අප
කවුද සිප්හලේ ඉතිහාස කතාවේ
පාසැල් වියට ප්‍රේමය
උචිතද යන පැණයට පිලිතුරක් හොයන්නේ කොහොමද?
එයට සෑහීමට
පත් විය හැකි පිලිතුරක් දෙන්නේ කවුරුන්ද?
ඒ ඒ කෙනා ඒ ඒ
උත්තර කියනු ඇත.
තමන් පෙම්
කරණා කාලයේ එය කාලෝචිතය කියා සිතූ අය වුව තමන් පෙම් කළ එම වයසේ සිටින තම දරුවන්ට
එය කාලෝචිත නොවන බව කියන විට එම පැණයට පිලිතුරක් සෙවීම මා හට වුව අභියෝගයක් ම ය.
මගේ දරුවන්ද, මා පෙම් කළ
වයසේදී පෙම් කරන්නට ගිය හොත් මා ඔවුනට එවන් බොහෝ අනෙකුන් සේම කියන්නට ඇති ඉඩ මේ
මොහොතේ බැහැර කළ හැකිදැයි මා තුළ වුව ඇත්තේ කුකුසකි.
මේ වරක් මගේ
පියා මා උසස් පෙළ කරමින් සිටි සමයේ මට කියූ දෙයකි.
“උඹ
විභාගේ ඉවර වුණාට පස්සේ කැමති කෙල්ලෙක් පෙන්නලා මට කිව්වොත් මේ ලියුම ගෙනිහින්
දීපං කියා මම ගෙනිහින් දෙනවා.“
මේ යම්
සිදුවීමකට ලැබුණු ඔහුගේ ප්‍රතිචාරයයි.
පෙම් හසුන් ඒ
සමයේ හදවතින් සමීප ගතින් දුරස් හමුවීම අසීරු, හමුවුණත් නිසි අදහසක් හුවමාරු කර
ගන්නට තරම් අවස්ථාවක් නොලබන අයගේ අදහස් හුවමාරු කර ගැනීමෙ මාධ්‍යයි. මේ මාධ්‍යය
මොන තරම් ඒ දවස පෙම්වතුන්ට සමීප ද යන්න ඒ කාලේ පෙම් කළ අය දන්නා දෙයක් වුව, අද නම්
එවන් ලිපියක් දැකවත් නැති, එස්.එම්.එස්. පෙම්වතුන්ට අරුමයක්ම වනු ඇත.
ඔහු ( මා පියා
) අදහස් කළේ මේ වයසේ විභාගයට වඩා නම් ප්‍රේමය කිසි සේත් ඉහළින් තැබිය නොහැකිය යන
අදහසයි. එහෙත්, ඒ ගැන ඊට වඩා එහා ප්‍රතිචාරයක් ඔහුගෙන් මතු නොවුණි. අනතුරුව එහි
ඵලය කුමක්දැයි ඔහු විමසූ බවක් මා හට මතක නැත.
විභාගය ඉවර වන්නට පෙර, සිත්හි මතුවුණු ප්‍රේමනීය අදහස් ක්‍රියාවට
නොනැංවුණා නොවේ. ඒවා ඉවර වුණි. එහෙත් ඒ නිසා විභාගය ඉවර නොවුණි.
මෙහිදී මම
විභාගයේ ඉවරයක් ගැන කතා කරන්නේ විභාගය කර අවසන් වීම යන අරුතින් නොවේ. බොහෝ අය මේ
වයසේ ඇතිකර ගන්නා ප්‍රේම සබඳතා හේතුවෙන් විභාගය ඉවරෙටම
ඉවර කරගන්නා බැවිනි. ඔවුන් සමහර
විට ඒ අරුතින් විභාගය ඉවර කරගෙන විවාහය දක්වා ඉක්මන් ගමනින් ගොස් විවාහයද ඉවර කර
ගනී.
මේ ප්‍රකාශය
බරපතළය. සියල්ලට ම පොදු නොවේ. එහෙත් සෑහෙන
පිරිසකට අදාලය. විභාගය හොඳින් නිමවා
කාලෝචිත පෙමින් විවාහ වන්නන්ද අතර මග විවාහය ඉවර කර ගන්නා අවස්ථා නැත්තේ නොවේ.
මේ නිසා කිසිවක් හරියටම හරියට සිදුවේ යැයි කිව නොහැකිය.
මේ නිසා කිසිවක් හරියටම හරියට සිදුවේ යැයි කිව නොහැකිය.
යම්
අදාලත්වයක් ඇති නිසා ය කීවේ.
දැන් නැවතත්
ගැටළුව පාසැලේ ප්‍රේමය කාලෝචිතද යන්නය.
පාසැල් වියේ
ප්‍රේමය පසෙකින් තැබුවහොත්, ප්‍රේමයට වයසක් තිබේද යන්නද අසන්නට සිතේ. ඒ ජීවිතයේ
නොමේරූ අවදියෙදී ඇති වන පෙම් සබඳතා සේම, ජීවිතයේ අතිශයින් මේරූ අවදියේදී ඇති වන
පෙම් සබඳතා ද දැක ඇති බැවිනි. අසා ඇති බැවිනි.
ඒ අනුව පාසැල්
වියේ ප්‍රේමය සුදුසුද යන්න එවන් පැණයන්ගෙන් එකක් පමණි.
පාසැලේ වියේ ප්‍රේමය
කාලෝචිතද නොවන්නේද යන්න සෙවීම ඔබට තබා මම වෙනත් කරුණකට යොමු වෙමි. ඒ පාසැල් වියේ
ප්‍රේමය හා බැඳුනු ගීතාවලියක් පිළිබඳව සටහනක් ඔබ ඉදිරියේ තබනු පිණිස ය.
මේ මැයෙන්
ලියැවුණු ගී බොහෝමයකි. ඉන් සොඳුරුතම ගී
කිහිපයක් පමණකි විමසන්නට සිතුවේ. එය විමසුමට වඩ වඩාත්
රිසි මැයක් වුව, දැනට යෙදී සිටින අන්
නිර්මාණ කටයුත්තක් හේතුවෙන් ඒ වෙනුවෙන් එතරම් දිගු කාලයක් වැය කිරීම මේ අවස්ථාවේ
ප්‍රායෝගික නොවේ. එබැවින් මෙහි ඔබට
හමුවන්නේ ගීත අතලොස්සක් පමණකි. ඒ ගැන කෙටි අදහස් ටිකක් පමණකි. මේ ගීත අතලොස්ස
ඇසීමෙන් ලබන උත්තේජනය ඔබව එවන් තව තවත් ගී අසන්නට පොළඹවාවි නම් එය මට මහත් සතුටකි.
මම මේ සටහන
සඳහා සුදුසු පළමු ගීතය සහ අවසානයට ඉදිරිපත් කරන්නට හොඳම ගීතය තෝරාගැනීමට වෙහෙසෙමි. ඒ හොඳම ගීය
පළමුව ඉදිරිපත් කරන්නද? නැති නම්
සටහනට විරාමය තබණු පිණිස එය තබා ගන්නද? මෙයට
පිලිතුරක් සෙවිය නොහැකි වන්නේ එවන් අනු පිලිවෙලක් නොසැලකීමට තීරණය කරමි. කතාන්දරයක සේ
පෙළ ගැසෙන අයුරින් ඒ ඒ ගීතය ගැන අදහසක් ලියා එය අසා ඊ ළඟ ගීයට යන්නට තිරණය කරමි.
සිනා
දොළක් වන් සිනා මලී
මල්වර
නැකතින් දොරට වඩින සුදු සිනා මලී
බලා
ඉඳිමි එනතුරු පෙර වාගේ
ඇයි
පිට පාරෙම අද
මේ ගීතයේ
කිිසිම තැනක මේ පාසැලේදී බැඳි පෙමක්ය යන අදහසක් නොකියවෙයි. පාසැල් යන මානවකයෙකුට
එහිම උගන්නා මානවිකාවක් ගැන පැන
නැගුණු අදහසකැයි නොකියවෙයි. එහෙත් මේ හිරිමල් වියේ සිටින ඔවුනගේ පාසැල් සමය ම නොවන්නේද?
මේ ගීතයේ පරිසරය
වටහා ගන්නට උත්සාහ කළහොත් එය ගැමි පරිසරයක් විය යුතුමය.
වෙල් එළියක,
කමතක් අස, ඇල අද්දර, දොළ අද්දර, වැව් බැම්මේ, වැව් පිටියේ නැවති නැවතී කුඩාම
සන්දියේ සිට ඊයේ දක්වාම ඔවුනොවුන් පාසැල් ගිය පාසැලෙන් ආ මතකය ඔහු සිත තුළ කිඳා
බැස පවතී.
ප්‍රේමය යැයි
ලේබල් නොඇලවී ඇතිවන දැඩි බැඳීම් මෙවැනි ගැමි පරිසරවල නව යෞවන යෞවනියන්ගේ උරුමයක් ව
තිබීම අරුමයක් නොවේ. ඒ උරුමය කරුමයක් වන අවස්ථා නැත්තේ නොවේ. එවන් දේ ගැන ලියැවුණු
ගීත ද මෙහි ඔබට හමු වනු ඇත.
මේ එවන් ප්‍රකාශ
නොකළ ප්‍රේමයක මල්වර වීමක් නොවේද? කුඩා සංදියේ සිට සිය හිතට ළං වුණු ඈ මල්වර
වෙද්දී ඈ පිළිබඳ ඔහුගේ සිතුවිලිද මල්වර වූ හැඩයයි මෙහි ඇත්තේ.
එහෙත්
සිරුරින් සේම හැසිරීමෙන්ද අද ඈ පාන්නේ වෙනසකි.
පෙරට
වඩා හරි හැඩකාරයි
ආඩම්බර
පාටයි
මා
හිනැහුණු පුංචි කිරිල්ලිය
නුඹේ
ලපටි සිත දෙගුරුන්
වෙනස්
කළාදෝ
ඇයි
සිනහ නැතිව අද
එදා නිරතුරුව
මුණ ගැසුණු තමන් වෙත සිනාවෙන් ඇසගින් මොන මොනවාදෝ කියපු ඈ අද යම් තරමකින් වෙනස්වීම
ඔහුට වටහා ගත නොහැකි වෙයි. වටහා ගත හැකි වුවද ඉන් ඔහු සිත කලබලයට පත් කරයි.
නව යෞවනියකගේ
මේ ශාරීරික මානසික වෙනස් වීම දැක මේ නව යෞවනයාගේ සිත කැළඹෙයි. ඇගේ සිත අන්
කිසිවෙක් විසින් වෙනස් කළාදැයි ඔහුට සැක සිතෙන තරමට වෙනස දැනෙයි. එය ඇගේ ශාරීරික
මානසික වෙනසේ ස්වභාවය යන්න වටහා ගැනීමට ඔහුට තවත් කාලය අවැසි වෙයි. අත්දැකීම්
අවැසි වෙයි. ඒ කාලය ලැබෙන තෙක්, ඔහු සිත උපදින සිතුවිලි දාමය ය මේ.
මීට තවත්
කරුණක්ද හේතු වෙයි. බොහෝ විට සම වයස් සිසු සිසුවියන් අතරේය මෙවැනි සබඳකම් ඇති
වන්නේ. ඒ අනුව, ඔවුන් ගේ වැඩි විය පැමිණීමේ රටාව සැලකිය යුතු මට්ටමකින් පරතරයක්
සහිත වෙයි. දැරිය නව යෞවනියක් වන විට, දරුවා මෙතෙක් නව යෞවනයෙක් නොවිය හැකිය. සමහර
විට ඔහුගේ ඒ වයස එළඹෙන්නේ තවත් අවුරුද්දකට දෙකකට නැති නම් තුනකට පසුවය. මේ පරතරයද
මේ නොතේරුම් ගැනීමට හේතුවක් විය හැකිය.
එසේම ඇය හැදෙන
සංස්කෘතික වටපිටාව ද යම් බලපෑමක් නොකරන්නේ නොවේ. ඇයට වන සෙවීම් බැලීම් වැඩි වෙයි. ගුරුහරුකම්
වැඩි වෙයි. සීමාවන් මායිම් වැඩි වෙයි. එබැවින් නුඹේ
ලපටි සිත දෙගුරුන් වෙනස් කළාදෝ යන පැණය නැගීම වරදක්ම යැයි කිව හැකි එකක්
නොවේ. එවන් දේ ඒ පරිසර වල එමට සිදුවෙයි. පෙමින් වෙලෙන්න පෙම් කරන්න නිදහස ඇත්තා
සේම නිදහස අහිමි වීම්ද මේ පරිසරයේ වැඩි වන්නේ පෙර කී සංස්කෘතික වටපිටාව නිසාය.
වදුළු
පුරා දං හිඹුටු සොයා
කෙළි
දෙලෙනී ගැළුනේ
දුව
පැන ඇවිදපු පුංචි කිරිල්ලිය
නොදැක
හිටිය ටික දවසට වෙනස් වෙලාදෝ
ඇයි
කතා නැතිව අද
යළිත් කිවහොත්,
මේ ගීතය තුළ දසුන වන්නේ හිරිමල් වයසේ ප්‍රේමනීය හැඟුමයි. පැසැල ගැන සඳහනක්වත්
නොවුණද මේ ඔවුන් පාසැල් යන වයස වන බැවින්, මේ පාසැලද සම්බන්ධ ප්‍රේමයක් වීමේ
හැකියාව බිඳ දැමිය නොහැකි වෙයි.
සොඳුරු ගේය පද
ඇමිණුම කුලරත්න ආරියවංශයන් විසිනි.
ස්වර රටා
මවාලා රිද්මයන් ගලපා ගැයුම කෙරෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි.
සිනා
දොළක් වන් සිනාමලී ගීතය අසමු.
මේ හා සමාන
හැඟීමක් දනවන ගීතයක් ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින්ම ගයනු අපට හමුවේ. එය
ඇත්තටම කියනවා නම් මට මේ ඉහත කියූ ගීතයටත් වඩා බොහෝ සේ දැනෙන එකකි. ඊට හේතු බොහෝ
ය. පළමු වැන්න නම් පද රචනයයි. එය අරුමැසි එකකි. එසේ විය යුතුමය. මක් නිසාද යත් එහි
රචකයා ප්‍රේමකීර්ති ද අල්විස් වන නිසාය. මේ
බලන්න ඒ මහෝඝය.
නැවුම්
සුවඳින් ඔබේ මුව දුටු
රත්තරං
දවසේ
සිතක
ආදර පැතුම් මල් පෙති
අවදි
විය රහසේ....
මේ නැවුම් සවඳ
ඔහුට දැනුනු රත්තරං දවස කුමක්දැයි එහි කොහේ වත් නොකිය වේ. නමුත් මට හැඟෙන්නේම ඒ ඇය
මල්වර වූ යුවතියක් ලෙස ඔහු නෙත ගැටෙන පළමු දිනය සේ ම ය.
මේ ගීතයේ මට
අරුමැසිම තැන වන්නේ එහි ඊ ළඟ පාදයෙහි ඇරඹුමය. ඔහු ඇයව අමතන්නේ සුදු යනුවෙන්ය.
එහෙත් සෑම කෙනෙකුම අමතන සුදු යන්නට වැඩි ඇමතුමක් අද ඔහුට අවැසි වෙයි. ඔහු ඒ සුදූට
මෙහි කියන්නේ සුදුනි යනුවෙනි. එහි මහා ආදරයක් සේම ගෞරවයක් ද වෙයි.
මෙහි ඔහු ඈට
සුදුනි යනුවෙන් හඳුන්වන්නේ සුදුනි යන වදනක් සිංහල බසෙහි ඇති නිසාම නොවේ. මම හිතන
අයුරින් නම් මෙහි සුදුනි යන්න ඔහු හදා ගත් වදනකි. ඒ අවසරය කවියෙකුට හිමි වෙයි.
එහෙත් එහි යම් යම් සීමාවන් වෙයි. බස නොමරා එය කළ යුතු වෙයි. එහෙත්, ඔහු එය යෙදූ
පසුව අද එය බසෙහිම වන දෙයක් සේ යමෙකුට පාවිච්චි කළ හැකි තරමටම එය නිරවුල් වෙයි.
මෙය කවියන්ට
පාඩමකි. විශේෂයෙන් ම අප වැනි කුදු කවියන්ට පාඩමකි. එය පාඩමක් කරගෙන මම ද යම්
අවස්ථාවක මෙවැනි වචනයක් හදා ගත්තෙමි. මහා කවියෙක් මා හට යෝධ රැකවරණයක් සලසන බැවින්
එහි දී මා ඊට පසුබට නොවුනෙමි. එය ගීතයකට යොදා ගත්තෙමි. එහෙත් එය පාසැලේ ප්‍රේමය ගැන
ලියැවුණු ගීතයක් නොවේ. කෙසේ වෙතත් අර අත්හදා බැලීම කළ බැවින් එය මේ යැයි වටහා ගැනීම පිණිස පද රචනයද ගීතයද
මෙහි අමුණමි. නමුත්, ගීතය ගැන දුර දිග නොලියමි.
මං
මුලා වේවී
සිත
කෝල වූවොත්
මේ
මිනිස් වනයේ
ගිනි
කන වැටී ඇස මං මුලා වේවී
මුවැත්තී....
සුදත්
නී,
සිත
බියෙන් සසැලේවී
නුඹ
මුවන් විදුමට දඩයමේ යන
නිරිඳුදැයි
සිත
බියෙන්
සසැලේවී...
ඒ ගීත
ඛණ්ඩයෙන් අදාල අදහස ප්‍රකට වන බැවින් එයින් නවතිමි. නමුත් ගීතය අසා යළිත් අප කතා
කරමින් සිටි ගීතයට යොමු වෙමු.
අපි දන්නා
සුදත් යන්නක් මිස සුදත් නි යන්නක් නොමැත. එහෙත් සුදත් තෙම වැනි අදහසක් සුදත් නි
යන්නෙහි ඇත. නැති නම් සුදත් ට කෙරෙන ආමන්ත්‍රණයක් සහිත නාමය සුදත්නි වෙයි.
මෙහි සුදත් නි
යන්න යෙදුවේ ඇයිද යන්නටත් යම් පැහැදිලි කිරීමතක් කළ යුතු යැයි සිතේ.
මේ ගීතය
ලියද්දී ඔහු මට මැවෙන්නේ ඔහු යහපත් ගතිගුණැති, පිය තෙපුළැති, ගුණගරුක කඩවසම් අයෙනු
ලෙසයි. එවන් ඔහුගේ දසන්ද පියකරුය. මුතු මෙන් සුදු ය.
යම් සම්භාව්‍ය
සිංහල සාහිත්‍ය කෘතියක ( එහි නාමය අමතක වීම ගැන කමන්න. යම් හෙයකින් මතක් වුවහොත්
සටහන් කරමි.) සුදුවන් දත් ඇත්තා සුදත් නම් වන බව සඳහන් විය. එතැනින් නොනැවතී
සුදුවන් දත් ඇත්තේ පිය බසින් දොඩන, මුසා බස් නොදොඩන යහපතෙකුට පමණකැයි සඳහන්ව
තිබුණි. එබැවන් මේ ඔහු ඇමතීමට සුදත් යන්න යොදා ගතුයුතු යැයි මට හිතක් පහළ විය. එය
සුදත් යන්නෙන් පමණක් නොනැවතී එහි ආදරණීය ගෞරවනීය ආමන්ත්‍රණයේ ස්වරූපය හදන්නට මට
සිත් විය. එබැවින් එහි සුදත් නි යන්න ගතිමි.
ඉතින් සුදූ
සුදුනි කළ ප්‍රේමකීර්ති ගේ ඒ පෙළහර අපට ගුරු වූවා නොවේද?
සුදුනි
ඔබෙ සුදු දෙපා යට වෙන
සිහින්
වැලි අතරේ
රැඳුණි
මා හද සිහින සිතිවිලි
පැතුම්
දිවි කතරේ....
දැන් මේ ගීතය
සහ මේ පාසැලේ ප්‍රේමය ගැන ලියැවුණු ගීත අතරේ ඇති සම්බන්ධය කුමක්ද? පාසැලේ ප්‍රේමය
ගැන ලියද්දී පාසැල පාසැල යනුවෙන් යළි යළිත් ලියැවිය යුතු නොවේ. මේ යොවුන් ජීවිත ගෙවන්නේ ඒ සොඳුරු පාසැල් සමයය.
එබැවින් මේ පාසැලේ ප්‍රේමයම විය යුතුමය.
උදා
තරුවත් සමඟ අවදිව
නොහිඳ
ඝන අඳුරේ
එන්න
මා වෙත සිහිල් සුළඟක
දැවටිලා
සොඳුරේ....
ගේය පද - ප්‍රේමකීර්ති
ද අල්විස්
සංගීතය හා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පාසැලේ ප්‍රේමය
පිළිබඳ ලියැවුණු ගී අතරේ ගායක ප්‍රියා සූරියසේන ගයන
මතු ගීතය අතිශයින් ජනප්‍රිය එකක විය. එහි සිටින්නේ පාසැල නිම වී සිය පෙම්වතිය
පැමිණෙන තෙක් බලා සිටින පෙම්වතෙකි. ඔහු, ඈ පාසැල නිම වී පැමිණෙන තෙක් බලා සිටින
බැවින් ඔහු පාසැල් නොයන අයෙකැයි මට සිතේ. නැති නම් සිය පාසැලෙන් කළින් පැනගෙන ආ
අයෙකු වුව විය හැකිය. සමහර විට ඔහු ඉහළ පන්තියක සිට මේ වන විට විභාගය නිම කළ අයියෙක්
වන්නට ද හැකිය. නැති නම් ඇය සමග එකට සිට සාමාන්‍ය පෙළ වැනි පන්තියකදී අසමත්ව
පාසැලෙන් ඉවත ගිය කෙනෙකුන් වුව විය හැකිය.
පහළ පංතියේ
සිටි නැගණිය සමග හාද වුණු ඔහු සිය පාසැල් ගමන නිමවුණු පසුව ඈ එන තෙක් මෙසේ සිටිනවා
වන්නට ඇත. මෙසේ සිටින්නේ කොහේද? කොයි කලත් ජනප්‍රියම තැනක් නම් බස් නැවතුමයි. වැඩි
දෙනෙක් පොදු ගමන් බසයෙන් යන එන බැවින් බස් නැවතුම මෙවන් විසල් පිරිසකගේ කේන්ද්‍රගත
ස්ථානයකි.
පුන්සිරි
සොයිසා වෙනුවෙන් චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත රචකයා අතින්
මේ
බස් නැවතුම
පෙර
හැම දිනකම
අප
හමුවන හැටි දැන උන්නේ
යන ගීතය
ලියැවෙන්නේ එබැවිනි. එහි මා කිව යුතු බොහෝ දේ කියැවී ඇති බැවින් මා ඒ දේ යළි
නොකියමි. ප්‍රියා ගේ අප දැන් කතා කරමින් සිටින
ගීතයෙන් පසුව පුන්සිරි ගේ ඒ ගීතය ද අසමු යැයි
යෝජනා කරමි.
රංචු පිටින්
එන යෞවනියන් අතරේ ඈ තරමක් පසු වී එනවා වන්නට ඇත. ඈ ඇත්තටම ප්‍රමාද වෙන්නේ
මිනිත්තුවක් දෙකක් විය හැකිය. එහෙත් බලා සිටින පෙම්වතෙකුට එය දැනෙන්නේ හෝරාවක්
දෙකක් වැනිවය. මේ බලා සිටීම් වල ස්වභාවය එයය.
සුදු
පරෙවි රෑන සේ
පියා
සලා
පාසැල
නිම වී යොවුන් කුමරියන්
පෙළින්
පෙළට එයි ඈ තාම නෑ
ඈ
තාම
නෑ
මේ සිදුවීම
පාසැල් වියේ අතිශයින් සුලබ දෙයකි. වන දෙයකි. එදා ද එහෙමය. අදත් එහෙම විය හැකිය.
එහෙත්, එය ගීතයට මුසුව ඇසෙන විට පෞද්ගලිකව මගේ හිතේ යම් අවුලක් ඇති වේ. එය එලෙසින්
නොඇසුනා නම් හොඳ යැයි හිතේ. එය අපේ සංස්කෘතියට බැඳුනු පාසැල් සංස්කෘතියට නොගැලපේ
යැයි හැඟෙන බැවිනි. නොගැලපෙන්නේ පාසැල් ප්‍රේමයට වඩා එවන් දෑ මෙලස ප්‍රසිද්ධියේ
එළිපිට කීමය. වක්‍රව එසේ එළිිපට කරන්නට ඇරියුමක් වැනිය එය.
දැන් මේ වගේ
දෙයක් කී විට පාසැලේ ප්‍රේමය ඒ යුගයේ තරුණ තරුණියන්ට අකැපද? ඔයාලා එහෙම කර නැතිද?
ආදී වශයෙන් පැණයන් රාශියක් නැගෙනු ඇත සමහරුන් පොලු මුගුරු රැගෙන දිව එනු ඇත. මා
මෙහි එහෙම දෙයක් කියා නැත. එහෙත් ඒ ඒ යුගවල කෙරෙන සෑම දෙයක්ම එළි පිට කීම අවැසි
නැත.
ලංකාවේ අද
දවසේ සිදුව ඇති එක් මහා අවුලක් නම්, හොරෙන් රහසින් කුමන සමයකත් කෙරුණු බොහෝ දේ එළි
පිට කිරීමේ නිදහස ඉල්ලීමයි. ඒවා මොන මොනවාදැයි නමින් හඳුන්වන්නට මම නොයන්නේ මේ තුළ
මට ඒවා ගැන විවාදයක් මේ මොහොතේ අවැසි නොවන හෙයිනි. මට මේ ගීතය දැනෙන්නේද ඒ අයුරිනි.
පාසැල් වියේ
දරුවන්ගේ, යෞවනයින්ගේ පළමු අරමුණ විය යුත්තේ නැණ නුවණ වඩවාගෙන, යහපත් ආකල්ප සහ කුසලතාවන්ගෙන්
හෙබි අය වීමයි. ආදරය යන්න උදුරා ඉවත් කළ යුතු දෙයක් නොවුවද, ඒ සඳහා අනවශ්‍ය
පෙළඹවීමක් දීම අවැසි නොවේ යැයි හඟිමි. ඒවා පෙර සිදු වුණා සේ සිදුවනු ඇත යන්නය මගේ
හැඟීම. එසේ වන්නට ඉඩ හැරීමය යුතු.
සුදු
පරෙවි රෑන සේ ගීතය අසමු.
අර හමුවීම්
වලට සහ එවන් සුවහස් ගණන් හමුවීම් වලට තෝතැන්න වූ බස් නැවතුම ගැන ලියැවුණු පුන්සිරි සොයිසා ගේ ගීතය ගැන දැන් අපි කතාවට බහිමු.
මේ ගීතය
පාසැල් වියේ ප්‍රේමයට අදාලද? සෘජුව අදාල බව එහි වචන තුළ නැති වුව, අදාල නොවන බව ඒ
නිසාම කිව නොහැකිය. මේ සිද්ධිය වන්නේ පාසැල් වියේදී විය හැකිය. එය එසේ නම් මේ
සටහනට ද එය අදාල ය. එය එසේ නොවුනවද, පාසැල් වියේ බොහෝ පෙම්වතුන්ට මේ ගීතයේ
අත්දැකීම අතිශය ළඟ බැවින් එය මේ කතාවට බලෙන් එල්ලූ එකක් වන්නේ නැත.
එය ලස්සන
ගීතයකි. එහි රචකයා ප්‍රවීන ගීත රචක චන්ද්‍රදාස ප්‍රනාන්දු
ය.
අශෝක පීරිසුන් ගේ සංගීතයට ගයන්නේ පෙර කී ලෙස පුන්සිරි සොයිසා ප්‍රවීනයාය.
අශෝක පීරිසුන් ගේ සංගීතයට ගයන්නේ පෙර කී ලෙස පුන්සිරි සොයිසා ප්‍රවීනයාය.
මේ
බස් නැවතුම
පෙර
හැම දිනකම
අප
හමුවුණ හැටි දැන උන්නේ
මා
තනි වුණ බව ඔබ සමුගෙන බව
මේ
බස් නැවැතුම තව නෑ දන්නේ
හමු වීම් ගැන එදා
එහි සිටි බොහෝ දෙනා දනිතත් වෙන් වීම් ගැන ඒ සියල්ල ඒ අයුරින්ම නොදනිති. සමහර විට
දැන ගන්නේම නැත. සමහර විට දැන ගන්නේ බොහෝ පසුවය.
මේ නිසා
මෙවැනි දෑ සිදුවේ. මේ කතාව ම කියැවෙන විවිධ ගී රැසක් මෙහි අපට මතක් කල හැකි වුවත්,
මේ මොහොතට මේ ගීතය සෑහේ යැයි සිතමි.
ඉස්සර
හවසට මා එනතුරු ඔබ
මෙතැනම
සිටියා දෙනෙත අයා
එකම
රියක නැඟ එකම අසුනෙ ඉඳ
ගිය
හැටි මතකයි තවම එදා
මේ මා අර පෙර
කියූ හමුවීමේ තෝතැන්න බස් නැවතුම වූ බොහෝ දෙනෙකුගේ කතාවයි. ඇය හෝ ඔහු එනතුරු බලා
සිටි තැන එයය. ලොවට හොරෙන් දෑසින් කතා කළ තැන එයය. පොතක් අස්සේ දැමූ හසුනක්
හුවමාරු වුණු තැන එයය. එකම අසුනක් සඳහා පොරකා නැගී ඇයව හැරලන්නට ගිය තැන එයය. ඉන්
සමහරෙක් වෙන් වූ තැනද එය ම විය හැකිය. වෙන් වී තනිව විත් තනිව හෝ තවෙකෙකු අත ගෙන
යන ඔහු හෝ ඇය දෙස වේදනාත්මකව බලා සිටින තැනද එය ම විය හැකිය.
ප්‍රේමය
නිමවුණ මා අද තනිවම
රියකට
මෙතැනින් ගොඩවෙනවා
ඒ
රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම
අසුනෙ ඉඳගෙන යනවා
මේ ගීතයේ මෙය
ලියැවී ඇත්තේ සරල ව සහ සාජුවය. මේ නිසා යම් අරුත සඟවා ලියන්නට පුරුදු වුණු කවීන්ගේ
ගී රස විඳින දනෝ පෙර දා යම් අයුරකින් මෙවන් ගී ගැන පැණසර වෙනු අපි ට දැක පුරුදුය.
සමහර ගීතයක් ගැන අපිදු එසේ සිතා ඇත්තෙමු. එහෙත්, වත්මනේ ගීත ලෙස ඇසෙන බලු නොවටිණා
පෙම් අඳෝනාවන් අතරේ මේවා මොන තරම් සුන්දර අගේ ඇති ගීතද?
මේ
බස් නැවතුම ගීතය අසමු.
ගුරු
ගෙදර පාළුයි
ගුරු
ගෙදර පාළුයි
ඔබෙන්
වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි
අඳුරුයි පාළුයි
ගුරු
ගෙදර පාළුයි
ගුරු
ගෙදර පාළුයි
මේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ
සොඳුරු ගීතයකි. එහි පද රචනය ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ මෙනි.
ඔහු සමඟ
සෙවනැල්ල සේ සිටි ඇය වෙන්ව ගොසිනි. මේ වෙන්ව යාම කුමණ ආකාරයේ එකක්දැයි ඉඟියක් මේ
ගීතයේ වෙයි. එය සාමාන්‍ය හැර යාමක් නොවේ යැයි මට හැඟේ. එය නැවත කිසිදා කිසිවෙක් හෝ
වෙනුවෙන් නොඑන්නම යාමක් දැයි මට වරෙක හැඟේ. එහෙත් ගීතය දුරට අසද්දී එය එසේ නොවේ
යැයි ද සිතේ.
මේ හැර යාමෙන්
ඔහුට කොතරම් දුකක්, පාළු හුදෙකලාවක්, වේදනාවක් දැනෙන්නට ඇතිද? එහෙත් ඔහු එය
කියන්නේ වෙනත් විදිහකටය.
ඔහු කියන්නේ
තමන්ගේ පාළුව වෙන තැනක පාළුවකට පෙරලලාය.
පාළු වී ඇත්තේ
ගුරු ගෙදර යි. ඒ කුමණ තරමකින්ද යත්, ඇගෙන් වෙන් වුණු ඔහුගේ සිතේ ඇති වුණු පාළුවේ
තරම වැනි පාළුවකි. එය කෙළින්ම කියනවාට වඩා අතිශය මණරම් ය මෙලෙස වක්‍රව කීම.
මියුරු
පිවිතුරු සෙනේ විඳ විඳ
අකුරු
කරමින් එක්ව හිඳ හිඳ
එදා
දුන් හිරිමල් හිනා - අද
ඔබට
අමතකදෝ
එදා ඔවුන්
එක්ව ගෙවූ කාලය ඔහුට නම් මතකය. මතකයේ ඇතිවා මතු නොව කිසි දිනක අමතක නොවනයුරින් හද පතුළෙහිම
ඇඳී ඇත. එහෙත් එය ඇය ට කෙලෙසක වේ දැයි ඔහු තුල කුකුසකි.
ඔබට අමතක දෝ
යනුවෙන් අසන්නේ එබැවිනි. මතක නම් මෙලෙස ඈතට වී සිටිය නොහැකි වේ යැයි ඔහු සිතනවා
ඇත.
ගුරු
ගෙදර පාළුයි
ඔබෙන්
වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි
අඳුරුයි පාළුයි
ගුරු
ගෙදර පාළුයි
ගුරු
ගෙදර පාළුයි
ඔහුට යළි
යළිත් එලෙස සිතෙයි. බිඳුනු හදවත් වලට ඒ වේදනාව දැනෙන්නේ එක් වරක් පමණක් නොවේ. එසේ
වරක් පමණක් දැනී, රිදවාගෙන, විඳවාගෙන එය සිතින් බැහැර වේ නම් වාසනාවකි එහෙත් එය
එවැන්නක් නොවේ.
යළි යළිත්
දැනෙයි. යළි යළිත් රිදවයි. යළි යළිත් විඳවන්නට වෙයි. මේ විඳවීම් වල කෙලවර යම්
සියුම් වේදනාත්මක රසයක් බවට එය පත් වෙයි.
ඒ සඳහා ගත වන කාලය එකිනෙකාට අනුව වෙනස් වෙයි. සමහරුන් සිය ජීවිත කාලය පුරාම ඒ රසයට
නෑවිත් විඳවමින්ම මරනයටද ළඟා වෙයි.
එය එසේ
තිබියදෙන්. ඔවුන්ගේ මේ වෙන්වීම කවරාකාර එකක්ද? ඒ ගැන මට කුකුසක් ඇති වුණු බව මම
මදකට පෙර සඳහන් කළ බව ඔබට මතක ඇතිවා විය යුතුය. ඒ මේ නිසායි.
හීන්
දෙවටේ පිපී නැළවුණු
එකම
මධු මල පරවුණාදෝ
සිහින
පියසේ සුවඳ විලසේ
මිරිගුවක්
වීදෝ
මේ කොටසේ එකම
මධු මල පරවුණාදෝ යනුවෙන් සඳහන් වන බැවින් පරවීම හිතේ පිපුණු මලක් පරවූ බැවින්ද,
නැති නම් සදහටම පරවූ බැවින්ද යන පැණය යම් තරමකට මසිත නැගුණද එහෙත් යළි එය හිතේ
පිපුණු මලක පරවීමක් ලෙස සිතිය හැකි යැයි සිතේ.
මේ ගීතයේ
සංගීත මුසුව ගීතයේ අරුතට මනා මෙහෙයක් ඉටු කරයි. ඔහු බිඳුනු සිත පවතින පාළු හුදකලා
බව එයින් වඩාත් මතු කරයි. එය ද අයිති අමරදේවයන්ට
ම ය.
අද ඇසෙන හර
සුසුන්, හැඟුම් විරහිත හුදු ප්‍රේම විලාපයෙන් වෙහෙස වූ ඔබට මෙවන් ගීතයකින් ඇති කරණ
ශාන්තිය අති මහත් වන බව නිසැකය.
ගුරු
ගෙදර පාළුයි
ඔබෙන්
වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි
අඳුරුයි පාළුයි
ගුරු
ගෙදර පාළුයි
ගුරු
ගෙදර පාළුයි
ගීතය අසමු.
පාසැලේදී සමහර
යොවුන් හදවත් ආදරයෙන් ප්‍රේමයෙන් බැඳෙයි. සමහර යොවුන් හදවත් තුළ ආදරයේ අංකුර දළු
ළෑවත් ඒවා හැදී වැඩී මල් නොපිපෙයි.
සමහර ආදරයෙන්
බැඳුනු මේ යොවුන් හදවත් ආදරයේ මාවතේ, කටු කොහොල් මැද, මල් පියළි මත දිගු දුර ගමන්
කර එකිනෙකා අත ගනී. එක කැදැල්ලකට ගෙවදී එකට දිවි ගෙවයි. දරු මල්ලන් තනයි. උන්ව
පෝෂණය කරමින් ජීවත් වෙයි.
එහෙත් සමහර මේ
යොවුන් හමුවීම් කලකින් දුරස් වෙයි. එය පාසැල් සමය තුළම වන්නට හැකිය. නැති නම් තවත්
ටිකක් කල් ගිහින් වන්නට හැකිය.
හන්තානට
පායන සඳ
ලස්නයිද
බලන්න
ගීතයේ ඇත්තේ
සරසවිය හා සම්බන්ධ ආදර පුවතක්ද?
පාසැලේ ප්‍රේමය
ගැන පුවතක්ද?
ගීතයෙන්
සැනින් මත්ව දුර දිග නොසිතුවේ නම් ඔබට හැඟෙන්නේ එය සරසවි පෙමක් හා මුසු ගීතයක්
ලෙසය.
එහෙත්, වඩාත්
ගැඹුරට කිමිදුනේ නම්, එහි ඇත්තේ සරසවි ප්‍රේමයම නොවේ. එහි ඇත්තේ පාසැල් ප්‍රේමයයි.
ඒ පෙම
ඇරඹෙන්නේ පාසැල් වියේදීය. මිය යන්නට නියමිතව ඇත්තේ සරසවියේදීය යනුවෙන් යමෙකුට
සිතන්නට ද හැකිය. එහෙත් එය එසේ ද නොවේ. මේ
එම ප්‍රේමයේ එක් පාර්ශ්වකරුවෙකු ගේ සිතිවල්ලක් පමණි. ඔහු විසින් අනෙකාට කරණා
යෝජනාවක් පමණි. අනෙකාගේ අදහසක් මෙහි කියැවි නැත.
ඇයට සාධාරණය
ඉටුවෙතැයි ඔහු සිතන්නේ මේ ඔහු යෝජනා කරණ අයුර ක්‍රියාමක වුවහොත් කියාය ඔහුගේ අදහස.
ඇගේ සිතැඟි කියැවෙන අන් ගීතයක් නොඇසෙන්නේ එය සිදු වුණිද නැතිද යන්නක් මෙයින් නොකිය
වෙයි. එහෙත් එසේ වේ යැයි අප සිත කකියයි. විරහවට සැබෑ හේතුවක් නැතත්, මෙහි විරහ
වේදනාවක් දැනෙන්නේ එබැවිනි.
හන්තානට
පායන සඳ
ලස්සනයිද
කියන්න
මා
නොදකින ඒ පුර හඳ
ඔබට
හැකිය දකින්න
ඈ හන්තාන
අඩිවියේ සරසවියට ගියේ පාසැල් දිවියෙන් අනතුරුවය. ඔහු හන්තාන අඩවියේ සරසවියට නොගියේ
පාසැල් දිවියේ අපේක්ෂිත අරමුණටම ඔහුට යාමට නොහැකි වුණු බැවිනි. එහෙත් ඒ අතරේ ඔවුන්
සෘජුව අපේක්ෂා නොකරණ අරමුණක් එක්තරා මට්ටමකින් ජයගෙන තිබුණි. ඒ සොදුරු ප්‍රේමයක
හිමිකරුවන් වීමයි.
එහෙත් පාසැල්
අධ්‍යාපනයේ ඒ උසස් අරමුණ ජය ගන්නට ඔහුට නොහැකි වුණු බැවින් සහ ඇයට හැකිවුණු
බැවින්, අර සෘජුව අපේක්ෂා නොකළ නමුත් ජයගත් අරමුණ ඇයට හිත සුව පිණිස යැයි ඔහු හඟින
දේ වෙනුවෙන් පුද දෙන්නට ඔහු සූදානමින් සිටී.
එහෙත්,
අනතුරුව වූයේ කුමක්දැයි අපි නොදනිමු. සමහර විට ඔවුන් අදටත් පෙම්වතුන්ම වන්නට ද
හැකිය.
මේ ගීතය ගැන
අවශ්‍ය තරමින් අපි කතා කර ඇත්තෙමු. මා මෙහිදීමද, බොහෝ අය බොහෝ තැන්හිදීද ඒ ගැන කතා
කර ඇත්තේ එබැවින් මා අද මේ කෙටි සටහන පමණක් ඒ ගැන තබා අන් ගීතයකට යොමු වෙමි. ඊට
පෙර හන්තානට පායන සඳ ගීතය අසා යමු.
පාසැල් වියේ
ප්‍රේමය මුසු නිර්මාණ එමට අපි අසා දැක තිබේ. ඒ නයින් ඒවා විඳ තිබේ. චිත්‍රපටය යනු
මේ වෙනුවෙන් සුවිශේෂ උදාහරණ නිර්මාණ කලාංගයකි.
පාසැල් වියේ ප්‍රේමය මුසු චිත්‍රපටි ගැන කතා කළ විට අප වැනි අයට සැනින් මතක්
වෙන්නේ ගොළු හදවත, ගැහැණු
ළමයි, එයා දැන් ලොකු ළමයෙක් වැනි චිත්‍රපටයක
නමකි. නමුත් පසු කාලීනව ඊට තවත් එමට චිත්‍රපට එකතු විය. ඒවාගේ විවිධ ගීතද හමුවිණ.
ඒ සියළු ගීත
ගැන කතා කිරීමට තරම් වේලාවක් මා සතුව මේ මොහොතේ නොමැත. එබැවිනි කාලය වේලාව ඇති
පරිදි මට හුරු ගීත ටිකක් ගැන පමණක් කතා කරන්නට සිතනුයේ.
ගොළු
හදවත අප චිත්‍රපට වංශකතාවේ එක් විසල් සන්ධිස්ථානයකි.
ඒ, එම චිත්‍රපටය
වටා ගොඩ නැගුණු අති විශාල රසික ආකර්ශණය නිසා වෙනි. සාමාන්‍යයෙන් චිත්‍රපටයක්
අවධානයට ලක් වෙන්නට එහි අන්තර්ගත ගීතද හේතුවක් වෙයි. එහෙත් මේ චිත්‍රපටයෙහි එකදු
ගීතයක් වත් අන්තර්ගත නොවෙයි. එහි කතා තේමාවද, මුසු කර ඇති කතා කරණ සංගීතයද පමණකින්
අති මහත් රසික ආකර්ශණයක් ඇද බැඳ ගැනීමට එය සමත් විය.
මෙහිදී මට
සැලකිය හැකි කරුණු දෙකක් වේ.
හොඳ චිත්‍රපටයක
ගීත ඊට බලෙන් එබ්බවූ ඒවා නොවේ. එහිම ආත්ම ප්‍රකාශණයන්ය. නැති නම් සිද්ධි ගලපන අත්‍යවශ්‍ය
ඇමිණුම් ය. චිත්‍රපටයක දෙබස් දහසකින් කියන්නට බැරි දෙයක් සමහර චිත්‍රපට වල
ගීතයකින් කියා ඇත. එවිට වචන ස්වල්පයකි. මිනිත්තු කිහිපයකි. එහෙත් අවුරුද්දක්
කිව්වත් කිව නොහැකි දෙයක් කියවී ඇත. නව කතාවක ලිව්වත් ලියා නිම කළ නොහැකි දෙයක්
කියැවී ඇත. එලෙස ගීතවලිනුත් කිව නොහැකි දේ තිබේ. එවන් අවස්තාවක ඒ කාර්යය බාර දිය
හැක්කේ සංගීතයටයි. මේ ගොලු හදවතේ මේ කාර්යය පැවරෙන්නේ ගීතයට නොවේ. සංගීතයටයි. එහි
හැඟුම් බර සංගීතය කියන කතාව අපි ඊට සවන් යොමා ම වටහා ගනිමු.
ගොලු හදවත
සංගීත ඛණ්ඩයක්.
ගොළු හදවතේ කතා
තේමාව කාටත් මතක ඇතිවා විය යුතුය. එක්තරා නිවාඩුවක් අවසන අලුත් පාසැල් වාරයේදී
අලුත් සිසුවෙක් පන්තියට පැමිණෙයි. ඔහු සුගත්
ය. මිශ්‍ර පැසැලක් වූ එහි සිටි සිසුවියකි දම්මි.
අලුතින් ආ සුගත් කෙරෙහි දම්මි
ලෙන්ගතුවෙයි. ඔවුන් අතරේ ළෙන්ගතුකමට වැඩි හැඟීමක් මෝදු වෙයි. මේ බැඳීම දිනෙන් දින
දැඩිව වැඩෙත්දී එක්තරා මොහොතක දම්මි ගේ හිත වෙනස්
වෙයි.
ඇත්තටම සිත
වෙනස් වූවාද? නැති නම් වෙනස් වන්නට වූවාද?
වෙනස් වුණාට
වඩා .තමන් සැබෑවටම හිමි කෙනාගේ අයිතිය වෙනුවෙන් වෙනස් වන්නට ඇයට සිදුවෙයි. සුගත් වියොවින් ආතුරව සිය අරමුණෙන් පිටමං වන්නේ
කාලකණ්නි අසරණයෙක් බවට පත්වෙයි.
මේ අවසානය සමග
ඒ තෙක් වන සුන්දර වියමනකි ගොලු හදවත.
මෙය සුන්දර
නිර්මාණයකැයි කිව්වත්, එය ඛේදාන්ත චිත්‍රපටයකි. නමුත් ඛේදය මුසු අන්තය වෙන තෙක්
දිගහැරෙන කතාව සුන්දරත්වයෙන් අනූනය. මෙවන් චිත්‍රපට කතාවක ගීතයතක් අඩංගු නොවීම
අරුමයකි. එහි මා පෙර කියූ ලෙස බොහෝ සංකීරණ මනෝභාවයන් සහ අවස්ථාවන් ඉතා කෙටියෙන් ඉදිරිපත්
කිරීමට ගීතය වෙනුවට භාවිතා කරන්නේ සංගීතය ය. එහි සංගීතය අනෙකෙකුගේ නොවේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්
ගේ ය. අපි එම සංගීත ඛණ්ඩයක් රස විඳ ගීතයකට යොමු වෙමු.
මේ අතිශය ජනප්‍රිය
සහ හැඟීම් බර එකදු ගීතයක් වත් ඇතුළත් නොවූ චිත්‍රපටයෙන් පසුව, මේ කතා තේමාව රැගත්
ගීතයක් ගොලු හදවත කතාවේ පසු කතාව කියනු ලබයි.
එය ඇරඹෙන්නේ ගොලු හදවත නැවතුණු තැනිනි. නැති
නම් සිදු වූ දේවලට නිරන්තර අවලාද අපවාද අසන දම්මිගේ
පැත්ත යම් පමණකට සාධාරණීකරණය කරන අයුරිනි.
නුහුරු
නුපුරුදු රහස පිළිබඳ
මිහිර
ආදරයයි කියා
පවුරු
බැදගෙන සිතක වැජඹුනු
රසවතී
නෑ කොයි ගියා
ඔහුට සිදු වූ
දේ අනුව ඔහුගේ මේ දැක්මේ අසාධාරණයක් නැත. එහෙත් ඇගේ සැබෑ තත්වය නොදැන ඔහු එසේ සිතීම
ඇයට වන අසාධාරණයක් යැයි රචකයා සිතුවා වන්නට ඇත.
ආදරෙයි
මම ආදරෙයි
දම්මි
තවමත් ආදරෙයි
මවා
පියකරු සිහින සිතුවම්
මතුකලා
රසබර හැගුම්
දයාවන්තය
යොවුන් සිතුවිලි
රසකලා
ඔබෙ නෙත් කැළුම්
ඇය ඔහුට
බැඳුනු හේතු පැහැදිලි කෙරෙනවා පමණක් නොව, ඈ තුළ මියැදුණා යැයි ඔහු සිතන ආදරය එසේ
මිය ගිය එකක් නොවන බව පවා එහි කියැවෙයි.
ආදරෙයි
මම ආදරෙයි
සුගත්
තවමත් ආදරෙයි
අසිරිමත්
ලෙස වැඩුනු දේදුනු
කළුවලා
වෙන් යට වුනා
මිහිරියාවිය
අනේ දවසක
ඔබේ
හදවත ගොළුවුනා
ඇය එසේ නම්
ඔහුගේ මේ ප්‍රකාශය කොහොමත් අරුම දෙයක් නොවේ. ඔහුට ඇති ඇරුමය පවුරු බැඳගෙන සිතේ
වැජඹුනු පෙම්වතියගේ ඒ වෙස පමණි. ඒ පිළිබඳව වන සෝකයය ඔහුගේ
මිහිරියාවිය
අනේ දවසක
ඔබේ
හදවත ගොළුවුනා
යන්නෙන් මතු
වන්නේ.
ආදරෙයි
මම ආදරෙයි
දම්මි
තවමත් ආදරෙයි
ආදරය
එක අතක ප්‍රේමය
තව
අතක මා නැති වුනා
සාගරය
වැනි වේදනාවක
අහෝ
හිතවත තනිවුනා
මේ ගීතයේ
වදනින් වදන විස්තර කරන්නට නොයමි. එහෙත් එහි දම්මිට
යොමු වුණු යම් යම් චෝදනාවන්ට ඒ චෝදනාවන් එල්ල කල කෙනා විසින්ම යම් යම් සාධාරණ
පිලිතුරු ලබා දෙනු පෙනෙයි. මේ කෙනා අන් කිසිවෙක් නොව කරුණාසේන
ජයලත් ම ය. එහෙත් ඊට හේතු කිම්දැයි මම නොදනිමි. සමහර විට නව කතාවෙන් චිත්‍රපටයෙන්
පසුව ඔහු තුළ ඇති වුනු හැඟීමක් විය හැකිය.
කෙසේ වෙතත්
ගීතයේ එක්තරා තැනක් මගේ සිත වඩාලාත් ඇද බැඳ ගනී. ඒ නම් මේ කොටසය.
ආදරය
එක අතක ප්‍රේමය
තව
අතක මා නැති වුනා
සාගරය
වැනි වේදනාවක
අහෝ
හිතවත තනිවුනා
මේ පද ටික ගී
පද රචනයක හැඩයෙන් නොලියා ගද්‍යයේ හැඩයට මෙසේ යළි ලියන්නට මට සිත් වෙයි. එවිට කතාව
තවත් පැහැදිලි වන බැවිනි.
ආදරය
එක අතක
ප්‍රේමය
තව අතක
මා
නැති වුනා
සාගරය
වැනි වේදනාවක
අහෝ
හිතවත තනිවුනා
මෙය නව
කතාවෙන් චිත්‍රපටයෙන් නොකියවුණු පැතිකඩකි. මක් නිසාද යත් නව කතාවේ හෝ චිත්‍රපටයේ
ඉහත කී ලෙස සාගරය බඳු වේදනාවක තනි වෙනවා අපට පෙනෙන්නේ සුගත්
මිස දම්මි නොවේ. කතාව ගලා යන අයුරින් දම්මි යනු චපල යුවතියක්ය යනුවෙන්ම සිතා ගනු මිස ඊට
වඩා ඈ සිතේ ගැඹුරට බසින්නට අපට සිතෙන්නේ නැත. අපේ අනුකම්පාවට බඳුන් වන්නේ නැවත
නැවත සුගත් ම ය.
අපේ විරෝධයට බඳුන් වන්නේ නැවත නැවත දම්මි ම ය.
එහෙත් ඒ කතාවේ
අයිතිකරුම මේ අයුරින් ගීතයෙන් මේ පැති කඩ මතු කරද්දී එය ඇත්තක් විය නොහැකි දැයි
සාධාරණ හදවත් සිතන්නට පෙළඹීම වලක්වාලිය නොහැකිය.
එබැවින් පැරණි
දිණමින පුවත්පතක පළ වූ සටහනකින් කෙටි කොටසක්
උපුටා ගනිමි.
උපුටා ගැනීමක
ඇරඹුම....
සුගත්
ගේ චරිතය කරුණාසේන ජයලත් ගේ
බවත්, සැබෑ දමයන්ති
කෙනෙකු මෙන්ම, නවකතාවේ
කියැවෙන දම්මි
ට ආදරය කළ දෙවන චරිතයත් සැබෑ ලෝකයේ ජීවත්වන බවත් තහවුරු නොවූ තොරතුරු, මාධ්‍ය මගින් ප්‍රකාශ වී
තිබිණ. හොරණ තක්ෂිලාව ආශ්‍රිතව
නිර්මාණය වූ ත්‍රිකෝණ ප්‍රේම කතාවේ තුන්වැන්නා දම්මි
, සුගත්
ට ආදරය කරද්දීම විවාහවීමට දෙමාපියන්ගෙන් යෝජනා වී තිබුණු වෛද්‍ය
නිහාල් ය.
උපුටා ගැනීම
අවසන්.
මෙන්න මේ ඉහත
කී නවකතා කරුවා එදා පැරදුනු පෙම්වතා විනි නම්, එදා ලියූ කතාව පසුව යම් අවස්ථාවක
ලියද්දී ඊට වඩා වෙනත් මනසකින්, ඊට වඩා වෙනත් දෘෂ්ඨියකින්, සාධාරණව ලියන්නට ඇති ඉඩ
වැඩිය. වන්නට ඇත්තේ එයමය යන්න සිතන්නට ද මම වඩාත් කැමැතිය. එකම සිද්ධිය පිළිබඳ සිය
හැඟීම් ප්‍රකාශ කරණ කාල වකවානු වෙනස් වන විට පරතරයෙන් වැඩි වන විට මේ අයුරින් එදාට
වඩා වෙනස් විදිහකින් දකින්නට ඔහුට නිදහස ලැබෙයි. අවස්ථාව ලැබෙයි. එපමණක් නොව පැසුනු
බවක් ලැබෙයි. මේ ඒ වෙනස නොවන්නේද?
ඇත්තටම ඇය
ආදරයත් ප්‍රේමයත් අතරේ අතරමං වන්නට ඇතිද? ආදරය සහ ප්‍රේමය යනු දෙකක්ද? එකක්මද? එකක
වෙනස් ස්වරූපද? මේ අයුරින් අපට තවත් දේ සිතන්නට වෙයි. එවිට දම්මි ආදරය කළේ කාටද?
පෙම් කළේ කාටද?
ඇයට වැඩියෙන්
දැනුනේ ආදරයෙන් බැඳුනු කෙනාද? නැති නම් ප්‍රේමයෙන් බැඳුනු කෙනාද? මේවා මේ විෂයයෙහි
උභතෝකෝටිකයන්ය. කාටවත් පැහැදිලි අදහසක් දිය නොහැකිය.
එහෙත් ආදරය හා
ප්‍රේමය එකක්ම ද? දෙකක් ද? දෙකක් නම් එහි වෙනස් කම් මොනවාද? කෙනෙකුට වඩා දැනේන්නේ
ඔය දෙකින් මොකක් ද වගේ ප්‍රශ්ණ ටිකක් මගේ හිතේ නැගුනෙන්, ඊට නිසි පිලිතුරු දන්නා
අය අදහස් පළ කරන්නට ඇති තැනක පළ කරණ මෙන් ඉල්ලා සිටිමි.
ආදරෙයි
මං ආදරෙයි ගීතය අසා සිටිමු.
මේ ගොලු හදවත කතාවම තවෙකෙකුගේ හදින් ලිව්වේ නම් එවැනි
කතාවකට සමාන කතාවක් හමුවන ගීතයක් අපට හමු වේ. ඒ ගීතය විශාරද
නිර්මලා රණතුංග ගේ එකකි. ගීතය රචනා කොට ඇත්තේ
ප්‍රවීන ගීත රචක කුලරත්න ආරියවංශයන් ය.
මේ ගීතයේ
හමුවන කතාව ගොලු හදවතේ කතාවට බොහෝ සෙයින් සමාන
කමක් දක්වයි. ඒ එහි රචක කුලරත්න ආරියවංශයින් ගොලු හදවතේ අත්දැකීමම යම් තරමකට හෝ සිය ගීතයට යොදා
ගත් නිසා දැයි මම නොදනිමි. එයම ඇසුරින් හෝ වෙනත් අදහසක් පෙරදැරිව ලියූ ගීතයේ එම
කතාවට බොහෝ සෙයින් සමාන හැඟීම් දැනීම් අපට හමුවෙයි.
එදා
ඔබ මෙහි නොආවා නම්
නෑ
මෙවන් දුක් වේදනා
අලුත්
පාසල් වාරයේ
අලුත්
සිසුවෙකු සේ
එදා
ඔබ මෙහි නොආවා නම්
නෑ
මෙවන් දුක් වේදනා
එදා ගොලු හදවතේ දම්මිට
සුගත් ව හමු වුණේද අලුත් පාසැල් වාරයේ අලුත්
සිසුවෙකු ලෙසිනි. එහිද පළමු දසුනින්ම ඔහු කෙරෙහි ඈ තුළ අමුතු හැඟිමක් ඇති වුණි.
මෙහිද එය එසේමය. එදා එහිදී ඒ හමුවීම නොවුණා නම් පසුව ඇවිළුණු දුක් කන්දක් හමු
නොවන්නට තිබුණි. මෙහිද එය එවැනිමය.
කෝල
බැල්මෙන් සසල දෙනෙතින්
සැලී
ඔබ ආ මුල් දිනේ
නුහුරු
ඇසුරක මැදිව අසරණ
නෙතින්
මා වෙත බැලූ වේලේ
ඔබේ
දෙස මා නොබැලුවානම්
නෑ
මෙවන් දුක් වේදනා
නෑ
මෙවන් දුක් වේදනා
මේ වචන තුළ ඒ
කතාවත් මේ කතාවත් කොතරම් සමාන දැයි ඔබට දැනෙනු ඇත. එදා ඒ කතාව දැන සිටි අපට මේ
ගීතය ඇසෙන විට දැනෙන විට එය මතක් වීම අරුමයක් නොවේ.
කෙසේ වෙතත්
වියෝ දුක යනු එවන් හමුවිමකට පසුව සිදුවන වෙන්වීමේ වේදනාවයි. හමු නොවුණා නම්
වෙන්වීමක් නැත. එසේ නම් ඒ වේදනාවද නැත. එහෙත් හමුවීම් ඇති වෙයි. පසුව එය එක්වීමක්
බවට පත්වෙයි. එවිට ඔවුන් ප්‍රමෝදමත් වෙයි.
හමුවීම්
සිදුවෙයි. වෙන්වීම් වෙයි. ඔවුන් දුක් ගින්දරේ දැවෙයි. එය එසේ වූවා කියා හමුවීම්
විය නොයුතුද?
මගේ
හදවත පිදූ මුත් මම
ඔබේ
ලොව තනියට එදා
මගේ
තනියට නොමැත අද ඔබ
සිටින
ඒ ලොව ජය ලබා
මෙන්න මේ
අවසන් පදත් සමග මේ කතාව අර කතාවට වඩා වෙනස් එකක් යැයි හැඟෙන්නට ගනී. මක්නිසාද යත්
ජයක් ගැන කියවෙන්නේ ඔහු නමිනි. එහිදී පැරදී ඇත්තේ ඇයය..
එදා
ඔබ මෙහි නොආවා නම් ගීතය අසා සිටිමු.
දෙනෝදාහක්
නුවන් අතරේ
කවුරුදෝ
මා
තනිකළේ
පාසැල්
බිමේ
මේ ගීතයත් මීට
පෙර ගිතයේම දිගුවක්දැයි හිතෙන තරම්ය. එහි අදහසද, හැඟීමද, හැඬවෙන රිද්මයද ඈ සියල්ලේ
ඇත්තේ පුදුමාකාර සමාන කම් ය.
සිනා
කෙළිලොල් තෙපුල් රහසින්
දෙඩූ
තැන් අද ගොළු වෙලා
සොඳුරු
පාසැල් පියස කඳුළින් බොඳ වෙලා
කැදැල්ලෙන්
ඔබ වෙන් වෙලා
මේ ගීත යද,
පෙර ගීතයද, අර ගොලු හදවත ඇසුරින් ජයලතුන්ම පසුව ලියූ ගීතයද යන ගීත ත්‍රිත්ත්වයෙන්ම මට
දනවන්නේ අතිශය සමාන හැඟීම් ය. මාව රැගෙන යන්නේ හොරණ තක්සිලාවේ
එදා දිග හැරුණු ඒ ආදර අන්දරය වෙතටය. සමහර විට ඒ කුඩා කල සිටම අතිශයින් දැනුනු
කතාවස්තුවක බලපෑම අමතක නොවන සේ හදවතෙහි ඇඳී ඇති නිසා විය හැකිය.
මගේ හිතේ
ඇඳුනු හොරණ තක්සිලාවක් වෙයි. එහෙත් මා කිසි
දිනක ඇසින් ඒ තක්සිලාව දැක නැත.
නිබඳ
ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ
දුන් ගහ කොළ පුරා
බිමට
බර වුනු කැකුළු අතු ඉති මැළවිලා
දුකින්
හදවත ගොළුවෙලා
සමහර අතීත
මතකයන් කෙනෙකු තුළ ඇති කරන්නේ වේදනාවන් විය හැකිය. මුළින් ඒ සිත දවා හළු කරන්නක්
වුව විය හැකිය. එහෙත් කාලයත් සමග එය විඳ දරා ගන්නේ සමහර තැන් දෙස උපේක්ෂාවෙන්
බලන්නට හුරු වන්නේ පසු කලෙක එයින් ඇති කරන්නේ සියුම් රිදුමක් පමණි. එහි වේදනාවක්
නැත්තේ නොවේ. එහෙත් එහි රසයක්ද නැත්තේ නොවේ.
යළි පුදුමයක්
ද මෙහි වෙයි. එහි පද රචනයද පෙර ගීතය රචනා කළ කුලරත්න
ආරියවංශයන් ගේ ම ය. එකිනෙකට සමාන හැඟීම් දැනීමු දෙන, සමාන කතා වස්තූන් මත
ලියැවෙන, වෙනස් නිර්මාණ දෙකක් එකෙකු අතින් නිමැවීමයි.
එය සංගීතවත්
කරන්නේ පෙර ගීතයේ සංගීතඥයා නොවේ. මෙවර ඒ ආචාර්ය වික්ටර්
රත්නායකයන් ය. එහෙත් ගීත දෙකෙහිම විෂය පථය සමාන වන බැවින්ද, එබැවින්ම
හැඟුම් සමුදාය සමාන වන බැවින්ද, සංගීත නිර්මාණයන්ගේ සහ ගීතය ගලා යන රිද්ම ලකුණු වල
සෑහෙන සාම්‍යයයක් දැකිය හැකි වෙයි.
ගීතය මෙවර ගයන
ඈ නන්දා මාලිනියයි.
"වජිරා"
චිත්‍රපටයේ එදා ඒ ගැයුම වෙනුවෙන් ඈ හොඳම ගායනය සඳහා වන සරසවි
සම්මානයෙන් පිදුම් ලබන්නේ 1981 දී ය.
දෙනෝ
දාහක් නුවන් අතරේ ගීතය අසා සිටිමු.
ගැහැණු
ළමයි චිත්‍රපටය පාසැල් ප්‍රේමයක් වටා ගෙතුණු කතාවකි. ඔවුන්ගේ
ප්‍රේමය ඇති වන්නේ පාසැලේදීමයැයි කිව නොහැක්කේ ඔවුන් නිතර දකින හමුවන එකිනෙකාට
නැන්දලා වන මව්වරුන් දෙපළකගේ දරුවන් වූ බැවිනි. එහෙත් ඒ පෙම උපදින්නේ පාසැල්
වියේදීය. ඒ පෙම බිඳෙන්නේද පාසැල් වියේදීමය.
වියෝ
ගී
ගැයෙනා
හදේ
ආදර
මල් නොමියේ
සදා
මේ සංසාරේ
අපේ
හමුවීම නොවේ
මෙහි ඇති
අතිශය සුන්දරතම කියමනක් වන්නේ යම් හදක වියෝ ගී ගැයුනු
පලියට ආදර මල් මිය නොයතිය යන්නය. එහෙත් කිසි දා ඔවුනගේ හමුවීමද සිදු නොවේ.
සෑම ආදර
කතාවක්ම හමුවිමෙන් කළවර නොවන බව ඇත්තක් මුත්, වෙන්වූවා යැයි කියා සෑම ආදර කතාවකම
ආදරය මිය යා යුතුය යන්නක් ද නැති බවය මෙහි කියන්නේ. ප්‍රායෝගික ලෝකයේදී මේ කතාව
පිළිබඳව යම් යම් තහවුරු කිරීම් මෙන්ම සුනු විසුනු කිරීම්ද අපට හමු විට හැකිය.
එහෙත් අදහසක් වශයෙන් ගත් විට එය අතිශය සුන්දරය. මානුෂික ය. සපුරා නොපවතින්නක් ද
නොවේ.
අතීතයේ
මායා
රූ
කැඩී බිඳී යාවී
අනාථ
වූ මා දෑසේ
කතා
නිමා වේවී
මගේ
කඳුළු හංගා
මා
සිනාසිසී ඉන්නේ
ඔබේ
ලොවේ
හිරු
පායා
සදා
සිනාසේවා
මෙලෙස කෙරෙන
ප්‍රාර්ථනාවන් දුලබ ය. අසීරුය. එහෙත් නැත්තේම නැතැයි කිව නොහැකිය. එලෙස පතන්නන්
දුලබ මුත් නැත්තේ නොවේ.
අනාගතේ
සිහිනේ
නෑ
මෙදා
සැබෑ
වන්නේ
මිලාන
වූ ආකාසේ
අපේ
පැතුම් පාවේ
මගේ
පැලේ තනි වී
මා
සුසුම්
හෙලන
වේලේ
ඔබේ
ලොවේ
හිරු
පායා
සදා
සිනාසේවා
මේ චිත්‍රපටයේ
කුසුම් නම් අහිංසක යුවතිය කාටත් මතක ඇතැයි
සිතමි. මතක නැතත් මේ ගීතය තුළ කිමිදෙද්දී ඒ කුසුම්
ව මැවී පෙනෙනු නිසැකය.
ඒ අහිංසකත්වය නිසාම ඇයට අත්වුණු ඉරණම ගැන අපි දුක් වූයේ
අපිට එවන් දුකක් ගැන හැඟීමක්වත් තිබූ කාලයක නොවේ. එහෙත් මේ වැනි හැඟීම් මිනිස්
සිත්වල කැළැඹුම් ඇති කරන්නේ ඒ ආත්මයේ එවන් හැඟීමක් අත්දුටුනිසාම විය නොහැකිය. අදහසක් වශයෙන් එය වැටහෙන විට ඊට ප්‍රතිචාරයක්
වශයෙන් මිනිස් හදවත් අත්දැකීමකින් තොරව වුව, සංවේදී වේ. කම්පනය වේ. එය අත්විඳීම
නොවේද? අත්දැකීමක් ඇති විට මේ විඳීම මීට වඩා ප්‍රබලව දැනෙයි.
මෙම ගීතයේ
රචකයා වන්නේ මහැදුරු සුනිල්
ආරියරත්නයන් ය. සංගීතය නිමල් මෙන්ඩිස්
ගේ එකකි. ගැයුම විශාරද නීලා වික්‍රමසිංහ ය.
වියෝ
ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ ගීතය අසා සිටිමු.
ප්‍රවීන ගායන
ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ ගයන, මේ ගීත
ගොන්නට මොනවට ගැලපෙන ගීතයක් මේ අතර අප මතකයට නැගෙයි. එහි රචනය සුනිල් දයානන්ද කෝණාරයන් ගෙනි. සංගීතය තිස්සසිරි පෙරේරා ගේ ය.
සුදු
පාට මල් පිපුණු අරලියා හෙවන යට
බාලිකාවේ
සුවඳ තනිවෙලා
අපි
ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියලු
දේ අතීතෙට පවරලා
මේ ගීතය පළමු
වරට මා ඇසූ දිනයේම මට සැනින් මතක් වූයේ එවැනිම වෙනත් ගීතයකි. ඒ ගීතය මා අසා තිබුනේ
බොහෝ ඈත කාලයක, පාසැල් වියේ සිටියදීම ය. ඒ ගීතයේද, මේ
ගීතයේද කතා වස්තුව සහ එය නැගෙන පරිසරය අතිශයින්ම සමානය. එපමණක් නොව එහි සමහර වදන්
ද ගීතයේ රිද්ම ලකුණු ද ඈ බොහෝ තැන් වල සමාන ගුණ මට හමුවේ. වෙනස් කම් ද හමුවේ.
මේ හදන්නේ ඒ
ගීතය නිසා මේ ගීතය බිහිවුණාද යන පැණය නගන්නට නොවේ. එසේ තවත් නිර්මාණයකට බොහෝ සමාන
කම් දක්වන පසුව බිහිවුණු නිර්මාණ අපට එමට හමුවෙයි. මෙහි දැක්වූයේ පෞද්ගලිකව මට
දැනුනු සමානත්වය විනා එ්ක නිසා මේක ලීවාද මේක වෙනම එකක්ද යනුවෙන් කීමේ උත්සාහයක්
ලෙස නොවේ.
ඇසළ
සඳ දිය නොවුණ ඈත වැව්තල කොණෙක
ගයා
නිම වූ කවිය ඉකිබිඳී
අපට
අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත්
අහිමි වීලා
මෙහි කියන
කතාව කොරතම් ගැඹුරුද? එ් සුන්දර පරිසරයේ උත්තේජනයෙන්, ඒ සුන්දර පරිසරයේ ගෙවුනු ජීවිතයේ
ඒ සුන්දර කාල ඡේදයේ උත්තේජනයෙන් ඔහු ලියා නිම කළ කවිය ඒ පරිසරයේදීම ඉකිබිඳිනු ඔහුටම
පෙනෙයි. එහෙත් ඔහු එයින් ඒ තරමින්ම සලිත නොවෙයි. ඔහු නැති වුණු තවත් දේ මතකයට
නගමින් නැති වුණු එක දෙයක් ගැන වන ළතැවිල්ල තුනී කර ගනී.
සිනා
සරදම් පිරුණු පංති කාමර අතර
ගෙවී
ගිය මල් සමය සිහිනෙකී
සඳට
ඉකිබිඳ හඬන නොදරුවන් නොවේ අපි
සිනාසෙමු
අතීතෙට සෙනෙහසින්
ගෙවී ගිය මල්
සමය සිහිනයක් තරම් සුන්දර බව කියන්නේ සිනා සරදම් නිසාවෙනි. එහෙත් ඒ දේට ඉකිබිඳ හඬන
නොදරුවන් වන තරම් වයසක නොවේ අද ඔවුන් සිටිනුයේ. එබැවින් කඳුළු අතරින් අතීතය දැක
මන්දස්මිතයක් නගා පිටව යා යුතුය.
සඳට
ඉකිබිඳ හඬන නොදරුවන් නොවේ අපි
සිනාසෙමු
අතීතෙට සෙනෙහසින්
යන්න කීමෙන්ම
එය ඊට වඩා ගැඹුරු හැඟීමක් බව අපට ඉඟි කරයි.
මේ පාසැල්
දිවියේ අවසන් දවසේ සමුගැනීමද? නැති නම් ඒ පාසැල් සෙවනේදීම යළිත් වරක් අහම්බෙන් වූ
හමුවීමක්ද? මේ කුමන කරුණදැයි අපැහැදිලි මුත් කුමන අවස්ථාවක් වුව එහි ඇත්තේ දුක
මුසු සුන්දරත්වයයි.
මේ ගීතයට සෑහෙන පෙර කලෙක ලියැවී මේ ගීතයට සමාන හැඟීමක් දැනවූ ගීයක් ගැනයි මා මෙම ගීයට පෙර ඉඟි කළේ. දැන් අපි එම ගීයට යොමු වෙමු.
මේ ගීතය
රචනාවන්නේ ප්‍රියානන්ද විජ්සුන්දරයන් අතින්.
එය සංගීතවත්කොට ගැයෙන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි විසිනි.
සුදු
බිත්ති හැඩකෙරූ කුරුටු ගී සිනාසී
තව
කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී
පාසලේ
ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්
ඉතින්
අපි වෙන්ව යමු සදාකාලික නොවී
පෙර ගීතයට වඩා
වෙනස්කමක් මෙහි වෙයි. එනම් ඊට වඩා සරලව සෘජුව අදහස කියැවීමයි. එහි හමුවීම සදාකාලික
නොවන බව ඔහුට වැටහෙයි. එබැවින් සදාකාලික නොවී වෙන්වීමේ නිමේෂය පැමිණ ඇති වගය මෙහි
කියැවෙන්නේ.
එකට
වන පොත් කෙරූ එකම තක්සලාවේ
අප
කවුද සිප්හලේ ඉතිහාස කතාවේ
අපට
යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන්
තණ
පළස අරලියා සෙවන තනි උනාවේ
මැදි විදුහල්
අධ්‍යාපනය අප රටට දුන්නේ උසස් අධ්‍යාපනයට පිවිසුම් අවස්ථාවන් පමණක් නොවේ. මනා මග
පෙන්වීමක් මත හැදුනු වැඩුණු යහපත් ආකල්පයෙන් සුසැදි දරුවන් උසස් තැන් වලට යොමු කරණ
පාසැල් පද්ධතියක් නොවේ. ප්‍රේමනීය මිනිසුන් බිහි කරණා පරිසරයන් ද ය. මේ ගීත
දෙකෙහිම මැදි විදුහලක පරිසරයක් මා තුළ මතු කරන්නේ කුමන හේතුවක් නිසාදැයි මම
නොදනිමි. සමහර විට ඒ ද අර ගොලු හදවතට පාදක වූ හොරණ තක්සිලාව නියා විය හැකිය. නමුත් සුනිල් දයානන්ද කෝණාරයන් ගේ ගීතය නම් නියත වශයෙන්ම ගිරිඋල්ල වික්‍රමශිලාව විය යුතුය. මට එයින් පස් වික්‍රමශිලාවත් දැනෙන්නේ තක්සිලාව
සේ ම ය. යළිත් කියනවා නම් මම මේ දෙකම දැක නැත. හදෙහි ඇඳුනු දසුනක් ඇත. මට නුගවෙල සෙන්ට්‍රල් එක ගැනද ඇත්තේ එවැනිම හැඟීමකි ඒ
ඇයිද කියා නොදනිමි. මේ කුමන හෝ පාසැලක් තුළ ඒ පරිසරය වෙතැයි හැඟේ.
මේ ගීය තුළ
ඇත්තේම ඒ සුන්දරත්වය ද මුසු වේදනාවන්ද මුසු හැඟීම්ය යන්න මට නැවත නැවත සිතේ.
මේ මැදි
විදුහල් අධ්‍යාපනය ගැන දිනක් හවසක අප මිතුරු හමුවකදී ගැඹුරු හැඟීම් මුසු අදහස්
හුවමාරුවක් ඇති විය. එහි සිටි ප්‍රධාන කතාකරුවා වූයේ සංගිතඥ
රෝහණ ධර්මකීර්තිය. විවිධ නිර්මාණකරුවන් ගැන
කියමින් ඔවුන් සියල්ල සෙන්ට්‍රල් කොලේජ් තුළින් බිහිවූවන් බව කියන්නට හේ උත්සුක විය.
ඇත්තෙක්ම එහි සිටි බොහෝ පිරිසක් එවැන්නන්ය. යසේ උඹ මොන සෙන්ට්‍රල් එකේද?
මම කුරුණෑගල මලියදේවයෙන්
බිහිවූවෙක් බව කීවත් ඔහු මාව සෙන්ට්‍රල් අධ්‍යාපනයට ඈඳන ලද්දේ,
උඹ මලියදේවයේ වුණත්, උඹ මනෝමයෙන් ජීවත් වෙලා තියෙන්නේ
සෙන්ට්‍රල් එකක බව කියමිනි.
මට ඊට එරෙහි වන්නට කාරණයක් නැත. අපි භෞතිකව කොහේ ගෙවුවත් මනෝමයෙන් වෙන තැනක ජීවත් වන අවස්ථා ඇති බැවිනි.
මට ඊට එරෙහි වන්නට කාරණයක් නැත. අපි භෞතිකව කොහේ ගෙවුවත් මනෝමයෙන් වෙන තැනක ජීවත් වන අවස්ථා ඇති බැවිනි.
අපි අත් විඳි
බොහෝ දේ නිසා එවැනි මනස් ගමන් යන්නට ඇතිවා විය හැකිය. සරසවිය පවා එවැනිය. ජපුර අධ්‍යාපනය ලද්දේ වුව, මනසින් ගැවසුනේ පේරාදෙණියේය.
නිමාවක්
නැති බැඳුම් දෙසිතේම සඟවලා
වේලාව
නොමගෙවා ගුරු සිත ද නොරිදවා
පන්හිඳට
පොත්වලට ජීවිතෙන් පිදුම් දී
කඳුලකින්
සමුගනිමු අපට අප හිමි නොවී
මෙවැනි රිදුම්
සමග නැවතුනු තැන් සමුගත් තැන් බොහෝ පිරිසකට පොදු අත්දැකීමකි. නැති නම් ඇසූ දුටු
දේකි. එබැවිනි මේ බොහෝ දේ තමන්ගේ දෙයක් සේ සමහර විට අපට දැනෙන්නේ.
සුදු
බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනා සී ගීතය අසමු.
ඉහත
සුදු
පාට මල් පිපුණු අරලියා හෙවන යට
ගීතයද,
සුදු
බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනා සී
ගීතයද
ඇසෙන විට මගේ හිතේ නිතැතින්ම රැව් දෙන තවත් ගීතයක් වෙයි.
ඇසෙන විට මගේ හිතේ නිතැතින්ම රැව් දෙන තවත් ගීතයක් වෙයි.
එහෙත් එහි
පාසැලේදී බැඳුනු ප්‍රේමයක් ගැන සෘජු අදහසක් නොවෙයි. පාසැල් දිවියේ අවසන් දිනයේ
හැරයාමේ වේදනාව අතීතය පිළිබඳ තුටු කඳුළු පිරි දෙනෙතින් දකින අයුරකි එහි ඇත්තේ.
නමුත් එහිද පෙම් බස් දෙඩූ බවක් යන්තමින් කියැවෙයි.
පියමං
කෙරුවෙමු
මහ වෙල්
මැද්දෙන්
පෙම්බස්
දෙඩුවෙමු
උයන් කොනෙක
හිඳ
ශිල්ප
උගත්තෙමු
නැණ
ලැබගත්තෙමු
දෙපා වාරු නැත
ඔබ හැර යන්නට
මෙහි දෙපා
වාරු නැත ඔබ හැර යන්නට යනුවෙන් කියන්නේ අවුරුදු 12ක් 13ක් තිස්සේ ජීවිතයේ සොඳුරුම
සහ නිදහස්ම කාල වකවානුව ලෙවූ පාසැල් මාතාව හැර යන්නට ඇති වේදනා මුසු හැඟිමය. එහෙත්
එහි කොනක දිනූ ප්‍රේමය හෝ පැරැදුනු ප්‍රේමයේ මතකයන් හැර යාමේ වේදනාව ඇතැයි මට
හිතේ.
නිල්
තණ පලසෙහි
ගැටුන
දෙපාවයි
කෝල
හැඟුම් කෙළි
කවට
සිනාවයි
මල්
නැටුමයි
කළගෙඩි
නැටුමයි
මගේ
දෑස තුල
යලිත්
ඇඳේවිද
මගේ
දෑස තුල
යලිත්
ඇඳේවිද
නෙත
කඳුලින් හස
පෙමින්
මුවා කළ
සොඳුරු
පැතුම් පුරවා
මන
මත් කළ
නෙත
කඳුලින් හස
කැණින්
මුවා කළ
සොඳුරු
පැතුම් පුරවා
මන
මත් කළ
මගෙ
කෙළිලොල් විය
ගෙවුනු
වගයි
මා
හැදු පාසල්
මවුනි
දයාදර
මා
හැදු පාසල්
මවුනි
දයාදර
පාසැල් ගිය
කාට වුව පාසැල් විය ගැන මෙවැනි හැඟීම් තිබිය යුතුය. නැති නම් පාසැල අපායක් කර ගත්
එහෙමත්ම කෙනෙකුට පමණකි.
පිය
මං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් ගීතය අසමු.
මේ අතරේ මේ
වැනිම හැඟුම් දනවන තවත් ගීතයක් මතක් වෙයි.
එහිද ඇත්තේ ප්‍රේමයය.
ප්‍රේමයේ
විරහව ය.
එහෙත් එහි
ඇත්තේ පාසැලේ ප්‍රේමයම ද යන්නට නම් නිසි සාක්ෂි නොමැත. නමුත් පාසැලේ ප්‍රේමය
නොවන්නේමය යන්නට නිසි සාක්ෂි ද නැති බැවින් එහි ඇත්තේ පාසැලේ ප්‍රේමයම යැයි සිතා
යමක් කිව යුතු බව සිතේ. සැකයේ වාසිය විත්තියට හිමිවනවා සේ එයට මට සමාවක් තිබිය
යුතුය.
එදා
වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල්
පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ
මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම
තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මේ සියළු ගී
ලියැවෙන්නේ එකම සෙවනක් යට යැයි මට හැඟෙන්නේ ඇයි දැයි මම නොදනිමි. එය මා දන්න තැනක්
නොවේ. නොදන්නා තැනකි. එහි ඇත්තේ මා කැමැති සුන්දර නිසල
පරිසරයයි. එහි ඇත්තේ මා කැමැති සොබා දම් පෙළ ගැස්මයි. එහෙි දිවා කල ඇත්තේ ගහ කොළ
වියන අතරින් සීරෙන මා කැමැති ළා හිරු දහරයි. එහි ගොම්මනේ ඇත්තේ, මා කැමැති රත
පිරිබඩ කළ අහසයි. එහි නිශා කල ඇත්තේ මා ප්‍රිය සොමි සඳ මඩලයි. එහි හමන්නේ මා රිසි
මුදු මදනලයි.
එහි
ඇති........
එහි
ඇති....... සියල්ල මා කැමැතිම විදිහයි.
මේ සියළු ගීතවල කතා දිග හැරෙන්නේ අන්න ඒ සෙවන යටයි. මම ඒවා විඳින්නේ සිනාසෙන්නේ සුසුම් ලන්නේ ඒ බිම යට සිටයි. එය ඔබට කෙසේදැයි මම නොදනිමි. එකිනෙකා විඳින විදිහ වෙනස් ය.
මේ සියළු ගීතවල කතා දිග හැරෙන්නේ අන්න ඒ සෙවන යටයි. මම ඒවා විඳින්නේ සිනාසෙන්නේ සුසුම් ලන්නේ ඒ බිම යට සිටයි. එය ඔබට කෙසේදැයි මම නොදනිමි. එකිනෙකා විඳින විදිහ වෙනස් ය.
මේ ගීතයේ
අත්දැකීම තමන්ගේ කර ගත් විට එහි ඇත්තේ එදා වැටුණු පොද වැස්සය. එහි ගැවසුනේද අද
නැත්තේ ද එහි එදා සිටි අයය. එබැවින් සිතට යම් අඩුවක් දැනෙන්නේද ඒ නිසාමය.
දුක
පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත
හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ
නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම
තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මේ කවියා
අනෙකෙකි.
සමහර විට කතාව
ඔබ සැමගේය.
මගේ ද ය.
කවියාගේ අත්දැකීමක්
විය හැකිය. එය අත්දැකීමක් නම් එය ඔහුට පෞද්ගලිකය.
එහෙත් එය කවියක්ව ලියැවුණු මොහොතේ සිට එය අපේය.
එහෙත් එය කවියක්ව ලියැවුණු මොහොතේ සිට එය අපේය.
ඔබේය. මගේය.
එය අපට ගැලපෙන
අවස්ථාවන්ගෙන්, අපට ගැලපෙන අයවළුන්ගෙන් ආදේශකොට ගෙන අපේ කර ගත හැකිය. මේ ගීතයේ හැඟීම
වුව එසේය.
අනාගත
වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ
පා ඔසවමිද සා පවස විඳ දරා
පුර
පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා
මම
තවම මට අහිමි මගෙ කවිය ලියනවා
ගීතයේ හැඟීම
ගැන තව තවත් කීමට මම වෙහෙස විය යුතු නැත
එය ඊට නිසි හොඳම වචන වලින් ලියා ඇත්තේ මාධ්‍යවේදය ප්‍රමුඛ කටයුත්ත කර ගත් එතරම් ගී
ලියා නැති ප්‍රසන්න චන්දන බණ්ඩාර ය. එහෙත්
මෙවැනි ගීතයක හිමිකරුවෙකු වුණු පසු ගී දහසක් නොලියුනා කියා වන පාඩුව කුමක්ද? එය
ගයන්නේ එවන් ගීයක් ගැයීමට හොඳම හඬක් හිමි සෝමතිලක
ජයමහ ගායනවේදියා විසිනි. නමුත් මෙහි සංගීත කාර්යය මට නම් වෙසෙස් එකකි. එය
ඉටු කරන්නේ එච්. එම්. ජයවර්ධනයන් විසිනි.
එදා
වාගේ අදත් පොද වැස්ස වැටෙනවා ගීතය අසමු.
පාසැලේ ප්‍රේමයේ
පරාජයන්ද වැඩි? ජයග්‍රහණයන්ද වැඩි? වැනි
පැණයක් නැගුනොත් මට ඊට නිසි පිලිතුරක් නැත. සමහර විට හරි හරියට විය හැකිය. එහෙත්,
පාසැලේ ප්‍රේමය විෂයකොට ගත් ගීත ගැන විමසන විට එ්වා දිනූ පෙම් කතා වලට වඩා පැරදුනු
පෙම් කතා ගැන ය.
වැඩි සංවේදී
දිනුමට වඩා පැරදුමට නිසා විය හැකිය. එක් වීමේ සතුටට වඩා වෙන්වීමේ වේදනාවට විය
හැකිය.
සතුට ගැන
වෙසෙසින් කතා කරන්නට දෙයක් නැත. එහෙත් දුක ගැන කතා කරන්නට හිතෙනවා වැඩි විය හැකිය.
අවමයෙන් තුනී කරගන්නට වත්.
ඒ අනුව මේවා
බොහෝ විට ඛේදාන්තයන්ය. එබැවින්ම ඊටත් වඩා ඛේදාන්තයක් සහිත ගියකින් සටහන නිම කරන්නට
සිතමි.
මේ ගීය
ලියැවෙන්නේ අධිනීතිඥ රම්බණ්ඩා
සෙනෙවිරත්නයන් අතිනි.
පබළු
නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ
සුමනෝ
නුඹ
ඇයි නැත්තේ
මේ වචන
ගෙත්තම් කළ අයුර ගැන වෙනම කතා කල යුතුය. එහෙත් මෙහි මා කතා කරන්නට හිතන්නේ එහි
අදහස ගැනය ප්‍රධානව.
ඔහු වැව්
කණ්ඩිය මතට වී සිටී. ඇළ ඉවුර මතට වි සිටි. පන්සල් වත්ත ඉසව්වේ සිටී. සල්පිල් පොලේ,
යාග පොලේ සිටී. වෙනදා නම් ඈ ද එහි දැක ගත හැකිය. එහෙත් අද ඇය නැත.
ඇය නම් සුමනා ය.
වැවේ
දියේ ඇති නිකින්නි නිල්ලේ.
අඩ
හඳ යායට කෙකටිය පිපිලා
වැව්
කන්දේ බෝ ගස් සෙවනේ.
මම
අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා
වාගෙම තල මල පිපිලා.
තිබුණට
ඇල ලඟ වත්තේ
සුමනෝ
නුඹ
ඇයි නැත්තේ
මේ ගීතය මේ
සටහනට ගැලපෙන්නේ කෙසේ ද යන්න ඔබට දැන් ගැටළුවක් විය හැකිය. ඒ මෙසේ ය.
මේ සුමනා ගේ ඇත්ත නම සුමනා
ම දැයි මම නොදනිමි. නමුත් මේ සත්‍යම අත්දැකීමක් මත පදනම් වූ කතාවකැයි මා අසා
ඇත්තේ, ඔහු රම්බණ්ඩා වෙත්දී ඇය සුමනා ම වුව විය හැකිය. නැති නම් ගීතයේ ගලා යාමට
ගැලපෙන ලෙස සුමනා යැයි යෙදුවා විය හැක. නමින්
කුමන ඵල?
මා අසා ඇති
කතාවට අනුව නම්, ඔවුන් පාසැලෙන් නිවසට ආ පසුව බාල වියේ සිටම නිදහසේ හමුවුණු
ගැවසුනු තැන් ය මේ ඇළ ඉවුර. වැව් කන්ද. වැව් කන්දේ බෝ ගස් හෙවන.
කෙමෙන් වැඩි
වියට එළඹෙත්ම ප්‍රේමනීය හැඟුම් මෝරන්නේ පෙර කතා කරගෙන නොවේ. ඉබේම ය. මේ පෙමද එවන්
එකකි. එහෙත් අද එහි ඔහු පමණි. ඇය නැත.
ඒ කුමක්
නිසාද? ඇය යම් රෝගයකින් හෝ අනතුරකින් හෝ මියගිය බැවිනි. එය බාල වියේ සිටම ළෙන්ගතුව
සිටි පසුව පෙමින් බැඳුනු පෙම්වතෙකුට කුමන නම් වේදනාවක්ද?
ඒ් බොහෝ
හැඟීම් විස්තර කරන්නට නොයමි. මේ ගීතයේ විවිධාකාර වූ රූපක වලින් විවිධාකාර දේ
සංකේතවත් කරන්නට කවියා පෙළඹෙන්නේ නිරායාසයෙන් විය යුතුය. ඔහු තුළ වන ගැඹුරු හැඟීම
නිසා විය යුතුය. එහි තැනක් දෙතැනක් පමණක්
මම උළුප්පා දක්වමි. ඒ් නම්
වැව්
කන්දේ බෝ ගස් සෙවනේ
මම
අද තනියම ඔළිඳ ගනිනවා
මෙහි සිට ඔහු
ඔළිඳ ගනින්නේ අහවල් දේකටද? මට නම් මේ ඔළිඳ කියා කියන්නේම කඳුළු වලට බවය හිතෙන්නේ.
එවිට ඔළිඳ ගණිනවා කියන්නේ කඳුළු හෙළනවා යන්න විය යුතුය. එවිට එය හඬනවා යැයි කිමට
වඩා මොන තරම් සුන්දරද? වේදනා බර වුවත් මොන තරම් සුන්දරද?
මළ
හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා
ගල පැත්තේ
පිරුවට
ඇඳ පෙට්ටියක තියාලා
පාන්
දෙකක එළි මැද්දේ
මදටිය
වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ
දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ
. . . නුඹ ඇයි නැත්තේ
ගීතයේ මේ
කොටසින් කියැවෙන්නේ පෙම්වතෙකු කිසි දිනක
දකින්නට අපේක්ෂා නොකරන වේදනා බර දසුනයි.
වැව් කන්දේ
සිටින ඔහුට සුදු ඇඳුම් අන්දවා පෙට්ටියක බහා පහන් දෙකක් දෙපසින් තබා සුමනා සිටින ඈත
වෙලෙන් එහා ගංගොඩේ ගෙදර ඔහුට පෙනෙයි. එහි අදහස ඉතා පැහැදිලි බැවින් ඒතරම් පැහැදිලි
නොවන කොටසක් යළි උපුටා දක්වමි.
මදටිය
වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ
දණ්ඬේ ඉස්මත්තේ
සුමනෝ
. . . උඹ ඇයි නැත්තේ
ඉස්සර බොහෝ
දවස් වල තරමක් රෑ බෝවී පවා ඔවුන් එහි එයි.
එහි සිට මදටිය
ගසින් ඇට එක එක දියට වැටෙද්දි දිය කැළතී එයින් හඳද කැළැතෙන අයුරු ඔවුන් අනන්. දැක
ඇත. අදද මේ රාත්‍රියේ ඔහුට ඇළ දියට මදටිය වැටී හඳ කැළැතෙන අයුරු පෙනෙයි. එහෙත් අද
නම් මේ මදටිය යනු මදටිය ඇටම නොවේ යැයි මට හිතේ. ඒ් ඔහුගේ කඳුළු විය යුතුය. හඬනවා යැයි නොකියා මදටිය වැටෙද්දි හඳ කැලැතෙන ඇල යනුවෙන් කියද්දි එය මොන තරම් සුද්දරද?
වේදනා බර වුවත් මොන තරම් සුන්දරද?
සුමනෝ,
නුඹ ඇයි නැත්තේ ගීතය අසමු.
ඉතින් වෙන්ව
යායු තු වේලාව එළඹ ඇත. සදාකාලික නොවන වෙන්වීමකට යොමු වෙමින් ගිත පිළිබඳ තවත්
සටහනක්ද සමගින් ඉක්මණින් හමුවෙමි.
- යසනාත්
ධම්මික බණ්ඩාර -