Thursday, July 3, 2014

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි.....




සුබ දවසක් ඔබ සැමට.... 
අද මෙතැන ඉන්නේ වයස අවුරුදු 20 ට පෙර විවාහ දිවියට ඇතුළත් වූ යුවතියන්.... මම කියන්නේ විවාපත් ස්ත්‍රියගේ වයස සැලකිල්ලට ගෙන.
පළමුවම කියන්න තියෙන්නේ, මේ කරුණ හා සම්බන්ධව ගත් විට එහි සුවිශේෂ බලපෑම් වැඩි පුර එල්ල වන්නේ ලාංකික සමාජය තුළ කාන්තාවට වන බැවින්, මේ දෙසුමේදී මා වැඩි අවධානය යොමු කළේ කාන්තාවගේ පාර්ශවයෙන් බවයි.
දෙවනුව.... මේ කියන සෑම දෙයක්ම මෙතන සිටින සෑම කෙනෙකුටම එක වගේම අදාල නොවන බව මම දන්නවා. එසේ ඔබට අදාල නොවන දේ ඇති නම් ඒවා අදාල කර නොගන්නා ලෙස කියනවා. එහෙත් වෛද්‍යවරයෙකු වශයෙන්ද අධිකරණමය කටයුතු වලට සම්බන්ධ වූ වෛද්‍යවරයෙකු වශයෙන්ද මා ලද අත්දැකීම් අනුව මේ කියන බොහෝ දේ බහුලව සිදුවන බව දන්නා බැවින් මා මේ අදහස් යොදා ගනු ලැබුවා මේ දෙසුමට.
කතාවට පෙර ගීතයක් අසා ඉමු.





දුවේ නුම මගෙ ප්‍රාණයයි
සැබෑ වෙන සුභ සිහිනයයි
සෙනෙහසින් කුළ ගෙට පිය නගන්නේ
සනුහරේ අභිමානයයි....

මේ ගීය රචනා කළේ ප්‍රවීන ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතා. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. 
ගායනා කරන්නේ කවුද කියා සමහරුන්ට හඳුනා ගන්න පුළුවන්. බැරි අයත් ඉන්න පුළුවන්. විශාරද සුනිල් එදිරිසිංහයනුයි ගීතය ගැයුවේ.
මේ ගීතය බණ්ඩාර ඇහැලියගොඩ විසින් ලියුවේ තමන්ගේම දියණියගේ මංගල දිනයේ වාදනය කිරීම පිණිසයි. තම සනුහරේ අභිමානය රකිමින් දියණියක් පති කුලයට යන විට මවකට පියෙකුට මොන තරම් නම් සතුටක් ඇතිද? එසේම මෙවන් ආශිර්වාදයක් මැද දීග යන දියණියකු සතු ආඩම්රය කොපමණ විය හැකිද?
මම මේ ගීතය මෙහිදී වාදනය කළේ යම් කිසි විදිහකින් කිසිවෙක් අපහසුවට පත් කරන්න නොවෙයි. දැනටමත් සමහරුන්ගේ ඇස් වල කඳුළු. ඒ ඔයාලට මෙහි ඇති සංවේදී තාව නිසා.
මට ඔයාලත් එක්ක කතා කරලා විසඳා ගන්න පුංචි ගැටළුවක් තිබෙනවා. මම කියනකොට පුංචි ගැටළුවක් කියා කිව්වට ඒක පුංචි ගැටවවක් නොවෙයි. ලොකු ගැටළුවක්.
මෙතන ඉන්නේ අඩු වයසින් විවාහ දිවියට එළඹුන දියණියන් රැසක්. ඔයාලා ඔක්කෝම දීග කන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු 15 – 19 අතරේදී. අපි නම් ඒ වන විටත් ඉගෙන ගන්නවා..... ඇත්තටම අපි නම් අවුරුදු 28 – 29 විතර යන තුරුත් කළේ ඉගෙනීම.
ඒ කාලේ මේ රටේ ලොකු ප්‍රශ්ණ ගොඩක් තිබුණු නිසා.. 1988/89/90 කාලේ තමයි උසස් පෙළ කළේ. එහෙම ප්‍රශ්ණ මැද්දේවත් හිතුනේ නෑ ඉගෙනුම පැත්තක දාලා කසාදයක් කරගන්න. ඒත් ඔයාලා ඉගෙන ගන්න වයසේදීම කසාදයක් කරගෙන.... කියමනක් තියෙනවා ළමයිනේ පළමුව ඉගෙනුම... දෙවනුව රස්සාව....තෙවනුව පරස්තාව කියා..... ඒත් ඔයාලා....
වෙසක් එකට කළින් පොසොන් පෝය සැමරුවා වගේ ඔයාලා රස්සාවට කළින් පරස්තාවක් කර ගත්තා....
හොඳයි මම ඇහැව්වොත් ඇයි ඔබ මෙතරම් අඩු වයසින් විවාහ දිවියට එළඹුනේ කියා...... මම හිතනවා දෙන පිලිතුරු වලින් ඇත්තම ඇත්ත හෙළි නොවේවි කියා.
මම ඇසුවොත් අධ්‍යාපන වැඩ නිම කරලා ජීවිතයේ යම් ස්ථාවර තත්වයක් ඇතිවද ඔබ විවාහ වුණේ කියා.....
මම හිතනවා ලැබෙන පිලිතුරුඑකකවත් ඔව් කියන පිලිතුර නැතිවෙයි කියලා......
මම ඇහැව්වොත් ඔබ විවාහ වුණේ මවු පිය ආශිර්වාදය ඇතිවද කියා? මම හිතනවා ලැබෙන පිලිතුරු වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තම ඇත්ත නොවෙයි.
ඔබ එතරම් බාල වයසින් විවාහවිමට ගත් තීරණය හරිදැයි මම ඇසුවොත් ඔබ දෙන පිලිතුරු වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තම ඇත්ත නොවෙයි.
ඔබට නැවත ජීවිතයේ වසර කිහිපයක් ආපස්සට යන්න ලැබුණොත් ඔබ ඒත් මේ වයසින් විවාහ වෙන්න තීරණය කරනවාද ඇසුවොත් ......
ඔබ මට නොකීවත් මෙතනදී ඔබට එවැනි අවස්ථාවක් ලැබුණොත් නැවත නම් එවැනි තීරණයක් නොගන්නා බව කියන අය වැඩි බව මම විශ්වාස කරණවා.
ඇත්තටම ඇයි ඔබ මේ වයසින් විවාහ වුණේ?
මගේ ළඟ තියෙනවා මෙහෙම පිලිතුරු වගයක්.
පංති ගිය ගමන් යාළු වෙලා හිටි කොල්ලා කිව්වා ආවේ නැතිනම් තරහය වෙනවා. මේ සම්බන්ධය නවත්වනවා කියා. ඒ නිසා ඒකට බයේ  යන්න කැමති වුණා.
ගෙදරින් කවදාවත් මේක කරන්න දෙන්නේ නෑ කිව්වා. මේ ගැන කියලා හැමදාම ගහනවා... බණිනවා... ඉතින් අන්තිමේදී අපි හොරෙන් යන්න හිතුවා.
මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. එයා මාව තැන් තැන් වල එක්කරගෙන ගිහින් මාව විනාෂ කරලා පැනලා යන්නයි හැදුවේ. මම බල කරලා බැඳ ගත්තා. 
ගෙදර වැඩිහිටි කවුරුත් නෑ. වෙනත් වැඩිහිටියන්ගෙන් මට ටික ටික කරදර එන්න පටන්ගත්තා. ඒ නිසා මේ අය්යත්එක්ක මම ආවා.
ඒකම මෙහෙමත් කියන්න පුළුවන්.
මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. එයා මාව තැන් තැන් වල එක්කරගෙන ගිහින් මාව විනාෂ කරලා පැනලා යන්නයි හැදුවේ. අයියලා ටික එකතු වෙලා බලෙන් කසාද බැන්දුවා.
මෙන්න ටිකක් තරහින් කියන ටිකක් සැර පිලිතුරක්......
බඩට ළමයෙක් ආවට පස්සේ වෙන මොන මගුලක් කරන්නද ඕයි.....

මේ හා සමාන තවත් පිලිතුරු තියෙන්න පුළුවන්. ඒත් දරුවනේ අර බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ දියණිය පති කුලයට හැරළුවා වගේ මහත් අභිමානයෙන් ඔබව පති කුලයට හැරළූ දෙමාපියෙක් ඉන්නවාද?
ඔවුන් කිසි දිනක කැමති නොවුන බව නිසැකයි 
ඔබ අඩු වයසින් ප්‍රේමයේ බැඳුන එක ගැන.....
අඩු වයසින් වැඩිහිටියන්ගේ හැසිරීම් දැක්වූ එක ගැන....
අඩු වයසින් රැවටුණු එක ගැන.......
අඩු වයසින් විවාහ වුණු එක ගැන.....
ඔවුන් හැම දෙනාගේම කැමැත්ත වන්නට ඇත්තේ නිසි කලට ඉගෙනුම ලබා.... හොඳ රැකියාවක් ලැබ...සුදුසු....පවුලට අගෞරවයක් නොවන සහකරුවෙක් සොයා..... සිය ඥාති පිරිවරේ ආශිර්වාදය මැද ඔබව විවාපත් කරවන්නයි..... 
එහෙම නෑ කියා කියන්න පුළුවන්ද කිටවත්.......
එහෙම වුණා නම් ඔවුන් විසින්  සිතනු ඇත්තේ මේ ගීතයේ විදිහටයි.....
කුළ ගෙදරට පිය ඔසවන දියණිය
කිමද නෙතග කඳුළැලි පුරවාගෙන
නාඬන් දියණියනේ....
නාඬන් දියණියනේ......

නුඹේ මවත් කැන්දන් ආ දිනයේ
කඳුළු සැලූ බැව් මතක කියේ මට
ඔබ ඉපැදුනු දා - ඒ උණු කඳුළැල්
පෙරලෙනු දුටුවෙමි - සතුටු සිනාවට.......



ඔබට තිබුණේ අන්න ඒ සතුටු සිනාව ඇයට ආරක්ෂා කරදෙමින්..... මවට පියාට සනුහරේට අභිමානයක් වෙමින්..... නිසි කලට ඔය ගමන යන්නයි. ඒත් දැන් ඒ අවස්ථාව ගිලිහී ගිහින්....
මේ බලන්න මේ වගේ හිතුවක්කාර ගමනක් ගිය දියණියක් ගැන පියෙකුගේ හිතේ අතිවුණු පසුතැවිල්ල ගීතයකට ගොනුවුනු විදිහ.
මේ ගිතය රචනා කර ඇත්තේ රත්න ශ්‍රී විජේසිංහයන්. ගීතය සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගයන්නේ විශාරද සුනිල් එදිරිසිංහයන්. ගීතය ඇසීමට පෙර එහි පද ගැන විමසමු. මේ නම් මහා පාඩමක් නොවේද දියණියකට කියා හිතේවි. හැබැයි එය පාඩමක් වෙන්නේ එය ඇසී වැටහී හැදී වැඩුනොත් පමණයි. නැති නම් එය හිස් අහසට කියු දෙයක් බවට පත් වෙනවා.
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි
ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ.....
හරියට හඳේ ඇඳ තිබෙන සඳ සාවිය බඳු වූ දියණිය හදිසියේ සියල්ල හැර දමා කොයිබක හෝ ගොස්... ඈ ගිය නිවසේ ඇති අන්ධකාරය මේ පියාට උහුලාගත නොහැකි තරම්. එය හරියට ගණඳුරේ දැල්වෙමින් තිබුණු පහණ නිවා දැමුවාම ඇති වන අඳුර වැනියි.
දැන් මේ චන්ද්‍රමණ්ඩලේ සැතපුණු පුංචි සාවි ගැන කතා කරන්න යනවිට මට මතක් වන්නේ සිංහබාහු නාටකයේ සිංහබාහු කුමරා ගල්ලෙන බිඳගෙන ළෙන්දොර හැරගෙන සිය නැගණියද මවද සමග පැන ගිය අවස්ථාවේ සිංහයා ගේ ගැයුමයි....
එහි තැනක මෙහෙම කියනවා....
පුතු සෙනේ මස් නහර පණ සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිදුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා//
පුතු සෙනේ පිතු හද තුලම මිස
නැත පුතුන් හද තුල රඳන්නේ
ඇට තුලට වැද ඇට මිදුළු මස
සදාකල් නැත දුක් දෙවන්නේ
මේ කොටසින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් මොනතරම් සංවේදීව ලියා තියෙනවාද දරු සෙනෙහස කියන එක ගැන.
ඒ වගේමයි 
ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා කියන ගීතය..
එහි මෙහෙම කොටසක් තිබෙනවා. ගීතයේ ඇත්තේ මේ පිලිවෙලටම නොවේ. මම එහි පද මට ඔබ වෙත කීමට ඇති කතාවේ ලෙස තරමක් වෙනස්ව පෙළ ගහගත්තා.
ඇයි සුදු දුවනියෙ - නුඹ වත් නොසිටියෙ
ඇයි සුදු දුවනියෙ - නුඹවත් නොසිටියෙ
සොහෝයුරා නම් ඔළ මොල ගති ඇත
නුඹ මෙන් මුදු නැත....
ඔහුගේ අනටද කීකරු වූයේ
පෙරළා එන්නෙද ඔහුගෙන් ගැලවී
සුරතල් දියණිය - මොල කැටි වදනින්
මා සනසන්නිය - අහර කිසන්නිය
කවන්නිය - පොවන්නිය - මා ගැන බිය වන්නිය
වනයේ - දුකක් විද -අසන්නිය - සොයන්නිය...
ඈත් ගොසින්ය... ඈත් ගොසින්ය...
මේ විදිහට සිංහයා සිය පුතුගේ වෙන්වීමත් දියණියගේ වෙන්වීමත් පිළිබඳ අතිශය සංවේදී වූ ජවනිකාවක යෙදෙන ගමනුයි මෙම ගැයුම ඉදිරිපත් වන්නේ.


දැන් මේ අනුව ඔයාලාට වැටහෙනවා.... පුතෙක්ද දුවෙක්ද කියා නෑ මවකට පියෙකුට... ඔවුන් සමහර විට ඒ සෙනෙහස නොපෙන්වුවත් ඔවුනගේ සිතතුළ ඇති ඒ සෙනෙහස මෙතෙකැයි කියන්න බෑ.
එහෙම හිතන විට මෙහි මට මතක් වන තවත් ගීතයක් තියෙනවා නිරෝෂා විරාජිනි ගයන. එය රචනා කර ඇත්තේ බන්දුල නානායක්කාරවසම් විසින්.
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳූ
මට රජ පැටියෙක්......

හංකිති කවමින් කුස තුළ සක්මන් කරණා
නුඹ දඟයෙකු වේදැයි
නිකමට මෙන් මට සිතුනා
පැටියෝ
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි
ආදරයයි....
කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරි කර දුන්නත් උදම් අනන්නට රිසි නෑ
පැටියෝ
නුඹ දුවක වුවත් මට පුතකු වුණත් මා නුඹට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි
ජීවිතයයි....


කල්පනා කරන්න මවක් පියෙක් මොන තරම් තමන්ගේ දරුවන් පිළිබඳව සිහින මවනවද...... 
දුවක වුණත් පුතකු වුණත් දකින ඒ සිහින වල වෙනසක් නෑ.
ඒ සිහින කඩකර ඔවුන් හිතුවක්කාරේ ගියාම ඔවුන් මො තරම් දුක් විඳිනවා ද? 
සමහර ගෙවල් වල පියාට ළඟින්ම ඉන්නේ දුව. 
අර සිංහයාගේ දුක සැප අහල තියෙන්නෙත් දුවණියයි. 
මේ රත්න ශ්‍රී ගේ ගීතයේත් පියාට වැඩිම සමීපව ඉඳ ඇත්තේ දුව... ඇත්තටම රත්න ශ්‍රීගේ සැබෑ ජීවිතේ ගත්තත් ඔහු ළඟ ඉන්නේ දුවක්...
අප්පච්චි කෑම ටික කෑවද?
අප්පච්චි අසනීපයෙන්ද?
අප්පච්චි පැනඩෝල් පෙත්තක් වත් දෙන්නද?
මේ ඔක්කොම ගොඩක් වෙලාවට අහන්නේ දුව.....
ඒ වගේමයි පියාත්....
දුවේ මට වතුර ටිකක් ගෙනෙන්කෝ....
අනේ දුවේ මගේ කකුලේ කට්ටක් ඇණුනා... ටිකක් බලපංකෝ...
අනේ දුවේ... ඔන්න ඔය සිද්ධාලේප ටිකක් ගාපං මේ තුනටියේ..... කැක්කුම උහුලන්න බෑ....
ඔන්න ඔය විදිහයි. හැබැයි දවසක එක පිටස්තර ඉල්ලීමකට මේ සියල්ල යට වෙනවා. උහුලන්න හැකි වෙයිද ඒ දුක...
අන්න ඒ නිසා තමයි රත්න ශ්‍රී අතින් මේ ගීය ලියවෙන්නේ. හැබැයි රත්න ශ්‍රී ගේ දුවක් නම් මෙවැනි ගමනක් ගියේ නෑ. ඒත් දුවලා දෙදෙනෙකුගේ පියෙකු වශයෙන් ඔහු තුළ ලොකු බියක් තියෙන්න ඇති තමන්ගේ දියණියන් දෙදෙනා පිළිබඳව. ඔහු ඒ බිය පද වැලකට  ගොනු කරමින් හැම දියණියකටම උපදේශයක් වන් ගීතයක් නිමවනවා.
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු
පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා
හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි
ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන්
පුංචි සාවියේ.....
ලාබ රත්තරන් දිලිසෙන - පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ....
ඇය ගිය පාර වැරදි පාරක්ද යන්නය ඔහුට ඇති ගැටළුව. ඈ ගියේ අනතුරු රහිත පාරක නම් ඔහුගේ අකමැත්තට ගියත් ඇගේ කැමැත්ත යැයි සිතා හිත හදාගන්නට ඉඩක් තිබුණි. එහෙත් ඈ ගියේ එවැනි හිත හදා ගතනොහැකි පාරකය යන්න සිතීමට කාරණා බොහෝය.
ඇත්ත රත්තරන් දිස්නය යයි රැවටී බොරු රත්තරන් දිස්නය පිටුපස ගොස් මග හසර වැරදුණු ගැහැණු ළමුන් බොහෝමයක් ඔහුට මතක් වෙයි. ඒ බොහෝ දෙනෙක් තමන් ගිය තැන පාර වැරදී අන්ත අසරණ වූ අයුරු ඔහුට මෙනෙහි වෙයි. 
එපමණක් ද?  මේ නොමග සිය දියණිය යන්නට පෙර වලකා ගැනීමට ලැබුණු ඉඟි ඔහුට වැටහුණි නම්.....? කොතෙක් එවන් ඉඟි තිබුණත් ඒවා නොවැටහීම සම්බන්ධව ඔහු තුළ ඇත්තේ මහා පසුතැවීමකි.
මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කී වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.....

මට නම් මැවෙන්නේ හම්පඩ ගැහිච්ච ඩෙනිම් කලිසමක් හැඳ මිනී ඔළුවයි ඇට කටු දෙකයි ටී ෂර්ට් එක හැඳ බලු දංවැලක් වගේ ඝනකම සුදු යකඩ මාල කරවටේ බැඳගත්, කුඩු කට් එක කපලා කොන්ඩෙ තඹ පාට කරපු,  පරණ ට්‍රේල් බයික් එකක නැගී කෙල්ලන් සිටින ගෙවල් අසලින් එහෙ මෙහෙ පැද යන රස්තියාදු කාර අයියා කෙනෙක්. අද කාලේ ස්ටයිල් එක මේකයි කියා කොල්ලෝ කී දෙනෙක් මේ විදිහට රඟනවද...... අද කාලේ ස්ටයිල් ඒකයි කියා කෙල්ලෝ කී දෙනෙක් මේ වගේ උන්ට රැවටෙනවද..... ඒක සමහර විට දෙමාපියන් හෝ ගුරුවරුන් දැනගන්නේ පෙරහැර ගොස් ගොඩක් කාලෙකට පසුව. ඊටත් ගොඩක් කාලෙකට පසුව සමහර විට ඔවුන් අපි ළඟටත් එනවා පිහිටක් පතාගෙන..... වෙච්ච වැරදි හදා ගන්න පුළුවන්ද අහන්න. ඒත් එවිට ඔවුන් ඒ වැරදි පාරේ ගිය දුර දිග වැඩියි. 


මෙන්න මේ විදිහට තමන්ගේ දුවටත් මග වරදීය කියන බය මේ ගීය ලියන පියාට තිබෙනවා. ගීයේ ඉන්න පියාටත් තියෙනවා. මේ පියාට විතරක් නොවෙයි දරුවනේ ඔය දියණියන් සියල්ගේම මව් පියන්ට තියෙනවා. ඒ බව ගොඩක් දියණි වරුන් දන්නවා. ඒත් සමහර දියණි වරුන්ට මේ බව අමකත වෙනවා. මතක් වුණත් අර වගේ උරුලෑවෙක් දැක්කාම අමතක වෙනවා. ඒ නිසාම අමාරුවේ වැටෙනවා. තමනුත් තම දෙමාපියණුත් සහෝදර සහෝදරියනුත් අනන්ත දුකක හෙලනවා.
මේකත් කියන්නම ඕනෑ. මේ දේවල් සමාජයේ වෙන්නෙත් මේ ගීතයේ විදිහටමයි. කිසිම වෙනසක් නෑ. ඒකටත් හේතුවක් තියෙනවා.
දෙමාපියෝ සාමාන්‍යයෙන් දරුවන්ව විශ්වාස කරනවා. අනිත් සේරම දරුවෝ වැරදි කලත් තමන්ගේ දරුවා එසේ නොකරාවි යැයි සිතනවා දෙයක් අන්තයටම යනකල් එයාලාට නොපෙනෙන්නේ ඒ නිසයි සමහරවිට. ඒ විශ්වාසයයි සමහර දරුවෝ අයුතු විදිහට පාවිච්චි කරන්නේ.
ඔන්න ඔය විදිහට අයියලා අක්කලා අම්මලා තාත්තලා තම දියනියන්ට පුතනුවන්ට බාල සොහොයුරු සොහොයුරියන්ට අනිසි ප්‍රේමය පිළිබඳ උපදෙස් දෙනවා. අනිසි ප්‍රේමය ලෙස මා මෙහි සඳහන් කළ නිසා නිසි ප්‍රේමය කියන්නේ මොකක්ද කියා හිතට එනවා නේද? ඔව්. එහෙනම් ඒ මොකක්ද කියා කියන්නත් ඕනැ.

ප්‍රේමය නිසි එකක් නම් සුදුසු තැනක ළමයෙක් වෙන්න ඕනෑ. 
ඒ ඒ අයගේ ගති ගුණ සිතුම් පැතුම් හැසිරීම් ආදිය එකිනෙකාට ගැලපෙන්න ඕනෑ. 
කල වයස ගැලපෙන්නත් ඕනැ. කලවයස කිව්වාම දෙදෙනාගේ වයස ගැලපෙන්න ඕනෑ වගේම එක වරම සිතට නොඑන දෙයක් මෙහි යට තියෙනවා. කාලය ගැලපෙන්න ඕනෑ. ඒ කියන්නේ පාසැල් වයසේ, විභාගය ඔන්න මෙන්න කියා තිබියදී නම් මේ පෙම් කතා ඇරඹෙන්නේ, අනෙක් මොන දේ ගැලපුනත් එයද අනිසි පෙමක් වෙනවා. ඒ වගේම යුග දිවියකට සැලසුමක්... ස්ථාවර පසුබිමක්නැති නම් ඒකත් නිසි විවාහයක් වෙන්නේ නෑ.
ඉතින් ඔය වගේ අනිසි පෙම් කතා වලට තමයි මේ විදිහට අකුල් හෙලන්න බොහෝ විට වැඩිහිටියන් පෙළඹෙන්නේ.
එහෙත් අසාධාරණ ලෙස වැඩිහිටියන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොවුන් ප්‍රේමයට අකුල් හෙළන අවස්ථා නැත්තෙත් නෑ. නමුත් මා මෙහි කියන්නේ එවැනි දේ නොවේ.
ඉතා ලා බාල වියේදී විවාහ දිවියට එළඹුනාම මොකක්ද වෙන්නේ?
මේ බොහෝ යුවතියන් විවාහ දිවියට එළඹෙන්නේ කිසිදු සැලසුමකින් තොරවයි. බොහෝ විට නිසි රස්සාවක් ගෙයක් දොරක් ඇති අයෙක් සමගවත් නොවෙයි. දෙදෙනා පිළිබඳව ඇති තේරුම් ගැනීමකින්ද නොවෙයි. සමහර විට ආදරයට වඩා රාගය මත පදනම්ව තමයි ඔවුන්ගේ එක්වීම සිදුවන්නේ.
මෙහෙම කල්පනා කරන්න. සමහර අය විවාහ වෙන්නේ බඩට දරුවෙක් ඇවිත් මාස 2-3කට පස්සේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසා. ඉන්න හිටින්න තැනක් නෑ. මනුස්සයට රස්සාවක් නෑ. පුංචි බිරින්දෑට උයා පිහා ගන්න බෑ. ඒ මදිවට ගැබ්බරබව නිසා වමනය හිස කැරැකැවිල්ල.... නිදාගත්ත ගමන්ම. දැන් මේ දෙදෙනාට තම විවාහ දිවියේ මුල් කාලෙම සිදුවන්නේ ප්‍රශ්ණ වලට මුහුණ දීමට සහ දැඩි අභියෝගයන්ට මුහුණ දීමට. ආර්ථික ගැටළුව එක් ප්‍රධාන පැත්තක්. ඒ වගේම විවිධ සමාජ ගැටළු මේ අස්සේ එමටයි.
ජීවිතයේ තරුණ අවධියේ විඳිය යුතු සතුට ඔවුනට අහිමි වෙනවා. ඇරඹුමේදීම ගර්භනී මව ලා බාල යුවතියක් වන හෙයින් ඈ මවු පදවියේ හෝ ගෘහණියකගේ වගකීම් දැරීමට තරම් මෝරා නෑ. ඈ අතින් විවිධ අඩුපාඩු සිදුවෙනවා. හැල හැප්පීම් මත ජීවිතය ඇදී යනවා.
මෙහෙම දරුවන් ලැබීම නිසා ආදරය අඩුවෙන් දැනෙනවා යැයි යම් චෝදනාවක් කරණ සැමියෙක් ගයන ගීතයක් සිංහල ගීත සාහිත්‍යෙය් හමු වෙනවා. මේ බලන්න ඒ ගීතය.
මට නොවේ ඔබ ආදරේ කළේ
මගෙන් ලද ආදරේට පමණයි
ඔබ ආදරේ කළේ...
පුංචි පුතා අප ලොවට එකතු වී මව් පදවිය ලද දා
අහක බලාගෙන සුරතල් බැළුවේ
කිමද කියන් ළඳුනේ
ආදරේ නම්



ඉතින් බලන්න ඒකෙත් හැටි. තමන්ව සුරතල් නොකොට සිඟිති දරුවා සුරතල් කිරීම පිළිබඳව මැසිවිලි නගන මෙවැනි සැමියනුත් සිටිනවා.
මේ විදිහට ඔවුන් දරු සම්පත් ලබනවා. සමහර විවාහ දරුවන් නිසා තව ටිකක් ඇදී යනවා. නිසි පාලනයක් පවුලට නෑ. එකා දෙකා වෙනවා. දෙන්නා තුන් දෙනෙක් වෙන අවස්ථාත් එමටයි. බොහෝම යෞවන වියේදීම දරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් ලැබුණාම ඉතිරි වන්නේ වයසට වඩා වයස ගිය වැහැරුණු ගැහැණියක්. මේ නිසා ඇතිවන ගැටළුත් එමටයි.
මේ අළුත් ලා බාල පවුලට උදවු කරන්නත් කිසිවෙක් නෑ. බොහෝ විට පවුල් දෙකේ මා පියන් ඒ අය සමග තරහින් සිටින්නේ..... මේ තත්වය නිසා විවාහ දිවියේ මුල් යුගයේම දෙන්නා දෙමාල්ලන් අතර ආරවුල් ඇති වෙන්න පටන් ගන්නවා. දරුවා ලැබුණාම මහත්තයා ගැන බලන්නම බෑ. තාමත් ඔවුනට නිසි සැලසුමක් නෑ පවුල් ජීවිතයට මුහුණ දෙන හැටි ගැන.....  උපත් පාලනයක් නෑ. අළුත් දරුවාට මාස 3-4 ක් යන විට මේ සමහර අම්මලා ආයෙමත් බඩක් හදා ගන්නවා. වයසින් මෝරන්න පෙර දැන් දරුවන් දෙන්නෙක්....පළමු දරුවාට කිරි කල හතක් තබා දෙක තුනක් වත් පෙවී නෑ.
කොල්ලෝ කෙල්ලන් අතරේ කතාවක් තියෙනවා ලස්සන කෙල්ලෙක් ඇපල් ගෙඩියක් වාගේ කියලා.... එසේ නැති අයට කියන්නේ පැපොල් කියලා..... 
ඔන්න අවුරුදු 20 ක් විතර වෙන විට දරුවන් දෙදෙනෙක් වදාපු මේ කුඩා තරුණිය එකල 16යේ 17තේ දී ඇපල් වුණත් දැන් පැපොල් වෙලා... ආයේ ඇපල් වෙන්න එයාට කාලයක් ඉතිරි වෙන්නේ නෑ.
මෙහෙම වුණාම කොල්ලට මේ කෙල්ල එපා වෙනවා. අහල පහල වෙන ඇපල් ගස් තියෙනවා. ඒ ගස් වල ඇපල් ගෙඩි තියෙනවා. මේ ඇපල් ගෙඩියක රස බලන්න කොල්ලාට හිතෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ සිංදුවෙන් කියවෙන දේ තමයි. 
වැසි දිය මහ බිම හෙළුවට - බිම තෙමන්නෙ වැසි විතරද
රෑ අහසේ තරු දිළුනට - තරු දිලෙන්නෙ රෑ විතරද
විහඟුන් පෙම් ගී කීවට - ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරන් වුණාට - නුඹට ඉන්නෙ මං විතරද

මේ ගී ඛණ්ඩය හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න.
වැසි දිය බිම තෙමනාවා තමයි. ඒත් බිම තෙමන්නේ වැසි දිය විතරද? මේ කොටසින් අදහස් කරන්නේ බිම තෙමන්නේ වැසි දිය විතරක් නොවෙයි. කඳුළු වලටත් හැකියාව තිබෙනවා බිම තෙමන්න කියන එක. ඒ කියන්නේ ඇය හඬනවා. ඇය හඬන්නේ ඇයි?
රෑ අහසේ තරු දිළුනට - තරු තියෙන්නෙ රෑ විතරද.....
රාත්‍රී අහසේ තරු දිලෙනවා තමයි. ඒත් රාත්‍රී අහසේ තරු වගේ දිලිසෙනවා පෙනෙන වෙනත් දේ තියෙන්න බැරිද? තරු තියෙන්නේ අහසේ විතරද? රෑට විතරද? හඬන ඇස් දෙකකට සඳ එළිය වැටුණොත් තරු වගේ දිලිසෙන්නේ නැතිවෙයිද?
විහඟුන් කියන්නේ කුරුල්ලන්ට... කුරුල්ලන් පෙම් ගී ගයනවා. ඒත් අපට ඇහෙන්නේ කුරුල්ලන් ගයන පෙම් ගී විතරද? ඒ අතරේ වෙනත් අය ගයන දුක් ගීත තිබෙන්නට බැරිද? දුක් ගීත ගයමින් හඬන්නට බැරිද?
එසේ නම් ඇය හඬන කාරණාව කුමක් විය හැකිද?
ඒ මේ නිසා නේද?
මට නුඹ විතරක් වුණාට - නුඹට ඉන්නෙ මං විතරද?
මගේ ජීවිතේම ඔයා. අන් පිරිමියෙක් ගැන කිසිදු හැඟිමක් මට නෑ. ඒත් ඔයා එහෙම නොවෙයි. 
මේක ඇයට හඬන්නට කරුණක් නොවේද?
උස අත්තක මලක් වුණේ - ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම වුණේ - මල් පොකුරක එකක් වෙන්න....
ඇය ඔහුට බැඳුනේ මහත් බලාපොරොත්තු සහිතව. ලස්සන...සුන්දර....ආදරබර.....රසබර.....සාමකාමී....සහ ඒ නිසාම අන් අය ඉහළින් දකින පවුලක ස්වාමි දුව වෙන්න.... ඒත් එහෙම සිහින මවපු ඇයට සිදු වුණේ ඔවුන්ගේ සුන්දර පවුල නමැති උස අත්තේ පිපී සැලෙන මලක් වීම නොවෙයි. ඔහුට අයිති මල් පොකුරේ තවත් එක මලක් වෙන්නයි. ඇයට නොහඬා සිටිය හැකිද?
රෝස පතක කවි ලිව්වේ - සුවඳ දිදී තියා ගන්න
මේ හැටියට ගී ගැයුවේ - ඉන්න තැනකදී ඇහෙන්න....
ආදරය හැමදාම සුවඳයි. ආදර කවි ආදර ගීත ලිව්වේ ඒ සුවඳ මතකය හදවතේ ගැඹුරුම තැනක සදාකාලිකව තියා ගන්න. කල්පනා කරන්න පෙම් කරණ කාලේ එහෙම කවි සුවඳ හමන රෝස පාට කොළ වල ලියාගෙන කොට්ටේ යට තියාගෙන ඉඹ ඉඹ සුවද බැළුවා නේද?
ඒත් සිදුවුනේ මොකක්ද? ඒ කවි ඔහුට ඇසෙන්නට  සමීපයට වී ගයන්න ඔහු ගෙදර ඉන්න වෙලාවක් නෑ. උදේ ගෙදරින් පිටවෙන මිනිහා රෑ 10 – 11 ට තමයි ගෙට ගොඩ වෙන්නේ. කමිසයෙන් නුපුරුදු විලවුන් සුවඳක් එනවා. ඒ විලවුන් ඔහුගේ නම් නොවෙයි... එහෙනම් කාගේද? ඔහු කොහේ ගියාද? කොහේ සිට ආවාද?
ඔහු කොයි ඉසව්වක කොයි නිවසක කොයි තුරුළක ඉන්නවාදැයි ඇය නොදනී. ඒ නිසා ඇයට සිදුව ඇත්තේ ඉන්න තැනකදී ඇහෙන්න හැඬුම්බර හඬින් ඒවා ගයන්නයි.
ඉතින් ඇයට නොහඬා සිටිය හැකිද?
රෑ අහසේ තරු දිළුනට - තරු දිලෙන්නෙ රෑ විතරද



දැන් මේ ගීතයේ මල් පොකුරක් තියාගෙන ඉන්නේ ඇය නොවේ. ඔහුයි. ඒත් කතා බහක් ඇති වුණොත් කොහොමද? විත්තිය නිදොස් වී පැමිණිල්ල වරදකරු වෙනවා. ඊට පස්සේ කසාද ජීවිතය මෙන්න මෙතනට වැටෙනවා.
දෙතොළම පුපුරා ලේ ගැළුවා
දෙකොපුළ නිය පහරින් වැසුනා
ගත සිත පා මුළ වැඳ වැටුණා
පතිනි වරුන් ප්‍රාර්ථනා කරණා
දිව්‍ය ලෝකයද මේ.....
මේක දිව්‍ය ලෝකයක් විය හැකිද? එය අපායකි. එහෙත් ගීතයෙන් එසේ විමසන්නේ ඔවුන් දිව්‍ය ලෝකයක් වැනි යුග දිවියක් ප්‍රාර්ථනා කළ නිසාය. බලාපොරොත්තුව එකකි. ප්‍රතිඵලය අනෙකකි. මේ විදිහට බලාපොරොත්තුවලයි ප්‍රතිඵලයි අතරේ වෙනස අනිවාර්යයෙන්ම මෙවැනි විවාහ වලදී අතිශයින් වැඩිය. බලන්න මම පෙර කී ලෙස  අන්ත:පුරයක් තියා ගත්තු මිනිසා ඒ වගක්වත් නොකතා අනෙක් පැත්තට චෝදනාව ගොනු කළ ආකාරය...
මධු පැන් ඔඩමේ පතුලේ කිමිදී
කාගේ දෝ රූපය සොයමින්
සැකයෙන් ඇයි මා ගරහන්නේ
මන්ද නිදොස් මා රිදවන්නේ.....
දැන් ඔහු ගෙදර එන්නේ හොඳටම බීගෙනය..... බීගෙන ආ විට මාතෘකාව ඇය ජීවිතේටවත් නොදත් ඔහගේ සැක සංකා ලෝකයේ ඈ සමග සැරි සරණ කිසියම් පිරිමියෙකු ගැනය. රටේ ලෝකේ අහල පහල සකල විධ පිරිමි ඔබට පාවා දෙන්නට අනතුරුව ඔහු කටයුතු කරයි. එහෙත් අන් ළඳක් සමග වෙන ඇඳක තුරුව සිටින ඔවුන් ඔබේ අතටම හසු වුනත් එය ප්‍රතික්ෂේප කරයි.
අපට අපේ යැයි රහසක් තිබුණිද
එක් කෙනෙකුන් වූ දිනේ පටන්
මිදි ද ඇඹුල් වන ලොවක මෙසේ
දිගු කල් වසමුද රන් රස සේ......



කිසිම යුවතියක් දීගෙක යන දිනයේදී මෙවන් අත්දැකීමක් සිය විවාහ ජීවිතයේදී ලබන්නට බලා පොරොත්තු නොවෙයි. ඒත් බොහෝ යුවතියන්ට වන්නේ මෙවැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වෙයි.
මේ තමයි මෙවැනි සමහර ජීවිත වල ඛේදවාචකය.

දැන් අප උත්සාහ කළ යුත්තේ මේ ඛේදවාචකයෙන් ටිකින් ටික ගොඩ එන්නයි. ඒ අනුව මෙහි දේශන සඳහා පැමිණි විවිධ අය විවිධ දෘෂ්ඨි කෝණ ඔස්සේ විවිධ අදහස් ඉදිරිපත් කරන්න ඇති. මම වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙවැනි අදහස් ටිකක්.
එකක් තමයි මෙවැනි අඩු වයසින් විවාහ වූ විට... 
ඒ සැනින් දරුවන් සැදීම සිදු නොකර යම් කල් දැමීමක් කළ යුතුයි. එය හේතු කිහිපයක් නිසා. පළමුවැන්න මේ වයස අනුව අපි සලකන්නේ ඔබත් දරුවකු ලෙස වීම. ලිංගිකව පිරිමියෙකු සමග එකතුවී දරුවකු බිහිකිරීමේ කායික හැකියාව ඔබ සතු වුණත් ඊට අවශ්‍ය මානසික හා කායික සූදානම් වීම මේ වයසේදී යෝග්‍ය නැති බවයි අපේ අදහස.
ඊ ළඟ කරුණ නම් මෙසේ එකතු වී ටික කලක් ගතවන විට ලැබෙන අන්‍යෝන්‍ය අවබෝධය...... තමන් මේ එක ගෙයි කූඩු වුණේ දෙවියකු සමගද නැතිනම් බැටළු හම පොරවා ගත් වෘකයෙකු සමගද යන්න දැන ගැනීමට ඒ කාලය ප්‍රයෝජනවත්. අප දන්නා කරුණක් නම් ඉතා ටික කලකින් මෙලෙස ලා බාල වියේදී එකතුවන යුවලවල් නැවත වෙන් වෙන බවයි. අවමයෙන් අත දරුවකු සමග තනි වෙන එකවත් වලක්වා ගන්න පුළුවන් දරුවකු පිළිසිඳ ගැනීම යම් කාලයක් ප්‍රමාද කිරීමෙන්.
මේ සඳහා අප ආයතනය - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය - මගින් විශේෂ උපත්පාලන ක්‍රමයක් ලබා දෙනවා. එය ජඩෙල් කරල් යනුවෙන් හඳුන්වනවා. එම කරල වම් අතේ උඩ බාහුවේ තැන්පත් කිරීම මගින් අවුරුදු 5ක කාලයකට උපත් කල්දැමිය හැකි වෙනවා.මේ ජඩෙල් කරලක වටිණාකම ගත්තොත් රුපියල් දහස් ගණනක්. ලංකාවේ මේවා විශේෂයෙන් පාවිච්චි කරන්නේ මෙවැනි පවුල් වෙනුවෙන්.
දෙවන කරුණ නම් මේ වන විට පළමු පිලිසිඳගැනීම වී ඇත්නම් හෝ දරුවකු බිහිකර ඇත්නම්.... අවමයෙන් දෙවන දරු උපත හෝ කල් දමා ගැනීමට කටයුතු කිරීම....
එවිට ඔබ සහ උපදින දරුවන් කායිකව සහ මානසිකව දුර්වල වීම අවම කර ගත හැකියි. ඒ වගේම ඔබගේ රුව වැහැරීමද යම් මට්ටමකට අඩු කරගත හැකියි. තවද ඒ හා බැඳෙන වෙනත් පවුල් ප්‍රශ්නද අවම කර ගත හැකියි.
ඒ වගේම මේ ලා බාල පවුලකට සමහර විට නිසි ආදායමක් නොමැතිව....හරියට ඉන්න හිටින්න තැනක් නොමැතිව එක උඩම දරු දෙනෙක් තුන් දෙනෙක් සාදා ගන්නේ කෙසේද යන්න... මේකට තරමක හෝ පිලියමක් වේවි පළමු උපත කල් දැමීමත් දෙවන දරුවා පරතරයක් සහිතව හදා ගැනීමත් කළහොත්....
මේ ලා බාල එක්විම්  නිසා සමහර විට දරුවා ප්‍රසූතකරණ අවස්ථාවේදීත් මේ යුවලවල් අවිවාහක විය හැකියි. එවිට දරුවාගේ උප්පැන්න සහතිකය ලබා ගැනීමේදී මව පියා අවිවාහකයි ලෙස සඳහන් වන්නේ. මෙය අනාගතයේ දරුවාගේ මානසිකත්වයට ඇති කරණ බලපෑම ගැනත් අප සිතිය යුතුයි.
මෙවැනි පවුල් අතර ඇති වන ආරවුල් නිසා බොහෝ විට පවුල් කැඩෙනවා. තරුණ බිරිඳ ගමට යන විට යන්නේ හරියට ගං කිකිලියක් වගේ. පැටවු රොත්තක් වටකරාගෙන. මෙහෙම ටික දවසයි තනිකඩව ඉන්නේ. ඊට පස්සේ ගමේ තව කාව හරි එක්ක සම්බන්ධයක් ඇතිකර ගන්නවා. දුර දිග ගියාම එක්කෝ තාත්තා නැති දරුවකු හදනවා. නැති නම් නීති විරෝධී ගබ්සාවට පෙළඹිලා විවිධ සෞඛ්‍ය ගැටළු සහ නීතිමය ගැටළු හදා ගන්නවා.
එහෙමත්  නැති නම් මේ අළුත් සම්බන්ධය නිසා දෙන්නා හොරෙන්ම පැන යනවා. අර පුංචි දරුවන් සී සීකඩ..... පළමු විවාහයෙන් වෙන් වෙලා නොවෙයි දැන් අළුත් පවුල කන්නේ. ඒ පවුලෙත් දරුවන් හදනවා. තවත් දෙන්නෙක් තුන් දෙනෙක්. ඒ වන විට මව දුර්වල මවක්. විවිධ සෞඛ්‍ය ගැටළු දරුවන්ටත් මවටත් ඇති වෙනවා. ඒ වගේම ඉතිරි වෙන්නේ පැපොල් බවට පත් වූ ඇපල් ගෙඩියක්. ඉතින් ගෙදර උන්දෑ ඇපල් හොයා ගෙන අහල පහල වතු වලට රිංගනවා.
නැවතත් මල් පොකුරක එකක් වෙන්න වෙන කතාවනේ වෙන්නේ.
මේ නිසා මා කිවු ලෙස පළමු උපතකල් දැමීම..... දෙවන උපත පරතරයකින් සිදු කිරීම කළ යුතුයි. ඒ වගේම ඒ කාලය තුළ යුග දිවියකට අවශ්‍ය අත්දැකීම් ලබා ගත යුතුයි. පවුලේ සාමය සමගිය රැකෙන ලෙස ක්‍රියා කළ යුතුයි. අනාගතය සැලසුම් කළ යුතුයි. ඉතිරි කළ යුතුයි. මේ විදිහට ජීවිතයේ සිදුවුණ වරද හැකිතාක් නිවැරදි කර ගැනීමට සිතා ගත යුතුයි.
ඒ වගේම දන්නා කියන දෙදෙනෙක් අතර මෙවැනි විවාහයක් සිදුවන්නට යන බව දැනගතහොත් හැකි තාක් සුදුසු උපදෙස් දී එය වලකාලීමට උත්සාහ කළ යුතුයි. තමන්ගේ දූ දරුවන් මෙවැනි තත්වයකින් බේරා ගැනිමට සුදුසු විදිහට ඔවුන් හික්මවිය යුතුයි.
හොඳයි......මේ කොහොම වුණත් දැන් මේ අය එකතු වෙලා පවුල් ජීවිත ගත කරණවා. ඇරඹුම කෙසේ වුවත් ඒ සමහර පවුල් හොඳින් දරුමල්ලන් සාදාගෙන සතුටින් ජීවත් වෙනවා. තවත් සමහර පවුල් යම් යම් ගැටුම් සහගත තත්වයන් තුළ වුවත් එක්ව ජීවත් වෙනවා. තවත් සමහර පවුල් වල පුංචි ගැටුමේ සිට විශාල ගැටුම දක්වා ගැටළු තිබෙනවා. ඉතින් විය යුත්තේ කුමන පදනම මත හෝ එක් වූ මේ අය එක්ව හොඳින් ජීවත්වීමයි.
අපි පුංචි චිත්‍රපටයක් නරඹමු.



මෙයින් කියවෙන්නේ ආදරයෙන් ඉන්න වයස් පරතරයක් නෑ කියන එක. දැන් මේ අය පටන් ගන්නේ ආදරය කරන්න අවුරුදු 15 දී16 දී. ඒත් මේ සමහර පවුල් අවුරුදු 2-3ක් යන විටම ආදරයට සමු දීලා. නමුත් මේ චිත්‍රපටයේ යුවල ඊට වඩා වෙනස්. විය යුත්තේ එයයි.
ඉතින් මීට වඩා කල් ගන්න බලාපොරොත්තුවක් නෑ. මේ වැඩසටහනේ මට හිමි කාලය මම හිතන්නේ දැන් අවසාන වෙලා තිබෙන්නේ. ඒත් නන්දා මාලිනිය විසින් ගයන මේ ගීය අසා පිටවෙමු. ඔබ අකීකරුව මෙවැනි විවාහයක් කර ගැනීම පිළිබඳව ඔබගේ මව් පියන් දුක් නොවනු ඇතැයි ඔබ සිතවාද? ඒ දුක කොයි තරම් ඇතිද? ඒ දුක එක්තරා දිනක ඔබට දැනෙන්නේ ඔබේ දියණියත් හිතුමතේට මෙවන් දෙයක් කර ගත්තාම කියායි මේ ගීතයේ කියන්නේ. මම ඒ පාදයට නම එතරම් කැමති නෑ... එහි ලියවිය යුතුව තිබුණේ ඔබේ දියණායත් බැරි වෙලා හරි එසේ ගියොත් ඒ දුක ඔබටත් දැනේවි යන්නයි. නමුත් එය එසේ ලියවී නෑ. නමුත් ගීතයේ ඉතිරි කොටස තුළ ඇත්තේ ඒ වන් දුකක් කිසිදු දිනක ඔබලාට නොදැනේවා යන්නයි. මමත් ඒ වන් දුකක් කිසිදු දිනක ඔබට නොදැනේවායි පතනවා.

හිතුමතේට දීගගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීගගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.......



-        සමාප්තයි    -
-        යසනාත් ධම්මික බණ්ඩාර   -
( සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - තඹුත්තේගම )

3 comments:

  1. මට හිතෙනා විදිහට නම් ගුරු දෙගුරුන් වගේම නෑ සියනුත් මේ ප්‍රශ්නෙයේදී වැදගත් භූමිකාවක් රඟපානවා..
    කතාවට කියනවා වගේ ඇටෙන් පොත්තෙන් මෝරන්නට කලින් මේ යෞවනයන්ට සමාජය විසින් තම යුතුකම ඉටු කරනවා නම් නම් මෙවන් අමිහිරි සිදුවීම් අඩු කරගත හැකියි..මාධ්‍යයයෙන් වටපිටාවෙන් දෙන්නෙත් වැරදි පූර්වාදර්ශ නම් වෙන කවර කතාද?

    එක් පැහැති මුතු පෙලක් බඳු ගී මල් එකතු කල මාලයක් වැනි පෝස්ටුවක්..ස්තුතියි..

    ReplyDelete
  2. මම අහම්බෙන් මේ ලිපිය කියෙව්වෙ ගීතයක තොරතුරු හොයන වෙලාවෙ. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ගීතය බණ්ඩාර ඇහැළියගොඩ මහතා රචනා කළේ ඩී. එස්‌. අයි. ආයතනයේ අධ්‍යක්‍ෂ නන්දදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමක්‌ අනුව බව මෙම සාකච්ඡාවේ සඳහන් වෙනවා. http://www.divaina.com/2010/12/12/meewitha05.html නිවැරදි හේතුව කුමක්දැයි දන්නවානම් පහදා දෙන්න. ඔබට ස්තුතියි.

    ReplyDelete
  3. දුවේ නුබ මගෙ ප්‍රාණයයි සහ චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුන්චි සාවියේ ගීත දෙකෙන් ප්‍රබලම අරුතක් සපයන්නෙ දෙවැනි ගීතයෙන්. මානව දයාව, පීතෲ ස්නේහය එහි හැම වචනෙකින්ම ගම්ය වෙනවා. සනුහරේ අබිමන් රැකගෙන යන දුවකට අමුතුවෙන් ආදරයක් දක්වන්න දෙයක් නැහැ. නමුත් ලාබ රත්තරන් හොයාගෙන ගොස් වැඩ වරද්දගත්තු දුවකට ආදරය දක්වන එක අපහසුයි. පීතෲ ස්නේහය වැඩියෙන්ම අවශ්යත් එවැනි දුවකට. මට මතක් වෙනව බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ගේ රුවන් වැකියක්: ඔබ කුමක් කොට පැමිණියත් මගේ නිවසේ දොරටු ඔබට විවුර්තයි. ඒ උන්වහන්සේගේ පියා උන්වහන්සේ ගිහි කල උන්වහන්සේට කියාපු දෙයක්. මේ ගීතයේ "පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ" කියන වචන ඇහෙන වරයක් පාසා මට මතක් වෙන්නෙ බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ අර රුවන් වැකිය. සනුහරේ අබිමන් රැකගෙන යන දූවරුන්ට වඩා සෙයිලමේ පාර වරද්දගත්තු දූවරුන්ට ආදරය ස්නේහය අවශ්ය බවයි අද සමාජයට කියා දිය යුත්තේ. පිය සෙනෙහස ගැන ලියවුණු අග්‍රතම ගීයක් වෙත්නම් ඒ මේ ගීතයමයි.

    ReplyDelete