Monday, September 24, 2018

ඝරසරප...... ( ගැන වෙනත් අදහසක් )






ඝරසරප දෙවෙනි වතාවටත් බැලුවෙමු.
වින්දෙමු.

මෙතැනින් සුළු ආවේශයක් ලබා අපි කතාවට පිවිසෙමු.



මේ ඝරසරප ගැන හැමෝම කථා කරණ දේ මමත් කතා කරන්නට ගන්නා උත්සාහයක් නොවේ.

අපි, අපි බැලූ විවිධ චිත්‍රපට වලට විිවධ ලේබල අලවා ඇත්තෙමු. ඒ අනුව අප, සම්භාව්‍ය චිත්‍රපට, වාණිජ අරමුණු සහිත චිත්‍රපට සහ මැද මාවතේ චිත්‍රපට ආදී වශයෙන් වරෙක ඒවා හඳුන්වා ඇත්තෙමු.

මෙවන් තවත් බෙදා දැක්වීම්ද තිබිය හැකිය. මේ බෙදා දැක්වීම් හරිද වැරදිද යන්න ගැන මම මේ අවස්ථාවේ කිසිවක් නොකියමි.

වර්තමානය වන විට මම හඳුනා ගන්නා බෙදීම් කිහිපයක් වෙයි. ඒවා ක්ෂේත්‍රය තුළ එම වචන වලින් හඳුන්වනවා දැයි මම නොදනිමි. මට හිතුණු අයුරින් හදා ගත් බෙදීම් ය ඒවා.
ඒවා නම්,

අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ.

ඉහත කොටස් දෙකට ම අඩංගු නොවන නිර්මාණ.

මම මෙහිදී
අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ යනුවෙන් හැඳින් වූයේ ඒවා අදාල නිර්මාණකරුවාගේ අවශ්‍යතාවටම නොව, වෙනත් යම් යම් පෙළඹවීම් මත නිර්මාණය වුණා දැයි සමහරු සැක උපදවන බැවිනි. සමහරු එසේ සිතන බැවිනි. 

උදාහරණයන් ලෙස,
ජයන්ත චන්ද්‍රසිරි ගේ මහරජ ගැමුණු චිත්‍රපටය මහින්ද හිටපු ජනපතිඳුන්ගේ දේශපාලන ව්‍යාපාරයට වක්‍රාකාර පිම්බීමක් ලබාදීම සඳහා නිර්මාණය වූවකැයි බොහෝ කතා බස් ඇති විය. මා මේ මතය පිලිගන්නා අයෙක් නොවන්නෙමි. ජයන්ත එය සිය උවමණාවෙන්ම ගැමුණු කරන්නට ඇත නියාය මට නම් හිතෙන්නේ. එහෙත්, ඒ යුගයේ මහින්ද ජාතිකත්වය නියෝජනය කරණ බලවේගය මත යැපුණු නිසා මහරජ ගැමුණු ඔහුට සේවය කරණු ඇතැයි සිතූ අය යම් යම් දේශපාලන අභිමතාර්ථ ඇතිව එසේ කියන්නට ඇතැයි යන්නය මම දැඩිව විශ්වාස කරණුයේ.

එහෙත් එය එසේම යැයි මොහොතකට සිතමු. එවිට එයට ඉන් වාසිය ලබන අයගේ අනුග්‍රහය ලැබිය යුතුය. නොඑසේව, කිසිවෙක් එසේ අනුග්‍රහයක් නොලබමින්, අදෘෂ්‍යමානව සිටිමින් හෝ පෙනෙන නොපෙනන අයුරින් සිටිමින් යම් පුද්ගලයෙකු පිම්බීම සඳහා එවැන්නක් නොකරණු ඇත. එහෙත් එය ඇත්තටම කළේ එවැනි අරමුණක් සහිතවද, එයට එවන් අනුග්‍රාහකත්වයක් ලැබුණේද යන්න මම ගැන නොදනිමි. එබැවිනි මම අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ ලෙසින් ඒවා හැඳින්වීමට පරෙස්සම් වූයේ.

දැන් ජයන්තගේ මහරජ ගැමුණු සඳහා යෙදුනු මේ හැඳින්වීම නිසාම එහිම යම් යම් විරුද්ධ පැතිකඩයන් නිර්මාණයට ගොනු කරගනිමින් බිහිවුණු චිත්‍රපට ගොන්නක්ද ඒ කුලකයටම ඇතුල් කිරීමේ හැකියාව මා හට ලැබෙයි. ඒ අනුව පසු කාලීන, ධර්මසිරි බණ්ඩාරනායකගේ, හඳගමගේ, පතිරාජගේ ප්‍රසන්න විතානගේගේ සහ ඒ පසුපසින් එන විමුක්ති, සංජීව වැනි අගේ තවත් එවැන්නන්ගේ කෘති රැසක් ද ඊට එකතු කළ හැකියි. එහිදීද මම අර පරෙස්සමම වෙමි. එනම්, අනුග්‍රාහකත්වය ලබන නිර්මාණ හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන හෝ නිර්මාණ යනුවෙන් හැඳින් වූයේ. 

මහරජ ගැමුණුමහින්ද ගේ හෝ මහින්ද රජයේ හෝ අනුග්‍රහය ලැබුණේ හෝ ලැබුණේ යැයි හැඟී ගියේ නම් හෝ, මා කියූ අර අනෙක් චිත්‍රපට වලට ඒ අර්ථයෙන්ම ගත් විට එලෙස අනුග්‍රහය ලැබුණේ හෝ අනුග්‍රහය ලැබෙන්නට හෝ ඇත්තේ කාගෙන් දැයි මෙහි ලියන්නට නොයමි. එහි අන්තර්ගතය තුළ විවේචනයට බඳුන් වන සමහර කාරණා ගත් විට එ් සඳහා යම් අනුමාන සැපයෙනු ඇත. ඒ අනුව ඉන් වාසියක් අත්වන කණ්ඩායම් ඒ අනුග්‍රාහකත්වය දැරිය යුතුයි. එය වෙනම තබා කතාව කරගෙන යමු.

මා කියන්නේ මේ දේවල් ඇත්තටම වුණා සේ දැඩි සිතුවිල්ලක සිට නොවේ. නමුත් එක රාමුවක එකක් ගැන සැකයි නම්, ප්‍රතිවිරුද්ධ රාමු වල අනෙක් ඒවා ගැන සැක නොකරන්නට ඇති හේතු මොනවාදැයි හිතෙන බැවිනි. 

මේ ඝරසරප ඒ අතින් ඒ කුලක දෙකට ඇතුළත් නොවන එකක් බව පෙනී යැයි. ඒක අර අතුල ලියගේගේ බඹර වළල්ල වගේ එහෙම අවුල් නම් ධාරී කුලකයකට නොවැටෙන නිර්මාණයක්. මම මෙහි අතුලගේ බඹර වළල්ල මතක් කළේ ඉන් පසුව ඈ එවැනි දැනෙන එවැනි කුලකයකට ඇතුළත් නොකර පිටින් තබා විඳින්නට හැකි වෙනත් කෘතියක් මතක නැති බැවිනි. ඒ අනුව මෙවර ජයන්තගේ චිත්‍රපටය ගැන බොහෝ අය කතා වෙන්නේ මහින්දගෙන් වියුක්තවය.

මේ ගීකය අඩංගු විඩියෝව නරඹා මතකය රී චාර්ජ් කර ගන්න.

අතරින් පතර අයෙක්, 

එදා මහින්දගේ මහරජ ගැමුණු කළ ජයන්ත මෙවර...... වැනි ඇරඹුමක් ගනිමින් මහින්දත් සමග ඇති වෛරය සහ, මහින්දට යම් උදව්වක් කළාය, මහින්දව පිළිගත් අයෙකිය යන අදහස ඇතිව ජයන්තට කළු තවරමින්ම මෙහි සුද සොයන අවස්ථාද අපට හමු වෙයි. කෙසේ වෙතත්, සමස්ථයක් වශයෙන් ජයන්තගේ චිත්‍රපටය මහින්දගෙන් වියුක්තව කතා කළ හැකි මට්ටමට නිර්මාණය වීමම ජයන්ත ලද ජයග්‍රහණයකි. ඒ අනුව දැන් කතා කළ හැකි බොහෝ දේ ඉතිරි වෙයි.

මේ හැම තැනකම ඇත්තේ ආදරයයි. හැම තැනම ආදරයෙන් පිරී ඇත. ආදරයෙන් පිරී ඉතිරී ඇත. එබැවින්ම හැම දෙයක් දැනේ එක දෙයක් වගේ.


වෙනදා ගීත ගැන යම් ගැඹුරකට කතා කරණ මම අද මෙවන් සොඳුරු ගීතයක් දැක කතා නොකරමින් යන්නේ එය අපගේ මුඛ්‍ය කතාවට බාධාවක් වන බැවිනි.

එදා ඒ සමහර චරිත, අදද සක්‍රියව සිය කාර්යයන් ඉටු කරයි. 

එදා සක්‍රිය සමහර චරිත අද අක්‍රිය ( මා හිතන හැටියට ) මරණයේ තුරුල්ලේ නිදා සිටී. 

එදා සක්‍රිය සමහර අය, මිය නොගියත් මිය ගිය අය සේ අක්‍රිය ව දිවි ගෙවමින් සිටි. 

එදා සේම අදත්, පිරිමි හැඟීම් ඝනීභවණය වී ගැහැණු හිත් වලට රිංගන කළු කුමාරයා තවත් ගැහැණියකගේ හදවතකට රිංගා තමන්ට අවැසි අයුරින් ඇයව හසුරවනු හැකි සේ මේ මොහොතේද සුදුසු ගැහැණු හිතක් හොයමින් කොහේ හරි සිටී.

ඒ සියල්ල අතරේ, තවමත් ආදරය එදා සේම මේ කොහේ හරි පවතී. හරි ඇත්ත ආදරය ඇත්තේ කා ළඟද කොතැනකද නොදන්නේ වුව, කා ළඟ හෝ, කොහේ හරි හෝ පවතී.
එපමණක්ද?


අපි චිත්‍රපටයේ එනමින් එන අතිශය සොඳුරු ගීතය අසා හිඳිමු. 



සඳරැස් ට වඩා විද්‍යා තව ටිකක් හුරු බුහුටි වුණා නම් මරු.
 මොකද විද්‍යා ඉදිරියේ සඳරැසා තරමක් සිඟිති පෙනුමකින් යුක්තය.
සඳරැස් සිංහල වීම විද්‍යා දෙමළ වීම වැනි දේ ගැන සමහරු කතා කර තිබෙනු දුටිමි. මට නම් ඔවුන් සිංහලදෙමලද යනුවෙන් හිතුණේ එතුළද පසුවද එය කියවන බැවිනි. මට නම් හිතුනේ ඒ අපි අපි කියාය. අපි අපි කිව්වේ ජාතික සංහිඳියා ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙක් වශයෙන් මෙය ඒ සඳහා මාර ෆිල්ම් එකක් වගේ අදහසකින් එහෙම නොවේ.
කුමන ජන වර්ගයක වුව, ඔවුන් රඟ දක්වන කතාව අපේ වන බැවිනි.
අච්චර දැවැන්ත යශෝධා හංගා තබා, පියරු බබෙක් වැනි අමීශාව ( අර්ජුන් කමලනාත්ගේ බිරිඳ බැවින් ??? ) ඉදිරියට ගැනීම වරදකි. 
මේ ගැන බොහෝ අයගේ අදහස් දැක්කෙමි. මටද ඊට පෞද්ගලික මතයක් වෙයි. එහෙත් එය බොහෝ අය දැරූ ඒ මතයට වඩා යම් වෙනස් එකකි. එය කියන්නට මෙය අවස්ථාව කර නොගනිමි.
ඉතින් තව බොහෝ දේ.
තව බොහෝ දේ. 
මේ හැර මේ චිත්‍රපටය සංවේදී හදවත් තුළට රිංගා කළ සැහැසි කම් ගැන කිසිවක් නොලියමි. 
සැහැසිකම් යන වචනය වැරදියි කියාද ඔබ කියන්නේ. නැහැ. එය සැහැසි කමක්මය. 
චිත්‍රපටයේ ඇති බොහෝ සංවේදී කම් ලිවීමට මා ව්‍යක්ත මද බව හඟිමින් නොලියමි. 
ඒ ගැන ලියන්නට තරම් මා සංවේදී නැති බව හඟිමින්, නොලියමි. 
ඒ ගැන ලියන්නට මා හැකියාවන්ගෙන් යුක්ත නොවන බව පසක් කර ගනිමින්, නොලියමි. 
වටණා බොහෝ දේ අතුරින් එතරම්ම වටිණාකමක් නැති එහෙත් ජයන්තගේ කාලය දීපය දේසය කුලය මව වටහා ගැනීමේ හැකියාව පිළිබඳව එක් විශිෂ්ඨ ලකුණක් ලෙස පෙන්වූ වෙනත් දෙයක් ගැන පමණක් ලියමි. නමුත් ඒකට ඒමේදී යම් යම් අතුරු කතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවමි.
අපට ගෝචර වන විවිධ දැණුම් පද්ධතීන් වෙයි. ඒවා මත පිහිටා අපි විවිධ දේ කරමු. ලොව පවතින රෝගී ප්‍රතිකාර ක්‍රමද එවන් විවිධ දැණුම් පද්ධතීන්ගෙන් පොහොසත්ය.
අද ඇත්ත පවතින්නේ කොහේ කොතැනකද යන්න නොදන්නා බැවින්, අනුගමනය කළ යුත්තේ කුමණ ක්‍රමයදැයි විචිකිච්ඡාවක් පවතින කාල වකවානුවක මිනිසුන් තුළ යම් යම් ගැටළු සහගත තත්ත්වයන් ඇති වුව, විවිධ දැණුම් පද්ධති මත පදනම් වූ විවිධ ක්‍රම එකම දේකට තිබිය හැකි බව බොරුවක් නොවේ. 
හැම දෙයක් දැනේ එක දෙයක් වගේ යනුවෙන් ආදරය සම්බන්ධයෙන් ජයන්ත කියන ඒ දේ ඒ අනෙකුත් දේ සම්බන්ධයෙන් නොවීම ගැන අප කණාගාටු විය යුත්තේ අපට දැන් ඇත්තේ විවිධ අත් වල පිහිට ලැබෙන්නට තිබූ ඉඩක එක් අතක පිහිට පමණක් නිසා වන බැවිනි. 
බොහෝ විට, ගුරු මුෂ්ඨිය සහ විවිධ කුහකත්වයන්ගෙන් සමාජය මදින් මද පිරීම නිසා එයින් අඩුවෙන්ම කිලිටි වූ දේ පවතිද්දී එයින් වැඩියෙන්ම කිලිටි වූ දේ බැහැර වීම නිසා ය ඒ තත්ත්වය ඇතිව ඇත්තේ. ඉතිරිව ඇත්තේ හොඳම දේද යන්න කිසිවෙකුත් නොදනී. නමුත් ඉතිරිව ඇත්තේ වඩාත් විශ්වාසදායක දේය යන අදහස දැඩි බැවින් ඊට යොමුවීමද එසේමය. යමකට යමෙක් යොමු වන්නේ විශ්වාසය මතය. විශ්වාසය දැඩි වූ විට යොමුු වීමද වැඩිය.
චිත්‍රපටයේ විද්‍යා සිය අතීතය මතක් කරමින්, තමන්ගේ මූලික පදනම වන බටහිර වෛද්‍ය විද්‍යාවද අපහසුවට ලක් නොකරමින් ඒ අනෙක් පැති ගැන ඉඟියන් ලබා දෙයි. එහෙත්, අනතුරුව වන්නේ කුමක්දැයි ජයන්ත අපට නොකියයි. සඳරැස් සිය බිරිඳ රැගෙන එවන් තැනකට ගොස් සුව කරගන්නේද ඇත්තටම නම් සඳරැස් ට එවන් තැනකට ගොස් සුව කරගන්නටත් ඊට නිසි දිව ඔසුවකුත් තිබිය යුතු වෙයි. විද්‍යාටද කලුකුමිර දිෂ්ඨිය සුව වන්නේ ඒ දිව ඔසුවෙන් මිස අර කී වෙනත් දැණුම් පද්ධතියකින් මතු වූ ප්‍රතිකාර ක්‍රමයකින් නොවේ. එහෙත් විද්‍යාට ඒ දිව ඔසුව ලැබුණේ අර ස්ථානයේදී වීම පමණි එසේ නම් එහි ඇති වැදගත් කම. එහෙත් එක් දෙබස් ඛණ්ඩයක් නිසා ස්ථානයේ ඇති ආනුභාවය සුළු කොට තැකිය නොහැකිය. 
මෙහි ඉන්න මේ හැමෝම සුව කළේ මම. හැබැයි මේ දරුවව සුව කළේ නම් මම නොවෙයි.
කතාවේ හැටියට ඇයව සුව කළා යැයි අනුමාන කළ හැක්කේ අපට නොපෙනෙන නොහැඟෙන අන් බලයකින් නොවේ. අපට දැනෙන හැඟෙන මෙහිම පවතින දෙයකිනි.
අර අපිට නොපෙනන, පෙනෙන දෙයින් පැහැදිලි කළ නොහැකි බලයන් ඇති සැබෑ තැන කුමක්ද? ඒ බලය සතු සැබෑ අය කොහිද? කවුරුද යන්න සොයා ගැනීමට ඇති අපහසුව සේම, ජයන්ත මෙහි මතු කරණ දිව ඔසුව ඇත්තටම ඇත්තේ කොහිද? කවුරුන් ළඟද යන්නද වත්මනේදී දැවෙන පැණයකි. එයද පසෙකට තබමු.
ජයන්ත සමනළ සංධවනියේ
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා 
යන්න අතිශය සංවේදී ලෙස සංඛේතවත් කරන්නේ කුහුඹුවෙකු සිය බිජුවට රැක ගන්නට වෙහෙසෙන අයුරින් රැකි එක්තරා සංඛේතයකිනි. එ නම් අර මග වැරදුනු පෙම් හසුනයි. 
වෙනත් කෙනෙක් වෙනත් කෙනෙකුට ලියූ මග වැරදුනු පෙම් හසුනකින් තවත් කෙනෙකුගේ මග වැරදිය හැකිදැයි කෙනෙකුතුළ  සැකයක් ජනිත කළ නිසාදෝ සමනළ සංධවනියට පාදක වූ වස්තු බීජයේ තරම සමහරුන්ට නොව බොහෝ අයට නොවැටහුනා දැයි මට හැඟේ. ජයන්ත ඒ නිසාමද නැති නම් වෙනත් හේතුවක් නිසාද නොදනිමි, මෙහිද එවැනිම කුහුඹු බිජුවට අපට පෙන්වයි.
වරෙක අර සංවේදී අතීත පුවත රැගත් පැරණී පුවත් පත අපට දනවන්නේ දෙබස් වලින් කියන්නට සිදු වුවහොත් බොහෝ දිග කතාවක් ඉතා කෙටියෙන් එහෙත් ප්‍රේක්ෂකයින්ටද දැනෙන ලෙස කියා ගන්නට අදියරු යෙදූ ප්‍රායෝගික උපක්‍රමයක් ලෙසයි. එහෙත්, විද්‍යා තම ප්‍රථම ප්‍රේමයෙන් ලද ප්‍රථම තිලිණය එතුළ බහා ගෙන ඇතැයි සිතූ කිසිවෙකුත් නොවන්නට ඇත. එය ප්‍රේක්ෂක හදවත් සසලන්නට ඇති වග නම් නිසැකය. අඩු වටිණාකම් සහිත කුඩා තිළිණයකි එය. ජයන්තට එවැනි කුඩා සංඛේතයක් දැවැන්ත වැඩකට වුව සෑහේ. සැබෑ ලෝකයේ එවැනි කුඩා සැමරුම් දැවැන්ත මතකයන් සමගින් සුරකින බව අපි දනිමු. එහෙත් චිත්‍රපටයේදී එය තබාගෙන සිටියේ විද්‍යා නොවේ යැයි මට සිතේ. සමනළ සංධවනියේදී බොහෝ ප්‍රේක්ෂකයින් විසින් වටහා නොගත්, එබැවින්ම දැවැන්ත චිත්‍රපටයක් සඳහා දැවැන්ත පෙනුමැති නිමිත්තක් ම අවැසි යැයි සිතා සිටි අයට ඉතා කුඩා සංඛේතයක් ප්‍රබල හැඟුම් දනවන අවස්ථාවකට ඇති පදමින් සෑහේය යන පණිවිඩය දීම සදහා ජයන්ත විසින් තබාගෙන සිටි එකකැයි හැඟේ.
ඉතිං ඒ ගැනද තව නොලියමි. කළ නොහැකි දේ නොකළ යුතු බැවිනි.


මේ සියල්ල අස්සේ ජයන්ත කාලය දීපය දේසය කුලය මව වටහා ගැනීමේ මනා ශක්තියකින් යුතු අයෙකැයි මා කීවේ අනෙකක් නිසා නොවේ. මේ කතාවේ ඒ අනුහස් ඇති තැන කතෝලික හෝ ක්‍රිස්තියානි දේවස්ථානයක් ලෙස තෝරා ගැනීමත්, උතුම් මිනිසා පියතුමකු ලෙස තෝරා ගැනීමත්ය.
ස්ථානය පන්සලක් වූවා නම්, උත්තම මිනිසා හාමුදුරුනමක් වූවා නම්,අද අපට කරන්නට සිදු වෙන්නේ වෙනත් කතා බහකි.
එසේ නම්, ජයන්තගේ ඝරසරප ද අර මා කියූ අනුග්‍රහාකත්වය ලබන හෝ අනුග්‍රාහකත්වය ලබන්නා සේ පෙනෙන කුලකයට ගොනු වනු ඇත. එහෙත් ජයන්ත ඉන් හාස්කමකින් මෙන් ගැලවී ඇත.
පිරිමි බීජ වල සුවඳ වෙරළු මල් වල සුවඳට සමානය යන අදහසින් වෙරළු මල් පිපිලා යන කුමාරි අක්කාගේ ගීතය ලියූ රත්න ශ්‍රී රත්න ශ්‍රී ගේ වෙසෙස් උත්සවයකදී සිය ඉදිරිපත් කිරීම් කරමින් සමන් අතාවුද හෙට්ටි කීවේ, රත්නේ, උඹ නම් යකෙක් කියායි.
ඒ හැඳින්වීම මෙහි යොදන්නට සමන් අයියාගේ අවසරය අනවැසි යැයි සිතමි.
ජයන්ත, උඹ නම් යකෙක්!


-      යසනාත් ධම්මික බණ්ඩාර     -

Sunday, September 16, 2018

යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද




මිතුරු හමුවක ආරම්බක දසුනක් මවා ගන්න.

එකෙකුට පසු එකෙක්ද, දෙතුන් දෙනාගේ කණ්ඩායම් වශයෙන්ද මිතුරන් පැමිණෙනු පෙනේ.

සමහරු ආයුබෝවන් කියාගෙන පැමිණෙයි. සමහරුන් හායි මචං හව් ආර් යූ කියාගෙන පැමිණෙයි. 

තවත් සමහරු ඉතින් ලොක්කා කොහොමද කියාගෙන පැමිණෙයි.

සමහරු පැමිණ මිතුරන් අතින්  අත ගෙන මදක් ආ ගිය තොරතුරු කතා කරති. තවත් සමහරු සිප වැඳගෙන ආ ගිය තොරතුරු කතා කරති. අනතුරුව වට මේසයේ වාඩි වෙති.
මා මෙහි වට මේසයක වාඩි වෙනවා යැයි කීවාට එය එවැනි තැනක්ම විය යුතුම නැත.

සමහර විට ඒ ගං ඉවුරක හෝ  ඒ වැව් පිටියක හෝ විය හැකිය.

වන රොදක හෝ ගල් තලාවක හෝ විය හැකිය.

මිතුරන් විවිධය. 

මිතුරු ඇසුරු කිරීම් ද විවිධය. 

ඇසුරු කරණ මිතුරන් අතරේ වන මේ හමුවීම් ද විවිධය. 

මේ විවිධ හමු වීම් අතරේ මධු සාද එතරම් දුලබ නොවේ. එමෙන්ම මධු සාද ම නොවුණත් සාදයකට මධුවිතකුත් එකතුවීම ද දුලබ දෙයක් නොවෙයි.

මිතුරන් හමු වී පවත්වන මෙවන් සාදයකදී මධු විතකුත් ඇති නම් සමහරු ඊට බොහෝ ප්‍රිය වෙයි. එහෙත් සමහරුන්ට එය අප්‍රිය ය. 

මධුවතට ප්‍රිය නොකරණ  අයට වුව රැඳී හිටියාට පාඩුවක් නොවෙන දෙයක් මධුවිතද මුසු සාදයක් ගැන කතා කරමින් අරඹන මේ සටහනේ යම් තැනකදී ඔබ වෙත දෙන බවට මම මෙතැන දී පොරොන්දුවක් දෙමි. එහෙත් ඒ පොරොන්දු පිළිබඳ විශ්වාස නොකරන්නෝ මෙහි දී මධු විතෙහි ආදිනව පිළිබඳ පාඩම් කියා නොදෙත්වා. එය සැවොම දන්නා බැවිනි. මේ නොදැන කතා කිරීමක් නොවේ. ඒවා දැනගෙන කථා කිරීමකි. එසේ අවැසි මහත්වරුන් සිටී නම්, මහත්වරුණි, මගේ වේදිකාවේ මේ මොහොතේ මට කතා කිරීමට අවැසි වන්නේ එය නොවේ. එබැවින් ඒ කත පසුවට තබා මේ කතාවට සවන් යොමන්න.

මධු විත තොළ ගාන්නෝ එය කරන්නේ එහි අන්තයට ගියහොත් වෙන ආදිනව නොදැන වේ යැයි මම නොසිතමි. එහි කොතෙකුත් ආදිනව තිබුණද ඔවුන් ඉන් හොයන යම් දෙයකුත් වන බැවිනි. ඒ යම් දෙය කුමක්ද යන්න මෙහිදී පහදා දීමට නොයමි. එය පහදා දීමටත් අපහසුය.

ඔවුන් හොයන ඒ දේ ඇත්තටම එහි වේද නොවේද යන්න ගැන ඔබේ තර්කයක් වේ නම් මම එයට ගරු කරමි. නමුත් මේ ඒ ගැන තර්ක විතරක් කිරීමට අවස්ථාව නොවේ. එය හොඳය කීමට හෝ නොහොඳය කීමට මම මෙවේලේ වචන එකතු නොකරමි. මට කීමට අවැසිව ඇත්තේ වෙනත්ම කතාවකි.

ඒ අර හමුවීම් ගැනය. එහි විවිධ පැතිකඩයන් ගැනය. ඒද, ඒ ගැනම කතා කිරීමට නොවේ. වෙනත් කතාවකට එය අවැසිම වන බැවිනි.

එක් වූ රොක් වූ මිතුරන් කතා බහේ යෙදෙද්දී සමහරුන් මිතුරෙකුය කියන සමහරුන් සතුරෙකිය කියන අර සාමාජිකයා මෙහි වඩී. 

ඒ සාමාජිකයා නම් මධුවිතය.

එකමුතුවේ සමහරුන් සිය බඳුන් මධු විතෙන් පුරවා ගනී.  සමහරුන් මධු විත නොගෙන ඒ සදහා ගෙනා මුසුවෙන් සිය බඳුන් පුරවා ගනී.

සමහරුන් දෙකම ප්‍රතික්ෂේප කරමින් මිතුරු ඇසුර පමණක් ලබමින් සතුටු වෙයි.

පළමු වඩියට පෙර සැමට සුබ පතා ගනු ඇත. සමහර විට දෙවන තුන්වන වඩියද එකට ගනිමින් පොදු මාතෘතාවක් පිළිබඳව කතා බහ කරණු ඇත. අනතුරුව ඇරඹෙන්නේ කුඩා කණ්ඩායම් සැදෙමින් කෙරෙන කතා බස්ය. ඒවාට මිතුරන් කියන්නේ මීටිම අස්සේ පොකට් මීටින් කියායි.

කෙනෙකු රැකියාවේ ඇති ගැටළු සහ එහි ඉදිරිය ගැන කතා කරණු ඇත. එහි ඉහළට යන්නේ කෙසේද? පහළට ඇද දමන්නට වලිකන වුන් පරාජය කරුණුයේ කෙසේද ආදිය පිළිබඳව විමසමින් විසඳුම් සොයනු ඇත.

තවත් කෙනෙකු රට ජාතිය ආගම ලැබූ පරාජයන් සහ ඉන් එ්වා මුදවාගත හැක්කේ කාටද කෙලෙසද ආදිය ගැන කතා කරමින් වාද විවාද වලද යෙදෙනු ඇත.

තවත් පිරිසක් ගේහසිත දිවියේ තමන් ලබන විවිධ අත්දැකීම් ගැන කියනු ඇත. 

පෙමින් බැඳී සිහින මැවූ දිවිය කොළයකට අත්සනක් යෙදූ සැනින් අතුරුදන්ව ඇන බැණ ගැනීම් වලින් වැසී ඇති සැටි සමහර විට එහි කියැවෙනු ඇත. තවත් සමහරෙක් ඒ අන් කතාවල ජීවත් වන බිරියන්ට වඩා සොඳුරු බිරියක් තමන්ට ලැබීම පිළිබඳව සිය සතුට පළ කරණු ඇත.

ව්‍යාපාරවලට ළැදි පිරිසක් එහි නව ප්‍රවනතා බිඳවැටීම් ආදිය පිළිබඳව කතා කරමින් අනාගත ඉලක්ක ජය ගනු හැක්කේ කෙසේදැයි කතා කරණු ඇත.

මේ අතරේ තවත් පිරිසක්, අකල්හි මිය ගිය සිය කුළුඳුල් පෙම හෝ ජය ගත නොහැකි වුණු පළමු පෙම නොවූවද තමන්ට වඩා දැනුනු ප්‍රේමය පිළිබඳව කතා කිරීමට කාලයක් ගනු ඇත.

තවත් පිරිසක් මද පමණින් මත්ව කුල්මත්ව ගීයක් මුමුණනු ඇත. එහි ඇති තට්ටු කළ විට සංගීත නාදයක් ඉපැද්දවිය හැකි කුමණ හෝ දෙයක් යොදා ගෙන එය සංගීතයෙන් හැඩ කරණු ඇත. ටිකෙන් ටික අන් පිරිස් ද අනතුරුව ඊට එක් වනු ඇත.

තවත් මධුවිත පිරෙනු ඇත. රස විත් උතුරනු ඇත. රිද්මය වැඩි වනු ඇත. ගැයුම් මැද වැයුම් මැද රැඟුම්ද ඇරඹෙනු ඇත.

මේ අත්දැකීම් නොලද්දෙක් වේද? නොවින්දෙක් වේද? තමන් ඊට සහභාගි වන මට්ටම මිස එවන් අත්දැකීමක් නොලද්දෙක් නොසිටුනු ඇත.

මට මේ විදිහට මිතුරු හමුවක් පිළිබඳ කතා කරන්නට සිත් වූයේ මෑතකදී අසන්නට යෙදුනු අපූරු ගීතයක් හේතුවෙනි. එහි කියැවෙන්නේද මෙවැනිම වූ අතීත මිතුරු හමුවක සුන්දර මතකයක් පිළිබඳවය. නමුත් ඒ අතීත සුන්දර මතකය වර්තමානයේදී මතකයක් පමණක්ම වන බැවින් එය සිතට ගෙන එන්නේ එක්තරා ශෝකාකූල බවකි.

ගීතය ඇසූ මුල් වතාවේම එය මගේ සිත තදින් පැහැර ගත් අතර සුන්දර මතකයන් මැද මගේ සිත මොහොතකට වේදනාවෙන් පුරවා අතහැරියේය. අනතුරුව එළඹුනේ එය යළි යළිත් ඇසීමේ කැමැත්තය.

මා මේ ගීතය මුළින්ම ඇසුවේ මගේ ප්‍රිය මිතුරෙකු සමග ගල් සීතල බීර බඳුනක් තොළ ගාන අතරේමය. බීර ( හෝ මධුවිතට ) අප්‍රිය අය කමත්වා. මම නම් ගල් වෙන තරම් සීතල බීර බඳුනක් තොළ ගාන්නට ප්‍රිය අයෙක්මි.

අපටද මෙවන් මිතුරු සමාගම් යම් යම් අවදිවල සිට ඇත. විවිධ හේතූන් මත ඒවා විසිර ගොස් ද ඇත. මා කී ඒ මිතුරා මට සිටි එවන් අවසන් මිතුරු සමාගමෙන් ඉතිරි වූ තුන් හතර දෙනාගෙන් කෙනෙකි. එදින මිතුරු සමාගමෙන් ඉතිරි කිහිප දෙනම කැඳවීමේ අවස්ථාව නොලද්දෙන් එහි මතකයන් අවදි කරමින් අප දෙදෙනා හෝරාවන් කිහිපයක් ගෙවා දමන විටදීය, ගල් සීතල බීර වඩි කිහිපයක් හිස් කරණ විටදීය ඔහු මට මේ ගීය අසන්නට ලබා දුන්නේ.

එම ගීතයේ මිතුරු හමුව අවන්හලකදී හෝ මිතුරෙකුගේ නිවසකදී හෝ සිදු වූවක් නොවේ. එක් අතිශය සුන්දර එළිමහනක සිදුවූවකි. ගීත රචකයාට ගීය ලිවීමට නිමිත්ත වූ අත්දැකීම ඔහුට ලබා දුන් ඒ අති සුන්දර එළිමහණ අන් තැනක් නොවේ. සුන්දර කලා වැව් ඉවුරයි. කාලය රාත්‍රියයි. 

රාත්‍රි කාලයේ කලා වැව් ඉවුරේ මිතුරු පිරිස් සමග මෙවන් සැඳෑවන් වරක් දෙවරක් නොව කිහිප විටක් විඳීමේ අවස්ථාව මා ලද්දේ, එහි අසිරිය පිළිබඳව මට නම් අරුමයක් නොවේ. කලා වැව සේම සුන්දර නොවුණත්, කලා වැවේ සහෝදර රාජාංගනය වැව මට එම රස පහස දුන් වාර ගණන කීයක්දැයි මට අමතකය. එහි සුන්දරත්වය කෙසේද කලා වැවේ සුන්දරත්වය ඊට වඩා බොහෝ ය.

එහෙත් එය නොවිඳි අයෙකුට එය විඳින්නට හිතෙන තරමින් ගීතය රසවත්ව ලිව්වේ එම පරිසරයේම පහස ලැබූ කවියෙකි. ඔහු නමින් ප්‍රසන්න ආරියරත්න ය. ඒ සොඳුරු පරිසරය ඔහුට කවි කම්ද සංවේදී කම්ද දුන් බව නොකියාම බැරිය. ඒ පරිසරයේ ඇති වුණු මිතුරු බැඳීම් කොපමණ නම් සුන්දර වන්නට ඇතිද? කොතරම් නම් රසවත් වන්නට ඇතිද? යම් හේතූන් මත ඒ බැඳීම් දුරස් වූ දා සමහර විට එය වැඩියෙන්ම දැනුනේ ඔහුට විය හැකිය. ඒ අන් දෙයක් නිසා නොවේ. ඔහු කවියෙකුද වූ බැවිනි.

ඔහු සිය මිතුරු සමාගමෙන් වරෙක පැණයක් අසයි. තවත් විටෙක ඇරියුමක් කරයි. මේ සෑම අයුරකින්ම ඔහුගෙන් පළ වන්නේ එකම දෙයකි. ඒ එවන් මිතුරු සමාජයකින් දුරස් වීමේ සොවයි. 



හඳපානක කලා වැවේ අසිරිය මතකයිද
අද හවසට මුණගැහෙන්න වෑකන්දට එමුද
යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද
එදා වගේ ගෙදරින් පැන ගන්නට හැකිවේද


පුළුවන් නම් අද හවසටත් ඔවුන් එහි එනවා නම් ඔහු ඊට සූදානම්ය. එහෙත් එදා මෙන් අද ඔවුනට ඒමේ හැකියාව ඇතිද, නැති නම් ඒ මන්ද?

ඒ පැණයන් ද්වයට ඇත්තේ විවිධ වූ පිලිතුරුය. එකක් දෙකක් නොවේ.

එක පිලිතුරක් වීමට ඇත්තේ අද වන විට ගමෙන් නගරයට හෝ කොළොම් තොටට ගිය ඈයින්ට මෙතරම් දුරක් ගෙවා පැමිණිය නොහැකි වීමය.

තවත් කෙනෙක් සිය රැකියාව හෝ ව්‍යාපාරය හෝ නිසා බොහෝ සෙයින් බිසී වී ඇත.
තවත් කෙනෙක් වැටී සිටිනුයේ ආර්ථික අවපාතයකය.

තවත් කෙනෙකුගේ දරුවන්ට ක්ලාස් නිසා එන්සෑම් නිසා ස්පෝර්ට්ස් ටූන්මන්ට් නිසා, ඩාන්සින්, මියුසික් ප්‍රැක්ටිස් නිසා පැමිණිය නොහැකි විය හැකිය.

මවු පියන්ගේ අසනීපයන් නිසා පැමිණිය නොහැකි අයද සිටිය හැකිය.

තවත් කොකෙතුත් පිලිතුරු නම් ඊට සෙවිය හැකි? ඒ සියල්ලම නැතත්, බිරිඳගේ අවසරය සීමාකාරී සාධකය වන අවස්ථාවන් කොතෙක්ද? 

මෙවන් මිතුරු හමිවීම් වල ඇති සුන්දරත්වයෙන් දුරස්ථ මනසකින් යුතු බොහෝ බිරින්දෑවරු ඔවුනට ලබා දෙනු ඇත්තේ හිත රිදවන පිලිතුරුය. බිරිඳගේ නොකැමැත්ත පිට පැමිනීම දින කිහිපයක් නිවසේ සාමය අහෝසි වීමට ඇති ඉඩ කඩට බිය බොහෝ සැමියන් තමන්ට එසේ නැතත් අර ඉහත පිලිතුරු වලින් එකක් හෝ කිහිපයක් කියා අවස්ථාව මගහරිනු ඇත.

ඒත් හැම බිරිඳක්ම එමෙ නැති බව කියන්නේ මගේ බිරිඳගෙන් බේරීමට නොවන බවද කියමි.

යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද

යන්නෙන් මේ අනුව අදහස් වන්නේ ගමනේ දුරම නොවන බව අපට වැටහේ.

එදා නම් ඔවුනට ගෙදරින් පැන ගන්නට ඒ තරම් අඩවු ඇල්විය යුතු නොවුණි. එහෙත් අද නිවසින් පැන ගන්නට එලෙසින්ම හැකි වේද? එබැවින්ම අල්ලපු වැටේ සිටියත් ඔවුන් මහ දුරක සිටින්නන් බවට නිතැතින්ම පත් වෙයි.

යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද
එදා වගේ ගෙදරින් පැන ගන්නට හැකිවේද

යනුවෙන් ඔහුට අසන්නට සිතූ කාරණයේ ඇති ගැඹුර මතුවන්නේ එබැවිනි. නැති නම් නිකන්ම දුර නිසා එන්නට බැරිය යන සමාව තුළ ඔහු එය අමතක කරන්නට තතනනවා නොවේ.

මා පෙර කී සොඳුරු මිතුරු හමුවන්ගේ ඇති සියළු අංග ඔහු මෙම ගීතයට ඇතුළත් කර ඇත්තේ විශ්මය දනවන අයුරිනි. යම් දෙයක සිද්ධියක සුන්දරත්වය විඳින සැමටම එය අන් කෙනෙකුට දැනෙන අයුරින් නැවත කීමේ හැකියාවෙන් යුතු නොවේ. එහෙත් අප කවියා එය ඉතාම සොඳුරු මට සිලිටි අයුරින් එක් අංගයක් නෑර නියමෙට විස්තර වන අයුරින් කවි කර ඇත.

විසුළු කතා කවට සිනා දෝර ගැලූ ඉවුරේ
පමණට මත් වූ බමරුන් ගී මිමිණුව අඳුරේ
රජ වෙන හැටි කතා කළා දකින සිහින මැදුරේ
කුළුඳුල් පෙම ගැන දෙඩුවා සමහරු ඒ අතරේ

මා පෙර කළ විස්තරයට මෙය කොතෙක් නම් ගැලපේදැයි ඔබම සිතන්න. මෙවන් මිතුරු හමු වලින් යම් කලක හෝ ඔබේ ජීවිත පිරී තිබෙන්නට ඇත. ඒවාගේ ඒ සියල්ල තිබුණේ නොවේද?

මෙවන් මිතුරු හමු බහුල යුගයන් කිහිපයක් මගේ ජීවිතයේ හඳුනාගත හැකිය. ඔබේ ජීවිතයේත් එවන් හමු මෙනෙහි කරන්න. වරක් පමණක් ඇසීමෙන් මා මේ ගීතයේ යාවජීව රසිකයෙකු බවට පත් කළේ එවන් හමුවලින් මා විඳි සොඳුරු හැඟීම් සමුදාය නිසාවෙනි. ඒ සර නිසාවෙනි. ඔබ එයට බැඳුනේ නම් ඒත් ඒ නිසාම විය යුතුය.

උසස් පෙළ නිමා කොට යම් කාලයක් මා ගුරු වෘත්තියට පිවිසීමේ අදහසින් ආ ගිය සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨය එවන් එක් තැනකි. එහි නීතියට අනුව මෙවන් හමු තරණම් වුව, තහණම නොතකා අපිට එවන් හමු උදා විය. සියනෑව තුළමද, ඉන් පිටතදීද එවන් හමු හමුවිනි.

ඊ ළඟ කාලය උදාවෙන්නේ සියනෑව තුළ සිටියදී හොරෙන් හොරෙන් පංති ගොස් යළි උසස් පෙළ කොට වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ වන්නට වරම් ලබා අනතුරුව එළඹි සමයේදීය. එයද අති සුන්දර කාල වකවානුවකි. 

අපේ හමුවීමේ ප්‍රධානම තැන වූයේ කුරුණෑගල නගර මධ්‍යෙය් පිහිටා තිබෙන වැව රවුමය. 


එකල එය එතරම් ජනාකීර්ණ වටපිටාවක් නොවුණි. 

රාත්‍රියට ඒ පැත්තට ගිය අය බොහෝ අඩුය. ගියා නම් ගමනක් ගොස් රෑ බෝවී ඒ හරහා ගෙදරට ගිය වුන්ය. නැති නම් අපි වැනි විනෝද වන්නට ගිය පිරිස්ය. නැති නම් හොරුන් මං පහරන්නන්ය. අද නම් තත්ත්වය ඊට වඩා වෙනස්ය.

හොරු හොරු කියා සමහරුන් විසින් පන්නා දැමූ අය ආණ්ඩු කළ සමයක බොහෝ දුරට වැඩ අවසන්කොට තිබූ පසුව ඉතිරි සොච්චම නිම කර අලුත් අය සිය නම් ගම් තබා බෝඩ් ගැසූ අති සුන්දර වැව රවුමකි අද එය.

පසුව රාගම වෛද්‍ය පීඨයේදීද ජ-පුර සරසවියේදීද මෙවන් කුලකයන් හමු විය. ජ-පුර සරසවිය නිසා නුගේගොඩ අවට කරක්ගසන්නට යෙදුනු ඒ යුගයේ මමද කලාවට යම් මට්ටමක නෑකමක් ඇති කර ගන්නට සමක් වූ බැවින් අනතුරුව බොහො මෙවන් රසවක් සැඳෑවන් ගත කළේ කලාබර මිතුරන් සමගය.

පසුව මීගමුවේ මා සීමා වාසී කාලය ගෙවද්දීය. අනතුරුව තඹුත්තේගමද, කරවනැල්ලේද, යළි තඹුත්තේගමද සේවය කරද්දීය.

එහෙත් ඒ බොහෝ සමාගමයන් අද නැත සමහරුන් අද එහි නැත. සමහර සමාගමයන් තුළ අප නැත.

කාලය අප වෙනස් කළා ගතත් සිතත් බැඳ දා
ළෙන්ගතු කම් දොඩමළු බස් යළි මැවේද කවදා
එක වරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා
වැව් කුමරිය බලා හිඳී අපි දකින්න සැමදා

මේ 

කාලය අප වෙනස් කළා ගතත් සිතත් බැඳ දා 

යන්න ගැන වුව කිව හැක්කේ පසුව අප බැඳුනු බොහෝ බැඳුම් වලින් අපගේ සමාජ ජීවිතය අවලංගු වුණු හෝ වන ආකාරයයි. ගේහසිත දිවිය වේවා, රැකියාව ව්‍යාපාරය වේවා අපව බැඳ තබමින් අපගේ නිදහස අහෝසි කරණ ආකාරයයි මේ. මේ තත්ත්වය අවාසනාවට වෙනස් කරන්නට අසීරු තරමින් වෙනස් වී හමාර යැයි මට සිතේ. බොහෝ අය ජීවිතය විඳිනු වෙනුවට විඳවන්නේ මෙවන් බැඳීම් වල අනවශ්‍ය දෘඩ ගති හේතුවෙනි.

කෙසේ වෙතත් එවන් සොඳුරු මිතුදම් යළි මතක් වන විට තවත් වරක් හෝ හමුවීමේ ඔහුගේ උවමණාව, අභිප්‍රාය

ළෙන්ගතු කම් දොඩමළු බස් යළි මැවේද කවදා

යන, ඔහු ප්‍රාර්ථනා කරණ, එහෙත් ඉටු වේද නොවේද අවිනිෂ්චිත උවමණාව විසින් ඔහු හදින් කවි වූ වැකි අප සිත්හිද ඒ පැතුම ජනිත කරණුයේ හද තුළ ශෝකයක්ද ජනිත කරමිනි. එවන් හමුවක් ජීවිතයට ඉක්මණින් අවැසි යැයි හිතෙන තරමට නිර්මාණය හරහා අපව ඇද බැඳ ගන්නට සමත්ව ඇත.

එකවරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා

යන්නෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ, ඊ ළඟ පොහෝ දින හැකි නම් සෙට් වන්නට අවැසි සංවිධාන කටයුතු තමන්ට කළ හැකිය යන්නය.

දැන් කෙනෙක් පොහෝ දින මිතුරු හමු පවත්වන්නට සුදුසුද යනුවෙන් අසන්නට හැකිය. එය සුදුසු වුව, නුසුදුසු වුව, දැන් දැන් බොහෝ එවන් මිතුරු හමු පැවැත්වෙන්නේ එවන් විශේෂ දිනවලය. එහි අදහස කවියා පොහෝ දිනයක්ද දා, අවුකනට පිටුපා, කලා වැව් ඉවුරේ මධු සාද පැවැත්වීමකැයි පටු විවරණයක් නොකළ යුතුය. ඔහු ඉන්ද අදහස් කරණුයේ අප හිරවී සිටින ආකාරයය. එවන් දිනයකම මිස අන් දිනයක් යොදා ගැනීමට අප විසින්ම නිදහස අහිමි කරගත් මේ සමාජයේ දැන් ඉඩක් නැත.

වැව් කුමරිය බලා හිඳී අපි එනතුරු සැමදා

මේ හමු වීම වේද නොව්ද යන්න කීම තරමක් අසීරුය. ඒ සඳහා බොහෝ කරුණු කාරණා ඉටු විය යුතු වෙයි. එහෙත් කවියා හැමදාමත් හිතන එක් දෙයක් වෙයි. එනම්,
ඒ අතීත හමු නිසා මේ වැව් කුමරිය පවා මහත් සතුටක් ලබන්නට ඇත....
යන්නය. 

එබැවින්ම ඔවුන් යළි කෙදිනක හෝ පැමිණෙන තුරු වැව් කුමරිය බලා සිටිනවා යැයි කීමේ වරදක් නැත.


 ප්‍රසන්න ආරියරත්න 
කවියා ගේ මේ සුන්දර ගීත රචනය හොඳින් වටහා ගන්නා සංගීතඥයා වන්නේ  


නාලක අංජන කුමාර 
ය. නාලක අංජන කුමාර ට ඔහුගේ හැඟීම් වටහා ගන්නට ඉතා පහසු වන්නේ ප්‍රසන්න ගේ මේ අත්දැකීම අනිවාර්යයයෙන්ම ඔහු ද විඳ ඇති නිසා විය යුතුමය. නාලක බොහෝ කලායක් හිටියේ රජරට අනුරාධපුරයේය. අවමයෙන් කලා වැවේ නැතත්, තිසා වැව් ඉවුරේදී, නුවර වැව් ඉවුරේදීවත් ඔහු මේ අත්දැකීම විඳ තිබිය යුතුමය. එබැවින් ඔහු කළ සංගීතයේ රචකයාගේ මේ හැඟීම වඩාත් හොඳින් මතුවීම අරුමයක් නොවේ.

මේ ගීතය ගයන්නේ විශාරද ගායක  

ආනන්ද තිලක් බණ්ඩාර 
ය. ආනන්ද තිලක් බණ්ඩාර ගේ ගැයුම ගැන කීමට පෙර මට ඔහු ගැන අන් යමක් කීමට ඇත.

ඔහු ගායකයෙකු වන විට මම ගීත රචකයෙකු නොවේ. ඔයු යම් යම් ගායනා පටිගත කරන්නට සූදානමින් සිටින අවධියේදී මා ගීත රචනයට අත් පොත් තබමින් සිටි අයෙක් විය. මා ලියූ ගී පද යැයි සැක කළ හැකි නිර්මාණ කිහිපයක්ම ඔහු වෙත යොමු කළ බවද මට මතකය. එහෙත් ඒවා ගී බවට පත් නොවුනි. ආනන්ද තිලක් බණ්ඩාර ගේ මේ ගීය ඇහෙද්දී, මට ඔහු ගැන මහත් කම්පාවක් ඇති වුණි. හිතට ගන්න. අනුකම්පාවක් නොවේ. කම්පාවකි. නිහඩව යමක් කරමින් සිටින මෙවැනි වෙසෙස් ගායන හැකියාවෙන් යුතු අයගේ සෝචනීය ඉරණම මෙය නොවේද යන්නය මා වඩාත් නොසන්සුන් කළේ. මගේ වැටහීමට විඳීමට අනුව නම් ඔහු මෙම ගීතය ඉතා හොඳින්, හැඟුම් බරව සහ රසවත්ව ගයා ඇත. මේ ගීය මතු නොව ඔහු ගැයූ අනෙකුත් ගීත වලද ගායන පාර්ශ්වය ඉතාමත් ඉහළය.

එහෙත් අපි සිටින්නේ දක්ෂතාවයට පමණක් තැනක් ලැබෙන වටපිටාවක නොවේ. ආනන්ද තිලක් බණ්ඩාර ට දෙයක් අඩු නම් ඒ දක්ෂතාවය හැර අවශ්‍ය වන ඒ අන් දේය.
මෙවන් ගීතද, නිර්මාණ ශිල්පීන්ද රැක ගැනීම අපගේ යුතුකමය. ඒ සඳහා අවමයෙන් ඔවුනගේ නිර්මාණ විඳ බෙදා හදා ගැනීම හෝ කළ යුතුය.

මට හැකි පමණින් මගේ යුතුකම ඉටු කළෙමි. ඔබ ඔබේ යුතුකම ඉටු කරනු ඇතැයි සිතමි.
අපි ගීතය අසමු.

හඳපානක කලා වැවේ අසිරිය මතකයිද
අද හවසට මුණගැහෙන්න වෑකන්දට එමුද
යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද
එදා වගේ ගෙදරින් පැන ගන්නට හැකිවේද

විසුළු කතා කවට සිනා දෝර ගැලූ ඉවුරේ
පමණට මත් වූ බමරුන් ගී මිමිණුව අඳුරේ
රජ වෙන හැටි කතා කළා දකින සිහින මැදුරේ
කුළුඳුල් පෙම ගැන දෙඩුවා සමහරු ඒ අතරේ

කාලය අප වෙනස් කළා ගතත් සිතත් බැඳ දා
ළෙන්ගතු කම් දොඩමළු බස් යළි මැවේද කවදා
එක වරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා
වැව් කුමරිය බලා හිඳී අප දකින්න සැමදා


පද - ප්‍රසන්න ආරියරත්න
ස්වර - නාලක අංජන කුමාර
හඬ - ආනන්ද තිලක් බණ්ඩාර

ගීතයට යූ ටියුබ් පිවිසුමක් දැනට සොයා ගත නොහැකි බැවින් දැනට ෆේස් බුක් පිවිසුම සඳහන් කරමි. අපහසුතාවට කමන්න.


මම,

 
 -      යසනාත් ම්මික බණ්ඩාර    -