Monday, January 11, 2021

මලිදෙව් මවුනි සසොබනා....

 

 File:Maliyadeva College.jpg - Wikimedia Commons

සිප් කෙතේ අබිමන් දෙනා

කෙළි බිමෙත් පෑ විකුමිනා

ජය බිමෙත් පෙරමුණ අරා

ඔබයි ජීවය පුරවනා

මලිදෙව් මවුනි සසොබනා....

 

මේ ගීතය මට ලියන්නට ඇරියුම් ලැබෙන්නේ මලිදෙව් ශිෂ්‍ය නායක කණ්ඩායම වෙනුවෙන් යෙහෙළියකගේ පුත්‍ර රත්නයකගෙනි.

සිය පාසැල වෙනුවෙන් යම් නිල කටයුත්තක් සඳහා ගීතයක් ලියන්නට ලැබීම එහිම අකුරු කළ පුතෙකුට ලැබෙන මාහැඟි වාසනාවකි. ඒ වාසනාව අහක නොදමා සඵල කෙරුම මගේ අදිටන විය. එහෙත් එසේම එය එක්තරා අයුරකින් මගේ හද පාරණ කාරණයක්ද විය.

මගේ දරුවා වන යසනාත් නිසයුරු පසන්දුල් බණ්ඩාර මලිදෙව් වරම් ලැබෙන්නට තිබුණේ 2013 වසරේදීය. ඒ එහිම ඉගෙන ගත්, අධ්‍යාපනයෙන් දස්කම් දක්වා අවශ්‍ය ලකුණු සම්පූර්ණ කරගත් ආදි මලියදේවයෙකුගේ දරුවෙකු ලෙසිනි. එහෙත්, එකල ඈත ගම් පියසක නොදියුණු රෝහලක් දියුණු කිරීමේ වගකීමට උර දරා සිටි හෙයින් දරුවාට හිමි අවස්ථාව ඒ වෙනුවෙන් කැප කරන්නට සිතුවේ නමුත් හිත සනසන යම් සුරක්ෂිත බවක්ද දරුවාද අපද ලබමිනි.

එනම්, එවකට උතුරුමැද පළාත් මහ ඇමතිව සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මගේ දායක්තවය එම රෝහලට කොතරම් අවැසිදැයි මැනැවින් වටහාගෙන සිටිය අතරම, මා එම රෝහලෙන් කුරුණෑගලට ස්ථාන මාරු ලබා පැමිණීම දරුවාගේ අනාගතයට කොතරම් වටිණාවාදැයි යන්නද එසේම වටහාගෙන සිටියේ,

ඩොක්ටර්, ඩොක්ටර් මේ වගකීම මේ ගම්වල මිනිස්සු වශයෙන් ඉටු කර දෙන්න. ඩොක්ටර් මේ කාර්යය නිමවා මෙහෙන් යන දවසක මම දරුවාව ඩොක්ටර් කියන ඕනෑම පාසැලකට ඇතුල් කර දෙන්නම්

යන සුරක්ෂිත බව අපි වෙත ලබා දුන් බැවිනි.

මම අදාල කාර්යය ඉටු කළෙමි. එම රෝහල යළි ආපස්සට හැරවිය නොහැකි අයුරින් උඩු ගං බලා පිහිනවූ මම මගේ තොටමුණ වෙත දරුවන් සමග පැමිණියෙමි. එහෙත් ඒ පැමිණෙන විට අර මට සුරක්ෂිත බවේ වදන් වැලි කියූ බර්ටි ප්‍රේමලාල් මැතිඳුන් මෙලොව හැර ගොස් තිබුණි. ඔහු ගොස් තිබුණේ මගේ දරුවාගේ මලිදෙව් සිහිනයද රැගෙනමය.

අනතුරුව එතුමන්ගේ පුතණුවන් ප්‍රමුඛ පිරිස සෑදූ ආණ්ඩුවේ අකිල විරාජ් අධ්‍යාපන ඇමති විසින් ඈත දුර පළාත්වලට මෙවන් සේවයක් කර පැමිණෙන වෛද්‍යවරුන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් විසින් දී තිබූ විශේෂ අවස්ථාව අහිමි කළේ එම අවස්ථාව ලබා ගැනීමට නම් ඔහු පසුපස යා යුතු තත්ත්වයක් ඇති කරමිනි. මිල මුදල් විසි කරන්නේ නම් අවස්ථාව ලබන්නට ඉඩ සලසමිනි.

මේ දෙකම කරන්නට අකමැති වූ මම දරුවා නගරයේ වෙනත් පාසැලකට ඇතුළත් කර ගත්තේද දැඩි අපසුවෙනි. එහෙත්, අර ඈත දුර පළාතේ රැඳී සිටිමින් මා කළ මෙහෙවර ඇසූ පළාත් අධ්‍යාපන බලධාරීන් ඔවුනගේ මට්ටමින් දිය හැකි පාසැලක් ඊට ගරු කිරීමක් වශයෙන් ලබා දෙන්නට කටයුතු කළේ අනතුරුව අනිවාර්ය අනාගත පෙත්සම් විභාගයන් ගැනද නොතකමිනි. ඇත්ත වශයෙන්ම එවැනි පෙත්සම් විභාගයනට මුහුණ දෙන්නටද ඔවුනට සිදු විය. එහෙත් ඉන් ඔවුන් හට වුණු හානියක් නොමැත්තේ පෙස්සම් විභාගකරුවන්ට මා කී කතාව නිසාය. ඔවුන් අතිශය සංවේදීව ඒ කතාව අසා සිටියේ මගේ දරුවාට පාසැල ලබා දීම යුක්ති යුක්ත බව තීරණය කළහ. ඔවුන් එවේලේ තමන්ට හැකි මට්මට කළ උදව්ව මතක් කරනුයේ කෘතවේදීවය.

අනතුරුව වසර කිහිපයක් අප්‍රකාශිත දැඩි වේදනාවකින් සහ දැඩි ඉවසීමකින් කල් ගෙවූයෙමි. නිසි අවස්ථාවේ අභියාචනයක් ඉදිරිපත් කර, ඒත්, අර විදිහටම අප්‍රකාශිත දැඩි වේදනාවකින් සහ දැඩි ඉවසීමකින් කල් ගෙවූයෙමි.

මගේ දරුවා පළමු වසරේ සිට තමන්ට ඉඩ තිබූ මලියදේවය දැක දැක අර පාසැලට ගියේ කිසිවක්ම මුවින් නොබණිමිනි. මම ද ඔහුගේ සිතුවිලි ගැන කිසි වටෙකවත් විමසන්නටද නොගියෙමි. එහෙත් දවසක ඒ අවස්ථාව ඔහුට ලැබෙනු ඇතැයි පමණක් සිතමින් යළිත්, අප්‍රකාශිත දැඩි වේදනාවකින් සහ දැඩි ඉවසීමකින් කල් ගෙවූයෙමි.

මා හට මලිදෙව් මවුන් ගැන ගීය ලියන්නට එන්නේ මේ පසුබිම තුළමය. මගේ දරුවාට අහිමි වුණු මගේ පැසැල ගැන ලියන්නට ගත් උත්සාහය වේදනාත්මක එකකි.

ඇගේ තුරුළ මගේ දරුවාට අහිමි වූවා කියා මට ඇය ගැන නොලියා සිටින්නට බැරිය. එහෙත් අර දේවල් මතක් වෙත්දී මට හිත එකලස් කරගෙන ලියන්නටත් බැරිය.

එහෙත් තමන් උගත් විදුහල් මෑනියන් ගැන පුතෙකුට ලැබෙන එම අවස්ථාව අතිශය දුර්ලභය. මම ඒ අවස්ථාව මග නොහැරිය යුතුය. අප්‍රකාශිත දැඩි වේදනාවකින් සහ දැඩි ඉවසීමකින් ගත් දැඩි උත්සායක ප්‍රතිඵලයක් ලෙසින් මම එහි තවත් කොටසක් ලියා ගතිමි.

 

දැය ද රැස ආගම රැකී

පුත් කැළකි ඇකයෙන් මිදී

සිව් දෙසම ජය දද බැඳී

හස්තිපුර අහසට නැගී

ඔබයි ජීවය පුරවනා

මවුනි මලිදෙව් සසොබනා

 

දරුවාගේ අහිමිවීම් ගැන වේදනාව පසෙක තිබියදී ගීතය ගොඩ නැගෙන අයුරු පිළිබඳ සතුට වැඩෙයි. වරෙක අරකද, වරෙක මේකද නැගෙමින් බසිමින් මිශ්‍ර සිතුවිල්ලෙන් සිත පුරවයි.

මට, සම්මත ( එහෙත් එසේ නීතියක් නැත ) ගීතයක් වෙනුවෙන් තව අඩු එක් කොටසක් ලියා ගැනීමේ අභියෝගය ඇත. ඊට වඩා ලොකු අභියෝගයක් දරුවා වෙනුවෙන් ඇත.

තමන්ට පළමු වසරේ සිටම ලැබෙන්නට තිබූ, අප්පච්චීගේ සමාජ සේවේ නිසා තමන්ට අහිමි වූ අවස්ථාව කවදා හෝ තමන්ට උදාකර දේවිය යන බලාපොරොත්තුව ඇත්තේ යැයි හැඟෙන බැවින් එය ඉටුකර දීමේ අභියෝගය මට ඇත. එහෙත් ඒ සඳහා යම් යම් අය පසුපස යාමේ පුරුද්ද මට නැති බැවින් පෙරළා එය වඩ වඩාත් දුෂ්කර අභියෝගයක් වෙයි. විශේෂයෙන් මහ ඡන්දෙට පෙර ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ධූරය ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා දරද්දී එය පහසු කටයුත්තක් වියහැකිව තිබුණි. මක්නිසාද යත්, දේශපාලනය නිසා නොව කලාව නිසා අතිශය ළෙන්ගතු ඔහු මගේ ඉල්ලීමක් අහක නොදමාවිය යන අදහස මා තුළ තිබුණත්, ඔහුටවත් මේ ගැන කීමට මා උනන්දු නොවුණි. එය මගේ වරදක් බව කී බොහෝ දෙන විය.

දරුවා වෙනුවෙන් ඩලස් වගේ මිනිහෙක් ළඟට යන්න බැරි මොකද බං. කොයි තරම් මිනිස්සු අම්බ හාල්පාරු ඇමතියෝ ළඟට යනවද ඔය වගේ වැඩ කර ගන්න. ඒ නිසා ඩලස් ට කිව්වා කියා අවුලක් ඇත්තේම නැහැ.

ඉස්සරලා ප්‍රදීපා අක්ක ( ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස මහත්මිය - ඇය ඩලස් ඇමතිතුමාගේ ආදරණීය බිරින්දෑය ) ට කියපං. ඊට පස්සේ ඩලස්ටත් කියපං. අනිවාර්යයෙන් වැඩේ කෙරෙනවා.

ඒත් මම නොගිය තැන,

උඹ නම් මොකෙක්ද මන්දා බං යනුවෙන් සිද්ධිය දන්නා යාලු මිත්‍රාදීන්ගෙන් අසාගන්නට සිදුවිය.

එහෙත්, මම එහි නොගියෙමි.

දවසක් හදිසියේ අපට වෙන්වුනු යම් ආයතනයක් වෙත් මේ ගැන අභියාචනා කරන්නට කොළඹ ගියෙමි. විස්තර ඇතුළත් ලිපි ගොනු දෙකක්ම සාදා තිබුණු බැවින් එයින් එකක් ප්‍රදීපා අක්කා හරහා ඩලස් අයියා වෙත දෙමුය යන යෝජනාව බිරිඳගෙන් මතු වුණි. අපි ප්‍රදීපා අක්කාට කතා කර එහි යන්නට අවශ්‍ය පණිවිඩ හුවමාරු කර ගතිමි. එහෙත්, යළත්, එහි නොගියෙමි.

මහ ඡන්දය තිබුණි. ආණ්ඩු වෙනස්වුනි. ඩලස් අයියාට අධ්‍යාපන ඇමැතිකම වෙනුවට වෙනත් ඇමැතිකමක් ලැබී තිබුණි. ඉතින් කරගන්නවා නම් කරගනන්නට තිබූ ඒ අවස්ථාවත් නැති වුණි.

දින කිහිපයක් ඇවෑමෙන් ප්‍රදීපා අක්කා යම් විශේෂඥ වෛද්‍යවරයෙකු පිළිබඳ විමසීමට මා ඇමතුවාය. ඇයට අවශ්‍ය කරුණ කීමෙන් අනතුරුව තොරතුරු කතාකරමින් සිටින අතරතුර ඇයට හිදිසියේම අපි හමුවන්නට දාගත්තත් හමු නොවූ සිද්ධිය ගැන මතක් විය.

මල්ලි, එදා එනවා කිව්වාට ආවේ නැහැනේ. මට පස්සේ අහන්නත් අමතක වුණා. මල්ලි කතා කළෙත් නැහැ.

මම දුරකථනයෙන් හේතුව කීම නොසුදුසු නිසා පැමිණ කීමය සුදුසු කීවත් ඇයගේ යළි විමසීම නිසා කියන්නට යෙදුනේ ඇයද දැක්වූයේ මිතුරන් දැක්වූවාට සමාන ප්‍රතිචාරයකි.

අයියෝ මල්ලි. අපි මේ තරම් දන්න අය වෙලාත්, වැඩි කරදරයකින් තොරව මේ ගැන බලන්න තිබුණු වෙලාවේ ඔයා ඒ ගැන කීවේ නැහැනේ. අනේ මන්දා ඔයා නම් මහ පුදුම ළමයෙක්.

මම දැන් ළමයෙක් නොවුණත් ඒ දවස්වල පුරුද්දට ඇය එසේ කීවාය. එය ඇත්තකි ඇත්තටම මම මොන මිනිහෙක්ද?

එවැනි වේදනා දෙන මතකයන් ගීතයේ ඊ ළඟ කොටස ලිවීමට බාධා කරතත්, මා අතින් ඊ ළඟ කොටසත් ලියැවිණි.

 

දසත පතළවු කිතුගොසින්

යහගුණෙන් යහ පැවතුමින්

දැමි සේම සුරුවිරුකමින්

සෘජු සේම මද මුදු බවින්

පිරුණු විරුවන් උපදනා

මවුනි මලිදෙව් සසොබනා

 

ගීතය නිමවා දුන්නේ, එය පටිගත වන්නට වඩා නොවන්නට හේතු මතුවිය. ප්‍රධානම හේතුව වූයේ මේ වචන මේ කාලයේ යූත් එකට ක්ලැසිකල් වැඩියි යන හේතුවයි. එබැවින් එය පටිගත නොවන බව යම් කණගාටුවකින් සහ සමාව අපේක්ෂිත ස්වරයෙන් අර දරුවාගේ මව කියා සිටියේය. අනතුරුව එයද අර මගේ පුතණුවන්ගේ වැඩේ සේම නොකෙරෙන වැඩවල වේදනාව පමණක් ඉතිරි කරමින් ඒ ගොඩටම එකතු විය.

 

එහෙත්, හදිසියේ දිනක අර පුතණුවන් මා ඇමතීය.

අන්කල්, අර වට්ස්ඇප් චෙක් කරන්න. අර ගීතය හදිසියේම පටිගත කරලා. අහලා බලන්න.

 

එය මා මිත්‍ර උපාලි බණ්ඩාර වීරරත්න මලියදේවයේ සංගීතාචාර්යවරයා විසින් වර්තමාන තාරුණ්‍යට ගැලපෙන තනු සහ සංගීත නිර්මාණයකින් යුක්තව ගීයක් බවට පත්කොට දරුවන් ලවා ගායනා කරවා තිබුණි.

මේ එම ගීතයයි. එය පසුගිය මාර්තුවේදී මලියදේව - ශාන්ත ආනා මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් එළි දැක්වුණි.



පසුව හෝ එය ගීයක් වීම ගැන සතුටක් ඇත.

දැන් ඒ සතුට වඩාත් වැඩිවී ඇත.

ඒ, මා පුත්, යසනාත් නිසයුරු පසන්දුල් බණ්ඩාර ට අද දින සිට ඉදිරියට මා සෙවන ලැබූ මලියදේවයේ සෙවන ලැබෙන නිසාවෙනි.


 

මීට අවුරුදු 8ට පෙර ඔුහට ලැබෙන්නට තිබූ එම සිහිල් සෙවන අද සිට හෝ ලැබෙන්නට ඇප උපකාර කළ සැම ගැන ඇත්තේ භක්තියාදරයකි.

වෙසෙසින්, දේශපාලනඥයින් පසුපස නොගොස් එය ඉටුකර ගන්නට හැකි වීම අතිශය භාග්‍යකි.

 


-      යසනාත් ධම්මික බණ්ඩාර    -

 

1 comment:

  1. ආඩම්බරෙන් සතුටු වෙන්න පුළුවන් දැන්. පුතුට ජය

    ReplyDelete