Showing posts with label සඳ කිඳුරුවට බැඳුනු කවි ගීත 1. Show all posts
Showing posts with label සඳ කිඳුරුවට බැඳුනු කවි ගීත 1. Show all posts

Saturday, May 4, 2013

සඳ කිඳුරුවට බැඳුනු කවි ගීත




කලා නිර්මාණයක් කිරීමට නිර්මාණකරුවා හට කිසියම් අනුභූතියක් ඇවැසි වෙයි. ඔහුට මේ අනුභූතිය ලැබෙන්නේ කෙසේද? කොහින්ද?

නිර්මාණකරුවා නිර්මාණාවේශය ලබන්නේ මේ අනුභූතියෙනි. ඒ නිර්මාණාවේශයේ තරම මතය,  ඔහු හොඳ නිර්මාණාත්මක පළයක් උදෙසා තම පරිකල්පනය මෙහෙය වන්නේ.

මේ අනුභූතිය ඔහු ලබන්නේ එක්කෝ සිය අත්දැකීම් වලිනි. නැතිනම් සිය අත්විඳීම් වලිනි. අත්දැකීම් නම් තමන්ම විඳි දේ ය. අත්විඳීම් නම් අනුන් විඳි දෙයක් පිළිබඳ තමන් ලද දේය; සතු තොරතුරුය; කියවූ දේය; දුටු දේය; ඇසූ දේය.

මෙයින් කියවූ දේ සහ ඇසූ දේ තුළ විවිධ දේ තිබිය හැක. වර්තමාන දේද, අතීත දේද තිබිය හැක. මේ අතීත දෙයින්ද පුරාණ කතාවස්තූන් ඇසුරෙන් ඇසූ සහ කියවූ දේ තිබිය හැක. මේ පුරාණ කතා යනු මොනවාද? ඒවාට පුරාණෝක්තියැයි ද කියයි. දේව කතා, වීර කතා සහ ජාතක කතා මෙහිලා සැලකිය හැකිය.


ජාතක කතා පන්සිය පනහකට ආසන්නය. මේ සැම එකක්ම ප්‍රකට නැත. ප්‍රකට ජාතක කතා අතුරින් කිහිපයක් නිරන්තරයෙන් නිර්මාණ වලට පාදක වී ඇත. කුස, භූරිදත්ත, ගුත්තිල, උම්මග්ග, වෙස්සන්තර, සස, චන්ද කින්නර වැනි ජාතක කතා මේ අතර ප්‍රකටය.

චන්ද කින්නර ජාතකය යනු සඳ කිඳුරු ජාතකයයි. සඳකිඳුරුවිවිධ කලා නිර්මාණ සඳහා යොදාගෙන තිබෙන බව ඒවා විමසීමේදී දැකිය හැක. පුරාණ කාව්‍යය, කෝලම්, නාඩගම්, ගීත නාටක, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සේ ම සිනමාවට ද පාදක වී ඇති බව පෙනී යයි. මේ එම සම්පූර්ණ කතාවස්තුව ම විය හැක. නොඑසේ නම් එහි යම් යම් කොටස් වල අරුත නැතිනම් තේමාව යොදා ගැනීමෙන් විය හැක. එසේත් නැතිනම් හාත්පසින්ම වෙනස් කතාවකට එහි යෙදෙන නම් ගම් චරිත යොදා ගැනීමෙන් විය හැක.

සඳ කිඳුරු ජාතකය පළමු වතාවට සිංහල සාහිත්‍යයට මුසුවන්නේ සඳ කිඳුරු දා කව තුළිනි. විල්ගම්මුල සංඝරාජ හිමි විසින් මෙය විරචිතය.

සඳ කිඳුරු දා කව කුරුණෑගල යුගයට අයත්වන ඉතා අගනා කාව්‍යමය සාහිත්‍ය නිර්මාණයක්. ඉතා සරල බස් වහරක් යොදා ගනිමින් රචිත මෙය, පද්‍ය 433 කින් සමන්විත වේ. ස්වාමි භක්තිය හා එහි වටිනාකම පිළිබඳ කියවෙන මෙය බෝසත්චරිතයේ සඳ කිඳුරු ජාතක කතාව සරළ බසින් උපමා උපමේය සහිතව ගැමි කාන්තාවන් අරමුණු කොටගෙන ලියනා ලද්දක් බව මෙහි ඇති පද්‍ය දෙස බැලීමෙන් පසක් කරගත හැක.

ඇදගත් තදින් විදි සැර නොවැරදී                           වැ ද
හියපත් මුවෙන් වැම්මෙන ලේ හැලි                 නොම ඳ
බලවත් දුකින් වලපින හිමි නුඹ                          වැල 
මගෙ නෙත් දියෙන් සේදී ගෙනැ ගියේ                  වෙ ද

මෙම කවියෙන් කිඳුරා හට වැදුනා වූ අනපේක්ෂිත හීසර පහරින් ගලනා වූ රුහිරු දහරාව දැක බියෙන් මුසපත් වූ කිඳුරිය තම ආදරණීයයා වෙනුවෙන් වැලපෙන අන්දම කියාපායි.

සිප බඳ කොමළතින් මුව වී පොවා              පියා
සැප විඳ කලක් සමඟවැ මන පිනා               පියා
ලප සද ලෙසින් උන් මගෙ හිමි මරා            පියා
අප අද කුමට වෙන් කැරැපීද පා                   පියා

මෙයින් කිඳුරා හා කිඳුරිය අතර තිබුණා වූ ආදර බැදීමෙහි වූ ශක්තිමත් බවත්, රජුගේ අදහසට විරුද්ධව තම හිමි කිඳුරා වෙත වූ අකලංක පති භක්තිය එලෙසින්ම පවත්වාගනිමින් ජීවත් වන කිඳුරිය ගැන අපූරුවට විග්‍රහ කෙරේ.

දිසි ගඟුලැල්ලේය කෙළැ                   සිහිලැල්ලේයා
තුරු සෙවණැල්ලේය මඳ                   පවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය මල් පෙති                   තිල්ලේයා
උන් මට ලොල්ලේය දැන්                 ළතැවූල්ලේයා

කිඳුරිය තම පෙම්බර සැමියා සමඟ ගතකල සුන්දර ජීවිතය පිළිබදවත් කිඳුරියගේ රුවට ලොල් බැඳ කිඳුරාට හී සැර විදි රජුද කිඳුරියගේ පති භක්තිය හමුවේ ළතැවෙන අන්දම මෙම කවියෙන් මොනවට විස්තර කෙරේද.

උපුල් කඩා ගෙනැ කනලා                   සුපුල්වන
ළකල් කුසුම් දම් කරැලා                      එකල්වන
නිමල් මෙ නුඹ සහ විඳි සැප                 විපුල්වන
සිහිල් සෙවණැ උන් මට මේ               තැවුල්වන

මෙම පද්‍ය නිර්මාණයෙන්ද කිඳුරා හා කිඳුරියගේ අතීත ජීවිතයේ සුන්දර බවද කිඳුරාගේ නිසසල දේහය අභිමුව කිදුරියගේ වැළපිල්ලද අපූරුවට විස්තර කෙරේ.

නිදුකින් සමඟ පෙම් බැඳැ සැප විඳැ                       සොඳිනේ
බසෙකින් විතර වෙනසක් නොවැ                      ඉඳින දිනේ
දියෙකින් නැගුණු ගින්නක් මෙන් වියැ                  මෙ දිනේ
ඉතිකින් කෙසේ වෑවෙම් දෝ හිමි                            සඳිනේ

අවසානයේදී කිඳුරිය තම මියගිය ස්වාමියා වෙනුවෙන් කරන්නා වූ කන්නලවුව සඳහා මෙම පැදිපෙළ වෙන්වී ඇති අතර ම මුළු පද්‍ය පන්තිය පුරාවට ම පැතිර පවත්නා වූ බිරිඳක් කෙරෙන් ස්වාමියා කෙරේ විද්‍යාමාන වන පතිභක්තියේ අපූර්වත්වය ඉතාම සරළ බස් වහරකින් විස්තර කර තිබීමෙන් ඕනෑම කාන්තාවක්, පෙම්වතියක් හෝ භාර්‍යාවක් මෙය තම ජීවිතයේ ජීවන අත්පොතක් බවට පත්කර ගැනීමට ඇති හැකියාව ඉතාම අගනේය.

-         උපුටා ගැනීම “ සයිබර් අවකාශයේ හෙළ හඬ - සපුමල් බණ්ඩාරගේ ලිපි - සඳ කිඳුරු දා කව”  -

තවද කෝලම් නාටක කරුවෝ සිය කෝලම් රංගන සඳහා සඳ කිඳුරු කථාව රඟ දැක්වූහ. සරච්චන්ද්‍රයන් අතින් මනමේ සහ සිංහබාහු නිර්මාණය වූවා සේම ගුණසේන ගලප්පත්ති සඳ කිඳුරු ජාතකය ලාංකීය වේදිකාවට රැගෙන ආවේ ය. චන්ද්‍රකින්නරාවියක් නොමැති වුවද ජාතක කතාවේ සඳ කිඳුරිය වන් ගැහැණියක් පාදක කොටගෙන හඳගම විසින් චන්දකින්නරී චිත්‍රපටය රිදී තිරයට ගෙන ආවේය. මේ හැර මේ ඔස්සේ ලියැවුණු කෙටි කතා කවි ගීත බෝමයකි. ඒ කිහිපයක් විමසමින් සඳ කිඳුරුව අප සාහිත්‍යයට කළ බලපෑම මෙනෙහි කිරීම වටී.



කැලේ තියෙන කොයි දේමත් රස              වේවා
මලේ ඹමරු සේ පිරිවර ඇති                      වේවා
අවුවේ තිබෙන රැස්මාලා අඩු                      වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග ඉදි                     වේවා

හිමයේ ගොසින් මල් යහනක                      සිටිනවද
කෝමල අනගි සිරිපා දෙක                         රිදෙනවද
හිගේ නැතුව දෙවියෝ මුර                          කරනවද
මගේ හිමි සඳුනි ඔබ තවමත්                        තනිවමද

මේ යශෝධරාවතෙහි කවි දෙකකි.

ආදරයේත් ප්‍රේමයේත් නිකලැල් බවත් එහි සත්‍යක්‍රියා බල මහිමයත් වෙනුවෙන් යශෝදරා චරිතය බෞද්ධ සාහිත්‍යය පුරාවටම සාක්ෂි දෙන්නීය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පසුව කිඹුල්වත් නුවරට වැඩි ගමනේ සුද්ධෝදන රජ තුමාගේ මාළිගාවටද වැඩම කල සේක. ඒ අවස්ථාවේ ශෝකය වාවා ගත නොහැකි වූ යශෝදරාව බුදු පාමුල වැඳ වැටී කඳුළු සලද්දී සුද්ධෝදන රජතුමා ඇයගේ ගුණ වර්ණනා කළේය.