Thursday, April 10, 2014

එක ගලෙන් කුරුල්ලන් හතරයි.......



එක ගලෙන් කුරුල්ලන් හතරයි....


කිත්සිරි ජයසේකර ගැයූ මගේ ගීත දෙකක්ම ගැන මවිසින් පසුගිය දින දෙකේ එක දිගට මුහුණු පොතෙහි සටහන් තැබූ නිසාත් එය දැක්මෙන් දුරු රටක සිටින කිත්සිරි ඉන් යම් සතුටක් ආශ්වාදයක් ලැබුවා යැයි සිතූ නිසාත් අදත් කිත්සිරිද ගායනයට දායකත්වය දැක්වූ ගීතයක් ඉදිරිපත් කරන්නට සිතුවා.  එහෙත් එය මුහුණු පොතේ සටහනක් ලෙස නොව බ්ලොග් සටහනක් ලෙසටම නිම කරන්නටද සිතුවා. මේ නිසා පෙර ගීත දෙක පිළිබඳව සටහන් කරමින්ම අළුත් ගීතයට එළඹීම සුදුසු යැයි හඟිනවා.
මට කිත්සිරි ජයසේකර මුණ ගැසෙන්නේ එකල කොහුවල පිහිටි පයනියර් ශබ්දාගාරයට මගේ ගීත කිහිපයක් පටිගතකිරීම සඳහා ගිය අවස්ථාවක. ඔසී නුගේරා එහි ශබ්ද ඉංජිනේරුවරයා වූ අතර ශබ්දාගාරය බාරව සිටියේ කිත්සිරි ජයසේකරයි. කෙටිම කෙටි කලකින් මේ දෙදෙනාම ගණු දෙනු කරුවන් නොව මිතුරන් බවට පත්විය. අනතුරුව එම භූමිය විවිධ වූ සොඳුරු මතයන්ට කෙම් බිමක් විය. විශේෂයෙන් එහි නිතර ගීත පටිගත කිරීමේ කාර්යයන්ට පැමිණි සිහ ශක්ති කණ්ඩායමද එහි ආනන්ද පෙරේරා, හේමපාල ගාල්ලගේ, අශෝක පෙරේරා, ජයන්ත රත්නායක, ළෙලුම් රත්නායක, මහේන්ද්‍ර පැස්කුවල්, ධනංජය සෝමසිරි ආදීන්සමග ගතකළ කාලය විනෝදයද ක්ෂේත්‍රය හා අදාල අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහාද, ඒ හා සම්බන්ධ විශේෂ රසමුසු දුක මුසු ත්‍රාසය මුසු සිදුවීම් දැනගැනීමටද වැදගත් විය.
මෙහිදී මගේ ගීත පටිගතවන අතරේ ඒ ගීත කිත්සිරිද ගයනු මට අසන්නට ලැබුණි.ඔහු හොඳින් ගැයීය. මේ නිසා ඔහුට ද ගීතයක් නිර්මාණය කරමුයි, එහි සිටි මගේ සංගීත අධ්‍යක්ෂවරයා වූ මිතුරු නවරත්න ගමගේට යෝජනා කලෙමි. ඔහු ඣට එකඟ විය. එදිනම මවිසින් ගීතය ලියැවුණු අතර, තවත් දින 2කින් නවාගේ සංගීත නිර්මාණය සූදානම් විය. එය යුග ගීයක් වූ බැවින් හේමන්ති රණසිංහ නමැති ගායිකාව ඊට සුදුසු යැයි නවාම යෝජනා කළේය. මම ඇයව දැන නොසිටියෙමි.  එහෙත් නවා ඇගේ ගායන හැකියාව ගැනද ඈ ගැනද හොඳින් දැන සිටියේය. එහෙත් ඈට සම්බන්ධ කෙනෙක් මම හොඳින් දැන සිටියෙමි. ඒ අනෙකෙකු නොව එකල ඇගේ පෙම්වතා වූ මා මිතුරු ගීත රචක නිලාර් එන්. කාසීම් ය. මේ බැඳීම් මත ගායාකාව තීරණය විය. අනතුරුව දිනක සංගීත පථ ( Music Tracks ) පටිගත වූ අතර එම ගීතය නිම විය. කිත්සිරි ජයසේකර සහ හේමන්ති රණසිංහගේ ගැයුම මගේ ගීත එකතුවට ඇතුළත් වූවා පමණක් නොව, මගේ ගීත එකතුවේ නම තැබීමටද මේ ගීතය යොදා ගැනිනි. ගීත එකතුවේ නම - කිඳුරු ගීතය - නම් විය.



කිඳුරු ගීතය ඇසීමට සුදුසු වෙලාව වුණත් බ්ලොග් සටහනක් බැවින් සටහන අසම්පූර්ණ වේවි පසුබිම් කථාව නොලිවුවහොත්. එබැවින් එය ලියමි. මට මේ ගීතය ලියන්නට හේතුවුණේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ ගීතයයි.
රත්න ශ්‍රී විජේසිංහගේ සොඳුර නුඹ ලිහිණියක නම් ගීතය ඔබට මතක ඇතිවා විය යුතුය. එහි වචන මෙසේ ලියමි.
සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි - තරු එළිය....

කටුක දුක් විරහ මැද - අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුනට
නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වී දිනෙක
සොඳුර නුඹ ලිහිණියක ගීතය අසමු.


සොඳුර නුඹ ලිහිණියක ගීතයේ සිටින ලිහිණින් යුවලය, මගේ ගීතයේ කිඳුරන් වෙසින් සිටිණුයේ. ඔවුන් දෙදෙනට රත්න ශ්‍රී ගේ ගීතයේ  ලිහිණි යුවලට අත්වූ ඉරණම ම අත් වූවද මගේ ගීතයේදී ඒ ලිහිණි යුවලම කිඳුරු යුවලක් ලෙස පෙනී සිටිමින් කියනුයේ එහෙම පිටින්ම අර ගීතයේ කතාව ම නොවේ. ඒ කතාව නොවන්නෙත් නොවේ.
මෙහි කිඳුරාද කිඳුරියද අර ජාතක කතාවේ මෙන් ආදරයට ආදරයෙන් යන කිඳුරු කිඳුරියන්ය. කිඳුරිය තමන් ජීවිතය කොටගත් ආදරයෙන් පීඩිතව ඔත්පලව..... කිඳුරාද එවන්ම සිය ජීවිතය කොටගත් ආදරයකින් පීඩිතව ඔත්පලව. දෙනෙම එම ජීවන ඛේදවාචක ය ප්‍රකාශ කරන අන්දම මගේ මෙම ගිතයේ දී නිරූපනය වෙයි.
සඳ කිඳුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ - අහිමු වූ
පුන් සද වත අහිමි වූ
සඳ කිඳුරු ලිය නුඹ
ඇයට අහිමි වූ අයුරින් ම, ඇයට අහිමි වූ සියල්ල ම ඔහුට ද අහිමි වී ඇත. පුන් සඳ වත අහිමි වුණා යන්නෙන් කියනුයේ එයයි. දෙදෙනාට ම තම තමන් ප්‍රිය කළ පූර්ණ චන්ද්‍රයින් අහිමිව ඇත. එසේම ඊ ළඟ පාද වලදී ඔවුන් දෙදෙනාට අහිමි වුණු තවත් දේ පෙන්වා දෙයි. ඒ අනුව දෙදෙනා මොනතරම් සමානද? එහෙත් ඒ සමාන කම මත පමණක් තවත් ආදර කතාවක් ඇරඹී වෙනත් පවුලක් ලෙස ගොඩ නැගෙන්නට හැකිවෙයිද?
මේ ගං දෑලවර
මල් - මල් උයන්තෙර
සිසිල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ
ගං දෑලද, දෑලවර මල් උයන්ද, මල් උයන්වල මල්ද සිසිලද ඈ සියල්ල මේ දෙදෙනාටම අහිමිව ඇත. ඔවුන් දෙදෙනා එලෙස සියල්ල අහිමිව දුකට වැටුණු, අහම්බයකින් එක්වුණු, සඳකිඳුරු යුවලකි.
මේ නිල් වියන යට
නිල් විල් දියඹ මත
නිල්ල අහිමිව වැලපෙනා
සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ
නිල් වියනද, නිල් විල් තලයද, සිසිල් දියද, පිවිතුරු දියෙහි නිල්ලද මේ දෙදෙනාටම අහිමිව ඇත. ඔවුන් දෙදෙනා එලෙස සියල්ල අහිමිව දුකට වැටුණු අහම්බයකින් එක්වුණු සඳ කිඳුරු යුවලකි.

පද     : යසනාත් ධම්මික බණ්ඩාර.
ස්වර  : නවරත්න ගමගේ.
ගැයුම: කිත්සිරි ජයසේකර/හේමන්ති රණසිංහ.

සඳ කිඳුරු ලිය ගීතය මෙතැනින් අහන්න.


කිත්සිරි මගේ ගී ගයන්නට එකතු වුණේ ඔය අයුරිනි. අනතුරුව අපි හොඳ මිතුරන් වූවෙමු. මිතුරන් වූ පලියට නිර්මාණ නොකළෙමු. එහෙත් යම් අවස්ථාවලදී නිර්මාණ එක්ව කළෙමු. මිතුරුදමදසමාන්තරවම පවත්වාගෙන ගියෙමු.
මූනු පොතට ලියූ දෙවෙනි සටහනට පාදක වූ ගීතයට අදාල සටහන මෙයයි. එය සංස්කරණයෙන් තොරව ඵළ කරමි.
මේ ගීතය මම ලිව්වේ කාටවත් නොවෙයි. කවුරුත් කිවු නිසාත් නොවේ. මෙය අළුත් අත්දැකීමකුත් නොවෙයි. විවිධ අය විසින් විවිධ විදිහට මේ ගැන ලියා තියෙනවා. මේ මට හිතට ආව විදිහ. මේ ගීතයේ තියෙන්නේ නාටිකාංගනාවක් ගැන. ඒ නිසාම මේ ගීතයේ සංගීතයත් ඊට අතිශයින් සමීප වෙන්නට නිම කරන්න කරුණාරත්න විජේවර්ධන පෙළඹෙනවා.
මේ ගීතයේ නාටිකාංගනාවක් ගැන කියවෙන නිසාමද මන්දා කිත්සිරි ජයසේකර ගීතය ගයන්න තෝරා ගන්නවා. ඒ සිය මී පැනි රහසක් ගීත එකතුව සදහා. ඔහු මේ ගීතය ගැයුවේ සිය ප්‍රිය බිරිඳ වන උපේඛා ගංගොඩවිල වෙනුවෙන් දැයි මම දන්නේ නෑ. මම ඇහැව්වෙත් නෑ. කවුරුත් දන්නවා උපේඛා ගංගොඩවිල කියන්නේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය නැටුම් ශිල්පිනියක් වූවා සේම නැටුම් පිළිබඳ කථාකාචාරිනියක්ද වූ වග. කිත්සිරිට නොදැනීම මෙය තෝරා ගැනුනේ ඒ නිසා දැයි මටත් හිතුණා.
මෙම සටහන කිත්සිරි දකීවි. ඒ ගැන ඔහු අමනාප නොවනු ඇතැයි සිතනවා.
දිනක් කිසියම් වැඩ සටහනකදී හෝ අවස්ථාවකදී ( මට හරියටම මතක නෑ ) කිත්සිරි මේ ගීතය ගායනා කළා. අදහස් දැක්වීම සඳහා මමත් එහි සිටියා. වසන්ත රෝහණ තමයි එය මෙහෙය වූයේ. වසන්ත අයියා හඳුන්වා දුන්නා මීළඟට ගයන ගීතය. එය මවිසින් රචිත අර නාටිකාංගනාව ගැන කියවෙන ගීතය. වසන්ත අය්යා කිත්තාගෙන් අහනවා.
කිත්සිරි, මම හිතන්නේ ඔබ මෙම ගීතය ගයන්නට ඇත්තේ උපේඛා ගැන හිතාගෙන වෙන්න ඕනෑ.
කිත්තාගේ කටට උත්තරය දීලා වසන්ත අයියා අහනවා. කිත්තත් එක වරම යමක් කිව යුතුයිනේ. තටම තටමා ඉන්නත් බෑ. ඒ නිසා කිත්තා කියනවා,
ඔව් වසන්ත අයියේ, උපේඛා ගැන හිතලා තමයි මම මේ ගීතය යසේට කියලා ලියවා ගත්තේ
වසන්ත අයියා ඉන් පසු හැරුනේ මා දෙසට.
එතකොට යසේ, ඔබ මෙම ගීතය ලිව්වේ කවුරුන් ගැන හිතලාද
මමත් එක් වරම උත්තරයක් දිය යුතුයි. තටම තටමා ඉන්න බෑනේ. ඒ නිසා මමත් පිලිතුරු දුන්නා.
වසන්ත අයියේ, මමත් මේ ගීතය ලිව්වේ උපේඛා ගැන හිතලා තමයි
කිත්තාගේ මූණ රතුවනු මම දැක්කා. ඒ සමගම සංගීතය වැයෙන්න පටන් ගත්තා. කිත්තාට දැන් ගීතය ගයන්නට වෙනවා. ඒ නිසා ගීතය ගයන්න පටන් ගත්තා.
සිහිනිඟ පානා දඟේ
නයනග දිලෙනා රඟේ
පිරුණා වූ උකුළේ - ලලනා සිරිය මැවේ
නෑ ඉවසුම්
ප්‍රියාවියේ
කාටද ආලේ හදේ....

ගෙල වට බඳිනා ලෙසේ - මුතු පොට ගෙනෙනා දිනේ
ගැන දසැඟිලි දෑතේ
නිදි නැති රෑ සයනේ
නෑ ඉවසුම්
ප්‍රියාවියේ
කාටද ආලේ හදේ....

වරලස ගසනා ලෙසේ - මල් දම ගෙනෙනා දිනේ
ගැන දසැඟිලි දෑතේ
නිදි නැති රෑ සයනේ
නෑ ඉවසුම්
ප්‍රියාවියේ
කාටද ආලේ හදේ....
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - කරුණාරත්න විජේවර්ධන
හඬ - කිත්සිරි ජයසේකර
( පසුව ලියමි - වැඩ සටහන අවසන කිත්තා මගේ බෙල්ලෙන් අල්ලා තෝ කියන අවලං කතා වලට මම තෝව මරණවාකියා විහිළුවටවත් කිව්වේ නෑ )
සිහිනිඟ පානා දඟේ ගීතය අසා සිටිමු.

දැන්වත් අළුත් ගීතය අසන්නට නොදේදැයි ඔබ සිතනු ඇත. ඔව්. අපි එයට යොමුවෙමු.
මේ ගීතය සංගීතවත් කළේ සුරේෂ් මාලියැද්දේ විසින්.
ඇත්තටම මේ ගීතය හැදුවේ කිත්සිරිට නොවේ. මේ ගීතය හැදුවේ අමරසිරි පීරිසුන්ට. ඔහුගේ ස්නේහයේ නගරයයි ගීත එකතුවට. සුරේෂ්ට එහි අවස්ථාවක් ලැබුණාම ගීත රචනයක් සඳහා කතා කළේ මට. මට එය මහඟු අවස්ථාවක් වුණා. සුරේෂ්ට හා හා පුරා ලැබුණු අවස්ථාවේදී ඔහු සුදුසු ගීත රචනයක් සදහා මාව තෝරා ගත්තාම එය මට මහා පුදුමයක්ද වුණා. සුරේෂ්ගෙන් ඇසුවාම සුරේෂ් කිව්වේ, යසේ, උඹ ලියන විදිහ මට හොඳින් දැනෙනවා. ඒ නිසා එය සංගීවත් කරන්නට පහසුයි කියායි.
මෙය අප දෙදෙනාටම අභියෝගයක් වුණා. ගීත එකතුවට ජනප්‍රිය කළින් කළ ගීතද සමගින් අළුත් ගීත එකතු වෙන්නේ  ගීත  පමණයි. ඒ කුඩා  ඉඩෙන් අපට කොටසක් ලබා ගැනීම විශාල අභියෝගයක් සේම අපි දෙදෙනාටම එකල විශාල දෙයක්. අපි ඒ සඳහා උපක්‍රමයක් හැදුවා. කූට උපක්‍රම නොහොඳ නිසා හැකියාවෙන්ම උපක්‍රමය සැකසුවා. ඒ තමයි විවිධ ආරවල ගීත 4 ක් සූදානම් කිරීම.
මෙසේ හැදූ ගීත 4 න් එකක් මෙය. අමරිසිරි පීරිසුන් තෝරා ගත්තේ මෙය නොවේ. අපේ මංමුළා වේවී - සිත කෝල වූවොත් - මේ මිනිස් වනයේ කියන ගීතය. එය යුග ගීයක්. එහෙත් පටිගත කරන්නට යන අවස්ථාවේදී නිෂ්පාදනයේ ගැටළුවක් ආවා යුග ගීත සංඛ්‍යාව වැඩි යැයි. ඒ නිසා පැරණි නමුත් වඩා ප්‍රසිද්ධ ජනප්‍රිය යුග ගීත දෙක ( ස්නේහයේ නගරයයි සිත මගේ සහ සල් සමන් සුගන්ධිනී ) ඉතිරි වී මගේ ගීය ( අපේ ගීය ) ඉවත් වුණා. එසේ වූවත් අපේ අවස්ථාව ඉවත් වුණේ නෑ. අමරසිරි පීරිසුන් සෘජු මතයක සිටියා සුරේෂ් ගේත් මගේත් දායකත්වය එම නිර්මාණ එකතුවට අවශ්‍යයැයි.
අපේ සූදානම නැවත කරලියට එළ ඹුනා. ඒ අනුව නැවත අනෙක් ගීත 3 ඉදිරිපත් වුණා. අමරසිරි පීරිසුන් සෑහීමකට පත් වුණා අපේ  -මේ ආලවන්ත වීදියේ - ගීතය සුදුසු යැයි. ඒ අනුව ආලවන්ත වීදිය ස්නේහයේ නගරයට එකතු වුණා.
මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු - සල්පිල්වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ....

මේ ආලන්ත වීදියේ
සොඳුරු වුණත් පාට හීන
වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරෙස්සමින් නොගත්තොතින්
සිහින බිඳෙන්නේ........

මේ ආලවන්ත වීදියේ
නුරා ළඳුන් නෙතග බැළුම්
වැඩි  දුර නෑ අතමානෙම ගන්න තියෙන්නේ
පරෙස්සමින් නොගත්තොතින්
දෑස රිදෙන්නේ......
මේ ආලවන්ත වීදියේ ගීතය අසා සිටිමු.


එසේම එහිදී අපට තවත් වාසනාවක් උදා වුණා. ඒ තමයි එදින පටිගත නොකළ ගීතය. අමරසිරි පීරිසුන් අපට කිව්වා, මම මේ ගීතය අද නොකළාට ඊට බෙහෙවින් කැමතියි. ඒ නිසා කුමන අවස්ථාවක හෝ එය පටිගත වුණොත් එහි පිරිමි කටහඬ සඳහා තමන්ට කතා කරන ලෙස. මේ අනුව අමරිසිරි පීරිසුන්ගේ එක් ගීතයක් වෙනුවට ගීත දෙකක් අපේ උත්සාහය නිසා අපට ලැබුණා. කියූ සේම ප්‍රායෝගිකවද එය ඉටු වුණා. ඒ අනුව මං මුළා වේවී ගීතය පසුව රශ්මි සංගීතා මහත්මියගේ සීත මිටියාවතේ ගීත එකතුව වෙනුවෙන් අමරසිරි පීරිසුන් සමග ගැයුනා.
මං මුළා වේවී
සිත කෝලවූවොත්
මේ මිනිස් වනයේ
ගිනිකණ වැටී ඇස - මං මුළ වේවී - මුවැත්තී
සුදත්නී -සිත බියෙන් සසැලේවී
නුඹ මුවන් විදුමට දඩයමේ යන
නිරිඳුදැයි සිත බියෙන් සසැලේවී

හී සර වෙතත් විස හී නොවේ
නුඹ විදළුවත් නැසුමට නොවේ
මුවැත්තී අත කුසුම් සර මිස විසහී නොවේ...
විස හී නොවී මල් සර වූවත්
දුනු දිය මිදී ළය විනිවිදීවි
සිත බියෙන් සසැලේවී
නුඹ මුවන් විදුමට දඩයමේ යන නිරිඳුදැයි
සිත බියෙන් සසැලේවී

කග රන්වුවත් - තුඩ නපුරු වේ
ගල මිණි වුවත් - හුපුණොත් රිදේවී
සුදත්නි - සිත කෝල බිය මිස රණ හස නොවේ

දැඩි සිත් නොවේ රජ කම් දැරුවත්
ඇවිළුනු සිතුම් නුඹ ළඟ නිවේවි
සිත  බියෙන් සසැලේවී
නෙතු පියන් පෙති මත ගිලිහිලා යන සිහිනෙකැයි නුඹ
සිතුම් සසැලේවී.....
අපි මං මුළා වේවී ගීතය අසා සිටිමු.


තුරුණු පෙම්වතෙක්හට තම පෙමවතිය කොතෙක්නම් සොඳුරු වස්තුවක්ද කියලා  කියැවෙන ගීතයක් මාතින් ලියැවුණා. ඒත් මට මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ මම ඒ ගීතය ලියා ඇත්තේ වෙනස් දෘෂ්ඨියකින් කියලා මට හිතෙන නිසා.
සාමාන්‍යයෙන් මෙවැනි ගීතතුළින් තම සිත ගත් යුවතිය වර්ණනාවෙන්නේ පරිසරයෙහි ඇති කිසියම් සුන්දර වස්තූවකට සමාන කරමින්. ඒත් මෙහි ඇත්තේ පරිසරයේ ඇති සියළු සුන්දරතාවනට හේතුවී ඇත්තේ ඇයයයි කීමයි.
මෙවැනි එක් උදාහරණයක් මතක්වෙනවා. ඒ තමයි ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ වික්ටර් රත්නායකයන්ගේ කුරුල්ලන්ට ගී ගයන්න ගීතය. එනම් ඇයගේ සුන්දරත්වය රැඳී ඇත්තේ සොබා දහම මත නොව, සොබා දහමේ සුන්දරත්වය රැඳී ඇත්තේ ඇයගේ සුන්දරත්වය  නිසාවෙන් කීමයි. නමුත් මෙය ඇය වර්ණනා කරණ ගීතයක්මත් නොවෙයි. මෙහි ඇය පිළිබඳ වර්ණනාව ගැබ්ව ඇතිවා සේම ඇයගේ වියෝගය පිළිබඳව වන වේදනාවද එකසේම ගැබ් වෙනවා.
අපි එම ගීතය අසා  මගේ ගීතය ගැන කතා කරමු.




මේ ගීතය මට අදහසක් දුන්නා එවැනි ආකාරයේ ගීතයක් නිර්මාණය කිරීම සඳහා. මම දැන් කියන්න උත්සාහ කරන්නේ කුරුල්ලන්ට ගී ගයන්න ගීතයේ රසය පරදවන ගීතයක් ලියන්න මම උත්සාහ කළා නොවෙයි. නමුත් මම ඒ ආකාරයේ නිර්මාණයක් කළා. එම රචනයත් සුරේෂ් විසින් කළ නිර්මාණ 4 ට ගැනුනා. එය පසුව දයාන් විතාරණ මහතා විසින් ගැයුවත් එය ඔහුගේ නිර්මාණ එකතුවකට ගොනු වුණේ නෑ. එය සැමට නැතත් මට තිබෙනවා. 


ප්‍රේමයේ පුර පස තුටු ගීතයට

මුදු වදන්දුන් නුඹ

ප්‍රේමයේ අවපස දුක් ගීතයට

දුක් වදන් දෙනු කෙලෙසද........



තරු කැකුළකට යුග නෙතේ කැන්පළඳා
මල් කැකුළකට මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට රස තෙපුළ් වැල් අමුණා
සුව සිහිනයම මගෙ දෙනෙත් ළඟ මවලා.....



තුඟු ගඟුලකට නිල් වරල රුව දවටා

සුදු මුතු පොටට මුතු දසන් කැන් පළඳා

පිණි කඳුළකට මුදු හදේ තෙත තවරා

හරි මිහිරිතම පෙම් සිසිල සිත ගවසා....


අවසන අපි කතා කිරීමට සිතූ ගීතයට එමු.

මේ ගීතය කිත්තා සමග ගයන්නේ උරේෂා රවිහාරි. මම මේ ගීතයට මහත් ප්‍රියයි. බොහෝ ඇසූ අයද ප්‍රියතාවක් දැක් වූවා. එහෙත් පුංචි දුකකට ඇත්තේ කිත්තාගේ හෝ උරේෂාගේ පසුකාලීන ගීත එකතුවකට එය ගොනු නොවීම ගැනයි. කෙසේ වෙතත් සැමට නැතත්, මේ ගීතයද මට ලැබුණා.
මලට රොන් සුනු පළඳවා
අරුණු කිරණේ - තුසර බිඳුවක් දිලිසුනා.....
උදෑසන විසිතුරු බවින් මත්ව ඔහු එසේ කියන විට ඇයගේ පිලිතුර වෙනස් එකක්.
ඔබ නමින් - මා නෙතින් ගිලිහුණු
කඳුළු බිඳුවක්
මලක් මත හිඳ දිලිසුනා
තුසර බිඳකැයි රැවටුනා
ඔබ රැවටුනා.... 
ගීතය පුරා මේ සංවාදය දිවෙයි.
වෙසෙසින් කිව යුතු දෙයක් වෙයි. කවි ආකෘතියට වෙනස් ගීත ආකෘතිය යොදා ගැනීමේ උත්සාහයක් රචනය තුළට ගැබ් කරන්නට වෙහෙසුනු බවයි.
-         සිනාසෙන සඳ මලිකි නුඹ මට
සෙනෙහසේ ඇස් දිලිසෙනා
-         රිදී විසකුරු බමර තුඩගින්
හඬන මුත් නුඹ නොදකිනා
හදකි සිනා මල් සේ කියවනා.....

-         කලා පිරි සඳවතයි නුඹ මට
සිසිලසේ කැන් විහිදෙනා
-         වැසී ගණ කළු වළා රොදකින්
හඬන මුතු නුඹ නොදකිනා
සඳකි වත මල පුරා සඳ සේ අගයනා....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - කිත්සිරි ජයසේකර සමග උරේෂා රවිහාරි.





 අවසන එක අරමුණක් ජයගනු වස් අප දෙදෙනා එක්ව නිර්මාණය කළ ගීත සාම්පල 4 ම ගීත බවට පත් වුණා. 

මගේ ගී ගීපයක් ගැන මමම කතා කිරීම පිළිබඳව කමන්න. ඒ ගී නිර්මාණය වූ පසුබිම ඉදිරිපත් කිරීම වටිණවා යැයි මා සිතූ බැවිනි. කෙනෙකුගේ මතය අනෙකක් නම් ඒ මතයටද ගරු කරමි.
-         යසනාත් ධම්මික බණ්ඩාර    -

8 comments:

  1. ඔබේ මේ සටහනේ ලියැවුණ ඔබ ලියූ ගී ගැන කියැවූ පසු යමක් සිතුණා ඒ ගැන ලිවිය යුතු යැයිද සිතුණා. මෙහි කිත්සිරි ජයසේකර ගායකයාණන් ගයන ගී තුනෙකි. ඉනිදු යුග ගී දෙකකි. අමරසිරි පීරිසුන් ගයන ගී දෙකකි ඉන් එකක් යුග ගීයකි. එසේ බලන කල මෙහි යුග ගී තුනෙකි. තනිව ගයනා ගී ද(Solo) තුනෙකි. අමරසිරි පීරිසුන් ගයන එක් ගීයක්ද කිත්සිරි ජයසේකරයන් ගයන ගීයක් හා දයාන් විතාරණ ගයන ගීයක්ද ලෙසයි. මේ ගී එකකට එකක් වෙනස් කතා කියන, වෙනස් රසයන් පුබුදුවන ඒවා වීම කෙතරම් අපූරුද? 'මේ ආලවන්ත වීදියේ' සමාජ විවරණයකි- මෙහි ගායනයේදී අමරසිරි පීරිසුන්ගේ හඬෙහි සියුම් වූ උපහාසයක් ගැබ්ව ඇතුවා සේයි - 'සිහිනිඟ පානා දඟේ' මහත් ශෘංගාරයක් දනවන්නෙකි. සංගීතයද ඊටම සරිලන ශාස්ත්‍රීය ආරක වෙයි. ගායනයද ඔබ කියූ ලෙස ගායකයාණන්ගේ බිරිඳෑගැනම සිතමින් ගැයූ නිසාදෝ අතිශයින් ආලවන්තයි.

    මේ ගී දෙකටම වඩා වෙනස් විරහ ගීයකි 'ප්‍රේමයේ පුර පස' එහි ගැයෙන්නේ අහිමි පෙම්වතියගේ රුව සොබා දහමේ සියලු රුරටා රූපක කරනා පෙම්වතෙකුගේ කතාවයි. එය වැළපීමක් නොවේ තවමත් ඔහුට ඈ ගෙනෙන්නේ සුබ සිහිනමයි, මිහිරිතම පෙම් සිසිල සිත ගවසන්නේ ඇයයි. විලාපයක් නොවූ මේ විරහ ගීය කොයිතරම් අපූරුද - මේ තනුවත් ගීයෙහි අදහස් කියා පාන්නක් ලෙසය මට දැනෙන්නේ.

    යුග ගී තුනත් එකිනෙකට බොහෝ වෙනස් සංකල්පනා තුනකි. මතුපිටින් ඇසෙනවිට මේවා පෙම් ගී ලෙස දැනේ - එහෙත් මේ ගී තුනෙන් කියැවෙන කතා තුනෙකි. පළමු යුග ගීය 'කිඳුරු ගීතයයි' එය ඔබ කියන ලෙසටම ' සොඳුර නුඹ ලිහිණියක' ගීයෙහි කියැවෙනා සේම පරාජිත පෙම් යුවලකගේ අහඹු හමුවකි. මෙහිදී මේ පෙම්වතුන් කිඳුරන් වීම ඉතා අපූරු සංකෙතයක් සේ හඟිමි. අපේ ජාතක කතා සාහිත්‍යයේ එන සඳ කිඳුරු යුවල ආත්ම ගණනක් එකිනෙකා පතා ආ සේ දිවි හිමියෙන් පෙම් කරති. කිඳුරාණන් හී පහරින් මිය ගියද කිඳුරිය ඔහු හැරදා රජු හා නොයන්නේ සත්‍යක්‍රියා කරන්නීය. එහෙත් මේ කිඳුරිය ද එවන්වම පෙම් කර ඉන් දුකට පත් වූවා එවන් ලෙසටම ආතුර වූ කිඳුරෙකු හමුවූ පසු කුමක් සිදුවේද? ඔවුන් කිඳුරන් නිසා පැණයක් එහි ඉතිරි වේ යැයි මට හැඟේ.

    දෙවනි යුග ගීය අමරසිරි පීරිසුන් හා රශ්මී සංගීතාවන් ගයන ' මං මුලාවේවි' ගීයයි. මේ මා ඔබේ ගී අතරින් වඩාත්ම ප්‍රිය කරන්නකි. ප්‍රේමයේ සොඳුරුතම අවධිය එය ප්‍රකාශිත වන මුල්ම අවධිය යැයි සිතමි. මේ සොඳුරු අවධිය බොහෝ කව් ගී වලට නිමිති වී ඇතත් මේ ගීය ඉතා වෙසෙස් රසයක් ගෙන එයි. තම ජීවිතයම අනිකෙකු මත රඳවන්නට යුවතියක තීරණය කිරීමට පෙර ඈ සිත කෙතරම් බියෙන් සැලේද කෝළ වේද- මේ අපූරු සංකල්පනාව තරමක් ශාස්ත්‍රීය වූ බස් ආරකින් ලියැවී වඩාත් සොඳුරු වී ඇතැයි හඟිමි.

    තෙවැන්න මේ සටහනේ අරමුණයි - 'මලට රොන් සුනු පලන්දා' එය මින් පෙර සඳහන් ගී දෙකටම වඩා වෙනස් අරුත් ගෙනෙයි. 'පෙම්වතියගේ රුව දකිනා නමුත් ඔබ .පෙම්වතාණෙනි ඇගේ සිත සොයා යායුතුය දිගු ගමනක්' - මෙයයි මා මේ ගීයෙන් විඳින්නේ. ගැයුමද - මියැසියද අගෙයි.

    මෙවන් වූ විවිධ වූ වර්ණයන්ගෙන් යුතු ගී දුන් රස අපමණයි. එකම උල්පතකින් මතුවී බෙදූ රස අගෙයි.

    මා ගීතය හෝ සංගීතය දන්නා කෙනෙකු නොවේ. ඉපදුණ දා පටන් ඇහෙණා දේ විඳ ඇති පුරුද්දෙන් මේ රස විඳිමි. රසිකාවියක් පමණක් වෙමි. එහෙත් මේ දැණුනු දේ ලිවිය යුතුයැයි සිතුණු නිසා ලියුවෙමි. මට දැනෙන්නේ මෙසේයි ‍යසනාත් ධම්මික බණ්ඩාර ඔබ අපූරු ගීත රචකයෙකි.

    ReplyDelete
  2. ගී නිර්මාණවල පසුබිම ගැන දැනගන්නට මා මහත් රුචිකත්වයක් දක්වනවා .ඇතැම් ගීත වල අරුත අපි සිතනවාට වඩා බොහෝ වෙනස් . එහි සැබෑ අරුත දැනගන්න පුලුවන් වන්නේ ගීතයේ නිර්මාණකරුවාගෙන්ම පමණයි . මේ අවස්ථාව අප ලැබූ භාග්‍යක් කොට සලකනවා .කිත්සිරි ජයසේකර ගායනා කරන ගීතයට ගොඩක් කැමතියි .

    ReplyDelete
  3. ලංකාවෙ විචාර කාලව එක අතකින් හරිම සංකීර්ණයි විවිධයි විෂමයි. මේ ගිත නිර්මාණ අරබයා මුහුණුපොතේ ඇතිවුණ සංවාදය මම දුටුවා. නමුත් ඒ සංවාදය ගැන අදහසක් මම මෙහි ඉදිරිපත් කරන්නේ නැහැ.

    මෙවන් නිර්මාණ බිහිකරන්න අපේ හිත් පොළඹවපු එක කාලයක් තිබුණා. ලියනවා කුරුටු ගානවා ආයෙමත් කපනවා කොටනවා හරිද වැරදිද බලනවා. ඇත්තටම අපිට අපේ හිත්වල නිර්මානකරනයේ මුලුබීජ පැලවෙන්න ගත්ත කාලෙ මට මතකයි යසේ ඔබ අපි විජේරාම හන්දිය ආසන්න බෝඩිං ජීවතවල සිරවෙවි නිර්මාණ කරණයේ දෑල දෙතෙරෙ පීනන්න වෙර දැරූ හැටි. ඒවායේ දුක් වූ තැන් සතුටු වූ තැන් මතක් වන විට මේ නිර්මාණවල මිහිර වැඩියෙන් දැනෙන්න ගන්නවා
    ඒවා තමයි අදටත් මිහිර මතකය් හද කිතිකවන්නේ. ආයෙමත් සැරයක් පෑන අතට ගන්න හිත පොළඹවන්නේ.

    මෙහි සඳහන් නොකළත් ආරි අයියා රශ්මි එක්ක ගැයූ වලාකුළු පෙලින් බසින්න ගිතයත් මේවගේම මිහරි මතකයක් ගේන ගිතයක්

    කිත්තා එක්ක අරඹූ නිර්මාණකරණය තුල කිත්තාට ඔහුගේ ගිනිමලක් සීඩි එක තුළ ස්ථාවර ශිල්පියෙක් වෙන්න එක්තරා අන්දමක සහයක් ඕබේ නිර්මාණ කීපයත් පිටිවහලක් වුණා කියල හිතෙනවා. ඒකාලෙ කිත්තටත් තිබුණේ සිංදු කියන වුවමනාව ඒක හරිගියා.

    ඒනිසා යසේගෙ මේ ගිත දීර්ගකාලයක මතකයන් අතර ශේෂ වු කාලයේ වැලිතලාව අතරේ සැගව නොගාය මතකයන්

    නිර්මාණකරුවකුගේ නිර්මාණ ගැන ඒ නිර්මාණකරුවාට විචාරයක් කරන්න අයිතියක් නැතිවුණත් ඔබ මේ කරල තියෙන්නෙ විචාර නොවයි මේවාට පසුබිම් වූ මිහිරිම මතකයන් ඒවා නිර්මාණකුරුවකුගේ අත්දැකිම් බෙදාගත යුත්තෙ ඒවායි.

    අර මුහුණු පොතේ තිබූ සංවාදය ගැන කෙටියෙන් යමක් කියනවා නම් අපේ විචාර කලාව හැඩ ගැහිල තියෙන්නේ විචාර සඳහා මිනුම්දඬු නිර්මාණය කරගෙන ඒ ඔස්සේ තව නිර්මාණකරුවකුගේ නිර්මාණ විමසා බලන්නයි. උදාරහණයක් විදියට මහගම සේකර මිනුම් දඬුවක් සීමාව කරගෙන ඔබේවත් මගේවත් නිර්මාණ විචාරයට ගැනිම සාධාරණ නැහැ යන්න මගේ හැඟිමයි.
    ඒ නිසා යසේ උඹේ ගීයක් ගැන කියන්න විචාරකයෙකුට ප්‍රේමකීර්ති හෝ රත්න ශ්‍රී මිනුම් දඬු විදියට තබා ගත යුතු නෑ. උඹ ලියන්නෙ උඹේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඒ අනන්‍යතාවය ගිතවය කොයිතරම් සාධාරණයක් කරනවද යන්නයි විචාරකයෙකු විමසා බැලිය යුත්තේ

    ReplyDelete
  4. ඇත්ත මචං..... ඒ කාලේ අපි කළ නිර්මාණ වලට වඩා වැඩි වැදගත් කමක් තියෙනවා ඒ කාලේ අපි වෙනුවෙන් අපි ගත් වෙහෙස මේ ක්ෂේත්‍රෙය් කටු කොහොල් මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න. ඒක මෑත කාලීන නිර්මාන දෙස නොබලනවා කියා කියන රසිකයෙකුගේ හෝ විචාරකයෙකුගේ හදිසි ප්‍රවිශ්ඨයකට කොහෙත්ම ගෝචර වෙන්නේ නෑ. අනෙක ගීතය යන්නට තමන් කැමති රූපයක් දී ඒ රූපය හා අනෙක් ගීත සසැඳීමයි කරන්නේ කියන එක අපි හොඳටම දන්නවානේ. මෙතන තියෙන්නේ මගේ දෙයක්ගැන කියා ඇතිනිසා මට උත්තර බඳින්න බැරිවීම. ඒ නිසා වැඩි දුර කතා ඉහක් කරන්න වෙන්නේ නෑ ඒ ගැන. එහෙත් දන්නේ දන්නවා ඒ ගැන.ස්තුතියි උඹට...

    ReplyDelete
  5. 1 කොටස
    -------------------------------------------------
    මට ඔබේ ගීතය හැර
    අන් කිසිවක් වැදගත් නැහැ.
    මා ඒ ගීතය දකින්නේ
    කිසිවෙකුට සාපේක්ෂව නොවෙයි.
    අන් ගීත වලට සාපේක්ෂවයි.

    යසනාත්,
    ඔබේ ෆේස්බුක් පළකිරීමට
    මා කළ පිළිතුරු ප්‍රකාශය
    නිර්නාමිකව හෝ
    මෙහි සංවාදයට බඳුන් වෙන නිසා
    ඒ ගැන කුහුලක් ඇති අය වෙනුවෙන්
    මා එය මෙහි පළ කරනවා.

    ---------------------------------------------------
    මම ගීත ගැන
    හිතාමතා සොයන්නෙ
    විශ්ලේෂණය කරන්නෙ නැහැ,

    කොහොමත්
    මම අද කාලෙ
    ලංකාවෙ කරන
    කිසිම නිර්මාණයක් පිළිබඳව
    උනන්දු නැහැ.

    අද හැම ක්ෂේත්‍රයකම නිර්මාණකරුවන්
    ගැහැණුන්ට, මත්පැනට, මුදලට,
    ගරු නම්බුවලට, ප්‍රතිරූප පිම්බීමට,
    බාහිර සැපසම්පත් වලට යටත්.
    ඔවුන්ගෙ නිර්මාණ වල කොයි විදියෙන් හෝ
    එම උවමනාවල් ඉටු කරගන්නට උත්සාහ කිරීමක්
    එළිපිට හෝ වක්‍රව තියනවා.
    ඔවුන්ගෙ දක්ෂකම් ඔහුටම කත් අදිනවා.

    ලංකාවෙ මෙතෙක් බිහිවූ
    කලාකරුවන් අතර
    මගේ හදවතට
    වඩාත්ම සමීප කලාකරුවා
    ප්‍රේමකීර්තියි.

    නිර්ව්‍යාජ කලාකරුවෙක් විදියටත්,
    නිර්ව්‍යාජ මිනිසෙක් විදියටත්
    වෙනත් කිසිවෙකුට
    ඔහු තරම්
    මගේ හද සසල කරන්නට සමත් වූ
    අන් කිසිවෙක් නැහැ.

    අද කාලෙ නම්
    නිර්ව්‍යාජ නිර්මාණ
    දකින්නට ලැබෙන්නෙ නැහැ.
    ඔවුන්ගෙ නිර්මාණ
    කිසිවක් මිළදී ගන්නට මුද්‍රණය කරන
    හොර නෝට්ටුවක් වගෙයි.

    යසනාත්ගෙ ගීත ගැන
    කවුරුවත් කතා නොකරනවා
    කියන චෝදනාව නිසාම
    ඔහුගෙ ගීත ගැන විමසන්නට
    දින දෙක තුනක සිට
    උනන්දුවක් ඇති වුණා.
    ( ප. ලි.= මා විසින් දරන මේ අදහස වැරදි බව යසනාත් මට පෙන්වා දුන්නා. මේ කරුණ පිළිබඳව මා වැරදි බව පිළිගන්නවා. )

    ඔහුත් සමග වෙනත් කරුණකට ගැටී
    ඔහු ඇතිකරගත් වැරදි අදහසක් නිසා
    මේ උනන්දුව මා පෝෂණය කළේ නැහැ.

    ඒත් අද ඉබේටම වගේ
    ඉහත බ්ලොග් සටහනට මා ඇදී ගියා.

    එහිදී යසනාත්ගේ ගීතවල
    මා දුටු විශේෂයක්
    ඔහු කෙසේ සිතුවත් නොකියා බැරි තරම්
    වැදගත් නිසා කිව යුතුමයි සිතුණා.

    ReplyDelete
  6. 2 කොටස
    --------------------------------------------------------
    මේ යසනාත්ගෙ බ්ලොග් සටහනින්.

    [[[කිඳුරු ගීතය ලියන්නට හේතුවුණේ
    රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ ගීතයයි.

    සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන
    මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තටු පිරිමදින

    අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
    සිඳී ගිය ගඟ දෑල - හැර දැමූයේ කවුද
    සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
    බාල වයසින් මැරුණු ප්‍රේමයකි - තරු එළිය....

    කටුක දුක් විරහ මැද - අතරමං වී ගියද
    අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
    කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුනට
    නිදහසේ තටු ලැබුනු කුරුල්ලන් වී දිනෙක]]]

    මේ යසනාත්ගේ කිඳුරු ගීතය...
    සඳ කිඳුරු ලිය නුඹ
    සඳ කිඳුරාණ නුඹ
    අහිමි වූ - අහිමු වූ
    පුන් සද වත අහිමි වූ
    සඳ කිඳුරු ලිය නුඹ

    මේ ගං දෑලවර
    මල් - මල් උයන්තෙර
    සිසිල අහිමිව වැලපෙනා
    සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

    මේ නිල් වියන යට
    නිල් විල් දියඹ මත
    නිල්ල අහිමිව වැලපෙනා
    සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

    පද : යසනාත් ධම්මික බණ්ඩාර.
    ස්වර : නවරත්න ගමගේ.
    ගැයුම: කිත්සිරි ජයසේකර/හේමන්ති රණසිංහ.
    ====================================

    මේ දෙක අතර විශාල වෙනසක් තියනවා.
    ඒ වෙනස රචකයන් දෙදෙනා
    වෙනස්වීම කියන කරුණ
    අමතක කරමු.

    මේ දෙකම ලිව්වේ එකම රචකයෙක් කියා
    දැනට උපකල්පනය කරමු.

    රත්න ශ්‍රී විජේසිංහගේ ගීතය
    1, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

    2, ඔවුන්ට කිසියම් දුකක් පැමිණි බව.
    ඒ දුකට කිසිවෙකුට දොස් නොකිව මනා බව.

    3, ඔවුන්ගේ පෙම මිය නොගිය බව.
    ඔවුන්ට අහිමි වූ ලොව ජයගන්නට
    දරුවන්ට හුරු කරන බව.

    මේ යසනාත්ගේ ගීතය..
    1, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

    2, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

    3, එකිනෙකාට අහිමි වූ පෙම්වතුන් යුවළක්.

    මේ පුනරුත් දෝෂය
    යසනාත්ගේ මා දුටු ගීත වල
    මට දකින්නට ලැබුණා.
    වචන ලස්සණයි.
    මවන රූප තුන ලස්සණයි.
    රූප තුනම එකාකාරීයි.
    වළකුළු බැම්මෙ කොටස් තුනක් වගෙයි.
    එක කොටසකට සවන් දුන්නාම ඇති.
    කොටස් තුනෙන්ම
    හැඟීම අතින් එකම ප්‍රතිඵලයක්.

    රත්නශ්‍රීගේ ගීතය
    පේසා වළලු,
    දාගැබ, දේවතා කොටුව..
    කොත, සිළුමිණ ආදී වශයෙන්..
    එකක් මත එකක්
    විවිධත්වයෙන් තැනූ
    දාගැබක් වගෙයි.

    ReplyDelete
  7. 3 කොටස
    ------------------------------------------------------------------
    ප්‍රේමකීර්තිගේ මෙවැනි ගීත තියනවා.
    වික්ටර් රත්නායකයන් ගයන
    කුරුල්ලන්ට ගී ගයන්න ගීතය එවැන්නක්.
    පටිගත කල දින උදා කල ලිවූ එම ගීතයේ
    අපට පුන පුනා කී රූ වර්ණනාවට
    අති විශාල අරුතක්
    අපව විශ්මයට පත් කරමින්.
    ඔහු එහි අවසාන පේළි දෙකෙන් ලබා දෙනවා...

    කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කට හඬ දෙන්න
    නෙළුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
    මැණික් වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න
    නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න

    ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
    ඉරට හඳට එළිය එන්න ඔබෙ හසකැන් දෙන්න
    නීල වළා සළු එළන්න ඔබෙ කෙහෙරැලි දෙන්න
    දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

    තණ නිල්ලට ඔබෙ දෙපතුල මොළකැටි බව දෙන්න
    නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
    ජීවත්වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
    එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න.......

    -ප්‍රේමකීර්ති ද අල්විස්
    -වික්ටර් රත්නායක

    කුරුල්ලන්ට ගී ගයන්න ගීතය
    පහළ සිට ඉහළට පවතින
    අපව කළඹන එකාකාරී බව
    අපව තෘප්තිමත් කොට නිදහස් කරන
    ඝංඨා කුළුණක් වගෙයි.

    යසනාත්ගේ ශෛලියෙහි ලොකු වෙනසක් නොකර
    ගීතය ඉහළ තැනකට ගෙන යන්නට
    ප්‍රේමකීර්තිගේ මේ ශෛලිය
    උපකාරී විය හැකියි.


    ප්‍රේමකීර්තිගේ
    තවත් එවැනි නිර්මාණයක්, මේ.
    කඳු මුදුනට නැගුණු එලිය ඈත ඉඳන් අත වනනව
    හඳ මුදුනට එන්න කලින් අහස වලාකුලු ඉරනව
    පරිසරයම හරි පාලුයි ඇඟ තුල සීතල දුවනව
    අන්න බලාපන් මැණිකේ සමන් කැකුලු ඇස් අරිනව

    කණාමැදිරියන් නටනව නිල් එලිකැට විලිස්සමින්
    වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස්හමින්
    සුළඟ තැනින් තැන දුවනව ලදළු ලපළු හිනස්සමින්
    සඳ එලියට පොලොව තෙමිල පය තියන්නෙ පරිස්සමින්

    පලගැටියන් වැලි කඩදහි අරගෙන ලෝකය මදිනව
    තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට කැඩෙනව
    හඳට බයේ අඳුරු රංචු හොරු වගෙ ගස් යට ළඟිනව
    ළිඳට ගිහින් බලමු මැණිකෙ ලිඳ ඇතුලෙත් හඳ තියෙනව

    කම්බි වැටට පිණි ඇමිනිල සතුටු කඳුලු බිංදු වගෙයි
    මැණිකෙව කැන්දන් ආදා රැය මගෙ මතකයට නැඟෙයි
    එදා වගෙම අදත් සිතට ආදරයේ සිසිල හැඟෙයි
    උඹත් එක්ක - හඳ පෑවු මේ මුලු ලෝකයම මගෙයි

    ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න
    නා දලු තොල් තෙත් කරවා අනුරා ගීතය ගයන්න
    සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන බලන්න
    පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න.
    ====================================

    මා තර්ක කරන්නේ එකම අරමුණකිනි.
    මා නොදන්නා දේ දැන ගැනීමට සහ
    මා දන්නා දේ පිරිසිදු කර ගැනීමටයි.

    ඔබේත් රත්නශ්‍රීගේත් ගීත සැසඳීමේදී
    මා යොදාගත් ක්‍රමය මට අලුත් අත්දැකීමක්.
    ගීත සාරාංශගත කොට විමසන්නට
    මා පටන් ගත්තා.
    ගීත සැසඳීමේදී
    ගීතයක සැකිල්ල විමසීමට
    මා පළමුවරට පෙළඹුණේ එයිනුයි.

    ReplyDelete
  8. මා මෙම් ගීත වල රචකයා නිසා මම මේ ගීත වල ඔබ දකින දුර්වල යැයි කියන දේ එසේ නැතැයි කීමට උත්සාහ නොකරමි. ඒ ගැන මට කියන්නට බොහෝ කරුණු ඇතැත් වර්තමාන කලා කරුවන් සහ ඔවුන්ගේ නිර්මාන පිළිබඳ ඔබ සිටින නරුම දෘෂ්ඨිය අනුව, ඔබ සමග සංවාදයකින් ඵලක් නොවන බව හඟින් බැවින් තවදුරටත් එසේ නොකරමි. මා ඔබේ අදහස් මෙහි ඵල කලේ මේ බ්ලොග් සටහන් ඔබද දකින බැවින් ඒ පිළිබඳව ඔබ මතයක් දරන්නේ නම් ඊට ඉඩ දිය යුතුය යන මතයට ගරු කරමිනි. ඒ සංවාදයේ බොහෝ කරුණු නැවති මෙහි ඵල කිරීම ඵලක් ඇතැයි නොසිතමි. එබැවින් ඔබේ මේ අදහස් වලට එදිරිව පැන නැගුණු අදහස් ඵල නොකොටම, ඔබේ අදහස් ඔබම මෙහි ඵල කිරීමට ඉිදිරිපත් කළ නිසා එසේ ඵල කරමි. කිසිදු දෙයක හොඳක් නොදකින, ඔබම පමණක් හොඳ යැයි සලකන ඒ මතය තහවුරු කිරීම පිණිස දින ගණන් වෙහෙසෙන, අන් සාධාරණ මත නොදුටු සේ සිටින, ඔබට අවාසි මත නොදකින, ඔබට වාසි තැන් උළුප්පන, ඒවා ඔබට අවැසි ලෙස විකෘති කථනයේ යෙදෙන ඔබ හා දිගු සංදාව වලට කැප කළ කාලය පිළිබඳව මා දුක් වෙමි. තමන් සියල්ල ගවේශණය කරණ බවද, ඒවා අන් අයට වඩා අවබෝධකරගත්තෙකැයි අන් අයට සිතවන්නට උත්සාහ කරණ, අන් අය සෑම ක්ෂේත්‍රයක් තුළම අනවබෝධයෙන් හැසිරෙතැයි උපකල්පනය කරණ, ඒ මත පිහිටා අන් අයට ගරහන අය සමග වාදචයෙන් ඵලක් නැති බව මා මටහා ගෙන සිටිමි. මට සෆජුව අදාල තැන්වලදී මිස අන් තැන් වලදී නැවත ඔබ හා මතවාදීව හෝ ගැටෙන්නට අදහස් නොකරමි. මා මේ තීරණයට එන්නේ මේ සටහන් මත නොවන බවද කිව යුතුය. මෑතකාලයේදී ඔබ හා කෙරුණු දීර්ඝ අදහස් දැක්වීම් එකිනෙක නැවත කියෙව්වොත් ඔබ ඔබේ වාසියට හිතා මතා මගහැර ගිය තැන් ඔබටම බලාගත හැක. ඒවා මතු කිරීමට මින් ඉදිරියට කාලය වැය නොකරමි. තමන් සියල්ල දකින්නට ඒ ඒ ප්‍රමාණයේ අච්චුසාදාගෙන මිනිසුන්ද, අදහස්ද, නිර්මාණද, ක්‍රියාකාරකම්ද, ඒ ඒ අච්චුවලට දා කිරා මැණ බලන, ඒ අච්චුවලට වඩා වෙනස් දේ ලොව පවතිනු ඇතැයි නොසිතන, තම අච්චුව පමණක් ලොව නිවැරදිම අච්චුව ලෙස සලකන ඔබ වැනි අය සමග මේ කතා ඔබට කෙසේ වෙතත් මට නිෂ්ඵල යැයි හැඟෙන බව ප්‍රකාශ නරමින් තව දුරටත් ඒ සඳහා කාලය වැය නොකරමි. එහෙත් මගේ අදහස් දැක්වීමකට ප්‍රති අදහස් දැක්වීමක් කළහොත්, එයට මා අදහස් දැක්විය යුතු යැයි සිතුණහොත්පමණක් අදහසක් දක්වමි. නැවත ඔබ පෞද්ගලිකව මට හෝ අපට නිගරු කරණ අදහස් දැක්වීම් කළහොත් එවැනි අවස්ථාවකට අකමැත්ත මත වුවද අදහස් දක්වමි. මගේ දේකට ඔබ අදහස් නොදක්වන්නේ නම් වඩාත් රුචි වෙමි. අන් කරුණක් නිසා නොව අවසානයක් නැති හෑලි වලට මුළ පිරුමක් වන බැවිනි.

    ReplyDelete