Friday, February 26, 2016

ඔබ ඈට ආදරය කරන්නේ නම් ඈව නිදහසේ තබන්න




ඔබ ඈට ආදරය කරන්නේ නම් ඈව නිදහසේ තබන්න.
ඈ ඔබ හැර ඈතට ගියහොත් ඈ ඔබේ නොවේය.
ඈ ඔබ හැර නොගියොත් ඈ ඔබේ වේ ය.        
මේ ප්‍රකාශය මම ඇසුවේ කොහින්දැයි මට නිෂ්චිතව මතක නැත. ඇසූ එම ප්‍රකාශය හරියට ම මෙයම ද යන්නද මට නිෂ්චිත නැත.
එහෙත් මෙය ම හෝ මෙයට බොහෝ සෙයින් සමාන ප්‍රකාශයක් යම් සාහිත්‍ය කෘතියක් තුළදී හෝ වෙනත් නිර්මාණයක් තුළදී හෝ මට හමු වුණු බව නම් අමතක නැත.  
මේ ප්‍රකාශය බැලූ බැල්මට ම අර්ථාන්විත සේ පෙනුන ද අරථාන්විත සෑම දෙයක්ම  ප්‍රායෝගික සමාජ ඇසුරෙහිදී එලෙසින් ම ක්‍රියාත්මක නොවේ. බොහෝ විට වන්නේ නිදහසේ තබනු වෙනුවට හැකි තරම් වූ රැහැණින් බැඳ තැබුමය.
මෙහි ඈ ඈ කියා මා සඳහන් කළේ ඉහත ප්‍රකාශයෙහි ඔබ ඈට ආදරය කරන්නේ නම් ලෙස ඇරඹෙන බැවිනි. ගැහැණියක විෂයයෙහි වුව, පිරිමියෙකු විෂයයෙහි වුව මේ ප්‍රකාශය දෙපැත්තට ම සත්‍ය වෙයි. කෙනෙකුට කෙනෙක් සැබෑවටම ආදරය කරන්නේ නම් ඒ කෙනා තමන් අදරය කරණ කෙනාව රැහැණින් නොබඳිනු ඇත. නිදහසේ තබනු ඇත.
මට මේ කතාව හා සමගම කතා කරන්නට අවැසි වූයේ වෙනත් දෙයක් වුවද, අවැසි වූ දෙයම නොවුවද, මතක් වන නමුත් බැහැර කර යා නොහැකි සමහර දේ ගැනද කතා කළ යුතුම යැයි වන මගේ හැඟුම නිසා අතර මගදී මතක් වූ දෙයක් ගැන පළමුව කතා කරන්නට සිත් වෙයි.
මාතෘකාවෙන් පිටත දේ ද කතාවට ඈඳා ගැනීමේ මගේ මේ ගතිය මගේ ලියමන් හොඳ පැත්තට රැගෙනයන්නේද නැති නම් නොහොඳ පැත්තට රැගෙන යන්නේද යන්න ගැන නම් මම නොදනිමි. මම එය වටහා ගන්නටද උත්සාහ නොකළෙමි. එය දන්නේ ඔබය. මම දන්නේ ඒ මතක් වන දේ මේ කතාවට අදාල වන තාක් කල් මට ඒවා සැනින් අමතක කොට මගේ මාතෘකාව තුළට පමණක් ගිලීමට නොහැකි බව පමණි.

මඩේ ළගින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගැහැණි මං...

මට සැනින් මතක් වූයේ ඉහත සඳහන් කළ මේ ගීතයයි.
මේ ගීතය සහ අර ප්‍රකාශය අතරේ ඇති සබඳතාවය කුමක්දැයි එක් වරම ඔබ සිතනු ඇත. එහි ඇති සබඳතාව වැටහෙනුයේ එහි ඊ ළග පාදයට ගිය විටය.

මදන ඇතුන් නෙළුම් හුයෙන් වලකන්නද මං
දුවන මුවන් දැක ලන්නද නෙළූ පලා මං
එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං....

මේ අනුව යනවා නම් බැඳ ගෙන පළක් නැත. යනවා නම් යන්නට හැරිය යුතුය.
කූඩු කර සිටින ගිරවිය කූඩුවට වී ගී ගැයුවත් කූඩුවේ දොර හැරි සැනින් ඈ අහසට පැන පියාඹනු ඇත. එසේ නම් කූඩු කරගෙන කළ හැකි ආදරය කුමක්ද? එහෙම එකක් තිබුණත් එය ඒක පාර්ශවීය වනු වැලැක්විය හැකිද?
මේ සමඟම යළිත් මට සිදුවන්නේ යන ගමන් මගින් තරමක් බැහැරව අතුරු පාරක යන්නටය.

රස ආහර කවලා
රන් කූඩුවෙ දමලා
ඇති කරන්න ගත්ත මාල ගිරවී
අතහරින්න කියලා
ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාලා යයි කියාලා....

අතහරින්න යැයි කියන්නේ අර කී රන් කූඩුවට වඩා, රස ආහාර වලට වඩා නිදහස වඩා වටනේයැයි ගිරවිය සිතනු ඇතැයි සිතාය. අතහැරියත් දාල යන්නේ නැති නම් අන්න එවන් ගිරවියක් තබා ගත්තාට කම් නැත.
ඇයට ඔබ ආදරය කරන්නේ නම් ඇයව නිදහසේ තබන්න යනුවෙන් කියන්නේ සෑම බැඳීමක්ම කඩා බිඳ දමන්න යන්න නම් නොවේ. ඇයව බඳිනවා නම් බඳින්න. හැබැයි පෙම් රැහැණින් පමණක්....
මතු දැක්වෙන ගීතයේ කියනුයේ ඇයව බැඳ තබා ගැනීමක් ගැන නොවේ.
ඔහුව ඇය වෙත බැඳ තබා ගන්නා සේ ඇයගෙන් කරණ ආයාචනයකි එය. එහෙත් ඒ කුමන බැඳුමක් ගැනද? පෙම් රැහැණින් කරණ බැඳුමකි.

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවනේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග 
මේ දිවි මග එකට යන්න

බැඳිය යුත්තේ පෙම් රැහැනිනි. පෙම් රැහැනට තවත් බොහෝ රැහැන් පසුව ආවත් බලහත්කාරයේ රැහැනින් නම් කිසිදු විටක ඈව හෝ ඔහුව බැඳිය නොයුතුය.
මේ ගීතයේ අන් පද ගැන විස්තර කිරීමක් නොකරමි. 

ප්‍රවීන ගීත රචක මහින්ද දිසානායකයන් 

අතින් සරලව පැහැදිලිව පබැඳී ඇති  


ප්‍රවීන සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් අතින් මධුර මනෝහර ලෙස සංගීතවත් ව ඇති ගීතයක පදයක් පදයක් නෑර ලිහන්නට ගොස් ඔබගේ රසිකත්වයට අවමන් නොකරමි.
ගීතය ගයන්නේ අජන්තා නාකන්දල ය.

මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න...

මම රැය නම් ඔබ පුර හඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමඟ මැකී යන්න

පෙම් රැහැනින් මා වෙලන්න ගීතය අසමු.


මේ දිගු ඇරඹුම් සටහන අන් නිමිත්තකින් ලියැවුණු ගී පෙළක් ගැන කතා කෙරුමටය.
මා අන් නිමිත්තක් පෙරදැරිව ලියැවුණු කියා කියමින් ඒවා විමසුවාට ඒවාගේ අයිතිකරුවන් සමහර විට මා හා එකඟ නොවන්නට වුව ඉඩ ඇත. එහෙත් ඒ ගී මට දැනෙන හැටියට ය මා විමසන්නට උත්සාහ කරනුයේ. මට හැඟෙන හැටියට කියා අනුන්ගේ ගීත විමසද්දී ඒ ගී ලියූ අනුන්නට හානියක් නොවන සේ ඒවා විමසන්නට අප වග බලාගත යුතුය. ගීත රචකයින්ට අනුව සමහර විට මා කරන විමසුම වැරදි විය හැකි වුව, මා ලොකු වැරදි කරුවෙකු නොවීමට උත්සාහ කරමි. එබැවින් මා ඒ සියල්ල සිත්හි දරමින් මේ ගී මා දකින කෝණයෙන් විමසමි.
ඉහත දී අප කතා කළේ ඇයට ආදරය කරන්නේ නම් අයව නිදහසේ තබන්න  ලෙසටයි. එහෙත් සැබෑවටම මෙය සිදුවේද? මා පෙර කී ලෙසට ම සිදු වන්නේ හැකි තරම් රැහැන් වලින් බැඳ තැබීම නොවේද? එසේ බඳිනුයේ ඇයි? ආදරය නිසාම ද? නැති නම් එහි යම් ඉරිසියාවක් ගැබ්ව නොපවතන්නේද? සමහර විට තවත් ඊටත් වැඩි දරුණු හැඟුම් නොතිබිය හැකිද?

ඔබ පෙම් කරණා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කරණා අයුරින්
පෙර දිනයක මා පෙම් කරණා සඳ
මටද ආදරේ කියා තිබේ....

මේ ගීතයේ අරුත විවිධාකාරයෙන් විඳිය හැකිය. සරල සෘජු අරුත පමණක් ගන්නා කෙනෙකුට මේ නම් ඔහු තුළ මතුවුණු ඉරිසියාව පාලනය කරගනු නොහී දෝරෙ ගලා යාමකැයි කිව හැකිය. බැලූ බැල්මට වුව එය එවැනිය.
අපට හැඟෙනුයේ ඈ වෙන කෙනෙකු හා පෙමින් වෙලී සිටින අතරතුර දෙදෙනා ළඟට යන පළමු පෙම්වතා
ඔබත් එක්ක ඔය යුවතිය ඔය සිටින විදිහටම මමත් එක්කත් ඉඳ තිබෙනවා
යනුවෙන් දෙවෙනි පෙම්වතාට පවසන්නාක් සේය.
එය ඒ ලෙසට විග්‍රහකොට ගතහොත් මෙය නම් මහා ඉරිසියාවකින් වැසුනු වර්තමානයක් නිසා ආදරයෙන් පිරුණු අතීතය සහමුලින්ම විනාස කර දැමුවාක් වැනිය. ගීතයේ ඊළඟ පාද විමසන විට වුව හැඟී යන්නේ, තව තවත් තහවුරු වන්නේ එයම ය.

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේසෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුළට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ...


සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම් බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ...

තව දුරටත්, පෙර යුගයක තමන්ට බැඳී සිටියදී ඉදිවුණු ඈ පිළිබඳ ව වන මේ මතක වටපිටාව ඔහු දෙදෙනා ඉදිරියේ දිග හරියි. ඔහු ඉන් ලබන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද?
යම් චපල පෙම්වතියකගේ චපලත්වය නිසා රැවටුමට රිදවුමට අසාධාරණයට බඳුන් වූ පෙම්වතෙක්, එවැනිම චපලත්වයකින් රිදවුමකට රැවටුමකට අසාධාරණයකට තවත් පෙම්වතෙක්  බඳුන්වන්නට ඇති ඉඩ අසුරාලීමේ පරම පවිත්‍ර චේතනාවද මේ?
අප ඒ විදිහට එය විග්‍රහ කරන්නේ නම් එහි ඇත්තේ පැහැදිලි ඉරිසියාවයි. ඉරිසියාවෙන් දැවීමයි. ඉරිසියාවෙන් දැවෙමින්ම වන පලිගැනීමේ චේතනාවයි.
මේ තමයි යථාර්තය යනුවෙන් කෙනෙකු කියනු ඇත. එය එසේ නොවේ යැයි කිවහොත් මා සමග තර්ක කරණු ඇත. සමහරු තර්කයෙන් අනතුරුව මා හා උරණ වනු ඇත.
ප්‍රේමයේ එවන් බිඳුමකින් අනතුරුව ඉරිසියාව, තරහව, පලිගැනීමේ චේතනාව වඩාත් මතුවන කරුණ බව මා ප්‍රතික්ෂේප නොකරමි. මිනිස් සිතේ සොබාවය එය ය.
සමහරුන් තුළ මෙවන් සිතුවිලි ඉපිද, තමන් විසින්ම සැනෙන් පාලනය කර ගැනීමෙන් අනතුරුව ඒවාට සිත තුළම යටපත් වෙන්නට හරී. එවැන්නා අනෙකාට වඩා වේගයෙන්, වැටි වැටී නැගිටියි.
තවෙකෙක්, පාලනය කර ගත නොහැකි වෛරී සිතුවිලි මත ඈ රිදවන්නට උත්සාහ කරයි. තමන් සතු වස්තුවක් අනෙකෙකු සතුවුණු බව දැක ඒ වස්තුවෙන් ඔහු ලබන සතුට නැති කිරීමට සිතයි. එහෙත් අධික වෛරී සිතුවිල්ලක් බවට එය වර්ධනය වන්නට ඇති ඉඩ අසුරාලයි. ඔහු කාලයක් වැටී සිට හෙමිහිට දනි පනි ගා නැගිටියි.
එහෙත් අධික ඉරිසියාවෙන්, වෛරයෙන් මත්ව තමන්ගේ පාලනය ගිලිහී ගිය පුද්ගලයා, බොහෝ විඳවමින් සිට, බොහෝ සැලසුම් කොට, දවසක අඩියක් ගසා මත්ව, අන්ධව.
රුචිරාණනී අහන්න
එක පාර මා මරන්න
යන ගීතයද මුමුණමින් ගොස් රුචිරාණනී ගෙන් තමන් මැරුම් කනු වෙනුවට පිහියෙන් ඇන එක පාරට ම රුචිරාණනීව මරා දමනු ලබයි. හැකි නම් නව පෙම්වතාටද ඒ ආනිසංසයම අත්කර දෙනු ලබයි. ඔහුට නම් සදාකාලිකව ම නැගිටීමක් නැත.
බිඳුනු පෙම් කතා පසුපස ඇති මිනිසුන්ගේ සිතුවිලි සමුදායේ යථාර්ථය මෙය විය හැක. එහෙත් මේ උක්ත ගීතයේ එකම අරුත එයමද?

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...

එහෙත් මේ උක්ත ගීතයේ එකම අරුත එයමද? යන මගේ පැනයට එම ගීත රචනයේම කොටස් එරෙහි ව නැගී සිටිනවා නොවේ දැයි සමහරෙකුට හිතෙනු ඇත. එය එලෙස වුව යළි යළිදු මා සිටිනුයේ එය එසේ නොවන බවට දරණ මතවාදයක් තුළය.

//// දැන් පෙම්වතිය කථකයාට හිමි නැත.ඔහු ඇයගේ නව හිමිකරුවා හට තම ප්‍රේමයේ තතු පැහැදිලි කරයි.කථකයා ඇයට අමතනුයේ කුමාරි ලෙසිනි.එය ඇයට ගෞරවය දැක්වීම පිණිස කරන ලද ආමණ්ත්‍රණයක් නොව,ඇයට එල්ල කරන ලද සියුම් උපහාසයකි.අනෙක් අතට කුමාරී කී සැනින් අපට සිහිවන්නේ ස්ත්‍රී චපලත්වයේ සංකේතයක් බඳු මනමේ කුමාරියයි.එයින් අපට මැවී පෙනෙනු යේ චපල ස්ත්‍රී රුවකි.අතීත පෙම්වතිය නව මේවතාගේ දෑතේ පැටලී ඔහුට ආදරය ප්‍රකාශ කරන ලෙසින්ම තමාටද අතීතත දිනයක ඒ අයුරින්ම ඇගේ ප්‍රේමය ප්‍රකාශ කර තිබෙන බැව් කථකයා නව පෙම්වතාට අනතුරු හඟවයි.මෙය අසන ඇගේ පෙම්වතාට කුමක් සිතෙනු ඇද්ද?
ඇය වත්මන් පේමවතා සමඟින් මුදුදු වෙරළේ සිහිල් සුව විඳිමින් සිටී.තවත් විටෙක ඔහු හා සිනමා හලක අඳුරු මුල්ලකට වී ඔහු සනහාලයි.එනමුදු ඇය ඔහු සනහාලන්නේ තවත් අයෙකුට දුකක් දී ගොසින් නොවේද?මෙසේ ඇය ඔහු හා තුරුලු වී පෙම්බස් දොඩමින් සිටින කථකයාගේ සිතද තව තවත් දුකින් පිරී යයි.මේ නිසාම දෝ කථකයා තම ප්‍රේමය උදුරාගත් ගත් පුද්ගලයාට තම අතීත ප්‍රේමය අකුරක් නෑර විස්තර කරයි.
( උපුටා ගැනුම - ඔබ පෙම් කරණා ඔබේ කුමාරිය ගැන ලියැවුණු ෆේස් බුක් සටහනකින්) ////
මේ, මා අර පෙර කී අයුරින් මතුපිටින් වචන දෙස බලා ගීය විමසීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි. මතු පිට පෙනෙන අකුරු වල හැඩය වර්ණය රටාව පමණක් බැලූ විට එය එසේ වන බවද මමද පිලිගනිමි. එහෙත් සෑම අකුරකටම හදවතක් ඇත. සෑම අකුරකටම වියලි හෝ තෙත් බවක් ඇත යනුවෙන් සලකා බැලූ විට, ඒවා එකතු වූ තැන හැඟීම් දැනීම් පවතී. ගීත රචනය තුළට ගොනු වුණු ඒ හැඟීම් දැනීම් ය විමසිය යුත්තේ. මතුපිට අකුරු නොවේ.
මා දැන් පිවිසෙන්නේ මට මේ ගීතය පෙනෙන විදිහ ගැන කීමටය. මෙය ගීත විචාරයක් නොවන බව මම යළිදු වතාවක් කිව යුතුය. මා කරන්නේ ගීත විචාර නොවේ. මට ඒවා පෙනුනු හැඟුනු දැනුනු විදිහ ඔබ හා සමඟ බෙදා හදා ගැනීම පමණකි. විචාරය යනු මීට වඩා බොහෝ එහා තිබෙන, මනා සංයමයෙන් හික්මීමෙන් සහ හැදෑරිමෙන් අවබෝධයෙන් යුක්තව කළ යුතු දැවැන්ත දෙයකැයි මා හඟින බැවිනි.

ඔබ පෙම් කරණා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කරණා අයුරින්
පෙර දිනයක මා පෙම් කරණ සඳ
මටද ආදරේ කියා තිබේ....
ගීතයේ මේ පාදය තුළ මේ කාරණා කෙසේ ලියැවී තිබුණත්, ඔවුන් දෙදෙනා පෙමින් වෙලී සිටින තැනකට ගොස් ඔහු සියළු අතීත පවත් දිග හරින බවක් එහි ලියැවී නැත. අවශ්‍ය නම් කෙනෙකුට අනෙක් පසටද තර්ක කළ හැක. තර්ක කර සරල මතුපිට අරුතින් නැවතිය හැකිය. නො එසේ නම්, තර්කයේ දැඩිව බැඳී නොසිට එහි ඇති ඊට වැඩි මිනිස් හැඟීම් තුළට ගොස් ගීතයේ යටි අරුතට පිවිසිය හැකිය.
ඔහු තුළ අර පෙර කී ඉරිසියාව, සමහර විට ක්‍රෝධය තන්හාව, බිඳුනු සිත නිසා ඇති වුණු සමාජයට මුහුණ දීමේ අපහසුව සේම, රසවත් අතීතය අමතක කිරීමේ වේදනාවද යන සකල විධ දේ ගැබ්විය හැකිය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් එයින් කුපිතව ඔවුන් ඉදිරියට යන ඔහු සියල්ල අකුරක් අකුරක් නෑර වමාරණවාට වඩා යහපත් විදිහට මෙය විමසන්නට නොහැකිද? මගේ අදහස නම් මේ සියල්ල ඔහු තුළ ම මතුව ඔහු තුළින් ම කෙලවර වන සිතුවිලි වන බවයි. ඔහු වේදනාබර සිතින් සිතනුයේ අද අන් අයෙකු තුරුලේ නැලවෙන මේ යුවතිය පෙර දින තමනට උණුසුම දුන්නා නොවෙද යන්නයි. එසේ නොවී එය ඔවුන් ඉදිරියේ දිගහැරුමක් එහි වෙතැයි මම නොසිතමි.
පෙර කල නම් තමන් සිතා සිටියේ ඒ ආදරයේ උණුසුම ලෙසටය. එහෙත් දැන් වැටහී යන අයුරින් නම්, ඒ අන් උණුසුමක් වන බව පසක් වෙයි.
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...
යන්න කියන්නේ එයයි.
යළිදු මා කියන්නේ මේ සියල්ල, ඔහු තුළින් වදන් සේ පිට නොවූ‍යේ, සිතුවිලි සේ හදවතේ මතුවූ හැඟුම් බවයි.
ගීතයේ පෙම්වතාගේ හැඟුම්ය අප ගීත රචකයා සිය වදන් සේ එළි දක්වන්නේ. රචකයා ලියන දෑ, ගීතයේ කතා නායකගේ කතාව මිස, රචකයා ලියන දෑ සේ වටහා නොගත්තේ නම් පමණි, අර කී පෙම්වතාගේ සැබෑ හැඟුම් ගීතය තුළින් අපට දැකිය හැක්කේ. මා මේ ගීතයේ වචන වල මතු පිටින් කියැවෙන දේ යථාර්ථය ය යන්නට එරෙහි වන්නේ මේ නිසාය.
ගීතයේ සියළු අනෙකුත් අංගයන්ද මේ අදහස් තුළට ගොනු කළ හැකිය. එබැවින්, බැලූ බැල්මට, ප්‍රේමයේ ඉරිසියාව ගැන ලියැවුණු ගීතයක් සේ කෙනෙකුට මෙය හැඳින්විය හැකි වුවද, ඒ ඉරිසියාවෙන් මත් ව අළුත් පෙම් යුවල ඉදිරියට ගොස් සියල්ල ගෙනහැර පෑ අතීත දුෂ්ඨ පෙම්වතෙකු සේ ඔහුව හැඳින් වීම නොමැනවැයි මට හැඟේ.

/// මෙම ගීතයේ ගේය පද රචනාව සුනිල් ආර් ගමගේ මහතාගෙනි.මෙය ඔහුගේ සමීප මිතුරකුට සිදුවූ අත්දැකීමක් පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි.මෙම ගීතය ප්‍රථමයෙන් කීවාක් මෙන් ස්තීහු චපලය යන දෘෂ්ටිය මත පිහිටා ලියැවුණකි නමුත් ගීතය මඟින් එවැනි සාම්ප්‍රදායික දෘෂ්ටිවාදයන් සමාජය තුළ ගොඩනඟනවාට වඩා එවැනි දෘෂ්ටිවාදයන් බිඳ දමන්නේ නම් වඩා උචිත යැයි හැඟේ. (උපුටා ගැනුම - ඔබ පෙම් කරණා ඔබේ කුමාරිය ගැන ලියැවුණු ෆේස් බුක් සටහනකින්) ///
විමසන්නා දකින මේ සරල මතුපිට ස්වභාවය හේතුවෙන් ඉහත ගීතයේ කතානායක පෙම්වතා මතු නොව එහි ගීත රචකයා වන 


ප්‍රවීන ගීත රචක සුනිල් ආර්. ගමගේ 
නාමයට පවා යම් විදිහක අයුත්තක් වන බව මේ අනුව පෙනී යයි. එහෙත් ඒ අර පෙම්වතාගේ හෝ ගීත රචකයාගේ වරද නම් නොවේ. විමසන්නාගේ මතුපිට බවයි. එබැවින් යථාර්ථය යැයි අප පවසන හැම දේම යථාර්ථය නොවන්නට ඇති ඉඩ ගැනද අප යමක් පැවසීමේදී සැලකිලිමත් විය යුතුය.
යථාර්ථය යනු භූමියේ පවතින එකකි. එහෙත් අපට සාපේක්ෂව යථාර්ථය විග්‍රහ කරන්නට ගිය විට යථාර්ථය යනු අපේ හිතේ අප විසින් ඇඳගත්තු එහෙත් භූමියේ පවතින්නට වඩා වෙනස් එකකි.
මේ ගීතයේ සංගීත නිර්මාණයද ගායක 


විශාරද ගුණදාස කපුගේ 

ගේ ම ය. එහි ඇති සුවිශේෂතා නම් කොපමණද?
මෙහි සංගීතමය පදනම ශක්තිමත්ය. ඊට හේතුව මේ ගීතයෙන් දනවන ශාන්ත රසය වඩාලාත් උළුප්පාලන රාගධාරී පදනමකින් එය නිමවීමයි. යමන් කල්‍යාණි රාගය මත පදනම් වූ නිර්මාණයකි එය. මේ අතර ලාවණි නම් වන තාලය ඊට රිද්මය සපයයි. ඒ අනුව මෙය උත්තර භාරතීය රාගාශ්‍රිත පදනමෙන් බිහිවුණු සරල ශාස්ත්‍රීය ගීයකි. ඉතා සීමිත ස්වර පරාසයක් මතින් නිමැවි එහි සුළු වෙනස් කම් හා සමඟ යළි යළිත් වැයෙමින් නිර්මාණය වී ඇති සංගීත රටාවන් මධුරය. එහි ඇති හැඟීම් වඩාත් තීව්‍රැ කරවන සුළුය. මෙය ගීත රචනයක් තුළ ඇති අරුත සහ හැඟීම මතුකිරීමේ ලා කපුගේ ගේ ශඛ්‍යතාව පෙන්වන හොඳ ම උදාහරණයකි.
මෙලෙසින් ම වාද්‍ය භාණ්ඩ යොදා ගැනීමේදී ද එහි අරුත සහ හැඟීම අමතක නොකර කිරීම ඔහුගේ අරුතට බද්ධ නිර්මාණකරණය මොනවට පැහැදිලි කරයි.
මෙහි විවිධ තැන් වලදී තනි භාණ්ඩයකින් නිකුත් වන හැඟීමට උචිත සංගීතය පිරිසිදුව ඇහෙන්නට සැලැස්වීම තුළින් ඔහු වචනයෙන් කිව නොහැකි මානයකට අර හැඟීම් රැගෙන යනු දැකිය හැකිය. පිවිසුම් සංගීතයේදී ගීතයට පිවිසෙන්නේ  


සන්තූර් 
වාදන ඛණ්ඩයකිනි. අන් කිසිදු සංගීත රාවයකින් යටපත් නොවී තනිව පිරිසිදුව එය ඇසෙන බවට ඔබට ගීතයේ මුල් හඬ පටය නිදසුන් දෙනු ඇත. අනතුරුව   


වයලීනය
විශේෂයෙන් ම මේ පිවිසුම් සංගීතයේදී, ශෝකී ස්වරයෙන් වයනු පෙනේ. ඒ ද අන් කිසිදු භාණ්ඩයක හඬකින් නොවැසී පිරිසිදුව ඇසෙන සේ ය. ඊ ළඟට ගීතයේ ගැයෙන කොටසට පිවිසෙන විට ඉතා පැහැදිලිව ඇසෙන්නේ සිතාර් වාදන ඛණ්ඩයක් පසු පසින් එන වයලීන ඛණ්ඩයකි.
මේ හැර ගායනය අතරේ ඇති හිස්තැන් පිරවීම සඳහා වන කෙටි සංගීත ඛණ්ඩ ( Music Bits ) සදහා ඔහු යළි යොදා ගනු ලබන්නේ 


සිතාරය
යි.
ගායනය අතරින් මතුවන සංගීත ඛණ්ඩ - Counter parts - මද බැවින් කට හඬ ද පැහැදිලිය. එහි ඇත්තේ මෙවැනි දුකක් කීමට ඊට වඩා හොඳ අන් හඬක්  නොමැති බැවින් යොදා ගත් කපුගේ ගේ කට හඬය.
අන්තර් සංගීත ඛණ්ඩ වල වුව ඔහු ප්‍රමුඛව යොදා ගනු ලබනුයේ අවම සංගීත භාණ්ඩ ගණනකි. එනම් සංතූර් සහ වයලීන වාද්‍ය ඛණ්ඩ පමණකි. ඒවා වැයෙනුයේ හැඟීම් බර සෝකී ස්වරයෙනි.
එබැවින්ම හැඟීම් මතු කරලීමේ ලා මේ සංගීත නිර්මාණය ගීතයට ඉටු කර ඇති මෙහෙය අපමණය.
සංගීතය පිළිබඳ අල්ප ප්‍රමාණික මා මෙහි සංගීතය විමසන්නට යාම නොමැනවැයි සිතේ. එබැවින් මින් එය නවතාලමි.
බැලූ බැල්මට සරල හැඟුම් බර පෙම් ගීයක් සේ පෙනුනද මෙය ගොනු කළ යුත්තේ සිංහල ගීතයේ දැවැන්ත ගීත අයිති වන කුලකයටය. එවැනි දැවැන්ත ගීයක් විමසුමට යාමේදී එහි ඇති දැවැන්ත බව ට හානියක් නොවන්නට වග බලා ගත යුතු බවට වූ අදහසක් මගේ හිතේ ඇත. ඒ අදහස කවුරුන් කුමන අයුරින් ගනීවිද යන්න මම නොදනිමි. එහෙත් රුවන් වැලි සෑ පුද බිම කැනීමට සැරසෙන්නේ නම්, එය ගොඩනැගිල්ක් ඉදිකරන්නට අත්තිවාරම් කැපීමකට වඩා වෙනස් දෙයක් බව අදහන්නෝ මා මේ කියන දේ පිලිගනු ඇත.
ඔබ පෙම් කරණා ඔබේ කුමාරිය ගීතය අසමු.


එක් ගීතයක් ගැන මෙතෙක් දිගුවට ලියවුණේ නොලියාම බැරි හෙයිනි. ඉතිරිය දිගු නොකරමි ය යන අදිටනින් මෙතැන් සිට ලියමි. එහෙත් සමහර අදිටන් බිඳ වැටෙන අවස්ථා ඇති බැවින් මේ අදිටන ද බිඳ වැටීමට ලක් වුවහොත් කමන්න.
සටහන ලියාගෙන යන විට ඈඳෙන ගී එමටය. එහෙත් හැම ගීතයක්ම එක් කිරීමට නොසිතමි. එකම මූලික හැඟුම දෙන ගීත කිහිපයක් විමසා ඊට තව තවත් ගී අමුණන්නට ඔබට ම ඉඩ සලසමි. එහෙත් සමහර ගී මග හැර යන්නේ කෙලෙසද?
මේ එවැනි මග හැර යා නොහැකි ගීතයකි.


මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි

මේ නම් විරහ ගීයකි. විරහ ගීයක ගැබ් වෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන් වීම නිසා ඇති වුණු
දුකය.
වේදනාවය.
අනුකම්පාසහගත බවය.
එහෙත් ඒ සියල්ල අතරින් මතුවන තවත් දේවල් නැතිවා නොවේ. ඉරිසියාව, ක්‍රෝධය, පලිගැනීමේ චේතනාව ආදී සිතුවිලි ඒ අතරේ නැත්තේ නොවේ. එබැවින් විරහව යනු හුදු විරහ වේදනාව පමණක් නොවන බව අප වටහා ගත යුතුය.

නිසංසල තැනකට වෙලා
හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ
මේ දුක් කොහොම ඉන්නද ඉවසලා

මගේ අත ගෙන කනට ළං වී
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේයැයි

නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්නද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද
දුක් කඳුළු මැද තනිවෙලා

මේ ගීතයේ බොහෝ තැන වල ඇත්තේ ගෙවුණු රසවත් අතීතය අහිමි වීමේ සොවයි. වේදනාවයි. ආදරය යන හැඟුම පිළිබඳව කියැවෙන අදහස් එහි එතරම් ප්‍රකට නොවී සිටී. ඇත්තද මෙයම නොවේද?

මගේ අත ගෙන කනට ළං වී
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේයැයි

මෙහි දී ඈ ඔහු සුරත ගෙන, කනට ළං ව,  අනේ සුදු මම ආදරේ යැයි කියන විට ඔහුට දැනෙන්නට ඇත්තේ ඒ ආදරයේ මුදු බවට වඩා සුළඟේ දැවටී ඔහු මුහුණට වදින ඈ කෙස් රොදක ඇති පුසුඹය. ඈ ලවනත ඇති තෙත් බව ය. ඈ දෙකොපුලෙහි වූ මුදු බවය. ආදරයට පරිබාහිර වෙනත් හද කිති කවන උණුසුමකි එය.
සැබෑ ආදරය යනු වෙන් වන එක් පරම පිවිතුරු දෙයකට පමණක් පැවැත්මක් ඇතිද? පවතින ආදරයක් තුළ මේ හැඟීම් සම්මිශ්‍රණය තිබිය යුතු නොවේද? එහෙත් සෑම ආදර කතාවකම මේ හැඟීම් ඇත්තේ සම්මිශ්‍රණයක් ලෙස නොවන බවද අප වටහා ගත යුතුය. ඒවා මිශ්‍රව ඇති අනුපාතයන් විවිධ වෙයි. මේ සම්මිශ්‍රණයක් නොවුණු හැඟීම් මිශ්‍රණයක් මත ඉදිවන ආදර ලෝකය බිඳ වැටුණු පසුවය විරහ වේදනාවට පරිබාහිර වෙනත් හැඟුම් මතුව ඒ දුක්වන සිත වෙනත් දිසාවනට රැගෙන යන්නේ.
මේ ගීතය ලියා ඇත්තේ එඩ්මන්ඩ් ජයසූරිය යි. ඒ සත්‍ය අත්දැකීමක් පදනම් කරගෙනය. එහෙත් ඒ අත්දැකීමේ ඇති ඇත්තම නොවේ මේ ගීතයෙහි ඇත්තේ. ඔහුගේ අත්දැකීම වනුයේ සිය පෙම්වතිය එනවාමය කියා නො ආ දිනයක ඇති වූ තැවුල් සිතුවිල්ලයි. එහෙත් කවියාගේ හදවත ඉන් නොනැවතී නො ආ පෙම්වතී අනෙකෙකුට අයිති වූවා සේ ය කවිය ලියන්නේ. කවියා යනු තිබෙන දේ ම ලියන්නෙක් නොවේ. විශ්වාසවන්ත බව රැකෙන සේ ඔහුට ඊට වඩා දේ තිබෙන දෙයකින් මතු කර ගත හැක.
මේ එඩ්මන්ඩ් ජයසූරිය පසුව විවාහ වන්නේ එදා ඒ නොකියා නො ආ කුමරිය ම ය.
කුලරත්න තෙන්නකෝන්ගේ හැඟුම් බර මද රිද්ම සංගීතයට මේ ගීය ගැයුවේ හැඟුම් බර, ගැඹුරු, පිරිසිදු පිරිමි හඬක් ඇති නාරද දිසාසේකරය.
හැඟුම් බර, ගැඹුරු, පිරිසිදු පිරිමි හඬක් ඇති  


ගායක නාරද දිසාසේකර
.
යනුවෙන් කීවේ බොහෝ ගායකියින්ට පිරිසිදු පිරිමි හඬවල් නැති නිසාය. සමහර ගායකයින් වඩාත් ගයන්නට ප්‍රිය සිය පිරිමි හඬින් නොව ලැහැණු හඬට ළං වූ හඬකිනි.
ගීතය අසා කතා කරමු.



මේ ගීතය වරක්  


පේරාදෙණිය සරසවියේ වළේදී 
( වළ යැයි පසිඳු පේරාදෙණි සරසවි එළිමහන් රඟහලේදී ) එක දිගට දහ පහලොස් වතාවක් ගැයුනු බව ( ගයවපු බව ) මා අසා ඇත. අසා ඇතිවා පමණි. සත්‍යතාව නොදනිමි.
පළමු කොටසින් නොනැවතී,
දෙවෙනි කොටසකින් හමු විය යුතුම ය.




-         යසනාත් ධම්මික බණ්ඩාර   -