හන්තාන
අඩවිය යනු සුන්දර මහනුවරට
සුන්දරත්වය තවත් ගෙන එන, විටක මිහුදුමෙන් නැහැවෙන, විටෙක පැහැදිලි හිරු එළියෙන්
නැහැවෙන හන්තාන කඳු වළල්ලෙන් වට වුනු පෙදෙසයි.
එය පිහිටන්නේ
ඓතිහාසික මහනුවර නගරයට නිරිත දිගිනි. 2010 සිට
මෙම මනරම් කඳුවැටිය අවට ප්‍රදේශය පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස නිවේදනය කොට ඇත.
මෙම කඳු වැටිය
කූඨ හතකින් යුතුවන අතර උසම කූඨයෙහි උස අඩි 3800 කි. එය හඳුන්වනු ලබන්නේ ඌරා කන්ද ලෙසිනි.
මේ ඌරා කඳු මුදුනයි.
කඳු නගින්නන්ගේ
සිතෙහි ත්‍රාසය සහ චමත්කාරය වඩන මෙම කඳු පංතිය වැඩියෙන්ම තරණය කරනුයේ පේරාදෙනිය සරසවියේ සිසුන් වුවද, හන්තාන සිහිනය අහිමි වූ අනෙක් සරසවි වල සිසුන්ද තම
සරසවි දිවියේදී වරක් වත් හන්තාන තරණයට සිහින
මවති.
එය නම්
සුන්දරතම අත්දැකීමකි. මේ කඳු තරණයේදී සුරතේ තම ප්‍රියයාගේ හෝ ප්‍රියාවියගේ අතත්
දැවටේ නම් මෙම අත්දැකීම තවත් සුන්දර වනු ඇත.
හන්තාන අප හදවත් වලට
වඩා සමීප වන්නේ, හිතේ පැළපදියම් වන්නේ ඒ සුන්දරත්වය නිසා ම
නොවේ. ලෝ ප්‍රකට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටියේ
මෙම කඳුවැටිය පාමුළ වීමත් නිසාවෙනි.
හන්තාන
අඩිවිය සහ පේරාදෙණිය
සරසවිය යනු එකක් නොව
දෙකක් වුවත් හන්තාන අඩවිය යනුවෙන් කියූ සැනින් මැවෙන්නේ පේරාදෙණිය
සරසවිය වන බැවින් ඒ නම්
දෙකක් නොව එකක් වැනිය.
අද මා සූදානම්
වනුයේ හන්තාන තරණයටය.
තනිව නොව
සොඳුරු ගී රැසක් පිරිවරාගෙනය. එය හරියටම හන්තාන
නගින තරුණෙකු සිය සිත්ගත් තරුණියගේ සුරත රැගෙන ගමන් කරණවා වැනිම සුන්දර අත්දැකිමක්
වනු ඇතැයි මා සිතමි. එහෙත් ප්‍රියාවකගේ සුරත ගෙන හන්තාන නැඟ නැති බැවින් මට
හරියටම සැසැඳිය නොහැක.
මේ
නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි
මේ
නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි....
මේ නම් කුමන
නගරයද මහනුවර නම් නගරයම හැර... මහනුවර ම යැයි කියනුයේ ඇයි? මේ සාක්ෂි නිසාවෙනි.
වැව්
ඉවුරේ දිය රළ පෙර සේ ම බිඳෙනවා
නුග
ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි
බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
නුඹත්
එක්ක ආයෙත් එඑහි යන්න හිතෙනවා.....
මේ වැව බෝගම්බර වැවයි. කඳුරැල්ලෙන් එතෙර පෙනෙන සරසවිය පේරාදෙණි සරසවියයි. සරසවියට පසුබිම්ව පෙනෙන කඳුවැටිය
සුන්දර හන්තානයි..... සියල්ල ඇති.... නුඹත්
මාත් පමණක් නැති... ඒ සුන්දර අතීතයට ආයෙමත් නුඹ සමග යන්නට සිතෙයි. එහෙත් එදා සිටි
නුඹ මම අද නැත. එදා සිටි අප අද නැත්තේ ඇයි? මේ නිසාය...
ඔබ
අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති
පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ
කාලේ පැතූ පැතුම් යළි සිහිනෙවා
ජීවිතයම
සිහිනයෙනැයි කියා සිතෙනවා....
එදා ඈ අත ගත්
සුරතේ අද දැවටෙන්නේ අන් අතකි..... ඈ දැන් කොහි ඇතිද? මෙලෙස අද ද ඔහු අත දැවටෙන්නේ එදා
ඇගේම සුරතය. පෙම්වතියක ලෙසින් නොවේ. බිරිඳක ලෙසිනි. බිරිඳක යැයි කියන්නේ ඇයි?
අනෙක් අතේ සිඟිති පුතු එල්ලී සිටින බැවිනි. ඒ කාලේ පැතූ පැතුමට වූයේ කුමක්ද?
දෙදෙනා එකතු වී එක් කූඩුවකට වී ඉටු වීමය. ඒ අතීතය සිහිනයකි. සහසක් සිහින බිඳෙන
දිවියේ මෙලෙස සිහින සැබෑවීමද සිහිනයකි.
මේ ගීතය විරහ
ගීයක් ලෙස දකින ඇත්තෝද ඇත. ඒ අනුව ගත් විට එකල්හි දුටු හන්තාන
සිහිනය සිහිනයක් ම වී අද ඔහු අන් ළඳක හා සතුටින් ජීවත් වන බවක් කියවෙයි. ඔහු
අතීත සිහිනය පිළිබඳ දුකින් හැපෙන වැලපෙන බවක් මෙහි නොකියවෙයි. දුකක් ඇතිවා විය හැක.එසේ වුවද ඒ මත නැසෙන බවක් දක්නට
නොවෙයි. ඔහු ඇය හා සංචාරයේ යෙදෙයි. සිය දිවියේ අතීත සිහිවටන ඇති නගරයේම ඇය හා දරුවා සමග
තුටින් ඇවිදියි. එහෙත් ඒ පෙර පුරුදු නලරයේ සරණ විට නිතැතින්ම අතීත මතකය ට ඔහුව කැඳවයි. මොහොතකට අතීත සොඳුරු මතකයත් වර්තමාන
සොඳුරු දිවියත් අතරේ ඔහු මනස දෝලනය වෙයි.
මේ අරුත
දකින විඳින කෙනෙකු එය මා හා පැවසුව හොත් මා ඔහු හා උරණ නොවෙමි. මා ඉහත ලියා තැබුවේ මට මින් ප්‍රබලව
හැඟෙන දේය. මම මා සඳහා ගත යුත්තේද මට ප්‍රබලව දැනුනු දේය. මා අනෙක් අයට කිව
යුත්තේද මට නොදැනුනු දේ නොව ප්‍රබලව දැනුනු දේය. එහෙත් වෙනත් අදහස් ඇතැයි හැඟුනු
නිසා එයමෙලෙස ලියා තැබුවේ එවැන්නක්ද මේ ගි පද තුළින් මතු කරත හැකිය යන්නට එකඟ වෙමිනි. ඒ එහි ඔහු දකින ප්‍රබල අයුරයි.
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - මර්වින්
පෙරේරා
ගායනය - මර්වින්
පෙරේරා
මේ
නගරය මා ඔබ ගීතය අසමු.
ඉහත ලෙස
සැමවිටම සැමදෙනාටම මෙවන් සිහින ඉටු වී දිවියට ප්‍රමෝදය ගෙන නො එයි. සමහර සිහින
ඉතිරි කරණුයේ වේදනවකි. එහෙත් මේ සමහර වේදනාවන්ගේද ඇත්තේ රසයකි. එමෙන්ම ඒ වේදනාවන්
පිළිබඳ ලියන කියන අයගේ නිර්මාණ හේතුවෙන් සමාන අත්දැකීම් ඇතියවුන් තුළද අත්දැකීම්
නැතත් අත්විඳිමක් ලෙස විඳිය හැකි වුන් තුළද සියුම් වේදනාව මුසු රසයක් ජනිත කරයි.
හන්තානේ
කඳු මුදුන සිසාරා
පවනක්
වී එන්නම්
ඔබේ
සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක්
වී ඉන්නම්....
ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ
පණ්ඩිත් අමරදේවයන්ගේ
මේ ගීතයේ හමුවන්නේ පෙර ගීයේ ලෙස මැවූ
සිහින සැබෑවක් නොවූ පෙම්වතෙකි. මෙහි ඇය නැත. ඇත්තේ ඈ පිස හමන සුවඳ පමණි..
තුන්
මහළින් සැදි සරසවි පායේ
මල්කැටයම්
සෙවනේ
සිරි
පොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිඟු
සයුර විනි අතීතයේ......
පාළු
නිසංසල කදුවැටි අතරේ
මහවැලි
ගං ඉවුරේ
අත්තටු
සිදගත් විහඟ විලාසෙන්
අපේ
පැතුම් ඉකිබිඳිනු ඇසේ
පැතුම් මැව්වේ
මෙ බිමය. පැතුම් උදුරාගත්තේ ද මෙ බිමය. මුවට සිනා මල් දුන්නේ ද මෙ බිමය. මුව සිනා
මල් ඉදිරුවේද මෙබිමය.
අවසානයේ මවා
ඇත්තේ මිරිඟු සයුරකි. එදා ඒ පෙම් වදන් වලට බාධා නොවන සේ සෙමෙන් සෙමෙන් ගලා ගිය මහවැලි
ගඟ තාමත් නිසොල්මනේ ගලයි. ඔවුන් නො ආවත් වෙනත් පෙම්වතුන් ඔවුන් මෙන්ම එන බව දැන
අකම්පිතව ගලයි. එහෙත් ඔවුන්...? ඔවුනගේ පැතුම්.... ඔවුන් පමණක් සුසුම්ලයි. ඔවුනට
පමණක් හැඬුම් එයි. මේ පාළු හුදකලා කඳු අතර හමා යන නලරැල්ල සේ ඇසෙන්නේ ඔවුනගේ බිඳුනු
පැතුම් හඬනයුරු විය නොහැකිද?
හන්තානේ
කඳු මුදුණ සිසාරා ගීතය.
හන්තාන පිළිබඳව
ලියැවුනු ගීත අතරේ වඩාත්ම ඇත්තේ බිඳිනු පෙම් පැතුම් පිලිබඳව ලියැවුනු ගීතයන්ය. අපි
කතාබහ කළ මුල්ම ගීතයේ මෙන් සැබෑ වුනු සිහින, ඉටුවුණු පැතුම්
ගැන කියවෙන ගීත ඉතා අඩුය. ඊට හේතුව වනු ඇත්තේ එවන් පැතුම් සුන්වීම සාමාන්‍යයෙන්
සිදුවන දේ වන නිසා විය යුතුය.
භද්‍රජි මහින්ද ජයතිලක ගේ මේ ගීතය කිසි ලෙසකිනිදු අමතක කළ නොහැක්කකි.
හන්තාන
කඳු පෙළ හඳට ආවඩා
සරසවියට
පිනි පොදක් වැටෙනවා
මගෙ
හද මැදුරට අඳුර ගලනවා
බට්ටිච්චෙක්
මගෙ දුකට හඬනවා
හන්තාන කඳුවැටිය සඳ
මඬලින් පිනි අයැදියි. ඒ පින්නෙන් පාමුළ ඇති සරසවි බිම තෙමෙයි. මේ පිනිද? කඳුළුද?
ඔහුගේ හද මඬල
අඳුරු වළාවකින් වැසී ඇත. අසල පඳුරක සිට බට්ටිච්චෙක්
හඬනු ඔහුට ඇසෙයි. බට්ටිච්චා කුමට හැඬුවද ඔහුට
දැනෙන්නේ ඔහුගේ දුකට හඬන ලෙසිනි. ඔහුට ඇති දුක කුමක්ද?
කෝ
ඈ
කොයිද
මගෙ රන් කිරිල්ලී
ඇයිද
ගියේ ඉගිල්ලී
මා
මෙහි හැරදා
ඈතයි
ඔබ
ගිය දුර ඈතයි
නිවහන
මගෙ සීතයි
එන්න
යළි පියඹා....
අද ඈ නැත....
ඈ කොහේ ගිහින්ද? ගියේ කොහේ වුව ඈ නොසිතූ තරම් ඈතක ගොස් ඇත. ඈ නැති ඔහු සිත අඳුරුය.
සීතලය. ඔහුගේ පරම පැතුම යළි ඇයගේ පැමිනීමය. එහෙත් ඈ යළි පැමිණේවිද?
මා
මෙන් තනිවුණු බට්ටිච්චෝ
ගොම්මන්
අඳුරට බියවිදෝ
විරහ
ගීය මගෙ ගයනවදෝ
මා
සනසන්නට හඬනවදෝ....
සාමාන්‍යයෙන් බට්ටිච්චන් තනිව එහෙ මෙහෙ නොයයි. යන්නේම බට්ටිච්චියත් සමග ය. හරියටම ඊයේ දක්වාම මේ කියන
පෙම්වතාත් පෙම්වතීත් ආ ගිය හැම තැන එක්ව ම ගියා සේ ය. එහෙත් අද ඔහු මෙන්ම තනිව මේ
සිඟිති බටිත්තාද හඬයි. ඒ ගොම්මන් අඳුරේ තනි මග
යාමට ඇති බිය නිසාද? නොඑසේ නම් ඔහුගේ විරහ ගීය සිඟිති තනිවුනු බටිත්තා විසින් ගයනවාද? එසේත් නොමැති නම් ඔහුව සනසන
අදහසින් හඩනවාද?
පියඹා
යන්නට මට නම් බෑ
ඇ
සරසවියට එන්නෙත් නෑ
ගඟ
ළඟ පෙම් මග පාළු වෙලා
මල්පෙති
බොරදියෙ මිලින වෙලා.....
ඈ ගිය ඒ
කොහේදෝ ඈත දුරට ඔහුට යා නොහැකිය. ඈ යළි සරසවියට නො එනු ඇත. සරසවියට ආවද ඔහු සිතටනම්
නොවඩිනු ඇත.
ඔවුන් අදරින් ආ
ගිය තැන් ඔහුට මතක් වෙයි. විශේෂයෙන් ප්‍රිය කළ ගඟ අද්දර මාවතේ ඇත්තේ පාළු
හුදෙකලාවකි. ගඟ දිය බොරය... සැඩය... ඒ දියේ මිලින වූ මල්පෙති පාව යයි. ඔවුන් පැතූ
පැතුම් සැඩ බොර වතුරට හසුව ගියාක් සේ ඔහුට දැනෙයි.
අසලින් ගලන මහවැලි ගඟේ දිය මත වැටී මිලින වුණු මෙවැනි පැතුම්
මල් කොපමණක් නම් ඇතිද?
හන්තාන
කඳුවැටිය.....එය පාමුළ සරසවිය..... අසල ඇති උද්භිද උයන..... වටා
ගලන මහවැලි ගඟ....පෙමින් වෙළුනු අත් ඇති
සෙනෙහෙන් බැඳුනු හදවත් ඇති පෙම්වතුන් පෙම්වතියන්....මේ සියල්ල එකම ඒකකයකි. ඉන්
එකක් හෝ අඩු වුව හොත් එහි ඇති සුන්දරත්වයක් නැත.
හන්තාන කඳු පෙළ ගීතය අසමු.
නෙත්
පියුම් මත
කඳුළු
දිය තවරා
දෙතොල්
ඉවුරෙන්
සඳ
වතුර පිසදා
මගේ
අතැඟිල්ලෙන් මිදී ගිය
තනි
තරුව ඔබ
අනුත්තරා......
මෙම ගීතය හමු වන්නේ
සමන් ජයනාත් ජිනදාස ගේ කුළුඳුල් ගීත එකතුවෙහි
ය. එයට නම් ලැබීමටද හේතු වූයේ මේ ගීයයි. ගීය ඇරඹෙන්නේ අනුත්තරා යන නම කියමිනි. අනුත්තරා ට බැඳි පෙමද, පෙමින් අනුත්තරා සමග කල් ගෙවූ
හැටිද, අනතුරුව ඇය සියතැඟිල්ලෙන් ගිලිහී ගිය අයුරුද ඉතා අපූරුවට සියතින්ම ලියා
තබන්නේ සමන් ජයනාත් ම ය. සමන් ජයනාත් යනු ගායනයට මතු නොව ගී පද රචනයටද මනා
බුහුටි කමක් දක්වනනෙක් බවට ඔහු එයින් සාක්ෂියක් ඉතිරි කරයි.
අනතුරුව ඔහු
ගීත ලියූ බවක් මට මතක නැත. එහෙත් පළමු ලියවිල්ල එය නම් අනතුරුව ඒ මගේ අත්දැකීම්
ලබමින් අභ්‍යාසයේ නියැලෙමින් ඔහු ගියේ නම් පසු කළෙක ඔහු අතින් කොපමණ සොඳුරු ගී නිමවනු ඇතිදැයි මා කල්පනා කරමි.
මෙය විරහ
ගීයකි. ඔහු ඒ විරහ වේදනාව විඳින්නේ අනුත්තරා නම්
ඇය නිසාය.
වළා
කුළින් මෑත් වෙලා
පුරහඳ
කැඩපතක් වෙලා
මට
නුඹෙ සඳවත පෙනෙනතුරා
බලා
සිටියා මතකයි අනුත්තරා...
ඔහු වළාකුළු
මෑත් වනතුරු දෑස් දල්වා සිටින්නේ සඳ දකිනු රිසියෙනි. එහෙත් ඒ සඳ දැකීමේ රිසිය ම
නොවේ. සඳවත තුළින් ඇය දකිනු රිසියෙනි. එහෙත් එසේ පෙරුම් පිරූ ඔහු ඇයට මතකදැයි ඔහුට
නිසැක නොවේ. එම නිසා ඔහු පැණසර වෙයි. අවමයෙන් එලෙස බලාසිටියා හෝ මතකදැයි
දැනගැනීමටය.
දොඩමළු
පෙම් රහස්කතා
ගඟ
දිය රැළි මත මැකිලා
කඳු
ඉමේ දුරින් ඇසෙන තුරා
අසා
සිටියා මතකද අනුත්තරා.......
මේ කුමන
පරිසරයක් දැයි මම නොදනිමි. සමන් අයියාගෙන් මේ
ගැන ඇසීමේ හැකියාව හොඳාකාරව ම තිබියදීත් මම ඔහුගෙන් ඒ ගැන නොවිමසුවෙමි. මෙහි
කියැවෙන පරිසරය ඔහු ශිල්ප හැදෑරූ පේරාදෙනිය
සරසවිය අසබඩ සොඳුරු මල්වත්ත යැයි සිතන්නට මසිත ඇති කැමැත්ත නිසායි. එහි මෙලෙස
ඇතිවී වියැකී ගිය සොඳුරු සැමරුම් පමණක් අත ඇත්තන් බොහෝ බව දන්නා බැවින්ය. මේ තවත්
එක් හදවතක වේදනාව පමණි. අන් හදවත්වල වේදනාවන්ද වරින් වර ගීපද හා බැඳී අප සවනට
කොඳුරා ඇත. එහෙත් කව් ගී වලට හා නොවුණු යා නොවුනු දුක් වේදනාවන් අපමණ තව ඇති බව
සිතිය යුත්තේ ඒ වෙදනාවන් දෝත දරා නිහඬව කඳුළු මුසු සුසුම්ලන බහුතරයක් දෙනා කවියන් හෝ
ගීතරචකයන් නොවන නිසාවෙනි. ඒ බැව් පසෙක තබා සමන්
ජයනාත් නම් වන ගීත රචකයාගේ පළමු පෙම්වතිය වන අනුත්තරාට
අපි කන්දෙමු.
හන්තාන අඩවියද එහි සොඳුරු
සරසවියද එහි අකුරු ඉගෙනුමට ගිය මානව මානවිකාවන්ද නිමිති කරගෙන ලියැවුන ගී වල
සැමවිටම ගැබ්වුනේ ප්‍රේමයේ සොඳුරු බව හෝ විරහවේ අඳුරු බව පමණක් නොවේ. තවත් බොහෝ දේ
නිමිතිකොට ගෙන ගී කව් ලියැවී ඇති බව විමසුමේදී පෙනී යයි.
අනෙකුත් පෙමට
බර ගී විමසුමට පෙර මේ එවන් ගීත දෙක තුනක් පිලිබඳ විමසුමකට පිවිසුමයි.
එහෙත් එම ගීත
අසා විමසන්නට අදට අපට කාල වේලාව මද වෙයි. එබැවින් ඉදිරි දිනක ඒ පිළිබඳව පිළිසඳරේ
යෙදෙමු. එතෙක් සමුගන්නම්.
-
යසනාත්
ධම්මික බණ්ඩාර -










