Wednesday, April 13, 2022

දවසක් පැල නැති හේනේ පැලක් තැනූ කළුමහත්තයා.......

 

No description available.

මිරිස්වත්ත, කොළඹින් බොහෝ ඈත, ගාලු දිස්ත්‍රික්කයේ, ගඟබඩ පත්තුවේ පිහිටි පිටිසර ගමකි.

හරියටම මින් අඩ සියවසකට එපිට දී මිරිස්වත්ත ගම් වැස්සෝ සුද්දාගෙ වතු අධිරාජ්‍යයේ අණසකට යටත්ව වතුකම්කරු රැකියාවලටත්, තමන්ගේ හෝ අනුන්ගේ ඉඩම් කට්ටියක කුඩා ගොවිතැනක් හෝ කිරි හරකුන් දෙතුන් දෙනෙකුගෙන් යුත් ගව පට්ටියක් පවත්වාගෙන යාමටත් හුරු වී සිටයවුන් වූහ.

ගම සුද්දාගේ ආර්ථික බෝග වලට මැදිව පිහිටියේය. එක් පසෙක සරුවට වැවුණු රබර් කට්ටියකි. ඒ හැර ගම වටාම තිබුණේ පෙනෙන තෙක් මානය පුරා විහිදුන තේ යායයි. සම්ප්‍රදායික සිංහල ගැමියන් සේ ම වතුකර ලැයින් කාමර වල කම්කරු දෙමළ ජනයාද මෙහි ගත කළ ජීවිතය අහිංසකය; දුක්බර ය; සාමකාමී ය.

ඇල්ලලමුල්ල කපුගේ ප්‍රැන්සිස් සහ දෝන සිරිබද්දන ඇලිස් නෝනා මිරිස්වත්ත ගමේ එක වහලක් යටට කූඩු වී වසර කිහිපයකි. වතුකම්කරුකම හා ගොවිතැන ඔවුන්ගේ ජීවිකාවයි. 1945 අවුරුද්දේ අගෝස්තු 07 වෙනි දින මේ යුවලගේ කුඩා කැදැල්ලෙන් මතු වූ බිළිඳෙකු ගේ මංගල හැඬුම් හඬක් ගම පුරා පැතිර ගියේය.

පවුලට දෙවැන්නා සේ එකතු වූයේත් පුතෙක් ම ය. දහසක් අඩු ලුහුඬුකම් මැද වුවද මවු පියනට දරුවන් දෑස සේ විය. ඔවුනගේ තුරුලේ උණුසුමට අමතරව, වැඩෙන දරුවනට ස්වභාවික ගැමි පරිසරය ආශිර්වාදයක් ම විය.

වසර දෙකක් තුනක් ගෙවෙද්දී දරුවා කුඩා දඟයෙකි. බුහුටි පුත්‍රයෙකි. ගමේ කවුරුත් මේ බුහුටි පුත්‍රයාට කලු මහත්තයා යන ආදර නම කීහ.

කල එළඹෙන කල, දරුවා සිප්සතර වෙත යොමු කිරීමේ අදිටන මා පියන් තුළ දැඩිව පැවැතිණ. තමන් නොලැබූ සිප් නැණ තම දරුවනට ලබා දීම ඔවුනගේ අභිප්‍රාය විය. ඒ අනුව ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් කලු මහත්තයාගේ අධ්‍යාපනයට මුළ පිරිණ.

මා පිය පැතුම් ඉටු කරමින් ඔහු ඉගෙනුමේ සමතෙක් බව ප්‍රකට කරන්නේ ශිෂ්‍යත්වය ඉහළින් සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමේ වරම් ලබමිනි.

කලුමහත්තයා අනෙකුත් විෂයන්ට අමතරව සංගීතය හැදෑරීම පටන්ගන්නේ එහිදීය. ඒ ඩබ්. චූලරත්න හා එන්. ඩී. ප්‍රේමසිරි මහත්වරුන් යටතේය.

නමුත් ඔහුට සංගීතය මුළින්ම කියා දුන් පුද්ගලයා වූයේ එකල විදුහල්පතිවරයෙක් ද වුණු, කලුමහත්තයාගේ මාමාද වුණු එස් එඩ්මන් මහතා ය. ඔහු තිතට වැඩ කළ පුද්ලයෙකි. එසේ නොකළොත් එහි විපාක මොනවා දැයි ටික කලකින් කලුමහත්තයාගේ පිට කොන්ද දැන ගත්තේය.

කුඩා කලම පියා අහිමි වන කලුමහත්තයාට පියා වූයේ එඩ්මන් මාමාය. පියා සේම දිගු ගමනකට මග කියා දුන්නේ ඔහුය.

දස හැවිදිරිදි කලුමහත්තයාට ගී තනු ලියා දෙමින් ගායනය කරවීම ඔහුගේ පුරුද්දක් විය. ගමේ ටීටර් පොළ වලදී ඒ ගායනා ඉදිරිපත් කරවීමෙන් ද ගායනය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම විශේෂම දෙයක් විය.

මීට අමතරව ඉරිදා දිනවලදී ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංගීත ගුරුවරයා වූ ඊටින් මාස්ටර් වෙත කලුමහත්තයාව යොමු කිරීමටද ඔහු වග බලා ගත්තේය.‍

මාමාගේ ගමේදී කලුමහත්තයාට ළඟින්ම සිටියේ දෙමළ මිතුරෙකි. ඔහු කලුමහත්තයාට දුන් මිතුරුකම ද තෝසේ සහ වඩේ රසයද අන් ජාතීන් කෙරෙහි පසුව පෑ ඔහුගේ සෙනෙහසට මුල් හේතුව වූවා නිසැකය.

කරන්දෙනියෙන් පසුව ගාල්ලේ නාගොඩ විද්‍යලයත්, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයත් කලුමහත්තයාගේ අධ්‍යාපන චාරිකාවේ නවාතැන්පළවල් විය.

මේ සෑම විද්‍යාලයකදීම අන් විෂයන්ට  සේම සංගීතයටද ඔහු සම්ත්කම් පෑහ. එහෙත් සංගීතයේදී ඔහු අරිට වඩා හපනෙක් විය. 1959 දී ගාලු දිස්ත්‍රික් පාසැල් ගායනා තරගයේ ජයග්‍රහණය හිමි වූයේ කලු මහත්තයාටය. ඒ ඔහුගේ මුල්ම ජයග්‍රහණයයි.

ඉගෙනුමෙහි සමත් කලුමහත්තයා දඩබ්බර වැඩද නොකළා නොවේ. වරක් සිය පාසැල් බස්රථය අවලංගු කිරීම නිසා පෑ විරෝධයට නායකත්වය දුන්නේ කලුමහත්තයායය.

පාරට බැරල් දමා හරස් කර එතැන තිබූ ගල් රෝලක් වේදිකාව කරගෙන පෑ විරෝධය කෙළවර වූයේ එකල හිනිදුම ආසනයේ මන්ත්‍රීවරයා වූ නීතිඥ දිසානායක මහතා පැමිණ පාසැල් බස් රථය නැවත ලබා දෙන බවට දුන් ලිඛිත පොරොන්දුවෙන් පසුවය.

පොදු ප්‍රශ්ණ හමුවේ පෙනී සිටීම සහ හඬ නැගීමේ පුරුද්ද ඔහු ලබන්නට ඇත්තේ එලෙසිනි.

නවසිය හැට දෙකේදී එස්. එස්. සී සමත්ව එච්. එස්. සී. වලට ඉගෙන ගන්නා සමයේදී ගැහැණු ළමයෙකුට දුන් හසුන් පතක් අදාල ළමයාට නොලැබී විදුහල්පති තුමා අත පත්වී පන්ති තහණමකට ලක් විය. එය සිය මාමාගේ කණ වැකීමෙන් අනතුරුව විය හැකි අනතුර වටහාගත් කලුමහත්තයා නතර වූයේ සිය නැන්දනියගේ නිවසට යාමෙනි. අතේ සතයක් නොවූ කලුමහත්යාගේ සාක්කුවට මාමාගේ සාක්කුවේ තිබූ රුපියල් 50ක් වැටුණේ අන් කළ හැකි දෙයක් නොමැති වූ බැවිනි. එය ඔහු ජීවිතයේ කළ එකම හොරකම විය.

නාගොඩ සිට එච්. එස්. සී. කර විශ්ව විද්‍යාලයට ගොස් උපාධියක් ලැබීම කලුමහත්තයාගේ පැලෑන විය. එහෙත් ඔහුට ඒ විදිහට එච්. එස්. සී. කරන්න ලැබුණේ මාස 6ක් පමණි. සංගීතයට සම්මාන සහිතව එස්. එස්. සී. සමත්ව සිටි කලුමහත්තයාව හේවුඩ් ( රජයේ ලලිත කලායතනය ) එකට යැවීමට එඩ්මන් මාමා අවශ්‍ය කටයුතු සම්පානදය කර තිබුණි. කලුමහත්තයා සරසවි සිහිනයෙන් එසේ අවදි වුණි. අවශ්‍ය වියදම් තමන් දරණා බැවින් හේවුඩ් යාමට මාමා කල ඇවටිලි දැඩි වූයේ 1963 දී හේවුඩ් ආයතනයට ගොස් සංගීතය හදාරන්නට කලුමහත්තයා හිත හදා ගත්තේය.

ඔහු එහිදී ගායනයත් එස්රාජ් වාදනයත් ප්‍රගුණ කරන්නට විය. එච්. ඩී. එස්. පියසේකර, සදානන්ද පට්ටිආරච්චි, බී. එස්. විජේරත්න හා ශාන්ති ගීතදේව වැන්නවුන් ඔහුගේ ගුරුවරුන් වූහ. සරසවි සිහිනය බිඳී ගියද කලුමහත්තයාගේ සංගීතය දිගේ ඉහළට යාමේ සිහිනය ක්‍රමයෙන් ඉටුවන්නට විය. කලුමහත්තයාගේ හැකියාවන් වටහා ගත් ශාන්ති ගීතදේව ඔහුට ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරීමට අවශ්‍ය මග පාදා දුන්නේය. මුදල් ඒ ගමනට තිබූ ලොකුම බාධකය විය. මෙවරත් පිහිටට ආවේ එතෙක් සෙවනැල්ලක් මෙන් සිටි මාමා ම ය.

1965 දී මාමාගේ නිවස සහ ඉඩම උගසට බැඳුනි.  එම මුදලේ පිහිටෙන් කලුමහත්තයා සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවට පියාඹන්නට යෙදුණි.

ලක්නව් හී භාත්කණ්ඩේ සංගීත විශ්ව විද්‍යාලයේදී කලු මහත්තයාට උස්තාද් ලෙලේ, පණ්ඩිත් හරිශංකර් මිශ්රා, උස්තාද් මක්ෂූඩ් අලි, පණ්ඩිත් රතන්ජංකර් සහ සීතා ශිරන් සිං යන ගුරුවරුන්ගේ අත හිත ලැබුණි. මාස 6කට පසුව කලුමහත්තයා සංගීත ඩිප්ලෝමාධාරියෙකු විය. ඉන් තවත් තෙවසරක් ඉක්බිතිව, 1969 දී සංගීත විශාරද උපාධිය දිනාගැනීමට ඔහුට හැකි විය.

කලුමහත්තයා හෙවත් කපුගේ ගුණදාස එතැන් පටන් විශාරද ගුණදාස කපුගේ විය.

ඉන්දියාවේදී මුඛේෂ් දැකගැනීම සඳහා ගිය ගමනක් කපුගේ ගේ සංගීත චාරිකාවේ දිශානතිය වෙනස් කිරීමට ප්‍රබල හේතුවක් වූවා යැයි සිතේ. ලක්නව් වල නාරී කලා කේන්ද්‍රයට මුකේෂ් පැමිණි විටෙක ඒ ආශාව ඉටුකර ගන්නට හැකි වුවත්, ටිකට් පතක් සඳහා අවශය වූ රුපියල් 25ක් ඔහු අත නොවීය. එකල එහි සිටි ඔස්ටින් මුණසිංහය මිතුරා රුපියල් 25 ලබා දුන් බැවින් ඒ බාධකය දුරු විය.

මුකේෂ් පරිවාරිග් චිත්‍රපටයේ ගීතයක් ගයන විට ශාලාවේ සිටියවුන්ගෙන් වැඩි පිරිසක් හඬන බව කපුගේට දැනුනි. සහෘදයා කෙරෙහි සංගීතයෙන් ඇති කළ හැකි බලපෑම කොතරම් දැයි කපුගේ පළමු වරට අත්දැක්කේ එලෙසිනි. අවසන මුකේෂ් හා කළ කතා බහ නිමා වූයේ බොම්බායේ පිහිටි සිය නිවසට එන ලෙස මුකේෂ්ගෙන් කපුගේට ලැබුණු ඇරියුමකිනි. එය දුම්රියේ දින එක හමාරක ගමනකි. එහෙත් ඒ අත්දැකීම් ගැන ඔහු කී කතා ‍මෙහි ලියන්නට මේ අවස්ථාව නොවේ.

හැඟුම් දැනවෙන සේ නැගෙන විරහ ගී කපුගේ ගේ හදවතින්ම පැණ නගින්නකි. ඉන්දියාවේ සිටින කපුගේ දවා හලු කළ සිද්ධියක් ලංකාවේ සිටි මිතුරෙකුගෙන් ආරංචි විය. ඒ ඔහුගේ ප්‍රථම ප්‍රේමය දිනා සිටි යුවතිය එදින අනෙකෙකු හා විවාපත් වූ බවය. නැවතී සිටි එම්පයර් හෝටලය තුළ සිට වැඩියෙන් ගත් මධුවිත නොවන්නට ඔහු එදින අන් කුමණ ප්‍රතිචාරයක් දක්වාවිද යන්න කාටවත් කිව නොහැකිය.

1969 දී කපුගේ ඉන්දියාවේ සිට ලංකාවට එන්නේ අලුත්ම රැකියා විරහිත තරුණයා බවට පත් වෙමිනි. එහෙත් නිතර තැපැල් කන්තෝරුවට ගොස් ගැසට්ටුව පෙරලා දැමූ රැකියා ඉල්ලුම් පතකට කැඳවීමක් ලැබීම භාග්‍යයක් විය. තනතරු ශ්‍රී ලංකා ගුවන් විදුලියේ  ක්‍රියාකාරී සහකාර තනතුරයි. තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර සහ දයා තෙන්නකෝන් කපුගේ සමග එකම දින සේවයට බැඳුනු අනෙක් සගයන් විය.

1970 යනු කපුගේ ගේ රැකියාව ස්ථිර වූ වසරයි. ඔහු එකල හොඳ නමක් දිනා ගත් ශබ්ද පරිපාලකයෙකි. එහෙත් ගායකයෙකු නොවේ. එකල කපුගේ ගායනය ගැන සිතන්නටවත් නොපෙළඹෙන කුලෑටි තරුණයෙකුව සිටි අයෙක් විය. ඒ යුගයේ ගුවන් විදුලි අඹරේ පෑ යූ තරු තුනක් විය. සනත් වික්ටර් හා මිල්ටන් ත්‍රිත්ත්වයයි.

දිනක් ඇරැව්වල නන්දිමිත්‍රගේ කෙටි කතාවක් ඇසුරින් කළ ගුවන් විදුලි නාට්‍යයක ගීතයක් සංගීතවත් කිරීමට කපුගේට අවස්ථාව ලැබුණි. එහි නිෂ්පාදකයා වූයේ සුගතපාල ද සිල්වා ය. වැඩේට හිත ගිය සුගතපාල ද සිල්වා සිය තුරඟ සන්නිය වේදිකා නාට්‍යෙය් සංගීත නිර්මාණ කටයුතු කපුගේ ට පැවරීය. 1973 දී වේදිකා ගත වුණු තුරඟ සන්නිය කපුගේ ගේ සංගීතය මුසු වූ පළමු වේදිකා නාට්‍යය විය.

ගුණදාස කපුගේ නම් ගායකයා උපන්නේද 1973 දී ම ය. එකල ඔහු ගුවන් විදුලියේ අනුමත ගායකයෙකු නොවූ බැවින් විශේෂ අවසරයක් නැතිව ගායනා කළ නොහැකි වීය. ඒ විශේෂ අවසරය ලබා දුන්නේ එකල සිංහල සේවා අධ්‍යක්ෂ වූ එච්. එම්. ගුණසේකර මහතා ය. මේ සඳහා පී. ඩී. ස්ටීවන් මහතා මහත් උනන්දුවෙන් කටයුතු සම්පාදනය කළේය.

ගීතයේ රචකයා වූයේ ප්‍රියානන්ද විජේසුන්දරයි. එහි තනුව කපුගේ ගේ ම ය. එය සංගීතවත් කළේ සනත් නන්දසිරි විසිනි. අද දවසේ පවා අති මහත් ජනප්‍රියතාවකට හිමිකම් කියන

දෑස නිලුපුල් තෙමා - කඳුලු මුතුළැල් සලා

දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ - හඬනු මල්මාලියේ

ගීතය අපට දායාද වූයේ එලෙසිනි.

කපුගේ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු වූයේ ඊ ළඟ වසරේදීය.

1975 දී කපුගේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදක තනතුර දක්වා උසස් විය. මෙය ඔහුගේ සිතුවිලි ධාරාවේ දැඩි වෙනසක් ඇති වුණු කාලයක් විය. මාක්ස්වාදය කෙරෙහි ඔහුගේ අදහස්වල වැඩි නැඹුරුවක් ඇතිවිය. දුප්පත් කමින් හා සූරාකෑමෙන් පීඩිත විවිධ ජනකොටස් වල දුක් ගිනි ගැන බෙහෙවින් සංවේදී සිතක් ඔහුට විය. එබැවින් ඔහු නියෝජනය කරන්නට වූයේ ධනවාදී දේශපාලනයේ විරුද්ධ පාර්ශ්වයයි.

1977 දී බලයට ආ නව එක්සත් ජාතික පක්ෂ රජය කපුගේ ගේ ගීත ගුවන් විදුලියේ තහණම් කළේ එබැවිනි. එය ඔහුට කළ කෙනිත්තිල්ලක් පමණි. ඒ වසරේම සෝවියට් රුසියාවේ පැවැති ජාත්‍යන්තර ගායනා තරගයට කපුගේට ලැබුණු ඇරියුම ඉහළින් ආ නියෝගයකින් කපා හැරුණි.

1978 ජූලි 05 වන දිනය ඔහුට අමතක නොවන එකකි. නැත. නැත. එය ඔහුගේ රැකියාව අහිමි කළ දිනය නොවේ. එය යෙදෙන්නේ පසුවටය. මෙය වෙනත් වැදගත් දිනයකි.

වසර හතරකටත් එපිට 1974 දී ඒ වසරේ මාතර පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සම්මේලනයට ගායක ගායිකාවන්, නැටුම් ශිල්පීන් ඈ පිරිසක් එකම බසයේ ගමන කරමින් සිටියදී මුණ ගැසී පෙම් පිරූ ප්‍රේමා, ප්‍රේමා කපුගේ ලෙසින් සිය ආදරණීය බිරිඳ බවට පත් කරගත්තේ 1978 ජූලි 05 වන දිනදීය.

ඔවුන් හමුවූ හැටි ලස්සන කතාවකි.

ගමන යන අතරමග කලුතර බෝධිය වැඳීමට පිරිස ගියත් කපුගේ නොගියේය.

ඇයි ඔයා යන්නේ නැත්තේ? බුද්ධාගමේ නොවෙයිද?

ඒ ප්‍රේමා තරුණියයි.

මට ආගමක් නෑ. ආගමික භක්තිය මිනිසුන්ව සූරාගෙන කෑම සඳහා යොදා ගන්නවා. මම විශාවස කරන්නේ මාක්ස් වාදය.

එදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය දක්වා දික් වුණු විවාදය ඉක්බිති වසර හතර පුරාම පැවතියේ විවාදය කෙළවර වූයේ විවාහයකිනි..

1978 ඒ මාසයේදීම කියුබාවේ හවානා නුවර ජාත්‍යන්තර තරුණ සමුළුවක් පැවැත්විනි. ආරාධනා ලැබූවන් අතර කපුගේ ද විය. විනයගරුක කපුගේ ආයතන අවසරය පැතීය. අවසරය ලබා දීමට තරම් බලධාරීන් යුක්තිගරුක නොවීය. ගමන නොයා නැවතීමට තරම් කපුගේ දීන නොවීය. 1978 ජූලි මස 22 දා කපුගේ සිටියේ කියුබාවේ හවානා නුවරය. එන ගමනේ පිළිගැනීම් උණුසුම් විය. සේවය අතහැර ගියා සේ සලකන ලිපිය ගුවන් තොටටම ගෙනැවිත් බාර දෙන ලදි.

වැඩ නැති කාලයේ සංගීතවත් කළ සඳා චිත්‍රපටය 1979 දී තිරගත විය. එය ඔහුගේ පළමු චිත්‍රපට සංගීත නිර්මාණයයි.

1979 දී යළිත් ඔහුට රැකියාව ලැබුණි. එහෙත් ඒ වසරේදීම එවකට අගමැති රණසිංහ ප්‍රේමදාසට අපහාස කළා යැයි පොලිස් අත්අඩංගුවට ගැනුනි. චෝදනා නොමැති බැවින් නිදහස් කරණු! යන උසාවි නියෝගය ලැබෙන තෙක්, ඔහුට දින 5ක් බන්ධනාගාර ගතව සිටින්නට සිදු විය.

අත්අඩංගුවෙන් නිදහස් වුවද ගුවන් විදුලිය ඔහුට තහණම් විය. එවර රැකියාව නැතිව සිටි කාලය වසරකුත් මාස 10කි. චිත්‍රපට කිහිපයකම සංගීත නිර්මාණ කටයුතු සඳහා ඒ නිදහස ඔහුට උදව් විය.

1980 දී කපුගේ ගේ දිවියේ තවත් මංගල අවස්ථාවක් උදාවිය. එවර මණාලිය මාලනී බුලත්සිංහල යි. ඔවුන් දෙදෙනා එක්ව දම්පාටින් ළ සඳ නම් ගීත එකතුව නිකුත් කළේ ඒ වසරේදී ය. මඟුල ඒක ය.

තාරාවෝ ඉගිලෙති නාට්‍යයට ඔහු කළ සංගීතය ඔහුගේ සංගීත දිවියේ මතු නොව, සිංහල නාට්‍ය සංගීතයේද සුවිශේෂ එකකි. එම නාට්‍යයේ රට වටා රජ ගමනට එම සංගීතය මහත් සේ බලපෑවේය. නිෂ්පාදකයින්ට නාට්‍යයක සංගීත පාර්ශ්වය ගැන යළි යළිත් සිතා බලන්නට එයින් බලකර සිටියේය.

දිනක් තාරාවෝ ඉගිලෙති නාට්‍යය නැරඹීමට එහි ප්‍රෙක්ෂකාගාරයට පැමිණ සිටි එවකට ගුවන් විදුලියේ සභාපති වූ ඒමන් කාරියකරවන මහතා මේ නාට්‍යෙය් සංගීතය සැපයූ ගුණදාස කපුගේට සිය ආයතනය තහණම් කර ඇති බව දැන ගත්තේය. වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා ඊ ළඟ සතියේ සිට කපුගේට යළි ගුවන් විදුලි සංස්ථා දොරටුව විවර කර දුන්නේය.

ගුවන් විදුලි දිවියේ කපුගේ වසන්තය ඇරඹෙන්නේ 1981 කේ අගෝස්තු මස දිනකිනි. ඔහු රජරට සේවයේ වැඩ බාර ගැනීමෙන් පසුවය. එ් කාලය රජරට සේවය සහ කපුගේ වෙන්කොට කතා කළ නොහැකි තරමින් බැඳුනු කාලයක් විය. එහි සිටි ස්වර්ණ ශ්‍රී නාමයද ඒ වසන්තයට මං හෙළි පෙහෙළි කළේය.

නව පදමාලා, නවරැල්ල ආදී සංගීත වැඩසටහන් අරඹමින් රජරට ගීත ප්‍රබෝධයක් ඇති කරන්නට යෙදුනි.

මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රෙස්කර, පල්ලේගම හේමරතන හිමි වැනි රචකයින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, වික්ටර් ලියනගේ, ජානකී සුමිත්‍රා දිසානායක වැනි ගායක ගායිකාවන්ද ඒ ප්‍රබෝධය තුළින් මතුවුණු පුද්ගල නාම කිහිපයක් පමණි.

එවකට රජරට සේවයේ අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා ප්‍රවෘත්ති අංශයේ සිටි නිව්ටන් ගුණසේකර ද කපුගේගේ  මේ වැඩපිලිවෙලට මහත් පිටිවහලක් වූහ.

එකල බොළඳ ගී රැල්ලකින් ක්ෂේත්‍රය වසා ගනිමින් තිබුණි. අමරදේව - මහගම සේකර ඇතුළු සුළු පිරිසක් ඊට එරෙහිව සටනක යෙදෙමින් සිටියහ. කපුගේද ඉන් පන්නරය ලැබුවෙකි. මුකේෂ් සංගීත සන්ධ්‍යාවේ මතකයද ඔහු සිත නින්නාද විය. සිංහල ගීත කලාවේ හරවත් වෙනසක් කිරීමේ අබිලාසය ඔහු තුළ දැඩිව කිඳා බැස ගියේය. ඔහු ඒ වෙනුවෙන් වෙහෙසී ඉන් ජයද ලබා ගත්තේය.

දිනක් කපුගේ මහත්තයා බලන්න මවක් රජරට සේවයට පැමිණියාය. කෙනෙක් ඇයව කපුගේ මහත්තයා ළඟට ඇරළුවේය. ඈ ඔහු දෙපා මුළ වැඳ වැටුණු විට ඔහු අන්ද මන්ද විය.

අනේ මහත්තයෝ ගෙදර තිබුණ ලොකුම ප්‍රශ්ණය සහෝදරයෝ දෙන්නා ඉඩමට ඇන කොටා ගත්තු එක. ඔබතුමාගේ ගීතය නිසා ඒ ප්‍රශ්ණය විසඳුනා.

 

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

ගිනි ඇවිලුනා කැණි මඬලට අපෙ නිවසේ

එකපත අනා එකටම කෑ පෙර දවසේ

මං අමතකද නුඹ රජ වූ අද දවසේ

ගීතය අප්‍රකටව තව කී දෙනෙක් ඒ අයුරින් සුවපත් කරන්නට ඇතිද?

1981 අවුරුද්දේ දී ඔහු සීතල සඳ එළියේ නමින් කැසට් පටයක් එළි දැක්වීය. ඉන් දෙවසරකට පසු 1983 දී උන්මාද සිතුවම් කැසට් පටය රස විඳීමේ පින ගීත රසිකයින්ට උදා විය.

දූෂිත රජයන් විසින් දෙන සම්මාන හඹා නොගිය කපුගේට හිමි වූ විවිධ ජනතා සම්මාන නිමක් නැත. ඒවා ගැන එබැවින් එකිනෙක කතා කිරීමේ ප්‍රයෝජනයක් නැත.

1984 මැයි මාසයේදී ඔහු කාලයේ රාවය නමින් සංගීත ප්‍රසංගයක් ආරම්භ කර රට වටා ප්‍රදර්ශනය කළේය. එය ගීත ප්‍රසංග කලාවේ නව නැම්මක් විය. එය කම්පන ප්‍රසංගය දක්වා දිනෙන් දින වර්ධනය විය. කෙසේ වෙතත්, සිය ගායනය වේදිකාව මතට පමණක් සිරකිරීමට කපුගේ කිසිදා උත්සාහ නොකළේය. විවිධ සිසු කම්කරු අරගල වලදී, ගොවි අරගල වලදී ඔහු ඔවුන්ට ශක්තියක් වෙමින් ගී ගැයූ වාර අපමණය.

මාවතේ ගීතයට කපුගේ ගේත්, ලංකා කැසට් වංශකතාවේත් ඉහළම තලයක තිබුණු කැසට් පටයකි. එය නිකුත් වූයේ 1986 දී ය.

1986 දී රටවල් 142ක කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් උතුරු කොරියාවේ පැවැති සංස්කෘතික සම්මේලනයක ශ්‍රී ලංකා නියෝජිතත්තවය හිමි වූයේ කපුගේ ට ය.

1989 දී භීෂණය හේතුවෙන් මාසයක් වසා තිබූ රජරට සේවයට පණ දෙන්නට කපුගේට සිදුවූයේ හමුදා ආරක්ෂාව මධ්‍යයේය.  එම කටයුත්ත ජීවිතයත් මරණයත් අතර දෝලනය වීමක් විය. එකල පැවැති භීෂණය හේතුවෙන් කොළඹ ගුවන්විදුලියට මාරුවක් ගැනීමට කපුගේට සිදුවිය. රජරට සේවයෙන් කපුගේට වෙන්වන්නට වීම දරුවෙකුගෙන් පියෙකු බලහත්කාරයෙන් වෙන් කළා හා සමාන සිද්ධියක් විය.

1990 ජනවාරි 29 වෙනිදා යළිත් කපුගේ ගේ වැඩ තහණම් විය. එදායින් පසු කිසිදු දිනක රැකියාව පිණිස ඔහු ගුවන් විදුලියේ පස් පාගන්නට ගියේ නැත.

1990 අගෝස්තු 25 වෙනිදා යනු කම්පන ප්‍රසංග චාරිකාවේ ආරම්භක දිනයයි. එදින කොළඹ ලුම්බිණියට පොදි කකා රැස් වුණු සහෘදයන් ඉදිරියේ වේදිකා ගතවුණු කම්පන ගී ප්‍රසංගය අනතුරුව රටේ සෑම අස්සක් මුල්ලකම නින්නාද වුණි.

පිය සටහන් ඔහුගේ ඊ ළඟ කැසට් පටයයි. ඒ 1990 වසරේදී මය.

පියසටහන් වලින් ඉක්බිති කම්පන ප්‍රසංගයේදී ගැයුණු ගී රැගත් කම්පන කැසට් පටය නිතුක් විය. පසුව 1995 දී මිරිවැඩි සඟලක් කැසට් පටය නිකුත් විය.

පසුව සිය ගීත සන්ෆ්ලව්ර්ස් සමග ගැයීමෙන් ඔහු යම් අප්‍රසාදයකටද පත් වුණි. නමුත් ඒ හා සමගම කපුගේ ගීත අසන වෙනත් ශ්‍රාවක පිරිසක්ද බිහි වූ බව කිවමනාය.

ගුණදාස කපුගේ ගීත දහස් ගණනක් ගැයූවෙක් නොවේ. එහෙත් ඔහු අප මතකයේ සිටින්නේ ගීත දහස් ගණනක් ගැයූවෙක් ටත් වඩා උඩ තැනකය.

ඔහු අනෙකුත් ගායක ගායිකාවන් වෙනුවෙන් කළ සංගීත කාර්යයන්ද විශිෂ්ඨ ගණයේ ඒවා ය. ගණනින් ස්වල්පයකි. අගයෙන් ඉතා ඉහළය.

මේ අතර ධර්මසිරි බණ්ඩාරනායකගේ භව දුක සහ භව කර්ම චිත්‍රපට ද්වය සඳහා ඔහු කළ සංගීත නිර්මාණය අමතක කළ නොහැක. ධර්මසිරි ගේ ජීවිතය බඳු එම චිත්‍රපට ද්වයය තුළ ඔහුට අවැසි කම්පනය රඳවා ගත්තේ කපුගේ ය. සිරකඳවුර නාට්‍යෙය් කපුගේ සංගීතයද එවැනිම එකකි.

කපුගේ ගේ සංගීතමය කාර්යයන් පමණක්ද ඔහුව මිනිසුන්ගේ හදවතේ ජීවත් කරවූයේ,

මා සිතන්නේ අනෙකකි. ඔහුගේ නිර්මාණ සඳහා තෝරාගත් රචනා අරුත්බර ය. ඉන් මිනිසුන් ඥානනය කරණු ලබයි. හුදු රසය තුළ ගිල්වා තමන් ජීවත් වන විෂම ලෝකය අමතක වෙන්නට හරිනවා වෙනුවට ඔහු දෑස් විවර කර අවබෝධයෙන් ලොව දෙස බලන්න කැඳවනු ලබයි.

එමෙන්ම කපුගේ ගේ මානව දයා ගුණය ගැන ගෙතුනු කතා නොව ඇත්ත කතා එමටය.

කපුගේ කම්පන ප්‍රසංගයේ මංගල දැක්මේ අවසන් අදියරයේ මුදල් නැතිව සිටින බව ආරංචි වී ලැබුණු පරිත්‍යාගය මොහොතකින් පැමිණි 80 ජූලි වර්ජකයෙකුගේ බිරිඳගේ සැත්කමක් හෝ අසනීපයක් වෙනුවෙන් හෝ වැය කළේ අනෙක් අයට නිහඬවන්නට සන් කරමිනි. ඔහු ගිය පසු කීවේ අපි කොහොම හරි ඒ සල්ලි හොයා ගමු. මේ මොහොතේ ඒ සල්ලි අවශ්‍ය එයාට යනුවෙනි.

මෙය අතිශයෝක්තියක් නොවන බව මම මගේම අත්දැකීමකින් දනිමි.

මා වෛද්‍ය පීඨයේ සිටියදී නිතර ඔහු නිවසට ගොඩවන්නේ නිවස ජයවර්ධනපුර රෝහලට සමීපව පිහිටා තිබූ බැවිනි.

ඒ අවස්ථා වලදී මා ලියූ යම් යම් දේ දැක, යසනාත් මල්ලි, ඇත්තටම නම් මේවා අපි ගීත බවට පත් කළ යුතුයි. ඒත් දැන් ගීත ඇල්බම් නිෂ්පාදනය නොවෙන ගානයි. එහෙම එකක් එනකං කොච්චර කල් ඉන්න වෙයිද?

මම උදව් කරන්නම්. උඹ පටන් ගනින්.

මම අමාරුවෙන් මුදල් ටිකක් සොයා ගීතයක් දෙකක් පටිගත කිරීමට සූදානම් වුනිමි.

ඔහු ගීත දෙකක් සංගීතවත් කර ගීත දෙකක් නොමිලයේ ගායනා කර දෙන බව කීවේය. එපමණක් නොව එච්. එම්. ජයවර්ධන, මාලනී බුලත්සිංහල යුවලද ඊට දායක කර ගැනීම සඳහා ඔහුම කතා බහේ යෙදුනි.

ඒ අතරේ නවරත්න ගමගේ මා මිතුරා සමගද තවත් ගීත තුනකට ලක ලැහැස්ති වුණි.

දැන් ඔක්කොම ගීත හයකි. හිතුවාට වඩා වැඩේ විශාලය.

වැඩේ යන අතරේ, මල්ලි, සල්ලි අවුලක් නැහැ නේද? මදි වෙනවා නම් කියපං.

සල්ලි අවුලක් විය හැකිය යන බය මා සිත පැවතියද, මම නොපෙන්වුවෙමි. මේ අතරේ වැඩේ අවසන් වීමට හෝරාවකට එක හමාරකට මත්තෙන් කපුගේ අයියා හදිසියේම ත්‍රී වීලරයක නැගී යම් දිහාවකට යන්නට විය. මා පසුපසින් එළවන්නේ, උඹ ගිහින් එතැන වැඩ බලපං. මම ඉක්මණින් එනවා කියමින් ඔහු ගමනේ යෙදුනි.

මද වේලාවකින් කපුගේ අයියා යළි පැමිණියේය.

එදින පටිගත කිරීමේ ශබ්දාගාර බිල සම්පූර්ණයෙන් ගෙවූ ඔහු ඊ ළඟ දිනයට අත්තිකාරමක්ද ගෙවා රිසිට් පත මා අත තැබීය.

කලකට පසුව, යම් අවස්ථාවක ඒ මුදල ආපසු දෙන්නට සැදූ විට ඔහු මට කතා කළේ මෙහි සඳහන් කළ නොහැකි බාසාවෙනි. කිසි දිනක ඔහු එය බාර ගත්තේ නැත.

එකිනෙකා විෂයයෙහි මේ වැනි දේ ඔහු කර ඇති වාර ගණන අපමණකි. එබැවින් ඔහු ගැන කියන එවන් සෑම කතාවක්ම විශ්වාස කටයුතුය. ප්‍රබන්ධයන් නොවන්නේය.

මා දැක ඇති, සිය නිර්මාණ සහ පුද්ගලයා අතර අවම පරතරයක් තබා ගත් කලා කරුවා කපුගේ අයියාය.

මීට අවුරුදු ගණනකට පෙර එක් අඳුරු අප්‍රේල් මාසයක එතරම් ඉක්මණින් ගෙන නොයා යුතු මිනිසෙක් අපෙන් ඉවතට ගෙන ගියේය. එයින් වූ පාඩුව නොගිනිය හැකි තරම්ය. වැඩිම පාඩුව වූයේ අර්ථ පූර්ණ ගීතයට ය. කපුගේ ගේ ඇවෑමෙන්, අර්ථ පූර්ණ ගීතයට ලැබුණු ඉඩ ශීඝ්‍රෙයන් හැකිලී ගියේය. තිබෙන වචන වලට වඩා එම තනු ලල ලල බසින් ගැයුවේ නම් ඒත් හොඳ යැයි හිතෙන එම ගීත හතු පිපෙන්න්නා සේ බිහි විය. එහි සීමාවක්ද නොවීය.

කපුගේ හිටියා නම් සිංහල ගීතය මේ තරම් වේගයෙන් පිරිහෙන්නේ නැති බව සහතිකය.

-      යසනාත් ධම්මික බණ්ඩාර      _

No comments:

Post a Comment