ප්‍රේමයේ
බිඳවැටීමකින් අනතුරුව කෙනෙකුට ඉතිරිවිය හැක්කේ මොන මොනවාද? නිසැකවම කිව හැකි දේ
නම්, එක් දෙයක් පමණක්ම නම් නොවන බවය.
යම් යම් දේ නැති
වනු ඇත.
බොහෝ දේ ඉතිරිවනුද
ඇත.
ඒ ඉතිරිවන
බොහෝ දේ අතර, දුක, කඳුළ, කලකිරීම, අපේක්ෂාභංගත්වය, ලැජ්ජාව ආදියේ සිට, වෛරය, ක්‍රෝධය
දක්වාම වනු ඇත.
එමෙන්ම සියුම්
රිදුමක් වන එහෙත් ඒ රිදුමම රසයක් වන හැඟීමක්ද ඉතිරිවෙන අවස්ථා ඇත.
මතක සුවඳක් හෝ
සුවඳවත් මතකයක් වුව ඉතිරිවෙන දේ අතර විය හැකිය.
ප්‍රේමයේ බිඳ
වැටීමත් සමගම කෙනෙකුට නැති වනුයේ කුමක්ද?
ප්‍රේමය නැති
වෙයි.
ප්‍රේමිය නැති
වෙයි.
නැහැයෙන්
ඇතුළු වී රුධිර ධාරාවට මුසු වී සෑම සෛලයක් කරාම ගෙන ගිය ප්‍රේමනීය සුවඳ නැති වෙයි.
මේ නැතිවීම් වල දුර දිග දී සමහර විට තමන්ට තමන්ම වුව නැති විය හැකිය.
මා ප්‍රේමයේ
මෙම අහිමි වීම මත කෙනෙකු තුළ වෛරය ක්‍රෝධය වුව ජනිත විය හැකි බව කීවෙමි. මේ
තත්ත්වය අද සමාජය තුළ වඩාත් වැඩ වන්නේ එම බිඳවැටීම සමනය කිරීමට කෙනෙක්, දෙයක්,
යමක් සොයා ගැනීම දුෂ්කර විය හැකි බැවිනි.
කෙනෙක් නැතැයි
කීමෙන් අදහස් කරන්නේ සමහර විට මිතුරු සමූහයේ හැසිරීමයි. දරා ගැනීමට වඩා මරාගෙන
මැරීමේ අදහස පෝෂණය කරණ වට පිටාවකය ඔවුන්ද සිටින්නේ.
උඹ හින්දා
ඉවසාගෙන උන්නා මිස, මම එහෙම නම්......
මේ කියන්නේ
මොකකද්?
බස්සනවා අඟල්
හයක් යන්න නොවන්නේද?
මට එහෙම ඔය
වගේ වැඩක් කළා නම් මම නම් ඕකිට ආයේ එකෙක් දිහා බලන්නවත් ඉඩ තියන්නේ නෑ.
මේ එවැනි
පෙළඹවීම් එකක් දෙකක් පමණි.
එම ආවේගයන්
සමනය කිරීමට සුදුසු කලාවක් අද වෙයිද? අද දවසේ කලාව තුළ වුව තිබෙන්නේ අහිමිවීමේ
වේදනාව සමනය කරගන්නට සහාය වන ආකාරයේ ඇසි දිසි නිපයුම් නොවේ ද? කුපිත කරවනාකාරයේ දේ
නොවේද? එවන් පසුබිමකය මේ ගීය පිළිබඳව මහත් ප්‍රසාදයෙන් යුතුව කතා කළ යුත්තේ.
එහෙත් ඒ අතරේ
මතකයට නැගෙන වෙනත් ගීතයක්ද වෙයි. ඒ ගීතයේ රචකයා ප්‍රේමකීර්ති
ද අල්විස් ද? සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්ද? එය ගයන්නේ නම් ආචාර්ය වික්ටර් රත්නායක
ය. එහෙත් එහි රචකයද, සංගීතයද
පුණ්‍යසිරි
මහවත්ත
යන්ගේය.
මම
තරහා නෑ
මම
තරහා නෑ
ප්‍රේම
පත්‍ර බොඳ වචන කුළුගැන්වුණු ආදරයක්
සිටුමැදුරක
විසූ නුඹට මගේ පාලේ ඉඩ මදි නම්
කුමාරයෙක්
අත ගන්නට වේවි වාසනා....
තමන් හැර ගිය
පෙම්වතිය අසල මෙවන් අදහසක් පාන පෙම්වතෙක් අද සොයා ගන්නේ කෙසේද? හැර ගියාට තරහා නෑ
කීමෙන් නොනවතින ඔහු තමනට වඩා ඈට ගැලපෙන ඇගේ පැලැන්තියේ පෙම්වතෙක් හමු වේවායි ද පතන
පැතුම???
එතනින් ඔහු
නොනවතී.
හිතට
දුකක් ඇති වෙනවා
ඒ
වුණාට නෑ
කමක්
නෑ
මම
තරහා නෑ
මම
තරහා නෑ
ඒ එකල මා අර
කියූ ආවේගයන් සමනය කරණු ලබන කලාවයි.
එහෙත් අද කලාව
කෙලෙසද? අද එවන් කලාවක් නැත. තිබුණත් ඇස ගැටෙන්නට කණ ගැටෙන්නට ඉඩක් නැත. මාධ්‍යයක්
නැත.
ඈ හා කිසිදු
තරහාවක් නැති වුව, ඇගේ ඉදිරි ගමනට සුබ පැතිය හැකි වුව, විය හැකි අනතුරද ඔහු දනී. අමෘතය
වුව ඉවත ලා හලා හල විස හඹා යන මෙවන් ගමන් ගැන ඔහු දැන සිටියේය. ඉදිරියටත් විය හැකි
බවද දනී. එහෙත්, ඈ සතු, තෝරා ගැනීමේ නිදහසට ඔහු ගරු කරයි. සුබ පතයි. එපමණක් නොව.
මදකට ඇද වැටුණද තමන්ගේ දිවි පෙවෙත පිළිබඳ ඇති බලාපොරොත්තුද අත නොහරී.
අමෘතයද
ඉවත හෙලයි
හිත
නැති නම් මුව තැබුමට
ඉරණම
එය විසඳනු ඇත
මටත්
කලක් උදා වේවි
රැහැන්
වෙලා බැඳ ගන්නට බැහැනෙ ආදරේ
හිතට
දුකක් ඇති වෙනවා
ඒ
වුණාට නෑ
කමක්
නෑ
මම
තරහා නෑ
මම
තරහා නෑ
අපි මම තරහා නෑ ගීත අසමු.
මේ මම තරහා නෑ ගීතය මට මතක හැටියට එකල සිත්තර, සුහද, සතුට ඈ චිත්‍රකතා පත්‍ර වල පළ වූ චිත්‍ර කතා සඳහා
ගීත ලියා පළ කළ ගීත එකතුවක් වෙනුවෙන් නිමැවුණකැයි මතයක් මගේ හිතේ පවතී. වික්ටර් ගේම ඉතිං ඊට
පස්සේ ගීතයද එවැන්නකි. මේ මතකය සපුරා නිවැරදිම දැයි නම් මට කිව නොහැකිය.
******
දැන යළිත්
අපගේ අද කතා කරන්නට සිත් වූ ප්‍රමුඛ ගීතයට එළඹෙමි.
මෙය බොහෝ කලකට
පෙර අප ඇසුව, දැන් නම් ඇසෙන්නේම නැති තරමේ වන ගීයකි. ගයන්නී, විශාරද මාලනී බුලත්සිංහලය.
එය ලියූවේ කවුරුන්දැයි ඔබට මතකද? ගීතයේ සමහර ගති ලක්ෂණ වලින් මට එක වරම එය ලූෂන් බුලත්සිංහල
ගේ රචනයක් යැයි හැඟුනද, එය ලූෂන් ගේ එකක් නම්
නොවේ. එය ප්‍රේමකීර්ති ද අල්විස් ගේ වෙසෙස්
රචනයකි. එවිට සංගීතය කාගේ වන්නට ඇතිද? එය එච්. එම්. ගේ සංගීතය වගේ නොවන්නේද? එහෙත් එහි සංගීතය
එච්. එම්. ගේ නොවේ. එහි සංගීතය මියුරු සර පිරි
නිර්මාණ බිහි කළ සංගීතඥ එම්. ආර්. චූලසිංහ ගේ ය.
ඉරණම
කොතරම් විසකුරු වූවද
සෙනෙහස
මහමෙරකි
ඔබ
ඒ පාමුල ගං දිය පහරින්
මුල
සේදුනු ගසකි
මේ නම් මොන
තරම් අපූරු ඇරඹුමක්ද? බැඳි සෙනෙහසේ පැතුම් තුරෙහි අන්ත ඵලය එක් වීමේ සතුට ප්‍රමෝදය
සැනසුම වුව, ඇය ලද ප්‍රතිඵලය ඊට සපුරා වෙනස්ය. එහෙත්, ලද ඵලය කුමක් වුව, ඈට සෙනෙහස
නම් තවමත් මහමෙරක්මය. එසේ සෙනෙහස මහ මෙරක් තරම් වන ඈ අද ඔහු දකිනුයේ කෙලෙසින්ද? අර
මහමෙර වන් සෙනෙහස අසල, සැඩ පරුෂ ගං දිය පහරට මුල සේදී දැන් දැන් වැටෙතිය යන සැකය
මතු කරණ තරම් අස්ථාවර රුකක් ලෙසටය. අහිමි සෙනෙහසින් වේදනා විඳින ඇයට වඩා, මහමෙරක්
වන් ඈ සෙනෙහෙස අහිමි කරගත් ඔහු කොතරම් දුප්පත්ද යන්න මෙයින් මනාව කියැවෙයි.
එවන් සෙනෙහසක්
අහිමි කර ගැන්මට ඔහු කළ කී දෑ ය මේ.
තැන
තැන දිව යන දිවියන් පසුපස
ඔබ
මල් මිටි තැබුවා
කළ
හොඳ පසු පස ලුහුබැඳ එන බව
මා
මුළදිම දුටුවා
මෙහි
තැන
තැන දිව යන දිවියන් පසුපස
ඔබ
මල් මිටි තැබුවා
යන්න බිඳ
ගත්තේ දුවන මුවන් දැක නොදමවු නෙළූ පලා යන කියමනෙන්දැයි මට නිකමට සිතේ. එහෙත්
සිතුවිල්ලේ සැකය නිසැක කරගැනීමට තවත් සාධක නොලදිමි. එය එසේ වේ නම් එහිම මොන තරම්
උත්ප්‍රාසයක් ගැබ්ව ඇතිද? දුවන මුවන් දැක පළා දැමීමත් අනුවන කමක් වේ නම්, දුවන
දිවියන් පසු පස මල් තැබීම කුමන නම් අනුවන කමක්ද?
ඈ මුලදිම දුටු
ඊ ළඟ කරුණ නම්, යම් දිනක කළ හොඳ පසු පස එළවන බව දැන සිටීමය. කළ හොඳ පසුපස එනවා
යැයි කීමට කීවාට, පසු පසින් එන්නේ හොඳෙහි
විරුද්ධාර්ථය බව දන්නෝ දනිති.
අතහැර
අත්වැල ඒ දඬුමත පැන
ගිය
මාවත වැරදියි
වරදට
දඬුවම ඔබ හිත නොරිදා
හිනැහී
යනු පමණී
ඔහු ඈ අත
අතහැරියේ නොයුතුම තැනකදීම. පරෙස්සමෙන් රැක බලාගෙන රුදු සැඩ වතුරට ඉහළින් ඈව එතෙර
කරතැයි විශ්වාස සාදා දරුණුම තැනදී ඈව අත හැර යාම ඔහු කළ වරදක් නොවන්නේ කෙසේද? එවන්
වරදට ඈ ඔහුට දෙන දඬුවම කුමක්ද?
බිඳුනු සෙනෙහස
අදටත් මහ මෙරක් සේ දකින ඈට ඔහුට දිය හැකි අන් දඬුවම් නැත එබැවින් දිය හැකි එකම
දඬුවම වනු ඇත්තේ දැක නොදුටුවා සේ යාමද නොවේ. දුටු විට දුටු බව දැනෙනු හැර, සිනහවක්
වත් නොදී ඔහු සිත නොරිදා හිනැහී යාමය. ඈ සිතන ඔහුට දිය හැකි ලිහිල්ම දඬුවම එය වුව,
සමහර විට පසතැවිලි වන ඔහු හට ඇති ලොකුම දඬුවමද එය වන්නට වුව බැරි නැත.
එහෙත් ගීතයේ
අරමුණ එවන් දඬුවමක් දීම යැයි නොහැඟේ. එහි ඇත්තේ ඔහු අහිමි ඈට වඩා ඈ අහිමි ඔහුගේ
ඛේදවාචකය ගැන ඈ හෙලන බැල්ම පමණි. එය දඬුවමක්ද නොව්ද, දඬවමක් නම් එය බරපතද ලිහිල්ද
ආදිය අප විසින් මනසාභ්‍යන්තරයේ කරණ තර්කණයෙහි ඵලයන් පමණි.
ගීතය අසමු.
- යසනාත්
ධම්මික බණ්ඩාර -
මම දැකපු ඉතාම විරලගනයේ එවන් පදරචනයක් ( ඔව් ඉතින් ප්‍රේම් තමයි) මේ බලන්න....
ReplyDelete*************************************
වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරිතැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන
සයුර ගොඩ එන තුරා කඳුමුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවද
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන
**************************
ඒ උපමා හරි පුදුමයි නේද?