Friday, March 18, 2016

කොහේ දිළුණත් සඳ එළිය - සිහිලමැයි......




මේ සටහන පසුගිය සතියක මවිසින් ලියූ
ඔබ ඇයට ආදරය කරන්නේ නම්
ඇයව නිදහසේ තබන්න
යන්නට ම අදාලව ලියැවෙන්නකි. එම සටහන් නොකියවූ යම් අයෙකු සඳහා එහි ගොස් බැලීමට එම කොටසෙහි පිවිසුම මෙහි අමුණමි.

ආදරණීයයා සතු කරගැනීමේ හැඟීමෙන් නොනැවතී නතු කරගැනීමේ අදහසද, නතු කරගත් ආදරවන්තයා හෝ ආදර වන්තිය අන්සතු නොවී කොටු කර ගැනීමේ අදහසද මත දිවිය ගෙවන විට ඇතිවන ගැටුම් සංකීර්ණය. ඒ ගැටුම් මත ඇති වන හැඟුම් සහ ක්‍රියාවන් අති සංකීර්ණය. මේ තත්වය යටතේ එසේ සතු කරගත්, නතු කරගත්, කොටුකර ගත් ප්‍රියයා හෝ ප්‍රියාවිය අන්සතු වුවහොත් ඇතිවිය හැකි යම් යම් ප්‍රතිඵලද  සංකීර්ණය. සමහර විට ඛේදජනකය. අපි මේ එක්තරා මට්ටමකට කතා කරමින් සිටින්නේ එවැනි දෑය.
විශේෂයෙන් සමහර ගීතයක් තුළට වැටී ඇති හෝ වැටී ඇතැයි කියැවෙන ප්‍රේමයෙහි ඊර්ෂ්‍යාවේ සෙවනැල්ලක් වේද? යම් වෛරයක් ක්‍රෝධයක් ඒවා තුළින් මතු වේද? පලිගැනීමේ චේතනාවක් නිසා ඒවා ලියැවුණිද ආදී වශයෙනි.

වැටී ඇති හෝ වැටී ඇතැයි කියැවෙන ඊර්ෂ්‍යාවේ සෙවනැලි ලෙසින් කීවේ ඒ සමහර ගී වල ඇත්තේ ඇත්තටම ප්‍රේමයෙහි ඉරිසියාවෙන් අන්ධව සිදුකළ ක්‍රියාත්මකවීම්දැයි යන්න ගැන මට යම් යම් ප්‍රශ්ණ ඇති බැවිනි. නොඑසේ නම් ඒවා එසේම සඟවාගත නොහැකි ඉරිසියාව ප්‍රසිද්ධියේ ලියුවාක් වැනි ඒවා නොවන බව මා සිතන බැවිනි.
කෙසේ වෙතත් ඒ සමහර ගීයකට ගොනුව ඇති එවන් සිතුවිලි ලියා ඇති අයුර අනුව සමහරෙකු එවන් අයුරින් සිතන බවද පෙනී යයි.

මහින්ද දිසානායක කවියා 
විසින් ලියූ මේ ගීතය දෙස බලන්න.

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා

ඈ ගැන බලාපොරොත්තු දල්වා සිටින සමයේදී, ඈ තමන් සතුව තම ඇසුරේ ගෙවූ සොඳුරු දින වලදී ඈ නම් නෙතට දසුන වූ අත්‍යංලකෘත උත්සවශ්‍රියක් බඳුය. එහෙත් ඈ තම දෑස් සීමාවේදීම අන් සතු වූ විට ඒ සතුටට කුමක් වීද? ඔහුට දැනෙන්නට ඇත්තේ උත්සවශ්‍රීය මළගමකට පෙරළුනාක් බඳුය.
මේ හැඟුම බොරුවක් නොවේ. පිය විප්පයෝග දුක යනු එයයි. පිය විප්පයෝග දුකින් සිත ආතුර වූ විට, අනතුරුව එහි ඉපදිය හැකි විවිධ චෛතසිකයන් අපි පෙර මතක් කළෙමු.
වේදනාව, ඉරිසියාව, තරහව, වෛරය, ක්‍රෝධය එවැනි සිතුවිලිය. මේවා එකක් ලෙස හෝ මිශ්‍රණයක් ලෙස ඇති වේ. නොවිය යුත්තේ වුව, නීති රීති වලට යට නොවී ඒවා ඉපදීම ස්වභාවිකය. එහෙත් එලෙසින් ඇති වන සිතුවිලි පාලනය කිරීම මිනිස් අප සතු ගුණයක් විය යුතුය.

ආදරය යනු හිමි කරගැනීමම නොව, ඉන්න එහා ඇති උතුම් හැඟුමකි. එහෙත් එලෙසින් සිතන්නේ අතලොස්සක් දෙනෙක් පමණකි.

ඔහු ඇගෙන් මෙවන් ඉල්ලීමක් කරයි.
ඈ වෙන්ව යන්නට ආසන්න බව ඔහුට දැනෙන්නේ වෙන්ව යන්නට යම් කලකට පෙරය.
ස්වභාවික ව්‍යසනයකට පෙර බොහෝ සත්තව කොට්ඨාශ වලට එය කළින් දැනෙනවාක් සේ,
සිය ප්‍රියාවිය වෙන්ව යන්නට සැරසෙන බව ප්‍රියයාටද දැනෙයි.
ප්‍රේමයේ විප්පයෝගයෙන් ආතුර වූ සිත කෙබඳු දුකක් විඳින්නේද යන්න දන්නා හෝ අනුමාන කළ හැකි හිත ඇය ඉදිරියේ මෙලෙස බැගෑපත් වෙයි.

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

ඇගෙන් තොර වූ ලෝකයක් ගැන ඔහුට සිතිය නොහැක්කේ ඇගේ ආදරය නැතිවීමේ දුකද නො එසේ නම් ඇගෙන් ලද වෙනත් උණුසුමක් අහිමි වීමේ දුක නිසාදැයි බොහෝ අය ප්‍රශ්ණ කරණු මම දැක ඇත්තෙමි. එහෙත් ඒ පිරිසිදු මුසු නොවූ එක සිතුවිල්ලක් පමණක් නිසා බව කිව හැක්කේ කාටද? ඔහු මේ තැවෙන්නේ ආදරය නිසා නොව අනුරාගය නිසා පමණක් බව කියා ඉවත දැමිය හැකිද? අනුරාගයෙන් තොරව ආදරයක් පමණක් පතන්නෝ සිටිත්ද?

ඔබේ රුව රසඳුනක් වූවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව වෙනත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට

ගීතයේ වඩා විවාදාපන්න කොටසට දැන් අප එළඹ ඇත. ඈ රුවින් අනෙකෙකු සැනසෙනු ඔහුට ඉවසිය හැකිය. එහෙත් එදා තමන් සැනසූ නැළවූ ඒ රුව අනෙකෙකුට අහිමි වීම දැරිය නොහැකක්කි.
ගීතයට මුසු වූ ආදරයේ ඉරිසියාව හා සම්බන්ධව මතක් වන ගීත අතරේ මට පළමුව මතක් වන එක් ගීතයකි මෙය. මේ අදහස යම් දිනයක මා මහින්ද දිසානායකයන් ඉදිරියේ පැවසූ විට, එහි ඉරිසියාවක් ගැබ්ව ඇතැයි අසන්නට ඔහු එතරම් ප්‍රිය නොවූවා සේය. එහෙත් මෙහි මා ඉරිසියාව යනුවෙන් හැඳින් වූයේ ඔහු විඳි ඇත්ත හැඟීම ගීතයේ ගැබ්ව ඇති බව කීමට මට තිබුණු හොඳම වදන වූ බැවිනි. ඒ අනෙකක් නොවේමය. එහෙත් මෙහි ගැබ්වෙන ප්‍රේමයේ ඉරිසියාවේ සෙවනැල්ල වෙන්ව ගිය සිය හිටපු ප්‍රියාවගේ පපු කුහරයට අඟල් හයක පිහියක් බැස්සීම දක්වා වැඩෙන එකක් නොවන බව කිව යුතුමය.
යළිදු කියන්නේ ප්‍රේමය සහ ප්‍රේමිය අහිමි වීමට ඇති කාලය ආසන්න බව දැනෙන පෙම්වතෙකුගේ ඇත්තම ඇත්ත හැඟීමය මෙහි මනාව ලියැවී ඇත්තේ. එබැවින් මේ ගීතය විවේචනයේ ගොරහැඩි මිණුම් දඬු වලින් පහර කෑ නොයුතු සුන්දර ගීතයකිය යන්නය මගේ පෞද්ගලික හැඟුම.
ගී පද    : මහින්ද දිසානායක


 
ගී තනු   : ගුණදාස කපුගේ

ගැයුම : කරුණාරත්න දිවුල්ගනේ



පෙර ගීතයේ දෙවෙනි කොටසක් වැනි වූ නමුදු මතු දැක්වෙන ගීතය ලියන්නේ ගීත රචක මහින්ද දිසානායකයින් විසින් නොවේ. එය ලියනුයේ  


රංජිත් රූපසිංහ කවියා 
විසිනි.

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඒ කොටස ඉතා පැහැදිලිය. මම ඊට එකඟය. එහෙත් ගැටළුව ඇත්තේ එහි දෙවෙනි කොටසේදීය. ඔහු ඈව මෙසේ ප්‍රශ්ණ කරණු ලබයි.

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ

දැන් ඈ සතුව ඔහුට පුදන්නට නොකිලිටි මල් ඉතිරිව නැත. තව දුරටත් කියනවා නම් ඒ මලේ පෙති ගිලිහී ගොස් ඇත. මලේ පෙති සිඳ බිඳ ඇත්තේ ඔහු විසින්ම විය යුතුය. ඔහු අතින් නොවන බවක් එහි නොකියවේ. පෙති සිඳුනු මලක සුවඳ නොමැති බවද ඔහු සිතයි.
ගීතයේ මේ දෙවෙනි පාදය හා මම එකඟ නොවන ප්‍රධානම හේතුව එහි වන ඒ අන්තර්ගතය නිසාම නොවේ. පළමු පාදයේ අන්තර්ගතය හා එහි වන මහත් ම වූ ගැටුම නිසාවෙනි.
ඇයටද වරම් නැති, ඔහුටද වරම් නැති කඳුළක දියව ගිය පෙමක් ගැනය එහි පළමු පාදයෙන් කියවෙන්නේ.
දෙදෙනාටම වරම් නැති බව දැන දැන වුව දෙදෙනා ආදරයට වඩා වැඩි රසක් විඳ ඇති බවය දැන් මේ දෙවන පාදයෙන් කියවෙන්නේ.
එපමණක්ද?
දෙදෙනාටම වරම් නැති බව දැන දැන වුව නාමිකව හෝ ඈ ඔහු වෙනුවෙන් විසිය යුතු බවය ඔහු සිතනුයේ. එසේ නාමිකව දෙතැනක දිවි ගෙවනවාට වඩා සියළු කටු කොහොල් නොතකා එක් වීම ඊට වඩා යෙහෙකැයි ඔවුනට නොසිතීම මට මෙහිදී අරුමයකි. එක්වන්නට නොහැකි නොවැලැක්විය හැකිම කරුණු බොහෝ නම්, ඈට වෙනතක් බැලීමට ඉඩ නොදී වෙනතක් බැලූ ඈට තමන් අතින්ම සිඳුනු බිඳුනු දේ මොනවාදැයි මතක් කිරීම නොමනා යැයි මට හැඟීම කොතරම් සාධාරණද අසාධාරණදැයි සිතන්නට ඔබටම පවරමි.
මා ඔබ පෙම් කරණා ඔබේ කුමාරිය ගීතයේ හෝ නෙතට උළෙලක් විය එදා ඔබ ගීතයේ හෝ රචකයා වෙනුවෙන් පෙනී සිටි අයුරින් මේ රචකයා වෙනුවෙන් මෙහිදී පෙනී නොසිටින්නේ පෙර කී රචකයින් මගේ මිතුරන් වී මේ රචකයා මගේ මිතුරෙකු නොවූ නිසා නොවේ. එම රචකයින් මේ කලාවේ දැවැන්තයින් වී මේ රචකයා මේ කලාවේ දැවැන්තයෙකු නොවුණු නිසා නොවේ. මා මතු කළ අර එම ගීතයෙහිම පාද අතර වන අරථ ගැටුම නිසා වෙනි.


ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුන්මංසල හමුවී
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ

දැන් අර දෙවෙනි පාදයේ තිබුණු අවුල මේ පාදයේ ඒ තරමින් ම නොමැති බව පෙනී යයි. එහෙත් අවුල සපුරා මැකී ද නැත.
ජීවිතයේ මග වැරදීම් එමට සිදුවිය හැකිය. ඒ මග වැරදීම් වලින් දුක්වන්නන් සිටිය හැකිය. එහෙත් ඒ දේවල් වලට මුහුණ දිය යුතුය.
ගැටළු දුක් කම්කටොළු යටනු ජීවිතය හැර දා යාමට හේතු නොවේ. ඒවා සමග ගැටිය යුතුය. ඒවා ට හුරු විය යුතුය. හැකි නම් විසඳාගත යුතුය. බැරි නම් ඒවා සමඟ විසිය යුතුය.

ඔබට වරම් නැති මටද වරම් නැති ගීතය අසමු.
රචනය - රංජිත් රූපසිංහ


ස්වර - නාලක අංජන කුමාර
හඬ - කරුණාරත්න දිවුල්ගනේ



සඟවා ගනු මැන
ඔබෙ රුවැ සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ
මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී
සැලී
යයි

මේ  බණ්ඩාර කේ විජේතුංගයන්ගේ නිර්මාණයකි. මේ ගීත ගැන සොඳුරු සාකච්ඡාවේ පුදුමාකාර සුන්දර ගීතයක් වන මෙහි ඉරිසියාව දොරෙ ගලා යයි. ඒ ආදරයට වඩා රුව කය වෙනුවෙනි. ගීතය හඳුනවා දීමේදී මේ ගීතයේ රචනය කෙරෙහි බලපෑ වෙසෙස් කරුණක් ඇතැයි එහි රචක බණ්ඩාර කේ විජේතුංගයන් විසින්ද ඉඟි කළද ඔහුද එය හෙළි නොකර සිටී. එබැවින්ම ගීතයට පසුබිම් වූ බණ්ඩාර කේ විජේතුංගයන් පවා මෙහි නොකියන ලොකු කතාවක් මා අසා ඇතිවා වුව එය මෙවන් සාකච්ඡාවකදී මතු කිරීම නොසුදුසුයැයි හඟින්නේ මේ ගීතය මා විසින් විඳගනු ලබද්දී එහි රසය අතිශයින් තීව්‍රැ කළ නිමිත්ත ඔබගෙන් සඟවා ලන්නට මට සිදුව ඇත. එහෙත් ගීතය විමසූ විට ඒ කුමන ආකාරයේ එකක් දැයි සැඟවී නැත.

සඟවා ගනු මැන
ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ
මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී
සැලී
යයි

ඔහු ඇයට අයදින්නේ ඈ රුව ලොවින් සඟවා ගනු ලෙස ට ය. ඊට හේතුවද ඔහු සෘජුව කියයි. ඈ රුව හෝ අන් අයෙකු දකිනවාට ඔහු අකමැතිය.
නෙතට උළෙලක් ගීතයේ ඈ රුව අනෙකෙකු දැකීම ගැන ඇගේ ප්‍රියයා රොස් නොවෙයි. ඔහුට ඇති වුණු දුක ඒ රුව අන් අයෙකුට අයිති වීමයි. එහෙත් මෙහි අනෙකෙකු ඒ රුව දැකීම හෝ ඔහුට මහත් වේදනවාවකි. ඒ නිසාම ඔහු මෙසේ කරන්නට සිතයි.

මහ වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ
ඉරිසියාවෙන් පිරවේ මා හද

හිරු රැස් පවා ඇගෙ රුව දකිනු නොරිසි ඔහු මහ වන පියසක ඇති හිරු රැස් බිඳකුදු නොවැටෙන අඳුරු ගුහාවක ඈව සඟවා ලන්නට සිතයි. ඊට හේතුවද ඔහු නොවලහා කියයි. ඒ අනෙකක් නොව ඔහු සිත වන මහත් වූ ඉරිසියාවය. ආදරය විෂයයෙහි වන මේ මහත් ඉරිසියාව විය නොයුතු බව කෙනෙක් කීවොත් මම ඊට එරෙහිව කතා  නොකරමි. එහෙත් ඇත්ත එය නොවෙද? මේ මහත් ඉරිසියාව ආදරය විෂයයෙහි යැයි බොහෝ දෙන කීවද ඒ ඇත්තටම රුව කය වෙනුවෙන් නොවේද? මේ ගීතයේ මනාව කියවෙන්නේ එයයි. ඔහු නොරිසි වන්නේ ඈ රුව කිසිවෙක් දැකීමට ය.

සොමිසඳ වත ලෙස රුසිරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත

ඈ මහත් වූ රුවැත්තියකි. රන් රුවැත්තියකි. සොමි සඳ වන් වූ රුවැත්තියකි. ඈ රුවැත්තියක් වූ බැවිනි ඔහුට ඇති ගැටළුව. ඈ රුවැත්තියක් නොවුණා නම්?
සොමිසඳ වත ලෙස රුසිරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත යනුවෙන්
ඔහු ඉතා පැහැදිලිව නිරවුල්ව කියයි. ඒ අනුව මේ රුවට කයට ඇති ලොල් බව ඇල්ම මතුවී ආදරය දෙවෙනි තැනට පත් වූ අවස්ථාවක් ගීතයකින් ඉදිරිපත් වීමකැයි කීවාට වරදක් නැත.
ඔහුට මේ සියල්ල සිතෙන්නේ ඊයේට පසුවය. ඊයේ වූ විශේෂය කුමක්ද?

එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

කෙදිනක වත් දකිනට නොලැබේ යැයි සිතූ ඈ රුව ඊයේ ඔහු දැක ඇත.
නැත.
නැත.
දැක ඇතිවාම නොවේ.
ඈ ඔහුට පෙන්වා ඇත.
ඊයේ ඈ ඔහුට පෙන් වූ ඒ රුවින් ඔහු කොතරම් වසඟ වූයේද? කොතරම් තැති ගත්තේද? සලිත වූයේද? කොතරම් මමත්වයකින් පිරුණේද? ඔහු දුටු ඒ රන් රුව අන් නෙත් දෙකකට කෙදිනකවත් හිමි නොවිය යුතුයැයි ඔහු පතන්නේ එබැවිනි.
මහත් වූ සංයමයකින්, එහෙත් නොහඟවා සෘජුව මේ අදහස් ප්‍රකාශකර ඇති අන් ගීයක් ගීත සාහිත්‍යෙය්දී අපට හමු වෙතැයි මම නොසිතමි. එය ඒ තරමටම විශිෂ්ඨය. ගීතයක ඇති සෑම පාර්ශශ්වයක් ම විමසන කල්හි එහි වචන ව්‍යක්තය. තනුව සහ සංගීතය මධුර මනෝහර ය. ගැයුම ඒ සියල්ලට නොදෙවෙනිව පෑහී ඇත.
එබැවින් එහි රචකයා විසින්ම, ඒ විදිහෙන්ම හඳුන්වන යොවුන් ප්‍රේමයේ ඉරිසියාව දොරේ ගලන එම ගීතය අපි අසා සිටිමු.



පද රචනය : බණ්ඩාර කේ විජේතුංග
සංගීතය හා ගායනය : වික්ටර් රත්නායක



ප්‍රේමයට වැටුණු ඉරිසියාවේ සෙවනැලි විමසන ගී විමසුමකි මෙය. ඒ වැටුණු සෙවනැලි වලින් ඉරිසියාවේ සෙවනැලි මොනවාද එසේ නොවෙනා සෙවනැලි මොනවාද යනුවෙන් විමසන මොහොතකි මේ. ඒ අතරේ ප්‍රේමයේ ඉරිසියාව සහමුළින්ම යටපත්ව එහි පරිත්‍යාගශීලි බව මතු කළ ගීතයකින් මේ සටහන නිම කරන්නට සිතුවෙමි.
මේ ගීතය ලියන්නේ 


ගීත රචක ධම්මික බණ්ඩාර  
විසිනි. අපි දහස් වර අසා ඇති අදහස් දක්වා ඇති ගීයක් වුව මේ සටහනට ඉන් ලැබෙන ආලෝකය නොමද යැයි සිතා අමුණමි.

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

මේ ගීතයේ මේ තේමාව පිළිබඳව එහි රචක ධම්මික බණ්ඩාර යම් කතාවක් කියයි. ඒ අනුව එය ඔහුගේ සිංහල පංතියකට ආ සිසුවෙන් හා සිසුවියකගේ පෙම් සබඳතාවක් හා බැඳේ.
සිසුවා උසස් පෙළ යන්තමින් සමත් වන අතර සිසුවිය ඉහළින් සමත්ව සරසවි වරම් ලබයි. ඒ අන් සරසවියකටත් නොවේ. පේරාදෙණි සරසවියට ය. පේරාදෙණි සරසවියත්, එහි ඇති මල් උයනත්, ඒ වටා ගලන මහවැලි ගඟත්, හන්තාන කඳුවැටියත්, බෝගම්බර වැව රවුමත්, ඈ මේ කී නොකී සැමරුම් පිළිබඳව සොඳුරු මතකයන් නැත්තේ එ් ගැන දන්නා කා හටද? ඒ ගැන දන්නා අයට මතු නොව ඇසූ අයට පවා එවන් හැඟුමක් මවා ගත හැකිය. මේ පෙම්වතාටද එවන් හැඟුමක් ඇත.
ඔහු නොලබන ඈ ලබන ඒ පාරිසරික සත්කාරයට ඈට අඩුවන්නේ එහිම බැඳුනු ප්‍රේමයක් පමණි. ඒ අඩුව සපුරන්නට ඔහු සිතයි. ඒ ඔහු එහි ගොස් නොවේ. ඔහු ඈගෙන් ඉවත්වීමෙනි.
ඈ ඒ අඩුව පුරවා ගත යුතුම ය. එය වේදනාවක් වන නමුත්, එහි ගොස් එහි පෙම් නොකර පැමැනීමට ඈට ඉඩ සැලැස්වීම තමන් ඈට කරණා අසාධාරණයකැයි ඔහු සිතුවා බඳුය.
අපිටත් හඳ පායයි. අපිට පායන හඳම ය ඔහුට පායන්නට ඇත්තේ. එහෙත් හන්තානට පායන්නේද අපට පායන හඳම වුණාට ඒ අහසේ ඒ හඳ අපට පායන හඳට වඩා ලස්සන යැයි ඔහු සිතයි.
කෙනෙක් මෙයට එරෙහිව තර්ක කරයිද? මම නොදනිමි. ලූෂන් බුලත්සිංහලට පායන ළා සද දම්පාට වන විට කවියන් නොවූ අයට ඒ පිළිබඳ මහත් පැණයන් ගොඩනැඟුණු අයුරු අප දැක ඇත. කවියෙකු වූ ලූෂන්ට ඒ සඳ දම්පාටට පෙනෙන්නට ඇත. සුරම්‍යා මාපිටියට සැන්දෑව අළුපාට වූවිට, සැන්දෑව රතු පාටට දකින අයට පැණයන් මතු වන්නට ඇත. කවියන්ගේ චිත්ත සන්තානය එලෙස ය. ඔවුන් අපි නොදකින බොහෝ දේ දකී. මේ පෙම්වතාද එලෙස දකින්නෙකි. පෙම්වතා කවියෙකු නොවේ යැයි මේ නිසාම මම විශ්වාස නොකරමි.
ධම්මික බණ්ඩාර කවියා මා හා කොතෙක් එකඟ වුවද නොවවුද මා කෙලෙසකින් වත් මෙය අන් කෙනෙකුගේ අත්දැකීමක් ( එවිට එය ඔහුට අත්විඳීමකි ) යැයි මම නොසිතමි. එය තමන්ට ම දැනුනු මහත් වූ සංවේදී හැඟුමක් නොවුණා නම් මෙවන් ගීතයක් බිහි නොවෙතැයි යන අදහස තුළ මා දැඩිව එල්බගෙන සිටින බැවිනි.
කෙසේ වෙතත්, රහසක් හෙළි කළ යුතුය. සෑම ගීතයකට ම හේතු පාදක වුණු කතා සෑම රචකයෙකුට ම සෑම විටම ප්‍රසිද්ධ කළ නොහැකි බවයි. අර බණ්ඩාර විජේතුංගයනුත් සමහර විට දොඩන වදනින් නොදොඩා ගීතයක් විලසින් කිව්වේ එවැන්නක් වන්නට හැකිය.

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ඒ නැවුම්ය පරිසරය සිසිල්ය. සෑම විටකම පාහේ වැසි අඳුරක්ද සමඟින් චුරු චුරු වැසිපොදක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. මෙවන් චුරු චුරු වැසි පොදක් කාට චුරු චුරුවක් වුවත, සරසවි බිමේ සරණ පෙම්වතුන්ට නම් චුරු චුරුවක් නොවේ. කුඩ දෙකක් අත ඇතිවා වුව ඔවුන් එක් කුඩයක් යටට තුරුළු වී අරමුණක් නැතිව එහි ඇවිද යයි. එහෙත් තනියෙන් සිටින කෙනෙකුට නම් එහි එවන් වේලාවක මහත් තනියක් දැනේ. අතීත පෙම්වතෙකුට තම අතීත පෙම්වතියට එවන පරිසරයකදී තනියක් නොදැනේවායි පැතිය හැකි නම් එය කුමන අරුමයක්ද? කුමන අයුරක පරිත්‍යාගශිලී හිතක්ද?

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

රුවැති අහිංසක ඈ දකින විට තනිකඩ යවුවනයන් මතු නොව ළතා මඬුළු පවා නෙත් හෙළනු ඇත. අත් වනනු ඇත. එහෙත් තමන් පිළිබඳ මතයෙන් ආතුරව ඈ වෙනතක බලන්නේදැයි සියුම් වේදනාවක් ඔහු සිත පෙළයි. තමන් ගැන මතකය ගුළි කර මහවැලියට දමන්න යැයි ඔහු ඉල්ලා සිටින්නේ එබැවිනි. මට මේ ගීතයේ ඇති වඩාත්ම සංවේදී තැන එයයි. මම ඒ කොටස නොකියවමි. නොඅසමි. මා ඒ කොටස මනසේ සිතුවම් පටයක් මෙන් ගලා දසුන් පළෙක්ව ගලා යන්නට ඉඩ දෙමි. ඒ සංවේදිතාවයේ ගිලෙමි. එතරම් පරිත්‍යාගශීලී ඔහු සිත පෙළන ආදරයේ වේදනාවත් ඒ කඩදාසි ගුලියක් සේ පොඩි කර මහවැලි ගඟට විසි කරණ ඔහු පිළිබඳව ඈ සිත තුළ ළැගුම් ගත් මතකය මෙන් පාවී දියව නොයන බව ඔහු දනී. ඒ මතකය සමඟ ඈ දුක් නොවිඳිය යුතු වුව, ඔහු දුක් නොවිඳිය යුතු යැයි නොසිතයි.
ඉතින් මට කියන්න. අනෙකෙුගේ අත්දැකීමක් (තමන්ගේ අත්විදීමකැයි) කියමින් කවියා අපට බොරුවක් කියනවා යැයි මට හිතෙන එක මගේ වරදක් ද කියා.
කවියාගේ බොරුවකැයි මට හිතෙන, ගීතය පිළිබඳ ඔහුගේ කතාවත් සමඟ ගීතය අසමු.






-        යසනාත් ධම්මික බණ්ඩාර  -

1 comment:

  1. ගීතය ගැන විස්තර කරන මෙවන් බ්ලොග් පොස්ටු අතළොස්සකි ( මා දුටු ) ඉතින් ඔබට සුබ පතමි. තවත් මෙවැනි පොස්ටු ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබට ලැබේවා

    ReplyDelete