොන මොන සළුපිලි දැරුවත්
ඒ සළුපිලි වල
පෙම්වතීට ගැලපෙන හැඩ නෑලූ
මං පෙම් කරන්න දන්නෙ නෑලූ....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
හඬ : වෛද්‍ය ඈශ්ලි පෙරේරා
ස්වර: ප්‍රසන්න සංජීව
පෙමවතා සහ පෙම්වතී බලා යමු...


 ========================================================================
එක් අක්කා කෙනෙකුට නැගණියක් ඉන්නවා. මේ අක්කා බොහෝ දුකෙන් ඉන්නේ නැගණිය ගැන. ඇයට තාම සිකුරා ලබල නැති නිසා. ඒක එහෙමමත් නොවෙයි. ඇයට ඇය හිතන පතන ආකාරයේ පුර සඳක් පායා තිබුණා. ඒත් කිසියම් අවාසනාවකට ඒ සඳ ඇගේ අහසින් බැස ගියා. සමහරවිට සඳ ඇයව හැරදමා ගියා වෙන්න පුළුවන්. නැතිනම් විවිධ හේතු මත ඒ දිනවල දෙගුරුන්ගේ අවසරය නැතිවුණා වෙන්නත් පුළුවන්. ඉතින් අර අක්කණ්ඩිය නැගණියට මෙහෙම කියනවා.

සඳක් මැකුණු දා - සිකුරා වුණත් නොපිපි දා
එළි පොදක් අරන් හිස් අහසට පායා ආවට
ඔය සාප කතා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

නුඹ පැතූ සඳ මැකී ගියා. විවාහයට අධිපති සිකුරු ග්‍රහයා නුඹේ අහසයට පායන හැඩකුත් නෑ. ඉතින් එහෙම තියෙද්දී ඔය හිස් අහසට එළි පොදක් අරගෙන පායා එන සෙනසුරු ග්‍රහයට  වුණත් මගෙ නංගියේ උඹ සාප කථා නොකියා කැමති වෙයං.... මේ අක්කාගේ පැතුමයි.

අතැඟිලි නොබැඳී - රන්හුය පට නොලැබුණු කරුමෙට
පුන් කලස කැඩී ඉහිරී -  ගොළුවුණත් සිලෝ පද
හිස් කැදැල්ල ළඟ මල් පඳුරේ මල් නැති අරුමෙට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

රන් මිණි මුතු තිබුණානම් වස්සාන සිහිනය සැබෑවක් කරගන්න තිබුණා. ඒත් රන් හුයක් තිබුණේ නෑ පෝරු මස්ථකේ හිඳුවා නුඹලාගේ අතැඟිලි බඳින්න. සිහින පෝරුවේ සිහින පුන් කලස් කැඩී ඉහිරි සිලෝ ගීත ගොළුවුනේ නුඹගේ පමණක් කරුමෙට නොවෙයි. කැදැල්ලේ නුඹ තනියම ඉන්නකොට මල් පඳුරට මල් කොහෙන්ද?
ඇය විවාහය ගැන බොහෝ සිහින මවන්නට ඇති. ලස්සන පෝරුවක් මත පුන් කලස් සිලෝ ගීත මැද රන්හුයෙන් අතැඟිලි බඳින්න සිහින මවන්න ඇති. ලස්සන සාමකාමී පුංචි කැදැල්ලක තම පෙම්බරාණන් සහ දරු පිරිවරක් කැටිව ලස්සන දිවියක් ගෙවන්න සිහින මවන්න ඇති. ඒත් අද තනිකඩ ඇයට දරු සුරතල් කොයින්ද?

හදගිනි ඇවිලී -පෙම් ගී පද ගොළුවුණු යාමෙක
රන් තොරණ කැඩී ඉදිරී - මැලවුණත් සෙනේ සිත
ඉඳිකඩුල්ල ළඟනුඹ තනියම  - වැලපෙන හවසට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

පෙම් ගී පද සියල්ල ගොළුවී අවසානයට වැයුනේ දුක් ගී පදම පමණයි. රන් තොරන් කැඩී මැලවී ගියේ ප්‍රේමයෙන් සුපුෂ්පිතව තිබූ අහිංසක සිතයි. නුඹට දැන් උරුමව ඇත්තේ ඉඳිකඩුල්ල ළඟට වී කවදා හෝ ඔහු ඒදැයි හූල්ලන එක පමණයි.
ඉතින් මගෙ නංගියේ ජීවිතය නුඹ පැතූ ආකාරයට ඉටු නොවුණු බව සැබෑවයි. එත් නුඹටත් හෙටක් උදාවනු දැකීම මගේ ඒකායන පැතුමයි. ඒ නිසා අද නුඹේ ලෝකෙට කණාමැදිරි එළියක් හෝ අරගෙන එන්නේ සෙනසුරු ග්‍රහයා නම් ඒත් නුඹ මුවින් නොබැන ඒක සඳක් යැයි සිතපන්.... මේ අක්කාගේ පැතුමයි...

සඳක් මැකුණු දා -සිකුරා වුණත් නොපිපි දා
එළි පොදක් අරන් හිස් අහසට පායා ආවට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

අතැඟිලි නොබැඳී - රන්හුය පට නොලැබුණු කරුමෙට
පුන් කලස කැඩී ඉහිරී -  ගොළුවුණත් සිලෝ පද
හිස් කැදැල්ල ළඟ මල් පඳුරේ මල් නැති අරුමෙට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....

හදගිනි ඇවිලී -පෙම් ගී පද ගොළුවුණු යාමෙක
රන් තොරණ කැඩී ඉදිරී - මැලවුණත් සෙනේ සිත
ඉඳිකඩුල්ල ළඟනුඹ තනියම  - වැලපෙන හවසට
ඔය සාප කථා එපා නගේ
සෙනසුරු තරුව වුණත් සඳක් නොවෙද
කළුවර අහසට.....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - කරුණාරත්න විජේවර්ධන
හඬ - ප්‍රදීපා ධර්මදාස
(ප්‍රදීපා ධර්මදාසගේ කඳුළු තොටුපළ සි. ඩී.තැටියේ එන ගීතයකි.)

මේ ඇසුනු ගීතයේ විශේෂත්වයක් තියෙනවා මට. ඒක තමයි මේ ගීතය සී. ඩී. තැටියක් සඳහා තෝරා ගැනුනු මගේ ප්‍රථම ගීතය වීම. ඒකෙත් පොඩි කතාවක් තිබෙනවා.
මම මේ ගීය කරු ට කියා සංගීතවත් කරලා ප්‍රදීපා අක්කාගේ හඬින් ගායනා කරවා ගත්තේ මගේ කිඳුරු ගීතය ගීත පොකුර වෙනුවෙන්. 


එදා පටිගත කිරීමට ඩලස් අයියාත් ( පසුව ඩලස් නියෝජ්‍ය ඇමතිතුමන් සහ ඩලස් ඇමතිතුමන් වුණා. එහෙත් අපි ඊට පෙර ඔහුට කීවේ ඩලස් අයියා කියා වන බැවිනි ඒ විදිහටම මෙහි ලියුවේ.)පැමිණ සිටියා. ගීතය ගයා අවසන ප්‍රදීපා අක්කා සහ ඩලස් අයියා හදකලාව මුණු මුණු ගානු වරක් දෙවරක් දුටුවා. මෙය මට මහත් ගැටළුවක් වුණා. අළුත් අපේ ගීතය පිළිබඳ ඔවුන් සෑහීමකට පත් නොවීවත්ද? ඔවුන් එතැනින් නික්මුණේද යමක් නොකියාමයි.
පසුදා සෙනසුරාදාවක් විය. කැම්පස් නොයන නිසා හිටියේ බෝඩිමට වී පටිගත කළ ගීත ටික අසමිනි. තමන්ගේම ගීතයක් පටිගත වී අපි මහත් සේ ඇළුම් කළ ප්‍රවීන හඬකින් ඇසෙන විට දැනෙන්නේ පුදුමාකාර සතුටකි. ඒ අතරේ හදිසියේ කැබ් රථයක් බෝඩිමට විත් නැවතුනි. ඒ ඩලස් අයියා ගේ කැබ් රථයයි.

ඔහු පෙර දින කළ ගීතය ගැන කතා කර එය හොඳ බවද පවසා ගීතය අක්කාට ගයන්න ලැබීම ගැන සතුටු වන බවද පැවසීය.
මම මේ ළඟට යන අතරේ උඹලා ඉන්න තැනට එබිලා යන්න ආවේ.
ඔහුගේ පැමිණීමේ යම් අස්වාභාවික ස්වරූපයක් තිබුණද එය වටහා ගැනීමට ඒ අවස්ථාවේ මට නොහැකි වුනි. තවත් පැයක් දෙකක් ගෙවෙද්දී ඔහු නැවත පැමිණියේ ආපසු යන අතරේය. ඔහු පැමිණ ටික වේලාවක් ගත කර වැදගත්ම කතාවට මුළ පිරීය.
යසනාත් මල්ලී... මට උඹෙන් අහන්න බැරිවයි උදේ ආපහු ගියේ..... ප්‍රදීපා අක්කා අහන්නම කියා බල කරන නිසායි ආයෙමත් ඇවිත් අහන්න හිතුවේ. උඹට පුළුවන්නම් ඔය ගීතය අක්කාගේ ගීත එකතුවට දීපං....... අක්කා එකට දෙකක් ගායනා කරාවි උඹේ ගීත එකතුව සඳහා.....
කාරණය වටහුනේ එවිටය. මා ඔහුට කීවේ මගේ ගීත එකතුවක තිබෙනවාට වඩා ඇගේ ගීත එකතුවට එය එකතු වීම අළුත් අය වශයෙන් මටත් කරුටත් මහඟු අවස්ථාවක් වන බවයි. ඒ ගීතය ඇගේ ගීත එකතුවට ගියේ ඒ ලෙසයටය.
සඳක් මැකුණු දා ගීතය අසා යන්න.
http://www.topsinhalamp3.com/songs/pradeepa-dharmadasa-mp3-songs/sandak-makunu-da-mp3-song.php 
පස්වන කොටසින් හමුවන අදහසින් නවතින්නේ,
-         යසනාත් ධම්මික බණ්ඩාර -