Wednesday, September 24, 2014

දොවා ලන්නට බැරි පිළී ගඳ - කහට කුළ මල තවරලා - මගෙ ඇඳුම් නුඹෙ අතට දෙන එක - දරන්නට බෑ නිර්මලා.....







රත්න ශ්‍රී විජේසිංහයන් ට ආගම් භේද, කුල - ගෝත්‍ර භේද අදාල නොවෙයි. ඔහුට කවුරුත් මිනිසුන්ය. කපුගේටද එය එසේමය. රත්න ශ්‍රී ලෙන්චිනා මගෙ නංගියේ ලෙසින් ලියූ කව කපුගේ ගේ ගීතයක් නොවුවේ කපුගේ ගේ අවාසනාවට වන්නට ඇත. එහෙත් රත්න ශ්‍රී ගේ සහ රසික අපේ වාසනාවට එය සුනිල් එදිරිසිංහයන් විසින් ගැයීය. ලෙන්චිනා ගේ කුලයෙ හෙවූ විට ගත්විට රෙදි අපුල්ලන කුලයේ යැයි කියති. එසේම රෙදි සෝදන රෙදි මදින කුලයටම අයත් නිර්මලා ගැන ලියූ ගීතය සංගීතවත් කරමින් නිරංජලා සරෝජිනි හා එක්ව ගයන්නට කපුගේ ට අවස්ථාව ලැබුණි.






එය සංවේදී වන්නේ කුල භේදය නිසා දුක් විඳින පෙම් යුවලකගේ වේදනාව ලියැවී ඇති ආකාරය අනුවය. රත්න ශ්‍රී මෙය සිය අත්දැකීමක් තරමටම සංවේදීව ලියා ඇතැයි සිතේ. එය අත්දැකීමක් දැයි මවිසින් සොයා නැත. කෙසේ වෙතත් අවමයෙන් එය අත්විඳීමක්වත් විය යුතුයැයි සිතේ. ඒ එය ලියා ඇති හෘදයංගම ස්වරූපය අනුවය.
ඇය නිර්මලා ලොන්ඩරියේ අයිති කාරියයි.
නිර්මලා ලොන්ඩරියයි.
ඔහු නිර්මලා ලොන්ඩරිය වෙත සිය ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමට දෙන තරුණයෙකි. 
ඔහු සාමාන්‍ය තරුණයෙක් නොව උසස් යැයි සම්මත කුල තරුණයෙකි. ගීතයේ හැටියට දෙදෙනා අතර රෙදි පිලි සේදීමේ මැදීමේ ගණු දෙනුවකට එහා ගිය ගණුදෙනුවක් තිබීඇත. ඔවුන් කුඩා වියේ සිට සමීප දෙදෙනෙකි. ප්‍රේමය පිළිබඳ සිතුවිල්ලක් සිතේ තිබුණත් කුලමල ඇදෙන නිසා ක්‍රියාවට නො නැංවූ පෙම්වතුන් දෙදෙනෙකි ඔවුන්.

නිර්මලා ලොන්ඩරිය හිමි
සලුවඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල් වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවෙන් පිටමන් කළා......

පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුන දා
මා හෙළූ කඳුළක් මගේ
දින පොතක තිබිලා හමු වුණා

යුද වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළූ කඳුළින් තෙමූ
සළුපිළි තවම නෑ වේලිලා.....

දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා

එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජනී

ඔවුනගේ අතීත සමීපත්වය සහ දුරස් වන්නට කුලගොත් හරස් වුණු අන්දම පිළබඳව ගීතයේ පළමු අන්තරා  කොටසින් කියවෙයි.
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුන දා
මා හෙළූ කඳුළක් මගේ
දින පොතක තිබිලා හමු වුණා

යුද වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළූ කඳුළින් තෙමූ
සළුපිළි තවම නෑ වේලිලා.....
නිර්මලා දකින ඔහුට අතීත සිදුවීමක් මතක් වෙයි. තමන් ගැන යම් ඉවක් ලද මිතුරන් ඔවුනගේ නම් ගම් ඈඳා විහිළු කිරීමෙන් වූ සිත් රිදවීමකි එය. එදින ඔහු ඇසට කඳුළක් නැගුණි. ඒ කඳුළ අකුරට හරවා ඔහු එය දින පොතේ ලියා තැබීය.
මා හෙළූ කඳුළක් මගේ
දින පොතක තිබිලා හමු වුණා ලෙස යෙදෙන්නේ එයයි.
එහෙත් ඇයගේ කඳුළු උල්පත තවම නොසිඳී ගලයි.
යුද වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළූ කඳුළින් තෙමූ
සළුපිළි තවම නෑ වේලිලා.....
සියල්ල එරෙහිව ඔවුනගේ යොවුන් පෙම උදුරා පොළොවේ ගැසූ පසු හෙළූ කඳුළින් තෙමුණු සළු පිලි තවමත් වේලිලා නෑ යන්නෙහි ඇත්ත අරුත ඈ තාමක් ඒ අතීතය සිහි කරමින් හඬන බවය. එහෙත් ඔහු....
ඔහු ඈට පෙනෙන්නට නොහඬනු ඇත. එහෙත් සිත වැලපෙනු ඇත.

ගීතයේ වඩාත්ම සංවේදී කොටස එන්නේ ෙදෙවන අන්තරා කොටසේය. තමන්ගේ හිත ගත් යුවතිය වැඩිහිටියන්ගේ කුල මල ප්‍රශ්ණයක් මත ප්‍රතික්ෂේපව තිබියදී තමන්ගේ ඇඳුම් ඈට දී පිරිසිදු කරගන්නට වන එක ඔහුගේ හිතට වාවන්නේ නැති දෙයකි. තමන් ගේ වැඩිහිටියන් කබල් ගාන වංශ කතාව පිලී ගඳ ගහන එකක් ලෙස ඔහු සිතයි. ඔහු දකියි. මේ විදිහට තමන් දෙන ඇඳුම් වලත් ඒ ගඳ ඇතැයි ඔහු සිතයි. ඒ ගඳ සේදීමෙන් පිරිසිදු කළ නොහැකි එකක් බවද ඔහු දනී.
දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා.......
එහෙත් ඔහු සිත ඈ කෙරෙහි අපන් සෙනෙහස තවම නොනැසීඇති බව ඈ දනී. වචනයෙන් ක්‍රියාවෙන් නොවුනත් ඒ සෙනෙහස සිත්හි දරාගෙන ඔහු අඳින ඇඳුමින් එන දහදිය ඈට ගෙන එන්නේ ඒ සෙනෙහසේ සුවඳය.
එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා....



**********************************************************
මේ ප්‍රේමයට කුල මල ඈඳෙන අයුර පිළිබඳව ලියැවුණු ගීතය නිසා රත්න ශ්‍රී ලියූ වර්ණ රහිත ප්‍රේමය නමැති සුන්දර ගීය මට මතක් වෙයි. එය බොහෝ කලකට පෙර මා ඇසුවේ රජරට සේවයෙනි. එහෙත් පසුව එය නෑසුනු ගීතයක් විය. අනතුරව වසර ගණනකට පසුව එය අසන්නට ලැබුණේ ජයතිලක බණ්ඩරයන්ගේ ගී රස වින්දන වැඩ සටහනකට ගොස් පැමිණි මා මිතුරු තුසිත කුමාර එහිදී එය පටිගත කොට ගෙන තිබූ නිසාය.

මලක් නම් සිනා සී පර වී වැටේ
සඳත් රෑ මුදුන් වී සමුගෙන වඩී
එහෙත් ආදරේ නම් ඒ වගෙ නොවේ
සුදුත් කළුත් යාවෙයි - කුල මල ඇදෙයි
සදා කල් හදේ දුක් වේදනා දෙවයි....

පියාඹ ගියේදෝ සුදු හංසියේ
පියාපත තබාලා වන විල්තෙරේ
මල් නෑ පිපෙන්නේ ඒ විල් දියේ
හංස ගීත නෑසේ සුදු හංසියේ

ගිම්හානයේ වියලි ලිය ගොමු පුරා
තනිව හඬන කොවුලා නුඹ සොයනවා
හඬන අහස පෑරී පිනි වැටෙනවා
හංසියකට තාමත් ගී ගයනවා.....



මේ ගීතයත් රත්න ශ්‍රී ගේ පද රචනයට ගුණදාස කපුගේ විසින් සංගීතය නිර්මාණය කළ එකකි. ඒ යුගයේ මසිත තදින් පැහැරගත්  ගීතයක් වූ මෙම ගීතයේ තත්වයෙන් උසස් හඬ පටයක් නොමැති වීම ගැන ඇත්තේ වේදනාවකි .
මලක් නම් මලට ඇවැසි වෙලාවට පිබිදී, හිනැහී, මලට ඇවැසි වෙලාවක නිදහසේ පරව යයි.
සඳක් නම් සඳට ඇවැසි වෙලාවට පායා, දිලිසී සඳටම ඇවැසි වෙලාවට බැස යයි.
එහෙත් ආදරය එලෙසද?
තමන්ට ඇවැසි සිතක පිළිසිඳ, ආදරය විඳිමින් ආදරයෙන් අනෙකා සනසමින් , උණුසුම් කරමින්, අවසානයේ ආදරයෙන් එක් වීමටය... කැදලි තැනීමටය සිහිනය.... එහෙත් සෑම විටමඒ සිහිනයට  නිදහසක් තිබේද?
විවිධ බාධක ඔවුන් වටා රොද බැඳ ගනී... අවි ආයුධ අමෝරා ගනී.... ඒ මෙවැනි දේ නොවේද?
එහෙත් ආදරේ නම් ඒ වගෙ නොවේ
සුදුත් කළුත් යාවෙයි -  කුල මල ඇදෙයි
සදා කල් හදේ දුක් වේදනා දෙවයි....
ආගම් ජාති භේද.... ඇති නැති පරතරය..... කුලවත් හෝ කුලහීන බව... සුදු ද කළු ද යන වග.... පවුලේ එවුන්ගේ පැටිකිරිය.... මේ හැර තවත් කී නොකී බොහෝ දේ ඔවුනගේ ආදරය ඔවුනගෙන් උදුරාගන්නට වෙහෙසෙයි. මේ එවන් ඉරණමකට බඳුන් වූ යුවලකි.
පියාඹ ගියේදෝ සුදු හංසියේ
පියාපත තබාලා වන විල්තෙරේ
මල් නෑ පිපෙන්නේ ඒ විල් දියේ
හංස ගීත නෑසේ සුදු හංසියේ
ඈ - සුදු හංසිය - කොහේදෝ පියාඹා ගොසිනි... එහෙත් පියාඹා ගොසින් ඇත්තේ සුදු පියාපත් විල් තෙරේ තබාය.... එහි අදහස අනෙකක් නොව ආදරයේ මිහිරි මතක පමණක් ඉතිරි කර ඈ වෙනතක ගොස් ඇති බවය. ඒ මිහිරි මතක ඔහු සිත පාරවයි..... ඒ නිසා පෙර සොඳුරු විල් තෙර එදවස සොඳුරු අයුරින්ම නෙක මල් පිපුණත්.... ඔහු දකින මලක් එහි නොවේ. පෙර සේම සොඳුරු විල් තෙර සුසුදු හසඟනන් සැරුවත් ඔහු දකින හංසියක් එහි නොවේ. සුවහසක් මල් අතර ඔහු දුටු එකම මල ඇයයි. සුවහසක් හංසියන් අතර ඔහු දුටු එකම හංසිය ඇයයි. ඒ නිසාය,
මල් නෑ පිපෙන්නේ ඒ විල් දියේ
හංස ගීත නෑසේ සුදු හංසියේ...... ලෙස කියන්නේ.
දැන් ඒ තුරුණු පෙම් හද තනිව ඉකිබිඳී....
ගිම්හානයේ තනි වූ කොවුලෙක් තනිව හඬනු ඔහුට ඇසේ. ඒ කොවුලා තමන්ම නොවේද? අහසින් පිණි දිය වැටෙයි... ඒ පිණි නොව තම සිතම හඬන කඳුළු නොවේද? තනි වූ කොවුළිඳු තනිව හඬනවා සේ ම තමන් තවමත් ඒ හංසිය වෙනුවෙන් ගී ගයනවා නොවේද?
ගිම්හානයේ වියලි ලිය ගොමු පුරා
තනිව හඬන කොවුලා නුඹ සොයනවා
හඬන අහස පෑරී පිනි වැටෙනවා
හංසියකට තාමත් ගී ගයනවා.....
මේ පද රචනයේ ඇති සමාජ විෂමතාව නිසා ප්‍රේමයට එල්ලවන බලපෑම මෙන්ම තුරුණු හදක ප්‍රේමය අකල්හි බිඳුනු විට ඇති වන වියොව කපුගේ විසින් මනාව හඳුනා ගෙන ඒ හැඟිම් දෙකම මතුවන ලෙස ගීතයේ තනුව සහ සංගීතය හසුරුවයි. ඔහු ගීතයේ ආත්මය තුළින් දකින්නේ ඒ විරහ දුකින් ආතුර... පීඩිත පෙම්වතුන්ය..... ඔහු ඒ හදවත් තුළ ඇති විරහ වේදනාව යන්න කළඹවමින් එය මතුකරණ අතරේ පසුබිමින් ඒ සමාජ කුහකත්වය ජරා ජීර්ණ බව පිළිබඳව ඇති විරෝධය යන්තමින් ආලේප කරණු ලබයි. එය වටහා ගන්නෙකුට වටහා ගන්නට මිස ඇණ ඇණ කියන්නට නොවේ. කපුගේගේ විෂේශත්වය වන්නේ එයයි.
අද මේ ඇසෙන ගීතයේ අවසනට ඇසෙන්නේ රත්න ශ්‍රී ගේ  පද රචනයේ ඇති පිළිවෙලට නොවේ. මා මුළින්ම ලියා ඇත්තේ නිසි පිළිවෙලටය. ගීතයට අරුතක් සැපයෙන්නේද ඒ විදිහට ගැයුනෝතිනි. එහෙත් කිසියම් හේතුවක් නිසා පද රචනයේ පළමු අන්තරා කොටස දෙවැන්න හා මාරු වීගැයෙන බව කියන්නට සිදු වේ.


**********************************************************
මේ කුලකයටමය මේ මතු දැක්වෙන ගීතයද ගොනුවන්නේ.
මේ ගීතය තුළ ඇත්තේ බෑණනුවන් කෙනෙක් සිය මාමණඩිය පිළිබඳව තමන්ට සංවේදී වූ දෙයක් සමාජයෙන් ප්‍රශ්ණ කරණ ආකාරයයි.  මේ මාමණ්ඩියට යම් අසාධාරණයක් සිදුවෙයි. ඒ ජීවත්ව සිටියදී නොව මියැදුනු පසුවය. ඒ අසාධාරණය ජීවත්ව සිටියදී වුණු සුවහසක් අසාධාරණයන්ට අමතරවය. මාමාණ්ඩිය බඩ වියත රක ගන්න කළේ ගමේ පන්සලේ පිංකමට සහ ගමේ මළගමට පිංකමට හේවිසි වැයීමයි.
පුර හඳට පේන්නට පන්සලේ
හේවිසි වැයු මාමණ්ඩියේ
තක දොමිට සුරල් පද කෝ නුඹේ - නුඹ එක්ක නිදිද මාමණඩියේ....
ඔහු පාලොස්වක සඳට පෙනෙන්නට සේ ගමේ පන්සලේ හේවිසි වැයීය. එපමණක්ද මුළු ගමේම අවමඟුලේදී පිංකමේදීත් හේවිසි වැයීය. එහෙත් ඒ හේවිසි දැන් නිහඬය. මාමාණ්ඩිය සමග නිදන්නාසේය. මින් සංඛේතවත් කරන්නේ ගමේ හේවිසි වැයූ මාමණ්ඩියගේ මළගමයි. එසේම මාමණ්ඩිය සමගම ඒ ශිල්පයත් මිය ගියාද යන්නත් ඉන් ගම්‍යවෙයි.
ගොක් රැහැන් වේළුනු මං තලේ
නුඹ ඉන්නවා වාගේ පෙනේ
පැන් වඩන මල දොළ ගොම්මනේ
හේවිසි නැතිව වැලපෙනු ඇසේ.....
ඔහු ගමේ සෑම කටයුත්තකටම කර උර දුන් අයෙකි. සෑම පිංකමකටම මළ ගෙයකටම හේවිසි වැයූ අයෙකි. එබැවින් ඔහුගේ මළගමට නො ආ කෙනෙක් ගමේ නොවිනි. එහෙත් එක් අඩුවක් විය. මේ අවනඩුව කියන්නේ ඒ අඩුව වෙනුවෙනි. ඒ අඩුව කුමක්ද? ඒ අඩුව සිදුවුණේ කුමන හේතුවක් නිසාද?
තුන් යම් දොරේ වෙහෙසුනු නුඹේ
මළගම් නොආ කවුරුද ගමේ
හේවිසිය විතරක් නොවැයුවේ
ඇයි නුඹ නමින් මාමණ්ඩියේ....
මුළු ගමටම හේවිසි වැයූ ඔහුගේ මළගමට පමණක් හේවිසි නොවැයුනේ ඇයි? ඔහු හීන කුලයක උපන් නිසාද? ඔහු නමින් හේවිසි වැයීමට අයෙක් ඉතිරිව නොසිටි නිසාද?
අපි එම පැණය ඉතිරි කර ගීතය අසමු.


**********************************************************
කුල ගොත් භේදය සේම රත්න ශ්‍රී සංවේදී වූ විශයයකි ජාතිය මුළ් කරගෙන බෙදා වෙන් වීමට උත්සාහ කිරීම විවේචනාත්මකව විමසීම. ඔහු මේ සංසිද්ධිය වඩාත් විණිවිද දකින්නට උත්සාහ ගත්තේ විටෙක එය යොවුන් ප්‍රේමය තුළ දවටමිනි. එහෙත් ඔහු එය එලෙස යොවුන් ප්‍රේමය තුළ දැවටුවත් එහි ගැඹුරක් මිස ඒ ඔස්සේ රසිකයා බොළඳ සිතුවිලි ධාරාවක ගිල්වා ඒ අදහස් අපතේ යැවිමට ඉඩ තැබුවේ නැත. මීට හොඳම උදාහරණය මේ ගීතයයි.
ශාන්තිනී තෙමා වැටෙයි
නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ
අඬන චන්දිරන්
පහන් පැලට ගිනි ඇවිලී
අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන්
ඇති තැනකට යං...........
දෙමළ යුවතියක වූ ශාන්තිනීට හඬන්න සිදුවන්නේ දෙවියන් නොමැති ලොවක් තුළය... දෙවියන් නොමැති ලෝකයක ඇයට හඬන්නට සිදුවන්නේ ඇයි?  තම ජාතියට අයත් නොවන තරුණයෙකුට පෙම්කළ පවටය. එනම් සිංහල තරුණයෙකු සමග පෙමින් බැදුනු බැවිනි.

ශාන්තිනී තෙමා වැටෙයි
නළල කුංකුමම්
ශාන්තිනී සිය නළලේ තැවරාගෙන උන් කුංකුම පොට්ටු තෙමී දියවෙන බවකි මින් අදහස් වන්නේ. ශාන්තිනී ගේ කුංකුම මෙසේ තෙමන්නේ ඇයි?
කුංකුමම් තෙමා අහසේ
අඬන චන්දිරන්
අහසේ සඳවත ඇගේ කුංකුම තෙමෙන සේ හඬන නිසාය. එසේ නම් සඳවතිය හඬන්නේ ඇයි?
පහන් පැලට ගිනි ඇවිලී
අන්න නැගෙන දුම්
සඳවතිය මෙසේ අහසේ සිට හඬන්නේ පහන් පැළට ගිනි ඇවිලී ඇති නිසාය.
පහන් පැලට ගිනි ඇවිළුනේ ඇයි?
ඒ බිමේ දෙවියන් නොමැති වූ නිසාය.
මෙහි අරුත වන්නේ සඳවතිය හඬන බව නොවේ. ජාතිවාදී ගින්න බුර බුරා නැගෙද්දී ඉන් බැට කෑ ශාන්තිනි සහ එවන් අයගේ වේදනවයි ඒ. මේ ගින්න ඇවිලෙන්නේ දෙවියන් නැති බිමකය. ඒ ගින්න නිවෙන්නේ දෙවියන් ඇති තැනකදීය. දෙවියන් වැඩ සිටින්නේ කොහිද?  එය කිසිවෙක් නොදනී. දෙවියන් සිටින බවක් විශ්වාස කිරීමද අපහසුය. එහෙත් ඇය අස්වසාලන පෙම්වතා පවසන්නේ අපි දෙවියන් ඇතිතැනකට යමු කියාය.
කඳුළු උඩට තිරුවංගල්
එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න
බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ
වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ
බරද කියාපන්....

ඇගේ කඳුළු මත තිරුවංගල් එළිය වැටී ඇත. ඇගේ සුන්දර රූසපුවද ඒ රූ සපුවට යටින් මුසුව ඇති බිය ද ඔහුට පෙනෙයි. එය හරියටම සූක්ෂම කවියෙකුට වුව ලියා ගතනොහැකි වූ කවියක් බඳුයැයි ඔහුට සිතෙයි. ඈ අත ඇති වළළු රැස සැලෙන අයුරින්ද ඔහුට සිතෙන්නේ ඈ තුළ ඇති කම්පනයයි. එය හරියට ඒ වළළු ඇගේ අතට අනවශ්‍ය බරක් දෙන්නා සේය.

සියල් සිරිත් දෑ කුළ ගොත්
ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී
විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න
දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල
මට සිඹින්න දෙන්න......
ඔහු ජාතියේ වෙනසට.... වර්ගයේ වර්ණයේ වෙනසට..... භාෂාවේ ඇදහිල්ලේ වෙනසට කා කොටා ගන්නා සමාජ ජීවීන්ගෙන බැගෑපත් ඉල්ලීමක් කරයි. ඔවුන් තිරිසණුන් වුව ඔවුනට මහත්වරුණි යැයි අමතමින් බැගැපත්ව මෙසේ ඉල්ලයි. ජාතිවාද කුළ වාද සංස්කෘතික වෙනස් කම් ඔබ විසින් තියා ගන්න. ඒ බෙදුම් නිසා මගෙන් ඈත් කළ මා මලක් සේ පෙම් කළ ශාන්තිනී පමණක් මට ආපසු දෙන්න. අපට සැනසීමෙන් සිටින්නට තිරුක්කුරල් පොත හැර දෙන්න. මා නෙළා ගත් මල මටම කරගන්නට ඉඩ දෙන්න....
මේ ඛේදවාචකයට ගොදුරු වූ කොතෙක් නම් පෙම්වතුන් සිටින්නට ඇතිද? ඒ පෙම්වතුන් වෙනුවෙනි මේ ගීය.

**********************************************************
ඒ එම බෙදුම් වල එක් පැති කඩකි. මේ තවත් එකකි. මේවා මේ විදිහට ලියන්නට තරම් රත්න ශ්‍රී ගේ සංවේදී බව පිළිබඳ සිතාගත නොහැකිය.

කල්ලඩි පාලම පාමුළ සිංදු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුනේ
සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ.....

මහ පොලොව ඉතින් දෙකට තුනට කැඩී යාවි යාළුවෝ
ගංගා මහ මුදුහු කලපු නොබෙදේවි ද යාළුවෝ
නුඹලා කොයි අත කොයි දෙසකට යනවද යාළුවෝ

අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
නුඹලාගේ සිංදු ඉතින් කොයි රටේද මාළුවෝ....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ
මෙහි රචනය පැත්තෙන් වටිණාම දේ වන්නේ මිනිස් වහරේ එන සමහර කතා පුවත් වල ආභාසය යොදාගෙන මනරම් නිර්මාණයක් නිමකිරීමට රත්න ශ්‍රි දක්වන බුහුටි බවයි.
කල්ලඩි පාලම පාමුළ සිංදු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුනේ
සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ.....
මඩකලපුවේ කල්ලඩි පාලම යටට රොක්වන  මාළුන් සිංදු කියන බව පෙර සිට පැවතුනු කතාවකි. ඒ කතාවෙන් උකහා ගන්නා නිමිත්ත ඔහු පුළුල්කරමින් එකල්හි පැවති යුධ වාතාවරණය වෙත අපේ සිතුවිලි ධාරාව යොමු කරවයි. මේ සිංදු කියන මාළුවන්ගේ කතාව හරහා ඔහු විවිධ ප්‍රශ්ණ රැසක් යොමු කරයි. ඇත්තටම ඔහු එම ප්‍රශ්ණ අසන්නේ එම ගීය අසන ජනයාගෙන් අසනා ලෙස නොවේ. සිංදු කියන මාළුවන්ගෙන් අසන විලසිනි. එහෙත් ඔහු එම ප්‍රශ්ණ අසනුයේ එවන් භේද පොදි බැඳගෙන භින්න වීමේ අදහස් දරන මිනිසුන්ගෙන් බව සංවේදී රසිකයා වටහා ගනී.
කල්ලඩි පාලම ළඟ සිංදු කිවුව මාළුන් ඒ යුගයේ සිටියාද නොසිටියාද  යනුවෙන් රත්න ශ්‍රී සොයන්නට ගොස් නැත. එහෙත් එම මහා භයංකර යුධ වාතාවරණය තුළ එම මාළුන්ට කල්ලඩි පාලම යට සිට සිංදු කිව නොහැකි යැයි ඔහු උපකල්පනය කරයි. එලෙස සිංදු කියන්නට නොහැකිව ඇත්තේ සිතාරයට වෙඩි වැදුනු නිසාය. සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ යනුවෙන් ඔහු අසමින් සංඛේතවත් කරන්නේ මරු විකලෙන්, සිංදු කියන හදවත නිහඬ වුණිද යන්න නොවේද?
මහ පොලොව ඉතින් දෙකට තුනට කැඩී යාවි යාළුවෝ
ගංගා මහ මුදුහු කලපු නොබෙදේවි ද යාළුවෝ
නුඹලා කොයි අත කොයි දෙසකට යනවද යාළුවෝ
මේ බෙදී වෙන් වන්ට යුධ වදින හැටි දකින ඔහුට අවසානයේ මේ සුන්දර දිවයින කොටස් කීයකට වෙන් වේ දැයි කියන්නට අපහසුය. මහ පොලොව දෙකට තුනට වෙන් වනු ඇත. එවිට ගංගා... මුහුදු කලපු ඈ සියල්ලට කුමක් වනු ඇතිද?
‍බෙදී යනු මිස කෙලෙස නම් නොබෙදී තිබෙනු හැකිද?
මේ බෙදී ගිය රටේ තමන් කොයිබක සිටිනු ඇතිද සිංදු කියන මාළුවන් කොයිබක සිටිනු ඇතිදැයි ඔහු කල්පනා කරයි.
අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
නුඹලාගේ සිංදු ඉතින් කොයි රටේද මාළුවෝ....
උතුරු දකුණු සංගීතය දෙකට බෙදේ යැයි කීමෙන් ඔහු අදහස් කරනුයේ නිසැකයෙන්ම උතුරු දකුණු මිතු දමයි. චිරාත් කාලයක් පැවති මේ මිතු දම දෙකට බෙදෙනු ඇත. ඒ විවිධ තැන් හි සම්මිශ්‍රව ඇසුනු උතුරු දකුණු සංගීතය දෙකට බෙදී දෙපසක වැයෙනු ඇත. එකට සම්මිශුව වාදනය වූ මෘදංග සහ ගැට බෙර වෙනම දෙරටක වාදනය වෙනු ඇත. එය එම අජීවී සංගීත භාණ්ඩ වල හදවත් පවා පැලීයන අයුරේ වේදනාවකැයි රත්න ශ්‍රී සිතයි. ඉතින් තමන් මේ බෙදී වෙන් වෙන රටවල් අතරින් කුමක සිටීද... සිංදු කියන මාළුවන්ගේ සිංදු කුමන රටක සිට ඇසෙනු ඇති දැයි ඔහු සිතයි.
රත්න ශ්‍රී මේ ගීතය තුළින් ඵල කලේ මේ රටේ ජීවත්වන ජාතීන් එක්ව මිස වෙන්ව ජීවත් විය නොයුතුය යන්නයි. නො එසේ නම් ඔහු මෙසේ ප්‍රකාශ කළේ බෙදා වෙන් විමට ඇති ඔහුගේ අකමැත්තයි.








          යසනාත් ධම්මික බණ්ඩාර   -

Sunday, September 21, 2014

සහෘද ඇසකින්......



දොස්තර යසනාත් ධම්මික බණ්ඩාර...

 

  මං මුලින්ම ඔහුව හඳුන ගත්තෙ වෛද්‍යතුමන් ඉමාන් අයියට (එයා අපේ ඉස්කෝලෙ - අම්බලංගොඩ ධර්මාශෝකයේ - අයියා කෙනෙක්) ලිව්ව සුවඳ මල් ගීතයෙන්.
මේ එම ගීතයට පිවිසුමයි.
 

ඊට පස්සෙ දිවුල්ගනේ මහත්මයාගෙ "අර මෝදුවෙලා සිනා පුරන.." ගීතයෙන්. අනූව දශකය අන්තිම හරියෙදි.. මං ඒ ගීතයට හුඟක් ආස කලා... නවරත්න ගමගේ මහත්මයාගෙ සංගීතය වෙන්න ඇති ඒ පද මාලාව මාව එක්කගෙන ගියේ සුන්දර හවස් යාමෙකට, ඉර බැහැගෙන යන, සමහර විට මුහුදක් අයිනට, නැත්නම් පේරාදෙනිය කැම්පස් එකට. ඒ සින්දුව පුරාම ගෑවිලා තිබුනෙ රතු, තැඹිලි, කහ පාටක් .


ඒත් යසනාත් මට වීරයෙක් උනෙත්, නවරත්න ගමගේ මහා සංගීතඥයෙක් උනෙත්, රශ්මි සංගීතා ගෙ හඬ මාව උමතු කලෙත්, වලාකුලු පෙලින් බහින්න ගීතෙන්...
මොන හේතුවක් නිසාද මන්දා මට ඒ ගීතය අහද්දි මැවෙන්නෙම සුන්දර පේරාදෙනිය,. ඒ ගීතය ඇහිච්ච කාලෙ මගේ හිතෙ තිබිච්ච හීන දෙකෙන් එකක් පේරදෙනිය, අනික් හීනෙ හැබෑ කරගෙන සුන්දර හන්තාන කඳු පාමුලට එන්න හීන දැක්කට කවදාවත් ඒ හීන හැබෑ කරගන්න ලැබුනෙ නෑ මට. ඒත් ඒ හීන අස්සෙ අසීමාන්විතව සැරිසරන්න උදව් කල ගීතයක් වලාකුලු පෙලින් බහින්න ගීතය. මල් ලියකම් වලින් පිරුනු සඳලු තලාවක ඉන්න එයා දිහා පාත ඉඳන් බලන්න මං කොච්චර ආස කලාද ඒ දවස්වල.
පස්සෙ කාලෙකදි අපි මේ කොන්ක්‍රීට් වනාන්තරේ සල්ලි හොයන්න උන්මත්තකයො වගේ දුවන්න ගත්තම ගීත රස වින්දනය කොච්චර නම් මොට උනාද. අනික් කාරනේ ඉස්සර ඇහිච්ච සුන්දර ගීත වගේ හිත බැඳගන්න ගීත ගොඩාක් අඩුවෙන් බිහිවීම. කොහොමත් ගීතයක් විඳින්න මිනිහෙක්ට නිදහස් මනසකුයි, නිදහස් පරිසරයකුයි, උචිත අවස්තාවකුයි තියෙන්න ඕනි. අවාසනාවකට මේ තුනම සම්පූර්න වෙන වෙලාවක් අපෙ ජීවිතේ හොයා ගන්න හරිම අමාරුයි.


ඔය අතරෙදි තමයි මං මගේ මූනු පොතේ මිතුරු අයදුමක් යවලා යසනාත් මහත්තයව මගේ මිතුරෙක් කර ගත්තේ. වෙලාවක් නැති උනත් පුලු පුලුවන් වෙලාවට එතුමා ලියන දේවල් මං කියෙව්වෙ හරිම ආසාවෙන්. දවසක් එතුමා එතුමා විසින් ලියපු රශ්මි සංගීතා ගායනා කරන රෝහන වීරසිංහයන් සංගීතවත් කරපු ගීතයක් තමන්ගෙ මූනු පොතේ බිත්තිය මත දාලා තිබුනා. ඒක මුලින්ම මගේ කනට වැටුනෙ එදා. ඒකෙන් මාව කොපමන කම්පනයට පත් උනාදැයි මට වචනයෙන් විස්තර කරන්න බෑ. මගේ ජීවිතේ සුන්දරම කාලය ගත කලේ මීට අවුරුදු 14කට විතර කලින්. ඒ කාලේ පුදුමාකාර රොමාන්තික සිතුවිලිවලින් හදවත පිරි ඉතිරි තිබුනු කාලයක්.
අවුරුදු ගානකට පස්සෙ වැලලිලා ගියපු මගේ අතීතය ගොඩ ගත්තු ඒ සුන්දර ගීතය ඔබත් වින්දනය කර බලන්න.
සිහිනයක් දුටුවා
නුඹත් එහි සිටියා
හැඳින ගන්නට බැරි තරම් නුඹ
වෙනස් බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා...


මම ඉකි ගසා හැඬුවා
නුඹ එහෙත් ගී ගැයුවා
අරුමයකි එහි නුඹේ කට හඬ
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා...

නුඹ මලක් සේ පිපුනා
මම සිහිනයේ දුටුවා
අරුමයකි එහි නුඹේ සුවඳක්
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා...

මෙහි සංගීතය පුදුමාකාරයි. මාර ලස්සනයි. පුලුවන් වෙච්චි වෙලාවක හිස් කරගත්තු හිතකින් මේ ගීතය අහල බලන්න. ගීතය ඉවර වෙද්දි ඔබ කොයි තරම් හිත පුරවන් ඉන්නවද කියල බලන්න.



Charith Saranga Sawanawadu - Rainbow of Thoughts