අද යම් කතා
බහක් ඇතිවුණා ගීත වලට කෙරෙන රූප රචනා ගැන. එහිදී එක් මිතුරෙක් මගේ ගීතයක් ගැන අසා
ඊට කර ඇති රූප රචනයෙන් කියවෙන කතාව සහ ගීතයෙන් කියවෙන කතාව එකමද නැතිනම් දෙකක්ද
යන්න මගෙන් විමසුවා. ඒ අන් ගීතයක් ගැන නොව නවරත්න ගමගේ සංගීතවත් කොට ඉමාන් පෙරේරා
ගැයූ මගේ සුවඳ මල් රේණු පිස එන - හාදු දෙන සිහිල් මදනල - නුඹට සමානා... ගීතයට
ජාතික රූපවාහිනියේ 16+ වැඩ සටහනට
අතුල සමරකෝන් කළ රූප රචනය ගැනයි. ඇත්ත වශයෙන්ම ඒ රූප රචනයේත් මගේ ගීතයේත් කතතාව
ගත්තොත් එහි වෙනසක් ඇතත් ඒ රූප රචනය තුළ මට ජීවත්වන්නට හැකියි.
රූප රචකයාත්
නිර්මාණ කරුවෙක්. ඔහු මා සිතන ලෙසම ඒ ගැන සිතා
තම නිර්මාණය කිරීම අවැසිම නෑ. ඔහු දකින අයුරින් එය සිදුකළ හැකියි. එහෙත්
ඉන් ගීත රචකයා නිශේදනය නොවිය යුතුයි. මේ ගැන විවිධ ගීත ඇසුරින් පැහැදිලි කිරීම් කළ
හැකියි.
අන්
අයෙකුගේ ගීතයක් ඉදිරිපත් කර උදහසට
ලක්වනවාට වඩා මගේම ගීතයක් දෙකක් ඇසුරින් එය ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතනවා.
මෙයද සමහර විට සමහරුන්ගේ උදහසට ලක්වීමට හේතුවක් විය හැකියි. එහෙත් මෙය උරණ වීමට
නොව සිතා බැලීමට යොමු කිරීමක් බවද ලියා තබනු කැමැත්තෙමි.
රන් රුවැත්තී
- මුදු සිතැත්තතී
ලකල් -
සුනිමල් - සිත් සොරා ගත්තී
තී ප්‍රේමවන්තී...
යනු මවිසින්
ලියා ආනන්ද ගුණසේකර සින්දු කියන දොස්තර මහතා විසින් ගැයූවකි. මෙම ගීතයට සංගීතය
සැපයූවේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි. පසු කළෙක ආනන්ද ගුණසේකරයන්ගේ පළමු ගීත
සංයුක්ත තැටිය රන් රුවැත්තී ලෙස නම් කිරීමට හේතු වූයේද මේ ගීතයයි.
මෙම ගීතය
තාරුණ්‍යයේ පිපි මලක් බඳු වූ යුවතියක් ගැනය. ගීතය ලියන මොහොතේ මසිත සක්මන් කළේ
කුමන යුවතියක් වන්නට ඇතිද?
ඇය මම ඉපදී හැදුණු වැඩුනු ගැමි පරිසයේ සුන්දරත්වය රැගත්
යුවතියකි. එම පරිසරය පිස එන සුවඳ මුසුවුන යුවතියකි. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැත.
ගීය අසන විට එය වැටහෙනු ඇත.
දැන් මෙම ගීතයට
රූප රචනාවක් කරන්නේ නම් එහි රඟන යුවතිය මා කී හැඩ හුරු කමින් යුතු එකියක් විය
යුතුය. මගේ වාසනාවට එවන් රූප රචනයක් කෙරුණි. ඒ අනෙකෙකු විසින් නොව අප මහත්
ඇළුම් කළ රූප රචකයෙකු විසිනි. එනම්
රවීන්ද්‍ර මුණසිංහ විසිනි. මා සිතූ ලෙසම ඊට යොදාගත් පරිසරය ගැමි සුවඳ හමන පරිසරයක්
විය. නිරූපිත සිදුවීම් ගැමියන්ට හුරු ඒවා විය. යොදා ගත් යුවතිය ගැමි යුවතියකැයි
සෑහීමකට පත්විය හැකි එකියක වූවාය. ඇත්තටම රවීන්ද්‍ර මුණසිංහයන් විසින් ඒ ගීය තුළ
වූ මගේ සිතුවිලි ජීවත් කරවීය.
මේ එම ගීතයේ
රූප රචනය වෙත දිගුවයි.
http://www.youtube.com/watch?v=5OwDO133q0w
http://www.youtube.com/watch?v=5OwDO133q0w
මේ රූප රචනාව
බැලු ඔබ ඇයි මෙවැනි ලිපියන මේ ගීය ගැන කතා බහ කරන්නේ කියා සිතනු ඇත. ඒ අනෙකක් නිසා
නොව පසුකලෙක මේ රූප රචනාවම මොඩිෆයි කරන්නට යාම නිසා එතෙක් මා හට ඒ තුළ සමාදානයෙන් සැතපී
ඉන්නට තිබූ ඉඩ අහිමි වූ බැවිනි. දැන් ගීතය තුළ රඟන්නේ මා සිතතුළ සක්මන් කළ රන්
රුවැත්තිය නොව අන් සංකර ළඳකි. එනිසා මගේ කතාව ඒ ගීතය තුළ නොමැත. මා අසීරුවෙන් ලියූ
වචන උපයෝගී කරගෙන අනෙකෙකුට අවැසි කතාවක් කියන ආකාරය බලා සිටින්නට මට සිදුවී ඇත.
දැන් රූප රචනය තුළ මට ජීවත් වන්නට තබා ඒ තුළ මියැදෙන්නටවත් සිත නොදේ. රූප රචනා මගින්
ගීත රචකයා මරා දැමුණු අවස්තාවකට මෙය හොඳ උදාහරණයකැයි මට සිතේ. මෙවැනි උදාහරණ එමට
ඔබට හමුවනු ඇත. ඒ නිසා ඒ කතාබහට මුළ පුරමු.
මෙන්න මාද රන්
රුවැත්තීද මරා දමා සංකර වුණු රූප රචනයට යන දිගුව.
මෙලෙසම වූ
තවත් ගීතයක් තියෙනවා. ඒ ගීතයට යෙදුනු රූප රචනය නිසා මට මගේ ගීතය තුළවූ ආත්මය අහිමි
වුණා කියා මට හිතෙනවා. මේකට මමත් වගකිව යුතුයි. ඒ අනෙකක් නිසා නොව මේ ගීතයේ තත්පර
කිහිපයක මමද පෙනී සිටින බැවින්. ගීතයේ ඉතුරු පටිගත කිරීම් මගේ අදහස් හා සමගාමී වනු
ඇතැයි සිතූ බැවින් එය නිකුත් වන්නට පෙර එහි අන්තර්ගතය නොවමසීම පිළිබඳව මා අනන්ත
කණගාටු වෙනවා. ඒ අවසන් නිර්මාණය තුළ මා එම
ගීතයෙන් අදහස් කළ දේට සපුරා වෙනස් දෙයක් කැටිවීම. මේ ගීත මගේ ගී අතුරින් හොඳම ගීත
ලෙස මම සලකන බැවින් මේ වේදනාව මට වඩාත් දැනෙනවා.
වළාකුළු
පෙළින් බසින්න - ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර
කුමරියේ කාටද නුඹගෙ ආදරේ - මටද ආදරේ....
කවුරුන් හෝ මේ
ප්‍රේමය පිළිබඳ විමසන්නේ සඳවතියගෙනුයි. සඳවතියගෙන් ප්‍රේමය පිළිබඳ සිතුවිලි විමසන
තරුණයා අනෙකෙකු නොව මහා උයනක, උයන්පල්ලෙකු ලෙසයි මගේ සිතේ පැළපදියම්ව
තිබුණේ. ඉතින් සඳවතියත් සමග ඔහු මනසින් බැඳෙනවා. කයින් හිතන්නටවත් බැරිතරම් දුරස්.
ඒක අමුතුම හැඟීම් සම්භාරයක් සමග යන දෙයක්. රූප රචනයේ වගේ සරල සෘජු කතාවක්
නොවෙයි. ඉතින් මේ රූප රචනයට පෙර මට මගේම
ගීතයක් තුළ මගේ නොවන හැඟීම් වගයක් තිබුණා.
දැන් මේ රුපය
සමග බලනකොට මේ ගීතයත් මගේ නොවෙයි. මේ හැඟීමත් මගේ නොවෙයි. ඒවා මගේම කර ගැනීමට නම්
මේ රූප නැතිව ඇස් දෙක පියාගෙන ගීය අසන ගමන් මගේම රූප පෙළක් මවාගන්න ඕනෑ. නැතිනම්
අවම වශයෙන් එහෙන් මෙහෙන් ඇහිලූ රූප ටිකක් එකතුකර කළ මෙවැනි වෑයමක් වත් වෙන්න ඕනෑ.
- යසනාත්
ධම්මික බණ්ඩාර -