Friday, February 26, 2021

සාදර බණ්ඩාර, ශ්‍රී ලන්කන් බොබ් මාලේ ද?

 

සාදර බණ්ඩාර   

ගැන සුළුවෙන් කතා කර නවතින්න බැරිය.

ඔහු ගැන කතා කිරීම ගීත කවි ගැන කතා කරණ අයෙක් වශයෙන් මගේ යුතුකමක් හා වගකීමක් වෙනවා. නමුත් දිගට කතා කරන්නට වෙලාවත් නොවෙයි මේ කියා හිතනවා. ඒ නිසා යම් දවසක දිගට කතාකිරීමේ බලාපොරොත්තුවෙන් අදට කෙටියෙන් කතා කරණවා.

මට මේ මොහොතේ අවශ්‍ය හෙට අනිද්දාට වැඩි අගයකින් නිර්මාණය වන්නට නියමිත ගීතයක් ගැන අද කතා කරන්න. හැබැයි ඒ ගැන කතා කරණ පළමු පුද්ගලයා මා වෙන්නට නොවෙයි. ඒ ගැන කතා කරලා තියෙනවා සාදර ම. ඒ චරණ ටී. වී. කවි 10ට ගී 10ක් වෙනුවෙන්.

ඒත් ඒ ගීතයට පෙර ආයම මට හිතෙනවා  

 


සාදර

ගැන ටිකක් කතා කරන්න.

සාදර ව මම තියන්නේ  

 Victor Hara. The life and death of a free chile singer

වික්ටර් හාරා

 

 7 Fascinating Facts About Bob Marley - Biography

 බොබ් මාලේ  

නියෝජනය කළ ගී ආර නියෝජනය කරන්නට අපේ සංගීතය තුළ වෙහෙසෙන ලස්සන හැඩකාර අමුතු විදිහට හිතන පතන ප්‍රසන්න තරුණ ගායකයෙකුගේ තැනින්.

ඔහුගේ තේරීම එන්නේ ඔහුගේ ඇඟෙන්. හදවතින්.

යමෙක් ඇඟෙන්, හදවතින් ලියූවක් ඔහු තෝරන්නේ තමන්ගේ ඇඟෙන්. හදවතින්. ඒ පුහුණුව ඔහුට එන්නේ යම් යම් සමාජ කරුණු පිළිබඳව ඔහු හිතන මතන පතන විදිහ අනුව. ඔහු ඒ සමාජ කාරණාවන්ට සංවේදී වන විදිහ අනුව.  ඒ අනුව ඔහු හදවත වැළපෙන විදිහ අනුව. හදවත උණුසුම්වන ගිනියම් වන විදිහ අනුව.

ඒ අනුව ඔහු එවන් දේ ගැන එවන් අය ලියූ ගී ගැන ද සංවේදී වෙනවා.

ඒ වන් නිර්මාණ සිය නිර්මාණකරණයට යොදා ගන්නවා.

හැබැයි ඒක ඔහු කරන්නේ තමන් ප්‍රිය කරණ ගී ආරකට. ඒ ගී ආර අස්සේ මට පෙනෙන්නේ මම පෙර සඳහන් කළ විප්ලවීය විදෙස් ගායක දෙපළ.

 

සාදර ගේ මේ ගී හැඩයෙන් නිමැවුණු ගීත ගැන මට ඇත්තේ අමුතු අදහසක්. ඒ ගීත මේ හැඩයටත් ලස්සනයි. නමුත් ඒ සමහර ගීයක් වෙනත් හැඩයකටත් ලස්සනට හැඟීම් බරව නිර්මාණය කරන්න තිබුණා කියාත් හිතෙනවා.

මගේ අදහසක් තමයි, සමහර ගීතයක අරුත වඩා ප්‍රබල වෙන්නේ සුදු පාට පත් ඉරුවක ගීත රචනය තුළ තියෙද්දී. සමහර ගීතයක අරුත වඩාත් ප්‍රබල වෙන්නේ තනුව තුළ ගීතය තුළ තියෙද්දී.

සාදර ගයන සමහර ගීත ගැනත් මගේ අදහස එසේයි. එහෙත්, ඒ සමහර ගීත සාදර තෝරාගෙන නොගැයුවා නම් ගීතයක් විදිහට ඉදිරියට පැමිනේදැයි දන්නේ දෙවියන් පමණි. එබැවින් සාදර ගේ කාර්ය මහත් වූ අගයක් ගනී.

සාදර ගේ මේ ගීතම මම කීවා සේ මීට වඩා සංයමයෙන්, හැඟුම් බරව, ලස්සනට නිර්මාණය කරන්නට තිබුණා තමයි. හැබැයි සාදර ගේ අවශ්‍යතාව එය නොවේ. එබැවින් සාදර ගෙන් එවැනි ගීතයක් බලාපොරොත්තු විය යුතු ද නොවේ. සාදර එය නිම කරන්නේ සටන්කාමී හැඩයකින්. සාදර ගේ තාලය එයයි. සාදර ගේ ස්වරය එයයි. සාදර ගේ අවශ්‍යතාව එයයි. සාදර ගේ බලාපොරොත්තුව එයයි.

ඔහුට අවැසි යම් යම් සමාජ ඛේදවාචකයන් ගැන ලියැවුණු රචනාවන් තුළ සිටින හෙළි වුණු අපරාධකරුවන්ට හැකි අයුරින් පහර දීමයි. හෙළි නොවුනු අපරාධකරුවන්ව හැකි අයුරින් හෙළි කිරීමයි. එය පෙර මා කියූ නිර්මාණ වලින් කෙරේද යන්න සැක සහිතය. එකී නිර්මාණ වලින් කෙරේද යන්න මතු නොව, එවැනි නිර්මාණ කරුවන් එය කරයිද යන්නද සැක සහිතය.

අතීතයේදී නන්දා මාලිනිය, ගුණදාස කපුගේ විශාරද තෙමේ වැන්නවුන් තෝරා ගත් අරුත් බර සමාජමය කරුණු හෙළි කරණ රචනා ගී කර ගැයීමේ මග අද ඒ මට්ටමේ සිටින අය විසින් පැහැර ඇර ඇති සමයකය සාදර එවන් ගී තෝරා ගෙන ගයන්නේ. එයයි ඇති විශේෂම වටිණාකම.

ප්‍රේමයයටම වැඩි ඉඩක් ලැබී ඇති ගී දහරක එවන් සමාජමය කාරණා ගැන ගැයෙන්නේ අල්ප මාත්‍ර වශයෙක්. සාදර ඒ තුළ තනි සටනක් දෙන්නේ යැයි කිව හැකිය මම හිතන අයුරින්.

 

සාදර ගේ පොඩ්ඩියේ ගීතය ගැන මම දැන සිටියෙමි.

ඒ පොඩ්ඩියේ ගීතය නිසා නොවේ.

 

 Timran Keerthi Songs MP3 | Timran Keerthi Sinhala Songs ~ songhub.lk

ටිම්රාන්ගේ ( ටිම්රාන් කීර්ති ) 

අපේ අම්මා හැර අම්මලා සේරම බුදු වේවා! කියන කවිය නිසාවෙනි.

ඒ නිසාම පොඩ්ඩියේ ගීතය ගැන මුල් අවස්ථාවල මා තුළ තිබුණේ යම් නොපැහැදීමකි. ගීතය තුළ ටිම්රාන්ගේ කවියේ ප්‍රබලත්වය නැතැයි පළමුකොට මට හිතුණු බැවිනි. එහෙත් දෙවැනිකොට ඒ අවුල සමනය විය. දැන් මම කවියෙහි රසිකයෙකු සේ වෙනමද? ගීතයෙහි රසිකයෙකු සේ වෙනමද සිටිමි. එවිට මට සාදර ගේ ගීත රස විඳිය හැකි බව වටහා ගතිමි.

 

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම

වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම

බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක

නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

 

ටිම්රාන් ගේ කවියේ අම්මා, කෙනෙකුට ගණිකාවකි. කෙනෙකුට වෛශ්‍යාවකි. කෙනෙකුට බඩුවකි. කෙනෙකුට සතෙකි. නමුත් දරුවන්ට අම්මා අම්මාම විය යුතුය.

සිය මව්, ගණිකාවක වීම හෝ ගණිකාවක බව දැනගැනීම ඉවසන දරුවන් සිටිය හැකිද? ඒ අනුව මේ නැගණිය අම්මාගෙන් ගේම ඉල්ලීම අසාධාරණද?

නැගණිය මතු නොව, මේ අයියණ්ඩි ද ඇගේ ගණිකාභාවය පිළිබඳව කැමැත්තක් නැති විය යුතුමය. එහෙමත් ඒ හේතුව නිසාම ඇය සිය මෑණියන් බව අමතක කිරීමට ඔහුට බැරිය. ඔහුත් සිටින්නේ පැසෙමින් විය යුතුය. නැගෙණියද සිටින්නේ ඒ ගැන පැසෙමින් බව ඔහු දනී.

ඔහු මෑණියන්ගේ මේ රැකියාවට හේතු දනී. ඒ හේතු මත සාධාරණීකරණයක් කර ගනී. නමුත් නැගෙණියන්ට තවමත් එසේ කර ගත නොහැකි වී ඇත. වරින් වර ඈ මවගෙන් ගේම ඉල්ලන්නේ එබැවිනි. නමුත් මේ අයියණ්ඩිය, සිය මව එසේ වූවත් ඇයගෙන් ගේම නොඉල්ලයි. ඇය එසේ හරි ඔවුන්ව නොරැක්කා නම් සමහර විට මේ වන විට ඔවුන් කුණු බක්කියක මියැදී අවුරුදු ගණන් වන්නට ඉඩ ඇත. නැති නම් අන් ගේක හැදෙනු ඇත. වීදියේ සිඟමන් යදිනු ඇත. පියා කවුරුන් වේවා මව ඇයයි. ඇය ඔවුන්ව කේසේ හෝ රැක ගෙන අර තත්ත්වයට ඇද නොදා ජීවත් කරවා ඇත.

 

තනේ කඩා විසිකර පත්තිනි වී නම්

අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්

වණේ පාරන්නෙ වන පල විස වී නම්

නඟේ දැං යමං පඬි පුර ගිනි තියපන්

 

ඉහත පාදයෙහි

තනේ කඩා විසිකර පත්තිනි වී නම්

අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්

කොටසින් ඇය එසේ නොවූවා නම් කෙසේ වේද යන්න පැහැදිව කියැවී ඇත. කෙසේ වෙතත්, අම්මා මොන යම් හෝ ක්‍රමයකින් තමන්ව රැක ගත් අයුර නොරිසි නම් ඔහු නැඟණියට පඬිපුර ගිනි තියන්නට යමු යැයි යෝජනා ද කරයි.

 

දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා

ලොකු හාමුදුරුවො අණකර බණ පද එව්වා

මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා

අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා

 

ඇය හැසිරුණු ගැවසුනු තැන් ගැන යම් ඉඟියක් මෙහි වෙයි.

දං කඳ නැති දාට රං කඳ වී පෙනිලා යන්නෙන් කියැවෙන එය යළිත් පැහැදිලි කර ලිවීම අනවැසි යැයි සිතමි.

මා පෙර තැනක හෙළිවුණු අපරාධකරුවන්ට ගසන්නත් හෙළි නොවුණු අපරාධ කරුවන් හෙළි කරන්නත් යන කීම සනාථ වන්නේ මෙන්න මෙතැනදීය. හෙළි නොවුනු හෝ එසේ සිතන්නට මැළි වෙන අය ගැන ටිම්රාන් කියන දේ සාදර ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නටය සිය ගීතය යොදා ගන්නේ.

අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා යන්නෙන් මේ සිදුවීම් වල ගැඹුර කියැවෙයි. එය කොතරම් ගැඹුුරුද යත් එය දුටු මුචලින්දගේ ඇහෙත් නයි කඳුළක් දිලිසුනි.

බුදු බණට නොගැලපෙන කතාවකි එහි ලියැවී ඇත්තේ. නමුත් කියනකොට කියන්නේ බුදු මැදුරෙත් බණ කතාවක් ලියූ බවකි. එහි සිදු වී ඇති හරිය පමණක් නොව නොසිදුවිය යුතු දේ සිදුවූ නොයුතු තැන් පවා ඉන් හෙලි වෙයි. මෙය එසේම කියා ඇති සේම නොවන්නට ඉඩ ඇත. නමුත් එහි කොයියම්ම හෝ තැනක එය සිදුවීමේ ඉඩක් නැතිවා නොවේ. කවියාට සිදුවූ දෙයක් ඊට වඩා තරමක් උස්සා කියන්නට නිදහස ඇත. විඳින්නා ග්‍රහණය කරගන්නා තරමින් සිදු වූ ඇත්ත ඉතිරි වේ.

 

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා

මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා

ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා

පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

 

ඇය අම්මා ගැන දන්නවා වුණාට ලෝකය ගැන දේ අල්පය. ඇය නොදන්නවා වුණාට රහසෙම ලෝකයේ සිදුවන මෙවන් යම් යම් දේ ගැනය මෙහි ලියැවී ඇත්තේ.

යකඩ රත් වුණාමත්, රත්රන් රත් වුණාමත් එහි වෙනසක් සොයා ගත නොහැක. දෙකම ගිනියම් රත් පැහැතිය.

රන් සදන ලියකටය ලෝකුරු ගැහැණියකැ කියන්නේ. රන් සදන ලියකට රත් වුණු යකඩ දුන්නත් රැවැටී එය තලනු ඇත.  රත් වුණු රත්රතන් දුන්නත් එසේමය. එලෙසින්ම, අවශ්‍යතාව පැමිණි විට කොයි මිනිහාටත් කොයි ගෑනි වුව එකය.

මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා කියන්නේ එබැවිනි.

එමෙන්ම අවශ්‍යතාව අංක එක වුණුු විට පතිවෘත්තාව අංක දෙකටත් පහළට වැටේ.

පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා යන්නෙහි එන්නේ එයයි.

අම්මා හැර ලෝකය නොදත් නැගෙණියට ඒ නිසාය ඔහු කියන්නේ

ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා කියලා.

මේ සියල්ල කියාගෙන එන ඔහු නොකියා කියන්නේ අම්මා කෙසේ අපව රැක්කත් අපට ඇයට එරෙහි වීමට අයිතියක් නැති බවයි. මොකද ඇය එසේ නොකළා නම් අද අපි කියා දෙදෙනෙක් නැති බැවිනි.

ඒ නිසා නැගෙණියගේ මේ කතාව මෙයින් අවසන් කළ යුතුය. අයියාටද ඉවසීමේ සීමාවක් තිබෙ. ලෝකයාගේ කටවල් වසන්නට බැරිය. නමුත් ගෙතුලින් මවට එරෙහිව නැගෙන නැගෙණියගේ වචන ඔහුට දැරිය නොහැකිය. ඇය අසාධාරණ නොවේ. නමුත් මවට එසේ වීමට හේතු වූයේද තමන් දෙදෙනාය.

එබැවින් රටක් ලෝකයක් කියන දේ නිහඬව ඉවසන ඔහු නැගෙණියගේ කට වසයි.

ගීතයේ උච්චතම ස්වරයද එයයි.

 

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට

කතා හදන උන් සේරම බෝසත් ද

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට

කතන්දර එපා! වැඳපන් අම්මාට..

 

සතා යනු ගණිකාවට කියන තවත් නමක් බව නොදන්නා අය ඉන්නවා නම් අතලොස්සකි. එවන් අයට මේ ගී ගැන කතා තේරෙයිද යන්නත් සැකය.

රටේ තොටේ අම්මා ගැන නොයෙක් කතා ඇත. නමුත් මුහුණට කියන්නන් සුලබ නොවේ. එහෙත් ඉදහිටකදි මුහුණට නොවුණත් යම් යම් තැනින් ඈ ගැන දේවල් කණවැකේ.

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කියන එකෙන් කියැවෙන්නේ එයයි. නමුත් මේ සේරම බොසතුන් නොවෙයි. කාගෙත් රෙදි වල සරම් වල තුත්තිරි ඇනී තිබිය හැකිය.

කතා හදන උන් සේරම බෝසත් ද

ඒ නිසා ඔහු සිය අවසන් අදහස නැගෙණියට තරයේ කියයි.

තරයේම කියයි.

යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට

කතන්දර එපා! වැඳපන් අම්මාට..

 

අපි ගීතය අසමු.



 

බංකරේ මා අන්තරේ නුඹ - ඒත් අපි එක පන්තියේ.. සාදර ගයන තවත් අපූරු ගීතයකි

 

අනේ හිමියනි ඉදින් නවතිනු

සෙබළු බොහොමයි ගැන්සියේ

නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ

කෙරුව එකෙකුට වන්නියේ

එකම පාරක දෙපිල බෙදිලා  - සටන් කෙරුවත් හන්දියේ..

බංකරේ මා අන්තරේ නුඹ - ඒත් අපි එක පන්තියේ..

 

ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින සරසවි සිසුවන්ට එරෙහිව සටන් පෙරමුණ වෙනතකට හරවන්නට පැමිණි සෙබලෙකු ගයන ගීතයක් වශයෙනි මෙය ගැයෙන්නේ.

මෙය සුවිශේෂ ගීතයක් වන්නේ එහි දෘෂ්ඨිගත දිශානතිය තරමක් වෙනස් එකක් ව ඇති බැවිනි.

සාමාන්‍යෙයන් එය සරසවි සිසුගේවා පාර්ශවයට බරව දිශාගත වුව, මෙහි ඊට වැඩි වෙනසක් දකින්නට හැකිය.

දෙපිල බෙදී සිටියත් ඔවුන් දෙදෙනම එකම පංතියකට අයත් වෙයි.

පංති සටනෙහි යෙදී සිටින සිසුවන් තම පංතියේම සෙබල සොයුරු දෙස බලන පස මිතුරු බැල්මට උපහාසයක් මෙනි පන්ති සටනෙහි නැති සෙබලා පන්ති සටනෙහි සිටින සිසුවාට තමන් දෙපිරිසම එකම පංතියක බව මතක් කර දීමෙන් කෙරෙන්නේ. ඒ ගැන සිතූ විට මෙහි සෙබලා සිසුවාට වඩා යම් ඉදිරියකින් තබා ඇතැයි මට සිතේ.

එහි මෙසේද කියැවෙයි

ගැටළු ඇති බව මට ද වැටහේ හොඳයි නිසි උද්ඝෝශනේ..

ඒත් විසදුම මෙහෙම පතුරන එක ද පාරේ භීෂනේ..

කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ..

ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ..

 

වර්තමානයේ සිදුවන බොහෝ උද්ඝෝෂණ සිදුකරන්නේම සාමාන්‍ය මහජනතාවට කරදරයක් හිරිහැරයක් වන අයුරිනි. එසේ ජනජීවිතයට බලපෑමක් වෙමින් ඒ තුළින් සටන දිනන්නටය ඔවුන්ගේ වෑයම. අප විප්ලවීය ගායකයා මේ තත්ත්වය වෙනස් විය යුතුය යන අදහසක සිටින බව ගීතය අනුව පැහැදිලි වෙයි.

ගැටළු නම් විසඳාගත යුතුය. එහි කතා දෙකක් නැති. එහෙත් ඒ නගරයේ මහ මගේ බීසනේ වපුරා නම් නොවන බවයි ඔහු කියනුයේ.

උද්ඝෝෂනයේ පෙර පෙළ සිටින්නේ සිසුන් පමණක් නොවේ. ශිෂ්‍ය භික්ෂූන්ද වෙයි. මේ ශිෂ්‍ය භික්ෂූන්ගේ සමහර හැසිරීම ශිෂ්‍යයින්ට කෙසේ වෙතත් සිවුරට නම් නොගැලපේ. එබැවින් ඔවුනගේ සැබෑ භූමිකාව මතක් කර දීමක්ද එහි වෙයි.

කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ..

ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ..

 

අති බහුතර භික්ෂූන් යළි මහණ කළ යුතු බවට උපහාසාත්මක කතාවක් වෙයි. සමහර දේ ගැන සිතන විට එම අදහසේ වරදක්ද නැතැයි සිතේ. මෙහි කියැවෙන දේ තුළද යම් මට්ටමකින් වනුයේ එය සනාථ කිරීමකි.

 

කෙසේ වෙතත් උද්ඝෝෂණය නම් වන මහ මගේ භීසනේ දැඩිව ඇවිලෙයි. සෙබලමුළු වල ඉවසීමේ හෝ බලා සිටීමේ නිමාවට ඔන්න මෙන්න කියා වෙයි. තවමත් කුපිත නොවන ඔවුන් ආදරයෙන් සිය අවසන් නිවේදනය නිකුත් කරණ බවක් ගීතයේ කියැවෙයි.

ඇත්තටම නම් බොහෝ උද්ඝෝෂණ වලට බලෙන් ගස්සවා ගන්නට දඟලන බව ඒවාට සහභාගි වී අත්දැකීම් එමට ඇති අපි ද දනිමු. පළමු පෙළ සොයුරු සොයුරියන් බොහෝ විට පළමු වසරේ මෙලෝ හසරක් නොදත් අයය. ඒ අතරේ උද්ඝෝෂණයෙන් සිරගත වී හෝ පහර කා රෝහල් ගතවී සිය දේශපාලන ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රචාරක වාසිය ගන්නට අර නොදන්නා සිසුන් අතරට මුහු වුණු පිරිසක්ද වෙයි.

දෙවැනි පෙළ සිටින සිසුන් පළමු පෙළ සිටින සිසුන්ට ඉහළින් හමුදාව හෝ පොලීසිය සිටින පැත්තට ගල් මුගුරු ගසන්නේ මේ අතරේදීය. උද්ඝෝෂනේ උද්වෙගකර අවස්ථාවක් බවට පෙරලා ගන්නේ එලෙසය. බලෙනි.

මේ කතාව නොවේද ඊ ළඟ පාදයෙන් කියන්නේ.

 

දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ..

යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩුපොලු තෝමරේ..

පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ..

අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ..

 

ඔවුනටද ඉවසා සිටීමේ සීමාවක් තිබේ. එන්නට ඉඩ දිය හැකි සීමාවක්ද ඒ අතරේ වෙයි. සැම විටම මේ සීමාව පනිද්දීමය ප්‍රහාරය ඇරඹෙන්නේ. උද්ඝෝෂකයින් පහර ඉල්ලයි. පහර දෙන්නන් කැමැත්තෙන්ම එය කරන්නේද? එය එසේ වන්නටද හැකිය. නොවන්නටද හැකිය. බොහෝ විට කුපිත කර ගත් පසු අමානුෂිකව පහර දෙනු අපිට දැකිය හැකිය. ඔවුන් ආවේ සිය කැමැත්තෙන් නොවේ. දුන් අණ අනුවය. නමුත් ගීතයේ අවසානයේ කියැවෙන ගැඹුරු කතාවක් වෙයි.

අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ.

සෙබලා නම් අරන් එන්නේ ඉහළින් දුන් ඕඩර ය ය. එහෙත් මමත් අරන් ආවේ නුඹට වගේම ඉහළින් දුන් ඕඩරයක් ය කියා සෙබලා කීමෙන් අදහස් වන දේ පහදන්නට මම උත්සාහ නොකරමි. ඔබට සිතා ගන්නට බැරි කමක් නැතැයි සිතමි.

එහෙත් අපි එක පංතයේ  ගීතය අසමු.

ගායනය : සාදර බණ්ඩාර

පද රචනය : චමිදු මිහිරංග

සංගීතය : සාදර බණ්ඩාර



 

 

ඔහුගේ ගීත අතර ඇති නාට්ටාමි ගීතය අනෙක් ගීත වල හැඩයෙහි යම් යම් ලකුණු තිබුණත් එයින් තරමක් වෙනස් වූ එකකි. නාට්ටාමි සමාජ තලය තුළ ඇති අසුන්දරතා පිළිබඳව ගැයෙන සුන්දර ගීයකි එය. සුන්දරතා අස්සේ අසුන්දරතාද අසුන්දරතා අස්සේ සුන්දරතා ද මුසු වීම වැලැක්විය නොහැකිය. පිරිසිදු කියා කිසිවක් නැති හෙයිනි.

නාට්ටාමි ගීතය ගැන වැඩි විස්තරයක් නොකියමි. අපි ගීතය අසා ඊ ළඟ ගීත වලට යොමු වෙමු.



 

 

නුවන් ජූඩ් ලියනගේ හෙවත් නුවන් ලියනගේ 

ගීත රචකයෙකි. අපි වැඩියෙන්ම ඔහු ගීත රචකයෙක් ලෙස දැන ගන්නේ දීපිකා ප්‍රියදර්ශනී ගයන

වැහි දිය මහ බිම තෙමුවට

බිම තෙමන්නෙ වැසි විතරද

මට නුඹ විතරක් වුණාට

නුඹට ඉන්නෙ මං විතරද

ගීතයෙනි. එහෙත් ඔහු තවත් ගීත කිහිපයක්ම ලියා ඇත. පත්තර මල්ලි ලෙස වඩාත් දැන සිටි ඔහු පසුව වඩාත් පරසිදු වුණේ අරුම පුදුම රෝද හතර නිසාවෙනි.

දැන් කියන්න යන්නේ සාදර බණ්ඩාර පසුගිය දිනක ගැයූ නුවන් ලියූ තවත් ගීතයක් ගැනය. ගීතය නම්කොට තිබුණේ බුත්තල නත්තල යනුවෙනි.

මේ ගීතයට ඉතිහාස කතාවක් ඇත. ජේසු බිළිඳුන් හා නත්තලේ උපත ගැන අවුදුරු දෙදෙහස් ගණනක ඉතිහාස කතාව වගේම තවත් ප්‍රබල දශක කිහිපයකට එපිට ඉතිහාස කතාවක්ද වෙයි.

Sri Lankan Catholics නම් වන ෆේස් බුක් පිටුවෙහි සඳහන් සටහනක් ඒ අයුරින්ම උපුටා ගනිමින් ඒ ඉතිහාසගත කතාව ගැන ඔබේ මතකය යොමු කරමි.

//// 80 දශකයේ අග බාගයේ මුලු රටම සෑ යන් වි දැවෙන සමයක දෙසැම්බරේ එක රෑක මයික් පියතුමා ඉන්න බුත්තල සුභ සෙත් ගෙදරට ඇතින් බල්ලන් බුරන හඩත් සමග අත් ටැක්ටරයක හඩක් ඇහෙන්න ගන්නවා..ඊට අමතරව ඇහෙන්නෙ ඉද හිට ඔනෑම ජීවියෙක් වෙනුවෙන් පත්තුවෙන තුවක්කු හඩ, ඇතින් ඇසුණු අත්ටැක්ටර් හඩ සුබසෙත් ගෙදර ඉදිරියේ නවතිනවා , ඉලගට ඇසෙන්නෙ ගමේ කව්‍ රුන් දෝ කලබලෙන් පියතුමාට කතා කරන හඩ ..පියතුමා දොර ඇරගෙන යනවා ..

බලනකොට ගමේ සිරියාට දරුවා ලැබෙන්න විලිරුදා හැදිලා.. ඉස්පිරිතාලෙ ට ගෙනියන්න තරම්වත් වෙලාවක් නෑ..පියතුමා එහා පැලේ හිට සිස්ටර්ලා දෙන්නට කතා කරන්වා ..තරු හිස් අහසේ වියනක් බදිනවා, සද ඉලිය ටිකක් වැඩි කරනවා අත් ටැක්ටරේ තට්ටුව තිඹිරි සයනය වෙනවා , යකඩ පටි විලි රැහන් වෙනවා ..සිරියා..නත්තල් මාසේ රෑක ජේසු පුතෙක් බිහිකරණවා..මයික් පියතුමා මේ සිද්ධිය ඉංගිරිසි කවියකට එතුමාගේ දින පොතේ ලියනවා, කාලෙකට පස්සෙ ' කිතුසර' කන්ඩායම මේ කවියෙන් අපූරු ගීතයක් නිර්මානය කරනවා..ඊටත් අවුරුදු විස්සකට විතර පස්සෙ මට මේ අනුභුතියෙන්ම ගීයක් ලියවෙනවා..

 පොඩ්ඩියේ ගීතයෙන් අපිව අලෝලනය කල සාදර බන්ඩාර Sadara Bandara  මේ වචන දැක්ක ගමන් හා කියනවා ඒ ගිය ඇවුරුද්දේ නත්තලට මේ අවුරුදේ නත්තලට හිමාන්ට Himan Perera  තිබුනු ගාය නිසාම ඒ ගිතය බිහි වෙනවා.. එදා අත් ටැක්ටරේ තට්ටුව මත බිහිවුණු පොඩි එකා අද වෙන කොට තව ජේසු පුතාලා දුවලා මේ ලෝකෙට දීලා ඇති...////

මේ සටහනේ කියා ඇති කතාවේ ඇරඹුම සහ මධ්‍යයට වඩා වෙනස් විශාල ඛේදවාචකයක් තමයි ගීතයේ ඇත්තටම ඇත්තේ. එහෙත් සටහනේ ඒ ගැන සඳහන් නොවන්නේ එය නොකියා ගීතයෙන්ම එය ඔබට අසන්නට දෙන්නට විය යුතුය. නමුත් ගීතය අසන්නට පෙර මට එහි වචන මෙහි ඉදිරිපත් කරන්නට වෙන හෙයින් ඒ කුතුහලය නැසීමට සිසදුවීම ගැන කමන්න.

 

ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන ඌවේ දෙසැම්බරේ..

සඳ එළියේ කුරගාමින් ඇදෙනා ජුසේගේ ට්‍රැක්ටරේ

තිත්ත රසට උස ගිය මස් ගස්  ඇති උක් දඬු වනන්තරේ

නත්තල මැද්දේ බුත්තල ඉපදුණු ජේසුගේ කතන්දරේ..

 

අසූව දශකය අගභාගය යනු රටම ගිනිගෙන තිබුණු වසර කිහිපයක් බව නොදන්නා අයද බොහෝය. අමතක අයද බොහෝය. මතක් වුවත් අමතක සේ සිටින අයද බොහෝය. එහෙත්, අපිට නම් අමතක නැත.

මේ වැනි ගිනිගත් රටක ගිනිගත් දෙසැම්බරයක උපන් දරුවෙකු නිසාවෙනි ගීතයේ නිමිත්ත මතු වෙන්නේ. සාමාන්‍යෙයන් දෙසැම්බරය සීතල ය. එහෙත් මේ දෙසැම්බරය උණුසුම් ය.

 

කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා

එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා

තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා

බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා..

 

කටපුංචාව කවුරුත් හඳුනයි. නමුත් එඬේරු නැති ගොං බාන කවුරුත් නොහඳුනයි. එබැවින් අපි මේ එඬේරු නැති ගොං බාන හඳුනාගත යුතුය.

මෙහි එඬේරු නැති ගොං බානක් අතය අර කටපුංචා තිබුණේ. එඬේරු නම් ගවයින්ගේ පාලකයාය. එඬේරු නැති ගවයින් දෙදෙනෙකු යනු පාලනයක් නැති ගවයින් දෙදෙනෙකි. එවැනි ගවයින් දෙදෙනෙකු අත තුවක්කු ඇති විට කොයි කා ඉදිරියේ වුව කුමන මොහොතේ වුව ඒවා පත්තු විය හැකිය. නාඳුනන තුවක්කුකරුවන් එඬේරුන් නැති ගවයින් බඳු වූ බව දන්නෝ දනිති.

 

මයිකල් රොඩ්‍රිගෝ පියතුමා මේ විලිරුදාවෙන් පෙළෙන මව රෝහලට රැගෙන යාමට මැදිහත්ව ඔදව් කරණුයේ එවන් ගිනිගත් රැයකය. අර එඬේරු නැති ගොං බාන් අත කටපුංචන් ගැවසදේදීමය.

 

ගව මඩුවේ ඉපදුනත් රජ මැදුරේ ඉපදුනත්

ගොයම් යායේ ඉලුක් ගාලේ වනන්තරේ ඉපදුනත්

මේ ලෝකෙට ඉපදෙන්නේ දෙවියන්ගේ දේව පුතෙක්

හැම මොහොතම නත්තලක් හැම දිවියම ගවලෙනක්

 

නුවන් කොයි දරුවත් දේව දරුවෙක්. හැම දිවියම ශුද්ධ වූ තැනක්. එසේ වන කල හැම දවසක්ම නත්තලක් යන උතුම් පණිවිඩයකින් ගීතය නිම කරයි. ඉතිහාස කතාවේ මිස, ගීතයේ කිසිම තැනකත් පියතුමන්ගේ මරණය ගැන සෘජුව සඳහන් නොවීම වෙසෙස් ලකුණකි.

බොදුනුවෙකු වන සාදර කිතුනුවෙකු විසින් කිතුනු පියතුමෙකු ගැන ගියන ලද මේ මනුෂ්‍යත්වයේ ගීතය ගැයීම තවත් මනුෂ්‍ය කමකි.

 

කෙසේ වෙතත්, මෙවන් උතුම් මයිකල් රොඩ්‍රිගෝ පියතුමන් බුත්තලින් සමුගන්නේ සිරිලකින්මද සමුගනිමිනි. නැත. මෙලොවින්ම සමුගනිමිනි. සමුගත්තා කියා කීවොත් මුසාවකි. බලෙන් සමුදීමකි. හුස්ම උදුරා ගැනීමකි. කටපුංචාගේ වැඩකි. කොයි පැත්තේද නැතත්, නිල ආණ්ඩුවක නොනිල හමුදාවක වැඩක්ය යන්නය ප්‍රකට.

බුත්තල නත්තල ගීතය අසමු.



 

සේපාලිගෙ බොඩිය නමින් කවියක් ලියන්නේ මා මිතුරු කිවිවර  

 



නන්දසිරි කීඹියහෙට්ටිය.  

කීඹියහෙට්ටි කවියා වර්තමානයේ නියෝජනය කරන්නේ ගායකයෙකු වශයෙන් සාදර බණ්ඩාර නියෝජනය කරණ කුලකයම යැයි මට හිතේ. ඔහු බොහෝ සමාජ ඛේදවාචකයන් තමන්ටම හුරු ආරකින් ලියනු බලා සිටින්නේ මහත් ප්‍රසාදයෙනි. ඔහුගේ නැගීම ගැන කුහක සිතින් නොබලන කා වුව එය අනුමත කරණු ඇත.

මෙහි සේපාලිගේ බොඩිය කී විට අදහස් දෙකක් එයි. එකක් නම් සේපාලිගේ බ්‍රෙසියරයයි.

ගම් පලාත්වල බ්‍රෙසියරයට කියන්නේ බොඩිය කියාය. සේපාලි ජීවත් වූ ගමේ ගැහැණුන්ට බ්‍රෙසියරයට වඩා හුරු බොඩියය. එහෙත් මේ සේපාලි නම් යුවතිකයගේ බ්‍රෙසියරය ගැන කතාවක් නොවේ. ඊට වඩා ඛේදවාචකයක් ගැන කතාවකි. එනම් සේපාලිගේ මළකඳ පිළිබඳ කතාවකි. කෙසේ වෙතත් කවියා සිය කවියේ මාතෘකාව සේපාලිගේ බොඩිය යනුවෙන් කීමෙන් කිසියම් උත්ප්‍රාසයක් මතුකර ගනී.

 

ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ     මාලූ

ලස්සන මළ කඳක් ගඟ ළඟ       තිබුණාලූ

උස්සල  බැලුව මුත් ඇඳි රෙදි        කඩමාලූ

විස්තර කිසිත්  හඳුනන කිසිවෙක්      නෑලූ

 

තන්තිරිමලේ වෙහෙරේ කොතටත්  වැඩිය

පින්වත් අය දැකපු සේපාලිගෙ       බොඩිය

දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය

නන්නාඳුනන ලෙස දැම්මා සුදු       කොඩිය

 

දුන් කොල  කපා වේලා දහවල         අව්වේ

පන්දම අරන් රෑ පන්සලටත්              දිව්වේ

මන්තිරි තුමා ඉඳහිට පනිවිඩ           එව්වේ

පන් සිල් අරන් හිටියත් නෑ බැහැ    කිව්වේ

 

හංගා ගෙන වගේ පියයුරු වල           සිරිය

තිබුණා උපන් ලපයක් හරියට           හරිය

දෑඟිලි වලට හුරු සේපාලිගෙ              බුරිය

කීවෙමි මමත් අඳුනාගන්නට             බැරිය

 

මේ ගීතයේ පාදයෙන් පාදයට මම කිසිවක් නොකීවේ ඇයි දැයි ඔබ කල්පනා කරණු ඇත. නමුත් ගීතය සහ ගීතයේ කතාව අසන්නට වූ විට සාදර මට කියන්නට හැකි අයුරට වඩා ඉතා ඉහළ අගයකින් එය කියා ඇති බැවින් මගේ අදහස් මොකටද කියා ඔබට ම හිතෙනු ඇත.

අපි එබැවින් ගීතය සහ ගීතයේ කතාව අසමු.


 

 

සාදර ගැන මේ ලියූ දේ කෙටි වැඩිය. නමුත් දැනට මේ ඇතිය. ඔහු තව තවත් කතා කළ හැකි දේ ඉදිරියට ගයනු ඇත. අපිට එවිට ලියන්නටද සිත්වනු ඇත.

නන්දසිරි කීඹියහෙට්ටි කවියා ගැනද දවසක කතා කළ යුතුය. ඔහු ගැන කිව්වා මදිම මදිය. කෙසේ වෙතත්, සාරද මේ සටහන බලන්නේ නම් සාදර ගේ ගී ආරට සරිලන ගැලපෙන මගේ ඇස ගැටුණු තවත් කවියක් නන්දසිරි කීඹියහෙට්ටි සතුව වෙයි. මේ එම කවියයි.

එම කවියද මේ ගීත ආරට මනාව ගැලපෙනවා සේම කතා කරන්නට සුදුසුම සමාජ කාරණාවක්ද වෙයි. එය සාරද ගේ හඬින් ගීතයක්ව අසන්නට සිතීම මගේ පෞද්ගලික රිස්සකි. සමහර රිස්සවල් ඉටු වේ. සමහර ඒවා ඉටු නොවේ.

 


-      යසනාත් ධම්මික බණ්ඩාර     -

 

 

 

 

 

1 comment:

  1. අපූරු විස්තරයක් මචං .කලින් අහල තිබුනේ සාරදගේ පොඩ්ඩියේ විතරයි.අනෙක් ගීත රස්වින්දා වගේම රචකයන් හා පසුබිම ගැනත් දැනුවත් උනා.මමත් සාරදගේ ගායනා ශයිලයට කැමතියි .

    ReplyDelete