Thursday, February 7, 2013

මළගිය ඇත්තන්ගෙන් ජීවත්වෙන ඇත්තන්ට...

මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා සහ ඒ ආශ්‍රිත ව බිහි වූ කව් ගී.....



මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් මළගිය ඇත්තෝ (1959) සහ මළවුන්ගේ අවුරුදු දා (1965) ලෙස නවකතා දෙකක් ලියා පළ කළද මේ එකම නවකතාවක් ලෙස මට සිතෙන එක වැරදි සිතුවිල්ලක් නොවේ යැයි සිතමි. මේ නව කතා දෙකෙහිම පරිසරය, වටපිටාව, සාමාජික සාමාජිකාවෝ, ගැටුම්, විසඳුම්, විඳීම්, විඳවීම්, හැඟීම්, දැනීම් සියල්ල පොදුය. කතා  දෙකකි. එක් ආත්මයකි. මේ කියන්නේ කතාවේ ආත්මය ගැනයි.

- මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නවකතා යුගලය -
මළගිය ඇත්තෝ හි ඇත්තේ දෙවෙන්දොරා සං මේ සිදුවීම් දාමය දකින අයුරයි. එයම නොරිකොසං දකින අයුරයි මළවුන්ගේ අවුරුදු දා හි ඇත්තේ.

සරච්චන්ද්‍රයන් යම් යම් කාලවල ලංකාවෙන් ජපානයට ගිය ආ බව මා අසා ඇත. එහි දි ලද අත්දැකීම් අනුසාරයෙන් මෙම නවකතා දෙක ලියවී යැයි කියැවෙයි. ඇත්තටම ඒ ඔහුගේ අත්දැකීම් දැයි මා සොයා බලා ස්ථිර කරගැනීමට  උත්සාහ නොකරමි. දිගටම එම මතය දැරීමට කැමැත්තෙමි. මක් නිසාද යත් එම අත්දැකීම ඔහු නොලැබුවා නම් මෙවැනි අත්දැකීම් සමුදායකින් මෙම නවකතා පිරවීමට ඔහුට නොහැකිවනු ඇතැයි සිතෙන බැවිනි. එය ආත්ම ප්‍රකාශනයකි.

මළගිය ඇත්තෝ පටන් ගන්නා තැනින් සහ මළවුන්ගේ අවුරුදුදා නිමවෙන තැනින්ද බිඳක් ගෙනහැර පා අනතුරුව මුඛ්‍ය අරමුණට යොමු වන්නට සිතුවෙමි. එහෙත් එක් නවකතාවක ඇරඹුම සහ අනෙක් නවකතාවේ අවසන අතර දිගු දුර තුළ අතහැරිය නොහැකි සංවේදී තැන් කොතෙක්ද? එබැවින් ඒ අතරවල් වලින් උකහා ගත් සංවේදී කොටස් කිහිපයක්ද මෙහි සටහන් කරන්නට මම තීරණය කළෙමි. ඔබගේ රසයටත් වඩා මගේ ම රස පිණිස ය. ඒත් ඒ සංවේදී කොටස් කියවූ පසු මට දැනෙන දේ ඔබටද දැනෙනු ඇත. එනම් ඔබේ උගුරද හිරවෙනවා සේ දැනෙනු නිසැකය.

මළ ගිය ඇත්තෝ මෙසේ ඇරඹෙයි. මේ දෙවෙන්දොරා සං ගේ ආත්ම ප්‍රකාශනයයි.

මා මේ වෘත්තාන්තය ලියන්නට පටන්ගන්නේ, එහි කියැවෙන දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසුය. මේ කථනය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත. ඇතැම් විට, කවදා හරි, මෙහි දෙවැනි කොටස ලියන්නට මට ඉඩ ලැබෙන්නට පුළුවන. එහෙත් අනාගතයෙහි, කියයුතු දෙයක් සිදුවේදැයි මම නොදනිමි. නොරිකො මළාය කියා මට මේ කතාව අවසන් කරන්නට තිබුණි. එවිට මෙය, කරුණ රසයෙන් පිරි නිබන්ධයකැයි ඔබ කියනු නිසැකය. එහෙත් නොරිකො තවමත් ජීවත්ව සිටියි. මමද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.

එසේ ඇරඹෙන  මළගිය ඇත්තෝ හි තැනක මෙවැන්නක් ඇත.

ඊ ළඟ දවස් කිහිපය, මා කෙබඳු සන්තාපයකින් ගතකළේ ද කියා මා හැර අන් කිසිවෙක් නොදනී. මට තෝකියෝවට ගිය නොහැකි ය. කියෝතොවල සිටිය නොහැකි ය. ආපසු ගම රට බලා යාමට ද මම සිතුවෙමි. එහෙත් කොයිබ ගියත්, මට මේ ලොව එක සේ ය. මා වටා මිනිසුන් දහස් ගණනක් සිටිය ද මම හුදකලාවෙන් පසුවෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිල්ල මට නුරුස්සයි.  කිසිවෙකුත් මට ආදරය නොදක්වතොත් මැනවැයි මට සිතේ. එය වඩා ලොකු සැනසීමකි.

දිවි නසාගැනීමේ සිතුවිලි මා තුළ උපන්නේය. මේ පරිසරයෙහි එය නින්දාවක් ලෙස නොගැණේ. මෙහි ජීවිතය මෙන් ම මරණය ද රමණීය ය. දිවි නසා ගැනීම නිවට බයාදු ක්‍රියාවක් නොවේ. දසයි ඔසමු තරම් හොඳට අන් කිසිවෙකු දිවි නසා ගැනිම වෙනුවෙන් තර්ක කරණු මා අසා නැත. නොරිකො මට ජීවිතයේ සෞන්දර්යය මෙන්ම මරණයේ සෞන්දර්යය ද පෙන්වා දුන්නා ය. කෙනෙකු දිවි නසා  ගන්නේ ජීවිතයේ සෞන්දර්යය රැක ගැනීමට ය.  කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිලිටි වේ නම්, ඒ පොදු සෞන්දර්යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැතිවී යාම යෙහෙකි.

මළවුන්ගේ අවුරුදු දා හි ඇත්තේ මළගිය ඇත්තෝ කතා වස්තුව තුළ දිගහැරුණු සිදුවීම් දාමයම පිළිබඳව නොරිකෝ සං ගේ ආත්ම කථනයයි. එහි එක් තැනක් මෙලෙසය...

දෙවෙන්දොරා සං තම ප්‍රීතිය නිහඬව භුක්ති වින්දේ යැයි මට හැඟී ගියේ ය. ඔහු මුළු දවස තිස්සේ ම වචනයකට දෙකකට වඩා දෙඩුවේ නැත. මම වරක් ඔහුගේ මුහුණ දෙස හැරී බැළුවෙමි. ඔහු මා වෙතට හිස නැඹුරු කොට මුහුණ පුරා සිනාසුණි. එහෙත් යළිත් බොහෝ වේලාවක් ඔහු නිහඬ විය. ඔහු තුළ කිසියම් අමනාපයක් හෝ කාන්සියක් ඇද්දෝ යි මම බිය වීමි. මා ඔහු සමග ආවේ ඔහු පිනවීමට ය. ඔහු තුටු පහටු වනු දැකීමෙන් මගේ මන දොළ පිරේ.

“ ඇයි කතාවක් බහක් නැතිව ඉන්නේ? අද දවස අගෙයි නෙ?”

“ ඔව්, හොඳයි. ඒ වුණත් ඒ තරම්ම හොඳ නැති පැත්තකුත් තියෙනවා.”

“මොකක් ද ඒ? කියන්න. අද සන්තෝස නැද්ද?”

“සන්තෝසයි. ඒත් සන්තෝසෙ එක්ක ම කණගාටුවකුත් තියෙනව.”

“මොකක් ද කණගාටුව?”

“කොයි දේත් එහෙමනෙ. සැප කෙළවර වන්නේ දුකෙන්.”

“ඕකමයි නිතර ම කියන්නේ. මට නම් අද ලොකු ම සතුටක් දැනෙනව.”

“මං හිතන්නේ අපි මෙහෙම සන්තෝසෙන් කාලය ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිලා තියෙනව. ඒ වුණත් වෙලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන්  හිස්වෙලා යනව නේ ද?” 

“අන්තිමට වෙන දේ ගැන හිතන්නේ නැතිව මේ මොහොත ගැන හිතලා සතුට විඳින්න බැරි ද?”

“අන්තිමට වෙන දේ කොහොමද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනව. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධවෙනව. එතකොට කොයි තරම් දුකක් ද?”

“ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගටම අපි එකට හිටියොත් අපට එක එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව.  ඒ නිසා අපි දෙන්න අන්‍යෙන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ  දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?”

දෙබස එසේය. සොඳුරු හමුවීමෙන් අනතුරුව එළඹෙන්නේ ඒ හමුවීමේ සතුට විඳගන්නවා ට වඩා හමුවීම වෙන්වීමක් බවට පත්වීම වලක්වා ගැනීමේ දුෂ්කර ක්‍රියාවයි. සතුට ද වෙන්වීමේ ශෝකය ද යන අන්තරය තුළ පවතින ඕනෑ ම හැඟීමකට ඔහු හෝ ඇය වරින් වර මුහුණ දිය යුතු වෙයි. එම කාලයේ ඇත්තේ මිශ්‍ර හැඟීම්ය. මේ මිශ්‍ර හැඟීම විඳගැනීම සමහර විට වෙන්වීමේ ශෝකය විඳගන්නවාට වඩා කටුකය.


මළවුන්ගේ අවුරුදු දා එසේ නැති නම් නොරිකො සං ගේ ආත්ම ප්‍රකාශනය අවසන් වන්නේ කුමන තැනකින්දැයි ඒ හා ජීවත් වූවෝ දනිත්. එහෙත් නොදන්නා අයෙක් වේනම් හෝ අමතක වූවෙක් වේනම් මතක් කරගනු වටී. එය මෙලෙස ය. දෙවෙන්දොරා සං මැරි මැරී ජීවත් වන මග අතහැර ස්ව කැමැත්තෙන් ම ජීවිතයට සමු දෙන්නට හිත හදාගෙන තිබිණ.

අපි ඔහු සොහොන් බිමට ඇරලූයෙමු. තමබොචි සුසානයට, ම පියාණන් ගේ වළ ගාවට. මේ වර සියළු දෙන ම ආ හ. හිදෙජි සං හා මොමොකොත්, කිමිකො චං හා වියෙකොත්. කුඩා යුකිකො චං පවා.

දෙවෙන්දොරා සං ඇරලන්ට සියලු දෙන ම ආහ.

මේ වර පිටත් වන්ට පෙර තක්සිය ගාවට මා ඇරලන්ට යැයි මම ඔහුට නොකීවෙමි. මම දිරිගෙන හුන්නෙමි. ඔහු යන තෙක්. මෙ වර ඔහු පෙරලා එන බව මම සැක නැතිව ම දනිමි. මා ඔහු ඇරලූයේ නකජිමා සොහොනට ය. මගේ පරම්පරාවේ සොහොනට ය. ඉන් ඔබ්බෙහි මගේ පියාණෝත්, ඥාතීහුත් වෙසෙති. ඔවුන්ගේ සහව්‍යතාවට ය ඔහු යන්නේ. කවදා හෝ නමුත් ඔවුන් කැටුව යළි ඔහු මෙලොවට එන්නේ ය.

එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි. අදත් හෙටත් දෙකම එකයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත්, කවදාටත් මම විතරයි. මොකක්ද වෙනස ? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව, බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි. ඔබ නෑ.

මම එබඳු වියරු බස් නො දෙඩුවෙමි. එබඳු බස් දොඩා ඔහු වෙහෙසන්නේ කුමට ද? ඔහු නිසොල්මන් ව සිටී. සිත දැඩි කරගෙන, ආශ්වාස ප්‍රශ්වාස පවා නොකර. ඔහුගේ තීරණය අනිවාර්ය ය. ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවන නියත ධර්මතාවයකි එය.

තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකොටද කල් දාලා. ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.

ඔහු දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ  මට දැනුණි. යළිත් ආ නොහැකි නිසා නොවේ ද ඔහු යන්නේ. නොගියොත් යළි ආ නොහැකි ය. යාම හොඳයි. ගොස් ඊම ද  හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය.

දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණේවා කියා ය. මෙවර ඔහු රඳවාගත නො හැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙමි. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන්කොට එන බව මම දනිමි.

ඉක්මණින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්න ඇහැකි
මළ ගිය ඇත්තන් කැටුවම

මළගිය ඇත්තෝ හි දිග හැරෙන්නේ දෙවෙන්දොරා සං නම් ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියා ජපානය තෙක් පැමිණෙන අන්දමත්, අනතුරුව ජපානයට අනුවර්තනය වන අන්දමත්, එහිදී විදේශිකයෙකු ලෙස ඔහු මුහුණ දෙන යම් යම් දුෂ්කරතා සහ එහිම සුන්දරතාවයන් ය. ඔහුට නොරිකො සං මුණ ගැහෙන්නේ මෙහි දීය. එහි විචිත්‍ර ම සහ සංවේදී ම කතා පුවත ඇරඹෙන්නේද එතැන් සිට ය. එය විචිත්‍ර බව ඇත්තකි. එහෙත් එය සුඛාන්තයක ඇරඹුමක් නම් නොවේ. එය සුඛාන්තයක් වූවේ නම් එය මෙතරම් අප සිත් නොගන්නට ද ඉඩ තිබිණ. එහෙත් එය ශෝඛාන්තයක් ම විය. එබැවින්ම එය අප සිත්හි වෙසෙස් තැනක ලැගුම් ගන්නට යෙදුනි.



එහි ම දෙවෙනි කොටස වන මළවුන්ගේ අවුරුදු දා අවසන් වන්නේ පහත අයුරින්. එහෙත් එය ලියන්නට පෙර මළවුන්ගේ අවුරුදු දා හි ඇති විශේෂත්වය  මදක් සෙවිය යුතුය. මළවුන්ගේ අවරුදු දවසේදී, තම පවුළට අයත් සොහොනේදී, මිය ගිය සමීපතමයින් නැවත මුණ ගැසිය හැකි යැයි, ඔවුන් තුළ (ජපනුන් තුළ)  විශ්වාසයක් පවතී. මේ කතාව අතරතුර දෙවෙන්දොරා සං ගේ දිවි තොරවෙයි. ඒ සියදිවි හානිකර ගැනීමකි. මරණය ස්වාභාවිකව පැමිණෙන තෙක් බලා සිටීම මැරි මැරී ඉපදීමක් බව දෙවෙන්දොරා දැන සිටියේ ය. දෙවෙන්දොරා සං මරණයට බිය නොවීය. ඔහු බිය වූයේ මැරි මැරී ඉපදීමටය. අප ඔහුගෙන් වෙනස් වන්නේ එහිදී ය. අප මරණයට බිය ය. ඒ නිසා අපි මැරි මැරී උපදින මඟ තෝරා ගෙන ඇත්තෙමු. 

දෙවෙන්දොරා සං ගේ මරණයෙන් ඉක්බිතිව නොරිකො ගේ සිතුවිලි ධාරාව ගලා ගිය ආකාරය එහි අන්තිම කොටසින් පිළිබිඹුවෙයි.

සරච්චන්ද්‍රයන් ගේ මේ නවකතා දෙක තවත් නිර්මාණ කරුවන්ට අනුභූතීන් සපයන උල්පතකි. ඒ උලපතින් දිය ගෙන තම නිර්මාණ කෙත අස්වැද්දූ නිර්මාණ කරුවන් බොහෝ ය. මම ද අයෙක්මි.

මම, දෙවෙන්දොරා සං නො වෙමි නමින් මා ලිවූ කවිය එයයි. එය එම කතාවම නොවේ. ඇසුරක් පමණකි. මේ ආශ්‍රිත ගීයක් ලිවීමේ මගේ ආශාව තවමත් නුසුන් වැ ඇත. පද පේළි දෙක තුනක් ලියැවුණද ගීයක් නො ලියැවුණි. එබැවින් අපි කවිය විමසමු.

යන්නම ඕනෑ කියා
නුඹ ම ඉගිලී යනවිට
නුඹෙ ඇහෙත් කඳුළක් දිලෙනු
ඔව්..... මට හොඳට ම පෙනුනා........

දෙදෙනාට ම තැනූ
මේ කැදැල්ල තුළ
ඉන්න ම බැරි නම් නුඹට
ඉතින් මම තනිවිය යුතු වෙම්,
මොනවා කරන්න ද
නුඹ
ඊට.......

නුඹ යනු බලා
මා නෙතු තෙමුණා පමණයි
හිත් අහස හැඬුවා
මහා වැස්සක් සේ ම
තාමත් පායා නෑ
ඒ වැස්ස
ඉස්තීරෙටම.....

ඝන මේ කුළු මුදුන්වෙයි
විදුලි අකුණු
අහස් කුස කළඹයි
කිසිවෙකුත් නොදන්නා මොහොතක
මටවත් නොකියා ම
අහස පෑරී
මහා වැසි වසීවි....

ගොම්මන
ඈත අහසේ රත පිරිබඩ කරණ විට
කෙළෙස හස කැළුම් හෙළන්නද
පෙර පුරුදු ලෙස
හඬන විට හද

පෙනෙන විට ඉරබටු තරුව
මතක් වෙන්නේ නුඹමයි
නුඹේ සෙනෙහසමයි
නුඹටත් එසේ දැයි
නොදනිමි...... මම.....


එනමුදු
යන්නම ඕනෑ කියා
නුඹම ඉගිලී යනවිට
නුඹෙ ඇහෙත් කඳුළක් දිලෙනු
ඔව් මම හොඳටම දුටුවා..

සරච්චන්ද්‍රයන්ගේ එම මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා සිත්හි තබාගෙන මා ලියුවේ වෙනම කතාවකි. මගෙ ම කතාවකි. මම දෙවෙන්දොරා සං චරිතය තුළ අංශු මාත්‍ර වශයෙන් හෝ ජීවත් වුයේ යැයි මට සිතේ. මගේ කවිය තුළ අංශු මාත්‍ර වශයෙන් හෝ දෙවෙන්දොරා සං ද ජීවත් වූවා යැයි ද මම සිතමි. 

මතු දැක්වෙන කව කවුරුන් විසින් ලියන ලද්දක් දැයි මම නොදන්නෙමි. චමිල නමැත්තෙකු විසින් මෙය අන්තර්ජාලයට එක්කොට තිබී එහිදි මට එය සොයාගන්නට ලැබුණි. මෙම කවටද මළගිය ඇත්තො, නොරිකො සං, 'යේ ලයි ෂ්‍යැං' කෝපි අවන්හල ආදී දේ සහ අය සංවේදී වී ඇත.

වකමත්සුවේ *
කෝපි හලක සිට
මළගිය ඇත්තෝ
කියවමි.
සිහින්
සංගීත රාවය මැකී
තෝකියෝවේ
වීදි අතර
තනිවෙමි.
'යේ ලයි ෂ්‍යැං'
කෝපි හලේ
අඳුරු කොණක
නොරිකො සං
මා අබියස...
කෝපි 'උගුර උගුර'
හිස් කරමින්...
'යෝගීන් කියන
අන්‍ය වේද්‍යයන්ගෙන්
කිලිටි නුවූ
නිර්මල ආශ්වාදය'.
ටක් ටක් ටක්
සිහින් අඩි හඬ
හදිසියේ මම
හිස ඔසවා
බලමි.
තරු එළි දෙකක්..
නොරිකො !!!
ඈ මා දෙස බලා
හිස නමා
ලැසි ගමන් ගියා..

(* තෝකියෝවට කිලෝමීටර් තුන්සීයකට දුරින් ඇති කුඩා නගරයක්)

ඒ ආශ්‍රිත ව ලියැවුණු කවි පිළිබඳ ව සොයා බැලීම  පසු දිනකට තබා ඒ ආශ්‍රිත ව ලියැවුණු ගීත කිහිපයක් පිළිබඳ ව වැඩි අවධානය යොමු කරමි.

මේ නවකතා දෙක නවකතා කරුවාගේ සත්‍ය අත්දැකීමක් ලෙස මා සිතන බවත් එය ස්ථිර වශයෙන් ම සොයා බලා තහවුරු කරගැනීමක් මට අනවැසි වූ බවත් තැනක මවිසින් ප්‍රකාශ කරනු ලැබිණ.

කෙසේ වෙතත් සරච්චන්ද්‍රයන් සිය ජීවිතාත්දැකීම් මත පදනම්ව ලියූ පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි මේ ගැන යම් ඉඟියක් කරයි. ඔහු මා කිවූ කරුණ පිළිබඳව සෘජු තහවුරු කිරීමක් සේ ම ප්‍රතික්ෂේප කිරීමක්ද නොකරයි. ඔහු එම කෘතියෙහි මෙවැන්නක් සඳහන් කරයි.
මළ ගිය ඇත්තෝයන නවකතාවට ඇසුරු කරගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේයයි ඔහු කීවේය.

සමහර නිර්මාණ වල සෘජුව සාකච්ඡාවනුයේ නවකථාවේ සමස්ථයේ සංක්ෂිප්තයයි. එහෙත් තවත් නිර්මාණ වල ඇත්තේ එහි ඡායාවයි. තවත් විටක එහි කිසියම් සංවේදී කොටසක මතකයයි. අනුසාරයයි.

මෙවැනි ගීත කිහිපයක් අපේ ගීත සාහිත්‍යයේ හමුවෙයි.

මා ඇසූ මේ අනුසාරයෙන් ලියූ මුල් ම ගීතවල අයිතිකරුවා රත්න ශ්‍රී විජේසිංහ යි.  ඒ ගීත මුළින්ම ඇහැව්වත් ඒ ගීත අන්තිමට ම කතාකරන්න ඉතිරි කරගැනීම සුදුසු යැයි හඟිමි. ඒකට හේතූන් ඇත. එම හේතූන් ඔබට ද වැටහෙනු ඇත.

මට මතකයි ඉවාන් පවුලුෂා ගීතය සංගීතවත් කළ ප්‍රියන්ත ඩිරෙක්ස්. මේ ප්‍රියන්ත ඩිරෙක්ස් විසින් ස්වර්ණ ගුණවර්ධනගේ රචනයකට අනුව ගීතයක් නිමැවුවා ඊට කෙටි කළකට පසුව. ඒ ගීතයේ  පද රචනය මෙසේයි.

මා මේ වෘත්තාන්තය ලියන්නට පටන්ගන්නේ, එහි කියැවෙන දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසුය. මේ කථනය, කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත.

සුළං රොදක් සේ නොසිතූ මොහොතක
මිදොරි අවන්හල පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සං - අතරමං ව ඔබ ආවා
සුළං රොදක් සේ ඔබ ආවා
දෙවෙන්දොරා සං - අතරමං ව ඔබ ආවා

මා මේ කොහේද ඉන්නේ. සැබැවින්ම තෝකියෝවට ආවෙම්ද. මම මේ විශාල ලෝකයේ කාත් කවුරුත් නැතිව මං මුළා වූ පුද්ගලයෙක් වෙමි. මෙහි සිටින සියල්ලෝම අමුත්තෝය. ඔවුන් සහ මා අතර ඇති නෑකම කුමක්ද?

තතමි පැදුර මත දණින් රැඳී
සියුමැලි යනගි රිකිල්ලක් සේ ඔබට නැමී
එනමුදු හඳුනා ගනු  බැරි වී
ජීවිතයෙන්
ජීවිතයෙන් පැන යන්නට ගියදා
නේඹුරු දොඩම් බිකක් තොළ රැඳවූ
මා සිහිවෙද කවදා...

ළහි ළහියේ ග්‍රහණයෙන් ගිලිහී යන, සැපතක් ලුහු බැඳ යාමේදී මා රැස් කළ දුක්ඛ සමුදාය, විසඝෝර සැපින්නක මෙන් හිස ඔසවා මා දෙස බැලීය. ඒ දුක්ඛ සමුදාය මාගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.

ඉක්මණින්ම යළි ඒ නම්
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
තමබොචි සොහොන් බිමේදී
සුබකි මලක් මත රඳවා
මළවුන්ගේ අවුරුදු දා
යළි හමුවේවා සයොනරා...... 

ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති. මා අවට වූ සත්‍යය මා වැළඳ ගතහොත් මිට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?


ගීතය මෙතැනින් රසවිඳින්න


 
 
මේ ගීතයේ විෂය පථය මේ කතා බහට අනුව පුළුල් ය. එම පුළුල් බව නිසා ම එහි ඇති වචන දිග ය. රචකයා සිය අදහස් සීමා කිරීමට අකැමැත්තේ ඔහු නවකතාවෙන් විඳි සියල්ලම නැතත් බොහෝ දේ ලිවීමට ලොබ වෙයි. මේ නිසා ඔහු රිසි වචන අදහස් යොදමින් දිගු ගීත රචනාවක් නිමවයි. එසේම ගීත රචනාව තුළ කැටිකරන්නට නොහැකි වූ දේ නවකතාවේ කොටස් උපුටා දක්වමින් ගෙන ඒමට උත්සුක වෙයි. ඒ පිළිබඳ ව මට ඇත්තේ අප්‍රසාදයක් නොව ප්‍රසාදයකි. එහි සිදුව ඇත්තේ ගීත රචකයා පරයා මෙම නවකතා යුග්මයෙහි රසිකයා මතුවීමය. එම රචනයෙහි  සංක්ෂිප්ත බව ගිලිහීම නිසා දුක් විඳින්නේ සංගීතඥයා ය. ඩිරෙක්ස් ඉවාන් පවුලූෂා ගීතයේ සංගීතය නිර්මාණය කරන විට අත්වින්ද නිදහස මේ ගීතයේදී අත්නොවිඳී. ඒ නිසාම ඔහු තනුව නිපදවන්නේ ආයාසයෙනි. ඒ නිසාම ගීතයට අපූර්වත්වයක් එක්කිරීමේදී ඔවුනට පැනයක් ඇතිබව පෙනීයයි. කෙසේ වෙතත් ගීත රචනය තුළ සංගීතඥයා වහලෙකු නොවීමට විශාල වෙහසක් ගත් බවක් පෙනේ. එහෙත් අන්තිමට ඔහු එයින් මිදෙන්නට සමත් ව ඇති බව පෙනෙයි. 

මා ඉහත ප්‍රියන්ත ඩිරෙක්ස්ලා ගේ ගීතය මේ හා සම්බන්ධ මුල්ම ගීය ලෙස කතා බහ කරන්නට හිතුවත් ප්‍රියන්ත ඩිරෙක්ස් ම ඒ පිළිබඳව දුන් හෝඩුවාවක් ඔස්සේ ගිය මට වසර ගණනකට පෙර ගැයුණු තවත් ගීයක් සොයා ගත හැකි වින. එය ඉතා පැරණි බැවින් ශ්‍රවණ තත්වය දුර්වලය. එහෙත් එහි ඇති වටිණාකම නිසාම මෙහි යොදාගන්නට සිතුවෙමි. මේ එහි පද වැලයි.

සකුරා මල් චෙරි මල් හිනැහෙද්දී
සීතල අතරින් ජපානයේ
නොරිකෝ සංගේ නෙත් යුග පත්ලේ
සොඳුරු වසන්තය රැඳී තියේ

- අතුල සෝමසිරි -
කබුකි රැඟුම් නෝ රැඟුම් බැලූවෙමු
රඟ මඩලේ දී හැන්දෑවේ
සකෙ මදිරා තොල ගෑ හැටි මතකයි
අවන්හලක හිඳ රෑ යාමේ

පූජි කන්ද හා සකුරා උළෙලයි
අප ඔරු පැද ගිය ජල ධාරා
සිහි වේ එනමුත් දෙවෙන්දොරාගෙන්
නොරිකෝ සංහට සයොනාරා

ගායනය හා සංගීතය : අතුල සෝමසිරි
ගුවන්විදුලි සරල ගී - 1971
වස්දක්‍ෂුරාවේ ගීත පද මාලා සංග‍්‍රහය (1998 පිට 25)
පේ‍්‍රමදාස ශී‍්‍ර අලවත්තගේ
ප‍්‍රකාශනය : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

ගීතය මෙතැනින් රසවිඳින්න



ඇරඹුමේදී මේ සඳහා යොදාගන්නට හිතුවේ මගේ කව සහ ගීත 5 කි. එහෙත් ඉදිරියට යනවිට එයට තවත් බොහෝ දේ එකතුවිණි. එබැවින් ලිපිය දිගුවිණි. ඒ දිගු බව එහි බර වැඩි කළැයි හැඟේ.

මා මෙම ලිපිය ලියන වග දැනගත් මිතුරු මංජුල වෙඩිවර්ධන තමන් ද මේ පිළිබඳ ව ගීත රචනාවක් කර ඇති බව ප්‍රකාශ කළ අතර කුමන හෝ දේශයක සිට මා වෙත එය යොමු කරන ලදි. තවමත් මෙම රචනාව ගීතයක් බවට පත්ව නැත.

නොරිකෝ සං ගේ වේදනාව

දෙවෙන්දොරා
දොර අරින්න දෙවෙන්දොරා
තමබොචි සොහොන් ගැබේ
- මංජුල වෙඩිවර්ධන -
දොර අරින්න දෙවෙන්දොරා
සකුරා මලින් පිරුණු
ඇසි පිය යට
ඉන්නට මට තුරුල්වෙලා
ඇසි පිය හැර බලන්න
ඇවිදින් ඔබෙ සුපෙම්බරා

සඳ සරා හෙමින් ඇවිදින්
නිල් ගුවන් අරා සරමින්
කුමකුරා අරුංගල් ජෝඩුව
දිහා බලන්නේ
මට දරා ගන්න බෑ ඔබ
හිත පුරා වෙලෙන්නේ

ඉකෙබනා මලින් මල ගෙන
ඉකිලනා හිතින් පැන් ඉස
මම ගෙනා ඔබේ සිත්තම
ඔබ දිහා බලන්නේ
මට කියාදෙන්න කෙළෙසද
සයොනාරා කියන්නේ 
මංජුල වෙඩිවර්ධන ගේ ගීත රචනයකි.

මේ සියලු ගීත වලට මළවුන්ගේ අවුරුදු දා ප්‍රධාන වශයෙන් විෂයය වී ඇති බව පෙනෙයි. ජීවත්ව සිටින දෙවෙන්දොරාට අමතනවාට වඩා මිය ගිය දෙවෙන්දොරාට ඇමතීමට ඔවුන් උත්සුක වී ඇත. මළවුන්ගේ අවුරුදු දා තමබොචි සොහොන් බිමේදී දෙවෙන්දොරාව නැවත හමුවීමටත් ඔහු තමන් සමඟ මෙහි නොරැඳී ආපසු යන්නේ නම් ඔහුත් කැටුව ඇයද යන්නට සිතන කොටසටද සියල්ලම සංවේදී වී ඇති සෙයකි. එහි වරදක් නැත. එය අතිශය සංවේදී කොටසක් බවට තර්කයක් නැත.

මේ ආශ්‍රිත ගී සොයන විට සමීපවූ තවත් ගීත වෙයි. කරුණාරත්න දිවුලගනේ ගායකයාද නොරිකො සං - දෙවෙන්දොරා සං ආදර අන්දරය මත ගීතවත් වෙනු දැකිය හැකිවෙයි.

නොරිකො සං - මං නුඹේ ම දෙවෙන්දොරා සං
ඉක්මණින් ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා
නොවැරදීම නුඹ බලන්න මං එනවාමයි
නොරිකො සං - මං නුඹේ ම දෙවෙන්දොරා සං.....
- කරුණාරත්න දිවුල්ගනේ -

හැම සුබෙකි මලක් ගානෙම
ආදරේ ලියා එවුවද
එකම එක මලක පමණක්
පෙති යට සැඟවුණු රහසක්
මාත් එක්ක හිත පතුළේ ඉකි බිඳ වැලපෙයි
ඉකි බිඳ වැලපෙයි
නොරිකො සං - මං නුඹේම දෙවෙන්දොරා සං.....

හැම කබුකි රැඟුම් හලක ම
ආදරේ දුක ම දැනුනද
එකම එක මලක පමණක්
විඳින්න බැරිවුණ සුවඳක්
මගේ හිතට නුඹ දකින්න හෙමිහිට කොඳුරයි....
හෙමිහිට කොඳුරයි....
නොරිකො සං - මං නුඹේම දෙවෙනදොරා සං..... 
ගීතය මෙතැනින් රසවිඳින්න



මේ අතර තවත් මේ පිළිබඳව සොයන්නට සිත්වූයේ තවත් ගීත හමුවිය... මේ හැම ගීයකම වගේ ගැබ්වූයේ එක්කෝ නොරිකො සං ගේ දෘෂ්ටියයි. නැතහොත් දෙවෙන්දොරා සං ගේ දෘෂ්ටියයි. හරියටම නව කතා දෙකෙහි මෙනි. එහෙත් මේ ගැන දෙදෙනාම එකවර දොඩමළු වන ගීතයක්ද සොයාගත හැකි විය. එම ගීතය ගයනුයේ කසුන් කල්හාර  සමග සහේලි ගමගේය.

- කසුන් කල්හාර සමඟ සහේලි ගමගේ -

ඔබ නාවොත් හෙට උදෑසන අරං
මට රැය විතරයි අයිති නොරිකො සං
රැය හරිම දිගයි - දෙවෙන්දොරා සං
මට එන්න හිතයි - ඔබ සොයා ඉතිං...
මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්
ඒ අතීතයම හදවතේ ඉඳන්
මට රිදවූ හැටි ඇවිත් කියන්නම්.....

සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතිං
හෙට උදේ ඇවිත් හැම කඳුළ ම මං
යළි ආදරයට පෙරලා දෙන්නම්....

ගීතය මෙතැනින් රසවිඳින්න



මා මිතුරු ගීත රචක රවි සිරිවර්ධන විසින් මේ හා ආශ්‍රිත  ගීත දෙකක්ම ලියා ඇත. එක් ගීතයක් නොරිකො සං වෙනුවෙන්ද අනෙක දෙවෙන්දොරා සං වෙනුවෙන්ද වෙන් ව ඇත. මේ දෙපාර්ශවය ම වෙන වෙන ම නියෝජනය වෙන ලෙස ගීත දෙකක් ලියන්නට හැකි වීම රචකයාගේ හැකියාව මොනවට කියාපෑමකි. 

ඉන් එකක් ජීවත්වෙන නොරිකො සං විසින් මිය ගිය දෙවෙන්දොරා සං ට කියන ලද්දකි. අනෙක මිය ගිය දෙවෙන්දොරා සං විසින් ජීවත්වෙන නොරිකො සං ට කියන ලද්දකි. මේ ගීත දෙක ම දෙවෙන්දොරා සං ගේ මරණයෙන් පසු යුගයේ කඳුළු සිහිවටනයන් ය.

දෙවෙන්දොරා සං
නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න
මං දවසක එනවා...
ඒ එනතුරු ඔබේ නමින් මං ජීවත්වෙනවා...

ඔබත් සමග ගිය මඟ තොට
නැතිවුණා ට ඔබ පෙර ලෙස
මං තනිය ම යනවා - කෝපි අවන්හල් දුටුවම
පිට පාරෙම එනවා

ඔබේ සුවඳ තැවරීගෙන
බිම වැතිරෙන සීතල හිම
නෙතට කඳුළු දෙනවා
කබුකි නැටුම් හල් දුටුවම
දරන්න බැරි වෙනවා...
 
ගීතය මෙතැනින් රසවිඳින්න





- රවි සිරිවර්ධන, රෝහණ වීරසිංහ, නන්දා මාලනී -
මේ ගීතයෙහි සංගීත නිර්මාණය රෝහණ වීරසිංහයන්ගේ ය. ඔහු එකී සංගීත සංයෝජනයන් ඔස්සේ ජපන් සංස්කෘතිය අප ඉදිරියේ මවා තියයි. එලෙසටම නොරිකො සං ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති වේදනාව සහ නොසන්සුන්තාව එහි මනාව ගැබ්ව ඇත. මෙහි කටහඬ නන්දා මාලිනියගෙනි. අප මේ නව කතා දෙකෙහි නොරිකොගේ කටහඬ කුමක්දැයි මෙතෙක් අසා තිබුණේ නැත. එහෙත්  දැන් ඇයට කටහඬක් හිමිව තිබේ. ඇගේ කටහඬ නන්දා මාලිනියගේ කට හඬ බඳුය.

- රවී සිරිවර්ධන, සුරේෂ් මාලියද්ද,අමල් පෙරේරා -

රවි සිරිවර්ධන පාළු සුසානයක ආදරයේ මතක සටහන් සමග පමණක් සැතපෙන දෙවෙන්දොරා සං ගයන ආකාරයට ලියා ඇති ගීතයද සුවිශේෂය. එය සංගීතයෙන් සුරේෂ් මාලියැද්දේ ද හඬින් අමල් පෙරේරා ද පණ පොවා ඇත.

නොරිකො සං නිදියන්න
නොරිකො සං නිදියන්න
නිදියන්න හොඳටම රෑ වෙලා
මට පාළු නෑ මේ හතර රියනට
ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා.......

ඔබට බෑ නවතින්න මා ළඟ
යා යුතුයි හෙට ජීවිතේ සොයලා
කෝපි හල් මග බලාගෙන ඇති
යන්න ඒ වෙත
මගේ මතකය
අතීතෙට පවරා

ඔබට බෑ වැල පෙන්න දින දින
කාලයේ රුදු අණසකට පිටුපා
කුබුකි රංගන අළුත් වී ඇති
යන්න ඒ වෙත
මගේ සෝ බර
කරලියෙන් බැහැලා
ගීතය මෙතැනින් රසවිඳින්න


මේ ලියන්නේ නොරිකොලා දෙවෙන්දොරාලා ගැනය. ඒත් ඇත්ත නම් මේ ලියන්නේ අපි ගැනම ය. 

මේ කොටස උපුටා ගැනෙන්නේ මළගිය ඇත්තෝ කතාවෙනි. තෝකියෝ වේ නැවතී සිටි දෙවෙන්දොරා තෝකියෝවෙන් ද නොරිකොගෙන් ද වෙන්වී කියෝතෝ නම් නගරයට යාමට සූදානම්ව, තෝකියෝවෙහිද නොරිකො සමග ද ගෙවන අවසන් දින කිහිපයෙහිදී සිදු වූ සිදුවීම් ඇසුරිනි.

මා පිටත් වීමට දෙතුන් දවසකට පෙර නොරිකො ඇවිත් , මගේ ඇඳුම් පැළඳුම් හා පොත් පත් සියල්ල ම ද අස් පස් කර පෙට්ටි වල දමා, කිලුටු ඇඳුම් සෝදා, කාමරය ද සුද්ද කළාය. මා අඳිමින් සිටි චිත්‍රය, මා පිටත්ව යාමට පෙර අවසන් කිරීමට මම අදහස් කෙළෙමි. මා වැඩ කරමින් සිටින අතර නොරිකො හදිසියෙන් මා ළඟට විත්, දණ ගසා වාඩි වූවා ය.

යන්න ඒපා, දෙවෙන්දොරා සං, යි  මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙළමින් ඈ කීවා ය.
මගේ සිරුර තුළ ගින්නක් හට ගෙන, හිස දක්වා ඇවිලී  එන්නා සේ මට දැනිණි. මම එයින් මුළුමනින් ම දැවී ගියෙමි.

කොහොමද නොගිහින්? මං ඉඳල පලක් නෑනෙ. තව කොච්චර කල් මෙහෙම තියෙයිද? අපට හැමදාම බෑනේ මේ විදිහට. කවදා හරි වෙන් වෙන්න වෙනවා. දැන් වෙන් වෙන එක ලේසි නැද්ද?

ඈ නැමී, තම මුහුණ මේසය මත තබා ගත්තා ය.

යනව නම් දෙවෙන්දරා සං ගෙ සිරුරෙ සුවඳ, මේ ඇඳුම් වල සුවඳ තියලා යන්න.” යි මඳ වෙලාවකට පසු ඈ කීවාය.

ලහි ලහියේ ග්‍රහණයෙන් ගිලිහී යන සැපතක් ලුහුබැඳ යාමේදී මා රැස් කළ දුක්ඛ සමුදාය විස ගොර සැපින්නියක් මෙන් හිස ඔසවා මා දෙස බැලීය. ඒ දුක්ඛ සමුදාය මගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.

දෙවෙන්දොරා ට එසේ සිතන්නට හේතුවක් ඇත. ඒ අනෙකක් නොව ඈ ඔහු සුවඳ ප්‍රිය කරන තරමට ම ඔහුද ඈ සුවඳ ප්‍රිය කළ බැවිනි. සරච්චන්ද්‍රයන් මෙම නව කථාවේ රකින එක භාවනාවක් වෙයි. ඒ අනෙකක් නොව මෙහි සදහන් වන සුවඳ ම මිස කිසිවිටකත් උණුසුමක් පිළිබඳව සඳහන් නොකිරීමට සංයමයක් ඇති කරගෙන තිබීමයි. අනෙකෙකු නම් මෙවැනි සමීප මිතු දමකින් බැඳුනු දෙදෙනෙකුගේ මේ ඇසුර පිළිබඳ කථනයේදී එම කතාව අනුරාගයෙන් පුරවනු නිසැකය. සරච්චන්ද්‍රයන් මෙහි කැටිකොට දෙන ශෝකී රසය වෙනුවට රාගී රසය උතුරන්නට හේ ලියනු නිසැකය. නමුත් මෙහි ඇත්තේ ඒ ශෝකය නමැති රසයම ය. එය මෙසේ රසික හදවත් තුළට කිඳා බසින්නට හේතුව ද එයම ය.

දෙවෙන්දොරා මෙහි කියන අනාගත දායාදය පිළිබඳ ඉඟිය කාටත් පැහැදිලිය. එනම් මහා දුක්ඛ සමුදායයි. ඇයට සේ ම ඔහුට ද දුකට හේතුවන දේ සමානය. ඇගේ සුවඳ තියෙන තුරු ඔහු තුළ ඇති වියෝ දුක මතු වෙවී රිදුම් දෙනු මිස සුව වීමක් නොවනු ඇත. ඈත කොහෝදෝ ගිය නොරිකොලා ඉතිරි කර ගිය සුවඳ නිසා දුක් විඳින දොවෙන්දොරාලා කොතරම් දැයි දන්නෝ දනිති. එලෙසටම ඈතින් ඈතට ගිය දෙවෙන්දොරාලා නිසා අපමණ කඳුළු ගණින නොරිකොලා කොතෙක්ද. සුවඳ තියා යන්න කියා නොරිකො කියන්නේ අනාගත වේදනාවට හේතු නොදැනය. ඈ නොපැසුනු බැවිණි. ඒත් පැසුනු දුකට හේතුව දන්නා දෙවෙන්දොරා සුවඳත් අරගෙන යන්නැයි ඇය අයැදින්නට ඇත. එහෙත් ඒ යනවාට කැමැත්තකින් නම් නොවේ. ආදරයෙන් ද ආදරවන්තියගෙන් ද දුරස් වීම දුකක් නොව පුදුමාකාර දුකකි. ඒ පුදුම දුක නිර්මාණ ශිල්පියෙකු තුළ පුදුම රසයක් මවයි. ඒ නම් ශෝකී රසයයි. 


ඒ නිසා ම රත්න ශ්‍රී විජේසිංහයන් මේ දුක ශෝකය නමැති අපූර්වත ම රසය නිමිත්ත ලෙස ගෙන නිර්මාණ කිහිපයක් ම කරණු දැක ගතහැකි වෙයි. ඒ සඳහා ඔහු ග්‍රහණය කර ගන්නේ මෙහි ඇති ප්‍රබල ම තැන යි. ඔබ යනවා නම් යන්න. ඒත් ඔබේ සුවඳ තියා යන්න යන්නයි.

 
මතු කියවෙන ගීත 3 න් රත්න ශ්‍රී මේ ගීතය ලියන්නේ අන්තිමටම ය. එහෙත් මා එය විමසන්නේ මුළටම ය. ඒ එහි එම ගීතය බිඳගත් මෙම නව කතා යුගලයේ ඇති ඔබ යනවා යන්න. ඒත් ඔබේ සුවඳ තියා යන්න නම් යන  අදහස සෘජුවම ගෙනහැර පාන හෙයිනි.
නොරිකෝ, දෙවෙන්දොරාට සුවඳ තියා යන්නට අයැදියි. රත්න ශ්‍රී ගීතය පටන් ගන්නේද එතැනිනි.

සුවඳ තියා මා ළග ඔබ අරන් යන්න මල්
නෙත නිළුපුල් වත රතුපුල්
නෙත නිළුපුල් වත රතුපුල්
කොඳ කැකුළු  සිනා මල්

මේ අහස යටම - කොතැනක හෝ
ඔබ ඉන්නව නම්
මම ඉන්නම් ඒ සුවඳ තියන්
යළි ඔබ එනකල්

ගීතය මෙතැනින් රසවිඳින්න



පෙර කතාකළ ගීත සෘජුවම එම නව කතා දෙකට අදාළය. එහෙත් මේ ගීත සෘජුව එම නවකතා දෙකට අදාළ නොවේ. නො එසේනම් ඒවායින් කියවෙන්නේ එම නවකතා දෙකෙහි යෙදෙන සිදුවීම් දාමයක් ගැන නොවේ. අනෙකකි. එහෙත් ඒ අනෙක් අදහස කියා පෑමට යොදාගනු ලබන්නේ එම නව කතා දෙකෙහි මතකයන් ය.

ඉන් ලැබූ රසය රත්න ශ්‍රී විජේසිංහයන්ට ඉහත ගීතයෙන් නවතින්නට ඉඩ නොදෙයි. එබැවින් ඔහු එයින්ම තවත් ගීතයක් සඳහා ආවේශය ලබාගනී. එම ගීතය ගයනුයේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් විසිනි.

- රත්න ශ්‍රී විජේසිංහ, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ -

මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ - මේ මතකය විතරයි.....

මෙහිදී රචකයා යොදා ගන්නේ අනෙක් පැතිකඩයි. වසර ගණනක ආදරයෙන් ඉතිරි වූයේ මතකය ම පමණකි. රැගෙන යන්නට ආදරයක් ඉතිරි නොවුණි. එබැවින්ම රැගෙන යන්නට ජීවිතයක්ද ඉතිරි නොවුණි. රැගෙන යාමට ඇත්තේ මතකයක පමණි. මතකය නම් වූ දුක් කඳක් පමණි.

නුඹ සඳක් වෙලා පායා - මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේ ම බැස යයි -මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි....

හුදකලාව තුරුළු කරන් අඳුරේ සිටි ඔහුට ආදරය නමැති සුන්දර ආලෝක ධාරාව විහිදාලූයේ ඇය ය. කලක් ඔහු හිත් අහසේ ඇය පුර සඳක්ව බැබළුණි. එහෙත් ඔහු සිත පිය විප්පයෝගය නමැති අඳුරට හෙලා දිනක් ඇය පුර සඳක් බැස යන අයුරින් ම බැස ගියා ය. ආදරයෙන් වියුක්ත අමාවක ගනඳුරක ඉතින් ඔහු කඳුළු ගනිමිනි.

සද එළිය අයිති ලොවටයි - සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක් - මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි.....

රචනය සුවිශේෂය. අමුතුවෙන් නො කිවයුතු ය. එහෙත් කතා බහට ලක්විය යුතුම අනෙක් කරුණු දෙක වන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණය හා සුනිල් එදිරිසිංයන්ගේ ගායනයයි. ගීතයේ යටි අරුත් මතු කරමින් නිමවන හෘදයංගම සංගීතයට ගයන ගැයුම ගීතයට දැඩි ආලෝකයකි.

ගීතය මෙතැනින් රසවිඳින්න



රත්න ශ්‍රී එතනින්ද නොනවතී. ඔහුට එයින් උකහා ගන්නට තවත් ගී නිමිති ඇත. ඔහු එයින් තුන්වැනි ගීයද නිමවයි. නැත. මේ ඔහු එයින් උකහා ගත් මුල්ම ගීයයි. මෙම සටහනේ අවශ්‍යතාව පිණිසය එය එම ගී අතුරින් තුන්වැන්න ලෙස යොදාගනු ලැබූයේ.



මෙම ගීතය ඔහු ලියන්නේ අනෙකෙකුට නොව තම මිතුරු කපුගේටය. මෙම ගීතය මළගිය ඇත්තො සහ මළවුන්ගේ අවුරුදු දා ඇසුරු කරගත් බවට හොඳම උදාහරණය රත්න ශ්‍රී ගේ සුදු නෙළුම ගීත කෘතියේ 28 වන පිටෙහි එන මෙම ගීත රචනයට යොදා ඇති හෙඩිමයි. එය දෙවෙන්දොරා සං ගේ සමුදීම නම් වෙයි. 

ඔබට යන්නම ඕනෑනම් - ඔබ යන්න ඉතින් නික්මී
මේ කාමරයේ පුරා රැඳුණ සුවඳත් අරගෙන
ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි...

ඇය ගැවසුණු දෙවෙන්දොරා විසූ කාමරයේ දසත ඇත්තේ ඇගේ සුවඳමය. ඇත්තටම ඒ සුවඳ  ඇත්තේ කාමරයේද නොවේ. ඔහුගේ ඇට, මස්, ලේ, නහර තුළය. ඔහු එම සුවඳට එතරම් ම ප්‍රිය කළ බැවිනි. ඒත් අද ඒ සුවඳ මතකය ඔහු සිත පාරවන්නක් ම වී ඇත. එය හිත හදා ගැනීමට ඔහුට ඇති ප්‍රධානම බාධකයයි. මෙවැනි සුවඳ මතකයන් සහිතව ජීවත් වෙන කවරෙක් වුවද සදාකාලික වේදනාවක් තුරුළු කරගත්තවුන් වෙයි.

පුර හඳ දිය වෙනවා සේ කළුවරටත් නොකියා
ඔබ යන්න කලා සොලොසම සපුරා
හෙට මළ ගම දා දියවක වී හිඳින්න සුදු ඇඳලා

ඈ ගැවසුනේ මේ කාමරයේ පමණක් නොවේ. අවට නගරයේ, කෝපි හල්, තේ හල්, කබුකි ශාලා, උයන් තෙරවල, මං මාවත්වල පමණක් ද නොවේ. ඈ වැඩියෙන් ම සක්මන් කළේ ඔහුගේ සිතෙහි ය. මතකයෙහි ය. ඈ ආ ගිය පා සලකුණු තවමත් සිත්හි නොමැකෙන මතකයකි. එය ඔහුට හිත හදා ගැනීමට  ඉඩ නොදෙන බාධාවකි. වදයකැයි කියන්න හිත නො නැමෙන වදයකි එය. ඒ නිසයි ඔහු අයැද සිටින්නේ තරුවක් බැස යන්නාක් සේ පා සලකුණු ඉතිරි නොකර යන ලෙස. ඔහු හරි හෝ වැරදි තීරණයකට එළඹ ඇත. ඈ නැ‍ති දිවි මග තනි ව නොයන බවට ය. ඔහු යන්නම යන්න තීරණය කර ඇත. ඇය වෙතින් ඉල්ලන අවසාන ඉල්ලීම වන්නේ මළගම දා සුදු ඇදගෙන විත් ඉහ ඉද්දරින් හිඳින ලෙසටය. 

තරුවක් බැස යනවා සේ පා සලකුණු නොතියා
ඔබ යන්න පාළු අහසින් බැසලා
හෙට මළ හිරුගේ ඉහ ඉද්දර ඉන්න ඇවිත් පායා....

ගීතය මෙතැනින් රසවිඳින්න





- රත්න ශ්‍රී විජේසිංහ, ගුණදාස කපුගේ -

පෙර කී ගීත දෙකට වඩා මෙම ගීය නවකතා දෙකෙහි අන්තර්ගතයට සමීපතාවක් දක්වයි. නොඑසේ නම් මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා ගැන දන්නා අයට එය නවකතාවෙහි ම ආත්මය සේ දැකිය හැකිය. මෙහි නොරිකො සං ගැනවත් දෙවෙන්දොරා සං ගැනවත් නාමිකව කිසිවක් නොදොඩයි. එහෙත් නව කතා දෙක කියවා නැති අයෙකුට වුවද එය ඉතා සංවේදී හෘදයංගම වෙනත් පිය විප්පයෝගයකට අදාලව ලියැවුනෙකැයි සිතා විශාල රසයක් විඳිය හැකි වෙයි.

එහෙත් එම කතා යුගලය කියවූවෙකු ලබන රසය වචන වලින් විස්තර කළ නොහැකිය. ඔබ කිසිවෙක් එම කතා යුගලය මෙතෙක් කියවා නැතිනම් දැන් හෝ කියවන ලෙස ඇරියුම් කරමි. මෙම සටහනේ අන් කිසිදු සාධනීය කරුණක් නොවූවද ඔබ එම කතා යුගලය කියවීමට යොමු වේ නම්, කියවූවෙකුට නැවත කියවීමට සිතේ නම් එයම සාධනීය කරුණක් වනු ඇත.

කතාවේ හැටියට දෙවෙන්දොරා සං මිය ගියේය. ඒ ආත්ම භවයට හෝ ඔහු දුකින් මිදුනේය. දැන් දුක ඉතිරි වූයේ නොරිකොට සහ කියවන අපටය. එහෙත් සැබෑව නම් සෑම මෙවැනි කතාවක ම දෙවෙන්දොරාලා මෙලෙස මරණයේ සුව නොවිඳියි. ඔවුන් දිගු කලක් නොමැරී සිට මැරි මැරී ජීවත් වෙන අයුරු පෙනෙයි.

ස්වභාවිකව මරණය එනතෙක් සිටින්නට දෙවෙන්දොරා සං අකමැති විය. දෙවෙන්දොරා සං මරණයට බිය නොවීය. ඔහු බිය වූයේ මැරි මැරී උපදිනවාට ය. අප ඔහුගෙන් වෙනස් වනනේ එබැවිනි. අප මරණයට බිය ය. ඒ නිසා අපි මැරි මැරී උපදින මඟම තෝරා ගෙන ඇත්තෙමු.

-          යසනාත් ධම්මික බණ්ඩාර   -